අකුරු මැකී නෑ

Sunday, January 26, 2020

මෝස්‌තර එක්ක හත් වසරක් - විසිනවවෙනි කොටස

අයියෝ.... ඔයාගේ බයිලා නං එපා. මොනවද තියෙන්නේ.... මට හොඳටම බඩගිනියි... මොකුත් නැත්තං ඔන්න ඔයාව හරි ගිලිනවා- ගිලිනවාමයි!

මට හොඳටම බඩගිනියි. මොකුත්ම නැත්තං.....
සේරම්ගේ රළු කතා ලීලාවත්, ගෝරිල්ලෙකු සිහි ගන්වන පෙනුමත් නිසා ඒ මනුස්සයා කියන්නේ ඇත්තටමද, බොරුවටද කියා වටහාගන්නට අමාරුය. 
එහෙත් මා කළේ සිනහවකින්ම කතාව පටන් ගැනීමය.

“නිකම්ම ගිලින්න බැහැනේ සේරම්.... උගුරේ හිරවෙයි. 
මහත්තයෝ, මේ තම්බපු බිත්තර විතරයි කන්න දේකට ඉතිරිවෙලා තියෙන්නේ. දෙමටගොඩට ළමයෙක් යවලා පාන් ගෙඩියක් ගෙන්නවමු. 
පරිප්පු පොඩ්ඩක් උයාගන්නකං ඔයාට බඩගින්න උහුලාගෙන ඉන්න පුළුවන් නේද ....”

“පිස්සුද නිමල්.... කෝ, ටක් ගාලා ඔය තියෙන බිත්තර ටික දෙන්න.”

“ඉන්න එහෙනම්, කටු පිටින් දීලා බැහැනේ.....” 
බිත්තර ටික සුද්ද කරලා දෙන්නැයි රංජිට පවරලා, මා සේරම් එක්ක ආගිය කතාවකට වැටුණේ ඒ මනුස්සයාගේ නොඉවසිල්ල නිවන්නටය.

මගේ යකා අවුස්සා ගන්න එපා!
හැම කෙනෙකුම හොඳය. නරක වෙන්නේ එයට අවස්ථාවක් එළඹුණාමය. ඉතින්, එයාලගේ නරක පෙන්වන්නට අවස්ථාවක් නොදී හිඳීමය කළ යුත්තේ. 

සේරම් කොතෙකුත් දබරවලට පැටලෙන හැටි මා දැක තිබිණි. කැන්ටිමේදී බොහෝ දෙනාගේ අඬදබරවලට හේතු වුණේ ඉවසිල්ලක් නැතිකමයි; අනුන් ගැන නොතකා කටයුතු කිරීමයි.

“ඔයාට උදේ පාන්දරම, තේ එකක්වත් නොබී හිස් බඩට තම්බපු බිත්තර කීයක් කන්න පුළුවන්ද?” කවුරුන් හරි ඒ ප්‍රශ්නය ඔබෙන් අහලා තියෙනවාද? 
ඔබ දුන් උත්තරය මතකයිද? 
මට ඒ ප්‍රශ්නය යොමු කෙරුණු වෙලාවේ මා කිව්වේ ‘දෙකක් විතර’ කියලාය. මා දී තිබුණේ වැරදි උත්තරයකි! 
තර්කානුකූලව පහදා දුන් විටය, මට කරුණු වැටහුණේ. 

එක කටක් කනකොටම හිස්බඩක් ඉතිරි වෙනවාද?

කෙනෙකු ඒ ප්‍රශ්නය මගෙන් ඇහුවේ පස්සේ කාලයකය. එය කලින් දැනගෙන හිටියා නම් ඒ වෙලාවේ මා සේරම්ගෙන් එය අහනවා සිකුරුමය. බිත්තර ගැන කියද්දී...

හෝටල් කෙරුවාවේ රහස් අප උගත්තේ කෝකි බාස්ලා කරන දිහා බලා හිඳීමෙනි.....
දැන් කොහොමද කෙරෙන්නේ කියලා නම් මා දන්නේ නැත; මා කියන්නේ, ඒ දිනවල දෙමටගොඩ කැන්ටිමේදී අප කටයුතු කළ විදිහ ගැන පමණි. 

ඒවා අප උගත්තේ පළපුරුදු කෝකි බාස්උන්නැහේලා වෙතිනි. 
ඒ දැනුම තවමත් අතින්-අතට; ගුරුවරයාගෙන්-ගෝලයන්ට යනවා වෙන්නට ඇති!

“මහත්තයා බිත්තර තැම්බුවට පස්සේ සුද්ද නොකර තියාගන්න පුළුවනි පහුවදා වෙනකල්ම වුණත්. හැබැයි වතුරේම ගිල්ලලා තියන්න ඕනේ. 
ඕනි කරන වෙලාවට කටුව ගලවාගන්න එක මහ කාරියක්ය?” 

ඒ කතාව ඇත්තය. කිසි පරහක් නැත. එදා මම සිතුවෙමි. අද වුණත් මට එහි වරදක් නොපෙනේ. නමුත්....

“මොකද හලෝ මේ? තමුසේ දැන් කිකිළියන්ටත් උගන්නලද තියෙන්නේ මෝස්‌තර එක්ක බිත්තර දාන්න?”

මෝස්‌තර බිත්තර? ඔව්වා කෑවයි කියලා තමුසෙගෙ පණ යන්නෙ නෑ!

අර බිත්තර තම්බලා තියාගන්නා පාඩම ප්‍රායෝගිකවම සිදු කළ දවසක, එකෝමත් එක මිත්තරයෙක් ඇසුවේය. 
“බෙදලා දුන්නා නම් කනවා. තමුසෙට ඔව්වා වහ වෙලා මැරෙන්නේ නැහැ.... මෝස්‌තර බිත්තර...” 
ඒ වෙලාවේ මා දිනුවේ කටින් ගහලාය.

කතන්දරේ මේකය.

තැම්බූ බිත්තරයක් වතුරේ ගිල්වා, සීතකරණයක තිබ්බත් පොඩි වෙනසක් වෙයි. 

කහමදය වටේට ඉතා තුනී කළු පාට තීරුවක් හැදෙයි. බිත්තරයේ අන්තර්ගත යකඩ පදාර්ථ කහමදයටත්, සුදුමදයටත් අතරේ එකතුවී; කැටි වෙන නිසාලු එහෙම වෙන්නේ. 

ඒක නම් මා දැනගත්තේ පත්තරයකිනි. 
ඒත් දැනට, පත්තර පැත්තක තියලා ආයේ දෙමටගොඩට යන්නේ සේරම්ගේ නොඉවසිල්ල වැඩි වෙන්නට කලිනි.

සේරම්ලාගේ කල්ලියේ කෙනෙකුට පියාඹන පීරිසි එවන බව කිව්වාට පස්සේ එයාලා රංජි දිහා බැලුවේ.....
“අටක් තියෙනවා නිමල් අයියේ!” 
පැපිලියානේ රංජි බිත්තර අට සහිත දීසිය මට දීලා පැත්තකට ගියේ හිස් කඩදාසියක් වගේ මුහුණක් සේරම්ගේ දිහාවට දාගෙනය.

(එයා පියාඹන පීරිසි කතාව  කිව්වේ සේරම්ගේ කල්ලියේ එක්කෙනෙකුටය.) රංජි එක්ක තිබුණු කෝන්තරය මතක් වෙලාද මන්දා, සේරම් අර බිත්තර අටම ගිල දැම්මේය. ඒ දර්ශනය මට නම් තවමත් හරිම ආහ්ලාදජනකය. 

පීරිසියෙන් බිත්තරයක් සේරම්ගේ අතට වඩියි.
සේරම්ගේ හිස මඳක් එසවෙයි. බිත්තරය කටට විසිවෙයි.
නොහපා- නොවිකා උගුරෙන් පහළට.... යළි-යළිත් එයම.... මතක් වෙද්දීත් හිනා නැඟෙයි.

1980 වැඩ වර්ජනය කළ වැඩි දෙනෙකුට රැකියා අහිමි විණි. 

ඒ අතරේ මේ සේරම්ද විණියි පැවසිණි. (ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක බලතල සහිත ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා එම වැඩ වර්ජකයන්ට කිසිම chance එකක් දුන්නේවත්, බුරුලක් පෙන්නුවෙවත් නැතිය.)

වර්ජකයෙකු විදිහට රැකියාව අහිමිවූ සේකර මංගල ඡායාරූප ශිල්පියකු ලෙස .......
“හොරිකඩයෝ වැඩට ගියාට අපටත් යන්න පුළුවනිද නිමල්... 
මට නං ස්ට්‍රයික් එකෙන් රස්සාව නැති වුණ එක හොඳට ගියා. එහෙ වැඩ කරද්දී අතේ සතේ නැතිව හිටියේ. ඔයාට කියන්න ඕනි නැහැනේ... 
මතක ඇතිනේ කැන්ටිමේ ඔයාලගේ ණය බේරපු හැටි. 

-Work Shop එකේ රස්සාව කර-කර  හිටියා නං තාම හිඟන්නා. 
පේනවනේ, දැන් අපට සරුයි...” 
සේරම් කමිස කොලරය පස්සට කරන ගමන්ම අතත් උස්සලා පෙන්නුවේය.

එදා, අවුරුදු කිහිපයකට පස්සේ මට සේරම්ව හමුවුණේ අහම්බෙනි; මාළු ලෑල්ලක් අබියසදීය. එතකොට සේරම්ගේ අතෙත්, කරෙත් රත්තරන් සංචිත දෙකක් බැබළෙමින් තිබිණි. 

Baගේ මිතුරු සේකරටත් වර්ජනයෙන් රස්සාව නැතිවීම යහපතක් වුණේය. 
රැකියා විරහිත ජීවිතයේ වැඩි ඉඩක් කැමරාවට දුන් සේකර මට නැවත හමුවුණේ මංගල ඡායාරූප ශිල්පියෙකු ලෙසිනි.
රුපියල් කෝටි 27ක මාසික වැටුපක් ගන්නා ශ්‍රී ලාංකීය ෂෙමාරා වික්‍රමනායක......... 
සමහරුන් එහෙම ජීවිතය ජයගත්තත් 80 වර්ජනය නිසා දිවියටම සමුදුන් අයත් සිටියෝය. (80 වර්ජනය නිසා රජයේ හා පෞද්ගලික අංශයේ සේවයේ නියුතුව සිටි 40,000කට වැඩි
සංඛ්‍යාවකට රැකියා අහිමි විනැයි වාර්තා වී තිබේ.) 
ඒ අසූවේදීය.

මේවා සතුට මෙන්ම දුඃඛ-දෝමනස්සයන්ද සපිරි ජීවිත අන්දරයන්ය. හපන්කම්- නුවණක්කාරකම් මෙන්ම තකතීරු- මරිමෝඩකම්වලින්ද ඒ කතන්දර පිරී තිබෙයි. ඒවා නොසංගා කියන්නට මට කැසිල්ලක් ඇතත්, හැමෝටම ඒ අසනීපය නැත.
  
හෙටානිද්දා සිටම වතු කම්කරුවන්ගේ දෛනික වැටුප දාහක් කෙරෙන බවක් කියවෙයි. එහෙම තියෙද්දී අද උදේ ...ඔව්, 2020 ජනවාරි 18 උදේ සුමිතුරු නලින් ප්‍රදීප්ත වීරකෝන් එවා තිබුණු ලින්කුවට ගියාම මට හීල්ලිණි. මාසේ පඩිය රුපියල් කෝටි 27 පන්නන ශ්‍රී ලාංකේය කාන්තාවක්!   

ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන ව්‍යාපාරික ආයතනයක විධායක ශ්‍රේණියේ රැකියාවක නියුතු ෂෙමාරා වික්‍රමනායක මහත්මිය ඒ වැටුප ලබන්නීය. 80 වර්ජකයන් ඉල්ලා හිටි සොච්චම එක්ක සසඳා බලද්දී කෝටි 27 වැටුප ගැන මොකද හිතෙන්නේ?  

බොහොමයක් නායකයන්ට දිව දෙකක් ඇති බව නොදන්නා; නොහිතන සොක්කන් අමාරුවේ වැටෙන්නේ.....
වැඩ වර්ජන; උද්ඝෝෂණ කරද්දී වැඩියෙන්ම බැටන් පොලු පහරවල් කන්නේ- වෙඩි කන්නේ- කඳුළු ගෑස් ප්‍රහාරවලට ලක්වෙන්නේ පොඩි මිනිසුන්ය. 

කවදාවත් දෙන්නට බැරි තරම් ඉල්ලන්නැයි දෙසන්නේ නායකයන්ය; උන්ගේ වහසි බස් අසා උද්දාමයෙන් මස් රාත්තලම ඉල්ලන්නේ සොක්කන්ය.  

මුට්ටි කාසිකාර ලොක්කන්ට දිව දෙකක් ඇති බව නොදන්නා සේරම්, සේකර වැනි මිනිස්සු අමාරුවේ වැටුණාහ. 
එහෙත් ආත්ම ශක්තියත්- වාසනාවත් ඇත්තෝ ඒ වළෙනුත් ගොඩ ආවෝය; සේරම්ලා වැන්නෝ.

අපේ හිතෛෂිවන්ත මිතුරෙක් සිටී. 
මස්- මාළු- බිත්තර හැම ඉලව්වකටම බෙහෙවින් රුචි කරන ඒ හාදයා දැන් උම්බලකඩවත් මුසු වුණු දෙයක් නොවලඳයි. “මොකද මනුස්සයෝ මේ?”

රත්තරන් මාලේ නෙවෙයි, සුරේ. බර ගානක් වියදම් කරලා........
“මේ ආරක්ෂාවට- අපලවලට!” එයා කමිසයේ කර මෑත්කොට පෙන්නුවේ තරමක ආඩම්බරයෙනි.

“ලොකු රත්තරන් මාලයක් දැම්මාය කියලා වෙජිටේරියන් වෙන්නෙ මොකටද?” මං ඇහුවේ උත්තරය දැන-දැනමය. ඒ වෙද්දීත් එයාගේ ‘කිරියා පටිපාටිය’ මිතුරන්ගේ උපහාසවලට ලක්වෙමින් තිබිණි.

“මාලේ නෙවෙයි නිමල් අයියේ.
සුරේ..... බර ගණනක් දීලා මේක දම්මවා ගත්තේ. මේකේ බලය බිඳෙනවලු ගෙදරට මස්-මාළු ගෙනාවොත්.... කෑවොත්. කිලි අහුවෙන්නත් බැහැ.” මනුස්සයා හින්දා බිරියටත්, දරුවන්ටත් ප්‍රෝටීන සහිත ආහාර වේලක් ලබන්නට තිබෙන අවස්ථාව අහිමිය. ඒ එයාලාගේ අපලයක් නිසා විය යුතුය.

තමුසේ නේද දැන් යක්කුන්ගෙන් සුරේ ආරස්සා කරන්න..........
“ඉතින් යක්ෂයෝ ඔහොම බැලුවම තමුසෙගෙ ආරක්ෂාවට දාස් ගණනක් දීලා සුරේ දමාගත්තට දැන් තමුසේ නේද සුරේ ආරස්සා කරන්නේ, හරියට නොකා-නොබී?” මම ඇසුවෙමි. එහෙව් මිනිසුන් සිටියදී, ලෝකය දිනන්නේ සේරම්ලා- සේකරලා වැනි මිනිසුන්ය.... හිත හයිය මිනිසුන්ය!    

දෙමටගොඩ කැන්ටිමේ ඉන්නා කාලයේදීමය මා තජකයට සම්බන්ධ වුණේ. අලුතින් ගොඩාක් දේවල් ඉගෙන ගන්නට ලැබෙද්දී, කැන්ටිමේ එකාකාර ජීවිතය මට තිත්තම තිත්ත වුණේය.

“කළු අක්කේ.... දැන් නම් ආයේ කැන්ටිමක් කරන්න හිතෙන්නෙ නැහැ. මට නම් ඇති. මහා මුස්පේන්තු වැඩක්... හිර ගෙදරක දමලා වගේනෙ!” මං කළු අක්කාට කිව්වේ කැමති නම් තනිවම කැන්ටිම කරගෙන යන්නටය. ඇයත් ඊට මනාපයක් දැක්වුවේ නැතිය.

“නිමල් මල්ලි දන්නවනේ.... අපිත් ටික-ටික රෙදි බිස්නස් පැත්තට හැරෙන්න පටන් ගත්තනේ. ඔයාටත් තියෙන්නේ ඒකට අත ගහන්න. ඇයි නිමල් මල්ලී, දැනටමත් පිටින් පමුණුවට ඇවිත් රෙදි වැඩේට බැහැපු මිනිස්සු කීදෙනෙක් නම් ලක්ෂපතියෝ වෙලා ඉන්නවද? ඔයාලා පමුණුවේ ඉන්නේ අපටත් කලින්, පාංකඩ මහත්තයලගේ කාලේ ඉඳලනෙ.....”

එතකොටත් පමුණුවේ කෑලි ඇඳුම් නිමි ඇඳුම් බව‍ට පත්වෙමින් තිබිණි.
ටිකෙන්-ටික ව්‍යාප්ත වෙමින් තිබුණු ‘පමුණුවේ කෑලි ඇඳුම්’ වැඩේට අත ගැහිල්ල කොහොම වෙතත් බතික් කෙරුවාව නම් නැවතෙන තැනටම ටිකෙන්-ටික වැඩ සිදුවෙමින් තිබිණි.

මම තීරණයක් ගත්තෙමි. ‘අවුරුද්දක් පිරෙනකල් තෙපර බබා ඉන්නට ඕනේ නැත.’ කළු අක්කා ඒ වෙනවිටත් රෙදි ව්‍යාපාරයට වැඩි කාලයක් යොදවා තිබුණේ එය වඩා වාසිදායක බැවිනි. මගේ ඕනෑකම අලුත් අත්දැකීම් ලබන්නට මඟ විවර කරගන්නටය.

“ඔබතුමන්ලා අවුරුද්දකට පස්සේ ආයෙමත් ටෙන්ඩර් කෝල් කරනවනේ.... බැරිද ඒක මාසෙකට කලින් කරන්න.... මං කැමතියි මාසෙකට කලින් හරි නිදහස් වෙන්න.”
  
“ඒ මොකද මිස්ටර් නිමල් ඒ? මෙච්චර කාලෙකට අපියි බලාගෙන හිටියේ කැන්ටිම කරන්න එන අයව යවාගන්න....ඔයාලට වැඩේ අල්ලලා ගියානෙ. අපි හිතාගෙන හිටියේ ඔයාලා ලබන අවුරුද්දේත් ඉඳීවි කියලා....”
ඒකම අපට ලැබුණු හොඳ රෙකමදාරුවක් ලෙසිනි අදටත් මා සලකන්නේ. අනෙක ටියුඩර් කියූ දෙයයි.
එතෙක් කැන්ටිම කළ අයගෙන් ගුටි නොකා බේරිලා තිබුණේ අප විතරය.
සිංහාවලෝකනයක යෙදෙමින් අතීතය කලඹා බලද්දී......
එදා නම් මම ඒ කියුම් විශ්ලේෂණය කරන්නට නොගියෙමි.

අද සිංහාවලෝකනයක යෙදෙන විට පෙනෙන්නේ එහෙම ගුටි නොකා නිදහස්වී එන්නට මගේ මිත්‍රශීලී වීමත් හේතුවක් වෙන්නට ඇති බවයි. අනෙක පැපිලියානේ රංජි, සේපාල, අතුල මල්ලී, පොඩි මාමා වැනි අයගෙන් ලැබුණු සහයෝගයයි.

“අපරාදෙනේ යකෝ, අවුරුද්දක් පිරෙනකල්වත් ඉඳලා සහතිකයක් නොගෙන කැන්ටිම අතාරින්න යන්නේ. වෙන තැනකට ඉල්ලන්න....”

“සෝමවීර මේ. මං මගෙ ගැන දන්නවනේ. ආයෙම නම් අරත්තරන් දෙනවයි කිව්වත් මම මෙහෙම හිරවෙන්නේ නං නැහැ පුතෝ. මේ ඇති හොඳටම. ආයේ කැන්ටින් එපා!”

“උඹට ඉතින් හිතුවක්කාරකමනේ ලොකු!”

සබරගමුවේ සෙට් එකෙන් හදලා තිබුණු මේ පෝස්ටුව කියන්නේ සර්ව-සාධාරණත්වය ගැනද?
එදා මට එහෙම හිතුණේ එතරම් ලාභයක් නොතිබුණු නිසාද? විදුලිය- වතුර- භාජන වැනි පහසුකම් සඳහා සතයකුදු නොගෙවීම නිසා රුපියල් 60/- වැනි සුළු මුදලකටය කැන්ටිමෙදී කෑම බාගයක් විකිණුවේ. (ඒ මිල මට මතක හැටියටය.) එයිනුත් ප්‍රමාණවත් තරමේ ලාබයක් තිබිණි. 

ඒවා යළි මතක් වුණේ පාර්ලිමේන්තු භෝජනාගාරයේ මිල ගණන් දැක්කාමය.

පාසල් ළමයෙකුට නිල ඇඳුම් සඳහා රුපියල් 400/-ක් අවුරුද්දකට වතාවක් ප්‍රදානය කරන රජය පාර්ලිමේන්තු උත්තමයෙකුගේ එක දිනයක කෑම-බීම සඳහා රුපියල් 1,500/-ක් වැය කරනවාලු!

පඩි- දීමනා- රැස්වීම් වාරයකට ගෙවන මුදල- දුරකථන ... කාර්ය මණ්ඩල... වාහන බලපත් වගේ දේවලුත් නහුතයකි. ඇයි, අවුරුදු පහෙන් පෙන්ෂන්.... 
ඒ නිසාම වෙන්නැති සිරි ලංකාද්වීපයේ ගෙවල ගෙම්බන්- බහිරවයන් වැඩි!

මාස එකොළහක් විතරක් කැන්ටිම කරලා,  කල් තියා එතනින් ඉවත් වීම ගැන අදත් මට හරිම සතුටුය; ආඩම්බරය. හැමෝටම ඒ වාසනාව නැත. නිසි තැනදී- නිසි ලෙස- නිසි තීරණ ගෙන- නිසි ලෙසින්ම සමුගන්නට බැරි උදවිය අද පාච්චල් වෙන හැටි! ඒ කාලේ එවැනි ලජ්ජා නැති උදවිය ගැන අහන්නට ලැබුණෙත් නැතිය.

විස්ස විජ්ජාලෙන් උපාධි ගත්තාටත් පස්සේ මොන්ටිසෝරි යන්න හිතන කට්ටියත් අපේ රටේ හිටිති.
ඒකටත් එක්ක අද... එක්සිකිටිව් රස්සාවක් කළාටත් පස්සේ, සොච්චං ‘පැන්සොං’ එකකුත් ලැබෙද්දී වුණත් ‘පියුං’ රස්සාවකට හරි පැනගන්නට හදන්නෝත් එමට සිටිති!

අතීතය ගැන, කළ-කී දේ ගැන සතුටු වෙන්නට බැරි අවාසනාවන්ත අයටය. අතීතයේදී කරන්නට බැරි වුණු අයට අනාගතයේදීත් අයිති වෙන්නට ඉඩ තියෙන්නේ ඒ සංතෑසියමය.

මා නම් මෙතෙක් කළ-කී හැම දෙයක් ගැනම ආඩම්බරය. මා වඩාත් සතුටු වෙන්නේ උගත් දේවල් ගැනය; ලැබුණු අත්දැකීම් ගැනය. දෙමටගොඩ කැන්ටිමේ කාලය ගැන වුණත් එහෙමමය. එහිදීත් ඉගෙනගත් දේවල් එමටය!

“කැන්ටිමකදී මාළු කෑලි හොදිවල දාලා තිබ්බොත් පාඩුයි. කලබලේට බෙදලා දෙද්දී මාළු කෑලි කුඩු වෙන්න පුළුවන්. ඒවා වෙනම තියන්න..... 
කිරි මාළු- බිත්තර- අල සේරටම එකම හොද්දක් හැදුවම පිරිමහගන්න පුළුවනි. ටිකක් උකුවට හොද්ද හදලා තියාගෙන පීරිසියට බෙදනකොට තමයි ඕනෙ කරන ජාතිය දාන්නේ....”

මට එහෙම ඉගෙනගත් දේවල් ගොඩාරියක් මතකය!
“.... කිරට හොද්දක් හදා ගනිද්දී අබ කුඩු ටිකක් එහෙම දාගත්තම රසයි. හැබැයි උළුහාල්, අබ කුඩු එහෙම දැම්මාම ඉක්මනට පිළුණු වෙන්නත් බලනවා.... ඒක කැපෙන්න හොද්දට ගොරකාවලින් ඇඹුල ගන්න.”

එහෙම අත්දැකීම් ගොඩකි. එහෙත් සමහර දේවල් නම්, පසුකාලීනව කරන්නට ඕනෑ වුණේ නැත. එවැන්නකි, බත් ඉතිරි වීම ගැන උගත් පාඩම.

“... බිත්තර තම්බලා තියාගන්නවා වගේම තමයි, බත් ඉතිරියි නං.......”
 ඒ පාඩම තමුන්නාන්සේලාට කියා දෙන්නේ ඊගාවටය....

8 comments:

  1. Replies
    1. 'අනේ හොඳයි හා හා
      බලාගෙනයි හ්ම් හ්ම්
      කවුද බලමු සමතා
      ලොව හමන සුළඟ නවතා
      හරි යයිද ඒ කතා'
      හ්ම් හ්ම් දැකලා මතක් වුනේ ජෝති ගයන යුග ගීයක කොටසක්.

      ස්තුතියි drakee!

      Delete
  2. //විදුලිය- වතුර- භාජන වැනි පහසුකම් සඳහා සතයකුදු නොගෙවීම නිසා රුපියල් 60/- වැනි සුළු මුදලකටය කැන්ටිමෙදී කෑම බාගයක් විකිණුවේ. (ඒ මිල මට මතක හැටියටය.) //.

    මට හිතෙන්නේ මෙතනදී නම් ඔයාගේ මතකය ටිකක් අප්සෙට් ගහලා. මේ සිද්ධි 1980 හෝ ඊට පෙර උනා නම් බත් බාගයක් රුපියල් හයක් වෙනවා මිසක් හැටක් වෙන්න බැහැ.
    80 වර්ජනයේ මුලිකම ඉල්ලීම උනෙත් මාසයකට රුපියල් තුන්සීයක් වැඩි කරන්න කියන එකනේ!

    අර දුප්පත් ශෙමාරා නෝනාගේ පඩිය ගැන අහිතක් හිතන්න එපා. ඒක අවුරුද්දකටම AUD මිලියන දහඅටයි. වර්තමාන රුපියලේ අගය අනුව මාසෙකට යාන්තං කෝටි දහ අටහමාරක් වගේ සුළු ගානක් තමයි ලැබෙන්නේ. ඒ හම්බවෙන එකෙනුත් ටැක්ස් වලට කෝටි අටහමාරක් විතර ගෙව්වාම ඉතුරු වෙන පනං අටෙන් තමයි මාසයක්ම ඇදගෙන යන්න වෙන්නේ. පව්. (එයා තමයි මුළු ඔස්ට්‍රේලියාවේම ඉහලම වැටුප ලබන්නිය.)

    ReplyDelete
    Replies
    1. ඔයා හරියටම හරි වෙන්න ඕනේ සෑම්.

      අපි කැන්ටිම කලේ 79 විතර කියලයි මට මතක් වෙන්නේ. 80 වර්ජනය වෙනකොට අපි කැන්ටිමෙන් ඇවිත්. රුපියල් හැට කියන්නේ අමාරුවෙන් ගැට ගසාගත් මතක කෙන්දක්!

      නිදහසට කරුණු කියනවා හෙම නෙවෙයි. මුල්‍යමය කටයුතුවලදී මං එච්චර හොඳ මතකයක් තියෙන කෙනෙක් නෙවෙයි. අදටත් පාන් ගෙඩියක ගණන හරියටම දන්නේ නැහැ.

      ශේමාරා නෝනලා ඉන්න රට වගේ අපේ රටත්...........

      Delete
  3. https://en.wikipedia.org/wiki/Archerfish

    ReplyDelete
  4. පෝස්ට් එක උඩ ඉඳන් පහලටම කියවල හදාගෙන ආපු කතාව තනි සම්පූර්ණයෙන්ම අමතක උනා එක ෆොටෝ එකක් දැකලා. අර කැළණි වැලි ලයින් එකේ පීලි තුනේ රේල් පාර.

    ReplyDelete
    Replies
    1. දැන් එහෙම තමා. මහරගම පමුණුව පාර අද්දර රේල් පාරෙත් රෙදි තට්ටු. කොච්චි එද්දී අයිනකට කරගන්නවා....

      ඔබතුමා ඉතින් දුම්රිය ලෝලියානේ. කොටුවේ ඉඳන් අවිස්සාවේල්ලට කැලණිවැලි කෝච්චියේ ගිහින් තියෙනවද? හිතාගන්න බැරි තරම් සුන්දරයි.

      Delete