අකුරු මැකී නෑ

Thursday, May 30, 2019

මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස


.... ඒ අතරේම බලන්නකෝ ‘වී වේළිලාද?’ කියලත්.

වී = බැත, වේළිලා = හිඳිලා. බැත හිඳිලා = හිත බැඳිලා!
පහුගිය පෝස්ටුවෙදී මං කිව්වා මතකද? ඒ වගේ තුන් තේරවිලි තිබ්බේ අපේ අම්මලා කෙල්ලෝ කාලයේය. වී = බැත, වේළිලා = හිඳිලා. බැත හිඳිලා = හිත බැඳිලා! ඒක දැනගෙන උත්තර දී තිබුණත්, රෝද දෙකේ රස්තියාදුවේ මද්දා ගැටවර වයසේදී නම් ඔහොම තුන් තේරවිලි අහන්නට නැතිව ඇතිය. මධූ, ඔයාලගේ කාලේ වෙද්දී සෙනෙහෙ කොළත් expired වෙන්නැති නේද? SMSද යැව්වේ?

පෑනේ මිතුරු-මිතුරියන් එක්ක හුටපට හදාගන්න වයසේය එතකොට අප නම් හිටියේ. පෑනේ....

‘ටිකක් හිටහන් යෝධයෝ! මතක් වෙන පළියට කොටන්න යන්න එපා. සීරුවෙන්, පිළිවෙලකට..... තමුසේ කියාගෙන ආවේ පළවෙනි වතාවේ ඩයි කරපු ගමන් තමුසෙ නිසා, සෝමා අම්මෙලට පාඩුවක් වෙච්චි විදිහ. ඒක කියලා ඉවර වෙලා කියනවා පෑනේ මිත්තරයෝ ගැන.’ 

නිමල් දිසානායකගේ බුද්ධින්ද්‍රියට මළ පැනලා, නිදිගෙ හිස මුඳුනටම පත ටොක්කක් ඇන්නේය! ඌයියා!! ඔළුව ගෙඩි ගැහුණු තරම්ය.

ගොන් සිරස මුඳුනටම පත ටොක්කක්................
ඉතින්, මං කියාගෙන ආ හැටියටම නිහාමුගෙ ordersවලට අනුව රෙට්ටෙට ගණන් හදලා, කිරලා, දිය කරලා, ඩයි දාලා ඉවර වුණේය. 

නිහාමු උඩට යන්නටත් කලින්ම සෝමා අම්මෙත්, ඇසිලින් අම්මෙත්, ජයන්තිත් විතරක් නොවේ, ඈනුත් රෙදි පොට්ටනි පිටින් අරගෙන ගරාජයට කඩා වැදුණෝය. හිස් අත්වලින් යුතුව හිටියේ සෙනෙවිත් මාත් විතරය.

යුද්ධයක් පටන් ගත්තේය.

ඉටි කළ රෙදි ඩයි දමා ඉවර වුණත් ඩයි බාත් දෙකේම සැර අඩුවෙලා නැත. නිර්දේශ කරලා  තියෙන ප්‍රමාණයට වඩා රෙදි තොගයකට ඩයි දමාගත්තොත් වාසියක් වෙන බව නිහාමු හිතා බලලා තිබ්බේ නැත. ඒකෙන් වාසිය ගත්තේ අර හමුදාවේ කට්ටියයි. 

අව පැහැ ගැන්වුණු පරණ චීත්ත, සාරි, කොට්ට උර..... කොහෙන් හොයන් ආවද මන්දා? එයාලා කල් තියාම ඒවා සූදානං කරගෙනය. ඉතිරිවී තිබුණු බාත් දෙකෙන් ඒ හැමෝගෙම, රෙදි සේරම ඩයි කරගන්නටත් පුළුවන් වුණේය!
බතික් කර්මාන්තයේදී ඉතාම ජනප්‍රිය බිත්ති සැරසිල්ලකි 'පෙරහරේ ඇතා'.........
“හාමු, අනිත් දවසේ අපි ඩයි කරනකොට වැඩිපුර රෙදි ටිකක් ලැහැස්ති කරගෙන ඉඳිමු. හදිස්සි ඒවා විතරක් නෙවෙයි.... අමතර ටිකකුත්. එක පාරම ඒවා තෙමන්නේ නැතිව, ඩයි බාත් දෙක වීක් වෙනකල් රෙදි ටික-ටික තෙමලා අරන් ඩයි දාන්න බලමුද?”

පහුවදා මං නිහාමුගෙන් ඇහුවේ වැඩි හොඳක් කරන්නටය. “Yes නිමල්. බ්‍රිලියන්ට්. අපි නෙක්ස්ට් ඩේ ඉඳලා එහෙම කරමු.”

ඒකෙන් නිහාමුට ලාභයක් වුණේය. “ඔය ළමයා හින්දා, අපේ පරණ රෙදි ටිකකටත් පාට දාගන්න බැරිව ගියානේ, දෙවෙනි හාමුට වාසි වුණාට!” සෝමා අම්මේ කියන තුරුම මට ඒ පැත්ත පෙනිලා තිබුණේ නැත.

ඔහොම අවාසි දේවල් පවා වුණත්, අපි-අපි අතරේ ලොකු නොහොඳ නෝක්කාඩු නම් ඇති වුණේම නැත. නිහාමුගේ බතික් වියාපාරයත් වාසි විදිහට කෙරීගෙන ගියේය. 

“නිමල්, ජයන්තිලගේ වත්තෙන්ම ගෑනු ළමයෙකුව බතික් වැඩට ගන්නයි හිතුවේ. දැන් සේල්ස් වැඩියි. ඔයාට විතරක් සේරම wax කරන්න බැහැනේ. ඔයා තමයි, ඒ ළමයටත් පුරුදු කරවලා ගන්න ඕනේ...... තව, අපේ අම්මා මට කිව්වා ඔයාගේ පඩිය වැඩි කරන්නත්. මේ මාසේ ඉඳලා ඔයාට දවසකට දෙකයි පනහක් දෙන්නම්.” නිහාමු කීවේ මං එහාට ගිහින් දෙමාසයක් යන්නටත් කලින්ය.

wax කරන්න තව ළමයෙක් ගන්නයි හදන්නේ............
නන්දනී එහාට ආවේ එහෙමය. මං අනුන්ටත් බතික් කියා දෙන උපදේශකයෙකු වෙන්නට මුල පිරුණෙත් එහෙමය. ඒ වගේම ඈන්ව පෙන්නන්නට බැරි කල්ලියට තවත් සාමාජිකාවක් එකතු වුණෙත් එහෙමය.

“සෙනෙවි, උඩ කාමරේ හොඳට ලැස්ති කරපං.....” සීහාමු දවසක් ගරාජයටම ඇවිත් සෙනෙවිට වැඩක් පැවරුවාය. මට පෙනුණේ  කොල්ලගේ ඇට්ටර මුහුණයි. 
සීහාමුට හොරෙන් සෙනෙවි ඉඟි මරා - ඇස් නටවා පෙන්නුවේය. සීහාමු ගියා විතරය. නන්දනී කරමින් හිටි වැඩේ නැවැත්තුවාය. 
“මොකක්ද උඹලගේ හොරේ? මං දැක්කා. මටත් කියපල්ලකෝ.”

එහෙම දෙයක් නන්දනී වගේ කෙල්ලෙකු එක්ක කියන්නට පුළුවනිද? සෙනෙවි වගේ එකෙක්. අඩු අං තට්ටුව විතරය. මේ කෙල්ල මෙතැන ඉන්න බවත්, මේ මී හරකා අමතක කළානේ. “සෙනෙවිගෙන්ම තමයි අහගන්න වෙන්නේ...” මට තරහෙන් කියැවුණේ නන්දනීගෙන් ගැලවිල්ලක් නැති තැනය.

“අනේ නන්දනී, ජයන්ති දන්නවා. එයාගෙන් අහගන්නකෝ. හැබැයි හොරෙන් අහන්න .... පිං සිද්ධ වෙයි, කාටවත්ම ඇහෙන්න නං අහන්න එපා. නිමල්ට මං පොරොන්දු වෙලයි ඉන්නේ බඩුවක් ගෙනත් පෙන්නන්න! හෙට උදේට ඔයාටත් පෙන්නන්නම්කො” 
සෙනෙවි ගොරකා මල්ලට දෙමල්ලක් දෙන්නට පොරොන්දු වුණේ එහෙමය.

සෙනෙවිට අඩු අං තට්ටුවක් විතරය!
නන්දනී ජයන්තිගෙන් අහගන්නට ඇතිවා වෙන්නැතිය, එදා දවසෙම හිටියේ හිර කරගත් හොර හිනාවකින් යුතුවය.

පහුවදා උදෙන්ම සෙනෙවි, කඩදාසි කෑල්ලක මොනවාදෝ ගුළි කරගෙන ආවේය; දිගෑරියේය. වීරයෙක් වගේ දෑතම ඉණට තියාගෙන ඔජ වැඩුවේය.

ඒ ගෙදර තට්ටු තුනකි. තුන්වෙනි තට්ටුවේ කාමරය නිතර පාවිච්චියට ගැනෙන්නේ නැත. “xxx හාමු එන දවසට එයා නිදියන්නේ ඒකෙ. රෑ වෙද්දී රුහාමුත් ඒකට යනවා.....” (xxx හාමු කිව්වේ රුහාමුගෙ පෙම්වතාටය).

සෙනෙවි ඉතිරි හරිය කියන්නේ නැත. ඇස් නටවා, අතින් කට වසාගෙන ඉඟි කරයි. “වනචරයා.... හිටපන් මම දෙවෙනි හාමුට කියන්නං උඹේ වල්කම.” 

ජයන්ති කඩා පැන්නාට ටිකකින් සෙනෙවිත් එක්ක එකට එකතුවී දොඩමළු වෙයි. මුළු පට්ටන්දරයම දිගාරියි. ඉතින්, නන්දනීටත් හරිම ප්‍රශ්නයක් ඇති වෙලාය!

ඒයි, දැන්මම ඒ ජෝඩුව එහෙම නං කසාද බැඳ දවසේ ඉසදියට....
“ඒයි, දැන්මම ඔහොම නං කසාද බඳින දවසට..... කොහොමද බං ඔප්පු කරන්නේ.... ඉසදියට එන රෙදි නැන්දට මොනවද පෙන්නන්නේ?” නන්දනී අහයි. 
“බොරැල්ලේ වත්තක වෙලත්, අපේ එවුන්වත් ඔහොම නැහැනේ බං.”

“මේගොල්ලෝ හනිමූන් යන්නේ පිටරටකටනේ. එතකොට රෙදි නැන්දවත් එක්ක යන්නයැ? බලාගෙන ඉඳපංකෝ නන්දනී. නිහාමුගේ කොල්ලා ආවමත් ඔහොම්ම තමයි!”

ජයන්ති කිව්වා හරිය. 

දෙවෙනි තට්ටුවේ එකම නිදන කාමරයක් බෙදා-හදාගෙන හිටි අක්කයි-නංගියි දෙන්නා එයාලගෙ පෙම්වතුන් එන දවසට ඔවුන් සමඟ උඩ තට්ටුවට යන්නටය පුරුදුවී හිටියේ.

“එතකොට දෙන්නම එකම දවසක ආවොත්, මොකද කරන්නේ? වෙන කාමර තියෙනවයැ?” කුතුහලය දැඩි නිසාම මම ඇසුවෙමි.

එයාලා එච්චර මෝඩයි කියලද උඹ හිතන්නේ?
“එයාලා උඹ වගේ නෙවෙයි බං. අපිට වැඩිය ලොකුයිනේ....  මේ වතාවේ රුහාමුගෙ එක්කෙනා ආවා නං, ඊළඟ සැරේ එන්නේ නිහාමුගේ එක්කෙනා. දෙගොල්ලෝ දවස් බෙදාගෙනයි ඉන්නේ.”

ඒ වෙද්දී living together කියා යෙදුමක්වත් තිබිණිද? විවාහයට පෙර ලිංගික සබඳතා පැවැත්වීම කොහෙත්ම අනුමත නොකරන සමාජයකි එදා තිබ්බේ. එහෙත් කොළඹ හතේ, කුරුඳුවත්තේ සමාජයට එදා ඒවායේ අරුමයක් නොතිබිණි. අපට නම් එදා ඒවා මහම අරුමයක් විණි! 

පෙම්වතුන් ජෝඩුව රාත්‍රිය ගත කළ කාමරය අතුගාන්නට යන සෙනෙවි, පරෙස්සමෙන් කඩදාසියක ගුළි කරගෙන ගෙනෙන මයිල් ගස් ටිකත් එදා අපට අරුමයක් විණි. 
අද ඉන්නා ගැටවර-ගැටවරියන්ට ඒවා කොහොම දැනේවිද?

ඔන්න ඔහොම ඉන්නා දවසකය අපේ ඊළඟ වික්‍රමයට පොට පෑදුණේ!

“මේ... මට අපේ ඉස්කෝලේ ළමයෙක් දුන්නා පෑනේ මිතුරකුගේ ඇඩ්රස් එකක්. ඒකි කොල්ලෙක් එක්ක ලියුම් ලියාගන්නවා. උගේ යාළුවෙකුටත් කෙල්ලෙක් හොයනවලු. ලියමුද?”

“ඉතින් උඹට ලියන්න ඕනේ නම් ලියපං. අපට කිය-කිය ඉන්න ඕනයැ.”

මගේ අත් අකුරු ගැහැනු ළමයෙකුගේ වගෙයිලු!
“අනේ නන්දනී... එහෙම කියන්න එපා බං. නිමල්, මොකද කියන්නේ... ලියමුද? උඹට තමයි ලියන්න වෙන්නේ....උඹේ අකුරු ලස්සනයිනේ, අපි තුන්දෙනාටම වඩා. ලියමුද කියපන්කො ....”

මගේ අත් අකුරු ගැන මීට කලිනුත් කිව්වා මතකය. ඒ එක-එක විදිහට අකුරු ඇඳීම මට වාසියක් වුණු හැටි ගැනය.

මිලට ගන්නා පොත්වල අයිතිය තහවුරු කරන්නට මං ඒවා හංවඩු ගැහිල්ල කළේ ටික කාලයක් විතරය. හණ ගහලා තිබුණත්, සමහරු පොතක් ඉල්ලාගෙන ගියත් ආපහු නොදෙති. ඒ විජ්ජාවෙන් හොඳම පොත් ටිකක් අහිමි වුණාට පස්සේ මා කළේ නම-ලිපිනය ලිවීම නවතා දමා, බහිරවයෙකු වීමය. 

දැන් නම් මගේ පොත් කාමරය කිසිවෙකුට පෙන්වන්නේවත් නැත. 

ඒ, ඒක පිස්සිගේ පලා මල්ල වගේ පිළිවෙල හින්දාය. ඇඩ්‍රස් ලියන එක නැවැත්තුවේ නැතිනම් මගේ ‘කාල නිර්ණ වැඩවලට’ පොතුත් උදව් කරගන්නට තිබිණි. අපරාදේ!    

මගේ අතීතය ගැන 'කාල නිර්ණය' කරගනිද්දී............
වනගත ළමෝ පොත මං අරන් තිබුණේ 1970 ටත් ඉස්සරය. ඒ කාලයේ අපේ ලිපිනය අංක 69 යි. ගෙදර වෙනස් නොවී එහෙමම තියෙද්දී, ගෙයි අංකය 189/62 වුණේය. ඒ අවුරුදු දෙක තුනකට පස්සෙය. එහෙම වෙනස් කරන්නට ඇත්තේ ගෙවල් වැඩි වන විට වෙන්නැතිය.

ලස්සනට, පැහැදිලිව අකුරු ලියනකොට හුඟක් අය කියන්නේ ඒවා ගැහැනු ළමයෙකුගේ වගෙය කියලාය. අපමණ පිරිමි හැඩ, ලස්සන අකුරු ලියති. සාක්කියක් නැතිවම බැරි නම් මෙතැනටත් ගිහින් බලන්නකො ඕන්නං.

ඉතින් අප හතර දෙනාගේ ගැරේජ් කැබිනට්ටුව තීරණය කළේ ලියුම් ගනුදෙනුව පටන් ගන්නටය. 

ජයන්ති වෙනුවට, ඇයගේ නමින් ලියන්නේ මාය. ලියුම් කවරයට හා මුද්දරයට යන වියදම මාරුවෙන් මාරුවට අනෙක් තිදෙනා දරනු ඇත. 
“ඔව්, ඔව්. උඹ ලියුම ලියන්නත් මහන්සි වෙනේකේ සල්ලිත් වියදං කරන්න ඕනේ නැහැ. හැබැයි නිමලෝ..... පැණි බේරෙන්න මගෙ සුදෝ කියලම ලියහං.”

“උඹට පිස්සුද? කෙල්ලෝ එක පාරම එහෙම කියනවද .... කොල්ලට ඉස්සර වෙන්න දෙමු... ඌ මොන වගේ එකෙක්ද කියලවත් තවම දන්නවය. 
මගෙ සුදෝ! වෙන මොනවත් නැද්ද? මාළුවෙකුට වුණත් දාන ඇම ගිල්ලාට පස්සේ යන්න ඇරලයි ඇදල ගන්නෙ.”

පැණි බේරෙන්න මගෙ සුදෝ කියලම ලියපං!
“ඔය තියෙන්නේ මොළේ.... උඹ ඉතින් මොළකාරයානේ. අනේ බං අදම ලියමුකො. මේ, ඒක නෙවෙයි.... ඇත්තටම උඹ කාටවත් ලව් ලෙටර් ලියල නැද්ද?”

“ඒකෙන් වැඩක් නැහැනේ... බලපල්ලකො ලිව්වම හොඳද කියලා!” 

මගේ හසුන බලා ඒ තුන් දෙනාම හීල්ලූහ. ජයන්තිලාගේ ගෙදරින් ප්‍රශ්නයක් නොවෙන නිසා එයාගේ නමත් ලිපිනයත් ‘අලුත් මිතුරාට’ ලියලා යැවිණි. 
එදා සිට අනෙක් තිදෙනාටත් වඩා උනන්දුවෙන් පිළිතුරු බලා හිටියේ මාය. 

ඊළඟ සතියෙම උත්තර ආවේය. එකෙන්ම අහලා තිබ්බේ ‘ඔයාට යාළු කොල්ලෙක් ඉන්නවාද?’ කියලාය.

අත් අකුරුත්, ලියුම ලියා තිබුණු විදියත් මගේ හිතට නම් ඇල්ලුවේ නැත. ඒත් ජයන්තිලාට නම් හරියටම හරිය. ඒ නිසා මගේ රාජකාරිය නැවතුණේ නැත.

ලොකුම ප්‍රශ්නය වුණේ ඒ හාදයාගේ හැම නීරස ලිපියකින්ම ජයන්තිගේ ෆොටෝ එකක් ඉල්ලලා එවීමය. “හැමදාම එක-එක දේවල් කියලා මඟ ඇරලා ඇතිවෙලයි තියෙන්නේ. ෆොටෝ.... ෆොටෝ... එක්කෝ ෆොටෝ එකක් යවමු..... නැත්තං නවත්තලා දාමු.” 

සති කීපයකින්ම මට ඕනෑවී තිබ්බේ ලිවීම නවත්තා දමන්නටය. හිතට තෘප්තියක් නොලැබේ නම් යමක් දිගටම කළ හැකිද? ඒ ගොබ්බ පෑනේ මිත්‍රයාව මට මැවී තුබුණේ මොනරෙක් විදියටය.

ඒ මෝඩ පෑනේ මිතුරාව මට මැවී තිබුණේ මොනරෙකු වගෙය............
මෝඩ මොනරා සෙබඩ ඉදිරියේ දර්ශනීය පිල් කළඹ විහිදන්නේ ආඩම්බරයෙනි. 

ඒත් එහෙම කරද්දී උගේ අධෝ මුඛය එළියේ බව ඌට කල්පනා වෙන්නේ නැතිලු! ලියන්නාගේ ලියුම්වලින් ඔහු පිළිබඳව මට දැනුණේත්.... එහෙම හාදයෙකු එක්ක ලියුම් ගනුදෙනුවෙන් මොන තෘප්තියක්ද?

“අනේ බං.... වෙන විදිහක් බලමුකෝ.” ජයන්ති පින්සෙන්ඩු වුණාය.
“හරි, එහෙනං මේ සැරේ ලියුම උඹ ලියහන්.”
“මම? ඌ බලයිනේ මේ  මොකද කියලා...”

“ඒකට කියනවා, මෙච්චර දවස් මං ලියුම් ලියවා ගත්තේ වෙන කෙනෙකුට කියලා, මගේ අත් අකුරු කැත හින්දා.... ඒත් කාටත් හොරෙන්, ඔයාත් එක්ක නිදහසේ හිතේ හැටියට අදහස් හුවමාරු කරගන්නයි මමම ලියන්න තීරණය කළේ කියලා.”

උත්තරේ ආවාම උඹලටත් පෙන්නන්නං, හැබැයි මං ලියපු එක නං බෑ!
මට දැනුණු හැටියට ඇත්තම ඇත්තත් ඒකය. සෙනෙවිට හෝ නන්දනීට හෝ නොකියාම, ජයන්තිට ඒ ඕනෑකම සපුරාගන්නට ඉඩදී නිදහස් වීමේ ඕනෑකමකුත් මට තිබිණි. 

ඉතින්, චුට්ටක් නහයෙන් අඬනවා මිස තදින්ම විරුද්ධ වීමක් නොකළ ජයන්ති තනියෙන්ම ලිපියක් ලිව්වාය; තැපැල් කළාය. 

“උඹලට උත්තරේ පෙන්නන්නං.... මං ලියපු එක නං බැහැ.” එයා අපට කිව්වේ එහෙමය.

ඉතිං ඊට පස්සේ............... ලබන කොටසට!

Tuesday, May 28, 2019

දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස

ආත්ම ගරුත්වයද, ජීවිතයද?
ඒ කියමන් දකින්නට ලැබුණේ 1971 ද, 1989 ද කියලා නම්.....
එදා මා හිටියේ ඔය දෙකින් එකක් තෝරාගන්නට සිදුවුණු මංසන්ධියකය. 1971 වසරේ දෙවෙනි භාගයේදීය. ‘මව්බිම නැත්නම් මරණය’, ‘දෙදණින් වැටී ජීවත් වනවාට වඩා දෙපයින් නැඟී සිට මිය යාම උතුම්ය’ වගේ කියමන් නිතර දකින්නට ලැබුණේත් ඒ කාලයේද, නැතිනම් ඊට අවුරුදු 18කට විතර පස්සේදැයි කියන එක නම් මට හරියටම නිච්චි නැත.

1970 රට පුරා දේශපාලන රැස්වීම් අමතමින් මඩ ගොහොරුවක පච වුණු’ මට හරිහමන් දේශපාලන දැක්මක් හෝ අවබෝධයක් එකල නොතිබිණි. මට තිබුණු ලොකුම; දැවැන්තම  දැවෙන ප්‍රශ්නය වුණේ ‘හෙට නොව  ඊළඟ වේලට අප කන්නේ මොනවාද?”යන ප්‍රශ්නයයි.  එය මිස කිසිම විප්ලවකාරී; දේශපාලනික සටන් පාඨයක් බලපෑවේ නැති බව නම් මට හොඳටම මතකය.

මට තදින්ම බලපෑවේ අපේ තාත්තා; දිසානායක හේවගේ ගුණපාල නිතර කියූ කියමනයි. ‘අම්මව දෙනවයි කිව්වා නම් තාත්තව ගස් බැඳලා හරි දීපන් පුතේ!’

මේ කතාවට එච්චර ලස්සන පොතකුත් ඈඳෙනවාට නම් මටම ලජ්ජා හිතෙයි!
අවුරුදු 17 වෙද්දීත්, මම ඒ අනුව කටයුතු කරන්නට පුරුදුවී සිටියෙමි. ඒකට හොඳම සාක්කිය මේ කතාවයි. ඒත්, ඒ එක්කම මේ කතාව නිමල් දිසානායකගේ හොඳම මෝඩකම්වලින් එකක් විදියටත් සනිටුහන් වෙනු නිසැකය. 
ඒ ගැන නම් මටත් ලජ්ජාය. ඊටත් වඩා දුකය. එහෙම වෙන්නේ මේ කාරණයට පොතකුත් ගෑවිලා තියෙන නිසාය. ඒ පොත මගේ ආදරය දිනාගත් එකක් වීම නිසා ඒ ශෝකය වඩාත් තීව්‍ර වෙයි.

පොත ‘වනගත ළමෝ’ය. කතුවරයා ආචාර්ය දොන් පීටර් පියතුමාය.

මා කියවූ පළමු නවකතාව ‘මරලත් මදි’ බවත්, ගැටයා කාලයේදීම ප්‍රංශ රස’ හා ‘මකුණා වැනි පොත් කියවූ බවත් හිතාදර රසික ප්‍රජාව දැනටමත් දනියි. ප්‍රංශ රස, මකුණා ඒ දවස්වල හැටියට හංවඩු ගැහී තිබ්බේ තිත්ත කුණුහරුප පොත් කියලාය. 

පොඩි එකෙකුට තියා මහ එකෙකුටවත් එළි-පහලියේ කාටත් පෙනෙන්නට තියාගෙන කියවන්නට බැරි ඒවා විදිහටය.

පස්සේ කාලයක ‘මිනිත්තු එකොළහේ කතන්දරය’, ‘ෂැන්හයි සොඳුරිය’, ‘නිර්නාමික ඝාතකයා’ වගේ පොත් ප්‍රකාශනය කෙරෙන විට, රාජකාරිය විදිහට ඒවායේ බරෙන් කොටසකට කර ගහන විට ප්‍රශ්නයක් නැඟුණේ මගේ හිතේය. 
‘විසේකාරි’ වගේ පොත් කියවද්දීත් ඒ ප්‍රශ්නය දෝංකාර දිදී තිබිණි.

කරඹ මල් පොකුරකට රෝස මල් පොකුරක්ය කිව්වොත් මට නම් ඒක කුණුහරුපයකි!
කුණුහරුප කියන්නේ මොනවාටද? සභ්‍ය-අසභ්‍ය සීමාව දක්වන්නේ කොහොමද?

මං ඒ වෙනකොටත් ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයේ, තරුණ ජනගහන කමිටුවට සම්බන්ධවී හමාරය; මානව ලිංගිකත්වය, ප්‍රජනනය හා පවුල් සැලසුම ගැන දේශන පැවැත්වීමට පුහුණුව ලබා හමාරය. රට පුරාම තරුණ-තරුණියන් ඉලක්ක කරගත් වැඩමුළු-වැඩ සටහන් හාර-පන්සීයක දේශනත් පවත්වා හමාරය
ඒ නිසාම, ඒ වෙද්දී ඕනෑම කුනුහරුපයක් සංයමයෙන් යුතුව, සභ්‍ය ලෙස- විදුහුරු වදන්වලින් ඕනෑම කෙනෙකු ඉදිරියේ කියන්නට පන්නරයක්ද ලබාගෙන සිටියෙමි.

එහෙම වුණත්, හිතේ කොනක අර ප්‍රශ්නය දිගටම විග්‍රහ වෙමින් තිබුණේය.

ලේඩි චැටර්ලීස් ලවර්, අයිස් වයිඩ් ෂට්, ෆිෆ්ටි ෂේඩ්ස් ඕෆ් ග්‍රේ වැනි චිත්‍රපට බලද්දී.....
‘වැල’ එහෙමත් නැතිනම් ‘නිල්’ බලලා, කෙල්ලන්ට පවා ඒවා බලාගන්නට උදව් කරලා, ඊටත් පසු කාලයක ‘Eyes Wide Shut’, ‘Fifty Shades of Gray’ වැනි චිත්‍රපට නරඹද්දීත් අර ප්‍රශ්නයම වෙනත් විදියකින් මගේ හිතට නැඟුණේය. 
කුණුහරුප ෆිල්ම්ස්තුත් තියෙනවාද?

හිතට හිතුණාට, ඒ ප්‍රශ්නවලට උත්තර කාගෙන් අහගන්නද? 

ඒ ගැන ප්‍රාමාණික දැනුමක් තියෙන; තිබුණත් අවංකව කතා කරන්නට කැමැති කෙනෙකුත් හම්බ වෙන්න එපැයි. අනේ, එහෙම කවුරුන්වත් ගැන ඔළුවට ආවේ නැති නිසා, මම මගෙන්ම අහගෙන - මමම විශ්ලේෂණය කොට, මටම උත්තර දීගත්තෙමි.

මගේ නිගමනය blue films ආශ්‍රයෙන්ම පහදන එක ලෙහෙසිය. නිල් චිත්‍රපට හදලා තිබෙන්නේ කතා රසයක් ගෙන දීමට නොවේ; මනුෂ්‍යත්වය ගැන එහෙමත් නැතිනම් සමාජයීය කාරණයක් ගැන කියන්නටත් නොවේ. 
තනිකරම ලිංගික කටයුතු විතරක් හැඟීම් කුප්පන ආකාරයෙන් ඉදිරිපත් කිරීමටය. ලිංගික කටයුතු; ලිංගික දර්ශන ඇතුළත්ව තිබුණත් ජීවිත විවරණයක් කෙරෙන චිත්‍රපටයක් කවුරුන්වත් හෙළා දකින්නේ නැත. ඒවා තේරුම් යන්නේ පස්සෙය; මෝරද්දීය.

නිල් චිත්‍රපට හදලා තියෙන්නේ...........
කෙනෙකු ජීවත්වන පරිසරය මෙන්ම; ඇසුරු කරන අය මෙන්ම; පරිශීලනය කරන පතපොත- කලා නිර්මාණ ආදියත් ඒ කෙනාගේ සිතුම්-පැතම්-ආකල්ප වෙනස් කරනවා නේද? 

ඉතින්, අර මුලින් කී පොත හතර දෙනෙකුට තදින්ම බලපෑවායි කිව්වොත්? හතර දෙනාම සූරයෝ නොවේ, බාල වයස්කාර ගැටවරයන්ය.

ඒ පොත කියවන කාලයේ අපේ ලොකු මල්ලී; සුනිල් ගෝඨාභය දිසානායකට අවුරුදු 15කි. ටැයියාට කීයදැයි මා දන්නේ නැත! කීය වුණත් මිනිහාත් අපේ පලේමය. 
මං පේව්මන්ට් එකේ රජවෙන කාලයේදී, දිනපතාම මා බලන්නට ඇවිත් ලින්ටන් දුන්නු චෝකොනට් පැකට්වලට වශී බෙහෙත් දාලා යැයි හිතාපු හැටි මතකද? 

ඒකෙන් ගැලවෙන්නට මං ඒවා කෑවේ මේ ටැයියාත්, සුනිල් මල්ලීත් එක්කය. ඒ දවස්වල අප ඒ තරම්ම ගජයන්ය. ඒ කල්ලියට මහතුන් හෙවත් දයානන්දත් එක්කාසු වුණේ පස්සෙය.

මහතුන් කිව්වේ අපේ ආච්චිගෙ අයියාගේ දුව; සුමනා පුංචිගේ පුත්තරයාටය. තව ඩිංගෙන් අපේ අම්මා වෙන්නට තිබ්බේ මේ පුංචි අම්මාය. 

මට තේරුම් ගිය හැටියට, එය වැරැදෙන්නට ඇත්තේ සුමනා පුංචි, පුංචි-කෙසඟවූ එකියක හින්දාය; පැහැපත් යුවතියක නොවුණු හින්දාය; හාව-භාව ලීලාවලින් තොර ගැටිස්සියක වුණු හින්දාය.
අපේ අම්මා දමිළ සිනමා නිළි සාවිත්‍රී වගේ ඇහැට-කණට පෙනෙන ගිනි කිරිල්ලියක වුණු හින්දාය. 

පුංචිගේ මඟුල හරි නොගිය නිසා වෙන්නට ඇති, ආච්චිගේ අයියලා රත්තනපිටියේ හිටියා වුණත්, අප උන්නාද මළාද කියලා බැලුවේ නැත. සුමනා පුංචිලා ආයෙම අපත් එක්ක ආපහු පෑහුණේ මහතුන්ලාගේ තාත්තා මියගියාට පස්සෙය!

අපේ අම්මාත් කෙල්ල කාලේ සාවිත්‍රී වගෙයිලු!
“අයියේ, උඹට රහසක් කියන්න තියෙනවා.” දවසක් අපේ සුනිල් මට කිව්වේ ටැයියාත්, මහතුනුත් දෙන්නාම ඉන්නා තැනකය. එක සැරේම මට අර දෙන්නාගේ මුහුණ බැලිණි. මොකක්ද යකඩෝ සුන්නාට මට කියන්න තියෙන රහස? ඊටත් තව දෙන්නෙකුත් ඉස්සරහ....

“රහසක්?”
“අපි ඒ රහස කියන්න ඉස්සෙල්ලා රංජි පොරොන්දු වෙන්න ඕනේ, ඔයා ඒක කාටවත්ම කියන්නෙ නැහැයි කියලා.” ටැයියා කිව්වේය. 
දැන් එකක් නං පැහැදිලිය. මං නොදන්නවා වුණාට මේ තුන්දෙනා දැනටමත් රහස දැනගෙන හිඳිති.

“කෝ, ඉතින් මහ ලොකු රහස?”
“ඉස්සෙල්ලා රංජි අයියා පොරොන්දු වෙන්න එපැයි.” මහතුන් කිව්වේය.

මට වැඩි බරක්-පතළක් හිතුණේම නැත. “හරි, හරි. ඔන්න පොරොන්දු වුණා.” මම කිව්වෙමි.
“එහෙම බැහැ. දිවුරන්න ඕනේ.”

“සත්තයි, ඔය රහස වෙන කාටවත්ම කියන්නෙ නැහැ!”

“එ එහෙම බ් බැහැ ර්ර්ර් රංජි අඅඅඅ අම්මපල්ලා කියන්න ඕනෑ.” ටැයියා කලබල වුණාම පොඩි ගොතයක් ගහයි.

සමහර බෞද්ධයන් කිසිම හිරිකිතයක් නැතිව 'බුදුන්පල්ල' කියලා වුණත්.....
සමහරු කිසිම හිරිකිතයක් නැතිව ‘අම්මාපල්ල’, ‘බුදුන්පල්ල’, ‘නේත්තරා දෙකපල්ල’ කියා දිවුරති. කට්ට-වෙට්ට පිත්තලයෝ නම් ‘මේස් දෙකපල්ල’ කියලාත්, දිවුරා ලිස්සා යති. දිවිරිල්ලට ඒ කාලේ පුදුම ගරුත්වයක් තිබුණේය. දැන් නම් ඒක නැත්තටම නැතිවී ගිහින්ය. එහෙම වුණේ පාර්ලිමේන්තුව, පළාත් සභාව, ප්‍රාදේශීය සභාව වගේ තැන්වල උන්නාන්සේලාත්, දේශපාලන පක්ෂත් වැඩිවෙන තරමට සාපේක්ෂවය.     

මොන පුදුමයක්ද මන්දා, මට මතක ඇති කාලයේ හිටම ඔය විදිහට දිවිරීම අරහංය. 

අපේ අම්මාට-තාත්තාට කියලාවත් මගේ මහ ලොකු ගරු කිරිල්ලක් නැති බව කියන්නේ උජාරුවෙන් නොවේ. හැබැයි, එයාලට අඩුවෙන් ගරු කරනවා වුණත්, හැබෑ සෙනෙහසින් යුතු දෙමාපියන්ට ගරු කිරීම මගේ සිරිතයි. ගරු කළ යුත්තන්ට ගරු කිරීම මගේ සිරිතයි. සමහර වෙලාවට ඒක නරුමකමක් ලෙසත් කෙනෙකුට පෙනෙයි.

“තමුසේ මහ නරුමයෙක් ඕයි. මෙච්චර ගෙයකුත් හදල දීපු අම්මා ගැන තමුසේ කොහොමද එහෙම කතාවක් කිව්වේ? තමුසෙගෙ අම්මා නේද.” 

අපේ මිත්තරයා නෙවිල් අනුරසිරි මගෙන් ඇහුවේ 1993 අප්‍රේල් 24 වෙනිදා උදේය; මගේ කටෙන් පැන්න වැකියක් හින්දාය. ඒක කියවුණේ ලලිත් ඇතුළත්මුදලි මහත්තයා ඝාතනය කරලා යැයි කියවුණු මොහොතේය. මං කිව්වේ මෙච්චරය. 

“අපේ අම්මා මළයි කිව්වත් මට මෙච්චර දුකක් දැනෙන එකක් නැහැ.”

එදා මං එහෙම කිව්වේ ඇතුළත්මුදලි මහත්තයා රටට අත්‍යවශ්‍ය; යමක් කළ හැකි බුද්ධිමතෙක් යැයි හැඟීමක් මට තිබුණු නිසාය! එච්චරය!! උන්නැහේ එක්ක මොනම විදිහෙවත් පයුරු-පාසනයක් තිබිලා හෙම නොවේ!!!

රටට වැඩක් කළ හැකි බුද්ධිමතෙක් විදිහට මං හිතාගෙන හිටියා...........
ඉතින්, මට එහෙව් නරුමකමක් තිබ්බත්, මුවෙන් නොව හිතින්වත් කෙනෙකුගේ ‘අම්මා මතක් කොට බණින’ සිරිතක් මට නැත. බුදුන්, දෙවියන්, දෙමව්පියන් හෝ ඇස් දෙක ගැන දිවුරන සිරිතක් මට නැත. ඒ මා ඒවාට ගරු කරන බැවිනි.

“ස්ටැන්ලි, මචං මං දන්නව අපේ අයියා ‘සත්තයි’ කියලා විතරයි දිවුරන්නේ. කීයටවත් වෙන දෙයක් කියලා දිවුරන්නේ නෑ.” අපේ සුන්නා එවෙලේ මට චරිත සහතිකයක් දුන්නේය. 

දැනුත්, මතක් වෙනකොටත් ලජ්ජාය. එහෙව් මලයාටය, මගේ පන්තියේ ළමුන්ට උගන්වා උලමා’ කියා අපහාස කෙරෙව්වේ! උලමා කියන එකත් ජාතිවාදී වෙන්නට පුළුවන් කාලයකි මේ. මෙතැන උලමාය කියන්නේ Spot Bellied Eagle ටය.

මට තවත් ලොකුම වැරදීමක් වෙලාය කියලා හිතෙන්නේ අවරුදු පනහකට විතර පස්සෙය. අද උදේ උලමාගේ ෆොටෝ හොයද්දීය. ස්පොට් බෙලීඩ් ඊගල් කැත සතෙක් නොවේ. උණහපුලුවා නම් කැතය. ඒ දවස්වල මං හිතාගෙන ඉන්නට ඇත්තේ උලමාත්, උනහපුලුවාත් දෙන්නාම එකෙක් හැටියට වෙන්නැතිය. මට අපේ සුනිලුත් පෙනුණේ කළුවට කැතටය.

“හරි, හ්හ්හ්හ්හරි. එහ්හෙනං උඹම කියපන්කො අයියට......” ටැයියා කට වහගත්තේය.
“අයියේ අපි ගෙදරින් පැනල යන්නයි හදන්නේ!”

“පැනල යන්න? කොහාටද? ඇයි?”
“රංජිට ගෙදර ඉඳලාම එපාවෙලා නැද්ද?”

එහෙව් සුනිල් මල්ලීටය, මං පන්තියේ සගයන් ලවා උලමා කියා අපහාස කෙරෙව්වේ!
දිග කතාවකට මුල පිරුණේ එහෙමය. ස්ටැන්ලිට හිටියේ එකම අක්කා කෙනෙකි. මල්ලිකා අක්කා. මං උදය’ ළමා සඟරාත්, ‘මැන්චෝසන් චාරිකා’ පොතත් ඉල්ලා ගත්තේ එයාගෙනි. එයාලගෙ තාත්තා; ‘පීතර මාමා’ දක්ෂ කාර්මික ශිල්පියෙකි. 

මට මතක හැටියට නං ‘ටැයියල තාත්තා’ වැඩ කළේ ‘වෝකර්ස්’ එකේද කොහෙදය. එයාලා අපේ ඉසව්වේ හිටි ඇති-පැති පවුල්වලින් එකකි. 
‘අජාසත්ත’ නාට්‍යය පෙන්වන දවසේ අපේ භෝජනයට කොස් ගෙඩි කිහිපයක්ම දුන්නේ ටැයියල අම්මා නුගේගොඩ ඇන්ටිය.

ඒ වගේ ඇති-පැති, සරු, අග-හිඟ නැති ගෙදරක ඉඳලාත් ටැයියා තුන්-හතර වතාවක්ම ගෙදරින් පැන ගිහින් හිටි බව ගමටම රහසක් වුණේ නැත.

ඊයේ හරිම අර්ථවත්, කාලීන පොස්ටුවක් මං දැක්කේ මුහුණු පොතෙනි. 

ඒ වෙලාවේ මට ඒක වැදුණේ යාන්තමටය. ‘පහු-පහුවෙන තරමට කොහු නොවී’ ඒක තවමත් හිතට වද දෙයි. ‘උන් මරාගෙන මැරෙන බෝම්බ ගහන්න එව්වේ කෝටිපති උපාධිකාරයෝ. අපි පාර්ලිමේන්තුවට එවන්නේ සාපෙවත් පාස් නැති එවුන්!’

අහිංසකයන් පවුල් පිටින්ම මරාගෙන මරන්නෙත් උපාධිකාරයන්ය. අප පාර්ලිමේන්තුවට යවන්නේ සාපෙවත්.....
හුඟ දෙනෙකු නැතැයි කියා තැවෙන දේවල් සේරම තියෙද්දී, ඒ සියල්ලත්- ජීවිතයත් හැරදමා යන්නට හිත දෙන්නේ ඇයි? ජීවිතයක අරුත අනුනුත් නසා දමා තමනුත් නසා ගැනීමද?

ටැයියාට ඕනේ වුණේ ගෙදරින් පැනලා යන්නට විතරය. ඊට කලිනුත් මිනිහා කරලා තිබ්බේ ඒකය. 

“අම්මා අල්මාරියේ යතුර හංගන තැන හොයාගත්තම හරි. ලාච්චුවේ තමයි සල්ලි දාන්නේ. අහුවෙච්ච ගණනක් අරන් ගිහින්, සල්ලි ඉවර වුණාම ආපහු ගෙදර එනවා. එතකොට ටික දවසක් යනකං අම්මලා බනින්නෙවත් නෑ. බයයි.... ආයෙම ගෙදරින් යයි කියලා.” ටැයියා අපට කිව්වේ උජාරුවෙනි.

“අපෝ, අපේ ගෙදර නං එහෙම වෙන්නෙ නැහැ. තාත්තා ගහල පන්නයි, ගිහින් ආයේ ආවොත්. ආපහු එන්න නං මොකටද පැනල යන්නේ?” එදාත් මට තිබුණේ එහෙම vision එකකි. විෂන් එකක් විතරක් නොවේ, මහන්තත්තකමකි.

රහස් සාකච්ඡා,සම්මන්ත්‍රණ වට ගණනාවක්ම පැවැත්විණි.
හතර දෙනාම සූරයන්ගේ සාකච්ඡා, සම්මන්ත්‍රණ වට ගණනාවක්ම පැවැත්විණි. 

ස්ටැන්ලිලාගේ වත්තේ තිබුණු කොහොල්ලෑ ලාවුළු ගහ  යටදී, වෙරළු ගහ යට අප හදාගෙන තිබුණු පිදුරු කුටියේදී, ළමා නිවාස වත්තේ ළිඳේ බැම්ම ළඟදී වගේ තැන්වලය. අනේ, දැන් විසල් ගෙවල් ඒ හැම තැනක්ම ගිලගෙනය. ඒ ඉඩම් සේරම කුට්ටි-කුට්ටිවී, උසම-උස තාප්පවලිනුත් වටවෙලාය. 

ඉස්සර අපේ ගෙදර ඉඳන් ටැයියලාගේ වත්තට ගියේ ළමා නිවාස වත්ත උඩිනි. කම්බි ගහලා තිබුණු වැටවල් දෙකේම, කම්බි පොටවල් එකට ඈඳා රිංගන තැනුත් තිබුණේය. ඒ අපේ ලෙහෙසියටය!

මට මතක හැටියට නම් සුනිල්, ටැයියා දෙන්නාම එකිනෙකාට අඬගසා ගත්තෙත් උරුවම් බාන විදියකිනි; විසිල් එකකිනි. එතකොට කිව යුතුය, මට ඒ කාරිය බැරිය!

ඔහොම යද්දී අපේ පලා යාමට පළමු බාධකය;පළමු කඩුල්ල ආවේය. 

මහතුන්ලා ආයෙත් ආච්චිලගේ ගෙදරින් ගියෝය. “අපේ ළමයින්ගේ තාත්තා නැති වුණාට නැන්දේ, මෙහාටම වෙලා හිටියොත් බැහැ. තියෙන දෙයක් වුණත් මුන් දෙන්නට ඉතිරි කරගන්න බලන්න එපාය. නැද්ද රංජි පුතේ.”

ගැමුණු කුමරු කඩුව හැංගු දෙහෙදු කඩුල්ල හෝ ක්‍රිකට් කඩුල්ල හෝ වැන්නක් නොවේ අපේ ගමනට බාධක වුණේ. 
සුමනා පුංචිට ඔළු බාසාවෙන් උත්තර දුන්නත්, ටිකක් ඈතින් ඉන්නටය අප පුරුදුවී හිටියේ. ඒ අංගනාව යමක් කියලා ඉවර වෙද්දී හිනාවකුත් එකට එකතු කරයි; හිනාව එක්කම තව දේකුත්. කෙනිත්තිල්ලකුත්! මෙච්චර කාලෙකටම, එහෙම පුරුද්දක් තියෙන කෙනෙකුට මං දැක තියෙන්නේ සුමනා පුංචි විතරය! 

අදට මදැයි, නේද? තව ගොඩක් කියවමුකො අනෙක් කොටසෙන්.......