අකුරු මැකී නෑ

Wednesday, November 13, 2019

මෝස්‌තර එක්ක හත් වසරක් - විසිහතරවෙනි කොටස

නිමල් දිසානායකත් පට්ට මෝඩයෙක් වුණේ එතකොටය! ඒ බව වැටහෙන විට අශ්වයා ඉස්තාලයෙන් පැනලා ගිහිනුත් ඉවරය!

වඩාත් සූක්ෂ්ම සැරසිලි වෙනුවට වඩා ඉක්මනින් ඉටි කරන්නට පුළුවන් විදිහේ....
අපි වඩාත් සූක්ෂ්ම සැරසිලි වෙනුවට තරමක් ඉක්මනින් කළ හැකි බතික් සැරසිලි නිපදවන්නට වීමු.

එය ලාභදායීය; පහසුය; ඉක්මන්ය. වැඩ කරන ළමයින්ටත් ලෙහෙසිය. වැඩියෙන් නිපදවා වැඩියෙන් හම්බ කරගන්නට හැකි වුණේය. එහෙම කරද්දී රිකී මහත්තයාගෙන් ලැබෙන්නට තිබුණු මුදල්; හිඟ මුදල් ප්‍රමාණය ඉහළ යන්නට වුණේය.....

එතැන අනතුරු දෙකක්ම හැංගිලා තිබුණේය. 

හැමදෙනාටම එකෑවරම පෙනෙන්නේ ණය මුදල ඉහළ යාම පමණි. අනෙක් අනතුර එතරම්ම ප්‍රකටව පෙනුණේ නැතත් පළමුවැන්නට වඩා භයානකය!

මගේ වචනයකින් කියනවා නම් මෙව්වා 'ගෝඩි වැඩ'ය.... සියුම් නැතිය........
දීපානි බතික් එකේ හිටි ළමුන් සේරම මා විසින්ම පුහුණු කළ අයයි. 

ඒ හින්දාම පොඩි ‘නිමල් දිසානායක ලකුණක්’ අපේ බතික්වල තිබිණි. එහෙම, අපටම කියා ගොඩනැඟුණු අනන්‍යතාවක් විණි නම් එහි පදනම; අත්තිවාරම වුණේ ‘සූක්ෂ්මතාව’යි. ඔහෙ ගසා දමා කරන වැඩ අපෙන් කෙරුණේ නැත. 

වඩා සියුම් මෝස්‌තර, වඩා සියුම් පින්සල් පහරවල්..... ඒ තියා වඩාත් කුඩා ඉටි බිංදු....

අපේ වැඩපොළේ ගැහැනු ළමුන්ට පාවිච්චිය සඳහා; wax කිරීම සඳහා, එක-එක්කෙනාට ඡන්ටින් තුනක් බැගින් සපයා තිබිණි.
එකක් ලොකු සිදුරක් තිබුණු එකකි. 
දෙවැන්න මීඩියම් size ය. 
අපේ වැඩපොළේ වැඩියෙන්ම පාවිච්චි කෙරුණේ කුඩාම සිදුරක් තිබුණු තෙවැනි ප්‍රමාණයේ ඡන්ටින් එකය. 

කොටින්ම ඒ තරම් ඒවා මරදානේ A.C.A. මුතාලිප්බ් එකේවත් තිබ්බේ නැත. ඒවා හදලා දුන්නේ අපේ සුනිල්ය

ඡන්ටින්ස් හැදීමේදී තහඩු කපන්නට කතුරක්, පාස්සන්නට ‘බවුත් එකක්’, ඊයම් වගේ දේවල් සේරම, තිස්සෙම මිනිහා ළඟ ‘රෙඩි’ පිට තිබුණේය!

උණ බටවලින් කපා, ගොරෝසු වැලි කඩදාසිවලින් අතුල්ලා සිනිඳු කළ.............
උණබටවලින් පතුරු කපා, වැලි කඩදාසිවලින් මැද මතුපිට සිනිඳු කරගෙන තිබුණු ඡන්ටින් මිටවල් මිටියකුත් එහෙම සූදානමින් තිබුණු තවත් උපාංගයකි!

රිකී මහත්තයාගේ කීම නිසා වැඩියෙන් වගේම; ඉක්මනින් බතික් කරවන්නට ගිය නිසා, කලින් අපේ බතික්වල තිබුණු ‘කලාත්මක බව- සූක්ෂ්ම බව’ එහෙම පිටින්ම වාගේ නැති-බංගස්ථානවී ගියේය. අපට ඒ බව වැටහෙන විට පරක්කු වැඩිය. 

ජන්මෙට වැඩිය පුරුද්ද ලොකුනේ....

Tourist season එකේදී වෝල්හැඟින්ස් කරලා බැලුවාම ඒවා වැටුණේ තුට්ටු දෙකේ කොලිටියටය!

“රිකී මහත්තයාගේ ලෑම්ප් ෂේඩ්ස් නෙවෙයි මේ. ඉස්සර වගේ ගතියට තියෙන්න ඕනේ. මෙහෙම බඩු නම් බෙන්තොට තව තියෙනවා.... හීනි ටූල් (ඡන්ටින්) එකෙන් වැඩියෙන් වැඩ ගන්නවලා ඉස්සර වගේ...”

මගේ උපදෙස්වලින්වත් එතරම් වැඩක් වුණේ නැත.

අමාරුවෙන් හරි බරැති ගෝලයක් කඳු මුඳුනකට තල්ලු කරගෙන ගියත්, එය පහළට පෙරළෙද්දී නවතන්නට නම්....
බරැති ගෝලයක් අමාරුවෙන් කන්දක් උඩට තල්ලු කරගෙන යා හැකිය. එය කන්දේ පල්ලමට පෙරළෙන්නට පටන්ගත්තොත් නවත්තන්නට පුළුවන් මොන ජගතාටද?

ඒකෙන් වුණේ අපේ බතික් නිපැයුම් අලෙවිවීම අඩු වීමය. වැඩි-වැඩියෙන් රිකී මහත්තයා මත යැපෙන්නට සිදුවීමය.

රිකී මහත්තයාටත් දුර පෙනීමක් තිබුණේ නැහැ වගෙය. 

මොකා හරි තොග ගණනේ රිකී මහත්තයාගේ lamp shades ‘ලක්සල’ට  අරගත්තත් එහෙ ගබඩාවල් වුණත් පිරෙන්නට ඇතිනේ. 
“ටිකක් ඉවසලා ඉන්න වෙයි වගේ නිමල්. මේ දවස්වල stocks වැඩියිලු. Sales අඩුයිලු. අපේ පේමන්ට්ස් වුණත් හම්බ වෙන්නේ පරක්කු වෙලා....”

මේ කාලයේම අපේ පවුලේ සිදුවුණු වෙනස්කම් කිහිපයක් ගැන ‘ශ්‍රී ලංකා not Vs Englandපෝස්ටුවලින් ඔබ කියවයි. 

සුනිල්ගෙ අවධානය බතික්වලට වැඩියෙන් පෙම්වතියටත්, සයිකල් රේස්වලටත්ය. 

නෝනාගේ අවධානය එංගලන්තයට යන්නටය. 

එතකොට මං? මගේ ගැනත් ඇත්තම කියන්නට වෙයි. මට මොනම දෙයක් වුණත් ‘ඒකාකාරී වෙනවා’ පෙන්නන්නට බැරිය. 
ඒ දවස්වල මටත් බතික් කෙරුවාව ‘ඇති- ඇති’ වගේ දැනෙමින් තිබුණේය.

උඹට ඉන්ෂුවරන්ස් එකේ කැන්ටිම කරන්න අරන් දෙන්නම්.....
“නිමල්, මං කොහොම හරි උඹට ඉන්ෂුවරන්ස් එකේ කැන්ටිම අරන් දෙන්නං. මටත් උදව් වෙතෑකි. කළු අක්කවත් අල්ලාගෙන කරමුද?”

දේශපාලන කෙලෙහිගුණ සැලකීමක මහිමයෙන් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ රැකියාවක් ලැබී සිටි සෝමවීර යෝජනාවක් අරගෙන ආවේය. (මට කොහොඹ කිනිති 100ක් කන්නට වුණේ  මේ සෝමවීර එක්ක ඔට්ටුවෙන් පැරදුණු හින්දාය. 

-එතකොට අපි; කළු අක්කාත්, මාත් කරු හවුලට මැණික් ගරන්නට දියවින්නේ ගිහින් තිබුණේ  නැත. කළු අක්කාගේ ලොකු දෝණියන්දෑ; සෝමලතා අපේ බතික් වැඩපොළේ සේවය කරමින් හිටියාය. 
හැමදාම රාත්‍රියට අප 304 සෙල්ලම් කරන්නට එකතුවෙමින් හිටියෙත් ඒ කාලයේයි!)

අලුත් යෝජනාව මගෙත් හිතට ඇල්ලුවේය.

“කළු අක්කේ, මොකද කියන්නේ? මේ වැඩේට අත ගහමුද?”

“ආයේ මොනවද අහන්නේ නිමල් මල්ලී. ඔයා කියනවා නම් තව මොනවද?” අප අතර තිබුණේ ඒ තරම් තදබල විශ්වාසයකි; ළෙන්ගතුකමකි. 

හුඟ දෙනෙකුට එහෙම දේවල් තේරුම් ගන්නටවත් හැකියාවක් නැත. 

කළු අක්කාටත්, ඇයගේ සැමියා සෝමේ අයියාටත් මා නිමල් මල්ලීය. 
කළු අක්කාගේ වැඩිහිටි සොහොයුරු, සොහොයුරියන්ට හා දූ-පුතුන් හතර දෙනාටම මං නිමල් අයියාය. (අපේ ගෙදර අය හිතාගෙන හිටියේ මං කළු අක්කාගේ දෙවෙනි දියණිය සහේට ගන්නට යන බවකි.) 

කළු අක්කාගේ දෙවෙනි දියණිය විවාහ වුණේ මගෙත් මිතුරෙක් වුණු කිංස්ලි පද්මලාල් සමඟිනි.
ඊළඟ ආත්ම භාවයක් තියෙනවා නම්; ඒ මනුෂ්‍ය ආත්මයක්ම නම්; ප්‍රාර්ථනා එලෙසම ඉටු වෙනවා නම් මෙලහට කළු අක්කා අවුරුදු හත අටකවත් කොලු පැංචෙකු විදිහට ඉන්නවා විය යුතුය! 

ඇය මියගියේ අවුරුදු දහයකටත් ඉස්සරය. ඇගේ එකම ප්‍රාර්ථනාව වුණේ ඊළඟ ආත්මයේ පිරිමියකු විදිහට උපදින්නටය.

“සෝමේ අයියා මට වරම් දීලා තියෙන්නේ, ලබන ආත්මේ පිරිමියෙක් වෙලා උපදින්න.” කළු අක්කා නිතර කීවාය.

“මං මොකටද එපයි කියන්නේ. නිමල් මල්ලී, මෙයාට ඕනේ පිරිමියෙක් වෙලා උපදින්නනේ.... හඃ හඃ .... ලබන ආත්මෙනේ. මං කොහෙ ඉඳියිද කියලවත් මං දන්නවය?” 
සෝමේ අයියා කිව්වේ එහෙමය.

සෝමේ අයියා එතරම් තණ්හාවක් නොතිබුණු, පොඩි දේකින් සැනහුණු සරල මනුස්සයෙක් වුණේය.
සෝමේ අයියා අන්තිම සරල මනුස්සයෙක් වුණේය!
එයා රස්සාවට කළේ මහරගම පොළේ එළවලු තට්ටුවක වෙළෙඳාම් කිරීමය. ඒ තට්ටුවේ ජාති ගොඩක් විකිණුවේ නැති බවත් මටම මතකය. 

මහරගම පොළ තියෙන්නේ සතියකට දවස් තුනකි. සඳුදා, බ්‍රහස්පතින්දා හා සෙනසුරාදාය. එහෙම වෙලත්, ඒ දිනවලටත් හවස තුන-හතර වෙනකොටම සෝමේ අයියා ගෙදර ඇවිත්ය.

“අනෙක් වෙළෙන්දෝ සේරම හවස් වෙනකල් ඉඳිද්දී ඔයා විතරක් කොහොමද සෝමෙ අයියෙ ඔච්චර කලින් බඩු ටික ඉවර කරගෙන ගෙදරත් එන්නේ?”

උත්තර දුන්නේ කළු අක්කාය. “මේ මනුස්සයගෙ හැටිනේ නිමල් මල්ලී. එයාගේ ගණන අතට ආව ගමන් ගෙනාව ගණනටම හරි එළවලු ටික දීල- දාලා සෝමේ අයියා ගෙදර එනවනේ.”

මං පීලි පනිනවා නොවේ. මුළු රටේම ඉන්නා අය ගැන කියනවාත් නොවේ. 

මගේ විචිත්‍ර ජීවන ගමනේදී මට හමුවුණු මේ හැම චරිතයක්ම අපූරුය. ඒ හැම කෙනෙකුම මට වැදගත්ය. එයාලා මට විවිධ පාඩම් කියා දුන්හ; නොදැනම මගේ ජීවිතය හැඩ ගැස්වූහ! මට බෝම්බ ධර්මේ අයියා  හඳුනාගන්නට මඟ පෑදුණේත් කළු අක්කලා හින්දාමය. 

එතකොට එයාලා හිටියේ ධර්මේ අයියලාගේ ගෙයක් කුලියට අරගෙනය. 
හෝමාගම බැංකු කොල්ලයෙන් ගෙනා සල්ලි මිටි  කුල්ලක උදව්වෙන් ගොඩවල් ගැහුවාය කී ගෙදර තිබුණෙත් ඒ මිදුලේමය.

කළු අක්කාත්, මාත් රක්ෂණ සංස්ථාවේ කැන්ටිම බලන්නට ගියේ සෝමවීරත් එක්කමය......
ඉතින් කළු අක්කාත්, සෝමවීරත්, මමත් නිරීක්ෂණ චාරිකාවක යෙදුණෙමු; ඉන්ෂුවරන්ස් කෝපරේෂන් එකට. කොම්පඤ්ඤවීදියේ.

එතකොට ඒ බිල්ඩිම උස හින්දාම ඉහළින් වැජඹුණු එකකි. ඉහළ තට්ටුවක තිබුණු කැන්ටිමට ගිය අපි ඒකෙන් මොනවාදෝ කාලා තේත් බිව්වෙමු. ඒ අතරවාරයේ එතැන වැඩ කෙරෙන හැටිත් හොඳින් බලාගත්තෙමි.

“මෙච්චර විශාල එකක් කොහොමද බං කරන්නේ, පුරුද්දක් නැතිව?” 

ඒ කැන්ටිම දුටු මොහොතේම මම සෝමවීරගෙන් ඇසුවෙමි. 
සූපවේදය තියා, බතක්- පරිප්පුවක් උයන හැටිවත් එතකොට මං දැනගෙන හිටියේ නැත.

“උඹ උයන්නේ මොකටද මොට්ටයෝ. ඉරිදා පත්තරයක් අරගෙන බලපංකො. කොච්චර කුකින් බාස්ලා රස්සා හොයනවද කියලා... 
ඒ වගේමයි කුකින් බාස්ලාව ඉල්ලලා තියෙනවද කියලත්. 
දැන්වීමක් දැම්මම පෝලිමේ එන්නේ. හොඳ එකෙක්ව තෝරාගන්න විතරයි තියෙන්නේ.... අත් උදව්කාරයොත් එහෙමයි.”

පෙනුණු විදිහට නම් මිනිහා කලින්ම සේරම අධ්‍යයනය කරලා වගෙය!
පෙනුණු විදිහට නම් එතකොටත් සෝමවීර කරුණු අධ්‍යයනය කරලා වගෙය. 

එහෙම වුණත් ටෙන්ඩර් පත්‍රිකාවේ තිබුණු විදිහටම පළපුරුද්දක් නැති කෙනෙකුට ඒ ආපන ශාලාව පවත්වාගෙන යාමට ඉල්ලුම් කළ නොහැකිය. 

“හරි... උඹ හිටපංකෝ. මං හොයන්නම්කො උඹට ගැළපෙන කැන්ටිමක්...”
සෝමයා ලේසියෙන් දෙයක් අතහරින ජාතියේ නොවේ. අනෙක් අතට මනුස්සයාට guilty හැඟීමකුත් තිබුණේය.

1970වෙදී වගේ,  1977 ඉලෙක්ෂන් එකේදී කථිකයෙකු විදිහට වේදිකාවට නැංගේ නැතත් මා උදව් කළේ UNP එකටය. 
කොටින්ම, පමුණුව චන්දන උද්‍යානයේ ‘යූඇන්පී ඡන්දපොළ නියෝජිතයා’ වුණෙත් මේ හරකාමය. 
එයින් මහරගමට තේරී පත්වුණු ප්‍රේමරත්න ගුණසේකර මහත්තයාට (පස්සේ මස්සිනාට) ‘පොල්කටු මාලයක් දමන්නට වෙන බව’ පිළිගැනීමේ රැස්වීමේදී කිව්වෙත් මේ මැට්ටාමය. 

“ඔච්චර දේවල් කරලත් උඹට උදව්වක් අරගෙන දෙන්න බැරි වුණාට මොකක්ද වගෙයි මචං. ඒකමයි මං උඹට මේ වගේ දෙයියෝවත් නොදෙන චාන්ස් එකක් පාදලා දෙන්න බලන්නේ.” සෝමයා කිව්වේය.

මං උඹට අරන් දෙන්න හදන්නේ දෙයියොවත් නොදෙන විදිහේ චාන්ස් එකක්!
ඊළඟ ඔත්තුව ලැබුණේත් UNP අරටුවකිනි. මහරගම රෝබියස් අයියාගේ ලොකු පුත්තරයා විමලසිරි අයියාගෙනි. 

එයා වැඩ කළේ දෙමටගොඩ දුම්රිය අංගන කර්මාන්ත ශාලාවේය. 

“මචං, විමලසිරි අයියා කියනවා දෙමටගොඩ CGR කැන්ටිමටත් ලබන සුමානේ ටෙන්ඩර් කෝල් කරනවලු..... විමලයාට මං කිව්වා උඹත් කැන්ටිමක් කරන්න බලනවය කියලත්.... අවුරුද්දකට විතරක්වත්... එක්ස්පීරියන්ස් සහතිකයක් නැතිව ලොකු එහෙකට ඉල්ලන්න බැරි නිසා. විමලයා උඹව දන්නවනේ....”

“විමලසිරි අයියගේ මල්ලියි මමයි එකම පන්තියෙනේ බං ඉගෙනගත්තෙත්....” 

(තාත්තා සියදිවි නසාගත්තේ නැතිනම් මා කුලියට ගන්නට සැලසුම් කරගෙන හිටියෙත් රෝබියස් අයියලාගේ නිවසකි.) 

“කොයිකටත් යමං විමලේ අයියව හම්බ වෙන්න. මේකවත් අල්ලාගන්නම ඕනේ!”

අපි ගියෙමු. විමලසිරි අයියාව හමුවුණෙමු. “නිමල් මල්ලී, වැඩේ කෙරුණයි කියලා හිතාගන්න. අපේ සුභසාධක සංගමයෙන් තමයි සේරම දේවල් තීරණය කරන්නේ. 
මං කියන්නනං සභාපතිතුමාටයි, ලේකම්තුමාටයි, භාණ්ඩාගාරිකතුමාටයි තුන් දෙනාටම. සභාපතියා නං හෙණම සමසමාජකාරයා. 

සභාපතියා නං හෙණම සමසමාජකාරයා. ඒ වුණාට දැන්වත් අපිට යමක් කරගන්න බැරි නං .......
-ඒ වුණාට මේ කාලේ ගණන් බැහැලා ඉන්නේ, අපේ JR උන්නැහේගේ වැඩ හින්දා. දැන්වත් අපට බැරිද අපේ මිනිහෙකුට උදව්වක් වෙන්න? මොකෝ මචං, සෝමේ, බොරුද මං කියන්නේ.”

මම ටෙන්ඩර් ඉල්ලුම් පත්‍රයක් මිලදී ගෙන ඉල්ලුම් කළෙමි!

එතෙක් බතික් වැඩපොළේ නොවුණු දෙයකුත් පළමු වතාවට සිදුවුණේ ඔය අතරවාරයේය. හොරකමක්! ආරංචිය කිව්වේ ගමගේ අක්කාය. 

“නිමල් මල්ලී.... අරයාගේ hand bag එකේ තිබුණු සල්ලි වගයක් නැතිවෙලා.”

“හොඳට හොයලා බලන්නයි කියන්න ගමගේ අක්කේ..... මෙච්චර කාලෙකට ඔහොම වැඩක් වෙලා නැහැනේ... එක පවුලේ අය වගේ ඉන්න අතරේ කවුරුවත් ඔය වගේ දෙයක් කරයිද? ඊටත් තමන් වගේම කෙනෙකුට?”

ඒ කතාව එහෙමම යටපත්වී ගියේය. 

හැබැයි කවුරු-කවුරුනුත් අනෙකිය දිහා සැකයෙන් බලන්නට පටන් ගත්තේ තවත් වතාවක් ‘අර හොරකමම’ සිද්ධ වුණාමය. “දැන් නම් නිකං ඉඳලා බැහැ රංජි අයියේ... කවුරු හරි හෙරක් වැඩපොළේම ඉන්නවා.” 

- “නිමල් මල්ලී, මේකිව අල්ලා ගන්නම ඕනේ.... කවුරු වුණත් කමක් නැහැ, ඕකිට සහගහනවා අපි අතරෙ තිබිච්චි එකමුතුව නැති කළාට. බලන්න, දැන් එකෙකුට එකෙක් විශ්වාස නැහැනේ.”

ඔයාලගෙන් කවුරු හරි මේ හොරකම කරන්නේ හොඳට මාන බලාගෙන ඉඳලා!
“මමයි කියලා මොනවා කරන්නද ගමගේ අක්කේ? මොකද, හැම කෙනාගෙම බෑග් අපේ ගෙදර ගොඩගහගෙන තියාගන්නය. වෙනම මුරකාරයෙක් තියාගන්නද.”

එහෙම කිව්වත් වැඩපොළේ හැමදෙනාම කැඳවලා තරයේ අවවාද කරන්නට මම අමතක නොකළෙමි.

“අවුරුදු ගණනක් තිස්සේ කවදාවත් මෙහෙම දෙයක් වෙලා නැහැ. තව දිගට මේක වෙන්න දෙන්නත් බැහැ. 
කරුණාකරලා මේ ජරා වැඩේ මීට පස්සේ කරන්න එපා. 
තමුන් වගේම එක්කෙනෙකුගෙන් නේද මාන බල-බල ඉඳලා මේ හොරකම් කරන්නේ.... මෙච්චර කල් ඔයාලගෙන් ඕනෙම කෙනෙක් අපේ ගෙදරටත් ආවේ-ගියේ අහලා-බලලාද? මෙහෙම වෙද්දී කොහොමද ඕනෙම කෙනෙකුට, ඕනෙම වෙලාවක ගෙදරට එන්න දෙන්නේ?”

අපේ ගෙදරත්, ආච්චිලාගේ ගෙදරත්, වැඩපොළත් සේරම තිබුණේ එකකට-එකක් ළඟින්ය. අඩි විස්සක-තිහක පරතරයකින්ය; එක පොකුරටය.

කවුරුන් දිහා වුණත් සැකයෙන් බලන එක, මට නම් අප්පිරියාවකි; හිතට වදයකි. 

එහෙම කිව්වාම ‘හැමකෙනාම විශ්වාස කරන්නැ’යි කියා වැරැදි වැටහීමක් ඇති කරගත යුතු නැත. මට නම් විශ්වාස නොකිරීම වෙනය; සැක කිරීම ඊට වෙනස්ය.

ඔය හිත් වේදනාවත් තියෙන අතරේය ‘ලදුදෙ දෙමටගොඩ සේවක සුබසාධක සංගමයෙන්’ ලිපියක් ලැබුණේ. ඒ ටෙන්ඩර් විවෘත කිරීම ඉල්ලුම්කරුවන් අබියසදී සිදු කෙරෙන බව දන්වමිනි. 
කෙසේ වෙතත් ‘අවම ලංසුවට නොව වඩාත් සුදුසු ඉල්ලුම්කරුට ආපන ශාලාව වසරකට පවත්වාගෙන යාමේ වගකීම පැවරෙන’ බවත් ඒ ලිපියේ තිබිණි.

ඔන්න මචං බේරිල්ලට දාලා තියෙන වාක්කිය........

“ඔන්න මචං point එක. 
මං නං කියන්නේ මේක තමයි උඹවම තෝරාගන්න දාගෙන තියෙන කොන්දේසිය!” සෝමවීර ලියුම දැකපු ගමන්ම කිව්වේ එහෙමය.

“ඔව්, ඔව්. උඹ දන්නවනේ. උඹත් දැන් ඉන්නේ ඒ කොමිටියෙනෙ!”.

“යකෝ, ඕවා තමයි අද කාලේ කොහෙත් වෙන්නේ.... දන්නා-අඳුනනකමට පන්දමට නැතිව කොහෙද බං වැඩක් කෙරෙන්නේ?”

අදට වුණත් ඒ තත්ත්වය වෙනස් වෙලා නැහැ නේද? ඉතින්........

8 comments:

  1. මදැයි කොලා... අර "ඒකත් මංගලමුත්තමං" ලිපියට දාන්න තියෙන කමෙන්ට් එක ඊට පස්සෙ එකේවත් දානව කියල ඇවිත් කියවන්ඩ ගත්තම, තව ලිපියක් දාලා. ඉතිං මොකද කරන්නෙ? මං ඒක මෙතන දානව.

    මං නිසා පෝස්ටුවක් ලියන්ඩ තද බල ගාමක බලයක් ඇතිවුණු එක ගැන මට ගොඩක් සතුටුයි. ඒක මුලිම්ම කියන්ඩ ඕනෙ. (අපි කුඩාඔයදි කළේ නං අර වගේ මේස මත කරපු ක්‍රියාකාරකම් නෙවෙයි. පොළොව මත කරපු කය
    වගේම සිතත් මහන්සි කරවපු එව්වා. ඒ ගැන ලියන්ඩ මට ලොකූ උවමනාවක් තිබ්බත්, ඒවා මගේ බුද්ධිමය දේපළ නොවන නිසා ලියන්ඩ බෑ.)

    මං ගොඩක් කැමතියි නිදි අර වගේ තව තවත් ක්‍රියාකාරකම් අපට හඳුන්වා දෙනවනං. එකයි නෙ කියල තිබුණෙ, තව දහයක් විතරවත් නැතෑ කරවපුවා...

    මං ගොඩක්ම අගය කරන්නෙ කම්මැලි කමක් නැතුව සතියට තුන හතරක් ලිපි ලියන්න තියෙන හැකියාවට...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඩ්රැකී.

      සුමානෙකට පෝස්ට් දෙක තුනක් ලියන්නේ කොයි වෙලාවේ මැන්ටලේ ගහලා යයිද කියලා දන්නේ නැතිව ඉන්න නිසා. මැරෙන්න කලින් ජීවිත කතාව ලියා හමාර කරන්න.

      අනෙක බෙහෙත්වල අතුරු අබාධ නිසා දෙකකුල් එහෙම හිරි වැටිලා හින්දා වැඩිය ගමන්-බිමන් යන්නේ නැති නිසා.(හැබැයි, හයිහත්තිය තියෙන අයටත් වැඩියෙන් මං දුර ගමන් නම් යනවා වගේ- මිත්තරයන්ගේ පිහිටෙන්!)

      අපේ වැඩමුළු ක්‍රියාකාරකම් තිබුණත් ඒවා ප්‍රායෝගිකව කරනවිට තරම් ගැම්මක් කියවනකොට නැහැ වගේ හින්දයි නොලියන්නේ. බලමු ඒත්...

      Delete
  2. කට්ටිය ලේසියට බතික් කරන්න ගිහිල්ල අර පරණ පුරුදු ආපහු ගන්න බැරි වෙන්නම යට වෙලා වගෙයි.

    බතික් වැඩපොල වහල දාන්න අභ්‍යන්තර කුමන්ත්‍රණයක් සිද්දවෙනවද දන්නෑ.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න, ඕනෙම සියුම් වැඩ - කලාත්මක වැඩ කරන කෙනෙකුට හොර වැඩ- බාල වැඩ පුරුදු වුණෝත් 'ඩවුන් ද පල්ලම්' වගේ නේද? මට නම් එහෙමයි පෙනෙන්නේ හුඟක් අයගේ නිර්මාණ දිහා බලද්දී. ටෙලි- films- නාට්‍ය- ගීත- නවකතා- කෙටිකතා එහෙම බලද්දී.....

      බතික් වැඩපොළේ කුමන්ත්‍රණ නම් වුණේ නැහැ. හැබැයි සුමන්ත්‍රණ වුණත් නරක වෙලාවට කුමන්ත්‍රණ වුණා.

      Delete
  3. “යකෝ, ඕවා තමයි අද කාලේ කොහෙත් වෙන්නේ.... දන්නා-අඳුනනකමට පන්දමට නැතිව කොහෙද බං වැඩක් කෙරෙන්නේ?”
    ඒ උනාට රට හදන්න බැරි 225 නිසාලු :D

    ReplyDelete
    Replies
    1. මධු, 225 වගේම කෝටි එකහමාරක් විතරක් ඉන්නවානේ වෙනස් වෙන්න! කොච්චර වෙනස් වෙලාද කියලා හෙට පෙනෙයිනේ!

      Delete