අකුරු මැකී නෑ

Friday, February 8, 2019

දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස


“අපි හතර දෙනා මේ මනුස්සයා ගැන කියමු කවියක්. එක්කෙනා එක පදය ගණනේ.”

“අම්මට සිරි! Good idea!! කියමු, කියමු....”  අනෙක් තුන්දෙනාත් එක පයින්!

අටම්පහිය වත්පොත් සමූහයේ ලක්මාල් කන්දෙවිදානෙගේ...
ඔතැනිනුයි ගිය වතාවේ පෝස්ටුව නැවැත්තුවේ. ඒ පෝස්ටුවට තමා මෙතෙක් මට ලැබී තිබුණු ඉතාම අව්‍යාජ, සහෘද කමෙන්ට් එක ලැබී තිබුණේ. 

කරුමෙක මහත! ඒක මට ලියන්න වෙන්නේ මතකයෙන්. (කමෙන්ට් බොක්ස්වල වෙනස් වීමක් නිසා මගේ පරණ පෝස්ට් සේරගේම කමෙන්ට්ස් පෙන්නන්නෙ නැහැනේ, අපේ 71 වෙනි නිදහස් දවසේ ඉඳන්. මේ වගේ දේවල් සඳහන් කරන්නත් බයයි. මොකද සමහර දේශපාලුවන් කියන්නැහේ මේකත් බටහිර අධිරආජ්‍යවාදී කුමන්ත්‍රණයක්ය කියලා කිව්වොත්!)

ඒ අවුල ගැනත් පැයක් විතර තිස්සේ මාව දැනුම්වත් කරලා, දැන් කමෙන්ට්ස් දාන්න වැඩියෙන් ලේසිය කියලා- තව ගොඩක් තාක්ෂණික  දේවල් ගැන මට ටියුෂන් පන්තියක්ම කළාට ස්තුතියි ලක්මාල්! පරණ කමෙන්ට්ස් සේරම අතුරුදහන් වෙලා වුණත් පෝස්ට්ස් කිහිපයක විතරක් එහෙම වෙලා නැහැ. ඒකටත් හේතුව ලක්මාල්ගෙන් අහගන්නයි ඉන්නේ.

“නෙද්දකිං. කතාව නවත්තපු තැන.” මට මතක විදියට, එහෙමයි ලක්මාල් කන්දෙවිදාන සහෘදයා කමෙන්ට් එකේ කොටලා තිබ්බේ!

ලක්මාල් තමා ‘අටම්පහිය- වත්පොත් සමූහය’ පවත්තාගෙන යන්නේ. මං නම් තවමත් පුද්ගලිකව දැකලාවත්, දුර ඇමතුමකින් අමතලාවත් නැහැ. FB එකෙන් අදහස් හුවමාරු කරගෙන තියෙනවා විතරයි.

ඉතින් ඔන්න කවියන් හතර දෙනාත් කර ඔසවා බලා උන්නා...................
ඒත් ලක්මාල්; හුඟක් අය නම් එයාට කියන්නෙ ‘අටමා’ කියලයි, මට නම් අද වෙනතුරුම ඒක පාවිච්චි කරන්න හිතුණේ නැහැ; මං පුරුදු වෙලා තියෙන විදිය නිසා. 
හැබැයි  ලියන-කියන-කොටන-අකුරු කරන කොයි කාටත් බොක්කෙන්ම උදව් කරන්න ලැහැස්ති වුණු ගමන් උන්නැහේ ඉන්නේ!

ඉතින් ඔන්න කවියන් හතර දෙනා ‘...කර ඔසවා - බලා උන්නා....’ අර ගෑනු මනුස්සයා දිහා! එක්කෙනෙක් ඉස්සෙල්ලාම මුල පුරනවා ඕං. ‘හිසේ බරකි හොණ්ඩර ගණනක තරම’. 
ඒක කියපු ගමන් අනෙක් තුන්දෙනා කල්පනාවට වැටුණා. පළමුවෙනි පදයට ගැළපෙන විදියට එපැයි දෙවෙනි පදය කියන්න. දෙවෙනියත් පදයක් කිව්වා. 
‘ළමැදේ බරකි කොස් ගෙඩි දෙකකිය තරම’.

ඒ ගෑනු එක්කෙනා වට්ටි අම්මා කෙනෙක්. දන්නවනෙ, උන්දැලාට පුළුවනි ලොකු බරක් දමපු පැතලි වට්ටියක බඩු පුරවාගෙන, ඒක ඔළුව උඩින් තියාගෙන යන්න. මේ මනුස්සයත් එහෙමයි. ඒ මදිවට මේ අම්මණ්ඩි සද්දන්ත ඇත්තියක්. ගමකට කිරි දෙන්න පුළුවන් තරමේ milk board එකකුත් තියෙන. ඒ ගැනයි, දෙවෙනියා කිව්වේ. 

දැන් තුන්වෙනි කවියා ලොකුම අමාරුවක වැටිලයි ඉන්නේ. හොඳට බැලුවා. ඔය තියෙන්නේ! කිව්වා තුන්වෙනි පදේ. ‘කුසේ බරකි නොහැකිය එහි බර කිරුම’.

හතරවෙනියා දැන් ඉන්නේ ‘රෑට තම්බපු කොස් ඇට මුට්ටියක්ම ගිලලත් පදේට උඩ ගියේ නැති ගොබිලෙක්’ වගෙයි. අනෙක් තුන්දෙනා අර ගෑනු කෙනාගේ භෞතික ලක්ෂණ සේරම ගැන මුල්ම පද තුනෙන් කියලා අහකයි. බැලුවා! ම්හු. හිතුවා!! හරි. 

මිනිහා කවිය සම්පූර්ණ කළේ සමස්ත ගැහැනු වරිගයාටම පොදු සිද්ධාන්තයක් ගැන කියලයි. කවිය complete!

අනේ, මේ ගෑනු බර උහුලන තරම!
  හිසේ බරකි හොණ්ඩර ගණනක         තරම 
  ළමැදේ බරකි කොස් ගෙඩි දෙකකිය   තරම
  කුසේ බරකි නොහැකිය එහි බර        කිරුම
  අනේ, මේ ගෑනු බර උහුලන              තරම

අපේ ‘දුකේ කතන්දරේ’ අමතක වෙලා හෙම නෙවෙයි හොඳේ. අපි turn එක ගත්තේ වෙහෙර මහා දේවියගේ දොළදුකේ මුල්ම සන්දියෙන්. ඒත් පොදුවේ ගැහැනුන්ට උහුලන්නට වෙන බර ගැනත් කතා නොකර කොහොමද?

විහාර මහා දේවියට නම් මොන බරක්ද? අතට පයට දැසි-දස්සෝ. රාජ භෝජන. කසී සළු. රන්-මිණි-මුතු. රජ සැප. රජ පවුලක ඉන්නකොට තියෙන වාසිය එකයි. 
රජ පවුලක ඉන්නකොට විතරක් නෙවෙයි, ඒකකට ගෑවිලා හිටියත් ඇති. හිතන-පතන සේරම ඉටු කරගන්න පුළුවන්. ඉන්න තැනක්වත් නොදන්නා ඩේසි ආච්චිලා හරි හිටි ගමන් මැණික් මලු ගෙනත් දීලා යනවා.

හැබැයි, රජ ගෙවල්වල අයටත් විසඳාගන්න අමාරු ප්‍රශ්න ඇති වෙනවා. විහාර මහා දේවියටත් ඇති වුණේ එහෙම ප්‍රශ්නයක්. දොළදුක!

මගේ අම්මෝ! ඒක නං හැබෑම විශාල දුකක්!!
‘රියන් සීයක් දිග මීවදයක් ළඟ නිඳාගෙන ඉඳලා නැඟිටලා, 12,000 ක් හාමුදුරුවරුන්ට අර මීවදයෙන් මීපැණි දන් දෙන්නයි පළමු ආසාව. එහෙම කරලා ඊට පස්සේ, තමුන්ගේ අතින්ම ඒ මීවදයෙන් කඩාගෙන මීපැණි කන්න.......’ සද්ධර්මාලංකාරයේ නම් සඳහන් වෙලා  නැති කාරණයකුත් මෙතැනදී එකතු කරන්න හිතෙනවා.

අනෙක් පැත්ත හරවලා තිබුණු රුවල් ඔරුවක තමා ඒ මීවදය ............
කාවන්තිස්ස රජ්ජුරුවෝ අණබෙරකාරයෙකු යැව්වාලු, එහෙම මීවදයක් තියෙන තැන ගැන දැනගන්න. ඒ තරම් විශාල මීවදයක් තිබුණේ මීගොමුවෙලු. අතහැරලා දමාපු රුවල් ඔරුවක බැඳපු මීයක්.

කොහොමද පිනක මහිමය? උපරිම විදියට පිං පළ දෙන්නෙත් යහමින් ඇති-පැති අයටමයි. ඒකනේ පුරාණේ උදවිය ‘බත් ඇති තැනටමයි කොසුත්’ කියලා කිව්වේ. 

ඒකමද මන්දා මටත් වුණේ. මං කිව්වනේ මගේ බ්ලොගය ‘ජනගත කරගන්නට’, ඒකට publicity දෙන්නට  උදව් කළ අය ගැන. මොන පිනක්ද මන්දා, මට මුල ඉඳලම ලංකාවේ බ්ලොග් සින්ඩි ගොඩක උදව් ලැබුණා.

ඒකට මුල පිරුවේ ‘මාතලන්ගේ සින්ඩිය’ එකෙන්. තවමත් ‘නිදිගෙ පංච තන්තරේ’ ට නිතිපතා වැඩිම කියවන්නන් එන්නේ මාතලන්ගේ සින්ඩිය හරහායි. පුදුමෙකුත් නැහැ. 

ඒකෙ ‘රීඩර්ස් කවුන්ටරේ’ පොඩි-පටු ගණනක්ය? 9,26,962 ක්. (ඒ 2018 පෙබරවාරි 8 දවසේ හවස 4,24 ට තිබුණු ගණන.) ගොඩක් ස්තුතියි ප්‍රියන්ත හේවගේ මහත්මයාට. මාතලන් සින්ඩියෙයි, මාතලන්ගේ පත්තරෙයි දෙකේම ලොක්කා ප්‍රියන්තයි.

බ්ලොග් අඩවි, සින්ඩි කරන ගොඩක් අය දිගටම මට උදව් කරන්නේ කිසිම ඉරිසියාවකින් තොරවයි. වෙන-වෙන ෆීල්ඩ්ස්වල අයත් ආධුනිකයන්ට මෙහෙම උදව් කරනවද මන්දා. හිතේ කහටක් නැතිව. 

තවමත් නිතිපතා වැඩිම කියවන්නන් එන්නේ මාතලන්ගෙ සින්ඩියෙන්....
මට හිතෙන්නේ බ්ලොග්ස් ලියන අයගේ හිතේ තියෙන දේවල් හරිම ඉක්මනින්ම පිට දමන්නට වෙන නිසා ‘බොකු කුණු වෙන රෝගය’ එයාලා අතර නැතිවා වෙන්නැති!

අනේ, මට උදව් කළ තව ගොඩක් ඉන්නවා. 

ඒත් අදම, මෙතැනම ඒ ගැන කියන්නේ නැතිවට සමාවෙන්න ඕනේ. කෙළෙහිගුණ දක්වන්න ගියත් පෝස්ට් එක බෝරින් කර ගන්නත් බැහැනේ. ඔයාලටත් හොඳට ඔය ගැන අත්දැකීම් ඇති මළගෙදරකට ගිහින් තියෙනවා නම්. අවමංගල සභාවල කතා පවත්වන වෙලාවේදී  එතැන ඉන්න මිනිස්සු කීදෙනෙක් ‘සාවද්‍ය මනුෂ්‍ය ඝාතන’ කරනවද; හිතෙන්? 

මයේ අතින් නම් ඒ පවුකාරකම නිතරම කෙරෙන නිසයි, මං මෙච්චර පරෙස්සම් වෙන්නේ! ‘අත්තානං උපමං කත්වා......’ තමන් උපමා කොට සිතා, එහෙමනෙ ‘ධම්මපදයේ’ තියෙන්නෙත්.

ඉතින්, විහාර මහ දේවියගේ දොළදුකේ හොඳම හරිය එන්නේ ඊළඟටයි.
“........නැවැත අනුරාධපුර නුවරැ රජ කරන එළාලරජ්ජුරුවන් ගේ විසිමහායොධයන් අතුරෙන් නායකයොධයාගේ හිස කැපූ කඩුව සේධූ පැන් ඔහුගේ ඉස මැඩගෙන බොන්නට ද, නැවැත අනුරාධපුර නුවරැ දෙමළරජුගේ මහනෙල්මල්කෙතින් මලා නොගිය මහනෙල්මල් පළඳින්නට ද, තිසාවැවින් ගෙනා පැනින් ඉස් සෝධා නහා පැන් බොන්නටද යන 
මෙතෙක් දොළ ...............”

නරකමත් නැහැ නේද?

කාවන්තිස්ස රජ්ජුරුවෝ රුහුණේ මාගම්පුර රජ කරන කාලයේ අනුරාධපුරේ හිටියේ එළාර රජ්ජුරුවොයි. එතුමගෙ අන්තේවාසිකයන් කොහොම වුණත් එළාල හොඳ පාලකයෙකු බවයි පෙනෙන්නේ. දන්නවනේ යුක්තියේ සීනුව ගැන හෙම?

එළාර රජුරුවොන්ගේ අන්තේවාසිකයන් කොහොම වුණත්.............
උන්නැහේට හිටියා විසිමහ යෝධයෝ. එයින් ප්‍රධානියා ‘මේල්දේව’. කොහොමද බිසවට ඇති වුණු ආසාව, මේල්දේව යෝධයාගේ හිස කඳින් වෙන් කරන කඩුව හෝදපු වතුර බොන්න. නිකම්මත් නෙවෙයි. මේල්දේවගෙ හිස පයින් පාගාගෙන...... 

මේ දොළදුක මට හිතෙන විදියට නම් හරිම තිරශ්චීනයි; අමානුෂිකයි; අප්‍රසන්නයි!

මේ හැඟීම නොඑන විදියටයි අපට ඉතිහාසය උගන්වන්නේ. දමිළයන් පිළිකුල් කරන්න. නිකමට හිතන්නකෝ, අතපය වකුටු කරගෙන නිඳා හිටි අහිංසක; පුංචි ගැමුණු කුමාරයා ගැන. ‘කොහොම අතපය දිග හරින්නද මෑණියනි? දකුණෙන් ගොළු මුහුදය, උතුරෙන් හැඩි දෙමළුය!’ ඔහොමයි මං පුංචි කාලේ කියෙව්වේ; ඇහුවේ. 

හැබැයි එළාර රජතුමා අවුරුදු 34 ක් රජකම් කළ, සාධාරණ පාලකයෙකුය කියලා කොහේවත් කියවෙන්නේ නැහැ නේද? 
එච්චරද, තමුන්ගෙ පුතණ්ඩියා නොසැලකිල්ලෙන් අශ්ව රථය පදවලා හරක් පැටියෙකු ඒකට යට කරලා මැරුවාම...... එව්වා කියන්නේ බර නොදාම වගේ....

මහා උජාරුවෙන් ‘අපි සිංහලය’, ‘අපි ශාක්‍ය වංශයේ සිංහලයෝ වෙමුය’, ‘අභිමානවත්ම ජාතියේය’ වගේ පම්පෝරි ගහන අපේ වැඩත් ඒ වගේ උදාරම්ද? චූට්ටක් ඇහැ ඇරලා වටපිට බලන්න. මේ වතාවේ සිරීපාදේ ගිය උදවිය ‘රිරී පාරේ’ ගිහින් තියෙන හැටි! මුහුණු පොතේ ඒ පින්තූරය දාලා තිබුණේ Sanuki De Alwis. ස්තුතියි සනුකි! වචන දාහකින් කියාගන්න බැරි දෙයක් එක ෆොටෝ එකකින්...... කොච්චර අගේද?

රිරී පාරේ ගිය කට්ටියව ෆොටෝ අරගත්තේ සනුකි. කානු සුද්ද කරන හාමුදුරුවන් වහන්සේලා...........
නුවර නගරයේ තාප්ප, බිත්ති සේරම සුද්ද කරලා පෝස්ටර් අලවන්නට එපාය කිව්වට පස්සෙත් ඒවා ගස්සන; අලවන නරුමයෝ ගැන... පුළුවනිද ආඩම්බර වෙන්න? ඇයි අපි මෙච්චර පටු...... මං ‘අපේ කුණු අපට එපාවීපෝස්ටුවලදී කිවා මතකද විල්පත්තු ජාතික වනෝද්‍යානයෙදී අපේ උදවියගේ හැටි ගැන. ඒකම තමයි, අපේ ජාතියටම පොදු අනන්‍යතාව!

එහෙම වුණත් තරුණ පරම්පරාවෙන් වැඩි දෙනෙක් fb එක හරහා හරි දැනුම්වත් වෙලා රට වටේම නගරවල පිරිසිදුකම ගැන හිතන්න පටන් අරන්. 
කොච්චර එකක්ද? නගරෙ කානු පවා සුද්ද කරන මේ හාමුදුරුවන් වහන්සේලා අනුරාධපුරයෙන්. මෙන්න හාමුදුරුවනේ, ඔබ වහන්සේලා අබියස මාත් සිරස නමා වඳිනවා!

ඇත්තම කිව්වොත්, මෙච්චර බණ කෙළින මගේ හිතෙනුත් ‘දෙමළා පහත්ය’ කියන හැඟීම සහමුලින්ම අයින් වෙලා නැහැනේ. 

(මට ඉතිහාසයේ ඉගැන්නුවේ නැති නිසාද මන්දා) ‘මුසල්මානුවන්’ ගැන ‘දමිළයන්’ ගැන තරමේ විරසකයක් මට නම් නැහැ. අම්මෝ, සමහරුන්ට නම් එයාලවයි, පෙන්නන්න බැරි. මට අනුව නම් ඕනෙම ජාතියක අන්තිම උසස් වගේම, අන්තිම තුච්ඡ උදවිය ඉන්නවා. මං වගේ දුර්ජනයොත් ඉන්නවා.


මේ දුර්ජන ගතිය හිත් පොජ්ජෙ වැසැන්ගිලා තියන..............
එහෙම කිව්වේ මේ දුර්ජනකම ‘මයෙ හිත් පොජ්ජෙ’ වැසැන්ගිලා තවමත් තියෙන හින්දයි!

මේක වුණේ ‘පියසිරි ප්‍රින්ටින් සිස්ටම්ස්’ ආයතනයේදී. ‘මංජුලගේ මරියාට මම පැටලුණෙමි’ පෝස්ටුවෙදී කියූ විදියටම මං එතකොට ඒකෙ ප්‍රින්ටින් මැනේජර්.

එතැන වැඩ කළා දෙමළ හාදයෙක්. හැමෝම එක්ක සහයෝගෙන් මිනිහා හිටියේ. සමහරු හිටි ගමන් ‘අඩෝ දෙමළා’ කියලා විහිලුවට කිව්වත් එයා ගණන් ගත්තේ නැහැ. එයාත් නැවතිලා හිටියේ ‘ජපුර විශ්ව විද්‍යාලය’ කිට්ටුවම බෝඩිමකයි. ඔන්න මිනිහා හිටි ගමන් අපි කාටවත්ම නොකියා ප්‍රෙස් එකේ වැඩට එන එක නැවැත්තුවා.

මිනිහාව දකින්නවත්; තොරතුරක්වත් නැතිව දවස් දෙක-තුනක් ගියා. 

එතකොටම ආරංචියක් ආවා, එයා වෙනින් ප්‍රෙස් එකකට වැඩට යන බව. අපේ ආයතනය තිබුණේ විජේරාමේ ඉඳලා ‘ජපුරට’ යන පාරේ වම් පැත්තේ, ප්‍රධාන පාරට මුහුණ පාලා. ඉතින්, පාරේ යන-එන ඕනෙම කෙනෙකුව අපට ලෙහෙසියෙන්ම පෙනෙනවා. 
‘නිමල් අයියේ, අරූ......... යනවා පාරේ අනිත් පැත්තෙන්, මේ පැත්තවත් නොබලා. ..... දෙමළ ........ පුතා!’ කිහිප දෙනෙකුම මගෙ එක්කත් නෝක්කාඩු කියද්දී මට ඒ හාදයාගේ ‘අහක බලන් යාමේ’ අරුමයක් නැතිව ගියා.

දෙමළ, මුස්ලිම් කිව්ව ගමන්ම අපේ හිතට එන්නේ මොන වගේ හැඟීමක්ද?
වැඩේ කියන්නේ එහෙම පදම් වෙලා ඉඳලත්, මට වෙච්ච දේ. 
දන්නවද? ඒ හාදයා එහෙම යනවා දෑහින් දැකපු පළමුවෙනි මොහොතේ මට හිතුණේත් ‘මුගෙ පරවාදී දෙමළ ගතියනේ’ කියලයි. 
ඊළඟට මං මගේ ගැනම තරහෙන්; ලජ්ජාවෙන් හිතන්න ගත්තා. ඒ හාදයාට වැඩිය අකෘතඥ විදියට ආයතනයට සලකපු අය ඕනේ තරම් හිටියා, හොරකම් කළවුන් පවා. ඒ එක වෙලාවකවත් මට සිහි වුණේ නැහැනේ ‘එයාලගෙ පරවාදී සිංහල ගතිය’ ගැන. 
අදටත් මං මගේ එදා හිතිවිල්ල ගැන මතක් කරන්නේ පසුතැවිල්ලකින්.

ඉතින් දමිළ, මුස්ලිම් උදවිය ගැන පාට කන්නාඩි දමාගෙන බලන අන්තවාදීන් දැක්කාම මට හිතෙන්නේ දුකක්. එයාලා වැඩියෙන් හිතන්නේ නැතිද? 
එකම වැරැද්ද කරන අයට, ජාතීන් විදියට බලලා වැඩියෙන් ගරහන්නේ ඇයි? 
ජාතිවාදීන්  නොවී අපට ජාතිකවාදීන් වෙන්න බැරිද?

එහෙනම් ආයෙම එමුකො මේල්දේව යෝධයාගේ ළඟට. මිනිහා රණ ශූරයෙක්. කවුද එහෙව් මිනිහෙකුගේ බෙල්ල කපන්න යන්නේ? කැපුවට විතරක් ඇතැයි? ලේ පිටින්ම කඩුව ගේන්නත් ඕනේ. ඔළුගෙඩිය ගෙනෙන්නත් ඕනේ. 
ඇයි තිසා වැවෙන් ගන්න වතුර කළගෙඩියයි, එළාර රජතුමාගේ මහනෙල් මල් යායෙන් කඩා ගන්න මහනෙල් මලුයි....... ඊටත්, ඒ මානෙල් මල් හේබාලා යන්න කලින් අනුරාධපුරේ ඉඳලා රුහුණේ මාගම් පුරවරයට ගේන්නත් ඕනි. මොකෝ ඒ කාලේ highway තිබ්බයැ. ඒ කාලේ විතරක් නෙවෙයි, දැන්වත් තියෙනවය?

එළාර රජතුමාගෙ මහනෙල් මල් පොකුණෙන්...............
බුත්තල ‘ගම් උදාවේ සමාරම්භක උත්සවයට' නං ප්‍රේමදාස ජනාධිපතිතුමාට දමන්න ඕකිඩ් මල් මාලයක් හෙලිකොප්ටරෙන් ගෙනිච්චනෙ, කොළඹ ඉඳන්! ඒත් ඒ දවස්වල හෙලිකොප්ටර් තිබුණෙත් නැහැනේ. තිබ්බා නම් කීයක් ගියත් රාජ භාණ්ඩාගාරයෙන් වියදම දැරෙන නිසා ගුවනින්ම මල් ටික විතරක්වත් ගෙන්නා ගන්න ඉඩ තිබ්බා.  

ඒත් එදා කාවන්තිස්ස රජ්ජුරුවෝ වැටුණේ සකල අමාරුවක!

දැන් වගේම තමා. පාලකයෙක් අමාරුවේ වැටෙනකොට ඉස්සෙල්ලාම කලබල වෙන්නේ ළඟින්ම ඉන්න අය. ඇයි, ලොක්කට කෙළවුණොත් උන්ටත් කෙළවෙනවනේ. 
වර්ධනල, වංශල, පිලල, වසම්ල, රත්නායකල, වික්‍රමල..... කියල කිසි වෙනසක් නැහැ. ඔය හැමෝම හයියෙන්ම එයාලගෙ ලොක්කන්ව රකින්න දත කන්නෙ ඒකනේ.

හැබැයි, උන්දැල වගේ කටින් විතරක් නෙවෙයි, ඇඟෙන්ම උදව් කරන්න සූදානම් කෙනෙක් රජතුමා ළඟට ආවා! එව්වා කියවමු ඊළඟ කොටසින්, හොඳේ.

11 comments:

  1. ඈ බොලේ දාපු එක කොමෙන්ට් එකක්වත් නෑ නොවැ.

    ඒක තමයි අපි කිව්වේ
    තිම් එක හරි නෑ කිව්වේ
    නිදි ලොක්කා නෑ ඇහැව්වේ
    ගුගලයයි දැන් කෙලෙව්වේ

    ReplyDelete
    Replies
    1. විපත්තියක් වුණාම ඔහොමද කියන්න ඕනේ? අනේ පව්, අසරණයට කෙළවුණා කියලනෙ. ඒත් මෙහෙම හරි ඔජ වැඩුවට ස්තුතියි, අසංග!

      Delete
  2. කිව්ව කිව්ව. Blogger කමෙන්ට් දාන්න හදන්න කියල 😢

    ReplyDelete
    Replies
    1. කිව්වා නේන්නම් මධූ! ඒත් මං දන්නා අටම්පහුරක් නැහැනේ. කොහොමද මේක වෙනස් වුණේ කියලා හොයන්න ස්කොට්ලන්ඩ්යාඩ් එකට බාර කරලයි තියෙන්නේ!

      Delete
    2. ගූගල් අයියා G+ වලට බායි කීව අයියා බ්ලොගර් එකවුන්ට් එකක් හදාන නේද ඉන්නෙ?

      Delete
  3. ආ දැන් හොඳයි, මටත් කමෙන්ට් කරන්න ඇහැකි.

    ReplyDelete
  4. හැලපෙ අයියේ, වෙනස නිසා මටත් ලේසි-පාසුකම් ගණනාවක්ම වෙලා. පෙරළුණු පිට හොඳටම හොඳා!

    ReplyDelete
  5. මහා වංසය කියන්නෙ රජ්ජුරුවන්ට ගොට්ට අල්ලපු අන්තවාදී ... නෑ එක්කො ඉතිරි ඩිංග ඕන නැහැ .. :)

    ReplyDelete
    Replies
    1. දැන් මිනිස්සු ලියන - කියන ඒවා බලපුවාම කණ්ඩා, ඒ කාලේ පත-පොත ලියන අය ගොට්ට අල්ලපුවම මොකද කියලා හිතෙන්නේ නැද්ද? පුංචි යුද්ධයක්ය ඒ දවස්වල පුස්කොල පොත් ලිවිල්ල.

      Delete