අකුරු මැකී නෑ

Sunday, May 29, 2022

මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස

‘සින්ඩි 365’ මෙච්චර ඉක්මනට; පට-පට ගාලා යාවත්කාලීන නොවී තියෙනවා නං කියලා මට...

‘සින්ඩි 365’ එක්කලා මම නං හිටියේ පුදුම විදිහේ තරහකින්. දවසෙන් තුනෙන් එකක් විතර ලයිට් නැතිව හිටපු අස්සේ, සින්ඩි 365 පළවෙන blog අඩවි සේරම බලන්න කොහෙන්ද අප්පේ පුළුවන්කමක්? ඇත්තම කිව්වොත් මේ ලියන නිමල් දිසානායකට නං, කරන්ට් නොකපන දවස් 365 කාලෙක වුණත් ඔය තරං posts ගොඩාරියක් නං කියවන්න හැකියාවක් නෑ.

ඒ වුණත් මම හරිම කැමතියි අපේ රසික පාඨක ප්‍රජාවට තෝරා ගැනීම සඳහා මේ විදිහට ලොකු choice එකක් එකම තැනක පළවෙනවට.

එහෙම වෙලත්, ‘සින්ඩි 365’ මෙච්චර ඉක්මනට; පට-පට ගාලා යාවත්කාලීන නොවී තියෙනවා නං කියලා මට හිතෙන්නේ, මගේ පුහුදුන් ගතිය හින්දා වෙන්නැති.

ඒක නෙවෙයි. මගේ කතන්දර කොහොමද තමුන්නාන්සේලාට දැනෙන්නේ?
රටම ගිනි ගනිද්දී වුණත් එව්වා නොතකා, තම-තමුන්ගේ වරප්‍රසාද; ගැලවිජ්ජාව සලසා ගන්නට කෙරෙන දියවන්නාවේ කතා වගේ ‘නිස්සාර- පරස්පර කාලය කා ගැනිලි’ වගේද එව්වාත් පෙනෙන්නේ?
‘හැබැයි ගොයියනේ, මම නං එච්චර ආත්මාර්ථකාමී අසත්පුරුෂයෙක් නෙවෙයි හොඳේ,
කොච්චර Un දොස්  වුණත්!’.
නෙළා ගන්න බෑ - මගේ අත දිග නැතිව තියෙද්දීත් ‘අනේ ඒත් තව මල් පිපියන් - කෝටි ගණන් තව මල් පිපියන්!’ කියලයි මං හිතන්නේ.

පහුගිය දොහක ‘සින්ඩි 365’ තිබ්බා පර්සි ජයමාන්න මහත්තයා ලියාපු පෝස්ටුවක්. අලි විස්මය දෙස ඩෙස්මන්ඩ් මොරිස්ගේ ඇසෙන් බලන්න!’ කියලා.
පර්සි ජයමාන්න කියන්නේ ඒ දවස්වල ජනමාධ්‍ය ලෝකයෙ පතාක යෝධයෙක්. එඩ්වින් ආරියදාස මහත්තය වගෙ. දෙන්නම වැඩියෙන්ම වැඩ පෙන්නුවේ ‘නවයුගය’ පත්තරෙන්.
ඒ ‘අලි විස්මය....’ ලිපියේ මේ කොටස කියවන්නකෝ:

ඇතින්නට ඇති නම් අතර ඇතිනිය, කණේරුකා, කරේණුකා, කිරඟන, කෙණෙර, කෙණෙරඟන, නාලිය, හස්තිධේනුව, හස්තිනී, හැතා ඉන් කීපයක්....

මං මෙහිදී ඇතා, ඇතින්න, අලියා, කෙණෙර ආදි වචන කීපයක් පාවිච්චි කළා. අලියාගේ ස්ත්‍රී ලිංග පදය කෙණෙරයන්නයි. ඇතාගේ ස්ත්‍රී ලිංග පදය ඇතින්නයි. ඇතාට කියන තවත් නම් ගණනාවක් ම තියෙනවා. ඇත්, ඉබු, ඉහ, කරි, කිරි, කුඤ්ජර, කුරුණෑ ගජ, ගජිඳා, දිරි, නා, නාග, පිනිපා, මතංග, වනජයා, වරණ, වාරණ, වරණිඳු, සඳ, සරඟ, සින්ධුර, සිඳුරු, හස්ති, හැත් ඉන් කීපයක්.

ඇතින්නට ඇති නම් අතර ඇතිනිය, කණේරුකා, කරේණුකා, කිරඟන, කෙණෙර, කෙණෙරඟන, නාලිය, හස්තිධේනුව, හස්තිනී, හැතා ඉන් කීපයක්.’

ඔය පෝස්ටුව කියවපු ගමන්ම මට මතක් වුණේ, අපට නියමාකාර කුරහන් පිට්ටු හදවලා දුන්නු හම්බන්තොට අසංගගෙ දූ පොඩිත්ත; දිගැසි නර්තනීව. ඒ දෝණි නටන්නත් දස්සයි නම වගේම.
බෙහෙත් ගන්න හම්බන්තොට යන සමහර දවසට අපේ දවල් කෑම සූදානං කරලා දෙන්නෙ අසංගලගෙ ගෙදරින්. එහෙම ගිය වෙලාවක අසංගගෙ ඇඹණියන්දෑ මගෙන් අහපි, කරටිය කඩලා යන ප්‍රශ්නයක්. (එයාලා හිතාගෙන ඉන්නේ මං සිංහල ‘විශාරද’ කෙනෙකි කියලාය. ‘විකාරද’ පට්ටමට සුදුසු මං වහන්සේ දන්නා හරිය කොච්චරදැයි කාටත් පෙනෙන්නේ මෙහෙම පුරස්නයක් ආවාමය.)

“අයියේ, කෙණර වචනේ බහු වචනය මොකක්ද?”
“අනේ නංගි, ජීවිතේට අහපු නැති, හිතුවෙවත් නැති ප්‍රශ්නයක්නේ. කාටද දෙයි හාමුදුරුවනේ ඕක දැනගන්න ඕනි වුණේ?” මට කියැවුණේ නිකංම.

“අපේ දූට නිමල් අයියේ. එයාලට දුන්න ප්‍රශ්න පත්තරේක තිබිල තියෙන්නේ....” ප්‍රශ්න පත්තරය මොකක්දැයි මං ඇහුවේ නැත. ‘පසුව විමසා බලද්දී, සිංහල ගුරු මහත්ම-මහත්මීන් දෙතුන් දෙනෙකු පවා මේ ප්‍රශ්නයට උත්තර දෙන්නට අසමත් වී ඇති බව කියැවිණි’ යනුවෙන් ගොඩින් කීවාම ඇති නෙව, ඇඟ බේරගෙන!
අපේ දරුවන්ගේ ‘සිලබස්’; විෂය නිර්දේශයන් හදන්නේ කවුරුන්දැයි කියලාය මා අදටත් හිතන්නේ. එයාලා ‘විශාරද’ලා වෙන්නට බැරිය!

දවස් 50කුත් සපිරුණු, ගෝඨා ගෝ ගමේ තරුණයන්ගේ ආදරයේ අරගලය නිසා අලුත් අදහස්; අලුත් වැඩ; අලුත් ක්‍රම ගොඩක් බිහි වෙලා!

මැංචෝසන් චාරිකා-5; පහුගිය කොටහෙදී කියවුණු තාලෙට ‘... අතේ වීරියෙන් කෙස් වල්ල අල්ලලා...’ උස්සල බැලුවමවත් පෙනෙයිද මන්දා ඒ ‘විකාරද’කාරයන්ගේ මොළේට වෙලා තියෙනදේ.

දවස් 50කුත් සම්පූර්ණ කළ ගෝඨා ගෝ ගමේ තරුණයන්ගේ ආදරයේ අරගලය නිසා අලුත් අදහස්; අලුත් වැඩ; අලුත් ක්‍රම ගොඩක් බිහි වෙලා.

දැන් දැන් නිතර කියවෙන දෙයක් තමයි පුද්ගලයා වශයෙනුත් ‘හැදෙන්න ඕනි!’ කියන දේ. ඒක පටන් ගන්න වෙන්නේ කෙනෙකුගේ සිඟිති අවදියේ ඉඳලම නේද? අම්ම- තාත්තා- ගුරුවරු... හැමෝම තමයි ළමයින්ට හැදියාව ඇති කරවන්න- හොඳ පුරවැසියන් කරන්න වෙර දැරිය යුත්තේ.
එතනදී අපේ අධ්‍යාපන ක්‍රමය කණපිට ගහන්න වෙයි කියලයි මං හිතන්නේ!

අපොයි, අපොයි. දන්නෙම නැතිව සෑහෙන දුරක් ඇවිත්නේ, පීලි පැනලා. (පහුගිය කොටස ආයේ කියවල එන්න ඕනියි හිතනවා නං එහෙම කරන්න ඉඩ දීලා...) යං යං- ‘මැංචෝසන් චාරිකා’ පොතට යං!    

හත්වෙනි පිම්ම
තුර්කියේ වහල් දිවියක්

මගෙ බඹරෙ හැමදාම වැල්ලෙ කරකැවුණේ නෑ! ගිරහය නරක් වෙච්ච කාලෙක මට යුද්ද හිරකාරයෙක් වෙන්න සිද්ද උණ. අහු උණේ තුර්කිකාරයන්ටයි. උන්ට අහු උණාම ආයිත් අහන්න දෙයක් නෑ. කවුරු උණත් කාරියක් නෑ, වාලට විකුණන එකයි සිරිත.

මෙහෙම වාල් ඉට්ටමට වැටිච්ච මට කරන්න උණේ ඒ තරම් බරපතල වැඩ නෙවෙයි. එකම තාලෙ කනහිරි වැඩ. උදේ පාන්දර නැඟිටල සුල්තාන්තුමාගෙ මී මැස්සන්ව දක්කගෙන යන්න ඕනෑ, කෑම තියෙන දිහාවකට. දවස තිස්සෙම උන් පස්සෙ මුර තියාන ඉඳල ගොම්මං වෙලාවට උන්ව කූඩුවලට ආපහු දක්කගෙන එන එකයි.

එක දවසක් ආපහු දක්කද්දී මට එක මී මැස්සියෙක් මඟ ඇරුණ.

වලස්සු දෙන්නෙක් මේකිට පැනල මරන්න හදනව, මී පැණි ටික උදුර ගන්න.

අරෙහෙ මෙහෙ සෝදිසි කරනකොට මෙන්න වලස්සු දෙන්නෙක් මේකිට පැනල මරන්න හදනව, මී පැණි ටික උදුර ගන්න. පාරක් ගහන්න ආයුදයක් මොකුත් ළඟ නෑ. රිදී කෙටේරිය විතරයි අතේ - ඒක තමා සුල්තාන්තුමාගෙ ගොවියොයි, උයන් පල්ලොයි අතේ තියෙන සලකුණ. නැතිකමට ඒක දමා ගැහුවා, මේ පල් හොරු දෙන්නව එලවල දාලා අහිංසක මී මැස්සිව බේරා ගන්න හිතාගෙන. අපලකාරයට ඒක කර ගන්නත් බැරි වුණා. කෙටේරිය ගියෙ ඉහළ- ඉහළටම ගොහිං හඳේ ඇමිණිච්චි.

මොන දෙයියොද මේක අරන් දෙන්නෙ? කෙටේරිය පහළට බාගන්නෙ මොන ගුරුකමෙන්ද?

කුප්‍රසිද්ධ ඥානක්කා වගේ ඇත්තියෝ මැංචෝසන් උන්නැහේගේ කාලෙ හිටියේ නැතිව වෙන්නැති. සුමනෙලා, ඉන්දිකල එහෙමත් ඉන්ඩ නැතුවැති. හිටියා නං හෙම, අපේ මැංචෝසන් උන්නැහෙටත් අමාරුවේ වැටිච්ච ගමං එයාලගෙන් ගුරුකමක් කරවාගෙන ෂපාන් එකේ ඉන්ඩ තිබ්බා.

දැන් එව්වා කොහෙද? ඥානක්කවයි, එයාගේ හෝටල්- ගෙවල්- දේවාල හෙමයි පරෙස්සම් කරලා දෙන්නවත් බැරි තරමට ඒ දෙයියෝ පල් වෙලා.... පව්!
අපේ සාමිතුමා විතරක් නං තාමත් නූලෙන් එල්ලීගෙන බලං ඉන්නවා, වික්‍රමසිංහ පිහිටෙන්.

මැංචෝසන් සාමි නං එහෙම බයානක අවස්තාවක් උදා වෙලා, අමාරුවේ වැටිච්චි වෙලාවට පොරෝජන් ගන්නෙ අතීත නුවණින්!

මට මතක් උණා තුර්කි බෝංචි ගැන, ඒව බලා ඉන්දැද්දී වැවෙනව. වැවෙන එකත් කරටියක් හොයන්න බැරි විදිහට අහස උසට වැවෙනව. හනික බෝංචි ඇටයක් හිටෙව්වා. හොඳට සාත්තු කළා. පුංචි පහේ ඇස් බැන්දුමක් වාගෙ ඒක පැළ උණා, ලියලුවා, උස ගියා.
ගිහින් හඳ පලුවේ කොක්කක රැඳුණ. දැන් මට තියෙන්නෙ බෝංචි වැල දිගේ හඳට නඟින එකයි. ඉහළට බඩ ගෑවා
, බඩ ගාලා රිදී කෙටේරියත් ආපහු අතට ගත්ත.

ඊගාවට බහින එකයි! ඒක තමා අමාරු...
මේ ඩිංගට බෝංචි වැල අව්වට කරවෙලා ගිහින්නෙ. දිරච්ච වැල දිගේ බහින්න හැදුවොත් කම්මුතුයි. මම පටන් ගත්ත දිරච්ච වැල වෙළු කවන්න. වෙළු කවලා
, ඇහැක් තරං දිග ලණුවක් ඇඹරුව, හොඳට හය්ය හිටින්න. කෙරෝලක් හඳේ ගැට ගහල, අනිත් කෙරෝලට එනකං පහළට ලිස්සුව.

මෙහෙම කප කපා, ගැට ගගහා බහිනකොට ලණුවත් ඇදුම් දෙන්න උණා.

මෙතන්දී වම් අතින් ලණුව හය්යෙන් අල්ල ගත්ත. කෙටේරිය දකුණු අතට අරං, දැන් වැඩකට නැති ලණුවේ ඉහළ කෑල්ල අග්ගිහෙන් කැපුව. ඒ කෙරෝල තවත් සෑහෙන දුරක් පහළට ආව. මෙහෙම කප කපා, ගැට ගගහා බහිනකොට ලණුවත් ඇදුම් දෙන්න උණා. බිමටත් තවම කිට්ටු කරල නෑ.

පොළොවට හැතැප්ම හතරක් පහක් තියා ලණුව කැඩුණ. බයානක වැටිල්ලක්!

1963දී ඩී.බී. කුරුප්පු මහත්තයා මැංචෝසන් චාරිකා’ අනුවාදය කරද්දී පාවිච්චි කළේ ගැදි වහර නෙවෙයි, කට වහරයි. ඒ හින්දයි, සර්වකාලීන සිදුවීම් හින්දයි තමා විඩෙන්-විඩේ, මට පීලි පනින්න හිතෙන්නේ. සමහර වචනයක් දෙකක් දැක්ක ගමන්ම ‘නේත්තරා දෙක මැද්දෙන්’ ඊයේ පෙරේදා දේවල් ආයෙම පේන්ඩ ගන්නවා.

‘බයානක වැටිල්ලක්’ වචන දෙක දැක්කම ඔයාලට මොනවද හිතෙන්නේ?
මට නං හිතෙන්නේ මේ රත්තරං මව්බිම වැටෙන වැටිල්ලේ තරමයි.

මළ කුණ වාගෙ බිමට පාත් උණා. මහ වළක් ඇතුළටයි මම වැටිල තියෙන්නෙ. බඹ නමයකට අඩු නෑ ජඹුර. බැලින්නං ඒ තරම් උහක ඉඳන් වැටිච්චි වැටිල්ලට හෑරිච්ච වළ. නැඟිටින්න නං වාරු තියෙනව. ඒත් මේ ඌර ළිඳෙන් ගොඩ ඒමක් නෑ. එකම එකයි කරන්න තියෙන්නෙ. මම ඒක කළා. ගෙදර ගිහින් ඉස්කෝප්පයක් අරගෙන ආවා. ඇවිල්ල වළ පැත්තෙන් කප කපා ගොඩ කරලා ගොඩට ආවා.

මේ වෙච්ච මට්ටුවෙන් පස්සේ මගෙ මී මැස්සන්ට කිට්ටු කරන්න එන වලසුන්ට අටවන්න කදිම උගුලක් හැදුව.

කරත්තෙක ඒරියා කඳක් හොයාගෙන, ඒක පුරාම මී පැණි තැවරුව ලිස්සන ගහක් තරමටම. ඒක එහෙම තියල මම හැංගිලා බලා උන්න, මොකද වෙන්නෙ කියල.
මී පැණි ඉව වැටිලා ඔන්න ආවා පත වලහෙක්. ඒරිය කඳේ අගිස්ස ලොවන්න පටන් ගත්ත
, උගෙ කෑජරකම හින්ද ඒක ගිලුණ, උගුරට ගිහිල්ල නැවතුණෙත් නෑ. බඩටම ලිස්සුවා. මමත් දුවල ගිහිල්ල ඒරිය කඳේ කෙරෝලේ තිබිච්ච හිලට තියල කූඤ්ඤයක් ගැහුව. වලහගෙ කැහැඹිලාකමට හොඳ පාඩම.
හෙල්ලුම් නෑ! පහුවදා උදේ වෙනකං ඌට එතැන ඉන්න ඇරිය. මගෙ හිතේ ඔතැනින් ගිය සුල්තාන්තුමා මේ උගුල දැකල ඉල කැඩෙනකං හිනැහෙන්න ඇති.

මම බැහැල ගත්ත කරත්තෙයි- රෝදයි ඔක්කොම එක්ක ඔළුවට. ඒ කාලෙ මට තරමක ගායකුත්...

ඔයින් මෙයින් යුද්දේ සමාදාන උණහම මටත් නිදහස ලැබුණ.
රුසියාවේ රජ පවුලයි, ලොකු ලොක්කොයි රොත්ත පිටින් සයිබීරියාවට පිටුවහල් කරපු විප්ලව කාලේදී මම සවාරියකට පිටත් උණා, සැන්ට් පීටර්ස්බර්ග් නගරයෙන්. මුළු ඒරොප්පෙම සීතල උහුලන්න බැරි තරම් තදයි. එදා ඉඳන් අද වෙනකංම තියෙනව අර ඉරේ මීදුම් බැඳිච්ච ගතිය. ආපහු මෙහාට එනකොට යද්දිට වඩා පාරතොටේ බොහොම ජරමර.

මම ආවේ අස්ස කරත්තෙන්. පාර බොහොම පටු බව දැකල කල් තියාම කරත්තකාරයට කිව්ව අඬ තියල නළාව පිඹින්න කියල, අනිත් පැත්තෙන් මොකුත් ඇවිත් හිර වෙනවට. මිනිහත් පිම්බ දන්න තාලෙන්. පිම්බට මොකද, කොහොම වෙච්ච දෙයක්ද මන්දා, නළාව සද්ද නොවී ගියා.

හරිම අවාසනාව!
එතකොටම අනිත් පැත්තෙන් තවත් අස්ස කරත්තයක් ආපි. ජරමර අස්සෙ බර කරත්ත. දෙගොල්ලටම යාමක් නෑ.

මම බැහැල ගත්ත කරත්තෙයි- රෝදයි ඔක්කොම එක්ක ඔළුවට. ඒ කාලෙ මට තරමක ගායකුත් තිබුණ. ඔළුවට අරං, පාර අයිනෙ තිබිච්ච වැටියට උඩින් පැන්න වෙල් කිස්සියට. පැනිල්ල ටිකක් අමාරුයි, මොකද වැටිය අඩි නමයක් විතර ඇති.
ආපහු හැරිල ආයිත් පාරට පැන්න
, අනිත් කරත්තේ පහු කරල. ඊළඟට අස්සයෝ දෙන්නවත් ඒ විදිහටම ගෙනාව- එකෙක් තියා ගත්ත ඉහ උඩ. අනිකා කිහිල්ලෙ ගන්න ගත්ත. දෙන්නව කරත්තෙ බැඳගෙන තානායමකට ඇදුණ.

මට කියන්න බැරි උණා. මම කිහිලි ගන්නගෙන පැනපු අස්සයා අවුරුදු හතරකට වැඩි නෑ- මහ දඟකාර සතා. දෙවෙනි පාර වැටියෙන් පනිනකොට මූට බොහොම කේන්ති ගියා ගැස්සිල්ලට. පිඹ පිඹ පයින් ගහන්න ගත්ත. මම හිමින්ම උගේ ගාත් හතර කෝට් සාක්කුවෙ ඔබා ගත්ත.

සාක්කුවට වැටෙන්න කලින් හතර අතේ නෙළපු කට්ටිය, අස්සට වැටිච්චි ගමන් නළාවේ තාලේ මාරු කරනවා!

මේ ඔබා ගැනිල්ලේ කතන්දරෙත් හරියට අගමැති රනිල් වික්‍රමසිංහ මහත්තයා දියවන්නාවේ එක-එක්කෙනාව ළඟට අරං සාක්කුවේ ඔබා ගන්නවා වගෙයි! සාක්කුවට වැටෙන්න කලින් හතර අතේ නෙළපු කට්ටිය, අස්සට වැටිච්චි ගමන් නළාවේ තාලේ මාරු කරනවා...

තානායමට ගොහිල්ල, කරත්තකාරයයි මායි කාල බීල ඇඟේ පතේ මාන්සි ඇර ගත්තා. කුස්සියේ ළිප ගාවම මිනිහ එල්ලුවා මිනිහගේ නළාව. මම අනිත් පැත්තෙ ඉඳගෙන හිටියේ. හිටි අඩියෙ අපට සද්දයක් ඇහිච්චි. ට්‍රාං ට්‍රාංග් ටං ටංග්!
වටපිට බැලුවහම අපට තේරුණ කරත්තකාරයට මඟදී නළාව පිඹ ගන්න බැරි උණේ මොකද කියල. පිඹපු තාල ඔක්කොම නළාව ඇතුළෙ මිදිල. දැන් දිය වෙවී
, ඔය පිට වෙන්නෙ එක එක.

මිනිහ මෙතෙන්දි අපට අපූරු සංගීතයක් අහන්න සැලැස්සුව, නළාව කට අහළකටවත් නොගෙන. හොඳම තාල ටිකක් අහන්න ලැබුණෙ. අන්තිමේදී මේ දිය වෙන විනෝදෙ ඉවර උණ. ඒ වාගෙ මගෙ රුසියා ගමනත් හමාර කරන්නයි යන්නෙ.

  ඇට නැති ගෝනා
  කට මැද පීනා
කිව්වහේ එකට හත ඈඳල කියන ගමන්කාරයොත් ඉන්නවා. ඒ පළියටම මේ අහගෙන ඉන්න කවුරු හරි මගෙ කතන්දරේ අබ මල් රේණුවකින්වත් අවිස්වාස කරනව නං මට බොහොම දුකයි
, උන්නැහේල ගැන. ඒත් මම බැගෑපත්ව ඉල්ල හිටිනව, මගෙ ගමන් විස්තරේ ඉතුරු හරිය කියන්න ඉස්සෙල්ල- කරුණාකරල නෑහෙන සෙව්වකට යන්න කියල. මොකද ඒ ටිකත් මේ වගෙම පෙරාපු ඇත්ත!

අටවෙනි පිම්ම
කැස්පියන් මුහුදේ......

තුර්කිකාරයන් යටතෙ හිටිද්දී හැමදාම වගේ සෙල්ලම් බෝට්ටුවක නැඟල, මර්මරා මුහුදෙ විනෝද වෙන්න මම පුරුදු වෙලා හිටිය. මේ හරියට මුළු කොන්ස්තන්තිනෝපල් නගරෙම පේනවා. මහ සිටාණන්ගේ අන්තඃපුරෙත් යස මහිමෙට බලා ගත්තෑකි.

මේ හරියට මුළු කොන්ස්තන්තිනෝපල් නගරෙම පේනවා. මහ සිටාණන්ගේ....

එක උදැහැනක මම මූදට වෙලා ආකාසෙ ලස්සන බල බලා ඉන්නකොට දැක්ක මොකක්ද පොඩි බෝලයක් ඉහළ පාවෙනව. බිලියඩ් බෝලයක් විතර ඇති. මොකක්ද කෑල්ලක් පහළටත් එල්ලෙනව. මා ගාව තිබුණ කොහේ යතත් වරදින්නෙ නැති, මගෙ කුරුල්ලො වෙඩි තියන තුවක්කුව. ගත්ත හනික මේක ඇදල. මූනිස්සමකුත් දාල වෙඩිල්ලක් තියල බැලුව.

බෝලෙ පා වෙන්නෙ වෙඩි තියන්න පුළුවන් දුරක නෙවෙයි. බොහොම ඈත. ඒ සැරේ වෙඩි බේත් ඒ වගේ දෙගොඩකුයි, මූනිස්සම් හත අටකුයි දාල ගස්සල බැලුව.

හරි!
බෝලෙ පැත්තක් ඉරාගෙන ගිහිල්ල මූදට පාත් උණා.

හරි පුදුමයක්නෙ!
මං ඉන්න තෙනට යාර දෙක තුනකට එහායින් මෙන්න මූදට වැටෙනව බලන්න ලස්සන රත්තරං පාට කාරෙකක්. ඇතුළෙ මිනිහෙක් ඉන්නව. බැදපු බැටළු පළුවක්ද කොහෙදත් තියෙනව. මගෙ පපුවේ තිගැස්ම ටිකක් අඩු උණහම ගෝලයට කිව්ව ඒ බෝට්ටුව කිට්ටුවටම ගන්න කියල.

මිනිහව මගෙ බෝට්ටුවට නග්ග ගත්ත. එයා ප්‍රන්සකාරයෙක්. හදිසියෙ මූදට කඩා වැටිල්ලෙන් මිනිහට බොහොම අමාරු වෙලා හිටියෙ. කතා කර ගන්නත් බැරි වෙලා. ටිකක් වෙලා ඉන්නකොට සනීපයි. කටටත් පණ ඇවිල්ල, ඔන්න මිනිහගෙ කතන්දරේ කිව්ව.

දවස් හතකට අටකට ඉස්සෙල්ල වෙන්න ඕනෑ - මට හරියට කියන්න දවස් ගණන් මතක නෑ. වැඩි දවසක්  හිටියේ ඉර නොබහින හරියෙයි. එංගලන්තේ කොන්වෝල් පලාතේ ගොඩබිම කෙරෝලෙන් ඉහළට නැග්ගෙ, දැන් මේ ආපු කාරෙක ලොකු බැලුමක එල්ලගෙන. බැටළුවෙකුත් දාගෙන, ආකාසෙ ඉහළ වාතෙ ගැන පරීක්සන කරන්නයි මම පිටත් වුණේ.
එක්සෙටර් පලාතෙ බහින්නයි කල්පනාව තිබුණේ.

-මොන පිස්සුද- බැලුම මූද පැත්තට හැරිච්චි. අද වෙනකංම මූද උඩින්මයි පාවුණේ. කොහොමදත් කියන්න බෑ, මොකුත් බලා ගන්න බැරි තරම් ඉහළ හින්ද.

-උණුහුම ගැන, හුස්ම ගැනිල්ල ගැන පරීක්සන කරන්නෙ කොහෙද, ඒ ඔක්කොටම ඉස්සෙල්ල බඩේ ගින්දර නිවා ගන්න එපායැ. යකෙක් කන්න බඩගින්නක් ඒ හරියේදි හැදුණේ.
තුන්වෙනි දවසේ බැරිම තැන බැටළුවව මැරුව. ඒ වෙලාවේ අපි හිටියේ හඳටත් හුඟක් ඉහළ. පැය දාසයකටත් වැඩිය වෙලාවක් ඉරට බොහොම කිට්ටු කරලා ගියෙ. මගෙ ඇහි බැමත් දාල ගියා.
බැටළුව හම ගහල තිබ්බ
, කාරෙකේ ඉරට මූණ පාල තියෙන පැත්තෙන්. බැදෙන්න පැය දෙකක් ගියෙත් නෑ. පදමට බැදිලා පුස්ඹ ගහන්න ගත්ත. එදා ඉඳන් මගෙ ගෝස්තරේ බැටළු මස් තමා.”

මේ තරං කල් මට අහසින් යන්න වුණේ පොඩි නූලක පරහක් හින්දයි!

මෙතෙන්දි මිනිහ කතාව නවත්තල වටපිට තියෙන දේවල් දිහා පුදුම වෙලා බලන්න උණා. අපි ඉස්සරහම තියෙන්නෙ කොන්ස්තන්තිනෝපල් නුවර මහ සිටාණන්ගේ අන්තඃපුරෙයි කිව්වහම මිනිහගෙ පාටත් අමුතු වුණා.

එයා හිතල නෑ මේ මංකඩේ වැටිලා බේරෙන්න ලැබෙයි කියල. ඔන්න එයාම කියන හැටි.

මේ තරං කල් මට අහසින් යන්න වුණේ පොඩි නූලක පරහක් හින්දයි.
බැලුමෙ රත් වෙන හුළං පිට වෙන්න තියාපු ඉපියාවට හයි කොරපු නූල පරස් වෙලා ගියා. ඔහේගේ වෙඩිල්ල නොවදින්න ආයි බැහිල්ලක් නෑ. ලෝකෙ විනාසේ එනකං මටත් ඉන්න තිවුණ
, දිවිය ලෝකෙයි මනුස්ස ලෝකෙයි අතර ඔංචිලි පැද පැද!”

රටේ ජනතාවගේ සල්ලිවලින්, දිවිය ලෝකෙයි, මනුස්ස ලෝකෙයි අතර උන්චිලි පැද-පැද හිටි උදවිය නං අපේ රටෙත් හිඟ නෑ. මට එහෙම හිතුණේ මේ මාසයේ මුල දවසක පළ වෙච්චි වාර්තාවක් දැක්කම.

‘හිටපු අගමැති මහින්ද රාජපක්ෂ යටතේ අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහා මේ වසරේ ජනවාරි මාසයේදී රුපියල් මිලියන 96කුත්, පෙබරවාරි මාසයේදී රුපියල් මිලියන 96කුත්, මාර්තු මාසයේදී රුපියල් මිලියන 126කුත් වශයෙන් වියදම් කර ඇත.' සල්ලි සල්ලි කියලා බැලිල්ලක් නෑ; ලෝස්-බෝස් නෑ. මැංචෝසන් සාමිට හම්බ වුණු ප්‍රංශකාරයාත් කැලේ නේද, මේ අප්පුහාමිල්ලා එක්ක බලද්දී.

කිසි ලෝබකමක් නැතුව මිනිහ කාර් එක තෑගි කෙරුව මගෙ බෝට්ටුව පැදපු මිනිහට. බැටළු පළුව මූදට විසි කරල දැම්මා. බැලුම නං වෙඩි පාරෙන් බොහොම අබලන් වෙලා තිබුණේ. මූදට වැටුණහම ඒකෙ ගන්න ආලයක් නෑ- රැල් වෙලා ගියා.

මහ සිටාණන්ව මම අඳුන ගත්තෙ රුසියාවෙයි ප්‍රන්සෙයි රාජකීය තානාපතියන්ගේ මාර්ගෙන්. උන්නාන්සෙගෙ ඉල්ලීම පිට මම ගියා කයිරෝ නුවරට සාකච්ඡාවක් පවත්වන්න. බොහොම වැදගත් වැඩක්. කවදාවත් එළි කරන්න හොඳ නැති රහසක්.

මම ගියා ගොඩබිම හරහා මහේසාක්ය ලීලාවෙන්. එහෙ රාජකාරි ඉවර කරල, මගෙ වැඩ පණිවිඩකාරයො ඔක්කොම පිටත් කළා. අවසේස මිනිහෙක් විදියට තනි පංගලමේ එන්න ආව.

මහේසාක්ය ලීලාවෙන්.....

දේසගුණේ හරිම හොඳයි, නයිල් ගඟ නේද.... බලන්න බැරි තරං ලස්සනයි, දාල එන්න බෑ!

බෝට්ටුවක් කුලියට අරන් ඇලෙක්සැන්ඩ්රියාවට එනකං ගඟ පහළට එන්න හිතුණ. බෝට්ටුවට නැඟල තුන්වෙනි දවසෙ හිටි හැටියේම ගඟ ගලන්න පටන් ගත්ත.
සිය අවුරුද්දකට වතාවක් නයිල් ගඟ ගලන හැටි අහල ඇතිනෙ.
දෙගොඩ තළා ගොහිල්ලා
, ඊළඟ දවස වෙනකොට හැතැප්ම ගාණක් දුරට ගඟ දෑලේ මුළු රටම යට වෙලා. පස්වෙනි දවසේ පාන්දර හරස්කඩ අදින වෙලාවේ බෝට්ටුව පඳුරු ගොඩක පැටලෙන්න වාගෙ දැනුණ. හොඳට එළිය වැටුණහම පෙනුනෙ, බෝට්ටුව වටේටම තියෙන්නෙ කොට්ටම්බා ගස් ජාතියක්. ඒවගේ ගෙඩිත් පදමට ඉදිලා. පැණි බේරෙනවා.

නූලක ගලක් ගැට ගහල දියට දාල බැලුව අපි ඉන්නේ කොයි තත්ත්වේද කියල. පොළොවෙන් අඩි හැටකටත් වැඩිය ඉහළ. කොට්ටම්බා ගාල නිසා ඉස්සරහට පැදිල්ලකුත් නෑ- ආපහු යාමකුත් නෑ.

හරියටම කියනවා නං දැන් ශ්‍රී ලංකාව වගේ! ඉස්සරහට පැදිල්ලකුත් නෑ- ආපහු යාමකුත්... අනේ මංදා! බලමුකෝ තව ඉස්සරහට....