අකුරු මැකී නෑ

Monday, February 28, 2022

මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස

මං හිටිය අවදානම් තත්වේ ගැන හිතා ගත්තහැකි නේද? පිටි පස්සෙන් සිංහය! ඉස්සරහින් කිඹුල! වම් පැත්තෙන්....

‘නරි අඟ’ ගැන නං මතක ඇති සාවියක තිබ්බ බවක් මතක නෑ. දසනායක රත්නවතී; අපේ ආච්චී ඒ ගැන කියාපු කතන්දරේ විතරයි යන්තමට මතක.

මගේ මතකය අලුත් කර ගන්නත් එක්ක, දන්නා පින්වතෙක්- පින්වන්තියක් කියනවද ‘නරි අඟ’ ගැන විස්තර?

පහුගිය කොටසේ අන්තිමට මංතුමා ඔබතුමන්ලාගෙන් ඉල්ලා හිටියේ ගෞරව පුරස්සරව බහුමානයෙන්! අනේ, කියන්නත් සන්තෝසයි- ඉතාම හොඳ ප්‍රතිචාර ලැබුණා.

Sam Perera රසික හිතවතා එදාම, නරි අං ගැන අංග සම්පූර්ණ විස්තරයක් දිගෝම- දිග comment එකක් විදිහට එවලා තිබුණා. ඒ කමෙන්ටුවේ දිග දැකලා වෙන්ටෝනි, D.G.M බස්සා මහත්තය මෙහෙම ලියා තිබ්බේ. “යකඩෝ, මේකෙ පෝස්ට් ඇතුලෙ පෝස්ට් නොවැ? ස්තූතියි.”

කොහොමෙන් හරි ‘නිදිගෙ පංච තන්තරේ’ පාඨක භවතුන්ට  විතරක් නෙවෙයිනෙ මෙහෙම සටහන් කිරීම්වලින් සෙතක් වෙන්නේ. අනාගතයේ දවසක මේ තොරතුරු හොයන අයටත්...
ඒ නිසා මේ පින්කම්වලට සම්මාදම් වෙන හැමෝටම ස්තුතියි කියල, ඔන්න පොතට යනවා. හොඳේ!

මං හිටිය අවදානම් තත්වේ ගැන හිතා ගත්තහැකි නේද?
පිටි පස්සෙන් සිංහය! ඉස්සරහින් කිඹුල! වම් පැත්තෙන් හැඩ පාර ඇති ගඟ! දකුණෙන් මහ ප්‍රපාතයක්! ඊට පස්සේ දැනගන්න ලැබුණ, ඒකත් සර්ප විමානයක් කියල.

මගේ ඔළුව රත් වුණා. ඇඟට පණ නැතුව ගිහිල්ල, ගහ කඩා එලුව වගේ එතැනම ඇද හැලුණ.
මම හිටියෙ, දැන් දැන් එක්කෝ සිංහයා චිරි චිරි ගාල මාව විකාවිය කියල- නැත්නම් කිඹුලා ගෙඩි පිටින් ගිල දමයිය කියල. තත්පර තුන හතරක් ගියා....
මගෙ ඇඟට කිසි වේදනාවක් නොදැනුණට ඇහුණ නපුරු ගෙරවිල්ලක්!

මේ බයානක සතුරෝ දෙන්නම පරද්දලා ටිකක් වෙලා යනකොට මට මොනව උණාද කියල හොයාගෙන....
මම හෙමින් සීරුවේ ඔළුව උස්සල බැලුව. මොන සන්තෝසයක්ද, ඒක දකිනකොට! මගේ ඇඟට පැනපු වේගේ තදකමට සිංහය උඩින්ම ගිහින් වැටිල තියෙන්නේ කිඹුලගෙ කටට. උගේ ඔළුව කිඹුලගෙ උගුරටම ගිහින්. බේරිලා යන්න ඇති මට්ටම් දැඟලුව. වැඩක් උණේ නෑ.

මම එතෙන්ට පැන්නෙ කඩුව ඇදගෙන.
එක කඩු පාරයි ගැහැව්වෙ.
සිංහයගෙ ඔළුව කිඹුල් කටේ- කඳ කෑල්ල මගෙ පාමුල වැටුණ. තුවක්කු වල්ලෙන් ඇනල ඇනල ඔළුව කිඹුලගෙ උගුරෙන් පල්ලට තල්ලු කළා.
කිහි හෙලවිල්ලක් නෑ, උන්දැත් එතැනමයි!

මේ බයානක සතුරෝ දෙන්නම පරද්දලා ටිකක් වෙලා යනකොට මට මොනව උණාද කියල හොයාගෙන මගෙ යාළුවත් ඔතෙන්ට ආව. එයා මේ හපන්කමට මාව මුරුංග අත්තේ තියල කතා කෙරුව.
අපි දෙන්න එක්ක කිඹුලව මැනලා බැලුව. වැඩිය නෑ, දිග අඩි හතළිහයි අඟල් හතයි!

අපේ දඩයම ගැන ආණ්ඩුකාරතුමාට කිව්වහම උන්නැහේ මේ සත්තු දෙන්නව ගේන්න මිනිස්සු රංචුවක් පිටත් කෙරුව, විසාල වාහනේකුත් එක්ක.
මම ඒ රටේ හම් වැඩකාරයෙකුට කියල සිංහ හමෙන් කූරපයි ගණනාවක් මස්ස ගත්ත. එයින් ටිකක් ලංකාවේ හිටිය හිත මිත්තරයින්ට තෑගි කළා.

කිව්වම විස්සාසෙට ගන්ඩ ඕනි ආයිබොවන්ලා.
ඊයේ රාත්තිරියේ ගරුතර මැංචෝසන් සාමිතුමා ආවා නෙව මේ ලියන නිදි ඇටිකිච්චාව මුලිච්චි වෙන්න.
හැබැහින්ද ඇහුවා? මොකටද මගේ කට.... තමුන්නැහේලට බොරු කිව්වයි කියලා මට මොනවා ලැබෙනවටද?
හැබැයි ඉතිං දැන් දැන් හැම තැනම බොරුව පැටවු ගහලා. කොයි කපේද කිරි බුදු අප්පච්චියේ මේ තේ ගොයි රාළලාත් කිසිම බයක්-හැකක් නැතිව අතිගරු ජනාධිපති උතුමාණන් ඉදිරියේ; ඔව් ඔව්-
අපේ ‘ස’ ඉදිරියේ එකට-එක බොරු කියාගෙන වාද කළේ? විපරීත කාලෙ විනාශ බුද්ධිඃ කිව්වලු නෙව.

ඒකෙන් මේකෙන් තව ඩිංගෙන් කියන්න ආව කාරණයත් අමතක වෙනවා!

සිංහ හමෙන් කූරපයි ගණනාවක් මස්ස ගත්තයි කියලා මම කිව්වනෙ. ආන්න එයින් එහෙක තමයි ඩේසි ආච්චී මැණික් කැට වගයක් දමාගෙන ඇවිත් දීලා ගියේ!

මැංචෝසන් සාමිවරයා ආවයි කිව්වනේ මාව හම්බ වෙන්න.

(මොකක්ද ඇහුවේ.... උන්නැහේ ආවේ හීනෙන්ද හැබැහින්ද කියලා ලියලම දෙන්නං පොතකුයි පෑනකුයි ඇන්න ආවොත්! මගේ සිරසටත් ආලවකයා ආරූඪ වෙනවා ඔහොම පුරස්න අහද්දිං.) උන්නැහේ එහෙම ඇවිත් කියපු දෙයින් නම් මාව තක්බීර් වුණා, අම්මපා.

“ඔහේට හින්දයි කියන්නේ. මෙච්චර කාලෙකට කටේ කෙළ නොහෙළා හිටිය කතන්දරයක්. අර සිංහ හමෙන් කූරපයි ගණනාවක් මස්ස ගත්තයි කියලා මම කිව්වනෙ. ආන්න එයින් එහෙක තමයි ඩේසි ආච්චී මැණික් කැට වගයක් දමාගෙන ඇවිත් දීලා ගියේ! මම එයින් එක කූරපයියක් ජරාපස්ස වලව්වේ ආදිතම උත්තමයෙක්ටත් තෑගි කළා නෙව... ඒක තමා ඒ!”

මැංචෝසන් සාමිතුමා ඒ නඩුවටත් සාක්කි දෙන්න ඇති අප්පරසිද්ධියේ. ඒ ගැන ඔය මදැයි. එහෙනං, ආයෙම ‘මැංචෝසන් චාරිකා’ පොතට...

... මම ඒ රටේ හම් වැඩකාරයෙකුට කියල සිංහ හමෙන් කූරපයි ගණනාවක් මස්ස ගත්ත. එයින් ටිකක් ලංකාවේ හිටිය හිත මිත්තරයින්ට තෑගි කළා. ඉතුරු හරිය ඇම්ස්ටර්ඩෑම් නුවර ලොකු ලොක්කන්ට දුන්න. ඒ ගොල්ලන්ට ලොකුවට ඕනෑකම තිබුණ, මට රන්කාසි දාහක තෑග්ගක් දෙන්න. මම මේ තෑග්ග නොගෙන ගැලවුණේ බොහොම අමාරුවෙන්.

කිඹුල ගෙඩි හමට හම ගහල අරගෙන ආව.

අද ඇම්ස්ටර්ඩෑම් නුවර කටුගෙයි තියෙන අනර්ඝම වස්තුව ඒක තමා. කටුගෙයි බාරකාරය මගෙ කතන්දරේ හැම අමුත්තෙක් එක්කලම කියනව. මිනිහ මේ කතාව කියන්නේ ලුණු ඇඹුල් ඇතිවයි. මංචාඩියකවත් බොරුවක් නැති ඇත්ත කතාවට ඒකෙන් වෙන්නෙ බරපතළ හානියක්.

... කිඹුලට වෙච්ච ලජ්ජාව උහුලගන්න බැරුව සාමිවරයා අතින් කඩුව උදුරගෙන ගිල්ලයි කියලයි. ගිල්ල පාරට උගේ හදවත හිල් කරගෙන ගිහින් එතැනම මළාලු....

මිනිහ අමුණපු එක කෑල්ලක් මෙහෙමයි.

‘සිංහය කිඹුලගෙ කටෙන් ගිහිල්ල අනික් පැත්තෙනුයි මතු වුණේ. මතු වෙනවත් එක්කම අපේ සත්-ගුණවත් සාමිවරය (එහෙමයි මිනිහ මට කියන්නෙ) උගෙ බෙල්ල කැපුවා. කපනකොට කිඹුලගෙ වලිගෙන් අඩි තුනක කෑල්ලකුත් කැපිල ගියා.’ ඉතිං මේ කයිකාරයා කියන්නෙ කිඹුලට වෙච්ච ලජ්ජාව උහුලගන්න බැරුව සාමිවරයා අතින් කඩුව උදුරගෙන ගිල්ලයි කියලයි. ගිල්ල පාරට උගේ හදවත හිල් කරගෙන ගිහින් එතැනම මළාලු.

හොද්දට පැණි දාන මෙහෙම අන්දරේල හින්ද මට ඇතිවෙන හිත් වේදනාව කියන්න ඕනෑ නෑ. මේ අබුද්දස්ස කාලෙ මේ වගෙ වල්-බූත ඈඳුවහම, මං ගැන හොඳහැටි නොදන්න උදවිය කොහොමද මේ කතන්දරේ ඇත්තයි කියල බාර ගන්නෙ? පිහියෙන් අනිනව ඉවසතෑකි, අවංක මිනිහෙකුට මේ මුසාවාද ඉවසන්න බෑ!

දෙවැනි පිම්ම
රුසියාවට එන ගමනේ

සීත ඉර්තුවේ මැද හරියේදී වතාවක් මම රුසියාව බලා පිටත් උණා. පළපුරුදු ගමන්කාරයෝ කවුරුත් කිව්වේ ඔය යන මාර්ගේ ජර්මනිය, පෝලන්තෙ, කුවෝර්ලන්තෙ, ලිතුවේනියාව කියන රටවල්වල උතුරු හරියේ පාරවල් නොසෑහෙන විදිහට අබලන් වෙලයි කියල.

ඒත් හිමෙන් කඩතොලු මැකිල ඔප මට්ටම් වෙලා නැද්දැයි කියල මම මගේ ගමන යන්න ගියා. ගමනට ලේසිම විදිහ කල්පනා කරල අස්සයෙකුත් තෝර ගත්ත. කිටි-කිටියේ ඇඟ තද වෙන්න ඇඳුම් අඳින්න උවමනාවක් කළේ නෑ.

එතකොටම දෙවි කෙනෙක් කතා කරල මෙන්න මේ විදිහට...

ඊසාන දිහාවට යන්න යන්න ඒකේ අමාරුව නං හොඳට තේරෙන්න උණා. අතරමඟදී හීතලෙන් පාළු වෙච්ච පිට්ටැන්නක් අයිනෙ, යන එන මං නැතුව පාරෙ වැටිල, සරීර කූඩුව හරියට වහ ගන්න වස්තරයක්වත් නැතුව වෙවුල වෙවුල උන්න අසරණ නාකි පරාණයක් මට දකින්න ලැබුණ. මිනිහ ඉන්නෙ කොච්චර අමාරුවකින්ද කියල හිතුණහම මගෙ පපුව උණු උණා.

මටත් සෑහෙන්න හීතල තිබුණත් ‘අනේ කොහොමද’ කියල මගෙ කබාය ගලවල මිනිහගෙ ඇඟට දැම්ම.
එතකොටම දෙවි කෙනෙක් කතා කරල මෙන්න මේ විදිහට කියනව ඇහිච්චි!

“දරුව, මේ කර ගත්තු කුසල කර්මයේ ආනිසංස තොපට මත්තෙදී ලැබෙනවා සහතිකයි.”

රෑ දවල් නැතුව ගමන් කෙරුව. ගමක් දකිනව තියා හෝඩුවාවක්වත් තිබුණේ නෑ. මුළු පලාතම හිමෙන් වැහිලා. මමත් මේ හාපුරා කියල යනවමයි.

පාං කියන්න බැරි තරම් අමාරු උණහම, අස්සයා පිටින් බැහැල, ඌ බැන්ද හිමෙන් උඩට මතු වෙලා තිබිච්ච මොකක්ද උලක් වාගෙ එහෙක. සූදානං සරීරෙ කියල පිස්තෝලයත් කිහිල්ලේ ගන්නගෙන හිම උඩම දිග ඇදුණ. නින්ද යන එක නං නින්ද ගියා මදියි නොකියන්න.
මට ඇහැරෙනකොට ඉර මුඳුනටත් කිට්ටුයි. ඇස් දෙක පිහිදාල එහෙම වටපිට බැලුව. ඊයේ හැන්දෑවෙ නිඳා ගත්තේ කොහෙද, දැන් ඇහැරිලා ඉන්නේ කොහෙද?
මෙන්න මේ ගම්මානෙක පල්ලිය වත්තේ වැටිල ඉන්නෙ!

මාව අන්දුං කුන්දුං වෙලා හිටපි. අස්සයත් ආගිය අතක් නෑ. ටිකක් වෙලා යනකොට ඔන්න කොහෙද උඩක ඉඳන් ඌ අඬන සද්දේ ඇහුණ. බැලින්නං පල්ලියේ කොතේ එල්ලිලයි ඌ මේ බෙරිහං දෙන්නෙ.

කලින් දා මුළු ගමම හිමෙන් වැහිලයි තිබුණේ. හිටි හැටියේම කාලගුණේ වෙනස් වෙලා!

වෙච්ච දේ ලේසියෙන්ම වැටහුණා.

කලින් දා මුළු ගමම හිමෙන් වැහිලයි තිබුණේ. හිටි හැටියේම කාලගුණේ වෙනස් වෙලා. මමත් උන්නු හැටියටම නින්දටත් බාදාවක් නොකර, හිම දිය වෙන්න දිය වෙන්න, ඩිංගෙන් ඩිංග පොළොවට පාත් වෙලා තියෙනව.
අන්දකාරේ උලක් කියල අස්සය ගැට ගහල තියෙන්නේ පල්ලියේ කොතේ!

කල්පනා කර කර ඉන්න දෙයක් නෑ. පිස්තෝලේ අරං වෙඩි තිබ්බ කටකලියාව දෙකට කැඩෙන්න. අස්සය හෙමින් බිමට පාත් කරගෙන එතැනින් පිටත් උණා. කිසිම හිරිහැරයක් නැතුව ගියා, ඌ පිට යන ටික.

රුසියාවෙ රට මැද්දට වෙනකොට මට වැටහුණා, සීත ඉර්තුවෙ අස්සය පිටින් යාම තුට්ටු දෙකේ වැඩක් බව. දේසෙ හැටියට බාසෙ කිව්වනේ! මමත් ඒ රටට පුරුදුකාරයෙක් උණා.
ගත්ත තනි අස්සය බඳින හිම කරත්තයක්. ඒකේ නැඟල සැන්ට් පීටර්ස්බර්ග් නුවර දිහාවට සෑහෙන වේගෙකින් යන්න පටන් ගත්ත. මට නිච්චියටම කියන්න බෑ කොහෙද කියල.
හද්ද වනාතෙදී, කාලෙකින් ගොදුරක් නැතුව හෝපොතු ගැහිච්ච වුර්කයෙක් උන්නු ගමන් පස්සෙන් එළවන්න ගත්ත. බඩගින්නේ සැරටද මන්ද ඌ ආවේ ඊ ගහේ වේගෙන්. ඒ බලල මේ බලනකොට අත ළඟටම ඇවිල්ල. මොන මාදිලියෙන්වත් ගැලවිල්ලක් නෑ.
ආපු අතකට ඔට්ටුයි කියලා මම පාත් වෙලා කරත්තේ ඇතුළෙම ගුලි ගැහුණ. අස්සයත් දුවනවා පණ එපැයි කියල.

එහෙම දෙයක් වෙයි කියල හිතන්න නං බෑ. මගෙ හිත නං කිව්වේ වෙයං වෙයං කියලමයි. වුර්කය මාව පයිසෙකටවත් ගණන් නොගෙන කරත්තේ උඩින් පැනපු පිම්ම වැටුණෙ අස්සයා උඩට. වැටෙනවත් එක්කම උගේ පස්ස පැත්ත හප හපා කන්න පටන් ගත්ත. පොඩි වේදනාවක්යැ? ඊටත් වැඩියි පරාණ බය. අහිංසක අස්සයා මර අඬ දිදී තව හය්යෙන් පිම්ම ඇල්ලුව.

හිටි හැටියේ පස්සෙන් වැදිච්ච මේ හෙණ පාරෙන් හෙල්ලුම් කාපු වුර්කය පැන්න ඉස්සරහට පිම්මක්-

මේ හතුරටත් නොපෙනී, හෙමිහිට බයෙන් බයේ ඔළුව උස්සල බැලූකොට- පිටි පස්සෙන් කන්න ගත්තු සතා එහෙම පිටින් අස්සයගේ ඇඟ ඇතුළට කාවදින්න ඔන්න මෙන්න කියලයි තිබුණෙ.

වුර්කය හොඳටම ඇතුල් උණහම මගෙ වාරේ ආව.

කසේ මිටෙන් දුන්න රත් වෙන්න පාරක්!
හිටි හැටියේ පස්සෙන් වැදිච්ච මේ හෙණ පාරෙන් හෙල්ලුම් කාපු වුර්කය පැන්න ඉස්සරහට පිම්මක්- පුළුවන් දහිරියෙන්.

අස්ස කුණ පාරේ වැටුණ. ඒ වෙනුවට වුර්කය බෝං ලීයට කර දුන්න.
ඔරුව පෙරළුණහමත් පෙරළිච්ච පැත්තට වැඩිය හොඳයි කිව්වනෙ මේ පැත්ත. මමත් කිසි ලෝබකමක් නැතුව කසෙන් තළ තළා ඌව දැක්කුව. වුර්කයවත් මංවත් හිතුවද මෙහෙම ගමනක් යන්න? කොහොම හරි අපි දෙන්න අතුරු අන්තරාවක් නැතුව යහතින් සැන්ට් පීටර්ස්බර්ග් නගරෙට යහපත් වුණා.

ඔන්න ඩ්රැකියෝ, තමුන්නැහේ කියාපු කාරණාවකුත් ඉෂ්ට කරන්න කාලෙ හරියාගෙන එනවා. මතකයි නේද?

ඩ්රැකීගේ අඩවිය, නිදිගෙ පංච තන්තරේ වගේ blog අඩවිවල නිත්‍ය පාඨක රසික-රසිකාවන් විතරක් නොවෙයිනේ මේ ලිපි කියවන්නේ. අලුතිනුත් පිරිසක් කියවන්න එනවනේ. මේ පරණ කතන්දර ලියන්නේ එයාලා වෙනුවෙන්.

එහාටම ගිහින් බලන්නත් ඇහැකියි ඔන්න, ඔන්නං. අරුම ගමනත් කියවලාම.

ඩ්රැකී ලිව්වා ‘අරුම ගමන’ කියලා post එකක්. 2021 නොවැම්බරයේ. ඒ රස වෑහෙන; මරේ මරු පෝස්ටුව කියවාපු ‘සරත්’ රසිකයා සිංගිරිසියෙන් මෙහෙම ලියලා තිබ්බා.

Lassana kathawa. Oya wagema katha gonnak thibunu pothak dasaka thuna hatharakata withara udadi kiyewwa mathakayi. Mama hithanne pothe nama "Manchosange charika" wageyi mathake hatiyata.’

මමත් එතැනට comment එකක් යැව්වා, රහසකුත් හෙළි කරමින්.
‘මැංචෝසන් චාරිකා ඒ චිත්‍ර එක්කම කියවන්න දෙනවා ළඟදීම
, නිදිගෙ පංච තන්තරේ අඩවියෙන්. සූදානං වෙන ගමන්!’

කිව්වම විශ්වාස කරන්ඩ මහත්තුරුනේ, ඒ විත්තිය කියවපු ගමන් මේ අසමජ්ජාති ඩ්රැකියා මෙහෙම කියලා තිබුණනේ, link එකකුත් දමන ගමන්.
‘එතකං ඉවසං ඉන්ඩ ම බැරි නං මෙතනිං පොත ඩවුන්ලෝඩ් කරගන්ඩ. (නිදි ගෙ කටේ පස් දැමීමේ ඒකායන පරමාර්ථයෙනි)’

විස්වාස නෑ? ඩ්රැකී වගේ මහත්තයෙක් එහෙම’කෙනෙකුගේ කටේ පස් දාන්ඩ හදයි’ කියලා. මෙතන උඩින් ක්ලික් කරලා එහාටම ගිහින් බලන්නත් ඇහැකියි ඔන්න, ඔන්නං. ‘අරුම ගමන’ත් කියවලාම.

ඉතිං මම වැඩේ අල්ලලා දාන්නත් හිතුවා. ඒත් බකුසුතුමා කිව්වනේ පොත දාන වැඩේ කරන්නයි කියලා. පස්සේ ඩ්රැකී උන්නැහෙත් මෙහෙම කියලා තිබ්බා.
‘මං කැමතියි නිදි ගෙ පංචතන්තරෙන් ම මැන්චෝසන් චාරිකා කියවන්න. මොකද
, නිදි ගෙ තියෙනව ලස්සන ඉදිරිපත් කිරීමේ ශෛලියක්.

ඊට සමාන්තරව මං ලියන්නං මැන්චෝසන් ගෙ ෆිල්ම් එක ගැන.’

ආන්න එහෙමයි ඌරො කැකුණ ඇට තලනකොට අහක ඉන්න හබන් කුකුළන්ට රජ මඟුල්වෙන්නේ.

දැන් ඉතිං ලියපංකො ඩ්රැකී පුතෝ ඒ post එක!

(ආන්න එහෙමයි ‘ඌරො කැකුණ ඇට තලනකොට අහක ඉන්න හබන් කුකුළන්ට රජ මඟුල්’ වෙන්නේ. අනේ ආයුබොවන්ලා, සමා වෙන්නෝනි- උපහැරණයකින් කිව්වා මිස ඔය කාවවත් ‘හබන් කුකුළන්’ කරන්න හැදුවා හෙම නෙවෙයි! ඒ කතා නවත්තලා මෙන්න.. 

තුන්වැනි පිම්ම
රුසියාවේ වනාන්තරවල

මං හිතාගෙන හිටිය හැටියට යුද්ද හමුදාවේ තානාන්තරයක් ලබා ගන්න එක පාරටම බැරි උණා. මාස ගාණක්ම නිදැල්ලේ හැසිරෙන්න මට ඉඩ ලැබුණා. අත දිග ඇරල වියදම් කර කර කුමාර ලීලාවෙන් නන්දන කෙරුවා ඒ ටිකේදි.

කණමොදා වාගෙ බීගෙන සූදු කෙළියෙන් රෑ කීයක් ගත කරන්න ඇද්ද? අපේ මේ සාන්ත දාන්ත ජර්මනියෙ වාගෙ නෙවෙයි, රුසියාවේ අඩි ගැහීම වැදගත්කමක්. බීමට මේ පාරට්ටුව ලැබුණේ රටේ තද හීතලයි, චාරිත්තරයි දෙක හින්ද.

ඒ රටේ ඉහළම පැලැන්තියෙ නම්බුකාරයො මම දන්නව, මේ වැදගත් චාරිත්තරේ යස මහිමෙට පුරුදු කර ගත්තු උදවිය.
කොච්චර කළත් අපි මොන ඇච්චොද, අපිට බීමෙන් අහලකටවත් කිට්ටු වෙන්න බැරි එක මනුස්සයෙක් හිටිය.
වයසක පහේ සේනාපතියෙක්- තඹ පාට මූණ. රා මටුල්ලකට කියාපු රැවුල. මිනිහ අපිත් එක්ක නිතරම වාගෙ එකට ඉඳන් කෑම කෑව.

ඉහළම පැලැන්තියෙ නම්බුකාරයො මම දන්නව, මේ වැදගත් චාරිත්තරේ යස මහිමෙට පුරුදු කර ගත්තු උදවිය....

තුර්කියට විරුද්දව කරපු යුද්දෙකදී මේ මනුස්සයගේ ඉස් මුඳුනෙන් පෙත්තක් කැපිල ගිහින් තියෙනව. අනික් තැන්වලදී වගේම කෑම මේසෙදීත් තොප්පිය දාගෙනමයි හිටියෙ.

අමුත්තෙක් මුණ ගැහිච්ච හැම වෙලාවකම, තොප්පිය දාගෙන කෑමට වාඩි වෙන්න සිද්ද වීම ගැන හතරට පහට නැමිල සමාව ඉල්ලන්න මුන්නැහේ පුරුදු වෙලා හිටියෙ ඒ හින්දයි.

කන්න ගියහම බ්‍රැන්ඩි වීදුරු බර ගණනාවක් ඇඟට පතට නොදැනී උගුරෙන් පහළට දාන එක මිනිහට මහ කජ්ජක් නෙවෙයි.
හමාරෙට බ්‍රැන්ඩි බෝතලයක් හරි තව ඕනැ නං, ඒ වගේ දෙගොඩක් හරි බුත්ති විඳීම තමා මිනිහගෙ සිරිත. බොනවයි කිව්වහම මෙහෙම බීමක් කොහෙද?

බිව්වහම පොඩ්ඩක් හරි වෙරි වෙන්න එපායැ.
ඒත් අපේ සේනාපතිය නෙවෙයි, වෙරියක හෝඩුවාවක්වත් පෙන්නුවේ. කොච්චර බිව්වත් ගිරුවාව මැදින් කෝඳුරුව ගියා වගෙයි.
මේක මහ පෙරෙහේලිකාවක්.

අහම්බෙන් වාගෙ හොරේ අල්ල ගන්න මට පුළුවන් උණෙත් කාලයක් ගියාට පස්සෙයි!

ඒ කොහොමද කියලා කියෝමු තුන්වෙනි කොටසින්......

Wednesday, February 23, 2022

හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස

අනුර ජිනදාස කතා කළේ හෙනහුරයි, රාහුයි දෙන්නම වෙනුවෙන්.

‘සෙනසුරා කොහෙද ඇවිද්දවන්නෙ? එයා කරන්නේ අණ්ඩක් කඩල පැත්තකට කරල තියෙන එකයි, මේ මට වෙලා තියෙනව වගේ.

ඇවිද්දවන්නෙ රාහු. එයා හරි ඔළුවක් නැති කෙනෙක්. නිකං වටපිට බලබලා ඇවිදින එක විතරයි. ඵලයක් හරිම අඩුයි.

අමාරුවෙන් උණත් මේ ටික කෙටුවෙ වැරදි දේවල් සමාජගතවීම වලක්වන අදහසින් මිස බ්ලොගයට අනතුරක් කරන අදහසකින් එහෙම නෙවෙයි.

මේ වගේ දේවල් කියන්න පුළුවන්කම ලැබෙන්නෙත් අරෙහෙම දේවල් නිසා තමා. ඒකට පිං!’

මේ post එකේ පළමුවෙනි කොටස අපේ හිතවතා අනුර කියවලා තියෙන්නේ ඊයේ. අනුර ජිනදාසත් දැන් ‘බොග දාන්නෙක්’. දන්නවනෙ, ‘ජිනාගේ කොලම’.
ඊයෙයි මාත් දැන ගත්තේ අනුරට පොඩි අනතුරක් වෙලා! මං හවස එයාට කතා කරන්නයි හිටියේ.

ඒ අස්සේ සති ගණනාවක් පෙරුම් පුරමින් ඉඳලා, නමියාත් නමෝ විත්තියෙන්ම ආවා නිදිව හම්බ වෙන්න. ඔව්, ඔව්. එයාත් blog රචකයෙක්. ‘නමියගෙ වීදිය’ ලියන්නෙ එයා.
අපේ දිගම දිග රසබර අල්ලාප-සල්ලාපය හිටි ගමන් නවත්තන්න වුණේ ‘හරියටම කෙරුණ’ විදුලිය කැපිල්ලෙන්. ඊයේ කැපිල්ල පැය දෙකක්!

නමී ආපහු යන්න ලැහැස්ති වුණා.
‘බාගෙට කරුවලේ මූණට මූණ හරියට පෙනෙන්නැතිව කතා කරාට ගතියකුත් නැහැනේ!’ මං නමීට සමු දුන්නා.
දිග වෙලාවකට කරන්ට් කපනවා නං මම කරන්නේ නිඳා ගැනිල්ල. ඒකෙන් අනුරට කතා කරන්න බැරි වුණා. මෙන්න බොලේ අද උදේම එයා මට කතා කරනවා. කතා කළේ හෙනහුරයි, රාහුයි දෙන්නම වෙනුවෙන්.

බෝතල් අඩංගු කාඩ්බෝඩ් පෙට්ටිය හිස මුඳුනේ තියාගෙන වැඩමවුවේ නෙවිල්ය! (foto- වෙනුජ තේජාන් හා  සඳසරා පීරිස්)

“ඔන්න මං කමෙන්ට් එකකුත් දැම්මා!” අනුර කිව්වා. ඒක තමයි උඩින්ම දැම්මේ!

අපි බත්තලංගුණ්ඩුවට ගිහිල්ලම බත් කමු නේද? දැන්... තව මොනවත් ප්‍රශ්න තියෙනවද?”  ප්‍රියංකර අපෙන් ඇහුවා කියලයි පහුගිය කොටහ ඉවර කළේ. මේං එතැන ඉඳලා:

මට නං ප්‍රශ්නයක් තිබ්බේය. ඒත් ඒක කාගෙන්වත් අහලා වැඩක් නැති එකකි.
නෙවිල්ගෙන් හරි හැටියට උපදෙස් නොලැබුණු නිසා මගේ ඇඳුම් බෑගයේ, පළමු දවසට ගැනීමට වෙන-වෙනම ඇඳුම් අසුරා තිබුණේ නැත. මේ කලබලේ, දැන් කොහොම ඇඳුම් වෙන් කර ආපහු අසුරන්නද?

“අයියෝ නිමල්...ඔයා කරදර වෙන්න එපා. ඔච්චර පුංචි bag එකකද ඔයාගේ ඇඳුම් සේරම තියෙන්නේ. ඕක ඔහොමම අරගෙන යමු!” මගේ ඇබින්දං ඇඳුම් බෑගය දැකලා ප්‍රියන්ත කිව්වේය. “ඕකෙන් බෝට්ටුවල ඉඩකඩේ ප්‍රශ්නයක් වෙන එකක් නෑ.”

අපේ නඩය බෝට්ටු තිබෙන හරියට එක්කරගෙන යන අතරේ, ප්‍රියංකරගේ සගයන් දූපතට ගෙනයා යුතු දේ යුහුසුළුව රැස් කරන්නට පටන් අරගෙනය. අපේ ඇත්තන් වැඩියත්ම පරෙස්සමෙන් බෝට්ටු වෙත වැඩම්මුවේ බෝතල් අඩංගු කාඩ්බෝඩ් පෙට්ටියකි. සධාතුක කරඬුවක් මෙන් හිස මුඳුනේ තියාගෙන ඒ පෙට්ටිය වැඩමවුවේ නෙවිල්ය.

Atara Lagoon කෑම ශාලාවේදී ප්‍රියංකර කියූ කාරණයක බරපතළකම අපට පෙනෙන්නට ගත්තේ වෙරළේදීය.

“සර්ලට බොන්න වතුර සේරම අපි කල්පිටියෙන්ම අරගෙන යනවා. බත්තලංගුණ්ඩුවේදී නම් සර්ලට නාන්න වෙන්නේ මුහුදෙන්. හැබැයි එහෙම නාලා ආවම කරිජ්ජ හෝදගන්න ඕනි තරං වතුර අපි දෙනවා..”
28 දෙනෙකුට බොන්නට වුණත් උවමනා වෙන්නේ පොඩි වතුර කන්දරාවක් නොවේ.
වතුර බූලි විතරක්ද? ටෙන්ට්ස්.... තව-තව අඩුම-කුඩුම bags බෝට්ටු අසලට ගෙනවිත් ගොඩ ගැසෙයි.... සගයෝ තවත් ලට්ට-ලොට්ට අරගෙන එති!

නෑ නෑ... පොඩ්ඩක් ඉන්න මැඩම්, බෝට්ටුවේ වහලේ දිග අරිනකල්... එතකොට... (foto- W.A. වෙනුජ තේජාන්)

“අපි බඩු පටවගන්න කලින් සර්ලා බෝට්ටුවලට නැඟලා වාඩි වෙන්න.... ඔයාලගෙ ඇඳුම් බෑගුත් ඒ ගමන්ම බෝට්ටුවලට දාගන්න. මතකයිනේ... එක බෝට්ටුවකට හත් දෙනයි...”

“අනේ අම්මේ... පැයක්- හමාරක් කට්ට අව්වේ පිච්චි-පිච්චී යන්න ගියාම එපා වෙයි...” ඡවි කල්‍යාණය ගැන සැලකිලිමත් වෙන්නියක් කෙඳිරි ගෑවේ එතැනදීය.
‘එක්කෙනාට එක කුඩේ ගානේවත් තිබ්බා නං.....’ ඒ මැසිවිල්ල බෝට්ටුකරුවන්ටත් ඇහිලාය.

“නෑ නෑ... පොඩ්ඩක් ඉන්න මැඩම්, බෝට්ටුවේ වහලේ දිග අරිනකල්... එතකොට කුඩ ඕනි වෙන්නේ නෑ. හෙවණයි.”
එහෙම කියවුණාම නම් අපටත් සතුටුය. කල්පිටියේ කාෂ්ටක අව්ව සිරුරම දවා ලන්නකි!
“අර වේලෙන්න දාලා තියෙන මාළු, මේ අව්වට එක දවසෙන් කරවල වෙනවා ඇති!”

එතැනදී අමාරුවෙන්ම බෝට්ටුවට නඟින්නට වුණේ මටය.
බෝට්ටුවේ ගැට්ටට පස්ස තියලා කකුල උස්සන්නට හදද්දී කකුලේ කෙණ්ඩ පෙරළෙන්නට ගනියි. මොන හැටියකින්වත් කකුල උස්සා ගන්නට බැරිය. මගේ අමාරුව දැකලා අපේ නඩෙන් කෙනෙකු උදව්වට එන්නට කලින්, අපේ බෝට්ටුව පදවන්නා එතනට ආවේය. ‘ඉන්න සර්!’ කියලා මාව හරහට වඩාගෙන බෝට්ටුව ඇතුළෙන් තිබ්බේය.

“ස්තුතියි මල්ලී!”

බත්තලංගුණ්ඩුවේ සිට වෙන්නැති, අප වගේම විනෝදකාමියෝ රොත්තක් බෝට්ටුවකින් ඇවිත් වෙරළට ගොඩ බසිති. ඒ හැම දෙනාම ජීවිතාරක්ෂක කබා හැඳගෙන සිටිති. අපේ අයටත් එව්වා මතක් වුණේ එතකොටය.

“අපිට අර වගේ life jackets දෙන්නෙ නැද්ද?”
“දෙනවා දෙනවා. මැඩම්ලා බෝට්ටුවලට නඟින අතරේ හැමෝටම ජැකට්ස් දෙනවා. අපේ බෝට්ටු තාම වැල්ලෙනේ තියෙන්නෙ, අම්මෝ...” ප්‍රියංකර කිව්වේ සද්දෙන් හිනා වෙමිනි; ජැකට්ස් තොගයක් උස්සාගෙන එන වැඩිහිටි යුවලක් දෙස බලමිනි.
“මැණිකේ... අර තාත්තලා ගේන ජැකට්ස් මේ නෝනලට දීපං මචං!”

මෙහෙ තව මැණිකේ කෙනෙක් ඉන්නවා... (වමේ සිට- දිලිනි, මල්කාන්ති, මැණිකේ, සනුති, බබීතා, රසිකා, ගයා හා අතුල (foto- සෙරාන් එච්. ගමගේ) 

ප්‍රියංකර ‘මැණිකේ’ යැයි කිව්වේ අපේ බෝට්ටුවේ හාදයාටය. ඉස්සෙල්ලාම හැරී බැලුවේ, ප්‍රියන්තගේ නැඟණිය මැණිකේයි. “නෑ... නෑ... මෙහෙ තව මැණිකේ කෙනෙක් ඉන්නවා... නේද මැණිකේ?” මං කියද්දී අපේ බෝට්ටුවේ හාදයා හිනා කෑවේය.

“ප්‍රියංකර අයියා මට කියපු නම සර් එක පාරෙන්ම අල්ල ගෙනනේ... මං හර්ෂ!”

ඒ පිරිසේ අයගෙන් ප්‍රියංකර ළඟට ඉන්නා කතාකාරයා ‘මැණිකේ’ය. කොච්චර- කාගෙ නම් මතක තියාගත්තත් ‘මැණිකේ’ නම මිස ‘හර්ෂ’ නම මට මතකයේ පැලපදියං වුණේ නැති හැටි! ගමන පුරාවටම ‘හර්ෂ’ වෙනුවට සුරේෂ්, මහේෂ් වගේ නම් කීපයක්ම ඒ හාදයාට මගෙන් කියැවිණි.
ගමන නිමාවී ආවාට පසුව, මෙහෙම බ්ලොගයක් ලියන්නට සැරසෙන අතරේ Priyankara Thalmedhaට මුහුණු පොත හරහා පණිවිඩයක් යවලාත්; දුරකථනයෙනුත් ‘හර්ෂ’ගේ නම තහවුරු කර ගත්තෙමි.
මතකයිනෙ? කලිනුත් දවසක කිව්වා:

ලෝකේ ඉන්නා ඕනෑම කෙනෙක් අහ ගන්නට වඩාත්ම කැමති වචනය මොකක්ද කියලා මතකයි නේද? ‘අම්මගේ රෙද්දෙ මමාස්’ post එකේදී මං ඒ විස්තර ලිව්වනේ.

අනෙක් බෝට්ටු දෙක පැදෙව්වේ නිහඬ ‘බියුටස්’ හා ප්‍රියංකරගෙ තාත්තායි. ඒ දෙන්නාම අඩු කතාකාරයන්ය. (ප්‍රියංකරගේ සගයන් තිදෙනාම වැඩිහිටියාට ඇමතුවේ මාමා කියමිනි. මමත් ඒ ඇමතුමම අහුලා ගත්තෙමි.) මාමා උග්‍ර කිතුණු බැතිමතෙකු විය යුතුය. ඔහු තිස්ස දෙවේලේම කුරුසය ලකුණු කර ගනියි; කොඳුරා යමක් මතුරයි.

ඔන්න, කිය-කියා හිටි කතන්දරෙන් හැරුණු තැනට ආපහු. Life Jacketsවලට!

ඒ පටි දෙකත් සවි කරගත්තාම ‘පරම්පරා කුට්ටම’ හිර වෙලා වගෙ දැනුණු හින්දාය!

2012 සැප්තැම්බරයේදී පළමු වරට කිතුල්ගල Rafting කරන්නට යද්දීත් අපට මෙවැනිම ජීවිතාරක්ෂක කබා හැඳ ගන්නට වුණේය. “ඔය යටින් තියෙන පටි දෙකත් හරියට fix කර ගන්න ඕනි. නැත්තං හදිසියෙවත් වතුරට වැටුණම ජැකට් එක උඩට එනවා...” රාෆ්ටින් මෙහෙයුමේ ලොක්කා ‘රවී’ එදා අපට උපදෙස් දුන්නේය. කරලාත් පෙන්නුවේය.

අපේ නඩේ හිටි කොල්ලන් ‘තල+තුනා’ ගත්තවුන් වගේ වුණේ එහෙම කරන්නට ගියාමය.

වැඩි දෙනෙකු එදා ඒ උපදෙස් පිළිපැද්දේ අකමැත්තෙනි. පහත කෙළවරේ එල්ලෙන ඒ පටි දෙකත් සවි කරගත්තාම ‘පරම්පරා කුට්ටම’ හිර වෙලා වගෙ දැනෙයි!
අපට එහෙම දැනුණා නම්, දිග ගවුම්- සාය ඇඳගෙන හිටි බවලතුන්ට කොහොම දැනෙන්නට ඇද්ද?

ඒ රහස දන්නා හින්දාද කොහෙද, මෙදා ප්‍රියංකර නං ‘ඒ පටි දෙක තද කර ගැනීමේ’ උපදෙස නිකුත් කළේ නැත.

ඒ, මේ දවස්වල එකේක බලධාරීන්ගෙන් නිතර පිටවෙන පටි තද කර ගැනීමේ උපදෙස් ඇහුණාම හුදී ජනතාවට කියවෙන දේවල් ප්‍රියංකරටත් ඇහිලා තියෙන නිසා වෙන්නැතිය. හුදී ජනතාව එහෙම වෙලාවට ‘ටෞකන්න’ කතාව කියා පාති! නිකම්ම නොවේ, හොඳ-හොඳ විශේෂණ පද එක්කමය.

AC මාලිගා; මන්දිරවල වෙසෙන- වීදුරු කාමරවලම වැඩ කරන- වැරදිලාවත් පොළොවේ පය නොගහන ලොකු-ලොක්කන්ට ‘ජහමනයා’ගේ නාඩි වැටෙන හැටි තේරෙන්නේ නැතිකමේ වැරැද්දය ඒ!!

මේ දවස්වල එයාලා පටි තද කර ගන්නැයි- සීමා පනවා ගන්නැයි අපට කියන ‘තකතීරු’ කතාවල කෙළවරක් නැත. සිපෙට්කෝ සභාපතිතුමා කියන්නේ ඉන්ධන මිල වැඩි කරන්නේ පරිභෝජනය සීමා කරවන්නටය කියලාය.

මැති-ඇමතිවරුනුත් මාසෙකට වතාවක් විතර බයිසිකල්වලින් ගමන් කරනු ඇතැයි….

ජනතාවට පා පැදියෙන් වැඩට එන්නැයි කියන ඇමතියෙකු, රටේ ආර්ථිකය හොඳ අතට හැරුණාට පස්සේ මැති-ඇමතිවරුනුත් මාසෙකට වතාවක් විතර බයිසිකල්වලින් ගමන් කරනු ඇතැයි විශ්වාසය පළ කරයි. මටත් එකක් නං හොඳටම විශ්වාසය. උන්දලා සයිකල්වලින් පාර්ලිමේන්තු එන්නට කලින් මහජනතාවට ‘යකෙන් පුන්නට’ සලස්වනවා සැක නැත.

බයිසිකල්වලින් නොවේ, බෝට්ටුවලින් ගැඹුරු මුහුදේ වේගයෙන් ගමනේ යද්දී ලොකු දිය රැල්ලක් මතු වෙයි. ඒ බෝට්ටුව පිටුපස්සෙන් එන දෙවෙනි බෝට්ටුව අර දිය රැල්ල මඟහැර පදවන්නේ නැති නම්, එය මතින්ම යයි නම් දෙවෙනි බෝට්ටුවේ ගැස්සීම වැඩිය; උඩ-පහත වැටීම වැඩිය. පළමු වතාවේ අපේ බෝට්ටුව උඩ ගොස් පහත වැටුණා විතරය.
අනේ අම්මෝ!/ හීඊඊඊඊඊඊඊඊඊඊඊඊයා!!/ අනේඒඒඒ!!!
ගයා- මල්කාන්ති- බබීතා හා සනෝලි හතර දෙනාම යටි ගිරියෙන් කෑ ගැසූහ.

සංචාරයක් අංග සම්පූර්ණ වෙන්නට නම් එහි සතුට- විනෝදය මෙන්ම බිය හා ත්‍රාසයත් තිබිය යුතුමය. අපේ බෝට්ටුට පැදවූ හර්ෂ නම් ඒ විත්තිය හොඳටම දැන හිටියා වගේය.
අර සද්ද ඇහුණාම ඇට්ටර හිනාවක් දෙතොල් අතරේ හංගා ගත්තේය.
ඒ හාදයා ඊට පස්සේ උවමනාවෙන්ම අපේ බෝට්ටුව ගැස්සුවේය; වංගු ගත්තේය; පැද්දුවේය. ඒවායින් හොඳටම හෙම්බත් වුණේ බබීතාය.

“අපෝ නිමල් අයියේ, එනකොට මම මේ මනුස්සයාගේ බෝට්ටුවට නං නඟින්නෙ නෑ කීයටවත්!” ඉස්පාසුවක් ලැබුණු හැටියේම බබීතා නංගී නිවේදනය කළාය.

ඒ ‘ගැස්සිලි- පැද්දිලි සෙල්ලම’ මගේ අවාසනාවත් ඉක්මනින්ම ළඟා කර දුන්නේය.
ඒත් අනෙක් අය කලබල වෙතියි බියෙන් මම දත්මිටි කාගෙන ඉවසුවෙමි... ඉවසුවෙමි.  ‘අම්මෙඃ!’ වේදනාව ඉවසාගෙන සිට බැරිම තැන මට කෙඳිරි ගෑවිණි.

“ඇයි... ඇයි නිමල් අයියේ...” මගේ දෙපැත්තෙන් වාඩිවී සිටි අතුලත්, හරිශ්චන්ද්‍රත් මාව අල්ලා ගත්හ. ‘කෙණ්ඩ පෙරළෙනවද- මසාජ් කරන්නද?’
කොච්චර කියලා මසාජ් කරන්නද? දෙකකුල්- පිට- ළපැත්ත- දෙවුර...සර්වාංගයේම මස් පෙරළෙයි. ඊට පස්සේ, එතන සිට දූපතට යන තුරුම අපේ කට්ටියට මා ගැන බලනවා විනා වෙන වැඩක් තිබුණේ නැත.

තව විනාඩියක් දෙන්න සර්! මම plastic මේසෙකුයි පුටු ටිකකුයි ගේනකල්...ප්‍රියංකර හර්ෂත් එක්කම පිටත්වී.... 

“නිමල් අයියේ,  බත්තලංගුණ්ඩුව කියලා කිව්වට ඒ නමෙන් තියෙන්නේ දූපත් පහක්! පරමුණේ/ පල්ලියවත්ත/ පුංචි ගුණ්ඩුව/ මහ ගුණ්ඩුව/ කරතිව් මුණේ කියන්නේ එව්වට. අපි මේ camping කරන්න යන්නේ පුංචි ගුණ්ඩුවෙ....” ඉස්පාසුවක් ලැබුණ විට ප්‍රියංකර පහදලා දුන්නේය.

“මේ දූපත්වල ඉන්නේ සංචාරක ධීවරයෝ.... පවුල් 1500- 2000 විතර ඉන්නවා. එක පොලිස් මුරපොළකුත් තියෙනවා...”

මේ ප්‍රියංකර හාදයාගෙන් එක දිගට යමක් අසා ගන්නට වෙලාවක් ලැබෙන්නේ ඉතාමත් කලාතුරකිනි. ඒ මනුස්සයාට ඒ තරමට වැඩය.

මට පෙනුණු විදිහට නම් ප්‍රියංකරලා එදා දවසේ අප වැනිම කණ්ඩායම් තුනක් බත්තලංගුණ්ඩුවට කැඳවාගෙන ඇවිත්ය. ඒ කණ්ඩායම් තුනේම ඕනෑ එපාකම් සපුරන්නට ප්‍රියංකරත්, සගයනුත් එහා-මෙහා දුවති. එක කණ්ඩායමකටවත් අඩුවක් වෙනවාට බයෙන්ය.

“තාත්තේ, මේ බෝට්ටු දෙකක මැද්දට ටාපොලින් රෙද්ද ගැට ගහලා මේ සර්ලට හෙවණක් හදලා දීලා ඉඳිමු. සර්ලට බඩගිනිත් ඇතිනේ.... චුට්ටක් ඉන්න සර්.... අපි පට ගාලා මේක ගැට ගහනකල්...”
ප්‍රියංකර කියද්දී, බියුටස් ටාපොලින් රෙද්ද දිග හරියි. තවත් කෙනෙක් දිග රිටක් අරගෙන එයි. අපේ කට්ටියත් එයාලටම එකතුවී බෝට්ටු දෙකකට ඒ රෙද්ද ගැට ගහති.
නොකිව්වාට කාටත් බඩගිනිවත්ද?
කලබලය ඒ තරමටය.

‘ඔය ලීය මැදින් තියලා ඉස්සුවාම හරි!’ කලබලකාරයෙකු යෝජනා කරයි.
මොන හරියක්ද?

තවත් හදිස්සිකාරයෙකු අර ලීය රෙද්දට යටින් තියලා එසෙව්වා විතරය. ‘බරාස්!’ රෙද්ද මැදින් ඉරාගෙන මුක්කුව නිල් අහස හොයාගෙන ගියේය. අර හාදයාගේ දැන් සූදානම ලීය වෙනින් තැනකට මානන්නටය.
“ඔය ලීය උස වැඩියි මනුස්සයෝ. එක්කෝ ලීයේ කෙළවරට පොල් කටුවක් තියාගන්නවා.”
“ප්ලාස්ටික් බෝතලයක් කපලා යට බාගේ තියමුද?” ප්‍රියන්ත අහයි.

“නෙවිල්, ඒ ගොල්ලෝ ඒක කරයි.... තමුසේ මෙහාට ඇවිත් අරවා ලෑස්ති කර ගන්නවකො!” කෙනෙකුගෙන් රහසෙන් වගේ කියවෙන්නේ, නෙවිල්ටය.

තවත් කෙනෙක් දිග රිටක් අරගෙන එයි. අපේ කට්ටියත් එයාලටම එකතුවී බෝට්ටු දෙකකට ඒ රෙද්ද... (foto- W.A. වෙනුජ තේජාන්)

කවුරුන් කොච්චර වැඩ කළත් දැන් මං වහන්සේ එව්වාට සම්මාදම් වෙන්නේ නැත. නිදි එහෙම කළේ ඉස්සරය. දැන් මං කරන්නේ සුව-පහසුව වාඩි වී; කේක් ගෙඩිය තිබ්බා වගේ ඉඳගෙන සිදු වෙන දේවල් බලා හිඳීමය. ඒවා මතකයේ අසුරා ගැනීමය.

අපේ සද්ධිවිහාරික පුරුෂයන්ගේ කඩිමුඩිය ඇයිදැයි මට මීටර් වුණේ ඊට පස්සෙය.
“ලේඩීස්ලා, ඔයාලට බඩගිනි නං කන්නලා... අපි කනකල් බඩගින්නේ බලා ඉන්න එපා!”

“තව විනාඩියක් දෙන්න සර්! මම plastic මේසෙකුයි පුටු ටිකකුයි ගේනකල්...” ප්‍රියංකර හර්ෂත් එක්කම පිටත්වී ගිහින් ආවේ මේසයක් හා පුටු අරගෙනය. එතකොට ටාපොලින් හෙවණ හදලාත් ඉවරය. ප්ලාස්ටික් මේසය සින්න කර ගත්තේ අපේ මජ්ජපාන සංගමයයි.

අපි බත් පාර්සල් දිග හැර ගත්තෙමු.

‘ඇපල් කෑල්ලක් දියං මචං/ මේකට යන්නෙ ස්ප්‍රයිට් නෙවෙයි, සෝඩා/ ලලිත්ට බියර් එක කෝ’ වගේ පසුබිම් කථනයන් අපේ බතට ලුණු-ඇඹුල් සපයයි!

“ඒයි මචං, සනෝලි sweets. අද මුරුක්කු ගෙනල්ලා නැද්ද මචං...” කෙනෙක් අසයි.
“ගෙනාවා. ගෙනාවා.” අතුල කියයි.
Trip එකකට එනවා නම් අතුල රසකැවිලි, බයිට්ස්වලට මුරුක්කු, තල, දොදොල්, මස්කට් විතරක් නොවේ බුල්ටෝත් මදිය නොකියන්නම අරගෙන එයි. අතුල එවැනි නිෂ්පාදන බෙදාහරින්නෙකි.

“Please මචං, ඔය අපේ නෝනට කියපංකො මුරුක්කු බෝතලයක් ගේන්නයි කියලා.”
“ගයා... ඔයා මුරුක්කු ගෙනෙනකොටම අපිට බත් කාලා කන්න බුල්ටොත් ගේන්න.” ගයා පිටත්ව යන්නට හදද්දී අපේ කාන්තා පාර්ශ්වයෙනුත් ඉල්ලීමකි.

Atara Lagoon එකේදී අපේ නඩයට... (foto- W.A. වෙනුජ තේජාන්) 

සමහර ඇත්තන්ට ඔහොම ජාති කොච්චර තිබ්බත් හිතට මදිය. අද දවාලෙත් ඒ ගතිය මතු වුණේය. Atara Lagoon එකේදී අපේ නඩයට කජු මතක් විණි.

“ඒයි මචං, මේ පැත්තෙ කජු තියෙනවලු. ලාබ ඇති...”
“සරත්, ඇහුවා නේද මොනවද එයා ගණනේ ගෙනෙන්න ඕනි කියලා. අන්න, කජු ටිකක් ගෙනාව නම් හරි....” /
“වැඩිය එපා. කිලෝ එකක් විතර ගෙනෙන් මචං.” /
“තේ හරි ගස්සනකොට ගිහින් එන්නත් පුළුවන්, සරත්!”/
ඉතිං බැහැයි කියන්නද? සරත් පිටත්ව ගියේ තව දෙන්නෙකුත් එක්කය. එයාලා වැඩිය සුනංගු නොවී කජු කිලෝවකුත් අරගෙන ආවෝහ.

කීප දෙනෙකුගේම අත් කජු bag එකට රිංගයි; මිට මොළවාගෙන එළියට එයි...
“කන්න කලින් බලන්නලා... සත්තු ඉන්න පුළුවන්!”

ඒ කිව්වා වගේමය. ‘මෙන්න මේකේ මැද ගුල්ලෙක්!’ / ‘මේ කජු මදය මැද්දේ මැස්සෙක්.’
එතැන් සිට කවුරුනුත් කජු මද වැළඳුවේ ඒවා දෙපියල් කරමින් මැද පිරික්සා බලමිනි. කජු ගෙඩියක් සේ පෙනෙන්නට පියලි දෙකක් මැදට පාප්ප ගාලා ඇලවූ, ඒ කජු කිලෝවක් රුපියක් 4,500/කි.

“කෝ සරත්, අර ගුල්ලෝ ගහපු කජු ඉවරයිද?” වෙරළේදී ආයෙමත් කජු මතක් වෙලාය!
“කජු! ඒවා ඉවර වුණේ එවෙලෙමයි!”
“යකෝ... කිලෝ එකම?”

බෝතල දෙක තුනක් අලෙවි වෙද්දී පුංචි බත්තලංගුණ්ඩුව තාවකාලික කූඩාරම යට සංවාද/විවාද මණ්ඩපය දිගටම උණුසුම් වුණේය. දැනටමත් ශ්‍රී ලංකාවාසීන්ට අමතක පර්ල් එස්ප්‍රස් ගින්න, රසායනික පොහොර තහනම, ඉන්ධන ප්‍රශ්නය, විදුලි කප්පාදුව, උණ්ඩියල් ක්‍රම, අකුදි වගේ අටෝරාශියක් මාතෘකා තියෙද්දී... කතාකාරයන්ට ප්‍රස්තුත මාතෘකාද හිඟ?

මද්‍යසාර ගන්නා විට ලජ්ජා නහර අක්‍රිය වෙනවා වගෙය; මතකය දුබල වෙනවා වගෙය.
සමහරු එකම දේ නැවත- නැවත වදාරති; එකෙකු කතා කොට අවසන් වෙනතුරු නොඉවසති; අදාළ නොවෙන දේත් පවසති.
මේ විසූක දස්සන දැකලා පුරුදු  නිසා, එතැන වැඩි වෙලාවක් රැඳෙන්නට මට හිතුණේ නැත. අනෙක එදා උදේ දෙකහමාරට පිබිදුණු නිසා නිඳිමතත් දැඩිව දැනෙයි.

අන්දරේ මරණ මංචකයේ සැතපුණු සෙයියාවෙන් අයස්මන්ත පීරිස් මහතා එයින් එකක දපලාය. (foto- සඳසරා පීරිස්)

එතකොටත් ප්‍රියංකරලා වෙරළට ටිකාක් ඈතින්, තරමක ගස් ගොන්නක් මායිමේ tents කීපයක් අටවලා ඉවරය. අන්දරේ මරණ මංචකයේ සැතපුණු සෙයියාවෙන් අයස්මන්ත පීරිස් මහතා එයින් එකකය. දේශපාලන කතන්දරවලට අකැමැති පීරිස් කලින්ම විවේකයක් අරගෙනය.

මමත් තව tent එකක් බද්දට ගත්තෙමි.

කොතෙක් වෙහෙසවී හිටියත් මට එදා නින්ද ගියේ ටික වේලාවකි.
තාලය බිඳිමින් දර්බග් එකක් වැයෙනවා ඇහෙයි. ඒ අපතාලයට අනුව යමින් කීප දෙනෙක් ගීත ගයති. ගැයෙන්නේ ගීතයෙන් බාගයක් විතරය. තවත් එකක් ඇරඹෙයි. එයට කන් දෙමින් නැඟිටින්නට හදද්දීය මං වැටී උන් සකල අමාරුව මට තේරුම් ගියේ.

නිඳාගෙන උන්නේ උසක නම් මට දෙපා බිම තියලා සිට ගැනීම අසීරු නැත. බිම නිඳා ගත්තාම මට ඒ වාසිය නැත. (ගෙදරදී හදිසියේ හෝ බිම නිඳා ගන්නවා නම්, මං එහෙම කරන්නේ පුටු දෙකක් දෙපැත්තේ ළඟින් තියා ගෙනය. එවිට ඒවා අල්ලාගෙන; ඒවාට වාරුවී නැඟිට ගන්නට ඇහැකිය. කූඩාරමේ එහෙම අල්ලා ගන්නට තරං සවිමත් දෙයක් නැත!)
මම එහාට පෙරළී බැලුවෙමි; මෙහාට පෙරළී බැලුවෙමි. ම්හු! වීරිය කරනවාත් සමඟම මස් පිඬු වේදනා දෙන්නට ගනියි.

අපේ නඩයේ කට්ටිය සිටින්නේ ඈතින්ය. එයාලා මුහුදට බහින්නට සැරසෙනවා වගෙය. අනන්ත ආකාසයම රතු පාටින් හැඩ වෙලාය. ‘නැඟිටලා එනවා!’ තද කහ පාටින් දිදුලන සූරිය දිවිය රාජයාත් මට අඬ ගසයි. ඒත් මට නැඟිට ගන්නට වාරු නැත.
‘තොට හොඳ වැඩේ නිදියෝ! බැරි මරගාතේ ගෙදර නොඉඳ කෑම්පින්වලටත් එනවට.’

මගේ වෙලාව එච්චරටම නරක නැත. අනෙක් කූඩාරමේ නිඳාගෙන හිටි අයස්මන්ත මහත්තයා නැඟිටලා එතැනින් යන්නට ආවේ එතකොටමය.
“පීරිස්! මට නැඟිටින්න අත දීලා යන්නකෝ.”

ඒ වාරුවෙන් නැඟිටගත් මේ ලෙඩා නාන කලිසමක් ඇඳගෙන වෙරළට යද්දී, ඇඹුල්දෙනිය තෙත වැල්ලේ වැතිරී- සියොලඟම වැල්ලෙන් වසා ගෙනය.
“නිමල් අයියේ, මුහුදේ නානවට වැඩිය ආතල් මෙහෙම වැල්ලෙන් නාන එක. ඇඟටත් ගුණයි....” ඇඹුල්දෙනිය කියයි. වෙන්නැති! ඒත් ආයෙම වතාවක් නිකම්ම බිම පෙරළෙන්නට?

මොකුත්ම නොකියා මා රැල්ලට බැස්සේ, හිනාවකින් ඇඹුලාට සංග්‍රහ කරමිනි.

රැල්ල සැරය. වැල්ලට ඇවිත් ආපිට යන්නේ මාවත් ඇදගෙනය. හිටගෙන ඉන්නට අමාරුය. එතැන සිට නිමල් දිසානායකයා වැල්ලේ පෙරළී රැල්ලෙන් නෑවේය. එදා සැරේ මං නැඟිට ගත්තේ හරිශ්චන්ද්‍රගෙ උදව්ව ඉල්ලා ගෙනය. මේවා ලියන්නේ, තව වැඩි දවසක් මට චණ්ඩියා වගේ ඉන්නට නොලැබෙන බවට එව්වා සාක්කි නිසාය. කොයි ජගතාටත් එහෙමය.

ඔන්න ප්‍රියංකරෝ, තරහ වෙන්න එපා. නඩුවක් කියන්නයි ලැහැස්ති වෙන්නේ.
කට්ටිය කරිජ්ජෙන් නාගෙන ගොඩට එද්දී ලුණු සෝදා හරින්නට ‘ඇති පදම්’ වතුර ලැබුණාය කියලා නම් මට පෙනුණේ නැත. වතුර බූලිවලින් පොඩි ජෝගුවකට අරගෙනය, අපේ අය ඔළුවට හළා ගත්තේ.

“නිමල් අයියේ. ලුණු වතුර හෝදල දාන්න එපා. ඔයාට හොඳයි තියෙන්න අරින එක. කෙණ්ඩ පෙරළෙන එක අඩු වෙයි..” ඇඹුල්දෙනිය උපදෙස් දෙයි. ඒ වතාවේ මම ඔහුට කීකරු වීමි.

“සර්ලට බාබකිව් එකක් තියෙනවා... රෑ කීයට විතරද කෑම ඕනි කරන්නේ. බාබකිව් එකෙන් පස්සේ නූඩ්ල්ස්!” ප්‍රියංකර ප්‍රියන්තගෙන් අහනකොටත් හර්ෂ බාබකිව් උදුන් පිළියෙළ කරන්නට පටන් ගෙනය.
අපේ ඇත්තනුත් දවසේ දෙවෙනි ‘මඳ පමණට ගැනීමේ සැසිය’සඳහා සූදානම් වෙන්නට පටන් ගෙනය.

ඒ අතරේ මගේ පිට පැත්තෙන් උහුලා ගන්නට බැරි තරමේ වේදනාවක් ඇවිළෙයි.
“පීරිස් මහත්තයෝ... නැද්ද මොකුත් බේතක්? ඉන්න බැරි තරම් කැක්කුමයි!”

“කරලක් දෙන්නං. ඒක හරි යනවා නං පැය බාගෙන් pain එක අඩු වෙයි.”
පැය බාගෙන් අඩු නොවුණොත් කියලා මං නිකමටවත් හිතුවේ නැත. එහෙම හිතන්නේ negative උදවියයි!

ඊට පස්සේ..... ඊළඟ කොටසින් කියවමු!