අකුරු මැකී නෑ

Wednesday, May 7, 2025

හෘදය සාක්ෂ්‍යයක අඳෝනාව - පළමුවෙනි කොටස

‘මං සබරගමුව campus එකෙන් pass out වෙලා අවුරුදු 5ක් දැන්. Thursday වැඩ ඉවර වෙලා එද්දි මගේ අක්ක තමයි කිව්වේ ඔයාලගෙ campus එකේ ළමයෙක් suicide කරගෙන rag එක හින්දා කියලා. ඒක අහපු වෙලේ ඉඳන් දැන් වෙනකන් මගෙ ඔලුවෙ වැඩ කරන එකම දේ ඒක.

මං campus ගියේ 2016.

මේ ඔක්කොම කරල එයාල බලාපොරොත්තු වෙන්නේ තමන්ගේ batch mate කෙනෙක්ට හරි යාලුවෙක්ට හරි අමානුෂික ලෙස සලකද්දි...

Final year එක තමයි මං campus ජීවිතේ ගත කරපු හොඳම අවුරුද්ද. හේතුව rag කරන්න seniorsල ඒ year එකේ නැති හින්ද. අපේ campus එකේ තමයි මං හිතන්නේ qualifiedlecturersල ඉන්නේ. අපේ academic standards මාරම higher place එකක තියෙන්නෙ. ඒ වුනාට මං personally දන්න කවුරු හරි මගෙන් අපේ university එක ගැන ඇහුවොත් මං කියන්නෙ යන්න එපා කියලා. ඒ campus එක ඇතුලෙ තියන rag එක හින්දා.

Campus ගිය දවසෙ ඉඳලා එක එක හේතු කියලා මාව rag කරපු අවස්ථා මෙච්චරයි කියල කියන්න බැරි තරම් තියනවා.
මුලින්ම මං
hostel හිටියේ නෑ කියල, මගේ school එකේ නම හින්දා, මගේ hair එක straight කරල තිබ්බ කියල, මං කතා කරන විදිය, එකී නොකී හැම හේතුවක්ම කියල මාව rag කරන්න එයාලා අවස්ථාවක් හදා ගත්තා.

ඒ කාලේ හැම Tuesdayම අපිව පැය දෙකකට වඩා canteen එකේ තියාගෙන rag කරනවා. මේ හැමදාම උදේ කෑම කන්න එන වෙලාවයි, දවල් කෑම කන්න එන වෙලාවටයි අමතරව. 2nd yearsල ඇවිත් මේසේ වටේට වෙලා ප්‍රශ්න අහ අහ බනින්න පටන් ගන්නවා. කාලයක් යද්දි මාව වෙනම table එකකට අරන් යන්න පටන් ගත්තා. අක්කල කියාගත්ත seniorsල ටිකක් කොල්ලො ටිකක් වට කරගෙන මට මං අහලවත් නැති කුනුහරුප කිය කිය බනින්න ගන්නවා.

එක meeting එකක් ගන්නවා Management faculty එක පිටිපස්සේ, ඒකෙදි කරන්නේ අපිව පේලියට තියලා seniorsල පිස්සුවෙන් වගේ කුනුහරුපෙන් බැන බැන මූණ ඉස්සරහටම එන එක. මං ඔය දේවල්වලට යන්නැතුව ඉන්නකොට මට බලපෑම් කරන්න මගෙ යාලුවොන්ව rag කරන්න පටන් ගත්තා. මං ගැන කිය කිය එයාලටත් බනින්න ගත්ත. මේ වගේ වෙද්දි එයලා මගේ department එකයි batch එකයි pressure කරන්න ගත්තා.

එක පාරක් rag season එකේ denim එකක් ඇඳන් Colombo ඉඳන් Belihuloyabus එකේ ආව කියල මට පිරිමි ළමයි 100ක් 200ක් ඉස්සරහ කුනුහරුපෙන් බැන්නා. වටේ ඉන්න කිසිම කෙනෙක්ට තියා මටවත් මං වෙනුවෙන් stand එකක් ගන්නවත් බැරි වුනා ඒ වෙලාවේ. මං cima class ඉවර වෙලා පහුවදා lectures එන්න අම්ම එක්ක bus එකේ ආවේ. මේක දකපු ගමන් seniorsල කියාගන්න අය අපේ  batch එකේ කොල්ලන්ගෙ hostel එකට ගිහින් කොල්‍ලෙක්ට ගහලා මාව හදාගන්න කියලා. ඉතින් මේ ඔක්කොම කරල එයාල බලාපොරොත්තු වෙන්නේ තමන්ගේ batch mate කෙනෙක්ට හරි යාලුවෙක්ට හරි අමානුෂික ලෙස සලකද්දි ඒ වෙනුවෙන් stand එකක් ගන්න පුලුවන් විදියට කොන්ද හදනවා වෙනුවට කොන්ද කඩන එක.

මේ වෙද්දි ලොකුම බලපෑම ආවෙ අපේ department එකේ seniorsලගෙන්. එදා මං ගෙදර ගියේ ආයි කවදාවත් campus එන්නේ නෑ...

මොකද batch fit කියන term එක හදල තියෙන්නේ student union එකේ ඕනා එපාකම් ටික කරගන්න සහ ඒවට ළමයින්ව ගෙන්න ගන්න.

මට ජීවිතේ පලවෙනි පාරට මානසික පීඩනය දරා ගන්න බැරි තරමටම ආවෙ rag එක හින්දා. මං first year එකේ දෙපාරක් ගෙදර ආවා. අම්මලගේ සහ යාලුවන්ගේ කීමට දෙපාරම ආයි ආවා.
2nd year එක නිදහස්නේ කියලා හිතාගෙන campus ආවත් bullying නතර වුනේ නෑ. මාව first year rag කරපු අයගෙන් බාගෙකවත් මූණවල් අද වෙනකොට මට මතක නෑ. ඒ තරමට bully වෙලා තමයි 2nd year එකේදි ඔක්කොම හරියයිනේ කියල ආවෙ.

ඒ වෙද්දි අපේ junior batch එක ඇවිල්ල තිබ්බෙ. එතකොට rag කරන වාරෙ අපිට එන්නේ. මං තරයේ හිතාගෙන හිටිය මොන බලපෑමකටවත් මං rag කරන්න යන්නෑ කියල. එහෙම ඉද්දි seniorsලා ආයි මගෙ පස්සෙන් එන්න ගත්තා මම raggingවලට යන්නෙ නෑ කියල.
මං ඒ දවස්වල
canteen එක skip කරන්න උදේට tuk එකක එන්න ගත්තා. ආයි අර pressure එකම එන්න ගත්තා. Meetingsවල මාව ඉස්සරහට අරන් බනින එක continue වුනා. මේ වෙද්දි ලොකුම බලපෑම ආවෙ අපේ department එකේ seniorsලගෙන්. එදා මං ගෙදර ගියේ ආයි කවදාවත් campus එන්නේ නෑ කියල හිතාගෙන.

මං මාසයක් කාමරෙන් එලියට එන්නැතුව හිටියා, ගෙදර අය එක්ක කතා කරන එක නැවත්තුවා. අන්තිමට ගෙදරින් කිව්වේ ඔයාට campus නවත්තන්න ඕන නම් at least ඒකට stand එකක් ගන්න කියලා. එහෙම හිතාගෙන අන්තිමට මං අපේ department headcomplaint කරා මං මේ හේතුව හින්ද campus නවත්තනවා කියල.

ඒ දවස්වල Prof. Athula Ganapala තමයි අපේ department head හිටියේ. ඔහු ඇතුළු අපේ department එකේ අනිත් lecturersල මැදිහත් වෙලා මට කිසිම කරදරයක් නැතුව ආයි lectures එන්න පුලුවන් විදියට හැමදේම හදල දෙන්නම් කියල මට දිගටම university එන්න කියල කිව්වා.
ඒ වගේම එවෙලෙම
Athula sir suspend list එක හදන්නම් කිව්ව rag කරපු අයගෙ නම් කියන්න කියලා. මට කාගෙන්වත් rag නොවී degree එක කරගන්න පුලුවන් වීම පමනක් ඒ වෙලාවෙ ප්‍රමාණවත් වුන නිසා ඒ වෙලාවේ මං කාගෙවත් නම් කියන්නෙ නැතුව ඉන්න තීරණය කරා.

ඊට පස්සේ මං ආයි campus එකට ගියාම seniorsල මාව approach කරේ නෑ. මං ආයි කිසිම meeting එකකට ගියෙත් නෑ, මගේ පාඩුවෙ වැඩ ටික කරගෙන හිටියා.

ඉතින් මේ වගේ අය අනේ අපේ university එකේ නමට හානි වෙනවා කියල තමන් ගිය university එකේ නම ආරක්ෂා කරනවා කියල...

ඒත් අද Charithගේ මරණයත් එක්ක, ඒකට සබරගමුවෙන් pass out වෙච්ච අය react කරන විදියට එදා මං කරේ ලොකු වරදක් කියල හිතෙනවා. එදා මං suspend list එකට නම් දුන්න නං පොඩ්ඩක් හරි මේ system එක change කරන්න ඒක help එකක් වෙන්න තිබ්බා. අද ගොඩක් pass out වෙච්ච අයගේ "worry" එක තමන්ගේ university එකේ අහිංසක කොල්ලෙක් මැරුනු එකට වඩා university එකේ නමට වෙන හානිය. මේක වෙනුවෙන් කතා කරන ගොඩක් අය විවේචනය කරන්නේ සබරගමුවේ ragging culture එක මිසක් සබරගමුව university එක නෙමෙයි.

මගේ face book account එකේ ගොඩක් ඉන්නේ අපේ campus එකේ අය. Charithගේ suicide එක වෙලා මුලින්ම Face book open කරාම දැකපු පලවෙනි post එකේ තිබ්බේ A/L result ආවම හැමදාම ragging ගැන කතා බහ එන විදිය ගැන. මේක share කරල තිබ්බෙ අපේ senior කෙනෙක්. පස්සේ ඔහු explanation එකක් එක්ක ඒ post එක අයින් කරල තිබ්බා, ඔහුට ආපු ප්‍රතිචාර එක්ක.
ඊට පස්සෙ මං දැක්කෙ මගේ
batch එකේම කෙනෙක් share කරල තියන post එකක්. ඒ post එක ලියල තිබ්බේත් අපේ senior කෙනෙක්, ඒකේ තිබ්බේ අපේ කාලේ නම් මෙහෙම වුනේ නෑ මේ අලුත් generation එකේ දෙයක් කියල.

Charithට වුනා කියන සිදුවීමට සමාන සිදුවීම් අපේ කාලෙත් Sinharaja hostel එක ඇතුලේ වුනා කියලා මං අපේම යාළුවන්ගෙන් අහල තියනව, පසු කාලීනව අපි මේ rag ගැන කතා කරද්දි.
ගොඩක් පිරිමි ළමයි ඒව ප්‍රසිද්දියේ කතා කරන්නෑ.
තවත් සමහරු තමනුත් ඒවා
junior batch එකට කරාට පස්සෙ ඒක වරදක් විදියට දකින්නෑ.

ඉතින් මේ වගේ අය අනේ අපේ university එකේ නමට හානි වෙනවා කියල තමන් ගිය university එකේ නම ආරක්ෂා කරනවා කියල තමන් කරපු එවා වහගන්න උත්සාහ කරමින් ඉන්නවා.

Charithගේ මරණෙට මං ඇතුලු සබරගමුවෙ ඉගෙනගත්තු සහ ඉගෙනගන්න හැමෝම වගකියන්න ඕන කියලයි මම නම් හිතන්නේ.

මං වගේ suspend කරන්න පුලුවන්කම තියෙද්දි ඒක නොකර හිටිය අය, තමන් rag නොකරත් ඒකෙ bystander කෙනෙක් විදියට ඒවා බලන් හිටපු අය සහ වචනෙකින් හරි rag එකට සම්බන්ධ උන හැමෝම හේතුවක් උනා අවුරුදු 5කට පස්සෙත් මේ culture එකේ වෙනසක් වෙලා නැතුව Charithsuicide කරගන්න සිදු වුන එකට.

අපි කරන fashion, අපේ ආගම වගේම අපේ life partner වගේ දේවල්වලටවත් අපේ දෙමව්පියො අපිට බලපෑම් කරල නෑ!

චරිත්ට යුක්තිය ඉල්ලනව වෙනුවට මේ මොහොතෙත් campus එක ඉස්සරහට දාලා තමන්ව සුද්ද කරගන්න වෑයමක ඉන්නේ සබරගමුවෙ pass out වුන බොහෝ දෙනා. මොකද campus එක ඇතුලේ තියන rag එකට ගොඩක් අය වචනෙකින් හරි දායක වෙලා තියනවා. මේක එක්කෙනෙක් දෙන්නෙක් කරන දෙයක් කියලා පෙන්නන්න හදන්නෙත් එහෙම අය තමයි.

දැන් මේ post එක දැක්කම campus ප්‍රජාව කියන පලවෙනි දේ තමයි අනේ මේ ‘අල’නේ කියලා. Peradeniya වගේ අල වෙන්නවත් choice එකක් තිබ්බ නම් අනිවාර්යයෙන් මං පලවෙනි දවසෙ ඉඳන්ම අල වෙනවා.

මොකද අපි හැදුනේ හරි දේට හරි කියන්නත් වැරදි දේට වැරදි කියන්නත් encourage කරපු පරිසරයක. කාටවත් ඕන විදියට ජීවත් වෙන්න ඕන කියන එක අපෙ අම්මල තාත්තලවත් අපිට කියල නෑ. අපි කරන fashion, අපේ ආගම වගේම අපේ life partner වගේ දේවල්වලටවත් අපේ දෙමව්පියො අපිට බලපෑම් කරල නෑ.
ඉතින් ළමයෙක්ට වුනත් වැඩිහිටියෙක් ගරු කරන්න ඕන කියන
concept එකවත් දන්නැති සමාජයක ගොඩක් දෙනා හිතන්නේ ඇවුරුද්දකින් හරි senior වුන පලියට අපි එයාල කියන හැමදේම කරන්න ඕන කියල. ඒ දවස්වල මගේ යාළුවො කියනවා rag වෙද්දි බොරුවට හරි අඬන්න කියලා. එතකොට rag එක අඩු වෙයි කියල. නමුත් කොච්චර rag වුනත් මට කවදාවත් ඒ අය ඉස්සරහ කඳුළු ඇවිල්ල නෑ.

මේ මම ලියල තියෙන්නේ මගේ experienceවලින් 1% විතරයි. ලියනවනම් ලියල ඉවර කරන්න බැරි තරම් දේවල් ඒ අවුරුදු 4 ඇතුලත මං විඳලා තියනවා සහ දැකලා තියනවා.

ඉතින් තාමත් rag එක defend කරන අවුරුදු 30 පැනලත්, තමන් ඒ කාලේ කරේ වරදක් කියන එකෙ තේරිල නැති mature වෙලා නැති හැමෝම, අඩුම ගානේ තමන්ගේ දරුවන්ට හරි ගරු කරන්න ඉගෙන ගනී කියල මං හිතනවා. තමන්ගේ දරුවන්ට තමන් වගේ කෙනෙක් තව අවුරුදු 15 කින් හමු නොවේවා කියල ප්‍රාර්ථනා කරයි කියලා හිතනවා.

ඉතින් චරිත් අපි හැමෝටම සමාවෙන්න.
We all failed you as seniors.
Hope you find your peace!’

සංජානා ජයමහ ලියා තිබුණු ඒ සංවේදී සටහන මගේ හිතට වැදුණා මදිය නොකියන්නම. සංජානාගේ හෘදය සාක්ෂ්‍යය අවදි වෙලා තිබ්බෙ සබරගමුව විශ්වවිද්‍යාලෙ චරිත් දිල්ශාන් දයාරත්න සිසුවාගේ සියදිවි නසා ගැනීමෙන්... ඒ අවාසනාවන්ත ඉරණමට ගොදුරු වුණේ අවුරුදු 23ක සිසු දරුවෙක්...
චරිත් එහෙම කළේ ඇයි කියන කාරණයත්, ඒ යට හැංගිලා තියෙන තව කාරණා ගොඩකුත් දැන් දැන් එළියට එමින් තියෙනවා. ඒත් චරිත්ට ඒ කිසිම දෙයකින් සිද්ද වෙන යහපතක් නැහැනෙ. අවාසනාව ඒකයි!

මං අපොස/සාමාන්‍ය පෙළින් ඉහළට ඉගෙනගන්න බැරි වුණු කෙනෙක්. දුප්පත්කම නිසා. (ඉස්කෝලේ හයේ පන්තියේ ඉගෙන ගනිද්දිමයි මට රස්සාවල් කරන්න සිද්ද වුණේ.) ඒත් ‘විශ්වවිද්‍යාල තුනකටම’ යන්න අවස්ථාවන් නං ලැබුණා. පළමුවෙනි වතාවේ පේරාදෙණිය විශ්වවිද්‍යාලේ කෘෂි විද්‍යා පීඨයට. පැය කිහිපයකට.
දෙවෙනි වතාවේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට.
ජන සන්නිවේදන ඩිප්ලෝමාව’ක් හදාරද්දී සති අන්ත 24කට.
තෙවෙනි වතාවේ කොළඹ විශ්වවිද්‍යාලයට. මොකක්දෝ බාහිර උපාධි පාඨමාලාවක් හදාරණ සිසු-සිසුවියන්ට මුද්‍රණ ශිල්පය ගැන දේශන පවත්වන්නට- දවස් හය-හතක් විතර.

අපේ ගමනාන්තය වුණේ ‘පේරාදෙණිය උද්භිද උද්‍යානය’.
නිදිගෙ පංච තන්තරේ ලියන්නට පටන්ගෙන දෙවෙනි අවුරුද්දේ; 2019දී  ‘පත්තෑයට පෙත්තෙන් ....- හතරවෙනි කොටස’ට මං මෙහෙම ලිව්වා.

‘ඔහොම යද්දී....... 1970 වසර සඳහා, පාසලේ ‘විද්‍යා ශිෂ්‍ය සංගමයේ සභාපති තනතුර’ මට ලැබුණේය. මට කලින් ඒ තනතුර දැරුවේ හෙක්ටර් අයියාය. පස්සේ දේශපාලනයටත් ඇවිත්, හෙක්ටර් බෙත්මගේ මැතිතුමා- ඇමැතිතුමා නමින් රටේ සුපතළ වුණේ එයාය.’

ඒ අවුරුද්දේ හරි 1971 අවුරුද්දේ මුල්ම මාස තුනේදී හරි අපේ විද්‍යා ශිෂ්‍ය සංගමයෙන් එක දවසක ට්‍රිප් එකක් ඔර්ගනයිස් කෙරුණා. ඒ සංවිධාන වැඩ සේරම වගේ කෙරුණේ ආනන්ද අයියා (දවස් 14 බණ්ඩාරවෙල trip එකේදී පාසල් ගුරුවරයෙකු විදිහට පෙනී සිටිමින් අපේ පාසලේ සිසුන් බාරව ගියේ එයායි.), හෙක්ටර් අයියා සහ සේනාරත්න අයියා වගේ ‘සින්නන්’ අතින්. උසස් පෙළ පන්තියක් භාරව හිටි ‘කුලවංශ’ ගුරුතුමාත් එයාලට මඟ පෙන්නුවා.

Trip එක ගියේ මහරගම ‘විද්‍යාකර මහා විද්‍යාලය’යේ උසස් පෙළ හා සාමාන්‍ය පෙළ සිසු-සිසුවියන්. ලොකු බස් හතරක් පිරෙන තරමට ළමයින් හිටියා. දෙකක ගෑනු ළමයි- දෙකක පිරිමි ළමයි. අපේ ගමනාන්තය වුණේ ‘පේරාදෙණිය උද්භිද උද්‍යානය’.
හිතාගෙන හිටියට වඩා කලින් අපි පේරාදෙණියේ මල් වත්ත බලලා ඉවර කළා. කෑම කාලාත්...
“අපිව කෘෂි විද්‍යා පීටෙටත් එක්කං යනවලු.” කටින් කට ගිය ආරංචිය අපට ගෙනාවේ අමතර සංතෝසයක්. කුලවංශ සර් තමයි ඉස්සරහම බස් එකේ ඉඳගෙන පාර පෙන්නුවේ. (මං හිතන්නේ එයා පේරාදෙණියේ උපාධි හිමියෙක්.)

බස් හතර ගිහිං-ගිහිං නැවැත්තුවා විතරයි, උන්හිටි ගමන් මෙරු මතු වෙනවා වගේ තරුණ පිරිසක් එතෙන්ට කඩා වැදුණා. අපි හැමෝම තක්බීර් වුණේ එයාලගේ විදිහෙන්...

“සර්ලට ටීචර්ලට කරදරයක් නෑ... ඔයාල බස්වලින් බහින්න. බැහැලා පැත්තකට වෙලා අපිට සහයෝගේ දෙන්න.” එයාලා ශිෂ්ට සම්පන්න විදිහට අපේ සර්ලට, ටීචර්ලට කතා කළත්, ඒ tone එකේ නං කිසිම තෙතක් තිබ්බේ නෑ. කුලවංශ සරුයි අනිත් සර්ලා ටීචර්ලා සේරමයි එකට එකතු වෙලා; කතා වෙලා තීරණයක් ගත්තා.
“මල්ලිලා, මේ ළමයි තාම ඉස්කෝලේ යන පොඩිවුන්. එයාලට රැග් කරන්න දෙන්න බැහැනේ. දැනුත් මේ ළමයි හොඳටම බය වෙලා ඉන්නේ. අපි බස් ටික හරවාගෙන ආපහු යන්නං...”

සර් එයාලට කියන හැටි දැක්ක අපිට දැනුණේ සැහැල්ලුවක්. මොන? එතකොට නැඟුණේ මාර සේනාව ඇවිස්සුණා වගේ ඝෝෂාවක්.

“ඒ සෙල්ලම් හරි යන්නෑ හලෝ. ඔහොම ගියොත් වෙන්නේ සර්ලටයි ටීචර්ලටයිත් රැග් කන්න... අපි ළමයින්ට හිංසාවක් කරන්නෙ නෑ. ඔයාලා ළමයින්ට කියන්න අපි කියන දේවල් කරන්න කියල. පැයෙන් අපි ඔයාලව රිලීස් කරනවා.” නායක මාරයෙක් ගෙරෙව්වා. මැර හාදයන් අපේ බස් හතරම වට කරගෙන... ගැලවෙලා යන්න කිසිම විදිහක් නෑ!

මෙහෙ ඉන්න සර්ලා- මෙහෙ ඉන්න ලොක්කෝ- මෙහෙ ඉන්න රජවරු අපි!

වෙන කරන්න දෙයක් නැති තැන අපේ ගුරුවරුන් බස් එකෙන් බස් එකට යමින් අපට උපදෙස් දුන්නා.

“පුතාලා දුවලා බය වෙන්න එපා. ඒ අයියල අක්කල කියන දේවල් ඒ විදිහට කරන්න. එයාලව තරහ ගස්සන්න එපා!"
එතකොටත් අපේ බස්වලට නැඟගෙන හිටි එයාලගෙ නියෝජිතයනුත් සර්ලගෙ කතාව අනුමත කෙරුවා. “දැන් ඔයාලා හොඳ ළමයි වගේ බස්වලින් බැහැලා දෙන්න දෙන්නා පේළියක් හැදෙන්න....”
අපිත් සර්ලාට කීකරු වුණා.

ඊළඟට යමපල්ලෝ වගේ කීප දෙනෙක් අපේ පේළියේ මුල ඉඳලා අගට වෙනකල් ඇවිද්දා. ඒ අතරේ එයාලා සමහර ළමයින්ට එකේක දේවල් කිව්වා. එහෙම කියැවුණේ ටිකක් කැපී පෙනුණු ළමයින්ටයි, හොඳට ඇඳ පැළඳගෙන හිටි ළමයින්ටයි.
“මොකද යකෝ මෙච්චර වටින සපත්තු කකුලට දාගෙන ඉන්නේ. ගලෝපිය ඕවා. ලේස්වලින් ඔය සපත්තු ජෝඩුව ඈඳලා දාගනිං උඹේ බෙල්ල වටේ.” අනේ අර ළමයත් ලජ්ජාවෙන් මිරිකෙමින් සර්ලගෙ දිහාට හැරුණා.

“කොහේද යකෝ බලන්නේ? මෙහෙ ඉන්න සර්ලා- මෙහෙ ඉන්න ලොක්කෝ- මෙහෙ ඉන්න රජවරු අපි. අපි කියන විදිහට නොකළොත් උඹලගෙ කලිසනුත් ගලවලයි නවතින්නේ... තේරුණාද... හ්ම්... හ්ම්... ඉක්මන් කරපං...”

අර ළමයා බය වෙච්චි පාර දඩි-බිඩි ගාලා කීකරු වුණා. කීකරු වෙලා විනාඩි දෙකක් යන්නත් කලින් තව මාරයෙක් එතෙන්ට ආවා. “මේ මොකද මේ... තොට මොළයක් කියල එකක් නැද්ද බූරුවෝ. සපත්තු තියෙන්නෙ බෙල්ල වටේ දා ගන්නද? දැන්මම දාගනිං ඔව්වා කකුල්වලට...”

ඒ වයසෙදී ගැටවර ළමයින් කැපී පේන්න කැමතියිනේ. ඉතිං සමහරු Trip එක ඇවිත් හිටියෙ සන්ග්ලාසස් (අව් කන්නාඩි) දාගෙන. තවත් අය විසිතුරු තොප්පි පැළඳගෙන පුළුවන් උපරිමයෙන් මොඩ් වෙලා!
එයාලට අර කට්ටියගෙන් විසුමක් වුණේම නෑ. හොඳම වැඩේ තමයි එක්කෙනෙක් අණ කරලා කරවන දේ තව කෙනෙකු විසින් වෙනස් කරවීම. එහෙම වෙනස් කෙරෙව්වේ ‘ගොදුර’ හොඳටෝම අවමානයට- අපහාසයට පත් කරවමින්...

“කොහෙන්ද උඹලා ආවේ?”
“ම..හ..ර..ග..මි.න්...”
“මහරගම කියන්නෙ ඉස්කෝලයක්ද ගොනෝ? කියපිය විස්තර ඇතිව පැහැදිලිව...”
“න්න්නෑ නෑ... මහරගම වි..විද්‍යාකර විද්‍යාලේ විද්‍යා ශිෂ්‍ය සං..සංගමයෙන්...” උත්තර දුන් සිසුවා උන්නේ මර බියෙනි.

ඊටත් වඩා බයකින් ගැහෙමින් හිටි නිමල් දිසානායකයා උන්නේ ඒ සිසුවාට වඩා හත්-අටදෙනෙකුට පසුපසිනි.

“ංආ... විජ්ජා සිස්ස සංගමෙන්... කෝ තොපේ  විජ්ජා සිස්ස සංගමේ මහ ලොකු සභාපතියා?”
ප්‍රශ්නය ඇහුණා විතරය.

මගේ දෙකන්සෙන්ම දාඩිය උතුරන්නට වුණේය. එතෙක් නොතිබුණු ‘සුලු දිය’ පහ කිරීමේ ඕනෑකමකුත් ඇති වුණා වගෙය. ඇත්තම කියනවා නං ඒ වෙලාවේ නිදි ‘සියලු දෙවි දේවතාවුන්ට යදිමින්’... බයේ ගැහෙමින්, ළඟින්ම උන් සිසුවාට මුවාවී වහං වෙලාය හිටියේ...
ඉතිරිය ඊළඟ කොටසෙන්....

43 comments:

  1. "අද ගොඩක් pass out වෙච්ච අයගේ "worry" එක තමන්ගේ university එකේ අහිංසක කොල්ලෙක් මැරුනු එකට වඩා university එකේ නමට වෙන හානිය". ඔව්, ලන්කාවෙ බහුතරයකට මනුස්ස ජීවිතයකට වඩා තමන්ගෙ නම්බුව, ආයතනයේ නම්බුව, රට ජාතිය ආගමේ නම්බුව තමයි වටින්නෙ. (අද මට හරියට log in වෙන්න බෑ නිමල්; ඩ්‍රැකීගෙ බ්ලොග් එකටත් මේ විදිහට නිකම්ම Lotus නම දාලා කමෙන්ට් එකක් දාන්න වුණා log in වෙන්න බැරි නිසා. හෙට විතර ආයෙත් එන්නම්).

    ReplyDelete
    Replies
    1. එන්න එන්න, ඔයාට හිතුනු දේවලුත් කියන්න.

      Lotus, මිනිහා කල්ලි ගැහෙන්නට කැමැති සතෙක්. දඩයම් යුගයේ ඉඳලම ඌ දන්නවා තනියම යනවට වඩා කණ්ඩායමක් වශයෙන් ගියාම දඩයම සාර්ථක වෙන බව. ඒ පුරුද්ද හා දැනීම නිසාලු මනුසතා ජාති- කුල - ගෝත්‍ර- ආගම්- රටවල්- ගම්- පළාත් විදිහට විතරක් නෙවෙයි... ඉගෙනගත් පාසල්- විශ්වවිද්‍යාල- සේවා ස්ථාන හා එකේක දේශපාලන පක්ෂ වශයෙනුත් කල්ලි ගැහෙන්නේ. එහෙම කල්ලි ගැහිලා ඒවා පුම්බන්න හදන්නේ....

      Delete
    2. ඒක ඇත්ත නිමල්. ඒ වගේම, ආගමට අනුව ජීවත්වෙන්න කියලා පොඩි කාලෙ ඉඳන්ම අපිව හුරු කරවන්නෙත් පින් රැස් කරගන්න මිසක් මනුස්ස ගුණ ධර්ම වර්ධනය කරගන්න නෙවෙයි. ඉරිසියාව, වෛරය වපුරවමින්, තමන් අවට ඉන්න අයට කිසිම ආදරයක් කරුණාවක් නැතුව ජීවත් වෙන අය පවා හිතන්නෙ අන්තිමට පංසලට මොනවා හරි පූජා කලාම, දානයක් දුන්නම ඔක්කොම හරි කියලා. තමන්ගෙ සහෝදර සිසුවන්ව ඔය විදිහෙ අමානුශික නවක වදයට ලක් කරන විශ්ව විද්‍යාල තුලම කොයි තරම් 'පින් කම්' කෙරෙනවද.

      Delete
  2. මේවා කරන්නේ හීනමානයෙන් පිරුණු ජවිපේට සම්බන්ද සංගම් වල ගං කබර බල්ලෝ, දැන් රටත් උන්ගේ, කාට කියන්නද?

    ReplyDelete
    Replies
    1. ජවිපෙට ශිෂ්‍ය සභාවල බලය නැතිවෙලා දැන් අවුරුදු 6කටත් වැඩියි . දැන් බලය තිබෙන්නේ පෙරටුගාමීන් ට . හැබැයි ජවිපෙටේ බලය ටිහ්බ්බ අසූ ගණන්වල ඔවුන් නවක වදයට මුකුත් කලෙත් නැහැ නවත්වන්න . වැඩිහිටි ශිෂ්‍යයන්ගේ සහයෝගය නැති වෙන නිසා

      Delete
    2. මාත් ඔබේ අදහස හා එකඟයි අජිත්.

      Delete
  3. උප සංස්කුචි අරව මේවයින් වැඩක් නෑ. වැඩියෙන් රැග්ද අඩුවෙන් රැග්ද වැඩකුත් නෑ. මොන රැග්වුනත් ඒවා කරන එවුන්ට පොලීසියෙන් රටේ සාමාන්‍ය නීතිය යටතේ නඩු දාන්න ඕනෙ. කෙනෙකුට හිරිහැර කිරීම, බලහත්කාරකම් කිරීම දඬුවම් ලැබිය යුතු අපරාධයක්.

    අධ්‍යාපන ආයතනයෙන් කරන්න ඕනෙ රැග් කරන උංව අස්කරලා දාන එක. නොමිලේ අධ්‍යාපනය ලබන්න තව වෙන ඕනෙතරම් අය ඉන්නව.

    ReplyDelete
    Replies
    1. අදහසට එකඟයි. ඒත් අවාසනාවට, මේක වෙච්ච පලවෙනි වතාව නෙමෙයි. ඒ හැම වතාවෙම, බලයේ ඉන්න අය පොඩි පැලැස්තරයක් අලවනවා, පස්සෙ හැමෝටම ඒක අමතක වෙනවා.

      පස්සෙ ආයෙත් මේ විශම චක්‍රය රිපීට් වෙනවා.මේ අපරාධය මුලිනුපුටා දාන්න බැරි,අපට නොපෙනෙන, කල්ට් එකක් වගේ අදිසි බලවේගයක් සමාජගත වෙලා නිසා වත්ද?

      Delete
    2. ස්තුතියි Pra Jay මහත්තයෝ. මමත් ඉස්සර හිතුවේ රැග් එක ලාවට දුන්නට කමක් නෑ කියලයි. ඒකත් එක රසබර අත්දැකීමක් කියලයි. පස්සේ පස්සේ දැක්කේ ඒක ඉතා ඉක්මනින්ම සීමාව ඉක්මවා යන විත්තියයි.
      ඒ වගේම පෞරුෂ දුර්වලතා ඇති අය- මානසික දුබලතා ඇති අය එහෙම මේ වදදීමේ; අනුන් හිංසනයට ලක් කිරීමේ නායකත්වය ගැනීම වැඩියෙන් සිදුවෙන බව. ඒ නිසා මාත් මගේ අදහස වෙනස් කර ගත්ත. ලාවටවත් රැග් එක ඕනි නෑ.

      පරපීඩක හිංසකයන්ට දඬුවම් කළ යුතුයි!

      Delete
    3. බකුසුතුමෝ, මගේ දැනීමේ හා තේරුම් ගැනීමේ හැටියට කොයි පාලකයනුත් මෙවැනි දේට කැමැතියි. නරකම එහෙයියන්- නපුරුම වධකයන් හඳුනා ගෙන ඔවුනගේ හෙන්චයියන් කරගත්තම ඔවුන්ට වාසි නිසා...
      එතකොට පාලනය ගෙනියන්න ලේසියිනේ!

      Delete
  4. academic කොච්චර උඩ එකක තියෙනවද කියනවා නම් past papers ආයි බැලුවා නම් මේ පාර එන ප්‍රශ්න ටිකත් කියන්න පුළුවන්නේ? මොකද හිතලා ලියන්න පුළුවන් ප්‍රශ්න එහෙම අහනවා නම් බලාගන්න තිබ්බා, ඔච්චර class ගහන්නේ කොහොමද කියලා.

    ReplyDelete
    Replies
    1. Ano, අපේ අධ්‍යාපන ක්‍රමය උඩ ගෙඩි දෙන්නේ 'හිතන්න' නෙවෙයි. කටපාඩම් කරන්න. වමාරලා කමින් විභාගවලින් සමත් වී සහතික ගොඩ වැඩි කර ගන්න.
      මට ඒ අදහස ආවේ ජපුරේ සන්නිවේදන ඩිප්ලෝමාව කරද්දීත්- කොළඹ විශ්ව විද්‍යාලයේ මුද්‍රණ ශිල්ප දේශන කරද්දීත්.

      සන්නිවේදන පාඨමාලාව හදාරපු සිසුන් වැඩි දෙනාගේ අරමුණ වුණේ රැකියා සුදුසුකමක් ලබා ගැනීමයි.
      අපට සමහර දේශන පැවැත්වූ උගත් ප්‍රවීනයන්ගේ සටහන් එකට ගොනුකොට තිබණු ස්ටේපල් කටු මලකඩ කාල තිබුණේ. මං ඒකෙන් හිතාගත්තේ ඒ මහත්තැන්ලා යාවත්කාලීන වෙන තරම ගැනයි. ඒ ගැන විස්තර නං මීට කලිනුත් මගෙන් ලියවුණා.

      බාහිර උපාධි පාඨමාලාවේ මුද්‍රණ ශිල්ප දේශන කරන්න ගියාමත් ඒ සිසුන් කිව්වෙ රැකියා උසස්කම් ඉලක්ක කරගෙන (වැඩි පඩි සඳහා) මෙසේ ඉගෙන ගන්න පැමිණි බවක්.
      ඒ වගේ අයට ඉගැන්වීම කොච්චර නීරස අත්දැකීමක් වුනාද කියතොත්- දෙවෙනි වරටත් ඒ පාඨමාලාවේ උගන්වන්නට ආරාධනා කෙරුණම මම බැහැයි කිව්වා. හේතුවත් කියලම.

      මම දන්නා තවත් හිතවතෙක් මේ මෑත කාලීනව ඔය වාගේ පේපර් කොලිෆිකෙෂන්ස් වැඩි කරගත්තා... ඉන්ක්රිමන්ට්ස් වෙනුවෙන්ම. ඕකයි ලංකාවේ අධ්‍යාපනයේ තත්ත්වේ.

      Delete
  5. ස්තූතියි නිදි. බොහොම හොඳ කාලීන ලිපියක්. මට පෙනුනෙ "පන්ති වෛරය" සහ "පරපීඩා කාමුකත්වය" වගේ දේවල් තමයි. කැම්පස් පාස් අවුට් වුනාම, මේ රැග් එක දෙන වාහෙලාම, ඉහල පන්තියට නැගලා වැජඹෙන එකත් දෛවයේ සරදමක්ද මන්දා?

    ඔහු අලයෙක් ඒත් ඔහුට ජීවත් වෙන්න අයිතියක් තියනවා

    තිත්තවැල්ගොල්ලේ වධකයා

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි බස්සෝ linksවලට.
      ඒවා සේරම කියවනවා උත්තර දීල ඉවර වෙලා.

      Delete
  6. Replies
    1. තවත් වැදගත්ම link එකක්. ස්තුතියි බකුසුතුමෝ.

      Delete
  7. නිදි , තත්වය ඉතා දරුණු වග සංජානා ජයමහ ගේ ලිපියෙන් පෙනෙනවා. අපේ පීඨය තුල මතක හිටින නවක වදයක් තිබුනේ නෑ .එකට හේතුව අපේ පීඨ ශිෂ්‍ය සංගමය මහා ශිෂ්‍ය සංගමයට විරුද්ධ පාර්ශවයේ සිට නවක වදයට රුකුලක් නොදීමයි .ලංකාවේ මේ වදයට හේතුව පෞද්ගලික මට්ටමේ කාරනා නෙමෙයි. සාමුහිකව ඇතිවෙන Group polarization එකක්. තමන් විසින්ම මවාගත් elite සමාජයකට එරෙහි කෝපය, පරපිඩක මානසිකත්වය, හීනමානය වැනි පෞද්ගලික ලක්ෂණ අර group එක මෙහෙයවන්නහට තියනවා. ඔවුන් තමා ශිෂ්‍ය සංගම් වල රගන්නේ.
    මතකද මේ ආණ්ඩුව ආපු ගමන් බොරු බියක් ඇති කරා Deep State කියලා. අන්න හරිම Deep State එක තියෙන්නේ විශ්ව විද්‍යාල තුල. එහි පාලනය තියෙන්නේ උපකුලපති ප්‍රමුඛ අධ්‍යන අනධ්‍යන කාර්ර්ය මණ්ඩලයට නෙමෙයි. Deep State ශිෂ්‍ය සංගම් වලටයි. රටේ නිතිය රකින පොලිසියටවත් විශ්වවිද්‍යාල තුලට එන්න බැහැ . මහාචාර්ය සුජීව අමරසේන සිද්දිය මතකද?

    ReplyDelete
    Replies
    1. ඉස්සෙල්ලම නිහඬපාල මහත්තයාට ස්තුතියි හඬ අවදි කළාට.
      කල්ලි ගැහුණාම යන දුර වැඩි වෙනවනේ... සීමා නැතිව යනවනේ. අපේ රටේ තියෙන්නෙම 'සතුරෙක් පෙන්නලා- සතුරාට විරුද්ධව එකතු කරවන' ක්‍රමයක්නේ මහත්තයෝ.

      මියගිය චරිත්ට පිං සිදු වෙන්න දැන් දැන් ගොඩාක් උදවිය කතා කරන්න පටන් ගෙන. ලොකු තැන්වල උදවියගේ දෙබිඩිකම අමුවෙන්ම කියන මේ වීඩියෝව දැක්කද?
      https://www.youtube.com/watch?v=Cm-12AOvMEo
      පුවත අතිවිශේෂයි! අවයව එකට තියලා නූල් වලින් ගැට ගහලා. කුණුහරුප දාලා හදපු පිරිතක් කිව්වා - පාපොච්චාරණය

      Delete
    2. වැදගත් කාරණයක් Nihadapala කියල තියෙන්නෙ. ෆිල්ම්ස්, ටෙලි නාට්‍යවල වුනත් වීරයෝ කියලා පෙන්වන්නෙ හුඟක් වෙලාවට පෝසත් අය එක්ක ලොකු වෛරයකින්, ඉරිසියාවකින් ඉන්න ගමන්, තමන්ගෙ පංතියෙ අයට උදව් කරනවා කියලා පෙන්වගෙන ඔවුන්වත් තමන්ගෙ වාසියට පාවිච්චි කරන අයනෙ. ඒවයින් inspiration ගන්න අය කොච්චර ඉන්නවද . කොහොමත් ගොඩක් අයට self-esteem වෙනුවට තියෙන්නෙ self-importance and arrogance.

      තවක් එකක් තමයි අනිත් අයට ගෞරව කරනවා කියලා ගොඩක් අය හිතන්නෙ දණ ගහලා වඳින එකයි, ඔවුන් කියන දේ අහගෙන කට වහගෙන ඉන්න එකයි. තවත් කෙනෙකුගෙ පෞද්ගලික අවකාශයට, ඔවුන්ගෙ සිතු පැතුම්, රුචි අරුචිකම්වලට ගෞරව කරන්න ඕනෙ කියලා අදහසක් නෑ. කැම්පස් එකට එන නවක සිසුවන් තමන්ට ඕනෙ විදිහට discipline කරලා ගන්න ඕනෙ කියලා හිතන්නෙ ඒකයි.

      ඒ වගේම රැග් එක නිසා "අපි discipline වුණා, සමානාත්මතාවය පුරුදු වුණා" and whatnots කියලා රැග් එක සාදාරණීය කරන අය දෙමව්පියො, ආච්චි අම්මලා, සීයලා නැති, මොන්ටිසෝරි එකේ ඉඳන් කෙලින්ම කැම්පස් ආපු අයද 😒.

      Delete
    3. ඔව් Lotus, වෙනමම දිගට කතා කරන්න තරම් වටිනා ප්‍රශ්න ගොඩක් ඔයා අහන්නේ.
      අපි සමාජ වටිනාකම් විදිහට සලකන ගොඩක් දේවල් අර්ථවත්ද: නිවැරදිද?
      දෙවෙනි කොටසෙදිත් මේ ගැන ලියවේවි. ස්තුතියි.

      Delete
  8. https://chandimagomes.blogspot.com/2025/05/blog-post.html

    ReplyDelete
    Replies
    1. ඇත්තටම බස්සා මහත්මයා ඒ මහාචාර්ය තුමාගේ අදහස් හොඳයි . හැබැයි ඔබතුමා දන්නවනේ දැන් තියෙන්නේ නවක වදයටත් එහා ගිය ගැටළුවක් කියලා. මියගිය සබරගමුවේ ශිෂ්‍යයා නවකයෙක් නෙමෙයි. වර්තමානයේ Campus එකේ deep state එක සංගම්. ඒක හිලෑ කරගන්න තමයි තියෙන්නේ.ඒ අය ප්‍රමුඛත්වය ගත්තොත් වදය නතරවෙනවා.ඔය ජාතික ආරක්ෂාව ආර්ථික ප්‍රතිසංස්කරණ වගේ ප්‍රශ්න වලට ටිකක් විතර කල්ගියත්, අපේ මාළිමා ආණ්ඩුවට ඉත්තිරුවෙන්ම කරන්න පුළුවන් හොඳම වැඩේ මේක. එකට පෝය දෙකක් යන්නෙත් නෑ. බංකු උඩ වාඩිවෙලා ටියුෂන් ගන්න ඕනෙත් නෑ. ඔය ආචාර්ය සංගම් ශිෂ්‍ය සංගම් ලොක්කෝ ටික ගෙනහල්ලා අපේ system change එකට වද දීම ගැලපෙන්නේ නැහැ මේක යටත් විජිත නෂ්ටාවිශේෂයක් , අපි නවීන ශිෂ්‍ය පරම්පරාවක් බිහිකරමු ඒකට ඉදිරිපත්වෙන්න කියලා කියන්න.එක පෝයෙන් වැඩේ ඉවරයි. 100% නොවුනත් සංවිධානාත්මක වදය නතර වෙයි.

      Delete
    2. ඊයේ හවස ගෝල්ෆේස් පිට්ටනියේදී 'නවක වදයට විරුද්ධ අයගේ අරගලයක්' පැවැත්වුනා. වීඩියෝ කිහිපයක්ම YouTube එකෙන් දැක්කා.

      ඒවා දකිද්දී මට පෙනුණේ 'වැඩිදුර යා නොහැකි ගති' තිබෙන බවක්... අසංවිධානාත්මක බවක්... කිහිප දෙනෙකු පිම්බෙන්න හදන බවක්.

      මහාචාර්ය චන්දිම ගෝමස් මහත්මයාගේ අදහස පුළුල් ලෙස සමාජයේ අවධානයට ලක් වේවා!

      Delete
  9. මේ ප්රශ්නයට දාර්ශනික උත්තර නෑ, මේවා අපරාද, මේවාට අපරාද නීතය අනුව සාපරදී ගාතන වලට නඩුදාල දඬුවම් කරන්න ඕන. කිසිම ආණ්ඩුවක් මේ ජරා වැඩේට හරි දෙයක් කරේ නෑ. ත්‍රස්තවාදීන්ට ආණ්ඩු විරෝදී මිනි මරුවන්ට අනුකම්පා කරන අය එමටයි, එත් මේ අහිංසකයන්ට?

    අපි හොඳින් දන්න දෙයක් තමයි මේවගේ මුල ඉන්නේ අන්තරේ බව, උන් කිසි කෙනෙකුට සාක්කි කියන්න දෙන්නේ නෑ. දැන් ඉන්න ආණ්ඩුව කටින් බතල හිටවයි එපමණයි. රුවන් ජයතුංග මේ ගැන ලියපුවා බැලුවනම් මම කියන දේ වැටහෙයි.
    මම විජේබාහු

    ReplyDelete
    Replies
    1. විජේබාහු මහත්තයෝ, නීතියට අනුව නඩු දාලා?

      දූෂණ චෝදනාවලට ලක්වුණු ගුරුවරයෙකු අවුරුදු එකහමාරක් ඒ පාසලේම සේවයේ තියාගෙන ඉඳලා ... කේස් එක ඇවිස්සෙනකොට වෙන පාසලකට මාරු කරලා! ඒ පාසලෙන් විරෝධතා පටන් ගත්තමයි මිනිහව අනිවාර්ය නිවාඩු යවල තියෙන්නෙ...
      ලිංගික අල්ලස් ඉල්ලුවයි කියලා 2015 මාර්තු 31වෙනිදා අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත්තු කෙනෙකුට අවසන් නඩු තීන්දුව ලැබිල තියෙන්නෙ 2025.
      https://www.lankahotnews.net/2025/05/20.html
      ඔන්න අපේ යුක්තිය පසිඳලීමේ බඩගාමී එක්ස්ප්‍රස්කම!

      මැරිච්ච චරිත් දිල්ශාන් වෙනුවෙන් මානව හිමිකම් සංවිධානත් තවම නිදි වගෙයි නේද?

      Delete
    2. ... ඒ අතින් බලද්දී පාලක, බලවත්, ලොකු හැමෝම එක මල්ලේ ලුණු කාපු උදවිය වගෙයි නේද?

      Delete
  10. නිමල් අංකල්, මගේ අත්දැකීමක් කියන්නම්, එක්තරා ටියුෂන් පන්තියකට ප්‍රචාරක පෝස්ටරයක් සහිත ඡායාරූපයක් මම ඊයේ ලබා ගන්නේ මගේ ෆෝන් කැමරාවෙන් ගාලු පාරෙන් අපේ ගෙවල් පාරට හැරෙන තැනදි. මේක 2025 මැයි මාසයේ අලුතෙන්ම දාපු බෝඩ් එකක්, මහ මග පළ කළ ප්‍රසිද්ධ දැන්වීමක්.

    මේ දැන්වීමේ සඳහන් නම කිව්වොත් ඔබට මතකද?

    ඒ යෝෂිත හෙට්ටිආච්චි කියලා ඉකෝන් බිස්නස් විශයන් ටියුෂන් කරන ගුරුවරයෙක් ගැන බෝඩ් එකක්

    මේ නම ඔබට මතක නැත්නම්, අර ඩුප්ලිකේෂන් පාරේ ඇතිවූ කලබලයත් ඒ කලබලයට හේතුවූ සිය දිවි අහිමි කරගත් පුංචි දූ පැටික්කත් ගැන කතා කරන්න එපා. අනේ අපොයි කිය කිය බොරුවට මුහුණු පොතේ පෝස්ට් කමෙන්ට් දාන්න එපා. ඔබ එහෙම කරනවා නම් ඔබ කරන්නෙ බොරුවක්. ඔබ ඔය දැරිවිවත් හෙට අමතක කරලා දායි.

    මම ඉහත කී දැන්වීමේ ඉන්න ඊනියා ටියුෂන් ගුරුවරයා වේවැල් තුනක් එකට තියලා දරුවන්ට ගගහා ඒවා වීඩියෝ කරලා තමන්ම ඒවා ප්‍රචාරණය කර කර හිටියා, ඔබට මතක නෑ නේද? ඔහුගේ වේවැල් තුන ගෑනු දරුවෙක් අතට දීලා ඒ දරුවා ලවා පිරිමි දරුවෙකුට වේදිකාව උඩ තියලා ගස්සවනවා. ඊට පස්සෙ ඔහුත් ගහනවා, ඔබට මතක නෑ නේද?

    ඒ ගැන සමාජ ජාල වල විශේෂයෙන්ම මුහුණු පොතේ දින ගානක් මොනතරම් උද්‍යෝගයක් තිබුණද ඒ සිද්ධිය ගැන. කී දෙනෙක් ලිව්වද? කී දෙනෙක් ෂෙයාර් කළාද?

    ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක උනාද? ඔහු නිදොස් කළාද? නිදහස් කළාද? නිදොස් කොට නිදහස් කළාද?

    ඔහු දැන් කෝ?

    වර්තමාන ජාතික ජන බලවේග ආණ්ඩුවට ප්‍රසිද්ධියේ සහාය පළකරපු සහ පහුගිය මැතිවරණ කාලවල තම සිසුන්ට ජාතික ජන බලවේගය ගැන ප්‍රසිද්ධියේ කැම්පේන් කරලා දෙමාපියන්ට ඡන්දය දාන්න පොළඹවන්න සිසුන්ව උනන්දු කරපු කෙනෙක් විදිහට තාම නිරුපද්‍රිතව ටියුෂන් ක්ලාස් කරනවා

    ඒ ටියුෂන් පන්ති වල ඔහු තාම ළමයින්ට වේවැල් තුනෙන් ගහනවද?

    ඒ පරපීඩක මානසිකත්වයෙන් ඔහු දැන් මිදිලද? එසේ මිදුන බවට සහතික කරන්න පුළුවන්ද?

    ළමයි රකින ආයතන ඔහු ගැන විමසිල්ලෙන් ඉන්නවද?

    නැත්නම් ඒ පන්තියෙ ළමයෙකුටත් නැවත පිළිසකර කළ නොහැකි අනතුරක් වෙනතුරු බලධාරීන් බුදියනවද?

    ඇත්තටම, ඔහුව අමතක කළේ ඇයි?

    ඒ ඔහුගේ වර්තමාන ආණ්ඩුව සමග ඇති සමීප දේශපාලන සම්බන්ධකම් නිසාද? ඔහුගේ සල්ලිකාරකම් නිසාද? බලපුළුවන්කාරකම් නිසාද?

    මිනිස්සුන්ට අමතක වෙනකන් හැංගිලා ඉන්න කියලා ඔහුට කවුරු හරි උපදෙස් දුන්නද?

    ඔව්, දැන් මිනිස්සුන්ට ඔහු අමතකයි.

    ඔහු ලයිට් කණුවෙ මුදුනෙ ඉඳන් ළමයින්ට අතවනනවා. තමන් ලගට ඇවිල්ල සිසුන්ට ගුටි කන්න, බැනුම් අහන්න කතා කරනවා.

    කාට අමතක උනත්, කවුරු අමතක කළත් ඔබ අමතක කරන්න එපා.

    දරුවන්ට ඔබ ආදරෙයි නම්, දරුවන්ගෙ ආරක්ෂාව ගැන ඔබ තකනවා නම් කිසිවක් අමතක කරන්න එපා.

    අද ඔබ නගන හඬ හෙට අමතක කරන්න එපා.

    කෑ ගහලා කෑ ගහලා නින්දට වැටෙන්න එපා.

    නීතිය ක්‍රියාත්මක වන තුරු පසු විපරම් කරන්න.

    ඔබ සැබෑ සහකම්පනයක් තියන කෙනෙක් නම්, ඔබ එදා ඔහුට විරුද්ධ වූයේ අවංකව නම්, මනුෂ්‍යත්වයේ නාමයෙන් එන්න අපි පසු විපරම් කරමු.

    ඔහුට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වූ පරිමාව දන්නා කෙනෙක් ඇත්නම් කරුණාකර දන්වන්න.

    නොදන්නේ නම් සොයන්න.

    මම කැමතියි දැන ගන්න මේ රට දරුවන්ට මොන තරම් සුරක්ෂිතද කියලා. අපි හැමෝම එහෙම කළොත් විතරක් මේ ප්‍රශ්න යම් තරමකට හෝ ප්‍රායෝගිකව විසඳාගන්න ඉඩක් විවර වේවි නැත්නම් තවත් රට භයානක අගාධයට ඇද හැලෙන එකයි වෙන්‍නේ.

    ReplyDelete
  11. යෝෂිත හෙට්ටිආරච්චි කෙනෙක් ගැන මම දන්නෙ නෑ Ano.
    අපේ රටත් අනෙක් බොහෝ රටවල් වගේම කාටවත් එතරම් ආරක්‍ෂිත නැති බවයි මට හිතෙන්නේ. පුරවැසියන්ගේ මිනිසත්කම- දැනුවත් බව- ගුණවත් බව වැඩිවෙන තරමට, ආත්මාර්ථකාමීකම අඩුවෙන තරමට සමස්ත වැසියන්ගේම ආරක්ෂිත බව වැඩිවේවි නේද...

    ReplyDelete
  12. මමත් උඩ ඇනෝගේ කතාවට එකඟයි මම දන්න විදිහට ඔය යෝෂිත කියන පොරට සමාජ මාධ්‍ය වල කොයිතරම් චෝදනා කලත් ලමා ආරක්ෂක අධිකාරිය සහ අමාත්‍යාංශය ලමා හා කාන්තා කාර්යාංශය වගේ ඒවා කිසිම ආකාරයක පියවරක් ගත්තේ නෑ ඒ ගැන ඇහුවම කියනවා අදාල වින්දිතයා එතනට ඇවිල්ල පැමිණිල්ලක් දාන්න ඕන ලු, මේ සියදිවි නසාගෙන තියෙන නංගී ගැනත් ඇමතීනී පෝල්රාජ් කිව්වේ මට පැමිණිල්ල ආවේ නෑ ඒ නිසා කරන්න කිසිම දෙයක් නෑ කියලා තමන්ගේ ඇඟ බේරාගෙන ෂේප් වෙන්න විතරයි දන්නේ අනෙක අර හයේෂිකා කියන ශිෂ්‍යත්ව පන්ති කරන ගෑනි ඒකි ලග වැඩකරන graphic designer කොල්ලෙක්ට වෘෂණ කෝෂවලට පයින් ගහලා උගේ අක්කා මොනවාද වට්ස් ඇප් එකක් දාපු සීන් එකකට කට්ටියට මේක විහිළුවක් වගේ පෙනුනට මේකත් හරිම බරපතල සිද්ධියක්. හරි පාරක් වැදුනා නම් කොල්ලට ප්‍රජනන කාර්යයට ලොකු බලපෑමක් වෙන්න පුළුවන්. හිතල බලන්න කෙල්ලෙක්ට ඔය වගේ වැඩක් වුණා නම්??. තව සමහර ගුරුවරියන් පිරිමි ළමයින්ට දඬුවම් දෙද්දි කවදාවත් ගැහැණු ළමයෙක්ට නොදෙන දරුණු දඬුවම් දෙනවා. ඉස්සර නම් කොල්ලන්ගේ කලිසම් පවා ගලවපු තරුණ ගුරුවරියන් හිටියා. මමත් පොඩිකාලේ තරුණ ගුරුවරියක් මටත් එහෙම කළාම මට ඒකේ බරපතලකම තේරුණේ ගොඩක් අවුරුදු ගානකට පසුවයි, මේ වගේ බැලුවම ඇත්තටම අසාධාරණයට ලක්වෙන්නේ පිරිමිද කියලාත් හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. අධිකාරී- කාර්යාංශ මොනවා තිබ්බත් ඒවගෙන් හරියට වැඩ කෙරෙන්නේ නැතිවෙන්න එක හේතුවක් තමයි ඒ ගොල්ලට කෙරෙන සමහර බලපෑම්.
      ළඟදී කෝප් රැස්වීමකදී හෙළිවුණේ හිටපු ඇමතියෙක් පුටුවට පයින් ගහලා ලක්ෂ ගණනක මගඩියක් කරවගත්ත හැටි.

      Delete
  13. මාත් විශ්ව විද්‍යාලයකට ගිහිං තියෙන්නෙ වාර කීපයක් විතරයි. මං කළේ කැළණිය විශ්ව විද්‍යාලයෙ බාහිර උපාධිය. ඩ්‍රැකියානි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙ අභ්‍යන්තර උපාධිධාරිණියක්. එයා මට කියලා තියෙන විදිහෙ රැග් නම් අර තරම් අමානුෂික නෑ. ඒත්...

    මං කල්පනා කරන්නෙ, ඇයි කෙනෙක් තව කෙනෙකුගෙ හැසිරීම් පාලනය කරන්න, වෙනස් කරන්න හෝ තමන්ට ඔ්නෙ හැසිරීම් කරවන්න බල කරන්නෙ? එක්කෝ හීනමානය, එක්කෝ අනාගතයේ දි තමන්ගේ පාලනමය බලය පවත්වාගන්න, නැත්නම් මානසික රෝගී තත්ත්වයක්. අභාග්‍ය සම්පන්න දේ වෙන්නෙ, මේ තත්ත්වය උසස් අධ්‍යාපන සමූහයක් තුළ දකින්න ලැබෙන එකයි. මම කියන්නෙ, කොයි තැනත් රැග් එක තියෙනවා, අඩු වැඩි වශයෙන්. ඒත් අධ්‍යාපනය සහ උසස් අධ්‍යයන පරිසරයක් තුළ මෙවැනි ගෝත්‍රික සහ ප්‍රජාතාන්ත්‍රික නොවන හැසිරීම් පවතින එක හෙලා දැකිය යුතුයි.

    අනික් අතට, ඔය හැම එකක ම මතුපිටින් දක්වන අරමුණ නොවේ, වෙන ම න්‍යාය පත්‍රයක අභිලාෂයන් ඉටු කරගැනීමේ අවශ්‍යතාවක් ක්‍රියාත්මක වෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් ඩ්‍රැකී, ඔයා හරි!
      මේවා යට වෙන වෙන අභිලාෂ ගොඩක් තියෙන බවයි මාත් විශ්වාස කරන්නේ.

      Delete
  14. මේ අපේ සීනියර් ලා දුන්න නවකවදය මොස්කව් නවක වදය 2

    ReplyDelete
  15. නවක වදය ගැන කටහ්වක් තියනවා මම දන්නා , ඒක සම්බන්ධ අම්පාරේ හාඩි රැග් එකටලු . ලියන්න හරිම ජුගුප්සාජනකයි . පරපිඩක කාමුකත්වය හොන්දම එකෙන් . ඕක මම දන්නා පේරා විද්‍යාර්තියෙකුගෙන් ඇහුවා ඇත්ත කතාවක් ද කියල . එයා කීව වෙන්න බැහැ කියල . කතාවල ලියනවද නැත්ද කියල හිතා ගන්න බැහැ . බොරුවක් ලියන්නත් මම කැමති නැහැ

    ReplyDelete
    Replies
    1. තව ටිකක් හොයල බලන්නකො. තහවුරු වුණොත් අපටත් කියන්න අජිත්!

      Delete
  16. මම මෙහෙ අන්තරයට සම්බන්ධ පෙරටුගාමී එකෙන් ඇහුවම උන් ප්‍රශ්නෙන් ලිස්සල යනවා. හැබැයි එකෙක් නම් කීව 88-89 දුන්න වැඩ වල හැටියට ඕව මොනවාද කියා . මහාචාර්ය ප්‍රදීප් ජෙගනාදන් මට වරක් කීවා බුද්දාගමේ පන්සල් වල අපාය ගැන තියෙන දේ 88-89 වගේම ඊට කලිනුත් විශ්ව විද්‍යාල වල ක්‍රියාත්මක වුනාය කියල . ප්‍රයිවෙට් විදුහල් වල ළමයි සුයිසයිඩ් කර ගන්න නේද . දෙක තුනක්ම පහුගිය කාලේ වුනා . ඒවා ට නවක වදය සම්බන්ධද

    ReplyDelete
    Replies
    1. හොඳටම කුනුවෙච්ච; නීතිය වල් වැදුණු සමාජයක සිදු දරුවන් විතරක් ගුණ යහපත් අය වෙයිද අජිත් මහත්තයෝ...

      Delete
  17. මේ ළමයිට නවයොවුන් විය අවසන් හරියේදී පාසලෙන් කුසලතා සංවර්ධනය, සන්නිවේදනය, සහයෝගීතාව, දරාගැනීම වගේ චර්යාවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා නම්... නියපොත්තෙන් කඩාගන්න පුළුවන් දේ පොරොවෙන් කපන තැනට යන්නේ නැතුව කරගන්න පුළුවන්. අධ්‍යාපනයේ මූලික අරමුණම එතැනින් ඉටුවෙලා. යහපැවැත්මක් ඇති, කුසලතා සහිත ඵලදායී සමාජයක් බිහි කිරීම.

    ReplyDelete
    Replies
    1. හැබැයි ඉතිං මේවා වෙන්න හුඟක් කල් යන වැඩ. දැන් මේ වෙච්ච දේටනම් බලධාරීන්ගේ ඇස් ඇරේවා කියල තමා ප්‍රාර්ථනා කරන්න තියෙන්නෙ!

      Delete
    2. කල් ගියත් නමී, ඒක සාර්ථක වැඩ පිළිවෙලක්. ළමුන්ගේ පොඩි කාලෙ ඉඳලමයි ඔවුන්ව හැඩ ගස්සන වැඩේ පටන්ගත යුත්තේ.

      Delete