අකුරු මැකී නෑ

Monday, May 24, 2021

සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස

ඒ ඉසව්වේදී ඇය හිඟා කන්නීය; වාහනවලට අත පාන්නීය.

පමුණුව පාරේ වාහනවලින් යනෙන ‘හැබෑ ශ්‍රී ලාංකේය පුරවැසියෝ කොටසකුත්’ සාඩම්බරයෙන් එයාලගේ කුණු මලු අර කුණු ගොඩටම වීසි කරගෙන යති. ලාවතී අක්කා එතැනට පාද යාත්‍රාවේ යෙදෙන්නී අර කුණු මලු සියල්ල එකක් නෑර පිරික්සා බලන්නටය. 

ඈ එලෙස යන්නී, එක හැරමිටියක් හා එක අත් වාරුවක් බැගින් දෑතේ රුවාගෙනය; ගාටමින්ය; කොන්ද වකුටු කරගෙනය.
එතැන ඇයට
ජය භූමියක් වෙනවාද යන්න දන්නේ දෙවියන් පමණි.
එතැනට සම්ප්‍රාප්තවූ විගස, නව පණක් ලබන ලාවතී අක්කා අර කුණු මලු එකිනෙක අදිමින්, ඇයට පලක් වෙතියි හැඟෙන දේ තෝරාගන්නීය; පෝර මල්ලකට දමා ගන්නීය; එය උස්සාගෙන එන්නට වාරු නැති බැවින්, ඒ පෝර උරය බිම දිගේ ඇදගෙන එන්නීය.

පමුණුව පාර දිගේ ගිහින් ඇති කෙනෙකුට,
දේවාල පාරට හැරෙන හරියේදී ලාවතී අක්කා දැක ගන්නට පෙරුම් පිරිය යුතු නැත.
ඒ ඉසව්වේදී ඇය හිඟා කන්නීය; වාහනවලට අත පාන්නීය.

එහෙම කරන්නේ නැති-බැරිකමටම නොවේ!
ලාවතී අක්කා ඉඩමක; පොඩි ගෙයක් සහිත ඉඩමක අයිතිකාරියකි. ඒ තනි පලේ ගෙයින් එක කොටසක් පවුලකට කුලියට දීලාය. ඒ අතරේ පිං පඩියකුත් ලබනවාය.

ක්‍රිකට් ගහද්දී අපේ ළමයෙක් බෝලේ ගන්න ඒ වත්තට ගියත්....

ඇයගේ වත්කම් නම් හරියටම ලෝකයාට පෙනුණේ ඒ නිවස ගිනි ගත් දවසේය!

ඒ ගෙදරින් කළුම කළු දුම් විහිදෙන්නට පටන් ගත්තේ හිමිදිරියකය.
කුලී ගෙදර නිවැසි දුවත්, පුතාත් පාසල් ගිහින්ය. අම්මා රැකියාවට පවත්වාගෙන යන එළවලු කඩයට බඩු ගෙනෙන්නට ගිහින්ය.

‘අන්නෝ... ලාවතී නැන්දල ගේ පැත්තෙන් ලොකු දුමක් ගහනවෝ....’
‘ලාවතී නැන්දා මොනවා හරි ළිපේ තියලා ගිහිල්ලා වගෙයි..... පිච්චෙනවා වෙන්නැති...’
‘ළිප උඩ තියෙන දේකින් ඔච්චර දුමක් එන්න බෑ!’

හිමිදිරියේම ඒ කතා කණට වැටුණත් මට කම්පියුටරය ළඟින් නැඟිටින්නට හිත දුන්නේ නැත. අමනුස්සකමක් හින්දා නොවේ. ලාවතී අක්කා ගැන අහන-දකින සියලුම දේවල් අප්‍රසන්න නිසාය. මං කැමති ප්‍රසන්න; සතුටුදායක දේවල් දකින්නටය; අහන්නටය.

‘හතර පෝයටම සිල් ගන්නවා.... හැබැයි එයාල ගේ ළඟ මල් පිරිලා තියෙන ගහකින් වුණත් කාටවත් මලක් කඩා ගන්න දෙන්නෑ!’
‘ක්‍රිකට් ගහද්දී අපේ ළමයෙක් බෝලේ ගන්න ඒ වත්තට ගියත් බැනලා එළවනවා....’
‘අපේ ගෙදරකට කාටවත් එන්න බෑ.... ආව ගමන් මේ අම්මණ්ඩිත් මොකාක් හරි ඉලව්වක් අහගෙන එනවා, ගෙට එබිලා ඔත්තු බලන්න...’
‘නිමල් අයියට නං ඒ කරදරේ නැහැනෙ.... ලාවතී නැන්දට කෙළින්ම කියලනෙ තියෙන්නේ වත්තට එන්න එපැයි කියලා!’

එක ගිනි දල්ලක්... දෙකක්... තුනක්.... ගොඩක්...

“නොකියා කොහොමද? අපේ උඩ ගෙදර කට්ටිය එපා කියද්දීත් ඒ මනුස්සයා හැරමිටි ගගහා පඩි පෙළේ නඟිනවා මොනවා හරි විකුණන්න කියලා උස්සගෙන. එක්කෝ කතුරුමුරුංගා කොළ... නැත්තං කවුරු හරි ගෙනල්ලා දෙන හාල්- පිටි- සීනි වගේ දෙයක්... තියාගෙන කන්නෙත් නෑ.... සල්ලි තණ්හාවට විකුණන්න ගේනවා.... එයට ඕනි දෙයක් එයා කර ගත්තාවේ! ඒත්  බැරි-බැරි ගාතේ අපේ මේ පඩි පෙළ නඟින්න ගිහින් වැටුණොත්, මටත් කරදරේ වැටෙන්නනේ වෙන්නෙ...”

එහෙම දෙතුන් වතාවක්ම ‘එපා’ කිව්වාට පස්සෙය ලාවතී අක්කා මගේ පර්චස් 9.5ට එන එක නැවතුණේ.

“නිමල් අයියේ... ලාවතී නැන්දල ගේ ගිනි ගන්නව වගේ... තඩි දුමක් දානවා .....” කෙළින්ම මටත් කැඳවුමක්!
මමත් ගේට්ටුව ළඟ සංගමයට එකතු වුණෙමි.

ඇත්තය! පෙනෙන විදිහට නම් ගෙය ගිනි ගන්නටය යන්නේ...

“අර මනුස්සයාත් ගේ ඇතුළෙද කියල බලන්න වෙයි, සේරටම කලින්.”
“නෑ නිමල් අයියේ.... දොර පිටින් වහලා ගිහින් තියෙන්නේ... මොනවද ඇවිළෙන්නේ කියලා බලන්නවත් දොර කඩන්නයැ? ලාවතී අක්කා අන්තිමට අපේ ඇඟට ගොඩවෙයි දොර කැඩුවා කියලා! නිකං බැනුම් අහන්නෙ මොටද?”

ඒ පමාවීම වැඩි වෙලාවක් රැඳුණේ නැත. කළු දුම් ගොබ අහසට නැඟෙද්දී පමුණුව පාර දිගේ යමින්-එමින් හිටි උදවියත් එතැනට දුවගෙන එන්නට පටන් ගත්හ. පට-පට සද්දෙන් මොනවාදෝ පුපුරණ සද්දත් ගේ ඇතුළෙන් ඇහෙන්නට විණි. එක ගිනි දල්ලක්... දෙකක්... තුනක්.... ගොඩක්...

“අනේ දෙයියනේ... මගේ ගේ!” කුලියට ඉන්නා කාන්තාව (එයාට M කියමු.) විලාප දීගෙන කඩා වැටුණේ එතකොටමය. “අනේ, මල්ලිලා... බලං ඉන්නැතිව අපෙ ගේ ඇතුළේ තියෙන බඩු ටික බේරලා දෙන්ඩකෝ!” විලාප දෙනවා මිස ඇයට දොරේ යතුර ගැන කල්පනාවක් නැත. “.... අනේ හදිස්සියට යතුරත් හොයා ගන්න නෑ....”

ටැංකියේ මාළු ටික මැරෙන්න වගෙයි,රස්නේ වැදිලා.... ඔයාලගේ pond එකට ගෙනත් දාමුද?

ඒ අතරේ ගිනි ගන්නා නිවසේ වහලය කඩා දැමිණි.... ‘රස්නෙට උළු කැට පුපුරන්න ගත්තොත් මොකුත් කරගන්න බැරි වෙයි.’ දැනුමැත්තෙකු කිව්වාමය, වහලයේ කොටසක් කැඩුවේ. එතකොටත් ගිනි රස්නය පැතිරෙන්නට පටන් ගෙනය.

දඩාස්! කවුරුන්දෝ ඒ කොටසේ දොරට පයින් ගැහුවේය. දොර බිම! එතකොට Mගේ ගෙදරත් දුමෙන් පිරිලාය. රැස්වූවෝ ඒ ගෙදර තිබුණු සබ්බ සකල මනාවම එළියට ඇද්දෝය. අල්මාරිය, TV එක, ඇඳ-පුටු, ගෑස් ළිප..... සේරම පාරේය!

“නිමල් අංකල්! අරයලගෙ මාළු ටැංකියේ මාළු ටික මැරෙන්න වගෙයි, රස්නේ වැදිලා.... ඔයාලගේ pond එකට ගෙනත් දාමුද?” අසල්වැසි තරිඳු ඇවිත් ඇසුවේය. “හා!”
එදා ඒ ගින්නෙන් මට වුණු වාසිය ඒකය. කාෆ් මාළු කිහිප දෙනෙකු අපේ මාළුන් අතරට.... එයිනුත් බේරුණේ තව කාලයක් ජීවත් වෙන්නට වාසනාව තිබුණු අය පමණි. වැඩි දෙනෙකු එදාම මරුටය...

‘වතුර, වතුර....’
වටේම ගෙවල්වල පයිප්ප එක දිගටම වතුර සැපයුවේය.
ළිඳකින් වතුර pump කෙරෙන තැනකට තියෙන්නේ අපේ ගෙදරය. හත්-අට දෙනෙක්ම අපේ දිහායිනුත් වතුර අදින්නට ගත්තෝය.

‘Fire Brigade එකට call එකක් දුන්නා... උන් මගේ විස්තර අහනවා... උන් ආවාම ඒකට බිල ගෙවන්නේ මමද කියලා අහනවා... ගෙවපල්ලකෝ අපි! උන්ට බම්බු ගහගන්න කියල මම line එක cut කළා....’ CIB ආයතනයේ වැඩ කරන තරුණයෙකු කියනවා ඇසුණි.

“ඒක වෙන්නැති මචං... පමුණුවේ ගිනි ගත්තු හැම රෙදි කඩයක්ම හොඳටම පිච්චිලා යන්න ඇත්තෙත්...” තවකෙක් උත්තරත් දුන්නේය.

ගිනිගත් ගෙදරින් එළියට ඇද දැමූ කුණුගොඩේ අලුත්ම රෙදි-පෙරෙදි මෙන්ම බාගෙට පිච්චුණු රුපියල් පන්දාහේ- දාහේ නෝට්ටු මිටිත්...

‘ආ, අන්න පොලීසියෙනුත් එනවා....’
‘අර එන්නෙ ගේ අයිතිකාරි නේද....’ තවකෙක් විමසයි.

ලාවතී අක්කාගේ ගෙදර අස්සේ හැරෙන්නට-පෙරළෙන්නටවත් ඉඩක් නැත. ඇගේ ඇඳත්, මේස කබලකුත්, රේඩියෝවත් තියෙන පුංචි ඉඩ ටික හැරුණාම- අනිත් ටිකේ ඇඟිල්ලක් ගහන්නට බැරි තරමට බඩු පුරවලාය. බඩු කිව්වේ කුණු ගොඩෙන් පාදා ගන්නා කාඩ්බෝඩ්- ප්ලාස්ටික්- ලී- දර කෝටු වගේ සුන්බුන්ය.

කුඩා ගෑස් ළිපක් තිබියදීත්, ලාවතී අක්කා උයාගත්තේ දර ළිපකිනි.
පාර අද්දර අයිනක; කුණු ගොඩක තියෙන කිසිම ලී කැබැල්ලක් අපතේ යන්නට නොදී ගෙදර ගෙනෙන්නට; ඒවායින් ගේ පුරවාගන්නට මේ අංගනාව කටයුතු කළේ ඒ කුඩා ළිපට දමන්නටය.
‘ඇයි මනුස්සයෝ... මෙච්චර දර කවදා ළිපට දාලා ඉවර කරන්නද?’
‘එතකොට මේ කාඩ්බෝඩ්? ප්ලාස්ටික් කෑලි... ඒවා අහවල් කාරියකටද...’
ඒ ප්‍රශ්නවලට ලාවතී අක්කා කවදාවත් උත්තර දෙන්නේ නැත! එහෙම වෙලාවකදී ඇගේ බිහිරි ගතිය තවත් වැඩි වෙයි.

එදා; අවුරුදු දෙක-තුනකට කලින් දවසක ලාවතී අක්කාගේ ගෙය එහෙම පිටින්ම වාගේ පිච්චිලා ගියේය. ගින්න ඇවිළෙන අතරෙත් ඈ ගෙට යන්නට හැදුවත් පොලීසියේ රාළහාමිලා ඊට ඉඩ නොදුන්හ.

ඒ ගෙදරින් එළියට ඇද දැමූ අඩක් පිළිස්සී ගිය- හොඳටම තෙතබරිවූ දේවල් අතර, අලුත්ම චීත්ත- තුවා- ඇඳ ඇතිරිලි තොගයක්ම විණි; කොණ්ඩ කටුවලින් අමුණා තිබුණු රුපියල් පන්දාහේ, දාහේ නෝට්ටු මිටි කිහිපයක්ද විණි.

දැන් පමුණුව lockdown කරලා... මෙහෙත් කොරෝනා ලෙඩ්ඩු....

“මම කීප දවසක් මේ මනුස්සයාව xxxxx බැංකුවෙදි දැකල තියෙනවා. සල්ලි deposit කරන්න ඇවිත් හිටිද්දි....” එදා අපට ලැබුණු අලුත්ම ආරංචිය එයයි.

Mලා ගෙදරින් නික්ම ගියෝය.
“ඔයාටත් කියලා යන්නයි ආවේ, නිමල් අයියෙ. අර මනුස්සයා අපි ගෙදරට ගෙවලා තිබුණු advance එක නොදීම ඉන්නනෙ හැදුවේ. ඒ සෙල්ලං කොහෙද මගෙත්තෙක්ක.... හිඟාකෑවට සල්ලි නැති ගෑනියෙක්යැ.... ඒ සැරේ තමයි සල්ලි ආපහු දුන්නේ.....”   

ඊළඟට ඒ ගෙය පිළිසකර කෙරුණේය. අලුත් කට්ටියක් කුලියටත් ආවේය. ලාවතී අක්කා යළිත් සුපුරුදු චර්යාව ඇරඹුවාය!

‘දැන් පමුණුව lockdown කරලා... මෙහෙත් කොරෝනා ලෙඩ්ඩු.... ලාච්චීත් පාරට යන්න එපා.... ඔහොම ගිහින් අපේ පාරට කොරෝනා ගේන්නේ ඔයා තමයි!’
අපේ පාරේ නිවැසි කාන්තාවෝ කිහිප දෙනෙක් මැයි 5 වෙනිදාම ගිහිං ලාවතී අක්කාට රතු නිවේදනයක් නිකුත් කළහ.

“කොච්චර කිව්වත් වැඩක් නෑ නිමල් අයියේ, පුරුද්ද අතාරින්න පුළුවන්ය....
අච්චර දෙයක් වෙලත් කුණු පුරෝගන්න පුරුද්ද අතෑරියේ නෑනෙ.... පෙරේතකම තවත් වැඩි වෙලා. බලන්නකො... හැමදාම duty... කොරෝනා හින්දා දැන් පාරේ වැඩිය මිනිස්සු නොයන එකට හරි හිතේ අමාරුවෙන් ඉන්නේ....”
“කොච්චරවත් පාර ගාවට ගිහින් හූල්ල-හූල්ලා ඉන්නවා...!”
“ඒ හින්දම වෙන්නැති, මේ සතියට- දෙකට ඒ මනුස්සයා ගොඩාරියක් ඇදිල ගිහින්.....”

ඒ නිගමනය හැබෑ විත්තිය මටත් හැඟෙයි. ‘කොරෝනා හැදුණත් මොකෝ, පාරේ මිනිස්සු යනවා නං..’ ලාවතී අක්කා හිතනවා ඇති!

හිටගෙන පන්සිල් ගන්න බැරි බුද්ධාගම්කාරයෝ! වැරැද්ද කොතැනද? බලන ඇස්වලද...

ලාවතී අක්කා ගැන විස්තර නෙවිල් කියෙව්වොත් නං.... කියන දේ කිසිම අමාරුවක් නැතිව හිතා ගන්නට මට  පුළුවනිය.

‘අනේ හලෝ! ඒ මනුස්සයගෙ ගේ පුරාම දරයි, කාඩ්බෝඩුයි පුරෝගෙන හිටියම මොකද වෙන්නේ? එහෙනං තමුසෙත් ගේ හැම තැනම පොතුයි, පත්තර කෑලියි ගොඩ ගහං ඉන්නේ.... තමුසෙගෙ ආදාහනේට ගන්නද?’

මට කල්පනා වෙයි. ඔහොම තණ්හාවල්- ආසාවල් තියෙන්නේ ලාවතී අක්කාට විතරක්ද?

සමහරු මුද්දර එකතු කරති. තව අය කාර්.... තවත් අය පරණ මත්පැන් බෝතල්.... සමහර ගෙදරක කෞතුක භාණ්ඩ පිරිලාය; තව එකක තිබෙන්නේ කලාත්මක නිර්මාණය; තවත් ගෙවල්වල ගීත තැටි- සිනමාපට.....
ඒවායේ වැරැද්දක්- අමුත්තක් නොදැකපු මටය; ලාවතී අක්කාගේ කුණු කසල එකතුවත්, සල්ලි එකතුවත් දොසක් හැටියට පෙනුණේ...
වැරැද්ද තියෙන්නේ වෙන කොහෙවත් තැනක නොවේ. මගේම ළඟය; මං බලන විදිහෙය!

අනුන්ගේ ඇහේ ඇති රොඩ්ඩ දකින්නට හපනුන් වෙන අපට අපේ ඇහේ තියෙන පොල් පරාලය පෙනෙන්නේ නැති හැටි!

ඉතිං, සිත්සේ හිඟා කන්නට නැති නිසා ලාවතී අක්කාට පිස්සු හැදුණා වගේ, සමහරුන්ට පිස්සු හැදී  තියෙන්නේ හුදෙකලා වන්නට වීම නිසාය.

Lockdown කරන්නම ඕනෑ නැත. සමහර උදවිය විහින්ම ආරක්ෂක විධිවිධාන පිළිපදිති. ස්වයං හුදෙකලා වීමකට පෙළඹෙති. එහෙම හුදෙකලා වීමට ගොදුරු වුණු මගේ හිතවත්තු කීප දෙනෙක්ම ඒ ගැන මැසිවිලි කියූහ.

එළවනවා ගෙදර අනෙක් ගෑනු පරාණ කුස්සියෙන්....

(එවන් හිතවත් පවුලක තරුණියක හා කෙරුණු තොරතුරු හුවමාරුවකදීය, මේ සංවාදය කෙරුණේ. ඇගේ අනන්‍යතාව හෙළි කළ යුතු නැත. ඇය දන්නා හඳුනන අයත් බ්ලොගය කියවන නිසා යම්-යම් වදන් ඉවත් කොට- යෙදුම් ඉවත්කොට තෝරාගත් කොටසකි, ඇගේත් අනුමැතිය මත මෙහි බහාලන්නේ. ඇගේ ප්‍රකාශන රතු වර්ණයෙනි.)

‘අනේ අය්යේ. මේ ඉන්න ඉඳිල්ලට මට පිස්සු හැදේවිද මන්දා! කරන්න කිසිම දෙයක් නෑ!! එපාවෙලා!!!’

‘අනේ අම්මෝ මෙහෙම හරක්.... ඇයි යකින්නියේ කරන්න වැඩද නැත්තේ.... යනවකො කුස්සියට- එළවනවා ගෙදර අනෙක් ගෑනු පරාණ කුස්සියෙන්.... ඔයාට වැඩ හිටියි ගමකට!’ ටික වේලාවක් යනතුරු මොකුත්ම කියැවුණේ නැත. එයා තවමත් කල්පනාවේ වෙන්නැති.

‘නරකද විසඳුම. ඔලුවේ කැක්කුමත් ඇල්ලුවද?

‘කුස්සියේ වැඩවලට මාව වැද්ද ගන්නෙ නෑ එයාලා. මං ඒවා අල කරනවා කියලා...’

‘ගහන්න පරණ පිඟානක් පොළොවේ.’

‘අම්මෝ.. එහෙනම් අපේ xxxx අක්කා...’

‘ඒකනෙ කියන්නේ... පරණ... පරණ පිඟානක් කියන්නේ ඇන්ටික් එකක් නෙවෙයි.’

‘බලමුකෝ කරලා. හැබැයි ආයේ ඔයාල අපේ ගෙදර එන දවසට මං නෑ කියලා දුක් වෙන්න බෑ ඔන්න.’

‘අධෝ වාතෙකටවත් ගණන් ගන්නේ නෑ ඔන්න.... දන්නවද? මම නං ඔහොම අසුබවාදීව හිතන අය එක්ක කතා කරන්නත් බයයි. මටත් ඒ ලෙඩේ බෝ වුණොත්....’

‘අය්යෝ. මං අසුබවාදී නෑ අනේ. ඒක විහිලුවට කිව්වේ. මං දන්නවා හැමෝම මට ආදරෙයි කියලා. ඒත් මේ පැත්ත දැන් හරි බයයි අය්යේ...’

හිතේ හැටියට පිස්සුවක් නටලා නම් මැරුණත් කමක් නෑ අය්යෝ.

‘... ලෝකෙම! ඔහේ විතරක් නෙවෙයි. මොකටද බය වෙන්නේ. වැඩිම වුණොත් මැරෙයි. එච්චරයිනෙ..’

‘තව ටිකක් හිතේ හැටියට පිස්සුවක් නටලා නම් මැරුණත් කමක් නෑ අය්යෝ. දැන්ම මැරෙන්න බෑ....’  

‘ඒක නේන්නං... අන්න එහෙම තමයි හිතන්න ඕනි.’ මම කීවෙමි!

මැයි පස් වෙනිදා පමුණුවේ කොටසක ජනයෝ හොඳටම විපිළිසර වෙලාය. හැමෝම නොවේ. මා දන්නා තරමින්  නම් ජංගම දුරකථන හිමි; ඒවායින් අපේ ග්‍රාමසේවක නෝනා මහත්තැන් එක්ක පණිවිඩ හුවමාරු කරගත් උදවිය විතරය. ඒ ජරමරය අපේ ඇත්තන්ටත් ආරංචි වුණේ පහු-පහු වෙනකොටය.

ඒ නෝනා, එයාගේ වසමේ වැස්සන් (සිංග්ලිෂ්වලින්ය මං මේ අකුරු කොටන්නේ. wassan කියලා කොටද්දී, උඩින්ම ආවේ ‘වස්සන්’ කියලාය. වැස්සන් තිබුණේ යටින්ය. නෑ, නෑ, එහෙම ලැබෙන්නෙ පරිගණකයත් අපට බාල්දු කරන නිසා නොවේ. අපේ රටේ වැඩිපුරම ඉන්නේ වස්සන් බව, Microsoft- Google- Windows වගේ විදේශ බලවේගකාරයන් කවුරුන්වත් දන්නවා වෙන්නට බැරිය. එහෙම ජාතික රහස් පිට කිරීම; තොරතුරු හෙළි කිරීම තහනං නෙව!).

....ඒ නෝනා, එයාගේ වසමේ වැස්සන් වෙත පතළ මහා කරුණාවෙන් යුතුව පණිවිඩ එවලාය.

‘දැනුවත් කිරීමයි,
අද උදෑසන 6 සිට පමුණුව ග්‍රාමනිලධාරි කොටඨාශය පමණක් තාවකාලිකව වසා තැබෙන අතර එය මහරගම නැගෙනහිර අප ග්‍රාමනිලධාරි කොටඨාශය අදාල නොවන බව සලකන්න.’

ඒ නෝනා එයින් එහාටත් ගිහින්ය.

මිස්. අපිට කවද්ද බඩු මලු දෙන්නේ?

දෙවෙනි message එකකුත් එවා තිබිණි.

‘දැනුවත් කිරීමයි,
මහරගම නැගෙනහිර ග්‍රාමනිලධාරි වසමේ පදිංචිකරුවන් පිටතට යාමට සහ ඇතුළු වීමට නාගහවත්ත පාර භාවිතා කල හැකි බව දන්වන අතර අනෙක් සියලු ප්‍රවේශ මාර්ගයන් වසා ඇති බව දන්වමි.’

“ඒ ගෑනිට පිස්සුද මන්දා. එයා අපිට එහෙම පණිවිඩ එවනවා.... අපේ ගෙවල් හරියට කාටවත් එන්න දෙන්නෙත් නෑ. යන්න දෙන්නෙත් නෑ... lockdown කරන දවසේ පමුණුව පාරේ, අරාබි ඉස්කෝලේ ළඟට දාපු බැරියර් එක දවස් තුනකට පස්සෙ රේල් පාර ගාවටම ගෙනිච්චේ.... දුම්රිය මාවතත් වැහුවේ...?”

ශ්‍රී ලංකාවේ පවතින්නේ එකම රටක්- එකම නීතියක්ද?

මාර්ග බාධක යොදන බලවතුන්- මෙහෙම වෙලාවකවත් ග්‍රාසේනිවරුන් හා නිවැරදි සන්නිවේදනයක යෙදෙන්නේ නැතිද? (කරුණාකර වැරදි කොණෙන් අල්ලා නොගන්න. මා කියන්නේ lockdown කිරීම වරදක්ය කියා නොවේ. කෙරෙන දෙයක් නිවැරදි ක්‍රියා පටිපාටියකට අනුව කෙරෙන්නට ඕනෑ බවයි. එහෙම නොවුණාම...)

මේ වැරැද්ද මහරගම නැගෙනහිර ග්‍රාමසේවා වසමේ පදිංචිකරුවන්ට හුදෙකලා වීමටත් වඩා බලපෑවේය!

“අන්න, දේවාල පාරට බඩු මලු බෙදලා....”

ආරංචිය ලැබුණු ගමන් වැඩියත්ම කලබල වුණේ ලාවතී අක්කාය. Lockdown තියෙද්දීම එයා දන්නා-හඳුනන හැමෝම හමු වෙන්නට පටන් ගත්තාය. “අපිට කවද්ද බඩු මලු දෙන්නේ? ග්‍රාමසේවක නෝනාගෙන් හරි අහන්න යන්නකො.....”

ලාවතී අක්කා කිව්වාට ඒ ඇඳිරියේ, lockdown අස්සෙම ග්‍රාමසේවක නෝනා හම්බ වෙන්න මොකා යන්නද? යෑම වෙනුවට message එකක් යැවිණි. අපරාදේ කියන්නට බැරිය. ග්‍රාසේනි නෝනා ඒ රාත්තිරියේම; ඉක්මනින්ම උත්තරත් එව්වාය. පණිවිඩ හා ඊට ලැබුණු පිළිතුරු මෙහෙමය:

සැබෑ ලෙසම අසරණ වූවන් රටේ එමට සිටින බැවිනි! (foto එකට යොමු කළාට ස්තුතියි බස්සා මැතිඳුනි!)

‘මිස් බඩු මල්ලක් දෙනවා කියලා ආරංචි උනා...
අපේ වසමේ අයට දෙන්නෙ නැද්ද...’ (20.14)

‘Lock down kala ayata witharai’ (21.35)

‘අපිවත් ලොක්ඩවුන් කරලා වගේ තමයි මිස්....
පොලීසියෙන් කොහේටවත් යන්න දෙන්නෙ නෑ අපටත්...
ජොබ් එකටවත් යන්න නෑ මිස්.... පමුණුව ලොක්ඩවුන් කරපු දවසේ ඉඳලා අපිත් හිරවෙලා......’ (21.42)

‘Ow wenna athi’ (22.49)
‘Lock down kala divisn walata witharailu denne’ (22.50)

මෙව්වා වාර්තා කරන්නේ මට බඩු මල්ලක් නොලැබුණු නිසා නොවේ! (රටම වහලා තියෙද්දී ‘කඩයක් කඩලා හරි ඕනෑ දෙයක් ගෙනැත් දෙන්නට සූදානං වුණු; අපේ ඕනෑම පිං වැඩකට සම්මාදම් වෙන්නට කැමති පාලිත ලියනාරච්චි ජාතියේ හිතවත්තු මට සිටිති. මේ සැරෙත් එහෙමය. 

රට වසන්නට යන බව කනින්-කොනින් කියවෙද්දීම සමහරු ගෙදරකට උවමනා කරන හාල්-තුනපහ ගෙනවිත් දුන්හ! මැයි 4 වෙනිදායින් පසු තවමත් මට මස්- මාළු- ටින් කෑම නැතිව ගියේ නැත!
තවත් අය උවමනා දේ විමසා සිටියහ. දැනට එහෙම උදව් අවශ්‍යතාවක් නැති බවත්; ඕනෑකමක් වුණොත් නොසඟවා කියන බවත් මම ඔවුනට දැන්වීමි. ඒ හැමටම ස්තුතියි!)

ඉතිං, මා මේවා ලියන්නේ සැබෑ ලෙසම අසරණ වූවන් රටේ එමට සිටින බැවිනි! මෙසේ අසාධාරණයට ලක් වූවන් රට පුරාම සිටින්නට හැකි බැවිනි!! ඔවුන්ට ඒවා ගැන කියන්නට තැනක් නැති බැවින්, අප වැනියන් හෝ මේවා සටහන් කර තැබිය යුතුය!!!

‘ඔය මදැයි පීලි පැනලා ආව දුර!’ සිත මුර ගායි. ආයෙත් නියම තැනටම යන්නට වෙනවාය. හම්බන්තොට ඉස්පිරිතාලෙට.... මැයි 6 වෙනිදා දවල් කාලයට....

ඒ ගමනෙන් පස්සේ, ඇස් වාට්ටුවේ කාර්ය මණ්ඩලය විතරක් නොවේ, එයාලාගේ පවුල්වල හැමෝමත්....(foto- තුෂානි කොඩිතුවක්කු)

පුරුදු විදිහටම මට ප්‍රතිකාර කෙරුණේය.

ශිරෝමි අරුණත් එක්ක, එයාලගේ ගෙදර අපට දවල් කෑම හදනවාලු! ඒ මදිවට මවුලානා රෑට එහෙ එන්නත් කියනවා....” අයස්මන්ත මහත්තයා කියන්නේ තරමක ආඩම්බරයෙනි. මේ ‘සීවලී හාමුදුරුවන් වහන්සේ’ නිසා අපටත් දාන-මාන වරදින්නෙම නැතිය. “...ශිරෝමි- හසන්තිටයි, ආසිරිටයි දෙන්නටත් එන්න කිව්වලු....” 

“ඒත් මහත්තයෝ... රෑ වෙනකල් ඉඳලා බැහැනෙ... මාව බැරියර් එක ළඟින් නවත්තයි!”

“.... නැවත්තුවොත් තමුසෙ අපේ ගෙදරක ඉන්නවා... මොකෝ, තමුසෙ අලි xකෙන් ආපු එකෙක්ද? නැත්තං මානෙල්ල ගෙදර ඉන්නවා. තමුසෙගෙම නංගිනෙ... දවසක්-දෙකක් එහෙ හිටියොත් මොකද වෙන්නේ.... කොට්ටාව lockdown කරලත් නැහැනෙ හලෝ!”
නෙවිල් කඩා පැන්නේය.

මීට කලිනුත්, කිහිප විටක්ම ශිරෝමිලාගේ ගෙදරදී අප දහවල් ආහාරය රැගෙන ඇත. ඒ දිවා ආහාර ගැනීමක් විතරක්ම නොවීය. කුඩා සතුටු සාදයක්ද විණි. ඒ හමුවට මාත් කැමැතිය. 
(අවුරුදු කිහිපයකට පෙර අයස්මන්ත මහතා අක්ෂි වෛද්‍ය අංශයේ කාර්ය මණ්ඩලයත්- ඔවුන්ගේ පවුල්වල සාමාජිකයනුත් දෙදින සංචාරයකට කැටුව ගියේය. “අපේ ප්‍රීතිකායි දුවල තුන්දෙනයිත් යනවා... නිමල් අයියලත් යමු!” දොස්තර මහතා අපටත් ආරාධනා කළේය.

ඒ ගමනෙන් පස්සේ, ඇස් වාට්ටුවේ කාර්ය මණ්ඩලය විතරක් නොවේ, එයාලාගේ පවුල්වල හැමෝමත් අපේ ළබැඳි හිතවත්තුය.)

මෙයාලා එකතු වුණාම අද්‍යතන ශ්‍රී ලංකාවේ තොරතුරුවලින් බාගයක්ම කතාබහට ගැනෙයි!

ගුරු වෘත්තියේ නියැළෙන ආසිරිත්, ජල සම්පාදන ඉංජිනේරුවරයෙකු වෙන අරුණත් පුළුල් පරාසයක අත්දැකීම් ඇතියවුන්ය. හම්බන්තොටම දන්නා B.N. අසංක හා (මුලින් යාල වනජීවී නිලධාරියෙකුව සිට, දැන්) ගුරුවරයෙකු වන නිශාන්තත් එකතු වුණාම අද්‍යතන ශ්‍රී ලංකාවේ තොරතුරුවලින් බාගයක්ම කතාබහට ගැනෙයි! 

“මට ඔය තැන්-තැන්වල ඉන්න බෑ! මට වැඩ තියෙනවා....”

“මේ, මේ. යුෂ්මතාට ඔය තරං හදිස්සියේ ගෙදර දුවන්න ඕනෙම නං... නෙවිලො, මෙන්න මෙයාව හම්බන්තොටින් කොළඹ බස් එහෙකට නග්ගෝමු මචං.... ඇයි බං... මූ හින්දා අපිට නිවාඩුත් දාගෙන මෙච්චර දුර එන්න පුළුවන්.... මෙයාට පැය දෙක-තුනක් අපි වෙනුවෙන් ඉවසන්න බෑ...
යකෝ, අපිත් පෘතග්ජන මිනිස්සු... කන-බොන එවුන්නෙ මචං.....”

ඔහොම සංවාද හැමදාමත් සිදු වෙයි. ඒත් වෙනස් වෙන්නේ....

22 comments:

  1. https://www.atchuup.com/weirdest-collection-of-things-ever/


    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි Pra Jay මහත්තයෝ!
      දැන් මගෙත් හිතට සනීපයි... එකතු කරන්නෝ ගොඩක් ඉන්නවනේ- මාත් එක්කම. ඒත් ඔබ එවූ link එකට ගියාම තමයි දැක්කේ තත්ත්වේ දරුණුකම.
      හැබැයි ඒ හැමෝම හරිම ලස්සනට පිළිවෙලට ඒ එකතු තියාගෙන ඉන්නවනේ... ගිනස් එකට යන්න ඕනි නිසා වෙන්නැති, නේද?

      Delete
  2. අනවශ්‍ය දේවල් එකතු කරන එක මානසික රෝගයක් කියලා (Hoarding disorder) තමයි හඳුන්වන්නේ.
    මටත් ඕක තියනවා කියලා තමයි ගෙදර උන්දෑ නම් කියන්නේ . ඒ උනාට මම එකතු කරලා තියන ආයුද, යන්ත්‍ර, tools වලින් වැඩිපුර ඉටු කරන්නේ එයාගේ අවශ්‍යතාවයන් තමයි. එතකොට නම් ඒවා හොඳයි.
    මේ කතාවේ කියැවෙන ලාවතී වගේ චරිත ගැන නම් කියන්න තියෙන්නේ "කරුමේ" කියලා තමයි.

    ReplyDelete
    Replies
    1. Sam ඇත්තටම අනවශ්‍ය දේවල් කියලා දේවලුත් තියෙනවද?

      මමත් පොත්, පත්තර, ලියුම් අරවා-මේවා ගොඩක් එකතු කරගෙන ඉන්නවා. හැබැයි ඒවා නිසි පිළිවෙලට තියාගෙන- කැටගරි කරගෙන නෑ. ඉතිං සමහර දෙයක් හොයාගන්න ගියාම වරුවක් යනවා.... බ්ලොගය ලියන්න ගත්තම තමයි ඒ හුඟක් ඕනි වුණේ.

      S 5 සංකල්පයට අනුව දවසක් මම අර එකතුවෙන් සෑහෙන්න දේවල් විසි කළා.... අනේ දෙයියනේ, ඊළඟ සතියෙම අර විසි කළ දෙයම උවමනා වෙච්චි. එදාම, S5 ට බායි කිව්වා.

      ඇත්තමයි, මම ලාවතී අක්කා ගැන කීවේ 'අපාය- පෙරේත ලෝක හා දිවිය ලෝක' සියල්ලම මිහිතලයේම පවතින බව විශ්වාස කරන නිසයි. ඒ වගේම කොරෝනා එයාට බලපෑ හැටිත් කියන්නයි.... හැබැයි, මටත් කියවෙන්නේ ඒ මනුස්සයා කරුමයක් ගෙවනවා කියලාම තමයි.

      Delete
  3. බෝතල් එකතු කරන එක තමයි මගේ විනෝදේ.. හිස් ඒවානම් වැඩක් නෑ.. සීල් ඒවා තමයි.. ආ.. මට තව ලෙඩක් තිබ්බා.. කිසිම දෙයක් ලේසියෙන් විසි කරන්නේ නෑ. :)) දෙයියනේ කියල ඒ ලෙඩේ නම් දැන් වැඩිපුරත් එක්ක සනීප වෙලා ප්ලාස්ටික් පොලිතින් ඇරෙන්න අනිත්වා අයින් කරනවා දුටු තැන. දැන් බයේ ඉන්නේ අවශ්‍යම දේවලුත් නොබලා විදිකරයිද කියල.. :))

    ReplyDelete
    Replies
    1. කමි, අපි එක පලේ!

      මට ඉඳුල් කට ගාවන වෙලේ පැදුරක අරවා-මේවා තියලා මාව එතනට යැව්වාලු. මං දුවලා ගිහින් බෝතලයක් බදා ගත්තලු. සේරම කිව්වලු 'රංජි ලොකු වුණාම හොඳ බේබද්දෙක් වෙයි' කියලා. බේබද්දෙක් නොවුනාට මාත් බෝතල් එකතු කළා. හිස් බෝතල්... පුංචි-විවිධ හැඩයෙ ඒවා. Samට කිව්වා වගේ S5 සංකල්පය ක්‍රියාත්මක කරන වෙලාවේ ඒ බෝතල් එකතුව අයින් කරලා දැම්මා. ඒත් මෝඩ තණ්හාවක තරම කියන්නේ, ලස්සන හිස් සෙන්ට් බෝතල් දෙක-තුනක් තවම අල්මාරියේ!

      Delete
  4. මට ඔය ලාවතී බඩු එක්කහුකරනවා වගේ බරපතල ලෙඩක් තියෙනවා පත්තර වලට. පොඩි කාලේ ඉදන් කියවපු හැම විජය පත්තරයක්ම තියෙනවා. අපේ එහා ගෙදර අය අනූ ගනන්වල ඉදන් එකතුකරපු විජය පත්තර තිබුනා. ඒවා විසිකරන්න යනකොට මම ඒවත් අරගත්තා. දැන් කියවන්නෙත් නෑ ඕවා. ඒත් එක්කහුකරනවා.

    ReplyDelete
    Replies
    1. මගේ ලඟත් විජය, විදුසර, ඉරිදා දිවයින එකතු තිබ්බා.... ඒත් ඒවා තියාගන්න ඉඩ නැති වුණාම paper කටින්ග්ස් වලට බැස්සා. දැන් නං ඒකත් නැති කරගෙන තියෙන්නේ මිතිල!

      Delete
  5. ලොක්ඩවුන් විස්තර කොටස නං, මම හොඳටම රසවින්ඳා.
    මෙහෙම අයත් මානසික ලෙඩ්ඩු නං හුටා තමයි��. එයා තමුන්ව හඳුන්වා ගන්නෙ Mr. Carlson කියලයි.

    Mr Carlson's Lab

    ReplyDelete
    Replies
    1. බස්සා මහත්තයෝ, යාන්තං මතකයි බණ පදයක්... අද වෙසක් පෝය දවසේ හින්දද මන්දා ඒක මතක් වුණා Carlson's Lab එක දැක්කාම.

      පදේ වැරදියි නං හෙම, පදේට උඩ ගියා කියලා අමතක කරන්න.
      'සබ්බේ සත්තා උන්මත්තකා.'

      Delete
  6. සමහර අය පිං එකතු කරන්නෙත් ඔය කියන කියන කෙනා වගේ ලෝබකමින් නෙවෙයිද. ලංකාවේ පංසලට එහෙම ගියොත් ඉන්නවා ඔය වගේ පැන පැන පිං කරන අය. එකම පින කියලා හිතන්නෙත් හාමුදුරුවන්ට දානෙ දෙන එකයි, වඳින එකයි.
    මම දැක්කා සබීතා පෙරෙරාගෙ මහත්තයා පාරෙ වැටිලා විනාඩි ගානක් උදව්වක් නැතුව ඉඳලා, ඒ 'මිනිස්සු' ගැවසෙන්නෙ නැති පාරක්ද. නැත්නම් ඈතට වෙලා හරි ඉඳලා ඇම්බියුලන්ස් එකකට කතා කරන්න මනුස්සකමක් කාටවත් නැතුවද. හැබැයි කොවිඩ් හොඳ වෙන්න කියලා පංසල්වල පිරිත් දාලලු.

    (නිමල් දෙපාරක්ම message කියනවා වෙනුවට massage කියලා ටයිප් කරලා නේද).

    ReplyDelete
    Replies
    1. මගේ වැරැද්ද පෙන්වා දීම ගැන ස්තුතියි Lotus, ඒක නිවැරදි කරන්නම්.

      සිරි ලංකාවේ සර්දාවන්ත පින්වත්තු පිං කරන හැටි ගැන මට කියන්න වුණා 'JVP නිමල්ගෙ දානෙත් එපා!' පෝස්ටුවෙන්. ( http://nidigepanchathanthare.blogspot.com/2020/06/jvp.html )

      ඔයා කියන සබීතාගේ සැමියාගේ පුවතත් මම දැක්කා.
      මේ පෝස්ටුවේම CIB ආයතනයේ තරුණයෙක් ගිනි නිවන හමුදාවට කතා කළ අවස්ථාව ගැනත්- ලද ප්‍රතිචාරය ගැනත්- එයාගේ මිතුරෙකු කී දේ ගැනත් මෙතෙක් කවුරුන්වත් වැඩි තැකීමක් කරලා නැහැ වගෙයි. ඒ ටික ලියලා ඉවර වුණාට පස්සෙත් මට හිතුණා, එදා අර හාදයා විහිළුවට කිව්වාවත්ද කියලා.
      මේ කිට්ටුවම වෙළෙඳ සලක් ගිනිගත් වෙලාවේ ගිනි නිවන හමුදාව ගෙන්වූ කෙනෙකුට කතා කරලා ඇහුවේ ඒ විත්තිය සනාථ කරගන්නයි. හරි.... වතුර බවුසරයකට 10,000/ක් ගෙවන්න වෙලා තියෙනවා.

      අනෙක Lotus, ලංකාවේ පාරක අනතුරකට පත් වුණු නාඳුනන කෙනෙකුව රෝහලකට ගෙන ගියොත්, ගෙන ගිය මනුස්සයට විඳින්න වෙන කරදර ගැන හිතා ගන්නවත් බෑ. හුඟ වෙලාවට ඒ මනුස්සයට සලකන්නේ අපරාදකාරයෙකුට වගේ. Call කළාමත් එහෙමද දන්නෙ නෑ!

      මේ සතියෙම අපේ වටේ සද්ද පූජා!
      කෝවිඩ් හොඳ නොවුනත් මොකෝ, කන් දෙකවත් බීරි වෙයිනෙ...

      Delete
    2. message වඩන හැදුවා. ස්තුතියි.... Lotus ඈතුළු සේරම පාඨක රසික-රසිකාවන්ට ඉතාම ගෞරවයෙන් ආරාධනා කරන්නේ 'මට වැරදුණු තැනක් තිබේ නං පෙන්වා දෙන්නට අමතක නොකරනු මැනවි' කියලාය.

      මා අනුගමනය කරන්නේ 'රාහුල පොඩි හාමුදුරුවන් වහන්සේගේ ප්‍රතිපත්තිය'යි!

      දෙතුන් වතාවක් ආපසු කියවා බැලුවත් මට මඟ හැරුණු වැරදි තැන් පසුව මටම හමුවී තිබෙන නිසා මෙසේ කීවෙමි.

      Delete
    3. බොහොම ස්තුතියි, නිමල්. දිගට ටයිප් කරද්දි කාටත් පොඩි පොඩි අතපසුවීම් වෙනවා.

      ඇම්බියුලන්ස් ගැන කියලා තියෙන කතාව වැදගත්. ඒ වුනාට හදිස්සියේ ලෙඩ වුනු කෙනෙක් අවධානයක් නැතිව ඔහොම වැටිලා ඉන්නවා කියන්නෙ, අනේ මන්දා. මිනිස්සුන්ගෙ හදවතේ ඇර අනිත් හැම තැනම 'බුද්ධාගම'
      ඉතිරී පැතිරී තියෙන රටක්.

      Delete
    4. kovid හැදිලා තියෙද්දී ඇවිද්දොත් සෙට් තමා ඉතින්

      Delete
  7. //මිනිස්සුන්ගෙ හදවතේ ඇර අනිත් හැම තැනම 'බුද්ධාගම'
    ඉතිරී පැතිරී තියෙන රටක්.//
    වෙන කියන්න දෙයක් නෑ Lotus.
    හැබැයි මස්කෙලියේ ජලාශයකට පැනල මැරෙන්න හැදුව දමිල තරුණිය බේරාගන්නට ගිහින් මරුට බිලිවුණු මුස්ලිම් තරුණයා වගේ 'ආගම්කාරයොත්' මේ රටේ ඉන්නවා!

    ReplyDelete
  8. අපේ එක්කෙනා ඔය hoarding එකේ අනිත් පැත්ත . ඕන දේවලුත් විසි කරනවා .ඉතින් අර ගැහැණු ළමය මොනවාද කලේ කියල ලියල නැහැනේ

    ReplyDelete
    Replies
    1. ඒවා ඔක්කොම කියන්න ගිහින් ඒ ගෑනු දරුවාව ගෙදරින් එළවයි අජිත් මහත්තයෝ.
      අනෙක හුඟ අයට ඕනි ප්‍රශ්න කියන්න විතරයි, සාධනීය විසඳුම් නෙවෙයි.

      Delete
  9. මාත් එකතු කරන්නේ පොත් තමා... මගේ ළඟ තියෙන පරණ දේවල් එක්කෝ විසි කරන නිසා හෝ කාට හරි දෙන හින්ද ගොඩක් දේවල් දැන් නැහැ... සමහර වෙලාවට ඒවා මතක් වෙනවා. එතකොට හිතෙනවා අපරාදේ පරිස්සම් කරලා තියා ගත්ත නම් කියල ...

    බෝතල් එකතු කරන වැඩේ ගැනත් මම මේ දවස් වල කම්පනා කර කර ඉන්නේ... මම බොන්නේ නැති හින්ද එච්චර අමාරු වෙන එකක් නැහැ හැබැයි ... හෙහ් හෙහ් ..

    ReplyDelete
    Replies
    1. අපි හැමෝටම එක එක ජාතියේ පිස්සු තියෙනවා නේන්නං පැතුම්!
      අදාළ නැති තැනකදී අහන්නේ.... කෝ ලියන ඒවා?

      Delete
    2. ලිවීමට ඇණයක් හිට ඇත. ඇණය බුරුල් වෙනකම් මේ තැන් තැන් වල ඇවිද ඇවිද ඉන්නේ ..හෙහ් හෙහ්

      Delete
    3. තැන තැන ඇවිදීම නුවණ පාදන ව්‍යායාමයක්... සන්‍යාසි අවදිය කිව්වේ ඒකටනෙ පැතුම්!

      Delete