අකුරු මැකී නෑ

Monday, August 29, 2022

සුප්පා දේවිගේ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස

අදහනු මැනවි!
අපේ විධුර නාටකයෙදී තරහ පිරිමහන්නට පූර්ණකයා විධුර පඬිතුමන්ව ඇත්තටම කරකවලා, පොළොවේ ගැහුවා වැනි දෙයක් මම එදා නොකළෙමි.

නමුදු සුප්පා දේවියට ආවේශවී සිටි මගෙන් සරත්ට වැදුණේ පොඩි-පටු කම්මුල් පහරක් හෙම නොවේ! කණ පිරෙන්නම ගැසූවකි!!

Act කරන්න ගියාම ඔයා කොහොමද කියල...

එහෙමයි, පහුගිය කොටස නැවැත්තුවේ. ‘කණ පිරෙන්න ගහන පාරක සැර’ හොඳටෝම තේරුම් අරං තිබුණු Praසන්’ රසික හිතවතා comment එකෙන් මෙහෙම ප්‍රශ්නයකි, අසා තිබ්බේ. ‘නාට්ටෙ පෙන්නන්න සරත ඉතුරු වෙලා උන්නද?

උත්තරය ‘ඔව්’ වුණත් ඒ එක්කම හිතට ආවේ මහ දුකක්. එදා සුප්පා දේවියගේ කම්මුල් පහරෙන් තක්බීර් වුණු සිංහබාහු අද මේවා කියවන්නට ‘ඉතුරු වෙලා නැති එක’ ගැනය, මට දුක හිතුණේ.

“අනේ සරත්... හිතලා නං නෙවෙයි ගැහුවේ!” ඒ ජවනිකාවෙන් පස්සේ, ඉඩක් ලැබුණු පළමු අවස්ථාවේම මම සරත් රංචාගොඩට කිව්වෙමි.
“අමුතුවෙන් නොකිව්වට කමක් නෑ රංජි මල්ලී. Act කරන්න ගියාම ඔයා කොහොමද කියල මං දන්නවනෙ...” ජාලරය මුවාවෙදී සරත් කිව්වේ කම්මුල අතගාන ගමන්. “...හොඳ වෙලාවට ඊළඟ show එකේ රූපා සුප්පාදේවිට ඉන්නේ. මං රූපට කියන්නං කම්මුලට ගහනකොට හෙමින් ගහන්න කියලා.”

“ඇයි, අත ගාන්න කියනවකො.” කියලා ඇනුම් පදයකින් සංග්‍රහ කළාමත් සරත් හිනා වුණා විතරය. ඒ තරමටම සරත්ගේ හිත හොඳය.

දෙවියන් වහන්සේ හිත හොඳ මිනිසුන් ඉක්මනින්ම තමන් ළඟට කැඳවා ගන්නවාලු! හැබැයි, සරත් සම්බන්ධයෙන් නම් උන් වහන්සේ ඉක්මන් වුණා වැඩිය.
දෙහිඕවිට අටුලුගම හිටි සරත්, අපේ නාට්‍යවලට සම්බන්ධ වුණාට පස්සේ මහරගමටම සින්න වුණේය; අපේ ලොකු මල්ලීගේ බිරිය මල්ලිකාගේ හොඳම මිතුරියක වුණු සීතා හා විවාහ වුණේය. කාලයකට පස්සේ ‘ගමේ ගෙයක් හදාගෙන එහාට ගිහින් නිස්කලංකෙ ඉන්නවා’ කියලා ගමේ ගෙයකුත් හැදුවේය. ගෙයි සියලු වැඩ අවසන් කරලා, විදුලිය සැපයුමට ඉල්ලුම් කළේය.
‘අහවල් දවසේ අහවල් වෙලාවට ඔබේ නිවස පරීක්ෂා කරන්නට එනවා’ යැයි පණිවිඩය ලැබුණාම සරත් ගමේ ගිහින් බලාගෙන හිටියේ ‘විදුලි බල මණ්ඩලයෙන්’ එනතුරුය.

ඒ වියෝවේ විත්තිය අපට ආරංචි වුණෙත්...

එයාලට කලින් එතැනට ආවේ වසවර්ති මාරයාය. පපුවේ අමාරුවක් විදිහටය! විදුලි ඉංජිනේරුවන් එනකොට සරත් යළිත් නොඑන්නටම ගිහිංය.

ඒ වියෝවේ විත්තිය අපට ආරංචි වුණෙත් සේරම කටයුතු අවසාන වූවාට පස්සේය. එය අප කාටත් මහා shock එකක් වුණු බව නම් නොකියාම බැරිය!

එදා ජාලරයක් මුවාවෙදීම සිරී අයියා මාව අල්ලා ගත්තේය. “අරයාත් මේ කිට්ටුවටම ඇවිත් ඉන්නේ...”
“කව්ද?”
“වෙන කවුද ඉතිං? සංජේ...”
“අනේ සිරි අයියෙ. එයාට කියන්න මේ පැත්ත පළාතේ එන්න එපා කියල. එයාව දැක්කොත් තාත්තට යකා නඟියි” මම පින්සෙන්ඩු වුණෙමි.
“ඔච්චර බය වෙලා බෑ රංජි. සංජේ නං යකා පට ගහගෙනලු ඉන්නෙ මේ දවස්වල.”

මට චී කියා හිතුණේය. සංජේ අපේ කතන්දර සිරි අයියාටත් කියලද? ලජ්ජාවේ බැරිය.

මගෙත් එක්ක කතාවට සිරි අයියාට ඉඩක් නොලැබෙන විදිහටය, එදා- එයින් පස්සේ මං පරෙස්සම් වුණේ. අනෙක් අතට සංජේ ගැන හිතන්නට ඉඩක් එදා මට තිබුණේත් නැත.
රූප් නන්දා ඊළඟ දර්ශනයේදී සුප්පා දේවියට රඟනු ඇත. අප දෙදෙනා අතර තරගයක් නැති වුණත්, රූපාට වඩා දශමයක් හෝ හොඳින් act කරන්නට, මගේ චිත්තයා මට අණ කරමින් සිටියි. මා ඊට කීකරුවී රංගනයටම සිත යොමු කළ යුතුය.

“නිමල්, මේ සාදු මම අඳුරන නාට්‍ය රසිකයෙක්... ඔයාගේ acting දැකල පුදුම වුණා ඔයා කොල්ලෙක් කිව්වම. මං මේ සාදුව එක්කරගෙන ආවේ ඔයාට අඳුන්නල දෙන්න.” පළමුවෙනි ලයිට් රිහර්සල් එක අන්තිමේදී එස් අයියා කීවේ වේදිකාව පිටුපසදීය. ඔහු සමඟ පැමිණ සිටියේ, තරුණ හාමුදුරුවන් වහන්සේ කෙනෙකි. හාමුදුරුවෝ මගේ හිස මුඳුනේ සිට දෙපතුල දක්වාම විනිවිද යන බැල්මක් හෙළුවෝහ. ඉන්පසු යළිත් වරක් මගෙ බඩවත දිහා බලා සිනහවකුත් පෑවෝහ.

මෙයා කොල්ලෙක් කියලා කිව්වමයි මට තේරුණේ... එතකල්ම මම හිත-හිතා හිටියේ මෙච්චර ලස්සන කෙල්ලෙකුගේ බඩේ මයිල් ඇවිත් නේද කියලයි....

“ඔයාගේ ඇක්ටින් නං මරු. එක වැරද්දයි තියෙන්නෙ, හදා ගන්න. මිස්ටර් එස්... show එක දවසෙදි මතක ඇතිව මේ සුප්පා දේවිට රේසරයක් අරං දෙන්න. නැත්තං ප්‍රේක්ෂකයෝ කියයි සුප්පා දේවිගේ බඩේ මයිල් කියලා....”

“ඔබ වහන්සේත් කියන කතා...” එස් අයියා එතකොට විහිළුවකින්ම උත්තර බැන්දේය.
“විහිළුවට නෙවෙයි. මං කිව්වේ ඇත්තටමයි, එස්! මෙයා කොල්ලෙක් කියලා කිව්වමයි මට තේරුණේ... එතකල්ම මම හිත-හිතා හිටියේ මෙච්චර ලස්සන කෙල්ලෙකුගේ බඩේ මයිල් ඇවිත් නේද කියලයි....”

“රංජි මල්ලී. උවමනාම දවසට විතරක් බඩේ මයිල් ගාන්න. එහෙම කළාම මයිල් වැවෙනවා කලින් තිබ්බටත් වැඩිය සැරේට...” ඔය වගේ කරුණු-කාරණාවලදී මට උපදෙස් දෙන විශ්වාසවන්තයා සමරසිරි කියා දීලා තිබිණි. එතකොටත් සමරසිරිට වඩා රහසිගත දැනමිත්තෙකු මට නොසිටියේය.

ඒ හින්දාමය එදා මං රෝම කපා දැමීමට උනන්දු නොවුණේ. ‘අද ඉතිං දන්න කියන කීප දෙනයිනෙ රිහර්සල්ස් බලන්න එන්නෙ.’ මට හිතුණේ එහෙමය.

දෙවෙනි දර්ශනයත් නරඹන්නට අර හාමුදුරුවන් වහන්සේ නැවතී උන්හ. ඒ දර්ශනයේදී කිසිම අකරතැබ්බයක් වුණේ නැත. හාමුදුරුවෝ නැවතත් වතාවක් මා හමු වෙන්නට වැඩියාහ, එස් අයියාත් සමඟින්ම.
“මේ ඇත්ත, මිස්ටර් එසුයි නිමලුයි දෙන්නම ඉස්සරහ කියන එක වඩා හොඳයි කියල හිතුණා. අද සුප්පා දේවිගේ චරිතේ හොඳටම රඟපෑවේ නිමල්. හැබැයි, රූප් නන්දාගේ ලස්සනයි ලාලිත්‍යයි දෙකට කිට්ටු කරන්න නිමල්ට බෑ. එස් මහත්තයා නාට්‍යයේ ප්‍රොඩියුසර් හැටියට සුදුසු තීරණයක් ගන්නයි තියෙන්නේ.”

එස් අයියාට උවමනාවී තිබෙන්නේ රූප් නන්දාටම සුප්පා දේවී චරිතය සින්න කර දෙන්නටද?
අරයා- මෙයා ලව්වා මේ ‘වහෙන් ඔරෝ’ බාසාවෙන් කියවන්නේ එසේ කළ යුතුය කියලාද?
රංගනයට හුරුවී තිබීමේ වාසිය තවත් වතාවක් මට උදව් වුණේය. හිතේ තෙරපී තිබෙන දුක- සන්තාපය හා කේන්තිය මුහුණේ ලියවෙන්නට නොදී, සුන්දර සිනාවකින් මුව සරසා ගන්නට මම සමත් වීමි.

මීට පස්සේ උදේ හවස දෙකේම තමුන්නාන්සේට වඳිනවා, වඳිනවා, වඳිනවාමයි!

එදා ගෙදර ආවාට පස්සේ නම් මගෙ දුක කාට හරි කියන්නටය, මට උවමනා වුණේ. ඒ වෙලාවේ ඒවා අහන්නට මගෙ කාමර පොඩ්ඩේ සිටියේ සායි බාබාතුමා විතරය. සායි රොටිය තිබුණු පීරිසියේ තේ කහට හෙම අලුත් කරලා මම මගේ දුක එතුමන්ට කියන්නට ගත්තෙමි!

හොඳටම නිඳිමත ආවාමය, මගෙ වන්දනාව ඉවර වුණේ!

මගෙ දුක ඉන්දියාවේ පුට්ටපර්තියේ සත්‍ය ශ්‍රී සායි බාබාතුමාට එදා රාත්තිරියේම ඇහිලාද කොහෙදය.

කුකුළාවත් අතින් අරගෙන, සේ ටීචර් අපේ ගෙදරට ආවාය.

“මම උඹට කිව්වෙ ගුණපාලයෝ! අර සමයම තියන්න පුළුවන්ද රංජියගෙ අහලින්වත්. පොත්ත සුදට තිබ්බට, පුක නැටෙව්වටම මදිනෙ ගුණේ. උඹ තකහනියක්ම කිව්ව නිසයි මං දෙවෙනි show එකත් ඉවර වෙනකල් බැලුවේ. මට නං අපේ රංජියා තමයි වැඩිය හොඳ...”

සේ ටීචර්ගේ තක්සේරුව, මගෙ හිතේ තිබ්බ සේරෝම දුක් කන්දරාවල් නැති භංග කර දැම්මේ තත්ත්පරයෙනි. ගිලෙන්නට යන එකා පිදුරු ගහේත් එල්ලෙනවාය කියන්නේ ඇත්තකි.

‘අනේ සායි බාබාතුමෝ. මට දහස් වාරයක් සමාව දෙන්ඩෝනි. මෙච්චර දවසක් තමුන්නාන්සේව එච්චර ගණන් ගත්තේ නැතිවාට. මීට පස්සේ උදේ හවස දෙකේම තමුන්නාන්සේට වඳිනවා, වඳිනවා, වඳිනවාමයි. වරද්දන්නෑ. සත්තයි... සහතිකයි...’ දෙයියන්ට වුණත් යමක් ඇහෙන්නේ සද්දෙට; ගරු ගාම්භීර තාලෙට යාතිකාවක් විදිහට කියන දේ කිව්වාමය. සායි තුමත් පණ පිටින් ඉන්නා දෙයියෙක් නේද?
‘ඒත්, දෙයියනේ එහෙම සද්දෙට යාතිකාවල් කියන්න ගියෝතින් මේ කරන ටිකවත් කර ගන්නට බැරිව යනව සිකුරුයි. වෙන මොකුත් නෙවෙයි සායි තුමෝ, වෙලාවකට අපේ ආච්චී කාලි අම්මාටත් වැඩිය නපුරුයිනෙ...
අනේ.... මං නොකිව්වත්, ඔබ වහන්සේගේ දිව්‍ය නේත්තරාවලට පේනවා ඇතිනෙ...’

හිත යටින් එහෙම යාතිකාවක් කරමිනි මං තේ කහට වීදුරුවක් හැදුවේ... ‘කමක් නෑ. ඊයේ රෑ තේ කහට දැම්මට කමක් නෑ... වැඩිය හොඳයිනෙ දැනුත් දැම්මම!’

‘KOMBUCHA’ නමෙන් හඳුන්වන සායි රොටිය හතු වර්ගයක්!
ඈ! දෙයි හාමුදුරුවනේ, තේ කහට ටික පීරිසියට වක්කරන්නට ගියාමය පෙනුණේ, රොටිය ඩබල් වෙලාය.මට හොඳටම විශ්වාසය. ඊයේ රෑ දෙවෙනි රොටිය මෙච්චර ලොකු වෙලා තිබ්බෙ නැහැනේ. මං බැලුවේ නැතිවාවත්ද- නැත්තං කුප්පි ලාම්පු එළියෙන් නොපෙණුනාවත්ද....

එහෙම හිතන්නත් පව්! ආශ්චර්යයක් සිද්ද වෙන්න මහා වෙලාවක් යන්නෑ නිමලෝ!

අහිතක් හිතන්නට මගේ බැතිබර හිත නැමෙන්නේම නැත. ඒ දවස්වල මගෙ බුද්ධියේ හතර මායිමේ තරමය ඒ. දැන් කියලාත් මහ වෙනසක් නැතුවාත් වගේය.

එව්වා පැත්තක තියෙද්දාවේ. මගෙ යුතුකම අලුතින් ලැබුණු අදාළ තොරතුරු ඔක්කොමත් හිතාදර ඔබ සැමට කියන එකය.
සායි රොටිය ගැන මේ චුට්ට මම දැනගත්තේ ‘සුප්පා දේවිගේ බඩේ මයිල් 9’ post එකට Pra Jay මහත්තය
එවලා තිබුණු link එකෙන්.

‘සායි රොටියටත් දිග ඉතිහාසයක් තියෙනවා. මැන්චූරියන් හත්ත- Manchurian Mushroom’ වගේම හතු වර්ගයට අයිති සායි රොටිය ‘KOMBUCHA’ නමෙනුයි හඳුන්වන්නේ.

අපි කවුරුනුත් දන්නවා හත්තක් කියන්නේ බැක්ටීරියා- දිලීර ලක්ෂ ගණනාවක් එකතු වෙලා හැදෙන සොබාවික නිර්මාණයක් බව. සායි රොටියත් ඒ වගේමයි.
ඒක අවශ්‍ය පෝෂණය ලබාගෙන වැඩෙන්නේ තේ කහට හා සීනි ද්‍රාවණයක් මාධ්‍යය කර ගෙන. අතීතයේ ඉඳලාම
කොම්බුචාහත්ත වවාගත් තේ අත් බෙහෙතක්විදිහටත් යොදාගෙන තියෙනවලු!’

ඉතිං, ඒ දවස් දෙක තුනේ ‘මුළු හදින් මම* සායි වන්දන කරන අතරේ බැතින් පේවී...’ තවත් පුදුමාකාර දෙයකුත් සිදු වුණේය. සිරි අයියා ඒක සිද්ද කළේ කොහොමදැයි මං අදටත් දන්නේ නැත.

(*‘මුළු හදින් මම කොටන අතරේ’ මට මතක් වුණේ blog විශ්වයට අලුතින්ම එකතු වුණු ‘කොමිටල් ඩ්‍රැකී’ අඩවියයි. පෙනෙන විදිහට ඒකෙ දාන්නට යන්නේ ‘කොමිටල් සිංදු’ වගේය!)

කෑ ගහන්න ලජ්ජ නැද්ද? (මේ කාලේ නං කෑ ගහන අය වැඩිය!)

“නිමල් මල්ලී, අද හවසට යමු වැල්ලවත්තට.....”
“වැල්ලවත්තේ නෙවෙයි දිවිය ලෝකෙට යන්න ගියත් සිරී... අපේ තාත්ත බහ් ගාල එපා කියයි. දන්නවනෙ, අපේ ගෙදර නීති.”

“මේ සිරීට මොනවද කරන්ඩ බැරි රංජි මල්ලී... ගුණපාලයියා දැනටමත් ගමනට පර්මිෂන් දීලා තියෙන්නේ...” සිරී කියන්නේ ආඩම්බරයෙනි.
“ඈ? මොකටද වැල්ලවත්තේ යන්නෙ...”
“මල්ලි යමුකෝ. අද එහෙ ගෙදරක සායි බාබාතුමාට විශේෂ පූජාවක් කෙරෙනවා... භජන් කියලා හෙම... මං ඔයාලගේ තාත්තට සේරම කිව්වා. එයා හා කිව්වා. ඔන්න මම හතරහමාරට එනවා. ඔයා ලැහැස්ති වෙලා ඉන්න... පරක්කු වෙන්න බෑ ඕං!”

සංජේ කිව්වා හරි වගේය.
දෙකක් නැත. මගේ මුළු හදවතින්ම සායි තුමාට පුද-පූජා පැවැත්වීමේ ආනිශංසයයි මේ පළ දෙන්නේ.

අපේ තාත්තා අපට අමතර ගමන්-බිමන්වලට අවසර දෙන්නෙම නැති තරම්ය. එහෙම අවසර දෙතත් දෙන්නේ, ප්‍රශ්න කෝටියක් විතර අහලා ඊට පස්සෙය. ඒත් අද... සිරී අයියා මොන ඉනාවක් තාත්තාට කවන්නට ඇත්ද? මං ඒ ගැන ඇහුවේ බස් එකට නැංගාටත් පස්සෙය.

“ඉනා මොකටද රංජි මල්ලී... මේ...” සිරි අයියා අතක් උස්සා පෙන්නයි. “පේනවද?”
“හෙමින්... හෙමින්. බස් එකේ තව මිනිස්සු ඉන්නවා. කෑ ගහන්න ලජ්ජ නැද්ද?” මම කෙඳිරුවෙමි. ඒ යෝදයාත් සද්ද අඩු කළේ එතකොටය.

“මේ..” ආයෙමත් සිරීගේ අත මගෙ මුහුණ ඉස්සරහපිට වැනෙයි.
“මොකක්ද?”
“අයියෝ මල්ලී, පේන්නැද්ද... ඉස්සර මගේ අතේ මුද්දක් තිබ්බද? මේක පවුම් බාගෙක මුද්දක්... මට ලොකු රස්සාවකුත් හම්බ වුණා. පඩිත් හොඳයි. ඒ සේරම මට දුන්නේ සායි තුමා. එච්චරයි මම ඔයාලගේ තාත්තට කිව්වේ. ඔයා තව ටික දවසක් වන්දනා කරගෙන ගියාම, ගුණේ අයියා ඔයාට කියයි අස්සයෝ දෙතුන් දෙනෙක් තෝරලා දෙන්නත්...”

එහෙනං ඒක තමයි මේ!

ඒකත් කිව්ව නං මෙයාව කොහෙ ගෙදරින් එළියට ගන්නද? තාත්ත මෙයාව පරිස්සං කරන්නේ දහ අටේ ගැටේකට වැඩිය පරෙස්සමින්...

සායි බලයෙනුත් වැඩක් අරං, රේස්වලින් දිනන අස්සයන් තෝරන්නටය-  හැමදාමත් රේස් දාන අපේ තාත්තා මානන්නේ...

මං සිරීගේ කතාවට හරස් කපන්නට නොගියේ බස් එකේ සෙනඟ වැඩි වෙලා තිබුණු නිසාය. බසයක් වැනි තැනකදී අරයාට-මෙයාට ඇහෙන්නට හයියෙන් කතා කිරීම මට නුහුරුය.

සිරීට සායි වන්දනාවෙන් හරි ගියාට මටත් එහෙම වෙයිද?
ලුම්බිණි රඟහල අසල බස් නැවතුමේදී සිරි අයියා මාවත් බසයෙන් බස්සවා ගත්තේය. “වැල්ලවත්තට නේද යනවයි කිව්වේ?”

“මේ පාරෙන් ගියාම හරි. චුට්ටක් ඉමු රංජි මල්ලී. තව එක්කෙනෙක් එනවයි කිව්වා මෙතෙන්ට...” මට හිතා ගන්නටවත් ඕනෑ වුණේ නැත. එතකොටත් සංජේ හිනා වේගෙන එනවා පෙනිණි. එහෙනං මේ එයාගේ plan එකක්!

“හරිම නරකයි සංජේ! ඔයාල දෙන්න එකතු වෙලා- බොරුත් කියල අපේ තාත්තව රවට්ටල...” මං සංජේගේ ඇඟට  කඩන් පැන්නේ තරහක් මවාගෙනයි.
“කවුද බොරු කිව්වේ... මූත් එන එක විතරයි මම ඔයාලගේ තාත්තට නොකිව්වේ...” සිරි අයියාත් ප්‍රතිඋත්තර දෙයි. “නැද්ද මචං.. ඒකත් කිව්ව නං මෙයාව කොහෙ ගෙදරින් එළියට ගන්නද? තාත්ත මෙයාව පරිස්සං කරන්නේ දහ අටේ ගැටේකට වැඩිය පරෙස්සමින්.”

“වැඩි පරෙස්සම තමයි මචං ඈලියාවට ගිහිල්ල තියෙන්නේ... මෙයා ගැටයක් වුණා නං කොහොම පරිස්සං කළත්  මෙලහටත්, පෙට්ටියේ...” දිගටම කියාගෙන යනකොටය සංජේට......

Thursday, August 25, 2022

මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

ඉතිං ඔහොම අප්‍රභංස, විලම්බීත, කෙරුවාවල් අස්සේ වුණත් අපි කියාගෙන ආව කතාවත් කියන්න ඕනි නෙව. හැබැයි දැන් නෙවෙයි. මේ posts මාලාවේ ඊළඟ; අවසාන කොටසින්!

එහෙම කිව්ව වගේම, මෙන්න ගරු ගම්භීර- වියත්- ප්‍රබුද්ධ- රසකාමී රසික රසිකාවනි, මේ පෝස්ටු මාලාවේ හමාර බණවර... (කැමතියි නං අහලම ඉන්න.) 

ඔය හැම තෙනම ගහන ගැහිල්ල නොවෙයි!

ඇදගෙන යන්න ගොන් නම දෙනයි. තුන් දෙනා තුන් දෙනා තුන් පේළියකට බැඳල ඉන්නෙ. ඉස්සරහ පේළියේ ඉන්නව යෝධ ගොනෙක්- වැදගත් සතෙක්. නම ජෝන් මොව්මොස්කි.

අනිත් ගොන් නිකං සුළු මුලාදෑනි. එකෙකුටවත් අර වගෙ විසේස නමක් කාරිය නෑ.
ඔක්කොටම ගමනට පිටත් වෙන්න ඉස්සර ලාඩම් ගස්සල.

ඔය හැම තෙනම ගහන ගැහිල්ල නොවෙයි. ලාඩමට ගත්තෙ මිනී ඔළු. මේ වැඩේටම කපා ගත්තු ඔළුවලට එක එක කකුල රිංගවල, සිමෙන්ති බදාමෙකින් හයි කරලයි තියෙන්නෙ. දැන් හරියටම ඔළු කටුව හරක් කුරේම කොටහක් වගෙයි.

මිනී ඔළු ලාඩම් දැම්මහම සත්තුන්ට පුදුම යෑමක් යන්න ඇහැකි. ඕන වතුරකින්, මූදක් උඩින්- ඇහි පිල්ලන් ගහන පරක්කුවෙන් ලිස්සල යනව.

කදිම රටාවකට බොත්තම් අල්ලල, රත්තරං ගාංචු දාපු පටිවලින් ගොන්නු ගලතල තියෙන්නෙ. ගොන්නු නම දෙනාගෙ ඔළු ගෙඩි උඩ ඇණ තියාගෙන වාඩි වෙලා, කරත්ත බාස්ල නම දෙනෙක් අඬහැර තිය තියා දක්කනව- එකෙක් වඳුරෙක් තරම ඇති රැහැයියො.

සරීර කූඩුවේ තරමටම අඬ ඇතුව සීපද කිය කියා යනව. උලමගෙ සිංදුව ඊට වැඩිය මිහිරියි!

නැකත් වෙලාවට හැම පැත්තෙන්ම සංගීතෙ ඇහෙද්දි, තෝන් ලණුව අතට අරං කසේ පාරක් වැනුව.

වැඩි සද්දයක් නැතුව වේගෙන් අද්දන්න ඇහැක් වෙන්න රතේ රෝදෙකට හයි කරල ඇති දුනු දහදාහකට ඉහළ ගාණක්. ඒකත් මුළු ලෝකෙම තියෙන සූක්සම ඔරලෝසු දුසිමක දුනුවලටත් වැඩිය සූස් විදිහටයි.
රතේ පිට පැත්තෙ දජ, පතාක, මල් දම් කියන කොයිවයෙනුත් සරහල.

නැකත් වෙලාවට හැම පැත්තෙන්ම සංගීතෙ ඇහෙද්දි, තෝන් ලණුව අතට අරං කසේ පාරක් වැනුව. යානාව දියත් උණා. පැය තුනකින් එංගලන්තෙ ගොඩබිමයි, වයිට් දූපතයි අතරට ගිහින් නැවතුණ.
දවස් හතරක් මෙතෙන මිඩංගු උණා, මගෙ ආරස්සාව යටතේ යන්න හිටිය කණ්ඩායමක් එනකං. ඒ කලක ඉඳන් බෝල්ටික් මුහුදට යන්න හරිබරි ගැහිච්චි යුද්ද නැව් කණ්ඩායමක් - ඒක වරහත් වෙලා, දැන් මේ මගෙ පස්සෙන් මද්යදරණි මූදට යාගන්න!

හොන්ඩර දෙකේ තුනේ විසාල කොකු ජාතියකින් නැව් ඔක්කොම අපේ වාහනේ රෝදවලට ඇමිණුණා. බොහොම ලේසි වැඩේ. හිතූ ගමන් ඇමිණෙණව. හිතූ ගමන් ගැලවෙනව.

නැව්වල කාල තුවක්කුවලින් ආචාර වෙඩි මුරයක් තිබ්බ. තුන් සැරයක් හුරේ දැම්ම. මම කසේ අතට ගත්ත. ඔන්න!
පෙරළගෙන යන්න ගත්ත. උස්සපු කසේ පාත් කරන කලියෙන් අපි ඔක්කොම ජිබ්රෝල්ටා ගල ගාව.

නැව් හමුදාව කොකු ඔක්කොම ගලව ගත්ත. මම ඒ මුලාදෑනින්ට අවසර දීලා පිටත් කෙරුව, තනියම යන්න ආපු දිහාවට යා ගන්න.

ඩේසි ආච්චී ගෙනිහින්ද මන්දා...  

මගෙ අලුත් පන්නෙ වාහනේ දැකල මුළු බලකොටුවම උඩ ගිහිල්ල හිටිය. එතෙන නිලදාරීන්ගෙ වදෙන් බේරෙන්න බැරුව මම ගොඩ බැස්ස. ගොඩ බැහැල මේ කළුගල් කෑල්ල ආයෙත් සැරයක් බලා ගත්ත.

(ඔය කළුගල් කෑල්ල කියද්දී මට මතක් වෙන්නෙ කිලෝ 510 නිල් මැණික් ගල් පොකුර! අර රුපියල් කෝටි 5,000 ලන්සුවකුත් ඇවිත් තිබුණේ... ඒත් දුන්නේ නැහැනෙ. ඊට වැඩි ගාණකට වික්කද- නැතිනං කාගෙ හරි සේප්පුවක් ඇතුළේ හොරෙන්ම නිධන් වෙලාද- ඩේසි ආච්චී ගෙනිහින්ද මන්දා... දන්න-කියන ඇත්තෙක් ඉන්නවා නං මේ මටත් කියලා එවන්නකො, තරහ නැතිව.)
කොයි තරං අපරාදයක්ද? එලොව මෙලොව දෙකටම නැති මේ කළුගල වෙනුවෙන් වෙඩි බේත්වලට පුච්චපු සල්ලියෙන්- ලෝකේ ඕනෑම තැනකින් ගන්න තිබුණ නේද මේ වගෙ දෙකක් වටින ඉඩම් කෑල්ලක්?

රතේට නැඟිල ආයිත් මෙලෝ සිහියක් නැතුව දැක්කුව, මද්යදරණි මුහුද හරහා කැන්ඩියා දූපතට. එහෙදි රජකමක් ඇඟට කඩා වැටෙන්න වගෙයි. රුසියාවට විරුද්ද යුද්දෙට සහබාගි වෙන්න කියල, තුර්කියෙ මහ වාසලෙන් ආරාදනාවක්. මට ලැබෙන ගතමනාව?
කැන්ඩියා දූපත මගෙ තනි බුත්තියට පවරල දෙන්න.

දූපතක්ම පවරල දෙන්න? යුද්දයකදී පැත්තක් ගන්නවා නං ‘කාසි වඳ වෙන විත්තිය’ මේ මෑතකදීත් හොඳට පෙනුණා.
නැති වෙන්න දේවල් තියෙන ඇත්තන්, නැති වෙන්න දෙයක් නැති ඇත්තන්ව පරද්දන්න බොරු වළවල් කපමින්; උගුල් අටවමින් ඉන්න සමයයි දැන් උදා වෙලා තියෙන්නේ. බිය ගැන්වීම් එහෙමත් කෙරෙන! ඒ සෙල්ලම්වල එපිසෝඩ්ස් ටික තවම ඉවර නෑ... දැන්ම ඉවර වෙන එහෙකුත් නෑ.
ඒ අතරේ දැන් තමයි ‘ආදරයේ අරගලය’ ගැනයි, වෙච්ච හා වෙච්චි නැති දේවල් ගැනයි විමර්ශනශීලී විග්‍රහයන් කෙරෙන්නේත්.

කිසියම් අර්බුදයකදී කලබල වෙලා හැඟීම්බර වෙලා මෝඩයෙක් වගේ හත් පොලේ ගාගන්නේ නැතිව තත්ත්වය හොඳට ඇනලයිස් කරලා අත්දැකීම්වල මතක සමග ගලපා....

චන්දිම ගෝමස් මහත්තයා ලියලා තිබුණා අපූරු blog post එකක්. ලංකාවට what happened? එදා අද සහ හෙට පලිඟු බෝලයෙන්’
පෝස්ටුව වගේම comments ටිකත් හරබරයි. මෙන්න ඩිංගක්. කියවපුවාම හිතට දැනෙනවා නං, ගිහින් කියවල බලන්නකො.

ඔබ ජීව විද්‍යාව හදාරා තියෙනවා නම් දන්නවා ඇති මිනිස් මොළයේ ඉස්සරහින් තියෙන කොටස (Prefrontal Cortex) පූර්ණ වශයෙන් වර්ධනය වෙන්නේ වයස අවුරුදු 25 ක් වත් වෙනකොටයි. ඒ කොටස තමයි අපට ඥානයදෙන්නේ. ඒ කියන්නේ කිසියම් අර්බුදයකදී කලබල වෙලා හැඟීම්බර වෙලා මෝඩයෙක් වගේ හත් පොලේ ගාගන්නේ නැතිව තත්ත්වය හොඳට ඇනලයිස් කරලා අත්දැකීම්වල මතක සමග ගලපා තීරණ අරගෙන කටයුතු කරන්න හැකියාව දෙන්නේ මොළයේ ඒ ඉදිරි කොටසෙන්. බුද්ධිමත්ව වැඩ කරනවා කියන්නේ ඒකෙන්. මම මේ කියන්නේ ඉතාම සරලව.

සාමාන්‍යයෙන් ටීන් වයසේ ඉඳලා අවුරුදු විසිපහ අතර කාලය තුළ තරුණ තරුණියන් මෝඩ අවදානම් සහගත සහ ජෝක් වැඩ කරන්නේ ඒ ඉදිරිපස කොටස තවම හරියට වර්ධනය වෙලා නැති නිසයි. ලංකාවේ ඔය රැඩිකල් කියලා වචනයක් දාගෙන චාටර් වෙන වැඩ කරන්නේ ඒකයි.

සාමාන්‍යයෙන් අවුරුදු 30 පැනලා වයස යනකොට මොළයේ මේ ඉදිරිපස කොටස සහ අනෙකුත් කොටස් සමග හැදෙන ස්නායු සම්බන්ධතා තහවුරු වෙන්න පටන් ගන්නවා. මයලින්වලින් ඒ ස්නායු සෛල වටවෙලා විද්‍යුත් රසායනික සම්බන්ධතා තීව්‍ර වෙනවා.
එතකොට ඕනෑම දෙයක් ගැන තීරණ ගන්නකොට මොළයේ විවිධ කොටස් අතර සම්බන්ධයෙන් සමබරව හිතනවා. අවදානම් සළකා බලනවා. තාවකාලික කික් එකක් එන මෝඩ වැඩ කරන්න ඉස්සෙල්ලා හොඳට හිතනවා.

ඒ නිසා තමයි සාමාන්‍යයෙන් ආයතනයක වුණත් තීන්දු තීරණ ගැනීමට අවුරුදු 35 ටවත් වැඩි වයස්වල අය යොදාගන්නේ.

ඔවුන් හැසිරුණේ උන්මාදයකින් වගේ. මේකත් ඒ වයසේ ලක්ෂණයක්. එනම් තමන්ගේ සමවයසේ අය ගොඩක් ඉන්නකොට...

අපි දැක්කා ලංකාවේ රනිල් වික්‍රමසිංහ මහතාට බලය ලබා දීමට ක්‍රියාත්මක වූ මේ අරගලය තුළ මේ හැසිරීම්. මොළයේ ඉදිරි කොටස හරියට වර්ධනය නොවුණු තරුණ තරුණියන් තමයි එහි වැඩිපුරම හිටියේ. කෝච්චිවලින් වැඩිපුරම කොළඹ ආවේ ඔවුන්. අවාසනාවකට දැන් ඒ සමහරු හිරේ. ඔවුන් හැසිරුණේ උන්මාදයකින් වගේ.

මේකත් ඒ වයසේ ලක්ෂණයක්. එනම් තමන්ගේ සමවයසේ අය ගොඩක් ඉන්නකොට විවිධ ආකාරයේ හැකියාවන් ශිල්ප, ජෝක් කරලා කට්ටිය පුදුම කරවන නැත්නම් හිනස්සන ගතිය එම වයස් වල සාමාන්‍ය පුරුද්දක්. කොළු ගැටව් ඔය විකාර වැඩ එහෙම කරනවා ගැටිස්සියන්ට පේන්න.
ටික්ටොක් යූටියුබ් ෆේස්බුක් ලයිව් ඇවිල්ලා තමන්ගේ විවිධ ආකාරයේ හැකියාවන් පෙන්වන්නේ ඒකයි. ඒක මානව හැසිරීම් රටාවේ ප්‍රාථමික මේටින්ග් චර්යාවක්.

සාමාන්‍යයෙන් වාමාංශික මතධාරීන් ලෝකයේ කොහෙත් විප්ලවවලදී යොදාගැනෙන්නේ මෙන්න මේ වයසේ සෙට් එක.

ජේවීපී පෙරටුගාමී පක්ෂ විසින් අපේ මවු රට ලංකාවේ විශ්ව විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් හැමදාම කඳුළු ගෑස් ජල ප්‍රහාර කන්න දක්කන්නේ මෙන්න මේ ජීවවිද්‍යාත්මක කාරණය අවභාවිතා කරලා. මොකද ඔවුන්ගේ මොළය තවම පූර්ණ වශයෙන් වර්ධනය වී නැති නිසා ඒ තමන්ට කරන අපයෝජනය තේරුම් ගන්න ඔවුන්ට බැහැ. ඔවුන් හිතන්නේ ඔවුන් කරන්නේ වීරකමක් කියලයි...’

නිවැරදි පියවර තබමින් ක්‍රියාත්මක වෙන්න නං මේ වගේ කරුණු හැම එකක්ම දැන හිටීම වැදගත් වෙනව නේද? එතකොට අගතියකට නොයා- දෙගිඩියාවකින් තොරව වැඩ කරන්න පුළුවනි.

ඒ පාර රට දෙවනත් කරගෙන ගොහින් ක්ලියෝපැට්රාගෙ ඉඳිකටුව කියල කියන හතරැස් ටැඹේ ඇමිණුණා!

එක පාරටම මගෙ හිත දෙගිඩියාවට හිටිය. අහක දාන්න පුළුවන්ද, කීයත් වටින දූපත් පිංචක්? සීනිවලින්, වයින්වලින් පිරිලා ඉතිරෙන රටක් නොවැ? අනිත් අතට නැඟෙනහිර ඉන්දියා වෙළෙඳ සමාගමට මේ ජාවාරමෙන් වෙන්න යන පාඩුව මතක් උණහම කීයටවත් එපා කියල හිතා ගත්ත.

කැන්ඩියා දූපතේදී හොඳට සප්පායම් වෙලා පිටත් වෙච්චි ටික වෙලාවකින්, මිසරෙට ළඟා උණා. මූදුකරේට වෙන්න මේ රට බොහොම පාතයි. ඉතිං, රට ඇතුළට එනකං මම දන්නෙම නෑ. ආපු පාරට, පොම්පේයි කියන රෝම අදිපතිය ගොඩ නංගපු කුලුන වාහනේ රෝදවල පැටලිච්චි. ඒකට උහුලන්න බැරි තරමට අලාබහානි සිද්ද උණ.

ආයිත් පිම්මක් දැක්කුව!
ඒ පාර රට දෙවනත් කරගෙන ගොහින් ක්ලියෝපැට්රාගෙ ඉඳිකටුව කියල කියන හතරැස් ටැඹේ ඇමිණුණා. (ඒක තමයි පස්සෙ අහුලගෙන ගිහිං ලන්ඩන් නුවර ගංකණ්ඩියේ හිටවල තියෙන්නෙ.)

මගෙ වාහනේ ඒ මඩ වගුරෙයි, මේ මඩ වගුරෙයි වැටි-වැටී බැරි පුළුවන් ගායෙන් ඉස්සරහට ගියා. මගෙ අහිංසක ගොන්නු මෙහෙම තෙනදී කර අරින ජාතියෙ නෙවෙයි.

සූවස් පාරෙ ඔය තියෙන බිම් කෑල්ල හරහා රතේ ඇදගෙන රතු මූදට කිට්ටු කළා. අපේ වාහනේ ගිය පාරට ඒ දිගටම පොඩි පහේ ඇලක් හෑරුණා. ඔය ඇල පොඩ්ඩ තමයි, අර මුළාවැල් පාග ගත්තු ඩිටෝ සාමි කියන්නෙ, මද්යදරණියෙ ඉඳල රතු මූදට ටොලමි රජවරු කප්පාපු ඇලේ නස්ටාවසේසයි කියල. මේකේ හැබෑ කත්තුරු කවුද?
මගෙ වාහනේ! සුරංගනා අග්ර මහේසිකාවුන්ගේ මංගල රතේ!

දිගටම සුබ පැත්මෙ තුඩුවට යනකල් මූදෙන් යන්න හිතා ගත්ත.

ආදි කාලෙ මිසර දේසෙ පුදුමාකාර කරුමාන්තකාරයො හිටියයි කියල කතාවක් නං තියෙනව. ඒ උණාට දැන් නං මගෙ වාහනේට දාන්න අලුත් දුනු ටිකක් හදා දෙන්න පුළුවන් එකෙක් නෑ; යන්තරේ සුළු සුළු පරස් හරි ගස්සන්න සමතෙක් නෑ.

මෙහෙම දුනු පණ නැති අබලන් රතේකින් ගොඩබිම හරහා, නයිල් ගඟ ඉස්‌මත්තෙ තියෙන කිරිගරුඬ පරුවත උඩින් යන එක අවදානම් හින්ද- දිගටම සුබ පැත්මෙ තුඩුවට යනකල් මූදෙන් යන්න හිතා ගත්ත. එහෙදි බැරි වේයැ, ඕලන්දක්කාර කම්මල්කාරයොයි වඩුවොයි ටික දෙනෙක් අල්ල ගන්න. ඒත් නැත්තං ඉංගිරිසිකාර කරුමාන්තකාරයො ටිකක්වත්.

උන් ලව්ව හොඳ හැටි රතේ මකුළු දැල් කඩවගෙන, කෙළින්ම රට මැද්දට ඇදෙන්නයි මගෙ අදහස.

ගොඩබිමේ වාගෙ නෙවෙයි, දිය උඩ යනකොට රෝදවලට කිසි අමාරුවක් නෑ. නැප්චූන් කියන මූදු දේවතාවගෙ රතේ වාගෙ විදුලි වේගෙන් රැල්ල උඩින් යන්න ගත්ත. රතු මූදෙන් දියත් කරල, අපි නිකං බලන්නත් එක්ක පිම්ම ඇල්ලුව- බාබල්මැන්ඩල් දුර්ගේ හරහා අප්රිකාවේ බස්නාහිර වෙරළට.
ඇලෙක්සැන්ඩර් රජ්ජුරුවන්ටවත් තිබුණෙ නෑ, ඔය පැත්තට පය තියන්න එඩිතරකමක්!

ඇලෙක්සැන්ඩර් කොහෙද මගෙ අහලකට එන්නෙ?

දක්කගෙන ගියා හුළඟේ වේගෙන්. තුඩුව හරියේ මූද අද්දර නවත්තන්න ගිය ගමන, කරුමෙට- ළඟටම එනකං පිම්ම ඇල්ලුව.
දැන් මේස කන්ද කියල ඉංගිරිසිකාරයෝ කියන පරුවතේ හැප්පිල, මගෙ රතේ දකුණු පැත්තෙ රෝද ටික පොඩි පට්ටම් උණ. යන්තරේ තවමත් දුවනව. ඒ ගමනට පරුවතේ හරි මැද්දෙන් දෙදරුම් කාල, කෝම් පිට්ටුවක් වගෙ තිබිච්ච ඉඟටිය කෑල්ල මූදට වීසි වෙලා ගියා. කලින් උලට තිබිච්ච පරුවතේ මුඳුන මේකෙන් සමතලා වෙලා- මේසෙක හැඩහුරුකමට හිටිය හින්ද තමා, මේකට ඔය මේස-කන්ද කියල කියන්න පටන් ගත්තෙ.

උඹයි මගේ නංගි කියල - පද හදනා අය දන්නෑ!
අපි හරි සමර්ථයි පෙනෙන පෙනුමෙන්ම යමක් මනින්න- ඒව නම් කරන්න- ඒව විග්‍රහ කරන්න. ඊටත් වැඩිය සමර්ථයි ඒ කියන පමාවෙන්ම එව්වා පිළිගෙන එව්වට ප්‍රතිචාර දක්වන්නත්.

මේසයක් වගේ පෙනෙන නිසා මේස කන්ද කියනවා වගේ ලෙහෙසි නැහැනේ මනුස්සයන් අඳුනගෙන නම් කරන්න. ඒක කොයි තරම් පරෙස්සමෙන් කරන්න වෙනවද කියල පහුගිය දවස්වල පෙනුණා තරුණ හාමුදුරුවන් වහන්සේ කෙනෙක්, තමන්ගේ එක කුස උපන් සහෝදරිය එක්ක උදේ පාන්දර මහරගම පිළිකා රෝහලට එන අතරේ කවුදෝ අරගත්තු වීඩියෝ එකෙන්. එයාලා ආවේ ඉස්පිරිතාලේ ඉන්න අම්මව බලන්න...

කයි-කතන්දර පැටව් ගහන අතරේ, ඇත්ත ඉක්මනින් එළිදරව් වුණ නිසා හොඳයි... ඒ ෆොටෝ එක නිසා ‘ඇතිලිවැවේ දීපානන්ද හාමුදුරුවන් වහන්සේ’ ලියූ අපූරු කවි සංකල්පනාවක් කියවලා ඉවර වෙලා අපි යමු, පොතේ අන්තිම පරිච්ඡේදයට.

පොඩි සාදුගෙ කෙල්ල

සිවුරෙ ගහල නැති හින්දා
මමයි උඹේ අයිය කියල
නංගියෙ ඈතින් ඉඳපන්
පදේ හැදෙයි කෙල්ල කියල

අම්මා දන්නවා වුණත්
උඹයි මගේ නංගි කියල
පද හදනා අය දන්නෑ
එක අම්මගෙ දරුවො කියල

ගින්න නිසා දුමක් නැගෙයි
පොඩි සාදුගෙ කෙල්ල කියල
හිත හදපන් ඉවසීමේ
පාරමිතා පිරුව කියල

බුදුන් පුදන මම දන්නව
හරි වැරැද්ද මොකක් කියල
උඹ පලයන් මගෙ නංගියෙ
කඳුළු මල්ල බිමින් තියල 

දහඅටවෙනි පිම්ම
චන්ද්‍ර වංශික ගෝත්‍රයක්

කලින් ආපු රතේ අලුත්වැඩියා කරන්න කම්මල්කාරයන්ට පවරල, ඒරොප්පාකාරයො තුන් හතර දෙනෙකුත් අල්ල ගෙන- මම ගියා, හිතාගෙන ආපු හැටියටම රට ඇතුළට යන්න.

දවාලට කැලෑ වැදිල මදියි නොකියන්නම දඩයම් කරනව. රාත්තිරියට කඳවුරු බැඳගෙන...

තුඩුව පලාතෙ ඕලන්ද ආණ්ඩුවෙන් අපට හරි සැලකිලි. අපේ ගමනට හැම උදව්වක්ම දුන්න. එකත් එකට ඕලන්දේ මහ රජුරුවන් වහන්සෙ මේ ගැන කියල එවන්න ඇති කල්-තියා.

ඒක මේක කොහොම උණත්, වැදගත් මහතුන්ට වාගෙ සලකල වයින් කනාත දෙක තුනකුත් තෑගි කළා.

අපි යන හරියෙ රටේ පොළොව ගැන නං කියන්න වරදක් නෑ. දුරාවතේ තෙනක් ඇරෙන්න, අනිත් හැම අඟලකම ඕනෑම වගාවක් දාන්න පුළුවන් හැඩයි පේන්නෙ.
මේ පළාතේ ඉන්න සුවදේසිකයොයි, කොටෙන්ටොට්වරුයි ගැන විස්තර ලාබෙට කියවන්න ලැබෙන හින්ද මොනවටද, මගෙ කට මාන්සි කරවන්නෙ?
රට ඇතුළට වෙන්න වෙන්න නං ඔක්කොම වෙනස්. මිනිස්සුන්ගෙ පෙනුමත් අමුතුයි. ගතිගුණයි, කෙරුවාවයි දෙකම වෙනසියි!

තාරුකාවලයි, කොම්පාසුවෙයි පිහිටෙන් තමා අපි පාර බලා ගත්තෙ. දවාලට කැලෑ වැදිල මදියි නොකියන්නම දඩයම් කරනව. රාත්තිරියට කඳවුරු බැඳගෙන ගුළි ගැහිල නිඳා ගන්නව- සත්තුන්ගෙන් බේරෙන්න.
එක දවසක් උදේ පටන් ගත්තු ගමන්- රෑ වෙනකං හතර වටේටම ඇහෙන්න උණේ සිංහයන්ගෙ ගර්ජනාව. කන්දෙන් කන්දට වැදිල, දෝංකාර නැඟ නැඟ එනව. වනන්තරේ කවුරුත් එකතු වෙල අපිව පිළිගන්න සූදානං වෙනවද කියලත් හිතුණ.
එදා දවසේ අපි ඉස්සරහට ගියෙ බොහොම සීරු-මාරුවෙන්. අපේ දඩයක්කාරයො තවලමෙන් අත දිග සෙව්වෙන් එහාට පය තිබ්බෙ නෑ. එදා රෑත් වෙනද හැටියටම නිඳා ගත්ත, වටේට ආරස්සාවට වැටකුත් බැඳගෙන.

මෙහෙම තෙනකදි ගන්න මම ගෙනත් තිබුණ ලොකු තාර පීප්පයක්. ඕකෙ පැත්තකින්...

කොට්ටෙට ඔළුව තියන්න හම්බ උණේ නෑ; වටේටම ජාතික ගීය කිය- කියා කිට්ටු කරනවා... සිංහයො දාහකට නං අඩු නෑ!
අඩි සීයකට වැඩි ඈතකත් නෙවෙයි. අපේ හරක් තමා හොඳටම බය  උණේ. මර බෙටි දාගෙන වෙව්ලන්න ගත්ත.

හැමෝටම තුවක්කු අතට අරං සීරුවෙන් ඉන්න නියම කළා. මං කියනකං වෙඩි තියල කලබල කරන්න බෑ. මෙහෙම තෙනකදි ගන්න මම ගෙනත් තිබුණ ලොකු තාර පීප්පයක්. ඕකෙ පැත්තකින් හිලක් විදල වටේටම පෙරළගෙන ගියා, තාර පටියකුත් කඳවුර වටේ හිටින්න. තාර පටියට ඇතුළෙන් වෙඩි බේත් වටේකුත් හැලුවා.
දැන් ඉතිං උන්දැල ආපුවාවෙ!

මේ බයානක සත්තුත් අපේ හය්ය දැනගෙනද කොහෙද කිට්ටු උණේ හුඟක් පරෙස්සමින්- හිමිහිට. බූමි කම්පාවකට දෙවෙනි නැති විදිහෙ ගෙරවිල්ලකුත් ගොරවගෙන ඔක්කොමල එක ගාණට අඩි තිය තියා ආව. ඇවිල්ල ඇවිල්ල හතර ගාතෙම තාර ගොඩේ එරුණහම, ලේද කියල ඉව කර කර හොම්බත් ඔබාපි!
කකුල්වල වාගෙ මූණු පුරාත් තාර තට්ටුවක්.

ඔන්න! සිංහයො පරපුරම එක පෙළට ඉඳන්, අපි දිහාවට මාරක පිම්ම පනින්නයි බලන්නෙ. මමත් පිස්තෝලෙ අරං වෙඩි බේත් වළල්ලට අල්ලල ගැස්සුව.
බට කැලේට ගිනි ගත්තහෙ පට පට ගාල හැම පැත්තෙන්ම පුපුරන්න හිටිය. සිංහ රැළෙන්ම එක ළතෝනියයි. හතර ගාතෙට පිං දිදී දුවනව නේද? තව මොහොතෙන් ඈත වනන්තරේ පුරාම කෙඳිරි ගගා යනව පේන්නෙ, බලන්න ලස්සන පන්දම් පාලියක්!
තාර ගෑවිච්ච මූණුයි, කකුලුයි පත්තු කර ගෙනනෙ, උන් දිව්වේ.

දැන් සිංහ දඩයමේ යන්නයි. ඔක්කොටම අණ දුන්න හැම පැත්තෙන්ම සිංහයො ලුහු බඳින්න.
උන්ගෙම පන්දම් එළිය අපට පාර පෙන්නුව. වටින් ගොඩින් එළිය වැටීගෙන එනකොට පිච්චිල, නැත්නං අපේ වෙඩි කාල සිංහයො එකෙක් නෑර කම්මුතුයි. එයින් පස්සෙ ඒ ගමන හමාර කරනකං සිංහයෙකුගෙ කටහඬක්වත් ඇහුණේ නෑ.

ඔහොම ගිහිං ගිහිං අපි වැටුණ; මහා වාලුකා කාන්තාරෙකට. ඉමක් කොණක් නැති තැන්නක්.  

ඒ තියා කිසිම නපුරු සතෙක් නෑ, අපි යන පැත්ත පළාත බැලුවේ.

ඉස්තානේ හැටියට කස්තානේ දාන එකේ මහිමෙ තමා!
බයානකම සත්තුන්ට උණත් මතක හිටින්න පාඩමක් ඉගැන්නුව.

ඔහොම ගිහිං ගිහිං අපි වැටුණ; මහා වාලුකා කාන්තාරෙකට. ඉමක් කොණක් නැති තැන්නක්. බැලූ බැලූ හැම පැත්තකටම සාගරේ වගෙ විහිදෙනව. ගහක් කොළක් නෑ, අනුපානට තණකොළයක් තරමවත් හොයා ගන්න නෑ. පදමට හීන් වෙච්ච සුදු වැල්ලට රත්තරං කුඩක් හාමු වෙලා. වී ඉහපු ගාණට හැම තෙනම පුංචි පුංචි මුතු ඇට. රත්තරං කුඩෙන්වත්, මුතු ඇටවලින්වත් අපට වැඩක් වෙන හැඩක් නෑ.
එංගලන්තෙට ආපහු යන්න වෙන්නෙ තව කොයි කාලෙකින්ද?

ඇස් දිස්ටියට අහු වෙන නොවෙන තරං ඈත දුමක් නඟින්න වාගෙ පෙනුණ. චීනක්කන්නාඩිය දාල බැලින්නං, වැල්ල අවුස්සල- අහස පොළොව එකට ගලතගෙන එන හුළි හුළඟක්.
මම වහාම මගෙ හවුල්කාරයන්ට කිව්වා, කොටන් හිටවල පොඩි මැස්සක් අටවන්න කියල. මාන්සි නං තමා. ඒ වුණත් කියන්න ඉස්සෙල්ල වැඩේ කරල ඉවරයි. අපි ගාව තිබිච්ච ලී කොට වටේට අහුරල ලෑලිවලින් හෙවිල්ලුව. මේක වෙන බව දැනගෙනමයි අපි ඔය කැලෑ ගස් උස්සං ආවේ.

මැස්ස යටට රිංගන්නත් කලියෙන් වැල්ල ගලා එන්න පටන් ගත්ත. ඒක එක අතකින් කුණාටුවක්. අනිත් අතින් මූද ගොඩ ගලා ඒමක්. හුස්ම ගන්න නැවතිල්ලක් නැතුව, ඒ ආපු පැත්තෙන්ම එකාකාර ගලන්න හිටිය දවස් තුනක්ම. අපේ මැස්ස හොඳ හැටි යට වෙලා. අපි ඔක්කොම පණ පිටින් පස් වහල දාලා. වළ ඇතුළේ ඌස්ණෙ  දරා හිටින්න බෑ.

මීයො වාගෙ හාරල හාරලා ආයිත් මනුස්ස ලෝකෙට පහළ උණා.  

කන් දිහාල බැලුවහම සද්දයක් නැති හින්ද අපි දැනගත්ත කුණාටුව නැවතිච්ච විත්තිය.

මීයො වාගෙ හාරල හාරලා ආයිත් මනුස්ස ලෝකෙට පහළ උණා. හොඳ වැලි වරුසාවක් වැහැල තියෙන්නෙ.

හුළඟ පටන් ගනිද්දි තිබුණ වැලි කඳු ගැඩලි ගොඩැලි මොකවත් නෑ. මහ මූදේ රැල්ල ගහන්න වාගෙ එක තාලෙට වැලි ඉහිරිච්ච තැනි තලාවක්. බැදිච්ච වැල්ලට යට වෙලා තිබුණ අපේ වාහනෙයි, සිව්පාවොයි මතු කරගෙන යහතින් පිටත් උණා.

ඔය මාදිලියෙම වැලි කුණාටු බර ගාණක් ඊට පස්සෙත් පැන නැංගා. කලින් මන්තරේම මතුරල ඔක්කොගෙන්ම ගැලවුණ.

දැන් මේ වැලි තැනිතලාව දිගේ හැතැප්ම නව දාහකට වැඩිය එන්න ඇති- අව් දාරණේ. ආසාවට කකුල තෙමා ගන්න ඇලක් දොළක් නෑ. වැහි පොදයක් දැකපු කාලයක් මතක නෑ. මෙහෙව් අපායක වැටිච්ච අපට උන්නත් එකයි මළත් එකයි කියල හිතුණ.

ටිකක් දුර යනකොට බොහෝම ඈත මතු වෙන්නෙ කඳු වැටියක්.
දැකපු දැකිල්ලටම ඉහේ මලක් පිපුණ. ළං වෙන්න වෙන්න කඳු වැටිය පුරාම තනිකර නිල්ල. ගහකොළවලින් හිඟයක් නෑ. කඳුහෙල් අතරෙ මල්වලින් පිරිච්ච මේ ගස් දකින එකට වැඩිය තවත් ඇහැට සනීපයක් ඇද්ද මේ වෙලාවෙ? තාල වර්ගෙ ගස් ගොන්න ඊටත් අලංකාරයි. ඒරොප්පෙ තියෙන්නෙ මොන ගස්ද ඒවා දිහා බැලුවහම?

හැම ජාතියකම ගඩාගෙඩි කැලේට වැවෙනව. මුවෝ, බැටළුවෝ, මී හරක් පොදි පිටින් එහෙ මෙහෙ දුවනව. ගස්වල ලැගගෙන අඬන කුරුල්ලන්ගෙ නාදෙ කණට මී පැණි වත් කරන්න වගෙ.
මේ වගෙ කැලෑවක අයිනක් අල්ලල ඉන්න ඇත්නං ඒකත් සැපයි!

රාජකීය ආයිත්තමින් සරසපු ලොකු ඔටුවෙක් පිටිනුයි රජ්ජුරුවො යහපත් උණේ.

කන්දක් හැබෑ නං පල්ලමකුත් තියෙනවනෙ. කන්ද බැස්සහම වැටිච්ච මිටියාවතේදි, විඳපු දුකට හරි යන්න දවස් හත අටක්ම සැප අරං, ඔය රටේ රාජදානියට යන්න පිටත් උණ.

රාජදානිය තියෙන්නෙ විසාල ගඟක් අද්දර.

රජ්ජුරුවො පිරිවරත් එක්ක පෙරහරකින් අපට පෙර ගමන් කළා. රාජකීය ආයිත්තමින් සරසපු ලොකු ඔටුවෙක් පිටිනුයි රජ්ජුරුවො යහපත් උණේ.
අනිත් හැමෝම රාජ ගවුරවයෙන් පයින්මයි එන්නෙ.

උන්වහන්සෙ රටේ වැඩි දෙනාගෙ හැටියට තරමක් උහයි. අඩි හතරයි අඟල් තුනක් හිටීවි. මූණ අනිත් අයගෙ තාලෙමයි, හිම කැටිය වගේ සුදට සුදේ. රජ්ජුරුවන්ට ඉස්සරහින් රටේ නම් දරාපු සංගීතකාරයො කණ්ඩායමක් ගමන් කරනව. ඒක ඒ රටේ චාරිත්තරයක්.

අපේ සෙනඟට අඩි පනහක් තියා පෙරහර නැවතුණා.

අතේ තිබිච්ච තුවක්කුවලින් වෙඩි මුරයක් තියල, හොරණෑ පිඹල අපිත් ආචාර කළා. තවලම නවත්තල බිමට බැහැල, සේවකයන් දෙන්නෙක් විතරක් එක්ක මම උන්වහන්සෙ ඉස්සරහට ගියා.
රජ්ජුරුවෝ හොඳ ගති-සිරිත් පිළිපදින උත්තමයෙක්. ඔටුව පිටින් බැහැල ඉස්සරහට ආවා.
ඇවිත්, මං වාගෙ දේස දේසාන්තරවල නම ගිය ගමන්කාරයෙක් පිළිගන්න ලැබිච්ච එක පූරුවෙ වාසනාවක් කියල කියාපි!

 ‘ස්ර්ග්නාහ් ද්නා ස්කුහ්ටො

ඒ මදිවට තමන්ගෙ රාජ්ජෙදී හිතේ හැටියට හැසිරිලා විනෝද වෙන්න ඉඩ දෙනවයි කියලත් අවසර ලැබිච්චි.

රජ්ජුරුවන්ට මුළු හිතින්ම ඉස්තුති කරල, මේ තරම් දියුණු සිස්ට සම්පන්න ජනතාවක් අප්රිකාවේ රට මැද්දෙදි මුණ ගැහීම කොච්චර සන්තෝසයක්ද කියලත් මම කියා හිටිය.

මේ මිනිස්සු හඳේ පදිංචිකාරයන්ගෙ ගෝත්තරේකින් පැවැත එන බව මට ඒත්තු ගියා. මොකද හඳේ කතා කරන මුල් බාසාවයි, මද්දියම අප්රිකාවේ කතා කරන බාසාවයි එක වගේමයි.
ඒ ගොල්ලන්ගෙ අකුරු බලා ගන්න කැමතියි නං මෙන්න ඒ බාසාවෙන් ලියාපු වගන්තියක්.

මේ අකුරු පරීක්සා කරන්න මම පුරා විද්යාක්ඥයෙකුට පංගාර්තු කරලයි තියෙන්නෙ.

හඳේ මිනිස්සුයි, සිතියන්කාරයොයි අතරෙ කොච්චර කිට්ටුවර නෑදෑකමක් තියෙනවද කියල උන්නැහේ ඇහේ පැලවෙන්න ඔප්පු කරාවි, උන්නැහැගෙ මීළඟ පොත ලියනකොට. මේ සිතියන්කාරයො උපන් හඳවියක රුසියාවට අයිති හරියක ජීවත් උණේ නෑ. මද්දියම අප්රිකාවෙමයි හිටියෙ. ඒ කාරණේ සහසුද්දෙටම පෙන්නුම් කරන්න මගෙ යාළුවට සාක්කි තියෙනව.

අර කලින් පෙන්නපු වගන්තිය සිංහල අකුරෙන් ලිව්වොත් මෙන්න:

‘ස්ර්ග්නාහ් ද්නා ස්කුහ්ටො’
තේරුම- ‘සිතියන් ජාතිකයෝ දෙවියන්ගෙන් පැවැත එන්නෝය.’

මේ වගන්තිය අදත් බලා ගත්තැහැකි පිරමිඩයක කොටාල තියෙනව- අප්රිකාවේ මැද්දස්සට වෙන්න, නයිජර් ගඟේ ඉස්‌මත්තෙ.
විස්වාස ගන්න බැරි කෙනෙක් ඉන්නව නං දෙපයින් ගොහිං, දෑහින් බලලා හිත හදා ගන්න එකයි. අපෙන් දොසක් නෑ!

අවුරුද්දක් තිස්සේ ඒ ඉලෙක්ට්‍රොනික සඟරාව කියවන මටත් තවම මඤ්ඤං ඒ සඟරාවේ හෙඩිම දැක්කම. සිසිල - සිනුවර සිංහල සාර සංග්‍රහය!සිනුවර කියන්නේ...

ඔය කිව්වෙ හමාර තමා! දැන් ඉතිං කවුරුත් එක්ක නැඟිටිමු.

ආයි - බෝ - වන්!

හුඟක් මිනිස්සු ජීවත් වුණත් මළා වගෙයි. තව සමහරු මැරිලත් දිගටම ජීවත් වෙනවා, මිනිසුන්ගේ හිත්වල. අනේ! මටත් ඩී.බී. කුරුප්පු මහත්තය වගේ මැරිලත් ජීවත් වෙන්න පුළුවන් නම්....

වෙන මොනවා නැති වුණත් කරුණාසේන ජයලත් මහතාගේ ‘ගොළු හදවත’ නවකතාව ආදරවන්තයන්ව කුල්මත් කරවනකල්ම කුරුප්පු මහත්තයත් අදෘශ්‍යමානව ජීවත් වෙනව නෙව. ඒ නවකතාවට වස්තු බීජය වුණේ ජයලත්- පද්මා- කුරුප්පු තුන්දෙනානෙ.

1963 මැංචෝසන් චාරිකා පොතේ සිංහල අනුවාදය පළ කරවපු ඩී.බී. කුරුප්පු මහතා 2017 ජුනි 23 වැනිදා ජන්මාන්තරගත වුණා... අවුරුදු පහකුත් ඉකුත් වෙලා. ඒත් කුරුප්පු මහත්තයාව තවමත් සිහිපත් කරවන අය අපමණයි! මං වහන්සේ ‘ආවොත් නොයා බැරිය’ posts තුනෙන් ඒ රාජකාරිය කළා වගේ නෙවෙයි, අවුරුද්දක් පාසා ‘ඩී.බී.කුරුප්පු අනුස්මරණ කෙටිකතා තරගාවලිය’ක් පවත්වන්නත් එතුමාගේ හිතවතුන් කටයුතු යොදනවා.

ඒකෙත් හැටි! ඒ විත්තිය ‘සිසිල’ සඟරාවෙන් දැක්කත් ඒ ගැන ලියන්න හිතුණේ අදයි. තරගෙට කෙටි කතා යවන්න නං කාලෙ මදි තරං. පිටපත් බාර ගන්නා අවසාන දවස අගෝස්තු 31නෙ.

හැමෝම සිසිල සඟරාව කියවන එකක්යැ? දැන් ඒ ගැන ඔත්තුවවත් ඔයාලට කියන්නෝනි නේද?
අවුරුද්දක් තිස්සේ ඒ ඉලෙක්ට්‍රොනික සඟරාව කියවන මටත් තවම මඤ්ඤං ඒ සඟරාවේ හෙඩිම දැක්කම. ‘සිසිල - සිනුවර සිංහල සාර සංග්‍රහය!’ සිනුවර කියන්නේ ඔස්ට්‍රේලියාව වෙන්නැති. සඟරාව සංස්කරණය කරන්නෙ එහෙ ඉන්න රසික සූරියආරච්චි හිතවතා නෙව. (
රසිකොලොජි බ්ලොගය ලියන්නෙත් උන්නැහේ!)

සිලඞ්ග්නාහ් ද්නා චාන්ද්ඃ සිංහඃහ්ටො

ඔයාලටත් නොමිලේ එවන ‘සිසිල’ පිටපතක් ගෙන්න ගන්න කැමතියි නම්, මෙන්න රසික එවල තිබ්බ පණිවිඩේ ගෙඩිය පිටින්ම.

"සිසිල" මාසික සඟරාවට වසරක් පිරේ.  මේ සමග මා ඔබ වෙත එවන්නේ සඟරාවේ දොළොස්වෙනි කලාපයයි.

මෙවර සඟරාවේ පිටු හතළිහකි. කියවන්න, කරුණාකර ඔබේ අවංක ප්‍රතිචාරය ලබා දෙන්න. සිංහල කියවීමට කැමති ඔබේ මිතුරන් අතරේ බෙදා හරින්න. ඉදිරි කලාප පිටපත් අවැසි අයට පහත ලිපිනයට ඊ-මේලයක් එවන්නැයි කියන්න.
sisila.sangarawa@gmail.com

ඔය මදැයි!
‘සිලඞ්ග්නාහ් ද්නා චාන්ද්ඃ සිංහඃහ්ටො’
තේරුම- ‘සිංහල ජාතිකයෝ චන්ද්‍ර වංශික සිංහලයන්ගෙන් පැවැත එන්නෝය.’ කියලා කියමින් මේ සීරීස් එක ඉවර කරනවා.
(අර කියමන නිකම්ම නෙවෙයි, මම හඳේ බාසාවෙන් කිව්වෙ හොඳේ. හේතු සහිතව! පණ පිටින්ම සනිදර්ශනයක් තියෙන නිසයි මගේ ළඟමත්. මක් කිව්වා? .... දකින්න කැමතියි?

මං පිටිපස්ස හැරිල ඉන්න වෙලාවක බලා ගන්නවලකො- මගෙ හිස මුඳුනෙම තියෙනවා සාක්කිය, දිළිසි-දිළිසී) ෴0෴