අකුරු මැකී නෑ

Monday, January 31, 2022

මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස

බුදුහාමුදුරුවන් වහන්සේටත් අවසන් කාලයෙදී ලෝහිත පක්ඛන්දිකාරෝගයෙන්...

‘ආරෝග්‍යා පරමා ලාභා’ කියන්නේ නිකම්ම නිකං නොවෙයිනේ! ඒ විත්තිය පහුගිය මාස දෙකේදීත් මේ ලියන ගොබ්බයාට ආපහු- ආපහු සනාථ වුණා නෙවැ. පසුගිය මාස දෙකේදී නිමල් දිසානායක වැඩි හරියක් හිටියේ ඇඳේ; නිඳාගෙනය.

බුදුහාමුදුරුවන් වහන්සේටත් අවසන් කාලයෙදී ‘ලෝහිත පක්ඛන්දිකා’ රෝගයෙන් පීඩා වඳින්නට සිද්ද වුණා නම්, මං වගේ හින්නිකිතර ඇටිකිච්චෙකු කොහොම ලෙඩවලින් ගැලවෙන්නද?
මගේ වෛද්‍ය වාර්තා කිව්වේ ‘සෞඛ්‍ය තත්ත්වය නරක’ බවයි.
“ඔයාට ආයෙම හොස්පිටල් එකේ නවතින්න වෙයි... නැතිනං සතියක් ගානේ clinic එන්න වෙයි. මේක සෙල්ලමක් නෙවෙයිනෙ. හරියට පරෙස්සම් වෙලා වෙලාවට බෙහෙත් ටික පාවිච්චි නොකළොත්...” කාරුණික දොස්තර නෝනා ‘ප්‍රියංකර තගක්’ දමන්නට ඇත්තේ මා කෙරෙහි වූ කරුණාව හින්දාම වෙන්නැතිය.

Blood Count එක පහළ බැස්සාම මෙලෝ මළ ඉලව්වක් කරන්නට නොහිතෙයි; ඇඟට පණ කළඳක් නැතිව යයි; ඔළුව උස්සාගෙන ඉන්නට හිතෙන්නෙම නැතිව යයි.
‘කොරේ පිටට මරේ’ කිව්වා වගේ; ඒ අස්සේ ‘වයිරස් උණ’කුත් මට බැට දෙන්නට ආවේය. එයින් වුණේ කෑමක්-බීමක් දිහා බලන්නටත් එපා වෙන එකය.

“නිමල් අයියේ, ඔහොම නොකා-නොබී හිටියොත් ඔළුව උස්සන්න බැරි වෙලාම යයි. අපි ඉඳියාප්ප ටිකක් හදාගෙන එන්නං. සුප් ටිකකුත් එක්ක....” චිත්තම්මාගේ දෝණියන්දෑ බබීතාත්, සාන්තත් මුල පිරූහ. ඊට පස්සේ අපේ මානෙල් නංගීත්, wal ප්‍රියන්තගේ බිරිය රසිකා නංගීත්, සරත් හා මැණිකේ යුවලත්, අතුල හා ගයාත් ඒ පෙරහරට එකතු වුණෝය. ඊටත් පස්සේ මර්වින්, ඉන්දිරා, කමනී, තමිර, ජිනදාස අයියලා....
ආරංචිය පැතිරුණාම නිමක් නැතිව ‘විමසීම්’ කෙරෙන්නටත් වුණේය.
“අනේ.... කෑමෙන් බීමෙන් කිසිම අඩුවක් නෑ. මොකුත් ගෙනෙන්න එපා. තියෙන එව්වත් කා ගන්නයි බැරි...” උත්තර දෙද්දී මට එකම දේ ප්‍රතිවාදනය කරන්නට වුණේය.
 

නිදිගෙ පංච තන්තරේට ලියැවුණු වෙනත් කිසිම පෝස්ටු පෙළකට මෙතරම් ලෙඩවැටුණේ නැත!

මගේ appetite එකේ; කෑම රුචියේ තරම කියතොත්, මට එක දවසක්; පැය විසි හතරකදී තුන් වේලටම බඩට යවාගත හැකි වුණේ ක්‍රීම් ක්‍රැකර් බිස්කට් දෙකක් විතරය!

“මේ බලපංකො මචං. මේකගේ ෆ්‍රිජ් එකේ ඇඟිල්ලක් ගහන්න බැරි තරමට කෑම පිරිල තියෙන හැටි. අපිට කුඩම්මාගේ විදිහට සලකන එව්වට තමයි මේ පව් පළ දීලා තියෙන්නේ.... කෑම තියෙනවා- මෙයාට කන්න බෑ! පින නෑ.” අයස්මන්ත මහතාත් එක්කලා පැමිණි නෙවිල් කෝන්තර පිරිමහමින් කිව්වේය.

“නිමල් අයියේ.... අප්පිරියාව නං නොකා හිටියත් කමක් නෑ. මෙන්න මේකෙන් scoops තුනක් දවසට බීගත්තොත් ඇති.” අයස්මන්ත පීරිස් මහත්තයා ‘කොට්ටයක්’ විතර ලොකු bag එකක් උස්සාගෙන ඇවිදින්ය.
“මචං නෙවිල්. මෙයින් එක හැන්දක් දැන්මම හදලා දියං නිමල් අයියට...”

“දැන්මම?” මං ඇහුවා මතකය.
“ටෞකන්නෝ! මේක තනිකරම ප්‍රෝටීන්... තමුසෙගෙ ඇඟට ශක්තිය නැතිව කොහොමද කෙලින් ඉන්නේ... බලපං මචං, මුගේ ගතිය. දැන්මම! ##@%^#@....” ප්‍රිය තෙපුල් වැස්සක්.... දොස්තර මහත්තයාගෙන්.

අත්වැල නෙවිල් අනුරසිරිගෙන්.... “මං නිකන්ද කියන්නේ... මෙයාගේ පණ්ඩිතකම වැඩියි මචං, මොනවා නැතත්!”
WHEY ප්‍රෝටීන් පව්ඩර් පැකට්ටුව විවෘත කළ නෙවිල්, එයින් හැන්දක් අයිස් වතුරෙන් දිය කරමින් කිව්වේය. “තමුසෙ දන්නවද? මේ පැකට් එක 15,000/-ක් විතර වෙනවා!”
කරුමයක හැටි! එච්චර වටිනවා වෙලත්; චොක්ලට් රසයක් තිබුණත්, මොකක්දෝ ‘අමි රසයකුත්’ ඒ කෙහෙල්මල් ප්‍රෝටීන පානයට තියෙනවාය. (ඒ රහට පිං සිදු වෙන්නට, අද වෙනතුරුමත් දවසකට එක scoop එකක් පමණකි, මට බීගත හැක්කේ!)

‘ගී සඳැල්ලේ පෝස්ටුවට දැන් මා ලියන මේ විස්තර අදාළ වෙන්නේ කොහොමදැයි’ දැන් රසික පාඨක ඔබ විමතියට පත් වෙලා ඉන්නවා වෙන්නටත් ඉඩ තිබේ.

ප්‍රභාත් රාජසූරිය රසවතා ඔහුගේ එදා ඇසුණු ගීඅඩවියට සරත් දසනායකයන් ගැන posts තුනක්ම ලියලාය
නිදිගෙ පංච තන්තරේට ලියැවුණු වෙනත් කිසිම පෝස්ටු පෙළකට මෙතරම් ‘ලෙඩ’ වැටුණේ නැත!

Post එකක් ලියනවා නම්, කියවන රසික ඔබට උපරිම සාධාරණය ඉටු කරමින් එය අකුරු කළ යුතුය; ඒ සඳහා කරුණු එකතු කළ යුතුය; ගොනු කළ යුතුය; තහවුරු කරගත යුතුය.
ඔළුව උස්සාගෙන ඉන්නට බැරිව හිටිද්දී film එකේ වීඩියෝව බලන්නේ කොහොමද?
උදේනි දසනායක- සිනෙත් බැද්දගේ හිතවතුන් හා සාමීචියේ යෙදෙන්නේ කොහොමද?

“ගණන් ගන්න එපා මචං. උඹට ටිකක් fit වුණාම එන්නං. මට call එකක් දුන්නු ගමන් මං එන්නං!” උදේනි අපේ ගෙදරට පැමිණි මොහොතේ ආපයින්ම යන්නට සැරසී කිව්වේ, මගේ තත්ත්වය දුටු විටය.

ඉතිං, ගී සඳැල්ලේ 3- මේ පෝස්ටුව ලියන්නට පටන් ගත්තේ, එක දිගට පැය දෙක-තුනක් කොම්පියුටරය ළඟ ලගා ගහගෙන ඉන්නට මට ආයෙමත් හැකියාව ලැබුණාට පස්සෙය; උදේනිලාව ගෙන්නා ගන්නට තරම් සනීපයක් දැනුණාට පස්සෙය! (පසුගිය දෙමාසයේ පළ කළ posts ලිව්වේත්, එකක් ලියද්දී දහ-පහළොස් වතාවක් නැවති-නැවතී කැඩි-කැඩීය.)

ඒ මදිවාට නොහිතපු කුණ්ඩාවාඩයක් කඩා වැටෙනවා වගේ වැඩකුත් සිද්ද වෙලාය. තට්ටයා මහත්තයාගේ ආරාධනයෙන් මේ පෝස්ටුවේ පළමු කොටස ලියද්දී මට තිබුණු ‘එල්ලය’ සී-සීකඩ වෙන්නට කරුණු පෙළ ගැහිලාය. මියුරු ගී තනු ගැන ලිඛිතා, ඩ්රැකී, බකුසුතුමා එහෙම පෝස්ටු ගණනාවක් ලියලාය.
ඒ මදිවාට ප්‍රභාත් රාජසූරිය රසවතා ඔහුගේ
‘එදා ඇසුණු ගී’ අඩවියට සරත් දසනායකයන් ගැන posts තුනක්ම ලියලාය.   

ඉතිං මොකේදැයි දන් වළඳන්නේ? මං වහන්සේ ලියන්නට හිතාගෙන හිටි සමහර කරුණු මටත් වඩා හොඳින් ඒවායේ ලියවිලාය. ඒ නිසා මට සිද්ද වුණේ ‘හිතේ තිබුණු plan එක’ බැද්දට වීසි කරලා අලුතින් හිතන්නටය!
අද ඔබ කියවන්නේ එහෙම ලියැවුණු දේවල්ය; නොවැම්බරයේ හා දෙසැම්බරයේ ලියැවුණු පෝස්ටු දෙකක ඉතිරි කොටසය.

මං වහන්සේ කියාගෙන ආ එක කුසුමෙකි - උයන් පල්ලන් දෙදෙනෙකිචිත්‍රපටයේදීත්.....

මේ පෝස්ටු මාලාවේ මුල් කොටස් දෙක නැවත කියවා බලන්නට රිසි කෙනෙකුට පහසුවක් වෙන්නටය, මෙලෙස ඒවායේ links මෙතැනට ඔබන්නේ:

https://nidigepanchathanthare.blogspot.com/2021/11/blog-post_14.html

https://nidigepanchathanthare.blogspot.com/2021/12/blog-post_08.html

ඒ දවස්වල අපේ උදේනි දසනායක මිතුරා, සිනෙත් බැද්දගේ කියලා කෙනෙකු හඳුනාගෙන හිටියේ නැත. පත්තරේකින් ‘ගීත් මාධුරී ප්‍රසංගය’ ගැන විස්තර දැක්ක උදේනි, සංගමයේ නිර්මාතෘ හා ප්‍රධාන සංවිධායක ‘ප්‍රියන්ත ගමගේ’ට ටෙලිෆෝන් කරලා ‘කොක්ක ගහගෙනය’.
ඊට පස්සේ උදේනිත් ‘පැරණි හින්දි චිත්‍රපට හා ගීත රසික සමාජයේ’සාමාජිකයෙක් වුණේය. ප්‍රියන්ත, සිනෙත් විතරක් නොවේ සිනෙත්ගේ ලොකු අයියා ‘බලංගොඩ සරත්මධු’වත්, උපාලි රාජපක්ෂ මැතිඳුන්වත් මිතුරු කර ගත්තේය.

වැඩි දවසක් යන්නට කලින් (ප්‍රියන්ත ගමගේ මහතා හැර) අනෙත් හැම දෙනාම හඳුනා ගන්නටත්, සමහරුන් එක්කලා trip යන්නටත්, පැදුරු සාජ්ජවලට එකතු වෙන්නටත්, මේ ලියන්නාට වාසනාව පෑදුණේය. සරත්මධු මහත්තයාගේ එකම පුතණු ‘හිමේෂාන්’වත් ඒ අලුත් මිතුරන්ගේ ගොඩටමය අයිති.

ඒ විස්තර ලිව්වේ ‘නයෙක් එළවනවාටත් වඩා දෙයක්’ කරන්නටය. මේ හිතවත්තු කිහිප දෙනෙක්ම චිත්‍රකතා ලෝකයේ දැවන්තයෝ වූහ.
මට ‘පියසිරි ප්‍රින්ටින් සිස්ටම්ස්’ ආයතනයේ රැකියාවට යන්නට මඟ පෑදුණේත් චිත්‍රකතා පත්තර හින්දාය. ඒ සේරම ගැන ඔබටත් කියන්නට තරම් වැදගත් දේවල් තිබේ. අවුරුදු දෙකකටත් කලින් සිනෙත්ව අපේ ගෙදරටම  ගෙන්නාගෙන පැය ගණනාවක් තිස්සේ ඒ විස්තර කියවා ගත්තෙමි; වීඩියෝවක ගබඩා කර ගත්තෙමි. හිතුවාට වඩා දේවල් සිනෙත් හෙළි කළේය.
කවදා ඒවා ලියන්නද මංදා.... නොහිතන දේවල්වලට ප්‍රමුඛතාව දෙන්න වෙනවනේ, මේ post එක වගේ...

නොහිතන දේවල්මය ජීවන ගමනේදී වෙන්නේ. මං වහන්සේ කියාගෙන ආ ‘එක කුසුමෙකි - උයන් පල්ලන් දෙදෙනෙකි’ චිත්‍රපටයේදීත් එහෙමය.

                ‘සොයා සොයා යමි දැකුමට නැත්තේනරඹන අතරේ...

තරුණ අමර් කුමාර්ගෙත්, සොම්නාගේත් පෙම් පුවත දැන ගන්නා කෛලාශ් බාබු ඒ බව සොම්නාගේ මවටත් පවසා අනුමැතිය ලබා ගනියි. මා දැක ඇති ඉතාම සොඳුරු නැටුමක් ඇත්තේ එතැනය. ෆිලුමේ විනාඩි 53 තත්ත්පර 25දීය. ‘සජන සජනා - ඕ සජනා!’
‘පෙම්වත, දැන් මගේ මුළු ලෝකයම ඔබය. මම උමතුවෙන් මෙනි; ඔබට පෙම් කරන්නේ’ රවි ශංකර් ෂර්මාගෙ සුමියුරු තනුවට ආශා භෝන්ස්ලේත් හඬ මිහිරියාව එකතු කරයි. අසන්නට විතරක් නොවේ,
නරඹන්නටත් වටිනා ගීයකි මේ.
ඊළඟට මා කියන්නට යන වෙනස සසඳා බලන්නට ඒ නැරඹීම උදව්වක් වෙනවාට සැක නැත.

මගේ මතකයට අනුව නම්, 1975 විතර වෙද්දී, සිංහල චිත්‍රපටවලට විදෙස් ගී තනු යෙදූ ගී ඇතුළත් කිරීමේ නොනිල තහනමක් ක්‍රියාත්මක වෙමින් තිබුණා වගෙය.
මගේ අපැහැදිලි මතකයට අනුව නම් සිදු වුණේ අදාළ චිත්‍රපටයේ - මුදල් ගෙවා ප්‍රචාරය කෙරෙන ගුවන් විදුලි වැඩ සටහන්වලදී පවා කොපි සිංදු වාදනය කරවන්නට ඉඩ නොදීමයි.

ඒ කාලයේ films දිව්වේ ගුවන් විදුලියේ වෙළෙඳ සේවයේ විනාඩි 15 වැඩසටහන් ආකර්ශනීය වුණු තරමටය; ගීත ජනප්‍රිය වුණු තරමටය.

සරත් දසනායක මහතා වැනි සංගීතඥයන් පෙරටම ආවේ ඒ අවදියේය.

‘සජන සජනා’ට මිහිරෙන් කිසිසේත් නොදෙවෙනි 'සොයා සොයා යමි' නැටුම් ගීය නරඹා තිබෙනවාද? (ඉහතින් වීඩියෝව දක්වා තිබේ.)
ඒ නැතත් ‘රොන් සොයා පියඹන සමනළියකසේ’, ‘රන් මසුරන් කිරි ගරුඬ තලාවෙක’, ‘මා සැඩ සුළඟක’ වගේ සිංදු නම් රසිකයෙකුට අමතක වෙන්නට ඉඩ නැත. ඒ ස්වතන්ත්‍ර ගීතත් තියෙන්නේ මේ ෆිලුමේමය;
1975 අප්‍රේල් 12වෙනිදා තිරගත කෙරුණු ‘ආවා සොයා ආදරේ’ චිත්‍රපටයේය.

එකල චිත්‍රපට නිපදවද්දී, නිෂ්පාදකයනට හිතුමතේ මුදල් වැය කරන්නට හැකියාවක් නොතිබුණි. අතින් කාලා හරක් බලලා වැඩක් නැතිය. ලබාගත හැකි උපරිම ආදායමට අනුවය, නිපදවන්නට වැය කෙරී තිබෙන්නේ. ‘සොයා සොයා යමි දැකුමට නැත්තේ’ නරඹන අතරේ ඔබටම ඒ කියුමේ සත්ත වටහාගත හැකිවේවි.
ශ්‍රී ලංකාවේ චිත්තරපටකාරයන්ට සිද්ධ වෙලා තිබුණේ ‘තුට්ටු දෙකේ අශ්වයන් වැටට උඩින් පන්නවලා රේස් එකෙනුත් දිනන්නට’ය.

ගිරි හිම නිපාතයකට හසුවෙන ඔහු හිමේ අතුරුදන් වෙයි!

ඉතිං ‘Ek Phool Do Mali’ ෆිලුම ගැනනේ කියාගෙන ආවේ. මේං ආපහු එතනට යනවා....

අමර් කුමාර් සගයන් කණ්ඩායමක් සමඟ හිමාලය තරණය කරන්නට යන්නේ, ආපසු පැමිණි විට විවාහ වෙන්නට බලාගෙනය. නමුත් ගිරි හිම නිපාතයකට හසුවෙන ඔහු හිමේ අතුරුදන් වෙයි.
‘විපතට විපත එක් වුණු තැන මහ විපත’ කියා කේයස් කවීන්ද්‍රයා ‘සුදෝසුදු’හි කියා තියෙන ජාතියෙ විපත්තියකි දැන් සිදුවී තියෙන්නේ. සොම්නා ගැබිණියක් වෙලාය.

අවිවාහක තරුණියක ලෙස, පියෙකු නොමැති දරුවෙකු මෙලොවට බිහිකොට අවමන් විඳිනවාට වඩා මරණය සැපයකියි සොම්නා සිතයි; සියදිවි හානි කර ගන්නට සැරසෙයි. කෛලාශ් බාබු දෙවියෙක් වන්නේ එතැනදීය. ඔහු සොම්නා විවාහ කර ගනියි. ඇයගේ දරුවාට සුජාත බව ලබා දෙයි. බිලිඳාට පියෙක් වෙයි. ඒ බව ගීතයකිනුත් පවසයි!

එදා-මෙදාතුර මා අසා ඇති මියුරු ගීතයකි ඒ; දයාව වෑස්සෙන- කරුණාව උත්පාද කරවන මේ ගීතයේදී මන්නා ඩේ ගායකයාණන්ගේ හඬ පෞරුෂය, නළු බාල්රාජ් සහානිට අපූරුවට ගැළපෙයි.

‘ඔබට හිරු යැයි කියන්නද, සඳු යැයි කියන්නද,
පහනක් යැයි කියන්නද - නැත්නම් තරුවක් කියා කියන්නද?
මගේ නාමය මෙලොව දිදුලවන මගේ සුරතලෝ’

‘හ්ම්....හ්ම්....හ්ම්....හ්ම්...හ්ම්
තුජෙ සූරජ් කහුං යා චන්දා - තුජෙ දීප් කහුං යා තාරා
මෙරා නාම් කරෙගා රෝශන් - ජග්මෙං මෙරා රාජ් දුලාරා//’

උපාලි රාජපක්ෂ මහතා ඒ සංගමයේ ප්‍රියන්ත ගමගේ, වෛද්‍ය රසිත පෙරේරා, සිනෙත් බැද්දගේ, වෛද්‍ය ශයිලේෂ් කුමාර් ඇතුළු පිරිසත් කැඳවාගෙන....

“උදේනි, ඔයා නේද මේ සිංදුව ‘රවි උපහාර භාරත ගී සංධ්වනියෙදී’ ගායනා කළේ, රවි ශංකර් ෂර්මා අසහාය සංගීතඥයා ඉදිරිපිටදීම...” මම මිතුරු උදේනිගෙන් ඇසුවෙමි.

“ඒක නං නිමලෝ ජීවිතේට අමතක නොවෙන මාර chance එකක්.
ඒ සේරටම පිං දෙන්න ඕනි පද්මිනී රාජපක්ෂ මැඩම්ට. පද්මිනී මැඩම් පුදුමාකාර හින්දි සිංදු පිස්සියෙක්. එයා අන්තරා වෙන්න කලින් උපාලි රාජපක්ෂ මහත්තයාගෙන් ඉල්ලීමක් කරලා ‘එයා නැතත් පැරණි හින්දි චිත්‍රපට හා ගීත රසික සමාජයට දිගටම උදව් කරන්න’ කියලා.” උදේනි කිව්වේය.
“නිමල් අයියා විශ්වාස කරනවද, මේ show එකට ලක්ෂ 70ක් වියදම් කළේ රාජපක්ෂ මහත්තයා....” සිනෙතුත් කියයි!

වෙන්නැති! ඒ මෙහෙයුම එතරම්ම සුවිසල් එකකි.

උපාලි රාජපක්ෂ මහතා ඒ සංගමයේ ප්‍රියන්ත ගමගේ, වෛද්‍ය රසිත පෙරේරා, සිනෙත් බැද්දගේ, වෛද්‍ය ශයිලේෂ් කුමාර් ඇතුළු පිරිසත් කැඳවාගෙන භාරතයේ මුම්බායි ගොස්, සංගීතඥ රවිට ශ්‍රී ලංකාවට පැමිණෙන්නැයි ඇරයුම් කළේය;
සංගමයේ 19 වැනි හින්දි ගීත ප්‍රසංගය ලෙසින් 2010 මාර්තු 7 වෙනිදා ‘සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී’ රවි උපහාර භාරත ගී සංධ්වනිය පැවැත්වීමේ වැය බර දැරුවේය.

“අනේ මචං, අපේ අතින් ලක්ෂ ගණන් වියදම් නොකළට ඒ දවස්වල ඔය show එක හොඳට කර ගන්න සිනෙතුයි මායි දෙන්නත් කාපු කට්ටක්!” උදේනි මතක් කරයි.

“ඔයාලට තියෙන හින්දි උණේ හැටියට කැමැත්තෙන්ම ඒවා කරන්න ඇත්තේ පැල් බැඳගෙන වෙන්නැතිනෙ.....” උදේනි කොච්චර හින්දි සිංදු පිස්සෙක්ද කියනවා නං ‘Ek Phool Do Mali’ චිත්‍රපටය 11 වතාවක් නරඹා තිබෙන්නෙකි.
“ඇයි මචං, ඒ කාලෙ රේඩියෝ එකෙන් විතරයිනේ අපිට ඔය සිංදු අහන්න වෙන්නේ. උඹ දන්නවද මම 1969 අවුරුද්දෙම ‘
Pyar Ka Mausam’ film එක බලන්න 16 වතාවක් ගිහිල්ලා, හතර  වතාවක් බැරි වෙලා 12 වතාවක් බලලා තියෙනවය කියන එක?”

පද්මිණී රාජපක්ෂ මැතිනියයි, සිනෙත් ‘සංගීත සංකේත’ ලෙසින් නිමැවූ ‘රවී’ නාමයයි...

“පිස්සුවටද?”

“පිස්සුවකුත් තමයි මචං, Tum Bin Jaun Kaha සින්දුවට මම ඒ තරමට පිස්සු වැටුණා.... දන්නවනෙ ඒකට හදපු සිංහල සිංදුව.... මේ ගී කාටදැයි ඔබ දන්නවා ඇති.” උදේනි ගයා පෙන්වන්නටත් පටන් අරගෙන ඉවරය.
ඉතිං ඒ අවට හිටින්නන්ටත් ඒ ගීත ගඟුලේ කිමිදෙන්නේ නැතිව හිටියැකිද?

“හැබැයි උදේනි, කොයි කාටවත් ලේසියෙන් අර රවීම කියන ‘කිස්මත් කේ නිරාලේ’ සිංදුව කියන්න නං බැරිවෙයි!”

එහෙම සිංදු තියෙනවා තමයි නිමලෝ! Show එකේදිත් රවී ඒ සිංදුව තමයි sing කළේ....”

“කොහොමද ඔයාලගේ සිතාර් නිර්මාණය.... රවී මහත්තයා ගොඩක් සතුටු වුණානෙ....” යටගිය කතාවක් මතු කර ගන්නට නම් ප්‍රශ්නයක්වත් අහන්නට වෙයි.
“Stage එකට සම්ප්‍රදායික පොල්තෙල් පහන වෙනුවට සිතාර් එකක් හදන්න මම යෝජනා කළාම, මටම වැඩේ බාර දුන්නා...
මචං, මටත් වැඩිය හොඳට
අපේ ළමයි තුන්දෙනා වැඩේට set වුණා. සිතාර් එකක original මෙෂර්මන්ට්ස් අරගෙන ඒ අනුපාතයට වැඩි කරලයි සැරසිල්ල හැදුවේ....”

“ඔව් නිමල් අයියේ, මාර ලස්සනට වැඩේ තිබුණා...” සිනෙත්ට ඒ සතුට දැනුත් දැනෙනවා වගෙය.

“ඔය අතරෙ මට තව පොඩි ඕපෙයකුත් මතක් උනා... අපේ හිංදි ප්‍රසංගයේ නම ‘රවී උපහාර භාරත ගී සංධ්වනිය’නෙ... ඒ නම අඳිද්දි රවී කියන නම මම ඇන්දේ Music symbol දෙකක් චුට්ටක් වෙනස් කරල අරං... ඉතිං ඒක මම රවීට පෙන්නුවා... මෙලෝ සිංහලක් දන්නෙ නැති රවී නොසැලකිල්ලෙන් ‘හ්ම්ම්... Music symbols කියල කිව්වා...
මං කිව්වා
No… no... this is not only music symbols. Ravi in sinhalees කියලා... රවී ඔලුවෙ අත ගහගත්තා. හිංදි හොඳටම දන්න Dr. රසිතගෙනුත් විස්තරේ අහල... මගේ අත මිරිකල අල්ලගෙන මං දන්නෙම නැති හිංදියෙනුයි- ඩිංගක් විතර තේරෙන ඉංග්‍රීසියෙනුයි ගොඩාක් මාවත් වර්ණනා කළා...”
අදත් සිනෙත්, උදේනි දෙන්නා ඒ මිහිරි අතීත අත්දැකීම් මතක ගඟුලේ ගිලෙමින් විස්තර කරති.

ඒත් අච්චාරු ගීතවල මුල්ම යුගයට මේ සින්දුවත්...

ඇත්තය, ඒවා දිවි තුරාවට අමතක නොවෙන අත්දැකීම්ය. මමත් කේ.එම්.අයි. ස්වර්ණසිංහ සුලවතාණන් නිසා එවන් සොඳුරු දිනයක් ගත කළෙමි. (ස්තුතියි ස්වර්ණසිංහ මහතාණෙනි, මටත් නෙවිල්ටත් ඒ ඉඩ ලබා දුන්නාට!) ඒ අත්දැකීම කොච්චර මසුරන්ද කියනවා නම් blog අඩවියේ 28 වැනි post එක ‘කූචු කුචයියෝ’ එකෙන් මං ඒ ගැන ලිව්වත් එක්කය.

ඉතිං, මියුරු ගී තනු ගැන කියැවුණු මගේ පෝස්ටු මාලාව තවත් එකකට ගෙනියන්නට නම් කොහෙත්ම බැරිය. ඒත් කියන්නට දේවල් ගොඩකි. මොකද කරන්නේ?
‘නිමලෝ, film එක ගැන නොකියා අනිත් විස්තරවලින් ටිකක්වත් කියමු!’ යටිහිත පංකාදු යෝජනාවක් ගෙනෙයි.....

සිංදු අච්චාරු දාන්නටත් ඇහැකිද?

‘ගීත අච්චාරු ගීත කියවෙන්නට පටන් ගත්තේ කවදා ඉඳලාද කියන්නට තරම් මට දැනීමක් නැත. ඒත් අච්චාරු ගීතවල මුල්ම යුගයට මේ සින්දුවත් අයිති බවක් නං මට හැඟෙයි! මේ ගීතයත් තියෙන්නේ 1969 මැයි 7 වෙනිදා තිරගත වීම ඇරඹුණු, රවී සංගීතවත් කළ ඒක් ඵූල් දෝ මාලි film එකේමය!
Chal chal re naujawan
දින වකවානු අනුව බලනවා නං, රවී ශංකර් ෂර්මා සංගීතවේදියාණන් ඉන්නේ අපේ එක්කෙනෙකුට පිටිපස්සෙනි! මං එහෙම කියන්නේ සහේතුකවය.

සිංහල චිත්‍රපට මාලාවේ 193 වැන්න තිරගත වුණේ 1969 මාර්තු 5 වෙනිදාය. එහි නම ‘කොහොමද වැඩේ’ය. මේ ලියන්නාට ඒ චිත්‍රපටයේ (‘වට්ටි අම්මා’ කෙනෙකුගේ චරිතයට පණ දෙන ක්ලැරිස් ද සිල්වා ‘උමතුවෙන්’ ගයමින්- නටන) ගීතයක් ගැන හොඳට මතකය.
ඒ ගීතය ගයන්නේ ලතා වල්පොල හෝ සුජාතා අත්තනායක බවත් මතකය. ආදර මධුර අතීතේ, මල් පොඩි පිපිලා වසන්ත කාලේ ගී දෙක හා තවත් ජනප්‍රිය ගී ගණනාවක තනු අනුව ගැයුණු ඒ අච්චාරු ගීතය හොයා ගන්නට මෙතෙක් මා දැරූ වෑයම සඵල නොවිණි. දැනුමැත්තෙක් සිටී නම් උපකාර කරත්වා!

මේ වාගේ කාරණා ගොඩාරියක් හින්දාය මං මේ පෝස්ටුවට ‘Ek Phool Do Mali’ ෆිලුමේ ගීත....

‘කොහොමද වැඩේ’ සිංහල ෆිලුමෙහි එන අන්න ඒ ගීතය දැක්කට පස්සේ වෙන්නැති, රවී ‘චල් චල් රෙ නෞජවාන්’ නිර්මාණය කරන්නට ඇත්තේ.

මේ වාගේ කාරණා ගොඩාරියක් හින්දාය මං මේ පෝස්ටුවට ‘Ek Phool Do Mali’ ෆිලුමේ ගීත විශේෂයෙන් පාදක කර ගත්තේ...

සමහර හින්දි ගීතවලට වඩා මැනවින්, අපේ අනුකරණ ගීත සාර්ථකවී තිබියදී- මොකක්දෝ හේතුවකින්  Ek Phool Do Mali’ ගීත කොපි කරලා ජය ගන්නට අපේ උදවියට හැකි වෙලා නැති හැටි.... අර අමරණීය ගීතයවත්; ‘ඕ නන්හේ සෙ පරිස්තේ’ ගීතයත් තවම සිංහලයට කොපි කෙරිලා නැත!

ඒසා අද්විතීය නිර්මාණ බිහි කළ රවී ශංකර් ෂර්මා සංගීතවේදියාණන්ගේ උත්තම ගුණයක් ගැනත් මා දැනුවත් කළේ උදේනි- සිනෙත් දෙන්නාය.

“මේ කතන්දරේ එළි වුණේ අපි ඉන්දියාවට ගිය ගමනේදී. අපට රවීව හමුවෙන්න තිබ්බේ එයාගෙ ගෙදරදී.
සංගීත අධ්‍යක්ෂකවරයෙකු වගෙම ඒ දවස්වල ප්‍රසිද්ධ ගායකයෙකුත් වෙලා හිටිය හේමන්ත් කුමාර්ගෙ සහාය සංගීත අධ්‍යක්ෂකවරයා වෙලා හිටිය රවී පළවෙනි වතාවට සංගීත අධ්‍යක්ෂකවරයෙකු වෙන්නේ
'වචන්' චිත්‍රපටයෙන්. රවී ඉස්සෙල්ලාම සංගීත අධ්‍යක්ෂණය කළ චිත්‍රපටයේ නමම තමයි ඒ ගෙදරටත් තියලා තිබ්බේ.

-රවීගේ මුල්ම films කීපයෙම music - රවී ශංකර් විදිහටයි නාමාවලියේ දාලා තියෙන්නේ.
ඒ කාලෙ මුලු ලෝකයෙම ජනප්‍රිය වෙලා හිටිය සිතාර් වාදන ශිල්පියාගෙ නමත් රවී ශංකර්...” සිනෙත් කිව්වේය.

“එතකොටද සිනෙත්, රවී ශංකර්තුමා මේ රවීට ටෙලිෆෝන් කරලා තියෙන්නේ?” උදේනි සිනෙත්ගේ මතකය අවදි කරවයි.

ඔය උඹ කියපු ජාතියෙ ලොක්කො ගාව ඉන්න පක්කලි සොක්කොන්ට බලය නැති වෙච්චි ගමන් කවුද මචං උන්ගේ නමක්වත් කියන්නේ?

“ඒකනෙ උදේනි!

-රවී, ඔයාගේ film music අපූරුයි කියලා මිනිස්සු මටයි කෝල්ස් දෙමින් කියන්නේ.... එක අතකින් ඒක මට හරි කරදරයක්, අනෙක් අතින් මට කෙරෙන මට හිමි නැති ගෞරවයක්- කියලා රවී ශංකර්තුමා කියලා.
මේ මනුස්සයා ඒ වෙලාවේම කිව්වලු ‘මීට පස්සේ මම music කරන ෆිල්ම්ස්වලට මගේ නම නිකම්ම රවී කියලා විතරක් දාන්නං’ කියලා....” සිනෙත් පැහැදිලි කළේය.

“අන්න නියම නිහතමානී කලාකාරයෝ. අපේ මිනිස්සු නං නොකළ දේකට හරි ඕනිම credit එකක් පැනලා බාර ගනියි! උදේනි කියනවිටය මටත් මතක් වුණේ!

“මට මතක් වුණා, හිනා post එකකට මම ලියපු යාන් එකක්.... හැබැයි ඒකෙ කියවෙන්නේ ක්‍රෙඩිට් එකක් ඉල්ලල ගන්න ගිය කෙනෙක් ගැන නෙවෙයි, ලොක්කෙක්ගේ ‘අධෝ වාතයක්’ කල් තියාම ඉල්ලපු සොක්කෙක් ගැනයි!”

“නිමලෝ, ඒක් ඵූල් දෝ මාලි’ සිංදු ගැන අද අපි කතා කරනවා, අවුරුදු පනහකට පස්සෙත්...
ඔය උඹ කියපු ජාතියෙ ලොක්කො ගාව ඉන්න පක්කලි සොක්කොන්ට බලය නැති වෙච්චි ගමන් කවුද මචං උන්ගේ නමක්වත් කියන්නේ?” උදේනි ලේ කුපිත කරවන උත්තරයක් බැන්දාම ‘මගේ සිංදු මූඩ් එක බින්දුවටම බැස්සේය’.

අපේ කතාබහත් නැවතුණේය;
මේ post කිහිපයත් අවසන් කරන්නට හිතුණේය. එහෙම කරන්නට ඉඩ දෙන්නැයි කියමින් මේ පෝස්ටුවට කුණ්ඩලිය යොදන්නේත් එබැවිනි෴

Tuesday, January 25, 2022

‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ

සිරිලක සවුදම කියන්න නොහැකිය, මෙහෙම කවියකින් දෙකකින් නම්

පපුවට ගස-ගස රට දැය රකින්න නහයෙන් අඬ-අඬ පතා වරම්
බලයට ඇවිදින් කරනා බලු වැඩ -මහ මිහිකත නූසුලන තරම්
කියන්න ලජ්ජයි, ඒත් කියන්නට දෙන්න මහතුනේ මෙමට වරම්
සිරිලක සවුදම කියන්න නොහැකිය,
                                  මෙහෙම කවියකින් දෙකකින් නම්

දකුණ කරන දේ වම දන්නේ නෑ, වමතේ කෙරුවාවත් එහෙමයි
සාමූහික බව නං වචනෙට විතරයි - ගාල කඩා ගත්තා වාගෙයි
රටේම සම්පත් විකුණන්නට නං - එකා වගේ බැම්මෙන් බැඳෙතෙයි
එතකොට නම් මේ රොත්තම සමඟියි,
                                 භේද තියෙන්නේ අප අතරෙයි!

අන්තිමෙ බලද්දි නඩුත් බඩුත් සේරෝම තියෙන්නේ උන්ගෙ අතේ

නැව් ගිනි ගත්තා; සත්තුත් මැරුණා - දත්තත් මැකිලා ගිහින් අනේ
වන්දිත් ඔහෙ නෑ පාඩුව රටටයි -
කාටද ඒකෙන් සෙතක් වුණේ
කාගෙන් කියලා අහගන්නටදෝ රටට වෙලා ඇති විනේ අනේ
දන්නව නං මට කියලා දෙන්නකෝ සතර වරම් දෙවි හාමුදුරුවනේ

තැන තැන පිපුරුවෙ ගෑස් සිලින්ඩර වැරැද්ද මහ ජනතාව අතේ
අන්තිමෙ බලද්දි නඩුත් බඩුත් සේරෝම තියෙන්නේ උන්ගෙ අතේ
එකම රටක එක නීතිය තියෙන්නෙ
                             ලොකු- තඩි පොත්වල තමයි පුතේ
නඩු විසඳෙන්නේ අනාගතෙයි; මතු බුදුවන දවසක බුදුන් මෙතේ

මිලියන තිහක්ම උපද්දගෙන ඇත - අනේ හිරිකිතක් උන්ට නැතී

හොරට වෙනස් කර ගෑස් සංයුතිය, ලද ලාභය පොඩ්ඩක් නොවෙතී
මිලියන තිහක්ම උපද්දගෙන ඇත - අනේ හිරිකිතක් උන්ට නැතී
ගලේ පහරලා වාගෙයි ඉන්නේ, බකන් නිලාගෙන බඩ උලතී
ලජ්ජා නැතිකම ලොකුම වත්කමයි, එහෙමයි මේ මහතුන්ගෙ ගතී

ලයිට් කපනවා/ නෑ නෑ නෑමයි තප්පුලනව කියමින් බේගල්
දවසක් යද්දී උන්ට මතක නෑ - උන්ම දොඩා තියෙනා දේවල්
කැවිලද මන්දා මුන් රොත්තටමත් - දෙවියන් වෙනුවෙන් පිදුව සහල්
ඇතුළෙත් ගැට - පිට පැත්තෙත් ගැට ගැට,
                                    මණ්ඩලයත් හොඳටෝම කචල්

දෙසිය විසි පහම අවුරුද්දකදීපොත් තුන්සීයක් ඇත කියවා

තොපි වවපල්ලා පොහොර කාබනික විතරක් දාලා තොපෙ වැවිලී
කොහොම වවපුවද ගෙන්වන්නේ කියලා නම් නැත්තේ කිසි හෙවිලී
වස කෑවත් ඇයි, පොඩි මිනිසුන් නෙව ගියදෙන් නැති වීලා වැළලී
සදා හිඳින්නයි උන්ගේ අදිටන - වැජඹීලා බැබළී බැබළී

රට කරවන්නට උගතුන්, වියතුන් පත්කොට දියවන්නාවෙ යවා
පුස්ස බින්ද වගෙ තකතිරුකම් නං, අනේ අපිත් මදි නැත කෙරුවා
‘දෙසිය විසි පහම අවුරුද්දකදී’ පොත් තුන්සීයක් ඇත කියවා
එයිනුත් වැඩියක් ‘නිකං කතන්දර’
වාර්තාවකින් ඇත පෙන්වා

ගනුදෙනුවලදී කොමිස් ඉල්ලලා, ලොවක් ඉදිරියේ නීච වෙතී

වේල කන්න නැත හයින්-හාමතේ; බඩ ගින්නෙයි මිනිසුන් ඉන්නේ
දිවිය ලෝක සැප ගන්නයි ගුවනින් ගිහිල්ල මල් ඉහලා එන්නේ
එව්වට වියදම
කෝටි ගණන් වැය අම්ම-අප්පගෙන් නැත ගන්නේ
‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ

සිරි ලංකාවේ චේතිය රජවරු ගණනක් නැතිවම බොරු කියතී
ගනුදෙනුවලදී කොමිස් ඉල්ලලා,
ලොවක් ඉදිරියේ නීච වෙතී
එව්ව හෙළි වුණත් වගේ-වගක් නෑ, action ගන්නෑ ඔහෙ ඉඳිතී
කපුවෝ හිටගෙන ජරා කරද්දී ගෝලයො දුව-දුව එය කරතී

වජු බිල්ලමඑක අතින් වසාගෙන පෙරහරකට වුව එක් වෙන්නා

නමේ ගරුත්වය- නමේම නම්බුව පෙරටු කරන් ඉන්නා ජපනා
වරදක් විණි නම් ‘හරාකිරි’ කරන්, තම අභිමානය රැක ගන්නා
ඕන්න ඒකට අපේ ගොයියො නං, රෙද්ද ගැලවුණත් නොතකන්නා
‘වජු බිල්ලම’ එක අතින් වසාගෙන පෙරහරකට වුව එක් වෙන්නා

‘වතුර බිල හිඟයි - කපන්න වෙනවා’ දුගී අයට පණිවිඩ එවතී
මැති- ඇමතින්ලා කෝටි ගණන්වල පොලු තියලා ඇති බව කියතී
‘අය කර ගන්නව- නීති ප්‍රකාරව’
හයියෙන් පුරසාරම් දොඩතී
කටින් බතල කොළ හිටවන්නට මේ වාගේ හපන්නු ලොවෙත් නැතී

අද වෙනකල්මත් ඉන්නව ලොක්කෝ, කටක් අරින්නෑ ඒ වෙනුවෙන්

උගන්ඩාවටත් printed කඩදහි ටොන් ගණනක් යවලා ගුවනින්
අද වෙනකල්මත් ඉන්නව ලොක්කෝ, කටක් අරින්නෑ ඒ වෙනුවෙන්
ඉතිං බංකොලොත් නොවී තියේවිද ‘ධර්මද්වීපය’ ඔය විදිහෙන්
තව කොහෙ යවලා ඇතිද හොරා කෑ-
                         සල්ලි පිල්ලි ගහපුව අපගෙන්

කටේ නරි වදන් පෙරෙනව රෙද්දෙන් - කියවෙයි අලුත්ම ප්‍රවුර්තියෙන්
ලංකාවත් ඇත දූෂිත
රටවල් ගොන්නේ ඉහළම තැන් ගනිමින්
‘සැපයි නෙවෙද දැන්’ කියල අහන්නට
                                 වගකිව යුත්තොත් කොහෙද ඉතිං
උන්දැල සේරම ‘පැලෙන්න කාලා උස්මුරුත්ත වෙල’ සනීපයෙන්

‘සැපයි නෙවෙද දැන්’ කියලා අහන්න වගකිව යුත්තොත් කොහෙද ඉතිං

උන්ටත් දුන්නා උන් කෙරුවෙත් නැත - රිස්ස ගිහින් තිබ්බා විතරයි
මුන්ටත් දුන්නා මුන් කෙරුවෙත්  නැත -
                                 දෙගොල්ලගෙම කෙරුවා එකමයි
තට්ටු මාරුවට හැත්තෑ වසරක් ගෙවුණා, රටට යහපතක් සිදුව නැතෙයි
දැන්වත් අලුතින් හිතමුද මහතුනි, මේ ඒකට නිසි කාලෙ තමයි!

!!!!!!!!!!!!!!!!!!!!!!

‘නමියගේ වීදිය’ blog අඩවියේ රචක සහෘදයාගේ ඇරයුම පිළිගෙන- මහරගම, පමුණුවේ පදිංචි නිමල් දිසානායක විසින් ප්‍රබන්ධ කරන ලද්දකි෴