අකුරු මැකී නෑ

Tuesday, July 12, 2022

මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස

ජුලි 9 අරගලකාරයන් ජනාපෙති මන්දිරේට කඩා වැදුණේ නැතිනං, ඒ සල්ලි...

ආපහු ආ හැටියේම, කපිතන්ගේ නමින් වලස් ගාත් තොගයක් යැව්ව නාවුකාංසෙ සාමිවරුන්ට. තව ටිකක් තෙලිජේරියේ ලොක්කන්ට. ලංඩන් නුවර නගරාදිපති සාමිට වෙනම ගොඩක්.

ඔය විදිහට වෙළෙඳ සමාගම්වලටයි, තව ලොකු ලොකු උදවියටයි දීලා, ඉතුරු කොටහ මගෙ යාළුවන්ට තෑගි කරල යැව්ව.

එහෙම කළාම තමයි ලොකු-ලොකු උදවියත් එක්කලා යාළු-හිත මිත්තරකං වැඩි දියුණු වෙන්නේ: එතකොට කවදාවත් වරදින්නේ නෑ කියලයි ගොඩ දෙනා හිතන්නේ.
කාට කාට හරි තෑගි කරන්නද දන්නෙත් නෑ, අපේ හිටපු ජනාපෙතිතුමාගේ මන්දිරේ අස්සේ
පන්දාහේ නෝට්ටු බන්ඩල් පිටින් තියාගෙන ඉඳල තියෙන්නේ. පොඩ්ඩකුත් නෙවෙයිනේ, එක් කෝටි හැත්තෑඅට ලක්ෂයක් කිව්වම. සමරවිට කෙළවරක් නැතිව අච්චු ගස්සෝපු නෝට්ටුවලින් කොටහක් එහාට ගෙනාවද දන්නෙත් නැහැනේ!

ජුලි 9 අරගලකාරයන් ජනාපෙති මන්දිරේට කඩා වැදුණේ නැතිනං, ඒ සල්ලි cargo flight එහෙක නැඟිලා කොහාට හරි ඉගිල්ලෙන්නත් ඉඩ තියෙන්නැති....

එතකොටයි මතක් වුණේ, ලියා තියන්න ඕනි වැදගත්ම කාරණේ කියව්වෙ නැහැ නේද කියලා. පහුගිය post එක; ‘සතුටේ සතුට සොයන ගමන්...’ පෝස්ටුවෙදී මං කිව්වනේ ‘...ඒත් මට කළ හැකි උපරිමය කරන්නෙමි. (ජුලි 9 උදේ අවට නිවැසි පිරිසක් සමඟ වීදි බැස අපේ විරෝධතාව පෑමටයි, මා සැරසී සිටින්නේ!) මේ දුර්දාන්ත පාලනය හමාර වී, අරගලයට ජයග්‍රහණය අත්වීම මගේ ඒකායන ප්‍රාර්ථනයයි!’ කියලා.

8 හවස අපි ටික එහෙම කරන්න ලැහැස්ති වෙන අතරවාරයේ, WAL ප්‍රියන්ත පණිවිඩයක් එවලා. එයාලා ලොකු කට්ටියක්, වාහන කීපයක කොළඹට යන නිසා උදේ අටට එහාට එන්නයි කියලා.
අනේ!
අපි කට්ටිය අඩු බවත් ඇත්ත. කොළඹටම යන්න කැමති බවත් ඇත්ත.

සතර දෙසින් අපි එනවා - මුළු කොළඹම වට ලනවා - ගෝඨ රනිල් එළවනවා - සටන් රැල්ල අරඹනවා

ඒත් ටික දෙනෙකුට වුණත් පොරොන්දුවක් දුන්නට පස්සේ; පුංචියට හරි යමක් කරන්න සූදානං වුණාට පස්සේ ඒක අතහැරලා දාන පුරුද්දක් මේ නිදිට නෑනෙ. (මතකයිනෙ, කොලු කාලෙදීත් මං ඔහොම වචනයක් දීල ගෙදරින් පැනල ගියා!)

ප්‍රියන්තට call එකක් දීලා ස්තුති කරලා, අපේ අදහස ගැනත් එයාලට කිව්වා. “එහෙනං ඉතිං මොනව කරන්නද නිමල්... අපේ පුතාලා, නෙවිල්, හරිශ්, අජන්ත, සාන්ත අපි සේරම යනවා...”
(ඒ කට්ටිය එක්කල මං නොගිය එකත් හොඳයිලු කියලා නෙවිල් පස්සේ කිව්වේය. “අපේ කට්ටිය වුණත් මඟ ඇරෙන්නේ නැතිව හිටියේ හරි අමාරුවෙන්. ඒ තරමට සෙනඟ.” එහෙම කිව්වත් ඒ මහජන ගංගාව අස්සේ තෙරපි-තෙරපී එයාලා ජනාධිපති මන්දිරෙටත් ගිහින්ය!)

ඉතිං, ඒ හරි-බරි ගැහුණු විදිහටම 9 වෙනිදා උදේ අපේ ලේන් එකේ දහයක් දොළහක් එකතු වෙලා- කට්ටියම පමුණුව පාර අද්දරට ගියා; සාස්පාන්, වළන්, පියන්වලට ගගහා සද්ද කරමින්. පාරේ යන කට්ටියෙන් උණුහුම් ප්‍රතිචාර.
‘ඔතන ඉඳල මදි... හන්දියටම යං!’ ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් එක්ක ආරාධනයකුත්!
“මහරගම හන්දියටම යමුද?” ඒ විඩේ අපේ නඩේ දෙතුන් දෙනෙකු මගෙන් අහපි.

‘ඔයාලා කැමති නං යමු’ මාත් කිව්වා.
හන්දියට යනකල්ම අපේ ‘ඩං ඩං ඩං ඩකට ඩිගං’ සද්දෙට හැරිලා නොබලපු කෙනෙක් නැති තරං.
අපේ ගමනාන්තය වුණේ හයිලෙවල් පාරේ, දෙහිවල පාරට හැරෙන තැන තියෙන බෝ ගහ යට. ඒ වෙද්දීත් එතැන දහස් ගාණක් රැස් වෙලා; කොළඹට යන වාහනයක් අල්ල ගන්න පොරේ.

ඒ අතරේ සමහරු සටන් පාඨත් කියනවා. අපිත් අත්වැල් ඇල්ලුවා...

‘සතර දෙසින් අපි එනවා - මුළු කොළඹම වට ලනවා
ගෝඨ රනිල් එළවනවා - සටන් රැල්ල අරඹනවා

සටන් කරල මැරෙනු මිසක් - බඩගින්නේ මිය යන්නෑ
තොපිව ගෙදර යවල මිසක් - සටන් රැල්ල නවතින්නෑ’

මට ගණන් බැලුනේ හතර දෙසින්ම කොළඹට කී දාහක් ඇදෙනවා ඇත්ද කියලයි!

කට කපලා සෙනඟ පුරවගෙන එන වාහනත්, එතන නවත්තනවා. තව දෙතුන් දෙනෙක්ව හරි වාහනේට පටව ගන්නවා. එයාලත් එන්නේ කෑ ගගහා.

‘ගෝ ගෝඨා ගෝ home!

ජනතාවට බය ගෝඨා - කිසිම දෙයක් බැරි ගෝඨා
දැන් හොඳටම ඇති ගෝඨා - රනිල් එක්ක පල ගෝඨා’

ඒ අස්සේ කොට්ටාවේ ඉඳල එන දැවැන්ත පෙළපාලියක්! දහස් ගණනක්.... පයින්ම කොළඹට වඩිනවා... එයාලාවත්, පාර දිගේ ඇදුණු සෙනඟින් පිරිච්ච වාහන කන්දරාවත් පෙනෙද්දී...
මට ගණන් බැලුනේ හතර දෙසින්ම කොළඹට කී දාහක් ඇදෙනවා ඇත්ද කියලයි! ‘අද නම් වැඩේ කෙරනවාම තමයි!’ අපි කතා වුණා.
“මටත් නං ගෝල්ෆේස් යන්නමයි හිත!”
“මේ පොඩි දරුවෝත් අරං...?” අපේ කට්ටිය සැරෙන්-සැරේ කතා වෙනවා. හැබැයි, තීරණයක් නෑ.

මට, ඇවිදින එක වෙනම දෙයක්! දෙපැයක්ම එක තැන හිටගෙන; සාස්පාන් පියනකට තට්ටු කරමින් කෑ ගහමින් ඉඳිල්ල තව දෙයක්. එහෙම කරලා දැන් මට හොඳටම මහන්සියි. කකුල් දෙක මැන්ඩලින් ගහනවත් එක්ක. 
ඒ අස්සේ අපේ නඩේ පුංචිම සාමාජිකාව කඳුළු පුරෝගෙන.... එයා ඇවිත් තියෙන්නේ උදේට කන්නෙත් නැතිව. එයාගේ ලොකු අයියා නංගිව ගෙදර එක්ක යන්නයි සූදානම.
වෙවුලන කකුල් දෙකෙන් මාත් එයාලත් එක්ක ගෙදරට මංගැච්චුවා.

ඒ අස්සේ අපේ නඩේ පුංචිම සාමාජිකාව කඳුළු පුරෝගෙන.... එයා ඇවිත් තියෙන්නේ උදේට කන්නෙත් නැතිව.  

එතකොට දවල් 11.15 යි. එතැන හිට දවසම මං හිටියේ හිතෙන් කොළඹ- ඇඟෙන් පුටුව උඩ... news පීරමින්. අරගලයේ දෙවෙනි පියවරට පණ දිදී, කොළඹට ඇදෙන; ඇදුණු හැමෝටම පිං දෙමින්....

කාගෙනුත් මදිය නොකියන්න පිං ලැබුණ.

ලන්ඩන් නුවරින් ලැබුණ සැලකිල්ල කෝකටත් ඉහළයි. අවුරුද්දකට වතාවක් නගරාදිපති සාමිත් එක්ක රෑ කෑමකට යන්න ආරාදනාවක් එහෙන්.

කපිතන් පිප්ස් ඒ ගමනේදී යන්න ඇහැක් තරං දුර ගියෙ නෑ කියල සමහරු උන්නැහේට චෝදනා කරනව. උන්නැහේගෙ අතේ කිසි වැරද්දක් නෑ. මම කියන්නං වෙච්චි දේ.

අපේ නැව යස මහිමෙට ගමන් කළා, මගේ වලස් දඩයමෙන් ලැබිච්ච වලස් ගාතුයි, හම් තොගයයි පටව ගන්න ඉස්සෙල්ල. ඒවත් පටව ගෙන, ඇඟිල්ලක් ගහන්න ඉඩ නැතුව තියෙද්දී තවත් යන්න ගියා නං තමා වැඩේ.

තද හුළඟකටවත් ඔරොත්තු දෙන්නෙ නැතුව ගිය නැව, මහ අයිස් පරුවතවල හප්පලා බලන්න ගෙනියන තරමේ මෝඩයො ඒ නැවේ හිටියෙ නෑ!

එදා අපේ වලස් සංහාරෙට සහබාගි වෙලා නම ගාගන්න බැරි වෙච්චි එක කපිතන්ට ලොකු මදිකමක්. පස්සේ, ඒ විත්තිය කීප විඩයක්ම මා එක්ක කිව්ව. කිසිම තුවාලයක් කර නොගෙන- කජු කන්න වාගෙ දාස් ගණන් වලස්සු මැරුවේ මොන සූත්තරෙකින්ද කියලත් කපිතන් දැන ගන්න ආසයි. උජාරුවට කියනවා නෙවෙයි, මිනිහට ඕනෑ මේකේ නම්බුව දෙන්න එක්ක සමෝසමේ බෙදා ගන්නයි.

ඔයින් මෙයින් මා එක්ක තරහත් වෙලා දැන් අපේ ඇයි හොඳයියක් නෑ.

වලස් හමක් ඇතුළට රිංග ගෙන උන්ව රවට්ටන්න කාට බැරිද කියල මිනිහ අහනවා. එයා තරං වලහැඩියෙක් මුළු ඒරොප්පේම මිනිස්සු අතරෙන් හොයා ගන්න බැරි බව නං මිනිහට හොඳටම විස්වාසයි.

ඔයින් මෙයින් මා එක්ක තරහත් වෙලා දැන් අපේ ඇයි හොඳයියක් නෑ.

දැන් උන්නැහැ ලොකු සාමිවරයෙක්. එහෙම නම්බුකාර කෙනෙක් එක්ක, මේ වගේ සුළු දේකට වාද කරන්න තරං ඇට්ටර මිනිහෙක් නෙවෙයි, මම!

දහතුන්වෙනි පිම්ම
හිටි හැටියේ ආයිත් හඳට

රිදී කෙටේරියක් ගේන්න හඳට ගිය ගමන ගැන කලින් කියල ඇති. දෙවෙනි පාරටත් මම එහෙ ගියා, කලින්ට වඩා ඇඟට ගුණ විදිහකින්. යමක් කමක් බලා ගන්න තරං කලක් නැවතිලත් හිටිය. මගෙ මතකේ හැටියට, කෙස් ගහක පරහක් නැතුව විස්තරේ කියා දෙන්නම්.

ටිකක් ඈතින් මට නෑයෝ වෙන මනුස්සයෙක් හිටිය. හිටිය ගමන් මහ තකතිරු අදහස් මතු කරනව. මිහිහට ඒව අලුත් නියායවල්. ගලිවර් කියල මොකෙක්ද මිනිහෙක්, කොහෙදීද දැකපු විදිහේ ‘උහට-උහ මිනිස්සු ජාතියක් ලෝකේ කොහේ හරි ඉන්නවැයි’ කියන එකයි මේ අලුත් නියාය. මිනිහ ඔය මිනිස්සු හොයාගෙන යන්නයි සූදානම.

මටත් කතා කෙරුව එයාගෙ තනි නොතනියට වගේ.

මට නං ඔය ගලිවර්ගෙ කතන්දරේ අසද්ද බොරුවක්. රාහු කියන මිනිහ ගැන තරම්වත් ගලිවර්ගේ දීගජන්තුල ගැන මගෙ විස්වාසයක් නෑ.

ඒත් නෑදෑයගෙ වචනේ?
උණු හින්ද බොන්නත් බෑ
, කැඳ හින්ද අහක දාන්නත් බෑ. එයාගෙ හරුබස්ස එහෙම්පිටින්ම ලියල තියෙන්නේ මගෙ නමටයි.

දකුණු මූදට යනකං යහතින් යාත්තරා කළා. දැකපු දේකුත් නෑ ඒ තරං. පිහාඹින ගෑනු පිරිමි කුට්ටම් දෙක තුනක් නං අතරමඟදී දුටුවා. ආකාසෙට වෙලා ගෙඹි පිනුම් පැන පැන එක ලතාවකට නට නටයි ඔයගොල්ල හිටියේ.

ඈතට ඒ ගොඩබිම පෙනුණේ, වටකුරුවට බැබළි බැබළී- කාන්ති කඩා හැලෙන දූපතක් වගෙයි!

ඔටැහීම් නුවර පහු කරල දහඅට දොහකට පස්සේ, අපේ නැව හුළි හුළඟක පැටලුණ. හුළඟත් නැව කතුරු ඔංචිල්ලාව වගේ කරකව-කවා හැතැප්ම දාහක් විතර මූදෙන් උඩට ගෙනිහිල්ල, එහේම රඳවලා තිබ්බ ටික දවසක්. අන්තිමේ අපේ රුවල්වලට හොඳ හුළං පාරක් බදල, නැව අරගෙන ගියා සෑහෙන වේගෙකින්. වලාකුළුවලට උඩින් සුමාන හයක් විතර යාත්තරා කළායින් පස්සෙ ගොඩබිමක් අහු උණා.

ඈතට ඒ ගොඩබිම පෙනුණේ, වටකුරුවට බැබළි බැබළී- කාන්ති කඩා හැලෙන දූපතක් වගෙයි. හොඳ වරායක් අල්ලල ගොඩ බැහැපුකොට ඒකත් මනුස්ස වාසයක්. සිදාදි, ගහකොළ, කඳු හෙල්, ගංගා, විල්, පොකුණු කොයිවත් තියෙන්නෙ. දැන් ඉතිං අපට ගමට ආව වගෙ තමා.

අපි ගොඩ බැස්ස දූපත හඳ බව අමුතුවෙන් කියන්න ඕනැය?

එහෙදී අපි දැක්ක සිංහ කුරුල්ලෝ (සිංහ ඔළුව තියෙන පක්ෂි ජාතියක්) පිටේ යන යෝද මිනිස්සු ජාතියක්. ඔන්න ඔය කුරුල්ලොන්ගේ තරම සෙව්වට හිත ගන්න- එක පිහාට්ටක කෙරෝලේ ඉඳල අනික් පිහාට්ටෙ කෙරෝලට අපි ගාව තියෙන හැරමිටියකින් හය පාරක් මැන්නහැකි. ගමන් බිමන්වලටයි, අනිත් වැඩවලටයි හඳේ මිනිස්සු අස්සයන් වෙනුවට ගන්නෙ මේ කුරුළු ජාතිය.

අපි ගොඩ බහින අවදියෙ, හඳේ රජ්ජුරුවො ඉරත් එක්ක යුද්දයක්!

රජ්ජුරුවෝ මට යුද්ද හමුදාවේ ඉහළ මුලාදෑනිකමක් බාර දෙන්න ලෑස්ති උණා. ලොකු ගවුරවයක් තමා. ඒ උණත් උන්නාන්සෙට නමස්කාර කරලා කිව්වා ඒක බාර ගන්න මම කැමති නැහැ කියලා.

එහෙ තියෙන කොයිවත් වැඩිමල් වල්ලෙ බඩු!

කමකට නැති හෝහපුටුවෙකුත් උපන් ගමන් ගොන් වස්සෙකුගෙන් බාගයක් විතර ඇති. මුරුංගා කරල තමා ඒ මිනිස්සු වැඩිකොටම පාවිච්චි කරන ආයුදේ. අපි හෙල්ල වීසි කරන්නා වගේ විසි කෙරුවම ගෑවිච්ච ගෑවිච්ච මිනිහා වඳයි. මුරුංගා අවාරෙට හාතවාරිය අල ගන්නවා. ගොයම් කොළ තරං ලේන හතු තමා ඒ ගොල්ලෝ පළිහට ගන්නෙ.

හඳට වෙළෙඳාමේ ඇවිල්ල හිටිය සීරියස් තරුවෙන් මිනිස්සු කණ්ඩායමක්. දඩ බල්ලන්ගෙ වාගෙයි ඒ මිනිස්සුන්ගෙ ඔළු!

ඇස් තියෙන්නේ නාහේ අග්ගිස්සෙ- හරියටම කියනවා නං නාස්පොල්ලෙ යටි අංසෙ. ඇහි බැම කියල දෙයක් නෑ. නින්දට ගියහම දිවෙන් ඇස් දෙක වහ ගන්න එකයි.

මේ ගොල්ලන්ගෙ කෙනෙක් අඩි විස්සක් විතර උහ ඇති. හඳේ මිනිහෙක් නං අඩි තිස් හයකින් මෙහා පැත්තෙ නෑ.

මේ මිනිස්සු තුන්සිය හැටපස් දාටම දොළොස් වේලයි කන්නෙ. කෑමේ පෙරළෙන්නේ නැති උදවිය මේ තාලෙට බොහොම කැමති වේවි.

හඳේ උදවියට පුදුම විදිහේ නමක් තියෙනව උයන පිහන සත්තුකියල. අපි කරන්න වාගෙ ගින්දරෙන් පිහල කන හින්ද, කවුද පිස්සෙක් තියාපු නමක් වෙන්න ඕනැ.

උන් අපි වාගෙ පැල් බැඳගෙන කන්නෙ නං නෑ. සරීරෙ වම් පැත්තෙන් දොරක් තියෙනව. ඒක ඇරල කෑම ගෙඩි පිටින්ම බඩට අහුරනව. ආයිත් මාසයක් ගියාමයි, තව සැරයක් දොර ඇරල කෑම තොගයක් පටවන්නෙ.

මේ විදිහට මේ මිනිස්සු තුන්සිය හැටපස් දාටම දොළොස් වේලයි කන්නෙ.
කෑමේ පෙරළෙන්නේ නැති උදවිය මේ තාලෙට බොහොම කැමති වේවි.

හඳේ මිනිස්සු වැඩෙන්නේ ගස්වලයි.
ගසුත් ඒවායෙ පළ ගන්න ජාතියෙ හැටියට වෙනස් වෙනව.

උයන පිහන සත්තුඇතිදැඩි කරන ගස්, අනිත්වට වැඩිය ලස්සනයි. ඒවයෙ අතු කෙළින් දිගට වැවෙනව. කොළ මස් පාටයි. මේ ගස්වල හැදෙන්නෙ තද කටුවක් තියෙන හතර රියන් ගෙඩි වර්ගයක්. ගෙඩි මේරුවහම එකතු කරලා ඕනි තරං කල් තියා ගන්න එකයි. මද ගන්න ඕනෑ දාට, ඒ කියන්නෙ කොයි තාලෙ හරි මිනිහෙකුට ඇබෑර්තුවක් තියෙනකොට- ලොකු වතුර කල්දේරමක් ළිපේ තියල, පැහෙනකොට ගෙඩිය ඒකට දාන එකයි. පැය හතරකින් පහකින් කටුව බිඳිලා, පණ ඇති සතෙක් පහළ වෙනව.

මනුස්ස ලෝකෙ කොහොම උණත්, හඳේ නං ලබා උපන් හැටියටම තමා බබා වැනෙන්නේ. ඔය සත්තු මෙලොව පහළ වෙන්න ඉස්සෙල්ලම ඉහේ කොටලා. සොල්දාදුවො එළිබහින ගෙඩි වෙනම. දර්සනවාදියෝ ලගින ගෙඩි වෙනම. පූජකවරුන්ට තවත් ජාතියක්. ගොයිරාළල තවත් ගෙඩි කොටහකින්. ඔහොම කලින් කියාගත්ත හැටියට, ඉපදිච්ච ගමන් ඒ ගොල්ලො තම තමන්ගෙ රාජකාරි පටන් ගන්නව.

මෙතෙක් කල් පොතෙන් විතරක් ලබා ගත්තු දැනුම කිරියාවට යොදල බලනව.

මේ මිනිස්සු නාකි උණහම මැරෙන්නෙ නෑ. ටිකෙන් ටික ඈලියාවට ගිහිල්ල, අන්තිමට... (ඒකට අපේ අය...)

මේ මිනිස්සු නාකි උණහම මැරෙන්නෙ නෑ. ටිකෙන් ටික ඈලියාවට ගිහිල්ල, අන්තිමට දුමක් හැටියට හුළඟට එකතු වෙනව.

මේ ගොල්ල ගමන් බිමන් යන්නෙ ඔළු ගෙඩිය දකුණු පැත්තෙ කිහිල්ලෙ රුවාගෙන. ඈත ගමනක් යනව නං, දුවල පැනල කරන්න තියෙන වැඩකට යනව නං, ඔළුව ගෙදර තියල යන එක තමයි සිරිත. මොන තූත්තුකුඩියෙ හිටියත් හිතූ වෙලාවක ඔළුවෙන් උපදෙස් ගන්න එයාලට පුළුවන්.

හඳේ ලොකු මුලාදෑනීන්ට පොඩි මිනිස්සුන් කරන්නෙ මොනවද කියල දැන ගන්න ඕනෑ උණහම, උන්නැහෙල නෙවෙයි ගෙදරින් පිටට අඩියක්වත් තියන්නෙ.

ගෙදරම ඉඳන් ඔළුව පිටත් කරල අරිනව. ඔළුවත් තොරතුරු හොයාගෙන අයිතිකාරයා කතා කරන පරක්කුවෙන් ආපහු ඇවිල්ල ඇති.

එහෙ මිදි ඇට හරියටම අපේ ලෝකෙ ගල් වැස්සට වැටෙන කැට වාගෙ. මම නං සහසුද්දෙන්ම දන්නව- හඳේ කුණාටුවක් හමල මිදි ගෙඩි බිමට වැටුණහම, ඒවායෙ ඇට පොළොවට පාත් වෙනව ගල් වැහි හැටියට. මං කියන එක අහන උදවියට පොඩි නුවණක් කියා දෙන්නං. මී ළඟ සැරේ ගල් වැස්සක් වහිනකොට, ඔය ඇට ටිකක් එකතු කරල හඳේ වයින් ටිකක් පෙරාගෙන බොමු!

බාල වයින්වලට තැබෑරුමට සල්ලි පූජ කරන්නෙ මොකටද?

පුදුම ඇස්, ඒ මිනිස්සුන්ට දෙයියෝ දීල තියෙන්නෙ. ඕනෑ වෙලාවට ගලවල අතට ගන්නව. ඕනෑ වෙලාවට ඔළුවෙ හයි කර ගන්නව. වට්ටියෙ මොකද පෙට්ටියෙ මොකද - පෙනීමේ වෙනසක් නැතිකොට.

ඇහැක් නැති උණොත් හරි බිඳුණොත් හරි ඉක්මන් කරල තව එකක් සල්ලිවලට ගන්න එකයි. කලින් තිබිච්ච ඇහෙන් විදිහටම බලන්න පුළුවන්. අපේ බොරු ඇස් වගේ නෙවෙයි.

පාරේ යනකොට හන්දියක් හන්දියක් ගාණෙ ඉන්නව ඇස් වෙළෙන්දො. උන් ගාව තියෙනව වයිවාරන්න ඇස්. කාලෙන් කාලෙට මෝස්‌තර වෙනස් වෙනවනේ. අද නිල් ඇස් දානව නං හෙට කළු ඇස්!

මේ මම කියපුව තාර බර ඇරියහම ගන්න දෙයක් නෑ කියල ඔහෙලා හිතන්න පුළුවන්. මගෙ කතාව පිළිගන්න බැරි නං වාද කරන්න දෙයක් නෑ. මං වාගෙ හඳට ගොහිල්ලම එන එකයි. එතකොට තේරේවි, කලින් ගිය මිනිස්සුන්ට වැඩිය මම ඇත්ත කියන වග!

නව රැල්ලක් ගැසුවා ජූලි 9 - මැතිඳුනි ඔබට හරි නපුරුයිනේ 9

මටත් ඇත්තම ඇත්තක් කියන්න හිතුණා. fb එකට ගියාම හම්බ වෙනවා පුදුම තරමේ හරවත්; රසවත් වගේම නවතාවයෙන් පිරුණු නිර්මාණ. ඒත් එව්වා නිකම්ම වැළලිලා යනවා වගෙයි මට පෙනෙන්නේ. මේ බලන්නකෝ මේක!

මැතිඳුනි ඔබට හරි නපුරුයිනේ 9

  ඉපදුණු වසර වන්නේ හතලිස්     9
  ජනපති වුණේ වස දෙදහස් දහ    9
  මනාප ගණන වෙයි ලක්ෂම හැට 9
  සංශෝධන කෙරුවෙත් තිබු දහ   9

  ඉල්ලං කෑව මුළු පවුලම මැයි     9
  බැසිල් මලය අස්වුණෙ ජූනි       9
  නව රැල්ලක් ගැසුවා ජූලි           9
  මැතිඳුනි ඔබට හරි නපුරුයිනේ   9

දාහතරවෙනි පිම්ම
මහ පොළොවේ කිමිදී

හඳේ සවාරිය නං කියන හිටිය තරම් දිගට දැන් ඉතිං කියන්න හිත නෑ.

ඒක එතැනින් නවත්තල වෙන එහෙකට බහින්නං. මේකත් කලින් කතාව වගෙමයි. බොරුවක් අහලකින්වත් ගිහින් නෑ. මේ ගමනෙදී වෙච්චි දේවල් අරිට වැඩිය පුදුමයි; අලංකාරයි!

බ්‍රයිඩොන් උන්නැහෙ සිසිලියට ගිය ගමන් විස්තරේ කිව්වහම මට ඒ රටේ එට්නා ගිනි කන්ද බලන්න හරිම දොළදුකක් උපන්න. නැවක නැඟිලා කරදරයක් නැතිව සිසිලියට ගොඩ බැහැගත්ත. රටට යහපත් වෙල තුන් හතර දවසකට පස්සෙ දවසක පාන්දරම, නැවතිලා හිටිය ගෙදරින් පිටත් උණ.

මේ ගමනෙදී එක්කෝ ගිනි කන්ද ඇතුළේ තියෙන දේවල් බලා ගන්නව; නැත්නං මගෙ ඇටකටු එහෙම දානව.

කඳු පාමුලට මෙතන ඉඳල හැතැප්ම හයක් ඇති. එක හිත් හිතාගෙනයි මේ යන්නෙ. මේ ගමනෙදී එක්කෝ කන්ද ඇතුළේ තියෙන දේවල් බලා ගන්නව; නැත්නං මගෙ ඇටකටු එහෙම දානව.

පැය තුනක් තිස්සෙ දහ වද විඳල යාන්තං කඳු මුඳුනට නැඟගත්ත. සුමාන තුනක වෙලේ ඉඳන් කඳෙන් ගිනි අළු පිට දානව. කන්ද මේ විදිහට තියෙනකොට මෙතෙන්ට ආපු උදවිය කොතෙකුත් මේ ගැන විස්තර ලියල තියෙන හින්ද මම ඒ ගැන කියල ඔහෙලට කරදරයක් කරන්නෙ මොකටද?

ගිනි කන්දෙ විවරේ වටේ දෙතුන් වටයක් ගොහින් බැලුව. විවරෙ නං රටකටම සෑහෙන මැටි කොප්පයක් තරං හිටී. අඩියට යන්න යන්න පුනීලයක් වගේ හීන් වෙලයි තියෙන්නෙ. අන්තිමට මට කල්පනා උණා, මේ වට වන්දනාවෙන් මගේ කාරිය ඉස්ට වෙන්නෙ නැති බව.

මේකට පැනලම බලන්න ඕනියි කියල හිතා ගත්ත.

කකුල් දෙකට වීරිය අරං පැනලා බැලින්නං ලෝදිය හැළියේ කිමිදුණා වගෙයි.

දුම් දම දමා උඩට නඟින ගිනි අඟුරු මගෙ ගමනට හරස් කැපුව. ඇඟ හීරිලා- පිළිස්සිලා බුබුළු නඟින්න උණා. කොහොමත් මගෙ බරට, ඊයම් බරුව වගේ පහළටම ඇද වැටුණ.

පතුළටම ගියහම අර පැත්තෙන් දඩිබිඩිය; මේ පැත්තෙන් කෑ ගහනව; තව පැත්තකින් දෙස් තියනව. එතැන එක දෙව්ලාවයි!

හොඳට සිහි වෙලා, ඇඟේපතේ වේදනාවත් අඩු උණහම මම හෙමිහිට වටපිට බැලුව.

මං ඉන්නේ වල්කන් දේවතාවයි එයාගේ සහචරයොයි මැද්දෙනෙ. ඒ උදවිය...

පුදුමෙනුත් පුදුමයි!

මං ඉන්නේ වල්කන් දේවතාවයි එයාගේ සහචරයොයි මැද්දෙනෙ. ඒ උදවිය සුමාන තුනක් තිස්සෙ ලොකු මතබේදයක් හින්ද අරගල කර ගන්නව.

නීති-රීතියි ඒව පිළිපැදීමයි ගැන තමයි මේ කුඩ මිටි හරස් කර ගන්නෙ. උඩ ලෝකේ බයානක කම්පා වීම්, පිපිරිලි ඇති වෙලා තිබුණේ මේ හටන හින්දනෙ.

මං එතනට කඩා වැටුණ විතරයි, කෝලාහලේ  සමාදානයි. වල්කන් දේවතාව තමන්ගේ අතින්ම මගෙ තුවාලවලට බේත් දාලා මට සත්කාර කළා. ඒ බේතින්ම තුවාල සනීපයි. උන්නාන්සෙම කන්න බොන්නත් ළඟින්ම ගෙනත් තිබ්බ. අමුර්තෙයි, තව දෙවිවරුන්ට විතරක්ම බොන්න ලැබෙන බීම ජාතියි - පීනන්න උණත් තිබුණ.

මේවයින් හොඳට සප්පායම් උණාට පස්සෙ මාව බාර කළා උන්නාන්සෙගෙ බිසවුන්නාන්සෙට; වීනස් දේවතා දූට. ඒ වෙලාවේ හැටියට මට ඕනෑ හැම සැප පහසුකමක්ම සලස්සන්නැයි කියල.

මට සැතපෙන්න ලැබිච්ච ගබඩාවයි, යහනාවයි විස්තර කරන්න දඟලන්නෙ නෑ. මොකටද බැරි බර කරට ගන්නෙ?

ඒ සීදේවී දේවතා දූ ගැනත් මට ඇහැක් විදිහට වර්ණනා කරන එක ඒ උත්තමීට ලොකු මදිකමක්.

එට්නා ගිනි කන්දෙ වැල ගිය තැන් - මුල ගිය තැන් ඔක්කොම, වල්කන් දෙයියො මට කෙටියෙන් කියා දුන්න. උන්නාන්සෙගෙන් අවසර ලැබිච්ච හැටියට, මේ ගිනි කන්ද උන්නාන්සෙගෙ කම්මලෙන් පිට කරන අළු ගොඩ ගැහිල හැදිච්ච එකක්.

උන්නාන්සේ නිතරම තමන්ගෙ වැසියන්ට දඬුවම් කරනව. කේන්ති ගිය හැටියෙම ගිනි අඟුරු ඇඟේ පටවන එක තමා සිරිත. උනුත් මේකෙන්ම කම්මර වෙලා ඇඟට එන ගිනි අඟුරු වළක්කල උඩට වීසි කරනව, මේ ලෝකෙන් මතු වෙන්න. සුවාමියගෙ අත දිග හරියෙ වැටුණොත්, ආයිත් පාරක් ඇඟට එවනවනෙ.

උන් කවදාවත් තමන්ගෙ සුවාමියාට ආපහු ගිනි අඟුරු දමා ගහන්න තරම් අණක් ගුණක් නැති ජාතියක් නෙවෙයි.

එහෙ ඔය විදිහෙ අරියාදුවක් පටන් ගත්තහම, සමහ‍ර වෙලාවට මාස තුන හතරක් අල්ල හිටිනව.

මටත් අකුරු කොටන්න තියෙන වෙලාව අඩුයි. අරගලය දිනාපු එකේ ඊළඟට සිද්ද වෙන දේවල් ගැන බලමින් තමා...

ඉතිං, එහෙන් වීසි කරන ගිනි අඟුරු, අළුවලටම තමා- අපි නොදන්නකමට ගිනි කඳු පුපුරණවයි කියල මර බයේ දඟලන්නෙ.

විසූවියස් ගිනි කන්දත් උන්නාන්සෙගෙම තවත් කම්මලක්. ඒකට පාරක් තියෙනව මූදු පතුලෙනුත් හැතැප්ම තුන්සිය පණහක් යටින්.

ඒ ගිනි කන්ද පුපුරණවයි කියන්නෙත් ඕවගෙම අරගලවලින් තමා!

වීනස් දේවතා දූගේ කීකරු අතවැසියෙක් හැටියට මට දිගටම එහෙ ඉන්න තිබුණ.
එතැනත් ගල් වරුසාවක්!
කට නිකං තියා ගන්න බැරි කොල්ලො ටිකක් හැදිලා
, දේවතාවුන්ට කොහෙද නැති කේලමක් කිව්ව. උන්නාන්සෙට උහුලන්න බැරි තරමට කේන්ති ගියා.

එහෙ සිරිතේ හැටියට දවසක් උදැහැනැක්කේ මං දේවතා දූට ඇප උපස්තාන කර කර ඉන්නකොට, දිවිය රාජයා කිසි ගරු-සරුවක් නැතිව එතෙන්ට කඩා වැදිලා..... මාව එක අතකින් උස්සගෙන, මම කවදාවත් නොදැකපු කාමරේකට ගෙනිච්චා.

ඒක ඇතුළෙ....

ඒ විස්තර කියවමු අනිත් කොටසෙන්.
හොඳේ... මොකද, මේ දවස්වල මටත් අකුරු කොටන්න තියෙන වෙලාව අඩුයි. අරගලය දිනාපු එකේ ඊළඟට සිද්ද වෙන දේවල් ගැන බලමින් තමා වැඩිපුර මගෙ කාලෙ ගෙවෙන්නේ... එහෙම බලද්දී තමයි ‘ශ්‍රී ලංකා චිත්‍ර කතා’ group එකෙන්, මේ උඩ තියෙන ‘
අරගලයට උර දුන්, දිරි දුන්, දිවි දුන් සැමට දේශයේ ප්‍රණාමය’ ෆොටෝ එක හම්බ වුණෙත්....

හැබැයි දැන් දැන් පෙනෙන විදිහට ඉක්මනින්ම අරගලය රට පුරාම කෙරෙයි වගේ! බලයට තණ්හාවේ කළ යුතු දේ නොකරන අඳ බාලයන් හින්දා.......

22 comments:

  1. Replies
    1. අද Pra Jay කලින්ම ඇවිදින්... ස්තුතියි!

      Delete
  2. ගෝඨාභය රාජපක්ෂ සමඟ දින 969 ක්

    ගෝඨාභය රාජපක්ෂ දින 969 ක් ජනාධිපතිවරයා විය. අද අළුයම, රාජ්‍ය නායකයෙකුට තබා, සතා සිව්පාවෙකුටවත් හිමි නොවිය යුතු අවමන් විද රටින් පැනගත්තේය.

    රටම සාගතයකට දමා, පුරවැසියන් පෝලිම්වල මැරී වැටෙන රටක් බිහිකර, රාජ්‍ය යාන්ත්‍රණයට මිනිසුන්ගේ තිබූ ගෞරවය, පිළිගැනීම පමණක් නොව ගොඩනැගිලි, බඩු භාණ්ඩ පවා විනාශවන තැනට රට ඇඳ දමා ඔහු යන්නට ගියේය.

    තමන්ට දේශපාලනික, පරිපාලන, සතුටු සමාගමේ ද, උදව් උපකාර කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 77 ක් ඇතුළු බොහෝ දෙනාට තමන් හරි හම්බකරගෙන ජීවත් වූ ගේ දොර, යාන වාහන පවා අහිමි කරමින් ඔහු පැන ගියේය.

    රාජ්‍ය පරිපාලනයට විශ්‍රාමික හමුදා නායකයින් රිංගවා සෞඛ්‍ය, විදේශ සම්බන්ධතා, කෘෂිකර්මය, අධ්‍යාපනය, ප්‍රවාහන ඇතුළු සෑම කේෂ්ත්‍රයක්ම විනාශ කර යන්නට ගියේය.
    තම හිතවතුන්ට බදු, ව්‍යාපාරික සහන දෙමින් රටම ගජමිතුරු ජාවාරමක් කර, අශුචි නැවෙන් පවා වංචාකර ඔහු පැන ගියේය.

    රටේ නමක් දිනූ ව්‍යාපාරියකයින්, වෘත්තිකයින් ගේ ගෞරවය, ආත්ම විශ්වාසය, අභිමානය විශකර කර ඔහු සැඟව ගියේය.
    දේශීය වෙදකම, සංස්කෘතිය, ආගමික නායකයින්ට, සිද්ධස්ථානයන්ට තිබූ බැඳීම, ගෞරවය විනාශ කර ඔහු වාෂ්ප වූවේය.

    පරිසරය, ගහ කොළ, සතා සිව්පාවට පවා වින කරමින් රටම වැලි - පස් ජාවාරකම් කර, ලංකා ඉතිහාසයේ දැවැන්තම වන සංහාරයකට පාර කපා වැලි පවුරක් වු මාලදිවයිනට පැන ගියේය.

    යන්නට පෙර ‘ද ටර්මිනල්‘ චිත්‍රපටයේ ගුවන් මගියා, එක් ගොඩනැගිල්ලකින් අනෙක් ගොඩනැගිල්ලට යන සේ, ගුවත් තොටුපලෙන් තොටුපලට යමින් සියළු අපහාස අවමානයන් වින්දේය.

    කරේ තබාගෙන සිටි ඇමරිකාවට තබා ඉන්දියාවටවත් වීසා ලබාගත නොහැකිව අසරණ වූවේය.

    තමන් බලයට ගෙන ආ විමල්, ගම්මන්පිල, ඩලස්, පමණක් නොව දිලිත් ජයවීර වැන්වුන්ගේ ද කෝපය ඔහු දැවී ගියේය.
    ගෝඨාභය රාජපක්ෂ යනු සකලවිධ ව්‍යාජයන් එකට අඹරා තැනූ පල්ප් පිළිමයක් නැත්තම් පඹයෙකි. ඔහු ගල් පිළිමයක් වූ මහින්ද රාජපක්ෂට රටේ තිබූ ගෞරවය පමණක් නොව, අවමඟුලට එන මිනිසුන් ටිකත් නැති කළේය.

    දැන්, රට බංකොලොත්ය. දරුවන්ට අධ්‍යාපනයක්, රෝගීන්ට බෙහෙත්, වාහනයට ඉන්ධන, උයන්නට ගෑස් ටිකක්වත් නැත.
    ඇට දෙකක් විසි කළ විට පැලවී ගෙඩි හැදෙන රටක්, මිනිස්සුන්ට තබා සතා සිව්පාවාටවත් කන්නට නැති රටක් බවට පත් කිරීම ලේසි පහසු නැත.

    මේ සියළු ව්‍යසනයන් සිදු කිරීමට ගෝඨාභය රාජපක්ෂ ට ඒ සඳහා අවශ්‍ය වූවේ දින 969 කි.

    ඊලඟ පාලකයාට සතියකට හෝ රට බාරදීමට පෙර සිය වරක් සිතිය යුතු වන්නේ ද ඒ නිසාමය.

    -රසික සූරියආරච්චි‍-

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රසික මහත්මාණෙනි.දැන් සිදුවීම් සිදු වෙන වේගය අනුව බලද්දී මේ තොරතුරු ගැන සංවාද කරන්නට වෙන්නේ සේරම වුණාට පස්සේ වගෙයි.
      දැනටම අනුප්‍රාප්තික නායකයා පත් කරලා ඉවරයිනේ. එයා වැඩ අල්ලලාත් ඉවරයි.

      Delete
  3. Replies
    1. වැටක්, වැටක් වැට ගහන්න මිටියක් ඕනේ
      පරාල ඇණ, වැට ඉනි ඇල්බීසියා ගන්නේ
      මල් වැටවල් ගහන් එකා නමියා වන්නේ
      ලියපු එකා කවුරු කියල හිතාන ඉන්නේ?

      Delete
    2. වැටක් වැටක් වැටක් වුණත් ගහන්න එන්නේ
      බ්ලොගය කියවලා හින්දයි තුතිය පුදන්නේ
      ඒකෙ තියෙන එකම වැරද්දක්ය පෙනෙන්නේ
      ගල් වැටක්ද, මල් වැටක්ද නැත වැටහෙන්නේ

      ස්තුතියි!

      Delete
  4. කතානායක හුටම්... පිශ්ෂු කියනවා... ආතතියට වෙන්ටෑති. අර එක කොමා කෙනෙක් වාගේ

    ReplyDelete
    Replies
    1. තමන්ගෙ ස්වාමිවරුන්ව ආරක්ශා කිරීම, ලෙව කෑම ඇර ජීවිතේට වෙන දෙයක් කරලා නැතිවුනාම ඔහොම තමයි. විපක්ෂය නිදිද!! මට පේන්නෙ මිනිස්සුන්ට ඉවරයක් නැතුව අරගල කරන්න වෙයි වගේ.

      Delete
    2. ඒක නේන්නං!
      දැන් නම් ලෝකෙටම පේනවා, මේ මිනිස්සු කොයි තරම් රටට - රටවැසියාට - පොරෝඩාතන්තරේට ආදරෙයිද කියලා!
      ඒ වගේමයි උන් රොත්තම හරියටම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව නම් අනුගමනය කරමින් ගහන ගැට.

      Delete
    3. කතානායක පොලී මුත්තා
      පාපිස්සක් පොරෝගත්තා
      තට්ට ගෙඩියේ රස්නේ ගැහුවා
      පිස්සු හැදිලා නන් දෙඩෙව්වා

      කොළොම්පුරේ අසංග

      Delete
    4. සේරම මුත්තලා කට දිව පැටලෙනවා
      ඇවිදගන්න බෑ හරි හැටි වෙවුලනවා
      වෙලාවකට මඤ්ඤං බුලි කෙලවනවා
      මැන්ටල් උඩට යැව්වම මේවා වෙනවා!

      Delete
  5. "අපි ගොඩ බහින අවදියෙ, හඳේ රජ්ජුරුවො ඉරත් එක්ක යුද්දයක්!" දැන් බලනකොට ඊට වඩා දරුනු යුද්ධයක්නෙ ලංකාවෙ මිනිස්සුන්ට කරන්න වෙලා තියෙන්නෙ. අස් වෙනවා කිව්ව මිනිස්සු අස් වෙන්නෙ නැතුව තවත් බදාගෙන ඉන්නෙ.

    ReplyDelete
    Replies
    1. කියන දේ නොකර වෙනෙකක් කරන එක
      රට දැය වැඩ පිණිස දිවි දෙමි කියන එක
      බොරුවෙන් රැකී - උන් උන්මත් රැකෙන එක
      දැන් නම් පැහැදිලිය, සත්තුය උන් රැලක!

      Delete
  6. ඇපත් නැතුව පැරදුන ඒ තනි අලියා
    අගමැටිකමේ එල්ලුන ඒ හොර කොටියා
    හොරුන් රකින්නට නිති පැහැ දී සිටියා
    හනුමා වගේ රට ගිණි තබනා සැටියා

    ReplyDelete
    Replies
    1. පැරදි පැරදි හිටියත් ඒ තනි අලියා
      මකියාවෙල්ලිගෙන් පාඩම් ලත් සැටියා
      ලජ්ජ නැහැ වගේ කර බාගෙන හිටියා
      කල්-නිල බලා රටටම කෙළලා ඇරියා!

      Delete
  7. Replies
    1. මෙන්ඩාට මගෙන් තුති මල් පොකුරක්!

      Delete
  8. https://kavisandalla.blogspot.com/2022/07/blue-my-mind.html

    ReplyDelete
    Replies
    1. සඳත් සොඳුරුයි
      සඳවති හිතත් සොඳුරුයි
      කවි බසත් මිහිරියි
      ඉතා අනගියි!

      Delete