li Item

Sunday, February 16, 2020

යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස

ඒ හින්දා වැඩ ඕනේ තරම්!
“මගේ වැඩ මසුරන්. ඒ හින්දා වැඩ ඕනේ තරං.... මහත්තයලට මාව ගෙන්නාගෙන වැඩේ කරවාගන්න ඕනෙනං ගාස්තුවෙන් බාගයක් අද ඇඩ්වාන්ස් දීල යන්න වෙනවා......”

කට්ටඩි එහෙමය. කට්ටඩි වචනය හැදෙන්නට ඇත්තේ කට්ට+අඩි සන්ධි වීමෙන්වත්ද? 

ඔව්වා-මෙව්වා ඕනෙවට වඩා හාරන්නට ගිහින් දක්ෂ-පක්ෂ උන්නැහේ කෙනෙක් මේ ලියන්නාගේ අතපය කොරවෙන ගුරුකමක් වුණත් ‘තැපැල් මාර්ගයෙන් කරන්නට’ ඉඩ තිබෙයි.

නිදිගේ පංච තන්තරේ බ්ලොගය කියවා පළමු කමෙන්ටුව දැම්මේ හිතවත් හක්ස්ලි පෙරේරා මහත්තයාය. 

(‘සාම ජාතකය’ රඟන්නට ගිහින් වුණු දේවල් ලියන්නැයි ඒ මහත්තයා ඉල්ලුවත් තවම ඒ කාරිය කරන්නට බැරි වුණේය. සමාවෙන්න ඕනේ, බ්රූස් ලීගේ ලොකු අයියේ!) 

එහෙව් හක්ස්+ලී හින්දා මැණික්හින්නට යන්නටත් පට්ට චාන්ස් දෙක-තුනක්ම මේ ලියන්නාට හම්බ වුණේය. හක්ස්ලිගේ නෑ-මිත්‍ර සමාගමකට එකතුවෙන්නට ගිය ගමන්ය ඒ.

වමේ සිට තෙවැනියා හක්ස්+ලී ය. ඔහු නිසා මැණික්හින්නට යන්නටත් ඉඩ ලැබුණෙන්............
“ඉස්සර මේ හරියේ හිටියේ ගුරුකම් කරන දෙන්නා-තුන්දෙනයි. දැන් බලන්නකෝ නිමල් අයියේ.... මෑණිවරු, ගුප්ත විද්‍යා චක්‍රවර්තිලා, මන්තර පකීර්ලා මැණික්හින්නේ වැහි-වැහැලා.....” හක්ස්ලිගේ ඥාතියා අපට කිව්වේ ටවුම මැදින් යද්දීය.
අවුරුදු තුන-හතරක් තිස්සේ විඩෙන්-විඩේ එහි යැවුණු නිසා ‘ඒ සංවර්ධනය’ අපටම පෙනුණාත් එක්කය.

“වැඩේ නැඟලා යනකොට පිට පළාත්වලිනුත් කට්ටඩි මෙහාට ඇවිත් වගෙයි....”

“පිට පළාත්වලින්? මොන.... අර... අර ඉන්න ගුරා, එක මෑණි කෙනෙක් ගාව ආවතේවකම් කළා. ඒ අම්මණ්ඩිට සරුවේගෙන ඇවිත් ටික කාලෙකට පස්සේ මෙන්න බොලේ මේකත් මහා මන්ත්‍රාචාර්ය කියලා බෝඩ් එකකුත් ගහගෙන බිස්නස්.... 
වෙන පළාත්වල රොඩී මිනිස්සු කුලේ හංගනවා. 
මෙහෙ රොඩියෝ නොවෙන එකත් කියන්නේ එයාලා රොඩී කුලේ කියලා....”

එහෙම මාර්කට් කෙරෙන්නේ ‘බුද්ධ කාලයේ හිට එන විශ්වාසයකි’.

“ඔන්න පුතේ, එක දවසක් ධර්ම භාණ්ඩාගාරික ආනන්ද හාමුදුරුවන් වහන්සේ සැවත් නුවර පිඬු සිඟා වඩිනවා. මඟදී උන්නාන්සේට පිපාසාවක් හැදුණා. 
ඒ උත්තමයා වඩින පාරේ අද්දරම තිබුණු අතු පැලකට ගිහින් පැන් ටිකක් ඉල්ලාගෙන වැලඳුවා. අර තරුණ  ඉස්තිරියාව ඇහිපිය නොහෙළා උන්නාන්සේ ආපහු වඩින අපූරුව බලාගෙන හිටියා.....
පිරිත් පොතේවත් නැතැයි කියවෙන ජලනන්දන පිරිතේ අනුහස් නම්.....
-‘අනේ, ඒ වගේ සාන්ත-දාන්ත තරුණයෙක් මගේ සුවාමියා කරගන්න තියෙනවා නම්!’ අර අතු පැලේ හිටිය රොඩී කෙල්ල හිතුවා. හිතලා මහ අම්මණ්ඩිට ඒක කිව්වා.

-ඔය රොඩී මිනිස්සු ඉන්නවා නේද? හරි දක්ෂයිලු ඉනා ගුරුකම්වලට. වශී වැඩවලට.... ඉතින් ඒ අම්මණ්ඩි දන්නා ඉනා මන්තරයක් මතුරන්න පටන් ගත්තා. ඒක මහා බලගතු මන්තරයක්ලු....

-මෙන්න බොලේ, ජේතවනාරාමෙට වඩිමින් හිටිය ආනන්ද හාමුදුරුවෝ ආපහු හැරිලා රොඩී ගුබ්බෑයමට වඩින්න ගත්තා. කොහොමද පුතේ ඉනා මන්තර බලේ?” 
අපේ ආච්චී එහෙම අහද්දී අප හිටියේ තූෂ්ණිම්භූත වුණු ගමන්ය. ඇස්වලින් විතරක් නොවේ, කටවලිනුත් බලාගෙන හිඳිමින්ය.

“ඉතින් ආච්චියෙ, ඊට පස්සේ...?”

“ඒ වෙලාවෙම බුදුහාමුදුරුවන් වහන්සේට දිවැසින් පෙනුණා සිද්දවෙන්න යන විපත්තිය. උන්නාන්සේ ‘ජලනන්දන පිරිත’ සජ්ජායනේ කරන්න ගත්තා. ඒකට අර රොඩී බන්ධනේ කැපිලා ගියා... ආනන්ද හාමුදුරුවෝ ආයෙම ජේතවනාරාමෙට වැඩියා.”

ආච්චී එහෙම කතන්දර කීවේ අපේ හිතේ නොයෙකුත් ඇදහිලි හා විශ්වාස රෝපණය කරන්නට ..........
දසනායක රත්නවතී උපාසිකා මාතාව; අපේ ආච්චී එහෙම කතා කිව්වේ අපේ හිතේ මන්තර ගුරුකම්- පිරිත් ආදිය පිළිබඳව ඇදහිලි රෝපණය වෙන බව නොදැනය. 
එදා ආච්චී කළේ කතන්දර අහන්නට අපට තිබුණු ආසාව සංසිඳුවීම විතරය!

ඒත් පසු කාලයක, වඩාත් දැනුම්-තේරුම් ඇතිව පොත-පත කියවද්දී හිතුණේ දුකකි. 

‘අච්චර බල සම්පන්න ජලනන්දන පිරිත’ පිරිත් පොතේ නැතිලු! දැන් ඒ පිරිතෙන් වැඩියෙන්ම වැඩ ගන්නේ ගුරුන්නාන්සේලා හා කට්ටඩියන්ලු!!

අපේ වාද්දුවේ ගුරුන්නාන්සේ ‘නටන තෙලට අත දමන හොරා අල්ලා ගන්නට’ උපයෝගී කරගන්නේ බුද්ධ මන්ත්‍රද?  

ඒ මොක වුණත්, උගුලෙන් හරි හබකෙන් හරි සතා අල්ලා ගන්නට ඕනෑ වුණු හින්දා ‘ගාස්තුවෙන් අඩක්’ එදාම ගෙවලාය, baත් මාත් ආපහු ගෙදර ආවේ.

දවස උදා වුණේය. 
කිව්වා වගේම ගුරුන්නාන්සේ ගෝලයෙකුත් එක්කම අපේ ගෙදරට වැඩම කළේය.

“මහත්තයලට පොරොන්දු වෙච්චි හින්දා උදෙන්ම පිටත් වුණා තේ චුට්ටක් බීව ගමන්ම.....” කට්ටඩියා සුද්දෝදනටත් ඇන්දේ එහෙමය.

“සුනිල්... මානිට කියහං පරිප්පුයි පොල්සම්බෝලයි එක්ක පාන් ටිකක් ලැහැස්ති කරන්න.” මානෙල් නංගිට ඒ රාජකාරිය අමාරු වුණේ නැත. 
දීපානි බතික් එකේ සේරම ගැහැනු ළමයි එදා පාන්දරින්ම අපේ ගෙදරට අවුත් උන්හ. එයාලා මානිට උදව් වුණේ නොඉවසිල්ලෙනි.

ගහට යන මනුස්සයා කොහොමද හනසු-මටුලු බිමට නොදමා අතේම අරගෙන බහින්නේ?
පාතරාසය පිළියෙළ වෙන අතරේ කට්ටඩියා අපේ වත්තේ ඇවිද්දේය. වටපිට බලා ගත්තේය.

“මහත්තයෝ.... වත්තේ තියෙන පොල්ගස් සේරම හරි උස ඒවානෙ. ගහට යන මනුස්සයා කොහොමද හනසු-මටුලු සේරම බිමට නොදමා අරගෙන බහින්නේ....?”

“බිමට නොදමා?”

“ඔව් මහත්තයෝ... සාස්තරේ කියන විදිහට පොල් ගහට වැඳලා, තුනුරුවන් සිහිකරලා ගහට යන මනුස්සයා අතින් කඩාගන්න හනසුයි, පොල් මටුලුයි අතේම අරගෙන බහින්න ඕනේ. ඒවා බිම දාන්නේ, බිමින් තියන්නේ නැහැ. ඒවායින් තමයි තෙල් තාච්චියට ගින්දර දෙන්නේ....” 
කට්ටඩියා කිව්වේය. 

“... මම එදාම මහත්තයට කීවේ පොල් ගහකට යන්න මනුස්සයෙක් ඕනැයි කියලා... නැතිනම් වැඩේ කුරුවල් වෙන්නත් ඉඩ තියෙනවනෙ....”

“අයියේ... මං නඟින්නං පෙන්නන ඕනි ගහකට. හනසු-මටුලු ගෝනියක්ම කඩලා දෙන්නං ගුරුන්නාන්සේට. අපේ වත්තෙන්ම වෙන්න ඕනේ නැහැනේ... අර තියෙන්නේ ඇතිවෙන්න ගස්.” අපේ සුන්නා පෙන්නුවේ ළමා නිවාස වත්තේ පොල්ගස්ය; එතරම් උස නැති ඒවාය.
“මහත්තයෝ... පීදිච්ච පොල්ගස්වලින් විතරයි ගන්නේ....”

නීල් ආම්ස්ට්‍රෝන් හඳට බහින දවසේ රෑ අපේ සුන්නා ළමා නිවාස වත්තේ තඩි පොල්ගහකට බඩගා ...........
සුනිලාත් මගේ පලේමය; ඒකාත් දිසානායක කෙනෙකුමනේ. “හරි... ගුරුන්නාන්සේම පෙන්නන්නකො ගස්.... මම නඟින්නං”.
  
නීල් ආම්ස්ට්‍රෝන් ඉස්සෙල්ලාම හඳට පය ගැසූ දවසේ, අපේ සුන්නා හොරෙන් ළමා නිවාස වත්තේ උසම පොල් ගහට නැංගා මතක තිබුණු හින්දා මට සැකයක් තිබුණේ නැත.

සමරසිරිත්- විමලසිරිත් අමු හෙළුවෙන් හඳ එළියේ හොරපොල් කඩන හැටි සුන්නාත් බලා හිටි එකනේ! ඒ හපන්කම අඩු නැතිවම ඒකාටත් ලැබෙන්නට ඇත්තේ සතතාභ්‍යාසයෙන් වෙන්නැති! 
සතතාභ්‍යාසය ඉතා ඉහළින් අගය කොට සැලකූ විශිෂ්ට නාට්‍ය රචක- නිෂ්පාදක- අධ්‍යක්ෂවරයෙකුවූ දයානන්ද ගුණවර්ධන වියතානන්ද ‘නටන තෙලට අත දමන ශිල්පයෙන් බොරු කියන අය අල්ලා ගැනීමට හැකි බව’ විශ්වාස කර තිබෙයි! ඒ ගුරුකම එදා කෙරුණා නම්....
“... මධුර ජවනිකා නාට්‍ය දර්ශන දෙකයි පෙන්නුවේ, ඊළඟ ඉරිදා වැටෙනවා පත්තරේ නාට්‍ය ගීත කැසට් එකක් එළි දැක්වුවා කියලා. දයානන්ද කියනවා රිහසල් වෙලාවේ කට්ටිය වැඩක් තියෙනවා ගගා ගියාලු මෙයාට මොකුත් නොකියා. පස්සේ අහනවලු සර්ට මතක නැද්ද අවසර දුන්නා සින්දු කියන්න කියලා.”
අරුණි මුතුමලී ‘සරසවිය’ පත්තරයට ලියා තිබුණේ එහෙමය. 
මධුර ජවනිකා නළුනිළියන් මේ දැවැන්ත කලාකරුවාට හොරෙන්; අනවසරයෙන් ඒ නාට්‍ය ගීත ගයා- රන්මසු උපයා....... 
අරුණිට ඒ ටික කියා තිබුණේ ‘නුග ගහ යට දැවැන්තයා’ගේ පතිනියවූ අයිරාංගනී ගුණවර්ධන මැතිනියයි. 
ඒ හෙළි කිරීමට අනුව නම් නාට්‍ය ශිල්පීන් එකතුවී රන්මසු වෙනුවෙන්; අනවසරයෙන් ‘මධුර ජවනිකා’ නාට්‍ය ගී ගයලා හෙළිවුණු විට ‘දයානන්ද ගුණවර්ධන’යන් ‘මහීෂයාට’ අන්දවන්නට හදලාය. එතනදී එතුමා පිහිටක් සොයාගන්නට සූදානම්වී තිබෙන්නේ ‘තෙල් තාච්චියට අත දමන’ ගුරුකම වෙතිනි. ඒ ටික මෙන්න දයානන්ද මැතිඳුන් පුතුගේ වදන්වලින්.
“... නේද අම්මේ, එතකොට තාත්තා කිව්වලු, හරි මාත් තෙල් තාච්චියේ අත දාන්නම්. ඔගොල්ලොත් අත දාන්න. මම අවසර දුන්නද කියලා එතකොට බලාගත්තහැකි කියලා. අර තාත්තගේ අමතක වීම ගැන කතා ලොකුවට පැතිරුවේ මේ අය තමන්ගේ වැරැද්ද වහගන්නයි.”
“තමන්ගේ ළමයෙක් වගේ නාට්‍ය හදලා එයාට එච්චර අසිහියක් තියෙයිද වෙන අයට සින්දු ටික දෙන්න?” ඇයගේ සිතද කලකිරීමෙන් පිරී යයි.
“සමහර පලාත්වලටම විශේෂ වෙච්ච දේවලුත් තියෙනවා. අනුරාධපුරේ සංඛ - පද්ම භෛරවයන් දෙන්නාත් ඒ වගේ. උසාවියකදී බොරුවක් කිව්වත් එහෙ මිනිස්සු ඔය බහිරව රූප දෙක ඉස්සරහදී බොරුවට දිවුරන්නේ නැහැ....” මගේ වියත් හිතවතෙක් කලකට ඉහතදී කිව්වේය.
අභයගිරියේ සංඛ-පද්ම බහිරවයන් දෙන්නා ඉදිරියේ දිවුරන්නට ..............
“බහිරවයෝ දෙන්නෙක්?”
“ඇයි, නිමල් දැකලා නැද්ද අභයගිරි චෛත්‍යයට යන්න තියෙන දොරටුව දෙපැත්තේ බහිරව රූප දෙක. වැලි මළුවට ඇතුළුවෙන්න තියෙන බටහිර දොරටුව දෙපැත්තේ.... 

-බලපු ගමන්ම නම් පේන්නේ බහිරව රූප දෙකේ වෙනසක් නැහැ වගේ. ඒත් ඊළඟ සැරේ අනුරාධපුරේ ගියාම නොවැරදීම අභයගිරියට ගිහින් ඔය බහිරව රූප දෙක බලන්න. එකක ජටාමකුටයේ; හිස පළඳනාවේ තියෙන්නේ හක් ගෙඩියක්. ඒක තමයි ‘සංඛ’. අනෙකේ  හිසේ තියෙන්නේ නෙළුම් මලක්. ඒ හින්දයි ඒකට ‘පද්ම’ කියලා කියන්නේ.”
ඊට පස්සේ අනුරාධපුර ගියාම ඒ තොරතුරු ගැන හොයා බලන්නට මා අමතක කළේ නැත. කතාව ඇත්තය!
වස්තුවට; සෞභාග්‍යයට අධිපතියාය කියන්නේ ‘වෙසමුණි රජ්ජුරුවන්’ටය. 

බහිරවයා ඒ ‘වෛශ්‍රවණ’ වෙනුවෙන් වස්තුව රකින්නෙකි. 
ඒත් මේ සංඛ-පද්ම බහිරවයන් දෙදෙනාට තරම් බලයක් නම් අනෙක් තැන්වල බහිරවයන්ට ලැබිලා නැත්තේ ඇයි?

මෙතැන තිබෙන්නේත් ‘චිත්ත ශක්තීන් එකම තැනකට යොමුවී යම්කිසි ආරෝපණය’ක් සිදුවීමද? 
එදා දීපානි බතික් සේරම ගැහැනු ළමයින්ගේ චිත්ත තරංග ඔක්කොම.........
එදා නම් අපේ ‘දීපානි බතික්’ වැඩපොළේ සේරම ගැහැනු ළමුන්ගේ චිත්ත තරංග යොමුවී තිබුණේ ‘වාද්දුවේ කට්ටඩි මහත්තයා’ වෙතටය. ගුරුකම කරන්නටත් කලින්ම මනුස්සයා කෙල්ලන්ව බය කෙරිල්ලත් කළේය.
හනසු කඩන්නට, ළිප හදන්නට, තාච්චිය ළිපේ තියන්නට ගෝලයාවත්, අපවත් මෙහෙයවන අතරේය, මනුස්සයා එහෙම කළේ. ඒකත් කෙරුනේ ඉතාම උපක්‍රමශීලීවය.
“මහත්තයෝ, සියදහස් වතාවක් අපි මේ ගුරුකම කරලා හොරු අල්ලලා දීලා තියෙනවා.... විශ්වාස කරන්ඩ. උතුරන තෙල් තාච්චියට අත දැම්මාය කියලා නිර්දෝෂී කෙනෙකුට කිසිම විපත්තියක් වෙලා නැහැ. 
හැබැයි, හොරාගේ අතේ නම් බලා ඉන්දදී දියපට්ට මතු වෙනවා. පස්සේ ඒවා පුපුරලා අත වණ වෙලා තමයි නවතින්නේ.... 

-අපි තෙල් තාච්චියට අත දම්මන්න කලින් මහත්තයාගේ ගෝල-බාලයන්ට කියමු නොහිතා හරි වැරද්දක් කෙරුණා නම් ඒක අපිට කියන්නය කියලා... හීන් සීරුවේ.... අපිට පැත්තකට අඬ ගහලා...”
මනුස්සයා එහෙම කිව්වත් හොරකම කළ කෙනෙක් ඉදිරිපත් නොවුණේය.
අපට යමක් සුදු පාටට පේනවා කියන්නේ..........
තෙල් තාච්චිය ළිපෙන් තියලා, අතිවිශේෂ හනසු-මටුලුවලින් ගිනි අවුලන ලද්දේය. 

ගෝලයා හතර අතම කට්ටකුමන්ජල් දුමෙන් පුරවද්දී, ගුරුන්නාන්සේ දෙහි ගෙඩි ටික මල් බුලත් තටුව උඩට වැඩම්මුවේය. ඊළඟට කාටත් ඇහෙන්නට හයියෙන් මතුරන්නට පටන් ගත්තේය!
යන්තර ජීවම් කරද්දී විතරක් නොවේ, නූලක් මතුරද්දී පවා මල් බුලත් තටුවක් හදාගැනීමය සිරිත. ගෙදරකදී නම් මේ සඳහා පුටුවක් භාවිතයට ගැනෙයි. ඒ මත සුදු පිරුවටයක් අතුරා ඊළඟට ..... 

එහි යම්කිසි විද්‍යාත්මක සත්‍යයක් තිබෙන බව මා දැනගත්තේ අටම්පහියේ තිබුණු ලියවිල්ලකිනි. 

.... “වර්ණයක් යනු කුමක්ද කියලා මම ඔබෙන් ඇහුවොත් ඔබ මොනවා කියාවිද කියලා නම් මම දන්නෙ නෑ. හැබැයි මම ඔයාලට සරලව මෙහෙම දෙයක් කියන්නම්. පාටක් කියල දෙයක් ලෝකෙ නෑ.
-අපිට යමක් සුදු පාටට පේනවා කියන එකේ තේරුම ඒ මත පතිත වන සූර්යාලෝකයේ අඩංගු සියලුම සංඛ්‍යාත සහිත තරංග ඒ පෘෂ්ඨය මගින් පරාවර්තනය කරනවා කියන එක. සරලවම කියනවා නම් සුදු පාට පෘෂ්ඨයක් සූර්යාලෝකයේ අඩංගු කිසිම තරංග ආයාමයක් අවශෝෂණය කරන්නේ නෑ. 

-යමක් කළු පාටට පෙනෙනවා කියන්නේ ඒ පෘෂ්ඨය මත පතිත වෙන ආලෝකයේ සියලුම තරංග ආයාමයන් අවශෝෂණය කරනවා කියන එක.
යන්තර මන්තර ගුරුකම්වලදී ඇයි එක එක පාටින් මල්... බුලත්... දුම් වගේ දේවල් අරගන්නේ?
එහෙනම් ශාක පත්‍රයක් කොළ පාටට පේන්නෙ කොහොමද? 
ශාක පත්‍රයක් මත පතිත වන සූර්යාලෝකයේ අඩංගු රතු හා නිල් පැහැයන්ට අදාළ තරංග ආයාමයන් ශාක පත්‍රය මගින් අවශෝෂණය කරනවා. පරාවර්තනය වන අනෙකුත් තරංග ආයාමයන් අඩංගු ආලෝක කිරණ නිසා අපට ශාක පත්‍රයක් කොළ පැහැයෙන් දිස් වෙනවා.- 

ඒ කියන්නේ ඕනෑම වස්තුවක පැහැය කියල අපේ ඇසට සංවේදී වෙන්නෙ එම වස්තුව පරාවර්තනය කරන තරංග ආයාමයන්ගේ සම්ප්‍රයුක්තයක්.
-දැන් ඔබ හිතන්න යන්ත්‍රයක් ජීවම් කරනකොට ඇයි ඒ වටා එක එක වර්ණ සහිත මල් ඇතුළු ද්‍රව්‍ය එක එක දුර පරතර සහිතව එක එක හැඩයන්ට අසුරා තබන්නෙ කියලා.....”
හිතවත් පාඨක රසික ඔබට කාලවේලාව තිබෙයි නම් මෙතැන ක්ලික් කොට ඒ ලිපියම කියවා බලන්න. හිතන්නට ගොඩක් දේවල් එතැන තිබේ. 
මේවා කවුරුන්, කවරදා සිට පටන් ගත්තාද කියලා නම් කවදාවත් හොයාගන්නට ලැබෙන්නේ නැති බව මට විශ්වාසය. හැබැයි මේ යන්ත්‍ර, මන්ත්‍ර, තන්ත්‍ර, තෝත්තර සේරම ආදි කාලයේ පටන්ම පැවත එන බවට නම් සාක්ෂි තිබේ. සමහර තැනක ‘ගලේම කොටලා’ත්.
තිසා වැව ඉවුරේ; රන්මසු උයනේ කළු ගලක කොටා ඇති චක්‍රයක් බඳු සටහන.......
“රන්මසු උයනේ පිහිටි සුප්‍රකට නාන පොකුණු පසුකර යන්නෙකුට, තිසා වැවේ වෑකන්දට මුහුණලා පිහිටි ගල් කුළක කැටයම් කර ඇති සංකීර්ණ ආකෘතියක් දැක ගත හැකි වේ. සිරස්ව නැගෙන ගලෙහි බටහිර මුහුණතේ, කටුවෙන් සහ මිටියෙන් කොටන ලද රේඛා මගින් සටහන් කර ඇති මෙම කැටයම ජ්‍යාමිතික වශයෙන් නිවැරදි වෘත්තයකි. මෙම ගල්කුළ ඉදිරිපිට පැතිරි ගල් තලාවෙහි කැටයමට ඉදිරියෙන් ආසන වැනි ව්‍යුහ හතරක් කපා තිබේ.
-පළමුවෙන්ම මෙම ස්ථානය ගැන වාර්තා කරන බෙල් මහතාට අනුව, මෙය එවක සාහිත්‍යයේ සඳහන් සක්වළ සටහනක් හෙවත් ලෝක සිතියමකි.
-තවත් අයෙකුට අනුව, රජවරුන්ගේ මඟුල් උයනේ පැවති හෝම හෙවත් සුරතෝත්සවවල භාවිත වූ තන්ත්‍ර සටහනකි. නොඑසේනම් මහායාන මන්ත්‍ර පඨනය හෝ භාවනා සඳහා උපකාර කොටගත් සටහනකි.
-තවත් අයෙකුට අනුව, මෙය සුවිසල් ඉංජිනේරු ඉදි කිරීමක හෝ වාරි කර්මාන්තයක සැළසුමක් ද විය හැක. නොඑසේනම් මිනිස් මනසේ විශ්ලේෂණාත්මක සටහනක් වන්නට පුළුවන.
විශ්ව ව්‍යාප්ත රහසිගත චමත්කාරය සොයා යන්නෙකුට........
-විශ්ව ව්‍යාප්ත චමත්කාරය සොයා යන්නෙකුට මෙය අධිමානසික ශක්තියෙන් විවර වූ ද බාහිර විශ්වය සමඟ සහ මිහිපිට දුර්ගම ස්ථාන සමඟ සන්නිවේදන හා ප්‍රවාහන කටයුතු ඉටු කෙරුණු තාරකා දොරටුවක් හෙවත් ස්ටාර් ගේට් එකකි....”
Star Gate! 
‘ඩ්රැකීගේ අඩවියේ’ තිසා වැව් ඉවුරේ සක්වළ චිත්‍රය තවත් ඉසව් කිහිපයකටම අප ගෙනයන්නකි. 
එහි කියවෙන මතවලින් කොයික ඇත්ත වුවද කම් නැත. 

යන්ත්‍ර සටහනක් වැනි එය අදක හෝ ඊයෙක කෙටුණු එකක් නොවන බව අවිවාදිතය! 
එය කළු ගලක කොටා ඇති නිසා තවමත් සුරක්ෂිතව තිබෙයි. එහෙත්...  
මන්තර කළු ගල්වල කොටන්නේ නැතිය. ඒවා බොහොමයක් පරම්පරාවෙන් පරම්පරාවට ගෙන යන්නෙත් කටපාඩම් කරවීමෙනි. සමහර තැනෙක පුස්කොළ මත්තෙහි ලියා තිබුණත් ඒවා තියන්නේ පෙට්ටගම්වලය; කාගේවත් ඇස නොගැටෙන තැන්වලය.
එහෙම හංගා තියෙන දේවලුත් .....

25 comments:

  1. "දැන් ඔබ හිතන්න යන්ත්‍රයක් ජීවම් කරනකොට ඇයි ඒ වටා එක එක වර්ණ සහිත මල් ඇතුළු ද්‍රව්‍ය එක එක දුර පරතර සහිතව එක එක හැඩයන්ට අසුරා තබන්නෙ කියලා
    හිතවත් පාඨක රසික ඔබට කාලවේලාව තිබෙයි නම් මෙතැන ක්ලික් කොට " Link eka weda nane

    ReplyDelete
  2. ඔබතුමා හරි. ඒ ලින්ක් එක වැඩ කරන්නේ නැහැ තමයි. ඒ ගැන යමක් කල හැකිද කියලා අටම්පහියේ ලක්මාල් කන්දෙවිදාන මහතාගෙන් අහලා යැව්වා.

    එතෙක් ඒ PDF File එක ඔබට එව්වා.

    ගොඩක් ස්තුතියි තොරතුර දැන්වීම ගැන.

    ReplyDelete
    Replies
    1. මට pdf එක ආවෙ නැහැ නිදි. ඔයා කොහොමද එව්වෙ? email එකටද? මම වැඩිය දන්නෙ නෑ blogging වලට අලුත් නිසා

      Delete
    2. ඔයාගේ fb එකට මැසේජ් එකක් විදිහට එව්වේ. ඊමේල් කලාට ලෝඩ් වෙන්නේ නැති නිසයි එහෙම කලේ.

      Delete
  3. //කාගේවත් ඇස නොගැටෙන තැන්වලය
    අගේ කරවන්න එපායැ.එකනේ අගට ලියන්නේ
    අත්දුටුවයි සත්තයි පිට නොදෙනු කියලා

    ReplyDelete
    Replies
    1. සිරිබිරිස් උන්නැහේ, ඒකෙන් ඒවා නොයා යුතු අයගේ අතට යාම වලකිනවා තමයි. ඒ වගේම ඒවා අභාවයටත් යනවා. මොකද පරපුරේ සමහර අයට ඒවා වටින්නේ නැති නම්..... වැඩවසම් යුගයේ අවසානයත් එක්කම එහෙම දේකුත් වුණා නේද?

      Delete
  4. අර ලිංක් එකේ තියෙන්න වග විස්තරේ මටත් එවන්න පුළුවන්ද නිදි?

    ReplyDelete
    Replies
    1. ඔන්න එවලා ඇති, ඩ්රැකී මහත්තයෝ.

      Delete
    2. ගොඩක් ස්තූතියි. ඊ‌යෙ රෑ ඩවුන්ලෝඩ් කළා.

      Delete
  5. අර සක්වල චක්‍රයෙ ‌පොටෝ එක 2004 විතර මගේ මිත්‍රයෙක් වන රංග වික්‍රමසිංහ ගත්තෙ. එයාගෙ කුතුහලය සහ විමර්ශනාත්මක දැක්ම ‌මේ ‌වෙලාවෙදි සිහිපත් කරනව.

    ReplyDelete
    Replies
    1. රංග කිව්වේ මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ ඥාතියාද? එහෙම නම් අපේ මර්වින් උන්නැහේ ත් අඳුනනවා වෙන්න හැකියි.

      Delete
    2. නෑ නෑ ‌වෙන ‌කෙනෙක්...

      Delete
  6. මම අර ලිපිය "කියවල බලල ‌ෙමොනවහරි කියන්න" කිව්වම ‌මේ වගේ සඳහන් කිරීමක් අපේක්ෂා කළේ නෑ. ‌ගොඩක් ස්තූතියි මට ලබා දුන්නු ප්‍රසිද්ධියට. ‌මේ ‌දෙවන වතාව...

    ReplyDelete
    Replies
    1. අනේ නැහැ ඩ්රැකී. ඔයාටයි ස්තුති කරන්න ඕනේ ඒ ගැන දැනුවත් කලාට. මම තරයේම අදහන දෙයක් හොඳ දේ වැඩි-වැඩියෙන් දෙනා අතරට යා යුතුයි කියලා. ඔබේ ලිපියත් එහෙම එකක්. ඊටත් ඒක මා කියන දේවලටත් අදාලයිනේ!

      රන්මසු උයනට ගිහින් සක්වල චිත්‍රය, කළුගල් බාල්ක පලන්නට තැත්කළ තැන එහෙම දැක්ක දවසේ රටම මම එහාට බැඳිලයි ඉන්නේ.

      අනෙක ඉස්සර දවස පත්තර කන්තෝරුවෙන් 'රසකතා' කියලා කෙටිකතා පත්තරයක් ගැහුවා. ඒකට කඳපොළ කුමාරතුංග හෝ මෙනේරිගම නිමල් සමරතුංග ලිව්වා 'ප්‍රදීපිකා' කියලා ඓතිහාසික ප්‍රේම කතාවක්. ඒකේ රන්මසු උයන ගැන කියවෙනවා අන්තිමට. එදා ඉඳලා, එහාට යන්නත් කලින් මට පිස්සු හැදිලා හිටියේ.....

      Delete
  7. කලින් වතාවල වගේ වලියක් ඇදගන්න බැරිවෙයි වගේ. මම එනකොට ‌වෙන ‌කෙනෙක් එක ‌වෙලා...

    ReplyDelete
    Replies
    1. http://www.briansnellgrove.net/2017/06/22/allegrophobia-the-fear-of-being-late/

      Delete
    2. ප්‍රා විශ්වකෝෂය... හැක්

      Delete
  8. කට්ටාඬියා කියන්නේ කට්ට + ආඬියා නේද ??

    බිම නොදමා ගහෙන් අරගෙන එන හනසු මටළු බිම දාන්නේ නැතිව ලිපට දාන්නේ කොහොමද?? ගුරුකම වැරදුනොත් නිදහසට කියන්න හේතු ගොඩක් තියනවා වගේ !!

    ReplyDelete
    Replies
    1. ඕකට තමයි සෑම් මහත්තයෝ 'නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත් පට්ටයක් තිබිලත් මදි වෙලා තව චුට්ටක් ඉල්ලනවා' වගෙය කියන්නේ.

      Delete
    2. සෑම්, කට්ටාඩි කියනකොට 'ඬි' නෙවෙයි නේද?

      Delete
    3. පස්සෙයි මතක් වුණේ. අරිට්ටකීවෙන්ඩුට එහෙම කිවී නම් ආඬි ගුරෙක් කියලයි. බලමුකෝ, දන්නා අය මොකද කියන්නේ කියලා.

      Delete
  9. යුරෝපයේ මන්තරකාර/කාරියන් ට එරෙහිව කරපු විභාග නම් ඔයතරම් ලේසි නෑ.
    වතුරට දාලා ගිලුනොත් නිවැරදි,
    නොගිලුනොත් වැරදි, එතකොට පුච්චල මැරුවෑකි!!!
    https://www.history.com/news/7-bizarre-witch-trial-tests

    ReplyDelete
    Replies
    1. ඒ තොරතුරු කියවද්දී තේරෙන්නේ ඒ මිනිස්සු හරිම අවිද්‍යාත්මක යුගවල ඉඳලාත් අද වෙනස් වෙලා තියෙන බවයි.
      Pra Jay, අපි දියුණු යුගයක ඉඳලා......... අද බෝල මිරිකා-මිරිකා ඉන්නවා. පාර්ලිමේන්තුව විසුරුවන්නත් සුබ නැකත් හොයනවා. හැබැයි එහෙම සුබ වෙනකල් බලන් ඉන්නේ පුරවැසියන්ට නෙවෙයි...

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්