අකුරු මැකී නෑ

Wednesday, January 29, 2020

ශ්‍රී ලංකා not Vs England - අටවෙනි කොටස

හේරත් හාමි රස්සාවට කළේ මිනී කපන එකය. හදිසි මරණ පරීක්ෂණයකට යන දොස්තර මහත්වරුන් මෘත ශරීර විච්ඡේදනය කෙරෙව්වේ හේරත් හාමි වැනි අතවැසියෙකු ලවාය. නංගීට උණක් හැදුණත් හඬා වැටුණු හේරත් හාමි,  පිහියා ඇනුමකින් ඇය මියගිය විට ඇයගේ අප්‍රාණික දේහයත් කැපුවේලු.

මිනී කපන රස්සාව කරන කෙනාට නංගිගේ මිනියත් තව එක් මෘතදේහයක් විතරය!
විමලරත්න කුමාරගම කවියා ඒ බව කියා තිබුණු කවි පන්තියෙන් දෙකකි, මේ.
        අලියා වැටුණු වැව සිටි හේරත්      හාමී 
        මා වැනියකු වුවද මම වැදගත්        වීමී
        මිනී කපන මුත් ඒ හේරත්            හාමී
        ඔහු මට වඩා විසි තිස් ගුණයෙන්    දෑමී 

        නැඟණිය මළ විටදී දොස්තර සමඟ  ගොසින්
        ඇගෙ කය කපන ලදි හේරත් හාමි       විසින්
        බැන්නත් ඔහුට මේ ගැන ගම නරක    බසින්
        ඔහුහට වැඩක් නැත ලොව ඇති රිහිරි  මසින් 
අපේ නංගීගේ; නෝනාගේ මෘත දේහය කැපුවේ නැත්තේ එය වෛද්‍ය විද්‍යාලයට බාර දෙන බැවින්ය. මරණය සියදිවි නසාගැනීමක් බව සනාථ වුණේ මොන-මොන සාක්ෂි මතදැයි අදටත් මා දන්නේ නැත.

ගමක කෙරෙන කතාබහට .....(foto-අමල් මහේෂ් නුගපිටිය)
ගමක හිටින කෙනෙකුගේ අකල් මරණය ඒ කාලයේ මාස ගණනාවක් තිස්සේ කතාබහට ලක්වෙන්නකි. 
අපේ තාත්තා සියදිවි නසාගත් විට ඒකත් මිනීමරුමකියි කියැවුණත්, ඒ කතාව ඉක්මනින්ම යටගියේය. 
එහෙම වුණේ තාත්තා වියපත් කෙනෙකුත්; ඔන්න මැරෙන්නට- මෙන්න මැරෙන්නට වගේ හිටි කෙනෙකුත් නිසා වෙන්නැතිය. නෝනා එහෙම නොවේ; තරුණ කෙල්ලකි. ඒ නිසාදෝ, ලොකු නංගිගේ මරණය මිනීමැරුමක් ලෙස හංවඩු නොගැහුණත් ‘කයි-කතන්දර’ ගොඩකට උල්පතක් වුණේය. 
“අවුරුදු 23 කෙල්ලෙක් වෙලත් නිකම්ම වහ බොයිද? ගෙදර ලොකු එකා කොහෙද නොපෑහෙන ගෙදරකට කූටාලි වෙලාලු. වහ බීපු දවසෙ රෑත් මිනිහා එහෙලු හිටියේ.” 
“ඒකේ හොඳ හරිය මේකයි. බතික් ගෙදර මහ ගෑනි එංගලන්තෙනේ ඉන්නේ. අනේ, ඒ මනුස්සයා නැහිල-නැහිලා හම්බ කරපු සල්ලි වගයක් එවලා. රංජි ඒවා ගෙඩිය පිටින්ම අර ගෙදරට දුන්න එකට තරහටලු පුෂ්පා වහ බීලා තියෙන්නේ.”

මහ ගෑනි එංගලන්තේ ඉඳන් නැහිල-නැහිලා හම්බකරලා එවාපු සල්ලි වගයක්....
ඒ කතන්දර සේරම කළු අක්කලාටත් ආරංචි වෙන්නට ඇතුවා නිසැකය. එහෙත් ඒ පවුලේ කිසිවෙක් අද වෙනතුරුවත් එව්වා ගැන මා සමඟ කියලා නැත. එතෙක් පැවැතුණු අපේ හිතවත්කමේ වෙනසක්වත් ඒවායින් ඇති වුණේ නැතිය. 
“මතක ඇතිව නෝනාට කියන්න සාස්තර අහලා එහෙම මට අහුවෙන්න එපයි කියලා!” ගෙදරින් පිටත්වී එද්දී අපේ ගෙවල් දිහාවට යන අහිගුණ්ඨික ගැහැනුන් දැක්කොත් ලොකු නංගිට පණිවිඩයක් යැවීම මගේ පුරුද්දය. 
කෙල්ල ඒ තරමටම සාස්තර අහන්නට කැමැත්තෙනි හිටියේ. 
ගෙදරින්-ගෙදරට ගිහින් සාස්තර කියන ගැහැනු අපේ නෝනා ගැන දැනගෙන හිටියා වෙන්නැති; මාසයකට වතාවක්වත් ඒ පැත්තට ආවෝය. 
ඉතින් ගෙදරට පණිවිඩයක් යවන්නට කෙනෙකු මට හමු නොවුණොත්, සාස්තර කියන්නියෝ ‘නෝනාගේ අනාගතය ටක්කෙටම’ කියති.

හිතේ තියෙන දේවල් සේරම ඉෂ්ට වෙනවය කියලත්...........
“ලොකා එපැයි කිව්වට උන් කියන්නේ ඇත්තනේ. සේරම හරියට කිව්වා... ටික දවසක් විතරලු අපල තියෙන්නේ. හිතේ තියෙන සේරම දේවල් ඉෂ්ට වෙනවයි කියලත් කිව්වා.....” 
නෝනා එහෙම කිව්වත්, ඒ කිසිම සාස්තරකාර අම්මණ්ඩියෙකු ‘මාරකයක්’ තිබෙන බව දැකලා තිබුණේ නැත. ඒකෙත් හැටි! 
අමාරුවෙන් හිත එකඟ කරගෙන උඩින් ඇති කොටස කෙටුවේ, කලින් පෝස්ටුව පළකොට සති දෙකකට විතර පස්සෙය. ඒත් හිතට හරි නැත. 
ලිවීම නවත්තා ප්‍රවෘත්ති කියවන්නට ගත්තෙමි. මෙන්න එතැනත්; ආයෙමත් ලොකු නංගිව සිහි ගන්වන පුවතක්........ 
නිලක්ෂි පටෙල් ගිනස් පොතට ගිහින්ය. 
ඒ පුවතත් එක්ක තිබුණු එක ෆොටෝවක් මා කැන්දාගෙන ගියේ සුනිල් කියූ දේකටය. සංසාරේ එපා වුණා අයියේ.... මෝචරියේ ලාච්චුවක් ඇරලා මිනිය පෙන්නුවාම. ඇඟේ නූල් පොටක් නැහැ.... ඒත් මුළු සරුවාංගෙම වැහිලා තිබුණේ නෝනාගෙ දිග කොණ්ඩෙන්.....” 

නිලක්ෂි පටෙල්ගේ බිම ගෑවෙන තරම් දිග කොණ්ඩය මට සිහිපත් කෙරෙව්වේ...........
සන්නිවේදනය විෂයේදී කියවෙන විශේෂ කාරණයක් තිබේ. ‘වචන දහසකට වඩා එක රූපයක් අගී’. මම නම් ඒ කතාව හිසමුඳුනින් පිළිගන්නා කෙනෙක්මි. 
නිලක්ෂිගේ foto එකක් මෙතැනට දමන්නේ නෝනාටත් තිබුණේ මෙවැනි කේශ කල්‍යාණයක් බැවිනි. බත් කෙණ්ඩ දක්වා දිගට තිබුණු නංගිගේ කෙහෙවවැටිය නිලක්ෂිගේ මෙන් අඩි 6 අඟල් 2ක් නම් දිගු නොවිණි. 
“ඔය මැරිච්ච කෙල්ල මහා උද්ධච්ච අම්මණ්ඩි.... කොණ්ඩේ විතරක් නෙවෙයි, ඔළුවත් හොඳටම ලොකුයි, ඉදිමිලා.... රංජියලා ඉස්සර හිඟා-නොකා හිඟාකාලා වගේ ජීවත්වෙච්චි විදිහට නෙවෙයි එයාගෙ වැඩ..... හිතන් ඉන්නේ මහධන සිටාණන්ගේ දූය කියලා...”      
“ගෙදර අය හැංගුවට මොකක් හරි රණ්ඩුවක්වත් වෙන්න ඇති. තරහට තමයි වහ බොන්න ඇත්තේ.” 
එහෙම කතන්දර කියවුණා මිස නෝනාට අගෞරවයක් වෙන; චරිතය කැළැල් වුණු විදිහේ දේවල් නම් කාගෙන්වත් කියැවුණු බවක් ආරංචි වුණේ නැති එකය පුදුමේ!
මේ ලියන්නා ලොකු නංගිත් එක්ක පුංචි සන්දියේ.......
ඒ අපේ ලොකු නංගිගේ දැඩි හිත ගැන කවුරුනුත් දැන හිටි නිසා විය යුතුය. දැනටම ඔබත් ඇය ගැන තරමක් දනියි. අඟුල්මල් දහනය කරන කාලයේ නෝනා හොඳටම පුංචිය. 
ආච්චී එක්ක බතල රණ්ඩුව ඇති කරගෙන මාස ගණනාවක් කතාබහ කරන්නේවත් නැතිව හිටියේ නම් යව්වනියක අවධියේය. 
එහෙව් තද හිත ඇති, අහංකාර යව්වනියක වුණු ලොකු නංගී අවසාන ගමන් ගියේ ගෙදර ඉඳලාවත් නොවේ. කළුබෝවිල සාගර මල් ශාලාවේ සිටය.
“නිමලෝ, ඒක ගැන අහිතක් හිතන්න එපා බං... උඹ මට කිව්වනේ ගෙදර අයට සරම්ප හැදිලා නිසා මිනිය ගෙදරට ගෙනියන්න බැරි බව. ඒ අස්සේ ප්‍රොෆෙසර් කෝදාගොඩත් කිව්වනේ මෙඩිකල් කොලේජ් එකට මිනිය දෙනවනං හතරට කලින් ගෙනෙන්න ඕනේ බව....” 
මර්වින් කියන ටිකම, ඒ විදියටම ලියන එක වඩා හොඳය.

 මර්වින්, අයස්මන්ත දෙන්නා හපුතලේ දඹේතැන්න පාරේ තොටුලගල camp එකකදී........
අදහනු මැනවි. දිවුරා කියමි. මේ විස්තර මා අසාගත්තේ 2020 වසරේදීය. එතෙක් ඒ ගැන මර්වින්ගෙන්වත්, අපේ සුනිල්ගෙන්වත් අසාගන්නට මට හිතුණේ නැත. 
අද අහගත්තෙත් ‘නිදිගෙ පංච තන්තරේ’ට මේවා ලියන්නටය. ඒ විස්තර දන්නේ මේ දෙන්නා විතරය. 
“මචං... එතකොට මයිකල් පීරිස් සාගර මල් ශාලාව පටන්ගෙන ටික දවසයි. ඒකෙ මිනියක් තැන්පත් කරලා තිබ්බෙත් නැහැ.
-කවුද බං එතකොට දන්නේ උඹත් මයිකල්ව අඳුරන බවක්. මගේ කීම නිසාමයි මයිකලයා ඉඩ දුන්නේ....  හරි නං ඒකට වෙනමම තෑන්ක් කරන්න වටිනවා. පට-පට ගාලා දුවලා-පැනලා, දන්නවනේ මේ කොල්ලගේ හැටි.... පාංශුකූලෙට හාමුදුරුවරුත් හොයාගත්තා.
-උඹට මතකද එදා උඹ කරපු කලබලේ... පෙට්ටිය වහන්න දුන්නෙම නැතිව, අඬ-අඬා.... 
-අන්තිමට අර ළමා නිවාසේ සර්ලා, සෝමවීරලා එකතුවෙලා උඹව පැත්තකට ඇදල දැම්මා.  අන්තිමේ පෙට්ටිය වහනකොට 3.45ටත් කිට්ටුයි.
-එතකොටයි මට මතක් වුණේ, මයිකල්ගේ හර්ස් එක එලවන්න හිටියේ වයසක පොරක්. මිනිහත් එක්ක ගියොත්, ෂුවර් එකටම late වෙනවා.

මදාවියා හර්ස් එක ගෙනිච්චේ flight එකක් වගේ.......
-කළුබෝවිල මොරිස් මයිනර් ටැක්සියක් එලවන පොරක් හිටියා මදාවියා කියලා. පිම්මේ ඇරලා යන්න දෙයියා. ඉගිලෙනවා... මම පොරව දන්නවා. 
-මචං, මෙහෙම සීන් එකක් තියෙනවා කියලා මම කතන්දරේ මිනිහට කිව්වා. විනාඩි 15න් මෙඩිකල් කොලේජ් එකට හර්ස් එක ගෙනියන්න ඕනේ කියලත් කිව්වා. මයිකල්ගෙන් ප්‍රශ්නයක් වේවි කියලා මිනිහා මුලදී ටිකක් අදි-මදි කළා. ඒ රෙස්පොන්සිබිලිටි එක මම ගන්නවා කිව්වමයි, මිනිහා වාහනේ ගත්තේ. හර්ස් එක ගියේ flight එකක් වගෙයි. උඩින්.... 
-ඒත් අපි යද්දී විනාඩි 10ක් විතර පරක්කුයි. ප්‍රොෆෙසර්ගේ කීම නිසා මෙඩිකල් කොලීජිය ඇරගෙන හිටියා, අපි එනකල්.... අද වගේ නං පෙට්ටිය ගෙදර ගෙනෙන්නයි වෙන්නේ ට්‍රැෆික් එකට අහුවෙලා. යන්නයැ....” මර්වින් කියන්නේ ඇත්තය. එදා රට තිබ්බේ එහෙමය. 
මළගමේ කටයුතු අහවරවී ගියේ දවස් දෙක-තුනකි.  අන්න ලොකු සර් නිමල් මහත්තයට ඉක්මනට එන්න කිව්වා. එංගලන්තෙන් ටෙලිෆෝන් කෝල් එකක් එනවලු කියලා...” ළමා නිවාසයේ ළමයෙක් හති දමමින් ඇවිත් කිව්වේය. 
හැකි තරම් වේගයෙන්, විජහනියට ළමා නිවාසයට දිව්වේ........
එතකොට රෑ බෝවෙලාත් ඉවරය. මම විජහිනියට උඩහට දිව්වෙමි.
“අම්මලට ආරංචි වෙලාවත්ද?” දුවන අතරේ මගේ හිත ඇහුවා මතකය. 
ආරංචිය එංගලන්තයට ගිහින් තිබුණේ නැතිය. ටෙලිෆෝන් වයර් දිගේ දෝරේ ගලන සතුටක් ලංකාවට එවමිනි, අම්මා කතා කළේ. “ඇහෙනවද රංජි සද්දේ?” 
“ඔව්... ඔව්.” විශේෂයෙන් ඇහුණු සද්දයක් නැතත් මම කීවෙමි. 
“අද අපේ wedding ඇනිවසරි එක. මෙහෙ ඉන්න ලංකාවේ අය ගොඩකටයි, dadaaගේ යාළුවන්ටයි කිව්වා. ආන්ටි එරීනුත් ආවා....”  
සතුටෙන් සමරන උත්සව අවස්ථාවක, අකල් මරණයක් ගැන; ලොකු දෝණියන්දෑගේ සියදිවි නසාගැනීම ගැන ආරංචිය අම්මාට දෙන්නට පුළුවනිද? “අම්මේ.... සද්දේ හින්දා කියන දේවල් වැඩිය ඇහෙන්නේ නැහැ. හෙට හරියටම මේ වෙලාවට මම ළමා නිවාසෙට ඇවිත් ඉන්නවා. කෝල් එකක් දෙන්න...”

මේත් අහිංසක පාටියකි. වැඩ අතරේ කෙරෙන්නකි. අපේ අම්මලාගේ පාටිය වගේ නොවේ!
“රංජි එහෙම වෙලාවක අම්මට පුෂ්පාගේ ගැන කිව්වේ නැති එක හොඳයි.” 

කුලතුංග සර් මගේ පිළිවෙත අනුමත කළේ, පිටටත් තට්ටුවක් දාලාය. “අම්මී... අපි දෙන්නට තේ එකක් හදන්නකෝ... පොඩ්ඩක් කතා කරලා යන්න නිමල්... තුවාලේ පෑරිච්ච වෙලාවේ.....” 

“දැන් හෙටත් මෙහෙ එන්න එපාය. හෙට රෑට ටිකක් වේලාසන එන්න. අපිත් එක්කම කෑම ටිකකුත් කාලා පොඩි සාකච්ඡාවක් දාගෙන ඉඳිමු. සුනිල්වත් එක්කගෙන එන්න.” 
මනුෂ්‍ය චිත්ත සන්තානය ගැන හොඳ අවබෝධයක් තිබුණු කුලතුංග සර් කිව්වේ මගේ හිත හදන්නට බව මම හොඳාකාරවම දැනගෙන උන්නෙමි. 
‘Out of sight, out of mind’ කියමන කොච්චර ඇත්තද? එච්චර හිතවත්ව හිටි කුලතුංග සර්ලාගේ පවුලත් සමඟ අපට තිබුණු සබඳකම තුනීවී ගියේ අපටත් නොදැනීමය. එහෙම වුණේ දුර හරස්වුණු නිසාමද? ඔවුන්ගේ ලොකු දියණිය නයනා, පුතු දුලිප්, දැන් මට නම මතක නැති අනෙක් පුතා..... දැන් අම්මලා-තාත්තලා වෙන්නට ඇති!

අපි දැන් ඉන්නේ කළුතර රිච්මන්ඩ් කාසල් ළමා නිවාසේ.....
මේක අක්කර 42 ක ඉඩමක් නිමල්. අපි දැන් ඉන්න ළමා නිවාසේ බිල්ඩින් එක විතරක් අක්කරයක් තිබිලා තියෙනවා. ඇවිත් යන්නකෝ.... කළුතර පලාතොට. හොයාගන්න අමාරුත් නැහැ. රිච්මන්ඩ් කාසල් කිව්වාම නොදන්නා මනුස්සයෙක් නැහැ....” 
පසු කාලයක කළුතර ළමා නිවාසයක පාලක තනතුරට පත්වුණු කුලතුංග සර් දුරකතනයෙන් ආරාධනා කළේය.
අපිදු එහි ගියෙමු. අපේ සුනිලුත්, මල්ලිකාත් එදා උත්සාහ කළේ දඹුලු යමින් ගමන තලගොයි දඩයමකුත් කරන්නටය. “අයියේ මල්ලිකාගේ යාළුවෙකුත් එනවා අපිත් එක්ක කළුතර යන්න.....” අන්තිම මොහොතේ සුනිල් කීවේය. 
“කවුද යාළුවා?” 
“අයියත් දන්නවා... අදත් කතාබහ කරලා බලන්නකෝ, හිතට කැපෙයිද කියලා.” 
J මල්ලිකාගේ මිතුරියකි. හයිඩ්රාමනි ආයතනයේ සේවය කරද්දී මල්ලිකාට හිටි හොඳම මිතුරියන් තුන්දෙනාගෙන් එක්කෙනෙකි. දෙන්නෙකුම ‘සීතා’ලාය. එක්කෙනෙක් ඉංගිරියේ සීතාය, අනෙකිය පිළියන්දල සීතාය.

කොහොම වෙතත් අනංගයා අපේ දිහාවට මල් හී සර විද්දේ නැත!
යෙහෙළියන් හතර දෙනාගෙන් අහිංසකම යුවතිය J ය. ඇය කොච්චර අහිංසක වුණත්; කළුතර ගිහින් දවසක් තිස්සේ කතාබහේ යෙදුණා වුණත්; ‘අනංගයා’ උක්දඬු දුන්නෙන් අපේ දිහාවට මල් හීසර විද්දේ නැත.
“ඔයාලව නෙවෙයි පිළිගන්න ඕනේ. මෙයාවයි.... අහලා තිබුණා විතරයිනේ. දකින්නේ දැන්නේ.” කුලතුංග යුවල J පිළිගන්නා වෙලාවේ කී දේවලින්ම මට ‘සුමන්ත්‍රණයක’ සුලමුල තේරුම් ගියේය. 
“J හොඳ කෙල්ලෙක් කියලා සුනිලුයි මල්ලිකායි දෙන්නාම කිව්වා. මටත් පේන්නෙ නිමල්ට....” 
“කිසිම නරකක් නැහැ, සර්. එයා මට හොඳ වැඩියි!” 
අනවශ්‍ය ගහක් වැඩෙන්නට දී පොරොවෙන් කපනවාට වඩා හොඳ පැලය සන්දියේදීම නියපොත්තෙන් කඩලා දැමීමය.

පතාගෙන ආව හැටියට තමයි සේරම... (foto-LondonE3Traveller)
“අපි try කළාට බැහැ. පතාගෙන ආව හැටියට එපැයි වැඩ සිද්ධ වෙන්න.....” කියලා අප දෙන්නාගේ කතාව ඉවරයක් කළත්, කුලතුංග සර් ‘මුඩ්ලියර් දොන් ආතර් ද සිල්වා විජේසිංහ සිරිවර්ධන’ ප්‍රකෝටිපතියාගේ කතන්දරය අපට කිව්වේය. 
එංගලන්තයේදී ඉගෙනුම ලබා, මහරාජාවරයෙකුගේ මන්දිරයක් දැක එවැනිම ගොඩනැඟිල්ලක් ඉදි කරවූ මේ මුදලිතුමාගේ විවාහ මංගල්‍යයට එංගලන්ත රජ පවුලෙන් නොආවේ මහරැජනලා ජෝඩුව විතරලු. 
“කොළඹ ඉඳලා කළුතරට වෙනම කෝච්චියක් දැම්මෙව්වලු අමුත්තන්ට එන්න විතරක්. එහෙම ජයට මඟුල අරගෙනත් දෙන්නට දරුවෝ ඉඳලා නැහැ. පස්සේ පවුල කැඩිලා ගියාලු, නෝනගෙයි වැඩකාරයෙකුගෙයි සම්බන්ධයක් නිසා. මුඩ්ලියර් අන්තිම කැමැත්තෙන්ම පැවරුවාලු මේ මන්දිරේ ‘ළමා නිවාසයක් කරන්න’ කියලා.”
අක්කරයක බිමක් පුරා පැතිරුණු, තට්ටු දෙකක මැඳුරක්වූ එහි කාමර 14කි; උත්සව ශාලා- කෑම ශාලා ඊට අමතරවය. දොරවල් 99ක්- ජනේල 34ක්- ටින්ටඩ් වීදුරු..... ඒ සේරම තිබිලාත් ආතර් ද සිල්වා මුඩ්ලියර්තුමා පැතූ සතුට ඔහුට හිමි නොවුණු හැටි!
ජීවිතය සරදම් කරන්නේ එහෙමය...........
ජීවිතය සරදම් කරන්නේ එහෙමය!
“පුෂ්පා අහංකාර වුණාට, හිත හොඳ කෙල්ල.” 
එදා අම්මාගෙන් දුරකථන ඇමතුම එනතුරු බලා සිටියදී කුලතුංග සර් කිව්වේය. 
මම හීල්ලුවෙමි. එදා සැරේ වැඩියෙන්ම කතා කලේ සුනිලුත්, කුලතුංග යුවලත්ය. 
“සර් දන්නේ නැතිව ඇති. දවසක් නෝනා කොහෙද ගිහින් ගෙදර ආවේ හිඟන මනුස්සයෙක්ව එක්කගෙන. ගඳේ බැහැ... අයිය ගෙදර හිටියේ නැහැ. 
-නෝනා අපිවත් අඬ ගහගෙන අර හිඟන්නගේ කොන්ඩේ කපලා, නාවලා අලුත් සරමකුත් අන්දවලා තමයි කන්න දුන්නේ....” අපේ සුනිල් පරණ කතාවක් මතක් කළේය.

පාරේ යන හිඟන මනුස්සයෙක්ව එක්ක ඇවිත්, කොණ්ඩය-රැවුල කපලා නාවලා...........
ඔහොම කතා අතරේය අම්මාගෙන් දුර ඇමතුම ආවේ. 
අපේ අම්මා අඬන්නට සමතියක බව මීට කලිනුත් මම කිව්වෙමි. විලාප දීමේදීත් ඊට වඩා හපනියක බව මා තේරුම් ගත්තේ එදාය. 
‘අනේ අම්මෝ....’ මහා අඳෝනාවකි... විරාමයකි... 
‘සැසිල්... සැසිල්. Come....” කියන්නට දෙයක් තිබුණේ නැතිවා වෙන්නැති. Dadaa ටෙලිෆෝනය ගත්තේය. 
“නිමොල්... What හැපන්ඩ්?” 
Dadaaට කියන්නට ලැබුණේ වචන තුනකි. “Oh, My God!” අම්මා ආයෙමත් ෆෝන් එකේය. අයන්නේ සිට අං- අඃ දක්වා..... 
“තුන් මාසේ දානෙට මං ලංකාවට එනවා.... ඇයි එදාම මට නොකිව්වේ...?” වගේ තර්කානුකූල නැති කතන්දරවලට උත්තර අනවශ්‍යය. ඒවා කියවෙන්නේ හිතේ දුකටනේ. ඔහේ කියපුවාවේ...
එතරම් සමීපව හිටි අප මෙතරම් දුරස් වුණේ කොහොමද?
අපට එතරම් සමීපව සිටි කුලතුංග සර්ලා පසුකාලීනව ක්‍රමයෙන් දුරස්වී ගියේ හිතාගන්නටවත් අසීරු විදිහටය. පුදුමෙකුත් නැත. 150 තියරිය හරියටම හරි විය යුතුය. 
“මාර තියරියක්නෙ නිමල්, බුවෙනකබාවේ ප්‍රින්සිපල් සර් මගෙත් එක්ක කිව්වේ.... අර සර් කෙනෙක් සියදිවි හානි කරගෙන තිබුණේ..... ඒ මරනෙත් පුෂ්පගේ මරණය වගේමයි.... ඒ මනුස්සයාටත් සැරෙන්-සැරේ මැරෙන්න හිතිලා තියෙනවාලු. 
-පුෂ්පා වගේම ලියුම් ගණනාවකුත් ලියල තිබුණලු..... Post mortem එකෙන් තමයි අහුවෙලා තියෙන්නේ. එයාගේ ඔළුව ඇතුළේත් ගෙඩි වගයක් තිබුණලු.” 
එතෙක් අඳුරේ අතපත ගාමින් හිටි අපට තොරතුරු ලැබුණේ හෙමිහිටය. නෝනාගේ මරණයෙන් මාස ගණනාවක් යද්දීය, ‘ජිග්සෝ ප්‍රහේලිකාවේ’ කෑලි බොහොමයක් තෝරාගෙන ගළපාගන්නට ලැබුණේ!

ජිග්සෝ ප්‍රහෙළිකාවේ කෑලි සියල්ල තෝරා-බේරාගන්නට හැකි වුණේ.....
ලොකු නංගි දිවි නසාගත් දවසට කලින් දවසෙත් ඒ සඳහා උත්සාහයක් අරගෙනය. එයට දායකවී තිබුණු මානෙල් නංගී එහි බරක්-පතලක් තේරුම් ගෙන තිබුණේ නැතිය.
“අනේ ලොකා, මට බනින්න එපා. නෝනක්කා මට කිව්වා කාටවත් කියන්න එපයි කියලා.... ගඳ හින්දා මාත් හිතුවේ සැර බෙහෙතක් තමයි කියලා.” 
“හරි... දැන් තමුසෙ ඇඬිල්ල නවත්තලා කියනවකො වෙච්චි දේ.....” 
“නෝනක්කා මැරුණු දවසේ උදෙත් නැඟිට්ටේ පරක්කු වෙලානේ. නෝනක්කා මට දුන්නා ලොකු වීදුරුවක්... 
-සුදු පාට වතුරක් ඒකෙ තිබුණා. සැර ගඳයි... -මගේ ලෙඩේට දුන්න සැර බෙහෙතක්. ඊයේ රෑ බොන්න අරගෙන නිඳිමතේම අමතක වෙලා. ඕක විසි කරදාලා හොඳට සබන් දාලා වීදුරුව හෝදලා තියන්න-යි කියලා නෝනක්කා මට කිව්වේ.....”

Sunday, January 26, 2020

මෝස්‌තර එක්ක හත් වසරක් - විසිනවවෙනි කොටස

අයියෝ.... ඔයාගේ බයිලා නං එපා. මොනවද තියෙන්නේ.... මට හොඳටම බඩගිනියි... මොකුත් නැත්තං ඔන්න ඔයාව හරි ගිලිනවා- ගිලිනවාමයි!

මට හොඳටම බඩගිනියි. මොකුත්ම නැත්තං.....
සේරම්ගේ රළු කතා ලීලාවත්, ගෝරිල්ලෙකු සිහි ගන්වන පෙනුමත් නිසා ඒ මනුස්සයා කියන්නේ ඇත්තටමද, බොරුවටද කියා වටහාගන්නට අමාරුය. 
එහෙත් මා කළේ සිනහවකින්ම කතාව පටන් ගැනීමය.

“නිකම්ම ගිලින්න බැහැනේ සේරම්.... උගුරේ හිරවෙයි. 
මහත්තයෝ, මේ තම්බපු බිත්තර විතරයි කන්න දේකට ඉතිරිවෙලා තියෙන්නේ. දෙමටගොඩට ළමයෙක් යවලා පාන් ගෙඩියක් ගෙන්නවමු. 
පරිප්පු පොඩ්ඩක් උයාගන්නකං ඔයාට බඩගින්න උහුලාගෙන ඉන්න පුළුවන් නේද ....”

“පිස්සුද නිමල්.... කෝ, ටක් ගාලා ඔය තියෙන බිත්තර ටික දෙන්න.”

“ඉන්න එහෙනම්, කටු පිටින් දීලා බැහැනේ.....” 
බිත්තර ටික සුද්ද කරලා දෙන්නැයි රංජිට පවරලා, මා සේරම් එක්ක ආගිය කතාවකට වැටුණේ ඒ මනුස්සයාගේ නොඉවසිල්ල නිවන්නටය.

මගේ යකා අවුස්සා ගන්න එපා!
හැම කෙනෙකුම හොඳය. නරක වෙන්නේ එයට අවස්ථාවක් එළඹුණාමය. ඉතින්, එයාලගේ නරක පෙන්වන්නට අවස්ථාවක් නොදී හිඳීමය කළ යුත්තේ. 

සේරම් කොතෙකුත් දබරවලට පැටලෙන හැටි මා දැක තිබිණි. කැන්ටිමේදී බොහෝ දෙනාගේ අඬදබරවලට හේතු වුණේ ඉවසිල්ලක් නැතිකමයි; අනුන් ගැන නොතකා කටයුතු කිරීමයි.

“ඔයාට උදේ පාන්දරම, තේ එකක්වත් නොබී හිස් බඩට තම්බපු බිත්තර කීයක් කන්න පුළුවන්ද?” කවුරුන් හරි ඒ ප්‍රශ්නය ඔබෙන් අහලා තියෙනවාද? 
ඔබ දුන් උත්තරය මතකයිද? 
මට ඒ ප්‍රශ්නය යොමු කෙරුණු වෙලාවේ මා කිව්වේ ‘දෙකක් විතර’ කියලාය. මා දී තිබුණේ වැරදි උත්තරයකි! 
තර්කානුකූලව පහදා දුන් විටය, මට කරුණු වැටහුණේ. 

එක කටක් කනකොටම හිස්බඩක් ඉතිරි වෙනවාද?

කෙනෙකු ඒ ප්‍රශ්නය මගෙන් ඇහුවේ පස්සේ කාලයකය. එය කලින් දැනගෙන හිටියා නම් ඒ වෙලාවේ මා සේරම්ගෙන් එය අහනවා සිකුරුමය. බිත්තර ගැන කියද්දී...

හෝටල් කෙරුවාවේ රහස් අප උගත්තේ කෝකි බාස්ලා කරන දිහා බලා හිඳීමෙනි.....
දැන් කොහොමද කෙරෙන්නේ කියලා නම් මා දන්නේ නැත; මා කියන්නේ, ඒ දිනවල දෙමටගොඩ කැන්ටිමේදී අප කටයුතු කළ විදිහ ගැන පමණි. 

ඒවා අප උගත්තේ පළපුරුදු කෝකි බාස්උන්නැහේලා වෙතිනි. 
ඒ දැනුම තවමත් අතින්-අතට; ගුරුවරයාගෙන්-ගෝලයන්ට යනවා වෙන්නට ඇති!

“මහත්තයා බිත්තර තැම්බුවට පස්සේ සුද්ද නොකර තියාගන්න පුළුවනි පහුවදා වෙනකල්ම වුණත්. හැබැයි වතුරේම ගිල්ලලා තියන්න ඕනේ. 
ඕනි කරන වෙලාවට කටුව ගලවාගන්න එක මහ කාරියක්ය?” 

ඒ කතාව ඇත්තය. කිසි පරහක් නැත. එදා මම සිතුවෙමි. අද වුණත් මට එහි වරදක් නොපෙනේ. නමුත්....

“මොකද හලෝ මේ? තමුසේ දැන් කිකිළියන්ටත් උගන්නලද තියෙන්නේ මෝස්‌තර එක්ක බිත්තර දාන්න?”

මෝස්‌තර බිත්තර? ඔව්වා කෑවයි කියලා තමුසෙගෙ පණ යන්නෙ නෑ!

අර බිත්තර තම්බලා තියාගන්නා පාඩම ප්‍රායෝගිකවම සිදු කළ දවසක, එකෝමත් එක මිත්තරයෙක් ඇසුවේය. 
“බෙදලා දුන්නා නම් කනවා. තමුසෙට ඔව්වා වහ වෙලා මැරෙන්නේ නැහැ.... මෝස්‌තර බිත්තර...” 
ඒ වෙලාවේ මා දිනුවේ කටින් ගහලාය.

කතන්දරේ මේකය.

තැම්බූ බිත්තරයක් වතුරේ ගිල්වා, සීතකරණයක තිබ්බත් පොඩි වෙනසක් වෙයි. 

කහමදය වටේට ඉතා තුනී කළු පාට තීරුවක් හැදෙයි. බිත්තරයේ අන්තර්ගත යකඩ පදාර්ථ කහමදයටත්, සුදුමදයටත් අතරේ එකතුවී; කැටි වෙන නිසාලු එහෙම වෙන්නේ. 

ඒක නම් මා දැනගත්තේ පත්තරයකිනි. 
ඒත් දැනට, පත්තර පැත්තක තියලා ආයේ දෙමටගොඩට යන්නේ සේරම්ගේ නොඉවසිල්ල වැඩි වෙන්නට කලිනි.

සේරම්ලාගේ කල්ලියේ කෙනෙකුට පියාඹන පීරිසි එවන බව කිව්වාට පස්සේ එයාලා රංජි දිහා බැලුවේ.....
“අටක් තියෙනවා නිමල් අයියේ!” 
පැපිලියානේ රංජි බිත්තර අට සහිත දීසිය මට දීලා පැත්තකට ගියේ හිස් කඩදාසියක් වගේ මුහුණක් සේරම්ගේ දිහාවට දාගෙනය.

(එයා පියාඹන පීරිසි කතාව  කිව්වේ සේරම්ගේ කල්ලියේ එක්කෙනෙකුටය.) රංජි එක්ක තිබුණු කෝන්තරය මතක් වෙලාද මන්දා, සේරම් අර බිත්තර අටම ගිල දැම්මේය. ඒ දර්ශනය මට නම් තවමත් හරිම ආහ්ලාදජනකය. 

පීරිසියෙන් බිත්තරයක් සේරම්ගේ අතට වඩියි.
සේරම්ගේ හිස මඳක් එසවෙයි. බිත්තරය කටට විසිවෙයි.
නොහපා- නොවිකා උගුරෙන් පහළට.... යළි-යළිත් එයම.... මතක් වෙද්දීත් හිනා නැඟෙයි.

1980 වැඩ වර්ජනය කළ වැඩි දෙනෙකුට රැකියා අහිමි විණි. 

ඒ අතරේ මේ සේරම්ද විණියි පැවසිණි. (ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක බලතල සහිත ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා එම වැඩ වර්ජකයන්ට කිසිම chance එකක් දුන්නේවත්, බුරුලක් පෙන්නුවෙවත් නැතිය.)

වර්ජකයෙකු විදිහට රැකියාව අහිමිවූ සේකර මංගල ඡායාරූප ශිල්පියකු ලෙස .......
“හොරිකඩයෝ වැඩට ගියාට අපටත් යන්න පුළුවනිද නිමල්... 
මට නං ස්ට්‍රයික් එකෙන් රස්සාව නැති වුණ එක හොඳට ගියා. එහෙ වැඩ කරද්දී අතේ සතේ නැතිව හිටියේ. ඔයාට කියන්න ඕනි නැහැනේ... 
මතක ඇතිනේ කැන්ටිමේ ඔයාලගේ ණය බේරපු හැටි. 

-Work Shop එකේ රස්සාව කර-කර  හිටියා නං තාම හිඟන්නා. 
පේනවනේ, දැන් අපට සරුයි...” 
සේරම් කමිස කොලරය පස්සට කරන ගමන්ම අතත් උස්සලා පෙන්නුවේය.

එදා, අවුරුදු කිහිපයකට පස්සේ මට සේරම්ව හමුවුණේ අහම්බෙනි; මාළු ලෑල්ලක් අබියසදීය. එතකොට සේරම්ගේ අතෙත්, කරෙත් රත්තරන් සංචිත දෙකක් බැබළෙමින් තිබිණි. 

Baගේ මිතුරු සේකරටත් වර්ජනයෙන් රස්සාව නැතිවීම යහපතක් වුණේය. 
රැකියා විරහිත ජීවිතයේ වැඩි ඉඩක් කැමරාවට දුන් සේකර මට නැවත හමුවුණේ මංගල ඡායාරූප ශිල්පියෙකු ලෙසිනි.
රුපියල් කෝටි 27ක මාසික වැටුපක් ගන්නා ශ්‍රී ලාංකීය ෂෙමාරා වික්‍රමනායක......... 
සමහරුන් එහෙම ජීවිතය ජයගත්තත් 80 වර්ජනය නිසා දිවියටම සමුදුන් අයත් සිටියෝය. (80 වර්ජනය නිසා රජයේ හා පෞද්ගලික අංශයේ සේවයේ නියුතුව සිටි 40,000කට වැඩි
සංඛ්‍යාවකට රැකියා අහිමි විනැයි වාර්තා වී තිබේ.) 
ඒ අසූවේදීය.

මේවා සතුට මෙන්ම දුඃඛ-දෝමනස්සයන්ද සපිරි ජීවිත අන්දරයන්ය. හපන්කම්- නුවණක්කාරකම් මෙන්ම තකතීරු- මරිමෝඩකම්වලින්ද ඒ කතන්දර පිරී තිබෙයි. ඒවා නොසංගා කියන්නට මට කැසිල්ලක් ඇතත්, හැමෝටම ඒ අසනීපය නැත.
  
හෙටානිද්දා සිටම වතු කම්කරුවන්ගේ දෛනික වැටුප දාහක් කෙරෙන බවක් කියවෙයි. එහෙම තියෙද්දී අද උදේ ...ඔව්, 2020 ජනවාරි 18 උදේ සුමිතුරු නලින් ප්‍රදීප්ත වීරකෝන් එවා තිබුණු ලින්කුවට ගියාම මට හීල්ලිණි. මාසේ පඩිය රුපියල් කෝටි 27 පන්නන ශ්‍රී ලාංකේය කාන්තාවක්!   

ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන ව්‍යාපාරික ආයතනයක විධායක ශ්‍රේණියේ රැකියාවක නියුතු ෂෙමාරා වික්‍රමනායක මහත්මිය ඒ වැටුප ලබන්නීය. 80 වර්ජකයන් ඉල්ලා හිටි සොච්චම එක්ක සසඳා බලද්දී කෝටි 27 වැටුප ගැන මොකද හිතෙන්නේ?  

බොහොමයක් නායකයන්ට දිව දෙකක් ඇති බව නොදන්නා; නොහිතන සොක්කන් අමාරුවේ වැටෙන්නේ.....
වැඩ වර්ජන; උද්ඝෝෂණ කරද්දී වැඩියෙන්ම බැටන් පොලු පහරවල් කන්නේ- වෙඩි කන්නේ- කඳුළු ගෑස් ප්‍රහාරවලට ලක්වෙන්නේ පොඩි මිනිසුන්ය. 

කවදාවත් දෙන්නට බැරි තරම් ඉල්ලන්නැයි දෙසන්නේ නායකයන්ය; උන්ගේ වහසි බස් අසා උද්දාමයෙන් මස් රාත්තලම ඉල්ලන්නේ සොක්කන්ය.  

මුට්ටි කාසිකාර ලොක්කන්ට දිව දෙකක් ඇති බව නොදන්නා සේරම්, සේකර වැනි මිනිස්සු අමාරුවේ වැටුණාහ. 
එහෙත් ආත්ම ශක්තියත්- වාසනාවත් ඇත්තෝ ඒ වළෙනුත් ගොඩ ආවෝය; සේරම්ලා වැන්නෝ.

අපේ හිතෛෂිවන්ත මිතුරෙක් සිටී. 
මස්- මාළු- බිත්තර හැම ඉලව්වකටම බෙහෙවින් රුචි කරන ඒ හාදයා දැන් උම්බලකඩවත් මුසු වුණු දෙයක් නොවලඳයි. “මොකද මනුස්සයෝ මේ?”

රත්තරන් මාලේ නෙවෙයි, සුරේ. බර ගානක් වියදම් කරලා........
“මේ ආරක්ෂාවට- අපලවලට!” එයා කමිසයේ කර මෑත්කොට පෙන්නුවේ තරමක ආඩම්බරයෙනි.

“ලොකු රත්තරන් මාලයක් දැම්මාය කියලා වෙජිටේරියන් වෙන්නෙ මොකටද?” මං ඇහුවේ උත්තරය දැන-දැනමය. ඒ වෙද්දීත් එයාගේ ‘කිරියා පටිපාටිය’ මිතුරන්ගේ උපහාසවලට ලක්වෙමින් තිබිණි.

“මාලේ නෙවෙයි නිමල් අයියේ.
සුරේ..... බර ගණනක් දීලා මේක දම්මවා ගත්තේ. මේකේ බලය බිඳෙනවලු ගෙදරට මස්-මාළු ගෙනාවොත්.... කෑවොත්. කිලි අහුවෙන්නත් බැහැ.” මනුස්සයා හින්දා බිරියටත්, දරුවන්ටත් ප්‍රෝටීන සහිත ආහාර වේලක් ලබන්නට තිබෙන අවස්ථාව අහිමිය. ඒ එයාලාගේ අපලයක් නිසා විය යුතුය.

තමුසේ නේද දැන් යක්කුන්ගෙන් සුරේ ආරස්සා කරන්න..........
“ඉතින් යක්ෂයෝ ඔහොම බැලුවම තමුසෙගෙ ආරක්ෂාවට දාස් ගණනක් දීලා සුරේ දමාගත්තට දැන් තමුසේ නේද සුරේ ආරස්සා කරන්නේ, හරියට නොකා-නොබී?” මම ඇසුවෙමි. එහෙව් මිනිසුන් සිටියදී, ලෝකය දිනන්නේ සේරම්ලා- සේකරලා වැනි මිනිසුන්ය.... හිත හයිය මිනිසුන්ය!    

දෙමටගොඩ කැන්ටිමේ ඉන්නා කාලයේදීමය මා තජකයට සම්බන්ධ වුණේ. අලුතින් ගොඩාක් දේවල් ඉගෙන ගන්නට ලැබෙද්දී, කැන්ටිමේ එකාකාර ජීවිතය මට තිත්තම තිත්ත වුණේය.

“කළු අක්කේ.... දැන් නම් ආයේ කැන්ටිමක් කරන්න හිතෙන්නෙ නැහැ. මට නම් ඇති. මහා මුස්පේන්තු වැඩක්... හිර ගෙදරක දමලා වගේනෙ!” මං කළු අක්කාට කිව්වේ කැමති නම් තනිවම කැන්ටිම කරගෙන යන්නටය. ඇයත් ඊට මනාපයක් දැක්වුවේ නැතිය.

“නිමල් මල්ලි දන්නවනේ.... අපිත් ටික-ටික රෙදි බිස්නස් පැත්තට හැරෙන්න පටන් ගත්තනේ. ඔයාටත් තියෙන්නේ ඒකට අත ගහන්න. ඇයි නිමල් මල්ලී, දැනටමත් පිටින් පමුණුවට ඇවිත් රෙදි වැඩේට බැහැපු මිනිස්සු කීදෙනෙක් නම් ලක්ෂපතියෝ වෙලා ඉන්නවද? ඔයාලා පමුණුවේ ඉන්නේ අපටත් කලින්, පාංකඩ මහත්තයලගේ කාලේ ඉඳලනෙ.....”

එතකොටත් පමුණුවේ කෑලි ඇඳුම් නිමි ඇඳුම් බව‍ට පත්වෙමින් තිබිණි.
ටිකෙන්-ටික ව්‍යාප්ත වෙමින් තිබුණු ‘පමුණුවේ කෑලි ඇඳුම්’ වැඩේට අත ගැහිල්ල කොහොම වෙතත් බතික් කෙරුවාව නම් නැවතෙන තැනටම ටිකෙන්-ටික වැඩ සිදුවෙමින් තිබිණි.

මම තීරණයක් ගත්තෙමි. ‘අවුරුද්දක් පිරෙනකල් තෙපර බබා ඉන්නට ඕනේ නැත.’ කළු අක්කා ඒ වෙනවිටත් රෙදි ව්‍යාපාරයට වැඩි කාලයක් යොදවා තිබුණේ එය වඩා වාසිදායක බැවිනි. මගේ ඕනෑකම අලුත් අත්දැකීම් ලබන්නට මඟ විවර කරගන්නටය.

“ඔබතුමන්ලා අවුරුද්දකට පස්සේ ආයෙමත් ටෙන්ඩර් කෝල් කරනවනේ.... බැරිද ඒක මාසෙකට කලින් කරන්න.... මං කැමතියි මාසෙකට කලින් හරි නිදහස් වෙන්න.”
  
“ඒ මොකද මිස්ටර් නිමල් ඒ? මෙච්චර කාලෙකට අපියි බලාගෙන හිටියේ කැන්ටිම කරන්න එන අයව යවාගන්න....ඔයාලට වැඩේ අල්ලලා ගියානෙ. අපි හිතාගෙන හිටියේ ඔයාලා ලබන අවුරුද්දේත් ඉඳීවි කියලා....”
ඒකම අපට ලැබුණු හොඳ රෙකමදාරුවක් ලෙසිනි අදටත් මා සලකන්නේ. අනෙක ටියුඩර් කියූ දෙයයි.
එතෙක් කැන්ටිම කළ අයගෙන් ගුටි නොකා බේරිලා තිබුණේ අප විතරය.
සිංහාවලෝකනයක යෙදෙමින් අතීතය කලඹා බලද්දී......
එදා නම් මම ඒ කියුම් විශ්ලේෂණය කරන්නට නොගියෙමි.

අද සිංහාවලෝකනයක යෙදෙන විට පෙනෙන්නේ එහෙම ගුටි නොකා නිදහස්වී එන්නට මගේ මිත්‍රශීලී වීමත් හේතුවක් වෙන්නට ඇති බවයි. අනෙක පැපිලියානේ රංජි, සේපාල, අතුල මල්ලී, පොඩි මාමා වැනි අයගෙන් ලැබුණු සහයෝගයයි.

“අපරාදෙනේ යකෝ, අවුරුද්දක් පිරෙනකල්වත් ඉඳලා සහතිකයක් නොගෙන කැන්ටිම අතාරින්න යන්නේ. වෙන තැනකට ඉල්ලන්න....”

“සෝමවීර මේ. මං මගෙ ගැන දන්නවනේ. ආයෙම නම් අරත්තරන් දෙනවයි කිව්වත් මම මෙහෙම හිරවෙන්නේ නං නැහැ පුතෝ. මේ ඇති හොඳටම. ආයේ කැන්ටින් එපා!”

“උඹට ඉතින් හිතුවක්කාරකමනේ ලොකු!”

සබරගමුවේ සෙට් එකෙන් හදලා තිබුණු මේ පෝස්ටුව කියන්නේ සර්ව-සාධාරණත්වය ගැනද?
එදා මට එහෙම හිතුණේ එතරම් ලාභයක් නොතිබුණු නිසාද? විදුලිය- වතුර- භාජන වැනි පහසුකම් සඳහා සතයකුදු නොගෙවීම නිසා රුපියල් 60/- වැනි සුළු මුදලකටය කැන්ටිමෙදී කෑම බාගයක් විකිණුවේ. (ඒ මිල මට මතක හැටියටය.) එයිනුත් ප්‍රමාණවත් තරමේ ලාබයක් තිබිණි. 

ඒවා යළි මතක් වුණේ පාර්ලිමේන්තු භෝජනාගාරයේ මිල ගණන් දැක්කාමය.

පාසල් ළමයෙකුට නිල ඇඳුම් සඳහා රුපියල් 400/-ක් අවුරුද්දකට වතාවක් ප්‍රදානය කරන රජය පාර්ලිමේන්තු උත්තමයෙකුගේ එක දිනයක කෑම-බීම සඳහා රුපියල් 1,500/-ක් වැය කරනවාලු!

පඩි- දීමනා- රැස්වීම් වාරයකට ගෙවන මුදල- දුරකථන ... කාර්ය මණ්ඩල... වාහන බලපත් වගේ දේවලුත් නහුතයකි. ඇයි, අවුරුදු පහෙන් පෙන්ෂන්.... 
ඒ නිසාම වෙන්නැති සිරි ලංකාද්වීපයේ ගෙවල ගෙම්බන්- බහිරවයන් වැඩි!

මාස එකොළහක් විතරක් කැන්ටිම කරලා,  කල් තියා එතනින් ඉවත් වීම ගැන අදත් මට හරිම සතුටුය; ආඩම්බරය. හැමෝටම ඒ වාසනාව නැත. නිසි තැනදී- නිසි ලෙස- නිසි තීරණ ගෙන- නිසි ලෙසින්ම සමුගන්නට බැරි උදවිය අද පාච්චල් වෙන හැටි! ඒ කාලේ එවැනි ලජ්ජා නැති උදවිය ගැන අහන්නට ලැබුණෙත් නැතිය.

විස්ස විජ්ජාලෙන් උපාධි ගත්තාටත් පස්සේ මොන්ටිසෝරි යන්න හිතන කට්ටියත් අපේ රටේ හිටිති.
ඒකටත් එක්ක අද... එක්සිකිටිව් රස්සාවක් කළාටත් පස්සේ, සොච්චං ‘පැන්සොං’ එකකුත් ලැබෙද්දී වුණත් ‘පියුං’ රස්සාවකට හරි පැනගන්නට හදන්නෝත් එමට සිටිති!

අතීතය ගැන, කළ-කී දේ ගැන සතුටු වෙන්නට බැරි අවාසනාවන්ත අයටය. අතීතයේදී කරන්නට බැරි වුණු අයට අනාගතයේදීත් අයිති වෙන්නට ඉඩ තියෙන්නේ ඒ සංතෑසියමය.

මා නම් මෙතෙක් කළ-කී හැම දෙයක් ගැනම ආඩම්බරය. මා වඩාත් සතුටු වෙන්නේ උගත් දේවල් ගැනය; ලැබුණු අත්දැකීම් ගැනය. දෙමටගොඩ කැන්ටිමේ කාලය ගැන වුණත් එහෙමමය. එහිදීත් ඉගෙනගත් දේවල් එමටය!

“කැන්ටිමකදී මාළු කෑලි හොදිවල දාලා තිබ්බොත් පාඩුයි. කලබලේට බෙදලා දෙද්දී මාළු කෑලි කුඩු වෙන්න පුළුවන්. ඒවා වෙනම තියන්න..... 
කිරි මාළු- බිත්තර- අල සේරටම එකම හොද්දක් හැදුවම පිරිමහගන්න පුළුවනි. ටිකක් උකුවට හොද්ද හදලා තියාගෙන පීරිසියට බෙදනකොට තමයි ඕනෙ කරන ජාතිය දාන්නේ....”

මට එහෙම ඉගෙනගත් දේවල් ගොඩාරියක් මතකය!
“.... කිරට හොද්දක් හදා ගනිද්දී අබ කුඩු ටිකක් එහෙම දාගත්තම රසයි. හැබැයි උළුහාල්, අබ කුඩු එහෙම දැම්මාම ඉක්මනට පිළුණු වෙන්නත් බලනවා.... ඒක කැපෙන්න හොද්දට ගොරකාවලින් ඇඹුල ගන්න.”

එහෙම අත්දැකීම් ගොඩකි. එහෙත් සමහර දේවල් නම්, පසුකාලීනව කරන්නට ඕනෑ වුණේ නැත. එවැන්නකි, බත් ඉතිරි වීම ගැන උගත් පාඩම.

“... බිත්තර තම්බලා තියාගන්නවා වගේම තමයි, බත් ඉතිරියි නං.......”
 ඒ පාඩම තමුන්නාන්සේලාට කියා දෙන්නේ ඊගාවටය....