li Item

Friday, June 25, 2021

හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස

මම අමර හේවාමද්දුම. නුගේගොඩ සරසවියේදී දැකලා ඔබේ පොතක් අරන් ඇවිත්...

අදටත් හිනා වුණා ඇති නෙවැ ආයුබෝවන්ලා..... කියාගෙන පහුගිය කොටස නැවැත්තුවාට මොකද, පොතේ තව ගොඩාරියක් ඉතිරියි. ඒ වගෙමයි. හිනා’ දෙවෙනි පොතේ පෙරවදනේ ඉතිරි හරියකුත් තියෙනවා, ඒ ටික ලියලා අහවර කරන වැඩේ ඉස්සෙල්ලාම:

කාශ්‍යප බුදුන්ගේ කාලයේ සිටම පොත් පළ කිරීමට, සංවර්ධනය කිරීමට උර දෙන දෙවෙනි ප්‍රකාශක මහතාට මම ඊළඟට කතා කළෙමි. අපෝ නිමල්, ඒක අපේ සාප්පුවේ විකුණන එක අපිට හොඳ නෑ!එතුමා කීවේය.

එහෙනං මං පොත් ටික ගන්න එන්නං.මම කීවෙමි.

අපේ හිටපු ගෝලයා ගියානේ.... පොත් ටික හොයලා බලලා මම කියන්නම්.උත්තරය විය. අහෝසි කම්මකියා දෙයකුත් තිබෙන බව අන්තිමේදී මට පසක් විය.

තෙවෙනි ප්‍රකාශක මහත්මා කලින් දෙපළටම වඩා හොඳය.

පොත තවත් පොත්හල්වලටත් බෙදාහැර තිබිණි. පොත් අලෙවි වීමද සිදුව තිබිණි. ඒත් තවම මුදල් නම් නොලැබිණි. අතින් සල්ලි දීලා හූනියම් කරගත්තා වැනිව ඔවුන් අමනාප කර ගන්නේ කුමකටද? මම මෞන වෘතය රැකීමි.
මුද්‍රිත පොත්
1000න් 500ක්ම වතුරේ ගියේ එහෙමය!

ඒ වනවිටත් පරිගණක අක්ෂර සංයෝජනය කර තිබුණු හිනා තවත් හිනා  හමස් පෙට්ටියට දැමුවෙමි.

මම අමර හේවාමද්දුම. නුගේගොඩ සරසවියේදී දැකලා ඔබේ පොතක් අරන් ඇවිත් කියවනවා. මේක මරුනෙ හලෝ! මම බඩ අල්ලාගෙන, බිම පෙරළි-පෙරළී හිනා වෙවී කියවන්නේ... දෙවෙනි එක ගැහුවාම නොවරදවාම මට කියන්න....මුදල් දී පොතක් ගන්නට ඇති, පෞද්ගලිකව මා නාඳුනන- ඇසූ පිරූ තැන් ඇති එක් පාඨකයෙකි ඒ.

මගේ මහාර්ඝ ලටපට එකතුව ලටපට, අතිරස ,සිනා කලාප කිහිපයකින් තවත් පොහොසත් විය!

මගෙන්ම පොතක් ලබාගත් තවත් මිතුරෙකු කීවේ වෙනත් කතාවකි. නිමල් අයියගෙ නමටත් හරි නෑ මෙහෙම පොතක් ලියපු එක. ඇයි මෙහෙම එකක් ලිව්වේ?” උපාධිධාරී තරුණයෙකුවූ ඔහුට මගේ පිළිතුර වූයේ සිනහවක් පමණකි.

ඊටත් පසුව තවත් නන්නාඳුනන කෙනෙක් මට දුර ඇමතුමක් දුන්නේය. “... දිසානායක මහත්තයෝ. මම ජෙරාඩ් පෙරේරා කියලා කෙනෙක්. කැලණියේ ගෝනවල. හිනා වෙන්න හිනාකියවලයි කතා කරන්නේ. මරු පොත!

-මෙහෙම ඒවා තමයි අදට ඕනෑ....අපේ කතාබහ ඇවිළී ගියේය.

අනේ මහත්තයෝ, මෙහෙම ඒවාට වල්කතා කියලා කියන අයගේ වැඩ හොයලා බැලුවොත්... ඒ කාලේ හේමපාල මුනිදාස මහත්තයල වගේ අය ලටපට’, ‘අතිරසකරද්දීත්.... මු. අරුක්ගොඩලා සිනාපත්තරේ කරද්දීත් සමහරු බැන්නා කුණුහරුප කියලා... ඒවා ගණන් ගන්න එපා.....

එහෙම කියා ජෙරාඩ් පෙරේරා මහතා නිකම් හිටියේ නැත. යාං හෑලි ටිකකුත්, ලටපට, අතිරස ,සිනා කලාප කිහිපයකුත් එව්වේය.

මගේ මහාර්ඝ ලටපට එකතුව ඒවායින් තවත් පොහොසත් විය!

........

ඉතිං එහෙනං මෙන්න. පොතේ කතන්දර ආයෙමත්...

17. වාහනයක් එනවා

සිරිවර්ධන කලබලෙන් හති දාගෙන ගෙදරට දුවගෙන ආවා. එයාගෙ නෝනා සිරියාවතී හොඳටම බය වෙලා මහත්තය ළඟට දිව්වා.

මොකද, මොකද?”

කතා කරන ගිරව් නං හැම තැනම ඉන්නවනේ....

බය වෙන්න දෙයක් නෑ. ඉක්මනට ඔයාගෙ ඇඳුම්-කැඩුම් ටිකයි, බඩු මුට්ටු ටිකයි පැක් කර ගන්න. තව ටිකකින් වාහනයක් එයි.... ඉක්මන් කරනවා ඉතිං....

මොකද මේ හදිස්සිය?”

ඊයේ රෑ ඇදපු ලොතරැයියෙන් මට මුල් දිනුම ඇදිලා. තෑග්ග කෝටියයි....සිරිවර්ධන කිව්වා.

දෙයියෝ අපෙ මූණ බලලා... මට සන්තෝසේ බෑ... ඉතිං මෙයා, මම ගන්න ඕනි නුවරඑළිය පැත්තට අඳින ඇඳුම්ද, කතරගම පැත්තට අඳින ඒවද?” සිරියාවතී ඇඹරෙමින් ඇහුවා.

ඕනෙ පැත්තකට අඳින ඒවා ගන්නවා. මට ඒකෙන් වැඩක් නෑ. තමුසෙගෙ ඔක්කොම දේවල් අරගෙන හොඳ හිතින් මෙහෙන් තොලොංජි වෙලා යනවා.
අපෙ කසාදෙ අදින් ඉවරයි!
තමුසේ
, තමුසෙට ඕනෙ දිහාවක ගිහින්- තමුසෙගෙ වැඩක් බලා ගන්නවා. තමුසෙට ඕනෑ තූත්තුකුඩියකට තමුසෙව ගිහින් දාන්නයි වාහනේ එන්නේ.

18. ගායක ගිරවා

සකලසේන කතා කළ හැකි ගිරව් විකිණීමට තබා ඇති වෙළෙඳසැලට ගොඩ වුණේ අහම්බෙනි. ගිරා වෙළෙන්දා ඔහු සතුව සිටින ගිරවුන් එකිනෙකා පෙන්වමින් විස්තර කියන්නට පටන් ගත්තේ කෙසේ හෝ වෙළෙඳාමක් කරගනු කැමැත්තෙනි.

කතා කරන ගිරව් නං හැම තැනම ඉන්නවනේ....

සකලසේන එසේ කිව්වේ වෙළෙන්දාගේ කරදරයෙන් ගැලවෙනු සඳහාමය.

අද කාලේ ඇත්තුත් බොරු දත් දානවා වගේනෙ!

ඔහොම කියන්න එපාය... මෙන්න සර්ටම කියාපු ගිරවා... මූට සිංදු කියන්න පුළුවන්...

සිංදු කියන්න?”

ඔව් සර් ඔව්! මූට භාෂා දෙකකින් සිංදු කියන්න පුළුවන්. මුගේ වම් කකුලෙන් ඇද්දොත් මූ ඉංග්‍රීසි සිංදු කියනවා. දකුණු කකුලෙන් ඇද්දාම සිංහල සිංදු කියනවා.වෙළෙන්දා පාරම් බෑවේය.

එතකොට කකුල් දෙකෙන්ම ඇද්දොත්?”

සකලසේනගේ ප්‍රශ්නයට වෙළෙන්දාටත් කලින් පිළිතුරු සැපයූයේ ගිරවාය.

ඇයි මොට්ට xxxx පුතෝ, එතකොට මාව වැටෙනවය කියල තොට තේරෙන්නේ නැද්ද??”

19. බොරු දත්

බලනවා  තමුසෙලා වගේ වංචාකාරයෝ.... තමුසෙලා මේ පනාව මට වික්කේ ඇත් දත් පනාවක් කියලා. ඒ වුනාට මේක ඇත් දත් නෙවෙයිනෙ....

අනේ අම්මපා සර්! දැනුයි මට තේරෙන්නේ... මේකෙ විදිහට නං අද කාලේ ඇත්තුත් බොරු දත් දානවා වගේනෙ!

‘හිනා වෙන්න හිනා’ දෙවෙනි කොටසට කමෙන්ට් එකක් එවමින් Pra Jay මහත්තයා ඉංගිරිස් විහිළුවකුයි, link එකකුයි එවල තිබුණා. ඒ ඉංග්‍රීසි යාන් එක ලෝකයේ ඕනිම තැනකට ගැළපෙන පාටයි.
ඉතිං ඒක කියවනකොටම මගේ නසරානිකමට හිතුණා ඒක සිංහලට නඟන්න. වචනයෙන් වචනය පරිවර්තනය කරන්න නෙවෙයි; මගේ විදිහට ලියන්න.... ඉතිං ලිව්වා!
මෙන්න ඒක.

ප්‍රශ්න දෙක
අමුතු ඇටේ ජනාධිපති උතුමාණන් වහන්සේ රටේ ප්‍රශ්න හනික විසඳන්න පටන් ගත්තා ‘අලුත් වැඩ සටහන’ක්. ඒ උත්තමයා ගමට යනවා, හැච්චෝ-බැච්චෝ පිරිවරාන; මීඩියාකාරයනුත් එක්කම. ගමේ මිනිස්සුන්ට ඕනිම ප්‍රශ්නයක් ඇහුවෑකි. On the spot උත්තර හම්බ වෙනවා; ප්‍රශ්නෙට විසඳුමත් දෙනවා!

පන්දම්කාරයන්ට විතරයි ප්‍රශ්න අහන්න chance එක දෙන්නේ...

අසමජ්ජාති කඩප්පුලි කඩාකප්පල්කාර විරුද්ධ පාක්ෂිකයන් නං ඕකට වෛවාරන්න කයි-කතන්දර කිව්වා. ‘ප්‍රශ්න කලින් ලියල දෙනවා’, ‘පන්දම්කාරයන්ට විතරයි ප්‍රශ්න අහන්න chance එක දෙන්නේ’ වගෙ. ‘අසූචි කප්පරක් ගිලපු එකාට පඩ ගඳත් ගඳක්ද?’ කිව්වැහේ, දැන්  අමුතු ඇටේ ජනපති උන්නාන්සේට ඔය කතාන්දරවල ගණනක් නෑ! එව්වා පයිසෙකට මායිම් කළේ නෑ.

තව ගමකට ගියා.
වැඩ සටහන පටන් ගත්තා...

වැඩේ නැඟල යද්දී ජනාධිපතිතුමා අහඹු ප්‍රශ්නයක් අහපි!. “මොනවද මේ ගමට අඩු?”

අන්තේවාසික හැච්චෝ-බැච්චෝ ෆුල් හොල්මන්.... ඒ අල්ල-පනල්ලේ ගමේ ලොක්කෙක් නැඟිට්ටා. “ගරු ජනාධිපතිතුමනි, ප්‍රධාන අඩුපාඩු නං දෙකක් තියෙනවා!” අර ලොක්කා කිව්වා.

“කියමු බලන්න පළමුවෙනි එක!”
“සර්! අපේ ගමට ඉස්පිරිතාලයක් හදල දීලා ගොඩක් කල්.... ඒත් තවම එකම දොස්තර මහත්තයෙක්වත් ඒකට එවල නැහැනෙ...” ලොක්කා උත්තර දුන්නා.

“එහෙමද?” ජනපතිතුමා ජංගම දුරකථනය අතට ගනිමින් කිව්වා.
ඊළඟට එයා කියන දේවල් හතර වටේටම ඇහෙන තරං හයියෙන් කාටද කතා කළා. ‘හෙටම... ඔව් හෙට උදේ වෙද්දීම මේ ගමේ hospital එකට ඩොක්ටර් කෙනෙක්ව අනුයුක්ත කරවන්න ඕනි! තේරුණාද? හෙටම...’ ෆෝන් එක සාක්කුවට දමා ගන්න ගමන් ජනාධිපතිතුමා ගමේ ලොක්කාට කිව්වා.
“මොකක්ද දෙවෙනි ප්‍රශ්නේ?”

එකසිය පනහ නෙවෙයි, එක්දාස් පන්සීයක් වටින කාරණා.

ලොක්කා උත්තර දුන්නේ බයෙන්-බයෙන්. “සර්, අපට හරිම කරදරයි, මේ හතර මායිමේ කිසිම තැනකට ටෙලිෆෝන් සිග්නල් නැති නිසා!”

20. අව-වාද

සුපිරි වෙළෙඳසැලට ආව නෝනා කෙනෙක් එළියට ඇවිත් වටපිට බැලුවා.

ඇයි නෝනා, මොනවද කෙරෙන්න ඕනෑ?”

සාප්පුවෙන් එළියේ හිටපු මෝඩපාට අහිංසක මනුස්සයෙක් බොහොම බයාදු විදිහට ඇහුවා. සාප්පුවට එන අයගෙ බඩුමුට්ටු උස්සාගෙන යන එක තමා, මිනිහගෙ රස්සාව.

මම පිඟන් කෝප්ප වගයක් ගත්තා. ඒවා අපේ ගෙදරට උස්සගෙන යන්න ඕනි. විනාඩි පහළොවක් යයි.... උඹට පුළුවනිද?”

පුළුවන් නෝනා, රුපියල් එකසිය පනහක්  දෙන්න....

මොනවා! එකසිය පනහක්....එහෙම නෙවෙයි, මම තමුසෙට හොඳ වටිනා කාරණාවල් තුනක් කියල දෙන්නං. ඒවා තමුසෙගෙ අනාගත ජීවිතේට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. එකසිය පනහ නෙවෙයි, එක්දාස් පන්සීයක් වටින කාරණා.

අසරණයාත් කැමති වුණා.

ඔන්න දැන් නෝනයි අර මිනිහයි ගමනේ. පිඟන් කෝප්ප පෙට්ටිය මිනිහගෙ අතේ.

නෝනා... දැන් විනාඩි පහක් විතර ආවනේ...නරකද මට අරවගෙන් එක කාරණාවක් කිව්වොත්....

හොඳට මතක තියා ගනිං, බඩ පිරෙන්නම කනවට වැඩිය හාමතේ ඉන්න එක හොඳයි කියලා කවුරු හරි කිව්වොත් ඒක තඹේකට මායිම් කරන්න එපා. විශ්වාස කරන්නත් එපා....නෝනා කට කොණකින් හිනා වෙලා කිව්වා.

කවුරු හරි, වැරදිලාවත් කිව්වොත් උඹටත් වැඩිය ලොකු මෝඩයෙක් ලෝකෙ ඉන්නවා කියලා....

හොඳමයි නෝනා.අර අහිංසකයත් පිළිගත්තා. දැන් තවත් විනාඩි පහක් ඉවරයි. මොකක්ද නෝනා දෙවෙනි කාරණාව?”

මට පේන්නේ උඹත් යමක්-කමක් ඉගෙන ගන්න හරි උනන්දුයි වගේ.... කව්රු හරි කිව්වොත් වාහනේක යනවට වැඩිය පයින් යන එක ලේසියි කියල ඒකත් විශ්වාස කරන්න එපා!

දැන් ඔන්න නෝනාගේ ගෙදරටත් ඇවිත්.

දොරකඩ ඉඳන්ම අර මිනිහා තුන්වෙනි කාරණේ මොකක්ද කියලා ඇහුවා.

ඒකද..... ඒක තමයි හුඟාක්ම වැදගත් එක.... කවුරු හරි, වැරදිලාවත් කිව්වොත් උඹටත් වැඩිය ලොකු මෝඩයෙක් ලෝකෙ ඉන්නවා කියලා, කීයටවත් ඒක විශ්වාස කරන්න එපා.

හොඳමයි නෝනා.කියලා කියන ගමන්ම අර මනුස්සයා, පිඟන් කෝප්ප පාර්සලය උස්සලා දඩංගාලා බිමට අතෑරියා. ඊළඟට මෙහෙම කිව්වා.

නෝනාටත් කවුරු හරි කිව්වොත් මේකෙ තියෙන පිඟන් කෝප්ප බිඳිලා නැහැයි කියලා ඒකත් විශ්වාස කරන්න එපා!

21. අපේ තාත්තා

එක දිනක්, මිනිසෙක් කලබලයෙන් බාබර් සාප්පුවට ගොඩවුණේය. ඔහුගේ අතකින් අල්ලාගෙන සිටියේ අවුරුදු හත-අටක් තරම් වයසැති පිරිමි ළමයෙකි. ළමයා පුටුවක වාඩි කළ ඔහු බාබර් ලවා කොණ්ඩයත් රැවුලත් කප්පවා ගත්තේය.

“හරිද සර්?”

මං පාර අයිනේ ඉද්දි එයා ඇහුවා නොමිලේ කොණ්ඩේ කපා ගන්න කැමතිද කියලා...

“නියමයි.... මේ ළමයගේත් කොණ්ඩේ කපනවා... මං පට ගාලා එන්නම්!” එයට කීකරුවූ බාබර් ළමයාගේත් කොණ්ඩය කපන්නට පටන් ගත්තේය. එය අවසන් වන තුරුමත් වැඩිහිටියා නොපැමිණි බැවින් බාබර් ළමයා දෙසට හැරුණේය.

“කෝ පුතාලගේ තාත්තා, තවම ආවේ නැහැනෙ....”

“අපේ තාත්තා? එයා කොහොමද එන්නෙ.... එයා රට ගිහිල්ලනේ.”

“මොනවා.... එහෙනං දැන් ඔයාව එක්කගෙන ආවේ කවුද?” බාබර් විමතියෙන් ඇසුවේය.

“ආ එයාද? මං එයාව අඳුරන්නෙ නෑ. මං පාර අයිනේ හිටගෙන ඉද්දි එයා ඇහුවා නොමිලේ කොණ්ඩේ කපා ගන්න කැමතිද කියලා... හා කියලා මමත් එයා එක්ක ආවා විතරයි!”

22. අම්මගෙ කැමැත්ත

මෙරිල් කඩවසම් තරුණයෙකි. හොඳ රැකියාවක්ද කරයි. එහෙත් තවමත් අවිවාහකය. මේ ගැන ඔහුටත් වඩා සිත කරදර කර ගත්තේ ඔහුගේ අඹ යහළුවා නාලකයි.
“මොකක්ද මෙරිල් මේ වැඩේ තේරුම? ඊයෙ හවස සුරම්‍යා කිව්වා උඹෙයි එයාගෙයි එෆෙයාර් එකත් ඉවරයි කියලා.... මට ඇත්ත කියපං, උඹට කසාදයක් බඳින්න බැරි මොකුත් අසනීපයක්වත් තියෙනවද?” නාලක අමනාපයෙන් ඇසුවේය.

“එහෙම මොකුත් නෑ බං. අපේ අම්මා සුරම්‍යාටත් කැමති නෑ. උඹ හොඳටම දන්නවනේ අපේ අම්මගෙ අකැමැත්තෙන් මගේ කසාදේ කෙරෙන්න විදිහක් නැති බව...”

“ඒකද ප්‍රශ්නේ. මං කියන්නං ඕකට හොඳ වැඩක්. අම්ම කැමති මොන විදිහේ කෙල්ලෙකුටද කියලා මුලින්ම අහගෙන හිටපං. ඊට පස්සේ ඒ විදිහේ කෙල්ලෙක් හොයමු!”

නාලකගේ උපදේශය අකුරටම වැඩ කළේය.

මෙරිල් ඔහුගේ මවගේ රුචියට ගැළපෙන තරුණියක සමඟ පෙමින් වෙළුණේය. තවත් හය මාසයකට පසු ඔහුට නාලක හමු විය.

“කොහොමද දැන්? තවම බැන්දේ නැහැනෙ....” නාලක ඇසීය.

“ඒකනෙ කියන්නෙ මචං... අම්මා හොඳටම කැමතියි. ඒත් තාත්තා කෙල්ලට කොහෙත්ම කැමති නෑ.” මෙරිල් කිව්වේය.

එයාට පන්දම් අල්ලන්න, කුඩ-කොඩි-සේසත් අල්ලන්න....

23. අසනීපය

දවසක්දා අලි රාලහාමි ජොලි මූඩ් එකක ඉන්න වෙලාවේ කටුස්සෙක් එතැනින් යන්න ආවා.

“ආ කටුස්සෝ....” අලි රාලහාමි කටුස්සාට බොහොම ළෙන්ගතුකමින් කතා කළා.

කටුස්සාත් බොහොම බයාදු තාලෙට ඔළුව නවලා අලියාට හිනා වුණා.

“මං මේ අහන්නමයි හිටියේ. මොකද බං උඹ ඔච්චර කෙට්ටු?” අලි රාලහාමි ඔලොක්කුවට වගේ ඇහුවා.

“ඒක නේන්නං අලි රාලහාමි. මං පුංචි කාලේ හොඳටම අසනීප වෙලානේ... නැත්තං ඉතිං මාත් ඔහේගේ සයිස්ම තමයි.” කටුස්සා කීවා.

24. ඊළඟට කාටද?

ජනාධිපති පුටුවේ වාඩි වෙන්නේ කවුද, එයාට පන්දම් අල්ලන්න, කුඩ-කොඩි-සේසත් අල්ලන්න හැමෝම වගේ පොරකනවා. ඒ විතරයැ? ඕනේ නම් කකුල් දෙක අල්ලලා වඳින්න විතරක් නෙවෙයි, දෙපතුලම ඉඹ ගන්නත් සමහරුන් ලෑස්තියි.
ජනාධිපතිතුමෙකුගේ සෙරෙප්පු දෙක හෝදපු වතුරද කොහෙද බොන්නත් ලෑස්ති ඇමතිවරයෙක් හිටපු රටේ ‘ඕවත් වැඩද මල්ලි ඕවත් වැඩද’ නේද?

ඉතිං මේ කියන ජනාධිපතිතුමාටත් ඔය වගේ පන්දමාලගෙන් කිසිම අඩුවක්-පාඩුවක් තිබ්බේ නෑ!

දවසක් එතුමාට ආරාධනාවක් ලැබුණා අතිවිශාල ජනහමුවක් අමතන්න.
සංවිධායකයොත් යස අපූරුවට රැස්වීම සංවිධානය කරලා. කට කපලා සෙනඟ! රැස්වීම් ශාලාවේ විතරක් නෙවෙයි, පේන තෙක් මානයේ එළියේත් සෙනඟ පොදි කනවා.
කන්න-බොන්න දීලා, අතටත් ගණනක් මිට මොළවලා- බස්වලින් එක්කරගෙනත් එනවා නං රැස්වීම්වලට සෙනඟ ගේන එක මහ ලොකු දෙයක් නොවෙන වග දන්නවා වුණත්, ජනාධිපතිතුමාත් එදා හිටිය සෙනඟ කන්දරාව දැකලා හොඳටම චූන් වුණා.

ජනාධිපතිතුමාට වෙච්චි අකරතැබ්බේ දැකපු අර පන්දම් ඇමැතිතුමා....

ඔන්න දැන් ජනාධිපතිතුමා කතාව පටන් අරන්. එතුමා කතාව පටන් ගත්තම නවත්තන්නේ එයාටම හිතුණම තමයි. අම්මෙ-මුත්තෙ කිව්වත් පොඩ්ඩකින් නං කතා කරලා නවත්තන්නේ නෑ... දිගටම කතා කරගෙන යනවා.

මළ කෙළියයි! කතාව කරගෙන යද්දීම ජනාධිපතිතුමාට දැනෙනවා අධෝ වාතයක්  යන්නයි ලැහැස්තිය. කතාව අස්සෙම ජනාධිපතිතුමාට මතක් වුණා පරණ කියමනක්. ‘චූස් පඩේ ගඳ ගහන පඩේ- ඩෝං පඩේ මිනී මරණ පඩේ!’ කොච්චර ගඳ ගැහුවත් කමක් නෑ, මේකත් ගඳ ගහන චූස් පඩයක් වේවා කියලා හිතාගෙන ජනාධිපතිතුමා කතාව කරගෙන යන අතරතුරේම ‘අධෝ වාතය’ පිට කළා.

මළ කෙළි හතයි!
ඒක ඩෝං පඩයක්. හතර වටෙන්ම මයික්‍රෆෝන්ස් හයි කරලා, ලවුඩ්ස්පීකර් දාලා තිබුණු නිසා ඩෝං පඩේ සද්දෙ කාට-කාටත් යස අපූරුවට ඇහුණා.

ජනාධිපතිතුමාට වෙච්චි අකරතැබ්බේ දැකපු අර පන්දම් ඇමැතිතුමා ඊගහ වගේ නැඟිටලා මයික්‍රෆෝනය ළඟට ගියා. ජනාධිපතිතුමාට වැඳලා, ඔළුව උස්සලා මෙහෙම කිව්වා.

“අතිගරු ජනාධිපතිතුමනි,ඔබතුමාගේ දේශනයට බාධා වෙන විදිහට මගේ අතින් වෙච්ච වැරැද්දට මම අනෙක වාරයක් සමාව ඉල්ලනවා...”

ඔන්න ජනාධිපතිතුමාට ලොකු හිනාවක් ගියා. කට කණේ! එතුමා ඇමතිවරයාගේ ඔළුව අතගාලා දයාව පෙන්නුවා.

D.G.M බස්සා මහත්තයාත් බොග දමන්නෙක්.

වෙච්චි දේ හැමෝටම පෙනුණා; දැනුණා වුණත් කවුරුවත් ඔව්වා හගිස්සවන්න යනවයැ? සද්ද නොකර නිකං හිටිය, එක්කෙනෙක් හැර.

අර ඇමැතිතුමා වගේම තවත් ඇමැත්තෙක් ඉන්නවා, තිස්සෙම ලකුණු දාගන්න බලාගෙන. ඔක්කොම ඇමතිවරු එහෙම තමයි වුණාට මෙයා තැනක්-නොතැනක්, වෙලාවක්-අවේලාවක් නොබලා එහෙම කරන නිසයි හොඳටම නෝන්ඩි වෙලා ඉන්නේ.
ඉතිං දැන් එයාට ඌරු ජුවල්! ඇයි අරයා ජනාධිපතිතුමාගේ අධෝ වාතයේ වගකීම එයා පිටට අරන්, ලකුණු දා ගත්තනේ මදිය නොකියන්නම.

එයාත් නැඟිට්ටා. ජනාධිපතිතුමා ළඟට ගියා. ජනාධිපතිතුමාත් ‘මේ මොකද මේ’ කියල පුදුම වෙලා, කතාව නවත්තලා බැලුවා! ඇමැතිතුමා කලින් එක්කෙනා වගේම ජනාධිපතිතුමාට වැඳලා, හොඳ සද්දෙට මෙහෙම කීවා.

“අතිගරු ජනාධිපතිතුමෙනි, ඊළඟ එක මටයි,  හොඳේ....”

‘අම්මපා ඩ්‍රැකියෝ මෙව්වා නෙව කතා. වරක් ටැට්ට්ර් එලවන හැට්ටර් මලයා කිව්වා, එයා ආතතිය අඩු කරගන්න යන්නෙ ඩ්‍රැකීගෙ අඩවියට කියලා. දැන් තමා තේරෙන්නෙ, ඒ ඇයි කියලා. මමත් ආයෙ මුල ඉඳන් කියවන්න පට්ටාං ගන්න ඕනෙ.’

D.G.M බස්සා මහත්තයාත් බොග දමන්නෙක්. (ඉස්සර blog රචකයන්ව එහෙමත් හඳුන්නලා තිබ්බලු. කොහොමෙන් හරි බස්සා මහත්තයා ආතතිය අඩු කරගන්න යන විත්තිය අරහෙම කියලා තිබුණේ උන්නැහේගේ ‘බකමූණු කතා’ අඩවියේ ‘කම්මැලි සැන්දෑවක් සහ කෙටි චිත්‍රපට දෙකක්’ post එකේ comment එහෙකට පිළිතුරු දෙමින්. උන්නැහෙත් රස දත්තෙක් වග ‘පට්ටාං ගන්න’ වචන දෙකෙන්ම වුණත් පේනවා නෙව.

ඒ තුං දෙනාම එක දවසෙ කසාද බැන්දා. බැඳලා හනිමූන් ගියෙ විවිධ රටවලට.

බස්සා උන්නැහේ කියාපු ඩ්රැකියා හරි දස්සයි යාන්ස්වලට. පහුගිය පෝස්ටුවට comment එකක් එවමින් උන්නැහේ මේ කතාව ලියලා එවලා තිබ්බා. සමහරුන් blog post එක කියෙව්වට comments කියවන්නේ නැති බව දන්නා නිසයි, ඒ කතාව මෙහෙම උපුටලා පෙන්වන්නේ!

‘අර වාහන පිස්සුව වගේ තව කතාවක්...

ගෑල්ලමයි තුං දෙනෙක් උන්නා, අම්ම විතරයි උන්නෙ, තාත්ත මැරිලා. ඒ තුං දෙනාම එක දවසෙ කසාද බැන්දා. බැඳලා හනිමූන් ගියෙ විවිධ රටවලට.

යද්දි, අම්මා ළමයි තුන් දෙනාට කිව්වා, හනිමූන් එකේ වග විස්තර ඉතාම කෙටියෙන් ලියල එවන්න කියලා...

ඕං ඉතිං ගියදාට පහුවදාට පහුවදා, අම්මට ඕවසීස් ටෙලිග්‍රෑම් එකක් ආව, පැරිසියෙන්. ලොකු දුව එවල තිබුණෙ. කිට් කැට්කියලා.

අම්ම ඒක බලලා, මේ මොකද්ද කියල හිතමින් ටීවී එක දැම්මා. ඒකෙ ටිකකිං ඇඩ් එකක් ගියා කිට් කැට් - එක්ස්ට්‍රා ලාජ්, කිං සයිස්කියල. ඉතිං අම්මට හරි සතුටුයි.

තව දවස් දෙකකිං විතර ආව නාපෝලි ගියපු දෙවෙනි දුවගෙන් ලියුමක්, එයා මේල් එකේ... ඒකෙ තිබුණෙ නෙස් කැෆේකියල. අම්ම ඒක ගැන හෙව්වා ටීවී එකේ, හම්බුණේ නෑ. පස්සෙ සඟරාවක නෙස් කැෆේ ඇඩ් එකක් තිබිලා දැක්කා. ඒකෙ තිබුණා එව්රි ඩ්‍රොප් ඉස් ප්‍රෙෂස්කියල.

තුන් වෙනි දුවගෙන් කිසිම තොරතුරක් නැතුව මාසෙයක් විතර ගියා. එක දවසක් එයා මේල් ලියුමක් ආව. ඒකෙ පැල්ලං ගැහුණු කොලේක, වෙවුලන අත් අකුරින් ලියල තිබුණා, “ට්‍රාන්ස් ඇෆ්රිකන් එයාවේස්කියලා.

අම්මා ඩග්ගාල බැලුවා ගුවන් සේවාවල ඇඩ් තියෙන පත්තර පිටුව. ඒකෙ තියෙනව, ට්‍රාන්ස් ඇෆ්රිකන් එයාවේස් යටතේ:

ඒකෙ පැල්ලං ගැහුණු කොලේක, වෙවුලන අත් අකුරින් ලියල තිබුණා...

සික්ස් ටයිම්ස් අ ඩේ,
සෙවන් ඩේස් අ වීක්,
බෝත් වේස්"
කියල.

අම්මට හීල්ලුනා...’

ඒ කතාව ලියා එවාපු ඩ්රැකී උන්නැහෙම තමයි 2016 ‘හොඳම කම්මැලියා’ කතන්දරේ ලියලා තිබුණේ. කාගෙන්- කොතනින් වුණාම මොකෝ, හිත සංසිඳෙන- පිනා යන- ලේ පිරිසිදු වෙන දේවල් ටිකක් කියවන්න තියේ නං.
ඩ්රැකීගේ කම්මැලියා කතාවත් කියවලා බලලා එයාගේ ගජබින්නාලංකාර රහයි නං
එහාට ගොඩ වැදෙන්න පාරත් ඔන්න දැම්මා.

හිත ගැස්සෙන නිසා මේ දවස්වල එක වතාවක් ප්‍රවෘත්ති බැලුවම ඇතිය කියලත් කවුදෝ වියතෙක් කියලා තිබ්බනේ! රටේ මිනිස්සු දැන් එයාලට හිකෙන් පුනා වෙන හින්දා, හිනා වෙන්න එපා කියලත් කියයිද මන්දා තව ටික දවසක් යනකොට.......

19 comments:

  1. https://www.dailymotion.com/video/xmh3yi

    ReplyDelete
    Replies
    1. Pra Jay මහත්තයෝ වීඩියෝ එක බැලුවා... මම කියන්නේ ස්තුතියි කියලා විතරයි... වෙනින් මොකුත් කියන්නැත්තේ ඒකට දෙන්නෙක් උත්තර දේවි කියලයි!

      Delete
  2. අනේ ඇත්තමයි අය්යේ...ඇස් දෙකෙන් කඳුලු එනතුරු හිනා වුනා.

    ReplyDelete
    Replies
    1. බලාගෙනයි දිමුතු නංගි, මහත් වෙයි!

      Delete
  3. මේ වගේ කතා හොඳ නැහැ හෝ 'වල්' කියලා හිතෙන්නෙ ඉතින් ජීවිතේ යථාර්තයෙන් හෝ ස්වාභාවිකත්වයෙන් ඈත්වෙලා ඉන්න අයට වෙන්න ඇති. කතා අංක 20 අව-වාද කියලා පොඩි ඉරෙන් කොටස් දෙක වෙන් කලේ ඇයි. එතකොට වෙන තේරුමක් කියවෙනවද. මට හොඳම ඒ කතාව සහ ඉංග්‍රීසි විහිලුවෙ adaptation එක.

    ඩ්‍රැකීගෙ කතාවෙ 'කම්මැලියා' කියන වචනෙ යොදාගත්තත් සමහරවිට රජතුමාට හොයන්න ඕනෙ වුනේ the most relaxed නැත්නම් super cool මනුස්සය වෙන්න ඇති. ලංකාවෙ රජකෙනෙක් නම් අතිශය බුදිධිමත්,වියත් කෙනෙක් වෙන්න ඇතිනෙ. අනිත් එක ඉතින් ගිනිගත්තොත් වන්දියක් ලැබෙනවා නේද. අර මනුස්සයා කූල් එකේ නිදාගන්න ඇත්තෙ ඒකයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි Lotus.
      අව-වාද කියලා මැදින් ඉරක් යෙදුවේ 'නරකක් සිදු වුණු වාද' කියන තේරුම දෙන්නයි.

      තවම ඩ්රැකී උන්නැහේ මෙහාට ඇවිත් නැහැ වගෙයි. එයාම මොකුත් කියයි කම්මැලියා කතාව ගැන. ඔන්න, කියන්නෝනි ඩ්රැකී මහත්තයෝ.

      දැන් ඉන්න රජවරු වෙන මොනවා නැතත් කල්-යල් බලලයි ගේම් ගහන්නේ....එක news එකක් යට ගහන්න තව එකක් දෙන්නේ...

      Delete
    2. ඔන්න ආව. පහුගිය ටිකේ ගමේ ගියා. ඒකයි නාවෙ.

      කම්මැළිය ගැන... ඔය මං ලියාපු කතාව උපුට ගත්තෙ ඇඩිවින් රණවක මහත්තයගෙ දෙවෙනි පන්තියෙ කියවීම් පොතකින්.

      කෙටියෙන් කියතොත්, මැටි ගුළියකින් ගංවතුරක් මිරිකා ගන්නත්, රජා මොන මරි මෝඩ වැඩේ කළත් ඒකට දාර්ශනික අර්ථයක් දෙන්නත් අපේ උදවියට හැකි අතර, ඒ වැඩේ ලෝටස් තුමා කරලා ඇත්තේ පැරඩියක් වශයෙන් බවත්, ප්‍රකාශ කරමින් මගේ වචන සුවල්පය මින් අවසන් කරමි. ඉස්තූතියි.

      Delete
    3. සුවල්ප ස්තුතියක් සොක්කෙකුගෙන්.....

      Delete
  4. අමර හේවාමද්දුම මහත්තයාගේ නම අහන්න ලැබුන එකත් සතුටක්.

    අර මොබයිල් ටැලිපෝන් සිග්නල් නැති කතාව පාදක වෙලා ඇත්තේ බොහොම පරණ හමුදා කතාවක් (M.A.S.H. වගෙයි මතක) මත වෙන්න ඇති.

    අලුත උසස් වීමක් ලැබුන හමුදා නිලධාරියෙකු, තමන්ගේ කාර්යාලයේ වැඩ ආරම්භ කල ගමන්ම, සොල්දාදුවෙකු එතුමන්ගේ කාර්යාලයට ඇතුල් වීමට අවසර ලැබෙන තුරු එළියේ හිටගෙන ඉන්නවා. සොල්දාදුවාට ටිකක් ලොකු කම පෙන්නන්න හිතන මේ නිලධාරියා, ටෙලිපෝන් එකෙන් කතා කරනවා. "යර්ස් ජෙනරල්", 'ඔෆ් කෝස් ජෙනරල්', 'ඕල් රයිට් ජෙනරල්" වැනි දේ කියමින් ජෙනරාල් වරයෙකු සමග කතාබහක් ලෙස අර සොල්දාදුවාට ඇසෙන ලෙස කල කතාව අවසානයේ "තෑන්ක් යූ ජෙනරල්' කියා ටෙලිපෝන් එක තිබ්බා.

    "කම් ඉන් සෝල්ජර්" කියලා සොල්දාදුවාව ගෙන්නාගෙන ආපු කාරනාව ඇහුවා..

    ""මම ආවේ සර් ගේ ටෙලිපෝන් ලයින් එක කනෙක්ට් කරන්න""

    හනිමූන් කතාවකුත් මතක් උනා.

    හනිමූන් එකෙන් පස්සේ මනමාලයා යාළුවෙකුත් එක්ක කියනවාලු," මාර වැඩේ නේ මට උනේ, හනිමූන් ගියදා රෑ වැඩේ ඉවර වෙච්ච ගමන් මම ඉස්සර පුරුද්දට රුපියල් පන්සීයක් ගෑනිට දුන්නා නේ!"

    එතකොට යාළුවා කියනවාලු, "ඕක එච්චර ගණන් ගන්න දෙයක්ද, අමතක කරලා දාන්න."

    ඒ උනාට ගෑණි මට රුපියල් දෙසීයක් ඉතුරු දුන්නා නේ?

    විනාඩි හැටනමයක් තිස්සේ මිනිස්සුන්ව අඬවන කතා අහන්න වෙච්ච කාලේ, "හිනා වෙන්න හිනා" කොයි තරම් වටිනවාද?.

    ReplyDelete
    Replies
    1. Sam, ඔයා බෝලේ උස්සලා දුන්නු නිසා dash පාරක් ගහන්න හිතුණා.

      අමාර හේවාමද්දුම මහත්තයා හිනා පොත් දෙක කියවලා මට ආරාධනා කළා එයාලගේ ගෙදරට ඇවිත් තේ එකක් බීලා, කතාබහ කරලා යන්න එන්නැයි කියලා.
      එතකොට මම වැඩ කළේ ජනක ඉනිමන්කඩ මහත්තයලගේ- විදර්ශන පොත් ගෙදර. කළුබෝවිලම නිසා වෙලාවක් දාගෙන එහෙ ගියා. ඉතාම රසබර කතාබහකට පස්සේ අමර මහත්තයා එයාගේ පොත් කාමරය මට පෙන්නුවා. මගෙ අම්මෝ, ඒකෙ තිබ්බ පොත් ගොඩ, ඇඟිල්ලක් ගහන්නවත් ඉඩ නෑ. රාක්ක පිරිලා, ලෑලි යටට නැමිලා...
      එතුමාගේ අභාවයෙන් පස්සේ ඒ පොත්වලට මොනවා වෙන්න ඇත්ද?
      මං තවම හිතනවා!

      Delete
  5. පොත් මුද්‍රණය කරලා,විඳින දුක දැක්කාම නං දුක හිතෙනවා. මට තියෙන ප්‍රශ්ණෙ, දැණ දැණම එහෙම කරන්නෙ ඇයි කියන එක. ඒක එච්චරම වටිනවද?

    මට තේරෙන විදිහට, මේකට එකම විසඳුම ඩිජිටල් තාක්ෂණය කියලයි. වියදමක් ඇත්තෙම නැති තරම්. ඒත් අවසනාවට, සිංහල ග්‍රන්ථ කතෘවරු වගේම පාඨකයොත්, ඒකට කැමැත්තක් නෑ වගෙයි පේන්නෙ. වංගියක්, එටිසලාට් bookhub.lk කියල එකක් පටන් ගත්තා. මාත් පොත් කීපයක් ගත්තා. තව ඒ වොලට් එකේ ඉතුරු සල්ලිත් තිබුණා. පස්සෙ උන්දලා, පැදුරටත් නොකියම වාෂ්ප වුනා.

    Amazon වගේ විස්වාසයක් තියන්න පුළුවන් ඩිජිටල් පොත් ප්‍රකාශකයො, ලංකාවෙ ජනප්‍රිය වෙන්නෙ නැත්තෙ ඇයි?

    ReplyDelete
    Replies
    1. අර ජනාධිපතිගෙ කතාව නියමයි. ඒ වගේම කාලානුචිතයි. ජාතිය විසින් උතුමානන් ඇමතුව කියල ආරංචියි.

      ඉතිං, වෙන පොසොන් පෝය වලටත්, මරන්න ඉන්න හරක් නිදහස් කරනව නේද? හරි, පට්ටි ගොනා බව ඇත්ත, ඒත් වෘෂභයෙක් නෙව? ඉස්සර නං, ඔහොම නිදහස් කරලා "පිං ගොනා" කියල හංවඩුවකුත් ගහනවා.

      Delete
    2. බකුසු මහත්තයෝ දන්නේ නැද්ද මහ විසාල පොත් සාප්පු එක්ක සේවක පඩිනඩි ගෙවාගන්නේ ලේඛකයෝ ගසාකලා හොයන මුදලින් කියලා. වංස කෑල්ලක් එන පොත් ප්‍රකාශකයා කිසිම ලැජ්ජාවක් නැතිව පත්තරේකට කියලා තිබුනා කතෘ බාගේ සම්පුර්ණයෙන්ම ගෙව්වේ ආර් ප්‍රේමදාසගේ පොතකට විතරයි කියලා

      Delete
    3. බස්සා මහත්තයෝ, ඔයාගේ පළමු ප්‍රශ්නය ගැන ගැඹුරින් හිතන්න වටිනවා.

      දරුවන් හදන මිනිස්සු එහෙම කරන්නේ තමන්ගේ නම- පරපුර දිගටම පවත්වා ගැනීමේ චේතනාවකුත් එක්කයි, නේද. ලෝකේ දිහා බැලුවාම මට නම් එහෙම දේකුත් පෙනෙනවා. ඊළඟට හිතෙනවා ඒ වගේ චේතනා යට අමරණීය වීමේ හැඟීමකුත් හැංගිලා තියෙනවා වගේ.

      ටිකකට මතක් කරගනිමුකෝ අර චීන ප්‍රස්තා පිරුළත්. 'මිනිහෙක් වුණොත් පුතෙක් හදන්න ඕනි- ගහක් හිටවන්න ඕනි- පොතක් ලියන්න ඕනි!'

      පුතෙක් නොහැදුවත් අපේ සාහිත්‍ය චක්‍රවර්ති ඩබ්ලියු.ඒ.සිල්වා මහත්තයා අමරණීය වෙලා නේද?

      අමරණීය වීමක් ගැන හිතුවේ නැතත්, මම නිදිගෙ පංච තන්තරේ ලියන්නේ මට ජීවිතයේදී හමුවූ; හමුවන අය ගැනත්, මා වටා සිදුවූ- සිදුවෙන දේවල් ගැනත් විස්තර අනාගත පරපුරටත් දැනගන්නට සංරක්ෂණය කිරීමක් හැටියටයි. හැබැයි පළමු අරමුණ 'මගේ ජීවිත කතාව කීම' නම් ටිකාක් විතර ආත්මාර්ථකාමී කියලත් දන්නවා.

      Delete
    4. පොතක් ලියන අයත්- අතින් කාලා හරක් බලාගෙන ඒවා පළ කරන අයත් ගැන මගේ හැඟීමයි ඒ කිව්වේ.

      මට හිතෙන්නේ පොත් ප්‍රකාශකයනුත් අද සමාජයේ වැඩි දෙනෙක් වගේම මානුෂීය වීම අඩු අය නම් ඒකට සමාජයත් වග කියන්න ඕනි නේද? සමාජය දූෂිත වෙන තරමට- ආත්මාර්ථකාමී වෙන තරමට- එයින් බිහිවෙන දේශපාලකයෝ- පූජකයෝ- ප්‍රකාශකයෝ- වෙළෙන්දෝ .... හැමෝම එහෙම වෙනවා නේද?

      එහෙම නොවෙන අයට අපේ සමාජයේ ගරු කිරීමක්වත් තියෙනවද.... අපි ගරු කරන්නේ කාටද?

      Delete
    5. අසංග, ඒ මහත්තයා එහෙම ඇත්ත කියපු එක ගැනයි මම සතුටු වෙන්නේ.
      එතුමා එහෙම කියූ එක ගැන පුදුම වෙන්නැත්තේ හඳගමගේ 'අක්ෂරය' හෝ 'තනි තටුවෙන් පියාඹන්න' ෆිල්ම්වලින් එකක ගැන ඇති වුණු හා-හෝවේදී කියපු දේ මතක් වෙලා. 'ෆිලුම බැලුවේ නැතිවට මට හිතා ගත්තෑකි ඒක හොඳ නෑ කියලා!'
      මතකද?

      Delete
    6. අසංග, නිදි දෙන්නටම ස්තූතියි.

      Delete
  6. Replies
    1. බස්සා මහත්තයෝ, ගොඩාරියක් ස්තුතියි 'පුදුම පොත' link එකට. ගොඩ ඉස්සර කියවලා තිබුණේ....

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්