අකුරු මැකී නෑ

Thursday, December 10, 2020

යුවති කිරිල්ලී - හයවෙනි කොටස

ඕවායි විස්ස විද්දියාලයි මේ කාලේ තිස්සෙම වහල දාපු ගමන් නොවැ?

“මම ආයෙ එනවා නැන්දා... මෙඩිකල් කොලේජ් එක වහල හින්දා ඉක්මනටම එන්නංකො!”

“ඔව්, ඔව්. ආයෙ එන්ඩම ඕනෑ... ඕවායි විස්ස විද්දියාලයි මේ කාලේ තිස්සෙම වහල දාපු ගමන් නොවැ.” දන්තුරේ බණ්ඩාර මිලින්දට සමු දුන්නේය. 

“සිළිඳු මැණිකා, මේ පුතා යන්ඩත් ලෑස්ති...” කුමාරිහාමි ගෙතුළට එබුණාය. පාර්සල් දෙකක් අතින් ගත් සිළිඳු මැණිකා දිව ආවාය.

“අනේ පුතේ, මේ පාර්සලේ එරන්දතීලට....”

“නෑ, නෑ. මට ඕනි නෑ නැන්දා....” මිලින්ද ඉඟි මරා කීවේ අනෙක් පාර්සලය ආපසු දෙමිනි. කුමාරිහාමි කඳුළු අතරින් සිනා වුණාය.

“පුතාට නෙවෙයි පුතේ... එරන්දතීට කියන්ඩ මේක පුතාලගේ පුංචි අම්මලාට යවන්ඩයි කියලා. උන්දෑ හරී කැමති කිතුල් පැණි දාල හදාපු වැලිතලපවලට...”

“ඉතිං... මාත් කැමතී නැන්දා.....”

“මිලින්ද මහත්තයගේ පංගුවත් එක්කම තමා එරන්දතී කුමාරිහාමිගේ පාර්සලේට දාල තියෙන්නේ....” සිළිඳු මැණිකා සෙමින් කීවාය. දන්තුරේ බණ්ඩාර අප්පෝ ඉදිරිපිටදී වඩාත් යටහත්-පහත් බවක් පෙන්වීමට ඔවුහු පුරුදු වී සිටිති.

ඔව්වා ඔහොම තමයි සිසිලි.... අපේ දරුවා විතරක් නෙවෙයිනේ... තව කොච්චර දරුවො ඔය වගේ....

“එහෙනං කමක් නෑ..... මං හිතුවේ මට නෑ කියලනේ...”

ධනුෂ්ක සෙනෙහසින් මිතුරා වැළඳ ගත්තේය. කුමාරිහාමි ඔසරි පොටින් නෙත් පිස දැමුවාය.

“මස්සිනාලා වුණාට අයිය-මලෝ වාගෙ. හරී එකතුයි... මුං දෙන්නා ගිය ආත්මෙක සහෝදරයෝ වෙන්ඩ ඇති...” දිනක් එරන්දතී කියූ බව කුමාරිහාමිට මතකය.

රිය නොපෙනී යනතුරු බලා සිටි ධනුෂ්ක කාමරයට වැදී දොර වසා ගත්තේය.

******

සටන් විරාමය හමාර කරමින් ද්‍රවිඩ ත්‍රස්තවාදීන් නැවතත් යුද්ධය අරඹා ඇති බව කියැවුණු ප්‍රවෘත්ති ප්‍රචාරයට පවුලේ සියල්ලෝම නිහඬව සවන් දුන්හ.

“අනේ දළදා හාමුදුරුවනේ.... මේක ඉවරයක් වෙන්නෙ නැති හැටි....” සිසිලියානා දෝත් අහසට නැඟුවාය.

“මයෙ පුතාට ලබන සුමානෙ ගෙදර එන්ඩ නිවාඩු ලැබෙයිද දන්නෙත් නෑ දෙයියනේ....”

“ඔව්වා ඔහොම තමයි සිසිලි.... අපේ දරුවා විතරක් නෙවෙයිනේ... තව කොච්චර දරුවො ඔය වගේ යුද්දෙට ගිහිල්ල ඉන්නවද? ඒ අම්මල-තාත්තලත් ඉතිං ආයෙම ගින්දරෙන් තමා ඇත්තෙ....”

යුද බිමෙහි සිටින සොහොයුරා පිළිබඳව මාලතීටත් කනගාටුය.

ගෙදර වාතාවරණය බෙහෙවින්ම නිහඬ බවක් ඉසිලීය. සිසිලියානා කුප්පි ලාම්පුවක් ළඟින් තබාගෙන දිගින් දිගටම පැදුර විවීමෙහි යෙදුණේ භාවනාවක යෙදෙන්නාක් මෙනි. පියාත් නිහඬව ඇඳෙහි වැතිරී සිටින නමුත්, නිඳි නොමැති බව මාලතී වටහා ගත්තේ වරින්-වර ගිනිකූරු පත්තු කරන හඬ ඇසුණු බැවිනි. යුද බිමෙහි සිටින සොහොයුරා පිළිබඳව මාලතීටත් කනගාටුය. ඇයත් අයියාත් එකිනෙකාට බෙහෙවින් සමීපය. තමාට බාල සොහොයුරියක සිටි බවක් මව්පියන්ගෙන් කියවී තිබුණත් මාලතී ඈ දැක තිබුණේ නැත.

“උඹට එතකොට අවුරුදු දෙකයි. ඉපදිලා දවස් දහයෙන් නංගි මළා දුවේ... සෙම හිර වෙලාය කීවා.... වලිප්පුවය කීවා... මොනවා වුණත් මොටද? අපිට ඒ දරුවා නැති වෙච්ච එකේ...?” විස්තර ඇසූ මාලතී ඊටත් වඩා මව වෙහෙස කරවීමට නොසිතුවාය.

කුඩා කල සිටම ඇයට සිටි එකම හා හොඳම මිතුරාත්, සොහොයුරාත් වූ වික්‍රම මාලතීට වඩා තෙවසරකින් වැඩිමල්ය.

‘අපෙ අයියට මොකුත් කරදරයක් වෙන්ඩ එපා දෙයියනේ....!’ ඈ දෙනෙත් පියා ගත්තාය. තත්පර කිහිපයක් ගත වෙද්දී, වික්‍රමගේ මුහුණුවර මැදින් මතු වී ආ ධනුෂ්ක අප්පොගේ පෙම්බර මුහුණ මාලතීගේ හිත පුරා රජයමින් තිබිණි. ‘මට පව් දෙයියනේ.... අපේ අයියාවත් අමතක කරලා මේ තරමටම අප්පෝ ගැන හිතන එක පව්!’

තමා මේ තරමටම ධනුෂ්කට සමීප වූ ආකාරය මාලතීටද පුදුමයකි.

තමා මේ තරමටම ධනුෂ්කට සමීප වූ ආකාරය මාලතීටද පුදුමයකි.

******

මිලින්ද නැවත ගිය පසු ධනුෂ්කගේ කාලය ගෙවුණේ වඩාත් අලස බවකිනි. දිවා ආහාරයෙන් පසු ඇඳට වී පොතක් හෝ පුවත්පතක් හෝ කියවන්නට වන ඔහු නොදැනුවත්වම නින්දට වැටෙයි. සමහර දිනෙක ධනුෂ්ක පිබිදෙන විට සුළඟින් පුවත්පතේ පිටු කාමරය පුරා විසිරී ගොසිනි.

කවුරුන්දෝ තමාට කූද්දන බව දැනී ධනුෂ්ක නෙත් හැර බැලීය. තේ කෝප්පයක් සහිත කුඩා බන්දේසියක් අතින් ගත් කුමාරිහාමි ඇඳ අසල වූවාය.

“ඇයි අපෙ අම්මා?”

ධනුෂ්ක වහා ඇඳෙන් බැස්සේය. බුරුල් වී තිබුණු සරම ඇඳගත් ඔහු මේසය මත වූ ගුරුලේත්තුවෙන් වතුර වීදුරුවක් වත් කර ගත්තේය.

“තේ බීලා ඉන්ඩකො මයෙ පුතා....”

අම්මා කාමරයට පැමිණ තිබෙන්නේ නිකරුණේ විය නොහැක. ධනුෂ්ක තේ කෝප්පය රස බැලුවේ දස අතේ කල්පනා කරමිනි. ඔහු වඩාත් බිය වූයේ මාලතී ගැන යමක් අම්මාට ආරංචි වී ඇතිදැයි සැකයෙනි. තේ කෝප්පය බන්දේසිය මත තැබූ ධනුෂ්ක ප්‍රශ්නාර්ථය දල්වාගත් දෑසින් මව දෙස බැලුවේය.

අනේ, අනේ. අපෙ අම්මලාට මාව එපා වෙලා...

ඇය කාමරයේ ජනේලයෙන් ඉවත බලාගෙන සිටී. ඒ අනුව බැලූ ධනුෂ්ක දුටු දෙයින් ප්‍රමුදිත වූයේය. කුඩා පැණි කුරුලු යුවලක් පිපී ඇති රෝස මල් ගොමුවේ සැරිසරමින් පැණි උරති. ධනුෂ්ක ඒ දෙස බලා සිටියදීම කුමාරිහාමි කතාව ඇරඹුවාය.

“මයෙ පුතා මට ඇත්තම කියන්න ඕනෑ....’

“කෝ, ඉතිං අපෙ අම්මා මොකුත් ඇහුවෙ නෑනෙ...” ධනුෂ්ක මවගේ කතාව විහිළුවකට හැරෙව්වේය.

“විහිළු නෙවෙයි මයෙ පුතා... මොකෝ මේ හදිස්සියේම ආපහු ආවේ?”

ධනුෂ්ක සැනසුම් සුසුමක් හෙළුවේය. ඔහු සැක කළ පරිදි මාලතී පිළිබඳව කිසිවක් මවට දැනගැනීමට ලැබී නැත.

“අනේ, අනේ. අපෙ අම්මලාට මාව එපා වෙලා... මං ආයෙම ආවාට කැමති නැත්තෙ ඇයි අපෙ අම්මා? මාව අම්මලාට දැන්මම ඔච්චර බරක් වෙලාද අපෙ අම්මා?” අනුකම්පාවක් උපද්දමින් රැඟූ ධනුෂ්ක කුමාරිහාමිව නොමඟ යවන්නට කළ උත්සාහය සාර්ථක එකකි.

“චී පුතා. මොනාද මේ කියන කතා... මයෙ පුතා අපට බරක් වෙනවද...? අපිට පුතාව බරක්වත් කරදරයක්වත් නෙමෙයි පුතේ. ඒ වුණාට පුතේ..... මෙහෙම හදිස්සියේ ඇවිල්ලා ඉන්දැද්දී මයෙ පුතාගෙ ඉගෙන ගැනිල්ල කඩාකප්පල් වෙලා යනවනේ.... අප්පච්චිත් ඇහුවා මයෙ පුතාට මොකුත් කරදරයක්වත්ද කියලා.....”

හැබැයි අම්මලා මට මගෙ පාඩුවේ ඉන්න දෙනවා නම්, මට හිතුණොත් මං ආයෙමත්....

“ඉතිං මයෙ අම්මා, අම්මලටම පේනවනෙ මට මොකුත් කරදරයක් වෙලා නැතිය කියල...”

දෙඅත් දෙපසට විදාහළ ධනුෂ්ක මව දෙස බැලුවේය.

රෝස පඳුරට ඉහළින් පියාඹමින් සිටි පැණි කුරුලු යුවල දැන් එහි නැත. දැඩි තීරණයකට එළඹුණු ධනුෂ්ක ජනේලය අසලට ගියේය. නැවතත් කන්නාඩි මේසය අසලට ගිය ඔහු එතුළින් පෙනෙන මවගේ පිළිබිඹුව දෙස එක එල්ලේම බලාගෙන කතා කරන්නට වූයේය.

“මට එහෙ ඉන්න බෑ කියලා හිතුණ අපෙ අම්මා... ඉතිං මං ආයෙ ආවා. ඒත්.... අම්මලාට මං මෙහෙ ඉන්න එක කරදරයක් නං... මම මෙහෙ ඉන්නවට අප්පච්චි කැමති නැත්නං මං ඉහ හැරුණු අතේ කොහේ හරි යන්නං. හැබැයි අම්මලා මට මගෙ පාඩුවේ ඉන්න දෙනවා නම්, මට හිතුණොත් මං ආයෙමත් එංගලන්තෙට යනවා. අනේ අපෙ අම්මා, අප්පච්චිටත් කියන්න මට කරදර කරන්න එපාය කියලා.”

********

ලියන කෙනෙකුගේ ආම්පන්න වෙන්නේ පෑන්- පැන්සල්- කඩදාසි වගේ දේවල්ය. ඉස්සරෝම නං මැටි පුවරු- පැපිරස් පත්‍ර- තල කොළ- පන්හිඳ වගේ දේවල්ය. අද්‍යතන යුගයේ වැඩියත්ම දේවල් ලියවෙන්නේ පරිගනකයෙනි. ඒ මොකෙන් ලිව්වත් ලියන්නා තමන්ගේ මනසේ ඇඳෙන රූපය තවෙකෙකුට කියන්නට, නානාප්‍රකාර වචන පාවිච්චි කරලා වදන් චිත්‍ර නිර්මාණය කරයි! ඒ වදන් සිත්තම් කියවන ඔබ වන් රසිකයන් මනසේ මවා ගන්නේ ඔබේම චිත්ත රූපයන්ය.

නිදිගෙ පංච තන්තරේදී නම් වචන එක්කම foto- චිත්‍ර ආදියත් හරි-හරියට යොදා ගැනෙයි.

බ්ලොගයක් රචනා කිරීමේදීත් මූලිකම ආයුධය වදන්ය. නිදිගෙ පංච තන්තරේදී නම් වචන එක්කම foto- චිත්‍ර ආදියත් හරි-හරියට යොදා ගැනෙයි.

ද්විභාෂා උගතෙකු බව මොනවට පෙනෙන; blogs රැසක් කියවන; ඒවාට ප්‍රතිචාර දක්වන Pra Jay රසිකයා මගේ කෙරුවාව ගැන කුකුසක් ඇති කරගෙනය. යුවති කිරිල්ලී - 4 පෝස්ටුවේදී ඒ ගැන කමෙන්ටුවකිනුත් විමසලාය.

‘Pra Jay- November 29, 2020 at 8:15 PM- මට පිස්සු නිසා වෙන්න ඇති මං කැමතියි නිමල් දාන පින්තූරවල සම්බන්ධකම් බලන්න. ඇහිබැම නිසා සමුරායිකාරයෙක් මේප්ල් වගේ කොළ පා කිරීම, පැත්තකින් ඉඳන් කට කැඩීම, බෙල්ල කඩන්න හදන මූර්ති ශිල්පිනියක් හා හීනෙන් දකිනකොට වතුරෙ ගිලිලා ඉඳීම ගැන.’

ඒ ප්‍රශ්නයට මං ලියූ උත්තරය මෙහෙමය:

‘Pra Jay මහත්තයෝ, ඉස්සෙල්ලාම ඉතාම ස්තුතියි ‘හොරා කන්න ආව බල්ලාට පොල් බෑයෙන් දමලා ගහනවා’ වගේ හොඳ වැඩක් කිරීම වෙනුවෙන්. ඔයා දුන්නු link එකට ගියාම එතැනත් සිත් ඇදගන්නා fotos ගොඩක් ගබඩා වෙලා තියෙන නිධානයක් බව දැක්කා... මීට ඉස්සෙල්ලත් ඔයාගේ ලින්ක්වලින් මගේ පෝස්ටු හරවත් හා ලස්සන වුණානේ....

‘වසන්තය හා ගිම්හානය හමුවීම’ත් අර නිධානයේ තිබුණු, මගේ සිත්ගත් foto එකක්!
ඇත්තටම මගේ වටහාගැනීම්වලින් (මම කැමති දේවල් තේරුම් ගැනීම තුළින්) තමයි නිදිගෙ පංච තන්තරේ හැඩ කරන්නේ.

මගේ මූලික අරමුණ නිසා මට ලියන්න වෙන්නේ මගේ ජීවිත කතාව විතරයි. ඒ තිත්ත කසායට මීපැණි, තල් සූකිරි වගේ අනුපානත් එකතු කරන්නේ එහෙම නොකළොත් ඔයාලට කියවීම එපා වේවි කියලා හිතෙන නිසයි.

ඒ වගේම මට යමක මුල්ම පෙනුමත් හිතට වැදෙනවා. එම නිසාමයි මේ බ්ලොගයේ ලිපිවලට fotos යොදන්නේ. විචිත්‍රවත් පෙනුමක් දෙන්න.... මුලින් පෝස්ටුව ලියලා පරතර ලකුණු කරගෙන ඉවර වෙලා ගැළපෙන fotos හොයන්න ගන්නවා.....

එහෙම හොයද්දී මම ඉගෙනගත් දෙයක් තමයි ‘captions’වලට යොදන වචනවලිනුත් වැඩක් වෙන බව... ජාලයේ ඒවා එක්ක foto එක පෙන්වන නිසා කුතුහලයක් ඇති කරවලාත් සමහරුන්ව බ්ලොගයට ගෙන්නා ගන්න පුළුවන්නෙ. (මොකද, මම එහෙම ගිහින් බලන වෙලාවල් තියෙන නිසා. දන්නවනේ, මාත් පිස්සු එකේ හොඳම එක කියලා.) ඔන්න ඕකයි, මුල් කාලයේ මම යොදපු කැප්ෂන්ස් ටිකෙන් ටික වෙනස් වෙන්න හේතුව.

මගේ හැඟීම අනුව ඒ හුඟාක් fotos වුණත්, මේ වගේ ‘කතා කරන ඒවා’ නෙවෙයි!

මම ජාලයේ වැඩ ගැන; ගත හැකි ප්‍රයෝජන ගැන දන්නෙ බොහොම අඩුවෙන්... මං මැන්ටලයක්නෙ. ඒත් නිතරම විමසිලිමත් වෙනවා.... විශ්ලේෂණ කරමින් යම්-යම් දේවල් තේරුම් ගන්න වෑයම් කරනවා.

ඉතිං ගැළපෙන fotos හොයද්දී තමයි යුද්දේ පටන් ගන්නේ.... කියවෙන විස්තරවලට අදාළ වෙන්නත් ඕනි, ඇවිස්සෙන කැප්ෂන් එකක් දාන්න උදව් වෙන එකක් වෙන්නත් ඕනි, වර්ණ හරි යන්නත් ඕනි... සේරටම එච්චර වෙලාවක් කැප කරන්නත් බැහැනෙ.

අනෙක එක-එක්කෙනාගෙන්ම ඉගෙනගෙන තියෙන හැටියට බ්ලොගය කියවන රසිකයන්ගේ data අඩුවෙන් පිච්චෙන විදියටයි, screen එකට ගැළපෙන විදිහටයි ෆොටෝ edit කරන්නත් වෙනවා.... ඒවත් ටිකෙන්-ටික තමයි මං ඉගෙන ගන්නේ....

දැන් නම් මගේ ළඟ fotos දාහක් විතර තියෙනවා එක-එක කැටගරිවලට වෙන් කරගෙන. ඒ සේරම එදිනෙදා ජාලයේ සරද්දී හමුවුණු ඒවා. හැබැයි මගේ හැඟීම අනුව ඒ හුඟාක් fotos වුණත් ‘කතා කරන ඒවා’ නෙවෙයි! ඒත් එහෙම ඒවායෙන් හරි මගේ වැඩේ කර ගන්න බලනවා....

මේක තමයි මෙතෙක් ලියැවුණු දිගම comment එක.... මේ පාර වගේ ...

මේ දිග උත්තරේ දුන්නේ blogs ගැන උනන්දු වෙන කෙනෙකුට පලක් වේවි කියලයි. මටත් මේවා ගැන මූලික දැනුම ලැබුණේ ‘ඉරිදා ලක්බිම’ පත්තරේට ක්‍රිෂ්ණ විජේබණ්ඩාර මහත්තයා ලියපු විශේෂාංග ලිපි පෙළින්නෙ.

අනේ Pra Jay මහත්තයෝ, මේක තමයි මෙතෙක් ලියැවුණු දිගම comment එක. හිතට ආව දේ ලිව්වා... වරදක් ඇතොත් සමාවෙන්න ඕනේ.’ 

අද තව දුරටත් වෙනින් අනං-මනං ලියන්න නොගිහිං, ඔන්න පොතේ 46 වෙනි පිටුව උඩට යනවා. 

********

“ඉතිං ඔච්චරයිද?”

“ඔච්චර තමා!”

“ඇයි බං, හැමදාම ඇල්ල ගාවදී හම්බ වෙලා, විනාඩි දෙක-තුනක් මූණට මූණ බලාගෙන ඉඳලා - වචන දෙක-තුනක් කතා කරලා එනවා.... උඹ කියන්නේ එච්චරයි කියලද?”

චන්ද්‍රා පේර ගෙඩියේ නටුවේ රැඳවූ බලට්ට පහතට අදින්නට පෙර ඇසුවාය. පැසුණු පේර ගෙඩි තිබේදැයි විපරම් කරමින් සිටි මාලතී ආපසු හැරුණාය. “අතනත් පැහිච්ච ගෙඩියක් තියෙනවා චන්ද්‍රක්කේ!”

“යාන්තං පැහෙනකොටම ලේන්නු හොට ගහනවා. මේකත් කාලා....”

වික්‍රමට ඕක ආරංචි වෙයි ඔක්කොටම ඉස්සෙල්ලා...!

කඩාගත් පේර ගෙඩිය ඈතට විසි කළ චන්ද්‍රා පේර ගස යටවූ බංකුව මත වාඩි වූවාය.

“දැන් උඹල කී දවසක් විතර හම්බ වුණාද?”

“ම්ම්ම්ම්ම් .... හතරක්- පහක් විතර...”

“නරක නෑ නංගියේ... මෙලහකටත් කවුරු කවුරු උඹලව දැකල තියෙනවද දන්නෙ නෑ... උඹ අහල තියෙනවද අර කවියක් තියෙනවා ‘මරණ තුනක් ඇති මිනිහෙක් පැණි කෑය’ කියල... බලාගෙනයි ඕං”

“අනේ චන්ද්‍රක්කේ.... මාව බය කරන්ඩ එපා!”

“මෝඩි! උඹලට කරන්ඩ හොඳයි... කියනකොට තමයි උඹට බය හිතෙන්නේ... දැන් හෙට අනිද්දාම අයියත් ආවාම බලපංකො... වික්‍රමට ඕක ආරංචි වෙයි ඔක්කොටම ඉස්සෙල්ලා...!”

********

“දුවේ... දුවේ...”

සිසිලියානා මාලතීට කීද්දුවේ රහසිනි. සුව නින්දක පසු වූ මාලතී පිබිදුණේ අඩ නින්දෙනි.

“සද්දයක් ඇහුණා... ඔහොම්ම අහගෙන ඉඳිං බලන්ඩ...”

දෙදෙනාම සීරුවෙන් කන් දුන්නෝය.

“අපෙ අම්මට ඇහුණද?”

“ඔය.... ඔය....”

විදුලි පන්දම අනෙක්  පැත්තට යොමු කරත්ම අඳුරේ සිටි කිසිවෙක්....

“ඒ සැරේ නං මටත් ඇහුණා... මොකද අපෙ අම්මා කරන්නේ?”

“අප්පච්චිට කතා කරපං දුවේ... හීන් සීරුවේ...”

මවත් දියණියත් රහසින්ම විල්මට්ව පුබුදුවා ගත්හ. අඳුරේම සවන් දුන් විල්මට් සරම කැසපට කවා ගත්තේය. “ඔය කැත්ත ගනිල්ලා...”

සිසිලියානා කැත්ත සැමියාට දී මෝල් ගහ අතට ගත්තාය. මාලතීගෙන් විදුලි පන්දමද ඉල්ලා ගත් විල්මට් පෙරමුණ ගත්තේය.

විදුලි පන්දම් එළිය අඳුර කපාගෙන ඉදිරියට වැටිණි. හරක් මඩුව පැත්තේ කිසිදු අමුත්තක් නොවීය. හඳී නිරුපද්‍රිතව සිටිනු දැක මාලතී සැනසුම් සුසුම් හෙළුවාය.

විල්මට් විදුලි පන්දම අනෙක්  පැත්තට යොමු කරත්ම අඳුරේ සිටි කිසිවෙක් බෑවුම දිගේ දිව යන්නට වූයේය.

“ඔහෙ හිටු....!”

කැත්ත අමෝරාගත් සැමියාට ආගන්තුකයා පසුපස හඹා යන්නට ඉඩ නොදී අල්ලා ගත් සිසිලියානා විදුලි පන්දම උදුරා ගත්තාය.

“කවුද දන්නෙ කී දෙනෙක් ඉන්නවද කියලා. ඔහෙ කඟවේනා වගේ උන්ගෙ පස්සෙන් යයි. මොකෝ අපි දෙන්නත් දුවන්ඩය.... මොකටද ඒකා ආවේ කියලා බැලුවා නං...”

පව්කාරයෝ.... නිකං නිස්කාරණේ මැරිලා යන්න හදනවා!

හාත්පස පීරා බැලූ විල්මට් කපා දමා තිබුණු කෝලිකුට්ටු කෙසෙල් කැනක් සොයා ගත්තේය.

“මුංගෙ අතපය කොර වෙන්ඩ එපැයි, මේ හිරිමල් කැන කපල දැම්මට. ගහටත් නෑ.... බඩටත් නෑ නොවැ දෙයියනේ....” සිසිලියානා සාප කිරීම නතර කළේ බොහෝ වෙලාවකට පසුවය.

“ටවුමේත් දැන් කුඩුකාරයෝ කීප දෙනෙක් ඉන්නවා. ඒ වසංගතේ දැන් ගමටත් ඇවිල්ලද මන්දා.... ඕකලා තමයි මෙහෙව් පජාති වැඩ  කරන්නේ. කුඩු ගහන්න සල්ලි නැති වුණාම ඒකලා අම්මගෙ ඉනේ තියෙන රෙද්ද වුණත් උදුරාගෙන ගිහිල්ලා විකුණනවලු. පව්කාරයෝ.... නිකං නිස්කාරණේ මැරිලා යන්න හදනවා, ලෝකෙටත් බරක් වෙලා ඉඳලා.”

දුම් දමන කෝපි කෝප්පය අතට ගනිමින් විල්මට් බිරිඳට පැවසුවේය.

“අපරාදේ.... ඇහැ වහගෙන රුපියල් සීයක්-හමාරක් ගන්ඩ තිබුණා ඒ කෙහෙල් කැන දීල... කාලකන්නි ඒකත් නැති කළා... ඕකලාට නං හොඳක් වෙන්නෙ නෑ!”

“ඔය කෑ ගැහුවා මදැයි අම්මේ....”

“උඹලගෙ අම්මට තරහ ගිහිං තියෙන්නෙ රුපියල් සීයක් හම්බ වෙන්න තියෙන එක නැති වුණාටයි..... ඈ සිසිලි, කොහෙද උඹ ඔය හම්බ කරන සල්ලි තියල තියෙන්නේ? පැදුරු වියනවා..... වත්තෙ එළවලු ටිකත් කඩලා විකුණනවා... අම්මපා, ඔය සල්ලිවලට මොනාද බං කරන්නේ?”

මාලතී පියාගේ කතාවට සවන් දුන්නේ සිනාවකින් යුතුවය.

මාලතී පියාගේ කතාවට සවන් දුන්නේ සිනාවකින් යුතුවය. සිසිලියානා ගස්සාගෙන ගෙට ගියා විනා කිසිවක් කීවේ නැත.

“අපරාදෙ නින්දත් කැඩුණා...”

විල්මට් නෝක්කාඩු කියමින් පිලේ ඇඳ මත දිගා වූයේය.

6

මාලතී තවත් වතාවක් කන්නාඩියට එබුණාය.

“බෝනික්කී!”

පාසලේ කුඩා මිතුරු-මිතුරියන් බෝනික්කී යයි කියද්දී මාලතී සතුටින් ඔකඳ වූවාය. එය කවුරුන් විසින් පට බඳින ලද්දක්දැයි නොදත් නමුත් එහි ගැබ්වී ඇති උපහාසය ඇයට වැටහුණේ වයසින් මෝරද්දීය. තමාගේ නිල්වන් ඇස් කෙරෙහි විශේෂ අවධානයක් යොමු වී ඇති බව ඇයට වැටහිණි.

පාසලේ එකදු  සිසුවෙකුට හෝ සිසුවියකට හෝ එවන් නිල් පැහැ නෙත් යුවලක් නොතිබුණු බව, ඒ වනවිට මාලතීද තේරුම් ගෙන තිබිණි.

පන්ති සගයෙකු ‘බෝනික්කී’යයි මාලතීට ඔච්චම් කරද්දී වික්‍රම; මාලතීගේ සොහොයුරා ඒ අසලම වූ බව ඔහු නොදැන සිටියා විය යුතුය. වික්‍රමගෙන් ඔහුට ගැලවීමක් ලැබුණේ නැත. දඩබ්බරයෙක් වූ වික්‍රම නැඟණියට විහිළු කළ සිසුවාට හොඳ හැටි තැලුවේය. ඔහු නවතාලීමට ගුරුවරුද මැදිහත් වූහ.

මෝඩියේ, මටත් ඔය වගේ ඇස් දෙකක් තියෙනවා නං කියලයි මං හිතන්නේ.....

විදුහල්පතිතුමාගෙන් වේවැල් පහර කෑ වික්‍රම එයින්ද පසුබෑවේ නැත. ‘එකෙක් හරි අපේ නංගිට බෝනික්කියි කිව්වොත් කට තලනවා!’. ඔහුගේ තර්ජනයට බිය වූවන් මාලතීට විහිළු කළේ රහසිනි. සොහොයුරා දබරවලට පැටලෙනු දකින්නට නොරිසි වූ මාලතී එවන් විටෙක වුවද වික්‍රමට ඒ බව දැන්වූයේ නැත.

“මොකද බං... කන්නාඩියට එබීගෙන භාවනා කරනවද?”

ගෙදර කිසිවෙකුත් නැත. සිතේ වද දෙමින් තිබුණු ප්‍රශ්නය මාලතී චන්ද්‍රාට කීවේ නිදහස් වාතාවරණයක් එළඹ තිබුණු බැවිනි.

“උඹටත් හැබෑටම වෙනින් මොනවත් නැද්ද කල්පනා කරන්න.... ඒ පාර තවත් කෙහෙල්මලක් අල්ල ගත්ත...”

“අනේ අක්කා... කියන්ඩකෝ!”

“මං දන්න කෙහෙල්මලක් නැහැ. මොන මඟුලකට ඔව්වා හාරා අවුස්සන්ඩ යනවද බං? කොහොමද උඹට විතරක් නිල්පාට ඇස් හම්බ වුණේ කියලා දැනගත්තමය කියමු... මොකෝ දැන් ඒක මාරු කරගන්ඩද, මෝඩියේ? මටත් ඔය වගේ ඇස් දෙකක් තියෙනවා නං කියලයි මං හිතන්නේ. තව ටික දවසක් ගියාම උඹටම තේරෙයි!”

‘ඔයාගෙ ඇස් දෙකට තමා මාව පිස්සු වැටෙන්නේ...’යි ධනුෂ්කත් නිතර කියන බව මාලතී චන්ද්‍රාට කියුවේ නැත.

13 comments:

  1. පංච තන්තරේ කියවන්නවත්, පිළිතුරක් ලියන්න වත් පසුගිය දිනවල විවේකයක් තිබුනේ නැහැ. ගෘහ මාරුවක් නිසා මේ දිනවල දරුණු ඒරාෂ්ඨකයක් ලබලයි ඉන්නේ. පිළිතුරු ලියන්න බැරි උනේ ඒ නිසයි.

    ReplyDelete
    Replies
    1. අඩුව දැනුණා, සෑම් මහත්තයෝ! මට හිතුණා වැඩ ගොඩක හිරවී ඇතිය කියලා!
      ඉක්මනින්ම අපලය ගෙවී සපලය උදා වේවා!

      Delete
  2. ඔන්න ඔය විදිහට පින්තූරවලට කැප්ෂන් දාන වැඩේ මාත් නිදි ගෙන් අල්ල ගත්තා

    ReplyDelete
  3. නිල් ඇස් ඇති උදවිය ගැන කිව්වාම
    මතක් වුනේ ඇඩම ගැනයි එකවරම
    සුපර්මෑන්ගෙත් ඇස් දෙක ඒ වගෙම
    කොකේසියන් මුත්තෙක් ඇති මාලතිට

    ReplyDelete
    Replies
    1. හිටියලු නේන්නං ඒ වාගේ මුත්තෙක්
      උන්දෑ නිසා වීලා පොඩි හුටපටයක්
      ඇති කරගෙන තියෙන්නේ හිත තුළ කොස්සක්
      ඔය සිද්දිය නිසයි; විල්මට් නැත සැකයක්!

      ඩ්රැකීත් ඉගෙන ගන්නට නම් ලෝබ නැත
      කාගෙන් වුණත් ගත යුතුදේ අරගනිත
      නැහැ-බැහැ නොපවසා ඒවා පුහුණු වෙත
      දැන්-දැන් ලියන කවි පෙන්වයි ඒ පුවත!

      Delete
    2. අංගම්මන සුමන අංගම්මන සුමන
      වාගෙයි ඒ දවස්වල කවි මම ලියන
      තාක්ෂණය දැනගෙන රස කවි ලියන
      ආසයි කවි සිරෝමණි නිදි වගෙ වෙන්න

      Delete
    3. මත් ගණන ගැනලා
      එළි වැට වුණත් රැකලා
      ලියන කවි දැකලා
      ඩ්රැකයො! සොම්නස් මලුත් පිපිලා

      Delete
  4. ප්‍රාජේගෙ කමෙන්ට් එකෙන් පස්සෙ මමත් පින්තූර දෙතුන් පාරක් බලන්න ගත්තා. සාමාන්යයෙන් මම උනන්දු contents වලට, visual side එකට නෙවෙයි. නමුත් මොලේ ඒ අංශයත් දියුනු කරන්න ඕනෙ නිසා දැන් දෙතුන් පාරක් පින්තූර බලන්න ගත්තා. හොඳ collection එකක්, අර ගිම්හානය, වසන්තය එකතු වෙන එක එහෙම.

    ReplyDelete
    Replies
    1. ගොඩක් හොඳයි Lotus, කොච්චර දේවල් අලුතෙන් ඉගෙන ගත්තත් වැරැද්දක් නැහැනෙ.... අපේ මොළයේ ඕනෑ තරම් ඉඩ තියෙනවානේ!

      Delete
  5. නිල් පාට ඇස් ලනක්වේ තියෙන්න පුළුවන් එකම විධිහ පරම්පරාවේ අක්වුරුහරි යුරෝපියන් කෙනෙකු සමග සම්බන්ධයක් තිබූ නිසා නේ. නැත්ද? මේ කොටස ලස්සනයි.
    බ්ලොග් වලට ෆොටෝ එකක දමන එක සාමන්‍යයෙන් සිරිතක් වශයෙන් හැම බ්ලොග්කරුවෙක්ම කරනවා. (ඉංග්‍රීසි)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි, අජිත් මහත්තයෝ ප්‍රශංසාවට.
      පාරම්පරික හුටපටයකුත් තියෙනවා තමා.
      මමත් තවම හිතනවා ඇයි අපේ ලියන අය ලියපු දේ පෙනෙන හැටි ගැන එච්චර හිතන්නැත්තේ කියලා. Blogs බලන්න කලින්ම මට ඔය ගැන හිතිලා තිබුණේ කේ.කේ. සමන් කුමාර (සර්පයා) ගේ පොත් දැකලා.

      Delete