අකුරු මැකී නෑ

Thursday, July 5, 2018

පේව්මන්ට් එකේ රජ වී- තෙවැනි කොටස


මල්වත්ත පාර
ඉතින් සිරිපාල අයියාට පොරොන්දු වුණු විදියට මං ඒ සෙනසුරාදා පාන්දරම මල්වත්ත පාර අද්දර බස් නැවතුමට ගියා. මිනිහට හරි සතුටුයි. ඉස්සරහටම ඇවිත් ඉක්මන් කරමු කියලා මාවත් ඇදගෙන වගේ කඩිසරව යන්න පටන් ගත්තා. පුදුමයිනේ.... ගොඩක් මිනිස්සු අපි යන පැත්තටම යනවා! මෙච්චර සෙනඟක්? වැඩි දුරක් යන්න තිබුණේ නෑ. මල්වත්ත පාරේ 
එහා කෙලවරේ ඒ වෙද්දීත් මිනිස් රවුම් කීපයක්...... 

පාන්දරම පේව්මන්ට් කථිකයෝ වැඩ පටන් අරන්.

"මල්ලිත් ඉක්මන් කරන්න ඕනේ. වැඩි වෙලාවක් නෑ. හත වෙද්දී සේරම ඉවරයි. ඒ හින්දා පට-පට ගාලා කතාව කියාගෙන ගිහින් ආධාර ඉල්ලාගෙන මටත් චාන්ස් එක දෙන්න. ඇක්ට් කරන එක අඩු කරලා වැඩේ කරන්න." සිරිපාල අයියා කිව්වා.

මට මතක හැටියටයි 'හත' කියලා වෙලාව කිව්වේ. ඒ සේරමලා වරායේ වැඩට යන අය. බස්වලින්, කෝච්චිවලින් වැඩට එන අය. උදෙන්ම එන අය වෙලාව එනතුරු අපි වගේ අයගේ කතාවල් අහනවා, කාලේ ගත කරගන්න. යාන්තම් සහන් එළිය වැටෙද්දීම දේශකයෝ වැඩ පටන් ගන්න ඕනේ. ඇයි ඉක්මනට ඉවර කරගන්නත් වෙනවනේ. ප්‍රශ්නෙකට තිබ්බෙ එකම වෙලාවේ අඩුම තරමින් පස්-හය දෙනෙක්වත් එක විඩේ එතන කතා පවත්වන එක. ඒත් ඒ වගේ ඉඩ-කඩ තියෙන වෙන තැනක් එතෙක්-මෙතෙක් මං දැකලා නෑ. 

වරාය ළඟ
"එහෙම බල-බලා හිටියොත් නම් අපේ වැඩේ කෙරෙන්නෙ නෑ. ඒ ගොල්ලෝ හිටපුවාවේ. මල්ලිත් පටන් ගන්නකො." මං පටන් ගත්තා. සිය ගණනක් වටවුණා. සල්ලිත් යහමින් ලැබුණා. ඒත් මං සිරිපාල අයියාට සභාව බාරදෙනකොට එයාට මළ පැනලා. සෙනඟ වැඩි වෙනකොට චූන් වෙච්ච පාර මං ගොඩක් වෙලා කතා කරලා!

"මොනවද මල්ලී, යමක් කිව්වාම ඒක ඒ විදියට කරන්න එපැයි. වැඩ දන්නා හින්දා මං පට-පට ගාලා ගාණ කපාගත්තා. තව ටිකෙන් මල්ලිගෙන්ම ණයක් ඉල්ලාගෙන තමා උදේට තේ බොන්න වෙන්නෙත්." පස්සේ සිරිපාල අයියා තේරුම් කළා.

ඒ අතින් නම් මිනිහා සූරයා.

එයා එක-එක දවසට විකුණන්නේ එක-එක බෙහෙත්. කතාව පටන්ගන්නේ වටේට ඉන්න පොඩි ළමයින්ට වැඳලා. "මෙන්න වැන්දා. ඔය පොඩි ළමයි ඔක්කොම මෙතනිං යන්න ඕනේ දැන්. පින් සිද්ධ වෙයි, ඉතින් යනවලා. මගේ කතාව වැඩිහිටියන්ට විතරයි...." 
එහෙම තැන්වල කොහෙද එච්චර පොඩි අය? හිටියත් ඉන්නේ පේව්මන්ට් එකේම නිත්‍ය පදිංචිකාරයෝ. එයාලා හොඳටම ඇට්ටර, ඇට්ටකුණා වුණු දඩබ්බරයෝ. සිරිපාල අයියා start කරද්දීම පොඩි ඇඩ් පාරක් තමයි අර දාන්නේ. යන්න හදන කෙනෙක් වුණත් නවතිනවා 'වැඩිහිටියන්ට පණමයි' කතා අහන්න. සමාජ විවරණ කීපයක් මුලින්ම. ඊළඟට......


"ඔය මහත්තයලා දවසට සිගරැට් තුන හතරක් බොනවා නේද? මේ බලන්න!" එහෙම කියලා සිරිපාල අයියා සිගරැට්ටුවක් පත්තු කරලා දිග උගුරක් අදිනවා. එතකොටත් මිනිහගෙ අනෙක් අතේ සුදුම සුදු කපු පුළුන් කෑල්ලක්. ඊළඟට එයා අර පුළුන් කෑල්ල දෙතොලට තියලා, පපුව ඇතුළට ඇදගත් සිගරැට් දුම අර පුළුන් කෑල්ලට පිඹිනවා. එහෙම කරලා ඉවරවෙලා ඔන්න අර පුළුන් කෑල්ල සභාවට විදහලා පෙන්නනවා. ඒකෙ තද දුඹුරු පාට පැල්ලමක්!

"පේනවාද එක දුම් උගුරක තියෙන කාරම. ඔව්වා සේරම බැඳෙනවා අපේ පෙනහැල්ලේ. ආන්න.... හැදෙනවා පිළිකා. සුද්ද හැදුවා සිගරැට්. උන් ලෝබ නැතිව එව්වා බිව්වා. හැබැයි මේ කාරම් ගතිය හොයාගත්ත ගමන් ඒකටත් හැදුවා බේතක්. උන් අපි වගේ කළු එවුන්ට ප්‍රසිද්ධියේම සිගරැට් දුන්නාට අර බේත දුන්නේ හොරෙන්. ප්‍රසිද්ධ කරන්නේ නැතිව. ඉන්නවද ඒ බෙහෙත ගැන දන්නා කෙනෙක්? අත උස්සන්න බලන්න...." එහෙම කියලා එයා විරාමයක් ගන්නවා. වටේම බලනවා. ම්හු! කවුරුවත් අත උස්සන්නේ නැහැ. එතකොටයි එයාගෙ විජයග්‍රාහී කොටස අරඹන්නේ.

"ආන්න ඒකයි මං තමුන්නාන්සේලාට මේ බෙහෙත ගෙනාවේ. හැබැයි මේක මට දුන්නු සුද්දාම කියනවා -සිරී, උඹ මේක උඹලගේ මිනිස්සුන්ට දුන්නාට කමක් නැහැ. හැබැයි බාල්දු කරන්න එපා- කියලා. ඇත්තනේ. මෙච්චර වටිනා බෙහෙතක් බාල්දු කළොත් මට හෙණ ගහයි. ඒ නිසා මං මේක දෙන්නේ වටිනා රුපියල් දෙකක් වියදම් කරන්න පුළුවන් අයට විතරමයි. කවුද ඉන්නේ එහෙම හපන් මහත්තුරු."

එතකොට ගොඩ දෙනෙක් සාක්කු අදිනවා. රුපියල් දෙක-දෙක දික් කරනවා. "හා, හා. කලබල වෙන්න එපා. හැමෝටම දෙන්න පුළුවන් තරමට බෙහෙත් මගේ ළඟ තියෙනවා." එහෙම කියමින් සිරිපාල අයියා සල්ලි දෙන අයගේ අතට ලියුම් කවර බාගය ගණනේ බෙදනවා. ඊළඟට තමයි අර මහානර්ඝ ඔසුව බෙදාගෙන යන්නේ. හුඟ දවසට එයා වික්කේ ඔය බෙහෙත. ඒකේ නමත් කියනවා, ඒත් මට ඒක නොවැදගත් නිසා මතකය රැඳුණේ නැහැ වෙන්නැති.

වැඩියත්ම එහෙම වුණේ තව දෙයක් නිසා. අපේ තාත්තත් සිගරැට් බොනවනේ, කොච්චරවත්. හරියට chain smoker කෙනෙක් වගේ. ඉතින් මට හිතුණා තාත්තගේ පෙනහල්ලත් බේරලා දෙන්න. 

මමත් දවසක් සිරිපාල අයියා එක්ක කතා කරමින් ඉඳිද්දී එයාට රුපියල් දෙකක් දික් කළා. 

එයා හිනාවෙලා මගේ ඔළුව අත ගෑවා. "අනේ පොඩි එකෝ, මට මිනිස්සු දාහක් රවට්ටන්න පුළුවන්. ඒත් උඹ වගේ අහිංසකයෙකුත් රවට්ටතෑකියැ. එහෙම බේතක් නැහැ බං. මං ඔය විකුණන්නේ විටමින් පෙත්තක්. උඹලගේ තාත්තට කියපන් සිගරැට් බීල්ල අඩු කරගන්න කියලා." එහෙම කියලා එයා මටත් අර පෙත්තක් දුන්නා සූප්පු කරන්න. පෙත්තක් කිව්වාට ඒක 'නේරු තොප්පියක' හැඩයේ එකක්. කළුයි, අමුතු රහක් තිබ්බ එකක්.

ඒ වෙනකොටත් මං ඉගෙන ගෙන තිබුණු ප්‍රතිපත්තියක් මට මතක් වුණේ සිරිපාල අයියා එහෙම කියද්දී. 'හොරෙකුට වුණත් ප්‍රතිපත්තියක් තියෙන්න ඕනේ.'

එතකොට අපි හිටියේ බදුල්ලේ, රේල්වේ ක්වාර්ටර්ස්වල. එව්වාට ලැයිම් කියලත් කිව්වා. අපේ ගේ තිබුණේ බදුල්ලේ පාර්ලිමේන්තු මන්ත්‍රී බී.එච්. බණ්ඩාර මහත්තයාගේ ගෙට ඉස්සරහින්. පාරෙන් මෙහා පැත්තේ. එතැනම හෝටලයකුත් තිබ්බා. මන්ත්‍රී කතාව මට වැදුණේ 
අපේ අම්ම නිසයි. "මන්ත්‍රීතුමා අපටත් දුරින් නෑයෙක් වෙනවා." අම්මා ඒ දවස්වලත් හීනියට පම්පෝරි ගහනවා. 
කඳුකරයේ දුවන රේල්ලුවක්
තාත්තා එහෙම වෙලාවට කියන්න පුරුදු වෙලා හිටි කතාවක් තියෙනවා."අනේ තමුසෙලගෙ නෑයෝ! ඉස්සෙල්ලාම බදුල්ලට කෝච්චිය එන දවසේ තමුසෙලගෙ තාත්තලා සීයලා නේද තණකොළ කපාගෙන ගෝනි පිටින් උස්සන් ගියේ?" කතාවේ ඇත්ත නැත්ත කොහොම වුණත් මට නම් එතන තිබ්බෙ හිනාවෙන්න දෙයක් නෙවෙයි. බදුල්ලේ සීයලගේ මනුස්සකමනේ ඒ. ඉස්සර අශ්ව කෝච්චි ඇද්දේ අශ්වයෝ. සීයලා හිතන්න ඇති මේ කෝච්චිත් අදින්නේ අශ්වයන්ය කියලා.

එහේ රේල්වේ ක්වාර්ටර්ස්වල ඉඳිද්දී අපි හුඟ වෙලාවක් රේඩියෝ එක ඇහුවා. ඇහුවා කිව්වාට වැඩිය හරි ඇහුණා කිව්වා නම්. ඒ දවස්වල තිබ්බෙ 'රෙඩිෆියුෂන්'. වයර්ලස් නෙවෙයි. අර මං කිව්ව හෝටලයේ රෙඩිෆියුෂන් එක තුන්සිය හැටපස් දවසෙම, උදේ ඉඳන් රෑ වෙනකල් දාලයි තිබ්බෙ. ඉතින් මට ගොඩක් සිංදු මතක හිටියා. ඇයි 'ගුවන් විදුලි රඟ මඬල'. ඒක ගියේ රෑට. හැබැයි මං නොවැරදීම ඇහුවා. අර ප්‍රතිපත්තිය මගේ හිතට වැදුණේ ඒකෙන්, එක නාට්‍යයකින්.

ඔන්න හොරෙක් රජ මාළිගාවකට යනවා හොරකම් කරන්න. මේකා පුළුවන් තරම් රිදී-රත්තරන් බඩු පොදි ගහලා ගෝනියක දමාගෙන එන්න හදද්දී කකුල වදිනවා මොකකද. 
ඇයි කළුවරේනේ. බලනකොට එයාගෙ කකුලේ ඇඟිල්ලක නියපොත්ත කැඩිලා. මේ මිනිහා පණ දාගෙන නියපොතු කෑල්ල හොයනවා එළි වෙනකල්ම. රාජ පුරුෂයෝ මේ හොරාව අල්ලලා, කුදලලා බැඳගෙන රජතුමා ඉදිරියට ගෙනියනවා. රජ්ජුරුවෝ හොරාගෙන් ප්‍රශ්න කරන්න පටන් ගන්නවා.

"යුෂ්මතා හොරකම් කරගත්තා නම් ඇයි එළිවෙනකල් මාළිගාවේ රැඳී හිටියේ?"

"අනේ ස්වාමීනි, මම මගේ කැඩුණු නියපොතු කෑල්ල හෙව්වා." දැන් රජතුමාටයි, රාජ සභාවටයි මේක හරිම ප්‍රශ්නයක්. නියපොතු කෑල්ලක් එච්චර වටිනවාද?

"නියපොතු කෑල්ල වටින්නේ නැහැ තමයි රජතුමනි. ඒත් මං කොහොමද ඒක අත් ඇරදාලා යන්නේ? මට හොරකම් කරගන්න පුළුවන් වුණේ ඔබතුමා පොහොසතෙක් නිසා. ඔබතුමා දුප්පත් වුණොත්.....මට පුළුවන්ද ආයෙමත් මෙහෙන් හොරකම් කරගන්න. මං දන්නා විදියට නම් නියපොතු කෑලි පෑගි-පෑගී තියෙන්න ගියොත් ඔබතුමා දුප්පත් වෙනවනේ." හොරා කියනවා!

"මං නැති-බැරිකමට ඔබතුමාගෙන් හොරකම් කළා තමයි. හැබැයි, මං ඔබතුමාට ආදරෙයි, කරුණාවයි. දැන-දැනම ඔබතුමාව දුප්පත් වෙන්න අරින්න පුළුවන්යැ."

මේ නාට්‍යය අහන්න සලස්වන්න ඕනේ කාටද? අද ඉන්න කම්බා හොරුන්ට නේද? හැබැයි ඒකෙන් මට හුරුවුණු පුරුද්දක් තියනවා. මාත් නියපොතු කපද්දී එව්වා අතන-මෙතන හලාගන්නේ නෑ. නොපෑගෙන තැනකටයි විසි කරන්නේ!

සිරිපාල අයියා ගැන මට ඇතිවුණේ ලොකු ගෞරවයක්. එයා පෙන්නා නොදෙන්න මං මල්වත්ත පාරේ කතා පවත්වන්න යන්නේ නෑ. එයාම තමයි මට කිව්වේ අජාසත්තම නටලා හරියන්නේ නැති බව. "මල්ලී, තව කතා දෙක තුනක් පුරුදු වෙන්න වෙයි. එතකොටයි 
අද අහපු කෙනා හෙටත් ඔයා ළඟ නතර වෙන්නේ."

ආච්චි මට කියාදුන් කතන්දර ඕනේ තරම් තිබුණනේ. ඔන්න මං ක්ෂණිකව දෙබස් 
ගොත-ගොතා රඟපාන්නත් පටන් ගත්තා. ඇත්තටම අපි කොච්චර ආසයිද කතන්දර අහන්න. ඇයි, කතන්දර කියන්න; අනුන්ට!

විරිදු කියන මාටින් අයියාව මං දැක්කේ එහෙදි. ඇඟපතින් පුංචි වුණාට විරිදු මාටින් මාමා රිදී සීනුවක් හොලවනවා වගෙයි විරිදුවෙන් කතන්දර කිව්වේ. ජාතික ඇඳුම ඇඳලා තමා මං දකින හැමදාම එයා හිටියේ. හුඟ දවසට මගේ කතාව ඉවර කරලා සභාව සිරිපාල අයියාට දුන්නාට පස්සේ, මාත් මාටින් මාමාගේ විරිදුවලට කන් දීගෙන හිටියා. ඔන්න මාටින් මාමා කියාපු එක කතාවක් මට පස්සේ කාලෙක හම්බවුණා, 'සද්ධර්මරත්නාවලියෙන්'. 
කුකුළු බිජුවට කන කුමාරිකාවගේ වස්තුව. ආත්ම ගානක් තිස්සේ සංසාරයේ  ගෙනියන වෛරයක් ගැනයි කතාව. ඉඩක් තිබ්බොත් හොයාගෙන කියවලා බලන්නකෝ.

අලුතින් දැනගත්ත තැන නිසා මට තවත් වැඩ වැඩි වුණා. මං හිතන්නේ තාත්තගේ රේස් දැමිල්ලටත් වුණේ ඒකමයි. වැඩි වුණා! ඕගොල්ලෝ විශ්වාස කරයිද මන්දා....
සමහර සෙනසුරාද දවස්වල පාන්දරින්ම මං මල්වත්ත පාරේ කෙළවරට ඇවිත් රජවෙලා දඩිබිඩියේ ආපහු ගෙදර යනවා උදේට කන්න පාන්, කෙසල් ගෙඩි, බටර් වගේ දේවල් අරන්. එහෙම ගත්තේ වත්තේගෙදර හන්දියේ තිබුණු කඩයකින්. 
(දැන් නම් එතැන තියෙන්නේ කීල්ස් සුපර් මාර්කට් එකක්.)

කීල්ස් වෙළෙඳ සල - වත්තෙගෙදර
එහෙම දවස්වලට අපේ නංගිලා-මල්ලිලා වෙල් නියරෙන් මං මතුවෙනකල් බඩගින්නේ මඟ බලාගෙන හිටි හැටි...එව්වා තවමත් මගේ දෑහින් එළියට එද්දී නම් අපේ තාත්තාගෙ මුදල් පරිහරණය ගැන ඇතිවෙන්නේ පුදුම තරහක්. හෙට කන්නේ කොහොමද කියලා ඇයි අද හිතන්නේ නැත්තේ.

පෙරේදා; 2018 මැයි 10 වැනිදා උදේ මගේ යාළුවෙක්ගෙන් කෝල් එකක් ආවා. එයා මට හරිම හිතවත්. හැබැයි දුර පෙනෙන්නේ නෑ. "නිමල් අයියේ, මට ලොකු උදව්වක් ඕනේ.... සල්ලි ගනුදෙනුවක්. මං හවසට එනවා ඔන්න."

මිනිහා රඟපාන්න පුදුම ආසාවකින් ඉන්නේ. ගිය අවුරුද්දේ කවුද නාට්‍යකාරයෝ වගයකට එකතු වෙලා පොසොන් පෝයට නාට්‍යයක් පෙන්නුවා. ඒ නාට්‍යය දෙබස්, සංගීතය එක්ක කලින් පටිගත කරලා තියෙන එකක්. "මටත් කොටසක් දෙනවයි කිව්වා. පොඩි ගානයි අනෙක් නළු-නිළියන්ට ඩිරෙක්ටර්ට ගෙවන්න ඕනේ....." කියලා මේ මනුස්සයා මට විස්තර කිව්වා. කියවුණු හැටියටම මට පෙනුණේ මේ මිනිහා කවුදෝ සුද්ධෝධනලා වගයකට අහුවෙන්න යන විදියක්. පරෙස්සමෙන් කියලා කිව්වාට යාළුවා කන් දුන්නේ නෑ.

නාට්‍යය පෙන්නුවා. මේ යක්ෂයාට තිස්පන්දාහක් විතර කෙළවුණාලු. මාත් පොඩි-පොඩි උදව් ටිකක් නම් කළා, මිනිහාගේ ආසාවනේ කියලා. අපි බලන්නත් ගියා. අපේ වීරයාටත් චරිතයක් රඟපාන්න තිබුණා.රාජ සභාවේ රාජ පුරුෂයෙක්. රාජ සභාව තියෙන වෙලාවට අත් දෙක පිටිපස්සට බැඳගෙන වේදිකාවේ කොනක හිටගෙන ඉන්න. එදාම මං මිනිහට කිව්වා 'ආයේ නම් ඔව්වාට මගෙන් සත පහක තරම්වත් උදව්වක්වත් කෙරෙන්නෙ නැති බව'.

මේ වතාවේ වෙසක් පෝයටයි එයාලගේ නාට්‍යය පෙන්නුවේ. ගිය වතාවට වැඩි ගණනකට කෙළවෙන්න ඇති. මිනිහා මට හරි ගණන්-හිලව්  කිව්වේ නෑ "කිව්වොත් නිමල් අයියා මට බනිනවානේ." කියලා.

එහෙව් මිනිහට උදව් කරනවා කියන්නේ තව තවත් ගිලෙන්න උඩ-ගෙඩි දීමක්නේ. 
ඒ යාළුවා වගේමයි අපේ තාත්තත්. එයාගේ පැන්ෂන් පඩිදාට මසුයි, මාළුයි, කරවලයි, බිත්තරයි සේරම ගෙනැත් ඒ ඔක්කොම හදනවා. දවස් දෙක-තුනෙන් අතේ සතේ නෑ. ඉතින් මං පාරට නොබැස්සොත් හුළං! 
හොඳටම හාඩප් නම් මං ඉස්කෝලේ නොගිහින් හරි පාන්දරින් ගිහින් රජ වුණා.

එහෙම රජ වෙන්න කියාපු තැනක් බොරැල්ල හන්දියෙත් තිබුණා. බෝගහ යට. දැන් නම් ඒ හරිය සේරම මහ පාරේ! ඇයි මරදානේ එල්ෆින්ස්ටන් එක ළඟ......එතැනත් නියමයි. විනාඩියෙන් සෙනඟ එකතු වෙනවා. දැන් ඒ හරියෙත් එහෙම ඉඩක් නෑ, පාර මාරුවෙන්න හදලා තියෙන පාලම නිසා. නටන නිමලුත් කොච්චර වෙනස් වෙලාද. ඒ වගේමයි එයා ආ-ගිය තැනුත්! සංසාරේ... සංසාරේ!

අදත් රජවෙන කතාව නවත්තන්න වෙන්නේ සිරිපාල අයියා කරපු පෙරළියක් ගැන කියන්න තියෙද්දී.

මේක නිමල්ගේ කතාවට වැඩිය සිරිපාලගේ කතාව වෙලාද? ඒකේ පුදුමයක් නැහැනේ.

මිනිහාව වෙනස් වෙන්නේ එයාට හමුවෙන මිනිස්සු, සිදුවෙන වෙනස්කම් සේරගේම ප්‍රතිඵලයක් විදියටනේ. මා ගැන වුණත් එහෙමයි.

මට සිරිපාල අයියා හමු නොවුණා නම්?

3 comments:

  1. 'හොරෙකුට වුණත් ප්‍රතිපත්තියක් තියෙන්න ඕනේ' අන්න කතාව ... ඔයා රජ වෙලා තියෙන තැන් බොහොමයක් ඉස්කෝලෙ මාරු වෙලා කොළඹ යන්න එන්න ගත්ත කාලෙ ආගිය තැන්. එහෙම සෙනග ගැවසෙන තැන් වල මෙහෙම රඟපාන්න කොහොම දහිරියක් තියෙන්න ඕනද කියල හිතාගන්න බැහැ.

    ReplyDelete
    Replies
    1. කණ්ඩා, තවමත් මගේ තියෙන හොඳම ශක්තිය හෝනට වුණත්-නරකට වුණත් ප්‍රතිපත්තියක් තියෙන්න ඕනේ කියන එකයි.

      මිනිස්සුන්ට ප්‍රශ්නයක් ආවාම කරන්න දෙයක් නැති වුණාම එහෙම තමයි, නැති ආත්ම ශක්තියක් එනවා. කාන්තාරවල, හිමේ අතරමං වුණු අය මිනීමසුත් කාලා තියෙන්නේ.

      Delete
    2. කණ්ඩා කියපු කතාවට එකඟයී....

      ප්‍රශ්න එනකොට තමයී නේද නිදි මාමෙ තේරෙන්නෙ ජීවිතේ....


      අපිට නම් බොහොම මල් වගේ ජීවිත😪

      Delete