අකුරු මැකී නෑ

Tuesday, November 30, 2021

හිනා තවත් හිනා - නවවෙනි කොටස

‘ලේඩීස් first’ කියන සුද්දෙක් ඒ වාර්තාව සකස් කරලා තිබුණත්, ගැහැනු නම් සටහන් කරලා තිබුණේ දෙවෙනි කොළමේ. අබද්දී, ආදරී, මහත්මයෝ, ඩිඟිබබී, හුදත්තී ඒවායින් කිහිපයක්.

‘මේ හිනා කතා සීරීස් එක, තවත් පෝෂණය වෙන්නෙ කමෙන්ට්වල වැටෙන කතාවලින්. නියමයි.’

පහුගිය post එකට comment එකක් එවමින් ‘ටොමියා’ (බුරලා නෙවෙයි) ලියලා තිබුණා. ටොමියා කියපු ගමන් හිතට එන්නේ බලු රාළහාමි කෙනෙක්නෙ.
ඕනෑම නමක් ඇහුණු ගමන් ඒ විදිහට අපේ හිතේ යම් විදිහක රූපයක් ඇඳෙනවානෙ. එහෙම නේද?

එහෙම වෙන එක කාලෙන් කාලෙ අනුවත් වෙනස් වෙනවද?

ඒ කාරණය මගේ කල්පනාවට ආවේ අපේ හිතවත් Pra Jay මහත්තයා ආදි කාලෙ වාර්තාවක් පෙන්නන වේලාවේය. Sessional Papers 1869- 1882 වොලියුම් එකේ 7-8-9 පිටු කීපය පෙන්නද්දීය. ඒවයේ තිබුණේ සිංහල නම් රැසකි. ඒ දවස්වල උඩරට ඇත්තන් පාවිච්චි කරපු ‘පුරුෂ’ නම්ය. බලන්නකෝ:
අබද්දයා, අහුබා, අමඟිරා, අසරප්පුලියා, අවිස්සිරියා, බද්දරයා. ඒ විතරක් නෙවෙයි ‘මුරුක්කුවා’ කියලා එහෙකුත් ඒ නම් අතරේ තිබ්බා.

බොහොම ආචාරශීලීව ‘ලේඩීස් first’ කියන සුද්දෙක් ඒ වාර්තාව සකස් කරලා තිබුණත්, ගැහැනු නම් සටහන් කරලා තිබුණේ දෙවෙනි කොළමේ. අබද්දී, ආදරී, මහත්මයෝ, ඩිඟිබබී, හුදත්තී ඒවායින් කිහිපයක්.

මගේ වෙවුලන ඇඟිලිවලින්, කුරුටු අකුරුවලින් සටහන් කර ගත්තේ එහෙම නම් ටිකක් විතරයි. පාතයන්ගේ නම්, රජරට පැත්තේ ඇත්තන්ගේ නම් එහෙමත් ඒ වාර්තාවේ වෙන-වෙනම දක්වා තිබෙනවා.

(දරුවන්ගේ අප්පච්චි එනකොට බිරිය ගෙදර නැතිනං “ආදරියෝ....”, “හුදත්තියෝ..” වගේ නමක් ගමටම ඇහෙන තරං සද්දෙට කියමින් බිරිඳට අමතද්දී කොහොමට තියෙන්න ඇතිද? ‘එනමුදු එදවස් සඟවනු හැකිවෙයි - ඉරට හඳට ඇළ දොළට කතා බැහැ’ වෙන නිසාම හොඳයි, වගේ....) 

ඉතිං- වෙලාව තියෙන, හයි හත්තිය තියෙන කෙනෙකුට පුළුවනි ‘ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තු කෞතුකාගාරය’ට ගිහින් 1976 වෙනතුරු පරණ වාර්තා- තෝම්බු- පොත් ගැන තොරතුරු එහෙම හොයා ගන්න A/C ශාලාවක සුව පහසුව වාඩි වෙලා.                                                    

ඊළඟට වැස්ස වලාහක දෙයියෝත් හරහට හිටියෝය.

මං වගේ උදවියට වැඩිය ලේසි ෆොටෝ ගැනිල්ලනේ. සූදානං ශරීරේ කියලා මං I Pad එකත් අරගෙනයි ගියේ. එව්වා ඇතුළට ගෙනියන්න දෙන්නෙ නෑ. Phone එකකින් ෆොටෝ ගන්නවා නම් රුපියල් පන්සීයක් ගෙවලා අවසර අරගෙන, ගන්න හැම shot එකකටම රුපියල් 40/-ක් බැගින් ගෙවන්න වෙන බවත් එතන අධිපතිතුමා ඉතාම කාරුණිකව අපට කිව්වා.

“ඔය මහත්තයලට ෆොටෝ කොපි ඕනි නං පිටුවකට රුපියල් 100/-ක් වෙනවා... ඊට ලාබයි CD එකකට දම්මගන්න එක.” (ඔය විස්තර ලිව්වේ මතකෙන්.)

ඒ සේවාවන් ගන්න ගියාම නං ටිකක් වෙලා යනවා. එහෙම වෙන්නම එපැයි. කෞතුක වස්තු නෙවැ! මාත් අවශ්‍ය තොරතුරු ‘සුඟ’ක් හොයාගෙන සී.ඩී. දෙකකට දාගන්න මුදල් ගෙවල ආවා. හෙටානිද්දට ටෙලිෆෝන් කරලා බලලා ආයෙම එහාට යන්න වෙනවා.

(උඩ තියෙන ටික කොටලා ඉවර වෙලා, අලුතෙන් ‘පබිලිස්’ කෙරිලා තියෙන posts බලන්න ගියා. අපේ කොළඹ ගමයා; අජිත් ධර්මකීර්ති හිතවතාත් එංගලන්තේ තියෙන පෞරාණික ලිපි-ලේඛන හොයන්න ගිහින් ‘බ්‍රිතාන්‍ය පුස්තකාලයේ රාවණා ප්‍රහාරය’ කියලා ඒ ගැන පෝස්ටුවකුත් ලියලා.)

“නිමල්, මට කරදරයක්ය කියලා හිතන්න එපා. CD කලෙක්ට් කර ගන්න යන දවසටත් මම එන්නං ඔයාව එහාට එක්ක යන්න. ආපහු ගෙනල්ලා drop කරන එකත් මහ ලොකු දෙයක් නෙවෙයිනෙ..” මං වහන්සේව ආපසු ගෙනවිත් බැස්සූ ප්‍රා.ජේ. කිව්වේය.
ලේඛනාගාරයෙන් තොරතුරු කිහිපයක් බලා ඒවා සනාථ කර ගන්නා තෙක් මගෙන් posts කිහිපයක් නොලියවෙන බව දැනගත් දවසේ සිට Pra Jay මාව මේ ගමනට එක්ක යන්නට සූදානම්ව සිටියේය. පස්ස ගහන්නට වුණේ මටය! කොරෝනා පැමිණි නිසාය; ඊළඟට වැස්ස වලාහක දෙයියෝත් හරහට හිටියෝය.

බැරිම තැන ඒ සේරම බාධක නොතකා නොවැම්බර් 24 වෙනිදා ප්‍රා.ජේ. මහත්තයා නිදිව එහි කැටුව ගියේය; දවසෙන් තුන් කාලක්ම මගේ තනි රැක්කේය. ඒ කරන ගමනුත් ‘මහරගම ඉතිහාසය’ මා දන්නා තරමින්වත් ලේඛනගත කරන්නැයි සියවෙනි වතාවට විතර කිව්වේය. 

“දැන් බලන්න. නිමල්ට මතක තිබුණට මහරගම ඉන්න කීදෙනාද දන්නෙ 1968 ‘මහරගම’ කියලා පත්තරයක් print කළ බව?”
(
මගේ මතකය වුණේත්  කලාප තුන හතරකට වඩා ඒ මාසික පත්තරය මුද්‍රණය නොවුණු වගයි. එහෙත් එදා හෙළිවුණේ එහි කලාප හතක් අච්චු ගසා ඇති බවයි. ඒ පත්තරය නිකුත්වී තිබුණේ පුර පසළොස්වක පෝය දවසටය.)

දකුණු පැත්තේ පෝලිම දිගට දිගයි! කෙළවරක් පෙනෙන්නවත් නෑ.

මෙතරම් විස්තර කිව්වේ ‘හැකි කෙනෙකුට ලේඛනාගාරයට ගිහින්, සැඟවී ඇති අතීතය හාරා-පාරා-අවුස්සා රස සාගරයකින් දෝත-දෝත ගන්නැයි කියන්නටය. ඒවා ලොවටම බෙදන්නැයිත් කියන්නටය’.

එබඳු තොරතුරු කොච්චර වටිනවාදැයි බ්ලොගයකින් දැනගනු රිසි නම් ‘ඩ්රැකීගේ අඩවියේ - අපූරු ගමන post එකත් comments ටිකත්’ කියවා බලනු මැනවි.

‘අපූරු ගමන’ සිංහල පෙළ පොතකින් උපුටා ගත්තකි. එවැනි පරණ පාඩම් පොත් වැළලී ඇති ‘නිධාන’ වගෙය.

“අපි මේවා හරිම පරෙස්සමෙන් තියලා තියෙන්නේ.  ඔය මහත්තයා 1968 කැටලොග් එකෙන් හොයාගෙන නොම්මර ලියල දුන්න මේ පොත් දෙකම, රිෆර් කරන්න දෙන්න කලින් අපේ D.G. මහත්තයගෙනුත් අනුමැතිය අරගෙන ඉන්න වෙනවා....” පාලක මහත්තයාගෙන් කියැවුණේ ඒ නිදන් සුරකින ක්‍රමවේදයයි! 

ඔන්න නිධානයක් ඇති තැනත්- ගන්න ඇහැකි අයුරුත් ‘නිදන් වදුලකටත් වඩා සාර-සුබාවට’ තමුන්නාන්සේලාට කිව්වා. ඇම්ම තියෙන ඇත්තෝ ගිහින් සොයා ගනිත්වා!

මදැයි ‘හිනා තවත් හිනා’ පොතේ තියෙන යාන්ස් කියාගෙන ඇවිත් පීලි පැනලා ගිය දුර. අපි දැන් පොතෙන් කතා 54ක් කියවලා අහකයි. මෙන්න ඊළඟ එව්වා:

55. අකීකරු ස්වාමි පුරුෂයා

දෙවියන් වහන්සේ ‘ආදම්’ව මවලා එයාගේ ඉල ඇටයකින් තමයි ‘ඒව’ මැව්වය කියලා කියන්නේ.

ඔහොම මවලා දැන් අවුරුදු දාස් ගණනක් ගිහිල්ලත් ඉවරයිනේ.
ඉතිං දෙවියන් වහන්සේට ඕනේ වුණා, දැන් ඉන්න ආදම්ල- ඒවලගෙ හැටි කොහොමද කියල බලන්න. ඔන්න එතුමා පොළොවට ආවා! ඇවිත් මිනිස්සුන්ට කිව්වා තමුන් කවුද කියලත්...

“මට දැන ගන්න ඕනෑ ඔබලාගෙන් බිරිඳට බයෙන් ඉන්නේ කවුද- බයෙන් ඉන්නෙ නැත්තේ කවුද කියලා. මගේ දකුණු අත පැත්තෙන් බිරිඳට බය අයට පෝලිම් ගැහෙන්න පුළුවන්.... බය නැති අය වමේ....”
දෙවියන් වහන්සේ කතා කරලා ඉවර වෙන්නත් කලින්, මෙන්න බොලේ පෝලිම් දෙක හැදිලත් ඉවරයි.

දකුණු පැත්තේ පෝලිම දිගට දිගයි! කෙළවරක් පෙනෙන්නවත් නෑ.
ඒත් වම් පැත්තෙ පෝලිමේ එකම එක්කෙනෙක් විතරක් හිටගෙන ඉන්නවා!

“කීයටවත් මං හිතුවේ නෑ, මේ ලෝකෙ ඉන්න පිරිමි ඔක්කොම ගෑනුන්ට බයෙයි ඉන්නේ කියලා.. හොඳයි... ඔය ළමයා-
මට උඹ ගැන; උඹේ පුරුෂ ධෛර්යය ගැන; උඹේ එඩිතරකම ගැන හරිම සන්තෝසයි. මම දැන ගන්න කැමතියි උඹේ එඩිතරකමේ රහස මොකක්ද කියලා...”
දෙවියන් වහන්සේ වම් පැත්තෙ පෝලිමේ හිටගෙන හිටිය එකම-එක පිරිමියාගෙන් ඇහුවා.

“අනේ පිං කරන හාමුදුරුවනේ! එහෙම රහසක් නෑ... මේ සත්තමයි දිවුරලා කියන්නේ.
අපේ හාමිනේ තමයි මට රවලා- දත්මිටි කාලා කිව්වේ ගිහින් වම් පැත්තෙන් හිට ගන්නවා කියලා. ඉතිං මාත් එහෙම කළා.”

මෙලෙස කතාබහේ යෙදෙන අතර මුහුදු වෙරළට ගසාගෙන ආවේ....

56. මිත්‍ර සමාගම

“බලනවකො අයිසේ, අපට වෙච්ච දේ....”
ජයපාල සුපුරුදු ලෙසින්ම මැසිවිලි කීවේය.

“අනේ ඒක නේන්නං.” විජිතසෝමත් වෙනදා ලෙසින්ම අලගු තැබුවේය.

“මෙයින් බේරුණා මදැයි!” රෝහණ සිනාසී මිතුරන් දෙදෙනාට සැනසුම් බස් දෙඩුවේය.

ඔවුහු බෝට්ටු සවාරියක යද්දී මුහුදේ අතරමං වූහ. අන්තිමේදී දින ගණනාවක් දියඹේ අතරමංව සිටි ඔවුන්ගේ බෝට්ටුව පාළු, ජනශුන්‍ය දූපතකට ගොඩ ගසනු ලැබිණි.

“අවුරුදු දෙකක් වුණා.... තවම අපි මෙහෙ. ගෙවල්වල මොනවා වෙලාද දන්නෙ නෑ. අපේ දාන දීලත් ඉවර ඇති....” ජයපාල කෙඳිරුවේය.

“ඕක මොකක්ද?
රොබින්සන් කෲසෝ තට්ට තනියම කොච්චර කල් දූපතක තනියෙන් හිටියද? අපි තුන් දෙනෙක් ඉන්නේ.... ඒ නිසා පාළුවක්වත් නෑනේ.” රෝහණ වෙනදා ලෙසින්ම සුබවාදීව කතා කළේය.

“රොබින්සන් කෲසෝ හිටියේ නවකතා පොතක් ඇතුළේනෙ... අනේ, අපිට මේ දූපතෙන් ගැලවිලා යන්ඩ ඉඩක් ලැබෙනවා නං...” විජිතසෝම මුණු-මුණු ගෑවේය.

මෙලෙස කතාබහේ යෙදෙන අතර මුහුදු වෙරළට ගසාගෙන ආවේ බෝතලයකි. රෝහණ වහාම ගොස් බෝතලය අහුලා ගත්තේය.
එය දිය සෙවෙල් බැඳුණු ඉපැරණි එකකි!

“මේකේ ඇබයකුත් ගහලා... ඇරලා බලමුද?” රෝහණ මිතුරන් දෙදෙනාගෙන් ඇසුවේය.

“තමුසෙට ඕනි නං ඇර ගන්නවා!”

රෝහණ තනියෙන්ම උත්සාහ කොට බෝතලයේ ඇබය ගැලෙව්වේය. විශාල දුමක් නැඟී, ඒ මැදින් මතුව ආවේ භූතයෙකි.

“ස්වාමීනි, ඔබතුමා මට කළේ මහඟු උපකාරයකි! මම වසර දහස් ගණනාවක් තිස්සේ මේ බෝතලය තුළ සිර වී සිටියෙමි. ඔබතුමා මා නිදහස් කළ බැවින් ඔබ තිදෙනාටම වර තුනක් දීමට කැමැත්තෙමි.
වහාම කිව මැනවි. මම ඒවා ඉටු කර දෙන්නෙමි.”

භූතයාගේ කතාව අවසන් වීමටත් පෙරම ජයපාල ඉදිරියට පැන්නේය.
“අනේ භූතයෝ... මාව මගේ ගෙදරට ඇරලවාපන්.”

“එසේම වේවා!” භූතයා එය කියූ සැණෙකින්ම ජයපාල අතුරුදහන් වුණේය.
විජිතසෝමත් වහාම ඉදිරියට ආවේය.

“අනේ, මාවත් ගෙදරට යවන්න...”
ඔහුත් අතුරුදහන් වුණි.

“දැන් ඔබතුමාගේ වරය... එකම එකයි!”

අපොයි දෙයියනේ මෙහෙමත්.... 
“මම කොහොමද භූතයෝ, මේ පාළු දූපතේ තට්ට තනියම ඉන්නේ... අවුරුදු දෙකක් තිස්සේ එකටම ඉඳලා, මට දැන් යාළුවො දෙන්නා නැතිව පාළුයි පාළුයි වගේ. උං දෙන්නාවම ආපහු ගෙන්නලා දෙන්න.”

“එසේම වේවා!” යි කී භූතයා අතුරුදහන් වෙනවාත් සමඟම ජයපාලත්, විජිතසෝමත් ආපසු ප්‍රාදුර්භූත වූහ.

57. වාහනේ කොල්ල කාලා

මැටිල්ඩා නෝනා අතින්- කටින් පාර්සල් එල්ලගෙන ඇවිත් දඩිබිඩියේම කාර් එකට නැංගා.

“අපොයි දෙයියනේ මෙහෙමත් හොරු!”
මැටිල්ඩා නෝනා අතේ තිබණු ජංගම දුරකථනයෙන් ‘වන් වන් නයින්’ එකට කතා කළා.

“අනේ රාළහාමි, මගේ කාර් එක කොල්ල කාලා.”

“කාර් එක කොල්ල කාලා?”

“අනේ ඒක නේන්නං....කවුරු හරි හොරෙක් මගේ කාර් එකේ දොර ඇරලා ‘ස්ටීරියං වීල්’ එක ගලවගෙන ගිහින්... ඔව්, ඔව්... අනේ, ඒක විතරක් නෙවෙයි... ගියර්, බ්රේක් පැඩ්ල්.... ඒවාත් ගලෝගෙන ගිහිං....” මැටිල්ඩා නෝනා අඬ-අඬා කිව්වා!

“හරි, අපි දැන්මම ඔතැනට වාහනයක් එවනවා.” හදිසි ඇමතුම් අංශයෙන් මැටිල්ඩා නෝනට කිව්වා.

එහෙම කියලා විනාඩියක් යන්නත් කලින්, මැටිල්ඩ නෝනා ආයෙමත් දුරකථන ඇමතුමක් ගත්තා.
“වන් වන් නයින් නේද? අනේ.... චුට්ටකට ඉස්සෙල්ලා මං ඔයාලට කතා කළේ...”

“ඔව්, ඔව්. අපි නෝනගේ කාර් එක ළඟට වාහනයක් එවලයි තියෙන්නේ...” මැටිල්ඩා නෝනගේ කටහඬ අඳුනා ගත්තු පොලිසියේ කෙනා කිව්වා.

“අනේ, ඕනෑ නෑ රාළහාමි. මං කලබලේට නැඟලා තියෙන්නේ පිටිපස්සේ සීට් එකටනේ...” මැටිල්ඩා කිව්වා.

අමතක වුණා අහන්න. මේ පෝස්ටු කියවන තමුන්නාන්සේලා ඒවාට පහළින් පාඨක භවතුන් එවන comments එහෙමත් කියවනවැයි? ගිය වතාවේ පෝස්ටුවටත් මරේ-මරු හිනා කතා ගොඩාරියක් ලියා එවලා තිබුණා අපේ රසිකයන්. එක-එක හේතු නිසා කමෙන්ට්ස් කියවන්න බැරි වෙන රසිකයන් වෙනුවෙන් ඒ කතා දෙක තුනක් මෙතනට ඔබන්නේ.... අහඹු ලෙස තෝරාගෙන..... මගෙන් මාතෘකා දාලා.

මේ කතාව එවලා තිබ්බේ කොළොම්පුරේ අසංග රණසිංහආරච්චි සහෘදයා.

කොහේ එන්නද තාත්තේ ඇම්බුෂ් එකක් දාන්න ඔපරේෂන් එකක් තිබුණානේ...

ඇම්බුෂ් එක                    

‘ඔන්න අපේ ත්‍රස්තවාදි යුද්ධය ආරම්භ වුන අලුතම වාගේ පිටිසර ගමක කොල්ලෙක් හමුදාවට බැඳුනා. දීගතල දෙන්න ඕනේ වයසට ආපු තමන්ගේ නංගිට මඟුල්තුලාවකුත් ඉක්මනින්ම ලකලෑස්ති වුනේ අයියා ආමි හින්දයි. ටික කාලෙකට පස්සේ කොල්ලාගේ නංගිගේ මඟුල ගන්න දිනයත් ආවා.
දන්නවානේ හමුදාවේ හැටි, වේලාසනින් නිවාඩු ඉල්ලුවත් කොල්ලට නිවාඩු ලැබුනේ මඟුල් ගේ ආසන්න වෙලා. කොල්ලා ගමට ආවේ බොඩිය පුම්බාගෙන ආමි හයියත් අරගෙන. කතා කලෙත් හමුදාවේ වචන දාලා.

" මම හිතුවේ උඹ සතියකටත් කලියෙන් මෙහේ ඒවිය කියලා."
කොල්ලාගේ තාත්තා ඇහැව්වා.

"කොහේ එන්නද තාත්තේ ඇම්බුෂ් එකක් දාන්න ඔපරේෂන් එකක් තිබුනානේ."
තාත්තාත් ඔළුව අතගගා කල්පනා කලා ඇම්බුෂ් මොකක්ද කියලා.

පහුවදා කොල්ලා සරමක් එහෙම ගහගෙන ගෙදර වැඩ යාලුවන්ට කියලා කරවා ගන්නවා.

"පුතේ ඔය සිරිපාලයාට කියලා තැඹිලි වල්ලක් බාගත්තා නම් යාලුවන්ටත් බොන්න දෙන්න ඇහැකි නේද" තාත්තා ආමි කොල්ලාට කිව්වා.
සිරිපාලයා හෙව්වත් හොයාගන්න බැරිවුන එකේ කොල්ලා ‘යාපනේ තල්ගස් බඩගාපු ආමි අපිට තැඹිලි ගසුත් කජ්ජක්ය’ කියලා සරමත් අමුඩේ වෙන්න හදාගෙන ගහට නැග්ගා. ගහ උඩ කොල්ලා ඉන්නවා දැක්ක තාත්තාට දෙවියන් සිහිවුනා.

"අනේ බුදු පුතේ මොකටැයි මේ බැරි අමාරුකම් තියාගෙන ගස් බඩගෑවේ? බැහැපන් මං සිරිපාලයට කියලා කඩවන්නම්."

"මට මොන අමාරුවක්ද තාත්තේ ලනුවක් එව්වා නම් වල්ලම බාන්න තිබුනා."

කොල්ලාගේ අමුඩේ අස්සෙන් පේන පටි ජොකා දැක්ක තාත්තා "දැනට අමාරු නැතුවට පස්සේ අමාරුවෙයි. බොට ඔපරේසන් කොරලා දාපු ඇම්බුස් එකේ තරම පේනවා පස්සට දාපු පැලැස්තරවලින්. ඉක්මනට බැහැපන් බිමට මැහුම් කඩාගන්නේ නැතිව." කියල කිව්වා.’

බලන්නකෝ අනුර ජිනදාස හිතවතාගේ comment එකත් රහයිද කියලා:

වලු සීයක් බිම හෙළුවත්...

ගමක පොල් කඩන රස්සාවක් කළ පොඩි මිනිහෙක් හදිසියේ මියගියාම ගමේ කවුරුත් අවමඟුල ඉහළින්ම කරන්න මෙහෙම බැනරුත් හදාගෙන තිබුණාලු!

කලටි හඬයි ඔබ නිහඬයි
වල්ල ගහේ සීයා වළේ
පොලුත් ගණන් කාලේ ඔබත් නිවන් රාලේ
වලු වැලපෙයි ඔබ සැතපෙයි
වලු සීයක් බිම හෙළුවත් අරං ගියේ එක වල්ලයි’

මෙයා කොහොමද සීසර් කරන්නේ? මාව බඳින්නත් ඉස්සෙල්ලයි මෙයා ඒ නාට්‍යයේ ක්ලියෝපැට්රාට ඇන්දේ. හැබැයි ඕ...නෑ...ම නං සීසර්ටත් අඳියි.

තව යාන්ස් දෙකක් තෝරාගත්තා ඒ comments අතරින්. ඒවාට කලින් අපේ පොතෙන් තව කතා ටිකක් කියවලා ඉඳිමු.

58. සීසර් හා ක්ලියෝපැට්රා

විලිරුදා ලකුණු පහළවී ඇති බිරිඳ කැටුව රෝහලට පැමිණි සැමියා බීමත්ව සිටියේය. වෛද්‍යවරයා ගැබිණිය පරීක්ෂා කළේය.

“මෙයාට අමාරුයි වගේ... මෙයාට සීසර් කරන්න වෙයි! ඉක්මනට තියටර් එකට ගෙනියන්න..” වෛද්‍යවරයා කඩිනමින් කිව්වේය.

සැමියා කෝපයෙන් නැඟිට්ටේය.

“මෙයා කොහොමද සීසර් කරන්නේ?
මාව බඳින්නත් ඉස්සෙල්ලයි මෙයා ඒ නාට්‍යයේ ක්ලියෝපැට්රාට ඇන්දේ. හැබැයි ගෑනි දක්ෂයා! ඕ...නෑ...ම නං සීසර්ටත් අඳියි.
ඒත් ඉතිං බබා හම්බ වුණාට පස්සෙයි ඩොක්ටර්, එයාව ඕනෙම තියටර් එකකට යවන්නේ. හරිද?”

59. ධාවන සූරයා

ජයරත්නයි පියරත්නයි දෙන්නා මැරතන් ධාවන සූරයෝ දෙන්නෙක්; ගජ යාළුවො!

දවසක්දා මේ දෙන්නා ඈත පලාතක මැරතන් එකකට සහභාගි වෙන්න ගියා. ගිහින් ඔන්න ආපහු එනවා, මහ කැලයක් මැදින්.
එතකොටම හරි වැඩේනෙ වුණේ!
පත සයිස් කොටියෙක් කැලේ මැදින් මතු වෙලා අපේ යාළුවො දෙන්නා යන පාරේ ඉස්සරහින් නැවතුණා.

ඌව දැක්ක ගමන්ම ජයරත්නයි පියරත්නයි දෙන්නත් ගල් ගැහුණා.
කොටියා මේ යාළුවන්ට ඇහැ දීගෙනම තොල-කට ලෙව කෑවා, හෙමින් සීරුවේ වලිගය කෙලින් කළා. දැන් යාළුවො දෙන්නටම බුදු ෂුවර් කොටියා පනින්නයි හදන්නේ.
ජයරත්න කොටියා දිහා බලාගෙනම ගල් ගැහිලා ඉඳිද්දී, පියරත්න දඩිබිඩි ගාලා ‘රනින් ෂූස්’ ජෝඩුව දාගන්න පටන් ගත්තා.

“උඹට පිස්සුද මචං... සපත්තු දාගත්තට අර කොටියත් එක්ක දුවන්නයැ? උඹට පුළුවන්ද බං ඌට වැඩිය හයියෙන් දුවන්න.”

“ඒක මං දන්නව මචං.” පියරත්න සපත්තුවේ ලේස් පටි ගැට ගගහා කිව්වා.

“දන්නවා?” ජයරත්න ඇහුවා.

“කොටියව පරද්දන්න බැරි වුණාට මචං, මට පුළුවනිනෙ උඹව පරද්දන්න.” එහෙම කියපු පියරත්න දුවන්න පටන් ගත්තා.

තමුසේ නේද මගේ දුවට ලියුමක් දුන්නේ? මං උඹට උගන්නන්නං...

60. ලක්ෂපතියෙකු වීමේ නොවරදින මඟ

‘දස මසකින් ලක්ෂපතියෙකු වීමේ නොවරදින මඟ දැන ගැනීමට කැමතිද? මුද්දර ඇලවූ ලියුම් කවරයක් සමඟ රුපියල් දෙසිය පනහක මුදල් ඇණවුමක් එවූ විට ඒ රහස ඔබට ලියා එවමි. අත්දුටුවයි, සත්තයි!
වැරදුණොත් අපෙන් ඔබට රුපියල් ලක්ෂයක් ගෙවනු ලැබේ!’

පුවත්පතක පළවූ ඉහත දැන්වීම දුටු වරුණි රුපියල් දෙසිය පනහක් යැව්වාය.
හැරෙන තැපෑලෙන් පිළිතුරු ලැබී තිබිණි.

‘හැම මාසයකදීම රුපියල් දස දහස බැගින් බැංකුවේ තැන්පත් කරන්න. මාස දහයකදී ඔබ ලක්ෂපතියෙකු වෙනු ඇත!’

61. ඉගැන්වීම

“තමුසේ නේද මගේ දුවට ලියුමක් දුන්නේ? මං උඹට උගන්නන්නං කොහොමද ලියුම් ලියන්නෙ කියලා.”

“තෑන්ක් යූ අංකල්!
ඇත්තටම මගේ ලියුම් ලිවීම හරිම දුර්වලයි තමා. මාත් ආසයි කොහොම හරි ඒක හරියටම කරන්න ඉගෙන ගන්න!”

62. ගෙදර ප්‍රධානියා කවුද?

ජන සංගණනය පැවති දිනයේ නිලධාරියෙක් ඒ නිවසට ගොඩ වුණේය. ගෙතුළින් එළියට ආවේ රූමත් ගැමි ගෘහිණියකි.

“අපි සංගණනයටයි ආවේ. කරුණාකරලා මට කියනවද මේ ගෙදර ප්‍රධානියාගේ නම...”

“එයා දැන් නෑ මහත්තයා...”

“එයා දැන් නැතුවට කමක් නැහැ. දැන් ඉන්න කෙනාගේ නමයි අපිට ඕනේ....”

“හිටපු කෙනා අන්තරා වෙලා අවුරුද්දක්වත් යන්න කලින් එහෙම පදිංචි කර ගන්න බැහැනේ මහත්තයා.”

“අනේ සමාවෙන්න!         
මහත්තයා අන්තරා වෙලා නං අපිට ඕනෑ දැනට මෙහෙ පදිංචි වෙලා ඉන්න ගෙදර ප්‍රධානියාගේ නම.”

“මං කිව්වනේ මහත්තයා...
රට්ටු කිව්වට එයා තවම මෙහෙ පදිංචියට ඇවිත් නෑ! යනවා- එනවා විතරයි!”

“හරි හරි! දැන් කවුරු කවුරුද මේ ගෙදර ස්ථිරව පදිංචි වෙලා ඉන්නේ?”

“මමයි, මගේ දරු පැටව් දෙන්නයි!”         

“හරි... නෝන මහත්තයාගේ නම කියන්නකෝ එහෙනං...”

“අනේ මහත්තයෝ, මගේ මැරිච්චි මනුස්සයා නං මට කතා කළේ බබාලාගේ අම්මා කියලා. ඒත් දැන් ඔය යන-එන කෙනා කියන්නේ මගෙ මැණික කියලා. ඔන්නොහෙ ඒක ලියා ගන්න.”

තමුසෙ අධිරාජ්‍යවාදයට උදව් කරනව නේද? කුකුල්ලුන්ටත් දෙන්නෙ පාන් ඈ? ඇමරිකන් පාං පිටි කවපු කුකුල්ලුද තමුසෙ ජනතාවට කන්න දෙන්නෙ?

ඔන්න එහෙනං පහුගිය පෝස්ටුවට එවලා තිබුණු comments අතරන් තෝරාගත්තු තවත් කතා දෙකක්. මෙව්වා රහයි නං, හොඳයි නං මේ වචන උඩ ක්ලික් කළාම මේවා තියෙන තැනට ගිහිං, එකකට එකක් නොදෙවෙනි තව කතන්දර සම්භාරයක් කියෝතැකි!

වෙහෙස නොබලා එහෙම ප්‍රතිචාර දක්වන හැම දෙනාටම ගොඩක්.... ගොඩාාාාාාරියක් ස්තුතියි. 

‘ඩ්රැකීගේ අඩවිය’ ලියන අස්සෙමයි  ඩ්රැකී මෙච්චර දිග කතන්දර ඔබ වෙනුවෙන් ලියල තිබ්බේ. 

අපි කන හැටි

‘මේ අපේ ආදරබර මැතිණිගෙ පාලන කාලයෙ.

ඕං දවසක් කුකුල් ෆාම් එකකට පරීක්ෂකයෙක් පැන්නලු. උන්නැහැ අයිතිකාරයවත් එක්කරගෙන අස්සක් මුල්ලක් නෑර පරීක්ෂා කළාලු සෞඛ්‍යාරක්ෂිත බව, සත්තුන්ට තියෙන පහසුකම් ආදී සකල මනාවම. ආසාවට දඩයක් ගහගන්න එක පොයින්ට් එකක්වත් උන්දැට හොයාගන්න බැරි වුණාලු.

අන්තිමේ බැරිම තැන උන්නැහැ ඇහුවලු, ‘කුකුල්ලුන්ට මොනවද සාමාන්‍යයෙන් කන්න එහෙම දාන්නෙ? කියලා. අයිතිකාරයා කිව්වලු, ‘ළඟ බේකරියෙන් ගන්නවා පරණ පාන් එහෙම...

කියල කට ගන්නවත් හම්බුන්නෑ, ‘හහ්. තමුසෙ අධිරාජ්‍ය වාදයට උදව් කරනව නේද? කුකුල්ලුන්ටත් දෙන්නෙ පාන් ඈ? ඇමරිකන් පාං පිටි කවපු කුකුල්ලුද තමුසෙ ජනතාවට කන්න දෙන්නෙ?‘ කියල ගැහුවලු ටොම්බ දඩයක්.

ටික කාලයක් ගෙවිලා ගිහිං, සියරට දේ ජනතාවට ප්‍රමාණවත් වෙන්න සපයන්න අමාරු කාලෙ, (ඉතින් පරීක්ෂකවරුත් හම්බ කරගෙන කන්න එපැයි) ආයෙත් වතාවක් පරීක්ෂකය පැන්නලු අර ෆාම් එකටම.

කලින් වගේම අස්සක් මුල්ලක් නෑර චෙක් කොරලා, උන්නැහැ ඇහුවලු කලින් ප්‍රශ්නෙම. අයිතිකාරයට මතකයිනෙ කලින් දුන්න උත්තරෙන් කාපු පරිප්පුව, එයා කිව්වලු. වෙන මොනවද ඉතින්, සියරට දේනේ, මම දෙන්නෙ හාලුයි වීයිකියලා.

හා එහෙමද? මෙච්චර මේ මිනිස්සුන්ට හාල් දෙන්නෙත් සළාකෙට. හාල් ප්‍රවාහනය කරන්නත් සීමා කරල තියෙන්නෙ. සතියකට වේල් කීපයයි බත් කන්න පුළුවන්. තමුසෙ මෙතන කුකුල්ලුන්ට දාන්නෙත් හාල් නේද?‘ කියලා ආයි පාරක් ගැහුවලු පත සයිස් දඩයක්.

උඹ මැරුනාම දිව්‍ය ලෝකේ යයි කියලා හරියටම කියන්නේ කොහොමද?

ඕං ඉතින් තව ටික කාලයක් ගෙවිල ගියයි කියමුකො. ආයෙ දවසක් ආවලු ඔය කියන පරීක්ෂකයා, ඒ ෆාම් එකටම. කලින් වගේම චෙක් කොරළා, කොරළා, ඇහුවලු සුපුරුදු ප්‍රශ්නෙ. අයිතිකාරයට මලම පැන්නලු. ඌ කිව්වලු,

මං දන්නෑ මහත්තෙය. මම හැමදාම උදේට කුකුළෙකුට රුපියල් පහ ගානෙ දෙනවා. උන් කොහේ ගිහිං මොනව කාල එනවද කියල මම හොයන්නෑ. මට මොකටද උන්ගෙ පෞද්ගලික කාරණා ? අපේ මැඩමුත් බලන්නෑනෙ අපි කන්නෙ මොනවද- කොහොමද කියලාකියල.

ඔන්න ඔහොමයි අපේ මැතිණිගෙ කාලෙ ජන ජීවිතය.’

Sam Perera රසික සහෘදයා ලියූ කතාව මගේ හිතට ඇල්ලුවේ නිකම්ම නෙවෙයි. ඒකටම රටේ - ආයතනයේ හා කතා කරන භාෂාවේ නම් මාරු වෙවී හිතට නැඟුණු නිසා! ඇත්තටම අපායේ කතා කරනවා ඇත්තේ මොන බාසාවෙන්ද.... එහෙත් ඉන්නවා ඇත්තේත් ‘බාසා වෙල්ලෝ’ද?

අපායේ භාෂාව

‘රුසියානු යුදෙව්වෙක් හීබෘ භාෂාව ඉගෙන ගන්නවා KGB කාරයන්ගේ අතටම අහු උනා.

"උඹ මොකටද හීබෘ ඉගෙන ගන්නේ? ඊශ්‍රායලයට පැනලා යන්නද?? උඹට මැරෙනකං රුසියාවෙන් පැනලා යන්න ලැබෙන්නේ නැහැ!"

"නැහැ, මම රුසියාවෙන් පැනලා යන්නේ නැහැ. හීබෘ ඉගෙන ගන්නේ, මම මැරිලා දිව්‍ය ලෝකේ ගියාම එහේ දේව දූතයන් එක්ක කතා කරන්නයි."

"උඹ මැරුනාම දිව්‍ය ලෝකේ යයි කියලා හරියටම කියන්නේ කොහොමද? බැරි වෙලාවත් අපායට යන්න උනොත් කතා කරන්නේ කොහොමද?"

"මට හොඳට රුසියානු භාෂාව පුළුවන්"

අදට ඇතිනේ...