අකුරු මැකී නෑ

Monday, November 16, 2020

රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස

පූර්ණ සූර්යග්‍රහණයක් දිස්වෙන්නේ.......
උපදේශයෙන් කියැවිලා තියෙන්නේ වදකහ මංචාඩියක් ගලගාලා දියරයකට මිශ්‍ර කරගන්නැයි කියලාය.

“හානේ! එහෙමද කියලා තිබුණය කියන්නේ... අපට පත්තර හම්බ වෙච්ච එකක්යැ පුතා. ආයෙ උගුරැස්සගහවත්තේ එක-එක්කෙනා කතා වෙච්චි එව්වා මිස?”

ඉතිං...

ඒ කාලේ ලෝකය හරිම සද්දන්ත; තඩි; බංගසාල එකකි.

අපේ රටේම වුණත්, දුර බැහැර පළාතකට යාම සැලකුණේත් වීර ක්‍රියාවක් වගෙය. මාර්ටින් වික්‍රමසිංහ ශූරීන්ගේ ‘ගම් පෙරළිය’ නවකතාවේ ජිනදාස ‘සිංහළේ’ට වෙළෙඳාමේ ගිය ගමන ගැන හිතුවොතින් ඒ කාරණාව තේරුම් ගන්නට පුළුවනිය. ඒ දවස්වල ‘කොළඹ’ කිව්වාමත් බදුල්ල මයිලගස්තැන්නේ උදවියට ලොකු බක්කකි!

ඉංග්‍රීසි කිව්වාමත් එහෙමය.

පඩ show දමන රාජපස්සියෝ! 

'සෝමා නංගී, කඩේ හීන් අම්මා' හා ඇගේ දියණියත් ගමේ ගැහැනු උදවියත් එක්ක කල්ලි ගැහී, තේ වතුවල දරට යද්දී අපේ අම්මා නොදන්නා ඉංගිරිසිය වහල් කරගෙන ‘පඩ show’ දදා හිටියාය කියන්නේ ඒ කාලයේය.

“ආය බොරු කියන්ඩය.... එයාලා කට්ටියම දෙමළ ගෑනුත් එක්කලා දරට යද්දී මම ඉංග්‍රීසි පත්තර කෑල්ලක් අරන් හැමෝටම ඇහෙන්ඩ ‘යස්... යස්...’ කිය-කියා හිටියා තමයි. පව් දෙයියනේ... එතකොට අපේ තාත්තා කියනවා -හා, උඹලා දරට පලයල්ලා, ඒකිට පාඩම් කරන්ඩ ඉඩ දීලා- කියල.....”

අවුරුදු 15-16 කාලයේදීම අපේ අම්මා දැමූ ‘දහංගැටය’කි ඒ.

“ලීලක්කා ඉංගිරිසි පත්තර කෑල්ල උඩ යට මාරු කරගෙන හිටියත් ආය, අපි දන්න එකක්ය රංජි පුතා ඒ දවස්වල? මං කියන එව්වා නෙවෙයි ආයෙ අපේ තාත්තා කනකට ගත්තෙ, ලීලක්කගේ කියුං නෙව ඉතිං...”

එහෙව් උදවිය රටේ සිද්ධ වෙන සේරම දේවල් දැනගත්තේ කාගෙ-කාගේ හෝ කටකතාවකිනි. දිනපතා සිංහල පත්තර විදිහට එකල පළවී තිබෙන්නේත් ‘දිනමිණ’ හා ‘ලංකාදීප’ පමණකි. ඒවා සති අන්තයේදී ‘සිළුමිණ’ හා ‘ඉරිදා ලංකාදීප’ වී තිබේ.

‘වර්ෂ 1955 ක් වූ ජුනි මස 19 වෙනිදා’ ඉරිදා ලංකාදීප පත්තරයේ ප්‍රධාන සිරස්තලය වුණේ ‘රටටම උඩ බැලෙන දා’ යන්නයි.
‘වර්ෂ 1955 ක් වූ ජුනි මස 19 වෙනිදා’ ඉරිදා ලංකාදීප පත්තරයේ ප්‍රධාන සිරස්තලය වුණේ ‘රටටම උඩ බැලෙන දා’ යන්නයි. ඊට යටින් පළවී තිබුණේ ‘ඉර -හඳ හටනේ පල-විපාක හෙළිවේ’ කියලාය.

ඉන් පසුව තවත් අනු මාතෘකාවක් හා විස්තරයකි.

“හෙට උදේ කාටත් උඩ බැලෙනවා ඇත.

කාලාන්තරයකට පසු හෙට උදේ සිදුවන අද්භූත සූර්ය ග්‍රහණය දැකීමට උඩ බැලුන පලියට බලා ඇස්වලට හානිකර නොගෙන, ඒ වෙනුවෙන් එකඟ කරගත් නියම උපකරණයක ආධාරයෙන් බලන්න.

ඉර මඬල මුවා කරමින් සඳ මඬල ගමන් කරන එම මොහොතේදී වැටෙන අන්ධකාරය නිසා වවුලන් ආදී කුරුල්ලන් පියාසර කරන්නටත් දිවා කල පිපෙන මල් හැලෙන්නටත් රාත්‍රියේ පිපෙන මල්වල පෙති පොපියන්නටත් පටන් ගනු ඇත.”

දිවා කල පිපෙන මල් හැලෙන්නටත්... (නීරමුල්ලිය; කටු ඉකිරි මල් පිපෙන්නේ දවාලටද? foto- චන්දන දිසානායක)

“අනේ රංජි පුතා අපට ඔව්වයේ වගක් තිබ්බය. කඩේ සීයා අපේ දිහාටත් පණිවිඩයක් නං එවල තිබ්බා. ගමේ මිනිස්සු හාල් තුනපහ- ලාම්පු තෙල් එහෙම වැඩියෙන් ගෙනියනවාය, උඹලටත් ඕනි නම් කඩේ බඩු ඉවර වෙන්න කලින් ඉක්මනට වරෙල්ලය කියලා....”

ලංකාවේ වැඩි දෙනෙකු හිතාගෙන හිටි බව පෙනෙන්නේ හිරු නොපෙනී යාම දිගු කාලයක් පවතිනු ඇතැයි කියලාය.

එතකොට නම් තියෙන්නට ඇති කලබලය- තදබදය හිතා ගන්නට අසීරු නැත.

අපේ ඇත්තන් කාලා මරණයට සූදානම්ය; නොකා මරණයට පණ බයය. මෙයාලා කොරෝනා හින්දා ඇඳිරි නීතිය දාන්නට හෝ lock down කරන්නට හෝ සැරසෙන ඉඟියක් හරි තියෙනවා නම් කඩවල්වල බක්කි- රාක්ක සේරම හිස් කරති. ඒ අතින් නම් අප අදත් එහෙමය; එදත් එහෙමය!

ඔවුන් කඳවුරු බැඳගෙන සිටියාය... (1863 ගත් foto එකක් නව තාක්ෂණයෙන් වර්ණ ගන්වා...)

11 වෙනි සියවසෙන් පසු එළඹෙන දීර්ඝතම සූර්යග්‍රහණය වන මෙය, මනාව දර්ශනය වන්නේ ශ්‍රී ලංකාව, ඉන්දියාව, බුරුමය වැනි රටවල් කිහිපයකට බවද කල් තබාම කියැවිණි.
ඒ නිසා විදෙස් රටවල් ගණනාවකින්ම විද්‍යාඥයින් රැසක් මේ සූර්යග්‍රහණය දැකබලා ගන්නට ලංකාවට පැමිණ තිබේ. වැඩියෙන්ම ඔවුන් කඳවුරු බැඳගෙන සිටියාය කියන්නේ පොළොන්නරුව, හිඟුරක්ගොඩ, සීගිරිය හා ත්‍රිකුණාමලය වැනි ප්‍රදේශවල හිටංය!

එහෙත් ජෝන් කොතලාවල අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් යුතුව තිබුණු ලංකාණ්ඩුවෙන් රුසියානු නිරීක්ෂකයන් පිරිසට පමණක් මෙරටට ඇතුළුවීමට අවසර ලබාදී නොමැත.

“පුංචිලා දැනගෙන හිටියේ නැද්ද ඒ විස්තර?”

“මොන දැනගැනිල්ලක්ද  මයෙ අම්මා? ඒවා කල්පනා කරද්දී නං සංසාරෙක හැටිය කියල හිතෙනවා. ඒ කාලේ අපි හීනෙන්වත් හිතුවද ලීලක්කා හැතැප්ම දාස් ගාණක් ඈත රටකට යාවිය කියලා. ඒ තියා පුතාලා සේරෝම කොළඹට පදිංචියට යාවිය කියලවත්......”

රෝහිණී-නාරද පවුලම දැන් වෙසෙන්නේ නෝර්වේ රටේය!
“ඒ වගේම නේන්නං, කවුද හිතන්න ඇත්තේ පුංචිගේ දුවල, පුතාල, මුණුබුරු-මිණිබිරියෝ එහෙමත් එක-එක රටවලට ගිහින් ඒවායේ පදිංචි වේවිය කියල...” මං ඒ කතාවට අගුල්පත් තිබ්බේ පරෙස්සමිනි. සෝමා පුංචිගේ හිත රිදවිය යුතු නැත....

දෛවය පුදුමාකාරය! නොහිතන දේවල් දෙන අතරවාරයේම, නොහිතන දේවල් උදුරා ගනියි.

මේ සූර්යග්‍රහණය සිදු වෙන දවසේ ඇය සිටියේ කුළුඳුල් දරු ලාභය අපේක්ෂාවෙනි. පසුව ඇයට උපන්නේ පුතෙකි. ඔහු ජයන්තය.

පුංචිගේ එක දියණියකගේ; රෝහිණීගේ විවාහය ලියාපදිංචි කළායින් පස්සේ ජයන්ත පිරිසක් සමඟ බදුල්ලෙන් පිටත් වුණේ ගම්පහට ඒමටයි. අතරමඟදී පිරිස දිය නෑමට නැවතුණේ, ජයන්තගේ දිවි ගමනටත් එතැනදී තිත තැබෙන බව නොදැනය. ජයන්ත එහිදී දියේ ගිලී මිය ගියේය.

ඒ විවාහය සිදුවී, දැන් ඒ පවුලම නෝර්වේ රටේ පදිංචිවී සිටී!

පූර්ණ සූර්යග්‍රහණයක අවස්ථා....

එහෙම වුණත් සෝමා පුංචිට දූවරුන්ගෙන් හා බෑනාවරුන්ගෙන් මදි නොකියන්නට සැලකුම් ලබන්නට පින තිබේ!
යා දුන්නේ නැත්තේ පුතාලාය. ඒ පවුලේ කොල්ලන් දෙන්නාගෙන් ඉතිරිව හිටි පුතා; නිහාල් තරුණ වියේදීම ඉතාලියේදී මිය ගියේ හෘදයාබාධයකට ගොදුරු වීමෙනි. 

“අනේ රංජි පුතා, මට අපේ ජයන්තව හම්බ වෙන්ඩ හිටිය නිසා එදා උදේම මාව කාමරේකට දාලා වැහුවත් එක්ක.... මට එදා ඉර එළිය වැටෙන එකත් හොඳ නෑ කියලයි එහෙම කළේ.... එහෙමයි ගෙදර අය මාවයි දරුවාවයි පරෙස්සම් කළේ...” ඔන්න පුංචිගෙන් පුංචි ඉකියක් ඇහෙයි. එයාව අඬවන එක පව්ය!

“....එතකොට ගෙදර අනෙක් කට්ටියට ඉර නැතිවෙන හැටි බලන්න වතුර බේසම හදලද තිබුණේ? මතකද, කලින් දවසක පුංචි කිව්වා රොබින් නිල් පැකට් හොයාගන්න තිබ්බ අමාරුව!”

“අනේ ඔව් පුතා. ආයෙ ඉස්සර ඉතිං ඉස්කෝල ඇඳුම්වලට නිල් දානවනේ. ඒ සැරේ කඩේ සීයලා කඩේටත් රොබින් නිල් පැකට් ගේන්ඩ වුණාලු තුන්-හතර පාරක්ම. ඒ තරමට එව්ව විකිණිලා ඕං....”

(සූර්යග්‍රහණය පියවි ඇසින් නොබලන ලෙසටත්, විශේෂ උපකරණ නැති නම් නිල් දිය කළ වතුර බේසමකට වැටෙන ඡායාවෙන් බලා ගන්නා ලෙසත් ජනතාවට දන්වා තිබුණේල.)

එතකොට තිබුණේ ‘Roibn’ නිල් පැකට්ටුය...

දැනුත් රොබින් නිල් පැකට් තියෙනවාද? දියර නම් තියෙනවාය!

කුරුළු බිත්තරවලින් ගොඩක්ම ඒවා සුදු, දුඹුරු වගේ පාටවලිනි ඇත්තේ. රොබින් කුරුල්ලාගේ බිත්තර තද නිල් පාටය. හොඳ වෙලාවට උන් ඉන්නේ ලංකාවේ නොවේ. මෙහෙ හිටියා නං මෙලහකට උන්ගේ බිත්තරවල පාටත් මොකක් හරි වෙලා අහවරය!

“ඉතිං... ඉතිං... ඔන්න පුංචිව කාමරේට දැම්මා..... දාලා ඉන්නකොට....?”

“අනේ පුතා, ඔන්න මට ඇහෙනවා කපුටොයි, කුරුල්ලොයි කෙළවරක් නැතිව කෑගහන්ඩ පටන් ගත්තා.... කරුවල වැටෙනකොට උන් කලබල වෙලා එහාට-මෙහාට පියාඹන්ඩ තියා ගත්තලු. හරකුත් උම්බෑ කියන්ඩ- කෑ ගහන්ඩ ගත්තා බයවෙලා....”

සූර්යග්‍රහණය ඇරඹුණු බව කියන්නේ උදේ අටයි විනාඩි එකොළහටය; 8.11ටය.

මේ දුර්ලභ දහවල් රාත්‍රිය වීම විනාඩි 7 යි තත්පර 8 ක් තිස්සේ පැවැතියේලු!

ඉස්සර බලධාරීනුත් නුවණක්කාර තීරණ අරං...

එදා බලධාරීන් අදටත් වඩා බුද්ධිමත්ව හා දැනුවත්ව සමහර තීරණ ගත්තු හැටියකි මට නම් පෙනෙන්නේ.

1955 ජුනි 20 වෙනි සඳුදා පාසල්වලට නිවාඩු දීලාය. බස් රථ ගමනාගමනය පැය 11/2 කට නැවැත්වීමටත් තීරණය කර තිබුණේලු.

“හිනා වෙන වැඩේ කියන්නේ රංජි පුතා, ඒ අස්සෙම අපේ ගෙදර එළිච්චියෙකුටත් පැටව් හම්බ වෙන්ඩ ගිහින් කෑෑෑෑෑෑෑ ගහන්ඩ ගත්තා.... පුතා දන්නවනෙ...එළුවෝ ගැට ගහන්නේ අපේ ගෙවල් පිටිපස්ස හරියේ.... කඳුරට මෙහායින්.... කුස්සිය පැත්තේ වතුර පීල්ලට කිට්ටුව, අර රෑ මනමාලි ගස් වැට තිබ්බ හරියේ.....”

එතකොට නම් සෝමා පුංචි 1955ටම ගිහිල්ලාය; එයාගේ ප්‍රහර්ෂය ටෙලිෆෝන් වයර් දිගේත් ගලාගෙන එනවා වගෙය. 

“.... පුතාලගේ තාත්තයි, ලීලක්කයි, අපේ තාත්තලයි ඔක්කොම ඉස්සරහ මිදුලේ.... අර ගල් වැටිය අද්දර අනෝදා ගහ ගාව වතුර බේසම ළඟ.... මට ඇහෙනවා එයාල කියන ඒවාත්...අන්න අන්න මෙන්න මෙන්න ඔන්න කිය-කියා... පුතාට කියන්ඩ ඉතිං මට තරහේඒඒඒඒ බෑ. රංජි පුතේ මං ගිරිය යටින් කෑෑෑෑෑ ගහලා.... කිව්වා -ආං එළිච්චිට පැටියා හම්බ වෙන්ඩ යනවාාාාාා- කියල.”

උඹලගෙ අම්මා ගෑනු මිස එළිච්චියෝ වදද්දී වින්නඹුකම් කරන්නේ නැහැලු....

“ඉතිං?”

“ගුණපාල අයියා මටත් වැඩිය හයියෙන් කීවා -මෙන්න සෝමා නංගී උඹලගෙ අම්ම කියනව එයා වින්නඹුකං කරන්නේ ගෑනුන්ට විතරය කියල-. ඇත්තමයි රංජි පුතේ, මට තරහටම හෝඕඕඕඕ ගාලා ඇඬුණා!” 

කිසිම එළියක් නොවැටෙන අඳුරු කුටියක හිරකොට සිටි සෝමා පුංචිට ඒ වෙලාවේ දැනුණු නොඉවසිල්ල මටත් බෝවෙලා වගෙය. “එතකොට කොහොමද පුංචිලා හදාගෙන හිටි වදකහ මට පෙව්වේ?”

“පුතාට වදකහ පොවන්ඩ????? පුතාලගේ තාත්තත් එක්ක...?????”

සිනිඳුවට ගලගා ගත් වදකහ මංචාඩිය තෝරාගත් දියරයක හෝ ජලයේ හෝ දියකොටගෙන සූර්යග්‍රහණය පැවැත්වෙන වෙලාවේදී තේ හැන්දක මාත්‍රාවක් පානය කරන ලෙසටය, පත්තරෙන් උපදෙස් දීලා තිබුණේ... ඒ උපදේශය... ‘සකල සිරින් පිරි සිරි ලංකාවේ දකුණු පළාතේ අති සොබනා - පතළ නමක් ඇති දෙනගම නම් ගමෙ එතනා යැයි අඟනක් උන්නා!’

(මේ ගීයේ ලින්කුවක් සොයා දීමෙන් විකුම් සිල්වා මහතාත් අපට කළේ ලොකු උදව්වකි, ඔබට ගොඩක් ස්තුතියි!)

සිහළ සිරිත ලෙස මඟුලක් කාලා ඈ කරකාරය බැඳ දුන්නා - අහල තිබුණු තානායමකට මධු සමය.....

එතනා හිටියාය කියන්නේ දෙනගමය. ‘සිහල සිරිත් ලෙස මඟුලක් කාලා...’ කියමින් එතනාගේ කතන්දරේ කවියෙන් කියමින් කවි කොළ විකුණන්නේ ක්‍රිස්ටි ලෙනාඩ් ප්‍රනාන්දු ‘චණ්ඩියා’ film එකේදීය.
ඒ කාලයේ මොකාක් හරි විශේෂ සිදුවීමක් වුණා නම් ‘පට ගාලා’ කවි කොළයකුත් එයි. මට මතක් වුණේ ඒ විත්තියයි.

මාත් පේව්මන්ට් එකේ රජවෙන කාලයේ කවි කොළ- කවි පොත් විකිණුවානේ.   

ඒවා අච්චු කන්තෝරුවෙන් තොග මිලට ගනිද්දී කවි කොළයකට වැය වුණේ සත දෙකහමාරකි. සති පොළවල- පදික වේදිකාවල එකක් විකිණුවේ සත දහයකටය. නමුත් සමහරු නම් අලුත්ම කවි කොළයක් සත විසිපහ ගණනේත් විකිණූහ.

‘ඒ උපදේශය...’ කියන තැනදී ‘කවි කොළය’ වෙත පීලි පනින්නට හිතුණේ ‘වදකහ සුදිය’ ගැන කවි කොළයක් පළ වුණු බවක් මෙතෙක් මට දැන ගන්නට නැති නිසාවෙනි. සූර්යග්‍රහණය ගැන නම් කවි කොළයක් පළවී තිබිණිලු. විස්තර ලියා-කියා ඇති උදවියට එය ගර්හිත කලාවක් ලෙස පෙනුණාවත්ද මන්දා.... එහෙමත් නැතිනම් සුදිය ගැන ලියාපු කවි කොළ තවම මගේ ඇස ගැටී නැතිවාවත්ද?

කියන්නං රංජි පුතේ කියන්නං! කසාදියටත් ඉස්සර ඉඳලා....

තවත් කාරණයක් මට හිතෙයි. අනුන්ට වැරදුණාම ඒවා වමාරා; හප-හපා තලු මරන්නට අප කැමැතිය; ඒත් තමන්ටම වැරදුණාම ‘මීක්’ කියන්නෙත් හරිම අකැමැත්තෙනි. 

ඒ කාලයේත් සිරි ලංකාව පුරාම අතිසාර්ථකව ආරංචි පැතිර ගියේ කටින්-කටය! අද වගේමය!!

“ඔව් මයෙ අම්මා.... ඒක නං ඇත්ත.... එතකොට ඉතිං කපුටු පිහාට්ටක් වමනේ ගොඩේ තිබ්බ  කතන්දරේ අන්තිමට යද්දින් කපුටො හත් දෙනෙක් වමනෙ කළා වෙනවලුනේ....”

“ඉතිං පුංචි කිව්වේ නැහැනෙ මට....”

“කියන්නං පුතේ කියන්නං. දන්නවනෙ පුතාලගෙ තාත්තා මහා වසවර්තියානේ.... කසාදියටත් ඉස්සරම  ලීලක්කාට නීති දාලා තිබ්බේ මොනයම්ම දෙයක්වත් එයාගෙන් හංගන්ඩ බැහැයි කියලා.... මොනයම්ම දෙයක් වුණත් කරන්ඩ කලින් එයාගෙන් අහලා ඉන්ඩත් ඕනෑ.... මං හිතන්නේ ලීලක්කයි මමයි හොරෙන්ම වදකහ උරච්චි කරලා සූදානං කරගත්තට මොකෝ, පුතාල අම්මා ඒක තාත්තට කියන්ඩ ඇති....”

ඇති නොවේ, කියලාය! බයටම!!

වදකහ සුදිය බීපු අයගෙන් ඉස්පිරිතාල පිරෙන්නට....

“මේ ලීලා, තොටයි සෝමා නංගිටයි රංජියගේ ලස්සන මදි වුණාට කමක් නැහැ. මූට මේ තියෙන ලස්සන හොඳටෝම ඇති. මගෙ කොල්ලට එහෙම ඔව්වා පොවලා යන්තං හරි ලෙඩ වුණොත් මම තොපි දෙන්නම බාවලා එල්ලුම් ගස් යනවා. සෝමා..... උඹටත් එක්කයි මං මේ කියන්නේ... ඇහුණානෙ- කියලා මම එදා සත්තම දාපු නිසයි රංජි උඹ බේරුණේ....”
අපේ තාත්තා ඒ ගැන කතා බහේදී එයාගේ ගෝරනාඩුව ගැන මට කියා තිබුණේ ගොඩ කාලයකට කලින්ය.

වදකහ පොවාපු හෝ බීපු හෝ උදවියගෙන් කවුරුන්වත්ම එල්ලුම් ගස් ගිහින් නැතිය. එහෙත් බුරුතු පිටින් ඉස්පිරිතාලවලට නම් ගාල්වී ඇත.

“....වතුර ටික ටික දාලා වදකහ කෑල්ල උරච්චි කර කර කෝප්පයකට දාගත්තා. ඊට පස්සේ වදකහ කෝප්පය තැනක හංගලා සූර්යග්‍රහණය වෙනතුරු බලාගෙන හිටියා. අපේ අම්මා වතුර බේසමකට නිල් දිය කරලා මිදුලේ තියාගෙන සූර්යග්‍රහණය නරඹන්න සූදානම් වෙලා හිටියා. අපේ නංගිලයි, අයියලයි, ලොකු අක්කයි ඒ බේසම වටේ හිටියා. මමත් එතැනට ගියා.

කරුවල වෙනවත් එක්කම මම ගෙට දුවලා....

-කරුවල වෙනවත් එක්කම මම ගෙට දුවලා හොඳටම කරුවල වෙච්ච හැටියේ වදකහ කෝප්පය අරගෙන බීගෙන බීගෙන ගියා.

-ටිකක් දවල් වෙද්දී ඇඟට පණ නැති වෙනවා වගේ දැනුණා. වමනේ යන්න පටන් ගත්තා. මට සිහිය නැති වුණා. සිහිය එනකොට මම හිටියේ ඉස්පිරිතාලේ. නැඟිටලා වටපිට බලනකොට වදකහ බීලා ඇවිත් ලෙඩ්ඩු ගොඩක් ඉන්නවා මම දැක්කා. දොස්තර මහත්තුරු හෙදියෝ හිනා වෙවී අපට බැණ බැණ බෙහෙත් දුන්නා. ඒ වෙලාවේ හරිම ලැජ්ජාවකුත් දැනුණා.

-ඔන්න ටික වෙලාවකට පස්සේ අපේ හිච්චි අක්කත් වමනේ දාන්න පටන් අරගෙන ඉස්පිරිතාලෙට ගෙනාවම තමයි මම දැන ගත්තේ ලස්සන වෙන්න කියල එයත් හොරෙන්ම වදකහ සුදිය බීලයි කියලා.”

එහෙම කියා තියෙන්නේ පාදුක්කේ පීටර් සිංඤෝ මහත්මාය.

ඒ විත්තිය 2009 ජුනි මස 26 වැනිදා ‘දිවයින - ඉරිදා සංග්‍රහය’ට ලියා තිබුණේ තුෂාරි කළුබෝවිලය.

කොරෝනා ලෙඩුන්ගෙන් ඉස්පිරිතාල පිරෙනවා වගේ නෙවෙයි.... එකම දවසේ දසදහස් ගාණක්....
“එදා අපට කිසිම ඉස්පාසුවක් තිබුණේ නැහැ. ලෙඩ්ඩු එනවා එනවා ඉවරයක් නැහැ. අන්තිමට ඇඳන්වල ඉඩත් නැහැ. මුළු ඉස්පිරිතාලේම තිබුණු බාස්කට් අරගෙන හැම ලෙඩාටම එක බැගින් වමනේ දාන්න කියලා දුන්නා. අන්තිමට කුණු බාස්කට් අස් කරලා සෝදලා ඒවත් ලෙඩ්ඩුන්ට දෙන්න වුණා. ඒවාත් මදි වුණා.....”
තුෂාරි වාර්තා කර තිබුණේ ‘ලස්සන වෙන්න වදකහ බිව් හැටි!’ යනුවෙන් ලියූ ලිපියෙදීමය.

ඇයට ඒ රෝහල් විස්තර සපයා තිබුණේ හෙද නිලධාරිනියක ලෙස සේවය කළ හෝමාගම මල්ලිකා මහත්මියයි.

“නරකමත් නෑ නේද අනෝමා නංගී ‘වදකහ සුදියෙ’ කතන්දරේ....” මම ඇසුවෙමි.

“ඒක නේන්නං රංජි අයියා. එව්වා නොබිව්වට ඔයා තවමත් ලස්සනට ඉන්නේ!” (අනෝමා නංගී කියන්නේ එයාගෙත් ඇස් පෙනීම දුර්වල වෙලා නිසා වෙන්නැති.)

fotoස් හොයා දෙන්නට මදාරා ඉන්දීවරී, ප්‍රභාෂි වර්ෂා දූලාත් වෙහෙසුණාහ.....

ඉතිං, විටින්-විට කියවී තිබුණු- විමසන විට නැවත කියන-කියැවුණු දේවල් මේ පෝස්ටුවේ නිවැරදිව ලියැවී තිබේදැයි බලන්නට ගොඩක් මහන්සි වුණේ සෝමා පුංචිගේ ලොකු දෝණියන්දෑ; අනෝමා මානෙල් නංගීය. fotoස් හොයා එවන්නට මදාරා ඉන්දීවරී, ප්‍රභාෂි වර්ෂා දූලාත් වෙහෙසුණාහ. පුංචිට වගේම ඔයාල හැමටමත් ගොඩක් ස්තුතියි!

අනෝමා නංගී, ‘තවමත් මං ලස්සනයි කිව්වටත්!’ විශේෂයෙන්ම.....               

ඉතිං එදා; ‘රටටම උඩ බැලෙන දා’ අපේ තාත්තාගේ ‘ගෝර+නාඩුව’ නිසා මට වදකහ සුදිය පෙවීම වැළකිණි. මෙදාත් මොනයම්ම හෙයියම්මාරුවකින් හෝ මේ ‘කොරෝනා නඩුව’ නිසා ‘රටටම බැඩ උලෙන දා’වක් උදාවීම වැළකී යේවා කියා මුළු හදවතින්ම ප්‍රාර්ථනා කිරීම පමණකි, මා වැනි පුඟුලෙකුට කළ හැක්කේ. හිතාදර ඔබ හැමටත් ඒ පැතුම පතන්නට එකතු විය හැකිය෴

12 comments:

  1. ඒ කාලේ වදකහ බිව්වේ නොදන්නා කමට කියලාවත් හිත හදා ගන්න පුළුවන්. ගඟට කලගෙඩි අතෑරලා කොරෝනා දුරු වේවි කියලා හිතන මිනිස්සුන්ට වඩා වදකහ බීපූ මිනිස්සු තව හොඳයි.

    ReplyDelete
    Replies
    1. ඇත්තමයි සෑම්! එන්න එන්නම අපේ උදවියගේ බුද්ධි මට්ටම පහතට යනවද- යවන තැනට වැඩ සිද්ධ කරනවද මන්දා...

      Delete
  2. https://en.m.wikipedia.org/wiki/Bluing_(fabric)

    ReplyDelete
    Replies
    1. දැනුවත් කිරීමට ගොඩක් ස්තුතියි Pra Jay!

      Delete
  3. දැන් කාල‌ෙ දැන දැනත් කරන ගා‌ෙං කම් වල හටිට‌ෙ ඔය න‌ොදැන කල වැඩ‌ේ මුහුද‌ෙන් වතුර හැන්දක් වග‌ේ කියලයි මට නම් හිත‌ෙන්න‌ෙ

    ReplyDelete
  4. වැඩේ කියන්නේ මධු, මේ ගොන්කම් තව වැඩි වෙන එකනෙ!

    අපි අතීතයෙන් පාඩම් ඉගෙන ගන්නෙම නැද්ද?

    ReplyDelete
  5. මෙතන වුනේ කටිං කට ආරංචි ගිය නිසා මාත්‍රාවට වැඩියෙන් බීපු එක නේද? අර කිව්ව විදිහට මංචාඩියක ප්‍රමාණෙ ගල ගාල බිව්වනං, ලස්සන නොවීම කොහොම වෙතත් ඔහෙම වමනෙ යන එකක් නෑ.

    ReplyDelete
    Replies
    1. අපිට ඕන මහාපරිමාණ යෙන් නොවෑ
      අනේ මගේ එමලි පනේ
      කියන්න කෝ ඇත්ත අනේ
      බිව්ව නේද වදකහ සුදිය

      Delete
    2. අපිට ඕන මහාපරිමාණ යෙන් නොවෑ
      අනේ මගේ එමලි පනේ
      කියන්න කෝ ඇත්ත අනේ
      බිව්ව නේද වදකහ සුදිය

      Delete
    3. අපිට ඕන මහාපරිමාණ යෙන් නොවෑ
      අනේ මගේ එමලි පනේ
      කියන්න කෝ ඇත්ත අනේ
      බිව්ව නේද වදකහ සුදිය

      Delete
    4. තුං තුඹ මල් - තුඹ මල්
      තුං තුඹ මල් - තුඹ මල්
      තුං තුඹ මල් - තුඹ මල්

      Delete