.... ඒ අතරේම බලන්නකෝ ‘වී වේළිලාද?’ කියලත්.
වී = බැත, වේළිලා = හිඳිලා. බැත හිඳිලා = හිත බැඳිලා! |
පහුගිය පෝස්ටුවෙදී මං කිව්වා මතකද? ඒ වගේ තුන් තේරවිලි තිබ්බේ අපේ අම්මලා
කෙල්ලෝ කාලයේය. වී = බැත, වේළිලා = හිඳිලා. බැත හිඳිලා = හිත බැඳිලා! ඒක දැනගෙන උත්තර
දී තිබුණත්, රෝද දෙකේ රස්තියාදුවේ මද්දා ගැටවර වයසේදී නම් ඔහොම තුන් තේරවිලි
අහන්නට නැතිව ඇතිය. මධූ, ඔයාලගේ කාලේ වෙද්දී සෙනෙහෙ කොළත් expired වෙන්නැති නේද?
SMSද යැව්වේ?
පෑනේ මිතුරු-මිතුරියන් එක්ක හුටපට හදාගන්න වයසේය එතකොට අප නම් හිටියේ.
පෑනේ....
‘ටිකක් හිටහන් යෝධයෝ! මතක් වෙන පළියට කොටන්න යන්න එපා. සීරුවෙන්,
පිළිවෙලකට..... තමුසේ කියාගෙන ආවේ පළවෙනි වතාවේ ඩයි කරපු ගමන් තමුසෙ නිසා, සෝමා
අම්මෙලට පාඩුවක් වෙච්චි විදිහ. ඒක කියලා ඉවර වෙලා කියනවා පෑනේ මිත්තරයෝ ගැන.’
නිමල් දිසානායකගේ බුද්ධින්ද්‍රියට මළ පැනලා, නිදිගෙ හිස මුඳුනටම පත ටොක්කක්
ඇන්නේය! ඌයියා!! ඔළුව ගෙඩි ගැහුණු තරම්ය.
ගොන් සිරස මුඳුනටම පත ටොක්කක්................ |
ඉතින්, මං කියාගෙන ආ හැටියටම නිහාමුගෙ ordersවලට අනුව රෙට්ටෙට ගණන් හදලා,
කිරලා, දිය කරලා, ඩයි දාලා ඉවර වුණේය.
නිහාමු උඩට යන්නටත් කලින්ම සෝමා අම්මෙත්,
ඇසිලින් අම්මෙත්, ජයන්තිත් විතරක් නොවේ, ඈනුත් රෙදි පොට්ටනි පිටින් අරගෙන ගරාජයට
කඩා වැදුණෝය. හිස් අත්වලින් යුතුව හිටියේ සෙනෙවිත් මාත් විතරය.
යුද්ධයක් පටන් ගත්තේය.
ඉටි කළ රෙදි ඩයි දමා ඉවර වුණත් ඩයි බාත් දෙකේම සැර අඩුවෙලා නැත. නිර්දේශ
කරලා තියෙන ප්‍රමාණයට වඩා රෙදි තොගයකට ඩයි
දමාගත්තොත් වාසියක් වෙන බව නිහාමු හිතා බලලා තිබ්බේ නැත. ඒකෙන් වාසිය ගත්තේ අර
හමුදාවේ කට්ටියයි.
අව පැහැ ගැන්වුණු පරණ චීත්ත, සාරි, කොට්ට උර..... කොහෙන් හොයන්
ආවද මන්දා? එයාලා කල් තියාම ඒවා සූදානං කරගෙනය. ඉතිරිවී තිබුණු බාත් දෙකෙන් ඒ
හැමෝගෙම, රෙදි සේරම ඩයි කරගන්නටත් පුළුවන් වුණේය!
බතික් කර්මාන්තයේදී ඉතාම ජනප්‍රිය බිත්ති සැරසිල්ලකි 'පෙරහරේ ඇතා'......... |
“හාමු, අනිත් දවසේ අපි ඩයි කරනකොට වැඩිපුර රෙදි ටිකක් ලැහැස්ති කරගෙන
ඉඳිමු. හදිස්සි ඒවා විතරක් නෙවෙයි.... අමතර ටිකකුත්. එක පාරම ඒවා තෙමන්නේ නැතිව, ඩයි
බාත් දෙක වීක් වෙනකල් රෙදි ටික-ටික තෙමලා අරන් ඩයි දාන්න බලමුද?”
පහුවදා මං නිහාමුගෙන් ඇහුවේ වැඩි හොඳක් කරන්නටය. “Yes නිමල්. බ්‍රිලියන්ට්.
අපි නෙක්ස්ට් ඩේ ඉඳලා එහෙම කරමු.”
ඒකෙන් නිහාමුට ලාභයක් වුණේය. “ඔය ළමයා හින්දා, අපේ පරණ රෙදි ටිකකටත් පාට
දාගන්න බැරිව ගියානේ, දෙවෙනි හාමුට වාසි වුණාට!” සෝමා අම්මේ කියන තුරුම මට ඒ පැත්ත
පෙනිලා තිබුණේ නැත.
ඔහොම අවාසි දේවල් පවා වුණත්, අපි-අපි අතරේ ලොකු නොහොඳ නෝක්කාඩු නම් ඇති වුණේම නැත.
නිහාමුගේ බතික් වියාපාරයත් වාසි විදිහට කෙරීගෙන ගියේය.
“නිමල්, ජයන්තිලගේ වත්තෙන්ම
ගෑනු ළමයෙකුව බතික් වැඩට ගන්නයි හිතුවේ. දැන් සේල්ස් වැඩියි. ඔයාට විතරක් සේරම wax
කරන්න බැහැනේ. ඔයා තමයි, ඒ ළමයටත් පුරුදු කරවලා ගන්න ඕනේ...... තව, අපේ අම්මා මට
කිව්වා ඔයාගේ පඩිය වැඩි කරන්නත්. මේ මාසේ ඉඳලා ඔයාට දවසකට දෙකයි පනහක් දෙන්නම්.”
නිහාමු කීවේ මං එහාට ගිහින් දෙමාසයක් යන්නටත් කලින්ය.
wax කරන්න තව ළමයෙක් ගන්නයි හදන්නේ............ |
නන්දනී එහාට ආවේ එහෙමය. මං අනුන්ටත් බතික් කියා දෙන උපදේශකයෙකු වෙන්නට මුල
පිරුණෙත් එහෙමය. ඒ වගේම ඈන්ව පෙන්නන්නට බැරි කල්ලියට තවත් සාමාජිකාවක් එකතු වුණෙත්
එහෙමය.
“සෙනෙවි, උඩ කාමරේ හොඳට ලැස්ති කරපං.....” සීහාමු දවසක් ගරාජයටම ඇවිත්
සෙනෙවිට වැඩක් පැවරුවාය. මට පෙනුණේ කොල්ලගේ ඇට්ටර මුහුණයි.
සීහාමුට හොරෙන් සෙනෙවි ඉඟි මරා - ඇස් නටවා
පෙන්නුවේය. සීහාමු ගියා විතරය. නන්දනී කරමින් හිටි වැඩේ නැවැත්තුවාය.
“මොකක්ද
උඹලගේ හොරේ? මං දැක්කා. මටත් කියපල්ලකෝ.”
එහෙම දෙයක් නන්දනී වගේ කෙල්ලෙකු එක්ක කියන්නට පුළුවනිද? සෙනෙවි වගේ එකෙක්. අඩු
අං තට්ටුව විතරය. මේ කෙල්ල මෙතැන ඉන්න බවත්, මේ මී හරකා අමතක කළානේ. “සෙනෙවිගෙන්ම
තමයි අහගන්න වෙන්නේ...” මට තරහෙන් කියැවුණේ නන්දනීගෙන් ගැලවිල්ලක් නැති තැනය.
“අනේ නන්දනී, ජයන්ති දන්නවා. එයාගෙන් අහගන්නකෝ. හැබැයි හොරෙන් අහන්න .... පිං
සිද්ධ වෙයි, කාටවත්ම ඇහෙන්න නං අහන්න එපා. නිමල්ට මං පොරොන්දු වෙලයි ඉන්නේ බඩුවක්
ගෙනත් පෙන්නන්න! හෙට උදේට ඔයාටත් පෙන්නන්නම්කො”
සෙනෙවි ගොරකා මල්ලට දෙමල්ලක්
දෙන්නට පොරොන්දු වුණේ එහෙමය.
සෙනෙවිට අඩු අං තට්ටුවක් විතරය! |
නන්දනී ජයන්තිගෙන් අහගන්නට ඇතිවා වෙන්නැතිය, එදා දවසෙම හිටියේ හිර කරගත් හොර
හිනාවකින් යුතුවය.
පහුවදා උදෙන්ම සෙනෙවි, කඩදාසි කෑල්ලක මොනවාදෝ ගුළි කරගෙන ආවේය; දිගෑරියේය.
වීරයෙක් වගේ දෑතම ඉණට තියාගෙන ඔජ වැඩුවේය.
ඒ ගෙදර තට්ටු තුනකි. තුන්වෙනි තට්ටුවේ කාමරය නිතර පාවිච්චියට ගැනෙන්නේ නැත.
“xxx හාමු එන දවසට එයා නිදියන්නේ ඒකෙ. රෑ වෙද්දී රුහාමුත් ඒකට යනවා.....” (xxx
හාමු කිව්වේ රුහාමුගෙ පෙම්වතාටය).
සෙනෙවි ඉතිරි හරිය කියන්නේ නැත. ඇස් නටවා, අතින්
කට වසාගෙන ඉඟි කරයි. “වනචරයා.... හිටපන් මම දෙවෙනි හාමුට කියන්නං උඹේ වල්කම.”
ජයන්ති කඩා පැන්නාට ටිකකින් සෙනෙවිත් එක්ක එකට එකතුවී දොඩමළු වෙයි. මුළු පට්ටන්දරයම දිගාරියි. ඉතින්, නන්දනීටත් හරිම ප්‍රශ්නයක් ඇති වෙලාය!
ඒයි, දැන්මම ඒ ජෝඩුව එහෙම නං කසාද බැඳ දවසේ ඉසදියට.... |
“බොරැල්ලේ වත්තක වෙලත්, අපේ එවුන්වත් ඔහොම නැහැනේ බං.”
ජයන්ති කිව්වා හරිය.
දෙවෙනි තට්ටුවේ එකම නිදන කාමරයක් බෙදා-හදාගෙන හිටි
අක්කයි-නංගියි දෙන්නා එයාලගෙ පෙම්වතුන් එන දවසට ඔවුන් සමඟ උඩ තට්ටුවට යන්නටය
පුරුදුවී හිටියේ.
“එතකොට දෙන්නම එකම දවසක ආවොත්, මොකද කරන්නේ? වෙන කාමර තියෙනවයැ?”
කුතුහලය දැඩි නිසාම මම ඇසුවෙමි.
එයාලා එච්චර මෝඩයි කියලද උඹ හිතන්නේ? |
“එයාලා උඹ වගේ නෙවෙයි බං. අපිට වැඩිය ලොකුයිනේ.... මේ වතාවේ රුහාමුගෙ එක්කෙනා ආවා නං, ඊළඟ සැරේ
එන්නේ නිහාමුගේ එක්කෙනා. දෙගොල්ලෝ දවස් බෙදාගෙනයි ඉන්නේ.”
ඒ වෙද්දී living together කියා යෙදුමක්වත් තිබිණිද? විවාහයට
පෙර ලිංගික සබඳතා පැවැත්වීම කොහෙත්ම අනුමත නොකරන සමාජයකි එදා තිබ්බේ. එහෙත් කොළඹ
හතේ, කුරුඳුවත්තේ සමාජයට එදා ඒවායේ අරුමයක් නොතිබිණි. අපට නම් එදා ඒවා මහම අරුමයක්
විණි!
පෙම්වතුන් ජෝඩුව රාත්‍රිය ගත කළ කාමරය අතුගාන්නට යන සෙනෙවි, පරෙස්සමෙන් කඩදාසියක
ගුළි කරගෙන ගෙනෙන මයිල් ගස් ටිකත් එදා අපට අරුමයක් විණි.
අද ඉන්නා ගැටවර-ගැටවරියන්ට
ඒවා කොහොම දැනේවිද?
ඔන්න ඔහොම ඉන්නා දවසකය අපේ ඊළඟ වික්‍රමයට පොට පෑදුණේ!
“මේ... මට අපේ ඉස්කෝලේ ළමයෙක් දුන්නා පෑනේ මිතුරකුගේ ඇඩ්රස් එකක්. ඒකි
කොල්ලෙක් එක්ක ලියුම් ලියාගන්නවා. උගේ යාළුවෙකුටත් කෙල්ලෙක් හොයනවලු. ලියමුද?”
“ඉතින් උඹට ලියන්න ඕනේ නම් ලියපං. අපට කිය-කිය ඉන්න ඕනයැ.”
මගේ අත් අකුරු ගැහැනු ළමයෙකුගේ වගෙයිලු! |
“අනේ නන්දනී... එහෙම කියන්න එපා බං. නිමල්, මොකද කියන්නේ... ලියමුද? උඹට
තමයි ලියන්න වෙන්නේ....උඹේ අකුරු ලස්සනයිනේ, අපි තුන්දෙනාටම වඩා. ලියමුද කියපන්කො ....”
මිලට ගන්නා පොත්වල අයිතිය තහවුරු කරන්නට මං ඒවා හංවඩු ගැහිල්ල කළේ ටික
කාලයක් විතරය. හණ ගහලා තිබුණත්, සමහරු පොතක් ඉල්ලාගෙන ගියත් ආපහු නොදෙති. ඒ විජ්ජාවෙන්
හොඳම පොත් ටිකක් අහිමි වුණාට පස්සේ මා කළේ නම-ලිපිනය ලිවීම නවතා දමා, බහිරවයෙකු
වීමය.
දැන් නම් මගේ පොත් කාමරය කිසිවෙකුට පෙන්වන්නේවත් නැත.
ඒ, ඒක පිස්සිගේ පලා
මල්ල වගේ පිළිවෙල හින්දාය. ඇඩ්‍රස් ලියන එක නැවැත්තුවේ නැතිනම් මගේ ‘කාල නිර්ණ
වැඩවලට’ පොතුත් උදව් කරගන්නට තිබිණි. අපරාදේ!
මගේ අතීතය ගැන 'කාල නිර්ණය' කරගනිද්දී............ |
වනගත ළමෝ පොත මං අරන් තිබුණේ 1970 ටත් ඉස්සරය. ඒ කාලයේ අපේ ලිපිනය අංක 69 යි. ගෙදර
වෙනස් නොවී එහෙමම තියෙද්දී, ගෙයි අංකය 189/62 වුණේය. ඒ අවුරුදු දෙක තුනකට පස්සෙය.
එහෙම වෙනස් කරන්නට ඇත්තේ ගෙවල් වැඩි වන විට වෙන්නැතිය.
ලස්සනට, පැහැදිලිව අකුරු ලියනකොට හුඟක් අය කියන්නේ ඒවා ගැහැනු ළමයෙකුගේ
වගෙය කියලාය. අපමණ පිරිමි හැඩ, ලස්සන අකුරු ලියති. සාක්කියක් නැතිවම බැරි නම් මෙතැනටත් ගිහින් බලන්නකො ඕන්නං.
ඉතින් අප හතර දෙනාගේ ගැරේජ් කැබිනට්ටුව තීරණය කළේ ලියුම් ගනුදෙනුව පටන්
ගන්නටය.
ජයන්ති වෙනුවට, ඇයගේ නමින් ලියන්නේ මාය. ලියුම් කවරයට හා මුද්දරයට යන
වියදම මාරුවෙන් මාරුවට අනෙක් තිදෙනා දරනු ඇත.
“ඔව්, ඔව්. උඹ ලියුම ලියන්නත් මහන්සි
වෙනේකේ සල්ලිත් වියදං කරන්න ඕනේ නැහැ. හැබැයි නිමලෝ..... පැණි බේරෙන්න මගෙ සුදෝ
කියලම ලියහං.”
“උඹට පිස්සුද? කෙල්ලෝ එක පාරම එහෙම කියනවද .... කොල්ලට ඉස්සර වෙන්න දෙමු...
ඌ මොන වගේ එකෙක්ද කියලවත් තවම දන්නවය.
මගෙ සුදෝ! වෙන මොනවත් නැද්ද? මාළුවෙකුට
වුණත් දාන ඇම ගිල්ලාට පස්සේ යන්න ඇරලයි ඇදල ගන්නෙ.”
පැණි බේරෙන්න මගෙ සුදෝ කියලම ලියපං! |
“ඔය තියෙන්නේ මොළේ.... උඹ ඉතින් මොළකාරයානේ. අනේ බං අදම ලියමුකො. මේ, ඒක
නෙවෙයි.... ඇත්තටම උඹ කාටවත් ලව් ලෙටර් ලියල නැද්ද?”
“ඒකෙන් වැඩක් නැහැනේ... බලපල්ලකො ලිව්වම හොඳද කියලා!”
මගේ හසුන බලා ඒ තුන්
දෙනාම හීල්ලූහ. ජයන්තිලාගේ ගෙදරින් ප්‍රශ්නයක් නොවෙන නිසා එයාගේ නමත් ලිපිනයත්
‘අලුත් මිතුරාට’ ලියලා යැවිණි.
එදා සිට අනෙක් තිදෙනාටත් වඩා උනන්දුවෙන් පිළිතුරු බලා
හිටියේ මාය.
ඊළඟ සතියෙම උත්තර ආවේය. එකෙන්ම අහලා තිබ්බේ ‘ඔයාට යාළු කොල්ලෙක්
ඉන්නවාද?’ කියලාය.
අත් අකුරුත්, ලියුම ලියා තිබුණු විදියත් මගේ හිතට නම් ඇල්ලුවේ නැත. ඒත් ජයන්තිලාට
නම් හරියටම හරිය. ඒ නිසා මගේ රාජකාරිය නැවතුණේ නැත.
ලොකුම ප්‍රශ්නය වුණේ ඒ හාදයාගේ හැම නීරස ලිපියකින්ම ජයන්තිගේ ෆොටෝ එකක්
ඉල්ලලා එවීමය. “හැමදාම එක-එක දේවල් කියලා මඟ ඇරලා ඇතිවෙලයි තියෙන්නේ. ෆොටෝ....
ෆොටෝ... එක්කෝ ෆොටෝ එකක් යවමු..... නැත්තං නවත්තලා දාමු.”
සති කීපයකින්ම මට ඕනෑවී
තිබ්බේ ලිවීම නවත්තා දමන්නටය. හිතට තෘප්තියක් නොලැබේ නම් යමක් දිගටම කළ හැකිද? ඒ
ගොබ්බ පෑනේ මිත්‍රයාව මට මැවී තුබුණේ මොනරෙක් විදියටය.
ඒ මෝඩ පෑනේ මිතුරාව මට මැවී තිබුණේ මොනරෙකු වගෙය............ |
මෝඩ මොනරා සෙබඩ ඉදිරියේ දර්ශනීය පිල් කළඹ විහිදන්නේ ආඩම්බරයෙනි.
ඒත් එහෙම
කරද්දී උගේ අධෝ මුඛය එළියේ බව ඌට කල්පනා වෙන්නේ නැතිලු! ලියන්නාගේ ලියුම්වලින් ඔහු
පිළිබඳව මට දැනුණේත්.... එහෙම හාදයෙකු එක්ක ලියුම් ගනුදෙනුවෙන් මොන තෘප්තියක්ද?
“අනේ බං.... වෙන විදිහක් බලමුකෝ.” ජයන්ති පින්සෙන්ඩු වුණාය.
“හරි, එහෙනං මේ සැරේ ලියුම උඹ ලියහන්.”
“මම? ඌ බලයිනේ මේ මොකද කියලා...”
“ඒකට කියනවා, මෙච්චර දවස් මං ලියුම් ලියවා ගත්තේ වෙන කෙනෙකුට කියලා, මගේ
අත් අකුරු කැත හින්දා.... ඒත් කාටත් හොරෙන්, ඔයාත් එක්ක නිදහසේ හිතේ හැටියට අදහස්
හුවමාරු කරගන්නයි මමම ලියන්න තීරණය කළේ කියලා.”
උත්තරේ ආවාම උඹලටත් පෙන්නන්නං, හැබැයි මං ලියපු එක නං බෑ! |
මට දැනුණු හැටියට ඇත්තම ඇත්තත් ඒකය. සෙනෙවිට හෝ නන්දනීට හෝ නොකියාම,
ජයන්තිට ඒ ඕනෑකම සපුරාගන්නට ඉඩදී නිදහස් වීමේ ඕනෑකමකුත් මට තිබිණි.
ඉතින්, චුට්ටක්
නහයෙන් අඬනවා මිස තදින්ම විරුද්ධ වීමක් නොකළ ජයන්ති තනියෙන්ම ලිපියක් ලිව්වාය;
තැපැල් කළාය.
“උඹලට උත්තරේ පෙන්නන්නං.... මං ලියපු එක නං බැහැ.” එයා අපට කිව්වේ
එහෙමය.
ඉතිං ඊට පස්සේ............... ලබන කොටසට!