අකුරු මැකී නෑ

Tuesday, January 7, 2020

මෝස්‌තර එක්ක හත් වසරක් - විසිඅටවෙනි කොටස

....මාව දුටු ගමන් ඇගේ දෙකොපුල් කඳුළෙන් තෙමෙන්නටත් වුණේය! රිකී මහත්තයා ගිහින්ය. ඔහු යළි නොඑන්නටම ගිහින් තිබුණේ සිරුරට ගිනි තබාගෙන බවය ඇගෙන් කියැවුණේ!!
ඉතින්......
සබන් පෙන පිම්බෙනවා වගේ හිටි ගමන්, කෘත්‍රිමව පිම්බීම....
මගේ අදහස නම් රිකී මහත්තයාගේ බලපෑම දීපානි බතික් ආයතනයේ වැටීමට ගොඩක්ම හේතු වුණු බවයි. එයට අමතරව ඒ වෙනවිට රටේ ඇතිවෙමින් තුබුණු තත්ත්වයන්ද අමතක කරන්නට බැරි තරම්ය.
ව්‍යාපාරයකදී කෘත්‍රිමව එය පිම්බෙනවා නම් ඒකම විනාශයක මුල වෙන්නටත් ඉඩ තිබෙයි!
අපට වුණා වගේම අභාග්‍යයක් පිළිමතලාවේ කට්ටියකට වුණාවත්ද කියලා ගිය මාසයේ මට හිතිණි. ඒ අලුත් ජනාධිපතිතුමා පත්වුණු ගමන්මය.
......රාජ්‍ය ආයතනවලින් ඇති අධික ඉල්ලුම නිසා ලක්සල ආයතනයේ සියලුම ශාඛාවල තිබූ පිත්තල රාජ්‍ය ලාංඡන මෙම සතිය වනවිට අවසන්වී ඇති බවත් යළි ඇණවුම් කර බලා සිටින බවත් ලක්සල අලෙවි ආයතනවලින් අනාවරණය විය........

අලුතින් ජනාධිපතිතුමා පත්වෙනකොටම දෙපාර්තමේන්තුවලට පිත්තල රාජ්‍ය ලාංඡන...
..... රුපියල් හයදහසට පිළිමතලාවෙන් දෙන අඩි එකහමාරේ රාජ්‍ය  ලාංඡනයක් කොළඹදී රුපියල් 17,500/-කටත්, රුපියල් විසිපන්දහසට දෙන අඩි දෙකේ රාජ්‍ය ලාංඡනයක් රුපියල් තිස්පන්දහසේ සිට ඉහළ ගණන්වලට විකිණෙන බවත් හෙළිවිය.

පහුගිය නොවැම්බරයේ 27 වෙනිදාය, තිස්ස රවීන්ද්‍ර පෙරේරා ලියා තිබුණුරජයේ ආයතනවලට පිත්තල රාජ්‍ය ලාංඡන දාන්න 44,000 ගෙවනවලු’ කියන ඒ පුවත මා දුටුවේ.


ඒ පුංචි විස්තරය අස්සේ හැංගිලා ඉන්න කාක්කන් ගැන, මිනී මෝරුන් ගැන විස්තර මා කියන්නට අවශ්‍ය නැත. 
එවැනි හීන් නූල්කාරයන් එක්ක සසඳා බලද්දී දෙමටගොඩ කැන්ටිමේ වැජඹුණු ගංජා ලෝලියන් ගැන මට තිබුණු තරහව වැරදිත් වගෙය.
එයාලා රාජකාරි වෙලාවේ ගුවන්ගතවී බඹ ලොව යමින්.......
එයාලත් රාජකාරිය හරියට නොකළ බව හැබෑය. නිකම් පඩි කෑ බව හැබෑය. 
හැබැයි මෙහෙම ‘ගැහිලි ගහන්නට’ ඒ මිනිසුන්ට බලයක් තිබුණේ නැත. ගැහිලි කියද්දීය මතක් වුණේ.....
“නිමල්..... ඔයාගේ යාළුවා අම්බානකට කන්නයි යන්නේ අසෝකගෙන්..... මොකක් හරි කරන්න වෙයි ටක් ගාලා!” 
ළමා නිවාසයේ ටෙලිෆෝනය ඔස්සේ ටියුඩර් ‘ගැහිල්ලක්’ ගැන මට කිව්වේය. එතකොට රෑ හතට විතර ඇතිය.
“කවුද?”
“ඔයාගේ යාළුවා... තමුසේ කරේ තියාගෙන ඉන්නේ... මාලිගාවත්තේ බුම්මට්ටා!”
එදා හවස මා කැන්ටිමෙන් ආවේ බතික් වැඩපොළේ වැඩ වගයක් හින්දාය. එහෙම එන්නේ පහුවදා පාන්දරින්ම ආපහු කැන්ටිමට යන්න බලාගෙනය. ගෙදරට ගොඩවී වැඩි වෙලාවක් යන්නට කලින්ය; ටියුඩර් පණිවිඩය කිව්වේ. 
ඒ ba ගැනය.
ටියුඩර්, Ba, අසෝක තුන්දෙනාමත් ඒ දවස්වල කරාටේ ...
කැන්ටිමට ගියාට පස්සේ ටියුඩර්, ඇන්ටනි, වෝල්ටර් වැනි කිහිප දෙනෙක්ම මගේ හිතවත්තු වූහ. ඒ එක්කෙනෙකුටවත් දිරවන්නේ නැති කෙනෙකුත් මගේ අවධානයට ලක් වුණේය. හැමදාම උදේට කෑම ගන්නට එන baය.
එයා පුරුද්දක් විදිහටම මිලදී ගත්තේ ඉඳියාප්පත් කිරි මාළු එකකුත්ය. ඒවා ඉවරවෙලා තිබුණොත් මනුස්සයා බඩගින්නේ බව මට තේරුණේය.
ඉතින් ඉඳියාප්ප ටිකකුත්, කිරි මාළු එකකුත් උදෙන්ම අරන් තියන්නට; වෙන් කරලා තියන්නට පටන් ගත්තත් ඒකා ‘ස්තුතියි’ කිව්වා විතරය. Ba ඒ තරම්ම ආඩම්බරකාරයෙකි.
මට පෙනුණු විදිහට නම් මනුස්සයාට හිතවතුන් දෙතුන් දෙනෙකි හිටියේ. 
ඒ දෙන්නාත්; නිව්ටන් හා සේකර දෙන්නාත් මරු මිනිසුන්ය. දෙමටගොඩ වැඩපොළේ හිටි උගතුන් අතරෙන් කෙනෙකි නිව්ටන්. මනුස්සයා බර්ගර් හෝ ලංසි ප්‍රභවයකුත් තිබුණු කෙනෙකු කියලාය මට හිතෙන්නේ. 
හාස්‍යයටත් සැහැල්ලු කතාවටත් රිසි, ඉංග්‍රීසිය වහරන නිව්ටන්ට වැඩපොළේ හිටි අයගේ ගෞරවසම්පන්න බවකුත් තිබුණා වගෙය.
සේකර පසු කාලයක ඡායාරූප ශිල්පයට .........
සේකරගේ නම මට මතක තියෙන්නේ යාන්තමිනි. එහෙම වුණත් එයාගේ එක කකුලක් යාන්තමින් කොට බව නම් හොඳටම මතකය. සේකරත් නිවුණු කෙනෙකි. පසුව දැනගත් විදිහට නම් එයාට කැමරාවත් හුරුය!
Baගේ ගොළුකම, ආඩම්බරකාර බව හින්දාම වෙන්නට ඇති, මමම වැඩියෙන් ඔහු සමඟ කතාබහ කළෙමි.
“පුදුමයි.... අරූ නිමල් එක්ක කතා කරනවා.... හිනාවෙන්නවත් දන්නේ නැති මහන්තත්ත එකා....” මා සමඟ ba කතා කරනවා දුටු සමහරු මා එක්කම කීහ. එවන් තත්ත්වයක් තිබියදීය, ටියුඩර්ගෙන් දුර ඇමතුම ලද්දේ.
“Ba අසෝක එක්ක තරහක් තිබ්බේ නැහැනේ....” මම කීවෙමි.
අසෝක එතකොට වැඩකළේ වැඩපොළේ ආරක්ෂක අංශයේය. බොහෝවිටම ගේට්ටුවේය. ශාරීරික ව්‍යායාම, කරාටේ සටන් ගැන අසෝකගේ තිබුණු ලැදියාව දෙමටගොඩම දන්නවා වගෙය. 
Baත් කරාටේකාරයෙකුද කොහෙදය! හැබැයි, මා දන්නා තරමින් ඒ දෙන්නා අතර විශේෂ මිතුරුකමක්වත්, හතුරුකමක්වත් තිබුණේ නැත.
Ba අද හවස අසෝකයට අත-පය වනලා දර්ශනයක් දාලා!
“ඒවා මම දන්නෙ නැහැ හලෝ.... අද හවස මොකකට හරි කතාවක් වෙලා ba පොඩ්ඩක් දර්ශනේ දාලා, අතපය වනලා. අන්න අසෝක ලැහැස්ති වෙනවා baට return එක දෙන්න.... තමුසෙගෙ මහ ලොකු යාළුවනේ ba .... 
-මං දන්නවනේ අසෝකයා ගැන. මිනිහගෙන් පෝරියල් එක කන්න ඉස්සරින් ෂේප් කරවලා දැම්මොත් හොඳයි. ඔයාත් අසෝකව දන්නවනේ.... ඔන්න ඒකයි දැන්මම කිව්වේ.....”
“මේ, මට සුදුලූනු පොඩි කරන්න හදන්නේ නැතිව ඉන්නවා. ඔයාට පුළුවනිනේ අසෝකට කතා කරන්න.... මං දැකල තියෙනවනේ තමුසෙලා රෑට වැඩ කරද්දී එකට ප්‍රැක්ටිස් කරනවා........ ඉතින් ඔයාටම බැරිද හොඳ මහත්තයෙක් වගේ ඕකට මැදිහත් වෙන්න.
-Please... පව් හලෝ... තමුසෙලාට දිරවන්නේ නැති වුණාට ba නරක මිනිහෙක්මත් නෙවෙයිනේ....”
“හැබැයි වස්තුවේ.....”
ටිකක් අදිමදි කළත් ටියුඩරුත් සමාදාන කෙරිල්ලට හවුල් වුණේය. මාත් කොටසක් කළා මතකය.... ඒකට එදා රාත්‍රියේම මාලිගාවත්තේ දුම්රිය නිවාසවලට යන්නටත් සිදු වුණේය.
මට හමුවී තියෙන 'මව්වත්කමින් පිරුණු ඒ මාතාව' තවමත්......
“අනේ මල්ලී, මෙයාට තරහ යනවා කෙළවරක් නැහැනේ.... හොඳ වෙලාවට ඔයාට ආරංචිය ලැබුණේ.” Baගේ අක්කා මට ස්තුති කරමින් කිව්වාය. 
“අනේ පුතේ.... පුළුවනි නම් අපේ එක්කෙනාට ටිකක් ඉවසලා ඉන්න පුරුදු කරවන්න....” Baගේ අම්මාගේ කඳුළු පිරුණු මුහුණ මට තවමත් මතකය.
මගේ ජීවිතයේදී හමුවී ඇති ‘මව්වත්කමින්’ සපිරුණු හොඳම මාතාවකි ඒ!
අසෝකව හමුවී, ‘සොරි’ කියලා අතට අත දී සමාදාන වෙන්නට ba කැමතිකරවා ගැනීම අදත් මා සිහි කරන්නේ ආඩම්බරයෙනි. එයින් තවත් ප්‍රතිඵලයක් දීපානි බතික් වැඩපොළට අත් වුණේය. 
ඒ ප්‍රතිඵලය ‘යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා’ නමින් වෙනම පෝස්ටුවක ලියන්නෙමි. එහෙත්, වඩා දිගට නොයන සටන් link එකක් ගැන නම් දැන්මම කියලා හිටින එක හොඳය.
ජීවිතේටම සටන් ක්‍රමයක් හදාරා නැති, අතින්-පයින් ගහගෙන නැති; මෙතෙක් කාලයකට කර තිබෙන සේරම සටන් කටෙන්ම කරලා ඇති නිමල් දිසානායකට එවක නැඟී එමින් හිටි සටන් නළුවෙකු හඳුන්වා දුන්නෙත් ඉහතින් කී ටියුඩර් ලේල්වල හිතවතාය.
ප්‍රාර්ථනා, සෙබළියෝ, නොම්මර 17 වගේ films කිහිපයකටම ටෙඩී එක්ක සටන් ජවනිකාවලට ගිය ටියුඩර්.....
“නිමල්... මාත් ගියා ෆිල්ම් එකක fight සීන් එකකට මේ ටෙඩී එක්ක....” අහම්බෙන් මුණ ගැහුණු වෙලාවක, ටියුඩර් එයාත් එක්ක හිටි ටෙඩී විද්‍යාලංකාර හඳුන්වා දෙමින් කිව්වේය.
“අඳුනගත්තට සන්තෝසයි.... ටෙඩී මෙයාවත් එක්කං ගිහින් ගුටි කන්න ඇතිනේ....” 
එදා මම කිව්වෙමි. ඒ මා දැනගෙන හිටි තරමය. ඒ කාලේ චිත්‍රපටවල සටන් ජවනිකාවලට සහභාගී වෙන ආධුනිකයන්ට සිදුවෙන්නේ ‘අම්බානක’ ගුටි කන්නටය; ප්‍රධාන නළුවාට පරදින්නටය!
‘ටියුඩර්, ඊට පස්සෙත් ෆිල්ම්ස් දෙක-තුනකම ගුටි කන්න ගියා නේද?’ මං අහන්නේ කින්ඩියටය.
ඒවා හොඳම අත්දැකීම්ය. දැන් හරි ඒ ගැන ඇහුවාට ටියුඩර් අමනාප වෙන්නේ නැති බව හොඳටම දන්නෙමි. 
ටෙඩීත් එක්කම ‘ප්‍රාර්ථනා’, ‘සෙබළියෝ’, ‘නොම්මර 17’ වගේ චිත්‍රපට ගණනාවක සටන් කළ ටියුඩර් දැන් දනට-පිනට කැප වූවෙකි. ටෙඩී විද්‍යාලංකාර චිත්‍රපට සටන් අධ්‍යක්ෂවරයෙකි!
ඉදිරියේදී ලියවෙන්නට තිබෙන ඉතාම රසවත්; වෙනස්ම අත්දැකීම් රැසකට මුල පිරුණෙත් ටියුඩර් නිසාවෙනි. මගේ ජීවිතයේ හොඳම පරිච්ඡේදයකට ටියුඩර් මුල පුරා දුන්නේ ඒ පිළිබඳව හාන්කවිසියක්වත් නොදැනය! 
ඔන්න ටියුඩර්, ඔයාත් එව්වා දැනගන්නේ තවත් සති කීපයකට පස්සෙය.
මගේ ජීවිතයේ ඉතා රසවත්; විචිත්‍ර පරිච්ඡේදයකට මුල පිරුණේ....
ඉතින්, ඒ පට්ටන්දර මල්ල ලිහන්නට කලින්, මෙතෙක් කියාගෙන ආ කතාන්දරය ඉවරයක් කරලා ඉන්නට ඕනෑය.
රාජ්‍ය ආයතන, දෙපාර්තමේන්තු ආදියේ කැන්ටිමක් කරද්දී වතුර - විදුලිය - උපකරණ වගේ දේවල් නොමිලේය. අදටත් එහෙමම වෙන්නට ඇති කියලා මට හිතෙයි. 
එවැනි පහසුකම් පිළිබඳව ඒ දවස්වල අපේ ආකල්ප; අපේ දැනීම කොච්චර නරකයිද?
හවස පහට විතර කැන්ටිම වැහුවාට පස්සේ අපි හැමෝම නාගන්නට සැරසෙමු.
කැන්ටිමටම යාබදවය, වැඩපොළේ අයටත් නාගන්නට ලොකු- දිග වතුර ඔරුවක් වගේ එකක් තිබුණේ. නාන්නට එන ගොඩ දෙනෙකුට ඒකෙ කරාමය අරින්නට මිසක් වහන්නට මතක් වෙන්නේ නැතිය. වතුර ඔරුව පිරී, උතුරලා වැක්කෙරෙන සද්දය ඇහෙද්දී කරාමය වහන්නට වෙන්නේ අපටය. 
අකැමැත්තෙන් වුණත් ඒ රාජකාරිය කළ අපේ ඇත්තොත් පස්සෙ-පස්සේ ඒ සද්දය උහුලාගෙන හිටියෝය.
“අපේ මොකෝ.... අපෙන් වියදමක් යනවය?”
සමහරුන් නම් අප එතැනට ගියත් ඇඳිවත උනා දමා 'වජු බිල්ලම' පෙන්වන තරමේ.....
“නිමල්.... අපේ මිනිස්සු නාන වෙලාවට කළු අක්කට ඒ පැත්තට නොයා ඉන්න කියලා කියන්න. දන්නවනේ... උන්ගේ හැටි...” අප කැන්ටිම පටන්ගත් මුල්ම කාලයේ දවසක වෝල්ටර් කිව්වේය. 
ඒ සාධාරණ කරුණු ඇතිවය. හුඟ දෙනා මහ දවාලක වුණත් එතැන නෑවේ හෙළුවැල්ලෙනි.
කළු අක්කා නොවේ, මා ඒ ඉසව්වට ගියත් ඇඳිවත උනා දමා ‘වජු බිල්ලම’ ප්‍රදර්ශනය කරන තරමේ ‘ප්‍රදර්ශනකාමියෝ’ත් එහි උන්හ!
ඉතින්, අප නාගන්නට යන්නේ හවස හයට විතරය. එතැනදී ඉස්සෙල්ලාම කරන්නේ රෙදි හේදිල්ලය. හෝදන පමාවෙන්ම ඒවා හොඳින් මිරිකා කැන්ටිම ඇතුළේ වනා දැමීමය, අප කවුරුනුත් කළේ. 
එහෙම වනන්නේ රෙදි වැලක නොවේ. මේස උඩට නංවන පුටුවලය.
රෙදි ටික වනලා අහවරවී, නාගෙන එනකොට සරොම්, කමිස වගේ දේවල් නම් වේළිලාත් ඉවරය. ඒ කැන්ටිමේ තියෙන තරම් විදුලි පංකා උපරිම වේගයෙන් කැරකෙන හින්දාය. අනේ, එහෙම විදුලිය නාස්තියක්.....
තමන්ගේ අතින් නොයනවා නම් කොච්චර නාස්තියක් හරි සිදුවුණාට අපට කමක් නැත.
වියදම තමන්ගේ අතින් දරන්නේ නැති නම් ‘අරපිරිමැස්මක් උවමනා නොවීම’ අපේ ජාතික පුරුද්දක් වෙන්නැතිය.
ඔහොම සමහර නොහොබිනා පුරුදු අලුතෙන් හුරු වෙන අතරේ සමහර දවසක රේල්පාරවල් දිගේම ගිහින් මාලිගාවත්ත දුම්රිය නිවාසවලට යන පුරුද්දකුත් මට ඇති වුණේය. ඒ ba එක්ක හිතවත්කම වැඩි වෙද්දීය. 
එයාගේ තාත්තාත්, පොඩි අයියාත්, අක්කාත්; තුන්දෙනාම වැඩ කළේ CGR එකේය. ලොකු අයියා විතරක් CTB එකේ රැකියාව කළේය.
අහම්බෙන් විතරක් ඉංග්‍රීසි චිත්‍රපට බලන්නට ගිය මට වැඩියෙන් English Films බැලීම පුරුදු වුණේ ba හා නිව්ටන් දෙදෙනාගෙනි. බම්බලපිටියේ මැජෙස්ටික්, කොල්ලුපිටියේ ලිබර්ටි, මරදානේ නිව් ඔලිම්පියා, වැල්ලවත්තේ සැවෝයි සිනමාහල්වලට යන්නට මා පෙළඹුණේ ඔවුන් නිසාමය.
එහෙම ba එක්ක මගේ යහළුකම වැඩිවුණු එකේ අන්තිම ප්‍රතිඵලය එයා මහරගම පමුණුවේම බින්න බැහීමය.
ඒ කසාදයෙදී එක සාක්ෂිකරුවෙකු විදිහට අත්සන් තැබුවේ......
ඒ අපේ බතික් වැඩපොළේ සේවය කළ යුවතියක හා (මටත් හොරෙන්) මිතුරුවී, විවාහ වීමෙන් පස්සෙය. (ඒ කසාදයට එක සාක්ෂිකරුවෙකු විදිහට අත්සන් කළේත් මේ ලියන්නාය.) මට ආරංචි හැටියට එයාලගේ දූදරුවනුත් දැන් දෙමාපියන්ය! 
එව්වා එහෙම වෙද්දී, මට ආයෙමත් අවුරුදු 40ක් විතර ආපස්සට ගිහින් කියන්නට දේවල් තිබේ.

කැන්ටින් කොමිටියේ හිටි වියපත් වමේ සාමාජිකයා ගැන මතකද? 

ඒ දිනවල හිටි ගමන් එහාට එන ඔහුගේ පුතෙක් හිටියේය. ඒ ගැටවරයා තාත්තාත් එක්කම කැන්ටිමට ආවාමය මා ඔහුව හඳුනා ගත්තෙත්. 
එහෙම ආ වෙලාවක පුතණ්ඩියාට තේ අරන් දෙන්නට ආවත් ඒ මහත්මයා සල්ලි ගෙව්වේය! 

“නිමල් මහත්තයෝ.... මොනවත් හිතන්න එපා. මගේ ආඩම්බරෙකට නෙවෙයි. කාටවත්ම තේ එහෙකටවත් ණය වුණෝතින් අපි වගේ අයට කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන්න බැරි වෙනවා!” එහෙම වෙලාවක ඒ මානවවාදියා මට කිව්වේ පුතා ඉදිරිපිටදීමය. 

“මේ මගේ පුත්‍ර රත්නේ.... ඉගෙනගන්න හපනා. ඉස්කෝලෙන් out වුණා විතරයි... අපි මෙයාලටත් ආදර්ශයක් වෙන්න ඕනිනෙ.”

ඊට අවුරුද්දකට විතර පස්සේ උඩවැඩියා වගා පාඨමාලාවක්  හදාරන්නට......
ඊට අවුරුද්දකට විතර පස්සේය, මා ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයේ- තරුණ ජනගහණ කමිටුවේ ‘උඩවැඩියා වගා පාඨමාලාව’ හදාරන සිසුවෙකු වුණේ.

“නිමල්ට මතකයිද මාව? දෙමටගොඩ කැන්ටිමෙදී හම්බ වුණේ....” 
අර හාදයා FPA එකේදී මට කිව්වේය. 

එයා දක්ෂ විදිහට ඉගෙනගන්නා කෙනෙකු බව ඒ දවස්වලත් හොඳටම පැහැදිලි වුණේය. 
එහෙම වෙලාත් එයාට හොර හිතක් ආවේ කොහොමද? ඊටත් උඩවැඩියා වගාව ඉගෙනගත්තාය කියා ලැබෙන සහතිකය, හොරෙන් ලකුණු දමාගෙන ගත යුත්තක්ද?

ඔහු කරන්නට ගිය වංචාව හෙළිදරව් වුණාම, පාඨමාලාවේ සිසුන් තිදෙනෙකුට සාක්කි දෙන්නට විණි. මටත් ඇත්තම කියන්නට සිදුවුණේය. 

ඊටත් අවුරුදු පහළොවකට විතර පස්සේ මට ඔහු නැවත මුණගැහුණු වෙලාවේම, මම ඔහු හඳුනා ගත්තෙමි. 

එතකොට ඒ තරුණයා විශ්ව විද්‍යාල කථිකාචාර්ය පදවියකය; මා මුද්‍රණ කළමනාකාර පදවියකය.
හොඳ වෙලාවටය මාත් ගොනා වගේ...............
හොඳ වෙලාවටය මං එදා ගොනා වගේ කට ඉස්සර නොකර හිටියේ. මනුස්සයා රැඟුවේ කිසිදා මා මුණගැහී නැති විදිහටය. 

(එතකොටත් ඔහු නමින් කුප්‍රසිද්ධය. 
එහෙත් ඒ ඔහු යයි යළි හමුවෙන තුරු මම නොදැන උන්නෙමි.) ඔහුගේ පට්ටමට, විශ්වවිද්‍යාල කථිකාචාර්යකමට ගරු කරමින් මමත් මොට්ට - ගොබ්බ චරිතයක් රැඟුවෙමි. 

ඒ එතකොටය. දැන් ඔහු මහාචාර්යතුමෙකි! දැන්ය කියන්නෙත් අවුරුදු කිහිපයකට කලින්ය!! ජීවිත වෙනස් වෙන හැටි!!!

මිනිසුන්ගේ ජීවිත වෙනස් වෙන්නේ නොහිතන විදිහටය; නොහිතන වෙලාවකය. ඒ තියරිය සනාථ කරන්නට දෙමටගොඩදී මට හමුවුණු හොඳම කෙනා සේරම්ය!
සේරම් උස නැත; මිටිත් නැත. ඇහෙනකොටම කාගෙන යන සිනහවකි එයාට තිබුණේ. තවමත් මට හොඳට මතක සේරම්ගේ පොකුටු කොණ්ඩයත්, සරුවාංගය පුරා තිබුණු මයිල් ගසුත්ය! 
ඒ වගේම මනුස්සයාගේ තිබුණු ගෝරිල්ලෙකුට සමාන ගමන් ලීලාවය.
සේරම්ගේ විදිහත්, හිනාවත්, ගමනත් කෙනෙකුට සිහි ගන්වන්නේ  ගෝරිල්ලෙකි......
“මොනවද හලෝ, advance දවසටවත් තමුසෙලා අපට හිතේ හැටියට කන්න දෙයක් හදවන්නේ නැත්ද?”
පමාවී කැන්ටිමට පැමිණි සේරම් කැෂියර් කවුන්ටරය ඉස්සරහම යකඩ බට උඩට පැනලා, සිරුර සමබර කරගනිමින් වාඩි වෙවී ඇහුවේය. 
ඒ වීදුරු ෂෝකේස්වලට එබිලා බලන අතරේය.
අත්තිකාරම් ගෙවන දවසට කැන්ටිමේ වෙළෙඳාම සරුය. එහෙත් එයටත් සීමාවක් තිබෙයි. එනිසාම අමතර කෑම වර්ග වුණත් හදවන්නේ ඉව-බව නැතිව නොවේ. 
ඔහු එද්දී අමතර කෑම සේරම අහවරය.
“සේරම්ට තියෙන තරං සල්ලි අනෙක් අයට නැහැනේ... ඒ මිනිස්සු ගෙදරටත් ගෙනියන්න සල්ලි කීයක් හරි ඉතිරි කරගන්න එපැයි...”
“අයියෝ.... ඔයාගේ බයිලා නං එපා. මොනවද තියෙන්නේ.... මට හොඳටම බඩගිනියි... මොකුත් නැත්තං ඔන්න ඔයාව හරි ගිලිනවා- ගිලිනවාමයි!” .....

8 comments:

  1. අර පිත්තල රාජ්‍ය ලාංඡන හදන අය ගැන තියන ලින්ක් එකේ ලිපියේ කියැවෙන්නේ ඒවා අතින් කැටයම් කරන බවකුයි. මට නම් හිතෙන්නේ ඒවා මෝල්ඩ් එකකට වක්කරලා (වාත්තු කර) පොලිෂ් කරනවා මිසක් අතින් කැටයම් කපන්නේ නැති බවයි. හැබැයි රුපියල් විසි තිස් දාහකට විකුණන කොට නම් "අතින් කැටයම් කරනවා ඒ නිසා මිල අධිකයි" කියලා කියන්න පුළුවන්නේ. කොහොම උනත් මාස දෙක තුනක් ඕක පොලිෂ් කරන්නේ නැතිව තිබුනාම අනුරාධපුර යුගයේ පුරාවස්තුවක් කියලා ලක්ෂ විස්සකට තිහකට විකුනන්න පුළුවන් වෙයි.

    ReplyDelete
    Replies
    1. සෑම්, මං අහලා තියෙන විදිහට නම් පිත්තල තහඩුව තලමින් වගෙයි ඔය කැටයම් කරන්නේ. මැෂින්ස් තියෙනවද දන්නේ නැහැ.

      හැබැයි ඔයා අන්තිමට කියන කාරණේ නම් ටක්කෙටම හරි. ඕනේ නම් එහෙම අති පැරණි බන්දේසියක් ලාබෙට දෙන්නත් පුළුවනි.

      Delete
  2. ලක්සලේ මැනේජර් කෙනෙකුත් ඉන්නව බ්ලොග් ලියන. එයා කොයිතරම් පුරෝගාමියෙක්ද කියතොත්, එයා සිංහලෙන් ලියන්නෙ සිංහල යුනිකෝඩ් හදන්නත් කලින් ඉඳන්. ඒ දවස්වල තිබුණු තාක්ෂණේ හැටියට, එම්එස් පේන්ට් එක ඇරං, ඒකෙ සිංහල ෆොන්ට් එකකිං ටයිප් කරලා, ජේපීජී හැටියට සේව් කරලා අප්ලෝඩ් කරනව... අද කාලෙ තරම් ලේසි නෑ...

    මට නම මතකෙට එන්නෑනෙ... සුදිකගෙ යාළුවෙක්. මට හම්බුණේ දෙහිවල ගෙට්ටුවෙදි...

    ReplyDelete
    Replies
    1. බලෙන් හරි මතක් කරවගන්නයි හිතෙන්නේ. පොඩ්ඩක් මතකය පාරවන්නකෝ ඩ්රැකී.

      Delete
    2. නමෙන් හොයන්න ගිහින් බැරි වුනා. බ්ලොග් අඩවිය මතකයිද ඩ්රැකී?

      Delete
  3. https://www.designswan.com/archives/17-weird-looking-orchids.html

    ReplyDelete
    Replies
    1. හරිම අපූරුයි. එතන තියෙන ඒවායින් තුන හතරක් විතරයි දැකලා තිබුණේ. සේරම බාගත්තා, තන්හාව නිසා.... ඉස්සරහට ලස්සන කරන්න ගන්නත් ඇහැකිනේ. ගොඩක් ස්තුතියි Pra Jay

      Delete