අකුරු මැකී නෑ

Friday, June 21, 2019

මාතර තානායමේ අමු හෙලුවෙන්...... - පළමුවෙනි කොටස

“.....ටහුකන්න.  #$%&* ගලෝපියව් සේරම ඇඳුම්!”

නිරුවත් වෙනවාටත් වැඩියෙන් මං බයවුණේ පිටස්තර කවුරු හරි එතැනට ආවොතින්.....
ඇඳුම් ගලවන්න? මම හොඳටම බය වුණෙමි. සරම ගලවා දමා නිරුවත් වෙනවාටත් වඩා බය හිතුණේ පිටස්තර කවුරු හරි එතැනට කඩා වැදෙති කියලාය! z අයියාගේ ගෝරනාඩුව කාමරයෙන් පිටතටත් ඇහුණා වෙන්න ඕනෑය. ඒ තරම් සද්දෙටය z අයියා කෑ ගැහුවේ.

එයා එහෙම කෑගැහුවේ නිරුවත් කොට වධ-බන්ධන පමුණුවන්නට නොවේ! එච්චර කාලයකට අපෙන් කාටවත්ම z අයියා පරපීඩක කාමුකත්වයෙන් පෙලෙන්නෙකු බවට ලකුණක්වත් පෙනිලා තිබ්බේ නැත.

“කොහෙද ඉන්නේ කියලාවත් මේ යක්ෂයාට කල්පනාවක් නැති හැටි!” අප ඉන්නා තැන ගැන  z අයියාට නිනව් නැති වෙලාය. ඒ අමර පදම් වෙලා හිටි හින්දාය. සමහර දවසට එහෙම වෙයි. එයාට විතරක් නොවේ; k අයියාට, w අයියාට, v ටත් වැදිලාය. එතැන හිටි අයගෙන් එදා නොබී හිටියේ aj, ak, m හා මේ මාත් විතරය. pp ත්, uj ත් ua ත් එතැන හිටියාද කියලා මතක නැත.

එවෙලේ අප හිටියේ මාතර තානායමේ කාමරයක් ඇතුළේ අපේම.................
අප හිටියේ මාතර තානායමේය! තානායමේ කාමරයක් ඇතුළේ අපේම ලෝකයකය.

ඒ 80 ගණන්වල මැද හරියේ දවසකය. තරුණ නායකත්ව වැඩ සටහනකට සම්පත් දායකයන් විදිහට ගිය ගමන්ය. එතකොට ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයේ, තරුණ ජනගහණ කමිටුවේ (Youth & Population Committee – youth කියාලය අප කියාගත්තේ. ජාතසේ පිහිටෙව්වාට පස්සේ අප වැඩියෙන් භාවිත කළේ YPC නමය; ජාතික තරුණ සේවා සභාවට ‘යූත්’ නම සින්න වුණාමය.) ක්‍රියාකාරී සාමාජිකයන් වුණේ අපය. එහෙම නොවුණු අනුකමිටු සාමාජිකයෙකුත් එතැන හිටියේය. ඒ v ය.

නිලතල- ජ්‍යෙෂ්ඨත්වය වගේ දේවල් ඔහොම වෙලාවට අප අතර තිබුණේම නැත. ඒවා සේරම කමිටු රැස්වීම්වලටත්, තීරණ ගත යුතු තැන්වලටත්, වැඩ සටහන් පැවැත්වෙන වෙලාවටත්  විතරය.

අනේ, හැම තැනකම එහෙම වෙනවා නං.... මට හිතෙන්නේ එහෙමය. රජෙක් වෙන්නෙත් රටේ පුරවැසියෙකි. තප්පු ලෑවාට, පුප්පා හැඬලුවාට නායකයෙකු නොවේ. නියම නායකයෙකුට වුණත් පමණට මිස, ඕනෑවට වඩා ගරුබුහුමන් කළ යුතුද? එයා මෙලොව එළිය දකින්නෙත් මවගේ යෝනි මඟ ඔස්සේ මිස මහ බඹාගෙ මුඛයෙන් නොවෙයිනේ!

හයියෙන් තප්පු ලෑවාට; හැඬලුවාට නායකයෙක් වෙනවාද?
ගරු කරනවාය කියන්නේ දණින් වැටී වඳින-පුදන එකටය කියලාය අපේ හුඟාක් අය හිතන්නේ. දෙපතුල ළඟ වැටී ඉඳීමට, සෙරෙප්පු සුප් හදාගෙන බීමට, කියන ඕනෑම දෙයක් ඉස්මුදුනෙන් පිළිගැනීමට ලැහැස්ති උප නායකයන්ය අපේ මහජනතාවට හිටියෙත්; ඉන්නේත්.

තරුණ ජනගහණ කමිටුවේ  Founder මෙම්බර්ස්ලා ඉතාම අනර්ඝ පදනමක් දමා තිබුණෝය. FPA එකේ විධායක අධ්‍යක්ෂ දයා අබේවික්‍රම මහත්මයාත් නියම මඟ පෙන්වීමක් කොට, නිසි පමණට විතරක් ‘අත’ දමා තිබිණි. (මගේ දැනීම හරි නම්) පස්සේ කාලෙක අග්‍රාමාත්‍ය ලේකම් තනතුරත් හෙබවූ හැරල්ඩ් පීරිස්, ආචාර්ය අනිල් විතාරණ, වෛද්‍ය එච්.එස්.කේ. විමලරත්න, ලාල් හේවාපතිරණ, නන්ද පී කළුතන්ත්‍රි වගේ කිහිප දෙනෙක් ඒ අත්තිවාරම දමන්නට හවුල්වී තිබිණි.

(දයා අබේවික්‍රම මහතා, මාතර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුවූ කීර්ති අබේවික්‍රම මහතාගේ ළඟම ඤාතියෙකි. 1987 අගෝස්තු 18 වෙනිදා පාර්ලිමේන්තුවේ සිදුවුණු බෝම්බ පිපිරීමෙන් කීර්ති මහතා අභාවප්‍රාප්ත වුණේය.)

Family Planning Association (FPA) වෛද්‍ය අධ්‍යක්ෂිකා දොස්තර ශ්‍රියානි බස්නායක, මහාචාර්ය නන්දදාස කෝදාගොඩ, ප්‍රකට ජනමාධ්‍යවේදී එඩ්වින් ආරියදාස වැනි උගත්, බහුශ්‍රැත පිරිසකගේ දායකත්වයත් ඒ කාලයේදී තජකයට ලැබෙන්නට ඇතැයි මට හිතේ. ඒ 1979 දී මා එතැනට සම්බන්ධ වන විටත් ඒ අයගේ ඇසුරට වැටෙන්නට; ගුරුහරුකම් ලබන්නට; ඔවුනගේ අත්දැකීම්වල මිහිර විඳගන්නට හැකිවූ බැවිනි.

තජකයේ නායකත්වය පරවේණියට සින්න වුණේ නැත. ඉහළ තනතුරක් දැරිය හැක්කේ එකවරකි; එක වසරකටය!
තජකයේ නායකත්වය කාගේවත් පරවේණියට ගියේ නැත. ‘ඊළඟ පරම්පරාව අතට යෂ්ටිය දෙන්නට’ තිරසාර නීති-රීති පද්ධතියක් මුලදීම පනවා තිබිණි. ...එයින් ටිකාක් විතර කියනවා නම් මෙහෙමය.

අහසින් වැටී කමිටුවට ඇතුළු වෙන්නට බැරිය. දස්කම් පෙන්වා, ස්වේච්ඡාවෙන් වැඩ කර; අත්දැකීම් ලැබිය යුතුය. ක්‍රියාකාරී කමිටු සාමාජිකයන්ගේ අනුමැතිය ලැබිය යුතුය. කෙනෙකුට ලේකම් ධුරය නොදරා සභාපති ධුරයට පත්විය නොහැකිය. ඒ ධුර දැරිය හැක්කේත් එක වරකි. එක වසරක් සඳහා පමණි! ඒ තරම් ප්‍රජාතන්ත්‍රවාදීකමක් youth එකේ තිබුණාට FPA එකේවත් තිබ්බේ නැත.

මේවා ලියන්නේ රටක් පාලනය කරන්නට දත කන- රටක අනාගතය තීරණය කරන්නට සැරසෙන අපේ කිසිම දේශපාලන පක්ෂයක හෝ ව්‍යාපාරයක ඇතුළේවත් එවැනි ප්‍රජාතන්ත්‍රවාදයක් නැති බැවිනි. (මෙන්න, ගන්නවා නම් පූර්වාදර්ශයක්.)

මුලින්ම තමුන් නොහැදී අනුන් හදන්නට එන අයට ඡන්දය දෙන්නටය අපට සිදුවී ඇත්තේ. ඒකෙන් වෙලා තියෙන්නේ ‘ඉන්දියන් සාගරයේ මුතු ඇටය’ නමේ තුන්වෙනි කොටස මුලට ‘අ’ අකුරක් එකතුවෙන එකය. දිගටම, මෙහෙමම ගියොත් නම් ඒකෙන් ‘අ මු’ අකුරු දෙකම හැළී ගිහින් ‘හු’ අකුර එකතු වෙන්නට ඉඩ තිබේ!

මෙහෙම ගියොත් නම් 'අමුතු ඇටයේ' අ මු අකුරු දෙක හැළී ගිහින් 'හු'අක්ෂරය ඒකට......
මේ ලියන්නා ඉතාම ආඩම්බරයෙන් ‘තමන්ගේ හොරණෑව තමුන්ම පිඹ ගනියි’. ඒ අවුරුදු හතරක් වැනි කෙටි කාලයකින් එවැනි තැනක (තජකයේ) නායකත්ව හිණිමඟේ ඉහළටම නැඟීමට සමත්වීම ගැනය.

හැබැයි, එහෙම වුණේ මං කාටවත් මුට්ටිය ඇල්ලූ නිසා නොවේ; පක්කලි සර්විස්; ps කළ නිසාත් නොවේ. වැඩ පෙන්වූ නිසාය. දිග කතාවක් කෙටියෙන් කියනවා නම් ‘උඩවැඩියා වගා පාඨමාලාව’ හදාරන්නට ගිහින් විශිෂ්ඨ සාමාර්ථයක් ලබා, ඒකේම ගුරු උපදේශක තනතුරත් දරා, දෙවෙනි වසරේම සබ් කමිටුවකත් වැඩ කොටය ඊළඟට තජක ලේකම්- සභාපති වුණේ!

එයට පාර කැපුණේ උචිතම තෝතැන්නක් තිබුණු බැවිනි. මා සභාපති තනතුරට පත්වී පැවැත්වූ පළමු තජක කමිටු රැස්වීමට සහභාගී වන්නැයි දයා අබේවික්‍රම මහතාට ආරාධනා කළ විට ඔහු දුන්නේ අපූරු පිළිතුරකි.

“නිමල්, ඔයා කියන නිසා එන්නම්. හැබැයි, විනාඩි දෙක තුනකට විතරයි. යූත් එකේ වැඩ plan කරන්න ඕනේ ඔයාලට ඕනේ විදිහට. FPA පොලිසීස්වලට අගේන්ස්ට් නොවී. නැති නම් අපිට ඒවාට funds දෙන්න බැහැ. එච්චරයි.... මම ඔයාලගේ මිනිට්ස් කියවනවා... study කරනවා. ප්‍රශ්නයක් තිබුණොත් විතරක් මම නිමල්ගෙන් අහන්නම්. මේ ඔයාගේ අවුරුද්දනේ.... මට ඔයාව විශ්වාසයි. Responsibility is yours.”

දයා අබේවික්‍රම, එස්.ඒ.දිසානායක, ... ,Smt.Avabai Wadia සහ අග්‍රාමාත්‍ය ආර්.ප්‍රේමදාස මහත්ම- මහත්මීන්...
මැණිකක් කපා ඔප දැමූ විටය එහි අගය සිය-දහස් ගණනින් වැඩි වෙන්නේ. මට තිබුණේ සමාජයෙන්, පතපොතින් ඉගෙනගත් දැනීමකි. ඒවා විධිමත්ව; න්‍යායාත්මකව විග්‍රහ කරන්නට- පල නෙළාගන්නට මා උගත්තේ යූත් එකේදිය. ඒ ඔපමට්ටම් වීමෙන් මම අදත් වැඩ ගන්නෙමි.

‘සිංහයාත් කොටියාත් වඩා බලවත් බව ඇත්තය. නමුදු වෘකයා කිසිදු විටෙක සර්කස් පෙන්වීමට යොදාගත නොහැකිය!’ කියා මට පසක් වුණේ එහිදීය. ඉදින්, සිංහයෙකු හෝ කොටියෙකු හෝ නොවී වෘකයෙකු වීම වැදගත් බව මම තේරුම් ගත්තෙමි.

“මොනවද xකෝ බලා ඉන්නේ.... ගලෝපියව් සරොම්!” z අයියාම නැඟිට්ටේය. ගිහින් කාමරයේ දොරට අගුලු  දැම්මේය. යතුර අරගෙන ඇවිත් ඇඳ උඩින් තියාගත්තේය. “....ටහුකන්න.... එකෙක් හරි යතුර ගන්න ආවොත්, අම්මපා ඌව බාවන එක බාවනවාමයි!”

එතකොට නම් මට එකක් තේරුණේය. දැන් වෘකයෙකු වෙන්නට ගියොත් නං මේ පෝරිසාදයා මගේ අතක්-පයක් ගලවනවා සිකුරුය. මට බැලුණේ ak දිහාවය. නඩයේ හිටි වැඩිම ලජ්ජාකාරයන් වූයේ අප දෙන්නාය. මිනිහාත් බලා හිටියේ කරකියා ගන්නට දෙයක් නැතිවය. Helpless! අප දෙන්නාටම කෝචෝක් හිනාවක් දැම්මේ w අයියාය.

කැලණියේ ටයර් සංස්ථා බිමට ඇතුලුවෙන තැන තිබුණු ආරක්ෂක....
w අයියා දකුණු ලක පුත්‍රයෙකි; එතකොට වැඩ කළේ කැලණියේ ටයර් සංස්ථාවේය.

තජක වැඩ සටහන්වලට යද්දී හුඟක් දවස්වලට ඉස්සෙල්ලාම වාහනය එන්නේ මාව නංවා ගන්නටය. රාජකාරි බැඳීම්වලින් ගැට නොගැහී හිටියේ මං හින්දාය. එක-එක දවසට වැඩ සටහන්වලට යන අය වෙනස් වෙයි. ඒ නිවාඩු ගැනීමේ හැකියාව අනුවය. ඒ අතිනුත් මා හිටියේ නිදහස්වය. මගේ තනිකඩ ජීවිතයත් ඒකට බලපෑවේය. වාහනයට නඟින මා අතේ එදාට නියමිත සැලසුම තිබෙයි. ඉතින් කොළඹ දිස්ත්‍රික්කය පුරාම zig-zag ගහන්නට වෙයි.

ඔහොම ගමනකදීය ටයර් සංස්ථාවේ පිවිසුම ළඟ සිකියුරිටි කාමරයේ තිබුණු වැදගත්ම කවි දෙපදයක් මගේ ඇස ගැටුණේ. එය ශ්‍රී නේරු තුමාගේ කියමනක් බවත් යටින් තිබිණි.
        “නිමා කරනු මිස වැඩ ඇති තමා අත
         පමාවට කරුණු මට උවමනා   නැත”
ඒ කවි දෙපදය මගේ හිතේ කෙටුණේ එදාමය. w අයියා නංවාගත් පසුව බොහෝවිට අප යන්නේ කැලණිය විශ්ව විද්‍යාලයටය. k අයියා සේවය කළේ ඒකේය.

z අයියාගේ චතුර ත්‍රිභාෂා කථිකත්වයත්, ජාතිකත්වයත් යන කරුණු දෙකම ඊට බලපාන්නට ....
z, w, k තුන්දෙනාම ගාල්ලේ ඉස්කෝලයක ආදි සිසුවන්ය. දයා අබේවික්‍රම මහත්තයාත් ඒකේම වෙන්නට ඇතිය. 1975 දී තජකයට සුදුසු අය හොයද්දී මෙයාලාවත් එකතු කරගත්තා විය යුතුය. z අයියාගේ ත්‍රිභාෂා කථිකත්වයත්, ජාතිකත්වයත් දෙකම ඊට බලපාන්නට ඇත. කොහොම අහලා තහවුරු කරගන්නද? ඒ හතර දෙනාගෙන් ඉතිරිව ඉන්නේ k අයියා විතරය.

ඒ කාලේ අපට ටෙලිෆෝන් තිබුණේ නැත. ඉතින් k අයියාගෙත් නොම්මරයක්වත් නැතිය.

මේ බ්ලොගය ලියන්නට ගනිද්දී අන්තර්ජාලයෙන් ෆොටෝ බාගන්නට මා දැනගෙන හිටියේ නැතිම තරම්ය. අනෙක් අතට මා හිතුවේ කෙලින්ම අදාළ ෆොටෝ විතරක් ලිපිවලට ඔබන්නටය. කියන අදහසට අනුරූප වගේම කොහෙත්ම අදාළ නොවෙනවා වාගේ ඍජුවම පෙනෙන ෆොටෝත් යොදාගන්නට මං උගත්තේ හෙමි-හෙමින්ය. ඒවා සකසාගැනීම ගැනත් කියන්නට තියෙන්නේ ඒකමය! තවම ඉගෙනගන්නට තියෙන දේවලුත් සුවල්ප නැතිය.

මං පිළිගන්නා විදිහට නං හැමදේකම කලාවක්- ලකයක් තියෙන්නම ඕනෑය!
අමාරුවෙන් ටෙලිෆෝන් කන්ටැක්ට්ස් හොයාගෙන මට සම්බන්ධ වුණු කිහිප දෙනෙකුටම කතා කළෙමි. ඒ බ්ලොගයක් ලියන බව කියා අවශ්‍ය ෆොටෝ ඉල්ලා ගන්නටය. හැමෝ ළඟම ඒවා පරෙස්සම් නොවෙන බවත්, කවුරු-කවුරුන් ළඟ ඒවා තිබෙන්නට හැකිද යන බවත් මම දැනගෙන උන්නෙමි. සමහරු ෆොටෝස් හොයලා කතා කරන බව කිව්වෝය. සමහරුන් foto ගෙනවුත් දුන්නත් ඒවායින් පලක් ගන්නට මට හිත නොදෙයි. මා දන්නා විදියට ඒකෙත් කලාවක් තියෙන්නට ඕනෑය.

හේතුව මගේ අහේතුව වෙන්නට ඇතිය. වැඩේ කෙරුණේ නැත.

ෆොටෝ තියා සමහරුන් දන්නා-කියන විස්තර කියන්නටවත් කැමැති නැත. (රසික පාඨකයන්ට ඇත්තම ඇත්ත කියන්නට ඕනෑ කියා හිතන මං, සමහර කරුණු ගැන අනෙක් අයගෙන් අහගන්නට කැමැතිය. කවුද දන්නේ මගේ මතකය 100%ක්ම හරිද කියලා. එහෙම අසා තහවුරු කරගැනීම වඩා හොඳය.) ඒත් අනේ ආඩම්බර වෙන්නට පුළුවන් නම් විතරය, සමහරුන් ඒවා හෙළි කරන්නේ. මට අනුව නම් අතීතය ගිහින්ය; වෙනස් කරන්නට නොහැකිය; ඉතින් ඒවා කියන්නට- හෙළිදරව් කරන්නට පැකිළෙන්නේ මොන හත්තිලව්වකටද?

අපේ මිත්‍රයා එයාගේ සරම ගලවා දමා ඉස්සෙල්ලාම නිරුවත් වුණේ ආඩම්බරයෙනි!
ඉතින් තමන්නෙ මට්ටම් තම්මැට්ටම් කියාගෙන, මගේ ළඟ තියෙන වස්තු සම්භාරයට එබෙන්නෙමි.
අපිළිවෙල පොත්- පත්තර කෑලි- තුණ්ඩු- ලටපට ගොඩකි. සමහර ඒවා අහුවෙන්නේ අදාළ කාරණා ලියලාත් කාලෙකට පස්සෙය. අද එහෙම නැතත්, නං-වනං නැතිව ලියන එහෙකට නම් ලැයිස්තු ඔබන්නේ කොහොමද? ‘හෙලුවැලි’ වැඩේට ගෑවිලාවත් නැති අයගේ නම් විතරය එහෙම පිටින්ම ලියන්නේ.

දෙවෙනි වතාවේ z අයියා කෑගැහුවා විතරය, අපේ මිත්‍රයෙක් නැඟිට්ටේය. හෙලුවෙන් අව්වේ ඉන්නට කැමති සුද්දන් වගේ වුණේය.     

“ඔන්න මං ගැලෙව්වා” කියාගෙන සරම ගලවා පුටුවක් උඩට විසි කළේය. අද පෝස්ටුවට යොදා ඇති එයාගේ නමවත් නොකියන්නේ, එයාගේ දරුමල්ලොත් මේක කියවන්නට ඉඩ තිබෙන හින්දාය. මිනිහා හැම දේටම ඉස්සර වෙන්නට; ‘මුලා’වෙන්නට; සෙන්ටර් of ද ඇට්‍රෑක්ෂන් වෙන්නට කැමැතිය.

“ඔන්න මාත් ගැලෙව්වා...” z අයියා ඊළඟටය. “යකෝ... මං තම්බියා. කොන කපලා තියෙන එකා... හරි නං මමයි පස්ස ගහන්න ඕනේ... මං ලජ්ජ නැහැ යකෝ.... දැන් නං ඉතින්.....” z අයියා කියාගෙන ගියේ අතේ තිබුණු වඩියත් හිස් කරන ගමන්ය.

ඊට පස්සේ ළඟටම ගෙනැවිත් දුන්නත්.......
එක-එක්කෙනාගේ ආසාවන් විවිධය. සමහරුන්ට ඇත්තේ තරමක් වෙනස් ආසාවන්ය. යතුරු සිදුරුවලින් එබී බලන ආසාව ගැන කියෙව්වා මතකද? ඒ voyeurism ය. නැරඹුම් කාමයය. වැඩි දෙනෙකුට ඇත්තේ ප්‍රදර්ශන කාමයයි! විශේෂයෙන් පොලිටික්කන්ට. එදා බීමතින් පිස්සු නැටුවා මිස අපේ කාටවත්ම එහෙම අසහන කාමයක් තිබුණේ නැත.

w අයියාටත් බොන්නට බැරිය; ඉක්මනටම කරටිය කැඩෙයි; මුදුන පහත් වෙයි. ඊට පස්සේ ළඟටම ගෙනැවිත් දුන්නත් නොබී හිනා වෙමින් ඉඳියි. “ආන්න හරි මච්චාං. ආන්න හරි... ඔන්න මාත්.....” එයා සරම ගැලෙව්වේත් වැනි-වැනීය.

“කරන්න දෙයක් නැහැ බොසා.... අද නම් ඔහෙගෙ සරමත් ගලවන්න වෙනවා.....”

v කිව්වේ බෝතලය පැත්තකින් තියමිනි. v මගේ ගෝලයෙකි. ඉස්කෝලේ නොවේ; උඩවැඩියා පාඨමාලාවේය. ඉන්නේ කුරුණෑගලය. ඒ දවස්වල බොරැල්ලේ ඇක්වයිනාස් ආයතනයේ කෘෂිකර්ම පාඨමාලාවක් හදාරමින් උන්නේය. මීගමුවේ P I O ප්‍රනාන්දුත් එක්කය උඩවැඩියා වවන හැටි ඉගෙන ගන්නට ආවේ. ඒ දෙන්නාම අපේ ගමන්වලදී මදිය නොකියන්නට අපට ඉගැන්වූහ. කුණුහරුප සින්දු!

ඒ කිට්ටුවම දේවාලයක බස්නායක නිලමේ කෙනෙකුත් ......
v පස්සේ කාලෙක දේවාලයක බස්නායක නිලමේ කෙනෙකුත් වුණේය. දේශපාලක භවතෙකුගේ ලේකම්වරයෙක්ද කොහෙදත් වුණේය.

සමහර වෙලාවට පැය දෙක-තුන ගත කරමින් ටෙලිෆෝනයෙන් මට විස්තර කිව්වේය. ඒ ආණ්ඩුවේ වියදමෙනි. ඒ, මනුස්සයාගේ guilty හැඟීමෙන් බේරෙන්නට බව මම ටිකෙන්-ටික තේරුම් ගත්තෙමි. දැන-දැනම වැරැදි කරන විට හෘද සාක්ෂිය දොස් කියනවා නේද? කෙනෙකුට ඒවා වැමෑරීමෙන් භාව විශෝධනයක් සිදුවෙන බව ඇත්තය. ඒත්, එහෙමය කියලා ඒවාට කන්දීගෙන සිට මගේ ලේ කෝප කරගන්නේ ඇයි?

“මීට පස්සේ මට කතා කරන්න එපා!” මම කෙලින්ම කීවෙමි. අපරාදේ, අද වගේ කාලෙක නං v හොඳම තොරතුරු මූලාශ්‍රයකි.

ඉතින්, මාස හයකට හරි මගේ ගෝලයෙකු වුණු නිසා v දිගටම මට කතා කළේ ‘බොසා’ හෝ ‘නිමල් මහත්මයා’ හෝ කියලාය. එහෙම ගරු කළ මනුස්සයාත් මගේ ඉස්සරහම එයාගේ සරම ගලවා දැම්මේය. එයිනුත් නොනැවතී මරු පාට් එකක් දැම්මේය.

අශෝක හඳගම හෝ ජගත් චමිල හෝ එදා මාතර තානායමේ හිටියාද?
අශෝක හඳගම හෝ ජගත් චමිල හෝ ‘තනි තටුවෙන් පියාඹන්න’ චිත්‍රපටයට සම්බන්ධ කෙනෙකු හෝ එදා මාතර තානායමේ හිටියාවත්ද? ෂුවර් එකටම ඉඳලා අපේ කාමරයට එබුණා වෙන්නට පුළුවන්ය. v කළ විදිහටම, ඊට අවුරුදු ගානකට පස්සේ, ජගත් චමිල ඒ රංගනය film එකේදී ඉදිරිපත් කළේය.

සරම ගැලවූ v දෙකකුල් එකට තෙරපාගෙන හිටගත්තේය. ඊළඟට පුරුෂ නිමිත්ත කලවා අස්සට ඔබාගත්තේය. ඊටත් පස්සේ ඇඹරෙමින් විලාසිතා පාන්නට පටන් ගත්තේය.

අදට හොඳටම ඇති නේද? 


     

8 comments:

  1. නිදි ඒ කාලේ ජනප්‍රිය ඔර්කිඩ් ජාති මතකද
    හොඳ වේලාවට මාතර තානායමේ අර රාජකීය පංකාව දැක්කේ නැත්තේ.
    නැත්තං ඔය ගානට සෝ එක එනකොට එකෙත් එල්ලිලා තමයි නවතින්නේ.

    ReplyDelete
  2. සිරිබිරිස් උන්නැහේ,
    ඒ කාලේ ජනප්‍රියද නැද්ද කියලා නම් මීටර් නැතත් එකම එක නමක් නම් හොඳට මතකයි- විශේෂ සිදුවීමක් නිසා. වැන්ඩා රෝත්ස්චයිල්ඩ් - අපි හිටියේ දියගල කුමාර පුරයේ නේවාසික වැඩ සටහනකට ගිහින්. උදේම අපේ කිහිප දෙනෙක් එකේ වත්ත බලන්න ගියා.
    සුනීතා කරුනාරත්න එතැන හිටි ඉතාම අහිංසක යුවතියක්. එක උඩවැඩියා මල් වර්ගයක් දැක්ක ගමන්ම සුනීතා හීල්ලුවා,'ආනේ මොනාවද අනේ මේ?' කියලා ඇහුවා.

    සුනීතාගේ මීටරේ වැඩ කරන්නේ හරි හෙමින්. එදාම ඊට ටිකකට ඉස්සෙල්ලා ෆාම් එකේ හිටි මොක්කුද මන්දා දැකලා, දැකපු ගමන්ම "අනේ හරී sweet' කිව්වා. ඊට ටිකකට පස්සේ ඌරු පැටව ටිකක් දකපුවාමත් "අනේ හරී sweet' කියපු කෙනා තමයි අරහෙම ඔර්කිඩ් ගැන ඇහුවේ.
    එතකොටම එතැන හිටි අපේ ලණු දෙන ඔස්තාඩ් කෙනෙක් කියාපි 'වැන්ඩා රොඩිසිඩියානා' කියලා. ලණුව ගිල්ල සුනීතා ඊට පස්සේ දවසක අපේ උඩවැඩියා වගා උපාදේශක ජී. ප්‍රේමරත්න මහත්තයාට කියලා 'රොඩිසිඩියානා නං හරී ෂෝක් නේද?' කියලා. බැණුම් ආහුවට පස්සෙයි කතාව එළි වුණේ.

    මාතර රෙස්ට් හවුස් එකේ එහෙම fan එකක් තියෙනවද? ඇත්තමයි, අහන්න ලැබුනේ නැහැ.

    ReplyDelete
    Replies
    1. මාතර රෙස්ට් හවුස් එකේ තියෙන්නේ විදුලි පංකාවක් නොවෙයි. අර ඉස්සර රජවරුන්ට සෙමෙර සලනවා වාගේ ක්‍රියාවක් සිදුවෙන ඇටවුමක්. ඒවා වහලේ හයි කරපු දෙපැත්තට පැද්දිය හැකි විශාල පංකා තටු. ඒකට ලණුවක් සවි කරලා ටකය ගහනවා වගේ ලනුව ඇද ඇද ඉන්නකොට හුළං වදිනවා.

      Delete
    2. https://en.wikipedia.org/wiki/Punkah

      Delete
    3. මම හිතන්නෙ ඒක මේ මෑතකදි සවි කරපු එකක් වෙන්න ඕනා.. ඒක ක්‍රියා කරන්නේ විදුලි මෝටරයකින්..

      Delete
  3. දැන් මාතර කතාවත් එක්ක කතා සීරියස් හතරක් වෙලා නේද ??

    මාතර තානායමේ අමු හෙලුවෙන්.....
    දුන්හිඳ අද්දර මාරකේ
    මෝස්‌තර එක්ක හත් වසරක්
    වීරයා ගෙදරද?

    වැඩි වැඩියෙන් ලියන්න හැකියාව ලැබේවා කියලත් ළඟ ළඟ ලිපි පලකරන්න හැකියාව ලැබේවා කියලත් ප්‍රාර්ථනා කරන්නම්.

    ReplyDelete
  4. සෑම්, මුල් කාලයේ කැටගරීස් හතරක්ම ලිව්වේ. දැන් නම් තුනක් තමා ලියන්නේ, වීරයා ඉවරයිනේ.

    සතියකට posts තුනක් ඉලක්ක කරගන තමා ලියන්නේ. මේ ටිකේ කරදර ගොඩක් නිසාත්, අකුණු කොටමින් වහින නිසාත් පරක්කු වෙනවා. බොහෝ විට ලබන සතියේ දවස් හතරක්-පහක් ගෙස්දාර නොඉන්නත් ඉඩ තියෙනවා.

    ඔයාගේ ප්‍රාර්ථනාවට ස්තුතියි. ඉක්මනට ලියන්නම තමා හිත. ගහල යන්න ඉන්න මැන්ටල් එකනෙ සෑම්.

    ReplyDelete
  5. https://www.lifehack.org/333239/the-tiger-and-the-lion-maybe-more-powerful-but-the

    https://en.wikipedia.org/wiki/Wolves_as_pets_and_working_animals

    https://classroom.synonym.com/ancient-greek-male-body-15164.html

    https://hinduismkisachai.wordpress.com/2012/09/29/hindu-gods-exposed/

    why-do-straight-men-send-other-guys-dick-pics
    https://en.wikipedia.org/wiki/Nudity_in_religion

    ReplyDelete