අකුරු මැකී නෑ

Thursday, April 30, 2020

අසිරිමත්වූ දේකි- පස්වෙනි කොටස

දැන් අපි ඒ හෝඩුවාව පස්සේ පන්නනවා!
සිරිබිරිස් උන්නැහේ හමුවෙනතුරුම මාත් අර පොතගැන හාන්කවිසියක් දැනගෙන හිටියේ නැහැ. දැන් අපි දෙන්නම ඒ හෝඩුවාව පස්සෙන් පන්නනවා.... දන්නා කියන කෙනෙක් ඉන්නවා නම් පොඩ්ඩක් කියන්නකෝ අර පොතගැන.............

මේ පෝස්ටු මාලාවේ හතරවැනි එක අවසන් කළේ එහෙමයි. 
දැන් ඉතාමත් චිත්ත ප්‍රීතියෙන් යුතුව නිවේදනය කරන්නට වී තිබෙන්නේ එතෙක්-මෙතෙක් කිසිම-කිසි රසිකයෙකු හෝ රසිකාවියක හෝ ‘අර පොත’ ගැන වචන මාත්‍රයක් හෝ නොකී බවයි; නොඇසූ බවයි. 
අහෝ බේදයකි, ඉරකි, තිතකි.

සමහර විට එහෙම වෙන්නට ඇත්තේ 2020 මාර්තු 20 වෙනිදා ඒ පෝස්ටුව publish කරන කොටත් අපේ රටේ නම් ඇඳිරි නීතිය පනවන තරමට කොරෝනා භීතිය පැතිරී තිබුණු නිසා වෙන්නටත් ඉඩ තිබේ. 
(ඉතින්, ඒ විදියට බලද්දී) මුල් පෝස්ටු හතර ආපහු කියවා බලන්නට- ඒවා මතක් කරගන්නට කැමැති භවතුන් ඉන්නටත් හැකි බව සිහිවෙයි.
මිනිස්සු අතරේ තිබිලා තියෙනවා බොහොම රහසෙන් හංගාගෙන තිබුණු පොතක්..........
ඔවුනට එය පහසු කරවන්නටය, මේ සමඟම ‘ඉක්මන් මං’ යොදන්නේ.


“නිමල් අයියේ, ඉස්සර මිනිස්සු අතරේ කොපි පොතක් තිබිලා තියෙනවා බොහොම රහසෙන් තියාගෙන හිටපු......”

“කොපි පොතක්?”

“ඔව්... පුංචි එක්සයිස් පොතක්....” සිරිබිරිස් උන්නැහේ කිව්වේය.

කවුදෝ ඇවිත් ඉන්නා බව ඇහුණාම............
පෙබරවාරි හෝ මාර්තු මාසයේ දවසක හැන්දෑවේ, අපේ අල්ලපු ගෙදර දේවිකා නංගි මට කතා කොට කිව්වේ කවුදෝ නිමල් අයියාව හොයාගෙන ඇවිත් ඉන්නා බවය. මම ගෙයින් පිටතට ආවෙමි. කවුද හතර රියන් පුරුෂයෙක් හිනාවීගෙන ගේට්ටුව ළඟය. 

“නිමල් අයියේ මං සිරිබිරිස්. ඔයාගේ පෝස්ටුවලට කමෙන්ට්ස් දාන්නේ....”

එදා හඳුනාගැනීම නිසා මට දැනගන්නට හැකිවුණු කාරණා ගොන්නකි.

‘අර පොත’ එයින් එකකි. අප අර පොතට ආවේ ‘අජූත කෙළිය’ ගැන කතාබහෙන්ය. 

“...... ඒ පොත අතින් ලියපු එකක්ලු. ඒකෙ ලියලා තිබ්බේ කසාද බඳින දවසේ රෑට කරන්න ඕනි දේවල්.... තව එතකොට කරන විදිය... වගේ එව්වලු.” කෙනෙකු කතාවක් කරද්දී බාධා කිරීම මහා මරි මෝඩ අමන වැඩක්ය කියලා දැන-දැනත් මගේ කට ඇරුණේ නිකම්මය.

“අම්මට සිරි!”
කසාද බඳින්න දවස් කීපෙකට කලින් හොරෙන්ම කොල්ලටයි, කෙල්ලටයි මේ පොත දෙනවලු කියවන්න.......
“.... ඒක නේන්නම් නිමල් අයියේ. ගමේ කසාදයක් වෙන්න යනකොට ඒ කසාද බඳින කොල්ලගෙයි, කෙල්ලගෙයි ගෙදරකින් වැඩිහිටියෙක් මේ පොත ඉල්ලගෙන ඇවිත්, අර දෙන්නට දෙනවලු කියවලා බලන්න. 
පොතේ වැදගත්කමක් තියෙනවය කියලා හිතුණු උදවිය ඒ පොත තවත් එක්සයිස් පොතකට කොපි කරගත්තලු... 
එහෙම තමයිලු ‘අර පොත’ තැනින් තැනට පැතිරිලා තියෙන්නේ.”

“දැන් ඉන්න කොල්ලෝ-කෙල්ලෝ ඔය කතාව දැනගත්තම හිනාවෙන්න කට මදිවෙයි!”

Rooms යන්නට, ඇටෙන්-පොත්තෙන් පැහෙන්නටත් කලින් ‘වැල බලන්නට’, අන්තර්ජාලයෙන් හිතේ හැටියට ‘වල් කතා’ කියවන්නට පහසුකම් ඇති අද්‍යතන කාලයේ එහෙම වෙනවා සිකුරුය! 

(බොරු සුචරිතවාදීකම පැත්තක දමා, මගේ දැනීමෙන්ය ඒවා කිව්වේ!)

අපේ ප්‍රධාන පරමාර්ථය ‘අසිරිමත්වූ දේකි’ පොතට ගිහින් ආයෙම පීලි පනින්නෙමි. (අප දැනටමත් ඒ පොතෙන්, 24 වෙනි පිටුවේ අඩක් දක්වා ඇවිදින්ය! මේ එතැන් සිටය.)

ලැබෙන්න ඉන්න දරුවාගේ ගැහැනු පිරිමි බව දැනගන්න ............
“.... ලැබෙන දරුවා ගැහැනු ද, පිරිමි ද කියලා ඉපදෙන්න ඉස්සෙල්ලා දැන ගන්න පුළුවන් ද?

සාමාන්‍යයෙන් මෙය අපහසු දෙයක්. 
නමුත් ඉහත විස්තර කරන ලද ඇමිනියෝටික් දියර පරීක්ෂා කර බලා ගැහැනු පිරිමි බව දැන ගන්න පුළුවන්. නමුත් මේ සඳහා උදරයේ බිත්තිය තුළින් සිහින් කටුවක් යවා එමඟින් ඇමිනියෝටික් දියර ස්වල්පයක් ලබාගත යුතුයි. 
මෙවැනි පරීක්ෂණ සාමාන්‍යයෙන් මේ හේතුව සඳහා කරන්නේ නෑ. 

එසේ වුවත්, පෙර සැලසුම් කර තමාට අවශ්‍ය විධියට ගැහැනු හෝ පිරිමි ළමයෙකු ජනිත කරවීම කළ හැකි ක්‍රමයක් තවම හොයාගෙන නෑ. නමුත් ඒ ගැන ලෝකයේ බොහෝ රටවල තවමත් පරීක්ෂණ පවත්වාගෙන යනවා.

ගර්භාෂයේ සිටින දරුවා අංග විකල ද කියා දැනගත හැකි ද?

දරුවා ගර්භාෂයේ සිටින කාලය තුළදී අංග විකලත්වය ගැන තරමක් දුරට කරුණු සොයාගත හැකියි. ඒ එක්ස්-කිරණ මාර්ගයෙනුයි. ගැබ්ගත් මවගේ එක්ස්-කිරණ ඡායාරූපයක් ගත් විට දරුවාගේ වර්ධනය වූ අස්ථීන්වල ඡායාවක් මෙම පින්තූරයට වැටෙනවා. එම පින්තූරය පරීක්ෂා කිරීමෙන් දළ අංග විකලත්වයක් ඇත්නම් දැන ගැනීමට පුළුවන්.

ඊට අමතරව තොරතුරු දැන ගැනීමට මීට වඩා සංකීර්ණ පරීක්ෂණ කළ යුතුයි. ඒ වගේම නිවුන් දරුවන් ඇති බවත් එක්ස්-කිරණ මඟින් දැනගත හැකියි.

බද්ධ දරුවන් මව් කුසයේ....පොතේ 25,26,27 පිටු.........
නිවුන් දරුවන් ඇති වන ක්‍රම දෙකක් තියෙනවා.

එක ක්‍රමයක් නම්, අර කිව් මුලින්ම සෑදෙන ‘සෛල පොකුර’ නොයෙකුත් හේතූන් නිසා දෙකඩ වීමයි. ඉන් පසුව මෙම කොටස් දෙක, දරුවන් දෙදෙනෙකු බවට වෙන්-වෙන්ව වැඩෙනවා. මේ දෙදෙනාගේ මූලාරාම්භය එකම ඩිම්බයක් හා එකම ශුක්‍රාණුවක් නිසා මෙවැනි දරුවන් බොහෝ අතින් එක සමාන වෙනවා.

නමුත් සමහර අවස්ථාවල දී ඩිම්බ කෝෂවලින් වරකට එක ඩිම්බයකට වඩා පිට වෙන්න පුළුවන්. එහෙම වුණාම ඒ සෑම ඩිම්බයක්ම ශුක්‍රාණුවක් සමඟ සංසේචනය වී වෙන-වෙනම වැඩෙන්නට පටන් ගන්නවා. 
මෙම එක් එක් යුක්තාණුව දරුවෙකු බවට වර්ධනය වෙනවා. ඒ නිසා දරුවන් දෙදෙනෙකු හෝ ඊට වැඩි ගණනක් වුණත් ලැබීමට පුළුවන්.

නමුත් ඩිම්බ වැඩි ප්‍රමාණයක් පිට වන්නේ කලාතුරකින් නිසා මෙවැනි බහු දරු උපතක් සිදු වන්නේ ඉතා කලාතුරකිනුයි. 
(ඒ එක්කම යම් කාන්තාවකට ගර්භාෂ දෙකක් පිහිටා තිබීමෙනුත් එක ළඟම දරුවන් දෙන්නෙක් බිහි වන්න පුළුවන්. මෙය හුඟාක් කලාතුරකින් සිදු විය හැකි දෙයක්.)
දරුවා ලොවට බිහි කර විවේක ගැනීමට.........
දරු ප්‍රසූතිය සිදු වන්නේ?

ක්‍රම-ක්‍රමයෙන් වැඩෙන මෙම දරුවා සති 49ක කාලයකින් සම්පූර්ණයෙන්ම වැඩුණු දරුවෙකු බවට පත් වෙනවා.

සති 40ක කාලයක් පැමිණි විට ගර්භාෂය දරුවා ලොවට බිහි කර විවේක ගැනීමට සූදානම්. දැන් ගර්භාෂයේ පේශීන් ක්‍රමයෙන් සංකෝචනය නැතහොත් හැකිළීමට ගන්නවා.

මෙම සංකෝචනයන් සඳහාත් හෝමෝනවල බලපෑම අවශ්‍ය වෙනවා. පිටියුටරි ග්‍රන්ථියෙන් පිට කරන හෝමෝනයන් නිසා ගර්භාෂයේ බිත්තිය තව-තවත් බලවත්ව හැකිළීමට පටන් ගන්නවා.

මේ බලවත් සංකෝචනයන් නිසයි ප්‍රසූතියේදී එතරම්ම වේදනාවක් ඇති වන්නේ. 
ප්‍රසූතිය ආසන්න වෙන විට හැකිළීම ඉක්මනින් සිදු වන නිසා වේදනාව අධික වෙන්නට පටන් ගන්නවා. ඉතින් මෙම හැකිළීමත් සමඟම ගර්භාෂයේ ගෙලත්, මුඛයත් ක්‍රමයෙන් පළල් වීමට පටන් ගන්නවා.

දරුවෙකු මෙලොව එළිය දකිද්දී..............
සාමාන්‍ය ප්‍රසූතියේදී මුලින්ම බිහි වන්නේ හිස නිසා මෙම ඝන හිස්කටුව ගර්භාෂ ගෙලට තද වීමත් සමඟම තව-තවත් වේගයෙන් ගර්භාෂය හැකිළී දරුවා ගර්භාෂ ගෙල දිගේ යෝනි මාර්ගය දෙසට තල්ලු කර හරිනවා. ක්‍රමානුකූලව කෙරෙන මෙම සංකෝචනයන්ගේ මාර්ගයෙන් දරුවා යෝනි මාර්ගය දිගේ තල්ලු වෙමින් විත් ලොවට බිහි වෙනවා.

මෙතරම් පටු යෝනි මාර්ගයෙන් දරුවෙකු බිහි වීම යෝනි මාර්ගයට හානිකර නැද්ද?”

ඔන්න පීලි නොපැන බැරි තැනක්!

වර්තමාන අම්මලාගෙන් ගොඩ දෙනෙකු වෛද්‍ය විශේෂඥයන්ටත් වැඩියෙන් දන්නවා වගෙයි. දරු ප්‍රසූතියේදී දැනෙන වේදනාව අවම කරගන්නටත්, පම්පෝරියක් කියන්නට ඉඩක් හදා ගැනීමටත් එයාලා හරිම ආසයි. 
ඒ නිසාමයි, ජූලියස් සීසර් මෙලොව එළිය දුටු විදියටම එයාලගේ දරුවා උපද්දවන්න තීරණය කරන්නේ. 

2012 අවුරුද්දේ ලෝකය පුරා මව්වරුන් මිලියන 23කට වැඩි පිරිසක් මේ ක්‍රමය අනුගමනය කරලා තිබෙනවා.
මුලින්ම සීසර් සැත්කම කරලා තියෙන්නේ ඒකට නම දීමේදී සම්බන්ධ කරගෙන තියෙන ......
හැබැයි, ඉතිහාසය කියන විදිහට මුලින්ම සිසේරියන් සැත්කම කරලා තියෙන්නේ සීසර් උන්නැහේ උපත ලබද්දී නෙවෙයි. 
ඉන්දියාවේදී, බින්දුසාර කුමාරයා උපත ලබද්දී.

පළමුවෙනි මෞර්ය අධිරාජයා වුණු චන්ද්‍රගුප්ත රජතුමාගේ බිසව දරු ප්‍රසූතියට ළඟාවෙලා ඉන්න අතරේ වසක් කැවිලා මිය ගිහින්. රජතුමාගේ උපදේශකයෙකු වුණු චාණක්‍ය පඬිතුමා (මෙයාටම තමයි කෞටිල්‍ය කියන්නෙත්. පරසිදු ‘අර්ථ ශාස්ත්‍ර’ පොතේ කතුවරයාත් එතුමාමයි.) තීරණයක් අරගෙන,  මියගිය බිසවගේ උදරය පළලා ‘බින්දුසාර’ බිළිඳා එළියට අරගෙන. 
ඒ ක්‍රි.පූර්ව 320 වසරේ. අදට අවුරුදු 2340කට ඉස්සෙල්ලා.

එහෙම නොවුණා නම්.... ඉතිහාසය කොතරම් වෙනස් වෙන්න ඉඩ තිබුණාද? බින්දුසාරගේ පුතණුවන් තමයි අශෝක නොහොත් ධර්මාශෝක!

සිසේරියන් සැත්කම කෙරෙන්නම ඕනේ දෙයක්ද?

දරුවෙකු බිහි කරද්දී දැනෙන වේදනාව දරාගැනීමේ හැකියාව කාන්තාවකට නැත්ද?
“දස මාසයක් කුසේ දරාගෙන ඉන්න පුළුවන් නම් මොකද දෙයියනේ, ඒ බරෙන් හෑල්ලු වෙනකොට පොඩ්ඩක් කැක්කුම දරන්න බැරි. මොකුත් නොදන්නා තිරිසන්නුත් යස අගේට ඒ කැක්කුම දරාගන්නේ. උන්ටත් සීසර් කරනවද?
ලොකුම දේ එහෙම වේදනාවක් දැනිලා දරුවා උත්පාද කළාම නේන්නං දරු හැවිකාරේ ඇතිවෙන්නේ..... 
මළ විකාර. දැන් ඉන්න එවුන්ට සල්ලි වැඩියි.... එව්වාට කරගන්න දෙයක් නැහැනේ.... ඔහොමවත් වියදම් කරගන්න එපැයි. ඉතින් දොස්තරලත් හ්ම් නැතිව ඉන්නවා... එයාලටත් වාසියිනේ.”

හණමිටි අදහස් දරන්නියක යයි කියවුණු ලලනාවක ඒ ටික කිව්වේ සීසර් සැත්කම ගැන කතාවෙන වෙලාවකය. එහි හොඳ-නරක කිරා බැලීම බුද්ධිමත් ඔබට බාරය.

සිරිබිරිස් උන්නැහේ කී ‘අර පොතේ’ මේ කරුණු කොතෙක් දුරට තිබුණාද කියලා හැඟීමක් අප දෙන්නාටම නැත. සීසර් කිරීම ගැන නම් එහි නොතිබුණා විය යුතුය.“ඒත් නිමල් අයියේ, මම පුළුවන් තරම් try කරනවා, ඒ පොතක් තියෙන තැනක් trace කරගන්න!”

මේ ගැන දන්නා කෙනෙකු ඉන්නවා නම් අපිට කියන්නය කියලා.......
“මේකනෙ, ගොඩක් ඕපන්ලි ඔය වගේ දේවල් අපෙත් එක්ක කතා කරපු අපේ ආච්චිවත් කොයිම වෙලාවකවත් ඔහොම පොතක් ගැන කියල නෑ. 
මගෙත් එක්ක කතා කරලා තියෙන වෙන කිසිම වැඩිහිටියෙක්වත් ඔය ගැන දැනගෙන හිටියේ නෑ වගෙයි. 
සිරිබිරිස් උන්නැහේ, අපි මේ ගැන දන්නා කෙනෙක් ඉන්නවා නම් කියන්නය කියලා බ්ලොග් එකට ලියමු!” මම එදා කීවෙමි.

හිතාදර රසික-රසිකාවනි. 
ටිකක් මහන්සිවී අර පොත ගැන දන්නා කෙනෙකු හොයාගනිමුද? අනේ, එහෙම කරන්න. මෙහෙම ආරාධනය කරන්නෙත් හේතුවක් ඇතිවය!

ඒ හැකියාව ඇති කෙනෙකු හිටින්නට හොඳටම ඉඩ තිබෙන බැවිනි!!

“...... නවීන මේඝ මණ්ඩලී නිරුද්ධ ධුර්ධරත් ස්ඵුරත්
කහූ නිෂීදි නීතමඃ ප්‍රපංධ බන්ධ කන්ධරා
නිලිම්ප නිර්ජරී දරශ්තනෝතු කෘති සින්ධුරා
කලා නිධාන බන්ධුර ශ්‍රියම් ජගත් ධුරන්ධරා

අහස් ගැබ වැසුණු වලාකුළු සේ අඳුරු ගෙලකින් යුක්ත වූද, ගංගා නම් නදිය.........
නව සඳ පෑයූ දිනක අහස්ගැබ වැසුණු වලාකුළු සේ අඳුරු ගෙලකින් යුක්ත වූද, ගංගා නම් පූජනීය නදිය තමා සන්තක කරගත්තා වූද, සඳ හා රමණීය සිතුවම් මවන්නා වූද, මුළු විශ්වයේම බර සිය උරමත රඳවාගෙන සිටින්නා වූද ශිව දෙවියනි; අප වෙත සියලු සෞභාග්‍යය උදා කරත්වා....”

ශිව දේවයාණන් උදෙසා ‘දසිස් රාවණ අධිරාජයාණන් වහන්සේ’ රචනා කළැයි කියැවෙන ස්තෝත්‍ර මාලාවකින් එකකි ඒ. තිබුණේ මුහුණු පොතේ පිටුවකය.

රාවණ අධිරාජයා හිටියා යැයි කියවෙන්නේ විජය කුමාරයා ලංකාවට එන්නටත් කලින්ය. ඒ කාලයේ (අවුරුදු දහස් ගණනකට පෙරාතුව) ලියැවුණු ස්තෝත්‍ර මාලාවක්ම සුරැකී තියෙනවා සත්තවාදී සැබෑ නම්, 
අවුරුදු 100 ක් 150ක් විතර පැරැණි ‘අර පොත’ක් හොයාගන්නට අපට බැරිද?

“මෙතරම් පටු යෝනි මාර්ගයෙන් දරුවෙකු බිහි වීම යෝනි මාර්ගයට හානිකර නැද්ද?” ඒ ප්‍රශ්නයෙන් හැරිලා ආව දුර මදි නැහැ! ඉතින් ඔන්න ආයෙමත් අසිරිමත්වූ කතන්දරේට .....

යෝනි මාර්ගයේ මුඛය කතුරකින් කපා........
".... නෑ. ගැබ් කාලය තුළ ඇති වෙන හෝමෝනවල ක්‍රියාකාරිත්වය නිසා යෝනි මාර්ගය හා ඒ අසල ඇති පේශීන් හා පටක මොළොක් බවට පත් වෙලයි තියෙන්නේ. ඒ වගේම මෙම පටක ඉතාමත්ම ඇදෙනසුලුයි. ඒ නිසා දරු ප්‍රසූතියේදී යෝනි මාර්ගය හොඳින් ඇදී දරුවා සඳහා ඉඩකඩ සලසනවා.

නමුත් එක්වරම දරුවා බිහි වුණොත්, ඇදීමට කාලයක් නැති නිසා යෝනි මාර්ගයේ මුඛය ඉරී යාමට ඉඩ තිබෙනවා. මෙවැනි ඉරීම් කොතරම් භයානක ලෙසට සිදු වේවිද කියා යමෙකුට එකවරම කියන්නට බෑ.

ඒ නිසාම ඉරීම වැළක්වීමට වෛද්‍යවරු ප්‍රථම දරු ප්‍රසූතියේදී යෝනි මාර්ගයේ මුඛය තියුණු කතුරකින් අඟලක පමණ ප්‍රමාණයක් කපනවා. 
නමුත් මෙම කැපීම වේදනා සහගත නැහැ. ප්‍රසූතියෙන් පසුව විශේෂ නූල් වර්ගයකින් මෙම තුවාලය හොඳින් මසා යෝනි මාර්ගයේ මුඛය කලින් තිබුණු තත්ත්වයටම පත් කරනවා. 

මැහුම් දැම්මා යයි මව්වරු කියන්නේ එම සිද්ධිය ගැනයි.

දරුවා ලැබීමෙන් පස්සේ?
දරුවා බිහිවීමෙන් පස්සේ......... පොතේ 28,29,30 පිටු.........
දරුවා ලැබීමෙන් පස්සේ සති කිහිපයක් ඇතුළත යෝනි මාර්ගයත් ගර්භාෂයත් ගැබ් ගැනීමට ප්‍රථම තිබූ තත්ත්වයටම පත් වෙනවා.

හොඳයි, ඩිම්බයකට ශුක්‍රාණුවක් මුණ ගැසුණේ නැත්නම්?

ඩිම්බයකට ශුක්‍රාණුවක් හමුවීමට නම් ඩිම්බය පිටවන කාලයේදීම සංසර්ගයේ යෙදිය යුතුයි. ඩිම්බය පිටවීමට දින 2,3 කට ප්‍රථම හෝ ඩිම්බය පිටවී දිනකට දෙකකට පසුව සංසර්ගයේ යෙදුනොත් ඩිම්බයට නියම කාලයේදී ශුක්‍රාණුවක් හමුවන්නේ නෑ. 

එවිට ඩිම්බය පැලෝපීය නාලය දිගේ ගර්භාෂයට පැමිණ එය තුළ අතරමං වෙනවා. 

සංසේචනය නොවූ මෙවැනි ඩිම්බයක් ගර්භාෂයේ ඇතුළත බිත්තියේ තැන්පත් නොවන නිසා ඊට දින කිහිපයකට පසුව සිදුවන ඍතුවීමත් සමඟම ඩිම්බයද පිටවී යනවා.

ඍතුවීම කියන්නේ?
මාස් ශුද්ධිය වීමේදී කාන්තා සිරුරක සිදු වන්නේ...........
ඍතුවීම කියන්නේ මාසයකට වරක් ස්ත්‍රියකගේ යෝනි මාර්ගයෙන් සිදුවන ලේ පිටවීමටයි. මෙයට ඔසප්වීම හෝ ‘මාස් සුද්දිය’ කියලත් කියනවා.

මේ පිටවෙන රුධිරය හටගන්නේ කොහෙද?.....”

චාණක්‍ය වගේ සැබෑම පණ්ඩිත බ්‍රාහ්මණයන් අතරේ ‘පන්ඩි බමුණෝ’ත් ඇති පදම් හිටිය බවයි පෙනෙන්නේ.

“මෙහෙම පිටවෙන්නේ ගැහැනුන්ගේ සිරුරේ එකතුවෙන අපිරිසිදු රුධිරයයි. ඔවුන් මේ දිනවලදී ස්නානයෙන් වැළකී සිටිය යුතුයි. 
සතියේ කෙම්මුර දිනවලදීත් සාමාන්‍ය ජනතාවට ස්නානයේ යෙදීම අකැපයි. උත්තම බ්‍රාහ්මණයන් පමණක් ඒ දිනවල පැන්පාසු වීමේ යෙදිය යුතුයි!” බමුණන් දෙසුවා!

මෙවැනි ගැලවිජ්ජාවලින් තමන් අනෙක් මිනිසුන්ට වඩා උසස් බවත්, පිරිසිදු බවත් පෙන්වීමටයි මේ බමුණන් තැත් කළේ.

බමුණු මත ප්‍රකාශ කරලා ඔවුන් හැදුවේ ඔසප් දිනවලදී කාන්තාවන් ගංගාවල ස්නානය කරන එක නවත්වන්න!
මාසයකට වතාවක් කාන්තාවන් ඔවුන්ගේ අපිරිසිදු රුධිරය සිරුරෙන් බැහැර කරන බවට බමුණන් කළ ප්‍රකාශය ආදියේ මිනිසුන් විශ්වාස කළා. ‘එහෙම නම් පිරිමින්ගේ ඇඟේත් කුණු ලේ එකතු වෙන්න ඕනැනේ!’ 

ඒ කාලේ ගොඩක් අයට කල්පනා වුණේ නැත්තේ තර්කානුකූලව නොහිතුව නිසා වෙන්නැති.

කොහේ කල්පනා වෙන්නද? මෙච්චර දියුණු අද කාලෙත් ‘ලේ පරීක්ෂාවකින් ජාතිය හොයන්න බැරි බව’ අපට කල්පනා නොවෙද්දී.... බොරුද මං අහන්නේ? ....ඉතින්....

Sunday, April 26, 2020

ශ්‍රී ලංකා not Vs England - දහතුන්වෙනි කොටස

“අනිල් පුතාලගේ වැඩ හින්දා මේ මහත්තයාට තව ඩිංගෙන් හරි වැඩේ නේද වෙන්න ගියයි කියන්නේ?” කුමාරලගේ අම්මා ඇහුවාය. වචන කොහොම කියවුණත් මුහුණෙන් නම් කියවුණේ ඒ මනුස්ස දෝණිය හොඳටම තැති ගෙන ඉන්නා බවයි.
ඊළඟ පාර එල්ලුම් ගස් ගිහින් තමයි............
“ඔව්නේ, පරණ පිනක් තිබිලා අද බේරුණා. ඊළඟ පාර එල්ලුම් ගහටම ගිහින් තමයි මට නවතින්න වෙන්නේ, බොරලැස්ගමුවේ යාළු- මිත්තරයෝ හින්දා...."
“මේ කුමාරලා අම්මේ. ගිහින් වැඩක් බලාගත්ත නං. ලොකු අයියට වැඩි වෙලාවක් ඉන්න විදිහක් නැතිව ඇති...” මගේ ඇනුම්-කෙටුම් හඳුනන අනිල් මැදිහත් වුණේය.
නිදිගෙ පංච තන්තරේ කියවන රසිකයනට, වංගු වැඩි- එහෙත් විචිත්‍ර මේ කතාවේ විත්ති අමතක වෙලා තියෙන්නටත් ඉඩ තිබේ. 12 වෙනි කොටස පළවුණේ මාසයකටත් වඩා ඉස්සරය. 
මුල් කොටස් කියවා බලනවානම් හෙම එය පහසු වෙන්නටය මේ සබැඳුම් පහතින් යොදන්නේ:
වංගු ඇතත් පියකරු 'බැලරිනා උඩවැඩියා' මල වගේම විචිත්‍ර මේ කතාවේ......... 
අපේ අන්නාගේ කතාවෙන් පෙනුණේ හැකිතාක් ඉක්මනින් මාව කඩයෙන් පිටමං කරගන්නට මිනිහාට තිබුණු හදිස්සියයි. එය නෑහුණු ගණනට මම වටපිට බැලුවෙමි. පොඩි මාමාත් තක්කු-මුක්කුවී බලා හිඳී. මගේ ඇස් දිව්වේ කඩ බක්කි, රාක්ක දිහාවටයි. ඒවා හරියටම කඩය පටන් ගත් දවසේ වගෙය.
ව්‍යාඝ්‍ර ධෙනුවකගේ විමසිලිමත් බැල්මක් වැන්නක් වටපිට සිසාරා යවමින්.....
එදා අපට බඩු ගොඩාරියක් ගන්නට සල්ලි තිබුණේ නැතිය. එනිසාම ගන්නට හැකි වුණු කිරිපිටි, සැමන්, සබන් වැනි දේවල් ටික රාක්කවල ඇසිරුවේ ඇතුළෙන් හිස් කාඩ්බෝඩ් පෙට්ටි තියලාය. වැඩි අහුපෑවතක් හිටින විදිහටය. 
නමුත් අවුරුදු කිහිපයකදී (ලොකු නංගී සියදිවි හානි කරගන්නා කාලයේ) කඩය සශ්‍රීකව තිබිණි. අනිලුත්, පොඩි මාමාත් කඩය බාරගන්නා විට තිබුණු කලඑළිය දැන් කොහාට ගිහින්ද?
“මොකද මේ?” මට උත්තර ලැබුණේ නැත. 
“පොඩි මාමේ, මොකද මේ වෙලා තියෙන්නේ?”
පොඩි මාමා කතා කළේ හීන්සීරුවේය. “රංජි දන්නවනේ. මට අනිල් කියනවට උඩින් යන්න අයිතියක් නැහැනේ.” 
එයා දැන් බෝලය අනිල්ට පාස් කරලාය. පොඩි මාමාගේ කතාවත් බොරු නොවේ. මම හැරී බැලුවෙමි. අනිල් ගල් ගිලලාය. දඩබ්බර බැල්මක් නම් මිනිහාගේ මුහුණට අරක් ගෙනය.
තමුසෙට දවස් දෙකක් දෙනවා.........
“තමුසෙට දවස් දෙකක් දෙනවා. Stock අරගෙන, පොතුත් එක්ක මට බලන්න ඕනේ.”
“ලොකා, දවස් දෙකෙන් කොහොමද කරන්නේ? කඩේ බිස්නස් කරන ගමන්.... න් න් නේද පොඩි මාමේ?”
“ඕයි..... මේකත් දැන් කඩයක්ද... බිස්නස් කරන ගමන් බැරි නම්, මේ ලඩේ වහලා හරි කිව්ව විදිහට කරනවා... වෙළෙඳාම නැතිවුණයි කියලා කෝටියක් පාඩු වෙන්නයැ.” 
මගේ ටෝන් එක හොඳ මදි හින්දාද කොහෙද දෙන්නාම කතා කළේ නැත. කැෂියර් කූඩුවෙන් පිටතට ආ මම ඇතුළු කාමරයට එබී බැලුවෙමි. වැඩිපුර ඇති අල, ළූණු තුනී කොට තියන්නෙත්, කෑම මේසයට ගන්නා පකිස් පෙට්ටිය තියෙන්නෙත්, කඩයේ පස්සා දොර තියෙන්නෙත් ඒකේය. 
මගේ ඇස් උඩ ඉන්දුණේය!
කාමරය හරියටම සුළි සුළඟකට අහුවී කඩා වැටුණු මුඩුක්කු පැල්පතක් වගෙය. අපිළිවෙලය; අපිරිසිදුය! කාමරය මුල්ලේ හිස් අරක්කු බෝතල තොගයකි. ඉඳුල් කෑම පෙට්ටි ගණනාවකි. බිම පුරා සිගරැට් කොට වරුසාවක ඉතිරි-බිතිරිය.
සුළි සුළඟකට මැදිවුණු මුඩුක්කු පැල්පතක් කඩා වැටුණු විදියටය......
එය එකම නරකාදියකි.......
ඉඳහිට වුණත් කඩේට ගොඩ වැදෙන ගනුදෙනුකරුවන් නිසා මගේ මුවත් අගුලු දමාගෙන ඉන්නටය, වෙලා තිබ්බේ. කෑකෝ ගැහුවොතින්  ලජ්ජාව අපටමය. 
‘දවස් දෙකයි!’ දත් අස්සෙන් කොඳුරා කියලා මම ගෙදර ආවෙමි.
දවස් දෙකක් නොගෙන, පහුවදා හවසම අපේ අනිල් ගෙදර ආවේය. 
කිසිම පොතක්- සටහනක් ගෙනාවේ නැතිවය ඔහු ආවේ. “ලොකා... මට වහ ටිකක් බොන්නයි වෙලා තියෙන්නේ!” මිනිහා කිව්වේ කිසිම පැකිළීමකින් එහෙම නොවේ. Don’t care තාලෙටය. හරියට මං කළ දෙයක් ගැන චෝදනාවක් කරන විදිහටය. අපේ අන්නා එහෙම වැඩවලට දෙයියෙකි.
“ඇයි?” මාත් ඇහුවේ කැත්තට පොල්ල වගෙය.
අයුතු තීන්දුවක් දුන් පිලාත් ආණ්ඩුකාරයා අත් සෝදාගෙන  පාපයෙන් නිදහස් වෙන්නට ගියත්...........
“අපි ඔයාට කිව්වෙ නැහැ, ලොකා. කඩේ දුවලා තියෙන්නේ පාඩු පිට. කඩේ ටිකක් නග්ගලා ගන්න කියලා ලොකු ණයකුත් ගත්තා. දැන් පොලිය ඩබල් වෙලා.... ලොකා, අපට කඩේ විකුණන්නයි වෙන්නේ. ගන්න කෙනෙකුත් මම හොයාගෙනයි තියෙන්නේ. ඒ මනුස්සයා හෙට උදේට සල්ලිත් අරන් එන්නං කිව්වා ඔයා කැමතියි නම්....” අන්නා කිව්වේ මා සිහිනයකින්වත් අහන්නට නොහිතූ කතාවකි.
කේන්තිය වෙනුවට මට ඇති වුණේ පසුතැවිල්ලකි.
වානිජ්‍යය හා ගිණුම් ඉගෙනගෙන තිබුණාට අන්නා කඩේ බංකොලොත් කරගෙනය. පොත්වලින්, වාර්තාවලින් මට පෙන්වා තිබුණු දියුණුව එහෙම පිටින්ම මායාවකි.
තමන්ගේ එකාට කඩේ වගකීම පවරන්නැයි  කී හැම එකාම ඒ වෙද්දී හිටියේ මුනිවත රකිමිනි. තම-තමන් එහෙම කතාවක් කිව්වාය කියලා සහමුලින්ම අමතක කරලාය. 
අනෙක් අතට තාත්තා.... ලොකු නංගී... අපේ පවුලේ දෙන්නෙක්ම සියදිවි නසාගෙන ඉවරය. ඒ ගොඩට තවත් එකෙකු යැවිය හැකිද? තීරණය තියෙන්නේ මා අතේය; වගකීම තියෙන්නේ මා අතේය! පිලාත් ආණ්ඩුකාරයා වාගේ තීන්දුවදී, අත් හෝදාගෙන ‘පව් අරවා ගන්න’ට බැරි වේලාවකි මේ.
උන් මහ අණක්-ගුණක් නැති මිනීමරුවෝ!
“කීයකටද ඔය කියන මනුස්සයා කඩේ ගන්නම් කිව්වේ? තමුසේ කීයක්ද ණය වෙලා තියෙන්නේ?”
අනිල් ගණන් හිලවු කිව්වේ කට පාඩම් කරගෙන හිටියා වගේය. 
ඇත්තම කියනවා නම් මට ඒ ගණන්වල කිසිම වැදගම්මක් තිබුණේ නැත. ලක්ෂ ගණනක් බව යන්තම් මතකය. ඉඩම විකිණිය යුතු ගණනත්, ගෙවීමට ඇති ණය ප්‍රමාණයත් අතර වෙනසත් අල්පයකි. ඒ චුට්ට ලැබෙන්නෙත් පස්සෙන් පහුය.
“ඒ කියන්නේ ඉඩම ලිව්වට සල්ලි ඔක්කොම හම්බ වෙන්නෙත් නැහැ. ඉතිරි සල්ලි හම්බවෙන්නෙත් පස්සේ?”
“ලොකා... ඔව්වා හොය-හොයා ඉන්න ගියොත් ණයකාරයා මාව මරයි. මාත් මුලින් එහෙම හිතුවේ නැහැ. උන් මහා අණක්-ගුණක් නැති මිනීමරුවොලු. ඔයා බැහැයි කියනවා නම්....”
අපේ පවුලේ බාලයෝ- පිටිපස වමේ සිට: මානෙල්, අජිත්, (ඉදිරියෙන්) දීපාල්, දීපානි, සමන්ති.
මගේ හිතේ තිබුණේත් ඉදිරි දිනයෙක අනිල්ටම කඩය පවරන්නටය. අනෙක් කඩය සුනිල්ගේ නමට ගත් නිසා, දැනටමත් එයාට පවුලෙන් යමක් ලැබිලාය. 
මානෙල් නංගි විවාහ කරදීලා ඉවර නිසාත්, බාලම තුන්දෙනා එංගලන්තයට එක්කගෙන ගිහින් නිසාත් ඉතිරිව ඉන්නේ අජිත් මල්ලීත්, මාත් විතරය. “ආච්චිලගේ ඉඩමෙන්- මහගෙදර වත්තෙන් මට අයිතිවෙන හරියකුත් අජ්ජාටම දෙනවා! ආච්චිලා කිය-කියා ඉන්නෙත් පර්චස් 34 ඉඩමෙන් බාගයක් අජිත්ට දෙනවයි කියලනේ.... අජිත්ව එයාල හදාගත්තු නිසා.”
මගේ අදහස කිව්වාම සුනිලුත් කිව්වේ එයාගේ අයිතියත් අජිත්ට දෙන බවය.
“එතකොට අජිත්ටත් සාධාරණේ ඉෂ්ට වුණා වෙනවා... මම දන්නවා සමන්තිලා දීපාල්ලා තුන්දෙනා ආයෙම ලංකාවට එනේකක් නැහැ. එයාලගේ කොටසුයි, මානෙල්ගේ කොටසයිත් අජියාටම දෙන්න යෝජනා කරන්නයි මං හිතාගෙන ඉන්නේ. කඩේ අනිල්ට දුන්නම මිනිහටත් ඔය පර්චස් එකක්වත් නැති අයිතිය අජිත්ට පවරන්න බැරිය.” 
මං සැලසුම් කරගෙන හිටියේ එහෙමය.
නංගිලා මල්ලිලා හැමෝමත් ඒ තීරණයට එකඟ වූහ!
මෙහෙම ලියන්නේ අපේ උරුමයන් ගැන පම්පෝරි ගහන්නට නොවේ. මගේ තිබුණු ඒකාධිපතිවාදීකම ගැන කියන්නටය.
එදා මා හිතුවේ හැම දෙනාටම සාධාරණයැයි මට පෙනෙන දේවල් ගැන විතරය. නංගිලා- මල්ලිලා හැමෝමත් ඒ අදහස්වලට විරුද්ධව කතා නොකළෝය. දැන් මට දැනෙන්නේ ලොකු අයියා වුණත් ඔවුන්ගෙන් නොවිමසාම, ඔවුන් වෙනුවෙන් තීරණ ගැනීම මා කළ වරදක් කියලාය.
“එතකොට පුතේ උඹට....?” ඇහුවේ ආච්චිය. “උඹට මොනවද ඉතිරි වෙන්නේ.... මොකෝ උඹ මහණ වෙන්න යන්නද හිතං ඉන්නේ?”
“බය වෙන්න එපා ආච්චියෙ. මට පුළුවනි මගේ ගැන බලාගන්න. වෙලාව ආවාම මම හම්බ කරගන්නම්... ඉස්සෙල්ලා මෙයාලගෙ යුතුකම් ටික කරලා ඉඳිමුකෝ!” 
දීපානි; චූටිම නංගී ඉපදුණු වෙලාවේ මම මටම පොරොන්දුවක් දීගත්තෙමි. ‘කවදා හරි නංගිලා-මල්ලිලා හැමෝටම එක්කෙනාට ලක්ෂය ගණනේ අයින් කරනකල් මගේ ගැන හිතන්නේ නෑ, නෑ, නෑමයි!”
චූටි නංගී දීපානිගේ දූ  ෂැනන්, දෙමාපියන් මැද්දේ..........
ජීවිතය කෙතරම් පුදුමාකාරද? 
ඊයේ දහවල් අම්මා කෝල් එකක් දුන්නාය. “රංජි පුතේ. චූටිගේ දුව ෂැනන් ලොකු ළමයෙක් වෙලා...” 
ඊළඟට මානෙල් නංගි.... “ලොකා,  ෂැනන්.... චූටිට ඕනිලු කෙල්ලව නාවන චාරිත්‍ර ටික හරියට කරන්න... මගෙන් ඇහුවා මොනවද කරන්න ඕනි කියලා.” 
ඒ කියලා ෆෝන් එක තියද්දී දීපානි ලයින් එකේය..... “ලොකූ... today is a very big day.... ඔයා දන්නවද?....”
“අනේ බං... එංගලන්තේ අනිත් අම්මලත් රෙදි නැන්දලා හොයනවද? ඊටත් මේ කොරෝනා හින්දා ගෙවල්වලටම කොටුවෙලා ඉන්න අස්සේ?” මම ඇසුවෙමි. ඒ ඊයේය. 2020 අප්‍රේල් 24 වෙනිදාය.
මේ එදාය. 1973 වසරේය.‘එයාලා හැමෝටම ලක්ෂය ගණනේ වෙන් කරනකල්....’ එතකොට මං හිතුවේ රුපියල් ලක්ෂයක් තියෙනවා නම් කෙනෙකුට කිසිම ප්‍රශ්නයක් නැතිව ජීවත් විය හැකිය කියලාය.
ලොකු සල්ලිකාරයන් පවා මන්දිර තුළ ගාල්වී............
2020 දී කොරෝනා ඇවිත් අපට තේරුම් කරදී තිබෙන්නේ අපේ තකතිරුකමයි. අද කෝටි-ප්‍රකෝටි ගණන් තිබෙන උදවියත් මර බියෙන් තැවෙති. ගෘහස්ත කූඩුවලට ගාල්වී හිඳිති.
එදා මගේ නුවණේ වපසරිය එච්චරට පටුය. 
උද්ධමනය ගැන, කාලයත් සමඟ මුදලේ වටනාකම පහත වැටීම ගැන කිසිම හැඟීමක් ඒ දවස්වල මට තිබුණේ නැත. දවල් හීනවලට සීමා-මායිම් පවුරු-පදනම් කොයිබින්ද?
අද චූටි නංගිත් එයාගේ දරු පැටවුන් පස්දෙනා ගැන හිතනවා ඇත්තේ මා සිතුවා මෙන්ම විය යුතුය. 
ජීවිතය කියන්නේ මේකද? දූ දරුවන් මතුයෙහි බලාපොරොත්තු ඇති කරගැනීමද? ඉතින් මගේ මතකය හරි නම් අප 1983 අවුරුද්දට ආපසු යා යුතුය. අනිල් මල්ලී බොරලැස්ගමුවේ කඩය විකුණන යෝජනාව ගෙනා කාලයට.....
දවල් හීනවලට සීමා මායිම්- පවුරු පදනම්- බාධක තිබිය හැකිද?
“කවුද බැහැයි කිව්වේ? අනෙක තමුසෙලා මට වෙන කරන්න දෙයක් ඉතිරි කරලත් නැහැනේ. කඩේ වගේ නෙවෙයිනේ. තමුසෙටත් මැරෙන්න දෙන්නයැ. තමුසෙට දෙන්න හිටි දේ තමයි තමුසෙම නැති කරගෙන තියෙන්නේ...”
පහුවදා උදේ අපි රාජගිරියට ගියෙමු. ඉඩමේ ඔප්පු ලියන්නට යොදාගෙන තිබුණේ එහිදීය.
රුපියල් ලක්ෂයක් හෝ ඊට ටිකක් වැඩි මුදලකි; එවෙලේ මගේ අතට ලැබුණේ. කලින්ම අනිල් ඒ මනුස්සයාගෙන් අත්තිකාරම් මුදලකුත් අරගෙන තිබෙන බව කියැවුණේ එහිදීය. මගේ කේන්තිය එහෙමම ගිලගන්නටය එතැනදී සිදු වුණේ. 
රාජගිරියේ සිට මහරගමට එන තුරුමත් අප දෙන්නා අතර කතාබහක් සිදු වුණේ නැත්තේ එතෙකුත් මගේ තරහ හිරවී තිබුණු නිසාවෙනි.
හරියටම මහරගම ‘සරසවි පොත්හල’ ඉදිරිපිටදී මම අනිල්ට කතා කළෙමි.
අප පාසල් යන කාලයේ මහරගම සරසවී පොත්හල තිබුණේ.......
අප පාසැල් යන කාලයේ මහරගම සරසවි පොත්හල තිබුණේ දැන් තිබෙන ස්ථානයේ නොවේ. දැන්  මහරගම සසිරි පොත්හල් තිබෙන තැනට යාබදවය. (එච්.ඩී. ප්‍රේමසිරි මහත්තයාත්, කුමුදිනී අක්කාත් අප දැකගත්තේ සරසවි සාප්පුවේදීය.)
“ආ, මෙන්න... ගන්නවා.” 
ඉඩම පවරද්දී ලැබුණු මුදල් සහිත බෑගය මම අනිල් අතට දුන්නෙමි. 
“වෙන විකුණන්න දේවල් නැහැ කියලා තමුසෙත් දන්නවනේ..... ආයෙම ණය වුණොත් තමුසෙට වහ බොන්නම තමයි වෙන්නේ.”
එක රුපියලක්වත් නොගෙන ලැබුණු සියලුම මුදල් අනිල් අතට දීලා ගෙදර එද්දී මට කිසිම දුකක් දැනුණේ නැත. දුක හිතුණේ ඊට සතියකට විතර පස්සේ දවසකය; එතෙක් එක එල්ලේ මට මුහුණ දීමෙන් වැළකී හිටි අනිලුත්, පොඩි මාමාත් දෙන්නා එකටම මා ඉදිරියේ පෙනී සිටි දවසේය. 
එහෙම වෙලාවට මා කරන්නේ ඉස්සර නොවී හිටීමේ ‘බලු වැඩේ’ය. එතකොට පළමුවෙන් කතා කරන්නට වෙන්නේ එයාලටමය. ඒකත් එක විදිහක දඬුවමකි.
ලොකා, xxx අක්කගේ රත්තරන් බඩු ටික..............?
“ලොකා.... xxxගේ රත්තරන් බඩු....” අන්නාම පටන් ගත්තේය.
“මට මොකටද ඕයි කාගේවත් රත්තරන් බඩු. ඔය පොඩි මාමා ඉන්නේ... එයාගෙ පවුලගෙ රත්තරන් බඩු මට මොකටද?”
එතකොටය පොඩි මාමාත් පැකිළෙමින් කට ඇරියේ. “නෑ රංජි, අපි ඒවාත් උගස් කරලා කඩේට දැම්මා....”
මම වෙවුලන්නට වීමි. 
“තොපි දෙන්නා නේද ඔය ණය වුණේ? කවුරු කිව්වටද? යසට තිබිච්ච කඩේ බංකොලොත් කරලා, ණය වුණයි කිව්වම... ඒකත් විශ්වාස කළා. ගොනා වගේ කට පියාගෙන, කඩේ විකුණලා සේරම සල්ලි උඹලට නේද යකෝ දුන්නේ, ණය ගෙවන්න. කඩේ සල්ලිවලින් බොන්නයි, මුළු බොරලැස්ගමුවටම ඉන්න සල්ලිකාරයෝ කියලා පෙන්නන්නයි, බූරුවා කෙළින්නයි ගිහින් ඒ පව්වලට තවත් කර ගහන්නද මට කියන්නේ? 
-ණය වුණා නම් උඹලාම ගෙවාගනිල්ලා. නැති නම් වහ බීපල්ලා දෙන්නත් එක්කම....”
නැත්තං තොපි දෙන්නම වහ බීපල්ලා!
මා වැරදි වෙන්නට හැකිය. එහෙත් තවමත් මා විශ්වාස කරන්නේ එදා ඔවුන් දෙන්නා තවත් ගණනක් කඩා ගන්නට තැත් කළ බවයි. 
එවෙලේ නම් මට ‘චී!’ කියා හිතුණි. එහෙම සහෝදරයෙකු, එහෙම ඥාතියෙකු මොකටද කියලා හිතිණි.
අදටත් මා නොදන්නේ ඒ ‘අවලස්සන සිදු වීමේදී’ අපේ ගෙදර කිසිම කෙනෙකු මා වෙනුවෙන් කිසිවක් නොදෙඩූ හේතුවයි. එදා සිට මම පොඩි මාමාත්, අපේ අනිලුත් එක්ක කතාව නැවත්තුවෙමි.
අපේ අම්මාගේ ප්‍රියතම පුත්‍රයා වුණේ අනිල් මල්ලීය. 
“ඉස්සර ඔයාලගෙ තාත්තා අනිල්ව කඩේ යැව්වම මිනිහා හොරෙන් කීයක් හරි ඉතිරි කරගෙන ඇවිත් මට දෙනවා....” මෑත දිනයෙකත් අපේ අම්මා කිව්වාය. එබඳු දේ වරදක් විදිහට අපේ අම්මා හිතන්නේ නැත. 
එංගලන්තයේ සිටින අම්මාගේ හොඳහිත වඩාත් වටිනා නිසා එදා අපේ ගෙදර අය අනිල්ට දෝෂාරෝපණය නොකොට නිහඬව සිටියාද?
කලකට පසු පොඩි මාමා  බිරියත් දරුවනුත් හැරදමා අතුරුදහන් වුණේය.....
මට පෙනෙන විදිහට වුණේ ‘එයාලා හැමෝම ශ්‍රී ලංකාවේ හිඳිමින් ශ්‍රී ලංකා not vs England වී අම්මාට පක්ෂපාත වෙමින් ලකුණු දමාගැනීම’ය. වවුලන් වහන්නේ පල ඇති රුකකය.
කලකට පසු මුලින්ම පොඩි මාමා අතුරුදහන් වුණේය. ඒ බිරියත් දරුවනුත් හැරදා යමිනි.
ඊළඟට සීයා, ආච්චී දෙදෙනා පරලෝකප්‍රාප්ත වූහ. 
අවුරුදු හතකට පෙර මල්ලිකාත්, ගිය අවුරුද්දේ අනිලුත් මිය ගියෙන් මේ විත්ති හොඳටම දන්නා තිදෙනෙක් පමණක් දැන් ඉතිරිව සිටිති. අපේ අම්මාත්, සුනිලුත්, මාත්. 
එහෙමය කියලා කතන්දරය වෙනස් කරන්නට බැරිය; ඇත්තම කිව යුතු බැවිනි. නමුත් සමහර තැනෙක විස්තර අඩු කරන්නට නම් සිද්ධ වුණේය. 100%ක් ඇත්තම කියලා පණ පිටින් ඉන්නා උදවියගේ හිත් රිදවන්නට මා අකැමැති බැවිනි෴