අකුරු මැකී නෑ

Sunday, March 21, 2021

දහතුනේදී... -දෙවැනි කොටස

බයගුල්ලා! කරුවලට ඔච්චර බයද? මෙහෙන් එන්න.... මං ඇරලවන්නං ගෙදර ගාවටම...

“ඔයා ආපහු එනකොට මම ඔයාව හම්බ වෙන්නං.” එයාම කතා කළේය.

“.... මම එන්නේ රෑ වෙලානේ....”

“ඒකට කමක් නෑ....”
“ඒත් රෑ වෙලා මම ගෙදර එන්නෙ මේ පැත්තෙන් නෙවෙයි.” මං කීවේ ඇත්තමය.

“බයගුල්ලා! කරුවලට ඔච්චර බයද? මෙහෙන් එන්න.... මං ඇරලවන්නං ගෙදර ගාවටම...”

අභී අයියා එහෙම කිව්වාම නං මට ලජ්ජාවකුත් හිතුණේය. ඒත් ඒ ‘කරුවලට බය’ කතාව බොරුවකුත් නොවේ. ඒ සන්දියේ අපේ ඉසව්වට විදුලිය ඇවිත් තිබුණේ නැත. පමුණුව පාරේ වැඩි හරියකට.... ඒ තියා එයින් වැඩිම කොටසකට තාර දාලා තිබ්බෙවත් නැත. 

මාසේ පෝය දවසක නම් ඒ ඉසව්වලදී ලේසියෙන්ම, රාත්‍රී කළුවර කුට්ටි කපා ගන්නට වුණත් පුළුවනිය.

අභී අයියාත්, මාත් හමුවුණු අඩි පාරත් දැන් එගොඩ-මෙගොඩ යා කරන අඩි 15-20ක සංවර්ධිත පාරකි! එක්සත් සුබසාධක මාවත!! ඒ කාලේ වෙල් යාය මැද්දෙන් මෙගොඩ සිට එගොඩහට යන්නට වුණේ නියර දිගේය. දුන්හිඳ අද්දර මාරකේදී කියූ විදිහට අප ගෙදරින් පැනලා යද්දී, පළමු දවසේ පාන්දර අපේ සුන්නාත් මාත් ටැයියා එනතුරු හැංගී බලා හිටියේ, මේ වෙල් යායේ මෙගොඩහ කෙළවරේය.

අන්ත බේබද්දෙකුවී හිටි (මහරගම හන්දියේ මුට්ට කර ගහන) විජේ මාමා, රෑ බෝවී කට්ට කරුවලේ ගෙදර එන මගේ බයගුළුකම දැකලා භූමිතෙල් ලාම්පු පන්දමක් හදාදී තිබුණෙත්- ඒක හංගා තිබ්බෙත් මෙගොඩහය. අභී අයියලා හිටියේ එගොඩහ පැත්තේය. 

 ‘ඉස්සර කාලේ හංගලා තිබුණු බඩු වගයක් පෙන්වන්නට ගිහිං මැරුම් කෑගොන්නට එකතුවූ මාකඳුරේ මධුෂ්ගේ ගෙවල් තියෙන්නෙත්...

ඒ දවස්වල එගොඩහ පැත්තේ තිබුණු ගොඩක් ඉඩම් රූස්ස ගස්වලින්; ලඳු පඳුරුවලින් වැහී ගිහින්ය තිබ්බේ. දැන් ඒ ඉඩම් සේරම හෙළි- පෙහෙළිවී; කට්ටි කැඩී; වෙන්දේසිවී; ලොකු-ලොකු ගෙවලුත් හැදුණු තැන් වෙලා ඉවරය.

අවුරුදු දෙකකට කිට්ටු කාලයක් අත් අඩංගුවේ හිටියාට පස්සේ, ‘ඉස්සර කාලේ හංගලා තිබුණු බඩු වගයක් පෙන්වන්නට ගිහිං මැරුම් කෑ’ ගොන්නට එකතුවූ මාකඳුරේ මධුෂ්ගේ ගෙවල් තියෙන්නෙත් ඒ බංගලා අතරේමය! කාලය මැවූ වෙනසක අරුමේ!!

“රංජි, එනකොට මෙහෙන් එනවද?” අභී අයියා ඇසුවේය.

“හා” මම දුවන්නට පටන්ගත්තෙමි; පමාව හිලව් කර ගන්නට හිතාගෙන.

“ඔන්න මං බලං ඉන්නවාාාාාා!” අභී අයියා කියනවාත් මට ඇසුණේය.

පුරුදු විදිහටම ඩබල් ඩෙකර් බසයේ උඩ තට්ටුවේ අසුනක කෙළවරේ වාඩිවී මම සිහින ලොවක තනි වීමි! හිතාදර පාඨක ඔබ හිනා වුණත්, අනුකම්පා කළත්, ගර්හා කළත් මට කමක් නැත. මට මතක හැටියට; එදා මට තිබුණු මනෝ භාවයන් ගැන ඇත්තම කීම මගේ යුතුකමයි.

අභී අයියා එන්නේ මොකාටදැයි මට වැටහී තිබිණි. ඒ වෙද්දී මම මොකුත්ම නොතේරෙන තොත්ත බබෙක් නොවීමි. 

අවුරුදු හයටත් කලින් ෂර්ලි වෙතින් මා ලිංගික අපයෝජනයකට ලක් වුණේය. 
දොළහ වෙද්දී පියසිරිගේ ‘ඇනුම් පද’ තෝරා-බේරා ගන්නට ගිහින් 
‘සුදු මල්ලී’ මට ලිංගික පාඩම් ප්‍රායෝගිකවම ඉගැන්නුවේය.

ඒ හැම විටෙකම මා පසුවූයේ ආසයි -බයයිතත්ත්වයකිනි.

ඒ අතරවාරයේ බසයේ යන-එන විටෙක සමහර පිරිමින්ගේ නොමනා විමසීම්වලට, මනාප ඇඟෑලුම්කම්වලට, රහස් පිරිමැදීම්වලටත් ලක්වී සිටියෙමි. කිරුලපන SPL වැනි අයගේ සමහර දානපතිත්වයන්ටත් බඳුන්වී; යමක්-කමක් දන්නා කොල්ලෙක්වී හිටියෙමි.

ඒ හැම විටෙකම මා පසුවූයේ ‘ආසයි -බයයි’ තත්ත්වයකිනි.

එයට හේතුව කොටුවේ ආච්චිගේ පුතණු චන්දරේ මාමාත්, ඩීමන් ආනන්දත් දෙන්නාය.

ඕවිටේ වැඩ කරන අතරේ චන්දරේ මාමා මුලින්ම මාරක කතන්දර රස කර; පණ පිහිටුවා මාදැක්ක කිව්වේය. මාරක කතා චක්‍රවර්ති ඩීමන් ආනන්ද මහත්තයාගේ පොත් ගැන කිව්වේය. මම ඒවායින් බොහොමයක් කියවීමි. (මගේ පාසල් මිතුරු-මිතුරියන් අතර ඒවා පමණක් නොව ‘ප්‍රංශ රස’, ‘මකුණා’ වැනි පොතුත් නිරන්තරයෙන්ම සංසරණය විණි. මුලින්ම කිරි-කිරියේ අලුත්ම පෙනුමට තිබුණු ඒ සමහර පොතක් පන්තියේදීම වැරහැලි වෙන තරමටම අතින්-අතටත් ගියේය.)

ඒ සමහර මාරක කතා පොතක තිබුණේ ‘බෙහෙත් මඟින්’ ගොදුර වසඟ කර ගැනීම්ය. වසඟයට ගෙන, ලිංගික තෘප්තිය ලබා ගෙන සාහසික ලෙස ඝාතනය කරන සිදුවීම්ය. ඒවා මගේ හිතේ තදින්ම සනිටුහන්වී තිබිණි.

SPL දිනපතාම ගෙනවුත් දුන් ‘චෝකෝනට්’ පැකට්ටු මං තනියම නොකෑවේ ඒවාට ‘වසී බෙහෙතක් යොදා තිබ්බොත්’ යැයි කියන බයටය. නාඳුනන්නන්ගේ ලිංගික පෙළඹවීම් කිසිවක් නොවැටහුණු ගණනට හිටියෙත් ඔවුන් අපරාධකාරයන්දැයි සැකෙන්ය. ඒ නොදන්නවුන්ය!

අභී අයියා එහෙමද? දන්න-අඳුනන කෙනෙකි; ගමේ කෙනෙකි..... මට බයක් හිතුණේ නැත! 

මුණුබුරු-මිණිබිරියන් රොත්තකටම සෙනෙහස පාන්නට අපේ ආච්චිලාට වෙලාවක් තිබ්බේ නැත.

ඇත්තම කියතොත් අභී අයියාගේ උණුසුම කොහොම එකක් වේදැයි හිතද්දී මම මිහිරියාවකින් වෙළී ගියෙමි. තකතිරු මං එදා හිතුවේ ඒ ආදරය කියලාය; සෙනෙහස කියලාය!

කලින්ම කීවෙමි. අපට ගෙදරින් ප්‍රමාණවත් තරමේ සෙනෙහසක් නොලැබිණි. යන්තම් හරි ආදරයක් ලැබුණේ ආච්චිගෙනි. මුණුබුරු-මිණිබිරියන් රොත්තකටම සෙනෙහස පාන්නට අපේ ආච්චිලාට වෙලාවක් තිබ්බේ නැත; හයියක්-වත්කමක් තිබ්බෙත් නැත.

ආච්චී කළේ වරෙකට එක දරුවෙකු බැගින් තෝරාගෙන එයාට උපරිමයෙන් සැලකීමය. ඒකා අපේ ඉරිසියාවටත් බඳුන් වෙන තරමට. මුලින්ම සුනිල්.... ඊළඟට අජිත්....

ඒ සැලකිල්ල කොතරම් ව්‍යසනයක්දැයි ආච්චීට වැටහුණේ නැත. ආච්චිලා සුනිල්ටත්, අජිත්ටත් ඒත්තු ගන්වා තිබුණේ අපෙන් ඔවුන්ට වෙනස්කම් සිදුවෙන බවය. ආච්චී එහෙම කරන්නට ඇත්තේත් වැඩි ආදරේටය!

එහෙම අහී-දුප්පත්කම්, දයා විරහිතකම් තේරුම් ගනිමින් හිටි මගේ හිතේ ඒ දවස්වල ලොකුම දුකකුත් තිබිණි. වේදනාවකුත් තිබිණි. ඒ අපේ තාත්තාගේ අකරුණාව පිළිබඳවය. එයට උදාහරණ දෙකක් දිය හැකිය. එක: පිටකොටුවේ පස්වැනි හරස් වීදියේ සිද්ධියයි.    

දෙක: ඉස්කෝලේ කැන්ටිමෙන් තෙරේසා අක්කලාගේ සීනිසම්බෝල පාන් කාලක් කන්නට තිබුණ දොළදුක නිසා හොරකම් කළ සත විසිපහේ කාසි ගැන සිද්ධියයි! 

(මීට පෙර විඩෙන්-විඩේ ඒවා ගැන ලියැවිණි. හැබැයි මාස ගණන්වලට කලින්ය. ඒවා නැවත ලිවීමට වඩා හොඳ, ඒ posts කියවා නැති නවක රසික-රසිකාවනට ඒ තැන්වලට යෑමට links විතරක් අදාළ තැන්වල රතු පාටින් එබීමය. ඒක ලේසියි නේද?) 

... නිදහසට කරුණු කීමකුත් නොවේ. එදා මට හිතුණු හැටි අද වාර්තා කිරීමය.

එවැනි සිදුවීම්වලින් මා තහවුරු කරගෙන හිටියේ අම්මාටවත් තාත්තාටවත් අප ගැන; විශේෂයෙන් මා ගැනවත් ආදරයක් නැති බවයි. ඉතින්, එවැනි පසුබිමක අභී අයියාගෙන් ලැබෙන්නට යන සෙනෙහස ගැන මා සිහින මැවීම අරුමයක්ද?

මේ කරන්නේ මා කළ දේ ගැන බරපතළකම හෑල්ලු කිරීමක් නොවේ; නිදහසට කරුණු කීමකුත් නොවේ. එදා මට හිතුණු හැටි අද වාර්තා කිරීමය. එදා මේවා සේරම කාගෙන- දරාගෙන හිටියා මිස මේ එකක්වත් විග්‍රහ කරන්නට මට දැනීමක් නොවිණි. ඇත්තම ඇත්ත ඒකය.

අද මා කරන්නේ සිතීමය; විශ්ලේෂණය කිරීමය; සිදුවීම් තේරුම් ගන්නට උත්සාහ දැරීමය!

එදා ආපසු එද්දී මට කිසිදු බයක් දැනුණේ නැත; කළුවර ගැන යාන්තමටවත් සිහි වුණෙත් නැත. අභී අයියා ගැන විතරය හිතේ තිබ්බේ.....

මොකක්දෝ කෝල බවකින් වෙළී, සියොලඟම අමුතු කිතියකින් දැවෙමින් තිබියදී මම වත්තේගෙදර හන්දියෙන් බැස්සෙමි. බස් නැවතුමෙන් ටිකක් ඉස්සරහට ගිහින්, හැරී වමට ඇති පාර ඔස්සේ පිය නැඟුවෙමි.... කැලණිවැලි රේල් පාර පැනලා, බුවෙනකබා පොඩි ඉස්කෝලේ ළඟින් දකුණට හැරෙද්දී පපුව ගිඩි-ගිඩි ගාමින් තිබුණේය. බුවෙනකබා ප්‍රාථමිකය පසු කරන විට, ඊළඟට වමට හැරෙන පාරේ ඉසව්ව පෙනෙයි. විවේකාරාම පාර....

එතැන පාර අද්දර අභී අයියා උසට-උසේ හිටගෙන හිටියේය. මා ඔහු අසලට එනවිට මගේ කන් පෙති දෙක හොඳටම රත් වෙලාය; හීන් දාඩියෙන් සකල සරුවාංගයම තෙත් වෙලාය.

“රංජි මල්ලී එනකල් බලං හිටියේ...”

හිටි-හැටියේ මට දැනුණේ එතෙක් නොතිබුණු එඩිතරකමකි; දඟකාරකමකි. “...මං පමුණුව පාර දිගේ ගියා නං?”

අභී අයියා අඩිය ඔසොවමින්මය, කතා කළේ. “මම දන්නවනෙ රංජි මල්ලී එන බව..... ඔයා මාව රස්තියාදු කරවන්නෙ නැති බව...”

නියර දිගේ ගිහින්, ඒ අඩි පාරට ගොඩ වෙන්නට ඔන්න-මෙන්න කියා තිබියදී අභී අයියා...

විවේකාරාම පන්සල ගාවින් පාර ඉවරය. එතැන සිට තිබුණේ අඩි තුනක විතර පටු පාරකි. ඒ හරියේ ගෙවල්-දොරවලුත් නැත; අඳුරුය. මා අඳුරට බියවී ඇතැයි හිතලද කොහේදෝ අභී අයියා දිගටම කතා කළේය; විස්තර ඇහුවේය; විස්තර කිව්වේය.

ඒ ඉසව්ව පසු විණි. කෙළවරේ පිං ළිඳත් පසු විණි. ඊළඟට වෙල් යායයි, වෙල හරහා යා යුත්තේ නියර දිගේය. ඒ නියරෙන් ගොඩවෙන්නේ තවත් අඩි පාරකටය. ඒ ඉසව්වේ ගෙවල් කිහිපයකි. නියර දිගේ ගිහින්, ඒ අඩි පාරට ගොඩ වෙන්නට ඔන්න-මෙන්න කියා තිබියදී අභී අයියා ආපසු හැරුණේය. (එයා ඇවිදිමින් හිටියේ මට ඉදිරියෙනි.) “රංජි මල්ලී.... ඔයා මොකුත් හිතන්නෙපා...” කියලා කිව්වේය.

ඒ හඬ කෙඳිරිල්ලකි. බිඳුණු එකකි. “.... ඔයාට පුංචි තෑග්ගක් ගෙනාවා....”

නිහඬවම මගේ අතකින් අල්ලා ගත් අභී අයියා, එයාගේ අතේ තිබුණු කඩදාසි කවරය මගේ අතෙන් තිබ්බේය. “බලන්න ඔයා කැමතියිද කියලා!”

“කරුවලේ පේනවද?” මගේ කටහඬත් බිඳුණේ කොහොමද? කෙඳිරිල්ලක් වුණේ කොහොමද?

“ඉඹලා බලන්න!”

එතකොට අප දෙන්නා හිටියේ නියර කෙළවරේ මුහුණට මුහුණ පාලා හිටගෙනය. මම තෑග්ග නහයට ළං කළෙමි. සුවඳේ බැරිය. “මේක කොහොමද ගෙදර ගෙනියන්නේ....?” මගේ කටෙන් වචන පැන්නේ මටත් හොරෙන්ය. “..... තාත්තා අහයි කොහෙන්ද කියලා.....”

කොටුවේ කාර්ගිල්ස් එකේ කියුටිකිරා නැති දවසක විතරය; අපේ සීයා ආච්චීට ලක්ස් සබන් ගෙනාවේ!

“මම ඒක දන්නවා, මල්ලිලගෙ තාත්තා ගොඩක් වසයි නේද? ඕවා මම දුන්නා කියන්නෙපා.... ඔයා ගත්තයි කියන්න... දැකල ආසා හිතිලා ගත්තයි කියන්න. අලුත් සබන් ජාතියක්!”

අභී අයියා දුන්නේ ‘රිවෝඩ්’ සබන් කැට දෙකක් හරි තුනක් හරිය. ඉතිං එදා ඉඳලා අවුරුදු දෙකක් විතර යන තුරුමත් මා ගෑවේ රිවෝඩ් සබන් විතරය. ඒත්, ඊට කලින් නම් හුඟක්ම වෙලාවට අප ඇඟේ ගෑවේ ‘සන්ලයිට්’ සබන්ය. ඒකත් නැති වෙලාවලදී සවරින් බාර් වුණත්, ඒ අඩුව පිරිමැහුවේය. 
හොඳටම 'හාඩප්' නං සත පහේ බෝල සබන් ඒ තැන ගත්තේය.

ඒ දවස්වල කප් ගහලා තිබුණේ Lux සබන්ය. එහෙම වෙලාත් අපේ ආච්චී නම් ගෑවේ කියුටිකිරා විතරය!  කොටුවේ කාර්ගිල්ස් එකේ කියුටිකිරා නැති දවසක විතරය; අපේ සීයා ආච්චීට ලක්ස් සබන් ගෙනාවේ! ආච්චී සබන් පෙට්ටිය තියාගෙන හිටියේ අතැන-මෙතැන, අස්සේ-මුල්ලේ හංගලාය. ඒ මාත් ඇතුළු මාර සේනාවෙන් ‘සුවඳ සබන්’ බේරා ගන්නටය. එහෙම කළ ආච්චීම සමහර වෙලාවක අපටත් ඒවා ගාගන්නට දුන්නේය!

ඉතිං, මාත් ඒ වෙලාවේම හිතාගත්තේ අභී අයියා දුන් සබන් කැට හංගලා තියාගත යුතු තැනක් ගැනයි.

“මං උඩහටත් එන්න ඕනිද? ගෙවල් තියෙනවනේ...” සබන් සිහිනයට බාධා කරමින් අභී අයියා ඇසුවේය.

“ඕන්නෑ අයියේ.... මං යන්නං.” කලබලයෙන් එහෙම කියාගෙන මෙගොඩට ගොඩ වුණා මිස, අභී අයියාට ස්තුති කරන්නටවත් මට මතක් වුණේ නැත.

ඒ කෙටි හමුවට ගත වුණේ මිනිත්තු කිහිපයක් විතරය. එහෙත් මට දැනුණේ පැය ගණනාවක් වගෙය; ගොඩ වෙලාවක්-දිග වෙලාවක් ගත වුණා වගෙය; පරක්කු වුණා වගෙය! ඉතින් මම දුවන්නට ගත්තෙමි. පස්ස හැරී බලන්නටවත් සුනංගු වුණේ, මේ රංජියා නොවේ!!

අම්මට සිරි! එයා මට තව තෑග්ගක් දෙන්නද යන්නෙ?

ආයෙමත් අභී අයියාට නිවාඩුවක් ලැබිලා තිබුණේ දවස් කිහිපයකට පස්සෙය. මට හිතුණේ එහෙමය. නිවාඩු දවසකටනේ එයා මඟ බලාගෙන ඉන්නේ. ඔහු මඟ බලාගෙන හිඳිතියි සිතමින් ආවත්, දවස් කිහිපයක්ම ඔහුගේ දසුනක් නොවීය.

“ඇද්ද උඹට? උඹ හිතපු ජාතියෙ මනුස්සයෙක් නෙවෙයි එයා!” මම මටම ඒත්තු ගන්වා ගන්නට වෙර දැරුවෙමි.

එහෙම ඒ පැත්තට එක සැරයක් හිතද්දී, මේ පැත්තට දහ සැරයක් හිතෙන එක නවතා ගන්නට නම් මට පුළුවන් වුණේ නැත. එහෙම තිබියදීය ආයෙත් අභී අයියා මඟ රැකගෙන හිටියේ.

“ඔන්න රංජී, අදත් මම ඔයා එනකල් බලං ඉන්නවා....”

නසරානියා; පාදඩයා; වලත්තයා; නොසන්ඩාලයා; දෙබිඩ්ඩා වගේ රටේ තියෙන තරම් ‘නම්බු නාම’ ගොඩාරියක් මං මටම ප්‍රදානය කර ගන්නා පුරුද්දට හේතුව හිටි ගමන් මගෙන් කෙරෙන ‘කුප්පිදු දඟ වැඩ’යි. එවේලේත් මගෙන් කෙරුණේ එහෙම දේකි.

“තා....ම සබන් ඉ...ව...ර නෑ!”

මගේ දඟ කතාවට අභී අයියාට බකස් ගා හිනා ගියේය. “ඒකට කමක් නෑ.... සබන් විතරද ලෝකෙ තියෙන්නෙ....”

අම්මට සිරි! එයා මට තව තෑග්ගක් දෙන්නද යන්නෙ?

‘වචන දහසකට වඩා එක පින්තූරයක් වටී’ කියලා කියුමක් තිබේ. එහෙම එක වචනයක් හිතට වැදුණාම ඒක හොයා ගන්නට පුදුම ‘ඩම්’ එකකි මං දාන්නේ. ‘මාරක හී පහර -8’ පෝස්ටුවට ‘අයිලය පැදීම’ ගැන විස්තරත්, ඡායාරූපත් හොයන්නට ගත වුණු වෙලාව! මේ පෝස්ටුව කොටද්දීත් ඒ සංතෑසියම සිද්ද වුණේය. අභී අයියා මට ඉස්සෙල්ලාම දුන්නු තෑග්ග ‘රිවෝඩ්’ සබන් කැට දෙක-තුනක්ය කියලා කීවෙමි. 

මං විතරක් නොවේ. ජෝතිපාල.....  එච්.ආර්. ජෝතිපාල ගායකයාත් රිවෝඩ් ලෝලියෙකි! සාක්කි දෙන්නේ ආචාර්ය මර්වින් සිල්වා මැතිතුමාය.

මට නම් ඒවා ගලක කෙටූ අකුරු වගේ සත්තක විත්තිය. ඒත් ඒවා සිදුවී දැන් අවුරුදු 50කට කිට්ටුය.

මගේ පලෝලේ;  මගේ වයසේ අය නොවේ, මා ලියන දේ වැඩියෙන් කියවන්නේ. නිකම්ම යමක් කියනවාට වැඩියෙන්, කියන දෙයක් පිළිගැනෙන්නේ - ලස්සන වෙන්නේ සාක්කි ඇතිව කිව්වාමය.

ඒ හරිය කොටන වෙලේ හිට, මෙච්චෙල්ලාමත් මගේ හිත හතර වටෙන් හමා එන්නේ රිවෝඩ් සබන් පුසුඹය; ඒ සුමිහිරි මායා සුවඳය.....

ඉතිං ‘නිදි’ කළේ, blog එක ලිවීම පැත්තකින් තියලා, රිවෝඩ් සබන් ගැන හෙවිල්ලය.

එක foto එකක්වත් නැත! ඒ වුණාට, රිවෝඩ් සබන් ගැන නියම සාක්කියක් නම් හොයා ගන්නට වාසනාව ලැබුණේය! මං විතරක් නොවේ. ජෝතිපාල..... ඔව්, ඔව්, ඔව්! එච්.ආර්. ජෝතිපාල ගායකයාත් රිවෝඩ් ලෝලියෙකිසාක්කි දෙන්නේ ආචාර්ය මර්වින් සිල්වා මැතිතුමාය; හිටපු ඇමැතිතුමාය. 

‘.... ඒ වෙනකොට ජෝතිට මාවත්, මට ජෝතිවත් නැතිව බැරි තත්ත්වයක් ඇති වෙලා තිබුණා. ජෝති සමහරදාට රෑ නවතිනවා. පොඩි අඩියක් ඕනෑ එයාට. තාත්තා ඒවා සපයනවා. ඉතිං ජෝති අඩියක් ගහලා පොඩි සිංදුවක් එහෙමත් කියනවා. අපේ ගේ ළඟ හොඳ කුඹුකේ ලිඳක් තිබුණා. අපි නාන්න යනවා ඒකට. මම ජෝතිට නාන්න වතුර ඇදලා දෙනවා.

අර බෝධියකට වතුර වත් කරන සයිස් එකෙන් තමයි මම එයාට වතුර ඇදලා දෙන්නේ.

ඒ කාලේ රිවෝඩ් කියලා සුවඳ සබන් ජාතියක් තිබුණා. ජෝති ඒ සබන් පාවිච්චි කරන්න හරිම කැමැතියි. ඇත්තටම අද මට හිතෙන්නේ ජෝතිට එදා වතුර ඇදලා දුන්නා වගේම පිට අතුල්ලලා, නාවලා, පිහදාලා ඔහුට මේස්, සපත්තුත් පැළැන්දුවා නම් කොයි තරම් හොඳ ද කියලයි. මොකද ජෝති කියන්නේ ඒ තරම් හොඳ මහත්මයෙක්...!’ 

එදාත්, කලින් දවසෙ වගේම අභී අයියා මට තනි රකිමින්....

අභී අයියාත් හොඳ මහත්මයෙක්ද?

එහෙමද නැතිද කියලා දැන්මම තීරණය කළෑකියැ.  තවම මං ඒ මනුස්සයා ගැන කියන්නට පටන් ගත්තා විතරය.

එදා බස් එකේ කොළඹට යන තුරාවටම මගේ දෙසවනේ දෝංකාර දුන්නේ ‘සබන් විතරද ලෝකෙ තියෙන්නෙ?’ ප්‍රශ්නයයි. රෑ බෝවී ආපහු එද්දී ඒ දෝංකාරය සිය ගුණයකින් වැඩි වෙන්නට පටන් ගෙනය. එදාත් මා බසයෙන් බැහැ ගත්තේ වත්තේගෙදර හන්දියෙනි. එදාත්, කලින් දවසෙ වගේම අභී අයියා මට තනි රකිමින් අඩි පාර දිගටම ආවේය; වෙල මැද්දාවෙනුත් ආවේය. ඒත් නියර මැද හරියෙදී ප්‍රශ්නයක් ඇහුවේය.

“කවුද මල්ලිගේ කලිසම් මහන්නේ? අම්මා නේද?” 

එතකොට නම් මට හිතුණේ පොළොව පළාගෙන යන්නටයි. කලිනුත් කිව්වා මතකය. අපේ ඇඳුම් මැහුවේ අම්මාමය. 

බදුල්ල මයිලගස්තැන්නේ ගොවි ගෙදරක ලොකු දෝණියවී උපන් අපේ අම්මලා ඒ කාලේ ඇඳුම් මහද්දී රෙදි කපලා තිබුණේ මන්නයකිනි. කතුරකින්වත් නොවේ. 

දක්ෂ මැහුම්-ගෙතුම්කාරියකවී හුන් අපේ ආච්චීවත්ද එකම ලේලියට ඇඳුම් මහන්නට කියා දුන්නේ? මෙතුවක් කාලයකට මගේ හිතට නොආ ප්‍රශ්නයකි ඒ. අපේ අම්මාගෙන් නම් ඒ ගැන අහලා වැඩක් නැත. ආච්චීට හොඳක් කියන්නට අම්මා ලෝබය!  

අම්මා හැට්ට මහන්නට නම් සූරියකි. ඒත් අපේ කලිසම්.... අජූතය. එහෙනම් අභී අයියාටත් ඒක පෙනිලාය. 

“ලබන සෙනසුරාද මට නිවාඩු.... මට හම්බ වුණු යුනිෆෝම් රෙදි වගයක් තියෙනවා... ඒකෙන් ඔයාටත් කලිසං දෙකක් මස්සමු. අම්මට කියලා නෙවෙයි, මගේ ඇඳුම් මහන ටේලර්ට කියලා..... ඔයාලගෙ තාත්තටත් කියන්න මං මෙහෙම කිව්වයි කියලා. සෙනසුරාදා රෑට ඔයත් එක්ක එහාට එනකල් ඉන්නයි කියලා මං ටේලර්ටත් කියන්නං.” 

සෙනසුරාදා රෑට ඔයා අපේ ගෙදරට එන්න... (අභී අයියලා ගෙදරත් මේ වගේ බංගලාවක් නොවේ!)

අභී අයියා කතා කළේ ප්‍රශ්න අහන්නට ඉඩක් තියලා නොවේ. බැහැයි කියන්නට ඉඩක් තියලාත් නොවේ; අධිකාරිවාදී ස්වරයකිනි. සේරම දේවල් තීරණය කිරීමේ අයිතිය එයාටම පවරා ගෙනය.

එහෙම වුණේ හමුදාවේ පුරුද්ද හින්දාවත්ද?

සෙනසුරාදා හවස මං පේව්මන්ට් රස්සාවට ගියේ කළුබෝවිල ඉස්පිරිතාලයේ ගේට්ටුව ළඟටය. එතැනින් පස්සේ වෙන කොහාටවත් යැවෙන්නේ නැත. ඒ නිසාම ගෙදර එන්නටත් පරක්කු නොවෙයි. (අභී අයියා කිව්වේ රෑ වුණත් නෑවිත් ඉන්න එපා කියලාය.) එහෙම ප්‍රමාද නොවී ඇවිත්, අභී අයියා හමු වෙන්නට යන්නැයි කිව්වේ අපේ තාත්තාමය. 

“සෙනසුරාදා රෑට ඔයා අපේ ගෙදරට එන්න... මම ලැහැස්ති වෙලා ඉන්නං.” එහෙමය, අභී අයියා මට කියලා තිබුණේ........

8 comments:

  1. Hmmmmm, honda honda sellam eliwena jameta wage (Wijebahu)

    ReplyDelete
    Replies
    1. එහෙමනේ විජේබාහු මහත්තයෝ අපේ ජාතියටම පුරුදුත්!

      Delete
  2. //ඉතිං ‘නිදි’ කළේ, blog එක ලිවීම පැත්තකින් තියලා, රිවෝඩ් සබන් ගැන හෙවිල්ලය.
    එක foto එකක්වත් නැත!//
    වීඩියෝ එකක්නම් ලේසියන් හොයා ගන්න පුලුවන්.
    රිවෝර්ඩ් සබන් ඇඩ්වර්ටීස්මන්ට් එක 1969 ඉන්ගලන්තෙ
    https://www.youtube.com/watch?v=RCufy2PiLBw

    ෆෝටෝ එකක්නම් හොයා ගන්න අමාරුයි. ඒත් මේ යුනිලීවර් ආකයිව්ස්වල තියනවයි කියනවා, ඕපන් කරන්න අමාරුයි

    Search Results - Unilever Archivesunilever-archives.com › Record
    Description, Advertising guard book aimed at various markets (see below for list of ... Pears (soap), Vita (margarine), Phase III (soap), Reward (soap), Lux (soap), ...

    ReplyDelete
    Replies
    1. මේ එවලා තියෙන හරිය මදැයි Pra Jay මහත්තයෝ!

      Delete
  3. නිමල්ගෙ මේ ජාතියේ කතා කාර්ල් මුලර්ගේ කතාවලට හුඟක් සමානයි.
    විශේෂයෙන් ජෑම් ෆෘට් ට්‍රී, කලම්බු, යකඩ යකා, Once Upon A Tender Time, Spit and Polish වගේ පොත්වල කතා.


    මුලර්ගෙ සමහර පොත් මං කැමැත්තෙන් කියෙව්වට පුද්ගලිකව මං ආසම වර්ගයේ පොත් නෙමෙයි (මට නිමල්ගෙන් ඕනෙ මහරගම ගම හා ගම්වාසීන්ගේ ඉතිහාසය ගැන පොතක්නෙ ) ඒත් නවකතා, හෝ memoirs විදිහට නිමල්ගෙ ජීවිතකතාව පොතක්/පොත් ලිව්වොත් සිංහල කාර්ල් මුලර් කියයි.

    ReplyDelete
    Replies
    1. Pra Jay මහත්තයෝ,
      මාව ඔච්චර උඩින් තියන්නෙපා, ආඩම්බර හිතෙයි! මගෙත් ඔළුව ඉදිමෙයි!! එතකොට මේ ඉතිරි කරගෙන ඉන්න හොඳ ටිකත් නැති වෙලා යයි!!!

      Delete
  4. මමත් පංච තන්තරේ කියෝලා ඉවරවුනු ගමන් රිවෝර්ඩ් සබං ගැන හෙව්වා. ඒ ගැන මුකුත්ම නැහැනේ. නම අහපු ගමන් එකපාරටම හිතට ආවේ රෙකිට් ඇන්ඩ් කෝල්මන් Reckitt & Colman කොම්පැනියයි. නමුත් ඒක වැරදියි වගේ.
    කොහොම උනත්, රිවෝර්ඩ් සබං දීලා, කලිසම් මස්සවලා දීලා අභී අයියා කැරකෙන්නේ මොකටද කියලා හෙට අනිද්දාට බලාගන්න පුළුවන් වෙයි නේ.

    ReplyDelete
    Replies
    1. Pra Jay මහතා ඒවා තිබුණු ලින්ක්ස්වලටත් ගියා නේද සෑම් මහත්තයෝ?
      මට හැඟුණු විදියට සබන්- සිගරැට් එකාධිකාරයන් බිඳින්න අමාරුනේ ඒ කාලේ... රිවොර්ඩ් සබන් වුණත් වැඩි කාලයක් තිබුණේ නැති වෙන්නැති.

      Delete