අකුරු මැකී නෑ

Thursday, July 29, 2021

හිනා වෙන්න හිනා - නවවෙනි කොටස

ඔන්න කියනවා ඩෙල්ටා ප්‍රභේදයත් රට වටේම ගිහින්....

ඒ වාතෙ යන වෙලාවට මිස්ටර්ට ගඳක් දැනෙන්නේ නෑ කිව්වනේ...
මිස්ටර්! මෙච්චර වෙලා කාමරේ ගඳ ගහන-ගහන සැරේට ඒක ඉවසගෙන ඉඳලා; කුණු බිත්තර ගඳ උහුලාගෙන ඉඳලා දැන් මට ඔළුවේ කැක්කුමකුත් හැදිලයි තියෙන්නේ.... ඔහොම ගඳකුත් නොදැනෙන්නේ මිස්ටර්ගේ නාසයේ; ආඝ්‍රාණ පද්ධතියේත් බරපතල ආබාධයක් තියෙන නිසා... එතකොට ලෙඩ දෙකයි.

වාතෙ පිටවෙන එකත් එක්ක ලෙඩ තුනයි. ලෙඩ තුනෙන් කොයිකටද ඉස්සෙල්ලම බෙහෙත් කරන්න ඕනේ?” 

මතකයි නේද පහුගිය කොටස එහෙම ඉවර කළා.

කොයි කාට වුණත් හොඳ මතකයක් හිටින්නේ කොහොමද, මිහිතලවාසී හැම-සියලු දෙනාම ‘කොරෝනා’ නිසා හොඳටම අන්ද-මන්ද වෙලා ඉඳිද්දී.
දැන් හැමෝම එකතුවෙලා එක විදිහක සටනක ඉන්නේ මේ වසංගතේට එරෙහිව. ඔන්න කියනවා ‘ඩෙල්ටා ප්‍රභේදය’ත් රට වටේම ගිහින් වගේලු!
‘පිම්බුවාට බඩ - මල්ලි, ගෙම්බගෙ නෑ හැඩ
දැම්මොත් බොරු ලෙඩ - මල්ලි, අතින් පයින් වැඩ’ බයිලාව මතකද? දැන් ඒක සොබා දරුමයා විසින් ‘හෝමෝ සේපියන් අපිලාට’ කියනවා වගෙය කියලයි මට හිතෙන්නේ.

කොරෝනාවට විසඳුමක් හොයා ගන්නත් ඉස්සෙල්ලා, තව-තව ප්‍රභේද පැතිරෙන්න පටන් අරන්නෙ, පරෙස්සමෙන් හොඳේ...

යුතුකමක් කෙරෙන්න තියෙන වෙලාවක පස්ස ගහන්නේ නැති එකයි එඩිතරකම; වීරකම! (තංගල්ල ගුරු උද්ඝෝෂණයේදී....)

ඉතිං මොනවද ‘පුංචි සිඤ්ඤෝලා-  සිම්පල් සයිමන්ලා’ වෙන අපට දැන් කරන්න ඉතිරි වෙලා තියෙන්නේ?

අපට රෝගය බෝ නොවෙන විදිහට වගේම, තව අයට රෝගය පැතිරෙන්නේ නැති වෙන විදිහට කටයුතු කිරීම. ඒක මනුස්ස සංහතිය වෙනුවෙන්ම කෙරෙන යුතුකමක්!
යුතුකමක් කෙරෙන්න තියෙන වෙලාවක පස්ස ගහන්නේ නැති එකයි එඩිතරකම; වීරකම!

පෞද්ගලිකව ගන්නවා නං, මං වඩාත්ම විශ්වාසය තියාගෙන ඉන්නේ ‘මගේ සිරුරෙන්ම ඇතිවෙන ප්‍රතිශක්තිය’ ගැනයි. එන්නත් දෙකම විදපු අයටත් කොරෝනා හැදුනයි කියනවනේ....
ඉඟුරු- කොත්තමල්ලි- තිප්පිලි බැදලා කුඩු කරගෙන, වෙනිවැල්ගැට කුඩුත් එක්ක කලවම් කරලා තියාගෙන... තේ වගේ හදලා බොන එක හුඟාක් හොඳයි වගේ; මට නං!

මේවා වගේම හරිම බලවත් බෙහෙතක් තමයි ‘ආත්ම විශ්වාසය’... චිත්ත ශක්තිය!
සතුටින් සිටීම.

ඒකට උදව්වක් වෙන්නයි, මේ වකවානුවේදී ‘හිනා වෙන්න හිනා’ පොත ඉදිරිපත් කරන්න හිතුවේත්.
මේ දවස්වල හිතාදර සහෘද blog අඩවිවලත් මනස සැහැල්ලු කරන දේවල් වැඩියෙන් ලියවෙනවා, Comments හැටියටත්...
D.G.M. බස්සා මහත්තයාගේ ‘බකමූණු කතා’ බ්ලොගයේ තිබ්බා
‘හිතේ ඇඳුනු කෙටි කතාවක්’ කියලා පෝස්ටුවක්.

‘ඔරිජිනල් රියල් ඩ්‍රැකී’ ඒකට එවපු කමෙන්ටුවේ තිබ්බ රස වෑහෙන කතාවක් මේ.

ටීචර්ට මාර ගැටලුවක් මේ ඩ්‍රැකී පැට්ටාගේ රචනාව ගැන.

‘ඩුප්ලිකෙට් ඩ්‍රැකියාගේ පුතණ්ඩියාගේ පන්තියේ ටීචර් කිව්වාලු ළමයින්ට ඇට සැකිල්ල ගැන රචනාවක් ලියාගෙන එන්ඩ කියලා. මුලින්ම ඩ්‍රැකී පැට්ටාට කිව්වා තමන් ලිව්ව රචනාව පන්තියටම ඇහෙන්න කියවන්න කියා.

"මේක අපේ පරම්පරාවෙන් එන දෙයක් කියලා අම්මා කීවා. මේක සීයාටත් තිබුණාලු. අපේ තාත්තාටත් තියෙනවා. ළඟදි ඉඳන් අපේ අයියාටත් තියෙනවා. අම්මා කිව්වා, මම තාම පොඩි හින්දයි නැත්තේ- ලොකු වෙනකොට ඒවි කියලා... අම්මයි අක්කයි ගෑනු හින්දා මේක නෑ."

ටීචර්ට මාර ගැටලුවක් මේ ඩ්‍රැකී පැට්ටාගේ රචනාව ගැන. ටීචර් පොඩි එකාගේ කණ මිරිකලා ඇහුවා
"ඈ බොල මේ මොකක් ගැනද කියන්නේ".
පොඩි එකා අඬ-අඬ කිව්වා "ඇයි ටීචර් බෝඩ් එකේ දැම්ම එක ගැනයි ලිව්වේ".

ටීචර් බෝඩ් එක දිහා බැලුවා. ටීචර් ඔළුවේ අත ගහගත්තා. බෝඩ් එකේ ලියලා තියෙන්නේ ‘ඇට කැසිල්ල’ කියලා....”

ඒ ‘කැසිල්ලේ’ කතන්දරේ කියවපුවාම මට නං හිනාව ඉස්පොල්ලෙත් ගියා, ඕං!
ඒකෙන් කමක් නෑ.... ඔන්න පොතෙන් තවත් ටිකක්...

57. ඒක සිම්පල්!

“මෙච්චර කාලයක් අපි දෙන්නා බොහොම සාර්ථක විවාහ ජීවිතයක් ගත කළේ කොහොමද කියලයි හැමෝම අහන්නේ.... ඒක එච්චර දෙයක් නෙවෙයි...” ඔහු කියාගෙන ගියේය.

“.... මම වැරදියි කියලා තේරුණු හැම වෙලාවේම, මම වැරැද්ද පිළිඅරන් සමාව ඉල්ලුවා....” ඔහු හුස්මක් ගත්තේය.

මෙහෙම හිටියට මං කුමාරිකාවක්! නපුරු රාස්සයෙක් මාව ගෙම්බියෙක් කෙරුවා....

“... මගේ හාමිනේත් එහෙමයි.... එයා වැරැද්දක් කරපු හැම සැරේම මට සමාව දුන්නා!” මහාචාර්යවරයා තම මිතුරන්ට කියා දුන්නේය.

58. ගෙඹි කුමාරිකාව

කරටිය කැඩෙන්නම බීපු මහත්තයෙක් දවසක්දා පොද වැස්සෙම, බාර් එකෙන් එළියට බැස්සා. දැන් මහත්තයට පොද වැස්ස නෙවෙයි මුරුගසං වැස්ස වුණත් ගණනක් නැති තරං. ඔහොම එද්දි, පාාාාාාළු මණ්ඩියකදී මෙන්න බොලේ මහත්තයට ඇහෙනවා සද්දයක්.....!

“ෂ්.. ෂ්... මහත්තයා....”

මහත්තය ඉස්සරහ බැලුවා... කවුරුවත් නෑ. පිටිපස්ස බැලුවා... ඒත් කවුරුවත් නෑ. පාරේ වම් පැත්තේ- දකුණු පැත්තේ දෙකේමත් කවුරුවත්ම නෑ.
ඒ වුණාට මෙන්න බොලේ, අයෙමත් අර සද්දෙ!

“ෂ්.... ෂ්.... මේ මෙහෙ... මම ....”

බීලා වැඩි වෙලා හින්දද කියල හිතලා මහත්තයා කොනිත්තා ගත්තා. ‘රිදෙනවා! එච්චර වෙරි නෑ.’ එයාම හිතා ගත්තා.

“මම.... මම... මම මෙහෙ.”

මහත්තයා දකුණු අතේ මැදඟිල්ල දිහා බැලුවා. ඒක නං දෙක වෙලා පේනවා. එහෙම පෙනුණට මෙහෙම සද්ද ඇහෙන්නේ කොහොමද?

“මේ මෙහෙ!”

හීනි ලස්සන ගෑනු කටහඬක්. මහත්තයා දැනුයි දැක්කේ... පුංචි ගෙම්බියක්....! කතා කරන ගෙම්බියක්...!!

“උඹද මේ කතා කළේ?”

“ඔව් මහත්තයා...”

මට හාද්දක් දුන්නොත් මට පුළුවන් ආපහු...

“අම්මට සිරිගජ! මේ ගෙම්බිට කතා කරන්නත් පුළුවන්නෙ...” මහත්තයාට කියවුණා.

“ඔව්, ඔව්. මට කතා කරන්නත් පුළුවන්.... තව ගොඩාරියක් දේවලුත් පුළුවන්!” ගෙම්බි කිව්වා.

“ඉත්තිං..... ඉ..ත්....තිං?” මහත්තයා වැනි-වැනී ඇහුවා.

“මට පුළුවන් මහත්තයා හීනෙකින්වත් නොහිතන දේවල් කරන්න. මෙහෙම හිටියට මං කුමාරිකාවක්! නපුරු රාස්සයෙක් මාව ගෙම්බියෙක් කෙරුවා....
මහත්තයා මාව වඩාගෙන මට හාද්දක් දුන්නොත් මට පුළුවන් ආපහු රාජ කුමාරිකාවක් වෙන්න. එතකොට මට පුළුවන් මහත්තයට ආාාාාදරෙන් සලකන්න...
උයල-පිහල දෙන්න.... ගෙදර-දොරේ වැඩ ටික ඔක්කොම කරලා දෙන්න...” එහෙම කියලා ගෙම්බි පැන-පැන මහත්තයා ළඟට ආවා.

මහත්තයා එක පාරටම ගෙම්බිව අල්ලලා සාක්කුවේ දාගෙන, ගෙදර යන්න පටන් ගත්තා.

“ඔය මොකද කරන්නේ? මාව ඉඹලා හාද්දක් දෙන්න..... එතකොටයි මං කුමාරිකාවක් වෙන්නේ....” ගෙම්බි හයියෙන් කෑ ගහලා කිව්වා.

“පිස්සුද ගෙම්බියේ.... උඹ හිතුවද මම එච්චරටම මෝඩයෙක් කියලා. කුමාරිකාවෝ, ගෑනු, වැඩකාරියෝ ඕනෑ තරං හොයා ගත්තැකි. ඒ වුණාට කතා කරන ගෙම්බියෙක් කොහෙන් හොයා ගන්නද? උඹව පෙන්නලා මට තව-තව දේවලුත් හොයා ගන්න පුළුවන්... තේරුණාද?”

මහත්තයා එහෙම කිව්වාමයි, ගෙම්බිට එයා වැටිච්ච අමාරුවෙ තරම තේරුණේ!

ඒකාකාරී විදිහටම ලිංගික කටයුතුවල යෙදිලා... (සුනඛ පූට්ටුවක foto එකක් මෙතනට නොදා හංස පූට්ටුවක් දාන්නෙ ඒක ඊට වඩා කලාත්මක නිසා!)

59. සුනඛ පූට්ටුව

සමරසිරි කසාද බැන්දේ හය මාසයකට විතර කලින්. සමරසිරිගේ බිරින්දෑ; සුජාතාත් අපරාදේ කියන්න බෑ හොඳ ගුණ-යහපත් හැදිච්ච කෙල්ල. සමරසිරිට නං සුජාතා උපාසිකාවක් වගේ වීම ගැන හිතට හරි නෑ.
කසාද මනුස්සයා වුණාට මොකෝ, සමරසිරි ඉස්සරහ පිට ඇඳුමක් මාරු කරන්නවත් සුජාතා කැමති නෑ. ඒ තරමට හැදිච්චිකම!

බැඳලා හය මාසයක් වෙලත්, හැමදාම බොහොම ඒකාකාරී විදිහටම ලිංගික කටයුතුවල යෙදිලා සමරසිරිට ඇති වෙලා! දන්නවනේ, තරුණ සැමියෙකු වුණාම, එක-එක විදිහේ ආසාවල් ඇති වෙනවනේ....

සමරෙගෙ හිතෙත් දැන් ලොකු ආසාවක්!

ඒත් ප්‍රශ්නේ තියෙන්නේ ඒකට සුජාතා කැමති වෙයිද කියන එක. අනික, ඕක කොහොමද සුජාතාට කියන්නේ? ඒකට හොඳ විදිහක් සමරෙගෙ ඔළුවට එන්නෙම නෑ.

ඔහොම ඉන්දදී ඔන්න අපූරු පොටක් පෑදුණා.
සමරෙගෙ ගෙදර පිළිකන්නේ සුනඛ ජෝඩුවක් සංසර්ගයෙ යෙදිලා!

ඉක්මනට සුජාතාව ඇදගෙන ආව සමරසිරි, ජනේලයෙන් සුජාතාට බලු ජෝඩුව පෙන්නුවා.

එදා ඉඳලා සුජාතාට නිවනක් නෑ. උදේ- දවල්- රෑ හැම තිස්සෙම සමරසිරිගේ කංකෙඳිරිය ‘අනේ අපිත් අර විදිහට ඉමුකො!’ කියා-කියා.

ඉවසල- ඉවසලා බැරිම තැන, ඔන්න සුජාතා සමරසිරිට කැමැත්ත දුන්නේ මෙහෙම කියලයි.

“තමුසෙට ඕනි විදිහකට, ඕනි මඟුලක් කර ගන්නවා. හැබැයි අර බල්ලා බැල්ලිට කළා වගේ මාවත් කෑ ගස්ස- ගස්සා ගෙදර වටේ ඇදගෙන දුවන්න නං බැහැ ඕං! මිනිස්සු දකියි...”

කොච්චර ලොක්කො වුණත්, ඔන්න දැන් හැන්දෑවට පාර්ලිමේන්තු  ක්‍රීඩාංගණයේ දුවනවා.

60. වාසනාවන්තයා

“ආදරය කරලා ජීවිතේ වාසනාවන්ත කර ගත්ත කෙනාට කියන නම දන්නවද?”

“අපොයි ඔව්, අවිවාහකයා!”

61. කවුද හරි?

දැන් හැමෝටම දියවැඩියාව, අධික රුධිර පීඩනය එහෙමත් නැත්තං කොලෙස්ටරෝල්! එක්කෝ ගැස්ට්‍රයිටිස්.... මොනවා හරි ලෙඩක්! දොස්තරලටත් ඔව්වයෙන් බේරෙන්න බැරිකොට අනිත් අය ගැන කියන්න දෙයක් නැහැනෙ.

වෛද්‍ය විශේෂඥ මහත්තුරුන් දෙන්නෙකුටත් කොලෙස්ටරෝල් වැඩි නිසා යහමින් ව්‍යායාම කරන්නයි, කෑම-බීම පාලනයකුයි කරන්න වුණා.
එක්කෙනෙක් මොළය පිළිබඳ විශේෂඥයෙක්.
අනිත් එක්කෙනා ළමා රෝග පිළිබඳ විශේෂඥයෙක්.
කොච්චර ලොක්කො වුණත්, ඔන්න දැන් දෙන්නම හැමදාම වගේ හැන්දෑවට පාර්ලිමේන්තු  ක්‍රීඩාංගණයේ දුවනවා.

එදත් ඔන්න දෙන්නම දුවනවා... බොහොම හෙමිං-හෙමිං දුවලා හති වැටුණම නැවතිලා, පොඩ්ඩක් කතා කර-කර ඉන්නවා. ඔහොම කතා කරන අතරේ ඈත කළුවරෙන් මතු වෙච්චි මනුස්සයෙක් බොහොම අසාමාන්‍ය විදිහට ඇවිදිනවා මෙයාලට පෙනුණා.

“අන්න...පේනව නේද පුංචි කාලේ කලට-වෙලාවට පෝලියෝ ඉන්ජෙක්ෂන් එක විද්දේ නැතුවම වෙන දේ! මිනිහට පුංචි කාලෙදිම පෝලියෝ හැදිලා. ඒකයි මිනිහා ඔහොම ඇවිදින්නේ...” ළමා රෝග විශේෂඥයා මිතුරාට කිව්වා.

“ඒක නං වෙන්න බෑ ඩොක්ටර්... මට පෙනෙන විදිහට ඕක මොළයට වෙච්ච හානියක්.
අපේ ශරීරයේ අවයව ක්‍රියා කරවන්නේ මොළයෙන්. මොළයට මොකක් හරි ක්‍රමේකින් පුංචි හානියක් වෙච්ච නිසා තමයි මිනිහා ඔය නුහුරට වගේ ඇවිදින්නේ...”

එක්කෙනෙක්වත් අනෙකාගේ මතය පිළිගන්න ලෑස්ති නෑ! 

දොස්තරලා දෙන්නම දැන් තම- තමන්ගේ මතයම තහවුරු කරන්න කරුණු ඉදිරිපත් කරනවා. එක්කෙනෙක්වත් අනෙකාගේ මතය පිළිගන්න ලෑස්ති නෑ!

“අපි මිනිහගෙන්ම අහමු!”
එක්කෙනෙක් යෝජනා කළා. අනෙක් එක්කෙනත් එකඟ වුණා. දෙන්නම ඉක්මනට අර මනුස්සයා ළඟට දිව්වා.
එතකොටත් මිනිහා අර විදිහටම හෙමි-හෙමීට යනවා.

“මේ... මේ. අපිට පොඩි කාරණයක් තියෙනවා දැන ගන්න. කරුණාකරලා කියනවද, පුංචි කාලේ ඔහෙට පෝලියෝ හැදුණද කියලා.” ළමා රෝග විශේෂඥයා ඇහුවා.

“මහත්තයට ඔල්මාදද? මට පෝලියෝ හැදිලා නෑ.”

දැන් මොළය පිළිබඳ විශේෂඥයාගේ කට කනේ!

“ඒකනෙ මං ඩොක්ටර්ට කිව්වේ... මේ උන්නැහේ, ඔහේගේ මොළයට මොනවා හරි වුණානේ...?”

“මගේ නෙවෙයි, මහත්තයාගේ මොළේට නම් මොනවා හරි වෙලා. නැත්තං මෙහෙම පයිත්තියං කතන්දර කියාවිද?”
මිනිහා යන්නයි ලෑස්තිය.

“නෑ... නෑ. තරහ ගන්න එපා. අපිට එහෙනම් වැරදිලා. අපි දෙන්නා ඔහේ නුහුරට ඇවිදින විදිහ දැකලයි, එහෙම වෙන්න හේතුව හිතන්න ගත්තේ....” දොස්තරලා කිව්වා.

ඔයා තමයි මේ ලෝකෙ ඉන්න ලස්සනම, නුවණක්කාරම කෙල්ල!

“එහෙම කිව්ව නං ඉවරයිනෙ මහත්තයෝ... ඔන්න, මහත්තයලත් ඇත්තම කිව්ව නිසයි මේ කියන්නේ.

අද දවල් කාපු මොනවා හරි අජීරණ වෙලා, හිටි ගමන් බඩ පෙරළෙන්න ගත්තා. පොල් මුඩ්ඩක් ගහගන්නයැ මහත්තයෝ? අර පඳුරු ගොල්ලට ගියා.
වතුර ටිකක් තියෙන තැනක් හොය-හොයයි මේ යන්නේ, ජරාව සරමේ නොගෑවෙන විදිහට.” මිනිහා උත්තර දුන්නා.

62. සුපිරි කෙල්ල

“ඩාලිං ඔයා තමයි මේ ලෝකෙ ඉන්න ලස්සනම, නුවණක්කාරම කෙල්ල!”

“අනේ යන්න. මං එහෙමම නොවුණත් ඔයා ඔහොමම කියනවා නේද?”

“ඔයාට තේරෙන්නෙ නෑෑෑෑෑනෙ... මං එහෙම නොකිව්වත් ඔයාාාා එහෙම නේද හිතන්නේ?”

63. නිඳා ගැනීම

එම චිත්‍රපට ශාලාවේ තිරගත වෙමින් තිබුණේ අලුත්ම සිංහල චිත්‍රපටයකි. පෙරේරා තම අසුනේම වාඩිවී නිඳා ගත්තා පමණක් නොව මහ හඬින් ගොරවන්නටද විය.

“මේ හලෝ, මෙතැන නිඳා ගන්නේ නැතිව නැඟිටිනවා.... තමුසෙගෙ ඔය ගෙරවිල්ල බොහොම සද්ද වැඩියි!” අසල අසුනේ සිටි තැනැත්තා ඉමහත් කේන්තියෙන් යුතුව පෙරේරාව ඇහැරවා කීවේය.

“නිඳා ගන්නේ නැතිව මේ කසිකබල් දහ ජරාව බලන්නද තමුසෙ මට කියන්නේ?” පෙරේරා ඇසුවේය.

“කවුද තමුසෙට එහෙම කරන්න කිව්වේ? මං කිව්වේ, තමුසෙ ඔච්චර සද්දෙට ගොරවනකොට මම කොහොමද නිඳා ගන්නේ කියලයි.”

හැබෑද කාන්තාවන්ගේ මුඛයේ ප්‍රමාණයයි, ලිංගේන්ද්‍රියේ ප්‍රමාණයයි දෙකම...

64. නියම සයිස් එක

කාලයිල් කුරේරා විධායක නිලධාරියෙකි. ඔහුගේ ලේකම්වරිය වූ ටාරා රූමතියක් වුවද මහ හඬින් කතා කරන්නියකි. මේ හඬ නඟා කෙරෙන කතාව කාලයිල්ට හිසරදයක් වූයෙන් ඔහු ඒ සඳහා පිළියම් සොයමින් සිටියේය.

හිතවත්ම මිතුරෙකුට මේ බව පැවසූ විට, ඔහු නොවරදින ගුරුකමක් කියා දුන්නේය.

ඒ අනුව කාලයිල් කුරේරා අතිශය කුළුපග බවක් පෙන්නා, ටාරාගෙන් ප්‍රශ්නයක් විමසුවේය.

එදා සිටම ටාරා මුව මඳක් විවර කර ඉතා සෙමින්- සෙමින් කතා කරනවා විනා හඬ නඟා කතා නොකළාය.

කාලයිල් ටාරාගෙන් විමසුවේ එකම එක ප්‍රශ්නයකි

“හැබෑද ටාරා කාන්තාවන්ගේ මුඛයේ ප්‍රමාණයයි, ලිංගේන්ද්‍රියේ ප්‍රමාණයයි දෙකම එකක්ය කියන්නේ?”

65. ටීචර්ට තෑග්ගක්

“ඔයාලගේ ටීචර් ලබන සතියෙ ඉඳලාාාාාා වෙනින් ඉස්කෝලෙකට මාරු වෙලා යනවනෙ.... ඉතිං ඔයාලටත් ගොඩාාාාාක් දුක ඇතිනේ.... මටත් එහෙමයි.
ඒත් ඉතිං නොයා බැහැනෙ, ට්‍රාන්සර් කළාම.
මීට ඉස්සෙල්ලා මං හිටපු ඉස්කෝලෙන් එනකොටත් ඒ ළමයි මට ගොඩාාාාාරියක් තෑගි දුන්නා. ඔයාලත් එහෙම තෑගි මොනවත් ගෙනෙනවා නං හෙටම ගේ....න්න, හොඳේ!”

ගුරුතුමී පන්තියේ ළමයින්ට කිව්වා.

ඊළඟ දවසේ උදෙන්ම ටීචර් ළඟට ආවේ හන්දියේ රත්තරං බඩු සාප්පුව අයිතිකාරයාගේ දුව. එයා අතේ පුංචි හුරුබුහුටි පාර්සලයක්...

පැටවුනුත් නෑ, කිරිත් නෑ. හැබැයි, රුපියල් දහ දාහයි....

“රත්තරන් බඩුවක් නේඒඒඒඒඒඒඒද? තැන්කියු දූෳෳෳෳ!” ටීචර් තෑග්ග බාර ගත්තා.

දෙවෙනියට ආවේ රෙදි සාප්පුකාරයගෙ දුව. එයාගෙන් ලැබුණේ ලොකු පාර්සලයක්.

“ඔයාලගේ ගෙදරින් ගොඩාාාාක් රෙදි එවලා!”
ගුරුතුමී සතුටින් ඉපිලිලා කිව්වා.

හන්දියේ වයින් ස්ටෝර්ස් අයිතිකාරයාගේ දුව ඊළඟට ආවේ ලොකු, බර පෙට්ටියක් උස්සගෙන. ඒකෙ කෙළවරක් ටිකක් තෙමිලත් තිබුණා.

ගුරුතුමී ඒ තෙමුණු තැනට ඇඟිල තියලා අරං දිව ගාලත් බැලුවා.

“විස්කිද... ෂැම්පේන්ද?” ගුරුතුමී ශිෂ්‍යාවට හාද්දකුත් දීලා ඇහුවා.

“නෑ මිස්, බලු පැටියෙක්!”

66. චරිතේ

එළදෙනෙකු මිලදී ගැනීම සඳහා පැමිණි ගැනුම්කරුවා ගව පට්ටි හිමියා සමඟ කතාවට වැටුණේය.

“මේ එළදෙනගේ ගණන කොහොමද?”

“මේකිට මාස තුනක පැටියෙක් ඉන්නවා. දවසකට කිරි බෝතල් දහයක් දොවා ගත්තැකි...”

“ගාණ....?”

“රුපියල් හය දාහයි!”

“ඔච්චර? හය දාහට වැඩියි.... බොහොම වැඩියි....”

“එහෙනං අර එළදෙනව බලමුද... කිරි බෝතල දොළහක් ගන්න පුළුවන්. පැටවු දෙන්නෙක්ම ඉන්නවා. හැබැයි රුපියල් හත් දාහයි!”

“ඔහේගෙ එළදෙන්නු හරි ගණන්නෙ...අර සීදේවී පාට එළදෙන කොහොමද?”

“වෙන කෙනෙකුට නං දෙන්නෙත් නෑ! මහත්තයට ඕනිම නං දෙන්නං. පැටවුනුත් නෑ, කිරිත් නෑ. හැබැයි, රුපියල් දහ දාහයි..”

“මගෙ අම්මෝ! මොකද දහ දාහක්?”

“ඇයි මහත්තයා, මෙයාගේ චරිතේ හොඳයිනේ!”

ඇයි අපි දිගින්-දිගටම බොරුවලට රැවටෙන්නේ?

හුඟාක් යාන්ස්වලින් උපහාසයට ලක් කෙරෙන්නේ රජ- මැති- ඇමති- දේශපාලක වගේ චරිත. සමාජයේ ප්‍රබල චරිත. එහෙමත් නැතිනං සුචරිතය වගේ දේවල්; විශ්වාස.... එතැනදී මට නං පෙනෙන්නේ මෙහෙම දෙයක්. ඒ විදිහට උපහාසයට ලක් කෙරෙන්නේ බොරුව හෝ බොරුකාරයන්වයි. කොච්චර බොරුකාරයන්ගෙන් පිරුණු සමාජයක වුණත් ‘බොරුව’ උස්සලා තියන්නේ නැහැනෙ, බොරුව හෙළා දකිනවා මිසක්!

එහෙම වාතාවරණයක් තියෙද්දී ඇයි අපි දිගින්-දිගටම බොරුවලට රැවටෙන්නේ? දිගින්-දිගටම බොරුකාරයන්ටම, හොරුන්ටම රැවටෙන්නේ...
රෑ වැටුණු වළේ දවල්ටත් වැටෙන්නේ?

මම තවමත් හිතන්නේ ඒ ගැන.

67. දෙන්නවම පාස් කරලා

ඉස්සර අපේ රජවරු දහස් ගණන් බිසෝවරු අන්තඃපුරවල තියාගෙන රජ සැප වින්දා. තවමත් සමහරුන් එහෙම සැප විඳිනවා. එකම වෙනස අන්තඃපුරවල් නැති එක විතරයි.
එහෙම නැතිවත් දකින-දකින ඕනෑම සායක්-චීත්තයක්- ගවුමක්- සාරියක් අයිතිකාරියෙකුට යන්න නොදෙන වරිගයේ අයත් ඉඳලා තියෙනවා. මේක ඒ වගේ සල්ලාල පෝසතෙක් ගැන කතාවක්.

දවසක්දා එයා, එයා වගේම තව යාළුවෙක් එක්ක වාදෙකට පැටලුණා, ගෑනු ගැන!
දෙන්නම කියනවා තමුන් තමයි වැඩිම ගෑනු ගාණක් ආස්සරේ කරල තියෙන්නේ කියලා.

‘කොහොමද අපි මේක බේරා ගන්නෙ?’ දෙන්නාම කතා වුණා.

“මං කියන්නං. අපි ලෑස්ති කරමු ග්‍රෑන්ඩ් පාටියක්. උඹ ආස්සරේ කරපු ගෑනුන්ටයි, එයාලගෙ මහත්තයලටයි එන්න කියමු ඒකට. මමත් එහෙම කරන්නං. එතකොට අපි දෙන්නටම බලා ගන්න පුළුවන් කාටද වැඩි කියලා....” එක්කෙනෙක් කිව්වා.

දෙන්නම ඒකට එකඟ වුණා.
දෙන්නම කෝටිපතියෝ; වලව්කාරයෝ. වකාරෙට සල්ලි! ඉතිං ඔහොම පාටියක් ලැහැස්ති කරන එක එයාලට මහ කජ්ජක් නෙවෙයි. වැඩේ ජයටම සංවිධානය කෙරුණා.

මාර වැඩේනෙ... ඔක්කොම පාටියට ඇවිත් ඉවරයි වගේ!
පාටියට සිය ගණනක් දෙනා ආවා. උත්සව ශාලාවට පිවිසෙන තැන එක ළඟින්ම හිටගත්ත යාළුවො දෙන්නා එන හැමෝටම හිනා වෙලා ආචාර කරනවා.

ඒ ගමන්ම ඒ දෙන්නා එයාලට විතරක් ඇහෙන විදිහට ‘අසුර’ ගහනවා. දෙන්නම ඒ ගැන කතා වෙලයි තිබුණේ.

“මම පාස් කරපු එක්කෙනෙක් ඇතුළට එනකොටම මම අසුරක් ගහනවා. උඹත් එහෙමම කළාම හරි. අපිට පුළුවන් ගණන එකතු කර ගන්න.... මම උඹේ ගාණ එකතු කරනවා... උඹ මගේ අසුර පාරවල් ගණන එකතු කරපං.”
දෙන්නම ගජ යාළුවො හින්දා දන්නවා එක්කෙනෙක්වත් බොරු නොකරන බවත්!

ඔන්න දැන් දෙන්නගෙම අසුර ගහන ‘මීටර්’ පට ගාලා වැඩ කරනවා. ඔහොම ගිහින්-ගිහින් දැන් දෙන්නම සමාන ලකුණු ගණනක් අරං තියෙන්නේ...

“මාර වැඩේනෙ... ඔක්කොම ඇවිත් ඉවරයි වගේ... අපි දෙන්නම ටයි- ටයි.” එක්කෙනෙක් දුකෙන් වගේ කිව්වා. අනිත් එක්කෙනා බොහොම සතුටු මූඩ් එකකින් හිනා වුණා.

“මම දිනනවා ෂුවර් මචං!”

“ඒ කොහොමද?”

“ඇයි මචං, මට හොඳටම ෂුවර් ලකුණක් මඟ එනවා...”

අම්මවයි දුවවයි දෙන්නමත්....

යාළුවා එහෙම කිව්වම අනෙක් යාළුවා කට වහ ගත්තා.
එතකොටම තඩි කාර් එකක් ඇවිත් නැවැත්තුවා.
හිනා වෙවී හිටපු යාළුවාගේ කට කණේ. කාර් එකෙන් ලස්සන මැදි වියේ ගෑනු කෙනෙකුයි, ගිනි කිරිල්ලී වගේ ළමිස්සියෙකුයි බැස්සා. එයාලා හිනා වීගෙනම ශාලාවට ආවා.

හිනා වෙවී  හිටි යාළුවා එක සැරයක් අසුර ගහලා හිනා වෙලා, ආඩම්බරෙන් මිත්‍රයා දිහාව බැලුවා.
මිත්‍රයා ඊටත් වඩා ආඩම්බරෙන් දෙපාරක්ම අසුර ගැහුවා.
ඒ සද්දෙ ඇහුණු ගමන්ම හුළං බැහැපු හිනා වෙවී හිටිය යාළුවා, අනෙකාගේ කණට කෙඳිරුවා.

“ඈ බං.... උඹ එහෙනං මගෙ ගෑනිවයි දුවවයි දෙන්නමත් පාස් කරලා!”