අකුරු මැකී නෑ

Monday, May 31, 2021

ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස

diලගෙ අම්මා ළිඳට පනින්න ගිහිං. ඇතුළට වැටුණා නං ගිලෙනවා....

දයාබර නිමල් අයියේ,

මේ ලියන්නේ අපි අතරෙ 14. 05. 2021 ඇති උන දුරකථන සංවාදයේම දිගුවක්.
ඔයා බල කරලම කිව්වනෙ කිව්වනේ මේ දවස් තුන ගෙදරටම හිරවෙලා ඉන්න එකේ අදම මේ ගැන ලියන්න පටන් ගන්න.....

ඔව් පීරිස් මහත්තයෝ, කිව්වා නේන්නං. ඊයේ හවස ඔයාගේ අහඹු call එක එද්දී, දුකේ බැරිව හිටියේ; අපේ මානෙල් කියපු දේකින්. (ඔයා වගේම, අපේ මානෙල් නංගිත් කීප සැරයක්ම මට calls ගන්න try කරද්දී එක වතාවක් හරි ගිහින් තිබුණා.)

මං ඔයාට කිව්වනේ, ගිය බදාදා ඉඳලා අපිවත් lockdown වෙච්චි අස්සේ සිද්ද වුණු හුටප්පර කන්දරාව ගැන posts දෙක-තුනක් ලියන්න යනවයි කියලා. පළමුවෙනි කොටස ලියලා සෙනසුරාදා උදේට publish වෙන්න ෂෙඩුල් කරලත් ඉවරයි. නැත්තං ඔයාගේ මේ ලිපිය දාන්න තිබ්බා, දවසක් පරක්කු කරලා හරි!

ඉස්සෙල්ලාම මං ඔයාට කියපු diලගේ අම්මා ගැන කතාව මෙතැනට ලියලා ඉන්නං. බ්ලොගය කියවන අපේ  සහෘද රසිකයන්ට කතාව තේරුම් ගන්නයි එහෙම කරන්නේ. මතකයිනෙ, මානෙල්ගේ call එක....

“... ලොකා, හරි වැඩේනේ, diලගෙ අම්මා ළිඳට පනින්න ගිහිං. ඇතුළට වැටුණා නං ගිලෙනවා. මළ ජංජාලෙ, තව පොඩ්ඩෙන් මිනිය තමයි ගොඩ ගන්න වෙන්නේ....” මානෙල් කිව්වා.

“දෙයියනේ! diලගෙ තාත්තත් ලෙඩ වෙලා ඇඳේම නේද?”

“ඒක නේන්නං ලොකා වැඩේ. ඒ මනුස්සයව බලා ගත්තෙත් මෙයානෙ...”
“ඇයි diගෙ පවුලයි ළමයයි...? di වෙන ගෑනියෙක් එක්ක ගියත් මේ දෙන්නා හිටියෙ diගෙ අම්මලත් එක්කමනේ.”

අඹුදරුවන් මහගෙදර හිටිද්දී වෙන කැදැල්ලක බින්න බැස්සේ....

Di ඉන්නේ අපේ මානෙල් නංගිලාගේ ගෙවල් කිට්ටුවමය. මානෙල් නංගිගෙ පුතා, සුරංග ඉස්කෝලේ යන කාලේ හිටම diගේ යාළුවෙකි.

එහෙදී මට di හමුවී තිබ්බත්, ඒ ගොල්ලන්ගේ ගෙදරට යැවුණේ නෙවිල්ට ඉඩමක් හොයද්දීය. Diලගේ ගෙවල් කිට්ටුවම ඉඩමකට නෙවිල්ගේ හිත ගියත්, විකුණනවාය කී ගණනට හිත ගියේ නැති නිසාය, වැඩේ නොකෙරුණේ. ඒ ඉඩම් හිමියා අපට මුණ ගැහුණේ diලගෙ ගෙදරදීය. 

ඊට කාලයකට පස්සෙය, රියදුරු රැකියාවක් කරමින් උන් di වෙනින් අංගනාවකට පට්ටල්වී, අඹුදරුවන් මහගෙදර හිටිද්දී වෙන කැදැල්ලක බින්න බැස්සේ.

“Diගෙ පවුල දුවත් එක්ක මේ දවස්වල එයාලගේ ගෙදර ගිහින්.... එයාලා diලගෙ ගෙදර හිටියට, නැන්දම්මා තිස්සෙම ලේලි එක්ක fight ලොකා.... එයා එක්ක ඉහ ගහගෙන ඉන්න එකත් ලේසි නෑ. ඒ අස්සේ මේ කොරෝනා කතන්දරෙත් ආවනේ..... diලගෙ අම්මා ඒ ලෙඩේ හැදෙයි කියලා පණ බයේ හිටියේ... ගේ අස්සටම වෙලා. එළි-පහළියකටවත් එන්නැතිව, මනුස්සයෙක් එක්ක ආස්සරයක් නැතිව.....” 

එහෙම හිටි මනුස්සයාගේ ගෙදර පැත්තෙන්ය මැයි 7 වෙනිදා විලාප දෙන සද්දයක් ඇහිලා තියෙන්නේ....

‘“අනේ මාව බේරාගනියෝ.... අනේ, මං මැරෙන්න යනවෝ... ශකිලා, ශකිලා!” කිය-කියා මේ මනුස්සයා මරහඬ දෙන්න පටන් අරන්...” මානෙල් කියාගෙන යයි. “.... ශකිලාට තමයි සද්දෙ ඇහිලා බලල තියෙන්නේ.....

(දැන් බ්ලොගය කියවන අය ‘Who is this Shakila’ කියලා ඇහුවත් මං කියන්නේ මෙච්චරය. එයාත් අපේ නෑදෑයෙකි.)
ශකිලල ගේත් එතැනම පිටිපස්සෙනේ.... මේකි දුවල ගිහින් බලනකොට, diල අම්ම ළිඳේ තාප්පේ අල්ලගෙන මොර දෙනවලු....”.
මානෙලුත් එක්කුසේ උපන් මගේම නංගීය; කතා කරන්නට ගත්තාම මටත් වඩා හපන්ය.....

“ළිඳට පැන්නා නං කොහොමද ඒ මනුස්සයා ළිං ගැට්ටේ එල්ලුණේ?”

“ඒ මනුස්සයා හිටියේ මොළේ කොලොප්පං වෙලානේ, ලොකා. එක පාරම ළිඳට පනින්නේ නැතිව බහින්න හදලා.... අන්තිම මොහොතේ මර බය එන්න ඇති!” 

එහෙම කියලා අපේ මානෙල් කැකිරි පලන්න ගත්තෙ නැතැයි.

වෙලා තියෙන්නෙත් ඒකය! අන්තිම තත්පරයේ ළිං ගැට්ටේ එල්ලීගෙනය, diලගෙ අම්මා ශකිලාට අඬ ගසා තියෙන්නේ. විලාප සද්දය ඇසී එතනට දුවගෙන ගිය ශකිලාත් කළේ තව විලාපයක් දෙන එකය. ඒ මහා විලාපය ඇසුණු සැණින් ශකිලාගේ සැමියාත්, අහල-පහළ සෑහෙන දෙනෙකුත් එතැනට එකතු වෙලාය.

“හොඳ වෙලාවට කට්ටිය එතැනට ගිහින් තියෙන්නේ.....” මං කිව්වා නෙවෙයි කියවුණා.

“හොඳ? එතැන ඉඳන් තමයි ලොකා නියම යුද්දෙ පටන් ගත්තේ....” එහෙම කියලා අපේ මානෙල් කැකිරි පලන්න ගත්තෙ නැතැයි.
ඒ සැරේ මටයි ඉවසිලි නැතිව ගියේ. “යකෝ! කියන්න ආව මඟුලක් කියල ඉවර වෙලා හිනා වෙයන්කො!”

“හිනා නොවී කොහොමද ලොකා? පිරිමි කට්ටිය diලගෙ අම්මා ළඟට යන්න හැදුවා විතරයි ඒ මනුස්සයා කෑ ගහන්න ගත්තා..... -මගෙ ළඟට එන්න එපා, මගෙ ළඟට එන්න එපා! මට කොරෝනා, මට කොරෝනා!!- කිය-කියා. ගමේ මිනිසුන්ට එයාගෙන් කොරෝනා බෝ වුණා කියලා දොස් අහන්න බැහැයිලු!” 

එහෙම කියලා අපේ මානි හුස්මක් ගන්නා අතරේ මමත් සුසුමක් හෙළුවෙමි. “කොහොමද ඉතිං diලගෙ අම්මව ගොඩ ගත්තේ......?”

“නිශාන්තල එහෙම කිව්වා -අපිට කොරෝනා හැදිච්චදෙන්, අපි බය නෑ- කියලා. එහෙම කියලා ළඟට යන්න හදද්දීත් ඒ මනුස්සයා ‘අනේ එන්නෙපා’ කියලා හොඳටෝම ඇඬුවා ලොකා... දුකේ බෑ! bed sheet එකකින් එයාව වහලා අල්ලන්නලු කියලත් කිව්වා....

ඒ වෙලාවේ මොන බෙඩ් ෂීට්ස්ද. අර මනුස්සයගේ අත්දෙක අතෑරුණා නං ඒ ගෑනි ළිඳේනෙ. නිශාන්තලා ඒවා ගණන් ගත්තෙ නැතිව එයාව ගොඩට ඇදල ගත්තා.

ඒ වෙලාවේ ඉඳලම ඒ මනුස්සයා ගෙට වෙලා, දොරත් වහගෙන මුළු ගැන්නිලා අඬ-අඬා ඉන්නවා, බයේ! එයාගෙන් අනික් අයට කොරෝනා හැදුණා තමයි කිය-කියා. පව්!”

කිහිප දවසකට කලින්, මං අයස්මන්ත මහත්තයාට ඒ සිද්ධිය කියලා තිබුණේ මට ‘සවිස්තර වාර්තාව’ ආපු ගමන්.

අපි සමාජශීලී සත්තු. අපි වානරයෝ.....

දැන් දවස් ගණනාවක (මැයි 13) හිට මගේ ටෙලිෆෝන් එකට ගංවතුර ගලලා. ගැලුවේ ෆෝන් එකටද, ටෙලිකොම් එකටද මන්දා- ජරජර ගාලා වතුර ගලන සද්දෙකුත් ඇහෙනවා. පැමිණිල්ලකුත් දැම්මා. Lockdown එක ඉවර වෙනකං ටෙලිෆෝන් හදන්න එවන්න බැරිලු!

එහෙම හැදුවේ නැතිවමත්, මේ හොල්මං ෆෝන් එක ඒකටම හිතුණාම හිටි ගමන් වැඩ කරනවා. 

ඒ නිසා මාත් බාගෙට ලෙඩ වෙලා. හොඳ වෙලාවට internet line එක- වැඩි වෙලාවක් වැඩ. ඒ අස්සේ තමයි ඊයේ හවස ඔයාගේ ඇමතුම ලැබුණේ. මානෙල් නංගී ඊට ටිකකට කලින් මට කියපු diලගෙ අම්මගේ අලුත්ම විස්තරේ අහලා, හොඳටම කම්පා වෙලයි මං හිටියේ.

ඉතිං දොස්තර මහත්තයෝ මෙතැන හිට, අපේ ලිපිවල කොටස් එකට අමුණනවා. දන්නවනේ, දොස්තර මහත්තයාගේ සටහන රතු පාටින්....

නිමල් අයියෙ, අපි සමාජශීලී සත්තු. අපි වානරයෝ. විද්‍යාත්මකව වර්ග කලෝතින් ආදි ලෝක වඳුරෝ- old world monkeys. එයාලා රැහේ ඉන්නේ එකට. කන්නෙ බොන්නෙ එකට. රැහේ එකෙක්ට හරි කරදරයක් උනෝතින් ඔක්කොම එතන.

ඔයා උනත් ඔය diලගෙ අම්මගෙ විස්තරේ මාත් එක්ක කියන්නෙ ඒකනෙ.

දැන් එහෙම හොයද්දි ඕපාදූප හොයනව කියල ගැරහුවත්, ඒකෙ පරිනාමික මූලය තමා රැහේ පැවැත්ම; රැහේ සංස්කෘතිය, රැහේ එකමිතිය පවත්වා ගැනීම; පුද්ගලික නිදහස පොදු පැවැත්ම වෙනුවෙන් කැප කරල හරි.

ඉතින් ඔන්න එහෙම රැහැක් මැද්දට කොරෝනා ආවා. 

මෙහෙම වෙද්දි හැදෙනවා metabolic syndrome කියල ලෙඩක්. ඔය අපි කියන මහත.......

අවුරුදු සියයකට කලින් කන බොන දේ නෙමේ දැන් අපි කන්නෙ බොන්නේ; ඒ මහන්සිවිල්ල නෙමේ මහන්සි වෙන්නේ. අපේ ආහාර 95% කටත් වැඩියෙ ජාන විකරනය කරන ලද සහල්, තිරිඟු, පලතුරු, තෙල් වර්ග. මේවයෙ තියෙන අධික සහ පිරිපහදු කරන ලද කාබොහයිඩ්‍රේට් සහ ලිපිඩවලින් සිරුරේ ශක්ති අතිරික්තයක් නිර්මානය කරනවා.

අපි වැඩි දෙනෙක් දවල්ට පුටුවක ඉඳගන, මේසයක් මත ලිපි ගොනුවකට එබීගන, නැත්නම් පරිගනකයක නිමග්නව වැඩ!
ගෙදර අවුත් හනි හනිකේ වැඩ අහවර කර රූපවාහිනිය ඉදිරියේ වශීකෘතව ඉන්න අය.
වයස අවුරුදු 35 පැන්නට පස්සෙ අපි වැඩි දෙනෙක්ගෙ දිනචරියා යාන්ත්‍රිකයි, වයින් කරපු සෙල්ලම් බඩු වගේ එකම රටාවකට දුවන්නේ.

ඇඟ වෙහෙසවීම අඩු; මොළය වෙහෙසවීම වැඩි ජීවිතයක්.... ඒ වගේම අයස්මන්ත මහත්තයෝ, කෑම-බීම වැඩි; විවේකයත් වැඩි ජීවිතයක්.... මම හරි නේද?

හරි! මෙහෙම වෙද්දි හැදෙනවා metabolic syndrome කියල ලෙඩක්. ඔය අපි කියන මහත, දියවැඩියාව, අධි රුධිර පීඩනය, අධි මේද තත්ව, දරු ඵල නැතිකම, විශාදය (depression) වගෙ නොයෙක් මානසික රෝග මේ metabolic syndrome එකේ නොයෙක් සංරචක ඇත්තටම.

ඊට අමතරව metabolic syndrome විසින් ප්‍රතිශක්ති පද්ධතිය; ‘සිරුරේ හමුදාව සහ පොලීසිය’ බෙලහීන කරල විකෘති කරනවා. ඒ බෙලහීන වීම නිසා ආසාදන සහ පිලිකාවලට පහසුවෙන් ගොදුරු වීම; සාමාන්‍ය පරිසර තත්වවලට ලෙඩ වීම (පීනස, සමහර ඇදුම තත්වයන්) සහ සිරුරේ නීරෝගී පටක පහර දී විනාශ කිරීම (auto immune diseases- රූමැටික් ආත්‍රයිටිස් වගේ රෝග) වෙන්නෙ මේ පද්ධතිය විකෘති වීම නිසා.
අවුරුදු සියයකට කලින් හිටියවුනට වඩා අද අපේ ප්‍රතිශක්තිය- රෝගවලට මූන දීමේ හැකියාව හරිම දුර්වලයි.

.... ටිකක් දුටුගැමුණු type වැඩක්! එහෙම නැතුව කාවන්තිස්ස type එකට....

කොරෝනා ආසාදනය වෙන්නන්ගෙන් 99%කට මුකුත්ම සංකූලතා නොඑන්නේ පවතින ප්‍රතිශක්ති පද්ධතියේ බලය ප්‍රමානවත් නිසා. එතකොට සංකූලතා (නියුමෝනියා  වැනි complications) සහිත ජනගහනයේ (අර 1%) ප්‍රතිශක්තිය බාලයි; ගොඩක් වෙලාවට මේ අධි පිෂ්ට- මේද ආහාර රටාවලින් නිර්මිත metabolic සින්ඩ්‍රෝමය නිසා. දැනට රෝහල්වල කොරෝනා ලෙස රෝග විනිශ්චය කල + සංකූලතා වර්ධනය වෙච්ච සමස්ත රෝගීන් ප්‍රමානය ගනනය කර, 100න් වැඩි කලොත් සමස්ත ආසාදන සංඛ්‍යාව ගැන දල චිත්‍රයක් මවා ගන්න පුලුවන්!

1% සංකූලතාවලින් බේරගන්න අනික් 99% ඇතුලු හැමෝටම සිද්ධ වෙලා තියෙනව මුඛ- නාස් ආවරන පලඳින්න. මීටරයක පරතරයෙන් එදිනෙදා ගැවසෙන්න. මඟුල්- අවමඟුල්, වෙනත් සාද, මිතුරු හමුවීම් නවත්තන්න.... පුලුවන් තරම් ඉස්කෝල කන්තෝරු කාර්යාල වහල දාන්න.

මේවා රෝග මර්දනයට අවශ්‍ය උනත් ඊට අපි ගෙවන ගාස්තුව ඉතාම අධිකයි අයියේ.
මේක මගේ වචනවලින් කිව්වොත් ටිකක් දුටුගැමුනු
type වැඩක්! එහෙම නැතුව කාවන්තිස්ස type එකට කාලයක් තිස්සේ හාල්, තිරිඟු, පැනිරස පලතුරු, එලකිරි පරිභෝජනය සීමා කරලා අධි ප්‍රෝටීනමය ආහාර (මස්, මාලු, බිත්තර, කව්පි, මුං, පරිප්පු) සහ කොල පැහැති එලවලු පරිභෝජනය වැඩි කරන ජාතික පිලිවෙලක් තිබ්බා නම්, මේ රෝගය මෙච්චර බලවත් වෙන්නෙ නෑ.
මෙහෙම හැදෙන අයගෙන්
1% බේරගන්න මුලු රටේම ආර්ථිකය, ලමයින්ගෙ අධ්‍යාපනය හා අනාගතය. මිනිසුන්ගෙ සතුට නට්ටම් කරගන්න වෙන්නෙ නෑ.

1970 සබාග ආන්ඩුව කලේ මේකද? හාල් පොලු, මිරිස් පොලු දැමිල්ල කිසිම චාරයකින් තොරව නොකර හරියට කලා නම් අවුරුදු 25ක්- පරම්පරාවක කාලයක්- අපිට මෙච්චර ධනස්කන්ධයක් ආහාර වෙනුවෙන්වත්, බෙහෙත් හේත් වෙනුවෙන්වත් විදේශ විනිමය හැටියට රටෙන් පිට කරන්න වෙන්නෙ නෑ. එහෙනම් අද පරම්පරාවන්ට සශ්‍රීකත්වය විඳින්න තිබුනා.

මම පොඩ්ඩක්වත් පක්ෂ දේශපාලන මෙහෙයුම්වල නැති බව ඔයා දන්නවනෙ. ඒත් මම ඒ කාලයෙ ආන්ඩුව ගත්තු ගොඩක් තීරන හරිම බුද්ධිමත් ලෙස දකිනවා. අපේ රටට හැමදාම කෙලවුනේ partisan politics නිසා; ආචාර්ය N.M. පෙරේරා වගේ බුද්ධිමත් දේශපාලකයෙක් ගැන මරාගන්නෙ නැතිව විනාඩි දහයක් කතා කරන්න අපේ සෙට් එකටවත් පුලුවන්ද?

.... දැන් නං හරිම ජංජාලේ තමයි ලොකා!

නුමුත් අයියේ, අපි කතා කරන්න ගත්තෙ විශාදයෙන් පෙලෙන අම්මගෙ විස්තරේ ඇහුවහම හිතුනු කාරනා ගැනනෙ. ඔයා කිව්වා දින කීපයකට කලින් ඈ ලිඳට පැන දිවි නසා ගන්න හැදුවා කියල. ඊයේ කිව්වා....

දොස්තර මහත්තයා වාක්‍ය හතර-පහකින් ඒ හරියත් ලියා එවලා තිබ්බා. ඒ ටික ඒ විදිහටම මෙතැනට දාලා කොහොමද? මේ නිදිගෙ පංච තන්තරේ නෙව?
ඒකට ‘චීත්තවාහිනිය’ කියලා අයස්මන්ත මහත්තයලා කියන්නේ නිකම්ම වෙන්නත් බෑනෙ. අපේ නංගී මට කියපු දෙවෙනි විස්තරේ සම්පූරණයෙන් මෙහෙමයි. (අපි මෙව්වා ෆෝන් එකෙනුත් කතාබහ කරගන්නේ නැත්තං ටෙලිෆෝන් කොම්පැනි ගනියි, ලාබ!)

“.... දැන් නං හරිම ජංජාලේ තමයි ලොකා! Diලගෙ අම්මා ඉස්පිරිතාලේ!!”
“අර මොකෝ මානි. ඒ මනුස්සයට ඇත්තටම කොරෝනාද?”

“එයාට ඇති කොරෝනෙක් නෑ ලොකා.... ඒ මනුස්සයා හිතාගෙන හිටියේ කොරෝනා කියල. ඊයේ ඒ මනුස්සයා මෝල්ගහ උස්සගෙන, ලෙඩ ඇඳේ ඉන්න diලගෙ තාත්තට කියලා - මේකෙන් කොටලා මාව මරල දාන්න- කියලා..... Diලගෙ තාත්තට මෝල්ගහ උස්සනවා තියා නැඟිට ගන්නවත් පණ නැතිව ඉන්නේ..... ඒ පාර මේ මෝඩ ගෑනි පොරොවක් අරගෙන එයාම ඔළුවට කොටාගෙන......”

මෙහෙම වෙලාවක මොනවද නිමල් අයියේ අපිට කරන්න පුලුවන්? අපි ඈට ඉක්මන් සුව පතමු. ඒ මනුස්සයා තනි වෙලා!

කොරෝනා නිසා ගන්න සිද්ධ වෙලා තියන ක්‍රියාමාර්ග හින්දා වෙච්ච ලොකුම-ලොකු අපරාදයක් තමා අපි හුදකලා වීම.
දවස පුරා එක්කෝ ගෙදර ඈයො එක්ක
, නැත්නම් වැඩපොලේ.
බස් එකේ
, වෙලඳ පොලේ අපි අපි වගේම මිනිස්සු එක්ක ගැටෙමින්; විහිලු තහලු කර ගනිමින්; තොරතුරු ඕපදූප විමධ්‍යගත කරමින්; විටෙක රන්ඩු සරුවල් වෙමින්; නැත්නම් සෙනෙහස බෙදා ගනිමින් උන්නු අපිට හුදකලා වෙන්න වෙලා.

'නෑ මුකුත් නෑ!' ඒත් ඒ කියන සෞම්‍ය, සියුමැලි විලාසය! Calm before the storm!

හුදකලා නොවීම නීරෝගී සිතකට කයකට ආහාර, වතුර තරම්ම වැදගත්.

මතකද ඡන්න තෙරුන්ට බුදුන් වහන්සේ දුන්නු දඬුවම? බ්‍රහ්ම දන්ඩය. කිසි කෙනෙක්ට තෙරුන් වහන්සේ සමග සන්නිවේදනය තහනම්! 
සමහර රටවල පාසල් සිසුවන් සන්නිවේදනය නොකිරීම ‘නවක වද’ ක්‍රමයක් හැටියට භාවිත කරපු නිසා, සිය දිවි හානි කරගත් සිසුන් ගැන වාර්තා මම කියවල තියනවා.

වැඩිය ඕන නෑ ඉතින්, හිතන්න පෙම්වතිය/ භාර්යාව එක පාරට මෞන ව්‍රතය රකින්න ගත්ත කියල! ඔබ අහනවා:-

'ඇයි සුදු අම්මි? ප්‍රශ්නයක්ද?'

(මේ කියන්නේ දොස්තර මහත්තයල අහ දේවල් වෙන්න බෑ. අයස්මන්ත කොයි වෙලාවකවත් ප්‍රීතිකා නංගිට ‘සුදු අම්මි’ කියලා ආමන්ත්‍රණය කරන්නෑ, ‘පීයක්කා’ කියනවා මිස.)

'නෑ මුකුත් නෑ!' ඒත් ඒ කියන සෞම්‍ය, සියුමැලි විලාසය! Calm before the storm!

'නෑ....! කියන්න මට, අසනීපයක්ද?' 

'මොනවද අනේ මේ කියන්නෙ? ඒ වගේද පේන්නෙ?'

ඔබ නිකම්ම guilty වෙනවා; කල්පනා කරනවා. මොකද්ද අමතක උනේ? - උපන්දිනේ/ විවාහ සංවත්සරේ? යන්න පොරොන්දු වූ ගමනක්? ෆෝන් එක දැක්කවද්ද? ඔන්න ඔයාකාරයට…..

විශාදිය ගැන ගොඩක් අය හිතන්නේ මානසික තත්වයක් නිසා කතා කරල මග අරවන්න පුලුවන් කියල. තර්කාකනුකූලව කරුනු පෙන්නා දීමෙන් හරි ගස්සන්න පුලුවන් කියල. 

‘ඕව ගනන් ගන්න එපා.'

'ඔයාට වැඩ නෑනේ; ඒකයි මනස්ගාත කල්පනා කරකර ඉන්න වෙලාව තියෙන්නේ. වැඩක් නැත්නම් ගිහිල්ල අර මකුලු දැල් ටික කඩල දානවකො!'

'ගෙයි කාමරේ ඇදේ ගුලි වෙලා දවසෙම හිටියාම ඔලුව අවුල් නොවී තියේද?

යහපත් චේතනාවෙන් ලබා දෙවෙන මෙහෙම උපදෙස්වල ඇත්තකුත් තියනවා. 

නෑසිය මිතුරන්ගෙ ආදරය, අවබෝධය, කොන් නොකිරීම, උදව් කිරීම නිසා.....

අවාසනාවකට මොලයේ තර්කානුකූල වන්නෙ 5%ක් විතරයි - මොලයේ උඩ තට්ටුව විතරයි;
නුමුත් ඊට වඩා කිහිප ගුනයකින් බලවත් මිනිස් මොලයේ දෙවෙනි තුන්වෙනි තට්ටුවලට තාර්කික දැනුම ගෝචරම නෑ!

විශාදියෙන් පෙලෙන්නියකගේ මානසික අසමතුලිතතාව ඊට වඩා බලවත්.

බටහිර වෛද්‍ය ක්‍රමය අනුව විශාදියෙදි මොලයේ සන්නිවේදක රසායනික දෙකක අසමතුලිතයක් හට ගන්නා නිසයි විශාදිය ඇති වන්නේ. ඒකට ප්‍රතිකාර කිරීමේදි ප්‍රධාන ක්‍රමයක් තමා මේ අසමතුලිතය බෙහෙත් මගින් නිවරැදි කිරීම; මේක විතරක් මදි, හැබැයි මේක නැතුව නම් බෑ. බෙහෙත් එක්කම නීරෝගී පුද්ගලික සම්බන්ධතා අතිශය වැදගත් ප්‍රතිකාර හැටියට.

නිමල් අයියේ, ඔයාට පිලිකාව හැදිච්ච වෙලාවෙත් ටිකක් හරි විශාදිය එන්න ඇති.

නුමුත් ඒ වගේ reactive වර්ගයේ depression එකකදි නම් මුලදිම ලැබෙන නෑසිය මිතුරන්ගෙ ආදරය, අවබෝධය, කොන් නොකිරීම, උදව් කිරීම නිසා එය ඔඩු නොදුවන්න පුලුවන්.

ඔයාට ඒ සියල්ල නොඅඩුව ලැබුනා, ලැබෙනවා!

විශාදියත් එක හේතුවක් පිලිකා ඇති වෙන්න/ පාලනය නොවෙන්න. එතකොට බලන්න; අර අපි කිව්ව metabolic syndrome නිසා වෙන්න පුලුවන්- ප්‍රතිශක්ති පද්ධතිය අඩපන වීමට අමතරව, මේ syndrome එක නිසා එන්න පුලුවන් depression, දියවැඩියාව, මහත වැනි රෝග වෙනමමත් පිලිකා ජනන සම්භාවිතාව වැඩි කරනවා. 

මේවා නං හිතා-මතා එල්ල කරන මිසයිල්.....

පිලිකා ගැන තව පොඩ්ඩක් පොදුවේ කියනවා නම්,  අපි පාවිච්චි කරන සබන් වර්ග, ශැම්පූ වර්ග, විලවුන් වර්ග පවා මීට හේතු වෙන්න පුලුවන්.

රසායනික යොදා නිර්මානය කරන ඇඳුම්වලිනුත් පිලිකා ඇති වීම වැඩි කරන්න පුලුවන් වෙතැයි විද්‍යාඥයන් අනුමාන කරනවා.

අනික නම් අසීමාන්තික හැඟීම්, විශේශයෙන්ම තරහ යෑමත්. පිලිකා ජනනය වීමත් අතර සම්බන්ධයක් තියෙනවා!

මොන කෙනහිලිකම, අසාධාරනය, ප්‍රතිපත්ති විරහිත බව නිසා තරහ ගියත්- තරහ තරහමයි. කාටවත් කියන්න බැරි රහස්, පුරුදු තිබීමත් තවත් එක හේතුවක්. මම මේ කාට කාටත් කියන්නෙ!

(මේවා නං හිතා-මතා එල්ල කරන මිසයිල්. ඒත් මම ගණං ගනියි ඕවා. තවමත් අයස්මන්ත පීරිස් මහත්තයා දන්නෑ නිමල් දිසානායක ගැන.... කියාගෙන පලයං පුතේ. මට නැතත්, කාට හරි වැඩක් නොවෙතෑ!)

මේ කියූ එක කාරනයක්වත් නොතිබියදීත් පිලිකා හැදෙන්න පුලුවන් හොඳේ? biological systems තර්කානුකූලවම ක්‍රියා කරන්නෙ නෑ. ඊට වඩා අපිට නොතේරෙන intelligence එකකිනුයි ජීවය පවතින්නේ.

ඉතින් ඔයාට පිලිකාවක් කියල දැනගත්තහම ඔයාගෙ හිතේසිවන්තයින් මොකද කලේ......?