අකුරු මැකී නෑ

Wednesday, January 6, 2021

යුවති කිරිල්ලී - එකොළොස්වෙනි කොටස

මාලතී, ඔයාට දළදා සමිඳු පිහිටයි! මම, ධනුෂ්ක...

ඒ නිසයි මම ලියුම මෙතනිං නවත්තන්නේ. තරහ නැතිව මට ලියුමක් එවන්න. 

මාලතී, ඔයාට දළදා සමිඳු පිහිටයි!

මම,

ධනුෂ්ක’

බසය වේගයෙන් ඉදිරියට ඇදෙයි. ජනේලයකින් පිටත බැලූ මාලතී හමා යන සුළඟට සුසුමක් මුසුකොට හැරියේ හදවත සැහැල්ලු කර ගැනීමේ චේතනාවෙනි.

ඇය තමාගේ අතැඟිලි අතර රැඳී තිබුණු ලිපිය චන්ද්‍රාගේ අතෙහි තැබුවාය.

මාලතී ලිපිය කියවද්දී එයට එබී බලන්නට සිතුණත් චන්ද්‍රා එසේ කළේ නැත. කුතුහලය මැඬගැනීම සඳහාවත් අනුන්ගේ ලියුමක් රහසින් කියවීම නොහොබිනා ක්‍රියාවකි; අවිනීතකමකි. මුලදී එසේ සිතා හිත හදා ගත්තත්, දැන් ධනුෂ්කගේ ලිපිය ඇගේ අතටම ලැබී තිබේ.
'දැන් ඉතිං මේක කියෙව්වම මොකෝ...?’

ලිපිය දිග හැරීමට පෙර චන්ද්‍රා යාබද අසුනේ වාඩි වී සිටින කාන්තාව දෙස බැලුවාය. ඈ ද්‍රවිඩ ගැහැනියකි.
හැරී බලන චන්ද්‍රාව දුටු ඇය බුලත් කහටින් දුර්වර්ණව ගිය දත් දෙපෙළම පෙන්වා සුහද සිනාවක් පෑවාය. ද්‍රවිඩ ගැහැනියට මේ ලිපිය කියවීමට නොහැකි බව නිසැකය. පිළිතුරු සිනාවක් පෑ චන්ද්‍රා ලිපිය දිග හැර ගත්තේ සැහැල්ලු හැඟීමෙනි.

ඉක්මනට බහිනවකෝ මාත්තයා.... හෝල්ට් එක ගාවටම එනකල් ඉන්නෙ නැතිව නැඟිටලා ඉස්සරහට ආවා නම්....(foto- ශෂින් විජේතුංග)
“ආං බලන්ඩකෝ අක්කා, අක්කලයෙ අප්පච්චි ඉස්සරහා කිරා වැටෙනවා!”

“අප්පච්චිට ඉතිං එක තැනක ගොඩක් වෙලා ඉන්ඩ වුණොත් ඔහොම තමා... හැබැයි ඉතිං අප්පච්චිට ඉස්සරහින් සීට් එකක් හම්බ වෙච්චි එක උඹෙත් වාසනාව!”

“අනේ ඔව්මයි අක්කා. නැත්නං මට ඔය ලියුම කියවගන්ඩ කොච්චර වෙලාවක් බලා ඉන්ඩ වෙයිද දන්නෙ නෑ... අපෙ අම්මා එහා-මෙහා වෙනකල් ඉඳලා ඕනැනෙ ඕක කියවන්ඩ....”

චන්ද්‍රා ආපසු දුන් ලිපිය නමා, ළමැදෙහි රුවා ගනිමින් මාලතී කීවාය.

බස් රිය තවත් නැවතුමකට සේන්දු විය. පොල් පැටෙව්වාසේ බසයේ සෙනඟ පිරී සිටිති. පිටුපස අසුනක වාඩි වී සිටි මඟියෙක් තෙරපීගෙන ඉදිරියට ඇදෙයි. ‘බස් එකෙන් බහිනවට වැඩිය ලේසියි මාර සෙනඟ පරද්දන එක.’ මාලතී සිතුවාය.

“ඉක්මනට බහිනවකෝ මාත්තයා.... හෝල්ට් එක ගාවටම එනකල් ඉන්නෙ නැතිව නැඟිටලා ඉස්සරහට ආවා නම් ඉවරයිනෙ..... මෙතැන අනෙත් මිනිස්සුත් රස්තියාදු වෙනවා, අපරාදේ!” කොන්දොස්තර කොලුවා ජනේලයෙකින් එබී බැලුවේය.

“බලපංකො මාලතී, අපි රස්තියාදු වෙනවට ඌට දුක හිතිලා.....”

මගෙ පපුව ගැහි-ගැහී ආවේ.... මේකා බස් එළවන විදිහට. ආකාසේ උඩින් යන්ඩ වගේ හදන්නේ...

“ඔහොම තමා චන්ද්‍රක්කේ....”

“ඒකත් ඇත්ත, උන්ගෙත් රස්සාවනේ!”

නැවතත් කොන්දොස්තරගේ හඬ ඇසිණි. “ඉස්සරහින් ගොඩක් බහිනවා.... නඟින්න.... නඟින්න... ඔය අම්මට යන්න බැරි නං අයින් වෙලා ඉඩ දෙනවකො! තව පැයකටවත් වෙන බස් එකක් නැහැ...”

“දැන් උඹ අප්පොට උත්තර ලියනවද?”

“ලිව්වට වැඩක් නෑ අක්කා.....”

“අර මොකෝ?”

“මං ලිව්වට අප්පොගෙන් ලියුමක් ගෙන්නා ගන්නෙ කොහාටද? මීගහපැලැස්සට ආයෙ රට ලියුම් එන එකක්යැ? ගමේ කාට එහෙම ලියුමක් ආවත් පහුවදා වෙනකොට ඔක්කොමලම දැනගෙන තියෙයි. ඊට මීට වඩා හොඳයි පාඩුවේ ඉන්නවා!”

මාලතී කියන්නේ ඇත්තකි. “උඹට මොළෙත් තියෙනවා එහෙනං...” චන්ද්‍රා ඉන්පසු ඒ ගැන ඇසුවේ නැත.

“මගෙ පපුව ගැහි-ගැහී ආවේ.... මේකා බස් එළවන විදිහට. ආකාසේ උඩින් යන්ඩ වගේ හදන්නේ... මුංට අම්මපා මොළයක් කියලා එකක් නැද්ද? පොඩ්ඩ එහා-මෙහා වුණොත් පාතාලේ නේද?”

අපෙ අප්පච්චි දන්නෙ නෑ. දැන් කාලේ කොල්ලෝ චමින්ද කියල කියන්නේ වයසක අයට....

මුදලිහාමි බසයෙන් බැස්සේ කෝපයෙන් පිපිරෙමිනි. මාලතීත් චන්ද්‍රාත් සෙනඟ පීරාගෙන ඉදිරියට එන තුරු ඔහු සිතේ තිබූ වේගය පිටට දැම්මේය.
මුදලිහාමිගේ කතාවට මඟී කිහිප දෙනෙක් හිස සලා අනුමැතිය පළ කළහ. කොන්දොස්තර කොලුවා ඒ බව දැක කඩා පැන්නේය.

“ඔහොම ගාට-ගාටා යන්න නං කරත්තයක් බැඳගෙන එනවා ඕයි... අනිත් ටර්න් එක මිස් වුණොත් තමුසෙද අපට දෙන්නේ? බස් එකේ ඇවිල්ලා, දැනුයි කයිය ගහන්නේ...”

“ඇයි, ඇයි. මොකද මල්ලී?” රියදුරාද විමසුවේය.

“නෑ, නෑ... නෝ ප්‍රශ් අයියා... ආ අක්කලා බැහැලා ඉවරද? රයි රායිට්... අපි යං! මේ චමින්ද කෙනෙක් පව් දෙන්න එනවා!”

“ඌට පිස්සු ළමයිනේ... මගේ නම චමින්දයැ? මුදලිහාමිනේ...” මුදලිහාමි කියූ දෙයට චන්ද්‍රා සිනාසුණාය.

“අපෙ අප්පච්චි දන්නෙ නෑ. දැන් කාලේ කොල්ලෝ චමින්ද කියල කියන්නේ වයසක අයට....”

“දහදුරා බල්ලෝ!”

********

පොතක් ලියන්නට ගුරු හරුකම් ගත හැකි ක්‍රමයක් තිබේදැයි....

“නිමල් අයියා කවදද පොත ටයිප් සෙටින් කරන්න දෙන්නේ?” සොමිල් ලගත් ඇසුවේය.

“ලියලා ඉවරයි තමා. ඒ වුණාට සොමිල්, කපලා කොටලා- හරි ගස්සලා ආයෙ ලියන්න එපැයි!” මම කීවෙමි.

ඒ වෙද්දී පොතක් ලියන්නට ගුරු හරුකම් ගත හැකි ක්‍රමයක් තිබේදැයි මං දැනගෙන හිටියේ නැත.
අරහෙන්- මෙහෙන් කියවා ඉගෙනගෙන තිබුණු කරුණු අනුව නම්, කරන්නට තිබුණේ ලියා හමාර වූ පොත පැත්තකින් තියලා මාස කිහිපයක් ඉවසාගෙන සිටීමය.
‘එයින් පසුව ඔබේ පොත නැවත කියවමින්, සංස්කරණය කරමින් නැවත ලියන්නට පටන් ගන්න!’ කියලාය එක් කතුවරයෙකු උපදෙස් දීලා තිබ්බේ.

“මෙච්චර හොඳට ලියවිලා තියෙද්දී, ආයි මොනවටද තව සැරයක් ලියන්න මහන්සි ගන්නේ?” අත් පිටපත කියවූ මිතුරෙකුත් පුදුම වුණේය.

එයාලා එහෙම කිව්වේ හිතේ ශ්‍රද්ධාවෙනි; අහිතකින් නොවේ. අපට සිහි-බුද්ධිය ඕනෑ වෙන්නේ මෙහෙම වෙලාවටය. ‘පොත හොඳය’, ‘ලියවිලා තියෙනවා හොඳය’ කියූ අයගෙන් එක්කෙනෙකුවත් මේ මං තරම්වත් පත-පොත කියවන අය නොවිණි.

යමක් අහ ගන්නවා නං උඹට වැඩිය දන්න- කියන කෙනෙකුගෙන් අහගනින්! ඒක ඇඟට ගුණයි!!

    විපුල ගුණැති මහතුන් හට පත්       විපත
    නිසල නැණින් යුතු උතුමෝම      දුරලත 
    කලල ගිලුණු මත වරනිඳු ගොඩ    ගනිත 
    තුමුල බලති ගිජිඳෙකු මිස අන්    කෙවත
- ‘සුභාෂිතයේ’ත් කියලා තියෙන්නේ නිකම්මද? මට සිතිණි. ‘යමක් අහ ගන්නවා නං උඹට වැඩිය දන්න- කියන කෙනෙකුගෙන් අහගනින්! ඒක ඇඟට ගුණයි!!’

ඒකටත් එක්ක අද!

නිකමට හරි අන්තර්ජාලයට පිවිසී ‘පොතක් ලියන්නේ කොහොම’දැයි හොයා බලන්න. ලැබෙන උපදෙස් කන්දරාව මහාමේරුව තරම් උසය; සරුය; බරය. පොතක් ලියද්දී කළ යුතු දේවල් මෙන්ම නොකළ යුතු දේවලුත් ඒ විස්තර අතර තිබේ.

කොහොමෙන් වුණත් මම නැවතත් ‘යුවති කිරිල්ලී’ ලියන්නට ගත්තෙමි.
එතකොට මේ ලියන්නා දැනගෙන නොහිටියත්, ඒ විදිහට දහ වතාවක් නැවත ලියැවුණු විශිෂ්ට නවකතාවක් ගැන 2019 දී දැනුවත් වුණේය!

1862 තමයි වික්ටර් හියුගෝ මුලින්ම මේ පොත ලිව්වේ... ඒ කාලේ ඔහුව රටින් පිටමන් කරලා හිටියේ... ඒකට හේතුව තමයි එවකට පැවති පාලනයට විරුද්ධව මිනිසුන්ව අරගලවලට යොමු කරපු නිසා. වික්ටර් මේ පොත ලිව්වේ... ප්‍රංශයට කිට්ටුව තිබුණු ගිනටි කියන දූපතේ ඉඳන්... අවුරුදු දහයක් තිස්සේ ඉඳන් ඔහු මේ පොත ලියලා තියෙනවා... වික්ටර්ගේ මේ පොතේ අත්පිටපතේ පිටු ගණන පිටු 6000ක්... ඒ කාලේ පරිගණක පහසුකම් තිබුණේ නැති නිසා... තනිකර අතින් තමයි මේ පොත ලිව්වේ... ඔහු දහවතාවක් මේ පොත ඔහුගේම අත්අකුරෙන් ලියලා තියෙනවා... ඒ කියන්නෙ පිටු 60,000ක්...  මිනිහෙකුට පුදුම ඉවසීමක් තිබිය යුතුයි දහවතාවක් මේ පොත ලියන්න...

ඒකට හේතුව, එවකට පැවති පාලනයට විරුද්ධව මිනිසුන්ව අරගලවලට යොමු කරපු නිසා.....

අදටත් ලෝක සාහිත්‍ය ඉතිහාසයේ ප්‍රකාශකයෙක් විසින් වැඩිම මුදලක් ගෙව්ව පොත තමයි වික්ටර් හියුගෝගේ ‘ලෙස් මිසරබල්ස්’ කෘතිය...
පසුකලෙක මේ කෘතිය සිංහලට පරිවර්තනය කරනවා අයි.එම්.ආර්.ඒ. ඊරියගොල්ල මහත්තයා මනුතාපය ලෙස...
නමුත් ඒක සංක්ෂිප්ත පරිවර්තනයක්.. මොකද ලෙස් මිසරබල්ස් කෘතියේ පිටු
1200 තියෙනවා.. නමුත් ඊරියගොල්ල මහත්තයා පරිවර්තනය කරපු මනුතාපයේ තියෙන්නෙ පිටු තුන්සිය ගාණක්...’

මට හිතෙන්නේ ඒ විස්තරය එහෙම පිටින්ම කියවලා බලන්නත් වටිනවා කියලයි.

හැබැයි මොන දේ කරන්න ගියත් නිමල් දිසානායක ගොබිලා උගෙ හිතුවක්කාර ගතිත් අත අරින්නේ නෑ. කවුරු-කොහොම කිව්වත් මිනිහගේ හිතේ තිබ්බේ සරල බස් වහරකින්, කෙටි වැකිවලින් පොතක් ලියන අරමුණයි.
අදට වුණත් යමක් ලියද්දී එයාගේ ඒ අරමුණ එහෙමමයි. කාලයේ හැටි වෙන්නැති, වික්ටර් හියුගෝ උන්නැහේ පොත ලියද්දී.... අච්චර දිග වැකි ලිව්වේ...

'මේ පොතේ එක වාක්‍යයක් තියෙනවා ඒ වාක්‍යයේ වචන නමසිය පනස් දෙකක් තියෙනවා.. කෝමා විතරක් තියෙනවා අසූ ගාණක්.. එක නැවතීමේ ලකුණයි තියෙන්නෙ... ලෝක සාහිත්‍යයේ දීර්ඝ වාක්‍ය අතර මේකත් ඉදිරියෙන්ම තියෙනවා...’

පොත ආපහු ලියනකොට ලියන-ලියන ටික දෙමු type setting කරන්න.

“හරි, නිමල් අයියා පොත ආපහු ලියනකොට ලියන-ලියන ටික දෙමු type setting කරන්න. වැඩේ ඉක්මන් වෙනවනේ....” සොමිල්ම යෝජනා කළේය.
“ට්‍රේසින්ස් out කළාම මගේ ගණනේ ඔයාට පොත plan කරලා දෙනවා..... Plate පැකට් එකක් අරගෙන දුන්නොත් එක්ස්පෝස් කරලත් දෙන්නං....”

ඒ දවස්වල පොත් මුද්‍රණය කෙරුණේ එහෙමය! ඔන්න ඒ වග-විස්තර ටිකකට නවත්තලා, පොතේ 89 පිටුවට රසික ඔබව කැන්දන් යන්නට අවසරයි.

“අපි නං අද හවසම යනවා අප්පච්චි....”

එරන්දතී දන්තුරේ බණ්ඩාරට කීවාය. කුමාරිහාමිට විදුලි සැරයක් වැදුණා සේය. හැරී බැලූ ඇයගේ දෙනෙත් තෙත්ව තිබිණි.

“ඇයි මයෙ දුවේ? මං උන්නෙ දූලා අඩුම ගණනේ දවස් දෙක-තුනක්වත් ඉඳලා යාවි කියලා. ඉන්ඩකො මයෙ දුවේ... ආයෙ හැමදාම එන එකක්යැ.... මෙහෙම කලබලේ ආපහු දුවන්ඩ තනන්නේ!”

“අපිත් ආසා නැතිව නෙවෙයි අපෙ අම්මා! අපිත් කැමතියි දවස් දෙක-තුනක් මෙහෙ ඉන්ඩ. ඒ වුණාට අපෙ අම්මා, මෙයාට වැඩට යන්ඩත් තියෙනවා.... ඊයේ මේ ආරංචිය දැනගත්තු ගමන්මයි මං කීවේ අපි මෙහෙ ඇවිත්ම කියමුය කියලා.... මං දන්නවනේ අපෙ අම්මා කොච්චර සන්තෝස වෙයිද කියලා ඒක ඇහුවම...”

අපෙ අම්ම දන්නෙ නෑ මෙයාගෙ හැටි! මම මෙහාට වෙලා හිටියොත්...

“සන්තෝස නැද්ද මයෙ දුව?”

“ඒකම තමයි අපිත් දවස් දෙකකට නිවාඩු දාලා ආවේ. නැත්තං ටෙලිෆෝන් එකෙනුත් කියන්ඩ තිබුණනෙ අපෙ අම්මා....”

කුමාරිහාමිගේ මුහුණ මලානිකය. දමින්ද ඈ දෙස බැලුවේ දයාවෙනි. නැන්දම්මා හදවත පතුලෙන්ම දරුවන්ට සෙනෙහස දක්වන්නියකි.

“එරන්දි.... එහෙම නං ඔයා මෙහෙ ඉන්දදී....”

“අපෝ බෑ!” දමින්දට ඉතිරිය කියන්නට ඉඩ නොලැබිණි. එරන්දතී බාධා කළාය.

“අපෙ අම්ම දන්නෙ නෑ මෙයාගෙ හැටි! මම මෙහාට වෙලා හිටියොත් හොඳට හිටී. තනියම ගෙදර ඉන්ඩ පාළුයි කියයි. යාළුවොත් පිරිවරාගෙන අරහෙ ගියා කියයි, මෙහෙ ගියා කියයි. ගිහිල්ලා රෑ ජාමෙට ගෙදර එයි....
වැඩකාරයෝ ටික උංට ඕනැ ඕනැ විදිහට නටන්ඩ තියා ගනියි. මම දන්නවා නෙව උංගෙ හැටි.... මෙයාට හරියකට කන්ඩ ටිකවත් හදල දෙන එකක් නෑ.
පස්සේ මෙයත් මටම දොස් කියයි....” එරන්දතී නොනවත්වාම කියාගෙන ගියාය.

දියණියගේ හේතු දැක්වීම අප්පෝ අසා සිටියේ සිනහ මුසු මුහුණින් යුතුවය. ඔහු දමින්ද දෙස බලා හිසින් සන් කළේය.

දැන් ඉතිං කොළඹ ලස්සන ලස්සන කෙල්ලො වැහි වැහැලනෙ....
“ඔය බොරු නැන්දම්මේ.... එරන්දි බයයි මම තනියම එහෙ ඉන්නවට... දැන් ඉතිං කොළඹ ලස්සන ලස්සන කෙල්ලො වැහි වැහැලනෙ.... ඉස්සර තමයි ගම්වල ලස්සන කෙල්ලො හිටියේ.....”

“පේනව නේද අපෙ අම්මා? මෙයාගෙ නැහැදිච්චිකමේ තරම....” එරන්දතී නැහැයෙන් ඇඬුවාය. කුමාරිහාමි සිනා වුණේ ඔසරි පොටින් මුව වසා ගනිමිනි. මිලින්දත් බොරු දබරය දෙස බලා සිටියේය.

“ගං ගොඩවල්වල හිටපු ඇහැට කණට පේන කෙල්ලො තමයි පුතේ දැන් ඔය සිදාදියට ගිහිල්ල ඉන්නේ.... මැණික් කපනවා කියයි... මහනවා කියයි... ෆැක්ටරිවල වැඩය කියයි...”

“ජුක්කියෝ මාමා.... උන්ට හුඟක් කොල්ලෝ කියන්නෙ ජුක්කියො කියලා...” මිලින්ද අත්වැල ඇල්ලුවේය.

“චී පුතා. නාකයි; ඒ අහිංසක එකියොන්ට පාච්චල් කරන්ඩ හොඳ නෑ, පුතේ. උන්ගෙ නැති-බැරි කමටම ඔය අම්ම-අප්ප-ගම දාලා ගිහිල්ලා, නන්නාඳුනන පලාත්වල කඹුරනවා....” කුමාරිහාමි සංවේගය පෑවාය.

එරන්දතී මිලින්ද අසලට ගොස් එතැන වූ පුටුවක වාඩි වූවාය. “මල්ලි දවස් දෙක-තුනක් ඉඳලනෙ එන්නෙ එහෙනං....”

ධනුෂ්කවත් වලව්වෙ සිටින්නේ නම් මිස මෙහි නැවතීමට...

මිලින්ද වලව්වට ආවේ දවස් දෙක-තුනක් එහි නැවතී සිටින බව කියමිනි. ඔහුට අවශ්‍යව තිබුණේ ධනුෂ්කගේ ලිපිය මාලතීට දීමටය. ඒ සඳහා නොසිතූ අන්දමින්ම අවස්ථාවක් ලැබීම වාසනාවකි. දැන් මෙහි නැවතී සිටීමේ අරුතක් නැතැයි ඔහු සිතුවේය. ධනුෂ්කවත් වලව්වෙ සිටින්නේ නම් මිස මෙහි නැවතීමට ඔහු කැමති නැත.

“නෑ අක්කෙ, මාත් එනවා අක්කලත් එක්කම....”

“තමුසෙට මොකද ඒ පාර වුණේ? එහෙදි කිව්වා නේද හිතුණොත් දවස් දෙක-තුනක් මෙහෙ ඉන්නවා කියලා?” දමින්ද සොහොයුරා දෙස බැලුවේය.

“අයියලා කොළඹ කෙල්ලො ගැන මතක් කළාම මං කොහොමද ඉවසලා ඉන්නේ..? පිස්සු ඩබල් වෙනවා.... මෙලාකටත් මාව නොදැක ඉන්න බැරිව කී දෙනෙක් වහ බීලද දන්නෑ.... ඉවසපං පපුව, ඉවසපං!”

“අයියයි මල්ලියි දෙන්නම එකයි!” එරන්දතී ගැස්සුවාය.

“ඔයාගෙ වැඩේම පැත්තක ඉන්න මාවත් ඔව්වට පටලෝගන්න එක. මාව අතෑරලා ඕනි එකක්.... ඔව් අප්පච්චි, පස්සෙ මෙයාම ඕවගේ කතාවල්වල කොන් අල්ලාගෙන මාත් එක්ක රණ්ඩු වෙනවා...” දමින්ද අප්පොට කිව්වේ ඔහුගේ සහයෝගය පතන්නාක් මෙනි.

එරන්දතී රැවුවාය.

මේ පේනවා නේද නැන්දම්මා.... ඇත්තටම රවන හැටි!

“මේ පේනවා නේද නැන්දම්මා.... ඇත්තටම රවන හැටි!”

“හා, හා. මං තමා රවන්නෙයි, රණ්ඩු කරන්නෙයි ඔක්කොම. ඉවරයිනෙ ඉතිං.... ඕං අපෙ අම්මා. එහෙනං අපි තුනට විතර යනවා.” එරන්දතී අවසාන තීන්දුව දුන්නාය.

********

“බණ්ඩාර අප්පොට මොනවා හිතුණද දන්නෑ... මාලතී කෙල්ලව ඇහැ ගැහුණාම.”

මුදලිහාමි බුලත් හෙප්පුව අතට ගත්තේය. කුසුමාවතී ඇකයේ හුන් දරුවා දෙස බැලුවාය. ඔහු නින්දට වැටිලාය. දරුවාගේ කටෙන් තන පුඩුව මුදවාගත් ඈ හැට්ටය පියෙව්වාය. දරුවා ඇඳ මතින් තබමින් ඇය සැමියා දෙස බැලුවාය. “අර මොකෝ අරහෙම කියව්වේ?”

“නෑ ඉතිං, අප්පොට හිතෙන්න නැතෑ දූ ඩිංගිත්ත වගේම නේද කියලා. මාලතීත් ඔය එරන්දතී කුමාරිහාමිලාගේ පලේමනේ.... මාලතීට වැඩිය වැඩිමල් වුණාට. අප්පොයි සිසිලියානායි එක අප්පගේ දරුවෝ නෙව”

“ඒකත් එහෙමද?”

චන්ද්‍රා දෙමවුපියන්ගේ කතාවට කන් දීගෙන සිටියාය. මේ තොරතුරු සමහරක් පැරැණි වුවද, ඒවා ඇයට අලුත්ය. කුසුමාවතීත් සැමියාට සවන් දුන්නේ උනන්දුවෙනි.

“එහෙම බලනවා නං අපේ එකීත් නෑයෝ වෙන්න යන්නේ වලව්වෙ ලේ ඇති පවුලකට වෙච්චි....”

ඒ කාලේ ඔය සිසිලියානාලගේ අම්මාව දන්තුරේ වලව්වෙමයි තියාගෙන ඉඳලා තියෙන්නෙත්....

“ඒක නං ඇත්ත තමයි බං. හැබැයි පොඩි පරහක් තියෙනවා.... ඒ විදිහට බලාගෙන යනවා නං, මේ ඉසව්වේ හැම එකාම වගේ වලව් පරම්පරාවල ලේ ඇති ඈයො වෙයි. ඉස්සර ඔය වලව්වලයි අප්පොලා වැඩි දෙනෙකුගෙයි විත්ති කිව්වොත්, බල්ලොත් බත් කන්නේ නැතිව අරියි... එච්චරට ලජ්ජයි.”

බුලත් විට ඒදා ගත් මුදලිහාමි එය මුවට ඔබා ගත්තේය.

“ඒ සංදියේ ඩිංගිරි; ඔය සිසිලියානලගේ අම්මා හොඳ ලස්සන ගැටිස්සියෙක්ලු! පොත්තත් රතුයිනේ!! දන්තුරේ බණ්ඩාර අප්පොගෙ අප්පච්චිත්; මහ අප්පොත් හරි සල්ලාලයාලු.... ඒ ගතියම තමයි වෙන්ඩැති අප්පොටත් ටික වෙන්ඩ තිබුණේ.
ඔය මහ අප්පෝ ඒ කාලේ ඔය සිසිලියානාලගේ අම්මාව දන්තුරේ වලව්වෙමයි තියාගෙන ඉඳලා තියෙන්නෙත්.... මිනිහත් රට වටේම නම් දරාපු එකෙක්ලුනෙ ඒ කාලේ. අන්තිමට අන්තිමට මිනිහා ඩිංගිරිව වලව්වට හදිසියේ එන සුද්දොන්ගෙ ඕනෑ එපාකම් පිරිමහ ගන්ඩත් දුන්නලු.... එහෙම සුද්දෙකුට දාව තමයි ඔය සිසිලියානාව හම්බ වෙලා තියෙන්නෙත්....
ඊටත් පස්සේ තමා කිරි අම්මව කසාද බන්දවලා දීලා තියෙන්නෙ වලව්වේම වැඩකාරයෙකුට... සිසිලියානාත් හැදුණේ වලව්වෙමනේ!”

“ඉතිං අප්පේ... ඔය පලහිලව් ඔහොම වෙද්දිනුත් කුමාරිහාමිලා බලාගෙන හිටියලුද? ඇයි වදේ, මහ නොසණ්ඩාළ වැඩ නොව?”

බොලා අපේ පවුලක ඔය වගේ දෙයක් උනා නං කැලෑ පත්තරත් ගහලා, ගෙටත් අසූචි ගහලා....

“එව්වා එහෙම තමයි කුසුමාවතියේ... බොලා අපේ පවුලක ඔය වගේ දෙයක් උනා නං කැලෑ පත්තරත් ගහලා, ගෙටත් අසූචි ගහලා තමයි ගංගොඩෙන් පන්න ගන්නේ. ඇති-පැති අයගෙ එව්වා කවුරුවත් හොයන්නෙ නෑ! ඊටත් මහ අප්පොත් මහ නැඩ පුරුෂයා.... මිනීත් මරල තියෙනවලු තරහ ගියාම... ඉතිං කුමාරිහාමිලත් විරුද්ද වෙන්ඩ නැතිව ඇති, බයේම...” මුදලිහාමි පඩික්කමට කෙළ ගැසුවේය.

“ඒ විදිහට බැලුවාම දන්තුරේ බණ්ඩාර අප්පොයි, සිසිලියානායි අම්මලා දෙන්නෙක්ගේ දරුවෝ වුණාට එක තාත්තගෙම වාගෙ තමා...”

දන්තුරේ බණ්ඩාර සිසිලියානාට තම සොහොයුරියකට මෙන්ම නොසැලකුවත් යම් තරමක දයාවක් පෙන්වීය. සිය පියා මෙන්ම ගැහැනු සොඬෙකු වුවද දන්තුරේ බණ්ඩාර විවාහයෙන් පසු වෙනත් ස්ත්‍රීන් වලව්වට ගෙන්වා ගත්තේ නැත.

“හැබැයි ඉතිං අප්පෝ ගම්මැද්දේ නං ඕනෑ තරං නඩලමේ ගියා. ඔය සංදියේම තමා විල්මට් වලව්වෙ ඩ්‍රයිවර්කමට ඇවිත් සිසිලියානාව බැඳ ගත්තේ. වික්‍රම හම්බ වෙලා, මාලතීවත් හම්බ වෙනකල්ම දෙන්නා උන්නෙත් වලව්වෙම කුස්සිය පැත්තෙ කාමරේක...”

මුදලිහාමිට අතීතය හොඳහැටි මතකය.

මාලතීගේ දෙනෙත් නිල් පැහැති වීම නිසා විල්මට් සිය බිරිඳව අවිශ්වාස කළේය. ඈ අනාචාරයේ හැසිරුණු එකියකැයි සැක කළ ඔහු බිරිඳත් දෙදරුවනුත් තනි කර දමා ආපසු මාතරටම ගියේය.

පස්සේ මාත් එක්කම තමයි ඒකි ඔය දරුවෝ දෙන්නත් උස්සාන විල්මට්ව හොයන්න ගියෙත්... 

“මොකද හැබෑටම එහෙම වෙලා තියෙන්නේ?” කුසුමාවතී අතුරු ප්‍රශ්නයක් නැඟුවේ නොදන්නාකම නිසාමය.

“වලව්වට ආව-ගිය දොස්තර මහත්තයෙක්ම තමයි ඕක කියල දුන්නෙත්. කිරි අම්මට සිසිලියානාව හම්බ වුණේ සුද්දෙකුට දාවම වෙන්ඩ ඇතිලු. ඒ ආරෙට ගිහින් තමා සිසිලියානගෙ දරුවගෙ ඇස් නිල් පාට වෙලා තියෙන්නේ.... නැතිව සිසිලියානා වෙනින් දේකට පටලැවිලා නෙවෙයි... ඒත් විල්මට් හිතව්වේ පවුලගේ වල්කමය කියලා.....”

“ඉතිං... මොකද වුණේ?”

“අප්පොයි ඩිංගිරියි දෙන්නම කිව්වා, ගිය මිනිහා ගියාවේ, ඌ මත්තෙම නැහෙන්ඩ ඕනි නැතිය කියලා... පස්සේ වෙන මිනිහෙක්ව හොයලා බන්දලා දෙන්නම්ය කියලත්... අපරාදෙ කියන්ඩ බෑ, සිසිලියානා එක පයින්ම කිව්වා -ඒකිගෙ මිනිහා ඇර වෙනින් මිනිහෙක් නං එපාමය- කියලා. පස්සේ මාත් එක්කම තමයි ඒකි ඔය දරුවෝ දෙන්නත් උස්සාන විල්මට්ව හොයන්න ගියෙත්...”

“ඉතිං විල්මට් පිළිගත්තද?”

“ඔක්කොම කාරණා කියල-කියලා අන්තිමට සිසිලියානා දළදා හාමුදුරුවෝ ඉස්සරහත් දිවුරලා කිව්වා ඒකිගෙ වැරැද්දක් නැතිය කියලා.... ඊටත් පස්සේ තමා ඔය පවුල ආයෙම පෑහුණේ!”

විල්මට්, කිරි අම්මාත් දන්තුරේ බණ්ඩාරත් දෙදෙනාවම නුරුස්සන්නේ මන්දැයි චන්ද්‍රා සහසුද්දෙන්ම දැනගත්තේ එදාය.....

14 comments:

  1. වළව් ඇතුලෙ තියෙනා පෙර ඉතිහාස
    ගමටම කෙළවලා ඇත මහ උං පාස
    පවුලේ එක එකා හරි නැහැ සහ වාස
    ගෙදරට මරගාත - ලෝකෙට පරකාස

    ReplyDelete
    Replies
    1. වලව්වල හිඳින්නේ හාමුල අප්පෝ
      හාමු වෙවී දිගටම ඉන්නා හප්පෝ
      අනුන්ගේ මැලෙන් දිගටම ගිනි තැප්පෝ
      තවමත් එහෙමමයි, උන් විසකුරු සප්පෝ!

      Delete
  2. https://www.wikihow.com/Pronounce-Les-Miserables

    ReplyDelete
  3. වයසක මිනිස්සුන්ට "චමින්ද" කියලා කියන එක ගැන මම දන්නේ නැහැ. ඒක ඇති උනේ කොහොමද?? චමින්ද වාස් ගේ එහෙම සම්බන්ධයක් තියනවද??

    ඊරියගොල්ල මහත්තයා ලේ මිසරාබ්ලෙ මනුතාපය ලෙස පරිවර්තනය කළා, ලාස්ට් ඩේස් ඔෆ් පොම්පෙයි දේවතාපය ලෙස පරිවර්තනය කළා. ඒ කාලේ විපක්ෂයේ හිටපු ගුරු සංගමය ඒගොල්ලන්ගේ පත්තරය "ගුරුතාපය" ලෙස නම් කළා.
    ප්‍රංශුවන්ට එස් අකුර කියවෙන්නේ නැති රෝගයක් තියනවා. එස් අකුර අන්තිමට තිබුනොත් නම් ඒක සයිලන්ට් කියලා හරි හිතා ගන්න පුළුවන්නේ. මාත් එක්ක කාලයක් වැඩ කරපු කාම්බෝදියන් ජාතිකයෙක් (කාම්බෝජය ප්‍රංශ කොලනියක් කාලේ රාජ්‍ය භාෂාව ෆ්‍රෙන්ච්, නිදහස ලැබීමෙන් පසුවත් කලක් යනතුරු උසස් අධ්‍යාපනය ප්‍රංශ භාෂාවෙන් සිදු උන බව තමයි මට කිව්වේ) ඉංගිරිසියේ තියන එස් අකුරුත් ශබ්ද කරන්නේ නැහැ එයා සහයෝගය දක්වන ෆුටි (ඕස්ට්‍රේලියන් රගර්/ෆුට්බෝල් මිශ්‍ර ක්‍රීඩාව) ටීම් එක west coast eagles කියන එක ශබ්ද කරන්නේ "වෙහ් කෝහ් ඊගල්හ්" කියලයි. එස් අකුරු ටික අපි අතින් දාගන්න ඕනෑ

    ReplyDelete
    Replies
    1. සෑම් මහත්තයෝ, 90 දසකයේ තමයි ඔය චමින්ද- චමිලා වචන දෙක වියපත් අය වෙනුවෙන් භාවිත වුණේ.

      අපේ හිතවත් දොස්තර මහත්තයෙකුට ලොකු හිත අමාරුවකුත් වුණා මේ භාවිතය. මොකද එයා චමින්ද, බිරිය චමිලා. එයාලා ඒ කාලයේ ඒ නම් දෙක ගැන වැඩිය කිව්වෙත් නැහැ.

      මේ යෙදුමේ ප්‍රභවය ගැනවත්, දැන් ඒක භාවිතයේ තියෙනවද කියලවත් නම් මට හරි දැනීමක් නැහැ.

      ඊරියගොල්ල මහත්තයා අධ්‍යාපන ඇමතිව හිටි කාලයේ; 1968 එකම එක වතාවක් විතරක් ක්‍රියාත්මක කළ වැඩ සටහනක ප්‍රතිලාභ ලැබූ 300 දෙනෙකුගෙන් එක්කෙනෙක් විදිහට සහ එය ජීවිතයට අමරණීය මතකයක් කරගත් කෙනෙක් හැටියට, ඒ ගැන ඉදිරියේදී ලියවෙන්නට තියෙනවා.

      හුඟක් රටවල අය යම්-යම් භාෂා ව්‍යවහාර - අක්ෂර වින්‍යාස ගැන පරෙස්සම් වෙන ව්දිහට, සැලකිලිමත් වෙන තරමට ඒවා ගැන නොතකන්නේ අපි තමයි. ඔය ගැනත් අපේ ලොකු කතාබහක් ඇදෙමින් තියෙන්නේ, මාස ගණනාවක හිට. ලියවෙන්නත් ඉඩ තියෙනවා.

      Delete
  4. වලව් අප්පෝලා තමන්ගේ නිලය රදල කම මුදල් හා බලය පෙන්නලා ගමේ ගෑනුන් හා සංවාසේ යෙදුනා කියලා කිව්වත් වැඩකරලා දිරාපත්වුනු අව්වට පිලිස්සුනු තමන්ගේ කෙසග මිනිහාට වඩා අප්පෝගේ පුෂ්ඨිමත් තෙල් බේරෙන කඩවසම් හා තේජාන්විත බවට ගෑනු කැමතිවෙන්නත් ඇති.

    ReplyDelete
    Replies
    1. අසංග, ඒ ගමේ ගැහැනු අය නෙව.

      ඕකේ අනෙක් පැත්තකුත් තිබුණා. වලව්වල පිරිමි ගංගොඩවල අවලමේ යද්දී, ළමාතැනීලට තනි රකින්න හැඩිදැඩි- ආරෝහ පරිණාහ අලි බලන්නෝ වගේ සේවකයන් හිටියාලු. ඒ ගැන තොරතුරු එකතු කරලා (මට මතක විදිහට) විජේසිංහ බෙලිගල්ල මහත්තයා ලියපු පොතක් අච්චු ගැහුවටත් පස්සේ, පාරම්පරික ඉතිහාසයට මුහුණ දෙන්න බයේ අපේ මහත්තැන්ලා මැදිහත් වෙලා පොත් තොගයම ගිනි තැබ්බෙව්වාලු!

      ඔන්න ඔහොමලු හාමු කතන්දර!

      Delete
    2. //විජේසිංහ බෙලිගල්ල
      හෙහ් "ලෙනාර්ඩ් වුල්ෆ් සමග ගමනක්" පොත නොවෙයි නේද නිදි කියන්නේ.
      එකෙත් තියේ ඉස්කෝල ගිනිතියපු රාජපක්ෂ පරම්පරාවේ වැඩ ගැන..
      පියසේන කහඳගමගේ ඒ පොතේ කරුණු බොරු කියල ලෙනාර්ඩ් වුල්ෆ් දෙවැනි ගමන කියලාත් පොතක් ලියල තියේ.

      Delete
    3. නැහැ සිරිබිරිස් උන්නැහේ. ඒ පොතේ නමවත් දන්නා අය ගොඩක් ඉන්න විදිහක් නැතිලු. මට හිතෙන හැටියට දන්නා කෙනෙක් තමයි වික්ටර් අයිවන් මහත්තයා... මතක හැටියට බෙලිගල්ල මහතා 'රාවය'ට ගොඩ කලක් ලිව්වාද කොහෙද. ඒකයි!

      පියසේන මහත්තයාත් දක්ෂ කතුවරයෙක්.... චෝදනාවක් කරනවා නං නෙවෙයි. ඒ මහත්තයාගේ තර්ක තියෙන පොත මම කියවලා නැහැ.
      ඒත් එක පාරටම මට සිහි වුණේ ජනාධිපතිඋතුමන්ලගේ නමින් පොත් ලියූ කතුවරුන් හිටියායැයි කියවෙන රටක , තව හැංගුණු කතන්දර කොච්ච්චර තියෙන්න ඇහැකිද කියලා.

      Delete
    4. හ්ම් ඒවා නං එහෙම තමයි නිදි, සීගිරි ගලේ කවි ලීවේ ඩෝල්ටන් ! කියලා ඇත්ත පත්තරේ ගියේ නිකංයැ.

      Delete
    5. ලජ්ජා නැතිකම මහා මුදලිකමටත් වඩා ලොකුයි කිව්වනේ සිරිබිරිස් උන්නැහේ! ඉතිං තව මොනවද?

      Delete
  5. Replies
    1. පංච තන්තරේ පෙරලන්න වෙලාව හොයා ගත්තට ස්තුතියි!

      Delete