අකුරු මැකී නෑ

Monday, February 22, 2021

යුවති කිරිල්ලී - දහනවවෙනි කොටස

මුක්කුද අප්පා.... යේක පුංචි අප්පෝ පොලිසියෙන් වාගේ තමා... ඔක්කොම තමා ආනවා...

“පුංචි අප්පෝ දන්නැද්ද, ලොකු අප්පො රාමන්ව යැව්වනෙ, විල්මට්ලගේ ගෙදරට මොකක්ද පණිවිඩයක් කියලා!” 

සිළිඳු මැණිකාගේ පිළිතුරෙන් ධනුෂ්ක අන්ද-මන්ද වූයේය! පණිවිඩය කුමක් දැයි සිළිඳු මැණිකාගෙන් කියැවුණේ නැත. ඇයගෙන් ඒ ගැන හාරා අවුස්සන්නට යාම නුවණට හුරු නොවේ. හරියාකාරව විස්තර දැන ගැන්මට නම් රාමන් එනතුරු බලා සිටිය යුතුය. ධනුෂ්ක නොඉවසිල්ලෙන් බලා සිටියේය. ‘අප්පච්චිට මොනවා හරි ඉව වැටිලාවත්ද?’

‘මිලින්දයා නං මොකුත් කියන්නෙ නෑ... රාමන් වුණත් හිතලා නං අප්පච්චිට කියන එකක් නෑ.... වැරදිලා කියවුණොත් මිසක.... මාලතීත් හොඳටම බයවෙලා ඇති...’ දිගින්-දිගටම හිතූ ධනුෂ්ක රාමන් එන පෙරමඟට ගියේය.

“යේක කෙල්ලට එන්ඩ කියන්ඩ තමා කීවා...යේක ලොක්කු අප්පෝ වෙන මොකුත් තමා කීවේ නේ..” රාමන් නොවලහා පැවසුවේය.

“ඉතිං, උඹ ඔය පණිවිඩේ කීවම මාලතී මොකද කීවේ?”

ධනුෂ්ක ඇසුවේ නොඉවසිල්ලෙනි. නැඟී ආ සිනහව රාමන් ආයාසයෙන් මැඩ ගත්තේය. “මුක්කුද අප්පා.... යේක පුංචි අප්පෝ පොලිසියෙන් වාගේ තමා... ඔක්කොම තමා ආනවා... පය වෙන්ඩෙපා... පය වෙන්ඩෙපා... අප්පෝ! මුක්කුත් වුණේ නේ තමා.... යේ වුණාට කෙල්ලත් ඔන්දට පය තමා වුණා....”

ධනුෂ්කටත් මාලතීටත් බිය වීමට තරම් හේතු තිබෙන බව ඒ වනවිට රාමන් දැන සිටියේ නැත.

********

කණ-කර ආයිත්තම් ඇයගේ ඉසුරුබර බව මොනවට විදහා පෙන්වයි.

වලව්වේ පෝටිකෝවට ඇදී ආ රථය නිතරම එහි පැමිණෙන්නක් නොවේ. ආලින්දයේ කෙළවරක වූ පුටුවේ වාඩිවී සිටි ධනුෂ්ක හිස හරවා බැලුවේ අමුත්තන් හඳුනා ගැනීමේ රිසියෙනි. වත්තේ වැඩක නිරතව හුන් රාමන් දිවැ’විත් රියේ දොර හැර දුන්නේය.

ධනුෂ්ක හීන් සීරුවේ නැඟිට තම කාමරයට වැදුණේය.

වලව්ව තුළ සිට එමින් සිටි කුමාරිහාමිගේ මුහුණ ප්‍රීතියෙන් ඔකඳ වී තිබිණි. රියෙන් බසිමින් සිටියේ ඇත්දළ පැහැති ඔසරියකින් සැරසුණු රුවැති ගැහැනියකි. ඇය මැදි වියේ බව බැලූ බැල්මටම පෙනෙතත් පැහැපත්ය; රූමත්ය. ඈ පැලඳ සිටින කණ-කර ආයිත්තම් ඇයගේ ඉසුරුබර බව මොනවට විදහා පෙන්වයි.

“කොහොමද අක්කෙ? දැන් සනීපයිද?”
කාරයෙන් බැසගත් ගැහැනිය කුමාරිහාමි සමීපයටම ආවාය.

“අනේ! නිල්ගල නංගිලා ආ එක කොච්චර හොඳයිද? වාඩි වෙන්ඩකො මල්ලී, ආය කියනකල් බලා ඉන්නේ... ඉතිං, ඉතිං නංගියේ.... රාමන්, විගැහින් ගිහින් අප්පොට කියාපං, නිල්ගල වලව්වේ අප්පොල ඇවිදින්ය කියලා....”

නිල්ගල අප්පොත් කුමාරිහාමි දෙස සැලකිල්ලෙන් බැලුවේය. “දැන්නං අක්කණ්ඩිට සනීප පාටයි!”

“මට දැන් සනීපයි මල්ලියේ. ගිය සුමානේ ධනුෂ්කත් ආයෙම ලංකාවට ආවනේ.... මට තිබිච්චි අසනීපෙ මයෙ පුතාව දකින්ඩ නැතිවයි හැදුණේ... දැන් ඉතිං මං දන්නවා, මයෙ පුතාගෙ ඉතිරි කටයුතුත් එකලාසයක් කරලා, දරු මුණුබුරොත් බලලා තමා මං මැරෙන්නෙ!”

අනිද්දට තියෙනවා හොඳ පොකුරු යෝගයක්.

“මොනවද අක්කා මේ කියන අවකැපෙන කතා?” නිල්ගල කුමාරිහාමි බාධා කළාය.

“ඔව්වට බය වෙන්ඩ හොඳ නෑ නංගියේ... ආරංචි ඇතිනේ අර විල්මට්ගේ පවුලට වෙච්චි විපත්තිය. එකම දවසෙ.... අම්මයි, අප්පච්චියි, පුතයි තුන්දෙනාම මළේ....” කුමාරිහාමි විස්සෝපයෙන් කීවාය.

“ඒක නේන්නං අක්කෙ... අපිත් පත්තරෙන් කියෙව්වා. ඒ ඉලන්දාරියා ළඟදීම බඳින්නලුනෙ හිටියේ... නේද?”

“නැතිව, ඔය විල්මටුයි, සිසිලියානයි දෙන්නම මෙහෙ වැඩ කළා ඉස්සරෝම. මෙහෙදීම තමා දෙන්නා යාළු වෙලා මඟුල්-තුලා කෙරුණෙත්! පේනවා නේද, ගෙනා හැටියට...”

“මැණිකේ මොනවට ඔය විපත්ති ගැන කතා කරනවද? කොහොමද මස්සිනේ ඉතිං....” දන්තුරේ බණ්ඩාර පිරිස මැදට පැමිණියේ, කුමාරිහාමිගේ කතාව වෙනතකට යොමු කරවමිනි.

“එහෙනං නංගිලා ඩිංගිත්තක් කතා කර-කර ඉන්ඩකො...” කුමාරිහාමි නැඟී සිටින්නට තැත් කළාය.

“මැණිකෙ කලබල වෙන්ඩ ඕනැන්නේ නෑ! මං සිළිඳු මැණිකාට කියෙව්වා තේ මේසයක් අරින්ඩ...” අප්පෝ කුමාරිහාමිට කීවේය. “මං මේ එහා පැත්තේ වළවල් තුන-හතරක් කැප්පෙව්වා මස්සිනේ! අනිද්දට තියෙනවා හොඳ පොකුරු යෝගයක්. ඒක අල්ලලා තැඹිලි පැල ටිකක් ඉන්දවන්නයි හදන්නේ....”

“අපේ දූලගෙ අප්පච්චි ඉතිං ඔය වගේ එව්වා අරින්නේ නැති කෙනෙක් නෙව!” කුමාරිහාමි මිතුරිය දෙසට හැරුණාය.

“ඈ අයියණ්ඩි. ඕවයෙ හැබෑවකුත් තියෙනවද ඇත්තටම?”

පරිසරය ආරක්ෂා කරන්න හරි පිළිවෙලක් මේ රටේ තිබිලා නෑ!

“නංගියේ.... ඔව්වා පුරාණ ඉරිසින්නාන්සේලගෙ කාලෙ ඉඳල හොයාගෙන අත්දැකලා තියෙන දේවල්... ඔය පොකුරු යෝග නැකතක් හරියට අල්ලලා හිටෝපු ගහක කොළවලට වැඩිය ගෙඩි හැදෙනවා!”

නිල්ගල අප්පොට ඔවැනි දේ ගැන විශ්වාසයක් නැතත් ඔහු හූමිටි තිබ්බේය. ඒ දන්තුරේ බණ්ඩාර මස්සිනා සතුටු කරවීමටය.

ජාතියක් වශයෙන්ම අපි මෙවැනි දේ පිළිගන්නට සැදී-පැහැදී සිටින්නෙමු. ශ්‍රී ලාංකිකයෙකු වීම නිසාදෝ මේ ලියන හාදයාත් ඒ වල්ලේමය. එහෙම නමුත්, එව්වා ඕනෑවට වඩා කරේ තියා ගන්නටත් මා සූදානම් නැත. විධිමත්ව- හැකිතාක් අපක්ෂපාතීව යමක් විග්‍රහ කරමින්, කරුණු තේරුම් ගන්නටය; මා නම් කැමති! 

එහෙම කරන්නට නම් හොඳ මතකයක් ඕනෑ වෙයි; තමන් තමන්ටම අවංක වීමකුත් ඕනෑ වෙයි. විග්‍රහ... අවංක.... ඒ ගැන ඇහෙද්දී....

අපේ ජනාධිපතිතුමා කළා යැයි කියවෙන ප්‍රකාශයක් විග්‍රහ කරමින් මුහුණු පොතේ පළ වුණු post එකක් මෙතැනදී උදාහරණයකට අරගත හැකිය. ‘පරිසරය ආරක්ෂා කරන්න හරි පිළිවෙලක් මේ රටේ තිබිලා නෑ’- ගෝඨාභය මහතා කීවේල! ඒ ප්‍රකාශයෙන් කියවෙන්නේ අපේ හිටපු මෑතකාලීන පාලකයන්ගේ කෙරුවාව ගැන නේද? මෙහෙම කියන්නට වන්නේ ඇයිදැයි ඇසිය යුත්තේ තවමත් බලයේ ඉන්නා ගොඩ දෙනෙකුගෙන්මය; ඒවාට ඔවුන්ගෙන් උත්තර ලබාගත යුතුය. අප කරන්නේ ප්‍රශ්න ඇසීම විතරය. උත්තර නැති වුණත් කාරියක් නැතිය. උත්තරයක් දුන්නත් එයින් වැඩක් ගන්නට ඕනෑකමක් නැත.

තව ඒවාත් ටිකක් කියවනවා... ඉස්කෝලේ වැඩ හින්දා වෙලාව අඩුයිනේ!

යුවති කිරිල්ලී පොත පළ කළාට පස්සේ, අඩුම ගණනේ හතර-පස් දෙනෙකුවත් ‘නිමල් දිසානායක’ වැඩ්ඩෙකු විදිහට හිතාගත් විත්තිය පෙනිණි. එයාලා මගෙන් වැඩක් ගන්නටත් හිතා ගත්තෝ වූහ.

“නිමල්, අපේ පුතාටත් හොඳට ලියන්න පුළුවන්. එයා පොත් දෙක තුනකුත් ලියලයි තියෙන්නේ. කියවපු හැමෝම වගේ ගොඩක් අගේ කළත් එක්ක. දැන් එයාට ඕනි පොත අච්චු ගස්සවන ක්‍රමයක් හොයා ගන්න. අපි එන්නං වෙලාවක ඔයාව හම්බ වෙන්න.... ටෙලිෆෝන් එකෙන් ඔය විස්තර ඔක්කොම කතා කරගන්න බැහැනෙ....” මගේ හිතවතෙක් කිව්වේය.

ඊට පස්සේ වෙලාවකුත් යොදාගෙන, දැකුම් මල්ලකුත් අරගෙන පුතණ්ඩියාත් එක්කම මාව හමු වෙන්නට ආවේය.

ඒ දරුවා ලියා තිබුණු පොතේ තැනින් තැන කියවලා බැලුවේ එයාලා ඉදිරිපිටදීමය. මගේ දැනීමේ හැටියට නම්, ඒකෙ සිංහල ඉතාම හොඳය. කියවපු හරියෙන් වැටහුණු දේවල් අළලා ප්‍රශ්නයක් නාහා කොහොමද?
“පුතා කියවන්නේ ෂර්ලොක් හෝම්ස් පොත් විතරයිද?”

“ඔව් අංකල්.... තව ඒවාත් ටිකක් කියවනවා... ඉස්කෝලේ වැඩ හින්දා වෙලාව අඩුයිනේ!”

ෂර්ලොක් හෝම්ස් ඔලුවේ තියාගෙන- අද කාලේ පසුබිම් කරගෙන පොතක් ලියනවා නං ‘සර් ආතර් කොනන් ඩොයිල්’ උන්නැහේ තරමටම නැතත්, ඒ කිට්ටුවට හරි විචක්ෂණ නොවී බැරිය. (මට හිතෙන්නේ එහෙමය.) ඒ පොත්වලටම සීමා නොවී, තවත් රහස් පරීක්ෂක ප්‍රබන්ධත් කියවිය යුතුය. අද්‍යතන යුගයේ අවි-ආයුධ, ඖෂධ-වසවිස විතරක් නොව ගොඩනැඟිලි- නිවාස වගේ දාහක් දේවල් ගැනත් උගත යුතුය.... ටික-ටිකවත්. එහෙම නැති වුණාම ලියන දේවල විශ්වසනීයත්වය බිඳී යයි.

ලියද්දී පාවිච්චි කළ යුතු ක්‍රම සහ විධි ගැනත් යාන්තම් හරි අවබෝධයක් තිබීමත්....

ඊටත් අමතරව ලියද්දී පාවිච්චි කළ යුතු ක්‍රම සහ විධි ගැනත් යාන්තම් හරි අවබෝධයක් තිබීමත් වැදගත්ය. ‘උපාය දන්නෝ අපායේ නොවැටී බේරෙන්නේ’ එහෙමය. එහෙම දැනුමක් නැතිව හරි පොතක් ලිව්වයි කියමුකෝ!

ඔබේ පොත කියවලා ඒ ගැන ‘පැසසුම් දෙන’ උදවියගෙන් දහස් වතාවක් පරෙස්සම් වෙන්නට වෙයි. ජීවිතේට පොතක් කියවලා නැති කෙනෙකු වුණත්, හිතවතෙකුගේ නිර්මාණයකට ‘සහතික’ දෙන්නට ඉඩ තිබේ. විශේෂයන්ම අපේ රටේදී..... ‘නැහැ- බැහැ- එපා- නරකයි’ කියලා ඍජුවම කියන්නට අප මැලිය; නිර්දය විදිහටම ඒවා කියන්නේ ‘අනභිමුඛයේදී විතරය’.

මගේ මිම්මට අනුව ප්‍රශස්ත මට්ටමේ නොතිබුණු ‘කවි පොත’ක්, කතුවරයා හොඳින් හඳුනන- ප්‍රවීන කවියකුගේ පැසසුමක්ද සහිතව මුද්‍රණයෙන් එළි දැක්විණි; ලොකු උත්සවයක්ද සහිතව! අද වෙන තුරුවත් ඒ මාහැඟි කාව්‍ය ග්‍රන්ථය ගැන කිසිම සඳහනක්, විවේචනයක් හෝ කතාවක් එදායින් පස්සේ කෙරුණේ නැති බවය මගේ දැනීම.

මා දන්නා පරිදි නම්; ‘උනහපුලුවාගේ පැටියා ඌට මැණිකක්’ බව නොදැන; නොතකා, අතින් සල්ලි වියදම් කරගෙන පොත් අච්චු ගැසූ ගොඩක් කතුවරුන්ගේ පොත්, ගොඩක්ම ප්‍රයෝජනයට ගන්නේ මීයන්- කාවුන් හා වේයන්ය.

මේ ටික ලිව්වේ සහෘද රසික; ‘බිත්තිය’ බ්ලොග් රචක ‘පැතුම් හේරත්’ පසුගිය කොටසට එවා තිබුණු කමෙන්ටුවක් නිසා උපන්, පහන් සිතිවිල්ලකිනි.... ඉදිරියේදී ලියන්නට යන දෙයකට පෙරවදනක් වශයෙනි.
‘නිදි ඊට පස්සේ පොත් ලිව්වේ නැද්ද
? මම පරණ කතා කියවල නැතිව මේ අහන්නේ....
මේ බ්ලොග් එක පොතක් විදියට දාමු එළියට...’ කියලාය පැතුම් කියා තිබ්බේ. 

සෑහෙන දෙහි තොගයක් යනවා නෙව බොන්නයි, මූණේ කොණ්ඩෙ ගාන්නයි.....

ස්තුතියි පැතුම්. ඊළඟ කොටසේදී පොත් ප්‍රකාශනය ගැන මං දන්න ටිකක් ලියන්නම්කො.

ඉතිං, යමක් නොදන්නා හින්දාම ඒවා බොරු යැයි කියන්නට මං එඩිතර වෙන්නේ නැත. පොකුරු යෝග ගැන මට අත්දැකීම් නැතත්, ඒවා අත්දුටු අය මට හමුවී තියෙයි. දන්තුරේ බණ්ඩාරට මුවාවී මං ලිව්වේ එහෙම කෙනෙකු ගැනය!

“ඔන්න අද මස්සිනාලා යනකොට මම දෙන්නංකො හොඳ ලෙමන් පැලයක්.... අනිද්දාට ඔය නැකත අල්ලලා හිටෝමුකො බලන්ඩ සෙල්ලමට වගේ. එතකොට බැරියැයි, හැබෑ බොරු බලාගන්ඩ ඔය නැකත්වල.”

“දන්තුරේ අයියණ්ඩි ලෙමන් පැලයක් නං දෙන්නේ, අපූරුයි. මම නොකිව්වත් අපේ දුව හිටවයි... ඈ මැණිකේ? ගෙදරට සෑහෙන දෙහි තොගයක් යනවා නෙව දූට බොන්නයි, මූණේ කොණ්ඩෙ ගාන්නයි..... ලෙමන් පඳුරක් නෙවෙයි, තුන-හතරක් වුණත් හිටවන්නයි තියෙන්නේ, ඔය නැකත අල්ලලා.” නිල්ගල අප්පෝ මහ හඬින් සිනාසුණේය.

“බලන්ඩකො අක්කා. මෙයාගේ වැඩේම පූර්ණිමා දූට ඇණුම් පද කියන එක...” නිල්ගල කුමාරිහාමි සැමියාට නොපහන් බැල්මක් හෙළුවාය.

කාමරයේ ඇඳෙහි වැතිර සිටි ධනුෂ්ක ඒ නම ඇසෙත්ම තිගැස්සී ගියේය.

“පූර්ණිමා!”

********

සමහර විපත් අතරින්ම සැපතක්ද මතුවී එන බව අසා තිබුණත් මාලතී මෙතෙක් ඒ බවක් අත්විඳ තිබුණේ නැත. මාපිය- සොයුරු සැමගේ අභාවයට පසුව, චන්ද්‍රා තම නිවසෙහි නැවතීමට පැමිණීම මාලතීගේ අමන්දානන්දයට හේතු විය.

ඔය වාටියක් මැහුවට, සරමක් මූට්ටු කළාට ඇතියැ? එච්චර තමා මං දන්න මැහිල්ල.

චන්ද්‍රා ඕනෑම අයෙකු හා ලෙහෙසියෙන්ම කුළුපග වන, හැම ආකාරයේම කටයුතුවලදී කාගේත් සිත් දිනාගන්නා ආකාරයේ එකියක වූවාය. එබැවින් ඇගේ සමාගමය කිරි අම්මාටත්, මාලතීටත් සහනයක්ම විණි.

නිවසෙහි සිටියදී චන්ද්‍රා අසල්වාසීන්ගේ ඉල්ලීම මත, ඔවුන්ගේ ඇඳුම් මසා දීමට පුරුදු වී සිටියාය. එය දිගටම කරගෙන යාමට ඇය අදහස් නොකළත්, සුපුරුදු උදවිය ඇයව සොයා මාලතීගේ නිවසට ආවෝය.
වික්‍රමගේ වියෝගයත්, විවාහය පිළිබඳ වූ සියලුම මිහිරි හැඟුම් -සිහින බිඳී යාමත් නිසා තැවෙන සිතට, කාර්ය බහුලත්වය දිව ඔසුවක් විය හැකි බව චන්ද්‍රාට වැටහී තිබිණි.

“මාලතී, උඹටත් මැෂිමක් තියෙනවනෙ. මගේ මැෂිමත් මෙහාටම ගෙනත් දාගනිමු. අපිට පුළුවන් ඔය එක-එක්කෙනාගේ ඇඳුම් මහල දීලා කීයක් හරි හොයා ගන්ඩ.... මහලා සාප්පුවලට දාන්ඩත් පුළුවන්... නිකං ඉන්නකොට තමයි බං, සේරම බහුබූත ඔළුවට එන්නේ....”

“අනේ චන්ද්‍රක්කා, ඔය වාටියක් මැහුවට, සරමක් මූට්ටු කළාට ඇතියැ? එච්චර තමා මං දන්න මැහිල්ල. ඔයා මගෙ මැෂිමෙන් මහන්ඩ. මොකෝ, ඕක ගෙවෙනවයැ. මට පුළුවන් ගෙදර වැඩ ටික කරන්ඩ!” තමාගේ නොහැකියාව දැනගෙන සිටි මාලතී පසු බැස්සාය.

“ඒ දන්න තරම ඇති බං. මට පුළුවන් උඹට ඉතිරි හරිය කියල දෙන්ඩත්..” මාලතීව කොටු කර ගැනීම චන්ද්‍රාට අසීරු දෙයක් නොවිණි.

“චන්ද්‍රා දූ කියන එකත් ඇත්තයි දුවේ. ඔය උයන-පිහන ඒවයින් වැඩි හරියක් මටත් කළෑකි. ඔහොම දෑතේ වැඩක් කරමින්ම තමා ඉගෙනගන්ඩ ලේසිත්. ළමිස්සියෙකුට ඔය වගේ සීග්ගර කර්මාන්තයක් ඉගෙන ගන්නා එක කවදාක්කත් නරකට හිටින්නේ නෑ නෙව...”

අපෙ අම්මා රෑ නිඳි මරාගෙන මලු-පැදුරු වියලා... පොළොවත් එක්ක නැහිලා..

එහෙත් කිරි අම්මා ලවා නිවසෙහි කිසිදු කාර්යයක් කරවා ගැනීමට යුවතියන් දෙදෙනාගෙන් එකියකවත් කැමති වූයේ නැත.

චන්ද්‍රාගේ මහන මැෂිම මාලතීගේ නිවසට රැගෙන ඒමට ගිය අවස්ථාවේ නම්, කුසුමාවතී කෝප වූවාය.
“මේවත් අරන් යන්ඩ හදන්නේ, උඹ දිගටම එහාට වෙලා ඉන්ඩද කල්පනාව?”

“අපෙ අම්මා බොරුවට බය වෙනවනේ... පාත්තරේ වතුරෙ කිඹුලෝ නෑ අපෙ අම්මා! මං ලැහැස්ති වෙන්නේ දැන් තියාම කීයක්වත් එකතු කර ගන්ඩ, දෑවැද්දට.... වික්‍රමට දෑවැද්ද ඕනෑ වුණේ නැතිවට, ආයෙ එන ණයකාරයෙක් නොඉල්ලාවිය.... ඊටත් දැන් ඉතිං මං කාලකන්නි එකියක්ය කියල හංවඩු ගැහිලා තියෙන එකේ, කීයක්වත් වැඩිය තියෙන එක කොහොමත් හොඳයි!”

කුසුමාවතී ඒ තර්කය බිඳින්නට වෙහෙස නොවූවාය. චන්ද්‍රා මැෂිම මාලතීගේ නිවසට රැගෙන ආවාය.

“මේ බලපං! උඹලගෙ අම්මා වික්‍රමගේ මංගල්ලෙට ගන්ඩ එකතු කරලා තිබ්බ රුපියල් හාරදාස් හත්සීයම මගෙ පොතේ දාලා තියෙනවා. වික්‍රම මට ඒක දුන්නා අරන් තියන්ඩ.”

චන්ද්‍රාගේ අතෙහි වූයේ ඉතිරි කිරීමේ බැංකු පොතකි. මාලතී ඒ දෙස බැලුවත් හිත ඈතකට පාවී ගොසිනි.

එදා රාත්‍රියේ මවගේ මුහුණෙහි මතුව තිබුණු සාඩම්බර සිනහව මාලතීට කෙසේවත් අමතක නොවන්නකි. “අනේ අක්කා, අපෙ අම්මා රෑ නිඳි මරාගෙන මලු-පැදුරු වියලා... පොළොවත් එක්ක නැහිලා- එළෝලු හිටෝල අපි වෙනුවෙන් එකතු කරපුවා.... එහෙමට පෙරුම් පුරාගෙන ඉඳලත් අන්තිමට වෙච්චි දේ!” මාලතී හීල්ලුවාය.

“මට තේරෙනවා බං... උඹට වගේම තමා. මටත් දුකයි... හැබැයි නංගියේ, අඬ-අඬා ඉන්න එක නෙවෙයි ඒ අම්මට කරන්ඩ පුළුවන් උපහාරේ! ඒ අම්මගෙම දූ බව පෙන්නලා දහිරිය අරං, කාටවත් බරක් නොවී ඉන්න එකයි කරන්ඩ ඕනෑ! තේරුණද? මෙහෙ බලපං.... මේ සල්ලි මට අයිති නෑ හරි නං......”

නාකද වලව්වට ගිහිල්ලා අප්පොවත් හම්බ වෙලා ආවොත්?

“අනේ අක්කා. කවුද ඔව්වා ඉල්ලුවේ?”

“මම කිව්වෙ නැහැනෙ උඹ ඉල්ලුවාය කියලා. මම කරන්ඩ යන්නේ මේ සල්ලිවලින් රෙදි ටිකක් ගෙනල්ලා.... ගවුම් ටිකක් මහන්ඩ ගන්නයි.... කොයි ලෝකෙ ඉඳගෙන හරි සිසිලි නැන්දලත් අපිට ආසිරිවාද කරයි!”

කිරි අම්මා චන්ද්‍රාගේ කතාව අනුමත කළේ කඳුළක් පිස දමමිනි. දැඩි සිතැති ගැහැනියක වූ ඇය, එළැඹි විපත්තිවලට මුහුණ දී තවත් පන්නරය ලබා ඇත්තාක් සේය.
‘සිසිලි නැන්දා මළාට පස්සේ කිරි අම්මා තවත් ටිකක් ඇට්ටර වෙලා වගෙ.’ චන්ද්‍රා සිතුවාය.

“දුවේ, ඔව්වට අත තියන්ඩ කලින්, නාකද වලව්වට ගිහිල්ලා අප්පොවත් හම්බ වෙලා ආවොත්? පණිවිඩේකුත් එව්ව එකේ නොගිහිල්ල හොඳ නැහැ නෙව...”

“හෙට උදේට අපෙ අප්පච්චි එනවයි කිව්වා කිරි අම්මේ!”

“ආං හොඳා! මුදලිහාමිත් එක්කම වලව්වට ගිහිං එන එක කොහොමටත් හොඳයි!”

17 

“ගනිං ළමයා...”

දන්තුරේ බණ්ඩාර කීවේය. මාලතී පසුබෑවාය.

“අරගනිං දුවේ! අප්පෝ හිතේ කැමැත්තෙන් දෙන එකනෙ....” මුදලිහාමි මාලතීව පෙරට තල්ලු කළේය.

එන දේකට මූණ දෙනවා... මේ වෙච්ච දේවල්වල හැටියට, තව මොනවද...

දන්තුරේ බණ්ඩාර, රාමන් අතේ එවූ පණිවිඩය කඩි ගුලකට දැමූ උණු අළු පිඬක් වැන්න. එයින් මාලතී ඇතුළු සියල්ලෝම කලබලයට පත් වූහ. වලව්වට ඇයව කැඳවන හේතුව නොදත් ඔවුහු නා-නා අදහස් පළ කළහ.

“උඹලා ගැන අප්පොට මොකුත් ආරංචි වෙලාවත්ද මංදා....” චන්ද්‍රා රහසින් මාලතීට කීවාය.

එවැනිම සැකයක් සිතේ තිබුණත් මාලතී බියපත් වූයේ නැත. “එන දේකට මූණ දෙනවා... මේ වෙච්ච දේවල්වල හැටියට, තව මොනවද අපට වෙන්ඩ ඉතිරි වෙලා තියෙන්නෙ, අක්කා...”

මුදලිහාමිත්, මාලතීත් අප්පොගෙන් සුහද පිළිගැනීමක් බලාපොරොත්තු නොවූහ. එහෙත් අප්පෝ මාලතී දෙස බැලුවේත් කරුණාන්විත ලෙසකිනි. ඔහු මුදල් නෝට්ටු කිහිපයක් දිගු කළ විට මාලතී මෙන්ම මුදලිහාමිත් අතිශයින්ම පුදුම වූහ.

“උඹලගෙ අම්මයි අප්පච්චියි හුඟ කාලයක් වලව්වේ වැඩ කළා... උන්දැලා දෙන්නම බොහොම හොඳ අය; ගුණ යහපත් අය... ඔහොම තමයි ළමයෝ! හොඳ අයට ආවිස අඩුයිලුනේ... අපෙත් යුතුකමක් උඹලා ගැන හොයල බලන එක.... මේං මේකත් තුන්මාසේ දානෙට ගනිල්ලා, ඕනි කරන දෙයක් ගන්ඩ පුළුවනි නෙව!”

දන්තුරේ බණ්ඩාර අප්පෝ මාලතී සිතාගෙන සිටි ආකාරයේ රකුසෙකු නොවෙන වග ඇය වටහා ගත්තාය. ඔහු රළු ගතිගුණ ඇත්තෙකු වුවද, කරුණාවන්ත බවක්ද නැතුවා නොවේ.

“ඉඳා, මේකෙන් අටපිරිකරක් කාරිය අරගෙන අම්මලට පිං දෙන්න හොඳ ඉහළින් තුං මාසේ කටයුතු කරපල්ලා...” මාලතී පැකිළෙමින් මුදල් අතට ගත්තාය. දණ ගසා වඳින ඇයට අප්පෝ ආසිරි පැතීය.

ඇයට පෙනෙනසේ කාමරයෙන් එළියට එන්නට සිතුණත්...

බරාඳයට යාබද කාමරය තුළට වී, ධනුෂ්ක එළියේ සිදු වෙනදේ හොඳහැටි අසා- දැනගත්තේය. ඔහු මාලතීව දුටුවේ යාන්තමිනි; ඒත් දොර රෙද්ද අතරිනි.

ඇයට පෙනෙනසේ කාමරයෙන් එළියට එන්නට සිතුණත් ඔහු එසේ කළේ නැත.

‘මාව දැක්ක ගමන්ම කලබල වුණොත්.... අප්පච්චිත් බලයි මොකද කියලා...’ අනපේක්ෂිත මොහොතක තමාව දැක ගැන්මට සැලැස්වීමෙන් ඇයව කලබලයකට පත් කරවීමට ඔහු බිය වූයේය...

12 comments:

  1. මහ විපතක් සිදු වුනාට පසු අනේ
    මනුස්ස හිත් වැඩ කරනා හැටි පෙනේ
    ඒක නෙවෙයි මට තියෙනා මහ පැනේ
    ප්‍රේමයක් ද මාගලක් ද දෙය්යනේ

    ReplyDelete
    Replies
    1. ප්‍රේමය රැගෙන යැයි සසරේ හුඟක් දුර
      ඒකය සොබාවය, දහමකි ඉස්තීර
      ඒ අතරේ තියේ, නොපිරුණු කුස්තූර
      මාගල හකුළන්න වෙනවා කල් නෑර

      Delete
  2. Replies
    1. ස්තුතියි!
      Pra Jay, හ්ම්ම් කියන හාදයා තමයි සත්ත්ව ලෝකේ නුවණැතිම වැඩිහිටියා විදිහට කතන්දර ගොඩක කියවෙන්නේ!

      Delete
    2. මං ඉතින් හ්ම්ම් ලියනවා.
      නිමල් නෙවිල් ගැන ලියනවා
      දෙකෙන්ම වෙන්නෙ තමන් කමිට් නොවී ඉන්න එක.
      නිමල් වඩා නුවණැති ( හා එන්ටර්ටේනින් ) විදිහට කරනවා ඒක

      Delete
    3. ලොකු පැසසුමක් Pra Jay මහත්තයෝ, ස්තුතියි!

      Delete
  3. Replies
    1. ස්තුතියි ඔබේ සින්ඩියටත්!
      ඒ හරහා නිදිගෙ පංච තන්තරේ පෙරලන්නට එන රසිකයනුත් ඉන්නවා!!

      Delete
  4. මට හිතෙනවා මේ මාලති හා ධනුෂ්ක සහෝදර සහෝදරියෝ කියල. අප්පෝ කාරය විශ්වාස නැහැ.
    පොත ප්‍රකාශන ගැන නම් මතක් කරන්න එපා හපොයි

    ReplyDelete
    Replies
    1. අජිත් මහත්තයෝ, එහෙම ඥාතිත්වයක් තියෙන්න ඉඩ තියෙන්නේ සිසිලියානා හා අප්පෝ අතරයි. තව කොටස් දෙක-තුනක් යනවිට වැටහෙයි, මෙතැන හැංගිලා තියෙන්නේ වෙනම බරපතල රහසක්! එතකල් ඉවසන්නකෝ තරහ නැතිව.

      Delete
    2. රසබර නැතත් පොත් ප්‍රකාශනය ගැනත් තව ලියන්නයි ඉන්නේ.

      Delete