අකුරු මැකී නෑ

Sunday, July 19, 2026

මතක මතක - පස්වෙනි කොටස

සුසිල් මහත්තයාගේ දැවැන්ත- ගම්භීර මන්දිරය දැක්ක ගමන්ම මං වහන්සේ හේබාලා ගියා. ‘එසේ-මෙසේ පුතයෙක් නොවෙන කෙනෙකුට මෙහෙම තැනක ඉන්න පුළුවන්ද?’

ඒ හැඟීම ඉක්මනින්ම වාෂ්ප වෙලා ගියේ සුසිල් මහත්තය මාව පිළිගත්ත සුහද ලීලාවෙන්. “බෝල්ඩ්වින් මටත් ටෙලිෆෝන් කළා. කෝ නිමල් එයා එවපු ලියුම...” ඒ ලියුම කියවල ඉවර වෙලා, එතුමා මගෙන් ඉල්ලා ගත්ත ‘හිනා වෙන්න හිනා’ පොතත් අතැනින්- මෙතැනින් කියවල බැලුවා.
ඊට පස්සේ මගේ දිහාවට බොහොම සානුකම්පිත බැල්මක් හෙළුවා.
😖

මෙහෙම කතා එකතුවක් තියෙන්න බෑ විවිධ මට්ටමේ අයව ඇසුරු නොකරන කෙනෙකුට.

“හැබැයි නිමල් මහත්තයෝ- බෝල්ඩ්වින් මහත්තයාගේ මුඛ්‍ය යෝජනාවට නං මට දෙන්න වෙන්නේ නිෂේධනීය උත්තරයක්...”

සුසිල් සිරිවර්ධන මහත්තයගේ ඒ කතාවෙන් මගේ හිතට පුංචි මොකක්දෝ එකක් හිතට කාන්දු වුණේ නැතැයි කිව්වොත් නං ඒක තඩි බොරුවක්. අපි කවුරුත් වැඩියෙන් කැමති අපේ ගැන මිහිරි දේවල් කියැවෙනවා අහන්නනෙ. මොකද මේ ලියන මං වහන්සේ කියලා ඊට වෙනස් සතෙක්යැ? ඒත්... ඒ එක්කම මං හැබෑ ලෝකෙට ආවා.

“මට කුරුප්පු මහත්තයත් කල් තියාම කියලයි තිබ්බේ ඔබතුමා මෙහෙම කියන්න වුණත් ඉඩ තියෙනවයි කියලා.”
“ඇත්තට... එතකොට නිමල්ට මොනවද හිතුණෙ? කමක් නැහැ නේද මම එහෙම ඇහුවට.”
“ඇත්තම කියනවා නං සුසිල් මහත්තයා, මම දන්නවනේ මගේ ලියැවිලි සම්භාව්‍ය- විදග්ධ ඒවා නොවෙන විත්තිය. හැබැයි වැඩි දෙනෙකු හැම තිස්සෙම බරසාර ඒවාට කැමති නැති විත්තියත් මම දන්නවා...”
“... ඒ හින්දා මමත් ඔයාගේ මේ යාන්ස් පොතට කැමති වෙයි කියලද හිතුවේ? කමක් නෑ- කමක් නෑ... එහෙම හිතුවට කමක් නෑ...” සුසිල් මහත්තයා හිනා පොත මේසය උඩින් තිබ්බා.

“මෙහෙම කතා එකතුවක් තියෙන්න බෑ විවිධ මට්ටමේ අයව ඇසුරු නොකරන කෙනෙකුට. අනෙක නිමල්ට තියෙනවා රුචිකර ලේඛන හැකියාවකුත්... ඒත් එක්කම මට දැනෙනවා නිමල් ලියන්නේ සාමාන්‍ය ජනතාව ඉලක්ක කරගෙනයි කියලත්. ඒත් මට ඔයාගේ මේ පොතට නම් උදව්වක් කරන්න විදිහක් නෑ නිමල්. නමුත්... ඔයාගෙන් අනාගතයේදී ලියවෙන දෙයකට නං...”
“ගොඩක් ස්තුතියි සර්. ඔබතුමා එක්ක මෙහෙම කතාබහ කරන්න ලැබුණු එකම ලොකු වාසනාවක් විදිහටයි මට දැනෙන්නේ...”

“නිමල් අවංකව කතා කරන බව- එක එල්ලේම මගේ ඇස්දෙක දිහා බලලා කතා කිරීමෙන් මට පෙනෙනවා. ඒ නිසයි මමත් මෙච්චර විවෘතව කතා කරන්නේ. අපි වගේ අයත් එක්ක කතා කරන හුඟක් දෙනා කියන්නේ තම-තමන්ගෙ අවංක අදහස් නෙවෙයි- අපිව සතුටු කරවන දේවල්... අපි එකඟ වේවිය කියල එයාලා හිතන දේවල්...
නිමල් දන්නවද? කෙනෙක් සමාජයේ කැපී පේන්න ගත්ත ගමන්ම, නායකයෙක් බවට පත් වෙන්න පටන් ගත්ත ගමන්ම එයාගෙ වටේ රොක් වෙනව ආන්න එහෙම පිරිසක්. එයාලා අර මනුස්සයව වට කරන කඩතුරාවක් වෙනවා.
-ඒ හින්දයි
බෝල්ඩ්වින් කුරුප්පුට මං ගොඩක් කැමතිත්. අරහෙම මිනිස්සු අතරේ එයා එහෙම පිටින්ම වෙනස් කෙනෙක්. මිනිහා යකාටවත් බය නැති- මොන යකෙක්වත් මායිම් කරන්නේ නැති- කට කෑවත් ඇත්තම කියන කෙනෙක්...”

කැපී පෙනෙන්නන්ගේ ගති-සොබා; ඇවතුම්-පැවතුම්; විශේෂතා ආදිය...

සුසිල් මහත්තයාගෙ අදහස් එදාටත් වැඩියෙන් ගැලපෙන්නේ අදටද?

“නිමල්ට මතකද 71 කැරැල්ල?”
“ටිකක් මතකයි සුසිල් සර්.”
“ඒ මතකවලින් හොඳම එක මොකක්ද කියලා මං ඇහුවොත්...”
එතකොට නං මම ටිකක් වෙලා ගත්තා- කල්පනා කරන්න. “ඇත්තම කිව්වොත් සර්- මට වැඩියත්ම මතක් වෙන්නේ 71 කැරලිකාරයන්ට අපේ මහරගම ආච්චි කියපු නමනෙ.” මං කිව්වේ හිනාවකුත් එක්ක.

“ඒ මොකක්ද නිමල්? ඔයාගෙ හිනාවෙන් පේන්නේ ඒ නම ලස්සන එකක් වෙන්නැති කියලයි.”
“අපේ
ආච්චි එයාලට කිව්වේ ‘චේගුරාකාරයො’ කියල...”
“ආාාහාාාා... චේගුරා? ඔයාලගෙ ආච්චිත් නිමල් වගේම හොඳ කතාකාරියෙක් වෙන්නැති. ඒ වගේ උදවියව මට හම්බ වෙලා තියෙන්නෙ අඩුවෙන්. අපරාදේ...”

මටත් සුසිල් මහතා මුණ ගැසී තිබෙන්නේ හතර-පස් වතාවක් විතරකි. ඒකත් මාස ගණනාවක පරතරයක් ඇතුවය. එවන් හමුවීම්වලදී එතුමන්ගෙන් කියැවුණු දේවලින් මට මතක තියෙන්නේ ස්වල්පයක් පමණය. එසේ වෙතත් එතුමන්ගෙ ‘කථන ස්වරූපය- නිතර කියැවුණු භාෂා යෙදීම්’ ආදිය නම් මට සපුරාම අමතකය. (මා නිතර ඇසුරු කරන්නන්ගේ හා කැපී පෙනෙන්නන්ගේ ගති-සොබා; ඇවතුම්-පැවතුම් හා විශේෂතා ආදිය මට හොඳින් ‘මීටර්’ වෙයි!)

නිදිගෙ පංච තන්තරේ ලියද්දී- ලේඛනයට ප්‍රාණවත් බවක් ලබාදීම උදෙසා ‘සංවාද’ ලෙසිනුත් සමහර දේවල් ලියන්නෙමි. එසේ කිරීමේදී සුසිල් මහතාණන්ගේ ‘කථන රටාව හා ශෛලිය’ වෙනස්වී තිබේ නම් එහි වැරැද්ද මේ ලියන නිදි සතුය.

“නිමල්ට පුළුවන්ද ආයෙමත් වෙලාවක ඇවිත් යන්න... ඔයාට පොත් ටිකක් දෙන්න හිතුණා... එනකොට හොයල තියන්නං...” එදා අපේ සාකච්ඡාව අවසානේදී සුසිල් මහත්තයා ඇහුවා. මාත් කැමැත්ත පළ කෙරුවා.
එහෙම ගිය වෙලාවේ එතුමා ‘සංස්කෘති සඟරා’ කිහිපයක්ම මට තිළිණ කළත් එක්ක.

‘රුපියල් අස්සේ අලුක්කාල් ගැන්නෙන්න යන්නෙ මක්කටෙයි’ කියන හීනමානය නිසාද කොහෙද මං සුසිල් මහත්තයාව හමු වෙන්න ගියේ ඉතාම කලාතුරකින්. එතුමන් පරලෝ සැපත් වුණාට පස්සෙ නං සිහිපත් වුණා ‘අපරාදේ’ කියලා; ඉහළම ගණයේ බුද්ධිමතෙකු විදිහට පිළිගැනුණු කෙනෙකුව මීට වඩා ඇසුරු කරන්න තිබුණ නේද කියල.
‘සිරිවර්ධන මහත්තයාත් එක්ක කෙරුණු හැම කතාවක්ම ඒ තරමට හරවත් වුණේ කොහොමද?’ මට තවමත් හිතෙනවා!
(සුසිල් සිර්වර්ධන මහතා නිවනින් නිවී සැනසේවා!)

කුරුප්පු මහත්තයා එවල තිබ්බ අනෙක් ලියුම ‘කරුණාරත්න අමරසිංහ’ මහත්තයගෙ නමටයි කියල මං ඔයාලට කිව්වනෙ. ඉතිං මං එතුමටත් ෆෝන් කළා. ඒ දුරකථන සංවාදය ඉවර වුණෙත් හමුවීමට වෙලාවක් යොදා ගනිමින්.

කරුණාරත්න අමරසිංහ මහතා ඔහුගේ ගෘහස්ථ රාජධානියේදී සුමිතුරු ජිනසේන ගමගේ මහතා සමඟ.

“නිමල්, මම කරන ගුවන් විදුලි වැඩ සටහනකින් ඔයාගේ පොත ගැන කතා කරන්න බලමු. හැබැයි ඊට කලින් ඔයා මට ඒ පොතෙන් පිටපතක් එවල ඉන්න ඕනි...” කරණාරත්න මහත්තයා කිව්වා.

පොත යැව්වට පස්සේ ලැබුණේ හොඳ ප්‍රතිචාරයක්. “අපි රේඩියෝ ප්‍රෝග්‍රෑම් එකක් කරමු. නිමල්ට පුළුවන් නේද SLBC එකට එන්න- මම කියන වෙලාවට.”
“එන්නං කරුණාරත්න මහත්තයෝ.” මං කිව්වේ ඉහ-වහා ගිය සතුටකින්. සතුටු නැද්ද දෙයියනේ ‘පුංචි කාලේ හිට හිතේ වැජඹෙන වීරයෙක්ව පණ පිටින්ම හම්බ වෙන්න ඉඩක්’ පෑදුණාම.

ඊට කලින් ගුවන් විදුලි වැඩ සටහන් කීපෙකටම සහභාගි වෙන්න ඒ ආයතනයට ගිහිං තිබුණු හින්දද කොහෙද ‘රේඩියෝ ප්‍රෝග්‍රෑම්‘ එක ගැන නං අමුතු සතුටක් ඇති වුණේ නෑ. හැබැයි ජීවිතේ පළමුවෙනි වතාවට සම්බන්ධ වුණු ‘ආරෝග්‍ය ශාලා සේවය’ වැඩ සටහන (දුප්පත් අපිට රේඩියෝවක් නොතිබුණු නිසා) මටවත් අහගන්න බැරි වෙච්චි දුක නං එදා අලුත් වුණා.

ඒත් එක්ක, (ඇත්තම කියනවා නං) කරුණාරත්න මහත්තයා මිත්‍රශීලී ගතියෙන් අඩු කෙනෙකු විදිහටයි, පළමු හමුවේදී මට හැඟුණේ. එක එක්කෙනා එක එක විදිහනේ. අනෙක එදා එතුමා ඇවිත් උන්නේ ‘මිත්‍ර සමාගම්’ පවත්වන්න නෙවෙයිනේ.
එහෙම වුණත්, ඒ වැඩ සටහනට සහභාගී වෙන්නට පැමිණ සිටි තුරුණු සහායිකාවටත්; මටත් අවශ්‍ය උපදෙස් හා ගුරුහරුකම් ලබා දෙන්න නම් කරණාරත්න මහත්තයා අමතක කළේ නෑ. (එතුමන්ලා අයිති වුණේ ‘පළමුව රාජකාරිය’ පරම්පරාවට නෙව!)

ඉතිං, “මම මෙහෙම ඇහුවොත්...” කියලා එතුමා මට හදිසි ප්‍රශ්නයකුත් යොමු කළා- මැදිරියේදී කෙරුණු පෙරහුරුව වෙලාවේ. ඒ මගේ කටහඬේ තත්ත්ව පරීක්ෂාවක් වගේම; පිළිතුරු දීමේදී නිරවුල්ව එය කරනවාදැයි සෙවීම පිණිස වෙන්නැති.
“නිමල්, ඔයාගේ පොතෙන් තෝරාගත්තු කෙටි යාන්ස් දෙකක් අපේ වැඩ සටහන අතරතුර දෙවතාවකදී ඉදිරිපත් කරනවා. මේ තරුණ යුවතිය ඇවිත් සිටින්නේ ඒ කාරිය උදෙසා.”

අතරමඟ නැවතීම්- බාධා කිරීම් මොකවත් නැතිව ඒ වැඩ සටහන පටිගත කෙරුණා. වැඩි කතාබතා මොකුත් නැතිවම මං ආපහු ආවේ බලාපොරොත්තු සුන් වුණු ගතියකින්. ඒ කරුණාරත්න මහත්තයත් එක්ක සුහදව කතා කරන්න බැරි වීම ගැන දුකෙන්! ඒ දුක්මුසු; මුසුප්පු සහගත හැඟීම අවුරුදු ගණනාවක් තිස්සෙම; 2024 සැප්තැම්බර් මාසේ දවසක් වෙනකල්ම අතුරුදහන් නොවී තිබුණයි කියමුකො. ඒ කිව්වේ සිරිබිරිස් උන්නැහේ මැදිහත් වෙනකල්...

ආදරණීය පාඨක ඔයාලට කොහොම ස්තුති කරන්නද මංදා... 

සිරිබිරිස් උන්නැහේව මං හඳුනාගත්තු හැටිත් බොහොම රසවත් මතකයක්!

2019 දෙසැම්බරයේ හරි 2020 ජනවාරියේ හරි දවසක හැන්දෑවෙ, අපේ අල්ලපු ගෙදර දේවිකා නංගි මට කතා කළා. “නිමල් අයියේ... නිමල් අයියේ. මෙන්න කවුද ඇවිල්ල, ඔයාව අහනවා.”
මං දොරකඩට ගිහිං බැලුවා.

දැකලා නැති අමුත්තෙක් හිනාවේගෙන ගේට්ටුව ළඟ; කාර් එකත් නවත්තගෙන... හතර රියන්; ආරෝහ-පරිණාහ දේහධාරී පුරුෂයෙක්...මාව දැක්ක ගමන්ම එයා කට පුරා හිනාවකුත් දාපි.

“කොහොමද ලොක්කා, මං සිරිබිරිස්... ලංකාවට එනකොටමයි හිතාගෙන ආවේ ඔයාව හම්බ වෙන්න එන්න.”

විදේශයක සිට නිදිගෙ පංච තන්තරේ කියවන; comment කරන සිරිබිරිස්ව මගේ හිතේ ඇඳිලා තිබ්බෙ ගොඩක් තලත්තෑනි මනුස්ස පරාණයක් විදිහටයි... සිරිබිරිස්ගේ කමෙන්ටුවලිනුත් පෙනුණේ එයා දැනුම්-තේරුම් ඇති; පරිණත කෙනෙක් හැටියටයි. එහෙව් වැඩිහිටි මනුස්සයෙකුට නම කියල කතා කරන්න අකමැති වුණු මං ‘සිරිබිරිස්’ නම අගට ‘උන්නැහේ’ කෑල්ලකුත් ඈඳන්නයි එතකොටත් පුරුදු වෙලා හිටියේ.

නිදිගෙ පංච තන්තරේ ලියන්න පටන් ගත්තු නිසා ලංකාවේ වගේම පිටරටවල ඉන්න ගොඩාරියක් සහෘදයන් හඳුනා ගැනීමේ වාසනාව මට ලැබුණා. ඒ අතරෙ ඉන්න තවත් හිතවතෙක් තමයි සිරිබිරිස් උන්නැහේ... තවත් කීප දෙනෙක්ම ඉන්නවා, මෙතැනදී නම් ලැයිස්තුව නොලිව්වට. හොඳේ...

මටම පුදුමයි- මුල්ම අවුරුදු කිහිපයෙන් පස්සේ මේ බ්ලොගය වැඩියෙන්ම කියවන්නේ විදේශවල ඉන්න හිතාදර රසික-රසිකාවියන්!
අද (2026 ජුලි 19) උදේ බලද්දිත්, මේ බ්ලොගයට වැඩියත්ම පිවිසිලා තියෙන්නේ විදෙස් පාඨකයන්. හරියටම කියනවා නම් ලංකාව තියෙන්නේ ඒ ලැයිස්තුවේ 14 වෙනි ස්ථානයේ.

තව එකක්. ඊයේ දවසේ අපේ blog එකේ Hit Counter එක හත් ලක්ෂය පහු කරලා; 7,02,577ට කැරකිලා! ඊයේ දවසේ පිවිසුම් ගණන 2,912ක්.
2026 ජුනි මාසේ තමයි ‘නිදිගෙ පංච තන්තරේ’ට අඩුම posts ගණන; 3ක් වැටුණේ. හැබැයි, වැඩිම පාඨක සංඛ්‍යාවක් බ්ලොගය කියවන්න පැමිණිලා තිබ්බෙත් ජුනි මාසේ. සංඛ්‍යාව 89,776ක්.

නිදිගෙ පංච තන්තරේට මෙච්චර පිළිගැනීමක් ලබා දුන් ආදරණීය පාඨක ඔයාලට කොහොම ස්තුති කරන්නද මංදා.
හැබැයි අපි ආවේ බොහොම  හෙමින් ගමනක්. මුල්ම කාලේ දවසකට 150ක් විතර තමයි බ්ලොගය කියෙව්වේ. බ්ලොගය පළ කරන්න පටන් ගෙන මාස 18කට පස්සේ; 2020 ජනවාරියේ ‘ශ්‍රී ලංකා
not vs England - හයවෙනි කොටස‘ට මං මෙහෙමත් ලිව්වා මතකද?

මානෙල් නංගිගේ විවාහ මංගල්‍ය උත්සවයට ‘ගම් කුකුළු මස්’ම උයවන්නට ඕනෑ යයිද, අජිත් මල්ලිගේ කුකුළු කොටුවේ කුකුළන් ඒ සඳහා මරවා ගැනීමට හැකි යයිද ‘අපේ ගෙදර වරිග සභාව’ තීරණය කළේය.

‘2018 අප්‍රේල් 1 වෙනිදා සිට පළවන ‘නිදිගෙ පංච තන්තරේ’ට දැන් (මාස 18කදී) පිවිසීම් 85,072 කි. මගේ ලියවිල්ල කිසිම කමකට නැතිනම් එච්චර ගණනක් මෙය කියවාවිද?

මගේ පාඨක හිතවතුන්- හිතවතියන් සැම දෙනාටම ස්තුතිවන්ත වෙමින්, විස්සයි විස්සට සුබ පතන අතරේ මට හිතෙන්නේ එහෙමය.’

සිරිබිරිස් උන්නැහේ නමෝ විත්තියෙන්ම අපේ දිහා ආවෙත් ඔය දවස්වලමයි.

“ඔයා දන්නවද ලොක්කා, මට ඔයාව හම්බ වෙන්නම හිතුණෙ ඇයි කියලා. පව් විකුණන්න බැහැයි කියලා- නංගිගෙ වෙඩින් එකට ඔයාම කුකුළො පනහක් විතර මරපු විස්තරේ blog එකෙන් කියෙව්වට පස්සේ... මට හිතුණා, අඩේ- මේකා මාර ඩයල් එකක්නෙ. මේ සැරේ ලංකාවට ගියාම පොරව හම්බ වෙන්න යන්නම ඕනි කියලා.”
එහෙම හිතා ගෙනය; සිරිබිරිස් උන්නැහේ ‘සුවිශේෂ තෑගි කිහියකුත්’ ඕස්ට්‍රේලියාවේ සිටම සූදානං කරගෙන ඇවිත් තිබුණේ.
එව්වා අතර ‘
1901 සත ¼ හෙවත් අලුක්කාලේ කාසිත්’ තිබිණි.

අපේ හිතවත්කම ලියලා ගිය විදිහ කියන්නට කලින්- මගේ අඳුරු වික්‍රමයක් වූ ‘සැවුළු සංහාරය’ ගැන ලියූ විස්තරය මෙතැනට යොදන්නේ (විශේෂයෙන්ම) නවක පාඨක සහෘදයන් වෙනුවෙනි.

මානෙල් නංගිගේ විවාහ මංගල්‍ය උත්සවයට ‘ගම් කුකුළු මස්’ම උයවන්නට ඕනෑ යයිද, අජිත් මල්ලිගේ කුකුළු කොටුවේ කුකුළන් ඒ සඳහා මරවා ගැනීමට හැකි යයිද ‘අපේ ගෙදර වරිග සභාව’ තීරණය කළේය. ‘කොහොමද උන්ව මරන්නේ’ යැයි මම විමසීමි.
මේ එතැන් සිට කතාවයි. (එය උපුටා ගැනෙන්නේ සත් වසරකට පෙර ලියැවුණු ‘සැවුළු සංහාරය 6-7’ postsවලිනි.)

“ළමයෝ, කුකුළු මස් කඩේට ගෙනිහින් උන්ව මස් කරවා ගත්තැකි. එතකොට ඉවරයිනේ.” අපේ සීයා කීවේය.
“එහෙම කොහොමද ඉවර වෙන්නේ
?” මම ඇසීමි. මං එහෙම ඇහුවේ සීයාගේ කතාව නොතේරී නොවේ!

“ඒ මිනිස්සු ඒක කරලා දෙයි, සල්ලි දෙනවා නම්!” සීයාම උත්තර බැන්දේය. ගොනා හැරෙනවිටම ඒ පොල් පැළය කන්නට බව දැනුමැත්තෙකුට තේරෙයි. ආලවකයා සිරසටම නැඟලා හිටිද්දීත්, මං දර්මයෙන් ඇහුවේ ‘ධර්ම’ ප්‍රශ්නයකි.

“ඒකත් හරි කියමුකෝ. ඈ සීයේ, කවුද එතකොට ඒ මිනිස්සුන්ට ඔය සල්ලි දෙන්න ඕනේ?”

ඔන්න එතකොට නම් සීයාටත් හිනහ ගියේය. “ඇයි ළමයෝ, මේ ගෙදර වැඩවලට වියදම් කරන්නේ ඔය ළමයනේ....”

“ඈ ආච්චියෙ, ආච්චීනෙ බණ-දහම් හොඳට දන්න කෙනා. දැන් කුකුළු මස් කඩේ මිනිස්සුන්ට කියලා අපේ කුකුළෝ මරවගන්න සල්ලි දෙන්න වෙන්නෙ මට. එතකොට ඒ ප්‍රාණඝාත අකුසලේ කාටද? මටද, ඒ මිනිසුන්ටද?” අපේ ආච්චීත් හැදිලා තිබුණේ මව්කිරි බීලාය.

උඹට ඉතින් තිස්සෙම ප්‍රශ්න අහනවා ඇර වෙනින් වැඩක් තියෙන එකක්යැ. අනේ, මං දන්නා තරම මදි පුතේ...

ඒ වගේම දසනායකලා වුණාට දිසානායකලාටත් වැඩියෙන් දුර දකින්නීය.
ඒ නිසාම වැටෙන්නට යන සකල අමාරුව කල් ඇතිවම තේරුම් ගත්තාය.

හොඳටම අහුවෙන ප්‍රශ්නයකදී, හරියටම අපේ පොලිටික්කන් කරන්නේ වෙනින් කතාවක් ඇදලා ගන්න එකය. පීල්ල මාරු කෙරිල්ලය. ආච්චිත් කළේ ඒකය. “උඹට ඉතින් තිස්සෙම ප්‍රශ්න අහනවා ඇර වෙනින් වැඩක් තියෙන එකක්යැ. අනේ, මං දන්නා තරම මදි පුතේ ඔව්වට උත්තර දෙන්න!”.

සැවුළු සංහාරය කරන්නට වුණේ මඟුලට කලින් දවසේය. එතැනදීත් අනුගමනය කෙරුණේ ආඳා මාළු අතින් නොකා ඉරටෙන් කන තියරි එකමය. “බදුල්ලෙන් කට්ටිය එන්න ඉස්සෙල්ලා කුකුළො ටික මරලා සුද්ද කරලා ඉවර කළා නම් හොඳයි නේද?”

කරන්නට හොඳය. පෙනෙන්නට නරකය! එත් මේ ඒවාට එරෙහිව රණ්ඩු කරන්නට වෙලාව නෙවෙයිනේ. මම කට පියාගෙන හිටියෙමි.
“මල්ලා
, තමුසේ එහෙනම් කුකුල්ලුන්ගේ කකුල් ගැට ගහලා එක ගොඩකට දානවා!”

ආයුක්ෂයවී සිටි අවාසනාවන්ත සැවුළන් මරන්නට තෝරා දුන්නේ අජිත් මල්ලීය. ඒ ගොඩටම නාකි කළුකුම්ලා දෙතුන්-දෙනාත් අයිති වුණේය. උන්ගේ කකුල් ගැට ගහන්නට ඕනෑවූ ලණු කැරලි ගෙනාවේ අපේ සීයාය.

අනේ අජිතෝ, අනේ සීයේ. ඔයාලා දෙන්නාමත් නොදැන හරි එදා, ඒ ප්‍රාණඝාත අකුසලයේ කොටහකට කර ගහලාය. බණේ කියවෙන හැටියට නම් ප්‍රාණඝාත අකුසලයක් සම්පූර්ණ වෙන්නට  කරුණු පහක් සපිරෙන්නට ඕනෑය.

   1. පණ ඇති සතෙකු වීම
   2. පණ ඇති සතෙකු බව දැනගැනීම
   3. වධක චිත්තය හෙවත් මැරීමේ චේතනාව
   4. මැරීම සඳහා යම්කිසි උපක්‍රමයක් යෙදීම
   5. එම සත්ත්වයා එයින් මරණයට පත් වීම
, ඒ කාරණා පහයි! මං කරන්නේ තොරතුරු සම්පාදනය විතරය. තීරණය ගත යුත්තේ බුද්ධිමත් රසිකයන් විසිනි.

පරපණ නැසීමේ අකුසලය කොහොම-කොහොම බෙදෙන්නට ඇතිද?

මගේ හැඟීමත් දැනීමත් අනුව නම්, එදා අපේ ගෙදර හැමෝම එක-එක මට්ටමෙන් ඒ පවට කර ගැසුවෝය!
මේවා තේරෙන වයසක නොහිටි අපේ මැරෑටියා
; බඩා මල්ලා; දීපාල් කුකුල්ලුන්ගේ කකුල් ගැට ගැහුවේ සෙල්ලමකට අරගෙනය. ඒ වැඩේ සෑහෙන්නට කෙරුණාට පස්සේ මම වධක රාජකාරිය කරන්නට පටන් ගත්තෙමි.

මං හිත-හිතා හිටියේ නැත; බල-බලා හිටියේ නැත. එකෙක් අතට. බෙල්ල කොට කෑල්ල උඩට. පිහිය ඉහළට. ඊළඟට පිහිය පහතට. One shot. දඩාස්! බෙල්ල පැත්තකට. කඳ බැරල් එක ඇතුළට. ආයෙමත් ඒකමය. ඔහොම දිගින්-දිගටම ශීර්ෂඡේදනය කරගෙන-කරගෙන ගියෙමි.

මගේ අම්මෝ! ප්‍රාණ හතක් තියෙන්නේ බළලුන්ට විතරක් නොවෙයි වගෙය. බෙල්ල කපලා, කඳ කොටස උස බැරල් එකට දැම්මාට පස්සෙත් විනාඩි ගණනාවක් යන තුරුම කඳ දඟලයි! උඩ පනියි!! නිසල වෙන්නේ ඊට පස්සෙය!!! මට හිරිකිතම හිතුණේ දැවැන්ත කළුකුම්ලාගේ බෙලි කපද්දීය!!!!’

ඉතිරි හරිය ඊළඟ කොටසෙන්...

Monday, July 13, 2026

මතක මතක - සිව්වෙනි කොටස

මෙච්චර උගතෙක් වෙලත් මේ මනුස්සයා කිසිම ලජ්ජාවක් නැතිව තුට්ටු දෙකට වැටෙන හැටි! පෙනෙන විදිහට නං උන්නැහෙට එච්චර අහේනි පාටකුත් නැති එකේ...’

කොයි තරං දේවල් හිතට ආවත්, මේ ගැන ඊළඟට කරන දේ පරක්කු නොකර කරන්න ඕනිය කියලත් මට කල්පනා වුණා. බොස්ටත් විස්තරේ කියලා, මං ගොඩගේ මහත්තයාට ඇමතුමක් ගත්තා. සේරම විස්තර කිව්වා. එතුමාත් හූමිටි තියමින් මගේ කතන්දරේ අහගෙන උන්නා.
“දැන් මේකට මොනවද ගොඩගේ මහත්තයෝ කරන්නේ?”

යමුද අපිත් එක්ක තන්තිරිමලේ?

“කරන්නෙද?” ගොඩගේ මහත්තයාගේ නිවුණු ස්වරයයි ටෙලිෆෝන් එක දිගේ ගලාගෙන ආවේ.

“අපි ඔන්න ඔහේ ඒ මහත්තුරුන්ගේ කැමැත්තට ඉඩ දෙමු, නිමල්.
අපේ ගොඩගේ ප්‍රකාශන ආයතනය නිසා මට ලංකාවේ හොඳම පොත් කර්තෘවරුන් වගේම හොඳම පොත්කාරයොන්වත් අඳුනා ගන්න හම්බ වෙලා තියෙනවා... අවස්ථා ගොඩක් හම්බ වෙලා තියෙනවා... මොන විදිහේ දහංගැට ගැහුවත් අද ඒ ගොල්ලෝ පොත් ක්ෂේත්‍රයේවත් නෑ. නමුත් මම එදාටත් වඩා ස්ථාවරව තවමත් පොත් ප්‍රකාශන කර්මාන්තයේ ඉන්නවනේ. මට ඒ ඇති!”

ඒ වෙලාවේ ආලවක යක්ෂයා මගේ සිරස මස්තකයට වැඩම කරලා තිබ්බත් මං මුණි වත රැක්කේ ගොඩාක් අසීරුවෙන්. ‘ගොඩගේ මහත්තයාගේ කැමැත්තනෙ. නිමලෝ, තමුසෙ එයා කියනවට ඉහළින් යන්න ඕනියැ? ඒ මඟුලෙන් සිද්ද වෙන පාඩුවක් වෙන්නේ ගොඩගේ මහත්තයටමනේ...’ මගේ හිතුවිල්ලට බාධා කරමින් ගොඩගේ මහත්තයාමයි කතා කෙරුවේ.

“... තව එකක්. මෙහෙම කතාබහක් අපි අතරේ වුණු විත්තිය වෙන කවුරුවත් දැන ගන්න ඕනි නැහැ. අඩුම තරමෙන් ඔය මහාචාර්ය ගොයියයි, එයාගෙ ගෝලයායිවත්. එයාල අහන එකකුත් නැහැ- පොත් 250 ගහන්න ඕනි කරන කඩදහියි බෝඩුයි ගෙනෙන්න කිව්වම...”

ඒ සිද්දිය එහෙම පිටින්ම වැළලී යන්නට කලින් 2001 අවුරුද්දේ දවසක කේ.එම්.අයි. ස්වර්ණසිංහ මහත්තයා මට ආරාධනයක් කළේය.

"...නිමල්යමුද අපිත් එක්ක තන්තිරිමලේ?" ප්‍රෙස් එකේදී ස්වර්ණසිංහ මහත්තයා ඇහුවා. එතකොට 'තන්තිරිමලේපොත අච්චු ගැහෙනවා. මම විස්තර ඇහුවා.
"පොත දොරට වඩන්නේ තන්තිරිමලේ පන්සලේදී... උත්සවයට ගොඩගේ මහත්තයයිනෝනයිජේ. බී. සරුයියනවා- බස් එකක. සුනිල් සර්නන්දා මාලිනී නෝනා එහෙමත් යනවා. තව කට්ටිය ඉන්නවා. සේරම වියදමුත් ගොඩගේ මහත්තයා ගණනේ. යමුද?''

කැමැත්ත දෙන ගමන්ම මං අවසර ගත්තා මගේ හිතවතෙක් වන නෙවිල්වත් ගමනට කැන්දන් එන්න...’

එහෙමයි මගේ මරණය තෙක් ඉතාමත් ආදරයෙන් සිහි කරන්නට ඇහැකි ‘ඉමිහිරි මතකයක්’ මට හිමි වෙන්නට මුල පිරුණේ. ඒ විස්තර ඔක්කොම 2018 අවුරුද්දේ මං ‘නිදිගෙ පංච තන්තරේ’ට ලිව්වා ‘කූචු කුචයියෝ’ post එක ලියද්දී.

(මං කිව්වනෙ අපි ඒ ගමන ගියේ 2001 අවුරුද්දේ කියලා. ඒ ගමන මහාචාර්ය සුනිල් ආරියරත්න මහත්තයාගේ හිතටත් හොඳටම වැදෙන්න ඇතිය කියලා මට හිතෙනවා. ඒ නිසාම 2007 අවුරුද්දේ එතුමා ‘උත්පලවණ්ණා’ ෆිලුම රූගත කරන්නත් තන්තිරිමලේ ප්‍රදේශය තෝරා ගන්න ඇති කියලා මගේ හිත කියනවා!)

සමහරු කියනවා මේවා සැර වැඩියි කියලා...

හැබැයි- අපේ තන්තිරිමලේ ගමනෙදි වුණත් ගොඩගේ මහත්තයා මගෙත් එක්ක කතා කළේ වචන දෙකයි.

ඒ බොහොම හෘදයංගම සිනහවකිනුත් සංග්‍රහ කරන ගමන්... “කොහොමද නිමල්?”
එතුමාගේ ඒ වචන දෙකෙනුත්- නිවුණු හිනාවෙනුත් කතන්දර සීයක්-හමාරක් කියැවුණු බවයි එදා මට හැඟුණේ.

ඒ ගමන පුරාවට මං දැක්කේ තමන් අඩුවෙන් කතා කරමින්- අනුන්ට රිසිසේ කතා කරන්නට ඉඩ හදන ‘අන්තිම සරල මනුස්සයෙක් වගේම ඉතා හොඳ සවන් දෙන්නෙක්’. ඒ අන්‍යයන්ට සවන්දීම පමණ ඉක්මවා ගිය එකක්ද කියලත් මට හිතුනා- පස්සේ දවසක. මගේ ‘හිනා වෙන්න හිනා’ පොත අච්චු ගැස්සෙව්වට පස්සේ.

ඒ අත්දැකීම නම් මිහිරි එකක් නොවිණි. එහෙත් ඒ ගැන පවා 2021 දී මම ඔබට කීවෙමි.

‘හිනා වෙන්න හිනා’ පළ කරන්නට ප්‍රසිද්ධ ප්‍රකාශන සමාගමක අනුමැතිය ලැබිණි. මුද්‍රණ ආයතනයකම සේවය කළත්, මගේ වැඩ පෙරට දැමීමේ කලාව මා නොදන්නා බැවින් ‘වැඩේ ඇදුණේය’.

අන්තිමට පොත් 100ක් සකසා ප්‍රකාශන ආයතනයට යැවීමි.

පසුවදාම එහි සේවය කරන අයෙකුගෙන් දුරකථන ඇමතුමක් ලැබිණි. “අපේ මහත්තයයි, නෝනයි, තවත් අයයි කැකිරි පළනවා, නිමල් අයියගෙ පොත කියවලා!”
මම ඉමහත් සතුටට පත් වීමි!

ඒ සතුට රැඳුණේ පැය කිහිපයකි. තවත් දුර ඇමතුමක් ආවේය. ප්‍රකාශන සමාගමේ අධිපතිතුමාගෙනි.

“සමහරු කියනවා නිමල්, මේවා සැර වැඩියි කියලා.... ඊටත් මේ දේශපාලන යාං හෑලි. අපිටත් ප්‍රශ්නයක් වෙයිලු මේක ගහන එක...” එතුමෝ කීහ.

“... මං කියන්නම් වැඩක්. පොත් කවරේ පොසිටිව්ස්වලට, ප්ලේට්, ඉම්ප්‍රෙෂන්ස්, බෝඩ්, ලැමිනේටින්, ටයිටල් පිටු.... ඒවාට ගිය වියදම මම දරා ගන්නං. ඒවා අයින් කරලා, අපේ නම නැතිව පොත හදලා විකුණගන්න....”

පසුව ආරංචිවූ අයුරින් ඒ යෝජනාව කරන තැනට එතුමන්ව පත්කොට ඇත්තේ- ‘සදාචාර සම්පන්න, සත් ගුණවත්, බහුශ්‍රුත කිහිප දෙනෙකු’ විසිනි...'

එවැනි අවස්ථාවල තමන්ට සිදුවෙන පාඩුව හෝ අලාභය හෝ ගැන සිරිසුමන ගොඩගේ සිරිමතාණන් කිසිම තැකීමක් නොකළ බවටත් ඒ සිදුවීම හොඳ උදාහරණයකි.
එසේම, කළ යුතු දෙයක් එළැඹි කල්හි- කිසිසේත් නොබා ඒ කාර්යට උර දෙන්නටත් එතුමා පසුබට  නොවූයේය.

එලෙස කටයුතු කළ අවස්ථාවක මහිමය දකින්නටත් නිදි වාසනාවන්ත විණි.

සිංහලෙන් පළ වුණු පළමුවෙනි ‘කොෆී ටේබල්’ පොත වුණු එහි සැලසුම් ක්‍රියාවලියේ කොටසකට දායක වෙන්නටත්...

ඒ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මැතිඳුන් පිළිබඳ රූපාලේඛ්‍යය මුද්‍රණයෙන් පළ කෙරුණු අවස්ථාවයි. සිංහලෙන් පළ වුණු පළමුවෙනි ‘කොෆී ටේබල්’ පොත වුණු එහි සැලසුම් ක්‍රියාවලියේ කොටසකට දායක වෙන්නටත් මට ඉඩ පෑදිණි. (මා ඒ කාර්යය මැනවින් ඉටු කළ නිසාදෝ...) ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාණන්ගේ 85 වෙනි ජන්මෝත්සවයටත්- එදින ගෝල්ෆේස් හෝටලයේ පැවැත්වූ පොත දොරට වැඩුමටත් සහභාගී වන්නැයි ඇරයුම්ද ලද්දෙමි. (බෙහෙවින්ම ස්තුතියි සුනිල් ආරියරත්න මහත්මාණෙනි.)

(වර්ණ මුද්‍රණ කටයුතු පිළිබඳ වැඩි අවබෝධයක් ලබනු රිසි අයට ‘ලෙස්ටර්’ Coffee Table පොතට ගෑවුණෙමි! -පළමුවෙනි පෝස්ටුවත් එහි දෙවෙනි පෝස්ටුවත් ‘නිදිගෙ පංච තන්තරේ’ අඩවියෙන්ම කියැවිය හැකිය.)

මං මේ ‘මතක මතක’ posts ලියන්න ගත්තේ ‘ගොඩගේ මැතිතුමා’ ගැනයි, ‘කරුණාරත්න අමරසිංහ මැතිතුමා’ ගැනයි සම්බන්ධ මගේ අත්දැකීම්වලින් ටිකක් ලියන්න හිතාගෙන.

ගොඩගේ මහත්තය ගැන නං දැනටමත් ටිකක් වැඩියෙන් ලියැවිලා වගෙයි... තව ටිකක් පස්සේ ලියමුකො.

කරුණාරත්න මහත්තයව මට හැබැහින් හම්බ වුණේත් ‘හිනා වෙන්න හිනා’ පොත නිසයි. ඒකට පාර හදලා දුන්නේ ඩී.බී. කුරුප්පු හිතවතායි.

“ඉතිං ළමයෝ, ඒකෙන් මේකෙන් ගහපු පොත් ටික විකුණා ගන්න මරාලෙ ඔය ළමයගෙම ඉහ උඩට කඩා පාත් වුණා එහෙනං.” මට වෙච්චි අකරතැබ්බේ ගැන විස්තර දැනගත්ත කුරුප්පු මහත්තය හූල්ලන සද්දේ ටෙලිෆෝන් එකෙන් ඇහුණා.

“මම දන්න දෙන්නෙක් රේඩියෝ එකේ ඉන්නවා... දෙන්නම හොඳ මිනිස්සු. එයාලට මම පොඩි ලියුම් දෙකක් ලියලා- ඔය ළමයට එවන්නං... එයාලට ටෙලිෆෝන් කරලා වෙලාවක් යොදාගෙන ගිහිං, ඒ දෙන්නව හම්බ වෙන්න. නිමල්ගේ ‘හිනා’ පොතකුත් එයාලට දෙන්න. මම ඒ දෙන්නටම කියන්නයි යන්නේ-මට කරන උදව්වක් විදිහට හිතලා ඔය ළමයාගේ පොතට ගුවන් විදුලියෙන් පොඩි ප්‍රචාරයක් දෙන්නයි කියලා.”

කුරුප්පු මහතා කියූ විදිහටම ඊළඟ සතියේ ඕස්ට්‍රේලියාවේ ඉඳලා මට තඩි ලියුමක් ආවා. ඒ ලියුම ඇතුළේ තව ලියුම් දෙකක්. එකක් සුසිල් සිරිවර්ධන මහතා නමට. අනෙක කරුණාරත්න අමරසිංහ මහතාගේ නමට.

සුසිල් සිරිවර්ධන කිව්ව ගමන්ම මගේ මතකයට ආවේ 1971 ජේ.වී.පී කැරැල්ලට සම්බන්ධ උගතෙකු විදිහට ප්‍රසිද්ධ කෙනෙක්ව. (පස්සේ කාලෙකයි දැන ගත්තේ ‘මහ නඩුවේ 24 වෙනි විත්තිකාරයා’ වුණෙත් එතුමාම බව.)
“සුසිල් සමහරවිට ඔයාගේ පොතට උදව් කරන එකක් නෑ. එයා ගොඩක් දාර්ශනික- සංස්කෘතික අංශවලටයිනෙ බර. ඔයාට උදව් කළත් නැතත් ඒ මනුස්සයව හම්බ වෙලා කතා කරන එකත් නිමල්ට ලැබෙන ලොකු වාසනාවක්. හොඳ එක්ස්පීරියන්ස් එකක් වෙයි. රෙද්ද බැනියම අඳින බොහොම සරල මනුස්සයෙක්- ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේත් ඉගෙන ගත්තු කෙනෙක්ය කියලා සුසිල්ව දැක්කම කෙනෙකුට නොහිතෙන තරං...”

පස්සේ කාලෙකයි දැන ගත්තේ ‘මහ නඩුවේ 24 වෙනි විත්තිකාරයා’ වුණෙත් එතුමාම බව.

කුරුප්පු මහත්තයාගේ ඒ රෙකමදාරුව අහපු ගමන්ම මං තීරණය කළා ඉස්සෙල්ලම සුසිල් මහතාට කතා කරලා ඉන්න.
(මෙතෙන්දි තව හිනා යන කාරණයකුත් තියෙනවා ඔයාලට කියන්න. මං වහන්සේ යම් යම් නම්වලටත් වහ වැටෙනවා... නිකංම නිකං හේතු කාරණා නැතිවත්- හේතු කාරණා ඇතිවත්. සුසිල් නමත් මගේ සිත්ගත් නමක්. ඒ ‘රන් දූපත’ චිත්‍රකතා පොත නිසායි. ශ්‍රී ලංකාවේ මුද්‍රිත පළමුවෙනි චිත්‍රකතා පොතයි ‘රන් දූපත’. ඒක ඇන්දේ සුසිල් ප්‍රේමරත්න මහත්තයා. ඉතිං නිරාසයෙන්ම සුසිල් නමටත් මගෙන් ලකුණු ගොඩක් වැටිලයි තිබ්බේ.)

ඉතිං මං සුසිල් සිරිවර්ධන මහත්තයාට කතා කෙරුවා. එතුමා උත්තර දුන්නු විදිහෙන්ම තේරුණා කුරුප්පු මහත්තයා කෙරෙහි සිතේ තිබුණු සැලකිල්ල.
“බෝල්ඩ්වින් මහත්තයාගේ හිතවතෙක් කිව්ව නම් ඉතිං සුවිශේෂ කෙනෙක් වෙන්න ඇතිනේ... එතුමා ආවට ගියාට කාවවත් රෙකමන්ඩ් කරන කෙනෙක් නෙවෙයිනෙ. කොයි වෙලාවටද නිමල්ට මාව හම්බ වෙන්න පහසු?”

එදා අපේ දුරකථන සංවාදය නිම වුණේ හමු වීමට වෙලාවක් වෙන් කරගෙනය.
“නිමල් තැනකට යනවයි කිව්වම එතෙන්ට යන්නේ චන්ද්‍රිකා නෝනගේ වෙලාවෙන් නෙවෙයි නේද? හඃ හඃ...😃😃😃” වෙලාවක් යොදාගත්ත විස්තර ගැන කිව්වම කුරුප්පු මහත්තය ඇහුවේ පූර්ව දැනුම්දීමක් විදිහට.
“අපොයි නෑ! ඉස්සර නං මම මොන වැඩේට යන්නෙත් පරක්කු වෙලා... හැබැයි 1979 ඉඳලා මම ඒ කැත පුරුද්ද එහෙම පිටින්ම නැති කර ගෙනයි ඉන්නේ.”

“හරි ෂෝක්නේ. ඒ මොකෝ ළමයෝ... 76 ඉඳලා... ඒක පිටිපස්සේ හොඳ කතන්දරයක් තියෙනව වගෙයි.”

තජකයේ ප්‍රේමරත්න මහතා නිසා නිමල් දිසානායකගේ ජීවිතය ගොඩාරියක් ලස්සන කරන පුරුද්දක් ඇති වුණු හැටි මං එදා කුරුප්පු මහත්තයට කිව්වා. ඒ සිද්දිය මට නං අද වගේ මතකයි. (ඒ විස්තරය මුලින්ම මේ විදිහට ලිව්වේ අදට අවුරුදු පහකට කලින්.)

‘... ඒක; පරක්කු වීම මට පුරුද්දටම ගිහින් තිබුණු එකකි.

ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයේ, තරුණ ජනගහන කමිටුවේ ‘උඩවැඩියා වගා පාඨමාලාව’ හදාරන්නට 1979 අගදී යනතුරුම මගේ වැඩ සේරම කෙරුණේ විනාඩියක් හරි පරක්කු වෙලාය. පළමුවෙනි දවසේ මා ඒ පන්තියට ගියෙත් පැය බාගයක් විතර පරක්කු වෙලාය. තවත් සමහරුන් ආවේ මටත් පස්සෙය!

“... පන්තියට ඇවිත් ඉන්න ඔයාලා සේරම වැඩිහිටි කට්ටිය විදිහටයි මට පෙනෙන්නේ. ඔයාලව ඉන්ටර්විව් කරන වෙලාවේ දකින්න ඇතිනේ පන්තියට සහභාගී වෙන්න හිතාගෙන කොච්චර කට්ටියක් ඇවිත් හිටියද කියලා.

සිංහලයො වුණාම සිංහල විදිහටනෙ වැඩ කරන්නේ.

-එයින් තේරුණු වාසනාවන්ත ඔයාලට මමත් නිසි විදිහටම ගරු කරන්න ඕනෙ.

-ඒ වෙනුවෙන් අද ඉඳලා එක දිගට මාස හයක් උපරිමයෙන් කැපවෙන්න මම ලැහැස්තියි. ඒ කැපවීමෙන් උපරිම ප්‍රයෝජන ගන්න කියල මම බොහොම ගෞරවයෙන් ඔබ හැම දෙනාගෙන්ම ඉල්ලා හිටිනවා, ඉස්සෙල්ලම...

-අද අපි කාටත් පෙනුණා සමහරුන් පන්තියට ආව වෙලාව. ඒ සිංහල වෙලාවට... සිංහලයො වුණාම සිංහල විදිහටනෙ වැඩ කරන්නේ. ඉතින් මටත් සිද්ද වුණා, පන්තිය පටන් ගන්න ඔයාලා වැඩි දෙනෙක් එනකල් බලාගෙන ඉන්න.

-අපි වෙලාව ගණන් ගන්නේ සිංහල විදිහට නෙවෙන නිසා. ඔයාලගෙ ඔරලෝසු ඔක්කොමත් සිංහල ඔරලෝසු නෙවෙයිනෙ. ඉතින්, ඊළඟ දවසෙ ඉඳලා මම සිංහල වෙලාවට නෙවෙයි; හරියටම නියමිත වෙලාවට... පන්තිය පටන් ගන්නවා....

-ඇවිත් ඉන්නේ එක්කෙනාද, ඒත් මම නියමිත වෙලාවට පන්තිය පටන් ගන්නවා. මම ඔයාලට ගෞරව කරනවා වගේ, මටත් කරන ගෞරවයක් වශයෙන්, ඊළඟ දවසෙ ඉඳලා වෙලාව වරද්දන්නෙ නැතිව ඔය හැම දෙනෙක්ම පන්තියට එයි කියලා මට විශ්වාසයි....”

ඒ පන්තියේ අපේ ගුරුතුමා ලෙසින් කටයුතු කළ එම්.ජී. ප්‍රේමරත්න මහතා අහිංසක තර්ජනයක් කරමින් එදා කිව්වේය.

     ‘ගුරු සිත               නොරිදවා
      
වේලාව               නොවරදවා
      
බැති පෙම්                  උපදවා
     
අකුරු උගනී කුමරු සොඳවා’ - කවිය අහලා; කට පාඩම් කරගෙන තිබුණා වුණත් එයින් කියවෙන පාඩම එතෙක්කල් මේ පණ්ඩිත මටවත් වැටහී තිබුණේ නැහැ නේද?

අනෙක් අයට කොහොමදැයි කියන්නට නොදන්නා මුත් ඒ ප්‍රසන්න කතාවත්, සුහද ඉරියවුත්, අධිකාරිවාදී tone එකත් මට නම් බොක්කටම වැදුණේය. මගේ පුරුද්ද ගැන හොඳටම ලජ්ජා හිතුණේය. එදින්-එදායින් පස්සේ නිමල් දිසානායක පුතයා කොයියම්ම වැඩකට යතත් වෙලාවට කලින් යන්නට පුරුදු වුණේය! හිතාමතා නම් පරක්කු වෙන්නෙම නැත. අද, මේ වෙන තුරුම; අවුරුදු 40ක් විතර කල් ගිහිල්ලත්!!

ප්‍රේමරත්න මහතාණෙනි, මා අදටත් එහෙම කරන්නේ ඔබට කෙරෙන උපරිම ගෞරවයක් පරිද්දෙනි!
ගුරුවරයෙකු ලෙසින් ඒ පන්තියේදී ඔබෙන් පළ වුණේ අත්‍යුදාර කැප කිරීමකි; සතිය පුරාම සටහන් ලියාගෙන- ආදර්ශ එකතු කොටගෙන එන ඔබේ වෙහෙස ගැන පන්තියේ සිසු-සිසුවියෝ පුදුම වූහ. ඉතිං, නූතන දිසාපාමොක් කෙනෙකු වූ ඔබට ගරු නොකොට කොහොමද?

ටෙලිෆෝනය දිගේ මට ඇසුණේ අත්පොලසන් දෙන හඬකි. 

කාගෙන් හරි කමක් නෑ, හොඳ පුරුදු ඉගෙන ගත්තොත් අපිටමයි යහපතක් වෙන්නේ...

“හඃ, හඃ, හඃ... එහෙම තමයි ළමයෝ වෙන්න ඕනත්. කාගෙන් හරි කමක් නෑ, හොඳ පුරුදු ඉගෙන ගත්තොත් අපිටමයි යහපතක් වෙන්නේ... පොඩ්ඩක් හොයල බලල- පුළුවනි නං ඔය මිස්ටර් ප්‍රේමරත්නව මටත් මුණ ගස්සනවකෝ ළමයෝ. එහෙම අයව දැකගන්න එකත් වාසනාවක්.

-තව ඩිංගෙන් කියන්න හැදුව දේත් මඟ ඇරෙනවා... සුසිලුත් සුද්දා වගේ- වෙලාවට වැඩ කරන්නේ- රෙද්ද බැනියම ඇන්දට... ඔය ළමයට එන්න කියපු වෙලාවටම යන්න...”

සුසිල් මහත්තයාගේ දැවැන්ත- ගම්භීර මන්දිරය දැක්ක ගමන්ම මං වහන්සේ හේබාලා ගියා. ‘එසේ-මෙසේ පුතයෙක් නොවෙන කෙනෙකුට මෙහෙම තැනක ඉන්න පුළුවන්ද?’

ඒ හැඟීම ඉක්මනින්ම වාෂ්ප වෙලා ගියේ සුසිල් මහත්තය මාව පිළිගත්ත සුහද ලීලාවෙන්. “බෝල්ඩ්වින් මටත් ටෙලිෆෝන් කළා. කෝ නිමල් එයා එවපු ලියුම...” ඒ ලියුම කියවල ඉවර වෙලා, එතුමා මගෙන් ඉල්ලා ගත්ත ‘හිනා වෙන්න හිනා’ පොතත් අතැනින්- මෙතැනින් කියවල බැලුවා.
ඊට පස්සේ මගේ දිහාවට බොහොම සානුකම්පිත බැල්මක් හෙළුවා.😖

“හැබැයි නිමල් මහත්තයෝ- බෝල්ඩ්වින් මහත්තයාගේ මුඛ්‍ය යෝජනාවට නං මට දෙන්න වෙන්නේ නිෂේධනීය උත්තරයක්...”

ඉතිරි හරිය ඊළඟ කොටසෙන්...