අකුරු මැකී නෑ

Saturday, November 8, 2025

උපන් දිනේ පට්ටන්දරේ - තෙවෙනි කොටස

හැමෝම හිනා වුණා නොව හිනා කෑවෝහ; 😂😂😂😂😂.
ඒත් අප එහෙම කළේ අපේ සුන්නා සමන්තිව දැකලා පුදුමයෙන් අත ඔළුවේ ගසා ගත්තාමය. ඒ විස්මය කොතෙක්දැයි කියන්නට කිසිම කැමරාවක් සමත් නොවෙනු ඇතැයි මට සිතේ!

ඒ මහේෂ් ජයරත්න වැන්නවුන්ගේ හපන්කම් පෙනුණාමය. ඔහුගේ අවධානය දිනාගත්; එහෙත් කාගේවත් අවධානයට ලක් නොවෙන මේ ශාඛ විශේෂය...

නිමල් දිසානායකගේ ඒ කීම හැම කෙනෙකුගේම කැමරා ඇසට වලංගු නැති විත්තියකුත් මටම පෙනෙයි. ඒ මහේෂ් ජයරත්න වැන්නවුන්ගේ හපන්කම් පෙනුණාමය. ඔහුගේ අවධානය දිනාගත්; එහෙත් කාගේවත් අවධානයට ලක් නොවෙන මේ ශාඛ විශේෂය හෝර්ටන් තැන්නේදී ඔබත් දැක ඇතිවා නිසැකය.!

“අඩු ගාණෙ මිස්ට තිබ්බනේ සීට් එක අස්සේ හැංගිලා ඉන්නවයි කියල මටවත් කියන්න... මිස්ලගේ පොඩි අයියා විතරක් නෙවෙයි මාත් ගැස්සිලා ගියානෙ, එතැන ඉඳලා මිස් එක පාරටම කෑ ගහගෙන පැන්නම.”
Samගේ හැංගිමුත්තමෙන් පස්සේ රියැදුරු මංජුල කිව්වේ සිනාවෙමින්. “මිස් ඒක ඒ තරං සුපිරියටම කළා!”

අපේ ජීවිත බොහොමයක් ගෙවෙන්නේ අතිශය ඒකාකාරී රටාවනට අනුව නේද? මහ ලොකු දේවල් නොකළාට ඉතා සුළු දේවල්වලින්වත් ඒ ජීවිත රසවත් කර ගන්නට අපට බැරිද?
දෙපා අවසඟ පාපන්දු පිස්සා; රාජමනි අංකල් කියා දුන් ලෙසින්ම ‘Variety is the Spice of Life!’ නොවේද?
ඒ අතින් බලද්දී අපේ ගෙදර ඇත්තන් නාටකීය රසයට- විවිධත්වයට වඩා කැමති විශේෂ පිරිසක්ද...

“හරි, හරි. Bags ටික බාගන්න කලින් අපි තේ මේසෙ හරි ගස්සල ඉඳිමු. කැවුම් කොකිස් තියෙන බෑග්ස් විතරක් ඉස්සෙල්ල බාගෙන ඉඳිමු. ඉන්න පොඩා, මං එව්වා අරං දෙන්න.”
“මානෙල්, මගේ කාගිල්ස් රෙදි බෑග් එකත් ඕනි. අග්ගලා පිටි ටිකයි, උයාගෙන ආව චිකන් කරියයි දෙකම තියෙන්නේ ඒකෙ.”
“අයියා කුකුල් මසුත් උයාගෙන ආවද? අපරාදෙනේ අයිය මහන්සි වුණේ. අන්න නිර්මලා ඔයා ඕනියි කියපු පොල් බෑයකුත් ගාල තිබ්බා.”

“සුනිල් අයියා දන්නෑ, දිසානායක උයාගෙන ආවයි කිව්වට වැඩියෙන් මහන්සි වුණේ මං. මස් ගෙනල්ල දීලා- කපල- හෝදල- ළූණු මිරිස් කපල දෙන්න ඕනි මං. මෙයා කරන්නේ පහේ දාලා උයන එක විතරයිනෙ...”
“හරි ඉතිං කවුද නෙවිල්, එහෙම නැහැයි කිව්වේ...”
“අයියත් මේ යකාගේ හැටි දැන-දැනම එයා එක්ක පැටලෙන්න යනවනේ- නිකං නොඉඳ!”

“දන්නවද සුනිල්, මම චිකන් ටිකක් උයාගෙන ආවේ නිර්මලාට ටිකක් හරි ලේසි වෙන්නයි. නැත්තං තමුසෙලාගෙ වැඩේ කුස්සියටම වෙලා උය උයා ඉන්න එකනෙ - කොච්චර එපා කිව්වත්...”
“ඕක මොකක්ද අයියේ. අයියලා ආවම එකක් දෙකක් එක්ක කන්න දීල හරි යන්නෑ කියලයි මෙයා කියන්නේ...” අඩු කතා ඇති නිර්මලාත් අද දොඩමලු වෙලාය.

එයා මගෙත් එක්ක යාළුයි. මේ ඉන්නේ... ටෝනි... අනේ ටෝනී... ටෝනිට මාව මතකද... (foto- මැතිව්)

“අදත් ලොකු අයියලා ආවම බදින්න ගන්නයි කියලා මෙයා ඊයෙම කොරලි මාලු වගයක් ගෙනත් ලුණු මිරිස් අත ගාලා තිබ්බා...”

“තැන්කියු තැන්කියු සුනිල් අයියේ... ඔහොම තමයි කන බොන මිනිස්සු... උවමනා දේ හරියටම දන්නවා. පේනවනේ දිසානායක ගෙනත් තියෙන දේ. අග්ගලා හදන්න පිටි...” නෙවිල් ඔලොක්කුවට මුහුණත් ඇඹුල් කරයි. “හලෝ, අපි සිරීපාදෙ නෙවෙයි ආවේ... සීතගල, රාස්සගල සීතගල... ලොක්කට ඕනෑ අග්ගලයක් හදා ගන්න දීලා- නිර්මලා, අපි දැන්මම මාළු ටික බදින්න ගනිමු... නේද ගාමිණී- අපිට ඒ ඇතිනෙ.”
නෙවිල් ගාමිණීවත් පටලවා ගන්නට හැදුවත් ‘හ්ම්’ කියන්නේ ගාමිණී නොවේ. එයා කරන්නේ යන්තමින් හිනා වෙන එක විතරකි.

“ඒවා පස්සේ... ඒවා පස්සේ නෙවිල් අයියේ... මාත් ඉන්නවා ඔයාලගෙ club එකේ.” ගාමිණී වෙනුවට උත්තර දුන්නේ සමන්තියි. “ඒත් ඉස්සෙල්ලම b’day කේක් කපලා... කිරිබත් කාලා...”

අපේ කතාබතා අස්සේ හිමන්‍යා මැතිව් හා ස්ටෙෆ්නි දෙන්නාව නටවන්නට පටන් ගෙනය. “එන්නකො... මං ඔයාලට ටෝනිව පෙන්නන්න... එයා මගෙත් එක්ක යාළුයි. මේ ඉන්නේ... ටෝනි... අනේ ටෝනී... ටෝනිට මාව මතකද... ගිය සැරේ සුනිල් සීයල බලන්න ආවම මං ඔයාව වඩාගෙන හිටියේ...”

සුරතල් සතුන්ට සුවිශේෂ වෙනමම ඉවක් තියෙනවාද? ඔවුනට සැබෑ ලෙසින්ම ආදරය දක්වන; කරුණාව පෙන්වන අයව හඳුනා ගන්නට ඒ සතුන්ට හැකියාවක් තිබෙන්නේ එහෙමද? ටෝනිටත් ඒ සමත්කම තිබෙනවා වගෙය. ඒකා මැතිව්, ස්ටෙෆ්නි, හිමා තුන් දෙනාටම තමන්ව වඩා ගන්නට ඉඩ දුන්නේය; හිතේ හැටියට තමන්ව හුරතල් කරන්නට ඉඩ දුන්නේය; ඔවුන් එක්කම දැවටි දැවටී උන්නේය.

“හැබැයි සුනිල් සීයේ, ටෝනි ලොකු වෙලානේ. එයත් දැන් අපේ නෝටි කිටී වගෙ... මං නං ආසයි ටෝනි පුංචියටම හිටිය නං.”
“එහෙම බෑනේ හිමා! දැන් ඔයාත් ඉස්සර හිටියට වැඩිය ලොකු වෙලා තියෙන්නේ. ඒක තමයි විදිහ. පුංචියට ඉපදෙනවා... ඊට පස්සේ...”
“ආ... ඔව්, ඔව් සුනිල් සීයේ. අම්මගෙ බඩ ඇතුළේ ඉඳලා ඉපදෙනකොට මාත් හරිම පුංචියටනෙ හිටියේ...”
“ඈ... ඔයාට එව්වත් මතකයිද හිමා?”
“ඇයි සුනිල් සීයේ, ෆොටෝවල තියෙන්නේ... දැන් මට පහයි... අම්මේ චුට්ටක් මෙහාට එන්නකෝ.”

ඊළඟ පැය ගත වුණේ උපන් දින කේක් කපන්නට- කවන්නට හා කෑම මේසයෙන් බාගයක්ම... (foto- මැතිව්)

හිමන්‍යා රෝසිව එතනට කැන්දා ගත්තාය. ඊළඟට රෝසිගේ ළඟින්ම හිට ගත්තාය. “මේ බලන්න සුනිල් සීයේ. මං දැන් අම්මගෙන් බාගයකටත් වැඩිය උසයි...”

“අඩේ, ඇත්තම නේන්නං...”
“හරි හරි හිමා. දැන් අපි සුනිල් සීයගෙයි, ලොකු සීයගෙයි බර්ත්ඩේ කේක් එක කපන්නයි යන්නෙ.” රෝසි කිව්වාය. “මේසෙ රෙඩි කරලා ඉවරයි සුනිල් මාමේ.  ඔයා හිමාවත් එක්කගෙන එනවද එහෙනං- කට්ටිය බඩගින්නෙලු ඉන්නේ."

“හිමාටත් ලොකු සීයටයි, මානෙල් ආච්චිටයි වගෙ කියෝ කියෝ ඉන්න තියෙනව නං වෙන මොකුත් ඕන නෑ, සුනිල් අය්යේ.” නෙවිලුත් කතාව මැද්දට පැන්නා. “යමු, යමු සුනිල් අයියේ. මේ වැඩ ටික පරක්කු වුණොත් අපේ පූජාවලුත් පරක්කු වෙනවා. මේ කට්ටියට ඕනියි කියනවනෙ නාන්න වලවේ ගඟට යන්න...”

ඊළඟ පැය ගත වුණේ උපන් දින කේක් කපන්නට- කවන්නට හා කෑම මේසයෙන් බාගයක්ම හිස් කර දමන්නටය.

“මොකටද මංදා සුනිල්ලා ලුණුමිරිසුයි, සීනි සම්බෝලයි දෙකම හැදුවේ... ඒ මදිවට මාළු ඇඹුල් තියලුත්... ඒ ජාති තුන එක්ක කිරිබත් කෑලි තුනක් කෑවාම වෙන මොනවත් කන්න බඩේ ඉඩ ඉතිරි වෙනවයැ?” මැසිවිල්ලක් නැඟූ නෙවිල් ඊළඟට මගේ පිඟාන දිහාවට එබුණේය.

අයියලා මල්ලිලා අක්කලා නංගිලා! (foto- මැතිව්)

”මේ බලන්නකො Sam, ඔයාලගේ ලොකූට නං ඒ ප්‍රශ්න මොකුත් නෑ. මිනිහා පිඟාන පිරෙන්නම බෙදාගෙන- කතා නැතුව වළඳනවා. ඇයි හලෝ, තමුසේ ඩයබිටික් ලෙඩෙක් නේද... ඉන්නවකො, මං foto එකක් ගහලා පීරිස්ටයි, පොලාටයි, ප්‍රියන්තටයි යවන්න... ඒ මිනිස්සු මෙයා මෙහෙම කනවයි කියලා දන්නවා නං...”

“ඒ මිනිස්සු දන්නවා හලෝ මගේ විදිහ.
මට හිතුණු වෙලාවට මම ‘කන්න ජීවත් වෙන කෙනෙක්’ වෙනවා. හිතුණාම ‘ජීවත් වෙන්න කන කෙනෙක්’ වෙනවා. තව විස්තර ඕනි නං කාලා ඉවර වෙලා කියන්නං. දන්නවද- අපට උගන්නල තියෙන්නෙ කෑම කන වෙලාවට කතා කරන්න හොඳ නෑ කියලා.”

ෂ්... ෂ්... ෂ්...
සද්ද නොකරන්නැයි හදිස්සියේම අපට ඉඟියෙන් කියූ සුනිල් පෙන්නුවේ පිටුපස මිදුලේ රඹුටන් ගහ යට තේ පඳුරු ගොන්නයි. තේ පඳුරු යටින් රිංගමින් එළියට වඩිමින් උන්නේ වළි කුකුළු රංචුවකි. “සද්ද කළොත් උන් යයි... දීපානි, මැතිව්ලවත් එක්ක ගෙනවිත් පෙන්නන්න.”

සුනිල්ලාගේ ගෙදරට ගිය හැම දවසකම අප වැඩිම වෙලාවක් ගත කරන්නේ කුස්සියට යාබද විවෘත කොටසේය. එතනට සමස්ත වටපිටාවෙන් තුන් පැත්තක්ම පෙනෙයි. එක පැත්තක තේ වත්තය. ඊළඟ පැත්තේ දූරියන්, මැංගුස්, ගස්ලබු, කිතුල්, පොල් ගස්ය. තුන්වෙනි පැත්තේ එනසාල් පඳුරු, දෙහි- ලෙමන්- කතුරුමුරුංගා- පේර ගස් හා පුවක් ගස් වැටිය අතරින් පෙනෙන බෑවුමේ කුඹුරු යායවල්ය.

“මෙතන වාඩි වෙලා දවසක්ම වුණත් ගත කරන්න මට පුළුවනි. කන්න බොන්න ඕනිත් නෑ- කෝපි දෙක තුනක් නං ඕනි හැබැයි...” අයස්මන්ත මහතා කියා ඇත්තේ එක වරක් හෝ දෙවරක් හෝ නොවේ.
“මොකද මෙතැන ඔච්චරට හිතට වැදෙන්නේ?”
“මට හිතෙනවා ලොකුම හේතුව open view එක කියලා. බැලූ බැල්මටම මේ තුන් පැත්තෙන් කොච්චර ඈතක් යනකල් පේනවද... අනෙක කොළපාට... ඇහැට කිසිම පීඩාවක් නැති පාටනෙ.”

සාමාන්‍ය මට්ටමට වඩා උසකින් මේ ගේ තියෙන්නේ. ඉස්සර පන්සල් වුණත් හදල තියෙන්නෙම උස් බිම්වලය කියනවනේ! (foto- මැතිව්)

“තව කාරණයක් තියෙනවා... සාමාන්‍ය මට්ටමට වඩා උසකින් මේ ගේ තියෙන්නේ. ඉස්සර පන්සල් වුණත් හදල තියෙන්නෙම උස් බිම්වලය කියනවනේ.”

“ඔය සේරම පරාදයි මචංලා මෙතැන තියෙන නිස්සද්දකමට. ලේනුන්ගෙයි එක එක කුරුල්ලොන්ගෙයි සද්ද විතරයි. පොඩ්ඩක් හිතන්නකො නිමල් අයියෙ. හැමෝම වගෙ කියනවනෙ ඔයාලගේ ගෙදරත් හරි කූල්- නිස්සද්ද තැනක්ය කියල. එහෙම ගෙදරකදි වුණත් ඇස්දෙක පියාගෙන ඇහුම්කන් දුන්නොත් තේරෙයි, වටපිටේ කොච්චර ඝෝෂාවක් තියෙනවද කියල.”
කලින් දවසක කෙරුණු ඒ කතාබහ යළි සිහිපත් කිරීම නැවතුණේ දීපානිගේ ප්‍රශ්නයකිනි.

“පොඩා, මැතිව් අහනවා ඔයාලගෙ ටෝනි අර කුකුල් පැටවුන්ව අල්ලන්නේ නැද්ද කියලා.”
“ඌවත් බුද්ධාගමට අරගෙනනේ! කොච්චරද කියනවා නං උගේ අයිතිකාරි දැන් බුදුන් වඳිනකොට, බණ අහනකොට හෙම ටෝනිවත් ළඟින් වාඩි කරව ගන්නවා.”
“අනේ... how sweet?” ඒ දීපානියි.

Sam දීපානි තරමේ ශ්‍රද්ධාවන්තියෙක් නොවේ. “පව් ටෝනි. ඌට බණ තේරෙන එකක්යැ?”
“නෑ නෑ නංගි, මම කියන දේ ටෝනිට හොඳට තේ..රෙ..න..වා. ‘උඹ මේ ආත්මෙදිත් ඤාව් ඤාව් ගගා සත්තු මර මරා හිටියොත් නං ලබන ආත්මෙත් ඔහොමම තමයි ඉන්න වෙන්නේ පුතේ’ කියනකොට ටෝනි හො..ඳ..ට අහගෙන ඉන්නවා.” නිර්මලා සහතික වෙයි!

ඒ ධර්ම සංවාදය අස්සෙත් මැතිව් කැමරාව මානාගෙන උන්නේ වළි කුකුළන් foto ගහගන්නටය. “චූටි දන්නවද, වළි කුකුළා තමයි ලංකාවේ ජාතික පක්ෂියා.”
“ඇත්තටමද නෙවිල් අයියෙ? ඒක නෙවෙයි පොඩා, කොහෙන්ද මෙච්චර ජාතිවල සත්තු ගොඩක් ඔයාලගේ ගේ ළඟට එන්නේ... මේ පැත්තේ උන් හරියට ඉන්නව වගෙයිනෙ.”

ගඟට යන පාර හෙණ පල්ලම. අමාරුවෙන් හරි පල්ලම බැහැ ගත්තත්... (foto- මැතිව්)

“අපි හැමදාම උන්ට කෑම දානවනේ දීපානි. දැන් සත්තුන්ට වුණත් කන්න දේවල් හිඟයිනෙ... ඉතිං කෑම තියෙන තැන්වලට උන් එනවා පුරුදු වුණාම...

ඒක නෙවෙයි... හොඳටම ඉර මුඳුන් වෙන්න කලින් ගඟට ගිහිල්ල එමු යනවා නං. දැන් නං හොඳ වෙලාව... මොකද කරන්නේ?”

“යන්න ඕනි පොඩි අයියේ. මැතිව්ලා කිය-කියාම ආවේ river එකකින් නාන්නම ඕනි කියලා. අනෙක මේ දෙන්නට ඕනිලු water fall එකකුත් බලා ගන්න.”
“ඒකට මො..ක..ද අයියේ කරන්නේ?”
“මෙයාලට හෙට රෑට ආපහු යන්න තියෙන එකනෙ සුනිල් ප්‍රශ්නෙ. අපි යමින් ගමන අලුපොල ඇල්ල බලාගෙන යමු- හෙට උදේට. එතකොට වෙලාව ඉතිරියි... දැන් ඔයාලා ගඟට ගිහිං එන්නකො.”

“ඇයි ලොකා එන්නැද්ද?”
“බෑ සෑම්, දන්නවනෙ ගඟට යන පාර හෙණ පල්ලම. අමාරුවෙන් හරි පල්ලම බැහැ ගත්තත් නාලා ඊට පස්සේ එනකොට උඩට නඟින්න වෙනවනේ. එතකොට නෑව එකෙනුත් වැඩක් නෑ-  දාඩිය නාගෙන එන්න වෙන්නේ. අනෙක කූඩැල්ලෝ...”
එපාම කරපු අනෙක් කරදරය
පොල්තෙල් මනාලයන්’ ගැන ඒ වෙලාවෙදී මම මොකුත්ම නොකිව්වෙමි. ‘යන්න හදන අයට එපා කරවන්න හොඳ නෑනේ!’

“අද නං මමත් ගඟට යන්නෑ.” ගාමිණීත් පස්ස ගැහුවා
 
අපි දෙන්නා ගෙදර හිටිද්දී එයාලා ගඟට ගියා.

හැබැයි වෙනද වගෙම අදත් කට්ටියම එකතු වෙලා නානවට වැඩිය මැණික් හොයනවා නං තමයි පරක්කු වෙන්නේ... (foto- මැතිව්)

සුනිල්ලා ඒ ගමට සංක්‍රමණය වෙනවාත් එක්කම ගමෙන් හිතවත් වී තිබෙන්නේ කමල් මහත්තයාය. ගමෙන් පිට ගිහිං හිටියේ නැත්තං කමල් මහත්තයා දවසකට වතාවක්වත් සුනිල්ලගේ ගෙදරට එයි. ඒ හිතවත්කම අප දක්වාම පැතිරුණු බැවින් අප එහි ගිය හැම විටෙකම කමලුත් අප හමු වෙන්නට එයි.

බලංගොඩ සාවියේ ජනකතා- ජනශ්රුති- ගහකොළ- බෙහෙත්-හේත් ආදියට අමුත්තෙක් නොවුණු කමල් මහතාය ‘අද්භූත; අදිසි වරිගයක මිනිසුන් පිරිසකට බුලත් කොළ පේ කොට මී ගව බාන් හා දෑකැති’ ගෙන්නා ගත් ගැමියන් ගැන අපට කිව්වේ.

පසුගිය වතාවේ ඔහු මට කිව්වේ මී ඇටවලින් හා දොඹ ඇටවලින් තෙල් හිඳගන්නා විදිහයි.
“ලොකු අයියට කියන්න මගේ ළඟ ඒ තෙල් මිරිකාගන්න වේවැල් පැහැක් හිට තියෙනවා. බේතකට ගන්න දෙයක් පිරිසුදුව හදන්න එපැයි අයියේ- දෙයියන්නෙ රාජකාරියක් වගෙ.
ඉන්නකෝ, මගේ ළඟ තියෙනවා වේලපු මී මල් ටිකක්, හවසට මම ඒ ටික අයියට ගෙනත් දෙන්නං. දාලා හැලප ටිකක් හදාගෙන බලන්නකො.”යි කියූ කමල් මහතා එදා මට ගෙනවුත් දුන් මී මල් ටික තවමත් අපේ ශීතකරණයේය!

මෙදා අපේ කට්ටිය වලවේ ගඟට ගිය අතරේ කමල් මහත්තයා ආවේය. “ආරංචි වුණා අයියල එන විත්තිය. එයාලා නාන්න ගිහිං හුඟ වෙලාවක් නං මෙලහට එනවත් ඇති. හැබැයි වෙනද වගෙම අදත් කට්ටියම එකතු වෙලා නානවට වැඩිය මැණික් හොයනවා නං තමයි පරක්කු වෙන්නේ...”
තේ වවන- කුඹුරු කරන- මැණික් ගරන කමල් මහතා මත්පැනින් හා ධූම පානයෙන්ද වැළකුණු කෙනෙකි.

“ඒක නෙවෙයි  කමල් මහත්තයෝ. ඊළඟ වතාවේ මෙහෙ ආවම මට ඕනි ඔයාල ගෙදරට ඇවිත් යන්න. තිරිංග තද කරන්න පුළුවන් විදිහට වේවැල් පැහැ හයි කරල තියෙන දඬු කඳ ගැන අහල තිබ්බට මං තවම දැකල නෑ... ඒක බලා ගන්නයි.”
“එන්න එන්න අයියේ... පුළුවන් වුණොත් මං දොඹ ඇට ටිකකුත් ලෑස්ති කරගෙන ඉන්නංකො.”

මැතිව් කුහුඹුවන් පවා ෆොටෝවලින් සටහන් කර ගනිමින්ය! (foto- මැතිව්)

“ආ... අන්න අපේ කට්ටිය පල්ලම් බහිනවා...” ගාමිණී කිව්වේ එතකොටය. “එන්නෙ නං පාන් කියා ගන්නවත් බැරි විදිහට... හැබැයි කටවල් නං...”

“අපරාදෙ ලොකූ... ඔයාටයි ගාමිණී අයියටයි දෙන්නටත් එන්න තිබ්බේ. නිල්ම නිල් පාට very clear වතුර ටික- අයිස් වගෙ සීතලයි හැබැයි.”
“මම එතැනට ගිහිං තියෙනවා හලෝ. ඔයාලා හොඳට enjoy කළානෙ... ඒ මදැයි!”
“මානෙල් අක්කව ලිස්සුවද කොහෙද... එතකොට නං මටත් හිතුණා ලොකා ආවේ නැති එක හොඳයි කියලා.”
“ගඟට ගියේ නැති වුණාට ඒ වෙලාවේ මම පොඩි nap එකකුත් දාලා නා ගත්තත් එක්ක.”

ඊළඟ වරුව ගෙවී ගියේ හැටට හැටේ වේගයෙනි!

හිමන්‍යා ස්ටෙෆ්නිව බද්දට අරගෙනය.
මැතිව් කුහුඹුවන් පවා ෆොටෝවලින් සටහන් කර ගනිමින්ය.
රෝසි, සමන්ති, මානෙල්, දීපානි, නිර්මලා කෑම-බීම, අවුළුපත් සැකසීමට හිර වෙලාය.
නෙවිල්, ගාමිණී හා මං වහන්සේ කුස්සියට යාබද විවෘත බරාඳයේ පුටු මතය.
සුනිල් හැම පැත්තකටම යමින් එමින්, අඩුපාඩු බලමින්- ඒවා සපුරාලමින් ‘තරු පහේ service’ එකක් දෙමින්ය.

ඒ පැය කිහිපයේදී අපි කොච්චර නම් ‘පරණ කිලිටි රෙදි’ හේදුවාද?

මෙයා හරිම අහංකාර උද්ධච්ඡ අම්මණ්ඩි කෙනෙක්. අයිය දන්නවද, ඒවා දැකලා මෙයාට කුමාරිහාමි කියලා නම රෙජිස්ටර් කළේ අපේ අයස්මන්ත දොස්තර මහත්තය! (foto- මැතිව්)

ඒ අස්සේමය කුමාරිහාමි වැන්නියන්ගේ කතන්දරත් කියැවුණේ!

කුමාරිහාමි කියන්නේ, නිර්මලා නුවර ගෙදර සිට සීතගල ගෙදරට කැන්දාගෙන ඇවිත් සිටින සුනඛ ධේනුවටයි! ඇති පදම් අපේ විත්ති කියා ඇති නිසාත්; කුමාරිහාමිගේ සුවිශේෂතා විශේෂයෙන් කියන්නට තරම් වටිනා නිසාත් ටිකකට අවසර...

“මෙයා හරිම අහංකාර උද්ධච්ඡ අම්මණ්ඩි කෙනෙක්. අයිය දන්නවද, ඒවා දැකලා මෙයාට කුමාරිහාමි කියලා නම රෙජිස්ටර් කළේ අපේ අයස්මන්ත දොස්තර මහත්තය.” / “කන්න දෙන වෙලාවට මෙයාට ඉස්සෙල්ලා වෙන සතෙකුට කෑම දුන්නොත් එහෙම මෙයා නෙවෙයි මෙයාගේ කෑම පිඟාන දිහාවත් බලන්නේ... නොකා ඉන්නවා බඩගින්නේ.”   

“ඔන්න චූන්පාන් වෑන් එක එනවනේ... එතකොට සුනිල් මෙයාට කිඹුලා බනිස් එකක් හරි බනිස් එකක් හරි අරගෙන දෙනවා. ඒක දෙන්න ඕනිත් යාප්පුවෙන් මෙයාට කතා කරලා... ඔළුව අතගාලා...” නිර්මලාගේ කතාවට ඌන පූරණ සුනිල්ගෙනි.
“අයියලට කියන්න, මං කිඹුලා බනිස් එක මැද්දෙන් අල්ලගෙන හිටියත් මේකිට වැරදියි... මං ඒක අල්ලන්න ඕනි ඇඟිලි තුඩුවලින්- අයිනකින්. ඔව්, ඔව්... කුමාරිහාමි- මොකද බලන්නේ? අපි තමුසේ ගැන තමයි මේ කතා වෙන්නේ... එයාට තේරෙනවා නෙවිල්, අපි කතා කරන දේවල්... වෙලාවකට මෙයා එක්ක කේන්තිත් යනවා- එයා හිතනවද දන්නෑ එයා කන-බොනකොට අපිට හතර මහ නිධානෙ පහළ වෙනවයි කියලා.”

දැන් සුනිල්ගේ ස්වරය කනගාටුදායක එකකි. “එක අතකට බලද්දී තිරිසන්නු වෙලා උපදින්නේ කරුමෙකටම තමයි. මෙයා ගෑනු සතෙක් හිංදා පැටිය කාලෙම මෙයාව ඔපරේෂන් කෙරෙව්වලු. ඒ නිසා වෙන්නැති ගමේ බල්ලෝ එකෙක්වත් කුමරිහාමිව එයාලගෙ සංගම්වලින් එකකටවත් වැද්ද ගන්නෑ. පව්!”

ඔහොමින් ඔහොමින් එදාත් රෑ ජාමයක් වෙනකල්ම අපි උන්නේ අවදියෙනි.
“නිඳි මැරුවට නං කමක් නෑ... හැබැයි හෙට උදේ නවයටවත් අපි මෙහෙන් පිටත් වෙන්න ඕනි, අලුපොල ඇල්ල බලන්න යනව නං...”
“හරි, හරි ලොකා. අපි උදෙන් නැඟිටින්නං. තේත් හදලා උදේට කන්නත් ලෑස්ති කරලා දෙන්නං හතහමාර වෙනකොටම. නේද නිර්මලා...”
“ඔව්වත් වැඩද.... ලොකා- ඔව්වත් වැඩද? මමත් උදෙන්ම නැඟිටින කෙනෙක්නෙ මානෙල් අක්කේ...” සමන්තිත් රඟයි.

2025 ඔක්තෝබර් 4 වෙනිදා උදේ ආපසු ගමනට සැරසී අප ගත් ෆොටෝව. (හිමන්‍යාටත් නෙවිල්ටත් මැදිව සිටින්නේ කමල් මහතායි.) (foto- මංජුල)

“නිර්මලා, අපි දෙන්නත් මෝටර් සයිකලේ යමු අයියලත් එක්කම. මෙහෙ ඉඳලා එහාට යන කිට්ට්ටුම පාරෙන් මං අයියලව අලුපොලට එක්ක යන්නං...” සුනිලුත් කිව්වේය.

“ඒක නං තවත් හොඳයි සුනිල් අයියේ.”

2025.10.04

එහෙම කළත් අපට අලුපොල ඇල්ල බලන්නට යෑම අතහැර දමන්නට සිද්ද වුණේ අවාසනාවන්ත අයුරිනි. ඒ ටික දුරක් ගියාටත් පස්සේය. පාර හොඳටම අබලන්ව තිබුණු හිංදාය. මෙහෙම ගියෝතින්...
ඉක්මන් තීරණ ගත යුතු වෙලාවක් ආවාම පමා
වෙවී හිඳීම නිමල් දිසානායකගේ සිරිත නොවේ. (සිරිපා කරුණාකර එද්දී ‘අපේ තාත්තා සියදිවි හානි කරගෙන විත්තිය’ ආරංචි වුණු විගස තීරණය කළාසේ- මම ක්ෂණිකව; ඒකමතිකව නිගමනයකට ආවෙමි.
“සුනිල්... අපි හරවාගෙන යං... මෙහෙම ගියොත් චූටිලට පරක්කු වෙනවා- අද රෑට යන්න තියෙන හිංදා ගිහිං එයාලට ටිකක් rest කරන්නත් ඕනිනේ. කමක් නැහැනෙ ළමයි. Bad luck! මිස්ටර් මැතිව්... ඊළඟ සැරේ ටික දවසක් ඉන්න බලාගෙනම එන්න. Water falls ගොඩක් පෙන්නන්න එතකොට එක්කගෙන යන්නං.”

අපි ආපසු හැරී ගෙදර ආවෙමු.

පසු කතාව.

Bad luck කියන්නේ නරක වෙලාව ආවාමය!
“... ඒ වුණාට අයියේ ඒ මනුස්සය කිසිම වේදනාවක් දැනීමක් නැතිව නින්දෙන්ම ගිහිං තිබුණු එකත් එක වාසනාවක් නේද? කවුරුවත් දන්නෑ.
කොච්චර හරි උදේ මිනිබිරියෝ දෙන්නා ඉස්කෝලේ යන්න ලැහැස්ති වෙලා වෙනද පුරුද්දට කමල් මහත්තයට වඳින්න ගිහිං. කමල් මහත්තයගෙ දුවමයි එතකොට ඒ ළමයි දෙන්නව නවත්තල තියෙන්නේ. ‘අද සීයාට මහන්සි වගෙයි. ටිකක් නිඳා ගත්තාවේ. අපි සීයා නිඳාගෙන ඉඳිද්දීම වැඳලා යමු’යි කියලා.”

හරියටම සති දෙකකට පසු දවසේ අපේ සුනිල් මට කිව්වේ දුරකථනයෙනි.
“දෙයියනේ!

මේ වතාවේ අපි ආපු වෙලාවෙත් එයා නෙවිල්ට අඬ ගැහුවා පතලක් බහිමු කියලා...”

“ඒක නේන්නං අයියේ. විශ්වාස කරන්නත් බැරි තරං. අපි සේරටම වැඩිය fit එකේ හිටිය මනුස්සය. මම කමල් මහත්තයට කිය-කියා උන්නේ මගේ මිනිය කර ගහන්න ඉන්න එක්කෙනෙක් තමයි ඔයා කියලා. අන්තිමේ මටයි එයාගේ මිනියට කර ගහන්න වුණේ...”
(කමල්  මහතාණෙනි, ඔබට නිවන් සුව!)

“වෙලාව ආවාම අපි කාට වුණත් එච්චරයි සුනිල්... කව්ද දන්නේ අපට කවදා කොහේදී කොහොම යන්න වෙයිද කියලා. හුඟක් මිනිස්සුන්ට ඔය ටික කල්පනා නොවෙන එකනෙ පුදුමේ!”෴0෴

18 comments:

  1. ස්තුතියි නිදි ටෝනි ගැනයි කුමාරිහාමි ගැනයි ලියපු එක ගැන. ඒ අය නිදහසේ හැදෙනවා වගෙයි. විනාඩි කීපයකට අපි අඳුරගත්ත කමල් මහත්මයා ඊළඟ තප්පරයේ නැහැ.

    ReplyDelete
    Replies
    1. සසරක හැටි නෙව නිහඬපාල මහත්තයෝ!

      Delete
  2. ++++++++++++++++++
    වැටමාර එකක් ගැහුවා . බස්සයි ප්‍රා ජේ යි ආවට පස්සේ එන්නම් .

    ReplyDelete
    Replies
    1. වැටමාරවලින් වැට ගැහුවට නං කාරී නෑ අජිත් ධර්ම මහත්තයෝ, 2x2 පොලුවලින් නොගහා!

      Delete
  3. කවදා හරි යන දවසක, හොඳින් ඉන්න ගමන් ඔහොම යන්න තමයි මමත් කැමති.

    නොදුටු කමල් මහතාණෙනි, ඔබට නිවන් සුව!

    ReplyDelete
    Replies
    1. ඔව් බස්සෝ, නොදැනිම යන එක තමයි මගේ පැතුමත්!

      Delete
  4. සත්තු ලඟත් මිනිස්සු ලඟ වගේම එක එක ගතිගුන තියනවා. උවමනාවෙන් බලන කෙනාට තමයි නිරීක්ෂණය වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. අපි හුඟ දෙනෙකුට Litseeker, අද කාලේ සත්තු නිරීක්ෂණයට තියා අපි අපිව නිරීක්ෂණයටවත් වෙලාවක් නැති එක නෙව ප්‍රශ්නෙ.

      Delete
  5. කාටවත් කරදරයක් නැතිව ඔහොම යන්න තියෙනවනං ඒක වාසනාවක් තමයි.
    කමල් මහත්තයට නිවන් සුව පතනව !

    ReplyDelete
    Replies
    1. ඔව් Praසන්ன මහත්තයෝ- ඒ වාසනාව අපටත් ලැබෙනවා නං...

      Delete
  6. කමල් මහතාට සුබ ගමන් පතනවා!

    //කව්ද දන්නේ අපට කවදා කොහේදී කොහොම යන්න වෙයිද කියලා. හුඟක් මිනිස්සුන්ට ඔය ටික කල්පනා නොවෙන එකනෙ පුදුමේ!// ඒක නෙවෙන්නං..

    ReplyDelete
    Replies
    1. ජීවිතං අනියතං කියන එක දැන් කාලේ උදවියට අමතකම වෙලානෙ නමී.

      Delete
  7. මේ පොස්ට් ටිකත් ඉවර හන්ද හතලිහෙදී ඉතිරි ටික ලියැවෙයිද ඉදිරියට... හිටං

    ReplyDelete
  8. නින්දෙන්ම ගිහින් කියන්නේ හෘදයාබාධයක් තිබුන කෙනෙක්ද ? ලිපිය හැටියට වැඩි වයසක් නැහැ වගේ. සුභ නින්දක් ඔබේ යහළුවට

    ReplyDelete
    Replies
    1. නිතිපතා ඇඟ වෙහෙසවන- පා ගමනින්ම යන-එන, සිගරැට් මත්පැනින් තොර කමල් මහතා වගෙ කෙනෙක් හෘදයාබාධයකින් අඩු වයසින්ම නික්මීම එක අතකට පුදුමයකුත් වගෙයි අජිත් මහත්තයෝ.

      Delete