“... මං හිතන්නේ එයාට වෙන්න ඇත්තෙ හිතවත්කමට ‘බෑ’ කියන්න බැරිකම. මිනිහෙක් වුණාම බෑ කියන්නත් පුළුවන් වෙන්න ඕනි.”
![]() |
රිවර්ස්ටන් එකට අදට දවස් සීයයි. මහරගම Amity Lite එකේ හවස පහට ෂෝ එකක්
තියෙනවා. අද නං ඒකට යන්නම ඕනි. යමු නේද? |
“... හරියට අපේ නෙවිල් වගේ... නේද නමී.” මං වහන්සේ කොඳුරලාය එහෙම කිව්වේ. (එතකොට
කරුණාරත්න මහත්තයා උන්නේ ගෙදර කෙනෙකු හා කතාවකය.)
“හ්ම්!” නමිනං උන්නැහේ
කිව්වේ හිනාවක් හිර කරගෙනය. 😉
අද උදේ මේ ටික අකුරු කරද්දීය
මට මීටර් වුණේ, නෙවිල්ගේ ඒ ගතියෙන් ඊයේ හැන්දෑවෙත් මං වැඩක් ගත්තු බව.
ඊයේ ‘රිවර්ස්ටන්’ film එකට දවස් 100ක් සම්පූර්ණ වෙලාය.
‘සිනමා අධිකරණයේ දින 100!
ඔබත් සාක්ෂිකරුවෙක්ද?’ කියන ප්රශ්නය දැකපු ගමන් මට පිස්සු හැදුණේය. ඒ ෆිලුම බලන්නට
යමුයි කිහිප වතාවක්ම සූදානම් වුණත් ඒ සේරටම ‘උදලු’ වැටුණේ පුදුමාකාර විදිහටය. අදත්
එහෙම වෙයිද? ‘මතක මතක 7’ පෝස්ටුවේ වැඩ අවසන්
කරමින් හිඳිද්දීය, අර ප්රශ්නය fb එකෙන් දැක්කේ. ඒ රාජකාරියත් නවත්තලාය මං නෙවිල්ට
call කළේ.
“නෙවිල්... රිවර්ස්ටන් එකට
අදට දවස් සීයයි. මහරගම Amity Lite එකේ හවස පහට ෂෝ එකක් තියෙනවා. අද නං ඒකට යන්නම
ඕනි. යමු නේද?”
‘බැහැ’යි කියන්නට බැරි
නෙවිල් උන්නැහේ ‘හා’ කිව්වේ සීයක් දේවල් කියමින් කෙඳිරි ගාමිනි. “ඔයා හෝල් එකට
එන්න නෙවිල්... මම එහාට එන්නං.”
(දැන් මා තනිවම ගෙදරින් පිටතට යනවාට මගේ නෑ-හිතවතුන් කැමති නැත.)
“තනියම?”
“මම නමීටත් අඬ ගහන්නං.”
කොයි වෙලේ බැලුවත් නමී බිසිය. (මොන වැඩේට අඬ ගැහුවත් ‘හා’ කියන්නේ ටිකාක් විතර ගණන්
උස්සා; ඩිමාන්ඩ් කරලා ඉවර වෙලාය. එහෙම කරලාත් හුඟ වෙලාවට මේ යක්ෂ පැටියා කියන්නේ ‘බෑ’
කියලාය! ඊයෙත් කළේ ඒකමය.)
සිනමා ශාලාව පිරෙන්නටම වාගේ
පැමිණ සිටි රසිකයන් අතරට අපි දෙදෙනාත් එකතු වීමු.
මට නං ‘රිවර්ස්ටන්’ සුපිරිය!
“මරු නේද?” නෙවිලුත් කිව්වේය. “පහුගිය කාලේ නිතරම වෙච්ච සිද්දියක් අරගෙන ඒකට වැඩ දාලා නියමෙට කතාව
ලියලනේ. කොහොම මේවා හිතට එනවද මංදා.”
“ෆිල්ම් එක බලද්දී මට දැනුණේ
රිවර්ස්ටන්, පිටවල පතන හරියෙම පින්නේ තෙමි-තෙමී හීතලේ ගැහි-ගැහී ඉන්නව වගේ.”
“එහෙම නම් මටත් දැනුණා හලෝ... රිවර්ස්ටන් කාගෙ ෆිල්ම්...”
“ලලිත් රත්නායකගෙ! කොහොමත් මනුස්සයාගේ වැඩ සුපිරි! මේකෙත් ස්ක්‍රිප්ට්
එක ලියලා direct කරලා තියෙන්නේ එයානේ. හොඳ ටෙලි කීපෙකුත් කළේ... මතක නැද්ද?”
![]() |
කොහොමත් ලලිත් රත්නායකගෙ වැඩ සුපිරි! මේකෙත් ස්ක්‍රිප්ට්
එක ලියලා... |
“ළඟකදීම ගියේ ‘ජීවිතයේ එක් දවසක්’ එක. බිමල් ජයකොඩි, පුබුදු, කලණි දොඩම්තැන්න, නයනතාරා
එහෙම හිටියෙ... නයනතාරා දෙමළ කෙල්ලෙකුට act කළේ!”
Les
Misérables
පොතෙන් කේ.ජී. කරුණාතිලක මහත්තයාගේ ‘ටාර්සන්’ පරිවර්තනවලටත්- එතැනින් ‘රිවර්ස්ටන්’
film එකේ පීල්ලටත් වැටිලා ආව දුරක තරම... ඕන්න ආයෙමත් Les Misérables පොතට; හරියටම කියනවා නං... ඒකෙන් හැදූ filmsවලට.
“කරුණාරත්න මහත්තයා බලල
ඇතිනේ ‘ලේ මිසරාබ්ලේ’ කතාවෙන් හැදුව ‘දුප්පතාගේ දුක’ චිත්‍රපටය.”
“බලල තියෙනවා නේන්නං! ඊට කලින් අපේ සිරිසේන විමලවීර උන්නැහෙත් ඔය කතාවෙන්ම හැදුවනේ
film එකක් ‘සිරකරුවා’ කියලා. ඒකත් මම බලල තියෙනවා.”
1956 නිපදවුණු ‘දුප්පතාගේ දුක’
දෙවෙනි හෝ තුන්වෙනි හෝ වටයක ප්‍රදර්ශනය කරද්දීය, නිදි එය නැරඹුවේ. ජනප්‍රිය- සාර්ථක
ෆිලුමක් නොවුණු ‘සිරකරුවා’ (1957) එක සැරෙන්ම හිරේ හිරවුණු විත්තියකි පේන්නේ.
හිතවත් බ්ලොග් රචක මයියාට අපේ
Ano සහෘදයෙකු පසුගිය කොටසට එවූ comment එකක ‘ටයිටස් තොටවත්තයන්ගේ’ මෙහෙයවීමෙන්
සිංහල හඬ කැවූ ‘මනුතාපය’ ෆිලුමක් ගැන කියා එහි ලින්කුවත් එවා තිබිණි.
‘Anonymous August 2, 2026 at 5:31 AM
@ මයියා, මනුතාපය කතාව මමත් මුලින්ම දැක්කේ 2000 දී විතර පාසල් යන කාලේ
ජාතික රූපවාහිනිය නරඹන විට සිංහල හඬ කවපු කතාවක්, ඒකටත් වඩා මට හිත ගියේ සිටුවර මොන්ත ක්‍රිස්තෝ, යවෙස් ලූ මිනිසා, නොත්රදාමයේ කුදා වගේ කතාවලට, ඒ මනුතාපය චිත්‍රපටය පැය දෙකකට ආසන්න දිග කතාවක්. යූ ටියූබයේ
තියෙනවා.
https://www.youtube.com/watch?v=Q-w2IQVwvSg ‘
Les
Misérables
කෘතිය මෙන්ම එහි නිර්මාතෘ වික්ටර් හියුගෝත් අතිවිශේෂය. ඒ ගැන ‘මංජුල සේනාරත්න’
සහෘදයා fb පිටුවක මෙසේ ලියයි.
‘... වික්ටර් හියුගෝ නමැති මහා
ලේඛකයාගේ, සප්රමාණ මිනිසාගේ නොපිරුණු පැත්තක්
ද විය. එනම් විවාහ දිවියයි.
හැම සාර්ථක මිනිසෙක් පිටුපසම සාර්ථක ගැහැනියක්, එනම් බිරිඳක් සිටිනා බව කියවේ. වික්ටර් හියුගෝ පිටුපසද
ගැහැනියක් සිටි බව සැබෑය.
එහෙත් ඒ ඔහුගේ බිරිඳ නොවේ. දෙවන ගැහැනියකි. එසේත් නැතිනම් අනියම් බිරිඳකි. පුරුදු භාෂාවෙන්
කියන්නේ නම් හොර ගැහැනියකි.
වික්ටර් හියුගෝ ස්ත්‍රී ලෝලියෙකි.
ඔහු කාන්තාවන් (පෙම්වන්තියන්, ගණිකාවන්, තමන්ගේ නාට්‍යවල රඟපාන්නට පැමිණි නිළියන්) ඇසුරේ
ගෙන ගිය ජීවිතය, ප්‍රේම කතා, ලිංගික චර්යාවන් ගැන ලියවුණු La Vie amoureuse de Victor Hugo (Love Life of Victor
Hugo) නමැති
පොත අපූරු තොරතුරු ලොවට හෙළි කරයි...
![]() |
... මේ විවාහය ගත කරද්දී, වික්ටර් හියුගෝට දෙවන ගැහැනිය;
Juliette Drouet මුණ ගැසෙන්නේ 1833 වසරේ ඔහුගේ වේදිකා නාට්‍යයක රඟපාන්නට
පැමිණි තරුණ නිළියක් වශයෙනි. |
... වික්ටර්
හියුගෝ සහ Juliette Drouet හමු වී, ප්‍රේමයෙන් බැඳී දෙන්නා අතර කායික සබඳතාවයක් ඇති වන්නේ 1833 වසරේ
පෙබරවාරි 16 -17 රාත්‍රියේය. මේ සුවිශේෂ දිනය අමතක නොකරමින්- වසර පනහක් පුරාම මේ දිනයට
පෙම් හසුනක් තම ආදරවන්තියට (දෙවන ගැහැනියට) යැවීමට හියුගෝ අමතක නොකළේය. ඉතිං, ඉහත පොතේ
ඇත්තේ වසර පනහක් පුරා ඔහු ඇයට යැවූ ආදර හසුන් පනහකි. මෙය අපූරු පොතක් වන්නේ...’
හීනෙකින්වත් හිතා නොතිබුණු
විදිහටය, මේ posts මාලාව මෙච්චර දික් වුණේ. අද මෙතැනින් Les Misérables හා වික්ටර් හියුගෝ ගැන විස්තර ලිවීම නවත්වන්නටය
හිතාගෙන උන්නේ. ඒත් මොනවා කරන්නද? මේ කෘතියට ඈඳෙන තවත් පොතක් ගැනත්
Pra Jay හිතවතා දන්වා එවලාය! ඒ ගැනත් යන්තමින් කියලයි අපේ පටිගත කරගත් සාකච්ඡාවට
යන්නෙ... කමක් නැහැනෙ?
ලේ මිසරාබ්ලේ පොතේ ආ ජෝන් වැල්ජින්ගේ
දියණිය ‘කොසෙටා’ කේන්ද්‍ර කොටගෙනලු, Laura
Kalpakian ඒ
පොත ලියා තිබෙන්නේ. (ඒ ගැන උනන්දු වෙන්නන්ට ‘Cosette: The Sequel to Les Miserables’ සොයා ගැනීම ලෙහෙසිය.)
https://www.goodreads.com/en/book/show/166821.Cosette
ඉතිං... අපේ සාකච්ඡාව; ඒ
කිව්වේ කරුණාරත්න අමරසිංහ මහත්තයාගේ සහ අමිල, නමී, නිදිගෙ සාකච්ඡාව බොහොම නිදහසේ
ඉස්සරහට- ඉස්සරහට ගලාගෙන ගියා. ඒකට න්‍යාය පත්තරයක් තිබ්බේ නැහැ; කතානායකවරයෙකු
හරි සභානායකවරයෙකු හරි හිටියෙත් නැහැ; පක්ෂ-විපක්ෂ දෙගොල්ලක් හිටියෙත් නැහැනේ. ඒ
නිසා වෙන්නැති ඒ සංවාද නියමෙටම රසවත් වුණේ!
ඒ පැය දෙක තුනේදී මොනවද
දෙයියනේ අපි කතා නොකළේ?
ලෝකයේ සම්භාවනාවට පාත්‍ර වුණු වැදගතුන් කී දෙනෙක් නං ඒ සාකච්ඡා මණ්ඩපයට ඇවිත්
ගියාද...
![]() |
මට මතක් වුණා ලස්සන කෙටිකතාවක්- මාර්ටින් වික්‍රමසිංහ
උන්නැහේගෙ. |
“ඉස්සෙල්ලා නිමල් කිව්ව නේද රේඩියෝ එකේ ගිය නාට්‍යයක් ගැන... කැඩිච්ච
නියපොතු කෑල්ල හොයමින් ඉඳලා රජ්ජුරුවන්ට අහුවෙච්ච හොරෙක් ගැන. එතකොට මට මතක් වුණා
ලස්සන කෙටිකතාවක්- මාර්ටින් වික්‍රමසිංහ උන්නැහේගෙ. මං හිතන්නේ ‘බේගල්’ද කොහෙද ඒකෙ
නම..” කරුණාරත්න මහත්තයා කියාගෙන යයි.
“... ඔය ගුරුකම් කරන උදවිය;
කට්ටඩියෝ අතරේ ඉන්නවනෙ වශී ගුරුකම් කරන අයත්. ඒ ගුරුකම්වලට ගත්තලු වශී කර ගන්න ඕනි
කෙනාගේ කෙස්, නියපොතු එහෙම. ඒ නිසාලු විශේෂයෙන්ම ඉස්සර තරුණ කෙල්ලෝ ඔළුව පීරලා ඉවර
වුණාම පනාවේ කෙස් ගස් කාටවත් නොපෙනෙන තැනකට දැම්මේ... නියපොතු කැපුවමත් එහෙමලු
කළේ.
ඉතිං අර කෙටිකතාවෙත් එහෙම සිද්ධියක් තියෙනවා. ඒකෙ කෙස්ගස් ගෙනත් දෙන්න බාරගත්තු
කෙනා කෙස් කියලා ගේන්නෙ පාපිස්සක කෙඳි. වශී ගුරුකම කරපු මිනිහගෙ ගෙදරට ඇවිත් දොරේ
හැපෙන්නේ පාපිස්ස! 😅😅😅”
ඒ වගේ වෙලාවට හොට නොදා කට
පියාගෙන හිටිතෑකිද (1964දී) ‘ධීවරයෝ’ ෆිලුම බලල තියෙන මං වහන්සේ වගේ කෙනෙකුට...
(මට එහි චරිතවල නම් අමතකය.
ඒත් ඒවාට පණ පෙවූ නළු-නිළියන් මතක නිසා ඔවුන්ගේ නම් යොදා ගනිමින් විස්තරය කීවෙමි.)
“එහෙනං ඔය කතාවෙන් copy කරලා
තමයි ධීවරයෝ film එකටත් මරු සිද්දියක් හදන්න ඇත්තෙ.
හියුගෝ ප්‍රනාන්දුට ඕනි වෙනවා සන්ධ්‍යා කුමාරිව වශී කර ගන්න. සන්ධ්‍යාගෙ කෙස්ගස්
ගේන්න බාර ගන්නේ ඇන්තනි සී. පෙරේරා. වශී ගුරුකම කරවාගෙන හියුගෝ කෙළ හල-හල බලං ඉන්නවා සන්ධ්‍යා
එනකල්.
ඒ ෆිලුමේ සන්ධ්‍යා ඉන්නේ මහා මරුමුසු ගති තියෙන- නාහෙට නාහන- කාටවත්ම බය නැති
කෙල්ලෙක්ගෙ චරිතෙකට. එහෙම කෙල්ලෙක්ගෙන් කොහොමද කෙස් අර ගන්නේ... ඒ හින්ද ඇන්තනි
හියුගෝට ගෙනත් දෙන්නේ වැස්සියෙක්ගෙ වලිගෙන් ගලව ගත්තු දිග කෙස්...
ඉතිං- වශී වෙලා ඇවිත් හියුගෝ පස්සෙන් පන්න-පන්නා දුවගෙන එන්නෙ අර වැස්සි. ඒ සීන්
එකට film hall එකේ මිනිස්සු හිනා වුණේ විසිලුත් ගහන ගමන්... 😆😆😆”
“ඒක නේන්නං නිමල්, හියුගෝ-
ඇන්තනි මරු මිනිස්සු!
එයාල හොඳ කොමිඩියන්ස්ලා. එයාලා හිනා වෙන්නෑනේ- එක්කෙනෙක්වත්... act කරද්දී. ඒවා
බලන- අහන අපිනේ හිනා වෙන්නේ. ඒකටත් එක්ක දැන් ඉන්න විහිලුකාරයෝ. ඒ ගොල්ලෝ කරන විහිලුවලට
අපට හිනා යන්නෑ; කේන්ති යනව මිසක්...”
![]() |
වඳුරු කුණුහරුප නොකියා... |
“ඇත්තම කිව්වොත් ඇයි ඒ කාලේ විහිලු වැඩ සටහන්වල තිබ්බ කොලිටිය දැන් එව්වගෙ නැත්තේ?”
පෙර
සූදානම අඩු වීම හා කරන දෙයට කැප වීම අඩු වීම කියන කරුණුයි ඒ ප්‍රශ්නයට උත්තර විදිහට
මුලින්ම කියැවුණේ. (තවත් හේතු කියැවුණා; ඔයාලත් දන්නා. ඒවා ඔක්කොම ලියන්න නොයන්නේ
මේ posts මාලාව අදින් අවසන් කරන්න ඕනි නිසා.)
“සැරයක් චන්දන තිලකරත්න කියල තිබ්බා...” අමිල කියනකොට කරු මහත්තයාගෙන් ඌන පූරණයක්...
“ආ, සැමුවෙල් රුද්රිගුගේ
පුතා; චන්දන! ඉතිං ඉතිං...”
“ඒ හාදයා කියල තිබුණා
‘තාත්තල විනාඩි පහළොවක වැඩ සටහනකට සතියක් තිස්සෙ ප්‍රැක්ටිස් කරනව’යි කියල. ඒ
මිනිස්සු හරි ජෙනුයින්... වැඩකට අවංකවම කැප වුණා...”
”මෙහෙමනේ අමිල! ඒ කාලෙ
මිනිස්සු වැඩි දෙනෙක් උගත් අයනෙ. සැමුවෙල්ල වුණත් එහෙමයි. උගත් වගේම බයිලින්ගුවල්...
එහෙම භාෂා දෙකක් දැනගෙන ඉන්න එකත් කෙනෙකුට ලොකු වාසියක්නෙ...” කරුණාරත්න මහත්තය ඔළු භාෂාවෙනුත් ‘ඔව්’
කිව්වා.
“එහෙම ලොකු දැනුමක් තියෙන
කෙනෙකුට එයා රසිකයන්ට දෙන දේ සරලව දෙන්න පුළුවන් වෙනවනේ... වඳුරු කුණුහරුප නොකියා...”
අමිල එහෙම කියනකොට නං, එයාට තරහත් ගිහිං තිබ්බා කියලයි මම හිතුවේ. ඒ තරමටම ‘මාධ්‍ය
භාවිතය අද සිද්ද වෙන හැටි’ මාතෘකාව මඟින් අපිව උණුසුම් කරලයි තිබ්බේ.
ඒ හින්දාද මංදා අමිලම කතා කළේ.
“... අපි අද මේ ආවා වගේ දවසක්
මම ගියා සෝමවීර සේනානායක මහත්තයව හම්බ වෙන්න ‘පළිඟු මැණිකේ -තිර නාටකය’ පොතත් අරං.
එහෙම ගිහිං කතා කරද්දි මම ඇහුවා ‘අත්දැකීම් නැතිව තියෙද්දිත් එච්චර ලස්සනට ඒ වැඩේ කළේ
කොහොමද’ කියල. සෝමවීර මහත්තය එතකොට කිව්ව හරි ලස්සන කතාවක්...”
ඒ දවස්වල නිර්මාණ ශිල්පීන්ගේ
ළඟ ‘වැඩකට තිබුණු කැපවීම කොතරම්’දැයි කියන මේ කතන්දරය අමිල අපට කිව්වේ ප්‍රනීත තේ පැන්
සංග්‍රහයකින් සංතර්පණය වූවාට පස්සෙය. එලෙස අපට සංග්‍රහ කළේ කරුණාරත්න මහතාගේ දියණිය
/ ලේලිය විසිනි. ඇයටත් මුව පුරා තුති පිදුමෙන් පස්සෙය; අමිල මේ කතා කරන්නේ.
![]() |
ඒ සොඳුරු; මිහිරි සිනාව ‘ග්‍රේස් ආරියවිමල්’ගෙයි කියන විත්තිය. |
-ඊට පස්සේ සෝමවීර සේනානායක මහත්තයා
මටත් ෂෝක් අවවාදයක් දුන්නා. ‘හෙමින් යන්න පුතා- එතකොට ගොඩක් දුර යන්න පුළුවන්’ කියලා...”
“අද කාලේ ඉන්න අයට නම් පුදුම
තදියමක් නෙව අමිල තියෙන්නේ. ඉතිං මොන හෙමින්ද? එයාලා
එක පාරටම සම්ප්රදාය බිඳින්නනෙ හදන්නේ- 😠😠😠 සම්ප්රදාය මොකක්ද කියලවත් හරියට නොදැන...”
දැන්-දැන්ය අපේ අමිල හිතවතාත්
වැඩියෙන් කතා කරන්නේ.
“ඔතැනදි සුනන්ද මහේන්ද්‍ර මහත්තය
කියල තියෙන කතාවක් මට මතක් වෙනවා. ‘මේ යන සිස්ටම් එකෙන් පරණ ලේඛකයන්ව බලාපොරොත්තු වෙන්න
එපා- හරි මිනිහෙක් හැදෙයි කියල හිතන්නත් එපා. 77න් පස්සේ හැමෝම වගේ දුවන්නෙ රැල්ලට...
ලංකාවට වෙච්ච ලොකුම හෙණේ ඒකයි.’ කියලා...”
රැල්ලට දුවනකොට වෙන්නැති ‘මියුරු
ගීතය’කට ලොකු හෙණයක් කැටුණේ. මෙන්න සිංදුව! අහලම ඉන්නකො කැමතියි නං; “හිරු පායනවා - මල් පූදිනවා...’
‘මුවන් පැලැස්සේ ආරච්චිල /
කෝරළේ මහත්තයා’ විදිහට රටම හඳුනන ‘විජේරත්න වරකාගොඩ මහත්තය’ තමයි ඒ ගීතය ගැයුවේ. ඇත්තම
කිව්වොත් මට නං සිදුවේ ගායනයටත් වැඩියෙන් හිතට වැදුණේ ‘ගීතයේ අතරින් පතරේ ඇහෙන
කොමල හිනාව’. අද වගේ අන්තර්ජාලය නොතිබුණු
ඒ කාලේ පුදුමාකාර මහන්සියක් වෙලයි හොයා ගත්තේ... ඒ සොඳුරු; මිහිරි සිනාව ‘ග්‍රේස්
ආරියවිමල්’ගෙයි කියන විත්තිය.
ටික කාලෙකට අස්සේ- මෙන්න
බොලේ ‘වෙනින් කවුද මැණිකෙ කෙනෙක්ගෙ මොනර හිනාවක් එක්ක’ අර සිංදුව ඇහෙනවා. (ඒ මොනරා
මොනර කොළවලට එන්නත් කලින්.) මට නං හොඳටම ෂුවර් ‘ඒ දෙවෙනි වර්ෂන් එකේ හිනා සද්දෙට
නයින්ගේ බිත්තර වුණත් පුපුරයි’ කියලා.
‘ඇයි එහෙම කැත වැඩක් කෙරුණේ?
කාගෙ උවමනාවටද?’
“විජේරත්න වරකාගොඩ මහත්තයාව
මට මුණ ගැහෙනකල් මම බලා උන්නේ ඒ ප්‍රශ්න දෙක අහන්න. කරුණාරත්න මහත්තයා එහෙම දන්නවද
ඒ ගැන මොකුත්?”
“මාර ප්‍රශ්නයක් නෙව නිමල්. 😂😂😂 මට වරක්ස්ව
හම්බ වුණොත් මම එයාගෙන්ම අහන්නංකො.“
ඔහොම විවිධාකාර රසවත් දේවල්
කතා කරනකොට කාලය ඉගිල්ලෙනවනේ. එදා සිද්ද වුණෙත් ඒකමයි.
![]() |
කරුණාරත්න මහත්තයගේ පොත් කන්දරාව ‘වර්ගීකරණය’ කරලා
තියෙන හැටි... (අමිලයි, මායි, නමියි ඒ පොත් කන්දෙන් ටිකක් එක්ක...) |
කරු මහත්තයා කොම්පියුටරයෙන්
අකුරු කරන විදිහ ගැන කිව්වම නමී තමයි හාර-හාරා ඒ කාරණා අහගත්තෙ.
“මගේම ගෝල ගෑනු ළමයෙක් තමයි මට සේරම හරි ගස්සල දීලා වැඩේ කෙරෙව්වේ. වොයිස්
ටයිපින්! මේක හරි ලේසියි නමී. අනික තමයි. මට ඉතිං අමුතු දෙයක් නෙවෙයිනේ කටහඬින්
වැඩ ගැනිල්ල. මම ජීවිත කාලෙම කළේ ඒකනෙ. 😉😉😉“
“සර්ට ගොඩක් ස්තුතියි සෑහෙන
වෙලාවක් අපි වෙනුවෙන් කැප කරලා- අපිත් එක්ක ඔබතුමාගේ දැනුමයි; අත්දැකීමුයි බෙදා
ගත්තට...” ස්තුති කතාවෙන් අමිලට කියන්නට ලැබුණේ එච්චරය.
“මමයි අමිල ඔයාලට ස්තුති
කරන්න ඕනේ. තෑගිත් අරගෙන, අපේ ගෙදරටම ඇවිත් මෙච්චර වෙලාවක් රසවත් වගේම හරවත් සංවාදයක
නියැලීම වෙනුවෙන්... ආයෙමත් වෙලාවක එන්න...” යැයි කියූ කරණාරත්න අමරසිංහ මහත්තයා
අප තිදෙනාටම තෑගි ලෙස පොත් කිහිපයකුත් පිරිනැමුවේය.
ගොඩාක් ස්තුතියි කරුණාරත්න මහතාණෙනි. මේ පෝස්ටු මාලාව කියවූ ආදරණීය පාඨක ඔබ සැමටත් ස්තුතියි, හොඳේ.෴0෴







වික්ටර් හියුගෝ සහ Juliette Drouet// Love story ...මේ කථාව දැනගත්තේ අදයි ...
ReplyDeleteමමත් ඒ ප්‍රේම පටලැවිල්ල ගැන මුලින්ම දැනගත්තේ මංජුල මහතාගේ fb පෝස්ටුවෙන්, ලලිත් මහත්තයෝ.
Deleteඇත්තටම. රසබර වරුවක්. නිදිතුමා & අමිලතුමා, දෙන්නටම ටැංක්ස්... මාවත් ගමනට එක්කාතු කරගත්තට 😊🎉
ReplyDeleteහ්ම්. නිවාඩු දවසක් වෙලත් එදා වෙන වැඩක හිරවුනා. අපරාදේ, ඒ නිසා ෆිලුම මිස් වුනා ☹️
Deleteනිදි, රිවර්ස්ටන් පෝස්ටරේ දකිද්දි මතක්වුනේ... මහේන්ද්රය්න් සිනමාට ඇවිත් 50 වසරක් පිරෙන නිසා නොමිලේ එයයිගෙ චිත්‍රපටි කීපයක් පෙන්වනව චිත්‍රපට සංස්ථාවේ. ඒ වගේම ඔයවිදිහට පතිරාජයන්ගෙත් ෆිල්ම් කීපයක් 4K තාක්ෂනයට update කරලා පෙන්වනවලු 📽
නමී, ඔයාටත් ගොඩාක් තෑන්ක්ස්!
Deleteඔය නොහිටියා නං ඒ රසබර හැන්දෑවෙ කතාබහ පටිගත කරලා, ෆොටෝ ගන්නේ කවුද?
ඒවා තිබිච්ච හින්දනේ blog පෝස්ටු ලියන වැඩේ ලේසි වුණේ!
තරංගනී එකේ මහේන්ද්‍රයන්ගේ චිත්‍රපට පෙන්නන විස්තර තියෙන link එක එව්වට බොහොම ස්තුතියි නමී.
Deleteඉස්සර වගේ නං ඔව්ව මිස් කරගන්නේ නෑ!
ඒ films ටිකෙන් මට බලන්න බැරි වුණේ 'සුදු කළු සහ අලු' එකයි 'සඳ දඩයම' එකයි විතරයි. දෙකම තියෙන්නේ අගෝස්තු 16 ඉරිදා හවසයි. අවාසනාවට එදාට යන්න විදිහක් නැහැනේ.
'බඹරු ඇවිත්' මහරගමට එනවා ඇමිටි ලයිට් එකට 14,15, 16 දවස් තුනේ හවස 7 ට. යන්නයි හිත! නෙවිල්ටත් කිව්වා. පීරිස් මහතාටත්... යමුද?
යමු. වෙලාවක් හම්බුනොත් යමු!
Deleteස්තුතියි. මා ගැනත් ලිපියේ සඳහන් කරලා තිබීම ගැන ඇත්තටම සතුටුයි. 😊
ReplyDeleteවික්ටර් හියුගෝ ගැන සඳහන් කරනකොට මටත් තව අපූරු කතාවක් මතක් වුණා. ඔහුට ලියන්න බැරිව “writer’s block” එකක් ආවම, ඇඳුම් පවා ගලවලා කාමරයකට වෙලා, ලියන වැඩේ ඉවර වෙනකම් එළියට නොඑන්න තමන්ටම නීති දාගෙන හිටියා කියලා කියනවා. 😄
ලියන්න වචන එන්නේ නැති වෙලාවක මනුස්සයෙක්ට තමන්වම බලෙන් මේසය ළඟ තියාගන්න වෙන හැටි ගැන හොඳ උදාහරණයක් තමයි ඒක!
ෂා! මරු විස්තරයක් මයියෝ!
Deleteගොඩක් ස්තුතියි- මටත් ඔහොම මොකුත්ම ලියන්න නොහිතෙන දවස් තියෙනවා. එහෙම වෙලාවක ඔය කෙම කරලා බලන්න ඕනි 😄😄😄
පුළුවන් හැම වෙලාවේම සහෝදර බ්ලොග් අඩවිවලටත් ප්‍රචාරයක් දෙන එක මගේ සිරිතක් මයියෝ.
මගේ අනෙක් වැඩ කටයුතුවලදීත් එහෙමයි. ඒ නිසා වෙන්න ඕනි මටත් ගොඩක් අය උදව් කරන්නේ!
වික්ටර් හියුගෝ ගැන සමහර දේ අහලා තිබ්බ වුනත් මේ තරම් විස්තර සහිතව දැනන් උන්නෙ නෑ. අර එකම කතාව පදනම් වුන සිත්තර පටි දෙකෙන් එකක් විතරක් සාර්ථක වුනේ ඇයි මන්දා?
ReplyDeleteඑකම කතාවෙන් හැදුව ෆිලුම් දෙකින් එකක් සාර්ථක වෙන්නත්, අනෙක අසාර්ථක වෙන්නත් ප්‍රධානම හේතුව විදිහට මට පෙනෙන්නේ 'මුදල් බලය'යි.
Deleteවිස්තර ඇතිව කියනවා නං 'දුප්පතාගේ දුක' හැදුවේ සිනමාස් සමාගම මඟින්. ඒ සමාගම ඊට කලින් 'සුජාතා' ෆිල්ම් එක හදලා හොඳ නමක් තියාගෙන හිටි එකක්
ෆිල්ම් එකේ රඟපෑවෙත් ජනප්‍රිය නළු නිළියන්. රණසිංහ, කාන්ති ගුණතුංග, ස්ටැන්ලි පෙරේරා, ගර්ලි ගුණවර්ධන, හියුගෝ ප්‍රනාන්දු වගේ රැසක්...
ඒකේ සිංදු ලිව්වෙත් ආනන්ද සමරකෝන්, හියුගෝ ප්‍රනාන්දු හා ඩී.ටී.ප්‍රනාන්දු යන අය. සිංදු 11ක්! ඒ ගීත සේරම ජනප්‍රිය වුණා. තමන් සතු දේ දෙන්න- පුර හඳ ලෙස මම බබලනවා' වගේ ගීත අදටත් ජනප්‍රියයි....
'සිරකරුවා' ෆිලුම හැදුවේ සිරිසේන විමලවීර මාස්ටර්.
Deleteතිර පිටපත ලිවීම- ගීත ප්‍රබන්ධය- චිත්‍රපටය අධ්‍යක්ෂණය වගේම රඟපෑමත් කළේ මාස්ටර්මයි. මං හිතන්නේ 'දොඩම් ගොඩ බදා ගැනීම' අසාර්ථක වුණු බවයි.
මේ තියෙන්නේ අද උදේ You Tube එකේ දුටු 'සිරකරුවා' ෆිල්ම් එකේ ගීයක ලින්කුවයි.
Deletehttps://www.youtube.com/watch?v=lVKLS7LVmPM&list=RDlVKLS7LVmPM&start_radio=1
අර අනිත් සිත්තර පටි, සින්දු ගැන විස්තරත් නියමයි.👌
ReplyDeleteඕන්න ඔබතුමා අහල තිබුණු නිසා තව විස්තර ටිකක් ලිව්වා.
Deleteමරු ලිපිය නිදි ලොක්කා 👌
ReplyDeleteස්තුතියි අජිත් ධර්ම මහත්තයෝ.
Deleteපොත් චිත්‍රපටි විස්තරය නියමයි. ගොඩක් දේ දැනගත්තා.
ReplyDeleteඔවු ඒ වගේම Clarence the rhythm of guitar චිත්‍රපටය සහ ඒ හා සමාන පරණ ඉංග්‍රීසි හොලිවුඩ් බොලිවුඩ චිත්‍රපට වල ආභාෂය සහිතව ලංකාවේ හදන අලුත්ම චිත්‍රපටය "එදා රෑ" මිල්ටන් මල්ලවාරච්චි දිවිසැරිය මොන වගේ මංගල්‍යයක් වේවිද කියල කියන්න පුළුවන්ද? තව දෙයක් කියන්න ඕන ගුවන් විදුලියේ 70 දශකයේ ගායකයෙක් හිටිය j R ධර්මරතන කියල. ලූෂන් බුලත්සිංහල මහතා ලියූ නුවන් කැළුම් වතුරේ යන ගීතය සහ තවත් ගීත රාශියක් ගායනා කළ. ඔහු පිලියන්දල නගරයේ සිඟමන් යදිමින් සිට අසරණව මිය ගියබව වාර්තා වෙලා තිබුණ. ඔහුගේ වීඩියෝ youTube eke තියෙනව. මොවුන් ගැන සොයා බලන්න කෙනෙක් නෑ.ගුවන් විදුලියෙන් සොයා බලන්න යුතුකමක් තියෙනව විජේසිරිවර්ධන පොළොනෝවිට මහත්තයත් ලෙඩවී එක්තැන් වුණා. ඔහුට කුමක් වුණාද දන්නෙ නැහැ, මේ ගැන විස්තර කියන්න පුළුවන්ද නිහඬපාල හෝ නිමල් මහතාට?
Deleteනිහඬපාල මහත්තයෝ, ඔයා වගේ කෙනෙක්ටත් දැනගන්නට තරං දෙයක් ලිව්වා කියන්නේ... සතුටුයි- ගොඩක් සතුටුයි.
DeleteAno මහත්තයෝ, J R ධර්මරත්න මහතා ගැන තොරතුරක් දන්නෙ නැහැනෙ.
Delete'එදා ඇසුණු ගී' බ්ලොග් අඩවිය ලියන ප්‍රභාත් රාජසූරිය මහතාගෙන් අහල බලන්නකො. මෙන්න බ්ලොගයේ link එක.
https://geemuthumala.blogspot.com/2026/
...
... පොලොන්නෝවිට මහතා ගැනත් මගේ දැනීම බින්දුවයි.
Deleteලංකාවේ බොහොමයක්ම පුරවැසියන් වාගෙ නොයෙකුත් කලාකරුවන් / කලාකාරිනියන් වුණත් ජයට ඉන්න කාලේ දුර දිග හිතන්නේ නැති පාටයි මට පෙනෙන්නේ. එයාලා හම්බ කරන කාලේ අයසට යා හැකි බවක් නොහිතනවා වගෙයි. එහෙම කරලා 'අසරණ වුණාම අපිව බලා ගන්න කවුරුවත් නෑ' කියනවනේ.
මම නං හිතන්නේ එයාලා මුල්‍ය විනයක් ඇතිව- හික්මීමක් ඇතිව කටයුතු කෙරුවොත් හරි කියලයි. ඒ විදිහට නොහිතා, අසරණ වුණාම කෙඳිරි ගගා හිටි අය බොහොමයි- නම් කියන්නේ නැත්තේ එතුමන්ලාට / එතුමියන්ලට මදි-පුංචිකමක් වන්න ඇහැකි නිසයි.
ඉස්සර ආටිස්ට්ල ගොඩක් හම්බ කළේ නැහැ තමයි- ඒකත් අමතක කරන්න බෑ. ඒ දවස්වල කලාකරුවන් වුණේ සාමාන්‍ය උදවිය- අතමිට යහමින් නොතිබුණු උදවිය. ලංගම බස් කොන්දොස්තර රැකියාව කළ) ඉතා දක්ෂ මේ ගායකයාගේ (මං දන්නා පරිදි) එකම ගීතය මේ. අහලා තියෙනවද?
https://www.youtube.com/watch?v=fPiMl1IbZgY&list=RDfPiMl1IbZgY&start_radio=1
මෙතැනදී අපේ තාත්තා කියන්න පුරුදු වෙලා හිටි කතාවකුත් මට මතක් වෙනවා. 'කලාකාරයෝ හිඟන්නෝ!'
අනාගත දැක්මක් ඇතිව, බොහොම පරෙස්සමින් වැඩ කරන ගායකයෙකුට හොඳම උදාහරණයකුත් කියන්නං. ශිහාන් මිහිරංග.
++++++++++++++++++++++++++
ReplyDelete++++++++++++++++++++++++++ස්තුතියි Pra Jay මහතාණෙනි!++++++++++++++++++++++++++
Deleteඉඳල හිටලවත් මේ පැත්තට හොක්ක දාල යන්න එන්නෙපැයි.
ReplyDeleteහොක්ක තලාගන්න යන්නේ ඔය
Deleteඑහෙමවත් එන එකම ලොකු දෙයක් නේද Praසන්ன මහත්තයෝ...
Deleteස්තුතියි හොඳේ!
ඉවාන්, කවුරුවත් මේ අඩවියේදී නං Praසන්னගෙ විතරක් නෙවෙයි වෙන කාගේ හරි වුණත් හොක්ක තලන එකක් නෑ. මොකද මේක බොහොම සාමකාමී අඩවියක්නෙ.
Deleteඅපේ නැන්දා ගැන කතාවක්…
ReplyDelete"ඇයි අම්මේ තවම මේක තියාගෙන ඉන්නේ? පාවිච්චි කරන්නේ නැති එකේ විකුණලා දාමු. නිකන් තියෙද්දී දිරලා
යනවා විතරයි."
මගේ ලොකු පුතා, නිරෝෂන්, ගරාජයේ රෙදි කඩකින් වසා දමා තිබූ පැරණි 'ඇල්ටෝ' කාර් එක දෙස බලමින් කීවේය.
"දැන්ම බැහැ පුතේ... තව ටික දවසක් තියමු," මම හෙමින් කීවෙමි.
"ඉතින් අම්මා ඕක පදින්නේ නෑනේ? තාත්තා නැති වුණාට පස්සේ ඕක එලියට ගත්තෙවත් නෑ," නිරෝෂන් නොඉවසිල්ලෙන් කීවේය.
ඔහුගේ කතාවේ ඇත්තක් තිබුණි. අවුරුදු තිස්අටක් පුරාවටම අපේ පවුලේ ගමනාගමනය විතරක් නෙවෙයි, මගේ මුළු ජීවිතයේම හසුරුවන්නා වුණේ සුමනසිරි. මට වයස අවුරුදු 61යි. නම රෝසි. මුළු ජීවිත කාලයටම මම කවදාවත් රියදුරු අසුනේ වාඩිවී තිබුණේ නැත.
"මං ඉන්නවනේ ඔයාව ඕන තැනක එක්කන් යන්න," සුමනසිරි නිතරම කීවේ ආදරයෙන් සහ අනුකම්පාවෙනි. මමත් ඒ කතාව විශ්වාස කළෙමි. මම වම් පැත්තේ අසුනේ වාඩි වී, ගීතයකට සවන් දෙමින්, වටපිටාවෙ සිරිය බලමින් ගියෙමි. අවුරුදු තිස්අටක් තිස්සේ මට කිසිම අඩුවක් දැනුණේ නැත.
නමුත් සුමනසිරිගේ හදිසි වියෝවෙන් පසු, මගේ ලෝකය මගේ ගෙදර සාලයටත්, මිදුලටත් විතරක් සීමා විය.
මට තනිවම හැකි වුණේ ගෙට එහා පැත්තේ තියෙන කඩයට යන්නත්, පන්සලට යන්නත් විතරයි. අනිත් හැමදේටම මම මගේ දරුවන්ගේ, පිහිට පැතුවෙමි.
"අම්මේ, අද මට මීටින් එකක්, එන්න වෙන්නේ නෑ." "අම්මේ, අද පොඩි පුතාගෙ පන්ති, හෙට බලමු."
දරුවන්ට ඔවුන්ගේම ජීවිත තිබුණි. ඔවුන් මට ආදරේ නැතුවා නෙවෙයි, නමුත් ඔවුන්ගේ කාලසටහන ඇතුළේ මගේ උවමනාවන් නිතරම යටපත් විය.
මට අවශ්‍යතාවයක් වූ විට මම නිතරම සාලයේ ජනේලය අසලට වී, කෙනෙකු එනතුරු මඟ බලමින් සිටීමට පුරුදු වුණෙමි.
Continue…
Continue...
Deleteදිනක් මගේ පැරණි පාසල් මිතුරියක් වන සුජාතා මට කතා කළාය. "රෝසි, ලබන සතියේ අපේ පරණ යෙහෙළියෝ එකතුවෙලා මහනුවර දළදා මාළිගාව වඳින්න යනවා. උදෙන්ම ගිහින් හවස එන්න පුළුවන්. ඔයත් එන්න."
මගේ සිත සන්තෝෂයෙන් පිරී ගියේය. නමුත් ඒ සැනින් මගෙ සිත වෙලාගත්තෙ මහා වේදනාවකින්.
"අනේ සුජාතා, මට එන්න විදිහක් නෑනේ. මාව කොළඹට ගෙනත් දාන්න කවුරුත් නෑ."
"ඇයි බස් එකේ එන්න බැරිද?
හෝමාගම ඉඳන් බස් දෙකක් මාරු වෙලා කොටුවට ඇවිත්, එතනින් වෙන බස් එකකට නැග්ගනම් හරි."
බස් තුනක් මාරු වී, සෙනඟ අස්සේ තෙරපෙමින් යන හැටි මතක් වෙනකොටත් මට බය හිතුණි. "බැ සුජාතා, මට එන්න බැරිවෙයි."
දුරකථනය තැබූ මම සාලයේ පුටුව මත බලාගත් අත බලන් සිටියෙමි. එදා තමයි මට ඇත්තම තේරුණේ. මම කොහේවත් යන්නෙ නැත්තෙ මට ඕනකමක් නැති නිසා නෙවෙයි, මට තනිවම යන්න නොදන්න නිසා. මගේ මුළු ජීවිතයම මම වෙනත් කෙනෙකුගේ රථයක මගියෙකු පමණක් වී සිටි නිසා. මුලින් තාත්තා, ඊළඟට සුමනසිරි, දැන් දරුවන්.
එදින රාත්‍රියේ මට නින්ද ගියේ නැත. 'ඇයි මට බැරි?' කියන ප්රශ්නය මගේ මනසේ රැව් දුන්නේය. පසුදා උදෑසන, මම පත්තරයේ තිබූ 'රියදුරු පුහුණු පාසලක' අංකයකට ඇමතුමක් ගත්තෙමි.
"මැඩම්, ඕනෑම වයසක අයට අපි කියල දෙනවා. දැනටත් අපේ සෙන්ටර් එකේ වයස 70ක අම්මා කෙනෙක් ඉගෙනගන්නවා," දුරකථනයෙන් පැවසූ මහතා කීවේය.
මගේ පපුව ගැහෙන්නට විය. මම නිරෝෂන්ටවත්, නිශාන්තිටවත් කිසිවක් කීවේ නැත. දහම්නිට පමණක් රහසක් ලෙස කියා, ඇගේ උදව්වෙන්
මම පළමු පංතියට ගියෙමි.
මගේ උපදේශකයා වුණේ 'සරත් මහත්තයා'. වයස අවුරුදු 50ක පමණ, ඉතා ඉවසීමක් ඇති මිනිසෙකි.
"හරි රෝසි මහත්මිය, මුලින්ම සීට් එක ඉස්සරහට දාගන්න. කකුල් දෙක පැඩල් වල හරියට වදින්න ඕනේ."
මගේ අත් දෙක වෙව්ලන්නට විය.
"මම මේ කරන්නේ මහ මෝඩ වැඩක්, මට මේක කරගන්න බැරි වෙයි. මම කොහේ හරි ගිහින් අනිවාර්යයෙන්ම හප්ප ගනී," මට හිතුණි.
මම යතුර කැරකෙව්වෙමි. කාර් එක මීටර් දෙකක් ඉස්සරහට ගොස් නැවතුණි. 'ටොක්' ගා එන්ජිම විසන්ධි විය.
"අනේ සමා වෙන්න සරත් මහත්තයා..."
"ගණන් ගන්න එපා. ආයෙත් ස්ටාර්ට් කරන්න. ක්ලච් එක හෙමින් අතහරින්න."
"මගේ මහත්තයා නම් කිසිම අමාරුවක් නැතුව මේවා කළා," මට ඉබේටම කියවුණි.
"අවුරුදු තිහක් පැද්දට පස්සේ ඕනම කෙනෙක්ට ඒක නිකන්ම කෙරෙන වැඩක් වෙනවා මහත්මිය. කලබල වෙන්න එපා."
එදා මුළු පැයම මම කළේ රියදුරු පාසලේ පුංචි පිටිය වටේ යාම පමණි. පංතිය ඉවර වෙනකොට මගේ ඇඳුම් දහඩියෙන් තෙත බරිත වී තිබුණි. නමුත් මගේ මූණේ තිබුණේ ජයග්‍රාහී හිනාවකි.
පංතියෙ පස්වෙනි දවස වෙනකොට සරත් මහත්තයා මාව පාරට දැම්මේය.
හයිලෙවල් පාරේ බස්, ත්‍රීවීල් අස්සෙන් යද්දී මට බයෙන් අඬන්න හිතුණි. නමුත් අටවෙනි දවස වන විට සරත් මහත්තයා කීවේ, "දැන් රෝසි මහත්මියට තියෙන්නේ බය නැතුව පාරට දාන්න විතරයි. තව ප්‍රැක්ටිස් ඕනේ," කියාය.
එදින රාත්‍රියේ මම පවුලේ සැමටම පුවත කීවෙමි. නිරෝෂන්,
"අම්මට... පිස්සුද? මේ වයසේදී රියදුරු බලපත්‍ර ගන්න?"
"ඇයි පුතේ? මගේ වයසට මොකක් වෙලාද?"
"නෑ අම්මේ, දැන් ඇස් පෙනීමත් දුර්වලයි නේද?, දේකට ප්‍රතිචාර දක්වන වේගයත් අඩුයි. මොකක් හරි වුණොත්?" නිශාන්ති කීවාය.
"ඉතින් මට ගෙදරටම වෙලා කව්රුහරි එනකම් බලාගෙන ඉන්න කියලද කියන්නේ? මට ඕන තැනක මාව එක්කයන්න ඔයාලටත් වෙලාවක් නෑනේ."
"අපි එක්කන් යන්නම් කිව්වනේ අම්මේ," නිරෝෂන් කීවේය.
"පහුගිය සතියේ මම දන්ත දොස්තර ළඟට යන්න ඇහුවම පුතා කිව්වේ ලබන සතියේ බලමු කියලා නේද? මට මගේ ගමන මට ඕන වෙලාවට යන්න නිදිහක් ඇත්තෙම නැ."
එවිට නිරෝෂන් කී කතාව මගේ හදවත පතුලටම කිඳා බැස්සේය.
"තාත්තා අම්මාට කවදාවත් ඩ්‍රයිවින් උගන්නන්නේ නැතුව හිටියේ හේතුවක් ඇතිව. තාත්තා දැනගෙන හිටියා අම්මාට ඕවා කරන්න බැහැ කියලා."
මම නිහඬ වුණෙමි. නමුත් සිතින් මෙසේ සිතුවෙමි, 'ඔව් ඔයාගේ තාත්තා මට පදින්න දුන්නේ නැති නිසා මම එයා මතම යැපෙන්න තියා ගත්තා. නමුත් දැන් එයා නැති නිසා මම දැන් කවුරු මතද යැපෙන්නෙ.'
මම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කාර්යාලයට දිනයක් වෙන් කරගත්තෙමි. ලිඛිත පරීක්ෂණයෙන් මට ලකුණු 90ක් ලැබුණි. නමුත් ඊළඟට තිබුණේ ට්‍රැක් පරීක්ෂණය සහ ප්‍රායෝගික පරීක්ෂණයයි.
Continue…
Continue…
Deleteඑදින මට ලැබුණේ වෙනත් කාර් එකකි. මගේ පාද වෙව්ලන්නට විය. මගේ වම් කකුල ක්ලච් එක සෙව්වත්, එම රථය වෙනස් එකක් විය. පරීක්ෂකවරයා ඉදිරියේ, 'කඳු ඇදීම' සිදුවන අවස්ථාවේදී මගේ කාර් එක පස්සට ගොස් කණුවක වැටුණි.
මම අසමත් වුණෙමි.
ගෙදර ආවේ දැඩි සිත් තැවුලෙනි. මට මගේ වයස ගැන, මගේ අසරණකම ගැන දැඩි කෝපයක් ආවේය.
"අම්මේ... කොහොමද විභාගය?" නිරෝෂන් ඇසුවේය.
"මම ෆේල් වුණා පුතේ."
නිරෝෂන් සුසුමක් හෙළා, "මම කිව්වේ අම්මේ... ඔයාට ඕවා හරියන්නේ නැහැ. තේරුමක් නැති වැඩ නොකර ඉන්න," කීවේය. 'මම කිව්වේ' යන ඒ වචන තුන මගේ හදවත කඩා දැමීය.
එදා රෑ මම හඬමින් කාර් එක විකුණා දැමීමට තීරණය කළෙමි. නමුත් පසුවදා මගේ මිණිබිරිය දහම්නි ආවාය.
"අච්චි, තව පාරක් ට්‍රයි කරමු. මගේ යාළුවෙකුත් දෙපාරක් ෆේල් වෙලා තමයි පාස් වුණේ. ඒක වයස ප්‍රශ්නයක් නෙවෙයි, පුරුදු වෙනකොට ඉබේම හරියනවා."
ඇගේ වචන මට ශක්තියක් විය. මම නැවත මාස දෙකකට පසු දිනයක් ගත්තෙමි. ඒ මාස දෙකේදී මම සරත් මහත්තයා සමඟ තවත් පංති කිහිපයකට ගියෙමි. මෙවර මම බිය පසෙක දැමුවෙමි.
දෙවන වර පරීක්ෂණයට ගිය මොහොතේ, මම මගේ මනස සන්සුන් කරගත්තෙමි. පරීක්ෂකවරයා මට සුභ පතමින් කීවේය, "බොහොම හොඳයි මහත්මිය, ඔබ සමත්"
මගේ රියදුරු බලපත්‍රය මගේ අතට ලැබුණු දවසේ, මගේ ඇසින් කඳුළු කඩා හැළුණි. ඒ සන්තෝෂ කඳුළු ය. මගේ මුළු ජීවිත කාලය පුරාම, "මට තනිවම යමක් කළ හැකියි" කියා නිල වශයෙන් සහතික කළ පළමු ලියවිල්ල එය විය.
මම ගරාජයේ තිබූ 'ඇල්ටෝ' රථයේ ලෝනා රෙද්ද ඉවත් කළෙමි. බැටරිය අලුතින් දමා, සර්විස් කර, සෝදා පිරිසිදු කළෙමි.
මගේ අසල්වැසි මල්ලිකා අක්කා රෙදි වනමින් සිට ම දෙස බලා, "අනේ රෝසි අක්කේ... කවුද දැන් ඕක පදින්නේ?" කියා ඇසුවාය.
"දැන් මම තමයි පදින්නෙ මල්ලිකා" මම සිනාසෙමින් කීවෙමි.
පළමු වතාවට මම තනිවම හන්දියේ සුපර්මාර්කට් එකට ගියෙමි. පාරේදී මගේ අත් වෙව්ලුවද, මම තනිවම ගොස්, බඩුගෙන, තනිවම ආපසු ආවෙමි. සාලයේ පුටුවෙන් වාඩි වූ මට දැනුණේ මම නිදහස් පක්ෂියෙකු වූවාක් මෙනි.
අවුරුදු 61කට පසු, මගේ ජීවිතයේ සුක්කානම මගේ අතට ලැබී තිබුණි.
ඊයේ දහම්නි මට මැසේජ් එකක් එව්වාය. "අච්චි, සෙනසුරාදා මාව කොළඹ බුක්ෆෙයාර් එකට එක්කන් යන්න පුළුවන්ද?"
මම ඇයට පිළිතුරු යැව්වෙමි,
"අනිවාර්යයෙන්ම පුතේ, මම ඔයාව ගන්න එන්නම්"
නිරෝෂන් තවමත් කියන්නේ මට මොකක් හරි අනතුරක් වෙයි කියාය. අනතුරක් ඕනෑම කෙනෙකුට විය හැක. නමුත් දොරවල් වසාගෙන, ජනේලයෙන් පාර දෙස බලමින්, අන් අයගේ කාලසටහන් වලට අනුව ජීවත් වෙනවාට වඩා, මගේ ජීවිතයේ ඉතිරි කාලය නිදහසේ පදවාගෙන යාමට මම තීරණය කර ඇත්තෙමි.
කොහොමද මේක?
හොඳයි!
Deleteදිරිය මවකගේ කතාව ඉතා හොඳයි.
"කොයි වෙලේ බැලුවත් නමී බිසිය. (මොන වැඩේට අඬ ගැහුවත් ‘හා’ කියන්නේ ටිකාක් විතර ගණන් උස්සා; ඩිමාන්ඩ් කරලා ඉවර වෙලාය. එහෙම කරලාත් හුඟ වෙලාවට මේ යක්ෂ පැටියා කියන්නේ ‘බෑ’ කියලාය! ඊයෙත් කළේ ඒකමය.)" - හෙන ලොකු සීන් නේද :-D
ReplyDeleteලොකු සීන් නේන්නං, නමී හිනා වෙන්නෙත් කිරල-මැනල. මං හිතන්නේ ඒ එයාගේ උපන් ගතිය...
Deleteමේ පෝස්ටුවේ අන්තිම ෆොටෝ එකම මගේ කතාවට සාක්කි.