අකුරු මැකී නෑ

Wednesday, October 7, 2020

ආදර පූජාසනේ - නවවෙනි කොටස

මං හිතාගෙන හිටියේ අරූ හොර කොටුවක් පනින ....

අපේ කතාබහ අතරෙත් මහී එන-යන දුරකථන ඇමතුම් සම්බන්ධ කළේය. ඒ රාජකාරිය කරන හැටි මට පෙන්වලාත් දුන්නේය. එක දුරකථන සංවාදයකට හොරෙන් කන් දෙන්නටත් ඉඩ සලස්සලා දුන්නේය.

“අජන්ත එයි තව ටිකකින්... මම කියන්නේ අපෙ ගමේ යාළුවෙක් කියලා. බලමු මිනිහා මොනවා කියයිද කියලා, ඔයා කතා කරද්දී.....”

අජන්ත අප හිතූ තරම් මොට්ටයෙක් නොවීය. මහීගේ ගමේ මිතුරෙකු යැයි මාව හඳුන්වා දීමෙන් පසු මට කතා කරන්නට සිදු විණි. ඒත් මා කළේ අජන්ත අහන දේකට හැකි තාක් කෙටියෙන් උත්තර දෙන එකය.

ඊළඟට අජන්ත මහී ළඟට ගිහින් මොන-මොනවාදෝ රහසින් කටු-කුටු ගෑවේය. ඊළඟට දෙදරන හිනාවකි! දෙන්නාගෙන්ම!!

“මේකා හොරේ අල්ලා ගෙනනෙ නිමල්! ඔයාගේ කටහඬ අඳුනගෙන. ඒකයි රහසෙන් ඇහුවේ.” මහී සද්දෙන්ම කිව්වේය.

“පරයා! තෝ එහෙනං මාවත් ඇන්දුවා.... ගෙරි බල්ලා.” අජන්ත මහීගේ පිටට පහරකුත් ගැහුවේ ඇත්තටම වගෙය. “Sorry මචං. දැන් ඉතිං කෙල්ලෙකුට කතා කරනවා වගේ කතා කරන්න බෑනේ, හොරේ එළිවුණාට පස්සේ....” අජන්ත කිව්වේ මගේ ළඟටම ඇවිදින්, කර වටා අත දමා ගනිමිනි. “ඔයාට තෑග්ගක් දෙන්න ඕනෙ. ඒ තරං සුපර්, ඔයාගේ කතාව නං... ඇත්තමයි, මචං. මං හිතාගෙන හිටියෙම අරූ හොර කොටුවක් පනින බඩුවක් කියලා....”

මචං, උඹ ඌටත් talk කරලා ඌවත් අන්දන්න ඕනි නියමෙටම!
අජන්තත්, මහීත් දෙන්නාම එතෙක් කාලයක් එයාලට රහස්ව තිබුණු දේවල් මගෙන් අසා දැන ගත්තෝය.

“නිමල්, තරහ වෙන්න එපා. දැන්ම නොගියොත් මට train එක miss වෙනවා. ඔයා අජන්ත එක්ක ටිකක් කතා කරලානෙ යන්නේ. මම ආයෙ වෙලාවක call කරන්නං.” මහී පිටත්ව ගියාට පස්සෙත් අජන්ත කිව්වේ එයාට හිතිලා තිබුණු දේවල්ය.

“හංගන්න ඕනි නැහැනෙ මචං. උඹ කතා කරද්දී මට හිතුණෙම ලෝකෙම ගිලපු, පට්ට sexy බඩුවක් කියලයි. අම්මපා! උඹ මාරයි මචං.... මේ! මහියා කාපු ලණුව මටත් ගිල්ලෙව්වා. ඒ වගෙම මාත් අපේ යාළුවෙකුට ලණුව දෙන්නයි හදන්නේ.... මචෝ... බෑ කියන්න නම් බෑ. ජිනයා හරි උපාසකයා.....” අජන්ත හදන්නේ එයාගේ යහළුවෙකුටත් ද්‍රෝහී වෙන්නටය. මහී වගේම!

“අනේ.....”

“අනේ පනේ xකන කතා බෑ මචං. උඹ ඌටත් talk කරන්නම ඕනි. අපි එක්ක කළා වගේම. අපිට ඌත් එක්ක ඇරියස් එකක් cover කරගන්න තියෙනවා. අපේ යාළුවෙක් තමයි. උපාසක part දාගෙන ඉන්නේ. ඒකමයි, මචං උඹ මේ උදව්ව කරන්න ඕනෙ. උගේ ලජ්ජා-බය දෙකම නැති කරවන්න නියම බේත දීපං මචං...”

“එහෙම කරනවට මහී....”

“ඌ අත උඩින් හා කියනවා! පහුගිය ටිකේම ජිනසිරියා අපිට බැන-බැන හිටියේ ඔයා එක්ක වුණත් කතා කරනවට. වලත්තකං කරනවා කියලා. අනේ මචං.... ප්ලීස්, ඌව ටිකක් නටවලා ගනිං... උඹට තමයි ඒක පුළුවන්... ප්ලීස් මචං....”

තාපසයො වුව ලියතඹරේ බැඳේ!

‘තාපසයො වුව ලියතඹරේ බැඳේ’ පදයයි එවෙලේ මට මතක් වුණේ. ඒ දිනවල මගේ ප්‍රියතම ගීතයකි ඒ. ස්වර්ණා අබේරත්නගේ ගැයුමකි. ‘පතිවත මා රැකී - දුෂ්කර සීලෙකී - දොස නැති අඟනා - දෙවියෝද සුරකී!” මා අංගනාවක නොවේ; හිමාල වනයේ පිපෙනවාය කියන නාරිලතා මලකුත් නොවේ; රකින්නට පතිවතක් ඇත්තෙකුත් නොවේ.

එහෙත්, හින්දු දේව කතා රැසක තියෙන්නා වගේ, සිල් බිඳින්නට අභියෝගයක් නම් මා ඉදිරියේ ඇත!

නිමල් දිසානායක අභියෝගවලට මුහුණ දෙන්නට කැමතිය. ඒ හින්දා වෙන්නැති මගේ පඩත්තලකම ඉස්මතුව ආයේ.

මා ආපසු ආවේ අජන්තට ඒ උදව්ව කරන බවට පොරොන්දුවක් දීමෙන් පසුවය. අජන්ත ජිනසිරිට කිව්වේ මොනවාදැයි මං ඇහුවේ නැත. ඒ රාජකාරිය අජන්තම  බාර ගත්තේය. “උඹටනෙ බොරු කියන්න බැරි. අපිට නම් පුළුවන්.... එතකොටයි අහන්න හිතුණෙ. මචං, මෙච්චර දවසක් උඹ අපිට බොරු කියල නැද්ද?”

“පුළුවනි නම් මතක් කරලා බලලා පස්සේ හරි කියන්න. මම පිළිගන්නං.... හැබැයි මහත්තයෝ.... මෙච්චර දවසකට මම ඔයාල එක්කෙනෙකුටවත් බොරු කියල නෑ. හැබැයි ඇත්ත නොකියා හිටිය වෙලාවල්, බොරුවක් වගේ පේන්න ඇත්තෙන් කෑල්ලක් කියපු වෙලාවල් නං ඕනි තරම්.....” එහෙම කිව්වාමය, ජිනසිරිව සම්බන්ධ කර දීමේ වගකීම අජන්තම බාර ගත්තේ! පටන් ගැන්මේදීම තඩි බොරු දෙකක් ජිනසිරිට කියලා....

අපේ හමුවීම ඛේදවාචකයක් වන බව මට සිකුරුය......
එකක් නම. නිමල් නොවේ; නිමාලි. අනෙක ස්ත්‍රී-පුරුෂ භාවයයි. ‘මේ කෙල්ලෙකි.’

ඇත්තටම ජිනසිරි තාපසයෙකු වගෙය, කතා ලතාවෙන්!

සුනන්ද වෙත යන්නට කලින්ම මේ කාරණයත් කියන්නම ඕනිය. ජිනසිරිවත් මේ පටලැවිල්ලට ඈඳා ගැනීම ගැන මහීත් හොඳටම සතුටු වුණේය. ඔන්න යාළුවෝ!

   ඉඟියක් කර තිබුණි මතු සිදු වෙන      දේක

   කීවත් මෙසේ නොතැබිය යුතු වෙයි සෝක

   ඉතිහාසයට දස්කොන් නම තැබු        දේක

   මතුවට වුවද සිදු නොම වේවිද             ඒක

‘අපේ හමුවීම ඛේදවාචකයක් වෙන්නට ඉඩ ඇතැයි’ ලියලා යැව්වාමත් සුනන්ද ලීවේ එහෙමය. ‘එයාට දස්කොන් වෙන්නම ඕනි නම්.... මම මක් කරන්නද?’ මම සිතා ගත්තෙමි.

සුනන්ද ලුම්බිණි රඟහලට ආවේය. ටිකට් කවුන්ටරය ළඟදී ඒ මනුස්සයා කළු අක්කාට කතා කරන වෙලාවේ, මාත් හිටියේ පෙනෙන තෙක් මානයේය. කළු අක්කා එක විඩේම හැරිලා බැලුවේ මගේ දිහාවයි. ඒ මෝඩකම විතරක් කරලා, කළු අක්කා සුනන්දව රඟහල ඇතුළට එක් කරගෙන ගියාය. මං කළේ නොදැක්කා වගේ හොරගල් ඇහිලීමයි.

වියපත් වෙනවාට, රෝගී වෙනවාට මගේ තිබුණු අකමැත්ත ......

කිසිම සැකයක් නැත. ඒ සුනන්දම විය යුතුය! එහෙත් ඔහු මා සිතා සිටියාටත් වඩා වියපත්ය. ඇඳගෙන හිටියෙත් ජාතික ඇඳුමකි. ලොකු කුඩයකුත් එක අතකය. මට මගේ ගැනම තරහය. මගේ ගැනම ලජ්ජාය. ‘මේ නාකි මනුස්සයා එක්කද ගොනෝ උඹ හුරතල් වුණේ?’ මගේ හිත ඇහුවේය. ලජ්ජාවේ පණ යයි!

හිරිකිතයකින් වුවත් ඇත්තම කිව යුතුය. මට දැනුණේ සුනන්දගේ මහා බරපතළ වංචාවකට; රැවටිල්ලකට ගොදුරු වුණා වැනි හැඟීමකි. ඒ වැරැද්දම, ඒ රැවටිල්ලම මාත් ඔහුට කළ බව මට නිනව් වුණේ නැත. ඇත්ත දැන ගත්තාම සුනන්දට මොනවා හිතේවිදැයි මං හිතුවේ නැත. මට මොනවා හිතේවිද කියලා සුනන්දත් හිතන්නට නැත.

නිමල් දිසානායකගේ ප්‍රබල දුබලකමක් ගැන යළිදු කිව යුතුය.

රූපය දිරා යන දෙයකියි අහලා තිබුණා විතරය. දිලිසෙන සියල්ල රත්තරන් නොවේයැයි අහලා තිබුණා විතරය. මිනිසුන් වියපත් වෙතියි කියා හෝ රෝගවලට ගොදුරු වෙතියි කියා හෝ මා සිතා තිබුණේ නැත.

මගේම ලොකු මල්ලී මඳක් කළු පැහැති නිසා, මගේ පන්තියේ මිතුරන් ලවා ඔහුට ‘උලමා’ යැයි විහිළු කරවූ බව ඔබට කීවා මතකද? මා වයසට යනවාට, වැහැරෙනවාට තිබුණු බිය හා අකමැත්ත නිසාවෙන්මය, මා 55න් යන්නට සිහින මැව්වේ; පතාගෙන හිටියේ. අයෝබලත් වෙනවාට වඩා මරණය යහපත්ය!

කපාගත් දේවල් ... (බටලීයේ කජු ලියන් එදා තැඹිලි කපා දුන්හ!)
දෛවය මට නිසි දඬුවම දුන්නේය; නිකම්ම නොවේ. 55 ඉක්මවන්නට වරම් දුන්නේය; අබල-දුබල වෙන්නට හා වයසටත් වඩා වැහැරෙන්නට හේතුකාරක වෙන රෝගයකුත් bonus වශයෙන් දුන්නේය.

“අනේ නිමල් මල්ලී... දුකේ බෑ. සීයෙක්නේ..... ඒ මනුස්සයා පව්!” මාව හොයාගෙන ඇවිත් කළු අක්කා කීවේ එහෙමය.

“ඒක නේන්නං. මටත් එතනට ගිහිං ඒ මනුස්සයට මුහුණ දෙන්න බෑ වගේ!”

“අනේ මල්ලී.... එහෙම කරන්න එපා. පව්නේ.... ඒ මනුස්සයා තකහනියක් ඇවිත් තියෙන්නෙ දුරක ඉඳලා නේද?”

දැන් කරන්නට දෙයක් නැත. කපා ගත්තා නම් කර ගසා ගන්නටත් සිද්ද වෙයි. ඒත්, ඇත්තම කියනවා නම් මා සුනන්ද වාඩිවී හිටි තැනට ගියේ කළු අක්කාගේ පෙරැත්තය හින්දාමය.

“සුනන්ද මහත්තය නේද?” මම ඇසුවෙමි.

එතකොට මා කොණ්ඩය කපා දමලාය. අවුරුදු කිහිපයක් මෝරලාත්ය. සුනන්ද මා හඳුනා ගත්තේ නැත. ‘සුනන්ද මහත්තය නේද’ කියලා අහද්දීවත් ඔහුට මගේ කටහඬ අසා හුරු-පුරුදු එකක් ලෙසින් දැනෙන්නට නැතිය. ඒත් අජන්තට... එහෙම වුණේ නැත! මට හිතෙන්නේ එයටත් බලපාන්නට ඇත්තේ මගේ මනෝ භාවයන් බවයි!! වක්‍රව හෝ කෙලින්ම හෝ!!! මා එසේ කියන්නේ සහේතුකවය.

නපුරු mood එකකින් ඉන්නා විට කටහඬත් රළු වෙයි.....

කෙළිලොල් දඟකාරී හිතකින්, දයාබර සෙනෙහවත් හිතකින් යුතුව කතා කරන වෙලාවට මගේ නම් හඬ මුදුය; ප්‍රසන්නය. ගීතවත්ය කියලාත් හිතෙන්නේ මටමද මංදා.... නොරුස්නා; තරහ- නපුරු mood එකකින් ඉන්නා වෙලාවක නම් කටහඬත් රළු වෙයි; අප්‍රසන්න වෙයි. ඔයාලට එහෙම වෙන්නේ නැතිද? නැත්තං එහෙම වෙන විත්තිය දැනිලා නැද්ද?

එදා ලුම්බිණි රඟහලේදී සුනන්ද හමුවීමට යද්දී මං හිටියේ හොඳටම තරහෙනි. ඇත්ත! එය අසාධාරණය!! ඊට පස්සේ ඒ බව හිතුණු වෙලාවල් අනන්තය!!!

මා ප්‍රශ්නය ඇහුවේ කිසිම දයාවන්ත කමකින් නොවේ.

“ඔව්! මේ.....”

“මං නිමල්... නිමාලිය කියල හිතාගෙන සුනන්ද මහත්තයා කතා කළේ?”

එතකොට ලුම්බිණි රඟහල අඳුරු කොට තිබ්බේ නැත. එහෙම කෙරෙන්නේ නාට්‍යයක් හෝ ප්‍රසංගයක් හෝ පටන් ගන්නටය. එහෙම වුණත්, රඟහලේ අන්තිම ආසන පේළිය තරමක් අඳුරුය. ඒ මන්දාලෝකයෙන් වුණත් මට පැහැදිලිවම පෙනුණේ සුනන්දගේ නෙත් යුග දිදුලන අයුරුයි; කඳුළෙන් තෙමෙන අයුරුයි. කියලා කෙරෙව්වා වගේ එතකොටම පළමු සීනුව වැදුණේය. එයත් මගේ වාසියට හිට්ටේය.

“මං stage එකට යන්න ඕනි. සුනන්ද මහත්තයා ඉස්සරහට ගිහින් වාඩිවෙන්න. ඉන්ටවල් එකේදී කතා කරමුකෝ....” මං කිව්වේ එතැනින් ගැලවෙන්නටය.

මේක ගෙනාවේ නං නිමාලිට!

“මේක....” සුනන්ද අතේ තිබුණු පාර්සලය මට දික් කළේය. “ඔයාට නං නෙවෙයි ගෙනාවේ... නිමාලිට....” අසීරුවෙන් වදන් ගැට ගසමින් සුනන්ද කීවේ, මවාගත් අසරණ හිනාවකුත් එක්කය. “එපා නං අර කළු අක්කට හරි දෙන්න!”

වෙනින් වෙලාවක නම්, මට කියවෙන්නේ ‘එහෙනං ඉතිං නිමාලිටම දෙන්නකො’ වැනි දඟ කියමනකි. එක්කෝ කළු අක්කාට දෙන්නයි කී එකට කෙරෙන කටුක ඇනුමකි. ඒත් එවෙලේ පාර්සලය; දිනපොත අතට ගන්නා ගමන් මා ‘ස්තුතියි’ කිව්වා විතරය.

සුනන්ද ප්‍රතිභා ප්‍රසංගය නැරඹුවාද නැද්ද කියලා මා දන්නේ නැත. කොතරම් වෙලාවක් එහෙ රැඳී හිටියාද කියලාවත් මා දන්නේ නැත. විවේකය වෙද්දී ඔහු ලුම්බිණි රඟහලේ කොතනකවත් හිටියේ නැත..... එදායින් පස්සේ කවම කවරදාවත් මට කවි ලිපි එවීම හෝ දුරකතනයෙන් ඇමතීම හෝ කළෙත් නැත.

“හරි වැඩේනෙ නිමල්... මනුස්සයා මා එක්කත් තරහ වෙලාම තමයි. ඇත්තනෙ, තරහ වෙන්නම එපැයි. මං දීපු ලණුවනෙ. ටික දවසක් ගිහින්, හිත හැදුණාම සුනන්දම කතා කරයි....” පිරිමි ළමා නිවාසයේ පාලක දහනායක මහත්තයාට මේ ගැන කිව්වාම, කියැවුණේ එහෙමය.

“ඒ මහත්තයගෙ හිත හොඳටම රිදෙන්න ඇත්තේ, මට එයාගෙ නම කියවෙච්චි හින්දා....” කළු අක්කා කිව්වේ ඊටත් පස්සේ දවසකය.

“ඔයාට මම කිව්වනේ, මොකුත් දන්න බව අඟවන්න එපැයි කියලා.”

“ඔයා තරං මම සූර නෑනෙ නිමල් මල්ලී කතා කරනකොට. ඔයාද කළු අක්කා කියල අහද්දී මට නිකම්ම කියවුණා ‘ඔව් සුනන්ද මහත්තයා’ කියලා.”

කොල්ලා දැන් කිට මරලයි වැඩට එන්නේ!

සුනන්ද හිතන්ට ඇත්තේ දහනායක මහත්තයා, කළු අක්කා වගේ තවත් ගොඩ දෙනෙකු ඉදිරියේ ‘පච වුණාය’ කියලාය.

දවල් වැටුණු වළේ රෑත් වැටෙන්නා පට්ට මෝඩයෙකි! ඒ වගේම එකම වැරැද්ද මොන හිතකින් ආයෙ-ආයෙමත් කරන්නට පුළුවන්ද? අම්බානක් ගුටි නොකා, අතක්-පයක් නොකැඩී, බැනුම් කන්දරාවක් නොඅසා සුනන්දගෙනුත් ගැලවුණත්, ජිනසිරි එක්ක කතාබහ දුරට ගෙනියන එක ලෙහෙසි වුණේ නැත. මගේ අහිංසක ප්‍රයෝග මටම ඇති වෙමිනුත් තිබුණා වෙන්නැති. මට උවමනා කළෙම ජිනසිරිට ඇත්ත කියලා ඒ උගුලෙන් නිදහස් වෙන්නටය.

“පිස්සුද මචං.... ඌ දැන් මනමාලය වගේ. අළු ගසා දාලා ඉන්නේ.... ඉස්සර ඇඳුමක් ඇන්දෙත් ඕනැවට-එපාවට. දැන් බලන්න එපැයි, කොල්ල කිට මරලා වැඩට එන්නේ..... මායි මහියයි දෙන්නත් ගැඹුර දෙනවා.... කොයි වෙලාවක හරි කෙල්ල උඹව හොයාගෙන එනවා ෂුවර්ම තමයි කියල... ප්ලීස්... තව ටිකාක් ඌව අන්දෝපං නිමලෝ, හොඳ එකා වගේ!” අජන්ත බල කරලාම කිව්වේය. මහීත් අනුමත කළේය. ප්‍රතිභා show එක ඉවරවී තිබුණු හින්දා, මට නැවතත් විවේකය වැඩි වෙලාත් තිබුණානෙ!

“නිමාලි, මම අහන්නමයි හිටියේ. ඔයා කොහෙද ඉන්නේ?”

“පොළොව උඩ!”

“ඔය ඉතින්.... කොයි වෙලාවෙවත් මේ කෙල්ලගෙන් උත්තරයක් නං ගන්න බැරි හැටි! මම නම් ඉන්නේ මහරගමයි නාවින්නයි දෙකට මැද්දෙ.”

ලියාගන්නයි හදන්නේ! (අතීතයේ පොතුත් ලියවුණේ අතින්මය.)

මම තිගැස්සී ගියෙමි. ජිනසිරි මේ අහල-පහළම එක්කෙනෙකි. සමහර විට අප දන්නනා-හඳුනන කෙනෙකු වෙන්නටත් ඉඩ තිබේ.

“මොකක්ද අර දෙකට මැද්දෙ කතාව?”

“දෙකට මැද්දෙ කිව්වේ, මං ඉන්නේ නාවින්නේ පරණ පාරේ නිසා. ඔන්න ඔයා වෙලාවක එන්නකො, අපේ ගෙදර. මහරගමට එද්දී වත්තේගෙදර හන්දියට චුට්ටක් ඉස්සෙල්ලා නුගේගොඩට යන පරණ පාර තියෙනවනේ....”

තවමත් තිගැස්මෙන් හිටියත්, මං ඒ විත්තියක් පෙන්නුවේ නැතිය. “... තියෙනවා නං ඇති තමයි.”

“ඉන්නකො නිමාලි.... මම මේ ඔයාට පාර කියනවා.... හොයාගෙන ඇවිත් මාව හම්බ වෙන්න....”

“ආ, ඒකයි මේ. ඉතිං ඉතිං....? කියන්නකො එහෙනං.... මම මේ ලියාගන්නයි හදන්නේ ඔන්න....” හැකිතාක් අඟර-දඟර කරමිනි, මං ඒ හරිය කිව්වෙත්, මගේ කැළඹීම නොතේරෙන්නට.

“ඉස්සරෝම ඒ පාර තමයි තිබිලා තියෙන්නෙ. දැනුත් දෙහිවල-නුගේගොඩ 119 බස් එක යන්නේ ඒ පාරේ..... ඒ පාරේ උඩහට එනකොට.... නාවින්නේ ආයුර්වේදේ තියෙනවා. එකත් පහු කරලා එද්දී පතිරගොඩ පාර... අන්න ඒ පාරත් පහු කරලා ටිකක් එද්දී, වික්ටර් රත්නායක මහත්තයලගේ ගෙදරට.....”

ඔන්න ඔහොමය, ජිනසිරි එයා ගැන වගතුග සේරම දිගෑරියේ!

අපේ අම්මලා මේ දවස්වල මනමාලියො හොයනවා!
ඒ එයාගේ හැටි වෙන්නට ඇති කියලාය මං හිතුවේ.

“මේ, මට ඔයාගේ වයස කියනවද නිමාලි.”

“ඇයි.... හඳහන එපාද?” එහෙම උත්තර දීලාත් මම ඇත්තම කිව්වෙමි. ජිනසිරි එයා ගැන කොච්චර කිව්වත් මා නම් එහෙම කළේ නැත. මඟ හැරියා විතරය. එවේලේවත් ඒ අහිංසකයාට ඍජු පිළිතුරක් දෙන්නටය මට හිතුණේ.

වැඩේ වරද්දාගත් බව මට තේරුණේ ඊළඟ වතාවේ ජිනසිරි ටෙලිෆෝන් කළාමය.

“එදා ඔයා ඇහුව නේද හඳහන ඕනිද කියලා.... ඇත්තටමයි කියන්නේ... සහතිකවමයි.... ඔයාගේ හඳහන ඕනි... මට නෙවෙයි. අපේ අම්මට.”

මා දන්නා, එතැනට ගැළපෙනම වචනය වෙන්නේ ‘තක්බීර්’ කියන එකය. සමහරු නම් ඒ අදහස දෙන්නට ‘අන්දුන්-කුන්දුන් වෙනවා’, ‘පුදුමෙන් ගල් ගැහුණා’, ‘බිරාන්ත වුණා’ වගේ යෙදුම්වලින් එකක් පාවිච්චි කරති. ඉතිං, මම තක්බීර් වීමි; කරකවා අතෑරියා වගේ වීමි; උස්සලා පොළොවේ ගැහුවා වගේ වීමි.

මේ යක්ෂයා මගේ ගැන අම්මා එක්කත් කියලාය!

“කිව්වා.... හොඳ නැද්ද නිමාලි. මේ දවස්වල අපේ අම්මලා මට මනමාලියෙක් හොයනවා. කීප දෙනෙක්ම බලන්නත් ගියා... ඒත් එක්කෙනෙක්වත් මගේ හිතට ඇල්ලුවේ නෑ, ඔයා තරම්වත්.... ඉතිං මම අපේ අම්මට ඔයා ගැන කිව්වා.” ජිනසිරි කිව්වේ නවත්තමිනි. මං අහගෙන හිටියේ නොනවත්වමිනි; නොනවත්වාම පසුතැවිලි වෙමිනි.

දැන් ඉතින් අජන්තට හෝ මහීට හෝ කියා-කියා ඉන්නට දෙයක් නැත. එයාලාගෙන් අවසර අරගෙන ඉන්නට ගියොත් මා හිතන දේවල් කරගන්නට ඉඩ ලැබෙන්නේ නැත.

ඔයා දන්නවද මහරගම ලෙමන් හවුස් එක... පමුණුගම ලී බඩු සාප්පුව ළඟම...

“ඔයාට පුළුවනිද මාව හම්බ වෙන්න එන්න? මම එන තැනකට.....”

“අනේ. විහිළු කරන්න එපා නිමාලි.”

විහිළුවක් වෙන්නේ කවදාවත් නොදුටු කෙනෙකු හා විවාහ වීමට හිතන එක නේද? කේන්දර ගැළපුණොත් හරිද? විවාහයක් කියන්නේ සෙල්ලමක්ද? මෙහෙම හිතන මිනිසුන් තවත් ඉන්න පුළුවන්ද?

“විහිළුවක් නෙවෙයි. හොඳටම සීරියස්! මං එනවා මහරගම ලෙමන් හවුස් එක ඉස්සරහට!”

“අපේ මහරගමට..... ?”

“ඔයා දන්නවද ලෙමන් හවුස් එක ඉස්සරහ තියෙන 112 බස් holt එක. ඊට පිටිපස්සෙන් පරණ ගෙදරක ඩිස්පෙන්සරියක්ද කොහෙදත් තියෙනවා. එතැන....”

“ඔයා කතා කරන්නෙ හරියට එතැන හිටගෙන ඉන්නවා වගෙයිනෙ....” ජිනසිරි තවත් කෝටියක් දේවල් කිව්වේය. ඒත් මා කී වෙලාවටම එතැනට එන්නට පොරොන්දු වුණේය. එනවිට ඇඳගෙන එන්නේ මොකක්ද කියලාත් මම අසා ගත්තෙමි. නියමිත දවසේ වෙලාවටත් කලින්ම එතනට ගිය මා නැවතී උන්නේ ‘පමුණුගම ලී බඩු සාප්පුව’ ඉස්සරහපිටය.

ඒ ඇස්වල කඳුළු පිරීගෙන ආ හැටි මට තවම පෙනෙනවා වගෙය!
112 බස් නැවතුම වාහනයක් වැදිලද කොහෙද ටිකක් හොකර-බොකරවී තිබුණු එකකි. තරුණ හාදයෙක් එතනට ආවේය. ඇඳගෙන හිටියේ මට කියූ ඇඳුම්ය. මිනිහා උසය; උසේ තරමට මහතය; කොණ්ඩය පිටිපස්සට පීරලාය. එයා දැන් ඔරලෝසුව බලයි; පාර දෙපැත්තම බලයි. මම පාර පැනලා එතැනට ගියෙමි.

නිමාලි වුණේ නිමල් බවත්, ඒ සෙල්ලම මෙතරම් දුර යතැයි නොසිතූ බවත් මා ජිනසිරිට කියන්නට ඇත.

ඒ කටුක සත්‍යය හෙළි කිරීමේදී, එදා අප අතරේ හුවමාරු වුණු දෙබස්වල ඡායා මාත්‍රයක්වත් මට මතක නැත. ඒත් ඒ මුහුණත් සුනන්දගේ මුහුණ මෙන්ම ඇඬුම්බර වුණු හැටි, ඇස්වල කඳුළු පිරුණු හැටි නම් අද ඊයේ වගේම මතකය. ඒ මදිද? වැරැද්ද, ඒ මුහුණ සිතුවමට නඟන්නට මට තියෙන බැරිකමය෴

11 comments:

  1. ඔය අන්තිම පරිච්ඡේදයේ කියවෙන, ඔය දෙන්නා අතරේ හුවමාරු වුණු "දෙබස්" බොහොම සාමකාමී විදියට උනා කියලා තමයි හිතා ගන්න වෙන්නේ. එහෙම නැතිව ජිනසිරි හුදු හෙලුවෙන් ඇමතුවා නම් ඔයාට ඒවා මතක නැති වෙන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. ඒක හරි සෑම්!
      ජිනසිරි බොහොම අහිංසක තැන්පත් පන්නේ හාදයෙක්. shock වුණු පාර කඳුළු පුරවාගෙන කන් දුන්නා මිස වැඩිය කතා කළෙම නැති තරම්.
      මට හිතෙන්නේ හඳහනත් ඉල්ලුවේ එච්චරටම අහිංසක නිසා වෙන්නැති.

      Delete
  2. //මා දන්නා, එතැනට ගැළපෙනම වචනය වෙන්නේ ‘තක්බීර්’ කියන එකය.//
    මුස්ලිම් ආගමේ සලාත් හෙවත් දෙවියන් නැමදීමේ රකත් අංගයක් වන්නේ තක්බිර්
    (දෑත් ඉදිරියට හරවා මුහුණ දෙපසින් තබා ගෙන ,අල්ලාහු අක්බර්, යනුවෙන් පැවසීම​)
    මම හිතන්නේ ඔය වචනය අපේ ව්‍යවහාරයට එන්න ඇත්තේ එතැනින් වෙන්න ඇති.
    https://en.wikipedia.org/wiki/Takbir

    ReplyDelete
    Replies
    1. අසංග, ස්තුතියි ඔහොම බවක් පෙන්වලා දුන්නාට. මං ඔය විත්තියක් නිකමටවත් දැනගෙන හිටියේ නෑ.

      Delete
  3. මම ලඟදි බලපු YouTube video එකක තිබුන දෙදෙනෙකු අතර ඇතිවෙන ආකර්ශන (attractions) වර්ග පහක්.

    1. physical: තව කෙනෙක් hot, sexy නිසා ඇතිවෙන ආකර්ශනය
    2. financial: කෙනෙක් ලොකු රස්සාවක් කිරිම, හොඳ university/school එකකින් ඉගෙන තිබීම නිසා වෙන ආකර්ශනය
    3. mental: තව කෙනෙක් තමන් වගේම හිතනව කියල තේරිල ඇති වෙන ආකර්ශනය.
    4. emotional : කරුනාව, මයිත්‍රිය, අන් අයට උදව් කිරීම වගෙ ගුන ධර්ම තව කෙනුකුට තිබීම සහ තමන්ටත් ඒවා තිබීම නිසා වෙන ආකර්ශනය
    5. spiritual : ඉතාම deep-level connection එකක්, කෙනෙක් ලඟ ඉන්න කොට තමන්ගෙ සිතේ ඇතිවන සන්සුන්, ඒකාත්මික බව (peace and harmony) නිසා වෙන ආකර්ශනය.

    ඒ facilitator කිව්වෙ ඉහත 1, 2, 3 තමයි අපි සාමාන්යෙන් 'chemistry' කියල කියන්නෙ කියල. හුඟ දෙනෙක් relationships ඇති කර ගන්නකොට වැඩියම අවධානය දෙන්නෙ ඒ 1,2,3 ට. නමුත් කාලයක් යද්දි ඒ relationship එකේ 4, 5 නැතිවුනොත් ඒව toxic relationships වෙනව.

    කෙනෙක් බැඳලා හිටියත්, ලමයි හිටියත්, සීය හරි ආච්චි වුනත්, ඔය ආකර්ශන වලින් එකක් හෝ කීපයක් ඕන වෙලාවක තව කෙනෙක් ගැන ඇති වෙන්න පුලුවන්. නමුත් අපි ඒ ආකර්ශන පස්සෙ යන එක අපේ moral values අනුව තීරනය කරන්න වෙනව. (ඒකෙන් කියන්නෙ නැහැ ඒ පස්සෙ යන අය නරකයි කියලා).

    නිමල්ගෙ case එකේදි කට හඬට සුනන්ද ඇතුලු කට්ටිය ආකර්ශනය වුනු නිසා කෙනෙකුට ඒක කෙලින්ම ආකර්ශන අන්ක 1 කියලා හිතන්න පුලුවන්. නමුත් මම හිතන්නෙ අපේ කට හඬ, කතා කරන විලාශය, tone එක එහෙම ඉහත අන්ක 4 සහ 5 ත් reflection එකක් කියල. වර්ග පහකට වෙන් කරලා තිබුනත්, ඒ ආකර්ශන වර්ග අතර යම් කිසි overlap එකකුත් තියෙනවනෙ.

    ReplyDelete
    Replies
    1. Lotus,
      ගොඩාරියක් ස්තුතියි සාරවත් විස්තරේට. ඒක ගොඩක් අර්ථවත්.
      හැබැයි, මගේ ගැන හිතද්දී නම් 'පතාගෙන ආ හැටි' 'සසර පුරුදු අය' වගේ දේකුත් තියෙනවා.
      නිදහසේ මේ කරුණු 5 තව ටිකක් විග්‍රහ කරලා හිතන්න ඕනි ඒ කරුණත් මේවාට ගැනෙනවද කියලා.

      කොහොමෙන් හරි සමහර වෙලාවට කෙනෙක් ගැන ආකර්ෂණයක්, බැඳීමක් ඇති වෙන්නේ ඇයි කියලා නං හිතා ගන්නවත් බැරි වෙනවා.... මට!

      Delete
    2. theory එක හැම වෙලේම සැබෑ ජීවිතයට ගලපගන්න බැහැනෙ, නිමල්. ඕව විස්තර කරන්න ලේසියට එහෙම වර්ග කරාට, කොයි තරම් සන්කීර්නද. මට නම් ඔය සසර පුරුදු වගේ අය දැනෙන්නෙ අන්ක 4 හෝ 5. ඒ වගේ අය එක්ක කතා කරද්දි, ලඟ ඉන්න කොට හිතට දැනෙන සාමකාමී බව නිසා. romantic relationshipsම වෙන්න ඕනෙ නැහැ, යාලුවො, colleagues වුනත් ඒ විදිහට ගලප ගන්න පුලුවන්. අනිත් එක තමයි එතන spiritual කියන්නෙ, කිසි සේත්ම ආගමික (religious) කියන තේරුමෙන් නෙවෙයි. අධ්යාත්මික කියන එක, ගැඹුරු, ඔබ කිව්ව වගේම 'හිතා ගන්නවත් බැරි'.

      Delete
    3. මඩෙන් නැඟෙන නෙළුම් මලක්
      ගෙන දෙන මෙන් නෙතට රසක්
      Lotus ඔබෙ කමෙන්ටුවෙන්
      කියවෙයි දේවල් දාහක්!

      දිගට- දිගට හිතන්නෝනි
      ඒකට කාලයත් ඕනි
      ඒ සේරටමත් කලියෙන්
      තුති නෙළුමක් පුදන්නෝනි!

      මේ ඒකයි!!!

      Delete
  4. ඒ දේවල් අහවර කරන්න ඉදිරිපත් වුණු එකෙන් නිර්භීත බව වගේම දෙයකට නොපැකිළ මුහුණ දෙන බවත් පේනව. හැබැයි රජෝ ඔය එකෙක්වත් මං එහෙම උනානං, තනිකරම පිහියෙං අනින්නෙ... පිහියෙන්!!

    ReplyDelete
    Replies
    1. බුදු සංතෝ! ඩ්රැකී,
      මම බේරිලා තියෙන බේරිල්ලක්!

      Delete
  5. මට තේරෙන්නේ නැහැ මුන්නැහෙලා (උඩ ) ඔක්කොම බොට හොඳ කියන්නේ මොකද කියල. නසරාණි වැඩ කරලා. මට හෙම ඔහොම දෙයක් කළා නම් බෙල්ට් එක ගලවල දෙනවා පතුරු යන්න. හේ හේ

    ReplyDelete