අකුරු මැකී නෑ

Thursday, November 28, 2019

හරෝහරා! - දාහත්වෙනි කොටස

දෙවියන්ගෙන් පිහිට පතා යා යුතුය! (foto- ශෂී ගයාශාන් වෙලගෙදර)
හරෝහරා- මෙච්චර දිගට ලියැවෙතියි මගේ තුන්හිතකවත් තිබුණේ නැතිය.

(අනෙක් පෝස්ටු ගැන වුණත් එහෙමය. ලියන්නටම වටිනා ප්‍රස්තුත ඕනෑ තරම්ය. ඒත් මේ ලියන්නේ මගේ ජීවිත කතාවයි. ඒවා ලියද්දී මගේ අනෙක් අත්දැකීම්, වටපිටාව, තොරතුරු හා ඉතිහාසය යොදාගන්නේ අනුපාන හැටියටය. 

දැන-දැනම විතරක් නොවේ, නොදැනත් මේ කතන්දරය කීමට උදව් වෙන හිතවතුන් බොහෝය.

-ඉහතින් ඇති foto එකත් මා නොදුටු; නොදන්නා කෙනෙකුගේය!

-හිතවත් චින්තක පිටිගලආරච්චිගේ fb එකෙනි, මා ‘ශෂි ගයාශාන් වෙලගෙදර’ හමුවුණේ. fb එකේ තියෙන හැබෑම ලස්සන fotoවලින් පෙනෙන විදිහට නං එයාලා පාද යාත්‍රාවේ ගිහින් තියෙන්නේ හොඳටම නිස්කාංසුවෙන් වගෙය! මගේ පෝස්ටු හැඩ කරන්නට එයාගෙනුත් foto එකක්- දෙකක් ගන්නටය, මේ ලැහැස්තිය.)

මං ඉල්ලා හිටියේ නැතත්, මගේ පෝස්ටු හැඩ කරන්නට මෙහෙම උදවිය එවන්නේ කතරගම දෙවි හාමුදුරුවන්ය කියලාත් මට විටෙක හිතෙයි!

දෙවියන් සාමාන්‍යයෙන් උදව් කරන්නේ ඉල්ලුවාමය; සමහරුන් නම් පඬුරු-පාක්කුඩම් පුදන තරමටය. එතැනදී හින්දු අය විශේෂය!

දූරාතීතයේ පටන්ම නොයෙක් දෙවිවරුන්ගේ ලිංගික ඉරියව් පෙන්වන නිරුවත් පිළිම.........
හින්දු ආගමේ දෙවියන් අතර ඉන්නා කොයි කවුරුනුත් පාහේ පුදුමාකාර අයවලුන්ය. එයාලා උග්‍ර තපස් රකිති; දයාර්ද්‍ර වෙනවා වගේම රෞද්‍ර වෙන්නට වුණත් නොපැකිළෙති. කාම සම්භෝගයට, හිත ගිය කෙනෙකු සමඟ- ඕනෑම තැනකදී රමණය කරන්නටත් eveready පූසෝය. 

වැඩිදුර සාක්කි ඕනෙනම් ගිය වතාවේ පෝස්ටුවට රසිකයන් එවා තියෙන කමෙන්ටු බලන්න!

ග්‍රීක; ඊජිප්තු දෙවි-දේවතාවනුත් එහෙමය. 
දූරාතීතයේ පටන්ම දෙවිවරු එහෙමය.
ඓතිහාසික යුගවල සිටම, විවිධ අවස්ථාවන්වලදී මේ දෙවියන් පෙන්වා තියෙන්නේ නිරුවතින්ම- නොයෙකුත් ලිංගික ඉරියව් පවා නිරූපණය කරවමිනි. එයින් සංකේතවත් කරන්නේ දෙවියන් හෙළුවෙන් ඉන්නට රිසි බවද?

දෙවියන් ‘හොරු සමඟ හෙළුවෙන්’ ඉන්නා එක වෙනම දෙයකි. ඒත් මිනිසුන් එක්ක? මුහුණටම ‘හොරා’ කියන්නවුන් එක්ක?

එතකොට අප හිටියේ කටගමුවෙන් පිටත්වී කතරගමට එමින්ය. 
(මේ 2013 පළමුවර පාද යාත්‍රාවේදීය.) කොච්චිපතාන ශ්‍රී ගණේෂ දේවාලයට එනවිට නෙවිල්ගේ ‘දෙකම කකුල්’ තදින් වෙළලා හමාරය. ඒ ඇයිද කියලා මතක නැතත් එහෙම එතුවේ නං කවුද කියා හොඳට මතකය. 

සුනිලුත්, දොස්තර මහත්තයාත් එකතු වෙලාය; පාර අද්දර බෝක්කු ගැට්ටක් මත ලෙඩා වාඩි කරවලාය.

ජූතක බමුණා හා සගයා..... කොච්චිපතානේ මේ තාවකාලික ගොඩනැඟිල්ල වෙනුවට දැන් ඇත්තේ ස්ථිර දේවාලයකි!
අපේ  සුනිල්ට නං කට පුරා ‘සුනිල් අයියා’ කියන නෙවිල් සේරම ඤං-පචං ගෑවේ අයස්මන්ත මහත්තයාටය. ගරු නම්බුත් දීලය!

“අඩෝ හුයන්නෝ, ඔච්චර තදට ඔතපුවම ලේ ගමනට බාධා වෙන්නේ නැද්ද? මගේ කකුල් දෙක කපන්න වෙයි.”

“අනේ පයන්නෝ, බුරුලට එතුවට පස්සේ වැඩි දුරක් යන්න කලින්ම ආයේ ඔතන්නයි වෙන්නේ. තෝද දොස්තර, මංද දොස්තර? එනව මෙතැන ඔතන හැටි මට උගන්නන්න!”

ඊට පස්සේ නෙවිල් කට පියාගත්තත්, මට මනුස්සයාව පෙනුණේම ජූතක බමුණා වගෙය. ඒ විත්තියට සාක්කියක් අරගත්තේ කොච්චිපතාන දේවාලයේදීය. 

ඉතින් ඒ වෙළුම් පටි පිටින්ම කොර අනිමින් ‘සරා ගොයියාගේ පස්සෙන් එළවූ පොලිස් රාලහාමි’ වගේ යද්දී හරි වැඩක් වුණේය.

ඒ හරියෙන් පස්සේ පාර දෙපැත්තේ ගෙවල්-දොරවල් වැඩිවෙන්නට පටන් ගනියි; අතරමඟදී වැඩියෙන් මිනිසුන් හමුවෙන්නට පටන් ගනියි. 
පාරේ foot බයිසිකලයකින් අප පසුකර යමින් හිටි වැඩිහිටියෙක් අපේ නඩේ දැකලා ‘හරෝහරා’ යයි කිව්වේය. අපිත් හරෝහරා කිව්වෙමු.

“අඩෝ හොරා!” ඒ එක්කම වාගේ කොලු කටහඬකින් ඇසිණි. 

ඒ ගෙයක මිදුලක් දිහාවෙනි. අප ඒ පැත්තට හැරෙන විටත් දඟකාර කොලු පැංචන් දෙතුන්-දෙනෙකු වහං වෙමින්ය.

“මූ මගේ කකුල් ඔතල නැත්තං දනියි මම....” නෙවිල් දත් මිටි කෑවේ තරහටම නොවේ; බැරි-බැරි ගාතේ යමින් හිටි අප හිනස්සන්නටය.

මාලෝ, මාළු මාලෝ.... ඉස්සො කකුළුවො මාලෝ!
ඒ කරලා වැඩි වෙලාවක් ගියේ නැත. ඇත්තටම නෙවිල්ට තරහ ගියේය. ඒ පාරේ ගිය බයිසිකල්කාරයෙකු එක්කය. 
හොඳ වෙලාවට ඒ මනුස්සයා ගියෙත් අප පහු කරගෙනය; එයා පහුවෙද්දීම වස පිලී ගඳකුත් එකකම හුළඟකුත් එයාගේ පස්සෙන් යමින් තිබිණි. 

“මාලෝ.... මාළු මාලෝ..... ඉස්සො කකුළුවො මාලෝ!”

මිනිහා ඒ ටික කිව්වේ ජූතක බමුණා වගේ හිටි නෙවිල් දිහාවට, යන්තමින් හැරී බලමිනි.

“උගේ @#$#@..... මේ රෙද්දේ ගමනක් හින්දා සුමානයක්ම එළවලුයි බතුයි කකා ඉන්න අපිට මාලො.....”

“යකෝ, හෙමින්...... ඌට ඇහුණොත් ආයෙම හරෝගෙන ඇවිත් මාළු පිහියෙන්ම උඹට කොටයි.....” පීරිස් නෙවිල්ව අස්වැසුවෙත් හයියෙන් කියමින් නොවේ!
“තෝ දන්නවද හරකෝ ඔහොම මිනිස්සුන්ට අණක්-ගුණක් නැති බව?”

බොදු දෙවිවරුන් සමහරෙකුගේ වැඩත් කිසිම අණක්-ගුණක් නැති එව්වාය!

තව්තිසාවේ ඉන්නා සක්කරයා; දෙවිදේවතාවන්ගේ ලොක්කා; දෙදෙව් ලොවට අධිපතියාගෙ වැඩ සේරටම හපන්ය. 
මනුස්සයා ගෞතම මුනිවරයාගේ රූබර බිරින්දෑ අහල්‍යා එක්ක පැටලෙන්නට ගිහින්, සරුවාංගය පුරා ස්ත්‍රී යෝනි දාහක් ලබාගත් හැටි ගැන මා කලින් කියා ඇත.

සම්‍යක්දෘෂ්ටික දේව ප්‍රධානියෙකු වුණත් එයාත් අතීතය අමතක කරන කෙනෙකි. 
සිරි ලංකාවේ අප වාගේම ඉක්මනින්ම අතීතය අමතක කරන ජාතියේ කෙනෙකි. ශක්‍රයා විදිහට උත්පත්තිය ලබන්නට කලින් එයා ලංකාවේ පුරවැසියෙකු වෙලා හිටියාවත්ද? 

රෝහිණී නම් දිව්‍ය කන්‍යාවිය දෙවිවරුන් හතර දෙනෙකුගේ සීමාවේ............
දිවිය ලෝකයේ උපදින අනෙක් දෙවිවරුනුත් එහෙම උදවිය වගේය!

“අප බුදුන් සමයෙහි කිඹුල්වත රොහිණී නම් රාජකන්‍යාවක් ඝනරන් දහසක් අගනා භොජන ශාලාවක් කරවා, 
බුදුන් ආදි වූ මහ සඟනට දන් දී, 
එ තැන් පටන් රජදූමි යි නොසිතා තමා ස්වහස්තයෙන් ඒ ශාලාව පිරිබඩ ගනිති. 
ස්ව හස්තයෙන් පැන් පෙරා හිඳිනා අසුන් පනවා තමා සියඅතින් භික්ෂූන් වළඳවා පින් කොට තමාගේ ආයු කෙළවර මිය ශක්‍රපුරයෙහි දෙවියන් සතර දෙනෙකුගේ සීමාන්තරයෙහි දෙවුලොව බබුළුවා 
තුන්ගවු පමණ දිව්‍ය ශරීරයෙකින් දොළොස් යොදුන් දිවසළුවක් එකාංශකොට ලා සියලඟින් නිකුත් රසින් දෙවුපුර ය බබුළුවා පෙනී ගියාය.”

ඔන්න ඔහොමයි ‘රෝහිණී දිව්‍යාංගනාවන්ගෙ’ හුටපටය ‘පූජාවලිය’ බණපොතේ කියන්න පටන් ගන්නේ. 
22 පරිච්ඡේදයේ - දිව්‍යරාජ පූජා කථාවල. 

පිටු අංක කියන්නෙ නැත්තෙ මුද්‍රණ ගණනාවක් තියෙන නිසයි, ඒවායේ පිටු යෙදිලා තියෙන විදිහ වෙනස් හින්දයි. 
අන්තර්ගතයේ වෙනසක් නොවුණත් පොතට යොදාගන්න font size; අකුරු ප්‍රමාණත් එක්ක එහෙම වෙනවනේ.

ඉතින් දිවියාංගනාව පහළ වෙන්නේ දෙවිවරුන් හතර දෙනෙකුගේ සීමාවේ. 

එහෙ තියෙන සම්මතය තමයි තමන්ගේ සීමාවේ පහළ වෙන දේවල් තමන්ට අයිතියි කියන එක. රෝහිණීව දැකපු ගමන්, මෝහනේ වෙලා අර හතර දෙනාම දෙවියෝ ‘දිවිය ලෝක යුද්ධයක්’ පටන් ගත්තා.

ප්‍රතිපත්ති වෙනස් කරන යුද්ධයක් නෙවෙයි, දිවිය සැප අයිති කරගන්නයි ඒ යුද්දෙ.....
ඔන්න දැන් හැම දෙයියම පළි ගගහ දිවුරනවා ‘එයා මටයි- එයා මටයි’ කියලා. 

“උඹේ වෙන්නේ කොහොමද, එයා ඉපදුනේ මගේ සීමාවේ.” 
හතර දෙනාගේම තර්කය ඒකයි.

අන්තිමට නඩුවයි, නඩු භාණ්ඩයි අරන් ගියා ලොක්කා ළඟට. කතන්දරේ කිව්වා. ඔන්න ලොක්කා කතන්දරේට කන් දෙන අතරේ නඩු භාණ්ඩේට ඇහැ යවනවා. 

දැන් උන්නාන්සේට නඩුව විසඳන්න නෙවෙයි ඕනෑ; බලවන්න!

“තමුසෙලට මේ කෑල්ල දැක්කම මොකද හිතුණේ?”

ඒ විදිහට, එහෙම ලියන්නේ මේ නසරානි නිදි ගොබිලාය. ‘මයුරපාද පරිවෙණාපති බුද්ධපුත්‍ර ස්ථවිරයන් වහන්සේ’ එදා නං ලියලා තියෙන්නේ මෙහෙමයි.

“මෑ දුටු වේලෙහි පටන් තොප තොපට කුමක් සිතේ දැ”. 

පේනවා නේද ඒ කාලේ භාෂාවේ සරුකම. දැන් කාලේ ඉන්නා ‘මේ පුඟුලා වන් බාසා වෙල්ලන්’ කොහොමද එච්චර පෙළහර පාන්නේ. 
Sorry වෙන්න ඕනේ, මං මට පුරුදු බාසාවටම බහිනවට.

“අනේ දෙයියනේ, එයාව දැක්ක වෙලේ ඉඳන් මගේ ඇඟ ප්‍රේම ගඟේ නලියනවා.”

මගේ ඇඟ ප්‍රේම ගඟේ නලියනවා!
“ඒක මොකක්ද? මගේ පපුව ගැහෙන්නේ පට-පට ගාලා හටන් බෙරයක් ගහනව වගෙයි.” එහෙම කිව්වේ මුල් දෙන්නා.

“අනේ උතුමාණනි, එයාව දැක්ක වෙලේ ඉඳලා මගේ ඇහිපිය ගහන්නවත් බැහැ. මේ... මගේ ඇස්දෙක එයා දිහාවටම යන හින්දා දැන් කකුළුවෙකුගේ වගේ මගෙ ඇස්ගෙඩි දෙකත් ඉලිප්පිලා.” 

තුන්වෙනියගේ අඳෝනාවට දෙවෙනි නැහැ, හතරවෙනියාගේ කතාව.

“දාගැබක කොතක් මුඳුනේ ගැට ගහපු කොඩියක් පට-පට ගාලා හුළඟෙන් වැනෙනවා වගේ මගේ පපුව පුපුරන්නේ.”

“ඉක්බිත්තෙන් සක්දෙවුරජ ඔවුන් සතරදෙනා කී මේ උපමා කථා අසා කියනුයේ “පින්වත්නි, මෑ නො ලදුව නම් තෙපි සතර දෙන  මියා ද, නො මියා දැ” යි විචාළේය. 
ඔහු සතර දෙනාම නො මියම්හ යි කීහ.”

“ඒකනෙ කොල්ලනේ, එයාව නැති වුණත් උඹල එකෙක්වත් මැරෙන්නෙ නැහැ. ඒ වුණාට එයාව නැත්තං මගේ සක්කර දෙයි පදවියත් එපා. 
විජයන්ත මාලිගාවත් එපා. පාණ්ඩුකම්බල ශෛලාසනයත් එපා. 
දෙකෙළපනස් ලක්ෂයක් දිවියාංගනාවනුත් එපා. මගේ පණත් එපා, මාව මැරිච්චාවේ!” සක්කරයා කිව්වා.

ඇස් සීයක් තියෙන ජපන් Hyakume මෙච්චර අජූව නං ඇස් දාහක් තියෙන සක්කරයා කොහොමට ඇතිද?
“අපොයි දෙයි හාමුදුරුවනේ. 

-තමුන්නාන්සේ පහළ වෙලා ඉන්නේ අපේ පිනට. මේ ලෝකෙත් තමුන්නාන්සේගේ. ඒකෙ ඉන්න අපිත් තමුන්නාන්සේගේ. අපිව රැක බලාගෙන ආරස්සා කරගෙන තමුන්නාන්සේ චිරාත් කාලයක් වැඩ කරන්න ඕනේ. 

-අපිට දිගටම දිවිය සැප කාගෙන-කාගෙන යන්න නං ඔහේ ඉන්නම ඕනේ...... 

-නංගී, අපට පුළුවනි වෙන කෑල්ලක් හොයා ගන්න. ඔයාව අයිතිවෙන්න ඕනේ මේ උත්තමයාටම තමයි!” කියලා දිව්‍ය පුත්‍රයන් හතර දෙනාම ඒකච්ඡන්දයෙන් රෝහිණීව සක්කරයටම පාවලා දුන්නාලු.

දෙවියන් කියන්නෙත් මිනිසුන් විසින්ම නිර්මාණය කළ ජීවීන් කොට්ඨාශයක්ද? 
එහෙමත් නැතිනම් මිනිසුන් කියන්නේ දෙවියන් විසින් නිර්මිත පර්යේෂණාගාර මීයන් කොටසක්ද?

මට එහෙම හිතෙන්නේ, හැම දෙවි කෙනෙකුටම තියෙන්නේ මනුස්ස ගතිගුණ හින්දාය. 

කතරගමදීම ලොකු ව්‍යාපාරික කාන්තාවකගේ කටෙන් පැන්න දෙයක් ඔස්සේ මගේ හිත තවමත් දුවන්නේ මේ ‘ගුණයක්’ ගැන විපරමෙනි.

අපටත් මේ සැප සම්පත් සේරම දෙන්නේ උන්නාන්සේ තමයි!
“අපටත් මේ සැප සම්පත් සේරම දෙන්නෙ උන්නාන්සේ තමයි. හැබැයි කතරගම දෙයියෝ ළඟට ඔයාගේ මාලේ ගියා නම් ආයේ එනවා බොරු!” 

එදාත්, ඊට පස්සෙත් ඒ කතන්දරේ පස්සෙන් පැන්නුවත්,  තවම කිසිම කෙනෙකුගේ කටෙන් වචනයක් ගන්නට බැරි වුණේය. ඒ කිව්වේ දෙවියන් ගැනද, එහෙමත් නැති නම් දෙවියන් ළඟ ඉන්නා අතරමැදියන් ගැනදැයි හොයාගන්නටය මා try කරන්නේ!

තවමත් මං උත්සාහ ගනිමින් ඉන්නේ, ටක්කෙටම දැනගෙන ඒ කතාව හිතාදර ඔබටත් එක්කම බෙදාගන්නටය. 
ඒ කෝන්ගොඩ වික්‍රමපාල වැඩේ කරනතුරු කියන්නට පාද යාත්‍රාවේ තොරතුරු තවත් තිබෙයි!

“මාමේ, ඔහෙ දන්නවැයි, ගිය වතාවේ වල්ලි මාතා පෙරහරේ ඇතාට දාපු මල් මාල කන්දරාව හින්දා හස්තිරාජයාට ඇවිදගන්නත් පොඩ්ඩක් අමාරු වෙච්චි විත්තිය? දළ දෙකටනේ මිනිස්සු මල්මාලා පළන්දන්නේ. කොච්චර බරක්ද, දෙයි හාමුදුරුවනේ?”

“මොකද වල්ලි මාතා පෙරහරටම එච්චර විශේෂයක්?”

මිනිස්සු සර්දාවෙන් දාන මල්මාලා සේරම දළ දෙක උඩ තියාගෙන...........
හිච්චි මහත්තයා ඒ වගේ ප්‍රශ්නවලදී මඟ හරින්නට දෙයියෙකි. 
යන්නේ කොහෙද ඇහුවාම මල්ලේ පොල් වගේ උත්තරයක් එවෙලේ දෙන්නට ඇත්තේ වැඩිහිටිකමට හරි, හැදිච්චිකමට හරි වෙන්නටත් පුළුවනිය.

“දැන් මාමේ, වල්ලි මාතා පෙරහරේ හස්ති රාජයාට මල්මාලා දාන්න දෙන්නේ නැහැ!”

එදා පාද යාත්‍රා ගමනේදී හිච්චි ‘මුකවාඩම් පනත’ට යටවී ඉන්නට ඇත්තේ ඇයිදැයි තේරුණේ ගෙදර ඇවිත් විස්තර හොයද්දීය. 

කතරගම පෙරහරට සහභාගී වෙන ගොඩ දෙනෙකුත් එහි මුඛ්‍ය පරමාර්ථය නොදන්නවාය කියලාය මට හිතෙන්නේ. ඇත්තම කිව්වොත් අපවත් ඒ ගැන හිතලා තිබුණේ නැතිය.

“ඇසළ මංගල්‍ය පෙරහර

මෙය කතරගම දෙවිඳුන් හා වල්ලි අම්මා අතර මංගල උත්සවය සිහිපත් කිරීම සඳහා පවත්වනු ලබන්නකි. කප් හිටුවා දින 45 කට පසුව ඇසළ පෙරහර ආරම්භ වන අතර නැකැත් යෙදීම අනුව ඇසළ පෙරහර මංගල්‍යය සඳහා දින 15 ක් හෝ 16 ක් ගතවේ. 

මංගල්‍යයේ අවසාන දින තුනේදී තේවානි අම්මාට හොරෙන් කතරගම දෙවියන් වල්ලි අම්මා දේවාලය වෙත වැඩමවීම විශේෂ චාරිත්‍රයකි.”

මේ ‘හොරෙන්’ කතාව කියන්නේ මා නොවේ. රුහුණු මහා කතරගම දේවාලය ගැන තිබෙන වෙබ් අඩවියකි. 

එළිපිටම බහුභාර්යා සේවනය කෙරුණේ රජවරුන් අතිනි.....
ඒ කාරණාව ගැන බලද්දී අපේ උදවිය එක ගෙයි කෑවේ එළිපිටමය. හැබැයි ඒ බහුපුරුෂ සේවනයයි. බහුභාර්යා සේවනය එළිපිට කෙරුණේ රජවරුන්ගෙන් පමණි.  
මෙතැනදී රජ්ජුරුවන් දෙවියන්ටත් වඩා ඉහළින් ඉන්නවා වගෙය.

අනේ! දෙවියන්ටත් වෙලා තියෙන ඇබැද්දියක්. 

දෙයියන්ට ඉහළින් පළමු බිරියත් ඉන්නවා නොවේ වෙන්නැතිය; බිරින්දෑවකගේ කන්කරච්චලයෙන් බේරෙන්නට දෙවියෙකු වුණත් කැමති නිසා, කරන දෙයක් ‘තේවානි අම්මාට හොරෙන්’ කරනවා වෙන්නට පුළුවනිය.

ඒ මදිවාට, පෙරහර ඇරඹී හයවෙනි දිනයේ දේවාලය ඉදිරිපිට ‘අතු පන්දල’ අලුත් කෙරෙයි. ඒ වසරකට වතාවක් පමණක් කෙරෙන්නකි. 

එක එල්ලේම සම්බන්ධයක් නැතිව වගේ පෙනෙන ‘වල් චාරිත්‍රයකි’ මට මෙතැනදී මතක් වෙන්නේ. ‘කිරිකඩ සේලය පේ කිරීම!’. 

අනේ, මේවා ගැන අගතිගාමී නොවී විමසා බලන අය ඉන්නවා නම්.....

එතැනදී දමිළ භාෂාව නොදන්නාකම ගැන මට හිතෙන්නේ ලොකු දුකකි. 
පාද යාත්‍රාවේදී හමුවුණු ‘සාධු’ලා, මා දුටුවේ විවෘතව සංවාදයට එකතු කරගත හැකි අය වගෙය. ඒත් භාෂාවය, හරහට හිටියේ.

2013 සෙල්ල කතරගමදී.... මර්වින්, අයස්මන්ත, මනොහරරාජන්, නිදි හා සුනිල්.........
‘අනේ, දෙමළ බාසාවත් දැනගෙන හිටියා නං!’ 

එහෙම හිතෙන්නේ, මේ ගමනේදී අපේම රටේ වෙසෙන ප්‍රධාන ජන කොටසක මිනිසුන් එක්ක හිතේ හැටියට අල්ලාප-සල්ලාපයක යෙදෙන්නට බැරි බව තේරුම් ගියාමය!

අයස්මන්ත මහත්තයා නම් දමිළ භාෂාවේ වටනාකම හොඳින්ම තේරුම් ගෙන ඇති බව කියවුණේ 2012 සැප්තැම්බර් 1 වෙනිදා වස්ගමුවේ හතරමං හංදිය කඳවුරු බිමේදීය.

“නිමල් අයියේ, මගේ ලොකු අධිෂ්ඨානයක් තියෙනවා. හරියට දෙමළ කතා කරන්න ඉගෙනගන්න. එච්චර අමාරු නැහැල්ලු. 
ලංකාවේ හැමෝම දෙමළයි සිංහලයි දෙකම ඉගෙනගන්නවා නං ආයේ ප්‍රභාකරන් කෙනෙක් මතුවෙන එකක් නැහැ.” 

ඒ කතාවේ සත්‍යය තේරුම් ගත්තත්, එයට 100%ක්ම එකඟ වුණත් තවම මා ඉගෙනගත් දෙමළයක් නැත. අයස්මන්ත මහත්තයා නම් එහෙම නැත.

 අවුරුද්දක් යද්දීම එයා ඒ කඩුල්ල පැනපු බවට හොඳම සාක්ෂිය දුන්නේ මඩකලපුවේ දමිළ වෛද්‍යවරයෙකු වන මනෝහරරාජන් මහත්තයාය.

2013 පළමු පාද යාත්‍රා ගමනේදී කොච්චිපතාන ගණ දෙවි කෝවිල් බිමේදීය.   

මාතර පැත්තේ අය එහෙ අයට අදින විදිහ ඔයා දන්නවද?
“දෙමළ ඕනි නැහැ නිමල් අංකල්, ඔයා දන්නවද මාතර පැත්තේ අය එහාට අදින විදිහ- ඒ පැත්තේ විදිහට කතා කළ ගමන්. මගේ යාළුවෙක් ගිහින් වාහනයක් ගන්න. 
වාහනේ අයිතිකාරයත් මාතර බව දැනගත්තු ගමන් යාළුවා එහෙ විදිහට talk කරලා. පොර දන්නවා ඔය පලාත්වල කතා කරන වචන එහෙමත්.

-වාහනේ විකුණන මනුස්සයාට කතාවෙන්ම අපේ යාළුවව හිතට අල්ලපු තරම කියන්නේ -මම දෙන්න හිටිය ගණන නම් මේකයි. ඔහෙම දෙන්න offer එකක්- කියලා. මේකා ඉල්ලපු ගණනට මිනිහා වාහනේ දුන්නලුනේ.” 

ප්‍රාදේශීය කතා ව්‍යවහාර ගැන කතාබහකදී ගවීන් කිව්වේ වස්ගමුවේදීය.

කන-බොන වෙලාවක ඔහොම දේවල් බොහොමයක් කියවෙයි. නොබී ඉන්නා කෙනෙකුට එවැනි නුවණැති දේවල් අහුලාගැනිල්ල සුළු දෙයකි!

නුවණැති කෙනෙකුට එහෙම පාඩම් හැම තැනමය!

‘හරෝහරා15’ පෝස්ටුවට කමෙන්ට් එකක් දමමින්  අසංග රණසිංහ ආරච්චි මනරම් අදහසක් ඉදිරිපත්කොට තිබිණි.

'නූඩ්ල්ස් තැම්බූ වතුරින් මසාජ් දැමීම සූර ව්‍යවසායෙක්ට හොඳ ඔත්තුවක්. තායිලන්තය වගේ රටවල් ඔය වාගේ අමුතු දේවලින් තමයි සංචාරක ව්‍යාපාරය කරන් යන්නේ.’ 

නූඩ්ල්ස් තැම්බූ වතුරෙන් කෙරෙන මසාජ්.... සමහර විට ඔයිල් මසාජ් වගේ ක්‍රම පරදවනු ඇත!
........... ඇත්තය. අලුත්, අමුතු දේවලට මානවයාගේ හිත යනවා නේන්නං. ඔන්න වැඩේ.

‘නූඩ්ල්ස් තැම්බූ වතුරින් මසාජ් කරන’ - Instant Noodles Massage Center එකක් පටන් ගන්නවා නම් මරුය. 

මට රෝයල්ටියක් ඕනෑත් නැත! අසංග ඉල්ලන එකකුත් නැත. කැමතිම නං විතරක් ‘හරෝහරා’ පෝස්ටු මාලාවට කෘතවේදී ප්‍රචාරයක් දුන්නාම සෑහෙයි!

හැබැයි ශ්‍රී ලංකාවේ ඉන්නා තරමක් ඉන්නේ යමක් නිපදවා හම්බ කරන අය නොවෙති. අතරමැද හිඳ හම්බ කරන්නෝ වෙති. අයුතු විදිහට මොකාගෙන් හරි කඩා-වඩාගෙන ගොඩ වැඩි කරගන්නෝ වෙති!

කඳ සුරිඳුන් වුණත් එහෙම අයට වැඩියෙන් උදව් වෙනවාද මන්දා? එහෙම උදව් කරන්නේ...


Monday, November 25, 2019

බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස

එදා නම් අපට කෙළවුණේය; හොඳටම කෙළවුණේය.

වස්ගමුව අද්දරදී හැන්දෑව මනස්කාන්තය! (foto- මිෂාන් රන්දික)
“දැන් කොහොමද park එකට ඇතුල් වෙන්න දෙන්නේ? මෙතැන භාරව ඉන්න officer හැටියට අපට උපදෙස් දීලා තියෙන්නේ ගොඩක් හවස් වුණාට පස්සේ විසිටර්ස්ලව පාක් එකට යවන්න එපා කියලා. ප්‍රොසීඩියර් එක එහෙමයි. 
-පාර්ක් එකට ගිහින් ඉන්න groups වුණත් එළියට එන්න ඕනේ හවස හය වෙද්දී! දැන්.... දැන්මම හයයි.... බෑ බෑ. ට්‍රැකර් කෙනෙකුත් එක්ක ඔය මහත්තයලව එහාට යවලා මට risk එකක් ගන්න බැහැ.” 
වස්ගමුව ජාතික වනෝද්‍යානයේ පාලක මහත්තයා අපට යාන්තමින්වත් බුරුලක් පෙන්නුවේ නැත. 
“ඔබතුමාගේ තත්ත්වයත් අපිට තේරෙනවා. එද්දී අපේ වාහනේ කැඩුණා. හදාගෙන එනකොටයි පරක්කු වුණේ!

කැඩිච්ච වාහනේ හදාගෙන එනකොටයි පරක්කු වුණේ!
ඒ නම් පට්ට බොරුවකි. 

සිද්ද වුණේ ඉලුක්කුඹුරේදී අපේ අයියලා පමණට වැඩි වෙලාවක් තිස්සේ පස්වෙනි සිල් පදය කඩමින් හිටි එකය. 

මුල්ම කාලයේ අප වස්ගමුවේ ආවේ-ගියේ මාතලේ- රත්තොට- රිවර්ස්ටන්- ඉලුක්කුඹුර- ලග්ගල- හෙට්ටිපොළ හරහාය. ඒ කාලයේ මහියංගනයට යන දහඅට වංගු පාර අබලන්ය. දඹුල්ල- බකමූණ- ලග්ගල පාරවල් තිබුණෙත් නැතිවා වගෙය. 
ඉතින් එහෙම එන අතරේ ඉලුක්කුඹුරේදී වැස්ස නැති කාලයට පාරට යටිනුත්, තද වැහි කාලයක නම් මහපාරටත් උඩින් ගලන (තෙල්ගමු ඔය වගෙය මතක.) ගඟේ ගිලිලා නාන්නට ගෙදර ඉඳලාම පේවෙමින්ය අප එන්නේ. 
දවල් කෑම උයාගෙන එන නිසා එතැනදී කෑම කන්නේ නාලාමය. කොටසක් ස්නානය කරද්දී, ඊට කලින් තව කොටසක් අමතර ජීව බලය ලබාගනිති. 
ඒගොල්ලන් ඒකට ගියාමත්, අප නිල්කැටේට ගලන සීතල වතුරට බැස්සාමත් සූරිය දිවිය රාජයා ගමන නවත්තනවා වගෙය. “මේ, අද තමුසෙලා වස්ගමුවට යන්නේ නැද්ද?” කියා ඔරලෝසුව බලන්නේ මං වහන්සේය.
සීතල වතුරේ දෙපා ඔබාගෙන, හීල් හෙවණේ සුරාමේරය ශික්ෂාපදය කඩන වෙලාවට..........
කල්ප විනාශයට කලින්, ඒ පණිවිඩය ගෙනෙන බූමාටු දෙවියන්ට වෙන වැඩේමය, අරහෙම කිව්වාම මට වෙන්නේ. 
“ඔන්න පැන්නා. යං, යං, යං. ගෙදර ඉන්නකල් ගමන එනතුරු සිහිය නැහැ. ට්‍රිප් එකක් එන්න තියෙද්දි මේකට රෑට නින්ද යනවද අහපල්ලකෝ. එහෙමත් ඉඳලා ආවට පස්සේ යනතුරු සිහිය නැහැ. අනෙක් සැරේ මේකව දාලා එමු මචං!” ඉස්සෙල්ලාම බැණුම පටන්ගන්නේ නෙවිල්ය. 
“ඔව් බං..... මොකෝ, වස්ගමුවට යන්න නැකතකුත් තියෙනවද?”
එදා නම් මටත් තරහ ගිය හින්දා, ආපහු වෙලාව මතක් කළේ නැත. 
එයාලාටම ඇතිවෙලා, බීම නවත්තලා, නාලා එනකොට අපි කාලාත් ඉවරය. අපිය කිව්වේ මාත්, මර්විනුත් දයානන්දත්ය. 
බේකරියකුත්, සිල්ලර කඩයකුත් කරන නිසා දයා අපේ tripවලට එන්නේ අඩුවෙනි. බොන්නෙත් අඩුවෙනි.

අඩෝ බක්කරයා, තොටත් එහෙනම් පස්සේ ආපු අඟ ලොකු වුණා?
“අඩෝ බක්කරයා... උඹටත් එහෙනං පස්සේ ආපු අඟ ලොකු වුණා! බොන්නත් නෑවිත් උන් එක්ක බතුත් කෑවා, අපිව හළලා. කැx වැඩ එපා බං.” 
“උඹල නං කියයි. මං ෂොට් එකක් දාගත්තා.... ආතල් එකේ නෑවා. මෙච්චර පිරිසිදු වතුර ටිකක්වත් හිතේ හැටියට නාගන්නේ නැතිනං ට්‍රිප් එන්නේ මොකටද මචං... නැද්ද නිමල් අයියේ.”
“ඔව්, ඔව්. උඹ ඉතින් එයාටම මුට්ටිය අල්ලපන්. තෝ හැම පක්ෂෙකටම sweeping දෙන එකානෙ. දැන් නිමල් අයියට පන්දම අල්ලනවා. අද රෑට set වෙනකොට මූව හළමු මචං.” 
“අනෙඃ, තියාගනින් උඹලගෙ අරක්කු. ඕව ලොකුයි ඉතින් බීම නොදැකපු එවුන්ට. 
-නිමල් අයියේ, ඔයා දන්නෙ නැහැ. අරූ ගමේ හැලි අරක්කු බිබී හිටි එකා. දැන් ලොකු වංශේ එව්වා විතරලු බොන්නෙ. අනේ හුxx!” දයා උත්තර දුන්නාම රණ්ඩුව ඇවිලෙයි. 
වහසි බස් එහා-මෙහා හුවමාරු වෙන්නේ ලොකු දබරයකදී වගෙය. කියන සමහර කතන්දර.......!

ඇතිවෙන fight ෆිල්ම් එකක වගෙය. ඇත්තටම නොවේ, බොරුවටය........
ඒ කතන්දරවලට වෙන මිනිහෙකු නම් මරාගෙන මිස පස්ස බලන්නේ නැත. 

“අපේ කඩේට හැම පක්ෂෙකම මිනිස්සු එනවනේ නිමල් අයියේ. ඡන්දේ දෙන එක වෙනයි. හැමෝම එක්ක හොඳින් ඉන්න එක වෙනයි. එහෙම නැතිව කොහොමද ගමක වෙළෙඳාම් කරන්නේ. මොකා හරි ඇවිත් පෝස්ටර් අලවන්න ස්වීපින් ටිකක් ඉල්ලුවොත් මම දෙනවා. මොකද බේකරිය අතුගාලා අහක දමන පිටිනේ. ආයිමත් ඒවායින් පාන් හදන්නයැ?” 
දයානන්ද මුදලාලි ඇඟපතින් ලොකුය. හොඳහිතින් ඊටත් වැඩිය ලොකුය. 
යහළුවන් මොනවා කිව්වත් හිනාවෙලා, සමහර වෙලාවට බොරුවට ගහන්නටම ගිහිල්ලා හිඳින කෙනෙකි. අනුන්ව බයිට් එකට ගන්නවාට වඩා bite වෙන එක්කෙනෙකි! 
ඔය, මේ වගේ එව්වා හින්දාමය එදා අපි වස්ගමුවේ පිවිසුමට එනකොට පහමාරත් පහුවෙලා තිබ්බේ. 
ඉතින් මෝඩකමට බෙහෙත් නැහැ කිව්වා වගේ, මඟදී වාහනය කැඩුණු බව කිව්වා විතරය.....

මැදපිටියට යන පාරත් හොඳ නැහැනේ. යද්දී වාහනේ ආයෙම කැඩුණා. මිස්ටර්ලා විතරක් නෙවෙයි අපිත් අමාරුවේ වැටෙනවා නේද? (මේ 2007 වසරේ ඒ පාරේ තත්ත්වයයි. දැන් හොඳය.)
“ඒකම ඇති මිස්ටර් ඔයාලව මේ හවස් වෙලාවේ මැදපිටියට නොයවන්න. කැඩිලා හදාගත්ත වාහනේම නේද යන්නේ. 
එහාට යන අතරේ හදිස්සියේ හරි ආපහු වාහනේ කැඩුණා. මිස්ටර්ලා ඔක්කොම ලොකු danger එකක වැටෙනව නේද?” 
අපට කට උත්තර නැතිව ගියෙත් නිදහසට කියූ බොරුව හින්දාය. 
ඒකම බූමරංගයක් වෙලා ආපිට කැරකිලා ආවේය. “Sorry, අද රෑට ගෙස්ට් එකක හරි නැවතිලා ඉඳලා හෙට උදෙන්ම එන්න. එතකොට මිස්ටර්ලට ඇතුල්වෙන්න දෙන්නම්!” 
කොච්චර ගමන්-බිමන් ගියත් අපේ නඩේ කාල කළමනාකරණය නිල්ය. 
එතකොට හැම වැඩක්ම හොඳටම පරක්කුවී කරන්නට; හැම වැඩකටම පරක්කුවී එන්නට, නම් දරා හිටි නිල් නායිකාව රටේ බලවත් තනතුරට පත්වෙලා තිබුණේ නැත. එහෙම වුණා නම් එදා ‘පරක්කුවෙලා ඇවිත්, අද කෙළවගත්තා ඇති නේද’ කියා ඇරඹුණු මගේ දෝෂාරෝපණ වැලට මෙහෙම උත්තරයක් ලැබෙනවා සිකුරුය. 
“යකෝ, අපි පොඩ්ඩක් පරක්කු වුණාම මොකද වෙන්නේ. බලහංකො, සැටලයිට් නෝනා පරක්කු වෙන විදිහ- පැය ගණන්!”

වමේ සිට- මහවැලියේ, මැදපිටියේ කොන්ක්‍රීට් අට්ටාල හා වවුල් දොර වැසිකිළිය.... මුලින් මේ අට්ටාලවලට නඟින්නට තිබුණේ යකඩ බම්බු ඉනිමඟක් විතරය. වම් කොනේ ඡායාරූපයේ ඈතින් එවැන්නක් පෙනෙයි. දැන් සිමෙන්තියෙනුත් පඩි බැඳලාය! 
අප ගියේ වස්ගමුව වනෝද්‍යානයේ මැදපිටිය කඳවුරු බිමේ නවාතැන් ගන්නට බලාගෙනය. එතකොට කවුදෝ භූතයෙකුගේ මනදොල සපුරන්නට මහා කැලය මැද්දේ එතැන සිමෙන්ති අට්ටාල ඉදිකොට තිබුණෙත් නැත. 

වැසිකිළියට යන අයගේ සරුවාංගයෙන් බාගයක් එළියට පෙනෙන විදිහට, වවුල් දොරවල් සහිත වැසිකිළි දෙකක් හදලා තිබුණෙත් නැතිය. 
කූඩාරමක් අටවාගන්නා වපසරියක- හතරැස් කොටුවක් වටේට, කළුගල් අත්තිවාරමක් විතරක් බැඳලා වැලි පුරවලා තිබුණේය.
එහෙම වුණත් ඒ නිස්කලංක, නොයිඳුල් කූඩාරම් භූමිය අප හැම දෙනාගේම හිත ඇදගත්තේය. කොච්චරද කියනවා නම් එක දිගට අවුරුදු 15ක්ම සිංහල අලුත් අවුරුදු උදාව සිදු වෙද්දී අප ඉඳලා තිබුණේ මැදපිටියේය. ඒ සැරෙන්-සැරේ නිවාඩුවක් ලැබුණාමත් එහාට ගිහින් තිබුණාට අමතරවය. 
(රාජමණි අංකල් අසනීපවූ නිසා අපේ නඩය මැදපිටියට ගිය පළමු ගමනය, මට මිස් වුණේ!).
අර කොන්ක්‍රීට් අටමඟල්වලට පින්සිදු වෙන්නට ඕනෑය. අපට කැවිලා තිබුණු ඒ මැදපිටි ඉනාවේ බලය නම් දැන් නැතිවෙලා ගිහින්ය.
තමන්ට රිදෙන විදියේ දෙයක් වුණාමය අපට ක්‍රිස්තියානි, බෞද්ධ, හින්දු, මුස්ලිම්කාරකම් මතක් වෙන්නේ!
කලින්ම මුදල් ගෙවා වෙන් කරගෙන තිබිලාත්, එච්චර පුරුදු තැනක් වෙලාත්, එදා අපට එහි යන්නට නොදීම- ඒ පාලක නිලධාරියාගේ නීතිගරුක බව පෙන්වීමකි; අපෙත්, වනජීවී නියාමකවරයාගේත් ජීවිත අනතුරකට ලක් නොකිරීමකි. 

ඒත් අපෙන් සමහරෙකුට ඒක පෙනුණේ ‘හම්බ කමක්’ විදිහටය. 
“දැක්කනෙ, office එකට යන්නත් කලින්ම ට්‍රැකර්කාරයා කිව්වේ, මේකා හෙණ නීතිකාරයා කියලා. දැක්ක නේද තම්බියාගේ ගතිය. මරක්කලයෝ ටිකක් ආවා නම් යසට යන්න දෙයි!” 
ඒ අපේ සිංහල ගතියයි. වැරැද්ද අපේ අතේ තියෙද්දී වෙනින් අයට වැරැද්ද පැටවීමට අප කැමතිය. 
“පේනවනේ නිමල් අයියේ, ඒකා හරියට dutyය කළාම තමයි ජාතියත් හොයන්නේ.” එක්කෙනෙකු කිව්වේ හෙමිහිටය. (අද කතාවේදී නම්-වනම් කියන්නේ ඉතාම සීමිත කිහිප දෙනෙකුගේ විතරය. නැතිනං මටත් වෙන්නේ මිතුරන් එක්ක පැටලෙන්නටය.)

දැන් ඉන්න සර් හෙණම නීතිකාරයා.... රූකඩයක් වෙන මිනිහෙක් නෙවෙයි!
“දැන් ඉන්න සර් හරි නීතිකාරයා.... මුස්ලිම්. අද නම් සර්ලට යන්න දෙන එකක් නැහැ. දැනටමත් හයයිනේ.” අපේ හිතවත් නියාමකවරයා හෙම්බත්වීගෙන පෙරමඟ බලා ඉඳලාම කිව්වේය. 
වස්ගමුව වනෝද්‍යානය අපේ ගම වගේ වෙනවාත් එක්කම, මැදපිටිය කඳවුරු බිම ගෙදර වගේ වෙනවාත් එක්කම එහි සේවය කළ කිහිප දෙනෙක්ම අපේ හිතවත්තු වූහ. 
එවැනි එක හිතවතෙකු වවුල්ඇබේ බංගලාවේ සේවය කරමින් සිටියදී සාහසික ලෙස ඝාතනය කර දමා තිබී සොයා ගැනිණි. 
අප වවුල්ඇබේ බංගලාවේ නැවතී උන් දිනවල බංගලාවේ භාරකරු ලෙසින් කටයුතු කළ ඔහු ගී කීමට විතරක් නොවේ නටන්නටත් රුසියෙකි. 
“එයා ගමේ මිනිස්සුත් එක්ක මොකක්ද හුටපටයක් හදාගෙන. ගෑනු කේස් එකක්ය කියලත් කියනවා.... බංගලාවේ කවුරුවත් නැති දවස්වල ගඟෙන් එගොඩ වෙලා ගමටත් යනවලු... ගමේ මිනිස්සුත් එනවලු, බීලා පාටි දාන්න.... එහෙම ගිහින් තමයිලු වැඩේ දෙල් වෙලා තියෙන්නේ.”

පස්සේ අපට ආරංචි වුණේ ඒ මිනීමැරුම ....
පස්සේ අපට ආරංචි වුණේ එහෙමය.
වස්ගමුව වනෝද්‍යානයේ එක මායිමක් වෙන් කෙරෙන්නේ මහවැලි ගඟෙනි. වවුල්ඇබේ බංගලාව හා කඳවුරු බිමත්, මහවැලි- හතරමංහංදිය කඳවුරු බිමුත් තියෙන්නේ මහවැලි ගං ඉවුරේමය. 
එහෙම නිතර යන-එන නිසා හඳුනන; සහයෝගී; ප්‍රසන්න ට්‍රැකර් කෙනෙකුට කල් ඇතිවම අපේ පැමිණීම දන්වා තියන පුරුද්දකුත් අපට තිබෙයි. එහෙම කරන්නේ සමහර වෙලාවට මෙලෝ රහක් නැති නියාමකවරුන්ද හමුවී තියෙන නිසාවෙනි. 
“සර්ලට අද රෑ නවතින්න තැනක්.....” අපේ හිතවතාගේ හිතට හරි නැත. එදා, මනුස්සයා කල්පනා කළේම අපට නවතින තැනක් සොයා දෙන්නටය.
ඒ කාලයේ හුඟක් දවස්වලට වල්අලි ගම වදිමින් හිටියෝය. 
“ සර්ලා නං සල්ලිත් වියදම් කරගෙන අලි බලන්න කැලෑ වදිනවා. ඊයෙත් රාත්තිරියේ ආං අලි රංචුවක්ම ගමට පැනලා. ගෙදරක බිත්තියකුත් කඩලා, අටුවේ තිබුණු වී ටික බීලා!”
වස්ගමුවේ අලි වරින්-වර ගම් වදින්නේ විදුලි වැටවල් පවා තිබියදීය...... (foto- මිෂාන් රන්දික)
වී බොන්නේ කොහොමද කියලා මං දැනගත්තේ, අතරමඟ තේ කඩයේදී ඒ කතාවෙ සුල-මුල හෙව්වායින් පස්සෙය.
“ඒක නං බලන්න ලස්සනයි සර්. වී ගොඩට හොඬවැල තියලා ‘හූස්’ ගාලා අදිනවා විතරයි. විනාඩි ගණනයි යන්නේ. වී ගොඩ ඉවරයි. වැඩේ කියන්නේ සර්, වෙඩි තියන්නත් තහනම්නේ. අලින්ට අපිව මරන්න පුළුවනි.... අපිට අලි මරන්න තහනම්....” 
“මේ දවස්වල ඔයා අපිට තැනක් හොයලා දෙන්න ආවත් තනියම එපැයි, ආපහු එන්න. රෑ වෙද්දී අලිත් පාරට බහිනවනේ. අපිට එච්චර ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. 
-සැරේකුත් අපි හොඳටම රෑ වෙලා ඇවිත් නැවතුණු  පන්සලකුත් තියෙනවා. ඇබිත්ත කොල්ලත් අපි එක්ක ඉන්නවනේ....ඌ හාමුදුරුවොන්ව ෂේප් කරගනියි....” 
ඒ ඇනුම් පදය මටය; මා අවුස්සන්නටය. 
“ඔව්, ඔව්. මම මේ දැන් ඉඳලම ප්‍රැක්ටිස් කර-කර ඉන්නේ, හාමුදුරුවන්ට පසඟ පිහිටුවලා වඳින්න!”
එවන් තැන්වලදී මං ඉස්සරහට යන්නේ හාමුදුරුවන් වහන්සේ සමඟ.........
“කවුද ඩෝ අපේ නිමල් සහෝදරයට පාට් දාන්නේ? ඔව්වා ගණන් ගන්න එපා රත්තරන් අයියේ, කොහාටද දැන් අපි යන්නේ?” 
වනජීවී නියාමකවරයාට සමුදීලා අපි පාරට වැටුණෙමු. “කෝ ඉතින් තාම කිව්වේ නැහැනේ. කොහාටද යන්න ඕනේ?” 
‘ඕනේ මඟුලක!’ නැති තරහක් මවා පෙන්නුවත් පාර කියන්නෙත් මං වහන්සේමය. හදිසි අවස්ථාවලදී මං ඉස්සරහට යන්නේ උපුල් සාන්ත සන්නස්ගල මහත්තයා මට කියා ඇති විදිහට නම් ‘නිමල්ගේ මුස්ලිම් talk එක’ දාන්නටය. 
සුනාමියක් එනවා කියා පණ කඩාගෙන වැලිකන්දේ පන්සලට දිව්ව දවසෙත් ‘ඒ ශිල්පෝපක්‍රමය’ තිතට වැඩ කළා මතකයි නේද? 
අප ගියේ හඳුන්ගමුවේ ඥාණේශ්වර පිරිවෙනටය. වස්ගමුව වන උයනේ පිවිසුම් ගේට්ටුවේ සිට විනාඩි දහයක්-පහළොවක් තරම් දුරකිනි, ඒ පිරිවෙන තියෙන්නේ.
ආවාස ගෙයට යන්නට වෙන්නේ මටය; වඳින්නට වෙන්නේ මටය. එහෙම කරලා එද්දී..........
“අවසරයි අපේ හාමුදුරුවනේ.....” ලොකු හාමුදුරුවන් වහන්සේට කතා කරන්නට ආවාස ගෙට යන්නට වෙන්නේ මටය. 
වඳින්නට වෙන්නේ මටය. අනෙක් එවුන් මෝල්ගස් ගිලගෙන ඉන්නා හින්දා කොන්ද නැමෙන්නේ නැත. 
“ඔයා විතරක් ගියාම ඇති නිමල් අයියෙ! මෙච්චර රෑ වෙලා අපි සේරම ආවොත් හාමුදුරුවෝ බය වෙයි ත්‍රස්තවාදියෝ ආවයි කියලා.” 
“තමුසෙලත් එන්නෙ නැත්තං ඔන්න මම යන්නෙත් නැහැ!” 
එහෙම වෙලාවට එයාලාව අවුස්සන්නට මමත් රඟමි. “පිස්සු නටන්න එපා නිමල් අයියේ. දැනටත් පන්සලේ අය බලාගෙන ඇති, වාහනයක් ආවට මොකද මිනිස්සු එළියට බහින්නෙ නැත්තේ කියලා. ඔයාට ගිහින්...” 
එහෙම කියලා මාව පිටත් කළත්, නවතින්නට අවසර රැගෙන එද්දී ඒවා වාෂ්ප වෙලා ගිහින් මාව පාච්චල් කරන- යකා ආවේශ කරවන කතන්දර එළියට පනියි. හැමදාම එහෙමය.
.... කේන්ති ගැස්සිල්ල කවදාවත් වෙනස් වෙන්නේ නැතිය. මං වෙනස් වෙන්නෙත් නැතිය!
කවදාවත් උන් හැදෙන්නෙත් නැත; මං හැදෙන්නෙත් නැත. 
ආවාස ගෙදරට ගොඩ වැදෙනකොටත් ලොකු හාමුදුරුවන් වහන්සේ මා හඳුනාගෙන අහවරය. “අවසරයි අපේ හාමුදුරුවනේ!” 
අපේ දේශපාලන උපාසක ලොක්කන් පන්සල්වලදී හැසිරෙනවාටත් වැඩිය සාන්ත-දාන්තය, එහෙම වෙලාවට නිමල් දිසානායකගෙ ඇවතුම්-පැවතුම්! 
මම දණ බිම ඔබා වැඳ වැටෙන්නෙමි. 
එහෙම වෙලාවට පන්සල්වල උන්නාන්සේලාත් හැසිරෙන්නේ මවුකිරි බීලා හැදුණු අය වගේ නොවේය. පට්ට අහිංසක තාලෙටය. 
එන උපාසකයා කීදෙනෙකු මරලා තිබුණත්; ගැහැනු සීයක් දූෂණය කරලා තිබුණත්; මහා දවාලේම ඇවිත් නිදන් හාරලා තිබුණත්; රටටම රහසක් නොවෙන්නට හොර ජාවාරම් කරලා තිබුණත් කමක් නැත. 
උන් දෙන දොළ පිදේනි භාරගනියි; පිරිත් නූල් බඳියි; තවත් වෙලාවට සධාතුක කරඬුවකුත් හිස මුඳුනේ තියයි.
හුඟක්ම වෙලාවට කුල දේවතාවුන්නාන්සේලාත්, උපාසක-උපාසිකාවනුත් කරන්නේ එකිනෙකා රවටාගැනීමය!
දෙගොල්ලන්ම කරන්නේ අනෙකාව රවට්ටන එකය. 

මගේ නසරානි ගතිය නිසා එහෙම හිතනවා වුණත්, එදා ඒ ලොකු හාමුදුරුවන් වහන්සේ නම් කළේ එවැනි රැඟුමක් නෙවෙයි වෙන්නැති.  
“ආ..... පොත් ගෙනාව මහත්තයානේ.... අදත් රෑ වුණාද මහත්තයෝ. කාරි නැහැ, කාරි නැහැ. පාලුවට තියෙන බණ මඩුව ගෙවෙන එකක්යැ මහත්තයලා රැයක් නිඳාගත්තට. 
-ගිය වතාවෙත් මං එපා කියද්දී මහත්තයල සල්ලිත් දීලා ගිහින්, ආයෙම එද්දි පොත් වගේකුත් ගෙනාවේ, දහම් පාසලට. මට මතකයි...” 
“එහෙයි හාමුදුරුවනේ.” 
“එතකොට මහත්තයල නවතින එකේ ප්‍රශ්නයක් නම් නැහැ. ඒත් මහත්තයලට අද රෑ කෑම....”
“එදා වගේම අපට උයාගන්න පුළුවන් හාමුදුරුවනේ, පන්සලේ කුස්සියේ උයාගන්නේ නැතිව බණ මඩුවට එපිටින්..............”
පන්සලේ කුස්සියේ නැතිව, බණ මඩුවට එපිටින් ළිපක් හදාගෙන අපේ කෑම ටික.....
එහෙම වෙලාවට ටිකාක් තාවර වෙන එක විතරය කරන්නට තියෙන්නේ. 

“ඔව් ඉතින් අපි තවමත්, පන්සලේ කුස්සියට මස්-මාළු-පිළිහුඩු ගන්නෙ නැහැ මහත්තයෝ. එහෙම හොඳයි.... මොකුත් අඩුපාඩුවක් තියෙ නං, මේ සුමන පොඩි උන්නාන්සේගෙන් ඉල්ලා ගන්න බැරියැයි. පොඩි තැන ... ගෙහුං මේ මහත්තැන්ලට පොඩ්ඩක් උදව් වුණා නං.....” 
‘සුමන’ කියලා ලිව්වාට මට උන්නාන්සේගේ නම නම් අමතකය! 
සමහර වෙලාවට උන්නාන්සේටත් ඒ නම අමතක වෙලා වෙන්නටත් පුළුවන්ය.
කලින් වතාවේ අපට එහි යන්නට වුණේ හොඳටම රෑ බෝවී තිබුණු හින්දාය. ඒ එහි ගිය මුල් වතාවයි. 
“උයාගන්න නං කුස්සිය පාවිච්චි කරන්න පුළුවනි මහත්තයෝ. ඒත් අපි එහාට පිළිහුඩු ජාති වද්දගන්නේ නැහැ.” ලොකු හාමුදුරුවෝ කියූහ. ඒ කතාව මට මතක තිබිණි.

අපේ කට්ටියෙ සර්දාවට වඩා මගේ බුරාපැනිල්ල බලවත් වුණු නිසා........
අපේ කට්ටියගේ ශ්‍රද්ධාවට වඩා මගේ බුරාපැනිල්ල බලවත් වුණු හින්දා ඒ වතාවේ වැව ළඟදී, පාරෙන් එහා පැත්තේ තිබෙන වෙල්යායේ නියරක් මත ළිපක් හදාගෙනය කුකුළු මස් උයා ගත්තේ. 
මේ වතාවේ? මෙදා පාර අප ලග්ගලෙන් අරගෙන ගිහින් තිබුණේ වල් ඌරු මස් වගයකි. වගයකුත් නොවේ; තොගයකි! 
දැනුත් තියෙනවාද කියලා නම් නොදනිමි. ඒ දිනවල නම් ලග්ගල නගරයේ පාර අද්දරම........