අකුරු මැකී නෑ

Thursday, February 14, 2019

පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස

දිසානායක හේවගේ ගුණපාලගේම යෙදුමකින් කියනවා නම් හෙම එයා ගැන කියන්නට වෙන්නේ මෙහෙම දෙයකි. “නැට්ටට කිරි උනන්නටත් කලින්  ඉඳලාම ඒ හාදයා මනමාලයෙකි. මදන කුලප්පුව හැදුණු එකෙකි.” 

ඒ හින්දාම දසනායක රත්නවතී; අපේ ආච්චී ඒ දවස්වල ඉඳලා තියෙන්නේ මර බයකිනි. ඒ දවස් කිව්වේ තාත්තාගේ යව්වන කාලයේය. “ඇයි ළමයෝ, උඹලගේ තාත්තා මොන තේඋඩිච්චියෙකුට කර ගහයිද කියලා මගේ නම් බඩ-පපුව දැවි-දැවී හිටියේ. උඹලගේ සීයත් මොකක්වත් ගණන් ගන්නවය? කුලයක්-මලයක්වත් තකන එකක්යැ?”

අපේ තාත්තා අවුරුදු 16 ගැටවර වයසේදී..........
“.... ඒ මදිවට මේකා ඉස්කෝලේ යන්න බැහැ කියලා රස්සාවකට යන්නම ඕනේ කිව්වනේ. ඉතින් සීයා ගුණේව C.G.R. එකටම දැම්මා.” 

ඒ කාලයේ ල.දු.දෙ. නොහොත් ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ වැඩ කරන අයගේ දරුවෙකුටත් එහි රැකියාවක් දෙන ක්‍රමයක් තිබුණේලු. තරුණ ගුණපාලට Fireman - ගිනිභටයා විදිහට පළමු පත්වීම ලැබුණේ ඌව වෙල්ලස්සේ බදුල්ලටය.

ඒ වෙනවිටත් එකා යකාවී හිටි එකම පුත්තර රත්නයත් එක්කම රත්නවතීත් බදුලු ගියාය. කනුපැලැල්ලේ මයිලගස්තැන්නෙන් පුතණ්ඩියාට නවතින්නට ගෙයකුත් කුලියට ගත්තාය. මට හිතෙන්නෙම එතැනදී ආච්චී ‘රහුබැද්දේ විදානෙලාගේ කිරිවන්තේ’ උන්දෑගේ කුලයත් බලන්නට ඇතිවාමය කියලාය. අපේ ආච්චී කුලය ගැන නම් හොඳටම හොයා බැලූ ගැහැනියකි.

කොහොමින්-කොහොම හරි ඒ ඉසව්වේ හිටි ලස්සනම ගැටිස්සිය යසවතී නොහොත් ලීලාවතී වැඩි දවසක් යන්නට කලින්ම පුත්තරයාත් එක්ක පැටලෙතැයි ආච්චී හිතන්නට නැත. 

මෙතෙක් කටක් ඇරලා අපට කියලා නැතත්, අපේ අම්මාගේ උන්නතිකාමී ගතිය නිසා මං උපකල්පනය  කරන්නේ සමහරවිට තාත්තාටත් ඉස්සෙල්ලා අම්මාම දැල එලන්නට ඇති බවයි. ඩී.එච්. ගුණපාල 1953 ඔක්තෝබර් 22 වෙනිදා ආර්.වී. ලීලාවතීව කරකාර බැඳ ගත්තේ ඔහොම හුටපට ගොඩකට පස්සේය.

අම්මලාගේ මංගල්ලයත් මේ වාගේ ජයටම කෙරුණු බව කියවුණත්.......
මංගල්ලය ජය-පහටම කෙරුණු විත්තිය වරින්-වර කියවුණත් මනාලයාගේ පැත්තෙන් ඒකට ගිය අය ගැන කියවුණේම නැත. (මං දැනුවත්ව නම් අපේ තාත්තාගේ පැත්තේ නෑදෑයන් හිටියෙම නැති තරම්ය). අරයා ආවා - මෙයාත් ආවා කියලා කියවුණේත් තාත්තාගේ යාළුවන් ගැන විතරය. ඒ විස්තර සේරමගෙන් මට හොඳටම මතක දෙකක් විතරය. 

‘චීස් කතාව’ එකකි. ‘කණ උන්දෑ’ ගැන කතාව අනෙකය.

ඉස්සර නම් ෆොටෝ එකක් ගන්නට ලැහැස්ති වුණාමත් ‘චීස්’ කියන්නට කියයි. එතකොට පෙනෙන්නේ දසන් දක්වා හිනා වෙනවා වගේ හින්දාය. චීස් කිව්වාම අදටත් පොඩි පිළිගැනීමකුත් තිබේ. හැබැයි cheese වෙනුවට ඒකට කියන ‘හුදු හෙළ නාමය’ කිව්වොත්? 
කට රුවිතෙට ගිහින් වගේ පෙනෙනු ඇත. ඒ නිසාමද කොහෙද ‘කේජු’ කියන්නේ ‘කපුටා සහ කේජු කෑල්ල’ කතාවේදී විතරය.

ඉතින් ඇට්හෝම් එකේදී අපේ තාත්තාගේ අම්මා; කොළඹ ආච්චි මඟුල් මේසයට පෙති කැපූ චීස් පිඟන් කිහිපයකුත් තිබ්බාලු. ඒත් කිසිම කෙනෙක් ඒවා කෑමට ගත්තේ නැතිලු. 

අමුත්තන් මේසයෙන් නැඟිට්ටාට පස්සේ අම්මාගේ අම්මා; බදුල්ලේ ආච්චී අර චීස් පිඟන් ටිකත් ඉඳුල් පිඟන් එක්කම හෝදන තැනට උස්සාගෙන ගියාලු. “බලාපන් මයෙ අම්මා. මඟුල් මේසෙට සවරින් බාර් සබන් කෑලිත් තියලා. කොළඹ හැටි වෙන්ටැ අප්පා, ආය අපේ එහෙම චාරිත්තරයක් තියෙනවා?”

චීස් පිඟන් උස්සාගෙන යන ගමන් කියූ ඒ කතාව නිසාය, කොළඹ ආච්චිට වැඩේ මාට්ටු වුණේ. මට නම් තවමත් ඒ මහන්තත්ත කාරිය ගැන කේන්තිය. 

(මෙතැනදී බදුල්ලේ ආච්චිගේ පැත්තට කතා කළත්, හරි නම් මාත් ඇය හා කෝන්තර පිරිමැහිය යුතුය. අපේ අම්මා ගැබිනියක වුණු වහාම බදුල්ලේ ආච්චී දෝණියන්දාට ‘ගස්සලා යවන්න’ යෝජනා කළ හැටි මතකයි නේද? අමතක නම් ‘ගස්සලා යවමුද?’ පෝස්ටු බලන්නකෝ.)

රේල් පාර හදලා ඉස්සෙල්ලාම බදුල්ලට කෝච්චිය එන දවසේ .............
“අනේ බදුල්ලේ අය ගැන මටද කියන්නේ? බදුල්ලට ඉස්සෙල්ලාම කෝච්චිය එන දවසේ කිරිවන්තේ උන්දලාත් තණකොළ මිටි ගණන් කපලා අරගෙන ස්ටේෂන් එකට ආවලුනේ! අස්සයන්ට කන්න දෙන්න. බින්තැන්නේ බයියෝ!”

සැරින්-සැරේ අපේ තාත්තා ප්‍රතිවාදනය කළ ඒ කතාවේ වුණත් හැංගිලා තිබුණේ අම්මලාගේ නෑදෑයන් හෙළා දැකීමකි; කොළඹ උඩ දැමිල්ලකි. 
එක පලාතක්; එක පැත්තක් අනෙක්වාට වැඩියෙන් හොඳ වෙන්නේ කොහොමද? කොහෙත් ඉන්නේ එකම මිනිසුන් නේද? විශේෂයෙන්ම කොළඹ නම් ඉන්නේ රට වටෙන්ම ඇවිත් ‘බින්න බැස්ස’ උදවියයි.

මට අනුව නම් බදුල්ලේ උදවිය තාත්තාට ඉනා බෙහෙත් දුන්නේ නැත. නීචකුල බන්ධනයෙන් බැඳ ගත්තෙත් නැත. 

මිනිහා අපේ අම්මාගේ පොත්තේ රතට, පිට ඔපයට වහ වැටුණේය. එහෙම පිටින්ම අඹුසොඬ මිනිහෙකු වූ අපේ තාත්තා බදුල්ලේ නෑයන් දෙකේ කොළයට දැමීම  ඉන්තේරුවෙන්ම වැරැදිය. බදුල්ලෙන් හිර ගන්නට හොඳ නම්, බදුල්ලේ එකියකට වහ වැටෙන්නට හොඳ නම් ‘බින්තැන්න’ හෙළා දකින්නේ ඇයි? 

ලොකුම වැරැද්ද බින්තැන්නේ, ඌව වෙල්ලස්සේ උජාරුව; මහිමය කියන්නට තරම් ඉතිහාස දැනීමක් අදටත් අපේ අම්මාට නැතිවීමය.

හාන්කාවිසියක්වත් නොදැන හිමේෂ ඉඳුනිල් මට උදව්වක්......
ඇත්ත කියන්නත් බිම ඉඳගන්නත් බය වෙන්න එපා! අපේ තාත්තා තිස්සෙම කිව්වේය. තිස්සෙම ඒවා කණට වැටුණු හින්දාද කොහෙද ඒවා නිකන්ම හිතෙත් පැළපදියන් වෙලාය. ඉතින් මා ඌවේ බයියන් ගැන මුහුණු පොතේ දුටු දේකුත් දැන් නොකියාම බැරිය.

ඒක අපූරු ෆොටෝ කෑල්ලකි. හිමේෂ ඉඳුනිල්  ‘ලෙල්ල හුටන්’ ගෙන් share කරගෙන තිබුණු නිසා මටත් දැකගන්නට පුළුවන් විණි. මා fb එකේ ඉන්නේ ඉතාම සීමිත වෙලාවක් විතරය. ඔයා හාන්කාවිසියක්වත් නොදැන මට කළ උදව්වට ස්තුතියි හිමේෂ!

මොකක්දෝ උත්සවයකට ඌවේ මහ ඇමැතිතුමාත්, වෙල්ලස්සේ ‘අප්පච්චි මළා’ත් සැපත් වෙලාය. 

සංවිධායකයන් ඒ දෙන්නාගේම ‘මස්තිෂ්කය’ තියෙන තැන හරියටම තේරුම් අරන්ය. ඒවා තැලෙයි කියලා උපකල්පනය කරලාය. 

ඒ නිසාම එයාලට වාඩිවෙන්නට තඩි සැප පුටු දෙකක් සූදානම් කරලාය. කරුමෙටම වාගේ එතැනට හාමුදුරුවන් වහන්සේ කෙනෙකුත් වැඩම කරලාය. උන්නාන්සේ වැඩ හිඳින්නේ 
මහ ඇමතිතුමාට මෙහා පැත්තේ ප්ලාස්ටික් පුටුවක් උඩය. 

ලජ්ජ නැති රටේ - පනමට පොල් හැටේ!!!
සංවිධායකයන් මැට්ටන් වෙන්නට ඇතිය. ඒත් මේ ලොකු කුට්ටමත් මැට්ටන්ද? කිසි හිරිකිතයක් නැතිව සැප පුටුවලට බෑවී ඉන්නේ. දකින ඕනෑම කෙනෙකුට ‘අනේ, මුන් මකබෑවී යනවා නම්’ කියා හිතෙන්නේ මෙහෙම තකතීරු, විලිලජ්ජා නැති වැඩ පෙනෙද්දීය.

මේවා මටත් හොඳ පාඩම්ය. ‘අභිමානවත් ඌව වෙල්ලස්සේ පුත්‍රයෙක්මි’ කියලා මාත් වාගාඩම්බර කෙළලා තියෙන්නේ මෙහෙම අඥානයන් එහෙ ඉන්නා බව නොදැනය. ගම කන්නේ මෙහෙම අයය. එහෙම හිතෙන්නේ දැන්ය. ඒ දිනවල නම් අපේ තාත්තලා ඌවේ බයියන්ට ගරහද්දී මගෙත් ඇඟේ මාළු ගඟේ නැටුවේය!

හැබැයි, තාත්තලාගේ නොනිසි ආඩම්බරයට දෛවය විසින්ම නිසි පිළිතුරු ලබාදුන්නේය. ඒත් තාත්තා මිය ගියාට පස්සෙය. ආච්චී නම් ඒවා දෑහින්ම දකින්නට තරම් දිගු කාලයක් ආයුෂ වැළඳුවාය.

බදුල්ලේ උපන් ආර්.වී. ලීලාවතී මහරගමට ඇවිත්, එතැනින් කොළඹ කුරුඳුවත්තට ගිහින්, කොළඹ හතේ නෝනලාගේ ඇසුරට වැටී ඊළඟට එංගලන්තයටත් ගියාය. ඊටත් පස්සේ රට-රටවල් කීපයකම සංචාරයත් කළාය. තාත්තාත්, ආච්චීත් දෙන්නාම උපන් රටේම වුණත් හැම තැනම යන්නට වාසනාව ලැබුවේ නැත.    

ඒ දෙන්නාටම රට රාජ්ජවල යනවා තියා උපන් රටේ වැඩි හරියකටවත්....
බදුල්ල හෙළා දුටු ආච්චිම “මේකාට අල්ලපු ගෙදර නංගිව නැතිවම බැහැයි කියලා පොළොවේ පස් කෑවනේ! අපූරු නංගී!! ගෙදර වැඩක්-පොලක්වත් කරන්නේ නැහැ. සේරම සුමේ කෙරෙව්වේ සෝමාට කියලා.” කියලා පුතණ්ඩියාව පාච්චල් කරන්නටත් විටෙක කිව්වාය.

(සෝමා කිව්වේ අම්මාගේ නැඟණියටයි. hair net, කොණ්ඩ කටු, හවරි තියා කෝම්බින් පනාවක්වත් නැතිව මේ ලියන ගොබිලාට බදුල්ලේ පස්සරදී ‘මනමාලියෙකුට හෙයාර්ස්ටයිල් එකක් දාන්නට බාර දුන්නේ මේ සෝමා පුංචිය. ‘අජාසත්ත - 1’ ‘අකල් මරණෙකට හවුල්වී - 1 පෝස්ටුවලදී කියා ඇත්තේ එයා ගැනය.) අපට අපේ පරම්පරාවේ කතන්දරයෙන් වැඩිම හරියක් මට කිව්වේ අපේ මහරගම ආච්චීය.

ආච්චි හිතාගෙන හිටියේ පුතණ්ඩියාට ඇයගේ අයියාගේ දියණිය ‘සුමනාවතී’ කැන්දාගෙන එන්නටය. අපෝ, එයාට වඩා නම් සිය ගුණයක් අපේ අම්මා හොඳය! සුමනා පුංචිලා හිටියේ රත්තනපිටිය පැත්තේය. ඒකෙන් මං අනුමාන කරන්නේ ආච්චිත් කෙල්ල කාලේ ඉන්නට ඇත්තේ එහෙ බවයි.

ඉතින් මෙහෙම, මං උපදින්නට කලින් විස්තර පවා, මගේ පෝස්ටුවලට එකතු කරන්නට ගත්තේ සිරිබිරිස්, ප්‍රදීප් ජයතුංග, අසංග රණසිංහආරච්චි වැනි කිහිප දෙනෙක්ම වරින්-වර මතක් කළ කරුණක් නිසාය. (අනේ, සිරිබිරිස් උන්නැහේට නිදිව එපාවෙලාද කොහෙද කාලෙකින්ම කමෙන්ට් එකකින් හමුවුණේ නැත!).

‘මහරගම ඉතිහාසය ගැනත් ලියන්න’. 

මං දන්නේ මොන ඉතිහාසයක්ද? ඒත් ටිකක් කල්පනා කරද්දී පෙනුණේ මාත් ටිකක් දන්නා බවයි. දන්නා කරුණු වඩාත් තහවුරු කරගන්නට ගියාමය පෙනුණේ, චිත්‍රය අසුන්දරය!

වියපත් වෙද්දී මතකයත් දුර්වල වෙයි!
මහරගම ඉතිහාසය දන්නා අයත් ‘කළුනික’ තරමට දුර්ලභ වෙලාය! වයසක උදවියගෙන් වැඩි දෙනාට අතීතය මතක නැත; ඒවායේ අගයකුත් නැත. එහෙම වුණත්, මේ නිමල් දිසානායකත් ලේසියෙන් උත්සාහයක් අත හරින ජාතියේ නොවේ!

2019 පෙබරවාරි 10 වෙනි ඉරිදා ලක්බිම පත්තරයේ ‘රිද්ම’අතිරේකය 13 වෙනි පිටුව කැපවී තිබුණේ ‘අතීතය සංරක්ෂණය’ කරන මනුස්සයෙක් වෙනුවෙනි. 

සිරි ලංකාවෙන්ම හෙව්වත් මෙහෙම අය හොයාගැනීම ලෙහෙසි නැත. “දැනට ජීවතුන් අතර සිටින කලාකරුවන්ගේ වගේම මියගිය කලාකරුවන්ගේද තොරතුරු ඇතුළුව සමස්තයක් වශයෙන් 3000 කගේ පමණ තොරතුරු දැනට මා ළඟ තියෙනවා.” සිරි කහවල කියා තිබිණ.

බොහෝ දෙනෙක් සිරිව දන්නේ කලාකරුවන්ගේ උපන් දිනයදා කුකුළාත් අතින් අරන් සුබ ආසිරි පතන්නා ලෙසටයි. “කලාකරුවන්ගේ උපත, විපත, සහ විවාහවූ දවස වැනි දත්ත එකතු කරන එක මම මගේ මාධ්‍ය ජීවිතය පටන් ගත්තු කාලේ ඉඳන්ම කළ දෙයක්. ඒත් සුබ පතන්න පටන් ගත්තේ 1993 විතර ඉඳලා.” සිරි ‘රිද්මේ’ ආරියවංශ කුලතිලකට පවසා තිබිණි. ඒ අනුව නම් කහවලගේ සුබ පැතිල්ලට අවුරුදු 25 ත් පිරිලා අහවරය.

සුබ උපන් දිනයකට සුබාසිරි සිරි කහවල මහත්මාණනි!
සිරි කහවලට ‘සුඛී දීඝායුඛෝ භව’ කියා මමත් සුබ පතමි! එහෙම කරන්නේ 2019 පෙබරවාරි 16 වෙනිදා සිරිගේ උපන් දිනය දවස නිසයි. මගේ ගැටවර අවදියේදී සිරි කහවල මගෙත් වීරයෙකු වුණු නිසයි!

හැත්තෑ ගණන්වල හිටි ගමන් පත්තර ලෑලිවල ලස්සන ඩිමයි ¼ ප්‍රමාණයේ (ඔය ප්‍රින්ටින් සයිසස් ගැන ගොඩාක් විස්තර ‘කෙළින් සනා -2’ පෝස්ටුවේ අඩංගුය.) සඟරාවක් දකින්නට ලැබෙයි. කවරය 4 කලර්ය. බොහෝ විට ආර්ට් පේපර්වල අච්චු ගහලාය. හැබැයි ඇතුළු පිටු ඩිමයි කඩදාසියෙනි. ඒවා අච්චු ගහලා තිබුණේ ලෙටර් ප්‍රෙස් ක්‍රමයටය. ඒකට නම් කමක් නැත. වැරැද්ද හුඟ දවසට පාවිච්චි කරලා තිබුණේ හොඳටම තැලුණු ඊයම් අකුරුය! සඟරාව ‘කලා’ සිනමා සඟරාවයි.

මට මතක හැටියට නම් එය සංස්කරණය කළේ ආරියරත්න කහවිටය. (ස්වර්ණා කහවිට ඔහුගේ නැඟණියයි. ගායිකා මල්ලිකා කහවිට බිරියයි.) 

‘කලා’වේ ‘සංගීත සංග්‍රහය’ පිටුව සිරි කහවලගෙනි. අලුතින්ම තිරගත වන චිත්‍රපටවල ගීත එහි පළ කෙරිණි. මා වැනි සිංදු පිස්සන්ට ඒ පිටුව රත්තරන් වගේ අගනේය. විශේෂයෙන් හින්දි ගීතත් තේරුම සමඟම ‘සංගීත සංග්‍රහයේ’ පළවුණු නිසා. ඉතින් එහෙව් පිටුවක් ලියන්නා මගේ වීරයෙක් නොවී ඉඳීවිද?

විසි කරන්නට ලෝබකමේ තවමත් මං සුරැකිව තියාගෙන ඉන්නා 1973,74,75 කලා සඟරා පිටු තුනක ෆොටෝ එකක් මෙහි ඔබන්නේ සිරි කහවල සහෘදයාණන්ට උපහාරයක් ලෙසිනි!   

1973, 74, 75 වසරවල පළවූ 'කලා' සිනමා සඟරාවේ 'සංගීත සංග්‍රහය' පිටු තුනක්................
දැන් තේරෙනවානේ, සිරි කහවල වැනි අය ඉන්නවා නම් අතීතය වාර්තා කිරීම කොච්චර ලේසිද? එහෙම බලද්දී අපේ ‘දිසානායක පවුලේ’ අතීතය නම් වැඩියෙන්ම මතක තියෙන්නේ මටමය.

“දැන් කිමෝනාව ඇන්දාට උඹලගේ අම්මා කසාද බඳිද්දී ඇඳුමක් මහගන්නවත් දන්නේ නැහැ.” කියලාත් තාත්තා නිතර අම්මාට ඇනුම්පද  කිව්වේය. 

මට නම් ඒකෙත් පුදුමයක් තිබුණේ නැත. අම්මා තාත්තාව කසාද බැඳලා තියෙන්නේ අවුරුදු දාහතේ කෙල්ලකව ඉඳිද්දීය. (හරියටම කියනවා නම් බාල අපරාධයකුත් කරලාය.) “ආයේ බොරු කියන්න ඕනය? ඒ දවස්වල අපේ ගෙවල්වල රෙදි කැපුවෙත් කතුරකින්වත් නෙවෙයි. කැපෙන මන්නා පිහියකින්. මහන්න අතින් කරකවන මැසිමක්වත් තිබුණා කියලය. අතින්මයි මැහුවෙත්.” අම්මාත් ඒ දවස්වල ඔහේ කීවාය.

එහෙව් ලීලාවතී මහන්නට පටන් ගත්තේ කොහොමද කියන එක නම් අදටත් මා නොදන්නා කතාවකි. 
දැන් එව්වා අම්මාගෙන් අහගන්නට ගියත් එළියට එන්නේ ඇත්තම නොවේ. 

(මොකද, දැන් අම්මා හදන්නේ සුද්දියෙකුටත් වැඩියෙන් සුද්දියෙක් වෙන්නටය. එංගලන්තයට යන වැඩි දෙනෙකුත් එහෙමය!) තාත්තා, ආච්චී වගේ අයත් ඉන්නවා නම් කතන්දර සේරම අසා-විමසා, කලතා-අනා-කළඹා-පෙරා ඇත්ත මතු කර ගන්නට තිබිණි. කොහෙද, මෙහෙම බ්ලොගයක් හෝ ජීවිත කතාව හෝ ලියන්නට හිතකවත් තිබ්බ එකක්ය. මට නම් දන්නා ඇත්තම කියනවා මිස හිතළු ගොතන්නට බැරිය!

හැබැයි අපේ අම්මා හිතළු ගොතන්නට; මහන්නට විතරක් නොවේ, වූල් ගොතන්නටත් හොඳ හපනියක් වූවාය.
1966 දී පේව්මන්ට් එකේ රජ වෙන්නට යද්දී මගේ රජ සූට් එක........
නවසිය හැටහයේ මා පේව්මන්ට් එකේ රජවෙන්නට යද්දීත් කහපාට සැටින් රෙදිවලින් මට රජ ඇඳුම මැහුවේ (පේව්මන්ට් එකේ රජවී -1) අපේ අම්මාය.

ගෙදර හැමෝගෙම කලිසම්, කමිස, සරොම්, ගවුම් මැහුවේත් අම්මාමය. හැබැයි එහෙම කියද්දී මොහොතකටවත් හිතාගන්න එපා, තුන්සිය හැටපස් දවසෙම මහන්නට තරම් දේවල් තිබුණාය කියලා. අපි කාට-කාටත් අවුරුද්දකට මැහුවේ එක ඇඳුමකි, වැඩිම වුණොත් දෙකකි. ඒ කාලයේ අපේ අසල්වැසි කවුරු වුණත් හිටියේත් ඒ බෝට්ටුවෙමය. ඒත් ඉඳහිට කාගේ හරි ඇඳුමක් මසාදී කීයක් හරි උපයා ගන්නටත් අම්මාට පුළුවන් විය.

එහෙම ඉඳිද්දී මොකද වුණේ කියලා ඊළඟ කොටසින්.


17 comments:

  1. //(අනේ, සිරිබිරිස් උන්නැහේට නිදිව එපාවෙලාද කොහෙද කාලෙකින්ම කමෙන්ට් එකකින් හමුවුණේ නැත!).//

    සිරිබිරිස් නිහඩ කියවන්නෙක් සිංහල බ්ලොග් නොකඩවා කියවනවා ... ඉදලා හිටලා කමෙන්ට් දාන්නේ ... ඇවිත් කියවලා යනවා ඇති .... අර ජයතුන්ග කියන හාදයා කමෙන්ට් දානවද ... මම නං දැකලම නැ ... මිනිහා කම්බි වැටවල් නං ගහනවා

    ReplyDelete
    Replies
    1. සිරිබිරිස් උන්නැහේ ගැන කිව්වාට ගොඩක් ස්තුතියි! ජයතුංග මහත්තය කම්බි වැටවල් ගහන ගමන්ම ගොඩක් වැදගත් links දීලා තිබුණා දැක්කේ නැද්ද, ඔබතුමා?

      Delete
  2. පැටලිලි සහිතයි. අවුලක් නෑ ඉස්සරහට බලමු

    ReplyDelete
  3. ඉදිරි ඒවා කියෙව්වාම කියන්නකෝ මධු, අවුල ලෙහුනාද කියලා. ස්තුතියි!

    ReplyDelete
  4. කාලෙකට පස්සෙ නිදීගෙ අයිඩෙන්ටිය තියන කතාවක්...!!!මට මෙගා වැල් වටාරං එපා වෙලා තිබ්බේ!!!

    ReplyDelete
  5. ස්තුතියි ලොකු! ඔයයි මද්දායි දෙන්නා මාව මාර අමාරුවක දාලා තියෙන්නේ. ඒත් මං ඒකට කැමතියි. මොකද හෝම්වර්ක් කරවන්න හදනවා වගේ නිසා!

    ReplyDelete
  6. මිම්ම අරගෙන ඇඟට හරි යන්න ඇඳුම් මහන වැඩේ නැති වෙලාම ගිහින් නිමි ඇඳුම් කර්මාන්තය නිසා ... අපි පොඩි දවස් වලත් ගෙදර මැහුවේ නැත්තන් ටේලර් සාප්පුවකට ගොහින්ම ඇඳුම් මස්ස ගන්න ඕන. දැන් එහෙම කරන්නෙ ඉතිං වෙඩිමකට විතරයි.

    ReplyDelete
    Replies
    1. ඒ විතරක් නෙවෙයිනේ කණ්ඩො, වියදම? රෙඩිමේඩ් එකක ගන්න එක ලාබනෙ, ගොඩක්!

      Delete
  7. මෙයාටත් බදුලු සම්බන්ධයක් තියෙනවනේ. //මොකද, දැන් අම්මා හදන්නේ සුද්දියෙකුටත් වැඩියෙන් සුද්දියෙක් වෙන්නටය. එංගලන්තයට යන වැඩි දෙනෙකුත් එහෙමය!// වෙන රටකට ගියහම තරමක් දුරට ඒ රටේ විධිහට ජිවත් වෙන එක ලෙහෙසියි හොඳයි

    ReplyDelete
    Replies
    1. අජිත්, ඉස්සර මිනිස්සු දේසේ හැටියට බාසේ කියලා කිව්වේ නිකම්ම නෙවෙයි නේද?

      මේ ළඟදී කවුද කිව්වා ලංකාවේ blogs ලියන වැඩිම දෙනෙකු බදුල්ල පැත්තට සම්බන්ධයක් තියෙන අයය කියලා. ඔයාට තියෙන දැනීම නිසයි අහන්නේ.... ඇත්තද ඒ කතාව?

      Delete
    2. මට තියනවා බදුල්ල්බදුල්ලේ ලුනුගලට සම්බන්ධයක්. ඉවාන් පව්ලුෂා , සුමිත් කලනසිරි එතකොට , තව අරලගන්විල ගැන කතා කරපු බ්ලොගයක් තිබුනා.

      Delete
    3. තව කවුරු- කවුරු ඉන්නවද බලමුකෝ 'වෙල්ලස්සේ- බින්තැන්නේ දරුවෝ'.

      Delete
  8. Replies
    1. දිගටම කියවනු දකින්නට කැමැත්තෙමි!

      Delete
    2. අනිවාරෙන්ම නිදි මාමෙ.

      චූටි ප්‍රශ්නයක් තියෙනව🤔

      අම්මා තාත්තා ගැන නිර්ධය විදියට කතා කරල තියෙන්න ඇයි ඇත්තටම🤔
      තේරුම් ගන්න අමාරුයි

      Delete