අකුරු මැකී නෑ

Sunday, September 12, 2021

ටිකිරි මාමට මනාලියෙක්....

ඔය ලක්ෂ ගණනාවක් දැන් මන්තරේ වගේ ජප කරමින් ඉන්නේ අපිට වැරදුණාකියලා….

‘අපේ කොල්ලා ඉස්කෝලෙ යන කාලේ ක්‍රීඩාවට නැඹුරු වෙලා හිටියේ. එයා මළල ක්‍රීඩා, ක්‍රිකට්, ශිෂ්‍ය භට, රයිෆල් වෙඩි තැබීම වගේ බොහෝ ඉසව්වලට සහභාගී උනා. ඒ කාලේ පාසලේ ක්‍රීඩා ගුරුවරයාව හිටියේ ටිකිරි සර්! එයාගේ නම ටිකිරි බංඩා හෝ ටිකිරි බණ්ඩාර විය යුතුයි. ඒත් අපි හැමෝම එයාට කිව්වේ "ටිකිරි සර්!" කියලා.

ටිකිරි සර් අහිංසක මනුස්සයා. එයා කාගෙවත්...’

තට්ටයාගේ කොලම කියවන කෙනෙකුට නං දැනටමත් විචිකිච්ඡාවක් ඇති වෙලා තියෙන්ඩ ඕනෑ. පුදුමයක්යැ! තට්ටයාගේ කොලමේ 206. මා වෙතින් අල වූ ව්‍යාපෘථියක් (2)’ ලිපියෙන් තමයි මේ post එකේ මුල් හරිය උපුටා ගත්තේ.

එහෙම ගත්තේ, ටිකිරි මාමා ගැන විස්තර ඇතිව ලියන්න හිතුණේත් ඒ පෝස්ටුව කියවනකොට නිසයි. 2020 ජනවාරි මාසේ මං ලියපු post එකක එකම-එක වාක්කියකින් විතරක් මේ ගැන යන්තමින් ලියවුණා.... කමක් නෑ, අද කියවමුකො විස්තර එක්කම! 

අපේ ටිකිරි මාමාටත් බණ්ඩාර කෑල්ල තිබුණද කොහෙද. හැබැයි, මේ දෙන්නා එක්කෙනාම නං නෙවෙයි.

ටිකිරි මාමා කෙට්ටුයි, උසයි, සුදුයි. මූණ දිගටියි. හැබැයි, මුහුණ පුරාම කුරුලෑ පිරිල.
එයා සුදු හින්දාද මන්දා, අර කුරුලෑ රතට-රතේ කැපිලා පෙනුණා. දන්නවනේ, ඔය කිව්වේ ටිකිරි මාමා ගැන මට මතක හරිය. ම් ම් ම්... දැනුයි මතකෙට එන්නෙ, එයා ඇන්දෙ සුදුම සුදු පාට කලිසං කමිස. මං හිතන්නේ එයාලට අඳින්න වෙච්චි යුනිෆෝම් එක වෙන්ඩ ඇති ඒ.

ටක්කෙටම දන්නවා වගේ කියාගෙන ගියාට, මං වැරදියි වෙන්නත් ඇහැකියි, හොඳේ. තනි මට වැරදුණාම මොකෝ, ඔය ලක්ෂ ගණනාවක් දැන් මන්තරේ වගේ ජප කරමින් ඉන්නේ ‘අපිට වැරදුණා’ කියලා. එහෙම කියන්නේ හිච්චෝ නෙවෙයි; දහඅට පිරිලා පරමෝත්තම ඡන්දදායක අයිතිය හිමි වෙච්චි වැඩිහිටි උදවිය.

අපේ තාත්තා කෝච්චියේ එන්ජිමේ යෝධ ළිපට ගල් අඟුරු සවල් කරන රාජකාරිය කරමින්....

ඉතිං මේ කියන කාලේ මං පැටියා; අකලට මෝරපු!

ටිකිරි මාමා අපේ ගෙදරට ඉස්සෙල්ලම ආව කාලේ, අපි හිටියේ බදුල්ලේ, රේල්වේ ක්වාටර්ස්වල. තාත්තා එයාගේ පළමුවෙනි රස්සාව- ‘ගිනි භටයා’ තනතුර ලැබිලා, බදුල්ලේම බින්න බැහැලා හිටි කාලේ; දරු කැලතක් ජාතක කිරීමේ උත්තම project එක ආරම්භ කරලා තිබුණු කාලේ.

අපේ නංගිලා මල්ලිලාගෙන් එතකොට ඉපදිලා හිටියේ සුනිලුයි, නෝනයි, අනිලුයි විතරයි. මාත්තෙක්කම හතරයි!

රේල්ලුවේ රස්සාවට අමතරව කිරි හරක් හැදිල්ලයි, රත්තරං බඩු උගසට තියාගෙන සල්ලි පොලියට දීමයි, බූරුවා ගැහිල්ලයි හෙමත් අපේ තාත්තා කළා. ඔව්වා විඩෙන්-විඩේ මගේ postsවල ලියල තියෙන කාරණා. මං හිතන්නේ, ඒ දවස්වල රේල්ලුවේම වැඩ කරන තනිකඩයන් කිහිප දෙනෙකුටම අපේ ගෙදරින් කෑමත් දුන්නද කොහෙදයි. 

ටිකිරි මාමාත් නිතර නිතරම අපේ ගෙදරින් කෑම කන්න ආවා.
එතකොට අපේ තාත්තාගේ හොඳම යාළුවන් විදිහට
මං දැක්කේ අල්විස් මාමයි, පිච්චෙ මාමයි, ටිකිරි මාමයි තමා.  

අපේ තාත්තා කෝච්චියේ එන්ජිමේ යෝධ ළිපට ගල් අඟුරු සවල් කරන රාජකාරිය කරමින්, කෝච්චියේ ඉස්සරහම එන්ජිමේ යද්දී, ටිකිරි මාමා ගියේ අන්තිම පෙට්ටියේ. ඒ එයාගේ රාජකාරිය කරමින්. ගාඩ්!
එකම දුම්රියේ කොන් දෙකක හිටිය දෙන්නෙකුගේ යාළුකමක්!!

ඔන්න බොලේ, නාරිලතාව මතක් වුණා ඒක ලියනකොටම. තාත්තගෙයි- ටිකිරි මාමාගෙයි යාළුකම වගේ එකක් ‘නාරිලතා’ film එකෙත් තිබ්බා. හැබැයි ඒකෙ යාළුවො දෙන්නා කෝච්චි ඩ්රයිවරුයි, ගාඩුයි. ජෝ අබේවික්‍රම, ටෝනි රණසිංහ, කිත්සිරි පෙරේරා, අනුලා කරුණාතිලක, සන්ධ්‍යා කුමාරි එහෙම තමයි ඒකෙ act කළේ. තිස්ස ලියනසූරිය අධ්‍යක්ෂණය කළ ඒ ෆිලුම ආවේ 1969 අවුරුද්දේ.

අපි බදුල්ලට බායි කියලා මහරගමට ආවාට පස්සේ හිටියේ පමුණුවේ සිල්ලප්පු වත්තේ. වත්තක් කිව්වාට ගෙවල් මණ්ඩියක් නෙවෙයි, ගෙවල් දෙකයි. එකක සිල්ලප්පු ගොයියලා. (අපේ ආච්චී එහෙමයි කිව්වේ.) අනෙකේ අපි. අපි හිටිය කොටස අයිති වෙලා තිබුණේ එළිසා ආච්චිට. සිල්ලප්පු ආතලාට ඒ ගෙයයි, ඉඩම් කොටසයි අයිති වුණේ දෑවැද්දට. සිල්ලප්පු ආතා මුලින්ම කසාද බැඳලා තිබුණේ එළිසා ආච්චිගේ එකම දූ. එයා අකාලේම මැරිලා.

ඔහොම ආව වෙලාවක තමා එළිසා ආච්චිට.. (එළිසාච්චීත් සිරියාවන්තය; නිවිලාය.)

එළිසා ආච්චිල පවුලේ දරුවෝ තුන් දෙනයි. ගෑනු දෙන්නයි, එක පිරිමියයි- පිරිමියා චලෝ සිඤ්ඤෝ. පමුණුවේ එක්සත් සුභසාධක මාවතේ ඉඩකඩම්වලින් 75%ක් විතරම අයිති වෙලා තිබුණේ එයාලගෙ කට්ටියටයි!

තව ඉසව්වක ඉඩමුත්....ඒ ඉසව්වේ නම නොලියන්නේ ඒ පැත්තේම ඉන්න කෙනෙකු අද කතන්දරේ ප්‍රධාන චරිතයක් වෙන නිසයි.

ඉතිං, මහරගමට ආවයි කියලා තාත්තලාගේ- ටිකිරි මාමලාගේ යාළුකම් අඩු වුණේ නෑ. ගොඩ දවස්වල රෑ 9.30ට දෙමළ show එකක් බලන්න යද්දී මාවත් එක්කං ගිය පිච්චෙ මාමා නම් ආවේ නැතත්, අල්විස්- ටිකිරි මාමල දෙනාම සැරෙන්-සැරේ මහරගමට ආවා.

එහෙම ආවේ එයාලට අයිති pass එකෙන් වැඩක් ගන්නත් එක්කලා.

ඔහොම ආව වෙලාවක තමා එළිසා ආච්චිට ටිකිරි මාමාව මුලිච්චි වුණේ. එළිසා ආච්චී ඉඳහිට වෙලාවක අපේ ආච්චිව හම්බ වෙන්න ආවේ සල්ලි ටිකක් අර ගන්න. අපේ ආච්චී එළිසාච්චිට අයිති පර්චස් 34 රුපියල් හය දාහට අරගෙන තිබුණේ ‘හීන් සීරුවේ ටික-ටික දෙන්නං කාසි’වලට. 
මඤ්ඤොක්කා බැදලා විකුණමින් කීය-කීය හරි ඉතිරි කරපු අපේ ආච්චී, ඒ ඉතිරි කොරපු සොච්චම එළිසාච්චිට දුන්නේ අරහෙම ආව වෙලාවටයි.

“ගුණේ...” එදා හැන්දෑවේ අපේ ආච්චී අපේ තාත්තාට කතා කරනකොට මාත් හිටියේ ඒ ළඟ. හිතාමතා නෙවෙයි එහෙම උන්නෙ. එකම එක කෑල්ලක් තිබුණු වරිච්චි ගෙදර ඇතුළේ මිස එළියෙ ඉන්නයැ කරුවල වැටුණාට පස්සේ...
“ඈ බං ගුණේ... ටිකිරි පුතා තවම පිළිවෙලක් වෙලා නැද්ද බං?”

“ඔහෙ නෑ අම්මේ. මිනිහා ලජ්ජාකාරයනේ....” තාත්තා කිව්වා.

“එහෙනං වැඩක් තියෙනවා උඹට කරන්න....
අද දවල් එළිසාහාමි ආවා මතකයිද ටිකිරි පුතා ඉන්න වෙලාවේ. ඒ මනුස්සයා එවෙලෙ ටිකිරි කවුද- කින්ද- මන්ද සේරෝම විස්තර හාර-හාරා මගෙන් ඇහුවා...”

යකෝ, උඹට එංගලන්තෙ ඉන්න තිරිසනුන්ගේ පැටිකිරිය ඔක්කොම මතකයි!

“ඒ මොකටද?” තාත්තා ඇහුවේ ඔරොප්පු මූඩ් එකකින්.

“ඇයි යකෝ, ඒ ගෑනි නරකක් කරන්න ඇහැව්වේ නෑ... මේ දවස්වල පත්මාවතීට මඟුල් හොයනවලු. එළිසාහාමිට ටිකිරිව හිතට අල්ලලා. ඒකයි වංහුං ඇහුවේ!” ආච්චී කිව්වා. එතකොට නං මගෙත් කන තිබුණේ එතැනය.

“කව්ද පත්මාවතී?”

උත්තර බඳින්නට මගෙත් කට කොකියව්වේ එතකොටය. පත්මාවතී කියන්නේ චලෝ සීයාගේ එකම දෝණියන්දෑටය. තාත්තාට ඒකවත් මතක නැති හැටි.

“යකෝ, උඹට එංගලන්තෙ ඉන්න තිරිසනුන්ගේ පැටිකිරිය ඔක්කොම මතකයි. ගමේ ඉන්න චලෝ සිඤ්ඤෝගෙ දුව පත්මාවතීව මතක නෑ. කොහෙද... තොට කෙළෙහි ගුණයක් කියන එකක් ගෑවිලාවත් තියෙන එකක්යැ... රංජියො, උඹවත් මේ තාත්තණ්ඩිට කියලා දීපංකො උඹට ඉංග්‍රීසි වචනයක්- දෙකක් හරි කියල දෙන්නෙ කවුද කියලා.”

ඒ දවස්වල පත්මක්කා මට ඉංග්‍රීසි ටිකක් කියා දෙමින් හිටියාය. සල්ලිවලට නොවේ.
එවෙලේ අපේ ආච්චීගේ ඉල්ලීම සපුරාලමින් මට ඒ අටුවාව කියන්නට ඉඩක් ලැබුණේ නැත.
“ආාාාා දැන් මතක් වුණා. අම්මත් නිකං ඔළුව වටේ අත යවලා කන අල්ලන්නනේ හදන්නේ. මසුරු සිටාණන්ගේ දුව නේද පත්මාවතී...” තාත්තා ඇසුවේය.

“... අපෝ, අපෝ. මේ යකාට බඩ ගින්නේ මැරෙන්නයි වෙන්නේ ඒ මඟුලට කර ගැහුවොත්!” අපේ තාත්තා කියපි. එයා තමයි අපටත් ඉගැන්නුවේ ඇත්ත කියන්නයි, බිම ඉඳ ගන්නයි බය වෙන්ඩ එපා කියලත්. ඒ වෙලාවෙත් තාත්තා කිව්වේ නීරස ඇත්තක්. ඒත් අපේ ආච්චිට ඒ කතාව දිරෙව්වේ නෑ!

“නොදකිං විතරක්. සුබ කටයුත්තක් ගැන කියනකොටම උඹේ වලත්ත කටෙන් අලුගුත්තේරු කතාවක් කිව්වා! යකෝ ගුණේ, ටිකිරි පුතාට ඒ මංගල්ලේ හරි ගියොත් රේල්ලුවේ රස්සාව කරන්ඩ ඕනි නෑ. ගෙදරට වෙලා රජා වගේ කකා-බිබී ඉන්න පුළුවන්...
ලොකු දෑවැද්දකුත් එක්කනේ ඒ ළමයව දෙනවයි කියන්නේ.... දෑවැද්දක් නැතත් මොකද බං... තනි දරුවනේ, එළිසාහාමිගේ තව තියෙන දේකුත් පත්මාවතීටම නෙව. ඒ පවුල් දෙකටම ඉන්න එකම කෙල්ල...”

ඔය සීයට එකේ දෙකේ එව්වා අරගෙනමනේ උඹ බදුල්ලේදීත් කරපු තරමක් මඟුල් කරලා දුන්නේ...

ඒ වංගියේ අපේ තාත්තාගේ කටහඬේ තිබුණු සමච්චලේ නැතිව ගිහිල්ලාය.

“දෑවැද්ද කීයක් විතර දෙනවලුද අම්මේ?”
“මම ඔව්වා අහන්න ගියෙ නෑ බං. කීයක් දුන්නත් අපට මොකෝ?”

“ඔන්න ඕකනේ අම්මලට කවදාවත් හරි යන්නේ නැත්තේ. අම්ම දන්නවද, අද කාලේ කපුවෙකුට දෑවැද්දෙන් සීයට එකක්-දෙකක් හම්බ වෙනවලු... ලක්ෂයක් විතර දුන්නත් සීයට එකක් නං.....” තාත්තාට ගණන් හදා ගන්නට බැරි වුණේ අපේ ආච්චී කඩාගෙන පැන්න හින්දාය.

“අපොයි ඔව්! ඔය සීයට එකේ දෙකේ එව්වා අරගෙනමනේ උඹ බදුල්ලේදීත් කරපු තරමක් මඟුල් කරලා දුන්නේ... මේ පොඩි එවුන් ඉස්සරහ නොවෙන්නං මම උඹට මතක් කරලා දෙනවා!
නැතත් කොහෙද යකෝ, උඹ ඔහොම හම්බ කරපු සල්ලි? මේ රංජියා පාරට බස්සලා හම්බ කරන එකින් කකා ඉන්නවා මදිවට, ඒකෙන්
රේසුත් දාන කාලකණ්ණියා. 

අපේ ආච්චීට යක්ෂාවේශ වුණු වෙලාවට සීයා වුණත් දෙපාරක් නොහිතා පසු බහින්නටය පුරුදුවී හිටියේ. නොදරුවා කාලේ සිටම ඒ විත්තිය දැකලා තිබුණු නිසාදෝ ඒ වෙලාවේ අපේ තාත්තාත් සද්ද වහගෙන පසු බැස්සේය.

“අද හෙටම වෙලාවක චලෝ සීයා මෙහාට එයිනෙ අර පොල් ලෙලි ටික ගෙනියන්න. ඒ එනකොට මම හන්දියට ගිහිල්ලා හිටියොත් මං එනකල් ඒ මනුස්සයව නවත්ත ගන්නවා.” පසුවදා උදෙන්ම තාත්තා අපේ අම්මාට කිව්වේය.

හති-මුනින් දම-දමා දහදියෙන් නෑවි-නෑවී ඒවා අපේ වත්තට උස්සාගෙන විත් එයාම එව්වා ලෙලි ගහයි.

චලෝ සීයාට අයිති ඉඩමකුත් අපේ ගෙවල් ළඟ තිබුණේය. ඒ වත්තේ පොල් ගස්වලින් පොල් කඩවන ඒ මනුස්සයා, බිරියත් එක්ක හති-මුනින් දම-දමා දහදියෙන් නෑවි-නෑවී ඒවා අපේ වත්තට උස්සාගෙන එයි. ඊට පස්සේ එයාම එව්වා ලෙලි ගහයි.

“කුණු පෙරේතයා! මිනිහටම හරි ගිය ගෑනි. දෙන්නත් එක්ක ඔය ගෙනිච්චේ, ඉතිරි පොල් ගෙඩි මෙච්චරය කියලා මටත් කියලයි. අන්න හැදෙන හැටි! දෙන්නත් එක්ක දෙතුන් පාරකට හරි පොල් ටික ඔළුවෙන්ම අදිනවා. කුලිය ඉතිරි කර ගන්න.”
චලෝ සීයලාගේ පොල් මෙහෙයුමේ පළමු අදියර අවසානයේ, ඒ දෙන්නා
කොටුවේ ආච්චිගේ ඕවිටෙන් නියරට මාරු වෙනවාත් එක්කම අපේ ආච්චී කියයි. 

“ඔන්න ගුණේ දැන්මම කිව්වා. හෙට අනිද්දාම පොල් ලෙලි ටිකත් ගෙනියන්න එනවයි කිව්වා. ඒවත් ගැණ-ගැණ අඩුක් කරලා තියලයි ගියේ. ඒ හරියේ පොල් ගෙඩි තුනක ලෙලි සතේට විකුණන්න ඇහැකිලු.... ලීලා... උඹත් පරෙස්සමින්, උඹවත් මේ පොඩි එවුන්වත් දරට තියා සෙල්ලමකට හරි එක පොල් ලෙල්ලක්වත් අල්ලනවා නෙවෙයි ඕං!”
අපේ ආච්චී ඒ සුපුරුදු අණාඥාව නිකුත් කොට තිබුණේ ඊට දවස් දෙකකට විතර කලින්ය.

තාත්තා ඒක සිහියේ තියාගෙන ඉඳලාය.

චලෝ සීයා පොල් ලෙලි ගෙනියන්නට ආවේ අපේ තාත්තා ගෙදර ඉන්නා වෙලාවකමය. ඒ දෙන්නා බර වෙලාවක් කතා කරමින් සිටියෝය.
‘අපේ ගෙදරදී ලොකු අය කතාබහ කරන වෙලාවක ඒවාට කන් දීම කළ යුත්තේ හොරෙන්මය. අහු වුණොත් දැඩි දඬුවම්ය.’ එහෙම වුණත් හැකි හැම විටෙකම අපි ඒ නීති බින්දෙමු. නමුදු වෙන දවසක වගේ ඒ වැරැද්ද කර ගන්නට එදා අපට බැරි විණි.

මඟුල කෙරෙනවා නම් උඹටත් හොඳයි, එයාලටත් හොඳයි, මටත් හොඳයි. දෑවැද්ද ලක්ස දෙකක්. මගේ කොමිස් එක....

එයින් පාඩුවක් නොවුණේ එදා රාත්‍රියේම අපේ තාත්තා කියවන විට, ලිපියක් පිටපත් කිරීම මට පැවරුණු නිසාය. 

“මචං ටිකිරි,
උඹට කොහොමද? අපි නම් සැපෙන්ය. ළඟදීම දවසක ඇවිත් පලයන්. උඹට කටයුත්තක් කතා කරන්නයි යන්නේ. පෝසත් තැනකින්. කෙල්ල හරිම ගුණ-යහපත්. ඉංග්‍රීසිත් දන්නවා- අපේ රංජියටත් කියල දෙනවා ටික-ටික. මඟුල කෙරෙනවා නම් උඹටත් හොඳයි, එයාලටත් හොඳයි, මටත් හොඳයි. දෑවැද්ද ලක්ස දෙකක්. මගේ කොමිස් එක එයාල දෙනවලු. සීයට දෙක ගානේ....”

වැනි කෙටි ලිපියකි මට ලියලා දෙන්නට වුණේ.
ලිපිය ලැබිලා දවස් දෙක තුනකට පස්සේ වෙන්නැති, ටිකිරි මාමා අපේ ගෙදර ඇවිත් ගියේය. ළඟ-ළඟම සිදු වුණු ඒ ගමන්වලින් පෙනුණේ ‘මංගල යෝජනාව’ට ටිකිරි මාමාගේත් කැමැත්තක් තිබුණු බවයි.

“ඔන්න මචං, එහෙට ගියාට පස්සේ බලපං- ඒ ගෙදර සාලේ වහල උඩින් දාලා තියෙන තඩි වීදුරු කෑලි දෙක තුන!” මනාලිය බලන්නට යන දවසට කලින් දවසේ රෑ, ටිකිරි මාමා අපේ ගෙදර ආවාම තාත්තා කිව්වේය.

“ලයිට් නැති කාලේ හදපු ගෙවල් එහෙම තමයි ගුණපාල අයියේ, බංගසාල ගෙවල්වල වහලේ තැනින් තැනට වීදුරු දානවා. එතකොට දවල් කාලේදී ගේ ඇතුළට එළිය වැටෙනවලුනේ.” ටිකිරි මාමා අපේ තාත්තාට එහෙම උත්තරයකත් දුන්නේය.

“කෙහෙල්මල් එළියක් නෙවෙයි මචං. උඹේ අනාගත මාමණ්ඩියා පෙට්ටගම්වල ගොඩ ගහල එකතු කරගෙන ඉන්න සල්ලි නෝට්ටු වේළනවලු මහ දවල්ට. ඒ තරමට පුස් කන්න සල්ලියක්ලු මචං උන්දැට තියෙන්නේ... මඟුල කෙරුණොත් නං පුතෝ...”

1970 මැයි 29 දින අග්‍රාණ්ඩුකාර විලියම් ගොපල්ලව මහතා ඉදිරියේදී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය අග්‍රාමාත්‍යවරිය ලෙස දිවුරුම් දුන් අතර, ‍රටේ වාමාංශික ව්‍යාපාරයේ පුරෝගාමියකු වූ....

“බොරු වෙන්නැති ගුණපාලයියේ, කවුද ඔහොම පොදි ගහගෙන ඉන්න සල්ලි මිනිස්සුන්ට පේන්න වේළන්නෙ.” ටිකිරි මාමා විරුද්ධ වුණේය.

“කවුද මිනිහෝ මිනිස්සුන්ට පේන්න ඒවා කරනවය කියන්නේ..... xxxxx මිනිස්සු කියන්නේ. හොඳට ඉර පායන දවස්වල ඒ ගෙදර දොර ජනෙල් සේරම වහගෙන මුළු පවුලම ගේ ඇතුළේලු!” තාත්තා තර්ක කළේය.

ඔය සල්ලි නෝට්ටු වේළන කතාව මා ඇසුවේ ඒ ගෙදර පිළිබඳව විතරය.
ටිකිරි මාමාට මංගල යෝජනාව ගෙනාව අලුතම හෝ, ඊට ආසන්න පසු කාලයක හෝ ඒ නෝට්ටු වියළීමේ කතාව සවිස්තරාත්මකව අපේ ගෘහස්ත පාර්ලිමේන්තුවේදී සාකච්ඡාවට බඳුන් වුණේය.

ඒ 1970 ඔක්තෝබර් 25 වෙනිදා ඉතිහාසගත දෙයක් සිදු වුණු නිසාය. (ඒ අනුව මේ මංගල කතාන්දරය සිදු වෙන්නට ඇත්තේ 1970 දී බව නිච්චියටම කියන්නෙමි.)

එතකොට මට දාසයකි.
මා ‘
මඩ ගොහොරුවේ පච වුණේ ත් 70 මහ මැතිවරණයේදීය.

යටකී සිදු වීම සවිස්තරාත්මකව බණ්ඩාරගම සමරසේන මුදලිගේ මහතා ලියා තිබෙනවා දැක්කේ පැරැණි මුදල් නෝට්ටු අවලංගු කෙරුණු වකවනුව සොයද්දීය. මෙතනට යොදන්නේ එතුමාගේ ලිපියෙන් ගත් අදාළ කොටස පමණකි. 

‘ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ලංකා සමසමාජ පක්ෂය හා කොමියුනිස්ට් පක්ෂය 1968 ජූනි 05 වන දින සභාග රජයක් පිහිටුවීමට ඇතිකර ගන්නා ලද සංයුතිය අනුව 1970 මැයි 27 වන දින පැවැති මහ මැතිවරණයෙන් විශිෂ්ට ජයක් අත්පත් කර ගන්නේ තුනෙන් දෙකක බලයක් ද සමඟිනි. ආසන 151න් එකසිය දහසයක් සභාග ආණ්ඩුවට හිමි වූ අතර 1970 මැයි 29 දින අග්‍රාණ්ඩුකාර විලියම් ගොපල්ලව මහතා ඉදිරියේදී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය අග්‍රාමාත්‍යවරිය ලෙස දිවුරුම් දුන් අතර, ‍රටේ වාමාංශික ව්‍යාපාරයේ පුරෝගාමියකු වූ ආර්ථික විද්‍යාව සඳහා ආචාර්ය පදවි දෙකක් (ඩබල් ඩොක්ටර්) හිමි වූ ලංකා සමසමාජ පක්ෂයේ නායක ආචාර්ය එන්. එම්. පෙරේරා මුදල් ඇමැතිවරයා ලෙස අගමැතිනිය ඉදිරියේ දිවුරුම් දුන්නේය.

වැදගත්ම යෝජනාව වූයේ සංසරණයේ පවතින රුපියල් 50/- හා 100/- නෝට්ටු (එවකට ඉහළම මුදල් නෝට්ටු දෙක) අවලංගු කිරීමේ...

මෙරට ව්‍යාපාරික ලෝකය සසල කරමින් පීඩිත ජනතාවගේ අපේක්ෂාවන් උද්දීපනය කිරීමට මෙම පත්වීම හේතු විය. හත්වන පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය 1970 ජුනි 14 දින උත්සවාකාරයෙන් ඇරඹුණ අතර, ප්‍රථම අයවැය ලේඛනය මුදල් ඇමැතිවරයා ඉදිරිපත් කරනු ලැබුවේ 1970 ඔක්තෝබර් 25 වන දිනදීය.

කම්කරු නායකයකු ලෙස ඇන්. ඇම්. පෙරේරා වෘත්තීය සමිති ඒකාබද්ධ පෙරමුණේ ඉල්ලීම් 21 ලබාගැන්මට අනවරත අරගලයක යෙදී සිටි පුද්ගලයකු නිසාත් ඒ වෙනුවෙන් පිකටින්, පෙළපාලි, වර්ජන රැල්ලකට නායකත්වය දුන් අයකු නිසාත් ඇන්. ඇම්. ගේ පළමු අයවැයට කාගේත් නෙත් සිත් යොමුවිය.

නමුත් අයවැය ඉදිරිපත් කළ පසු බාහිරින් පෙනුණු වැදගත්ම යෝජනාව වූයේ සංසරණයේ පවතින රුපියල් 50/- හා 100/- නෝට්ටු (එවකට ඉහළම මුදල් නෝට්ටු දෙක) අවලංගු කිරීමේ යෝජනාව පමණි. ඉල්ලීම් 21 ලබාදීම පිළිබඳව කිසිදු සඳහනක් නොවීය.’

ඉතිං 1970 දවසක අපේ තාත්තාත්, අම්මාත්, ටිකිරි මාමාත් xxxxx පත්මාවතී අක්කලාගේ ගෙදරට සුබ ගමනක් ගියෝය.
එදා දිවා භෝජනයටය, මේ කට්ටියට ඇරයුම් කොට තිබ්බේ. අපේ ආච්චීටවත් සීයාටවත් ආරාධනයක් කෙරිලා නොතිබීම ගැන ආච්චී වගපල කිව්වේ තාත්තලා පිටත් වුණාට පස්සෙය.

“අනේ එළිසාහාමියි අර කෙල්ලයි නං කියන්න ඇති, අඩුම ගණනේ මඤ්ඤොක්කා ආච්චිටවත් කියමු කියලා. උන්ගේ ඉලව් කන්න නෙවෙයි පුතේ. අපටත් නම්බු දෙන්න එපැයි.
මමනේ ඔය කතාව ගුණේගේ කනට දැම්මේ. එකත් එකටම අර අදින්න පුබ්බකයා තමයි විරුද්ධ වෙන්න ඇත්තේ.
උන් දීලා කාලා පුරුදු අය නෙවෙයිනේ...”
ආච්චී කියද්දී, ඒ කතාවට හූමිටි තියමින් කියන්නට ගැළපෙන උත්තරයක් මගේ හිතට ආවේ නැත.

පත්මාවතී අක්කාට ටිකිරි මාමාව හිතට අල්ලලා තිබුණු බව නං....

ඉතිං අපේ ආච්චී නොඉවසිල්ලෙන් බලාගෙන හිටියේ තාත්තලා ආපහු එනකල්ය.

ටිකිරි මාමා ආපසු යන තුරුමත් කෙළින් උත්තරයක් නොදුන් බවය, පස්සේ තාත්තා අපේ ආච්චිට වාර්තා කළේ.
“පනහට පනහ වගේ තමයි මට පෙනුණේ! ගිහිල්ලා උත්තරයක් එවන්නං කිව්වා....ඌත් ලජ්ජාකාරය හින්දද දන්නෑ. මාත් බල කරන්න ගියේ නෑ අම්මේ. යාළුවා වුණත් ඌ හිතයිනේ මාත් කොමිස් එකට තණ්හාවේ ඉන්නෙ කියලා....”

“අපොයි මම නොදන්න තණ්හා නැති මිනිහා!” කියලාය ආච්චී එදා ඒ කතාවට තිත තිබ්බේ.

පත්මාවතී අක්කාට ටිකිරි මාමාව හිතට අල්ලලා තිබුණු බව නං මටත් තේරුණේය. ඒ දිවැසින් පෙනිලා; දැනිලා නොවේ! හැබැහින්මය!!

ඊට දවස් දෙක තුනකට පස්සේ ඉංග්‍රීසි පන්තියට ගියාම පත්මක්කා මට හින්නිකිතර කේක් කෑල්ලකින් සංග්‍රහ කළාය. “මට අර මාමා ආව වෙලාවේ රංජිවත් මතක් වෙලා ඔයාගේ පංගුව අරන් තිබ්බා.... ඉන්න, මම තේ ටිකකුත්....” පත්මක්කා කිව්වේ වෙනදා නැති කෝලකමකින් රතු වීගෙනය.

“එපා! එපා!! පත්මක්කේ, තේ එපා...”
මං එහෙම කිව්වාම පත්මක්කා එතැනම තිබුණු පුටුවෙන් වාඩි වුණාය. “ඒ මාමා හරි හොඳ පාටයි නේද? එනකොට ඔයාලට තෑගිත් ගෙනාවා ඇතිනේ.... ඒ මාමා එදාම ආපහු ගියාද? ඔයාලගේ තාත්තා නං කිව්වා ලියුමක් එවනවයි කියාපු විත්තියක්....” එයාගේ tone එකෙන්ය මං පත්මක්කාගේ මනාපය දැන ගත්තේ.

ඒත් ටිකිරි මාමාගේ ලියුම ඇවිත් තිබ්බේ ‘එයා මනාප නැති විත්තිය’ කියමිනි.

“චෙඃ විතරක්... ඌට එදාම තේරිලා මුං ගූ පුච්චගෙන කන කුම්මැහියෝ කියලා.” තාත්තා ලිපිය කියවලා නහයෙන් ඇඬුවේය.
“මොකද බං.... මොනවද ටිකිරි පුතා කියලා තියෙන්නේ?”

එහෙ බින්න බහින්නත් කියන එකේ මඟුලට කැමති වුණොත්....

“මේකා කියල එවනකල් මටත් එච්චර නිච්චියක් වුණේ නෑ අම්මේ. 
එදා අපි එහාට ගියාම කේක් තසිමක් අල්ලලා, බොන්න දුන්නේ තැඹිලි. ඒ මදිවට මිදුලේ ගහක තැඹිලිය කියලා ඔජ වැඩුවා. දන්නවද.... දවල් කෑම මේසෙට අම්මාවත් මෙච්චර කාලෙකට උයලා නැති ජාතියක් තිබුණා. මෙලෝ රහක් තිබ්බේ නෑ. අර මසුරු සිටාණෝම කියපි ඒ තැඹිලි කහකඩ මාළුවක්ය කියලා.... ඒක තමයි ලොකුම දීසියක දාලා තිබ්බෙත්....” තාත්තා කියාගෙන යද්දී අපේ ආච්චී ඔළුවේ අත ගසා ගත්තාය.

“.... එහෙමත් කිව්වද?”
“ඒක නේන්නං අම්මේ.... ඒ මදිවට ඒ ගොන් වාහෙ කිව්වනේ -කවදාවත් අපි තැඹිලි බීලා කෝම්බෙ වීසි කරන්නේ නෑ. එදාට කහකඩ මාළුවක් හදනවාමයි- කියලත්!” තාත්තා කියාගෙන ගියේය.

“...ටිකිරියා ලියල තියෙනවා, එහෙ බින්න බහින්නත් කියන එකේ මඟුලට කැමති වුණොත් බඩගින්නේ තමයි ඉන්න වෙන්නේ කියලා!”

*පසු කතාව-

පත්මක්කාගේ ඉංග්‍රීසි පන්තිය එතැනින්ම නිමා කෙරිණි.
මා අද වෙනතුරුවත් කහකඩ මාළුවක රස බලා නැත.
ටිකිරි මාමා කසාදයක් කර ගත්තාද කියලා මං දන්නේ නැත.

ඊට අවුරුදු ගණනාවකට පස්සේ පත්මක්කා නම්, ටිකිරි මාමාට වඩා ගොඩාරියක් වයස කෙනකු හා සරණ ගියාය. ව්‍යාපාරිකයෙකියි කියාගත් ඒ මනුස්සයා ‘තියෙන දේපල පැටව් ගස්සන්නට’ය කියා- පත්මක්කලාට අයත්ව තිබුණු, හයිලෙවල් පාර අද්දර ඉඩම් මණ්ඩියක වෙළෙඳ සල් කීපයක් ඉදිකොට එකක් හැර අනෙක් ඒවාත්, චලෝ සීයාගේ ඉඩම් ගොඩකුත් විකුණා දැම්මේය.
අන්තිමටය හෙළිදරව් වුණේ, ඔහු සූදු අන්තුවෙකි!

එදා කහකඩ ව්‍යංජනයක් නොහැදුණා නම් ජීවිත කීයක ගමන වෙනස් වන්නට තිබුණාදැයි මම තවමත් සිතමින් හිඳිමි෴ 

85 comments:

  1. බොහොම අගෙයි. එක හුස්මට කියෙව්වා. හීනෙන් ඇවිදගෙන ආපු නිසා දැන්ම වැඩිය මුකුත් ලියන්න බෑ. ආයෙ එන්නම්.

    ReplyDelete
    Replies
    1. මිස්ටර් තට්ස් ලියල බස්තුමා හීනෙන් වංගු ගන්න එක ගැන

      Delete
    2. මාත් ආයෙ එන්න හිතුව.

      Delete
    3. හීනෙන්ම ගිහින් බලල, වංගුවක් අරගෙන ලිස්සලා ආවා.😊

      Delete
    4. හීන දකින්න යන්න කලින් වෙලාව හම්බ වුණා මේ පැත්තට ඇවිත් බලන්න. කියල එවන්නකො හීනෙන් වංගු ගන්න විදියත්...
      වෙලාවා try කරන බැරිය..

      Delete
    5. එවුන්දැ හීනෙං වංගු ගන්නෙ නාන ළිං ගාව තියෙන වංගු...

      Delete
    6. මේ බකුසුමොටෝ, තෝ මේකෙ නටන පිස්සු අනිත් "සීරියල්" බ්ලොග්වල කරන්න යනව එහෙම නෙවෙයි, උඹේ තටු දිගෑරලා වයිපර් එකේ ගස් බඳීවි.

      Delete
    7. සීරියල් බ්ලොගර් කිව්වෙ දාම බ්...එක්කො ඕනැන්නෙ නෑ. පිහාටු ගලවපු බස්සෙක් කොහොමවත් ලස්සන දර්ශණයක් වෙන එකක් නෑ.

      Delete
    8. ඩිෆරන්ශල් එකේ ගැට් ගහන්නෙ. වෙන තැනකනං ගහේ අලවාවි මැලියංවලින්

      Delete
    9. මේ මොනව අහනවද? අර්ලි වෝර්නින් සිස්ටම් එක තිබ්බ හන්දා බේරුනා😊

      Delete
    10. හැබැයි කිරි බුදු අප්පේ, සිස්ටම් change කර ගන්න නං යන්න එපා!

      Delete
  2. කහකඩ මාලුවෙ රෙසපි ඒක හොයාගන්න බැරිද නිදි?

    ReplyDelete
    Replies
    1. මළා...! අද ඉඳං කාල හමාරයි.

      Delete
    2. මූට දෙන්න ඕන னයි හතු ඩෙවල් දාල.

      Delete
    3. බැරිද ගොඩකවෙල ඉඳං මෙහෙට කූරියර් කරන්න?

      Delete
    4. මගේ එක කුකරි ගුරුතුමියක් තමයි 'ගුණසේන සූප ශාස්ත්‍රය' පොත.

      ඩ්රැකියානිට සාධාරණ උත්තරයක් දෙන්න ඕනි නිසා ඒ පොතේ පටුන බැලුවා. 210 වෙනි රෙසිපිය- මෙන්න තියෙන විදිහටම.

      210. කහකඩ මාළුව
      ළපැටි කහකඩ ගෙන ලියා ලුණු වතුරේ දමා මිරිකා කොහිල අල උයන්නා සේ උයාගන්න.

      Delete
    5. ඩ්රැකී මහත්තයෝ,
      කහකඩ මාළුව රහයි නං මටත් කියන්න... හොඳේ!

      ප්‍රසන්න වෙල් ගොඩකද, ගොඩ වෙලකද නැත්තං ගොඩක වෙලද ඉන්නේ?

      Delete
    6. ඒකත් හරියට ඔක්ස්ෆඩ් ඩික්ෂනරියෙන් වයචනෙක තේරුම හොයනව වගේ වැඩක්. දැන් කියන්නකො කොහිල අල උයන හැටි.

      Delete
    7. ඔය කහකඩවල මොනවද ලියන්නෙ? "මේක රස වේවා!" කියල ලියන්නද? පෑනෙංද, පැන්සලකින් ද ලියන්නෙ? පෑනකින් ලියනවනං, ඒකෙ කාබන් වස වෙයිද? මොන පාට පෑනකින්ද ලියන්නෙ?

      (මං මේ තකහණියක් ගුණසේන සාප්පුවට දුවන ගමං - ඔන්ලයින්)

      Delete
    8. ඔය ප්‍රසන්னයා ඉන්නෙ ගොඩකවෙල ටවුමෙ වයින්ස්ටෝස් එකට හරියටම පාරෙන් අනිප්පැත්තෙ තියෙන ටෝච් කඩේ.

      Delete
    9. ඩ්රැකියානි නෝනේ. මම කොටි වලිගයක් අල්ලා ගත්තා වගෙයි දැනෙන්නේ.
      එහෙම හිතුණේ ඔබතුමීගේ ඊළඟ ප්‍රශ්නේත් හිතාගත්තෑකි හින්දා. මෙන්න ඒකටත් එක්කම උත්තරේ. පොත තිබුණු තැනින්ම තියන්නයි යන්නේ උත්තරේ ලියාපු ගමන්.

      186. කොහිල අල මාළුව
      හොඳ කොහිල අල තුන-හතරක් ගෙන හීන් කර ලයා හෝ පෙති ගසා ගලේ තබා නොකැඩෙන සේ තරමක් තළාගෙන හෝ ගන්න. (ගුණය සලකාගෙන උයනවා නම් තනිකර කොහිල අල පමණක් ගන්න. රසවත් කර ගැනීමට උවමනා නම් බිලිං ගෙඩි හත අටක් හෝ තක්කාලි ගෙඩි දෙකක් යොදා හෝ ගන්න.) ඉන්පසු කොහිල දළු මාළුව උයන්නා වාගේ උයා තෙම්පරාදු කොට ගන්න. සමහරු මෙය වඩා රසවත් කොට ගැනීම සඳහා අල ගෙඩියක් දමා උයා ගනිති.

      Delete
    10. ඔන්න දැන්මම කොහිල දලු මාලුවෙ රෙසිපියත්.

      185. කොහිල දලු මාළුව
      වුවමනා ද්‍රව්‍ය; කොහිල දළු වුවමනා පමණට, ඉදුණු තක්කාලි ගෙඩි 2, රතුලූනු අහුරු 1, අමුමිරිස් කරල් තුනහතරක්, කරපිංචා ඉති, උළුහාල් ඇට 25, උම්බලකඩ කුඩු අහුරු 1, ලුණු ස්වල්පයයි, උකු කිරි කෝප්ප, කහ තුනපහ මිරිස් ටික ටික

      සාදන ක්‍රමය: කොහිල දළු ළපැටි දණ්ඩත් සමඟ ලියා සෝදා වළඳකට දමන්න. ඉන්පසු ඉදුණු තක්කාලි ගෙඩි දෙකක්ද, රතුලූනු අහුරක්ද, අමුමිරිස් කරල් තුනහතරක් හා කරපිංචා ඉත්තක්ද ලියා ඊටම දමන්න. ඉක්බිති උළුහාල් ඇට 25 පමණද, උම්බලකඩ කුඩු අහුරක්ද ලුණු ස්වල්පයක්ද, උකු කිරි කෝප්පයක්ද අඹරන ලද කහ තුනපහ මිරිස් ටිකක්ද යොදා ළිප තබා උයන්න. ගිතෙලින් තෙම්පරාදු කොටගත් විට වඩාත් රසවත්ය.

      ඩ්රැකී ඔන්න මං offline යන්නයි හදන්නේ. නෝනටත් කියන්න.

      Delete
    11. ඔන්න ඔකනෙ කියන්නෙ, නිදි මාම කනවනෙ වැඩේ...

      Delete
    12. කාලෙකට ඉස්සර හෙල්මලී මහත්මිය, ලස්සන නමුත් අනුවේදනීය සත්‍ය කතාවක් ලිව්වා.
      https://hotchocolatedays.blogspot.com/2018/07/blog-post_11.html
      ඒකෙ ක්‍රිස්ටීන් කියනවා "මම හෝටලේක කොලිටිය මනින්නෙ, පරිප්පුවෙන්" කියලා. ඒකටත් එක්ක, අපිට බැල්ම දාපු නරිච්චියො, යාංතං බූල් කෝට් එක බේරගෙන ලිස්සන්න වාසනාව තිබ්බා.😒

      තව "කකා" මහත්තයත්, අම්බලංගොඩයත් රසම-රස පරිප්පු කතා දෙකක් ලිව්වා.
      ජාතික මාංසය කුකුල්කටු, ජාතික හොද්ද පරිප්පු. ජයවේවා!

      Delete
    13. ඈ බං ඩ්‍රැකියො නයා දස්ට කරන්නමයි හදන්නෙ නේද? ඩ්‍රැකී අග බිසවුන් වහන්ස, ආදිපාදතුමාට අමු ලාවුළු වෑංජනයක් උයා දෙනු මැනවි.

      Delete
    14. නරිමොටෝ, ගොඩක් ස්තුතියි හෙල්මලී ගැන ඔත්තුවට. හරිම දුක්බර කතාවක් රස වැහෙන්න ලියලා. ආරාදේ ඒ වගේ අය බ්ලොග් ලිවීම අත ඇරලා තියෙන්නේ!

      Delete
    15. බස්සා මහත්තයෝ, තරහක් තියේ නං මාව මරන්න. කොනිත්තලා මරන්න හදන්නැතිව!

      Delete
    16. @ ඩ්‍රැකියානි, මේ දවස්වල මේ පැත්තෙ කූරියො ස්ටයික්.

      @ නිදී, ගොඩකරපු වෙලක ඉන්නෙ.

      Delete
  3. කහකඩ උයලා කෑව කතාව කියෙව්වාම, ඉස්සර මිහිර පත්තරේ "යෝධයා" කතාවේ කොටසක් මතක් උනා.

    ඒ කොටසේ, යෝධයා "පත්තර වාර්තාකාරයෙක්".

    යෝධයා, පත්තරේ දාන්න පුවතක් හොයමින් යනකොට පඬිතුමාගේ ගෙදරට යනවා. එතකොටම, පඬිතුමාගේ (වැඩකාර) කෙල්ල ඇවිත් "කෑම ලෑස්තියි" කියලා පඬිතුමාට කියනවා.

    "මොනවද ඉව්වේ?" කියලා පඬිතුමා අහපුවාම,

    "මහත්තයා 'අහක යන මොනවා හරි උයපං' කියාපු හින්දා මං පොල් ලෙල්ලක් මැලෙව්වා" කියලා කෙල්ල කියනවා.

    යෝධයා ඒ පුවත පත්තරේ දාන්න පණ කඩාගෙන දුවලා යනවා.

    ReplyDelete
    Replies
    1. යෝධයා ගැන අඹු සැමියන් අතර යෝද පැටලිල්ලක් වෙලා වගේ සෑම් මහත්තයටත් දැනුනද?

      Delete
    2. හිහික්... අපෙ උන්දා අහක යන පුට් බෝලෙකට පයිං ගහල.

      Delete
    3. එකම මූණ අනිප්පැත්ත හරවං ඉන්නකොට පැටළෙන්නෙ නැද්ද?

      Delete
    4. අද රෑ කෑමට පොල්ලෙල්ලක් මළවලා තිබුණකොට මං දැනගත්ත...

      Delete
    5. ඔය වගේ ම තව එකක් තමා නෑනො, "ජිල් බෝල හොද්ද"

      Delete
    6. පළ යන්ඩ මගෙං මැරුං නොකා!

      Delete
    7. හී හී... ගල් සුප් එක වගේ ඇති.

      Delete
    8. හොඳ වෙලාවට කිව්වෙ. මං හිතුවෙ අප්පුහාමි කියල... හැක්!

      යකෝ මේ පාර අල්ලගනිල්ලා, වැනෙනව, යන්ඩ බෑ...

      Delete
    9. නිදි "සැමී"යන් කිව්වෙ සෑම් මහත්තයාටද?

      Delete
    10. අම්මෝ, පණ බයයි උත්තර දෙන්න. මොහොකට පැටලෙයිද කියලා.
      Sam කෙනෙකු ගැන ඊයෙ ලිව්වා, දවසම මහන්සි වෙලා.
      රෑ තව කෙනෙකුට ඒක යැව්වා ඊ මේල් කරලා. 'අදාළ කෙනා ඉදිරියේ කියවමින් ට්‍රාන්ස්ලේට් කරලා' අවසර අරන් දෙන්නයි කියලා. අවසර හම්බ වුණොත් ඉක්මනටම ඒක තමා publish කරන්නේ, ඊළඟට.

      Delete
  4. දෙමවුපියන්ගේ සිතුම් පැතුම් හා ජීවන රටාව දරුවන්ගේ යහපතට හරහට හිටින හැටි.

    ReplyDelete
    Replies
    1. ඔව් චමී, දරුවන්ට දෙමවුපියන්ගෙ ජීවන රටා- සිතුම් පැතුම් බලපනවාම තමයි!
      හොඳට වගේම නරකටත්... ඒකෙන් මිදෙන එක මාර වැඩක්. ඒකට ලොකු දැනුමක්- ගටක් ඔනිමයි.

      Delete
  5. “ලෝබයාගේ දේ කූඹි කයි“ පිරුළ ඇත්තවුනු කතාවක්

    ReplyDelete
    Replies
    1. හරි!
      ඒත් චමී පත්මක්කාට වුණේ වෙන අයගේ පව්වලට වන්දි ගෙවන්න කියලයි මට හිතුණේ.

      Delete
  6. මේ... ඒක නෙමෙයි, බොන්ඩ නැද්ද, බොන්ඩ?

    ReplyDelete
    Replies
    1. අඩෝ! බොක්ක, ගසමුද වැටෙන්ඩ?

      Delete
    2. අම්මද බොල! ගසමු ගසමු, බල්ලට මචං කියන්ඩ! හැක්!

      Delete
    3. මස්කට්ටක්, රාකට්ටක් එහෙම තියේනං මේ අපටත් කියන්න ඈ? කැලේ හිටියට අපිත් බල්ලො ජාතියක් තමා මචං.

      Delete
    4. නරි කවදද බොල බල්ලො වුනේ? හා එහෙනං බව්,බවු බහූ කියාපං බලන්න?

      වම්හ මචං අපිත් හොඳට බොන බල්ලො තමා. බොරුනං අහල බලහං බොක්සරයාගෙන්. බ්‍රෑන්ඩ් එක ටිකිලා.

      Delete
    5. ඇඩමො, ඉස්කුරුප්පු කොහෙද බොලව් අන්තරස්ධාන වෙලා හිටියෙ?

      Delete
    6. https://www.alamy.com/stock-photo-red-fox-vulpes-vulpes-barking-at-other-fox-female-canada-48892684.html

      Delete
    7. යස පිංතූරෙ මැතිඳුනි. අතීතයේ එක්තරා පරිචේදයක් මතක් වුනා.

      Delete
    8. අතීත ඇණ කිලෝ ගණනින්

      Delete
    9. https://www.alamy.com/rotfuchs-vulpes-vulpes-niederlande-image220576737.html

      Delete
    10. ස්තුතියි Pra Jay!

      තවත් කතා කරන ෆොටෝ එකක්- හැබැයි නරීයෙකුගෙ!

      Delete
    11. එයා ඔය නරිය පිටින් දාලා එන්නෙ, මුල්ලකට තියල ඇණ ගහන්න. හහ්, අපි අහුවෙයි ඕවට?😊

      Delete
  7. ඔබේ සියලු විදුලි උපකරණ අලුත්වැඩියා කරගැනීමට පැමිණෙන්න, විනී ප්‍රඩක්ෂන්ස් ඉලෙක්ට්‍රිෂන් වෙත...

    ReplyDelete
    Replies
    1. අඩේ ඒක නියමයි ඩ්‍රැකියො. රෙපයාර් ෂොප් එකක් දැකලා සතුටකුත්, දුකකුත් දෙකම දැණුනා.

      Delete
    2. ඩ්රැකී ඩ්රැකී ඩ්රැකී....
      බලන්න ගියේ මොකක්ද කියල නොදැන. අන්තිමට ඔක්කොම බලලා. විනාඩි විසි ගණනක්...

      කමෙන්ටුවකුත් දාලම ආවේ!

      Delete
  8. අහා! සියල්ලෝම මෙහිය!

    නිදි මහත්තයා මාගේ බ්ලොගය පහලින් ලියාඇති පරිදිම කවුරු කවුරු හරි;කොහේ කොහේ හරි අපේ දේවල් ලියා දානවා නම් ඒකත් කොයි තරම් දෙයක්ද? ඔය ගැන ටිකක් පලලට ලිව්වා වලස්පතියාට පිළිතුරක්! කියලා පෝස්ටුවක් ලෙසට.

    ඔව් ඔය වගේම දෙයක් මගේ මතකයටත් එනවා. මගේ පොඩි මස්සිනා රට ඉඳන් ඌට ගෑනු තෝරණ්න යැව්වේ මාව! ගිය සමහර ඒවා මං රිජෙක්ට් කලේ ඔය වගේ පුංචි දෙවල් වලට. එක ගෙදරක තේ දෙන්න කලින් "මෙන්න" සයිස් කේක් ගෙනත් අපිට ඇල්ලුවේ වීදුරු බොකුටු පිඟානක තියලා! අඩු ගානේ මේ දවසට හරි ලඟ පාත ගෙදරකින් ඉල්ලලා හරි ඒකට ගැලපෙන භාජනයක් හොයා ගන්න බැරි වීම: ඒ මගුල හරහට හිටියා!

    අනේ අපි ටිකිරි මාමාව හොයමුකෝ. ඒ යකාට මොකක්ද වෙලා තියෙන්නේ බලන්න!

    ReplyDelete
    Replies
    1. මටත් ඒ අදහස පහල වුනා. ඒත් නිදි ඒ ගැන වැඩි උනන්දුවක් නොදැක්වීම නිසා, සමහරවිට නොලියන එකත් හොඳ වෙන්න පුළුවනි.

      මේ ක්‍රමය බොහොම අපූරුයි නිදි. ජීවිත කතාව අතරේ මෙහෙම ලියන කතා, හිනා කතා එබුවාම ඒක අතුරුපසක් වගේ රසවත්, ස්තූතියි. ඔන්න පොරොන්දු වෙච්ච විදිහට ආයෙත් ආව, ඈ?

      Delete
    2. තට්ටයා මහත්තයෝ, ටිකිරි මාමාව ට්‍රේස් කරන්න නං ඉතිං අපේ තාත්තාව වලෙන් නැඟිට්ටවලා ගන්න තමයි වෙන්නේ. ඒ මාමා අදටත් ඉන්නවා වුණත් 80- 85 පැනපු කෙනෙක් වෙන්න ඕනි කියලයි හිතෙන්නේ.

      අතුරු කතාවක් වුණාට බකුසු මහත්තයෝ, මට ඉතාම වැදගත් වෙන්නේ මගේ පළමු ඉංග්‍රීසි පන්තිය නැවතිච්චි හින්දා.
      අනෙක අර කඩ පිලිය පහු කරගෙන යන හැම තිස්සේම මේ කතාව මතක් වෙන හින්දා.

      Delete
  9. දැක්කොත් පත්මාවතී ආලේ නොකරා බැරී කියල සින්දුවක් තියනවා නේද ? පව් පත්මා
    මම ඔය ඇහුව්වමයි තැඹිලි උයනවා කියල. මොන කෑල්ල ද උයන්න තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. දැක්කොත් පත්මාවතී වුණාට අජිත් මහත්තයෝ පත්මක්කාට 'ඇගේ ග්‍රීවේ සක් සේ වේ' අදාළ නෑ!

      ඔය මාළුවට ගන්නේ තැඹිලි කහකඩ. කහකඩ කියන්නේ ළපටි තැඹිලි ගෙඩියේ ඇතුළේ තියෙන (ඝනකම) කොටසට. මේරුවාට පස්සේ පොල් කටුව වෙන්නේ ඒ කොටසයි.

      Delete
    2. අජිත් අයියගෙ කමෙන්ට් එක දැක්කම මතක් උනා, ඉස්සර කෝච්චියෙ සිංදු කියපු මාමෙක් උන්න. එයා කියපු එක සිංදුවක් තමා,
      "දැක්කොත් මධුරී ඩික්සිත් ආලේ නොකරන බැරි
      කරාටේ දන්නවා සේ පෙනේ..."

      Delete
    3. 'දැක්කොත් පත්මාවතී' කියලා කාටුන් එකක් ඇන්දා කැමිලස් ඒ කාලෙ, සිත්තර පත්තරේට මට මතක හැටියට.

      Delete
    4. Buratino මටත් මතකයි ඒක , අඩේ අපි දෙන්නම් එක වයසේද කොහෙද.
      නිදි ඒක කොහොමද උයන්නේ කියල මම අහන්නේ නැහැ , වෛෆි මේ දවස් වල ජර්මන් ලන්කන් වෙබ්සයිට් එකක් සහ ලංකාවේ කාන්තාවෝ ටිකක් සෙට් වෙලා කැරට් කොළ , රාබු කොළ , බිට්රුට් කොළ පවා උයනවා බං

      Delete
    5. කැරට් කොළ සම්බෝලය (ගොටුකොළ සම්බෝල හදන විදිහට) හදල ගත්තම බත් මරන්න පුළුවන්.
      අජිත් මහත්තයෝ,
      ලංකාවේ ඈත පලාත්වලත් රාබු, බීට්, නෝකෝල් උයද්දී ඒවායේ අලත් එක්කම කොළත් දාලා උයනවා, අහුපෑවත ගන්න ඕනි වෙලාවට.

      Delete
  10. නිමල් අයිය සර්ගේ 4WD බලන්ඩ ආව මදැයි!
    ටිකිරි බණ්ඩෙ උන්නැහෙගෙ කතාවක් ලියල වැඩේ 'අල' කරලනේ!
    ඉක්මණටම මමත් ඉතුරුටික අල කරලා දෙන්නං.

    ඕකෙ ඔය මසාල ජාති දෙක නං නැතුවත් කමක් නෑ. හැබැයි ඕනෙනං ගෙදරම හදාගන්ඩත් ඇහැක්. කේස් එක අම්චූර් (අඹ කුඩු) තමා පස්නේ. කසුරි මේති කියන්නේ වේලිච්ච උළුහාල් කොළ. ඒකෙන් තමා වැඩේ 'ඉන්ඩියන්' ගතිය එන්නේ. ටිකක් තිත්තක් එක්ක පොඩි තෙල් ගතියකුත්. (උළුහාල් ඇට ටිකක් පත්තියකට දාන්ඩ පැලවෙනවා). පාං කන්ඩ මරු ඈ.

    එහෙනං, ජයවේවා!
    Myself Hattor

    ReplyDelete
    Replies
    1. හැට්ටර් මලේ, ඇලේ මොකක්ද බලන්න හැදුවා, හැදුවා... වැඩ කළේ නෑ. හෙටත් try කරලා බලන්නංකො.

      එංගලන්තෙ ගිය වෙලාවේ මේති කොළ දාපු පරිප්පු, අල කරී කාලා රස වැටුණා. මෙහෙදිත් කීප වතාවක්ම උළුහාල් පැල කරන්න හැදුවා. හැම වතාවේම පැල වෙලා ටික දවසින් පුස් රෝගයක් හැදුනනේ. කොත්තමල්ලි නං පැල වුණා.

      Delete
    2. මේ link එක වැඩ කළා.
      මොකද මන්දා මං ලංකාවේ කෑම වගේම ඉන්දියන් කෑමවලටත් ආසයි! දන්නවද හැට්ටර් මල්ලියේ, මං spice ජාති දහයක්-පහළොවක් විතර දාලා හදන ගරම් මසාලා ගෙදරම හදලා තියාගෙන ඉන්නේ.

      ම් ම් ම් මේ රෙසිපියෙන් තව එකක් ඉගෙන ගත්තා. තම්බපු අල යන්තමින් පොඩි කරලා උයනවා හරි, උයලා තිබිලා හරි මට හම්බ වෙලා නෑ. ඒක try කරන්නෝනි ඊළඟ සැරේ පූරි හදද්දී.

      ඔයාත් ඉන්දියන් කෑම හදනවා නං පූරි හදද්දී කබලේ යන්තමින් බැදලා කැබලි කල සූදුරු ටිකක් දාගෙන බලන්න, රොටි හදද්දීත් ඒ ක්‍රමේ වෙනස් රසක් දෙනවා.

      ස්තුතියි!

      Delete
  11. අර DGM බස්නායක උන්නැහැ හෙම ඔය පැත්තෙ ආවොත් අහන්ඩකො මේ දවස්වල 'ඉත්තෑවො' කෑම්පිං ගොහින්ද නැත්තං විලේ පාරු පදිනවද කියල. කාලෙකිං ඉත්තෑ කේස් එකක් ආවේ නෑ.

    ජයවේවා!
    Myself Hattor

    ReplyDelete
    Replies
    1. අහන්නන්කෝ. ඒත්.....
      කවුරු අහන්නය කිව්වා කියලද බස්නායක උන්නැහේට කියන්නේ?

      Delete
    2. හැට්ටර් කියන හාදය කියල කියන්නකො

      Delete
    3. ඩෙල්ටා හින්දා ඉත්තෑවෙක් බේතකටවත් හොයා ගන්න නෑ. මේ දවස් ටික පහුවුනාම බලන්නං.😂

      Delete
    4. අඩේඃ 'නායක' කෑල්ල නැති හින්දා මට නං සැකයි බකුසු මහත්තය හැට්ටර් මලයා කියන කෙනාමද කියලත්!

      Delete
    5. හැට්ටර
      කිලෝව 800 දෙන්ඩය..

      Delete
  12. පත්මක්ක පව්..
    ලෝබයැයි දේ කූමි කෑවට විදෙව්වෙ වෙන එකියක්නෙව..
    කහකඩ මාළු.. ඊක්ක

    තූ නෙද්දකිං

    ReplyDelete