අකුරු මැකී නෑ

Sunday, February 28, 2021

යුවති කිරිල්ලී - විසිවෙනි කොටස

ඇයට පෙනෙනසේ කාමරයෙන් එළියට එන්නට සිතුණත් ඔහු එසේ කළේ නැත.

බරාඳයට යාබද කාමරය තුළට වී, ධනුෂ්ක එළියේ සිදු වෙනදේ හොඳහැටි අසා- දැනගත්තේය. ඔහු මාලතීව දුටුවේ යාන්තමිනි; ඒත් දොර රෙද්ද අතරිනි.

ඇයට පෙනෙනසේ කාමරයෙන් එළියට එන්නට සිතුණත් ඔහු එසේ කළේ නැත.

‘මාව දැක්ක ගමන්ම කලබල වුණොත්.... අප්පච්චිත් බලයි මොකද කියලා...’ අනපේක්ෂිත මොහොතක තමාව දැක ගැන්මට සැලැස්වීමෙන් ඇයව කලබලයකට පත් කරවීමට ඔහු බිය වූයේය.

******** 

“මෙච්චර කාලෙකට මමවත් අප්පොගෙ ඔය වගේ ගති ඇතිය කියලා දැනගෙන උන්නෙ නැහැනෙ!” මුදලිහාමි පළමුවෙන්ම කතාව පටන් ගත්තේය.

මාලතීලා ආපසු එනතුරු කිරි අම්මාත්, චන්ද්‍රාත්, කුසුමාවතීත් සිටියේ මඟ බලමිනි. පිල් කණ්ඩිය මත වාඩි වී සිටි චන්ද්‍රා, පාරේ ඈත කොණෙන් මතු වූ මාලතීව හඳුනාගත් විගසම කේතලය ළිපේ තැබුවාය.

“විල්මට්ලගේ තුන්මාසෙ දානෙ කටයුතු බොහොම හොඳට කරන්ඩයි කියලා රුපියල් පන්දාහක්ම දීලා මේ කෙල්ලට... හරියට වෙස්සන්තර රජ්ජුරුවෝ දාන පාරමිතාව පිරුවා වගේ, අප්පොත් මොකක් හරි පාරමිතාවක් පුරනවාද කවුද දන්නෙ?”

“මදැයි! එන්ඩ කියව්වේ ඔහොම දේකටය කියලා, අපි කාටවත්ම හිතුණෙ නැති එක නෙවැ පුදුමේ!” කුසුමාවතී චීත්තය සකසා හැඳගත්තාය.

“උඹලටත් ඉතිං ඕක දැනගන්නකල්නේ ඉවසිල්ලක් නැතිව ඉන්ඩ ඇත්තේ.... දැන් ඉතිං දැනගත්තනෙ! යමල්ල- යමල්ලා ගෙදර...”

 “මගෙ වාතෙ පුරෝ දාලා තියෙද්දින් කොස් ඇටත් කෑවොත්... රතිඤ්ඤා වැලක් පත්තු කළා වගෙ තියේවිනෙ!”

“ටිකක් ඉඳලා යං අප්පච්චි... මං වතුර ළිප තිබ්බා තේ හදන්ඩ.” ගෙට වැදුණු චන්ද්‍රා තසිමක තැබූ ලඩු ගුළි කිහිපයක් ගෙනවිත්, මුදලිහාමිට පෑවාය.

“මේ කොහෙන්ද දුවේ?”

“අර වැල ගහ යට කොස් ඇට වකාරෙට.... බැදලා ලඩු කෙටුවා... අපෙ අම්මත් කැමතියිනෙ. ගන්ඩකො අපෙ අම්මා තව එකක්.... ඇයි, කිරි අම්මා කන්නෙ නැතිය?”

කිරි අම්මා සිනාසී අහක බැලුවාය. “මගෙ වාතෙ පුරෝ දාලා තියෙද්දින් කොස් ඇටත් කෑවොත්.....”
“.... රතිඤ්ඤා වැලක් පත්තු කළා වගෙ තියේවිනෙ!” මුදලිහාමි හක-හක ගා සිනා වුණේය.

“වයසට යනකොට ඔහොම තමයි... ආයෙ ඉතිං නවත්ත ගන්ඩයැ....”

තේ පානයෙන් පසු නික්මී යන මවට, ලඩු ගුළි කිහිපයක් දැමූ බෑගයක් දීමට චන්ද්‍රා අමතක නොකළාය. “මේවා නංගිල- මල්ලිලට....”

“අක්කලාගේ අප්පච්චිගෙත් වැඩ පාළු වුණා, මාත් එක්ක වලව්වට යන්ඩ ඇවිදිල්ලා...” මුදලිහාමිත්, කුසුමාවතීත් යනතුරු මඟ බලා සිටි මාලතී ආපසු හැරුණාය.

“ඒකට කමක් නෑ.... ඉක්මනට වරෙන්... අර කඳුරේ පේමවතීගෙ ගවුම් ටික මහලා ඉවර කරන්ඩ ඕනේ. හෙට උදේට ඒකි එයි එව්වා ගෙනියන්ඩ. පේමවතීට ගාමන්ට් එහෙක රස්සාවක් හම්බ වෙලා!” චන්ද්‍රා මාලතීවත් ඇදගෙන ආවාය.

යෙහෙළියෝ ඇඳුම් මසද්දී කිරි අම්මා නින්දකට වැටුණාය. “ඕං මාලතී කිරි අම්මා ගොරෝනවා.... ඔළුව අඩමානෙට හිටලා වෙන්ඩැති....”

මැෂිම නවත්වා නැඟී සිටි මාලතී, මිත්තණියගේ හිස සකසා තැබුවාය. “පව්! හොඳටම නින්ද ගිහිල්ලා.”

“උන්දෑ හිතේ හයියෙන් තමා දැන් පණ ගැට ගහගෙන ඉන්නේ!”

“කිරි අම්මව මෙහාට එවිච්ච එක කොච්චර එකක්ද අක්කා. නැත්තං අපි දෙන්නා විතරයිනෙ මේකෙ තට්ට තනියම ඉතිරි වෙන්නේ!” මාලතී සුසුමක් හෙළුවාය.

කඩිසරව කුඹුරු-වතු පුරා ඇවිදිමින් ඈ දහසක් කටයුතුවල නියැළුණු අයුරු.....

අම්මා සිටියදී කවමදාවත් ගෙයි පාළු බවක් දැනුණේ නැත. කඩිසරව එහෙ-මෙහෙ ඇවිදිමින් ඈ දහසක් කටයුතුවල නියැළුණු අයුරු මාලතීට මතකය.

කිරි අම්මා තම නිවසට පැමිණි පසු සිසිලියානා සතුටු වූ සැටි මාලතී සිහිපත් කළාය. “අපෙ අම්මගෙ පණ තියෙනකල්ම මට පුළුවනි, මේ අත් දෙකෙන්ම අපෙ අම්මට සාත්තු-සප්පායම් කරන්ඩ.”
එදා ඇයගේ පැතුම සිහිනයක් වී ගියේ කෙතරම් අනපේක්ෂිත ලෙසින්ද? ජීවිතය පැතුම්වලින් පිරුණු එකකි. එහෙත් ඒවායින් ඉටු කරගත හැක්කේ කීයෙන් කීයක්ද?

“ඔහොම කල්පනා කර-කර හිටියොත් නං මැහිලා තියෙයි අද!”

“මට අපෙ අම්මලාව මතක් වුණා චන්ද්‍රක්කා. උන්දැ කොච්චර නං දේවල් හිතාගෙනද හිටියේ? හොරු අරං ගියා වගෙ....”

“කොච්චර ඕවා ගැන කතා කළත් දැන් වැඩක් ඇතියැ... කෝ, ඔය කර්ණාකාර පටිය අල්ලලා ඉවරද? එහෙනං මේකෙත් ඉණ රැලි කරලා ගනිං...” චන්ද්‍රා මාලතීට වැඩ කිහිපයක්ම පැවරුවාය.

“ඒක නෙවෙයි බං... මට මතකම නැති වුණා. අද උදේ ලියුමක් ආවා. උඹට මතකයිද, අර අයියගෙ මරණ ගෙදරට යාළුවො වගයක් ඇවිත් හිටියා... එයින් උස එක්කෙනා...”

සොහොයුරාගේ මිතුරන් කිහිප දෙනෙකුම අවමඟුලට සහභාගි වූ බව මාලතීට මතකය. සමහරු හත්දොහේ දානයටත් පැමිණුණහ. එහෙත් එයින් එක අයෙකු පිළිබඳවවත් ඇයට විශේෂත්වයක් හැඟුණේ නැත.

“ඇයි බං අර උස හීන්දෑරි එක්කෙනා... ගිනිකූරු කට් එක තියලා හිටියේ... චන්දන. මතක නැද්ද? වැඩියත්ම අපි එක්ක කතා කළේ..”

“ඉතිං?”

“එයා ගැන තමයි වික්‍රම ඒ දවස්වල කියල තිබුණේ.... උඹලගේ අයියගෙ හොඳම යාළුවා එයාලු!” චන්ද්‍රා ඉඳිකටුවට නූල් පොටක් ඇමිණුවාය. මාලතී හිස ඔසොවා බැලූ අයුරු ඇය දුටුවේ නැත.

ඔන්න එයාල මෙහෙ එනවලු, ආයෙමත්!

“එයාව තමයි උඹට.....”

“අනේ චන්ද්‍රක්කෙ... අපි ඔය ගැන කතාව නවත්තලා දාමු!”

“නවත්තල දාන්න හම්බ වෙන එකක් නෑ... එච්චරටම ලේසියෙන්. ඔන්න එයාල මෙහෙ එනවලු, ආයෙමත්!”

මාලතී චන්ද්‍රා දෙස බැලුවේ ඈ විහිළුවක් කරනවාදැයි දැනගනු සඳහාය.  එවැන්නක් නොදුටු ඈ විස්මයට පත් වූවාය. “මෙහෙ එනවා....?” ඇයට ඇසුණේ ඉබේමය.

නැඟී සිටි චන්ද්‍රා අල්මාරිය මතවූ ලිපිය මාලතී දෙසට දිගු කළාය. මැහුම පසෙකට කළ මාලතී ලිපිය දිග හැරියාය.

එය කෙටි ලිපියකි. ලිපිය ලියවී තිබුණේ මාලතීගේ නමට නොවේ. චන්ද්‍රාට ලියැවී තිබුණු එහි, තුන් මාසයේ දානය යෙදෙන දින ආදිය විමසා- අනෙකුත් ඒ හා අදාළ විස්තරද දන්වන්නැයි කෙරුණු ඉල්ලීමක්ද විය. වික්‍රම වෙනුවෙන් ඔවුන්ගේ සුහදතාවත්- බැඳීමත් පහදා දී තිබූ ඔහු, ඔවුන්ට හැකි උපරිම අයුරින් මාලතීලාට සහාය දෙන බවද ලියා තිබිණි.

“දැන් ඉතිං උත්තරයක් ලියන්න වෙයි!”

ලිපිය නැවතත් කවරය තුළට බහා ආපසු දිගු කළ මාලතීට චන්ද්‍රා කීවාය. මාලතී හෙළුවේ උදාසීන බැල්මකි.

“මටයැ එවල තියෙන්නේ? චන්ද්‍රක්කටනේ!”

“ඒකට කමක් නෑ.... උත්තරයක් යවමුකෝ.”

“චන්ද්‍රක්කට ඕනි නං ලියන්න. මට ඕනෑ ඇති චන්දනයෙක් නෑ අක්කා....”

“මෝඩි! ඔළුවේ කැක්කුමක් හැදුණත් සඳුන් ටිකක් තමා දෙහි ඇඹුලෙන් උරච්චි කරලා ගාන්නේ.... චන්දනගෙන් නරකක් වෙන එකක් නෑ බං.....”

“මට නං චන්දනගෙන් අමුතු  හොඳක් වෙන එකකුත් නෑ අක්කා...” මාලතීත් හරහට උත්තර දුන්නාය.

********

අපි මොනවා කිව්වත් වැඩ සිද්ද වෙන්නේ බලධාරීන්ටම ඕනෑ විදිහටය... හොඳයි නැද්ද?

පොතක් ලියනවාට වඩා ගොඩක් අමාරු ඒක පළ කරගන්නා එකය. ලංකාවේ සාක්ෂරතාව ඉහළ යද්දී පොත්-පත්තර කියවීම සීග්ගරයෙන් පල්ලම් බහිමින් තියෙන බවය, පෙනෙන්නේ.

දැන් අප කියවන්නේ ප්‍රවෘත්ති මාතෘකා විතරය.... අප කිව්වේ මාත් ඇතුළුවය. එවෙලෙ ආතල් එකක් ගන්නවා මිස; ලේ කෝප කර ගන්නවා මිස, ඒ පුවත්වලින් වැඩි හරියක ගත යුත්තක් නැතිය කියලාය, මට නං හිතෙන්නේ.
ජහමනතාව සැලකිල්ලක් දැක්වුවත් නැතත්, එපා කියලා පර සක්වළ ගැහුවත් නැතත් හීන් සීරුවේ බලධාරීන්ට උවමනා විදියට වැඩ සිද්ධ වෙයි.
මගේ අසංවර වදන් කොස්ස නිරායාසයෙන් එළියට පනින්නේ මෙහෙම වෙලාවක ප්‍රශ්නයක් අහද්දීය. ‘අපි ඕවා කියෙව්වා කියලා අමුතු ලබ්බක් වෙනවයැ?’

අනෙක් අතට අප උනන්දු වන්නේ ස්ත්‍රී දූෂණ; ප්‍රසිද්ධ අයගේ දික්කසාද වගේ දේවල් ගැන කියවන්නටය. අද්‍යතන ශ්‍රී ලංකාවේ දවසකට පිළිකා රෝගීන් 80ක් විතර වාර්තා වෙන බව කියවනවාට වඩා, රූමත් තරුණියකට කෙරුණු අඩන්තේට්ටමක් ගැන විස්තරයක් අපේ අවධානය දිනා ගන්නවා නේද?

එහෙව් පසුබිමක, පොතක් පළ කරවා ගැනීමටත්- එය පාඨකයා වෙත ගෙන යාමටත් තියෙන්නේ හරිම දුක හිතෙන ක්‍රමවේදයන්ය!

යුවති කිරිල්ලී පොත අච්චු ගහන්නට හදන කාලේ මට ‘ගිහාන් ශ්‍රීනාත් අල්විස්’ සහෘදයා හමුවී තිබිණි. ඒ ගිහාන් TYTP- අමද්‍යප තරුණ පුහුණු මුද්‍රණාලයට පැමිණි වෙලාවලදීය. ගිහාන් ආවේ, උපුල් සාන්ත සන්නස්ගලගේ ‘සරසවි දියණියෝ’ පොත බෙදා හැරීමේ වැඩවලටය.  

“නිමල් අයියා පොත ගහනවා නං මම බෙදා හරින්නම්!” ගිහාන් පොරොන්දුවක් දුන්නේය.
“හැබැයි නිමල් අයියේ, පොතෙන් කොටසක් හරි ගොඩගේ- දයාවංශ ජයකොඩි වගේ තැනකටත් දෙන එක හොඳයි බෙදා හරින්න.... අපි වුණත් දුර පැතිවල යන්නෑනේ පොත් උස්සගෙන.....” ගිහාන් තේරුම් කළේය.

“මගේ අකමැත්තක් නැ ගිහාන්. ඔයා ක්‍රමේ දන්න මිනිහනෙ.”
“එහෙම වුණාට මම ඉස්සෙල්ලම ඒ තැනක් එක්ක කතා කරලා බලන්න ඕනි. ඉස්සෙල්ලම ගොඩගේ මහත්තයට කියල බලන්නංකො. කැමති වුණොත්, පොතේ බෙදාහැරීම ගොඩගේ එකෙන් කියලත් පොත් දාහකට විතර දාන්න වෙයි... අනෙක් දෙදාහට විතරක් මගේ නම දාමු- බෙදා හැරීමට.” වැඩේ සිද්ධ වුණෙත් ඒ විදිහටය. ඒ 1996 දීය.

මට කියන්නට වෙන්නේ අතීත අත්දැකීම් ගැන විතරය....

අද වෙද්දී; මාසයකදී පොත් රැසක් පළ කරන පොත් ප්‍රකාශන සමාගම් ගොඩාරියකි. කර්තෘ ප්‍රකාශකයනුත් ගොඩකි. ඒ නිසාද කොහෙද, ඒ ඒ සමාගම්වල පොත්වලටමය- එයාලාගේ පොත් සාප්පුවල ඉඩ ලැබී තියෙන්නේ....

දැන් මට කියන්නට වෙන්නේ අතීත අත්දැකීම් ගැන විතරය, හොඳේ!
ශාඛා රැසක්ම තියෙන ප්‍රකාශන සමාගමකිනුත්, ‘අනුන්ගේ පොත්’ ළඟට ගෙනිහිල්ලාම දුන්නත් දුර-බැහැර ශාඛාවලට යවන්නේ නැතිය. “ඒ ශාඛාවකින් එවන්නයි කියලා ඉල්ලලා එවන පිටස්තර පොත් විතරයි අපි ඒවාට යවන්නෙ.... අපේ පොත් ගොඩක් තියෙනවනේ, සාප්පුවල display කරන්න බැරි තරමට.” වතාවක් මටම ලැබුණු උත්තරයකි ඒ.

“නිමල් අයියේ, ඔන්න ඔයාට තමයි තීරණේ කරන්න වෙන්නේ.
පොතක් බෙදා හරිද්දී, ලොකු සමාගම්වලින් පොත් සීයක්-දෙසීයක් ගන්නවා අත්පිට මුදලට... හැබැයි 50%ට. එහෙම ගන්නේ පුස්තකාල ටිකට යවා ගන්න.
එහෙම නැතිව පොත් විකිණුණාම සල්ලි දෙන්නත් බාර ගන්නවා; ඒ 40% කොමිස් එකට..... හුඟක් වෙලාවට එයාලා 10%ක් තියාගෙන තමයි, පිට පළාත්වලට පොත් යවන්නෙ....” ගිහාන් කියාපු දේවල් අනුවය මං ගණන් හැදුවේ.

“විකිණුණාම සල්ලි දෙනවයි කිව්වේ....”
“අපි හිතමුකො පොත් දහයක් සාප්පුවකට දැම්මාය කියලා. හුඟ වෙලාවට ඒ පොත් දහයම විකිණෙණකල් ඉන්න වෙනවා සල්ලි හම්බ වෙන්න.” ගිහාන් එදා කියූ තත්ත්වය දැන් වෙනස්වී ඇතිදැයි දන්නා කෙනෙකු වේනම්, කරුණාකර මටත් දැනගැනීම වෙනුවෙන් විස්තර ලියා එවනු මැනවි.
“....හුඟක් තැන්වලින් ගන්නෙත් පොත් පහයි- දහයක් දෙන්න වෙන්නේ බලෙන් වගේ.... සාප්පුවේ ඉඩ නැහැයි කියනවා....”

“මාර වැඩක්නේ ගිහාන්!”
“ඒක හින්දම තමයි නිමල් අයියේ පොත් ගැහිල්ල ලොකු කම්පැණිවලටම සින්න වෙවී යන්නේ... ඒක වුණත් ලොකු දෙයක්, දැන් පොත් සාප්පු වැහීගෙන-වැහීගෙන යන විදිහට..... නිකමට හොයල බලන්නකො, ප්‍රධාන ටවුමක වුණත් පොත් සාප්පු තියෙනවද කියල...” එදා ගිහාන් ශ්‍රීනාත් අල්විස් තරුණ පොත් බෙදා හරින්නා මට පැවසුවේ එහෙමය!

ධනුෂ්ක වාඩි වී කල්පනා කරමින්  සිටින්නේ.....

ඒ අනාවැකියක්ද? අද වුණත් සොයා බලන්නට වටිනවාය.

“එන්න එන්නම පොඩි-පොඩි සිල්ලර කඩ වුණත් වැහීගෙන යනවා වගේ තමයි නිමල් අයියේ, පොත් සාප්පුත්... ආසාවට කරගෙන ගියාට, මම වුණත් මේ වැඩේ නවත්තයි- තව ටික කාලෙකින්... නවත්තයි  නෙවේ, අනිවාර්යෙන් නවත්තන්න වෙයි වගේ!”

ගිහාන්ගේ මුහුණේ එදා තිබුණු විමසුම් බැල්ම නොවේ, මිලින්දගේ දෑසේ තියෙන්නේ....

“ඉතිං මිස්ටර් ධනුෂ්ක රුවන් දන්තුරේ බණ්ඩාර?”

මිලින්ද දෙඅත් බැඳගෙන මිතුරා දෙස බැලුවේ ආඩම්බර ලීලාවකිනි. ධනුෂ්ක වාඩි වී කල්පනා කරමින්  සිටියි. දෝතළු ගස් ගොල්ලේ සෙවණැල්ල තණබිම හරහා තවත් දිගු වෙමින් තිබේ. ධනුෂ්ක වතාවක් මිලින්ද දෙස බලා නැවතත් බිම බලා ගත්තේය.

“කියපංකො හපාචියෝ, උඹලගෙ ප්‍රේම වෘතාන්තයේ අලුත්ම එපිසෝඩ් එක මොකක්ද කියලා.... බුම්මගෙන ඉන්නෙ නැතුව!”

“එපිසෝඩ් එක නෙවෙයි මචං, දැන් වෙනින් ප්‍රශ්නයක් තියෙනවා. උඹට පුළුවන් නං ඒකට විසඳුමක් දීපං.”

“යකෝ! උඹට ඉතිං ප්‍රශ්න නැති දවසක් නැහැනෙ... මච්චාං... මේ අපි වගේ ඉඳපන්... එතකොට නෝ ප්‍රොබ්ලම්. කොහෙද? මේ බුවා අහක යන ප්‍රශ්නයක් හරි ඇදගෙන ඇඟට දාගන්නවනේ.”

“දැන් අපේ අම්මගෙන් මට බේරිල්ලක් නෑ... නිල්ගල වලව්වෙ පූර්ණිමා ගැන කියලා. මට පේන්නෙ, අපේ අම්මා මාව ඉක්මනටම ලංකාවට ගෙන්නගෙන තියෙන්නේ පූර්ණිමා නිසා වගෙයි.”

“බොක්කෙ පින මචං! අපිට නැහැනෙ ඔහොම වාසනාවක්. කවුරු හරි මට ඔහොම හොයලා දෙනව නං.... පින නෑ මචං, පින නෑ!” මිලින්ද කියාගෙන ගියේය.
“...අරහෙන් මාලතී... සිරාවටම ලව්! මෙහෙන් පූර්ණිමා. ඇයි බං බල-බලා ඉන්නේ? ගට්ස් අරං- පපුව ඉස්සරහට දාලා- පලයං අම්මලත් එක්කලා නිල්ගල වලව්වට. කියපං පූර්ණිමාට කැමැතිය කියලා... හොඳ බරකුත් හම්බ වෙනවනේ!”

පූර්ණිමාව බැඳ ගත්තාය කියලා... (foto- ඉෂාර වනසූරිය)

“එතකොට මාලතී...?”

“ඉස්සර උඹලගේ සීයලත් කරල තියෙන්නේ ඔය වගේ වැඩනෙ! පූර්ණිමාව බැඳ ගත්තාය කියලා මාලතී අහක බලන එකක් නෑ.... ඒකිත් ඔහේ සයිඩ් එකෙන් ඉඳියි. උඹට ඉතිං දෙකක් වැඩි නැහැනෙ මචං...ඔන්න ඉතිං බෑෑෑෑෑෑෑමයි කියලා හිතෙනවා නං, ඒත් බය වෙන්න එපා මචං... මේ මස්සිනා මිලින්ද ඉන්නවා! මාත් සපෝට් එකක් දෙන්නං, ඔය ස්පෙයාර් වීල් එක හරි බලාගන්න...”

කියවෙන්නට ආ කුණුහරුපය ගිලගත් ධනුෂ්ක දත්මිටි කෑවේය. විසිවෙනි සියවසෙහි අග භාගයේදී ආදරය මෙතරම්ම හෑල්ලුවට පත් වී ඇත්තේ කෙසේද?
ආදරය යනු ආශාවන්ට වහල් වීමම නොවේ; හැඟීම්වලට ඉඩ දීමද නොවේ; එය පිවිතුරු හැඟීමක් විය යුතුය.

‘මිලින්දය හිතන්නේ මාත් අපේ අප්පච්චිලා වගේම මාලතීව මගේ ඇඳට ගෙන්න ගන්න බලා ඉන්නවා කියලා. මුංට තේරෙන්නෙ නැත්තෙ ඇයි මං මේ තරමටම කුපාඩියෙක් නෙවෙයි කියලා...’

තමාගේ සිතේ රෝස්මරී ගැන තිබුණේත් පිවිතුරු ආදරයක්ද? ධනුෂ්කට සිහි වූයේ පිළිතුරු නොමැති පැනයකි. ‘ඇයි නැත්තේ? වෙච්ච වැරැද්ද නැති කරන්න බෑ... ධනුෂ්ක. උඹ රෝසිට ඇත්තටම ආදරේ කළේ නෑ!’යටි සිත කෑ ගසයි. යෙදුණු අවස්ථාවන්ට අනුකූලව පාළුවේ; කාංසියේ සිටියදී තමා රෝසිගේ ඇසුරට වැටුණා පමණි.
මුලදී එය ආශාවක් විය; තාවකාලික පිළියමක් විය.

‘අන්තිමටම මං හිතුවෙ රෝසිට මගෙන් කෙරෙන්න ඕනි යුතුකමක් හැටියට...! මාත් ලංකාවෙ ඉපදිලා මෙහෙ විදිහට හැඩ ගැහිච්චි එකෙක් නොවුණා නං, රෝසිට කියාවි අපි නොගැළපෙන නිසා වෙන් වෙමු කියලා...එච්චර කාලයක් එකට හිටියට පස්සේ ඒ විදිහට කියන්න බැරිකමනේ මට තිබුණේ....
හොඳයි, එතකොට මාලතී? කවුද දන්නෙ මගේ හිතේ මාලතී ගැන තියෙන්නෙත් ඒ වගේ උණුසුම් හැඟීමක් විතරමද කියලා....’

මං මාලතීට ආදරෙයි! ඇත්තටම ආදරෙයි!!

ධනුෂ්ක දෙපැත්තටම කරුණු සෙව්වේය; ඉදිරිපත් කළේය. වැඩි වෙහෙසක් නොමැතිවම ඔහු තීරණයකට එළඹුණේය.
‘මං මාලතීට ආදරෙයි! ඇත්තටම ආදරෙයි!!’

ප්‍රශ්නය එය නොවේ; ඒ ආදරයේ අරමුණ කුමක්ද? තමාට එවැනි ආදරයකට උරුමකම් කියන්නට අයිතියක් තිබේද යන්න මුලින්ම විසඳාගත යුතුය.

‘තව වැඩි දවසක් මේවා හංගගෙන ඉන්න බැරි වෙනවා.... එදාට... එදාට ඔක්කොම එළි කරන්න වෙයි!’යටි සිත අනතුරු අඟවන බව ධනුෂ්කට වැටහිණි. හැකිතාක් කල්ගෙන සිටියත් එහි අවසානය එළඹෙමින් තිබෙන බව දැන් ඔහුට පෙනෙයි.

*********  

තුන්මාසයේ දානයට දින නියම කරගෙන තිබිණි. චන්ද්‍රා ඒ බව සඳහන් කරමින් චන්දනට ලිපියක් ලිව්වාය.
“ඉඳා, මේක හොඳද බලපංකො!” ඈ ලිපිය මාලතීටත් පෙන්නුවාය. එහෙත් මාලතී එය කියවූයේ නැත.

ධනුෂ්ක අප්පෝ නැවතත් ලංකාවට පැමිණ ඇති බව දැන් ඈ දනියි. මාලතී මෙතෙක් දිනක් පවත්වාගෙන ආ චිත්ත සමාධිය බිඳ වැටුණේ ඒ බව ඇසූ මොහොතේමය. කොතෙක් වෑයම් කළත් සිත අයාලේ දිව යයි. එය නවතා ගැනීම කළ නොහැක්කකි.

‘ධනුෂ්ක අප්පෝ ලංකාවට ආවා නං ඇයි මට පණිවිඩයක්වත් නොඑව්වේ?’ මාලතීට සිතුණේ ඉබේමය.

... කරන්ඩ තියෙන්නේ ඉෂ්ට දේවතාවුන්ට පහනක් පත්තු කරලා පිං දෙන්ඩයි; උඹව ඔය වගේ එකෙක්ගෙන් ඉක්මනටම ගලව ගත්තට....

“උඹලා එදා වලව්වට යනකොටත් අප්පො ලංකාවට ඇවිල්ලලු හිටියේ. ඔච්චරටම ආලවන්තකමක් නෙවෙයි; හිතෙසිවන්තකමක්වත් තිබුණා නං එදා උඹට වචනයක් කතා කරන්ඩ තිබුණනෙ.... නිකං මනුස්සකමටවත්! .. එයත් ඉතිං අමුතු වේවිය? අප්පච්චිගේ ලේමනෙ ඒ ඇඟේ දුවන්නෙත්.... දැන් නං මට පේන්නෙ නංගියේ, උඹට කරන්ඩ තියෙන්නේ ඉෂ්ට දේවතාවුන්ට පහනක් පත්තු කරලා පිං දෙන්ඩයි; උඹව ඔය වගේ එකෙක්ගෙන් ඉක්මනටම ගලවා ගත්තට.... මොකුත් කරදරයක්-වැරැද්දක් වෙන්ඩ කලින්!”

චන්ද්‍රාට විරුද්ධව ඉදිරිපත් කළ හැකි කිසිම තර්කයක් මාලතීට නැත. ධනුෂ්ක අප්පොගේ හැසිරීම සැබවින්ම ප්‍රහෙලිකාවකි.

“තනි හිතකින් ආදරේ කරන්ඩ පුළුවනි බං.... ඒත් මාලතී ඒක ජීවිතේම දුක් කන්දරාවකට ඇදලා දා ගැනිල්ලක් විතරයි....”
මිතුරියගේ එවැනි වදන් දැන් මාලතීට හොඳහැටි පුරුදුය.

ධනුෂ්ක අප්පොගේ හැසිරීම කෙතරම් ගුප්ත ස්වභාවයක් ගත්තත්, එය වැදගත් දෙයක් නොවේ. දැන් තමාගේ හදවතේ නිදන්ව ඇත්තේ ඒ රුව පමණක් බව මාලතී දනී. ධනුෂ්කගෙන් තොර ජීවිතයක් ගැන සිතන්නටවත් බැරි තරමටම ඈ ඔහුට පෙම් කරන්නීය. එය පැහැදිලිය.
ප්‍රශ්නය වනුයේ ඔහුත් තමාට නොගැළපෙන බව පෙනෙන මේ ගැමි යුවතියට සැබවින්ම පෙම් කරන්නේද යන්නයි.
‘මෙච්චර ඉක්මනට මාලතී කියල කෙනෙක් හිටියද කියලවත් මතක නැතිවෙන තරමට නපුරු වුණේ කොහොමද අප්පෝ?’

“මාලතී, හැමදාම ප්‍රශ්න යට ගහ-ගහ ජීවත් වෙන්ඩ බෑ නංගියේ.... මට තේරෙනවා.... මාත් ආදරේ කරපු කෙල්ලක් බං. උඹේ හිතේ පත්තු වෙන ගින්දර මට තේරෙනවා.
ආදරේය කියලා, ඔය ගින්දරෙන් හැමදාම පිච්චි-පිච්චී ඉන්න එකේ තේරුමක් නෑ නංගියේ.... මං කියන එක අහපං! මම උඹට කියන්නෙ නෑ දැන්මම තීරණයක් ගන්ඩය කියලා.... එහෙම හදිස්සියක් නෑ. හැබැයි, උඹ තේරුම් ගන්ඩ ඕනෑ උඹ වගේ කෙල්ලෙකුට හැමදාම තනියම ජීවත් වෙන්ඩ බැරි බව.”

අපේ අම්මලා-අප්පච්චිලා දහදුක් විඳලා අපිව හදල-වඩලා ආසාවෙන් බලා ඉන්නවා.....

“එහෙනම් චන්ද්‍රක්කා ඔය ඉන්නේ?”

“මෝඩි! උඹ හිතනවද, මං වුණත් මැරෙන තුරාවටම මෙහෙම තනියම ඉඳීවි කියලා.... නෑ බං. මට ඕනෑ වුණත් ඒක කරන්ඩ බෑ...
අපේ අම්මලා-අප්පච්චිලා දහදුක් විඳලා අපිව හදල-වඩලා ආසාවෙන් බලා ඉන්නවා, අපේ ජීවිතත් හොඳට ගෙවෙනවා දකින්ඩ. දැනටමත් උන්දැලා පපුවේ ගින්දරෙන් ඉන්නේ මාව ගෙදරටම නාකි වේවිද කියලා...
ගමේ එවුන් කියනවා මගේ කාලකන්නිකමටමයි වික්‍රම මැරුණේ කියලා. මං ඕවා නොදන්නවා නෙවෙයි බං.

මම ඔය ඔක්කොමලටම පෙන්නනවා දවසක...
ඉරණමටම ඔක්කොම බාර දීලා, මම නං නිකං බල ඉන්නෙ නැහැ බං.... අන්තිම මොහොත වෙනකල්ම පුළුවන් දහිරිය සේරම දානවා.....!”

............  

Wednesday, February 24, 2021

අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස

මම ගෙදරින් පැනලා යනවා.....

බෑ දිසානායක බෑ! මම ගෙදරින් පැනලා යනවා.....

ජීවිතයේ සමහර දේවල් හිතා ගන්නටවත් බැරි තරමට පුදුමාකාරය; විහිළු සහගතය.... වෙනින් කෙනෙකු මා අද ඔබට කියන කතාව වැන්නක් කිව්වා නම් මං වුණත් දෙවරක් හිතනවාය. මේ මිනිහා ඇත්තමද කියන්නේ?’ ඒත් මේ කතාව සත්තක ඇත්තය. ඒ හින්දාම පාත්‍ර වර්ගයාගේ අනන්‍යතාව හංගන්නටත් වෙයි!

බෑ දිසානායක බෑ! මම ගෙදරින් පැනලා යනවා.....එහෙම කතාවක් කොල්ලෙකු වුණත්, තවත් කෙනෙකුට කියන්නේ කලාතුරකිනි.
එතකොට අර වාක්‍යය කියූ තරුණ කෙල්ල
, අප ගෙදරින් පැනලා ගිය කතන්දර; ‘දුන්හිඳ අද්දර මාරකගැන දැනගෙන උන් එකියකුත් නොවේ. එහෙම දැනගෙන හිටියා නම්, උපදේශයක් ගන්නටවත් ආවය කියලා හිතා ගන්නට තිබිණි. හොඳම වැඩේ කියන්නේ සුසිලා ඇවිත් තිබ්බේ මල්ලීත් එක්ක වීමය; සුසිලුත් එක්ක වීමය. 

සුසිලා, සුසිල් විතරක් නොවේ, එයාලගේ ගෙදර හැමෝමත් මගේ හිතවතුන්ය. ඒ යාළුකම ඇති වුණේ උන්ගේ නෑදෑයන්ගේ පක්ෂයහින්දාය. UNP එක හින්දාය.

1970දී බටු ඇට කොල්ලෙකු විදිහට, මහරගම ජයන්ති ෆාමසිය වත්තේ තිබුණු දේශපාලන රැස්වීමේදී කෝට්ටේ ජිනදාස නියතපාල මහතාගේ ජය පතමින් කතාවක් පැවැත්වූ දවසේ ‘තාත්තා සුසිලා’ මගෙත් එක්ක බුදු fit වුණේය!   

තාත්තා සුසිලා?  මේක නං මෙතෙක් දවස් ‘නිදි’ පාවිච්චි නොකළ විදිහේ යෙදුමකි.

මාස කීපයකට කලින් දොස්තර අයස්මන්ත පීරිස් මහත්තයා මරුattachment එකක් එවලා තිබ්බේය. බැචාලා වර්ගීකරණය කරමින් ඒක ලියලා තිබුණේ සුනිල් අබේධීර කියලා කෙනෙකිය.. බැචාලා ගොඩක්නෙ. ඒ ඒ බැචා ගැන වෙන-වෙනම ලියා තිබිණි. අම්මා බැචා, තාත්තා බැචා, .... වගේ සේරම බැචාලා ගැන ලියලා තිබුණා විය යුතුය.
මං මෙතනට ඔබන්නේ අම්මා බැචා ගැන විතරය.

අම්මා බැචා, තාත්තා බැචා, .... වගේ සේරම බැචාලා....

‘අම්මා බැචා

අම්මා යැයි කීවාට මූ පුරුෂ ලිංගිකයෙකි. ඇතුවත් බැරි නැතුවත් බැරි එකෙකි. මොහුගේ මව් ගුණය කැපී පෙනෙන්නේ අනිත් රූමලා දෙන්නාටය. උදේම නැඟිට අනිත් උන්ට බැණ වදිමින් කාමරය අස්පස් කොට අතුගාන මූ, තේ වත් කර දරුවන් දෙදෙනා අවදි කරවයි. ඉදින් සීනි ඉවර නම් මතු දැක්වෙන දරුවා බැචාඅවදිකොට පෝසත් බැචාගේ කාමරයට යවා ඉල්ලාගෙන එයි. ඉක්බිතිව ඉවුම්-පිහුම් කටයුතුය. හොද්ද හැඳි ගාද්දීත් අනිත් රූමලාගේ නොසැලකිලිමත්කම ගැන ආඩපාලි කියයි. උන් දෙන්නාගේ කලිසම් මතු නොව ජොකා පවා මාසෙකට සැරයක් හේදෙන්නේ අම්මා බැචාගේ ආඩපාලි නිසාය....’

අම්මා බැචා, තාත්තා බැචා, දරුවා බැචා, අසල්වාසී බැචා, මනමාල, බඹර බැචාලා විතරක් නොවේ, නයා බැචා ගැන එහෙමත් විශ්වවිද්‍යාල සිසු-සිසුවියන් නම් හොඳටම දන්නවා ඇතිය.

ඔය බැචාලා ගැන, මේ දැන් මගේ මතකයට ආවේ සුසිලාගේ ගෙදර කට්ටියව නම් කරන්නට ගියාමය. මක්කැයි කියලා දොඩනවා නංඒ ගෙදර එක්කෙනෙකුගේවත් වංහුං කියන්නට විදිහක් නැති හින්දා, මෙහෙම නම් දාගත්තාම ලෙහෙසිය.

මගේ ‘කුළුඳුල් දේශපාලන කතාව’ ඉවර වෙනවාත් එක්කම ‘තාත්තා සුසිලා’ තවත් කීප දෙනෙකුත් එක්කම මගේ ළඟට ආවේය. හරිම ෂෝක් මිස්ටර් නිමල්කියලා කිව්වේය. ඒ එයාගේ හැටිය. මැරෙන තුරාවටමත් ඒ මනුස්සයා මට ඇමතුවේ මිස්ටර් කෑල්ලත් එක්කමය. මං එයාට කිව්වේ ... අයියා කියලාය.

අපේ ගෙවල් ළඟත් නියතපාල මහත්තයාගේ support එකට මීටින් එකක් ලැහැස්ති කරනවා... ඔන්න නොවරද්දාම මිස්ටර් නිමල් ඒකට එන්න ඕනි.... මම දැනටමත් මිස්ටර් Pට කියලයි තියෙන්නේ....

ජාති-ජම්ම නොබලා අපේ එකා ලස්සනට ගිනිකන වැටිලා...  

ඒ රැස්වීමට තිබුණු දවසේ තිහ-හතළිහකට විතරම සුසිලලාගේ ගෙදර ජය-පහට කෑම-බීමත් සූජානං කරලා තිබ්බේය. ඒ Pocket මීටින් එකේ, මගේ කතාව ඉවර වෙනවාත් එක්කම ‘අම්මා සුසිලා’ මගේ ළඟට ඇවිත් හිස අතගා ආදරය පෑවාය! කතාව මසුරං වගෙයි පුතෝ! ඔන්න මීට පස්සේ නිතරෝම අපේ ගෙදර ඇවිත් යන්න එන්නෝනි. පිට ගෙදරක්ය කියලා හිතන්න එපා පුතෝ!

-යං යං, පුතෝ ගෙදරටම. අනෙක් කට්ටිය එනකල් මොකුත් බීලා ඉඳිමු! කියලා මාව ගෙදරට වඩම්මාගෙනත් ගියාය.

අම්මා සුසිලාගේ මව්වත්කම බොක්කෙන්ම ආ එකක් විණි. මූණිච්ඡාවට කෙරුණු එකක් නොවිණි. එනවා නේද පුතෝ?” කියලාත් ඇහුවාම එන්නං අම්මේයයි මට කියැවුණේ නිකම්මය. ඒ ඇමතුම අදටත් මගෙන් එහෙමම කියැවෙයි. අනේ, ඒ අම්මාටත් දැන් ඩිමෙන්ෂියාවය. නෙවිල්ලාගේ අම්මා වගේමය. 

ඒ පවුලේ දරුවන් හතර දෙනෙකි. ලොකු අක්කා මැද පෙරදිග රස්සාවකට ගිහින් සිටි අතර, අයියා හිතුවක්කාර කසාදයක් කරගෙනය. ඒ දවස්වල ගෙදරට එන්නට අම්මා සුසිලාගෙන් අවසර තිබ්බේ ලොකු පුතණ්ඩියාට විතරය. ඒ ලීලේ නං මම ජීවත් වෙලා ඉන්නකල් මගෙන් අපේ ලේලි පොඩ්ඩට හම්බ වෙන්නෙ නෑ පුතෝ .... දන්නවය, අපට පෑහෙන කට්ටියක් නෙවෙයි, අඩු කුලේ....

-අඩු කුල එවුන් ඇහැට-කණට පේනවනෙ කොහොමත්.... ජාති-ජම්ම නොබලා අපේ එකා ලස්සනට ගිනිකන වැටිලා... මං නං කියන්නේ, උන් ඉනාවක් කවලම තමයි.... ඒකට කරන්න ඕනි දේවල් කර-කර ඉන්නේ.... අපේ එකාට ගෙදරට එන්න ඉඩ දීල තියෙන්නෙත්, ඉනාව කපපු ගමන් ඌ ගෙදර නවතිනවය කියලා ගුරුන්නාන්සෙ කියපු හින්දා!

ලොකු පුතාලට දරුවොත් ඉන්න එකේ...

අම්මා සුසිලා එහෙම කිව්වත්, තාත්තා සුසිලා කිව්වේ උන්ට ඔන්න ඔහෙ ඉන්න විදිහකට ඉන්න දෙමු කියලා මම මෙයාට කිව්වා. දැන් ලොකු පුතාලට දරුවොත් ඉන්න එකේ... මේ මනුස්සයා අහන්නෙ නැහැනෙ, මිස්ටර් නිමල්. මගේ යුතුකම මං කළා, මගේ මතේ කියලා අහවරයි..... දැන් ඉතිං කිව්වා නාහන ගුරු උඩින් ගියත් එකයි- පහළින් ගියත් එකයි, මට නං....කියලාය.

එහෙම පවුලේ අභ්‍යන්තර ප්‍රශ්නත් එයාලා මට කීවේ, මං වහන්සේ ‘ඒ පවුලේම කෙනෙකු වගේ’ බවට පත් වුණාට පස්සෙය.

සුසිලා අර පැනලා යන කතාව කියාගෙන අපේ ගෙදරට ආවේ, ඊට අවුරුදු කිහිපයකට පස්සේ දවසකය.

හුස්මක්... හුස්මක් අරගෙන හිටහං සුසිලෝ... තමුසෙලා අක්කට මොකක්ද වෙලා තියෙන්නෙ සුසිල්? මොකද මේ මනුස්සයා මේ පරල වෙලා...සුසිලාට ටිකාක් නිවෙන්නට ඉඩ හරිමින්, කල්වේලා අරගෙනය මං හිනාබරව කිව්වේ.

අනේඒඒඒඒ මන්දාආආ නිමල් අයියේ. ඔයා දන්නවනේ මෙයාගේ හැටි... එයාගෙන්ම අහ ගන්ඩකො.  සුසිල් කිව්වේය. ඒ එයාගේ හැටිය.

එතෙක්-මෙතෙක් එහෙම අක්කෙකුයි, මල්ලියෙකුයි මට මුණ ගැහිලා නැතිය. සහෝදර-සහෝදරියන් වුණාට ඒ දෙන්නා යාළුවන් වගෙය. කොහේ යතත් ගියේ දෙන්නාම එකටය.

ඉතිං කියහංකො සුසිලො, මොකද්ද මේ හුටපටේ...?”

බලපං නිමල්.... අපේ තාත්තා මට මඟුලක් ලැහැස්ති කරලා..... මට තරහෙ බෑ බං!

මට ඒ මඟුල එපා... එපා.... එපාමයි!
තරහ වෙන්නෙ මොන කෙහෙල්මලකටද? තමුසෙලා ගෙදර ඊළඟට පෝලිමේ ඉන්නෙ තමුසෙනෙ.... ඉතිං නරකද?”

අනෙ-අනේ දිසානායක... මට ඒ මඟුල එපා... එපා.... එපාමයි!

මේ, ඔහොම කිව්වට කොහොමද සුසිලෝ මොනවාවත් හිතා ගන්නේ? හෙමින් සැරේ කියහංකො විස්තරේ...... අක්කට බැරි නං තමුසෙවත් කියනවකො සුසිල්... ඔයාලගේ අක්කා ආවේශ වෙලා වගෙයිනෙ ඉන්නේ.මම සුසිල් දෙසට හැරුණෙමි.

මං දන්නා විදිහට නං, කෙනෙකු ආතතියකින් ඉන්නා විට එයාගේ හිතේ කැකෑරෙන දේවල් එළියට ගන්නට වෙන්නේ දැඩි-බිඩියේ නොවේ; එක එල්ලේමත් නොවේ. හීන් සීරුවේය. කල්-වෙලා ගත කරමිනි; ඉවසිල්ලෙනි.

නෑ, නෑ නිමල් අයියේ.... පොඩි අක්කා ගෙදරින් ආවේම ඔයාට මේ සේරම කියන්ඩ බලාගෙන.... පොඩි අක්කෙ, කලබල නැතිව හීන් සීරුවේ කියනවකො, නිමල් අයියට කතන්දරේ....”

අම්මට සිරි! එකත් එහෙමද? එහෙනං ඉතිං ලේසි කේස් එකක් නෙවෙයි වගේ!

තාත්තා සුසිලා ඉහළම බැංකුවකය රස්සාව කළේ. අම්මා සුසිලාට පවුලෙන් උරුම වුණු ඉඩකඩම් ගොඩකි. ඒ පවුල කිසිම අග-හිඟයක් තිබුණු එකකුත් නොවේ. පතරංග ඉඩමක, ඒ කාලේ හැටියට ඉදි කෙරුණු හොඳ නිවසකය සුසිල්ලා හිටියෙත්. තාත්තා සුසිලා දෙවෙනි දුවට මනාලයෙක් හොයාගෙන තිබුණෙත් අර බැංකුවෙන්මය.

එහෙනං මනුස්සයා නරක කෙනෙක් වෙන්න ඉඩක් නැහැනෙ සුසිලා... වැඩ කරන්නෙත් තාත්තලා එක්කම නම්, තාත්තා එයාව නොදන්නවා වෙන්න බැහැනෙ බං. ඒ මනුස්සයට හොඳ පඩියකුත් හම්බ වෙනවා ඇතිනෙ.... තමුසෙට හරි යන්නෙත් එහෙම කෙනෙක්නෙ. නැද්ද සුසිල්, අක්කට වියදමට බැංකුවක් කඩන්නයි වෙන්නේ අක්කා හිඟන්නෙක්ව බැඳ ගත්තොත්.... පරණ පිනක් සුසිලෝ උඹට කඩා වැටෙන්න  යන්නේ....

මගේ වාචිකාභිනය හින්දා සුසිලාට හිනාවක් ආවේය.

අජිත් නේද ඔයාගේ හොඳම යාළුවා? (දකුණු කෙළවරේ- අජිත් මල්ලී)

ඒ වුණාට මට ඌ එපා! උගෙ සල්ලිත් එපා!! ඒ මඟුලත් එපා!!!ඒ හරියට එද්දී  සුසිලාගේ tone එක කලින් තරම් දරදඬු නැත.

සුසිලා රතු ඇපල් ගෙඩියක් නොවේ; කහ පැපොල් ගෙඩියකුත් නොවේ; කළු කෙල්ලෙකි. මගේ ඇස් පෙනීමේ හැටියට නං කියන්නට තරම් විශේෂ ලස්සනක් නැතත්, අවලස්සන එකියකුත් නොවේ. ප්‍රසන්න පෙනුමකුත්, නිරන්තර හිනාවකුත් සුසිලාව ලස්සන කළ විත්තියත් නොකියා බැරිය!
ඒ සේරටමත් වැඩියෙන් මට මතක සුසිලාගේ අරුංගල්ය. එයා දැම්මේ ජිප්සි වර්ගයේ අරුංගල්ය... එල්ලෙන, ලොකු රවුම් කරාබු!!

“මේ සුසිලො! උඹ මටත් සුදුලූනු පොඩි කරන්නැතිව ඔක්කොම කියන්න නේද ආවේ? ඉතිං, දැන් හරි මාව විශ්වාස නැහැයි කියලා හිතෙනවා නං නොකිව්වට....”
“අනෙ-අනේ බං.... එහෙම අවිශ්වාසයක් නෙවෙයි....මට තේරෙන්නෙ නෑ මොනවා කරන්නද කියලා.... මට හිතෙන්නෙම ගෙදරින් පැනලා යන්න....”

“කාත් එක්කද?”

මං එහෙම ඇහුවේ හේතුවක් ඇතිව නොවේ. එහෙම වුණත් එතකොට කෙල්ලගේ මුහුණ නම් එළිය වැටුණේය; ඇස්දෙක දිලිසෙන්නට ගත්තේය; නාඩි බැලුවා නං, හදවත ගැහෙනා රිද්මයත් වැඩිවී තිබුණු බව කියන්නට තිබිණි.

“සුසිල්, තමුසෙ අක්කගෙ වලිගෙ වුණාට කමක් නෑ. දැන් අපි දෙන්නා වැඩිහිටි කතාවක් කරන්නයි යන්නේ.... ඒවා අහන් ඉඳලා ඔයාටත් නරක වෙන්න දෙන්න බෑ.... ගිහිල්ලා ඔයාගේ යාළුවො දෙන්නව හම්බ වෙනවකො...”
“දෙන්නෙක්? කවුද නිමල් අයියේ දෙන්නා?”
“ඇයි, අජිත් නේද ඔයාගේ හොඳම යාළුවා?”

මට පේන්නේ නම් උඹ මොකද්ද කස්තිරමක් අල්ලන්න ලෑස්ති වෙනවා වගෙයි!

සුසිල් ගැටලුව ප්‍රශ්නයකට නැඟුවේය. “එතකොට අනෙක් කෙනා?”

“ඇයි අපේ ආච්චී!” මම කීවෙමි. සුසිල්-සුසිලා දෙන්නාම අපේ අජිත් මල්ලීටත්, ආච්චීටත් හොඳටම එකතු බව ගෙදර හැමෝම දැනගෙන සිටි දෙයකි.

“අනෙ-අනේ, ඕන්න එහෙනං මං යනවා ආච්චිව බලලා එන්ඩ.” 

මල්ලී එතැනින් ගියාට පස්සේ, මං සුසිලා දිහාවට හැරුණෙමි. “ඉතිං කියපං බං... මට පේන්නේ නම් උඹ මොකද්ද කස්තිරමක් අල්ලන්න ලෑස්ති වෙනවා වගෙයි!”
ආයෙත් අර ඇස් දිලිසිල්ල!

“එහෙම නෙවෙයි දිසානායක... අපේ තාත්ත කියනවා දැන් මාත් කසාද බඳින්න ඕනිලු. මනමාලයෙකුත් හොයාගෙන.... තාත්තා වැඩ කරන තැනම...”
“ඉතිං මොකක්ද එකේ තියෙන වැරැද්ද? උඹ දසසිල් වෙන්න නෙවෙයිනේ ඉන්නේ... එහෙම හිතාගෙන ඉන්නවා නං ආරාමයක් හොයමු!”

“උඹට ඉතිං විහිළු.... ඇත්තමයි, නිමල්. මට අරූව පේන්න බෑ.... ජූතකයා....!”

“කවුද අරූ?”
සුසිලා අරූය කිව්වේ මනමාල බැචාටය. “එහෙනං උඹත් ඌව අඳුරනවා?” මම ඇසුවෙමි.
“දවසක් දෙකක් අපේ ගෙදර ඇවිත් තියෙනවා, අපේ තාත්තත් එක්ක. ඌ ඇවිත් තියෙන්නේ මාව බලාගන්නයි කියලා කියලා දන්නවා නං, එදාමයි මම ඌව පන්නා ගන්නේ.” සුසිලා කියාගෙන ගියාය.

“මිනිහා නාකියෙක්ද?’
“නෑ බං.”
“කැතයිද?”
“මට නං ලස්සන නෑ, දිසානායක.”

මං බාග ඇත්තක් කිව්වේ....

“එහෙම කියන්නේ උඹ රූප සුන්දරියක් කියලා හිතාගෙනද? අනෙ පලයන් බං....” මං බොරුත් නොකියා බාග ඇත්තක් කිව්වේ, ඇයගේ හිත නොරිදෙන තාලෙට- විහිළුවක විලාසයෙනි. 

“මාත් ලස්සන නෑ තමයි බං.... ඒත් මටත් ගැළපෙන්නැත්තං?”

“මේ සුසිලො.... දැන් නං මට පේනවා උඹේ හිත කොහෙද කියලා... කියපං, මම උඹට උදව් කරනවා! කවුද උඹ යාළු වෙලා ඉන්න කොල්ලා?”
සුසිලා ඇගේ පෙම් පලහිලව්ව ගැන මට කිව්වේ එතකොටය.
කොල්ලා ඒ අසලම තිබුණු ෆැක්ටරියක සේවය කරන්නෙකි. (මගේ මතකය හරි නම්, අම්මා සුසිලාගේ කස්ටමර් කෙනෙකි. අම්මා සුසිලා ඒ ෆැක්ටරියේ කිහිප දෙනෙකුටම දිවා-රාත්‍රී කෑම පාර්සල් කිහිපයක් දෙමින් සිටියාය.)

“හරි, දැන් කවුද ඕක දන්නෙ? තාත්තලා දන්නවද?”
“පිස්සුද බං?”
“උඹට ඌව විශ්වාසයිද?” ඒ මගේ ඊළඟ ප්‍රශ්නයයි. සුසිලාගේ උත්තරය කෙළින් එකකි.
“මට නං විශ්වාසයි....”

“ඔච්චර උඹලගෙ ගෙදරට ඇවිත් තියෙන එකේ මට මිනිහව හම්බ වෙලා නැද්ද?”
“එයා හරිම ලජ්ජාකාරයා, නිමල්... කාටවත් මුහුණ දීලා කතා කරන්න ලජ්ජයි.... බයිසිකලේක එන්නෙ..... කෑම එක ගත්ත ගමන් ඉගිල්ලෙනවා.... සුදුයි; උසයි. නළුවෙක් වගේ...”

මෘත දේහය රැගෙන කුරුවිටටත් ගිහින්....

වෙන වෙලාවක වගේ නම් මගෙන් නැඟෙන්නේ මෙහෙම ප්‍රශ්නයකි. ‘උඹ මොනවද ඌට දීලා තියෙන්නේ?’. මට හැඟුණේ කොල්ලා සුසිලාව ‘මෝරා කරගෙන’ සිටිනවා කියලාය. නළුවෙකු තරම් ලස්සන කොල්ලෙක්, අපේ මිතුරිය වැන්නියකට පෙම් කරනවා වෙන්නට පුළුවන්ද?

සුසිලා හිත හොඳ එකියකි. සල්ලිය බාගෙත් යහමින් අතේ ගැවසෙයි.

ඊට අවුරුදු කිහිපයකට කලින් සුසිලලා මහරගම පිළිකා රෝහලට දානයක් දෙන්නට ගිය විටෙක රෝගී තරුණයෙකු හඳුනා ගත්හ. මේ අක්කාත්, මල්ලීත් අම්මට කියා කෑම උයවාගෙන, අඩුපාඩුත් අරගෙන නිතිපතාම වාගේ ඒ රෝගියා බලන්නට ගියහ; මුදල්-හදල්වලින් පවා ආධාර කළහ. කුරුවිට පැත්තේ තරුණයෙකුවූ ඒ රෝගියා, රෝහලේදී මිය ගිය විට (අතින් සියලු වියදම් කොට) මෘත දේහය රැගෙන කුරුවිටටත් ගිහින්, මළගමටත් සහභාගී වූහ! 
හත් දොහේ පින්කමටත්....

ඒ හිත හොඳ දානපතිකම දැනගෙන හිටි කෙනෙකු, සුසිලාව ඉල්ලමක් කරගත්තාවත්ද?

“හරි සුසිලො, දැන් උඹ කොල්ලට කිව්වද තාත්තලාගේ මංගල යෝජනාව ගැන....”
“ඒකනෙ බං. කිව්ව දවසේ ඉඳලා එයා තරහෙන් ඉන්නේ, මාත් එක්ක... එයාටත් හිතා ගන්න බැරිලු කරන්න ඕනි දේ....”
“මොනවා කරන්නත් ඉස්සෙල්ලා මට ඒකව මුණ ගස්සන්න වෙනවා.... කියහං වෙලාවක ඇවිත් මාව මුණ ගැහෙන්න.... එහෙම කරමුද?”

මේ කුමරුවන් දෙදෙනා සියලු ශිල්ප ශාස්ත්‍රයෙහි නිපුන් ව....  

'දඹදිව් තලෙහි බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙනෙකුන් රාජ්‍ය කරන සමයෙහි එක්තරා කෙළඹි ගමක කුමාරවරු දෙදෙනෙක් වාසය කරන්නාහ.
මේ කුමරුවන් දෙදෙනා සියලු ශිල්ප ශාස්ත්‍රයෙහි නිපුන් ව සුදුසු කළ වයසට එලඹෙන්නේ ඔවුනගේ දෙමාපියන්ගේ බලවත් පෙරැත්තය නිසාම සරණ බන්ධනයන්ට ඇතුලත් වීමට සිතා තමන්ට සුදුසු රූප ශ්‍රීයෙන් අගතැන්පත් පංච කල්‍යාණියන් දෙදෙනෙකු සොයා දුන මැනවැයි එක්තරා ධූර්තයෙකුහට වස්තු දී ඉල්ලා සිටියෝය....
එකල කුමාරවරු නම් මෙකල ඩ්‍රැකී හා ලොකු මල්ලී වන මම ම වම්හ. එකල......’