අකුරු මැකී නෑ

Tuesday, March 10, 2020

යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස

සාගර, මේ අත්භවයේ සංසාර සාගරයේ සැරිසරණ සංචාරය අතරමඟින්; අකාලයේ නිමා කළේ ඉන්දියානු සාගරයේ නාන්නට ගිහින්ය. ඒ 1976 අවුරුද්දේය.

ඉන්දියන් සාගරයේ නාන්නට ගිහින් සාගර ඒ සාගරයටම බිලි වුණේ 1976 අවුරුද්දෙය.........
අපේ තාත්තා සිය දිවි නසාගත්තෙත් ඒ වසරේ අප්‍රේල් 17 වෙනිදාය.

අප්‍රේල් 2 වෙනිදා සිටය, සිනමාස් මණ්ඩලයේ චිත්‍රපට ශාලාවල ‘ගංගා’ ෆිලුම තිරගත වීම පටන් ගත්තේ. (තාත්තාව මිහිදන් කළදා රාත්‍රියේ 9.30 දර්ශනයට කාටත් හොරෙන් ගිහින්, මහරගම ‘අනුෂා’ සිනමාශාලාවේදී මා ‘ගංගා’ බැලූ හැටි ලියැවුණේ මාස කිහිපයකට කලින්ය.)

‘ගංගා’ චිත්‍රපටය තිරගත වෙන දවසේම; අප්‍රේල් දෙවෙනිදාම තවත් චිත්‍රපටයක් ‘සිලෝන් තියටර්ස්’ මණ්ඩලයෙන් මුදා හැරිණි.

ආචාර්ය නුවන් නයනජිත් කුමාරගේ ‘ශ්‍රී ලාංකේය සිනමා වංශය’ කෘතියට අනුව, ඒ 328 වෙනි සිංහල චිත්‍රපටයයි. එය අධ්‍යක්ෂණය කළේ අපේ මහා සිනමාකරු ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්මාය. චිත්‍රපටයට පාදක වුණෙත් මහ ගත්කරු මාර්ටින් වික්‍රමසිංහයන්ගේ ප්‍රසිද්ධ කෘතියකි; ‘මඩොල් දූව’.

මඩොල් දූවේ ළදරු උපාලිට පණ පෙව්වේ එසේ අකල්හි මරු වසඟවූ සාගරගේ සොහොයුරාය.....
මඩොල් දූවේ උපාලි ගිනිවැල්ලට ජීවය දුන්නේ අජිත් ජිනදාසය. ගිනිවැල්ලේගේ සිඟිති අවධිය චිත්‍රපටයෙදී රඟපෑවේ, ඉහතින් කී අකල් මරණයට ගොදුරු වුණු සාගරගේ මලණුවන් ‘ජයශ්‍රී’ය. (ඔවුන්ගේ තාත්තා එකල ‘රීගල්’ සිනමා ශාලාවේ සේවය කරමින් උන්නේය. රීගල් ශාලාව Ceylon Theatres මණ්ඩලයට අයත්ව තිබිණි. ඒ මණ්ඩලයට අයත් මහරගම චිත්‍රපට ශාලාව ‘නැෂනල්’ එකය.)

ඒ දවස්වල නැෂනල් හෝල් එකට ගියාම මං කරන්නේ රිදී තිරය දෙපැත්තේ, දැවැන්ත කණු දෙකකට හේත්තුවී ඉන්නා රූබර අංගනාවනට ‘අනිමිස ලෝචන පූජාව’ක් කරන එකය.

ටෙලිෆෝනය නාදවෙයි; එසවෙයි; සවනාව ඔස්සේ ළමා කටහඬක් ගලාගෙන එයි. “හලෝ.”

“හලෝ. පුතේ, මට මොටාගෙදර වනිගරත්න මහත්තයාට කතා කරන්න පුළුවන්ද?” මම ඇසුවෙමි.

“ටිකාක් ඉන්න..... සීයේ, සීයේ.... මෙන්න කාටද ඕනෙලු ඔයාට කතා කරන්න... අනේ සීයේ.... මම දන්නෑ කවුද කියලා. ඔයාම ඇවිත් අහගන්නකෝ!”

ටිකක් ඉන්න. සීයේ මෙන්න කාටද ඔයාට කතා කරන්න ඕනෙලු......
නැෂනල් තියටර් එකට යන සිනමා රසික-රසිකාවන් දිහාවට තීක්ෂණ නෙත’ග බැල්මක් හෙළාගෙන ඉන්නා ලලනාවන්ව දකින විටම ඒ මොටාගෙදර වනිගරත්නයන්ගේ වැඩක් විය යුතුයැයි එකල මට සිතී තිබිණි.

පිරුණු අඟ-පසඟ; ලලිතවත් රේඛා; සුවිශේෂ වර්ණ ගැන්වීම්.... දකින විට එහෙම සිතුණත්, එය තහවුරු කරගන්නට මඟක් තිබුණේ නැත. 
හරියටම තහවුරු කරගන්නේ නැතිව ලියන එකත් හිතට මදිය. එහෙම සිටියදීය, මට මොටාගෙදර වනිගරත්න මහත්තයාගේ දුරකථන අංකය හමුවුණේ. පෙබරවාරි 28 වෙනිදා මම එතුමාට කතා කළෙමි.

මගේ සැකය නිවැරැදිය. 
ඒ සුරූපිනියන් චිත්‍රණය කර තියෙන්නේ මොටාගෙදර වනිගරත්නයන්ය.

“..... කවුද මට වැඩේ පැවරුවේ කියලා නම් මට මතක නැහැ. හැබැයි මහ විශාල පලංචි ගහගෙන ඒවා අඳින්න වුණේ.... කීයක් ගත්තද කියලත් දැන් මතක නැහැ. හරි සතුටුයි මහරගම කෙනෙකුට තවමත් ඒ චිත්‍ර මතක තියෙන එක ගැන...... හෝල් එක විවෘත කරන්න කලින් ඒවා අඳින්න තිබුණු නිසා, මට එක දිගටම වැඩ කරන්නත් වුණා.”

නවීකරණය කෙරුණු මහරගම නැෂනල් තියටර් එකෙන් අර රූබර අංගනාවෝ සමු ගෙන ගිහින්ය!
එහෙත් දැන් සිනමාහල නවීකරණය කරද්දී ඒ අංගනාවන් අවතැන් කර දමලාය! එයාලා එහෙම කරලා තියෙනවා වුණත්, මංවත් මෙහෙම මේවා ලියා තිබ්බොත්........ අපරාදේ foto නැත්තේ..... මහරගම පැත්තේ හිටි මං වගේ පිස්සෙකු ළඟ එහෙම foto කෑල්ලක් තියේ නං එවන්න හොඳේ!

“රංජි, දන්නවද වැඩක්? සාගරව ගෙන්නාගෙන කතා කරලා......”

නුගේගොඩ ඇන්ටි තකහනියක් ආවේ ඒ පණිවිඩය දෙන්නටය. ඒක ඇහුණු ගමන් හොඳටම කලබල වුණේ දිසානායක හේවගේ ගුණපාලගේ අම්මාත්, බිරින්දෑත්ය.

“මැරිච්ච සාගරව?”

“ඔව් මයියොක්කා ආච්චියෙ.... තලාහේනේ තියෙනවලු මැරිච්ච අයව ගෙන්නන තැනක්. සාගරගේ අම්මලා එහාට ගිහින්. පරම්පරාවම එක්ක. දැන් ගෙදරම මළ ගෙයක් වගේ.... සාගරම ඇවිත් අම්මලාට කතා කරලා.... ඒ මිනිස්සු තව සැරයක් එහාට යන්නයි හදන්නේ.”

“දෙයියනේ!”

දෙයියනේ කියන්නේ? අපිත් තලාහේනේ ගිහින් මැරිච්ච මනුස්සයාව ගෙන්නමු!
“දෙයියනේ කියලා මදි ලීලෝ.... අපිත් යමුද තලාහේනේ... ගුණපාල අයියා තවමත් ඔයා එක්ක තරහෙන්ද ඉන්නේ කියලත් එතකොට බලාගන්න පුළුවන්...” ඒ නුගේගොඩ ඇන්ටිගේ විදිහය. 

කාකයන් ප්‍රිය කරන්නේ කුණු වුණු ආහාරවලටලු. 
පෙරේතයන්ට කැහි-සෙම්-සොටු රස ආහාර වෙන්නේලු. 
මනුස්ස ප්‍රාණීන් සමහරෙකුටත් රස බොජුන් වෙන්නේ අනුන්ගේ කුණු කන්දල්ය. 

දැන් නම් එහෙම දේවල් දවස තිස්සේ- අඩු නැතිවම අපේ සාලයට ගලා හැළෙයි. අපට ඒත් මදිය! දොස්තර අයස්මන්ත පීරිස් මහත්තයා ඒකට කියන්නේ, මෙහෙම දෙයකි. “අයියේ, අපේ මිනිස්සුන්ට ඕනේ drama. ඇත්ත නෙවෙයි, ඩ්රාමා!”
 
ඇත්තය. ඉස්සර රූපවාහිනී නොතිබුණු හින්දා, සාගරලාගේ ප්‍රවෘත්තිය වගේ විරල අත්දැකීම්වලට ගම්වල සුවිශේෂ ස්ථානයක් හිමිවිණි. ‘හිමි විණි’ කිව්වත් මදි තරම්ය. සති ගණනාවක් තිස්සේ හැම ගෙදරම කතාවෙන්නට ඇත්තේ ඒකය.

“ලීලලට සල්ලි නැතිනම් මං දෙන්නං.... යමුද?” 

තමුසෙට රන් කිරි කට ගාද්දී රත්තරන් උරච්චි කරලා තියෙන්නේ පඩික්කමක අතුල්ලලා........
මට උන්හිටි තැන්- කවුද කින්ද මන්ද අමතක වෙලා ගියේ එතකොටය. 

මේ අම්මණ්ඩි හදන්නේ ගම පුරාම පතුරන්නට ආරංචියක් හොයා ගන්නටය. (“නිමල්ගෙ ඔක්කොම හොඳයි, මුක්කම තමයි නරක. තමුසෙට රන්කිරි කටගාද්දී රත්තරන් උරච්චි කරලා තියෙන්නේ පඩික්කමක අතුල්ලලා. වෙලාවකට තමුසෙට තියෙන්නේ පඩික්කම් කටක්!” සමහරු විශ්ලේෂණය කරති.) කේන්තිය නිසා, එවේලේත් සිදු වුණේ මගේ පඩික්කම් කට ඇවිස්සුණු එකය.

“හා, හා, හා.... එතකොට දැන් ඇන්ටි හදන්නේ අපේ තාත්තා තවමත් අම්මා එක්ක තරහෙන් නම් ස්ටැන්ලිලා තාත්තාව අතෑරලා අපේ තාත්තත් එක්ක යන්නද?”

“මොනවද ළමයෝ ඔය කියන කැත කතා? 
.... ඔහෙත් මේ ළමයව අවුස්සනවා ස්ටැන්ලිල අම්මේ.... අපි ඔය කතාව නවත්තමු, දැන්.” ආච්චී මැදිහත්ව ඒ අප්‍රසන්න කතාව සමහන් කළත්, ඒ තාවකාලිකවය. 
ඒ බව වැටහුණේ එදාම රාත්‍රියේය; ආච්චී කියූ කතාවකින්ය.

“පීතර ගෑනි (ස්ටැන්ලිලගේ තාත්තා පීතර උන්නැහේ නිසාය, ටැයියල අම්මාට අපේ ආච්චී ‘පීතර ගෑනි’ අභිධානය දෙන්නේ.) කියාපුවට උඹ කේන්ති ගත්තට පුතේ, ඒකෙත් ගත යුත්තක් තියෙනවා. 
මැරිච්චි මිනිස්සුන්ව ගෙන්නලා කතා කරන්න ඇහැකි උදවිය ඉන්නවා තමයි පුතේ!
-මැරිච්ච මිනිස්සුන්ගේ ආත්මය ගෙන්නාගෙන ඒකත් එක්ක කතා කරන්න පුළුවන් අය ඉන්නවලු ළමයෝ..... අනේ දරුවෝ. මාත් ආසයි ගුණේ එක්ක තව එකම-එක සැරයක් හරි කතා කරන්න තියෙනවා නං. අපේ කරුමෙට, එකා යකා වුණාට මොකද කරන්නේ... කොච්චර වුණත් මගේ කුසෙන් වදාපු දරුවනේ ළමයෝ.”   

ආච්චී කඳුළු පිස දැම්මාය. 

“සාගර ළමයා ගියපු සේරමලාව අඳුනාගත්තය කියලත්නෙ ආරංචිය! අපිවත් එහාට එක්ක පලයං පුතේ.... මගේ අන්තිම හුස්ම පොද යන්න කලින් ආයෙම වතාවක් ගුණේගේ කටහඬ අහගන්න ආසයි පුතේ. උඹට පිං සිද්ද වෙයි.”

සාගරගේ කතාවට මගෙන් වැඩි බරක් වැටුණේ එඩ්වඩ් මාපලගම මහත්තයා නිසාය. එඩ්වඩ් මහතා සාගරගේ අම්මාගේ මල්ලීය. 
වාමාංශික දේශපාලනයට සම්බන්ධවී හිටි එඩ්වඩ් මහත්තයාය; ‘මහරගම’ පත්තරය පළ කරන්නට මුල් වුණේ. 

ඔහුගේ සබඳකම මතය ‘පේව්මන්ට් එකේ රජ වෙන’ අවදියේ මා ගැන ‘අටකගේ ගින්න නිවන්න නටන නිමල්’ විස්තරය ‘වනිතා විත්ති’යේ පළ වුණේ. 

ඒ කාලයේ නම් වාමාංශිකයන් කිව්වාම අදහස් කෙරුණේ බුද්ධිමතුන් කොටසක් ගැනය.......
මා දන්නා තරමට නම් ඒ කාලයේ වාමාංශිකයන් කියන්නේ බුද්ධිමත් ජීවීන් කොට්ඨාශයකි; පරහිතකාමී පිරිසකි; සිහි නුවණින්- විචාර බුද්ධියෙන් හැම දේම විමසා බලන්නට පුරුදුවී හිටි කට්ටියකි. 
මා කියන්නේ; කියන්නට තරම් දේවල් දන්නේ, ඒ දවස්වල මහරගම හිටි වාමාංශිකයන් ගැන විතරය.

මාපලගම මහත්තයා අභාවප්‍රාප්ත වී කාලයක්ම ඉකුත්වී ගිහින්ය. 
එහෙම වුණු එක වාසනාවකි. 
වාසනාවක්ය කියන්නේ වියපත් නොවී  මරු වසඟවූ එක නොවේ. 

නම්බුව තියාගෙන, ප්‍රතිපත්ති ගරුකව ජීවත්වී; joker කෙනෙකු නොවී ලොවින් සමුගෙන යාමය. මට එහෙම හිතුණේ ඊයේ-පෙරේදාවක (හිටපු) දැවැන්ත වාමාංශික මහත්තයෙකුගේ (අ)මන බඳින කියමනක් දැක්කාමය.

‘රටට ඇති තරමට ජල සම්පාදනය කරන්න බැරි නිසා, උන්නැහේ කියන්නේ වත්තේ මල් පැළවලට වතුර නොදා ඉන්නටය. නොනා ඉන්නටය.’

‘හිතෝපදේශය’ පොතේ එදා මෙහෙම ලියවෙන්නට ඇත්තේ, මෙවැනි 225 ප්‍රාඥයන් අද්‍යතනයේ පහළ වෙන බව ඒ කාලයෙදීම එහි කතුවරයා දිවැසින් දැකලා වෙන්නැතිය.

සභාවකදී කට අරින පමාවෙන් මෝඩයාව හඳුනා ගන්නට...........
       “මුර්ඛෝපි ශොභතේ තාවත් - සභායාං වස්ත්‍ර වෙෂ්ඨිතඃ
        තාවච්ච ශොභතෙ මුර්ඛො - භවත් කිංචිත් නභාෂ්‍යත්-

-මෝඩ මිනිහා වස්ත්‍රාභරණයෙන් සැරසී සභාවකට පැමිණි කල දුටු පමණින්ම ඔහුට ගෞරව ලැබෙතත් කට ඇරි ඉක්බිති, ඔහුගේ තත්ත්වය ඔහුම අනාවරණය කර ගන්නා බැවින් අවඥාවට පත් වෙයි.”

මා කියාගෙන ආවේ එහෙම පීචං නොවුණු මහාත්මයෙකු ගැනය; සාගරගේ මාමා එඩ්වඩ් මාපලගම මහතා ගැනය.

“මාපලගම මහත්තයාත් තලාහේනේ ගිහිල්ලද, ටැයියෝ?”

එඑ එ ඒක නං මම දන්නෙ නෑ බං. 
අපේ අ අ අ අම්මා තමයි විස්තර කිව්වේ. 
එගොඩහ පැත්තේ ගොඩක් මිනිස්සු තලාහේනේ ගිහිල්ලා, මැරිච්ච අයව ගෙන්නලත් තියෙනවලු!” 

ස්ටැන්ලි ගොත ගහමින් කිව්වේය. 

අපේ ආච්චී නම් දුක්මුසු දෑසින් බලාගෙන හිටියේ මියගිය පුතණ්ඩියා හමු වෙන්නට යමුය කියන තාලයෙනි.
එහෙම වුණත් මට ඒ ගැන විශ්වාසයක් තිබුණේ නැත. 
අපේ අම්මා නම් යමුය කියලා බලපෑමක් කරන්නට ආවේ නැතිය. 

ආච්චී නම් තිස්සෙම කඳුළු පිරුණු දෑසින් කියමින් හිටියේ ‘තලාහේනට යමු පුතේ!’ යෝජනාව වගෙය. සීයාගේ හැටි ඊටත් හපන්ය. සීයා කොහොමත් හැඟීම් ප්‍රදර්ශනය කරමින් ඉන්නා කෙනෙක් නොවේ.

“හරි, අපි යමු. හැබැයි, මම කියන විදියටයි සේරම කෙරෙන්න ඕනේ.... එහෙම කැමතියි නම් යමු.... 
තව එකක්. අඬබෙර ගහලා ගමටම කියන්න ඕනෙත් නෑ. අම්මයි, ආච්චියි, සීයයි, මමයි විතරයි යන්නේ. මොකද කියන්නේ. ඔට්ටුද?” 

ඒ තිදෙනාම එකඟ වූහ.

මළවුන්ගේ ආත්මවලට ආපසු එන්නට හැකි බව විශ්වාස කරන්නෝ බොහෝ වෙති! සමහරු ඊට කැමැත්තෝ වෙත්. තවත් සමහරුන් ඒ සංකල්පයට පවා අකමැති වුවත් ලොව පුරාම තත්ත්වය ඒකය.

දඩයම් යුගයේ ගෝත්‍රිකයෝ, ගල්ලෙනකදී ඥාතියෙකු මියගිය කල්හි එම ගල්ලෙන හැරදමා ගියහ.

මළගිය ඇත්තෝ ආපසු එතියි ඇදහිල්ලක් තිබුණේ ඉතාම ඈත අතීතයේ පටන්ය..............
මිසරයෝ, වියෝවූ රාජකීයයන්ගේ මෘත දේහ බෙහෙත් ගල්වා සංරක්ෂණය කර- ඔවුන්ගේ පරිභෝජනය සඳහා ආහාර-පාන පමණක් නොව රන්-රිදී-මුතු-මැණික් වස්තුව පවා එකම සොහොන් ගැබක තැන්පත් කළහ. 

මේ අතිනවීන යුගයේ ප්‍රකෝටිපතියෝ, තමන් මියගිය කල්හි සිරුරු සංරක්ෂණය කර තබා තාක්ෂණයේ මහිමයෙන් ඒවාට යළි පණ ගන්වන කලක් එළඹෙන බව අදහති; ඒ නිසාම එවැනි අධිශීත කුටීරවල සිසිරතරණ නින්දක් සඳහා අතිවිශාල ගෙවීම් කරති!

ඒත් අපේ ආච්චිට ඕනේ වුණේ එහෙම අජරාමර වෙන්නට නොවේ. 

තම එකම පුතණ්ඩියා යළිත් වතාවක් සිය ගොරෝසු හඬින් ‘අම්මේ’ කියනු අසා ගැනීමේ හින්නිකිතර ආසාවක් සපුරාගන්නට විතරය.

මට මතක හැටියට තලාහේනේ සොහොන් ගෙදරට මළවුන් ගෙන්වූයේ ඇඳිරි වැටුණු පසුව විතරය. හැමදාම ඔවුන්ව කැඳවූයේ නැතුවාත් වගෙය.

පඬුරු, බුලත්, ගෙවීමට මුදල්....  අපි මේ හැම දේම දෙවතාවකට සරිලන පරිදි ගෙදරදීම පිළියෙළ කරගෙන ගියෙමු. 

අපේ මිනිස්සුන්ටත් කට වහගෙන ඉන්න එක ගොඩක් අමාරුයිනේ...........
“මං ඉස්සෙල්ලා පඬුරු තියලා අහනවා. 
හුඟක් වෙලාවට මටනේ සාත්තර කියවෙන්නේ නැත්තේ. තාත්තත් මාව හම්බ වෙන්න එන්න බැහැ කිව්වොත් විතරක්, අම්මත් try කරමු! 
හැබැයි, මතකයිනේ- මම කියල දීපු විදිහ. ඒක නම් වරද්දන්න එපා.”

මගේ පළමු කොන්දේසිය වුණේ ‘ඔවුන්ට අප විසින්ම තොරතුරු සම්පාදනය නොකළ යුතු බවය’.

“ඔය වගේ තැන්වල ගොඩාරියක් තැරව්කාරයෝ ඉන්නවා, කතාවට වැටිලා විස්තර හොයන. අපේ මිනිස්සුන්ටත් ටික වෙලාවක් කට පියාගෙන ඉන්න අමාරුයිනේ, වටපිටේ ඉන්න අය එක්ක පට්ටන්දරේ දිගාරින්න ගන්නවා. 
ඉතින් සාත්තරේ කිරිගහට ඇන්නා වගේ කියවෙනවා.... අනෙක් මිනිස්සු ඕනේ මඟුලක්.... අම්මලා එහෙම නෙවෙයි ඔන්න කටක් අරින්නේ... 
හොඳම වැඩේ අඬන්න වගේ මූණ බෙරි කරගෙන ඉන්න. ඉතිරි හරිය මම බලාගන්නම්.... ඔයාලා කට වහගෙනම ඉන්නවා නම්.’

මගේ Face Book හිතවත්තු සමහර පෝස්ට්ස් ‘විශේෂ අවධානයට ලක් කරවා එවති’. මේ තියෙන්නේ ධනුෂ්ක සිරිවර්ධන මිතුරා එවූ එවැන්නකි.

 කාංචනා සාස්තරයක් අහගන්නට කපු මහත්තයෙකු ළඟට ගිහින්ය.

ඊළඟ සැරේ සලාක කාඩ් එක නෙවෙයි, හඳහන අරගෙන එනවා!
“හ්ම්ම්ම්.... නම කාංචනා නේද?
      ඔව්... ඔව්... කපු මාත්තයා.

මහත්තයාගෙ නම තරිඳු.
      දෙයි හාන්දුරුවනේ ඔව්!

ළමයි 4ක් ඉන්නවා....
      ඔව් අප්පා!

මාසෙට හාල් කිලෝ 40ක් ඉල්ලුම් කරලා තියෙනවා නේද සමූපකාරෙන්?
      බලන් හිටියා වගේ කියනවනේ.... ඔව්...ඔව්.

ඊළඟ පාර එනකොට සලාක කාඩ් එක අරන් එන්නෙ නැතුව හඳහන අරන් එනවා!”

විහිළුවක් වුණාට කියන්නේ අපේ ඇත්තියන්ගේ ඇත්තම ඇත්ත කතන්දරයකි. සමහර ඇත්තනුත් මෙයිට වෙනස් නැත. එදා තලාහේනේ යන්නට කලින් මා අපේ ගෙදර අයට ‘දස පනත’ පැනෙව්වේ නැති නම්..........

16 comments:

  1. Replies
    1. අසංග, මට මතක් වෙන්නේ හැංගි හොරා film එකේ, මිල්ටන් පෙරේරා- සුජාතා අත්තනායක කියපු සින්දුව.

      'කිරියෝ- කිරියෝ
      ගමන දුරයි කිරියෝ
      වෙහෙස වැඩියි බැරියෝ
      කරත්තේ ළඟ එනවෝ
      පෙරැත්ත ඇයි.....'

      Delete
    2. ඔය දැතිහුලහ ව හොය හොය ඉන්නැතුව අර අවුරුදු දහයක් මුහුද මැද හිටපු කතන්දර ටික ලියල හිටු.

      Delete
    3. https://phobia.wikia.org/wiki/Sanguivoriphobia

      Delete
    4. පෝරිසාදයෝ දෙන්නා හතරවැනි සැරයටත් කොම්පුටරේ කඩා දැම්මා. කොමෙන්ටුවක් කොටාගන්නවත් විදිහක් නැතිවයි ඉන්නේ.ඉක්මනින් ආපහු මුහුදට යමුකෝ....

      Delete
    5. ආාාාා... අසංග මට කතා කළාද? නහය තාම දනව... (කොරෝනවත් හැදෙන්ඩද දන්නෑ)

      Delete
    6. ස්තුතියි Pra Jay!
      ඩ්රැකොෆෝබියා කියන්නේ ඩ්රැගන්ලා පිළිබඳ භීතිකාවය කියනකොට නම් අසංග උන්නැහේට මොනවා හිතෙන්න ඇත්ද?

      අසංග, දැන් තියෙන්නේ පෙරලුනු පිට හොඳය කියාගෙන 'මහා කම්පියුටර් කැඩීමේ වාර්තාව'ක් තැබීම ගැන සලකා බලන්නයි.

      ඩ්රැකී. කොරෝනාවලට බය වෙන්නම වෙනවා තමුන්නාන්සේට!

      Delete
  2. ඒ දසපනතෙන් පස්සෙ ටිකත් බලන්නම්කො ඈ.

    ReplyDelete
    Replies
    1. නැතිව, නැතිව. කසුන්, බලලා වෙලාවක් තිබ්බොත් හිතෙන දේත් කියන්න.

      Delete
  3. සිංහල සිනමාවේ ලමා චරිත කරපු අය කවුද, පසුව මොනවද කලේ වගේ තොරතුරු ලියවිලා තියනවද?

    ReplyDelete
    Replies
    1. සිනමාව ගැන මම දන්නේ ටිකයි Pra Jay. හැබැයි ඔයා අහපු ප්‍රශනය දැකපුවාම මතක් වුණු ටික කියන්නම්.

      ඇත්තටම මේ විෂය ගැන වෙනම ලියවිලා තියෙන්නේ බොහොම අඩුවෙන් වගෙයි. මුල් කාලයේ දරුවා කාගේද?, රේඛාව, පුරුෂ රත්නය වගේ ෆිල්ම්ස් කිහිපයක විතරයි කැපී පෙනෙන තරමට ළමා චරිත විස්තාරණය වුනේ. එයිනුත් රේඛාව විශේෂයි. මගේ මතකය හරි නම් එයින් මර්ට්‍රල් ප්‍රනාන්දුත්, සෝමපාල ධර්මප්‍රියත් දෙන්නා ප්‍රධාන චරිතම රඟපෑවා.

      ඊට පස්සේ වාණිජ චිත්‍රපට හැටියට් ආ එම්.එස්.ආනන්දගේ චිත්‍රපට රැසක ඔහුගේ දියණිය ශ්‍යාමා ආනන්ද (ප්‍රවේසම් වෙන්න, චන්ඩි ශ්‍යාමා, මගේ නංගි ශ්‍යාමා වගේ.....)දක්ෂ ලෙස රඟපෑවා.

      ඒ අතරට මඩොල් දූවේ අජිත් ජිනදාස ඇතුළු පිරිසත් ඉන්නවා.
      වාණිජ චිතරපට් රැසක සෝනියා දිසා නිළියගේ පුතණු උදය දිසානායකත් ළමා චරිතවලට හිටියා.

      රේඛාව වගේ මතක හිටින ළමා චිත්‍රපටය "හඳයා" මෙතනදී සුවිශේෂයි. හැබෑම ශ්‍රී ලාංකේය ළමයින් එහිදී නිරූපණය වුනා. එයිනුත් දර්ශන පනංගල අතිදක්ෂයෙක්.

      ඊට පස්සේ සේරම වගේ ක්‍රෙඩිට්ස් යන්නේ සෝමරත්න දිසානායක ප්‍රධාන කිහිප දෙනෙකුට. සූරිය අරණ, සරෝජා, සිරි පැරකුම්, සිරි රජ සිරි, හෝ ගානා පොකුණ, සුනාමි වගේ ඉතා දක්ෂ ළමා චරිත ඇතුලත් ෆිල්ම්ස් ගොඩාරියක් ආවා.

      නමුත් එයින් කිහිප දෙනෙකු ගැන විතරයි වැඩි විස්තර ලියවිලා තියෙන්නේ.

      සිනමාව ගැන ලියන ශාන්ත කුමාර අපොන්සු, මේ කමෙන්ටුව කියෙව්වාම හිතෙන්නේ නැතිද සිංහල සිනමාවේ ළමා චරිත රැඟු ළමා නළු-නිලියන් ගැන ලිපියල් ලියන්න? Pra Jay වැනි රසිකයන් වෙනුවෙන්.......

      Delete
  4. දසපණත හම්බුණ හැටි දන්නවද?


    දෙවියන් වහන්සේ පොළොවට ඇවිදින් පණතක් අරගෙන, ඒක දෙන්ඩ ජාතියක් හෙව්වා. හොයමින් ඒ කාලෙ ආගම දර්ශනයට බර ඉන්දියාවට වැඩියා. එහෙදි හම්බුණා හින්දුවෙක්...

    හින්දුවගෙන් එතුමා ඇහුවා "පණතක් තියෙනව ඕනෙද?" කියලා.

    හින්දුව ඇහුවා, "මොකද්ද පණත?"

    "පර පණ නොනසනු!" දෙවියො වදාළා...

    "අපොයි ඕක අපේ ආගමේ තියෙන්නෙ මීට අවුරුදු දාහකට විතර කලින් ඉඳං" හින්දුවා කිව්වා. දෙවියො එතනින් යන්න ගියා.

    ඊළඟට එතුමට හම්බුනා බෞද්ධයෙක්... එයාගෙනුත් ඇහුවා පණත ගන්නවද කියලා...

    බෞද්ධයත් කිව්වා ඒක බුදු හාමුදුරුවො කලින් දේශනා කරපු එකක් කියලා.

    දෙවියන් වහන්සෙට තේරුණා ඉන්දියාවට මේක දීලා වැඩක් නැ කියලා. ඒ ගමන එතුමා ජෝර්දාන් පැත්තට ගියා. එහෙ කාන්තාරෙ ඇවිදිමින් හිටපු මිනිස්සු කණ්ඩායමක් හිටියා. ඒගොල්ලන්ගෙ නායකයා මෝසස්. එයාගෙන් දෙවියන් වහන්සෙ ඇහුවා...

    "පණතක් තියෙනව. ඕනෙද?" කියලා.

    මෝසස් යුදෙව්වෙක්. යුදෙව්වො කොහොමත් සල්ලි තමා ඉස්සර කරගන්නෙ. ඉතින් එයා ඇහුවා "කීයද ගාණ?"

    "මේක නිකං දෙන්නෙ" දෙවියන් වහන්සේ කිව්වා.

    "එහෙනං ඔන්නොහෙ දහයක් විතර දෙන්ඩ..." මෝසස් කිව්වා.

    ReplyDelete
    Replies
    1. මදැයි! සිංහල මිනිස්සුන්ගෙන් ඇහුවා නම්..... නිකං දෙනවා නම් ඕනෙම ඔලුවේ කැක්කුමක් බාරගන්න උදවිය මොනවා කරන්න තිබුනාද කියලා හිතන්නත් බයයි ඩ්රැකී.

      Delete
  5. ඔය තලාහෙනේ තැන මම දන්නවා. අපේ තාත්තා නැති වෙච්ච වෙලාවේ අම්මයි අක්කයි ද කොහෙද ගියා... එයාලට නම් ඒ හැටි විශ්වාසයක් ඇතිවුනේ නැහැ මම හිතන්නේ ... අපේ අම්ම කිව්වේ දැන් ඉතින් මොනවා කලත් තාත්ත ආයේ එන්නේ නෑනේ ඕව පස්සේ යන්නේ නැතුව පින් දෙමු කියල...

    ReplyDelete
    Replies
    1. පැතුම්, ඔයාල තලාහේනේ ගියේ මෑත කාලෙකද?

      Delete
    2. අපෝ නැහැ... මිට අවුරුදු 18කට කලින්. දැන්නම් තියෙනවද කියලවත් දන්නේ නැහැ...

      Delete