අකුරු මැකී නෑ

Thursday, November 26, 2020

පතාගෙන ඇවිත්... - දෙවෙනි කොටස

ගෝල බාලයන්ට සැර කෙනෙක් වුණත් ඒ ටීචර් පුතාලා දෙන්නාට පත්තිනි අම්මෙක් වුණාය.

“ආනේ ඇත්තද? කුමුදුල අම්මේ, අපේ ගෙදරින් මායි සුනිලුයි ඇරෙන්න සේරමලා මුලින්ම ගියේ එහාට තමයි....”

පස්සේ සෝදිසි කරලා බලද්දීය එළි වුණේ ඒ ටීචර්ගේ සැර. ඉස්කෝලේ පුරාම ඇයව හැඳින්වුණේ ‘ කාලි අම්මා’ නමින්ලු. 

ඉස්කෝලේ ළමයින්ට කොච්චර සැර වුණත් තමුන්ගේ දරුවන් දෙන්නාට නම් ඒ අම්මා ‘පත්තිනි අම්මා’ තරමටම කරුණාවන්ත වුණු බවට මම සාක්ෂි දරන්නෙමි. ඒ අවුරුදු ගණනාවක් තිස්සෙම කුමුදුලාගේ ගෙදරට ආ-ගිය වෙලාවල අහන්නට- දකින්නට ලැබුණු දේවල් හින්දාය.

මට එහාට යැවුණේත් අමුතුම ක්‍රමයකටය!

අමද්‍යප තරුණ පුහුණු මුද්‍රණාලයේ පුහුණු වෙන පිරිසට මාසය අගදී වැටුප් ගෙවූ දාට පසුවදා අපේ මිතුරන් තිදෙනාගේ කතාබහ වෙනස් වෙයි. එදාට එයාලා කතා කරන්නෙම කලින් දවසේ බැලූ චිත්‍රපටයක් ගැනයි. එහෙම කතාබහ කෙරෙන්නේ අපේ කෑම වේලාවේදීය.

‘ඊයේ එයාලා මොකක්ද බැලුවේ- කොහෙදිද බැලුවේ- කීයටද ගෙදර ගියේ’ වගේ සේරම ‘දත්ත’ මට නිකම්ම එකතු කර ගන්නට ලැබුණේ ඒ සංවාද තුළින්ය.

පඩි ගත්තු ගමන්... (මේ 1963 දී නුගේගොඩ ක්වින්ලන් සිනමා ශාලාවයි.)

මාස දෙක තුනකට පස්සේය, මගේ විශ්ලේෂණ ආශ්‍රයෙන් මා දොඩමළු වුණේ.

“කුමුදුටයි, ඒකනායකටයි වැඩිය නිදහසක් ගෙදරින් තියෙන නෙවිල්ටත් එක්කම කියන්න දෙයක් තියෙනවා.... හැබැයි මේක අහන-නාහන එක ඔයාලගේ වැඩක්. ටිකාක් හරි ඔයාලට වැඩිය වැඩිමල් කෙනෙක් විදිහටයි මම මේක කියන්නේ ...

-ඔයාලා තුන් දෙනා මටත් වැඩිය මහන්සි වෙලානේ මාසයක් පුරා press එකේ වැඩ කරන්නේ.... එහෙම කරලා; මාසයක් පුරා වැඩ කරලා අතට ගන්න ඩිංගත් ගෙදරට ගෙනියන්නේ නැතිව කෙළින්ම film hall එකකටයි, මොකක් හරි හෝටලේකටයි ඉස්-ඉස්සෙල්ලාම වියදම් කරන එක හොඳයිද?

-පොඩි පඩියක් වුණත් ඒක හරි ගෙදරට අරගෙන යන එකත් සිරියාවන්තකමක් කියලා හිතෙන්නැද්ද? එහෙම කරලා ඊට පහුවදාට බැරිද ඔය film බැලිල්ලයි... හෝටලේකින් කන්න යන එකයි කරන්න...”

මගේ කීම එයාලා තුන් දෙනාගෙම හිතට වැදුණා වගෙය පෙනුණේ.

“...films විතරක් නෙවෙයි... හොඳ නාට්‍යවලුත් ගොඩක් තියෙනවා... මාත් එක්කම යංකො දවසක එකක් බලන්න....”

නාට්‍ය බලන්න ගියාම නං වෙනදට වඩා රෑ වෙයි නේද?

ඊට පස්සේ දවසක එහෙම යන්නට ලැහැස්ති වුණාම, කුමුදුලාල්ට ප්‍රශ්නයක් මතු වෙලාය.

“බැහැ නිමල් අයියේ.... අපේ අම්මත් එක්ක බැහැනෙ. මෙච්චර දවසක් අපි film එකක් බලන්න ගියෙත් ගෙදරට හොරෙන්. ඔයාම කිව්වනේ නාට්‍ය බලන්න ගියාම නං රෑ වෙයි කියලා. ඉතිං මං මොනවද ගෙදරට කියන්නේ?”

“ඇයි ඇත්තම කියන්නේ නැත්තේ? කෙළින්ම අම්මට කියන්න ඔයා යන්නේ අපිත් එක්කය කියලා.”

“කිව්වට එයා කැමති වෙන්න එපැයි.”

“හරි.... අද හවසට ගෙදර යන ගමන් මමත් එනවා ඔයාලගේ ගෙදරට. මම අම්මට කතා කරන්නංකො.”

එහාට ගියාම කතාබහ පටන් ගැනුණු විදිහ හෝ පවත්වාගෙන ගිය විදිහ හෝ එච්චර වැදගත් නැත. මට මතකත් නැත.

හොඳටම මතක තියෙන්නේ ‘කාලි අම්මා’ ටීචර්; ගම්ලත් ටීචර් එතෙක් දැනගෙන නොහිටි පාඩමක් එදා ඉගෙන ගන්නට ඇති බවය.

හිතවතෙකුගේ මංගල්‍යොත්සවයකට ගිහින්- කුමුදු, නෙවිල්, විජිත් හා නිදි 

“අම්මේ.... තවමත් අම්මට කුමුදුව පොඩි පුතා වුණාට එයත් දැන් ඉලන්දාරියෙක්නේ. චිත්‍රපටියක්, නාට්‍යයක්, සංගීතයක්, පෙරහරක් වගේ දේවල් බලන්න යන්න හිතෙන්නේ මේ කාලෙටනෙ... තමන්ට එච්චර ආසාවක් නැතත් යාළුවො යනකොට යන්න හිතෙනවනෙ.... අම්මාම වුණත් කෙල්ල කාලේ කොහොමද හිතන්න ඇත්තේ.... මතකයිද?” මං ඔහොම දේවල් කියද්දී කුමුදුල අම්මා මෝදු වෙනවා දැනුණේය.

“....කුමුදු අම්මට ඇත්තම කියලා එහෙම ගමන් යන එක හොඳයි නේද, වෙන-වෙන බොරු කියලා යනවට වඩා?”

“නෑ... නෑ... නිමල්. අපේ පොඩි පුතා මට එහෙම බොරු කියන්නෑ...”

“කොච්චර එකක්ද කුමුදුල අම්මේ? කොච්චර එකක්ද? අම්මට ඔච්චර ආඩම්බරෙන් ඔය කතාව තව ගොඩාරියක් කල් කියන්න වාසනාව ලැබෙන්න ඕනි. මාත් එයාට කතා කළා, අපේ කට්ටිය එක්කලා නාට්‍යයක් බලන්න යන්න. ගිය සතියෙ... මේ හාදයා බැහැයි කිව්වනේ... අම්මා එපැයි කියාවි කියලා...

-මගෙත් එක්ක සැරෙන්-සැරේ කුමුදුම අම්මලා ගැන කියලා තිබුණු දේවල්වලින් මම තේරුම් අරන් තිබ්බේ, අම්මා කොහොමද හිතන්නේ කියලා. අම්මත් ටීචර් කෙනෙක්නෙ....

නෙවිල් අම්මාටත් මාව හඳුන්වා දුන්නේය!

“ඉතිං නිමල්ලා නාට්‍යය බලන්න ගියාද?”

“නෑ, නෑ. තාම ගියේ නෑ. මට හිතුණා ඇවිත් මමම අම්මට කියනවා කියලා....”

අම්මාගෙන් වරම් ලැබිණි. ඊට පස්සේ කුමුදුත් අපේ ගෙදරම කෙනෙක් වගේ වුණේය. ටිකෙන්-ටික ඒ සුහදත්වය වැඩි වුණේය.  

ඊට පස්සේ දවසකය, කුමුදු යෝජනාවක් ගෙනාවේ. ඒ නෙවිල් දින දෙක-තුනක් වැඩට ආවේ නැති වෙලාවකය. “නිමල් අයියේ, යමුද නෙවිල්ලගේ ගෙදර ගිහින් බලන්න. ඌට ලෙඩක්වත්ද දන්නෑ.”

“හෙට සෙනසුරාදනෙ. හෙටත් ආවේ නැත්තං යමු නේද කුමුදු!”

ඊට පසුවදා; සෙනසුරාදා අපි දෙදෙනා එහි ගියෙමු. මේ යක්ෂයා ගෙදර නැවතිලා තිබුණේ නිකම්ම නිකංය; කම්මැලිකමටය.

“අපේ මැනේජර් මහත්තයා.....” නෙවිල් තාත්තලාට මා හඳුන්වා දුන්නේය. අම්මාටත්....! පළමු හමුවෙන්ම එයාලාත් මගේ මිතුරු ගොන්නට එකතු වුණෝය.

නෙවිල් හරහා ගොඩාරියක් අය මගේ.... (2014 නිදිගෙ උපන් දින සාදය දා...)

එච්චරකුත් නොවේ. නෙවිල්ගේ මිතුරන් වුණු W.A. ප්‍රියන්ත, ඔහුගේ සොහොයුරු නලින් ප්‍රියදර්ශන, දයානන්ද, අජන්ත, තුවාන් මිස්කින්, D.K. රවීන්ද්‍ර චන්ද්‍රලාල්, හරිශ්චන්ද්‍ර, දයා රණසිංහ වැනි ලොකු පිරිසකුත් ඒ මිතුරු ගොන්නටම එකතු වුණෝය. ඒ කාලේ නලින් අපොස උසස් පෙළ විභාගයට සැරසෙමින් හිටියේය. එය සමත්වී වෛද්‍ය විද්‍යාලයට ගියායින් පස්සේ නලින්ගේ බැචාලා පිරිසකුත් මේ මිතුරු ගොඩට වැටුණාහ. අයස්මන්ත පීරිස්, චමින්ද පෙරේරා, ශිරන්ත පෙරේරා, හඳුන්ගේ අරුණලාල් පෙරේරා,  HAD ඩොනල්ඩ්....

W.A.L. ප්‍රියන්ත, නලින් ප්‍රියදර්ශන දෙන්නා මට මුණ ගැසුණේ නැතිනම්.... චිත්තම්මා පෝස්ටුවත්, අපේ trip ගැන ලියවුණු විස්තරවලින් බාගයක්මත් ලියවෙන්නේ නැත. (තව ලියන්නටත් තිබෙයි.)

බක්කරේගේ pork දානය’ ඒ එක trip එකක් ගැනත්, හිතවත් දයානන්ද ගැනත් ලියැවුණකි. 

A.C.පෙරේරා දොස්තර මහත්තයා, ශිරන්ත දොස්තර මහත්තයා, ඩොනල්ඩ් දොස්තර මහත්තයා මේ ලියන නිදිගේ ජීවිතයට බලපෑම් කළේ එක වතාවක් - දෙකක් විතරක් නොවේ.

යකුන් බලන්නට ගිය යක්කු’...,‘අකල් මරණෙකට හවුල්වී’..., ‘අපේ කුණු අපට එපාවී’ posts ත්‍රිත්වය විතරක්ම වුණත් කියවලා ඇති කෙනෙකුට ඒ කාරණය අමුතුවෙන් කියන්නට ඕනෑ නැත. ඒවා ගැන විශේෂයෙන් ලිව්වේ, ඒ විස්තර ලියුවේ කාලයකට ඉහතදී බැවිනි.

ඔය නියුඩ් පෝස්ටරයක් එහෙම කාට හම්බ වුණත්, ගෙනැල්ලා ගහන්නේ නෙවිලගේ කාමරේ බිත්තියක!

අයස්මන්ත, මර්වින්, ඉන්දිරා වැනි තවත් බොහෝ දෙනෙකුත් මගේ ජීවිතයෙදී අමතක කරන්නටම බැරි උදවිය අතරේ සිටිති. හැමදාම ඒ හැම දෙනා ගැනම ලියන්නට බැරිය. අදාළ වෙලාවට කරළියට කැන්දන් එනවා විතරය.

දැන් කුමුදුලාල්ව කැඳවා ගන්නෙත් එහෙමය!

ඉතින්, මං එහාට යන දිනවල නෙවිල්ගේ අම්මා තාත්තාට අමතමින් හිටියේ ‘බාසුන්නැහේ’ නමින්ය. ඉක්මනින්ම එය ‘බාසුරු’ වුණේය. ඒ ටෙලි නාට්‍යයක ‘සුමින්ද සිරිසේන’ බාසුරු චරිතය රඟපාන විටදීය.

මේ අලුත් බාසුරු හැබෑම අයිඩියානන්ද කෙනෙකු වුණේය. ඒ විත්තිය වැඩියත්ම දැක්කේ මං වහන්සේ වෙන්නට ඇතිය.

“නිමල් අයියේ, මූ නැතත් අපි සේරම වළ බහින්නේ මුගේ කාමරේ. හරියට ඒක අපේ එකක් වගෙමයි. ඒ කාලේ ඔය බාගෙට හෙළුවෙන් ඉන්න කෙල්ලෙක්ගෙ පෝස්ටරයක් එහෙම හම්බ වුණාමත්, අපි ඒක ගහන්නේ මුගෙ කාමරේ බිත්තියක.

-Drink එකකට set වුණාමත් එහෙමයි... නෙවිලා නැත්තං තාත්තම බයිට් හදවලා දෙනවා.... full සපෝර්ට්. මේකා එන්න කලින් පොරත් ෂොට් එකකුත් දානවා සමහර දවසට....” නෙවිල්ගේ මිත්‍රයන්ට තවමත් රසබර මතකයක්ව තියෙන්නෙ නම් තාත්තාගෙ ඒ ගතියයි.

ඒ ආප්ප සූදානම අරලියගහ මන්දිරයේ එකටත් වඩා ඉහළ විදිහය!

“අපේ තාත්තා කිව්ව හලෝ, ඔයාලගෙ අම්මලාව අපේ ගෙදර එක්කන් එන්න කියලා රෑ කෑමකට.... ආප්ප පාටියකට.”

නෙවිල් අපේ ගෙදර හැමෝගෙම හිතවතෙකු වුණාට පස්සේ දවසක කීවේය!

එතකොට ආප්ප කාලා පනින ජාතියේ; අරලියගහ මන්දිරයේ ආප්ප දන්සැලේ කතන්දර එහෙම සිද්ද වෙනවා තියා හිතලාවත් තිබ්බ කාලයක් නොවේ. බාසුරු උන්නැහේගෙන් ඒ ආරාධනය කෙරිලා තිබුණෙත් අපේ අම්මා ලංකාවට ඇවිත් හිටි දවසකය!

මට මතක හැටියට නම් ‘Hong Kong’ වැඩේ සිද්ද වෙච්චි වතාවෙමය.

ඉතිං අපි නෙවිල්ලාගේ ගෙදරට ගියෙමු. එතකොට එයාලා හිටියේ තලපත්පිටියේය. “ඔන්න නිමල් ඔයාලටමයි ආප්ප පුච්චගෙන කන්න තියෙන්නේ!” නෙවිල්ල තාත්තා කිව්වේය. එහෙම කිව්වේ මාව ගෙයි වම් පැත්තේ පිළිකන්නට කැන්දා ගෙන ගිහින් පෙන්වලාය. එතැන වෙරළු ගහ යට මේසයක් තියලාය. මේසයේ වටේටම අඟල් දෙක තුනක විතර උසට ලී පටිවලින් රාමුවක් ගහලා වැලි පුරවලාය. ඒ වැලි උඩ ලයිසන් ගල්වලින් හැදුව හුරුබුහුටි ළිප් දෙකකි.

මොනවා තිබ්බත්, ඒවා සූදානං කෙරෙන්නේ නෙවිල් අතිනි...

ඒවාට වම් පැත්තෙන් ආප්ප පිටි මුට්ටිය, තලතෙල් දැමූ පීරිසිය හා  කුඩා රෙදි පොට්ටනිය, ආප්ප හැන්ද වගේ අඩුම-කුඩුමය. මේසයේ දකුණු පැත්තේ කෙළවරේ එකම මිම්මට මැනලා කැපුවා වගේ හීනි ලී පතුරු දරය. ඊට ටිකාක් එපිටින් තවත් මේසයක් උඩ ‘සීනි සම්බෝල, කට්ට සම්බෝල, ලුණුමිරිස්, මාළු ඇඹුල් තියල්, කුකුල් මස් හා පරිප්පු දීසි හා පිඟන්ය....’

මගේ මනසේ ඒ foto එක තවමත් තියෙනවාය.... එදා දැනුණු ‘ගතිය’ තරු පහේ හෝටලයකදීවත් මට නම් දැනිලා නැත. එහෙම විභූතියක්....

බාසුරු උන්නැහේ එහෙව් අයිඩියානන්ද කෙනෙකි! ඒ ජානවලින් නෙවිල්ට ඇවිත් තියෙන්නේ කොටහක් විතරයි වගේය. මට නං හිතෙන්නේ ඒ කොටහ වුණත් හොඳටම ඇති කියලාය.

කවුරු එක්ක trip එකක් ගියත්, මධු සාදයට වීදුරු- බෝතල්- අත් පිස්නා- bite දීසි- අයිස්- shandi සේරම සූජානං කෙරෙන්නේ මේ හාදයාගේ අතිනි. ‘මේ දෙන්නා තමයි අපේ මිනිස්සුන්ව නරක් කරන්නේ... මෙයා ඒ මිනිසුන්ට ඕනි කියන බයිට් හදලා දෙනවා... අරයා ඒවා ලස්සනට අඩුක් කරලා වැඩේ ලැහැස්ති කරනවා!’ අපේ හිතවත් නෝනලා හිටි ගමන් සොඳුරු දෝස්මුර දාන්නෙත් ඔය prepare කර දීම හින්දාය.

හරි හැටියටම ඒ බණේ තේරුම් ගියේ.....

වියපත් වීම ගැන හිතන්නටවත් අකැමතිව හිටි නිමල් දිසානායකට හරි හැටියටම ඒ බණේ තේරුම් ගියේ ආච්චී; දසනායක රත්නවතී වාරු නැතිව යන හැටි දැක්කාමය. ඊළඟට නෙවිල්ලාගේ තාත්තා අසනීප වුණාමය. ඒ පෝලිමට ඊළඟට එකතු වුණේ කුමුදුලාල්ලගේ අම්මාය; නෙවිල්ලගේ ලොකු අයියා නිමල්ය.

අපේ ආච්චී නම් බලාගෙන හිටිද්දී දිරාපත් වුණේ වයස හින්දාය.

නෙවිල්ල තාත්තා- ලොකු අයියා, කුමුදුල අම්මා වගේ අය කඩා වැටුණේ ලෙඩ-රෝග හින්දාය.

‘අනිච්චා වත සංඛාරා’, ‘ආරෝග්‍යා පරමා ලාභා’ කියන්නේ ඕනෑම කෙනෙකු අහලා ඇති දේවල්ය. ඒත් එව්වා හරි-හැටියට ඒත්තු ගැන්වෙන්නේ අපේ ඇස් ඉදිරිපිටටම ආවාමය; අපේ ඇඟේ හැපුණාමය.

නෙවිල්ලා තාත්තාට හැදුණේ මුඛ පිළිකාවකි. වගකීම් රහිත කෙනෙකු විදිහට මා දැක තිබුණු නෙවිල් අනුරසිරි පිළිකා රෝහලේ තාත්තා ළඟ රෑට-රෑට තනි රකිනවා දැක්කාමය, මට පුදුම හිතුණේ. (එයාලගේ ලොකු අයියා නිමල්, පොඩි අයියා මෙරිල් එහෙම ඒ ඉස්පිරිතාල රාජකාරි කරද්දී නම් මට අරහෙම පුදුමයක් දැනුණේ නැතිය.)

හොඳ හිතවතුන් ගොඩක් කල් ඇතිවම මගේ ජීවන මාර්ගයට එවා...

ජීවිතය එහෙමය! පාඩම් කියා දෙන්නට ගත්තාම කිසිම ලෝබකමක් නැත.

දෙපා අවසඟ පාපන්දු ලෝලියා; රාජමනී අංකලුත් පිළිකාවට ගොදුරු වෙද්දී..., අපේ සුනිල්ගේ බිරිය මල්ලිකා පිළිකාවට බිලිව දුක් විඳිද්දී.... මටත් ඒ රෝගයම ‘කොකම් පාවි’ යැයි කවදාවත් මට නොහිතුණු හැටි!

නමුත් ඒ කාටවත්ම නොලැබුණු වාසනාවකුත් දෛවය මට උරුම කර දුන්නේය.

ඒ ව්‍යාපාරික- ඉංජිනේරු- දොස්තර වැනි විවිධ වෘත්තින්හි නියුතු හිතාදර කල්‍යාන මිත්‍රයන් රැසක් කල් ඇතිවම මගේ ජීවන මාර්ගයට එවීමෙනි. අදටත් මට මහෝපකාරී වෙන ඒ අයගෙන් 95%ක්ම ආවේ නෙවිල්ගේ contacts හරහාය! ඉතිං නෙවිල් ගැන වෙනම නොලියා කොහොමද?

මට කොච්චර උදව්-උපකාර කර තිබෙතත්, තවමත් කරනවා වුණත් මට නෙවිල්ව පෙනෙන්නේ ලොකු අඩු-පාඩු ගොඩක් තියෙන කෙනෙකු හැටියටය. ‘තමුසෙ මහ කොන්ද පණ නැති සෙවලයෙක් හලෝ!’ මගේ පඩික්කම් කටෙන් තවමත් ඒ මනුස්සයාට කියවෙයි. එහෙම කියවෙන්නේ මේ මනුස්සයා අවශ්‍යම වෙලාවටවත් ‘පෙණය පුප්පන්නේ නැති’ නිසාය. ඉතිං සමහරු මේ පෙණය කරන්නේවත් නැති හිත හොඳකම නිසා දර මිටිය බඳින්නටත් මේ යකාව පාවිච්චියට ගනිති.

එයාගේ ගතිය මට නැති එක ඒ මනුස්සයා දකින්නේ මගේ ‘පොළොං’ ගතියක් විදිහටය. එහෙමත් නැතිනං කිසිම සීමාවක් නැති දරදඬු - ගතියක්; නපුරුකමක් විදිහටය.

මිනිස්සු ගොඩක් දෙනා ප්‍රතිපත්ති වෙනස් කරනවා, වාසියට!

මං එළිපිට පිළිගත්තේ නැතත් ඒ අදහසෙන් වැඩි කොටහක් ඇත්තය. මං නපුරුය; දරදඬුය; පළිගැනීම නොකරත් පොඩි hint එකකින්වත් return එකක් හෝ දෙනසුලුය.

ඊයේ පෙරේදා දවසකත් ඔය කතාව ඇදිලා ආවේය. “ඔයා කියන ජාතියේ මිනිස්සු මේ ලෝකේ නැහැ නිමල් අයියේ....  නෙවිල් අයියා ළඟ විතරක් නෙවෙයි, මගෙ ළඟත් ඔය සෙවලකම තියෙනවා... මිනිස්සු ගොඩ දෙනෙක් මෝඩයි; තමන්ගේ වාසිය බලනවා; බොරු කියනවා; ප්‍රතිපත්ති වෙනස් කරනවා... නැද්ද නෙවිල් අයියේ...”

“මොනා කියනවද මචං...? පීරිස්, මේ යකාගේ හැකර කට නැත්තං....” ඉතිරි හරිය කියන්නට ඉඩක් මගෙන් නෙවිල්ට ලැබෙන්නෙම නැත.

“හිතේ ඇති... එහෙනං අනිත් මිනිස්සු මාවත් තමුසෙ වගේම මස් කඩේ කොක්කේ එල්ලලා හුඟක් කල්....”

“හරි හරි.... ඔයා හරි....” අයස්මන්ත, මර්වින් වගේ අය එහෙම වෙලාවට ‘ගින්න නිවන්නට’ තැත් කරති.

“මට එහෙම නිකම්ම දිනුම එපා. මගේ පුරුදු මට. මගේ පොළොං ගති මට... මට වැරැද්දක් කරපු අයගෙන් මං පළි ගන්න යන්නෙ නෑ... හැබැයි ඒක කීයටවත් අමතක කරන්නෙත් නෑ.... මං ඉපදිලා තියෙන විදිහ වෙන්නැති, මට නිකම්ම නිකං දේවල්වත් ලේසියෙන් අමතක වෙන්නෙ නැති එකේ එව්වා විතරක් අමතක වේවිය.”

අපොයි ඔව්, මේකගෙ හෙනහුරු මතකේ හින්දනේ...

“අපොයි ඔව්! පීරා, මේකගෙ මේ හෙනහුරු මතකේ හින්දනේ මචං, අපිටවත් මතක නැති අපේ රෙද්දවල් මූ චීත්තවාහිනියට ලියන්නේ... අපි එපයි කියද්දී.... ලියා ගන්නවකො තමුසෙගෙ xත්තවල්, අපේ ඒවා ලියන්නේ... නැද්ද පීරා?” 

“ඒකට ඉතිං තමුසෙලා මාව අතහැරල දානවා. මට හම්බ වෙන; මගෙත් එක්ක කතාබහ කරන; මගේ දුකට-සැපට ඉන්න අය කියන්නෙත් මගේ ජීවිත කතාවේ කොටසක්නෙ.... මම ඒවා ලියනවා තමයි...” මගෙන් කියවෙන්නේ එහෙමය. එහෙම කිව්වත් මා කොතරම් වෙනස්වී ඇත්දැයි හොඳින්ම දන්නෙත් මාය. මේ මිතුරන් නිසා මම පෙරට වඩා යම් තරමක් හෝ මෘදුවී සිටින්නෙමි. ඍජුවම කිව යුතුය. යම් තරමකට විතරය!

මිනිහෙකු යම් තරමකට මිස, 100%ක් වෙනස් වෙනවාද? එහෙම වුණොත් මුල් මනුස්සයාගේ අනන්‍යතාව ඉතිරි වේවිද?

ඒවා හිතා බලන්නට ඉඩක් ලැබෙන්නෙත් හැමෝටම නොවේ! සමහර දෙනෙකුට විතරය.

“අම්මේ, කවුද ඇවිත් ඉන්නේ බලන්නකො.”

“කවුද චූටි?”

“ඔයා අඳුරන එක්කෙනෙක්.... කවුද කියලා බලන්නේ නැතිව දැනගන්න පුළුවන්ද?” නෙවිල් අම්මාට නොපෙනෙන්නට මට ඉඟි මරමින් කිව්වේය.

මම දන්නෙ නැහැනෙ!

“අම්මට මොකද මාව අමතක... නේද අම්මේ...” මම ඇසුවෙමි. ම්හු! අම්මා නෙවිල්ගේ පැත්තට හැරුණාය.

“මම දන්නෙ නෑනෙ බං... හොරෙක් වගෙයි චූටි.”

“හොරු එනවද අම්මේ මහ දවල්ට?”

“දවල්ට නේන්නං හොරුන්ට එන්න ලේසි! කවුද බං මේ?”

නෙවිල්ලා අම්මාට මාව හඳුනා ගන්නට බැරි වුණු මුල්ම වතාවය මේ. දැන්-දැන් ඇයගේ ඩිමෙන්ෂියා රෝගී තත්ත්වය උග්‍ර අතට හැරෙමින් පවතී. අපේ මානෙල් නංගිලාගේ ගෙදරට යමින් ගමනය මා එහාටත් ගොඩ වැදුණේ.

“ඔය ළමයා කොහෙද යන්නේ? අපේ චූටිත් එක්කද යන්නේ? ඉක්මනට ආපහු එනවා නේද?” ප්‍රශ්න කෝටියකි. ඒ මදිවාට එකම ප්‍රශ්න නැවත නැවත.....

නෙවිල් ඇඟපත දොවාගෙන එන තෙක්මත් අම්මාට මා කවුරුන්දැයි මතක් වුණේ නැතිය. ඒත් අප දෙන්නා පිටත් වෙන්නට හදද්දී අම්මාගේ සිහිය ආවේය. “ඉක්මනට එනවා නේද නිමල්?”

ඒක ඔය ලෙඩේ හැටි... එයාලා ටිකෙන්-ටික පුංචි කාලෙට යනවා...

සංසාරය මෙහෙමය! එදා ආප්ප පාටිය දවසේ, අර හුරුබුහුටි ළිප් දෙකට දමන්නට පසෙකින් තියා තිබුණු දර සේරම මේ අම්මාගේ දුම් මැස්සෙන් අරගත් ඒවාය. කෝපි ගස්වලින් කපන අතු, වත්තට එළිය වැටෙන්නට පාහින අඹ- පේර අතු, වැටෙන පොල් අතු සේරම එකම මිම්මකට කපලා- තීරු කරලා- වේළලා දුම් මැස්සේ අඩුක් කළේ මේ අම්මාය. වත්තේ වෙරළු ගහෙන්, පොල් අඹ ගහෙන්, පැණි වරකා ගහෙන්, සුදු ජම්බු ගස්වලින් වැටෙන කොළ සේරම දවසට දෙපාරක් අතුගාලා දැම්මේ මේ අම්මාය. දැන් හැරමිටියක වාරුවෙන් ඇවිදින්නේ මේ අම්මාය!

“මේ දවස්වල අපේ අම්මට එයාගේ අම්මවයි තාත්තවයි තමා වැඩියත්ම පෙනෙන්නේ.”

“ඔය ලෙඩේ එහෙම තමයි මචං... එන්න එන්නම එයාලා එයාලගේ පුංචි කාලෙට යනවා. වර්තමානය ඉක්මනට අමතක වෙනවා....” අයස්මන්ත පීරිස් මහත්තයා කියන්නේ ඩිමෙන්ෂියා රෝගයේ ස්වභාවයයි.

“හරිනෙ මචං..... -අන්න අම්මයි තාත්තයි දෙන්නා මාව හොයනවා බං.... චූටි... චූටි. කොහෙද බං උඹ ගියේ?- කියලත් පෙළක් වෙලාවට අම්ම කියනවා මම ළඟ ඉද්දිම...

-මේ මම මෙතැන ඉන්නෙ අම්මේ- කිව්වමවත් මාව අඳුරගන්නෙ නැහැ සමහර වෙලාවට. උඹ චූටිද? කියලා අහනවා.... අර ජංගි කොටේ ඇඳගෙන දුව-දුවා ඉන්න අපේ චූටිව බං මම හෙව්වේ- කියලත් කියනවා පීරා!” ....

26 comments:

  1. "ලියා ගන්නවකො තමුසෙගෙ xත්තවල්, අපේ ඒවා ලියන්නේ..."

    "... මම ඒවා ලියනවා තමයි...”

    ලොකා මං බැලුව බැලුව කෝ අර ලිව්ව කියපු 'xත්තවල්'...මට හම්බ උනේ නෑනෙ....

    ReplyDelete
    Replies
    1. ඔක්කොම ඇත්තවල් නිසා විශේෂයෙන් බලන්න එපා.... නිකම් බලන්න ඩ්රැකී!

      Delete
    2. එතකොට ප්‍රශ්නෙ ඇහුවෙ ඩ්‍රැකී...අපි සියඹලා ගෙනැල්ලම නෑ....

      Delete
    3. අනේ දෙයියනේ වසම වැරද්දයි!
      අනේ ලොකූ, සමාවෙන්න ඕනි. මේ උත්තර කොටන කොටුවේ අකුරු බලාගන්න අමාරු නිසා කියවන්නේ නෑ සමහර වෙලාවට. මීට පස්සේ එහෙම නොකරන්න හිතාගෙන ටොක්කක් ඇනගත්තා ඔන්න!

      Delete
    4. ඒකට තමා ලොකු මල්ලි කියන්නෙ "ලැබීම" කියලා... හැක්

      Delete
  2. නිමල් අයියාට නොදැනෙන්නට ඔය නෙවිල් ගොයියා මේ බ්ලොග් එක කියවනවා.

    ReplyDelete
    Replies
    1. මේකනේ අසංග. කවුරු හරි උඩින්-පල්ලෙන් කියෝපු කෙනෙක් කියන දේ හරියට ග්‍රහණය කර ගන්නේ නැතිව, 'අන්න උඹේ කාඩ් එක කුඩු කරලා' හරි 'අන්න උඹට මඩ ගහලා' වගේ දෙයක් කිව්වම නං මේ යක්ෂයත් කියවනවා වෙන්නැති.

      Delete
    2. තව එකක්. උන්නැහේ මට විරුද්ධව කියන ඒවා ලියන්නන් කියලා කිව්වට තවම ඔබතුමා ඇහුවෙත් නැහැල්ලු- අහගත්ත ඒවා ලිව්වෙත් නැහැල්ලු කියලා ඔයා එක්ක වෛර බැඳන් ඉන්නේ... පරෙස්සමෙන්...

      Delete
    3. වැඩේ හොරෙන් කරමු කියලා දැන් මිනිහාම ඔත්තුව දිලා... ගමනේ සුන්දර මතකයන් විතරක් ඉතිරි කරගෙන නිමල් අයියාගේ වචනයෙන්ම කියන නෙවිල්ගේ කඩුලු කතා අමතක කළා මොකද ලොවක් වටිනා මිතුරන් නැති කරගන්න බැරි නිසා.

      Delete
    4. අපොයි අපි එහෙම නෑ.

      ඔයා දකින්න ඇතිනේ, මත ගැටුම් විතරයි. එතැනදී විවෘතවම කියන්න ඕනි දේවල් කියනවා විවෘතවම- හංගන්නේ නැතිවම. මත එක්ක මිස මතධාරීන් එක්ක ගැටුම් නෑ.

      සේරටම වඩා නෙවිල්, මර්වින්, ජනක, සංජීව, මිෂාන්, ඉන්දිරා හා අපේ නංගිලා-මල්ලිලා වගේ අය එක්ක දවස් 3 හිටි නිසා අසංගම දකින්න ඇතිනේ අපේ විදිහ. ඒ හැමෝම මට වැඩිය හොඳයි. මං තරම් සැර හෝ දැඩි හෝ නැහැ.

      Delete
  3. Ape achchi mawath adura gaththe ne Nimal auncle chooty kawda me duwa kiyala ahuwa passe kiwwa katahada podiduwage unata me inne podiduwa nemei kiyala.. kalekata kalin dawasak gedarata call karala thaththata phone eka denna kiwwa thaththa nethi una bawa piligaththema Be
    Thank u Nimal auncle mathakaya aluth karanawata oya samahara siddi weddi mn godak podi eth mata mathaka dewal thiyenawa
    Anika kathawata kalin thibune coming tika kiyawala mathak una mathakaya mam a liwwa sinhala front hadagaththata passe mn eka dannam

    ReplyDelete
    Replies
    1. ගොඩාරියක් ස්තුතියි! ඔයාගේ නම නැතිවට හිතාගන්න පුළුවන් හින්දා ඔන්න නමත් ලියනවා. දිල්හා....!

      සතුටුයි ඔයාගේ අගය කිරීම ගැන. මට උදව්වකුත් ඉල්ලා ගන්න එනවා අද හෙටම, පුරුදු විදිහටම චූටි බාප්පත් එක්කම. ඔයාලගේ ගෙදර තියෙන foto මොනවද බලන්න. හොයලා තියන්න හොඳේ.

      ආච්චී හිටිය හැටිය ගැන තව ලියන්න තියෙනවා. ඒකයි. ඔයාලගේ තාත්තා ගැනත් නොලියම බැහැනෙ.
      ස්තුතියි දිල්හා!

      Delete
  4. //හොරෙක් වගෙයි චූටි
    හෙහ් ඇත්තනේ බොස්, උපදින්නත් කලින්ම දවල් හොරා කියල නම්බු නාමයක් ලැබුන්නේ ලේසි පාසු පුතයකුටයැ
    //ලයිසන් ගල්
    මොනවද නිදි මේ?

    ReplyDelete
    Replies
    1. පුච්චපු පොචි හතරැස් මැටි ගඩොල්.... රතු පාටට තියෙන්නේ. මෝඩ ගඩොල්වලට පස්සේ, කබොක්. ඊළඟ යුගේ ගෙවල් හදන්න වැඩියෙන්ම ගත්තේ මෙව්වා. (දැන් නම් සිමෙන්ති ගල්)
      මේවාට වෙන නමකුත් තියෙනවද මන්දා... සිරිබිරිස් උන්නැහේ.

      Delete
    2. හොරෙක් වගෙයි කියපු කතාව ගැන නම් දුකත් හිතුණා.
      ඒත් උඩ කමෙන්ට් එකෙන් දිල්හා කියලා තිබුනනේ එයාවත් අඳුරාගත්තේ නැතිව හිටියා කියලා. ඒ නෙවිල්ල ලොකු අයියගෙ ලොකු දුව. එතකොට හිතුණා මාව අඳුරා නොගත්තම මොකෝ- එක සැරයනේ කියලා.

      ඔය 'බඩේ ඉන්නේ දවල් හොරා' කතන්දරේ නෙවිල්ල අම්මා දන්නෙ නැහැ, ඔයාලා මිසක්!

      Delete
  5. maru. තලපත්පිටිය පාසැල අවට ප්‍රදේශය හොඳින් දන්නවා.

    ReplyDelete
    Replies
    1. ඔයා එයාලව දන්නවා වෙන්න ඕනි, ඉයන් මහත්තයෝ. තලපත්පිටියේ කැලෑ බේකරිය ඉදිරිපිටින් ලොකු හිස් පොල් වත්තක් තිබ්බේ. (දැන් එකේ ගෙවල් පිරිලා. ඒ වත්තට යාබදවමයි මෙයාලගේ ගෙවල් තිබ්බේ,) එතකොට ගොඩක් අය කනත්ත පාරේ ඉඳලා පන්සල පාරට ගියෙත් නෙවිල්ලා වත්ත උඩින්. ඒක කෑලි කඩලා පුතාලා තුන් දෙනාට බෙදුවට පස්සෙයි ඒ පාර වැහුණේ.

      ඊළඟ කොටස්වලට නිමල්ලගේ foto එහෙම ලැබෙයි.... එතකොට බලන්නකො...

      Delete
  6. හරියට ඇරසොයිසා ෆිල්ම් එකේ වගේ, මං කමෙන්ට් එකක් දැම්මනෙ. දැං ඒක නෑනෙ...

    ReplyDelete
    Replies
    1. එක් ටැම් ගේ ඇතුළේ සැණකෙළියකට ගිහින්ද ආවේ?

      Delete
    2. ඇර සොයිසා වගේම එක් ටැම් ගේ, සැණකෙළිය දෙකත් හර්බට් රංජිත් පීරිස්ගේ! ඒකයි!!

      Delete
  7. //මිනිහෙකු යම් තරමකට මිස, 100%ක් වෙනස් වෙනවාද? එහෙම වුණොත් මුල් මනුස්සයාගේ අනන්‍යතාව ඉතිරි වේවිද?//

    මේක ම ශේන් පොතේ ශේන් කියනව... "මිනිහෙක් හැදිලා තියෙන අච්චුව කඩලා වෙනස් කරන්න බෑ..." කියල.

    ReplyDelete
    Replies
    1. ඩ්රැකී, ඒක නේද අපේ උදවියත් ඉස්සර කීවේ 'උගේ ගතිය ඌ නාරී මැරූවත්' කියලා....

      Delete
    2. තව කියනව, "ආරේ ගුණ නෑරේ - මල්ල කිහිල්ලෙන් නෑරේ" කියල

      Delete