‘සිනහව අතරින් කඳුළක් උපන්නා - ඒ බැව්
නොදැනම සිනහවක්ම පෑවා’. ළයාන්විතව ඒ ගීතය ගයන්නේ මිල්ටන් මල්ලවාරච්චිය.
අපි එකතුවී ගී ගයන දවසක, ගීත තෝරාගැනීම් කෙරෙද්දී........ |
අප ගී ගයන්නට එකතුවෙන දවසක ගීත තෝරාගැනීම
මගේ පිටට වැටුණොත් (හුඟක්ම දවසකට යෝජනා ස්ථිර කිරීමකින් තොරවම ඒ chance එක ගන්නේ
මාය.) අර ගීතය වගේම තවත් එකක් මා තෝරාගන්නා ගොඩේ තිබෙයි.)
ගී දෙකම මධුරය. ඒ ගී දෙකම තිබුණේ එකම චිත්‍රපටයකය.
සිනමාස් මණ්ඩලයේ ශාලාවලට මේ ෆිල්ම් එක release කළේ 1976 අප්‍රේල් 2 වෙනිදාය. මහරගම
තිබුණු සිනමාස් සමාගමේ film hall එක ‘අනුෂා’ය.
ත්‍රිකෝණ ප්‍රේම කතාවක් ගැබ්වුණු එහි ප්‍රධාන
චරිත රඟපෑවේ රවීන්ද්‍ර රන්දෙනිය, විජය කුමාරණතුංග හා මාලිනී ෆොන්සේකාය. පතිරාජ
එල්.එස්. දයානන්ද අධ්‍යක්ෂණය කළ ඒ චිත්‍රපටය ‘ගංගා’ය.
අපේ තාත්තා මිය යද්දී අනුෂා සිනමාහලේ
පෙන්වමින් තිබුණේ ඒ ‘ගංගා’ය.
අපේ තාත්තා මියයද්දී මහරගම අනුෂා film hall එකේ පෙන්වමින් තිබුණේ 'ගංගා' චිත්‍රපටයයි. |
අනේ සමාවෙන්න! දහස්වාරයක් සමාවෙන්න!! ගංගා
ගැන කියන්නට ඉක්මන් වුණා වැඩියි වගේය.
ඊට කලින් කමලා සංජීවනී දිසානායක ගැනත්
යාන්තමට මතක් කරලා ඉන්නට වෙයි. එහෙම කියන්නේ ‘නිදිගෙ පංච තන්තරේ’ පටන්ගත් අලුතම,
අපේ පවුලේ බඩ පිස්සී ගැන කියුව හින්දාය.
ඔන්න, අපේ දීපානි නංගි බිහිවුණු වෙලාවේ,
කළුබෝවිල ඉස්පිරිතාලේ සිස්ටර් කෙනෙක් මාව පොලීසියට අල්ලලා දෙන්න ගියාම මට නප්පියටම
තද වුණා.
‘ආයේ එහෙම අම්මාට බබාලා හම්බ වෙන්න ආවොත් මම
ගෙදරින් යනවා.” මං තගක් දැම්මා, අම්මටයි තාත්තටයි දෙන්නාටම. ඒක නිසාම, ඊළඟ වතාවේ
ගැබ් ගත්තම අපේ අම්මලා ගබ්සාවෙන්න බෙහෙත් අරන්. ඒත් පරක්කු වැඩිවුණු නිසා කළලය
ගබ්සා වුණේ නැහැ.
දරුවා ඉපදුණා; අංග විකල වෙලා. 1975 නත්තල් දවසේ උපන් කමලා නංගි, අපේම
වාසනාවට දවස් 15ක් විතරයි ජීවත් වුණේ.
ඒ විස්තර සේරම ගස්සලා යවමුද පෝස්ටු හතරේ ලිව්වා. මාවත්
ගස්සලා යවන්න හදපු හැටිත් එක්කම! ඒත් එදා නොලියූ දේකුත් දැන් කියන්නට වෙයි!
කමලා සංජීවනී නංගිව මිහිදන් කළේ බොරැල්ල කනත්තේදීය. ඒ කෙම්මුර දවසකය.......... |
කමලා නංගි මිහිදන් කළේ බොරැල්ලේ කනත්තෙදීය. සාමාන්‍යයෙන්
මිනියක් වළලන්නේ නැති දවසකය. අඟහරුවාදාවක හෝ සිකුරාදාවකය. මළගමට හිටියෙත් අප-අපම
පමණකි. දහයකටත් අඩුවෙනි.
“කොහෙද, මෙයාලා අතිපණ්ඩිතයොනෙ.... ගුණපාල
අයියත් මේ ලෝකේ දෙයක් විශ්වාස කළේ නැහැ. රංජි ඊටත් හපන්..... කොහෙද රංජි ගෑනු
මිනීවලට කර ගහන්නේ?” චූටි නංගිගේ භූමදානය තිබුණු දවසේ සුල-මුල සේරමත් මතක තබාගෙන
ඉඳලා තිබුණේ අපේ අසල්වැසියන්ය.
ඒවා කියැවුණේ තාත්තාගේ අවමඟුල් පෙරහැර ගැන
තීරණ ගන්නට ගියාමය.
“නිමල් අයියේ, අපිත් තාත්තගේ මිනිය අරන් යනවා
ටික දුරක්! එපයි කියන්න නම් එපා!!” ලලිතා, ස්වර්ණා, අයිරාංගනී, සෝමලතා හා ගමගේ
අක්කා ඇතුළු කට්ටියම මට කිව්වෝය.
ඇමෙරිකන්කාරයෙක් හඳට ගිහින් නමෝවිත්තියෙන්ම ඉස්සරහට තිබ්බේ වම් පයයි! |
ගැහැනු අය මිනී උස්සාගෙන යන සිරිතක් නැතැයි හා-හෝවක්
ගියේ ඊට මාස කිහිපයකට ඉහතදීය.
ඒ මහරගම දුම්රිය මාවත අසල හිටි නන්දසීලිගේ මරණය
වේලාවේය. ‘Neil හඳට - Sunil කරඬුවට- Waල්ල බිමට’ පෝස්ටුවෙදී
කියූ පොඩි සෝමක්කාගේ ළඟම ඥාති දියණියකි නන්දසීලී. එයා වැඩ කළේ ‘හයිඩ්රාමනි
ආයතනයේ’ය.
නන්දසීලී මියගියේ කෝච්චියට පැනපු හින්දාය.
හේතුව නං මට මතක නැත.
මළගමේදී හයිඩ්රාමනියේ ගැහැනු ළමයි විලාප දෙමින් මිතුරියගේ
දේහය ඔසොවාගෙන ගියහ. ඒකෙන් උත්තේජනයක් ලබලාද කොහෙදය, දීපානි බතික් ආයතනයේ ළමයිනුත්
‘ගුණපාල අයියාගේ’ මිනියට කර ගහන්න ආවේ.
“ඔව්වා වස් වදින වැඩ..... ඉඩ දෙන්න නං එපා,
ලීලා.
පේනවනේ... ගුණපාලයියා පුංචි දුවව වළේ දැම්මේ කෙම්මුර දවසක. යාන්තං මාස තුන
වෙනකොටම ගෙදර තව මරණයක් වුණා....
ඔන්න, මේ සැරේ කෙල්ලෝ ලව්වා මිනී උස්සවලා කොතනින්
කෙළවර වෙයිද දන්නෑ!”
එයාලගෙ අදහස් හින්දාම ආච්චීත්, අම්මාත්
එකතුවී මා අධෛර්යවත් කරන්නට හැදුවෝය. මටත් තියෙන්නේ මහම කැත පුරුද්දකි. මොකක් හරි
වේවා ‘එපා’ කියනවා නං ඒකම කරන්නට හිතනවාය.
ඒ කාලයේ ඉඳලාමත් අපේ ගෙදර අධිකාරි බලය තිබුණේ මගේ අතේ වගෙය! |
අනෙක් අතට ඒ කාලයේ ඉඳලාම මා අධිකාරී බලය අතට
ගෙන තිබුණා වගෙය කියලා හිතෙන්නෙත් දැන්ය. පවුලක් නඩත්තු කිරීමේ බරට උර දුන්විට ඒ
‘බලය’ ඉබේම අතට එනවා වෙන්නැතිය. අනෙක ලොකු පුතාත් වුණාම....
නිවැරදිව යමක්
බලාගන්නට ඕනෑ නම් ‘ස්වාධීන - අපක්ෂපාතී මනසකින් යුතුව’ හිටින්නට වෙයි. බලය තියෙද්දී එහෙම කරන
එකත් ලේසි-පාසු නැත.
“ඒ ළමයින්ගේ කැමැත්තනෙ.... ඔන්නොහෙ උස්සන්
ගියාවේ..... තව ඉන්නවනේ මිනිස්සු. දිගටම උස්සන් යන්නේ නැතිව එයාලටත් දෙයිනෙ.” මම
කීමි.
එතැනදී සේ ටීචර් වුණත් කතා කළේ මගේ පැත්තටය.
ළමා නිවාසයේ කුලතුංග සර් කිව්වෙත් එහි වරදක් නැති බවයි. ඒ 1976 දීය. අදට අවුරුදු 53කට
කලින්ය. එහෙත් අපේ රටේ මති-මතාන්තර තවමත් වෙනස්වෙලා නැහැ වගෙය.
ගැහැනු මිනී
උස්සාගෙන යාම පැත්තක තිබුණාවේ!
දැනටත් අඟහරුවාදා, සිකුරාදා දෙකේ මිනියක්
ගෙදරකටවත් ගෙනෙන්නේ නැතිය. ඒ මැරුණු මිනිහා ජීවත් වුණු ගෙදරටවත්ය.
හැබැයි
ඇමෙරිකාවේ නීල් ආම්ස්ට්‍රෝන් 1969 හඳට ගිය වෙලාවේ ඉස්සෙල්ලම ඉස්සරහට තිබ්බෙත් ‘වම්
පය’යි!
අපෙන් කවුරුවන්වත් එහෙම කරන්නට එඩිතර වෙනවාද?
(ඇමෙරිකානුවන් 13 ට බය එක වෙනම
කතාවකි. අපිත් බයෙන් ඉන්නේ 19ට!)
කුරුල්ලන් පියඹනවා වගේම පුරුද්දක් අපේ ආච්චිටත් තිබිණි. පියඹන්නට නොවේ...... |
ඉතින් බතික් වැඩපොළේ ගැහැනු ළමුන්ගේත්, තවත්
නෑදෑ හිතවතුන්, මිතුරන් රාශියකගේත් කර පිටින් දිසානායක හේවගේ ගුණපාල, 1976 අප්‍රේල්
20 වෙනිදා හෝ 21 වෙනිදා ගොඩිගමුව සුසාන භූමියට ගියේය. අනෙක් අය සේරම ආපහු ආවත් එයා
එහෙම නැවතුණේය!
ඊළඟට කියන්න වෙන්නේ අපේ ආච්චිගේ පුරුද්දකි!
ජන්මෙටත් වඩා ලොකු පුරුද්දකි!!
කොච්චර මනුස්සකම් තිබ්බත්, යාළු-මිත්‍රකම් තිබ්බත්,
ගමේ හැම අවමඟුලකටම ගියත් දසනායක රත්නවතී ‘මළ බත්’ නම් කෑවේ නැතිය.
ඒකට හේතුව අප
ඇහුවෙත් නැත. එයා කිව්වෙත් නැත.
එකා යකා වුණු තම එකම පුත්‍රයාගේ මළගමේදීවත් ඇය
සිරිත අත් නොහළාය; මළබත නොකෑවාය.
“ඔව්වා කියන්නත් දේවල්ද?” කියලා කෙනෙකුට හිතෙන්නටත් ඉඩ තිබෙයි.
මට නම් මේ හැම එකක්ම විශේෂය. මමත් ඒ ආච්චිගේ මුණුබුරෙක්මි. මගේ ගතිගුණවලින් වැඩි
හරියක්ම එයාලාගෙන් උරුමවුණු ඒවාය. දැඩි හිත! විශේෂයෙන්ම.
එදා මළබතෙන් පස්සේ අපේ ගෙදර ඉතිරිවුණේ ටික දෙනෙකු විතරය.... නිඳිමතත් තරහ වෙලා වගෙය......... |
එදා මළබතෙන් පස්සේ ගෙදර ඉතිරි වුණේ ටික
දෙනෙකු විතරය.
මුළු රෑම එළිවෙනතුරු පාලු කපන්නට රංජිත් අයියලා, සෝමවීරලා එනවාය
කිව්වේ හොඳටම පරක්කු වෙලාය. “දොළහෙන් විතර පස්සේ හුඟ දෙනෙක් යනවනේ මල්ලී. ටිකක්
නිඳාගෙන ඉඳලා ඒ වෙලාවට එන්නයි අපි කතා වුණේ!” ඔවුහු කල් තියාම මට කීහ.
එදා මගේ නිඳිමතත් මාත් එක්ක තරහ වෙලා හිටියා
වගේය. ඉවසන්නට බැරි පාළුවක්, තනිකමක් දැනුණු මම කලිසමත්, කමිසයත් දමාගෙන අම්මා ළඟට
ගියෙමි.
“කොහෙ යන්නද මේ රෑ...... ඊටත් අද?”
“මං යනවා ‘ගංගා’ බලන්න!”
“මොකී?”
“මොකියෙක්වත්වත් නෙවෙයි අම්මේ. අනුෂා එකේ චිත්‍රපටිය.”
මගේ හැටි දන්නා නිසාද කොහෙද අම්මා එතැනින්
එහාට කතා කළේ නැත. එහෙත් එකම-එක අවවාදයක් විතරක් දුන්නාය. “යන්නෙ කොහෙද කියලා බෙර
ගගහ ඉන්නේ නැතිව; සද්ද නොකර ගිහින් වරෙන්. මිනිස්සු කැත කියයි.”
මට boy friend කෙනෙක් ඉන්නවා. ගෙදරින් against.... (ෆොටෝ - මාධව බොතේජු) |
‘ගියේ කොහෙද?’ කියා මගෙන් අහන්නට වෙන කවුරුන්වත් හිටියේ නැත.
රෝබියෙස් අයියලාගේ ගෙය කුලියට ගැනීම එහෙමම
නතර වුණේය. බෙන්තොට සුසන්ත බතික් වැඩපොළේ සේවය කිරීමත් නවතා දමන්නට මට සිදු වුණේය.
ඒකෙන් වැඩියත්ම පාඩු වුණේ චූටි මම්මාටය.
චූටි මම්මාය කිව්වේ ටෙරන්ස්ලාගේ අම්මාගේ;
සිරිසේන මුදලාලිගෙ ඇඹේණියගේ නංගිටය. එයාත් ඒ දවස්වල හිටියේ බෙන්තොටට ඇවිදින්ය.
මටත් හොඳටෝම හිතවත් වෙලාය.
“නිමල් අයියේ, අපේ චූටි මම්මාට ලොකු රහසක්
තියෙනවලු ඔයාට කියන්න.” කවුරුන්වත් නැති වෙලාවක ටෙරන්ස් කතාවකට මුල පිරුවේය.
කතාවේ ඉතිරි කොටස, පස්සෙන්-පහු මට කිව්වේ චූටි
මම්මාමය.
“මට බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා නිමල්.
අම්මලා සේරම against. මේ අක්කත් කැමති නැහැ. ඒකයි මාව මෙහෙ ගෙනත් තියාගෙන ඉන්නේ. හැබැයි,
කවුරු විරුද්ධ වුණත් අපි බඳිනවා. තව ටික දවසයි ඉන්න ඕනේ.
එතකල් මට එයාගෙන් ලියුමක්
දෙකක් ගෙන්නාගන්න උදව් වෙන්නකො.”
ඉතින් මමත් ඒ පෙම්වන්තයන් යුවළට බොක්කෙන්ම උදව් කළෙමි! |
මගේ මතකය හරි නම් ඒ පෙම්වතාගේ නමත් නිමල්ය.
බද්දේගම
නගරයේම ප්‍රසිද්ධ ව්‍යාපාරික පවුලක දියණියක් හින්දාද කොහෙද, චූටි මම්මලාගේ
වැඩිහිටියන් ‘ලොකු බෑනෙකු’ පතමින් හිටියාලු!
“කෙනෙක් කසාද බඳින්න ඕනේ තමන්ට ඕනැ කෙනෙක්වනෙ
නිමල්, මමනේ බඳින කෙනා එක්ක දිගටම ඉන්න ඕනෙ. මං එයාට කැමතියි. එයත් එහෙමයි.....” ඒ
මතවාදයට එකඟ හින්දාම, මමත් එයාලට full support වීමි.
සතියකට වතාවක් ගෙදර යන මට ලියුමක් දෙකක් ආවේ
හිත-මිතුරු කාගෙන් හරිය. ඒකත් චූටි මම්මාට වාසියට හිටියේය.
ඒ නිමල්ගෙන් මේ නිමල්
නමට ලැබුණු පෙම්හසුන්වල ලිපි කවරයේ කොණක පුංචි කතිරයක් තිබිණි. ඒවා විවෘත නොකරම
චූටි මම්මාගේ අතට ගියේය.
එහෙම මගෙන් ලැබුණු උදව්ව හිටි ගමන් නැවතුණාම
පෙම්වතුන් දෙන්නා වෙනත් මඟක් හොයාගන්නට ඇත. “චූටි මම්මා අරයව බැන්දා.” පස්සේ දවසක
ටෙරන්ස්ම දැනුම් දුන්නේය. ඒ පෙම් යුවළට උදව්වක් විනැයි කියන නිරාමිස සතුට අදටත් මට
හිමිය.
තාත්තාගේ විසූකදස්සන නැති හින්දා දැන්වත් අපට සතුටෙන් ඉන්නට හැකි වෙතියි ....... |
‘දැන් නම් ඉතින් තාත්තගේ කෝලම් නැති හින්දා
යන්තම් නිස්කලංකෙන් ඉන්න පුළුවන් වෙයි. පොඩි එවුන්ටත් කණක් ඇහිලා ඉන්න තියෙන සතුටම
මදැයි.’ මං හිතුවේ එහෙමය. ඒ සිතුවිල්ල අතුරුදහන් වුණේ තාත්තාගෙ හත් දවසේ දානය
දෙන්නටත් කලින් දවසේය.
හරියටම කියනවා නම්, අම්මා ඊවා හාමුලගේ ගෙදරට
ගිහින් ආ දවසේය.
“රංජි පුතාලට ලේසි වෙන්න මං ටික දවසක් මෙහෙ
ඉඳල යන්නං අම්මාාාාාා. අනේ රංජි පුතා, මට ඉතින් එච්චර තමා කරන්න පුළුවන්නෙ.”. එහෙම
කියලා ඒ දවස්වල අපේ ගෙදරම නැවතිලා හිටි සෝමා පුංචිය (අම්මාගේ එකම නැඟණිය), ඉස්සෙල්ලාම
අපේ අම්මාට හරස් කැපුවේ.
“පිස්සුද ලීලක්කා? මේ දරු කැලතක් දාලා ඔයා
එංගලන්තෙට යන්න....
තවම මේ නොදරුවාට වයස කීයද?”
ඒ කිව්වේ අපේ දීපානි නංගි ගැනය.
දීපානිට එතකොට අවුරුදු තුනවත් පිරිලා
නොතිබිණි.
“කවුද මේ ළමයි බලාගන්නේ? රංජි පුතාට පුළුවන්ද බතික් රස්සාව කරන ගමන්
නංගිලා-මල්ලිලාවත් බලාගන්න.... තවම නොදරුවොනෙ..... ඔයා ගියොත්, තාත්තත් නැති
ළමයින්ට අම්මත් නැතිවෙනවා නේද ලීලක්කා?”
මගේ දඩබ්බර හිත ඇවිත් තියෙන්නේ අපේ මහ උන්දැලා දෙන්නාගේම ජානවලිනි! |
දැන්ය වැටහෙන්නේ. මගේ දැඩි හිත ‘රහුබැද්දේ
විදානෙලාගේ’ ජානවලිනුත් ඇවිදින්ය.
අපේ අම්මා මේ බ්ලොගය කියවන්නේ නැත. කියවනවා නම්
මෙහෙම තැන්වලදී, මදිය නොකියන්නම ආඩම්බර වෙනවාය. එහෙම වෙලාවට එයාට හිනා වෙන්නට කට
මදිය!
එදා නම් අපේ අම්මා හිනා වුණේ නැත. මොකුත්ම
කිව්වෙත් නැත. බුම්මාගෙන හිටියා විතරය!
“ඇත්තටම ලීලා, උඹේ මොළේ නරක් වෙලාද බං?”
ආච්චී ඇහුවාය.
ඒක හරියටම ඇවිලෙන ගින්නක් නිවන්නට තෙල් දැම්මා වගෙය. අම්මා ගස්සාගෙන
ගෙට ගියේ, ආච්චිටත් සෝමා පුංචිටත් ‘කන්සෙට පහරක්’ බැගින් දුන්නා සේය.
“මම එයාලට වැඩියෙන් කොච්චර පරණයිද? අදක ඊයෙක
ඉඳලාද මං උන්නාන්සේව දැනගෙන ඉන්නේ? හතර පෙර නිමිති දකිනකොට මං උන්වහන්සේ එක්ක...
අභිනිෂ්ක්‍රමණය කරද්දී මම උන්නාන්සේ එක්ක.
එතකොට කෝලිතලා-උපතිස්සලා කොහෙද
හිටියේ....
මහා කාශ්‍යපලා කොහෙද හිටියේ...
පැරණිකම නොවෙයිද වටින්නේ... ජ්‍යෙෂ්ටත්වය
නෙවෙයිද වටින්නේ?’
ඡන්න හාමුදුරුවන් එහෙමයි හිතුවේ. එහෙම උඩඟුකම් කෙනෙකුගෙ හිතට
ආවාම හරි-වැරැද්ද පෙනෙනවයැ?
ආනන්දය, මාගේ පිරිනිවීමෙන් පසු ඡන්න තෙරුන් වහන්සේට බ්‍රහ්ම දණ්ඩය........... |
පුදුමේ කියන්නේ ‘සීනියෝරිටි’ එක එකම
සුදුසුකමය කියලනේ අපේ රටේ ගොඩක් දෙනා හිතන්නේ. ඡන්න හාමුදුරුවන්ගේ කතාවවත් කියවලා
නැතිව ඇති.
එහෙම ආඩම්බර වෙලා බණක්-භාවනාවක් නොකර හිටි
ඡන්න හාමුදුරුවන්, බුදුහාමුදුරුවන් වහන්සේ දුන්නු අවවාදවත් කණකට ගත්තේ නැහැ.
“ආනන්දය, මගේ පිරිනිවීමෙන් පසු ඡන්න තෙරුන්
වහන්සේට බ්‍රහ්ම දණ්ඩය පනවනු. එවිට උන්වහන්සේ නිසි මඟට එළඹෙනු ඇත.” බුදුහු වදාළහ.
බ්‍රහ්ම දණ්ඩය කියන්නේ ‘කෙනෙකු සමඟ අනෙක් අය
කතාබහෙන්- ඇසුරෙන්- එක්ව කටයුතු කිරීමෙන් වැලකිලා ඔහුව හුදෙකලා කිරීම’ටයි.
බුදුන්
වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට කී දඬුවම; බ්‍රහ්ම දණ්ඩය පැනෙව්වේ වැරැද්ද කළ කෙනාටය!
ඒත් මේ වෙලාවේ අපේ අම්මා බ්‍රහ්ම දණ්ඩය පැනෙව්වේ ගෙදර හිටි අනෙක් අයටය! |
මට 100%ක්ම ෂුවර් අදටවත් අපේ අම්මාගෙන්
ඇහුවොත් ‘බ්‍රහ්ම දණ්ඩය කියන්නේ මොකක්ද?’ කියලා එයාගෙන් හරි උත්තරේ ලැබෙන එකක්
නැහැ
එහෙම වුණත්, අර ගෝරිය වෙච්ච දවසේ ඉඳන් එයා අපට බ්‍රහ්ම දණ්ඩය පනවාපි! ගෙදර
හිටි කා එක්කවත් කිසි කතාවක් නැහැ; හිනාවක් නැහැ. ඔහෙ උන්නා; ඉන්නවාට විනා. ‘Zombie’
කෙනෙක් එහෙමත් නැත්තං ‘පිල්ලියක්’.........
“මේක මහ විකාරයක්නෙ රංජි පුතා.... ලීලක්කා
ගැන මටම ලැජ්ජයි. කොහොමද මන්දා ලීලක්කා මෙච්චර දරදඬු වුණේ?” සෝමා පුංචි
මුණු-මුණුවෙන් ඇහුවා.
“අපේ ඒකාගේ වැරැද්ද. එදා ඉඳලම ගෑනිව ඉස්
මුඳුනේ තියාගෙන හිටියා..... කටුස්සගෙ කරේ රත්තරන් බැන්දා වගේ ගෑනිත් පිම්බුණා.
දැන් ඒක පුරුද්දට ගිහින්....” ආච්චී කිව්වේ කටු-කුටුවෙන්.
සීයා විතරයි අපේ අම්මාට කෙලින්ම කතා කළේ.
ඒකත්
ඉතාම සාමකාමී විදිහටය. හිත නොතැලෙන විදිහටය. “ලීලා. ඔහෙ දැන් වැඩ කරන්න ඕනේ
දුර-දිග බලලා.... ළමයි දහ දෙනෙකුගේ අම්මෙක්නේ... එක්කෙනෙක් නැති වුණත්.... ලොකු
කරුමයක් ගෙවලා ඉවර වුණා විතරනෙ.... මෙයාලගේ අනාගතේ ගැනත් හිතන්න ඕනේ. තමුන්ගෙ
අනාගතේ ගැනත් හිතන්න ඕනේ.... තමනුත් තවම තරුණයිනේ...”
සීයා එච්චර යාප්පුවෙන් කතා කරලත් අපේ අම්මා......... |
එච්චර යාප්පුවෙන් කතා කළ අපේ සීයාගේ line
එකත් වැඩ කළේ නැත.
සේ ටීචර්, කුලතුංග සර්, රංජිත් අයියා වගේ
කිසිම කෙනෙකුට වුණත් අපේ අම්මා උත්තර දුන්නේ නැත. අහගෙන- බුකවාගෙන බලා හිටියා
විතරය.
“තුන්මාසේ දානෙට සේරමලා එකතු වෙනවනේ.... දානේ දීලා ඉවර වෙලා අපි මේක
විසඳුමක් කරගනිමු..... කතා කරලා.” මම යෝජනා කළෙමි.
ඒ වෙන තුරුමත් මේ ප්‍රශ්නය ගැන මගේ මතය මා ප්‍රකාශ
කොට තිබුණේ නැත. කිසිම ප්‍රතිචාරයක් දක්වා තිබුණෙත් නැත.
වැඩියෙන්ම අම්මා සමඟ උරණව හිටියේ අපේ ලොකු
නංගිය.
ඒකත් සහේතුකය. කලිනුත් කියා තිබෙන විදිහටම අපේ අම්මා ගෙදරදොර ඉවුම්-පිහුම්
වැඩවලට වැඩි කැමැත්තක් තිබුණේ නැත. අම්මා මහන රස්සාවට ගියත් හරි ගෙදර
වැඩ සේරම පැටවුණේ ලොකු නංගිගේ කර පිටටය.
එයාත් කළේ ඒවයින් බාගයක්ම වගේ මානෙල්ගේ
පිටට දැමීමය.
1976 වෙද්දී මානෙල්ට 11කි. ගෙදර 11 දෙනාට උයන රාජකාරිය එච්චර පුංචි දැරියකට.... |
76 වෙද්දී ලොකු නංගි පුෂ්පාට අවුරුදු 17කි. මානෙල්ට
11කි. උයන්නට ගියාම දෙන්නාගේ රණ්ඩුවල නිමක් නැත. මුල් කාලයේ නම් තාත්තා කුස්සිය
මෙහෙයෙව්වත්, කකුල් දෙක කැපුවාට පසුව ඒවා කළේ නැත.
නංගිලාගේ රණ්ඩු බේරීම එකම හිසරදයක් වුණු තැන
මං කළේ ඉවීම මාරුවෙන් මාරුවට කරන්නට නංගිලාට පැවරීමයි.
එදා මට නොවැටහිණි. අවුරුදු
11ක දැරියකට; මානෙල්ට 11 දෙනෙකුට උයන්නට පැවරීමම කොතරම් හිංසනයක්ද?
ඒවා නොතැකීම
ලොකු නංගිගේත් වැරැද්දක් නොවේ. එයා එතරම් දුර හිතුවෙම නැතිය. ඒ දෙන්නම නොහිතූ
කෙනෙකුටත් ලොකුම වැරැද්දක් වුණේය. ඒ සමන්ති නංගිටය. අවුරුදු 8ක දැරියකව හිටියදීම,
අක්කලා දෙන්නාටම කුස්සියේ සහයිකාව වෙන්නට වුණේ සමන්තිටය.
කොහොමෙන් වුණත්, ඒ හැම දේකින්ම මටත් බැට
කන්නට සිදුවුණේය!
“පුතා ගැන තමයි රංජි පුතේ මට හොඳටම දුක. පුතා
ඔහෙ හම්බ කරනවා..... දියුණුවක් නැහැ. කියන-කියන දේ ගෙදරට ගෙනත් දෙනවා.....
නංගිලාටත් තේරුමක් නැහැනේ.
පුතාලගේ ගෙදරට සුමානෙකට ගෙනෙන දේවල්වලින් මට පුළුවන්
මාසයක් පිරිමහගන්න.....”
සෝමා පුංචි එහෙම කිව්වේ නිකම්මත් නොවේ. මාව කුස්සියටම
අඬගසාගෙන ගිහින් පෙන්නලාය.
නෝනා උයන වෙලාවට අඹරන මිරිස් ගුළිය මානිට දෙන්නෑ. මානෙලුත් එහෙමයි.... නාස්ති වෙන්නේ පුතාගේ සල්ලි! |
“මේ... මේං බලන්න රංජි පුතේ මේ මිරිස් ගුලි.
නෝනා උයන වෙලාවට අඹරන මිරිස් ගුළිය මානෙල්ට දෙන්නෑ. හංගනවා.... මානෙලුත්
එහෙමමයි.... දවසක් ඇර දවසක්නෙ එක්කෙනෙක් කුස්සියට එන්නේ.... එතකොට මිරිස් ගුළිය
පුස් කාලා..... මේ පේනවද මිරිස් ගල වටේ වැටිලා තියෙන මිරිස් කරල් ගොඩ. අපරාදෙනෙ
මයෙ පුතේ...... බදුල්ලේ නැතිව ළඟකවත් හිටියා නං....”
එදාය මාත් දැක්කේ. බෝතලයට නොදැමූ සීනි ගොටු
කොටස්වලට කූඹි වහලාය. ඉතිරි වුණු පාන් කාල්-බාග තැන-තැනය. වළංවල ඉතිරි කෑම පුස්
කාලාය.
ඒ දවස්වල අරපිරිමැස්මක් කියලා දෙයක් අපේ ගෙදර
තිබිලාම නැත.
අපේ ගෙදර ළඟම ගෙදරක හිටියත්, අපේ ආච්චිට
වුණත් අපේ නංගිලා ආංබාං කරන්නට; මෙච්චල් කරන්නට හැකි වුණේ නැත. ඒ එයාලත්
දිසානායකලා වුණු හින්දාය. ආච්චී දසනායකනේ!
ඉතින්, දිගින්-දිගටම ගඟට ඉණි කපන්නට කැමැති කවුද?
නිමල් අයියේ තාත්තා මිය ගිහිල්ලා අවුරුදු 53 ක් නොවේ 43ක් වෙනවා නේද?
ReplyDeleteසිනමාස් සමාගම එක විකුණලා දැන් අනුශා ෆිල්ම් හොල් එක අයිති නව පරපුරේ නළුවෙක්ට.
ඒකනේ මටත් අවුලග මමත් බැලුවා කමියා එගෙමත් එච්චරම වයසට ගිහින්ද කියලා
Deleteගොඩාරියක් ස්තුතියි අසංග.
Deleteඉතාම ඉක්මනින්ම මගේ වැරැද්ද අහුවීම ගැන. ඒ වගේම සතුටුයි ඒ වැරැද්ද ගැන තියෙන ප්‍රතිචාර දැක්කමත්. ඒ කියන්නේ රසික ඔයාලා ඉතාම සැලකිල්ලෙන් - අවදියෙන් කියවනවා කියන එකනේ.
පෝස්ටුවක් කෙටුවාම දෙතුන් වතාවක්වත් කියවෙනවා, අක්ෂර- ව්‍යාකරණ වැරදි බලන්නයි, පින්තූර ගැළපෙන පරිදි යොදන්නයි යද්දී.
එහෙමත් එකේ මේ වැරැද්ද අහු නොවුණේ මං ගණිතයට දක්ෂ නැති නිසාම වෙන්නෝනි.
උදාර, කමිගේ වයස කොහොමද මෙතනට.... සොරි, සොරි, මම සාමාන්‍යයෙන් කෙනෙකුට මගේ වයස කිව්වෙත් නැහැ, කෙනෙකුගේ වයස ඇහුවෙත් නැහැ මේ ළඟක් වෙනකල්ම!
කොහෙද, අපේ නංගිල-මල්ලිලාගේ දරුවෝ අම්මල-තාත්තල වුණාම මං ඉබේම 'කොකු සීයා' වුණානෙ. වයස හංගන එක අතෑරියේ එතකොට.
Deleteඌත් මගේ වයසමනෙ
මේ පැත්තෙනං දැන් අඟහරාවාදා සිකුරාදා අවසන් කටයුතු කරන එක සෑහෙන්න කෙරෙනව. දැන්වීම් අච්චු ගහන මනුස්සයෙක් හැටියට මට ඒක කියන්න පුලුවන්.
ReplyDelete//ඒ 1976 දීය. අදට අවුරුදු 53කට කලින්ය// මගේ වයස අවුරුදු 10 කින් ඉහළ දැමීම පිළිබඳව සාතිශය සංවේගය. :D
බලන්යනකොට කො.කො.ස සභාපතියා නன මගේ පලෝලේ එකෙක්නේ
Deleteනෙදකින් මූත්9දෙන්නත් 1976
Deleteහත්තිලව්වේ, වැරැද්ද හදන්නේ නැතිවම තියෙන්න අරිනවා. තව කියවන අයගෙනුත් මොන-මොනවා හරි කියවෙයිනේ එතකොට.
Deleteප්‍රසන්න උන්නැහෙත් ප්රින්ටින්ද කරන්නේ?
Deleteමේ පැත්තේ නං මේ ළඟදිත් මිනිය ගෙදරකට නොගෙනවිත් බලන් හිටියා රෑ දොළහ පැනලා දවස වෙනස් වෙනකල්.
සාතිශය සංවේගය පහන් සංවේගයක් කර ගනිමු නේද, ප්‍රසන්න.
1976 උපන්න අපි වගේ තරුණයන්ට අවුරුදු 10 අහිමි කිරීම එච්චර දෙයක් නෙවෙයි. අපි දවසක මෙහෙන් චුතවෙලා ආපහු නම ගම වෙනස්වෙලා එන අමරණීය මිනිස්සු හරිය ලොකා...
Deleteයකෝ බලාගෙන යනකොට 76 සෙට් එකක්ම ඉන්නවනෙ. මම ඉස්සෙල්ලම දැනගෙන හිටියෙ කමිය 76 කියල විතරයි. ඊගාවට ලොකු මල්ලි.
Delete@නිදි, ලොකුවට නෙමෙයි පොඩි ප්‍රින්ටින් වැඩක් තමයි කරන්නෙ. මෙහේනං දැන් ඔය දවස් දෙක ගනන් ගන්නෙ නෑ.
Ramses 11 ට වගේ අධිකාරී බලය ගැන මට හිතුනෙ
ReplyDeleteඑච්චර නැහැ Pra Jay මහත්තයෝ.
Deleteකොච්චර අධිකාරි බලය තිබුණත් වැඩක් නැතිවෙන තැනුත් තිබුණා. අපේ පළමුවෙනි විධායක ජනාධිපතිතුමාටත් ඒක වුණේ. ඉතින් මට වුණාම මොකෝ?
ගෙදර ලොකු එකා උනාම හම්බ වෙන අධිකාරී බලය!!! අප්පේ මට මතක් වෙනකොටත් හිරිගඩු පිපෙනවා!!!
Deleteඡ්න්න ස්වාමීන්වහන්සේට බ්‍රහ්ම දණ්ඩණය පැණවුන එක ආරංචිවුනාම කලන්තෙ දැම්මලු.
ReplyDeleteඉයන් මහත්තයෝ, ඒකටත් එක්ක දැන් ඉන්න අය. බ්‍රහ්ම දණ්ඩනේ නෙවෙයි සිවුරු අරවනවාය කිව්වත් ....
Deleteඅදයි කියෙව්වේ මේක . වෙන තැනකින් ඇවිත්. කණගාටුයි නංගිලා දෙන්න ගැන. අඩු වයසින් වැඩිහිටි උණු නිදි ගැන
ReplyDeleteස්තුතියි අජිත් මහත්තයෝ, මෙහෙම හරි; පහුවෙලා හරි මගේ ජීවිතේ කොටස් කොටස් දැනගන්නට උනන්දුවීම ගැන ගොඩාරියක් ස්තුතියි!
Delete