අකුරු මැකී නෑ

Tuesday, March 31, 2020

කොරෝනා කොරපු; කොරන හරිය! -දෙවෙනි කොටස


අතින් අල්ලලා තියා යදමින් බැඳලාවත් නවත්තගන්නට බැරි කාලය විතරක් සුපුරුදු විදිහට ඔහේ ගලායයි. ලෝකයට , ලෝකයන්ට මොනවා වුණත් ඒක එහෙමය. කොරෝනා මේ තරම් අලකලංචියක් කරද්දී වුණත් කාලයට හදිසියක් නැත; වේගය වැඩි වීමකුත් නැත. ගලන්නේ පුරුදු වේගයෙන්මය.


මං එහෙම නොවේ. ඇතිවෙන තත්ත්වයට අනුව වෙනස් වෙමි. මිනිසා එහෙමය!

කොරෝනා කොරපු කොරන හරිය- 1 පෝස්ටුව ලියද්දී මං වහන්සේ හිතාගෙන හිටියේ මුහුණු පොතේ පළවූ posts විතරක් ඊට පාදක කරගන්නටය. එහෙම හිතිලා තියෙන්නේ සිදු වේගෙන යන දේවල් ගැන හරි-හමං තක්සේරුවක් මේ මොට්ටයාට වුණත් තිබිලා නැති නිසාය! අපේ බලධරයන්ට වගේ!!

ජනවාරි 27 ලංකාවෙන් පළමු (චීන) කොරෝනා රෝගියා ගැන වාර්තා වුණාම අප හිතුවේ ‘ඕකත් කජ්ජක්ද?’ කියලාය. දැන් ... ‘කජ්ජ බිස-බිසා’ නෙවෙයි ‘වජු බිල්ලම කස-කසාවත්’ හිඳින්නට ඉස්පාසුවක් නොදී රෝගය පැතිරෙයි. පාරවල්, ගම්, නගර වසා දැමෙයි.


විද්වත් පුරෝකථන හරි බවක් පෙනී යයි. ඒත් තවමත් බොහොමයක් බලවතුන් කෙළින්නේ ඡන්ද කෙළිය!

මහරගම ශ්‍රී ලංකාවම දන්නා නගරයකි. රට-රටවල ඉන්නා ගොඩක් සිරි ලංකාවාසීහු මව්රටට ආවාම, මහරගමට; පමුණුවට ඇවිත් යති. ලාබෙට රෙදි ගන්නට! එහෙව් පසිඳු තැනකටත් තවමත් ‘කාර්ය සාධක බලකාය හා එක්ව එවනවාය කී සැපයුම්- ජංගම අලෙවි රථ’ එකක්වත් මාර්තු 30 වෙනිදා වෙන තුරුමත් ආවේ නැත. දැන් 31 මධ්‍යාහ්නයයි. අපේ යාන්ත්‍රණයේ කාර්යක්ෂමතාව එහෙමය.

2020 මාර්තු 24 උදේ........... නොමිලේ කොරෝනා!
කටින් බතල හිටවන්නට සමර්ථයන් වැඩිම රට හින්දා ඔය ප්‍රකාශ විශ්වාස නොකළත් මාර්තු 25 වෙනිදා පැවැත්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ජනාධිපතිතුමාම ‘මගේ රට ඉතාලියක් වෙන්න දෙන්න බෑ... ඉදිරි සති දෙකද ඇඳිරි නීතිය පනවනවා. ඒ කාලය තුළ ජනතාවට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය කෙසේ හෝ සපයනවා. සතොස හා සමූපකාරය සතු වියළි ආහාර සංචිතද බෙදා හරිනවා...’ යනුවෙන් කීවේ යැයි වාර්තාවී තිබෙනු දුටු විට මට හිතුණේ ‘වැඩේ හරි’ කියලාය.  

ඒ අස්සේ තවත් ජග වාසියකුත් කඩා වැටෙන්නට යයි!

‘ලබන අඟහරුවාදා (31) වනවිට සමෘද්ධිලාභී පවුල් විසිතුන් ලක්ෂයටම රුපියල් 5000/-ක මුදල ගෙවා අවසන් කරන බව කොරෝනා වෛරසය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමේදී ජනජීවිතය යථාපරිදි පවත්වාගෙන යාම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

“ලබන අඟහරුවාදා වෙනකොට අපේ සමෘද්ධි පවුල් විසිතුන් ලක්ෂයටම රුපියල් 5000 මුදල ගෙවලා ඉවර වෙනවා. ඊළඟට බදාදා ඉඳලා අපි බලාපොරොත්තු වෙනවා තවත් කණ්ඩායම් තුනකට මුදල් දෙන්න....”

මට මැවී පෙනෙයි.... ඇඳිරි නීතිය අස්සේ; බණ්ඩාරවෙල, වැලිමඩ, හපුතලේ, දියතලාව වැනි වසා දමා ඇති නගරවල පවා සමෘද්ධිලාභීන් සොයා ගෙයින් ගෙට යන කාර්ය සාධක බලකායේ නිලධාරීන්...... එවැනිම අය මේ පැතිවල පවා කරක් ගසනු ඇත. (මා සමෘද්ධිලාභියකු නොවේ. මට නැතත් එවැනි අහිංසකයන්ට හෝ ඉක්මනින් සහනයක් සැලසෙනවාට මා හරිම කැමතිය!)

මේ සල්ලි බෙදන්නේ ඡන්දය බලාගෙන නෙවෙයි නේද?


කොරෝනාවෙන් හරියටම මිදෙන්නට හැකි වෙන්නේ අවුරුදු එකහමාරකට පස්සෙලු. ඊට කලින් සමෘද්ධිලාභී පවුල්වලට විතරක් නොවේ, ගොඩක් පවුල්වලට අලුතෙන් දුවල-පුතාලා එකතු වෙන පාටය.

ඒ අනාගත දැක්ම අපේ විදග්ධ FB රසිකයන්ගේය. එයාලා දැන්මම අනාගත සිඟිත්තන්ට නම් යෝජනා කරති. ලස්සන නම්... අරුත්බර නම්! ස්වයංනිරෝධා, කර්ෆිව් මාස්ක්, පෙරුම්කායමී, නිරෝධායන, වුහාන්, ඇඳිරිනෙතික, ලොක්ඩවුන්..... මොන තරම් අපූරුද? ඒවාත් ගංවතුරෙන් පසු උපන් ‘දෙගොඩතලා ජලතරණි’ වගේ කාලීන නාමයන්ය.

2035 ප්‍රශ්නයක්... ඇඳිරි නීතිය හින්දා ගෙවල්වල ගෝරි වැඩිවෙලා....
එච්චරද? එකම කාලයක උපන් දින යෙදෙන පිරිසක් ගැනත්, ළමුන් ඒ ගැන විමසිලිමත් වෙන හැටිත් මේ ඥානවන්තයන්ට පෙනිලාය.

ඇඳිරි නීති වෙලාවේ ගෘහස්ත ප්‍රචණ්ඩත්වය ඉහළ ගිහින් තිබීමෙන් පෙනෙන්නේ මොකක්ද හැබෑටම? දැන් සාමාන්‍ය පොදු ජනතාවට තිබෙන විනෝදාත්මක දේවල් අඩුය. රූපවාහිනී... රේඩියෝ... නම් ඇත. මත්පැන් නැත. එතකොට ‘පොරසෝකේ’ වැඩි වෙනවාවත්ද?   

අමද්‍යපිකයෝ නම් බාර් වහලා තියෙන එක ගැන සතුටු වෙති. බොන්නෝ නොබොන මටත් ‘ඒ තහනම කොරෝනා මර්දනයට බාධාවක් බව’ කියා එවති.


පෙළක් අයට පෙනෙන්නේ එක පැත්තක් විතරය. තවත් පැත්තක් තිබේය යන වගක්වත් එයාලා නොදනිති. එහෙම වෙන්නේ ‘පාට කන්නාඩි’ දමාගෙන ඉන්න විටය.

ඒකෙන් ලොකු අඩුපාඩු සිදුවෙන්නට හැකි වෙයි. විශේෂයෙන්ම යාවත්කාලීන වෙන්නට... සිංහලෙන් කියනවා නම් update වෙන්නට බැරිව යයි. එලොව ගිය කළුහාමිගේ ස්වාමි පුරුෂයා විදිහට හොරෙකුට රඟන්නට හැකිවුණු කතාව අපි අසා ඇත්තෙමු. නැන්දම්මා මියගිය දූට කණකර රත්තරන් බඩුත්, මාමා අශ්වයාත් හොරාට දෙන්නේ ඒ කතාවේදීය. එහෙම වෙන්නේ අර වගේ දැනීම අප්ඩේට් නොවුණාමය.

හැම තැනටම එකම තියරිය කරන්නට; කරවන්නට යන්නේ- ප්‍රායෝගික නොවෙන දේවල් කියන්නේ; කරන්නට යන්නේ එහෙම ගොබ්බයන්ය.


සහසක් රෝගීන් වෙනුවෙන් ජීවිතය පරදුවට තියා උත්තම සේවාවක් යෙදෙන රෝහල් කාර්ය මණ්ඩලවල, අත්‍යවශ්‍ය සේවා සැපයුම් සේවාවල යෙදෙන අයටත් සාමාන්‍ය ජනතාවට විදිහටම සලකන්නට ගියොත්? මාතර වැලිගමදී එහෙම වුණු එක දකුණටත් අවනම්බුවක් නේද?

කවුද අහනවා රෝහලක වැඩ කරන වේලාවෙන් පස්සේ නර්ස් කෙනෙකුට නිල ඇඳුමෙන්ම රෝහලෙන් බැහැරට යත හැකිද කියලත්. නීති ප්‍රශ්නයක්! මං නම් නීති ගැන තකන්නේ ඒවා සමාජයේ යහපතට උපයෝගී වෙනවද කියන තැන ඉඳලයි. මතකයි නේද මං වැඩ්ඩා වගේ මංජුලගේ මේරි නම්වූ මරියාට පැටලුණු හැටි? 

මං හිතන්නේ විදේශිකයෙකුට අවසර නොලබා ලංකාවේ රැකියාවක නිරතවීම තහනම්ය. නමුත් ඇඳිරි නීති වෙලාවේ නගරයක කොටු වුණු සුද්දා මුට්ට කර ගහනවා... (ඉහළ ඡායාරූපයේ) සමහරවිට වැටුපක් නොගෙනම වෙන්නත් ඇති. අමාරු වෙලාවේ ප්‍රජා සේවාවක් විදිහට හිතලද කියලත් සැකයි.....

ජවිපෙ මන්ත්‍රීලා නම් තම වැටුප කොරෝනා මර්දනය සඳහා ගැනීමට අංගොඩ රෝහලට පරිත්‍යාග කර තිබේ!
අමාරු වෙලාවේ... ප්‍රජා සේවාවක් විදිහට....

ඒ ගැන ඉස්සෙල්ලම හිතලා තිබුණේ JVP කට්ටිය. තවමත් අනෙක් දේශපාලන පක්ෂවලින් ඒ හැටි දෙයක් කෙරිච්චි විදිහක් දැකගන්න මට වාසනාව ලැබුණේ නැත. කාර්ය සාධක බලකායත් පොහොට්ටුවේද මන්දා, බැසිල් මහත්තයා උඩින් තියෙන foto කෑල්ලේ මාධ්‍ය සාකච්ඡා තියන්නේ පොහොට්ටු පසුබිමක සිටගෙනය. මේවා මහ මැතිවරණ ඡන්ද ගුණ්ඩුද?

තලියේ කිඹුලන් දකිනවා නෙවෙයි. මේවා හොඳින් හිතා මතා කළ යුතු දේවල්ය. සමහර විට කිසිම උපදේශකයෙකුට හිතන්න වෙලාවක් නැතිව ඇති! නැතිනම් හිතන්නට මොළයක් නැතිවාවත්ද?

මහ ලොකු උපදේශකයන්ට මෙහෙම වෙන බව හිතිලා නැත්තේ ඇයි?
'දිස්ත්‍රික්ක 03ක ක්‍රියාත්මක වූ ඇඳිරි නීතිය අද උදේ ලිහිල් කළ අවස්ථාවේ භාණ්ඩ මිලදී ගැනීම සඳහා ජනතාව වෙළෙඳ සැල් අසල විශාල ලෙස රැස්වී සිටීම කොරෝනා වෛරසය පාලනයට බරපතල බාධාවක් බව සෞඛ්‍ය බලධාරීන් නිරීක්ෂණය කර තිබේ. එබැවින් ඉදිරි කාලය තුළ අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ නිවාසවලටම ගෙන ගොස් අළෙවි කරන ලෙස තොග වෙළෙඳ ආයතනවලට රජය උපදෙස් දී ඇත.

සතොස, කීල්ස්, ලාෆ්ස්, ආපිකෝ, ෆුඩ් සිටි, අරලිය, නිපුණ සහ සෙසු තොග වෙළෙඳ සමාගම් මේ කාර්යයට හවුල් කර ගැනේ.

අත්‍යාවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය නිවෙස්වලටම ගොස් අළෙවි කිරීමේ වැඩපිළිවෙළ කාර්යක්ෂමව ඉටුකරනු පිණිස බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කාර්ය සාධක බලකායක් ස්ථාපනය කර ඇත.’  

දෙවියන් නිරෝධායනය වෙලාය. ගුරු, කට්ටඩි, කපු, ආඬිගුරු සේරම එර්දිවෙලාය.... මුක පූට්ටු කරගෙනය...
මාර්තු 24 උදේ ඇඳිරි නීතිය ඉවත් කළ විගස මිනිසුන් අලෙවි සල් අසලට, සුපර් මාර්කට් වෙතට රොක්වෙන බව; පොදි ගැහෙන බව නොදැන හිටියා නම් හිටියේ කූල් කාමරවල රාජකාරි කරන අය පමණි. කොරෝනා වයිරසය එදාට හිටු කියලා බෙදා හැරෙන බව අපට නම් වැටහී තිබිණි.

දෙවියනුත් නිරෝධායනය වෙලා වගේ තියෙද්දී....

“හොඳ හිතින් කියන්නේ... නිමල් අයියේ, ගෙදරට වෙලා හිටහන්.... තමුසෙට කන්න දේවල් ටිකක් අපි කොහෙන් හරි හොයලා ගෙනත් දෙන්නං. අවුරුදු තුන හතරක් එක දිගට බෙහෙත් කරවලා, කට්ට කාලා රෙමිෂන් පීරියඩ් එකේ ඉන්න තමුසෙත් ඔය සෙනඟ අස්සේ තෙරපෙන්න ගිහින් ජර්ම් එකක් ආවොත්.... කොරෝනාවලට කලින් තමුසේ මැරෙයි.” දොස්තර අයස්මන්ත මහත්තයා තර්ජනය කළේය. නෙවිලුත්, ගවීනුත් සහාය වෙමින් අත්වැල් ඇල්ලුවෝය.


කොහොමත් මං ඉන්නේ ස්වයං නිරෝධායනයකය. කොරෝනාවලට වඩා මං බයවෙන්නේ මා රෝග වාහකයෙකු වුණොත් කියලාය. අනුනට අයහපතක් නොවෙන විදිහට මෙතෙක් කාලයක් හිටි විදිහටම, අන්තිම ටිකේදීත් හිටිය යුතුය.

තමන්ට රෝගය හැදී තිබියදීත් එය හංගාගෙන, සමාජයේ ගැවසෙමින් රෝග බීජ පතුරවන්නේ හිතේ වෛරයක් තිබෙන්නන් විය යුතුය. අපට සදාකාලික ජීවිතයක් උරුම නැතිනම්, වෙලාව ආවාම යා යුතු නම්, තව කල් ජීවත්වීමේ වාසනාව ලබන අයට එරෙහි වෙන්නේ ඇයි?

මේ මොහොතේ අප කළ යුත්තේ එකාවන්ව මේ ව්‍යසනය මර්දනය කිරීම ප්‍රමුඛස්ථානයේ ලා කටයුතු කිරීම නොවේද?


කොරෝනා වෛරසය ගොඩාරියක් බලවත්ය. ඇලුමිනියම් මතුපිටක නම් පැය 2-8ක්, අත්වැසුම් මත පැය 8ක්, යකඩ පෘෂ්ඨයක දින 2ක්, ලී මතුපිටක දින 4ක කාලයක් නොනැසී පවතින්නට මේ වෛරසයට හැකියාව තිබෙයි. එච්චරක් නොවේ, වීදුරු පෘෂ්ඨයක් උඩ දවස් 4කුත් - කඩදාසියක් මත්තේ දින 4-5ක් ගතවෙනතුරුත් සජීවීව පවතින්නට කොරෝනා වෛරසයට පුළුවන්ය.

ඒකාට- ඒ කිව්වේ වෛරසයට වැඩිම ආයු කාලයක්; දවස් 5ක් ජීවත් වෙන්නට හැකි අජීවී මතුපිට වන්නේ ප්ලාස්ටික් වර්ගය. දැන් හැමතැනම, වැඩියෙන්ම තියෙන්නේ ප්ලාස්ටික් නේද?

නිරෝධායනය කොතරම් බලවත් අවියක්ද කියා හිතෙන්නේ ඒ කාරණා සැලකිල්ලට ගනිද්දීය.


ඒ ගැන වගේම, දේශපාලඥයන් ගැනත් දැඩි සැලකිල්ල යොමුවී තියෙන විත්තියක් මුහුණු පොතෙන් පෙනෙයි. වැඩි දෙනෙකුට මේ තුන්දෙනා විතරක් නොවේ... උන්, මුන්, අරුන් සේරමලා එපාවී තියෙනවා වගෙය!

කොරෝනා ව්‍යාප්ත වෙන්නේ අපේ රටේ දේශපාලන පක්ෂ වගේ ඛණ්ඩනය වෙමිනි. වයිරසයේ පැතිරීම ගැන කියවෙන හොඳ ලිපියක් අජිත් ධර්මකීර්තිගේ (කොළඹගමයාගේ) බ්ලොග් එකෙන් කියෙව්වෙමි. භාෂා කිහිපයක්ම දන්නා අජිත්, එංගලන්තයේ ඉන්නා නිසා වඩා හොඳින් මේ විපත්තිය දකිමිනි, ලිපිය ලියා ඇත්තේ.
  
දැන් විදෙස් රටවල ‘දෑත් සෝදන්න. ගෙදරටමවී හිඳින්න’ කියන පණිවිඩය බොක්කටම වදින විදිහට ‘fucking’ එක්කමය කියන්නේ.

“නිමල්, දැන් මෙහෙ මඟුලක් වෙලාවට සහභාගී වෙන්නේ පස් දෙනයි. සාක්කියට දෙන්නයි, ජෝඩුවේ දෙන්නයි, රෙජිස්ට්‍රාරුයි.” ඕස්ට්‍රේලියාවේ සිට චන්ද්‍රා හේවගේ මහත්තයා කිව්වේය. ඩී.බී.කුරුප්පු මහතාගේ  ප්‍රාණසම මිත්‍රයෙකුවූ චන්ද්‍රා මේ බ්ලොගය කියවා ඒ ඔස්සේ මා හොයාගෙන ආවේ දුරකථනයෙනි. විඩෙන්-විඩේ ඔහු දුන් තොරතුරු තවම මගේ ගබඩාවේය. 

“මරණයකට නම් දහ දෙනයි”

“මෙහෙත් එහෙම තමයි චන්ද්‍රා මහත්තයෝ.”


“ඔහේ ලොක්කෝ එව්වා කොපි කළාට නිමල්, අවශ්‍යම දේවල් නම් කොපි කරන්නේ නැහැනේ.... තවමත් මෙහෙ ඉස්කෝල වහලා නැහැ... ඇඳිරි නීතිය දාලා නැහැ....” හේවගේ මහත්තයා කිව්වේය.

“අපේ උදවිය අල්ලා ගන්නෙම වැරදි කොනෙන් චන්ද්‍රා මහත්තයෝ.” මම කීවෙමි.

චීනුන් කොරෝනා මර්දනය කළ හැටි ගැන කතා කරන අපි ඔවුන්ගෙන් උගනිමුද? එවැනි දැඩි පිළිවෙත් පුරන්නට අප සූදානම්ද?


මේ ලියන මටත්, කියවන ඔබටත් වගකීමක් තිබේ; ජාතික යුතුකමක් තිබේ; මනුෂ්‍යත්වයේ නාමයෙන් කළ යුතු මෙහෙවරක් තිබේ.

අප සැලකිලිමත් විය යුත්තේ අප වෙනුවෙන් විතරක් නොවේ; සමස්ත මානව සංහතියම වෙනුවෙනි. කොරෝනා මර්දනය කරන මෙහෙවර රෝහල් කාර්ය මණ්ඩලවලට, පාලකයන්ට, හමුදාවට බාරදී අත සෝදාගත්තාට විතරක් මදිය. අපේ යුතුකමත් නොපිරිහෙළා ඉටු කරමු.

විවේකයක්, නිසි නින්දක් නොමැතිව- අන්තරායක මුව විටේ විඳගෙන සිරිලක පුරාම උත්තම සේවයකි මෙයාලා කරන්නේ. මේ උත්තමාචාරය ඔබ හැමටයි!
නොරට කෙරුණා වගේ මෙරටේදීත් ‘Do the Fxxxxxx.......’ හෝ ‘තොපේ අම්මට හැම නියං කාලෙටම.....’ කියලා කියනකල් ඉන්නට ඕනෑ නැහැ නේද?

මේ යන විදිහට නම්.............

අද බ්ලොගයේ තියෙන සේරම පින්තූර FB එකේ තිබුණේ. ටිකක් ජාලයෙන්. ඒ නිර්මාණශීලී හපනුන්ට, ඒවා ෂෙයාර් කරගෙන තිබුණු උදවියට වගේම ඒවා මට එවූ හැමදෙනාටම ගොඩාරියක් ස්තුතියි!!!

Friday, March 27, 2020

යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස

ඒ දවස්වල මං වැඩ කරලා තියෙන්නේ මරණයේ දේවතාවා අනුබිස් වගෙය. රාස්සයන් කන පරාස්සයා වගෙය.......
ඇත්තටම දැන් නම් මට ලජ්ජාත් හිතෙයි. ඒ දවස්වල මං කටයුතු කරලා තිබෙන්නේ රාස්සයන් කන පරාස්සයා වගෙය! හොඳ චේතනාවෙන් වුණත් ඒකාධිපති විදිහටය!

ඒක නෙවෙයි! කොරෝනා හින්දා මේ පෝස්ටුව ගොඩාරියක් පරක්කුවීලාය, පළ කෙරෙන්නේ. ඉතින් පසුගිය පෝස්ටු 5 කියවනවා නම්  එය පහසු වීමටය මේ පිවිසුම් යොදන්නේ; පළමු කොටසදෙවෙනි කොටස, තෙවෙනි කොටස, සිව්වෙනි කොටස, පස්වෙනි කොටස.

තාත්තාගේ මළගිය ආත්මය ගෙන්වාගන්නා තුරු මේ පරාස්සයා කියන විදිහටම කීකරුව ඉන්නට අපේ ආච්චීත්, සීයාත්, අම්මාත් වගබලා ගත්හ. අප හතර දෙනා හිටියේ නන්නාඳුනන්නන් වගෙය. එකාට-එකා හිනා නොවී, කතා නොවී බුකවාගෙනය. නොම්මරත් දෙකක්ම අරගෙනය. අම්මලා ළඟින්ම සිටි අම්මණ්ඩියෙකු මොනවාදෝ ඇහුවත් අපේ අම්මා කට ඇරියේ නැතිය. අඬන්නට වගේ මුහුණ හදාගෙන සාරි පොටෙන්ම නහය පිසගත්තාම......

එහෙම අඬන part එකට නම් අපේ අම්මා superය. ඔස්කාර් සම්මානලාභී නිළියන් වුණත් පරදවන ප්‍රතිභාවක් එහිදී අපේ මව් යානය සතුය.

“ඊළඟට ඔය මහත්තුරු නේද?” ආවතේවකරුවෙක් ඇවිත් ඇහුවේය.  අපට අඬ ගැසුවාය කියා හිතලාදෝ, පුටු දෙක-තුනකට එහායින් හිටි  අපේ අම්මාත් නැඟිටගත් නිසා ඔහු මගේ දිහාව හොඳින් බැලුවේය. “අම්මාද?”

1990 රිදී තිරයට පැමිණි භූතයා- අවතාරය, නැතිනම් 'Ghost' චිත්‍රපටයෙත්...........
මගෙන් පිට වුණේ එලොවටත් නැති- මෙලොවටත් නැති ගොබ්බ හිනාවක් විතරය. මිනිහා දුර්මුඛ වෙනවා පෙනුණත් නිශ්ශබ්ද වුණේ නැත. “කාව ගෙන්වන්නද ආවේ?”

“මැරිච්ච කෙනෙක්!”

දැන් ඉන්නා ගොඩාරියක් වැදගත්ය කියාගන්න මහත්වරුන්ට වඩා ලජ්ජාවක් ඒ මනුස්සයාට තිබුණු නිසා මිනිහා ඊට එහා වෙනින් මොකුත් ඇහුවේ නැත.

මොලී - සෑම් දෙන්නා ආදරවන්ත යුවලකි. හදිසියේ ඉතා දුක්බර ලෙසින් සෑම් ජීවිතයෙන් සමුගනී. සෑම්ගේ ආත්මය ගෙන්වා දෙන්නට ඉදිරිපත් වෙන්නේ Odaය. එපමණක් නොව සෑම්ගේ ආත්මයට තාවකාලිකව සිය සිරුරට පිවිසී මොලීව සනසන්නටත් ඔඩා ඉඩ දෙයි.

1990 රිදී තිරයට ආ ‘Ghost’ චිත්‍රපටය ළතෙත් හදැති ප්‍රේක්ෂක කවුරුනුත් හැඬවූවකි. එහි තේමාව වුණෙත් මළවුන් ගෙන්වීමකි. පැට්‍රික් ස්වේස්, ඩෙමී මුවර්, වූපී ගෝල්ඩ්බර්ග් තුන් දෙනා හරි-හරියට රඟපෑ ඒ ෆිලුම කොල්ලුපිටියේ ලිබර්ටියේ පැල් බැඳගෙන දිවූ බවය, මට මතක. (එය මේ ලියන්නාගේ හිත කොතරම් පැහැරගත්තාද කිව්වොත් ‘බයිස්කෝප් සිංහලෙන්’ අඩවියේ එය තිබෙනු දැක නැවත වතාවකුත් නැරඹුවේය!) 

වූපී යක්දෙස්සියගේ චරිතය නියමෙට කළත් මළවුන් ගෙන්වන තලාහේනේ යුවතියගේ රංගනය නම් .....
වූපී හොලිවුඩ් නිළියෙකු නිසා යක්දෙස්සියගේ කැරැක්ටර් එක නියමෙට රඟපෑවත්, තලාහේනේ යුවතියගේ රංගනය නම් අජපල්ය.

“ආ.... දැන් මහත්තයා ඇතුළට යන්න.... නෑ, නෑ. ඔහෙලා නෙවෙයි.... ඔහේලාගේ නොම්මරේ තව පස්සේ.” ආච්චිලාත් නැඟිටින විටම ආවතේවකාරයා කඩා පැන්නේය.

“ඒකට කමක් නැහැ... අපේ කට්ටිය. එයාලා තව කෙනෙක්ව ගෙන්වන්න තියෙන හින්දයි තව නොම්මරයක් ගත්තේ.....” මගේ මැදිහත්වීමත් ඒ මනුස්සයාව හොල්මන් කළ එකක් විණි. අපි ඇතුළට ගියෙමු.

හොල්මන් ගුහාවක් වැනි ඒ අඳුරු කුටියට ඇතුළුවෙන කාටත් පොඩි තිගැස්සීමක් ඇතිවෙන විදිහටය, එතැන වාතාවරණය නම් තිබුණේ.

කුටිය කුඩාය. ආලෝකවත් වුණේ පොල්තෙල් පහන් වැටි දෙකකින් විතරය. තිස්සෙම කට්ටකුමංජල් දුම් නංවන දුම්කබල එතැනට ගෙනාවේ එක්තරා විදිහක මෝහනීයත්වයකි. මළවුන් ගෙන්වන යුවතිය හිටියෙත් අඳුරු මුල්ලක මුවාවේය; එකවරම නොපෙනෙන තරමට වසංවෙලා වගෙය. ඇයට ඉදිරියෙන් තරමක මේසයක් මත දේව රූප කිහිපයක්, පහනක්, මොනර පිල් කිහිපයක් හා වතුර වීදුරුවක් තිබුණේය.

ජාතියක් ලෙසින්ම අපි 'වන්දෝ' වෙන්නෙමු. ඕනෑ-එපා හැම තැනදීම අපි වඳින්නෙමු, ඒ ලකුණු දාගන්නට නෙවෙයි නම් ...
අම්මාත්, ආච්චීත් දෙන්නාම, දැන්මම වැඳගෙනය!

ජාතියක් වශයෙන්ම මදිය නොකියන්නටම වඳින ‘වන්දෝ’ය අපි! අපි සංඝයා වහන්සේලාට වඳිමු; පූජ්‍යයන් වහන්සේලාට වඳිමු; තව හැට-හුටාමාරකට වඳින්නෙමු.

කොටින්ම මාස ගණනක් වෙන රජ මුනුබුරු පැටියෙකුට වුණත් වඳින්නෙමු!! නාම යෝජනාවලට අත්සන් කරන වෙලාවේ ‘තෝරු-මෝරු-පොකිරිස්සෝ-කකුළුවෝ’ වඳින දස-වැඳුම් මේ දවස්වල ඔයාලාත් දකින්න ඇති නේද?

අහේතුකව; විශේෂයක් නැතිව දකින-දකින වාරයක් ගණනේ අපේ අම්මාට වුණත් නොවඳින තරමේ මාන්නයක් මේ මොට්ටයාට තිබේ. එංගලන්තයේ සිට ආවාම වුව, අපේ අම්මාට මගෙන් ලැබෙන්නේ වැඳුම් දෙකක් විතරකි. එන දවසේ හා යන දවසේ.... අමතර ඕනේ නම් රුපියල් 500/ බැගින් දෙන්නැයි මා කියා තිබෙන බවත් ඔබට නොරහසකි.

මා වැන්දෙත් නැත. මොකුත්ම කිව්වේ-කළෙත් නැත. බලාගෙන හිටියා විතරය.

මරණයට මුහුණදී සිටින රෝගී දැරියගේ හැඟුම් සපිරි ඒ මුහුණ............
එතකොටය, අර යුවතිය කාමරයේ අඳුරු මුල්ලෙන් මෑත්වී හිටගත්තේ. ඒ පින්තූරයත් තවම මගේ දෙනෙතේ තිබේ. ඊට අවුරුදු ගණනාවකට පසුව මම එය නැවත දුටුවෙමි. දෙහිවල කොන්කෝඩ් සිනමා ශාලාවේදී.
මනිරත්නම්ගේ ‘අංජලී’ දමිල චිත්‍රපටයේ සඟවාගෙන සිටින දැරියව පෙන්වන මුල්ම දර්ශනයේදී..... 

පසුබිම අඳුරුය. ඒ මැදින් මතුවන දැරියගේ පොකුටු කොණ්ඩය.... පනාවක් දැකලාවත් නැති පාටය.... හැඟුම්බර මුහුණ... තලාහේනේ යුවතියගේ මුහුණේ නම් හැඟීම් තියා මෙලෝ දෙයක් මට පැහැදිලිව පෙනුණේ නැත.

“මැරිච්ච ඥාතියාව සිහිපත් කරගෙන ඔය මේසෙ උඩ තියෙන පහන පත්තු කරන්න.” නිහඬතාව බින්දේ අර ආවතේවකරුවාය. මම කීකරු වීමි. දිසානායක හේවගේ ගුණපාලව- අපේ තාත්තාව සිහිපත් කරගෙන පොල්තෙල් පහන් වැටිය දැල්වීමි. අඳුරු කුටිය ටිකාක් විතර ආලෝකවත් වුණේය. ඒත් සද්දයක්-බද්දයක් නැත.

අර... අර.... යුවතිය යාන්තමින් චලනය වෙයි.... හිස දෙපැත්තට වැනෙන්නට වෙයි. හෙමින්- හෙමින් කෙඳිරියකුත් ඇසෙයි. .... ඇස් දෙක උඩ ගිහිල්ලාද කොහෙදය.

මහත්තයා, තාත්තා එන්න අමාරු තැනක ඉන්නවද දන්නෙත් නැහැනේ.... මළවුන් ගෙන්වන තැන ආවතේවයා....
ආච්චීගේ ඇසුත් දිලිසෙනවා පෙනෙයි. ආච්චීත් අම්මාත් හිටියේ මගේ දෙපැත්තේය. සීයා පිටුපසිනි. ඒ නිසාය සීයාගේ ප්‍රතිචාර එකක්වත් මා නොදැක්කේ.

“කතා කරන්න...” ඒ ආවතේවකරුවාය.

දෙවෙනි වරටත් ඒකම කියවුණාමය මා කතා කළේ. “කාටද?”

“ගෙන්නාගන්න ඕනේ කෙනාට කතා කරන්න.” එතකොට අපේ ආච්චිත් මගේ දිහාවට හැරුණාය. ඒ මගේ උපදෙස් සහමුලින්ම අමතක කර දමලාය. “අනේ, කතා කරහංකො පුතේ!”

මම ‘තාත්තේ’ යැයි පැවසීමි.

අප ඔවුනට රුකුල් පදයක් දුන්නේ එසේය. “මහත්තයා.... තාත්තා එන්න අමාරු තැනක ඉන්නවද දන්නේ නැහැ.... කොයිකටත් අර වතුර වීදුරුව අරං මහත්තයලා තාත්තය කියලා හිතාගෙන උගුරක් මෑණියන්ට පොවන්න.” ඔහු කීවේ මටය. ඉස්සෙල්ලාම එයට ප්‍රතිචාර දැක්වූවේ යුවතියය. ඇය මඳක් ඉස්සරහට ආවේ මට ලෙහෙසි වෙන්නටය.

වැඩේ එහෙම පිටින්ම රංගනයක් වගෙය. පුහුණුවී කෙරෙන්නකි..........
බාගෙට ආවේශවී.... මළගිය ප්‍රාණකාරයා ඇයගේ ශරීර කූඩුවට සැපත්වී හිටියා නම්...

මම වතුර උගුරක් පෙව්වෙමි. ඇය ආපස්සට වුණාය; වැනුණාය; අව්‍යක්ත හඬක් නිකුත් කළාය...

“හරි... හරි. මහත්තයල තාත්තා එනවා....” ආවතේවයා කිව්වේය. දෙකක් නැත, කෙලි පොඩිත්තිය රඟන්නේ ඒ මනුස්සයාගේ පදේටය.

වැඩේ එහෙම පිටින්ම නාට්‍යයක් බව ඊළඟ වචනයෙන්ම මට තේරුණේය. “පුතේ....” අර මෑණි කෙල්ල එහෙම කිව්වේ බැරැන්ඩි හඬිනි; ගොතයකුත් එකතු කරමිනි. තාත්තා ඇවිදින්ය. හැබැයි එහෙම ඇවිත් තියෙන්නේ අපේ තාත්තා වෙන්නට නම් විදිහක් නැත.

මා සිටියේ හොඳ සිහියෙනි. සම්මා සතියෙන් යුක්තවය; එළඹ සිටි සිහියෙන් යුක්තවය. ‘ඉන්ධන මිල අඩු කළොත්, මිනිස්සු වාහනවලට තෙල් ගහගෙන නිකරුණේ රස්තියාදු වෙනවා. ඒකයි තෙල් මිල අඩු නොකරන්නේ.’ වැනි මඤ්ඤං කතා කියවෙන මානසිකත්වයක නොවේ.

මේ කෙරෙන්නේ පට්ට ප්‍රෝඩාවකි!!!

දූගේ කොණ්ඩයත් ගොතන මේ හිපි තාත්තා වගේ පුතයෙක් නොවේ අපේ තාත්තා. එයා කවදාවත් මට පුතේ කියා නැත.
අපේ තාත්තා මට ‘පුතේ’ කියාපු කෙනෙක් නොවේ. මට විතරක් නොවේ, අපේ කිසිම නංගියෙකුට- මල්ලියෙකුට දුවේ- පුතේ කියලා නොකිව්වේය. නොකිව්වාමත් නොවේ; කිව්වේය. වැඩිම වෙලාවක කිව්වේ ‘xත්තිගේ පුතෝ’ හෝ xත්තිගේ කෙල්ල’ කියලාය. ඒ තරහ ගියාමය.

ඊට වෙනස් මනෝ භාවයක හිඳිද්දී නම්; මඳ පමණට- අසෝක වීදුරුවෙන් කාලක්ක්‍රියා කොට සුරාමේරය සිල් පදය කඩලා තියෙද්දී.... ‘රංජි, මෙහාට වරෙන් පුතේ’ කියලාත් ආදරයෙන් කිව්වේය.

අනෙක් හැම වෙලාවකම තාත්තා අප ඇමතුවේ උප්පැන්න සහතිකවල තිබෙන නම්වලිනි. ඒවායේත් කෙටි යෙදුම්වලිනි. වෙනසක් වුණේ ලොකු නංගීටත්, මටත් විතරය. එයාට පුෂ්පා කීවේ නැත; කිව්වේ ‘නෝනා’ කියලාමය! ‘මා රංජි’ය!!

“නිමල් අයියේ, මරු වැඩක් වුනාණේ, අද තියටර් එකේදී.” අක්ෂි වෛද්‍ය විශේෂඥ අයස්මන්ත පීරිස් මහත්තයා සති දෙකකට විතර කලින් දවසක කිව්වේය. “අද හොස්පිට්ල් එකට ගෙනාව පත්තු කරපු හඳුන්කූරක් ඇහේ ඇනගත්තු පොඩි ළමයෙක්.... කෑලි සේරම අයින් නොකළොත් ඇහැ ඉවරයිනේ.... ඉක්මනට තියටර් එකට අරගෙන හඳුන්කූරු කෑලි අයින් කරන්න පටන් ගත්ත... ඔයා දන්නවද අර පොඩි එකා.... අවුරුදු තුනක්වත් නැති ළමයා කෑගහපු හැටි?”

මුළු ඔපරේෂන් එක වෙලාවේම අවුරුදු තුනක්වත් නැති ඒ දරුවා 'xත්තෝ.... xත්තෝ.... නිකං හිටපං....' කිය-කියා.....
“ඔයාටද?”

“මටද කාටද මන්දා. දිගටම මන්තරයක් වගෙයි කිව්වේ.... xත්තෝ.... xත්තෝ.... නිකං හිටපං xත්තෝ. ඒකම දිගටම කියා-කියා තමයි කොල්ලා කෑගැහුවේ. අම්මවයි, තාත්තවයි දෙන්නාම තියටර් එකට අරගෙන හිටියේ පොඩි එකාව මේච්චල් කරගන්න ඕනේ නිසා. ඒකා අම්මයි තාත්තටයි කතා කළෙත් අරකම කියලා. නර්ස්ලටත් ලජ්ජාවේ හිටියේ මගේ මූණ බලන්න....”

“ඉතින්?”

“ඉතින් මොනාද? වැඩේ ඉවර කරලා තමයි මම අම්මලාට කතා කළේ. -ඔයාලා තවම දරුවාට කියා දීලා තියෙන්නේ එක වචනයක් විතරයිනේ. ඒකේ අනිත් වචන තුන-හතරත් ඉක්මනටම උගන්නන්නයි තියන්නේ- මං කිව්වා. ඇයි අයියේ, එහෙම තරහ යන වෙලාවට වුණත් A ෆොර් Apple, B for Bat වගේ දෙයක් කියනවා නම් පොඩි එකෙක් වුණත් අලුත් වචනයක් හරි ඉගෙන ගන්නවනේ.”

දොස්තර මහත්තයා හිතන්නේ හැමෝම එයා වගේ උගතුන් කියලා වෙන්නට ඇතිය. ඒ අම්මල- තාත්තලත් අපේ තාත්තා වගෙයි නම්......

ඉංග්‍රීසිත් ඉගෙනගෙන තිබුණු අපේ තාත්තා බ්රේක් නැතිව; ‘යෝනියේ දූපුතුන්’ය කියලා සහතික ඇත්තකින් අපට බැණ අඬ-ගැසුවත් ඒවා වහරන්නට අපට ඉඩ නොදුන්නේය. කොටින්ම අපෙන් කිසිවකු හෝ ‘උඹ-බං’ කියා කීමත් සැලකුණේ වැරැද්දක් ලෙසිනි!

එච්චරට අපට නීති-රීති උගැන්වීම අමතක නොකළ අපේ තාත්තාට, මියගිය පසු වුණත් පුරුදු අමතක වේද?
එච්චරට නීති-රීති අපට ඇබ්බැහි කළ තාත්තාට ‘රංජි’ කියන පුරුද්ද අමතකව යාවිද, මැරුණාට පස්සේ වුණත්? එහෙම වෙනවා නම් ඒ අපේ තාත්තා වෙන්නට බැරිය!

මළගිය තාත්තාව ගෙන්වා ගන්නට හැකිවෙතියි අල්ප මාත්‍රවූ බලාපොරොත්තුවක් මටත් තිබුණු බව ‘පණ්ඩිතමානී’ මා සඟවන්නේ නැත. එකම-එක වදනකින්ම ඒ කෙරුවාව අමු බොරුවක් බව මට තහවුරු වුණත්, අපේ ආච්චිට, අම්මාට නම් එහෙම වුණේ නැත.

“ඇයි ළමයෝ, ඔයාට ඇහුණේ නැද්ද ඒ මෑණියන් කතා කරපු සද්දේ... අපේ ගුණේගේ වගේමයිනෙ. එච්චරද? ඇත්තම කියවුණේ.”

“හරි. දැන් මොකක්ද ඔය කියවෙච්ච ඇත්ත?”

“හුස්ම හිර වුණයි කිව්වේ.... වතුර උගුරක් බොන්න හිතුණයි කිව්වේ... ඒවා බොරුද?”

මිය යන මොහොතේ හුස්ම හිරවීමක් වෙන්නේ නැතිද? විශේෂයෙන්ම අපේ තාත්තා වගේ ගෙල වැළලාගෙන සියදිවි නසාගන්නා කෙනෙකුට. පිපාසය... දැනුණත් නැතත් වෙනසක් තියෙනවාද?

යමක් වෙනුවෙන් ජීවිතයක්ම කැප කොට; වෙහෙසී ඉගෙනගන්නා ශාස්ත්‍රවන්තයෝ එදා සිටියහ.........
එච්චර දෙයක් සිදු වෙලාත් යන්තර- මන්තර ගැන යම් තරමක් හෝ විශ්වාසයක් මේ ‘නිදි’ට තිබේ. ඒවායේ ඇත්තක් තිබෙන බවත්, පරහ තිබෙන්නේ වෙනින් තැනක බවත්ය, මට හිතෙන්නේ. එදා නම් යම්කිසි ශිල්පයක් පරතෙරට දැනගත්; දැනගන්නට ජීවිතයම කැප කළ ශාස්ත්‍රාභිලාෂීහු සිටියහ. ඔවුන් මුල් තැන දුන්නේ කරන කටයුත්තට මිස මිල-මුදලට නොවේ. අද නැත්තේ එවන් උදවියයි. අද ඉන්න තරමක් ඉන්නේ කෙක්කෙන් හරි කොක්කෙන් හරි ජාම ගොඩ දමාගන්නට කැප වුණු; විලි ලජ්ජාවක් කියා දෙයක් නැති ඇත්තන්ය.

නිසි විමංසනාක්ෂියකින් යුතුව ඒවා බලන්නට තරමේ ඉවසිල්ලක් හෝ දැනීමක් හෝ ස්වාධීනත්වයක් අපට නැත. අපට කිව්වේ මටය!

ඊට් පස්සෙත් තවත් ගුරුන්නාන්සේලා, කට්ටඩියන් හා සාස්තරකාරයන්ට සල්ලි පූජා කරන්නට මේ මැට්ටාට සිදු වුණේය. එයින් වැඩිම හරියක් සිදු වුණේ ගෙදර අයගේ වදේ හින්දාය. දෙක තුනක් ‘සත්ත බලාගන්නට ගිය වෙලාවල’ය.

ඉතිං එව්වා සේරමත් හිතාදර ඔබට කියන්නට මට හිතෙන්නේ නැත.

'අම්මේ, මෙහෙ ගෙදරදී ඔය පිරිත කියන්න එපා. ඕකට පවුල් කැඩෙනවා...' ඈන් සීතගලදී අපේ අම්මාට..
එහෙත් පොස්ටුව අවසන් කරන්නට කලින් තවත් චුට්ටක් කියා හිටින්නම වෙයි!

මාස කිහිපයකට කලින් ලංකාවට ආ වෙලාවේ අපේ අම්මා සතියකට විතර නවතින්නට සුනිල්ලාගේ ගෙදර ගියාය. සුනිල්ලා ඉන්නේ බලංගොඩ, රාස්සගල සීතගල පුංචි තේ වත්තකය. එහෙම ගියාම සුනිලුත්, ඈනුත් අම්මාට විතරක් නොවේ අපටත් උපරිම ආගන්තුක සත්කාර කරති. අම්මා ආපහු ආවට පස්සේ, අපේ මානෙල් නංගී මට කේලමක් කිව්වාය.

“හරි වැඩේනේ ලොකා. දැන් අම්මා හැමදාම හවසට වැඳලා පිරිත් කියනවනේ. එහෙම වෙලාවක අපේ ඈන් අම්මට කියලනේ එක පිරිතක් නම් කියන්න එපැයි කියලා....”

“ඒ මොන කතාවක්ද හලෝ? ඈන් බුද්ධාගමේයැ... එයා මොනවද පිරිත් ගැන දන්නේ? ඒ මදිවට අම්මා! එංගලන්තේදී ජීසස්ට ප්‍රේ  කරන්නැයි මට කියපු මනුස්සයා ලංකාවේදී පිරිතුත් කියනවද දැන්?” මට කියවුණේ නිකම්මය. එහෙම කිව්වත් රසබර විත්තියක් හින්දා මම එහි සුලමුල සෙව්වෙමි. අම්මාගෙන් ඇහුවෙමි.

ඒ අපූරු පිරිත මොකක්ද කියලා හොයාගෙන යද්දී ලස්සන කතාවක්...........
“පිරිතේ නම නම් මම බැලුවේ නැහැ රංජි. මං පොතක් බලාගෙනනෙ පිරිත් කියන්නේ... එතකොට තමයි ඈන් කිව්වේ -ඒ පිරිත ගෙදරක කිව්වාම පවුල කැඩෙනවයි- කියලා.”

එහෙම පිරිතක් තියෙනවාය කියලා නම් මට හීනෙකින්වත් හිතුණේ නැතිය! අනේ ඇත්තය!! ඒත් හත්ඉලව්වේ තියෙනවානේ.......... එහෙම එකක් තියෙනවානේ.....

‘ගාථා හතකින් යුතු ජලනන්දන පිරිතේ ගාථා දෙකක සඳහන් වෙනවා ‘සර්ව බන්ධන ඡේදනං’ කියලා. තවත් තැනක ‘සයනේ බන්ධන විද්වන්සනං’ කියල සඳහන් වෙනවා. සර්ව බන්ධන කියන්නෙ සියලු බැඳීම් කියන එකයි. සියලු බැඳීම් කිව්වම අඹු සැමි බැඳීම්, මාපිය දූදරු බැඳීම්, ඥාති බැඳීම් සියල්ල අයත් වෙනවා. මේ අනුව සියලු ආකාරයේ බැඳීම් තමයි දුරු වෙන්න කියන්නේ. ඒක ලෞකික ජීවිතයක් ගත කරන අයට ගැටළුවක් වෙනවා. 

-මේ ගාථා හතකින් යුතු ජලනන්දන පිරිත නිතර භාවිත කළ බොහෝ දෙනෙකුට විවාහ ගැටළු, දූදරු ප්‍රශ්න පමණක් නෙමෙයි ආර්ථික ගැටළු පවා මතුවෙලා තියෙනවා. 

-ඒ සම්බන්ධයෙන් මම අවුරුදු දහයකට වැඩි කාලයක් තිස්සෙ හොයල බැලුවා. සියලු බැඳීම්වලින් ඈත් වෙලා ඉන්න අය තමන්ගේ ආරක්ෂාවට මේ පිරිත භාවිත කළාට ගැටළුවක් නෑ.....’ 

එහෙම කියා තිබ්බේ ජ්‍යෝතිෂවේදී, ගුප්ත වෛද්‍ය, දේශමාන්‍ය, ආචාර්ය සංජීව කුළුපන බණ්ඩාර මහත්මයායි!

මට තියෙනවා එක ප්‍රශ්නයක්.

සියලු බැඳීම්වලින් ඈත්වුණු; නිවන් අවබෝධයට වැඩ කරන අයට මොන බම්බුවකටද පිරිත්වලින් අමතර ආරස්සාවක්?
සියලු බැඳීම්වලින් ඈත් වෙලා ඉන්න කෙනෙකු මොන බම්බුවකින් ආරක්ෂා වෙන්නද පිරිත් සජ්ජායනා කර-කර ඉන්නේ? මේ පොඩ්ඩත් කියාවලාම ඉන්නකෝ...

“ජලනන්දන පිරිත දෙපැත්ත කැපෙන අවියක් වෙන්නෙ හැමෝටම නෙවෙයි. නිසි ප්‍රතිපත්තියක් නැති පාපකාරී අයට මේක දෙපැත්ත කැපෙන අවියක් බවට පත්වෙන්න පුළුවන්. බුදුන් වහන්සේ ඇතුළු රහතන් වහන්සේලාගේ නාමයන් ඇතුළත් කර ඇති බලසම්පන්න පිරිතකින් හැමෝටම වැඩ ගන්න අමාරුයි. පස් පවින් වැළකිලා, සියලු සත්වයින්ට මෙත් සිත පතුරාගෙන භාවිත කළොත් තමන්ට කිසිම හානියක් වෙන්නෙ නෑ....”

පස් පවින් වැළකිලා.... සියලු සතුන්ට මෛත්‍රී කරමින්.... ඉන්නවා නම් තව විශේෂ ආරස්සා මොටද දෙයියෙනේ?

අජරාමර වෙනවය කිව්වත් මට නම් සෙත් පිරිත් - සෙත් කවි වගේ දේවල්වල පිහිට පතාගෙන මහන්සි වෙන්න හිතෙන්නේ නෑ.
Monkey face ඕකිඩ් වගේ සොබාදහමේ නිර්මාණ දකිද්දී මට හිතෙන්නේ හැමදේටම වඩා බලවත් සොබාදහම කියලයි!
එතකොට හිත? හිත තමයි ඒ වගේම .........
මං දන්නවා; තදින්ම විශ්වාස කරනවා මගේ හිත තමා ඒ සේරමටම වඩා බලවත් කියලා. අනෙක මට තේරෙන තරමට මගේ ළඟ හුඟක් දුර්ගුණ- අනුන්ට අවැඩක් වෙන වැඩ ඇත්තෙත් නැහැ. හැබැයි, මට වැරද්දක් කරන කෙනෙකු කෙරේ මෛත්‍රී කරමින් ඉන්න නැතිව බොරුවට හරි පෙණයත් පුප්පන එකයි, මගේ විදිය!

ඒ නිසා වෙන්න ඇති මට ‘යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා’ නෙවෙයි ‘යන්ත්‍ර මන්ත්‍ර අරහං’෴