li Item

Tuesday, December 1, 2020

පතාගෙන ඇවිත්... - තෙවෙනි කොටස

මා ඇයටත් දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන්නේ නැත!

“හරියට හරි මචං..... -අන්න අම්මයි තාත්තයි දෙන්නා මාව හොයනවා බං.... චූටි... චූටි. කොහෙද බං උඹ ගියේ?- කියලත් පෙළක් වෙලාවට අම්මා කියනවා මම ළඟ ඉද්දිම...

-මේ මම මෙතැන ඉන්නෙ අම්මේ- කිව්වමවත් මාව අඳුරගන්නෙ නැහැ සමහර වෙලාවට. ‘උඹ චූටිද?’ කියලා අහනවා.... ‘අර ජංගි කොටේ ඇඳගෙන දුව-දුවා ඉන්න අපේ චූටිව බං මම හෙව්වේ’ කියලත් කියනවා මචං!”

ඒ නෙවිල්ලගේ අම්මා අද ඉන්න තත්ත්වයයි. මේ එළඹෙන 2021 ජනවාරි පළමු වෙනිදාට ඇයට අවුරුදු 89 ලබයි. එහෙත් මා ඇයට දීර්ඝායුෂ පතන්නේ නැත. මා ඇයට ප්‍රාර්ථනා කරන්නේ නිදුක්- නිරෝගී- සතුට පමණකි!!

“උපන් දිනේ දවසට දීර්ඝායුෂ නම් මට ප්‍රාර්ථනා කරන්න එපා. මට ජීවත් වෙලා ඉන්න එක දැන් කරදරයක්. ඉතිං මම මේ බලාගෙන ඉන්නේ යන්න. තමන්ට තමන්ගේ වැඩ කර ගන්න බැරි දවසට අපි යන්න ඕන. තවත් කෙනෙකුට කරදරයක් වෙලා ජීවත් වෙන්න හොඳ නැහැ.....” පසුගිය 94 වෙනි උපන් දිනය දවසේ එහෙම කියලා තිබුණේ ‘අයිරාංගනී සේරසිංහ’ අග්‍රගණ්‍ය රංගන ශිල්පිනියයි. 

නෙවිල්ලගේ අම්මාත් කියන්නේ නම් ඊට සමානම කතන්දරයකි.

නෙවිල්ලා අම්මාගේ මරණානුස්සතියත් ඒ වගේමය...

“වැඩක් නෑ නිමල්. දැන් හිටියා හොඳටෝම ඇති..... ඉක්මනට යන්නයි ඕනෑ ළමයෝ....!” එහාට යන හැම විටෙකම අම්මා කියනවා අහගන්නට පුළුවන්ය.

අපේ අම්මා නම් ඊට වෙනස්ය. ‘ඉක්මනට මැරෙන්න ඕනෑ’ය කියලා නම් කවදාවත්; විහිළුවටවත් කියන්නේ නැතිය. ‘මැරෙන්න බය නෑ!’ කියලා නං කොච්චරවත් කියයි. (එයාත් මේ දවස්වල එංගලන්තයටම කොටු වෙලාය. 84 ලබද්දීත් කොරෝනා හිංදා නිවාස අඩස්සියේ හිටියාය.) අම්මාගේ ‘බය නැතිකම’ කොච්චර ලොකුයිද කියනවා නං මේ දවස්වල අපේ අජිත් මල්ලී වුණත් අම්මාව බලන්නට එනවාට අකැමැතිය.

“අජියා හැම තැනම රස්තියාදු ගහනවනේ මානෙල්.... ඉතිං කොහේ ගිහිල්ලා, මොන-මොන ලෙඩ අරන් එනවද කියලා කවුද දන්නෙ? ඔයා අජීට කියන්නකෝ මේ දවස්වල මාව බලන්න එන්නැතිව ඉන්නය කියලා....”

අම්මා අපේ මානෙල් නංගී ලවා ‘ආඳා මාළු ඉරටෙන් කවා ගන්නටත්’ හදලා තියෙන්නේ, අර බය නැතිකමටම වෙන්නැතිය.

නෙවිල්ලා අම්මාගේත් මරණානුස්සතිය එහෙමයි කියලාත් හිතෙයි!

නෙවිල්ලා අම්මයි තාත්තයි ලොකු මිනිබිරියත් එක්ක....

“අම්මට ඉක්මනට යන්න ඕනි කිව්වට මාර පරාණ බයක්නේ තියෙන්නෙ....” සමහර වෙලාවට නෙවිල් අම්මාව අවුස්සයි.

“.... ඔව් හලෝ, බලනවකො. මැරෙන්න බය නැති ගෑනි ගෙදර දොර ජනෙල් ඇරගෙන ඉන්න අකැමැතියි. එක දොරක්- ජනේලයක්වත් ඇරලා තියන්න බෑ. මං පොඩ්ඩ එහා මෙහා වෙච්ච ගමන් ඒවා වහල දානවා....”

එහෙම දේවල්වලට උත්තර බැඳිල්ල නම් අම්මාට simpleය. එතකොට නම් ඩිමෙන්ෂියාව පැත්ත-පළාතක නොහිට ගිහින්ය.

“චූටිට පිස්සු නිමල්... මේවා ඇරගෙන හිටියම සත්තු ගෙට රිංගනවා නේද ළමයෝ? ඊටත් දැන් හැම තැනම හොරු!”

අම්මා ඒ හිතිවිල්ල නිසා දොර-ජනෙල් වහගෙන ඉඳියි. නෙවිල්ලගේ තාත්තාත් ඔය වහන රාජකාරිය ස්වේච්ඡාවෙන්ම බාර අරගෙන හිටියා මට මතකය.

මං කිහිප වතාවක් එයාලගේ තලපත්පිටියේ ගෙදරට ගියාට පස්සේ; ‘මැනේජර් මහත්තයා’ නිමල් වුණාට පස්සේ; මම නෙවිල්ගේ කාමරයේ වෙනසක් දැක්කෙමි. ගිය වතාවේ කියූ අඩ නිරුවත් රූප එළියට ඇවිත්ය.

ඔයා එනවා දකිනකොටම අපේ තාත්ත මෙව්වා වැහෙන්න ඇඳුම් එල්ලනවා....

“මේවා කලිනුත් තිබ්බද?”

“තිබ්බ නේන්නං.... ඔයා එනවා දකිනකොටම අපේ තාත්තා මේවා වැහෙන්න ඇඳුම් එල්ලනවා... බලනව, එහෙමයි අපේ fatherගෙ තියෙන හැදිච්චකම....”

“එතකොට කොහොමද මනුස්සයෝ අම්මට මේවා පේන්න තියන්නේ? මම දැක්කම නරකයි. අම්මා දැක්කම හොඳයි? කෙහෙල්මල් හැදිච්චකම.....”

“අපෝ! තාත්තා කාමරේට ආවට අම්මා එන්නෙ නෑ හලෝ, කාමරේ අතු ගාන්නවත්.”

ඉස්සර නෙවිල්ලාගේ වත්තට තලපත්පිටියේ කනත්ත පාරේ ඉඳලාත්, පන්සල පාරේ ඉඳලාත් එන්නට පුළුවන්ය. ඉතිං ගමේ ගොඩක් උදවියත් එක පාරක හිට අනෙක් පාරට ගියේ නෙවිල්ලාගේ වත්ත උඩින්ය. එතකොට ශ්‍රී ජයවර්ධනපුර නව රෝහල ඉදිවී තිබුණෙත් නැතිය. ඒ වත්ත තුනට බෙදලා පුතාලා තුන් දෙනාට ලියා දුන්නාට පස්සේ ලොක්කා නිමලුත්, මද්දුමයා මෙරිලුත් එයාලගේ කොටස් විකිණුවෝය. අර කී නිල නොවන පාර වැහුණේ එතකොටය.

පන්සල පාරෙන් මේ ගෙදරට එන පාර block වුණත් නෙවිල්ගේ යහළුවන් ඒ ගෙදරට එන එක අඩු වුණේ නැත. අපි වුණත්....

අපේ කට්ටියේ යාළුවෙක් වුණත්.... (ඒ කට්ටියෙන් කට්ටියක් එක්ක දඹේතැන්නේ ගිහින්...)

අපේ ගෙවලුත්, නෙවිල්ලගේ ගෙදරත් හදලා තියෙන්නේ එකම නැකතකින් වෙන්නට ඕනෑය.

ඒවා නිතරෝම කවුරු-කවුරුන් හෝ ගැවසෙන තැන්ය. අජාසත්ත නටන්නට කලින් ඉඳලාමත් අපේ ගෙදරට ගොඩ දෙනා ආවා-ගියෝය. දැනට වුණත් එහෙමය. හිතවත් දොස්තර ශිරන්ත පෙරේරා මහත්තයා මට තරයේ අවවාද කළෙත් ඒ නිසාය.   

“නිමල් අයියේ, පිළිකාවට බෙහෙත් ගනිද්දී  ඔයාගේ ඉමියුන් සිස්ටම් එක බහිනවා. ඉතිං ඔයා විෂබීජවලින් හරියට පරෙස්සම් වෙන්න ඕනෑ.

-Visitorsලට එන්න දෙන්නෙම නැතිව ඉන්නවා නං හොඳයි. අපේ කට්ටියේ යාළුවෙක්  වුණත් ආවාම two minutesවලින් යන්න කියන්න...!” ශිරන්ත මහත්තයා එච්චර කිව්වේ මට තියෙන හිතවත්කමටය. මාව ආරක්ෂා කරන්නටය.

අනේ, ශිරන්ත මහත්තයෝ. එක දවසකටවත් මට කරන්නට බැරි වුණෙත් ඒ ටිකය.

මයිකල් ජැක්සන් ඔක්සිජන් කාමර හදාගෙන ඉඳලාත් හරි ගියේ නැතිය. අඩු වයසෙන්ම යන්නට වුණේය. කොච්චර පරෙස්සං වුණත් වෙලාව ආවාම යන්න වෙනවනේ....

මගේ ධර්මය ඉන්නා ටිකේ යහතින් ජීවත් වෙනවා කියන එකය!

ඉන්න ටිකේ ‘හරියට ජීවත් වෙනවා නම්’ නොතැවී යා හැකිය! ඒ මා අදහන දහමයි!!

ඉතිං, පීල්ල මාරු වුණු තැනට යනවා නං- නෙවිල්ලගේ ගෙදරත් ඒ කාලයේ අම්බලමක් වගෙය. “මූ නැති වුණාටවත් අපට ගාණක් නෑ. අංකල් හිටියනේ... එහෙම නැතත් අපි මුගෙ කාමරේ අපේ කරගෙන හිටියෙ.... කට්ටියම වළ බැස්සෙ නෙවිලයගෙ කාමරේ!” එහෙම කියන්නේ තවමත් තලපත්පිටියේම ඉන්නා නෙවිල්ගේ සුමිතුරු අජන්තය. අජන්තත් එතකොට හිටියේ මුද්‍රණ කර්මාන්තයටම සම්බන්ධවය. Compositor; අකුරු අමුණන්නා! කේව්ස් එකේය.

නෙවිල්ලා ගෙදර තිබුණු නිදහස් වාතාවරණය, එක අතකට අපට වාසියකුත් වුණේය. ඒ රාත්‍රී ඉංග්‍රීසි පන්තියක් ඒ කාමරයේදී පවත්වන්නට හැකි වුණු හින්දාය.

එය වැඩි කල් අල්ලා නොහිටියත්, එතැනදී තහවුරු වුණු යාළුකම් නම් තවමත් සවිමත්ය. සෑහෙන දෙනෙකු පිටරටවල සිටියදී පවා!

නලින් ප්‍රියදර්ශන දොස්තර මහත්තයෙකුවී දැන් ඕස්ට්‍රේලියාවේය. ‘යුක්තිය’ පත්තරයේ සේවය කළ DKR හෙවත් ‘කඩ+වසං හාදයා’ දැන්  ඇමෙරිකාවේය. තුවාන් මිස්කිනුත්, නලින් ප්‍රදීප්ත වීරකෝනුත්, දයා රණසිංහත් ඒ ගොඩේමය; එක එක රටවලය.

නෙවිල්ලගේ ගෙදරදී ඇරඹුණු තවත් යාළුකම්-හිතවත්කම් ගොඩාරියකි... ඒවා දිගින්-දිගට ඈඳිලාත් ගිහින්ය.

නෙවිල්ලගේ ලොකු අයියා රමණීගේ අත ගත්දා.....

ඔයාලටත් එහෙමද? මගේ නම් එහෙමය.
උදාහරණයකට කිව්වොත් මුලින්ම හඳුනා ගත්තේ නෙවිල්ය. ටික දවසකින්ම නෙවිල්ලගේ ලොකු අයියා, පොඩි අයියා, පුංචි අම්මා, නෑනලා-මස්සිනාලා විතරක් නොවේ; එයාලට ගෑවුණු අයත් පවුල් පිටින්ම හඳුනාගෙන මිතුරුවී අහවරය. ඒ වැල් තවමත් දිගින්-දිගට ඇදෙයි! ලියලයි!!

මේ පෝස්ටුවලට ඔබන සමහර fotos නෙවිල්ලා ලොකු අයියාගේ ලොකු දූ දිල්හා හොයලා දුන් ඒවායි. ගොඩාරියක් ස්තුතියි දිල්හා!

(කුමුදුලාල්ලගේ ගෙදරින් දුන් ඒවාත් දැනටම පාවිච්චි වෙලාය- තව ඉතිරියිත් එක්කය. මේවා ලියන බව දැනගත් විට තව හිතවතුන්ගෙන් අපූරු fotos ගණනාවක් ලැබුණත්, ඒවා ප්‍රසිද්ධ කරන්නට වෙන්නේ අවසර අරගෙනමය. පාඨකයන්ගේ ඉල්ලීම මතය.)

නෙවිල් ළඟ මෑත කාලීන ඒවා මිස, එහෙම පරණ සංචිත ඇත්තේ නැත!

ප්‍රියන්ත- අයස්මන්ත- ඉන්දිරා- මර්වින්..... නෑ, නෑ. ඒ නම් වැල් ලියන්නට ගියොත් වෙනින් මොකුත් ලියන එක බොරුය!

ස්තුතියි! චුට්ටක් නොවේ, ගොඩාරියක් ස්තුතියි!! ඒ හැම කෙනෙක්ම මගේ ජීවිතයට අත්දැකීම්- රසබර අත්දැකීම් එකතු කළහ; මට බොහෝ දේ දුන්හ- ඉගැන්වූහ; තවමත් එසේ කරන්නෝය. එය කොතරම් භාග්‍යවන්තකමක්ද?

ඒ කාරණයම අනෙක් පැත්තටත් සිද්ද වුණේය. මගේ නෑ-හිතමිතුරන් සේරම අනෙක් අයවත් හඳුනා ගත්තෝය. අපි හැමෝම එකම නඩයකි; එකම circle එකකි. නිදිගෙ පංච තන්තරේ මෙච්චර අතු විහිදුණු, විචිත්‍ර ‘චීත්තවාහිනියක්’ වෙන්නේ ඒ හින්දාමය.

ශ්‍රී ජයවර්ධනපුර නව රෝහල ඉදිවෙද්දී තලපත්පිටියේ හිස් ඉඩම්.....

දැන් මම එකක් නම් ඉන්තේරුවෙන්ම දැනගෙන සිටින්නෙමි. කවරදාවත් මට ඩිමෙන්ෂියාව නම් හැදෙන එකක් නැත.

මේ චීත්තවාහිනිය ලියන්නට ගත්තාට පස්සේ මගේ මතකය නියමෙට refresh වෙයි! කොහොමටත් නිතරම මොළය වැඩ කරවනවා නම්; මොළයෙන් වැඩ ගන්නවා නම් හොඳයිලුනේ... නේද?

(එහෙම මොළය වෙහෙසවා; ඇස්, කන්, දෑතේ දසැඟිලි වෙහෙසවා මෙහෙම ලියන්නේත් මගේ හිතේ බරෙන් නිදහස් වෙන්නට විතරක් නොවේ. ඔයාලා ඒවා කියවමින් සතුටක් ලබතියි දැනෙන- පෙනෙන- හැඟෙන නිසාය; රාජමනී අංකල් කිව්වා වාගේ බෝනස් එකකුත් ලැබෙන නිසාය!)

එහෙම මොළයෙන්ම කල්පනා කරල වෙන්නට ඇති නෙවිල්ලා තලපත්පිටියේ ඉඩම වික්කේ.

නව රෝහල ඉදි වෙද්දී තලපත්පිටියේ වෙඩිවත්තත්, ලොකු පොල් ඉඩම් ගොඩකුත් කෑලි-කෑලිවී වෙන්දේසි කෙරිණි; හතු පිපෙන ඉක්මනින්, බලන-බලන පැත්තේ කොන්ක්‍රීට් මාළිගාවල් පෙනෙන්නට ගත්තේය.

නෙවිල්ලා අයියල දෙන්නගෙම ඉඩම්වලත් ගෙවල් දෙකක්.... ඒවා වට කෙරුණු තාප්ප....

දැන් සුරංග දෙදරු පියෙකි. (පතාගෙන ඇවිත් පළමු පෝස්ටුවේ 5වෙනි foto එකේ නෙවිල්ලා එක්ක දඹුලුගලේ ඉන්නේ මේ පැංචාය!)

“දැන් මෙහෙ ඉඳල බෑ හලෝ.... හොයා ගන්න ඕනි නියම ගැමි පරිසරයක්... වෙල් යායක් අයිනේ... ගැමි සොබා සවුන්දර්ය රස විඳගෙන- හවසකට ආතල් එකේ.....” කියලාය නෙවිල් නිතරෝම කියන්නට පටන් ගත්තේ.....

“අනේ ළමයෝ, මෙයාට කියන්න කොට්ටාවෙන්ම, මානෙල්ලාගෙ ගෙවල් කිට්ටුවෙන්ම ඉඩමක් බලන්නයි කියලා....” අම්මාට ඕනෑ වුණේ අපේ නංගිලාට කිට්ටුවෙන් ඉන්නටය.

“හදිස්සියකට මානෙල්ට වුණත් ඇවිත් මාව බලන්න පුළුවන්නෙ ළමයෝ! සුරංගව හරි එවන්න පුළුවන්නේ... (සුරංග කිව්වේ මානෙල්ගේ පුත්තරයාටය. එතකොට පොඩි එකෙක් වුණාට ඒකා ඉක්මනින්ම කසාදයක් කරගෙන; තලතුනාවී නෙවිල්වත්, මාවත් සීයලා කළේය.) අනෙක අපේ මෙරිල්ලටත් ළඟයිනෙ. මටත් ඕනි වෙලාවක එයාලව බලන්න යන්න පුළුවන්...” අම්මා හිතුවේ ඒ පැත්තය.

නෙවිල් තලපත්පිටියෙන් අභිනිෂ්ක්‍රමණය කිරීම ගැන නිල නොවෙන ආරංචියකුත් තියෙනවාය.

“නිමල් අයියේ මේකා ගමෙන් ගියා නෙවෙයි. පැන්නුවා... පැන්නුවා... මූට ගමේ ඉන්න බැරිව ගියා... ඔයා දන්නෙ නෑ... ඒකයි කතන්දරේ....” පසු කාලයක මට ඔය ආරංචිය දුන්නේ ‘බේකරි කර්මාන්තය’ට සම්බන්ධ සද්ගුණවත් ව්‍යාපාරික මහත්තයෙකි. එතුමා බොරුවක් කියනවා වෙන්නටත් බැරිය; නෙවිල්ව හොඳින් දන්නා කෙනෙකි.

එමෙන්ම වගකීමෙන් වැඩ කරන තැනැත්තෙකි. ඌරු මස් දානයක් පූජා කොට සාමණේර උන්නාන්සේ කෙනෙකු උපැවිදි කළ පුණ්‍යවන්තයෙකි! 

හොයාගෙන යද්දී වෙල් යායක් අද්දරින් පංකාදු ඉඩමක්....

නෙවිල් අනුරසිරිගේ වීර වික්‍රමාන්විත මෙහෙයුම....; සංඛපාල විහාරය කිට්ටුවදී දියේ ගිලුණු කාන්තාවන් දෙන්නා බේරා ගැනීමේ Superman මෙහෙයුම ගැන එක දුරකථන ඇමතුමක් දුන්නා විතරය. අපි කොළඹට එන්නත් කලින්, ‘අන්න නෙවිලා දිය රෙදි ඇඳගෙන නාන ගෑනු  උස්සනවලු!’ කියල දන්නා-නොදන්නා කාටත් පණිවිඩය බෙදා දීලා තිබුණේය.

ඉඩම් ගණනාවක්ම බලන්නට යමින්- හොයනකොට, හොයනකොට හොයන්නාට හම්බ වුණේය. කොට්ටාවෙන්- වෙල් යායක් අයිනේ ඉඩමක් හම්බ වුණේය; නිස්කලංක පරිසරයකය. ගෙයකුත් හදන්නට පටන් ගැනුණේ නැකත් එහෙම බලලා සුබ මුහුර්තයටය.

වැඩ අල්ලා ඉවර වෙනවාත් එක්කම කවුදෝ නෙවිල්ගේ අතට දුම් කබලක් දුන්නේය. “වටේටම දුම් අල්ලන්න හොඳට.... පෙරේතයෝ හිටියත් යන්න කියලා හිතාගෙන... තුනුරුවන් සිහි කරලා....”

මේ හපාචියාගේ සාමාන්‍ය දැනීම හා භක්තිය කොච්චරද කියනවා නම් ඒ අවවාදය අකුරටම පිළිපැද්දේය.

වත්ත වටේම කට්ටකුමන්ජල් දුම් අල්ලාගෙන යන ගමන්, වත්ත කෙළවරේ මේසන් බාස් උන්නැහේලාට හා ගෝලයන්ට ඉදි කර තිබුණු තාවකාලික වැසිකිළිය ඇතුළටත් දුම් ඇල්ලුවේය. ඒ වැඩේ මට පෙන්වමින් අපේ හිතාදර මිත්‍ර හක්ස්ලි පෙරේරා දෙකොණින්ම දුම් පිට කරමින් හිනා වුණේ මදි නොකියන්නටය!

හක්ස්ලි පෙරේරා මහත්තයා විවාහ කරගෙන ඉන්නෙත් ‘චූටි’ කෙනෙකි!

හක්ස්ලි පෙරේරා මහත්තයා අපේ set එකෙන් අත බාලයාය. (බ්ලොගය පටන් ගත් දවසේ ඉඳලාම මාරක හී පහර හුටපටේ  ගැන ලියන්නැයි කියව්වේ මෙයාමය.) අනෙක් හැමෝම ඒ මනුස්සයාට කියන්නේ අයියා කියලාය. මේ හාදයා මට කියන්නෙත් ‘නිමල් අයියා’ කියලාය. එහෙම කියනවා ඇත්තේ එයා විවාහ කරගෙන ඉන්නෙත් ‘චූටි’ව නිසා එයාත් චූටි එකෙකුගේ ගාණට දමාගෙන වෙන්නැතිය.

“නිමල් අයියට කියන්න... එතකොට මේකා ජංගි කොටේ අඳින පොඩි එකා... අපි set වෙන්නේ මෙයාලගේ ලොකු අයියා නිමල් එක්ක. මිනිහා රට යන්න ඉස්සෙල්ලත්.... (මේ ඇඹුල්දෙනියලගේ අක්කා රමණීව බැඳලා හිටියේ.....) දන්නව නේද?”

“මං දන්නවා මනුස්සයෝ.... ඉතිං... ඉතිං...?” හක්ස්ලිට හූමිටි තියන්නත් වෙන්නේ මටය.

“....ඔන්න අපි එහෙම දෙයියන්ගේ අමෘත පානය සප්පායම් වෙද්දී මේකත් ළඟට එනවා.... එතකොටත් අපි නියම gentlemanලා.... හරිද? පොඩ්ඩක්වත් ලෝස් නෑ. කන-බොන දෙයක් බෙදාගෙන කන්න ලෝබ නෑ. පොඩි ෂොට් එකක් දෙනවා මේකටත්...... අම්මට සිරි.... ඊට පස්සේ අපි set වෙන හැමදාම මේකා එන්න පටන් ගත්තනේ අපි ළඟට...”

“අපි එහෙම තමයි හලෝ... මොන්ටිසෝරි යන්නත් කලින් කාලා- බීලා- ජොලියේ ඉන්න පුරුදු වෙච්චි කොල්ලෝ!” නෙවිලුත් පාරම් බායි. “කොහෙද අයියා.... මේ පාප මිත්‍රයාලා මාව අමද්‍යපේට ඇදල ගත්තනේ... ඊට පස්සේ ටික කාලයක් යනකල් බොන්න වුණේ හොරෙන්...”  

‘මේ මනුස්ස ප්‍රාණියා සෙවලයෙකි’ය කිව්වේ ඕනෑවටත් වඩා නම්‍යශීලී හින්දාය!
නෙවිල් තලපත්පිටියෙන් නික්මුණේ එහෙව් යාළුවන් රොත්තකින් ටිකාක් ඈත් වුණත්, ගැමි අසිරිය හිතේ හැටියට විඳින්නට බලාගෙනය.

හැබැයි, ගිය වතාවේ මං කිව්වා වගේම මේ හාදයා ඕනෑවටත් වඩා නම්‍යශීලීය.

අලුත් ගේ හදා ඉවර වෙද්දීමය අපට පාද යාත්‍රාවේ යන්නට හිතුණේ. නෙවිල්ව ඒකට එක්කං ගියේ නැති නං පාලුය කිව්වේ අපේ දොස්තර මහත්තයා අයස්මන්තය. “කිලෝ මීටර් 100ක් පයින් යන්න නං ඔය මනුස්සයා එනේකක් නෑ.... දැන් කාර් එකේම ගිහින් පුරුදු වෙලා... ඉස්සර වුණත් පිස්සු බල්ලෙක් එළවාගෙන ආවත් හයියෙන් ඇවිදින්නවත් පුරුදු එකෙක්ද? මේ ළඟදී බස් එහෙක කිරුලපනේට ගිහින් ඇවිල්ලත් ඤරු-ඤුරු ගගා නහයෙන් ඇඬුවා....” මම පීරිස්ට data සැපයුවෙමි.

“ඔයා ඉන්නකෝ... මම නියමෙට අඹරන්නකෝ ගුළිය....”

ස්මූති වීදුරුවේ ගුළිය නෙවිල් ගිල්ලේ එතකොටය. 

අපෙත් එක්ක 2013 පාද යාත්‍රා ගමන යන්නට ඕනි නිසා දඩිබිඩියේ වෙනම නැකත් හොයාගෙන නෙවිල් ගෙට ගෙවැදුණු කතාන්දරය දැනටම ඔබ කියවා තිබේ. ගෙට ගිය දවසෙම මේ මනුස්සයා කිසි පැකිළීමක් නැතිව දවස් පහක්ම අපත් එක්ක වල් වදින්නට ආවේ ගැමි අසිරිය විඳීම ටික දවසකට කල් දමලාය. ඒ තරමටම මේ මනුස්සයාට ‘බෑ’ කියන්නට බැරිය!

ගමේ සේරම මීයෝ අල්ලලා ගෙනත් දාන්නේ අපේ ගේ අද්දර වෙලට.....

ඒ කාලේ එහෙමට ඔජ වැඩූ ගැමි අසිරියත් දැන් ඒ මනුස්සයාට අමුතු කරදරයක් වෙලාය. ඒ කතාව නං එළියට ආවේ නෙවිලුත්, අපේ අල්ලපු ගෙදර දේවිකා නංගිත් අතරේ මේ නොවැම්බර් 25 වෙනිදා සංවාදයක් කෙරෙද්දීය.

“දැන් මටත් ඔයාලගේ ජාතියෙන්ම මී කතුරක් ගන්න වෙලා දේවිකා නංගී....”

“ඇයි නෙවිල් අයියේ, අපේ මී කතුර ගෙනිහින් ගෙදර හිටපු මීයෝ දෙතුන් දෙනාවම ඇල්ලුවා නේද?”

“ඒකනෙ කියන්නේ. ගමේම මිනිස්සු මීයෝ අල්ලලා ගෙනත් දාන්නෙ අපේ ගේ ගාව වෙලට. ඊට පස්සේ උන් සේරම රිංගන්නේ අපේ ගේ අස්සට.... හරි වැඩේ කියන්නේ අම්මත් එක්ක බේරෙන්න බැරි නිසා, මං සේරම බඩු මුට්ටු තියාගෙන ඉන්නෙත් මගේ කාමරේ.... ඉතිං මීයෝ රිංග ගන්නෙත් ඒකට!”

(දැන් අතුරු කතාවකට යන්නටම වෙනවාය. බඩු-මුට්ටු කිව්වේ පාන්, බනිස්, හාල්මැස්සෝ, සීනි-තේකොළ වගේ දේවල්වලටය.)

“බලනවකො හලෝ ඒ මනුස්සයගෙන් තියෙන වදයක්.... දැන් හවසට බනිස් ගෙඩි පහක්-හයක් විතර stand-by අරන් තියා ගන්න වෙලයි තියෙන්නේ. කුස්සියේ හරි ෆ්‍රිජ් එකේ හරි ඒවා තිබ්බොත් මේ මනුස්සයා පැය බාගෙන් බාගෙට ඒවා කාලා ඉවර කරනවා. ඊළඟට ‘තවම කෑවේ නෑ නේද චූටි’ කියලා අහනවා.  බඩගින්නටම නෙවෙයි, කෑවයි කියලා අමතක වෙන නිසා. එහෙම වුණාම හෙට පාන්දරම මං එයාට බනිස් හොයන්න යන්න ඕනිනෙ... ඉතිං, මං ඒවා මගේ කාමරේ තියාගෙන සැරෙන්-සැරේට දෙන්න ඕනි....

ලංකාවෙත් දැන් ඩිමෙන්ෂියා රෝගීන් වැඩියිද?

-මේ ළඟදී අම්මා සීනි බෝතලේට වතුර වත් කරලා....

-අහුවෙන්න තිබ්බොත් හාල්මැස්සෝ, තේකොළ එහෙම ගෙනිහින් කොට්ටෙ යට හංග ගන්නවා!”

ඔය කතන්දර හින්දා මට මේ දවස්වල හිනා වෙන්නට කට මදිය. “ඔය හොඳයි... තව. එදා කුමුදුලාල් කිව්වා ඇහුණා නේද ලොකු අම්මා ගැන....” මම මතක් කළෙමි.

ලංකාවේ දැන් ඩිමෙන්ෂියා රෝගීන් වැඩියිද?

“ඔව් මචං, අපේ බොරලැස්ගමුවේ ලොකු අම්මගේ අන්තිම කාලේ කල්පනාව මීට හපන්.... ගෙදරින් යන්නමයි හැදුවේ... පොඩ්ඩ miss වෙච්චි ගමන් ගෙදරින් යනවා. එක සැරයක් ලොකු අම්මා එහෙම ගිහින් නැති වෙලා හිටියා දවස් ගාණක්. අක්කලයි අපියි හෙව්වා හැම තැනම. අන්තිමට හම්බ වුණේ පන්සලේ ඉන්නවා. එක්ක එන්න හැදුවාම බෑම කිව්වා.... එයා කිව්වේ ඒ එයාගේ ගෙදර කියලා....”

“මම බයේ ඉන්නේ, අපේ එක්කෙනාට එහෙම තත්ත්වයක් ආවොත් කියලා.... තවම නං අපේ අම්මගේ හොඳේ කියන්නේ එයාට කොහෙවත් යන්න නෙවෙයි ඕනේ, ගෙදරම ඉන්න... මමත් පෙනෙන්න ඉන්නවා නං ෂේප්!”

අනෙක් කාරණය නෙවිල්ලගේ ගෙදර කට්ටිය නං කුමුදුලගේ ලොකු අම්මලා තරම් බැතිමත්- සැදැහැවතුන් නොවීමය.

එයාලගේ ගෙදර කට්ටියත් හොඳ සැදැහැවතුන් වුණා නම්...

නෙවිල්ලාත් සර්ධාවන්ත සුසිල්වතුන් වුණා නම් ඒ කාලයේ නෙවිල්ලගේ ඉඩමේ ලොකු කුකුළු farm එකක් කෙරෙන්නේ නැත. මිතුරන් පිරිසක් හා එක්ව හවුලේ කරගෙන ගිය ඒ කුකුළු කොටුවේදීය, මා නෙවිල්ගේ පළමු මිතුරන් සමූහය හඳුනා ගත්තේ.

හැබැයි, මගේ මිම්මෙන් නම් මේ යාළුවන්ගෙන් එකෙකුටවත් ඒ දවස්වල ‘මිත්‍රයන්’ කියලා කියන්නට බැරිය!

මං ඒ කට්ටිය හඳුනාගත් කිට්ටුවම.....

18 comments:

  1. නෙවිල් තාම මේවා කියවන්නෙ නැද්ද?

    මං නම් බයයි ඩිමෙන්මෙන්ෂියා හැදෙයි කියල

    ReplyDelete
    Replies
    1. පික්ෂුද බොස්,පොත්වලට ආදරය තියනකන් එව්වා හඳේ.

      Delete
    2. මටත් හිතෙනවා Pra Jay මහත්තයෝ, පොත්පත්- දැනුම වගේ දේවලට ආදරය කරන- නිතර ඒවා පරිහරණය කරමින් මොලයෙන් වැඩ ගන්නා අයට ඩිමෙන්ෂියා රෝගය හැදෙන්නේ නැහැයි කියලා.

      සිරිබිරිස් උන්නැහෙත් කියන්නේ ඒකමනේ!

      අනෙක, සූදානං සරීරෙ කියලා මම කහ ටිකක් වැඩියෙන් කෑමට එකතු කරනවා. බටහිර රටවල අයට ඩිමෙන්ෂියාව වැඩිවීමට හේතුව එයාලගේ ආහාරවලට කහ එකතු කර නොගැනීම හින්දය කියන ප්‍රවෘත්තියක් කියවපු දවසේ ඉඳලා තමා මං කහ අඹරන්න ගත්තේ!

      Delete
  2. ඔය නෙවිල් ළමයට ගම රටවල් දාල යන්ඩ උනේ උන්නැහෙගෙ නිමල් කියල යාලුවෙක් ගමේ අවිල්ලා කරපු දහ පදුරා වැඩ වගේකට පස්සෙ කියලත් මම කතාවක් අහල තියෙනව ලොකා...ඔයා දන්නවද ඒ නිමල් ව?

    ReplyDelete
    Replies
    1. ලොකූ, හොයලා බලන්නම්. හොයන්න ගිහින් මටත් පෝරියල් එක දෙයිද දන්නෑ!

      Delete
  3. නෙවිල් ගමෙන් පැන්නුව කතාවත් ලිව්වනං සම්පූර්ණයි...

    ReplyDelete
    Replies
    1. ඒ කතාව නං මාත් හරියකට දන්නෑ.
      ළඟදී අපේ කට්ටිය එකතු වෙන සූදානමක් තියෙනවා... මම අහලා බලන්නං එතකොට බක්කරේ මහත්තයාගෙනුයි, බ්රුස්ලීගේ සහෝදරයාගෙනුයි.
      ඒ දෙන්නා නොදැන තලපත්පිටියට උඩින් කපුටෙක්වත් පියාඹනව බොරු!

      Delete
  4. //‘හරියට ජීවත් වෙනවා නම්’
    ආයිත් අහලා යනකොට එරියස් නැතුව යන්නට තියෙන්න ඕනෑ නොවැ

    ReplyDelete
    Replies
    1. ඒක නොවෙන්නන් සිරිබිරිස් උන්නැහේ, ඔය ටික කල්පනාවට නොගන්නා අප්පුහාමිල්ලා නෙව මේ මගඩි-ජරා-පව්කාර වැඩ සේරම කරන්නේ.

      Delete
  5. දිමෙන්ශීය කියන්නේ නිකං නුහුගුණේ වගේ එකක්ද මන්දා? අපිටත් ටික ටික අමතක වෙනවා. අනේ නිමල් අයියේ ඔයාගේ ගෙදරත් ඇවිත් බ්ලොග් එක එක බලන්න වුණේ අද.

    ReplyDelete
    Replies
    1. අද හරි බැලුවනේ මහත්තයෝ.... ගහගෙන යන වතුරෙන් දෝතක් ගත්තත් මදැයි!

      Delete
  6. "ඔයාලා ඒවා කියවමින් සතුටක් ලබතියි දැනෙන- පෙනෙන- හැඟෙන නිසාය; රාජමනී අංකල් කිව්වා වාගේ බෝනස් එකකුත් ලැබෙන නිසාය!)" - මේ බෝනස් එකනම් නිමල්ට වැඩියෙනුත් එක්ක ලැබෙනවා

    ReplyDelete
    Replies
    1. එහෙම වැඩිපුරත් එක්කම බෝනස් ලැබෙන්නේ ඔයාලා වගේ ආදරණීය පාඨකයන්ගෙන් චමී! ස්තුතියි ගොඩක්!!

      Delete
  7. ඩිමෙන්ෂියා කියන්නෙ ජීවිත කාලයක් තිස්සෙ අපේ හිත් වල ඇතිවෙන වරදකාරි හැඟිම් සහ පසුතැවිලි (guilt and remorse) වල බලය අඩු කරන්න සිත මඟින්ම ඇති කරගන්නා ආරක්ශන ක්‍රමයක් කියලත් මම අහලා තියෙනව. කොච්චර දුරට ඒවා ගැන පරීක්ශන කරලා තියෙනවද කියලා නම් දන්නෙ නැහැ. පුන්චි කාලෙට ගිහිල්ල 'හිත' සන්තෝශෙන් ඉන්නවා වෙන්න පුලුවන්නෙ. ඒගොල්ලන්ව බලාගන්න අයට නම් පුදුමාකාර විදිහට ඉවසීම, කරුනාව, මයිත්‍රිය දියුනු කරගන්න opportunity එකක්.

    (නිමල්, මම මහත්තයා කෙනෙක් නෙවෙයි. මට Lotus කිව්වම හොඳටම ඇති. කාන්තා පර්ශවයේ කෙනෙක් කමෙන්ට්ස් දාන එක oddද දන්නෙ නැහැ. නමුත් ඕගොල්ල ලියන දේවල් කියවලා අපට යමක් ලැබෙන නිසා ඉතින් හිතෙන විදිහට කමෙන්ට් එකක් දෙකක් දානවා).

    ReplyDelete
    Replies
    1. ඉස්සෙල්ලාම සමාවෙන්න Lotus ඔයාට මහත්තයා කියලා කලින් කියා තිබුනාට. නොදැන කෙරුණු වැරැද්දක්. මං හැඩ ගැහිලා තියෙන විදිහට නොදන්නා කෙනෙකුට එක විඩේම නම කියන්න අකමැතියි වයසවත් නොදැන. දැන් හරි... ඉතාම සතුටෙන් Lotus කියනවා!

      ඉතාම සතුටෙන් එහෙම කරන්නේ ඔයාත් රසිකාවියක් බව අද කියැවුණු නිසා. කාන්තා පාර්ශ්වය කමෙන්ට්ස් දානවා අඩුයි. මාව දන්නා අය වුණත් බ්ලොගය කියවලා ටෙලිෆෝන් කරනවා, ඒත් කමෙන්ටුවක් කොටන්නෑ.

      ඔයා මුලින්ම කියා තියෙන කරුණ හරි වෙන්න ඕනි. ඉස්සර මිනිසුන්ට වරදකාරී හැඟීම් වගේම අසහනය- අතෘප්තිය- පීඩනය අඩු නිසා වෙන්නැති ඩිමෙන්ෂියාවත් වීරල වුණේ. මිනිස් සන්තානය අප්‍රසන්න දේ බැහැරලන්නට උපා යොදන්න නං අතිදක්ෂයිනේ.

      බ්ලොගය කියෙව්වාම හිතට එනදේ ඉදිරියේදීත් නොපැකිලව කියන්න... විශේෂයෙන් වැරදි හා අඩුපාඩු.

      Delete
    2. කිසිම ප්‍රශ්නයක් නැහැ නිමල්, මේ නම් වලින් ගැහැනුද පිරිමිද කියලා හිතා ගන්න බැහැනෙ.

      කමෙන්ට් එකකින් කෙනෙකුට යම් ශක්තියක් හෝ constructive feedback එකක් දෙන්න පුලුවන් නම් ඒක සතුටක්. තවත් රසිකාවියොත් කමෙන්ට්ස් දාන පටන් ගන්නවනම් ඊටත් වඩා සතුටක්.

      Delete
    3. Lotus, ඔයාගේ කමෙන්ටුව අපේ රසිකාවියන්ට දිරියක් වේවා!

      Delete
  8. මගේ සමහර මිතුරු- මිතුරියන් ප්‍රතිචාර දක්වන්නේ fb එකෙන් පොස්ටුවේ කොටස් දැක්කාට පස්සෙය. fb එකේ ප්‍රතිචාර ඉක්මනින් වැළලී යන බැවිනි;එතැන තිබුණු මේ කමෙන්ටුව මෙතනට ඔබන්නේ. ස්තුතියි නලින්!

    Nalin Priyadatshana-පරණ මතක... නෙවිල් අයියලගෙ ගෙදර... කට්ටිය එකතුවීම... ඉංග්‍රීසි පංතිය.. මතකද එක සර් කෙනෙක් එක්කං ඇවිත් පලවෙනි දවසෙම අපිට බැනල ගිය හැටි... ඒයා ඒකට හේතුවක් විදිහට කිව්වෙත් කාමරේ එල්ලල තිබුන පිංතූර.. ඒ වුනාට ඒක නෙමෙයි හේතුව... ෆාම් එක... බයිසිකල් එක... අවුරුදු 30ට එහා.. මරු හලෝ...

    ReplyDelete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්