li Item

Monday, January 10, 2022

බ්‍රොයිලර් මනමේ! - පළමුවෙනි කොටස

රංජි මල්ලී ඡන්ද රැස්වීම්වලට ගිහින් හිටපු හින්දා මේ සැරේ අපේ පොසොන් නාට්‍යයටත් කෙළවෙන්නයි...

මා මනමේ කුමරිය වුණේ මට අවුරුදු 16ක් වී තිබියදීය.

ඒ සති කිහිපයක් තිස්සේ එක්සත් ජාතික පක්ෂ මැතිවරණ වේදිකාවේ පුංචි කථිකයෙකු ලෙස රටෙන් කාලක විතර රැස්වීම්වලට සහභාගි වුණාට පස්සෙය.

එතෙක් ශ්‍රී ලංකාවේ මැතිවරණවලින් ජයග්‍රහණය ලබා ආණ්ඩු පිහිටවූ කිසිදු රජයකට සිය නිල කාලය සම්පූර්ණ කර ගන්නට වරම් ලැබී තිබුණේ නැත. නමුදු 1965දී බලයට පත්වූ එජාප රජය පළමුවරට තම නිල කාලය අවසන් වෙනතුරුම බලය සුරැකගෙන තිබිණි. එයින් පසුවය, පාර්ලිමේන්තුවට නව මහජන මන්ත්‍රීවරුන් තෝරා පත් කර ගැනීමට සැරසුණේ. ඒ වෙද්දී ශ්‍රී ලංකාවේ රැකියා නැත්තවුන් ලෙස ලියාපදිංචිවූ
තරුණ-තරුණියන් 750,000ක් විනැයි ඉතිහාසය කියයි.

(ඒ මැතිවරණයේදී මා ලද අත්දැකීම් සියල්ලම පාහේ ‘ජීවන නම් වූ’ ලේබලය යටතේ ‘මඩ ගොහොරුවක පච වී’ postsවලින් හෙළි කළෙමි.)

ඒ මහ මැතිවරණය යෙදී තිබ්බේ 1970 මැයි 27 වෙනිදාටය.
පොසොන් පොහොය යෙදී තිබ්බේ ජුනි 19 වෙනිදාටය.

“රංජි මල්ලී ඡන්ද රැස්වීම්වලට ගිහින් හිටපු හින්දා මේ සැරේ අපේ පොසොන් නාට්‍යයටත් කෙළවෙන්නයි යන්නෙ....” රංජිත් ගුණසේකර අයියා කිව්වේ අපේ ගෙදර කෙරුණු කහාබහකදීය.
“ඒකනේ නිමල්, අපරාදේ...” බන්දුල ජයකොඩිත් අත්වැල් ඇල්ලුවේය.

ගොරෝසු කටහඬක් තිබූ; දඩබ්බර චරිතවලට මිස අනෙක් චරිතවලට නොගැළපුණු බන්දුට කලින් වසරේ ‘මාරක හී පහර’ නාට්‍යයේ රඟන්නට චරිතයක් තිබ්බේ නැත. මිනිහා හිටියේ ඒ හිතේ අමාරුවත් දරා ගෙනය.

එකම රටක; එකම රජයක වුවද ඔටුනු පළන් හා නොපළන් නිරින්දෝ ගොඩාරියක් සිටිති!

හිතට අමාරු නැත්තේ කාටද?

අප වැනියන්ට රජ වෙන්නට ලැබෙන්නේ වේදිකාවක් උඩ රජ කතාවක් රඟ දක්වන වෙලාවට විතරය. ඒ වාසනාව ලැබෙන්නෙත් දෙතුන් දෙනෙකුට විතරය. එක නාට්‍යයකට රජවරු වැඩි ගණනක් ඉන්න එකක්යැ. අපේ නාට්‍යයකදී වැඩිම රජවරුන්; රජවරුන් 5 දෙනෙක්ම හිටියේ ‘විධුර ජාතකය’ නාට්‍යයේදීය. ඒ වෙනස් දේශ- දීප පහකය. එකම රටක නොවේ!

(විපරිත කාලවලදී නම් රටක එහෙම නොවේ. Jokerලාත් රජ වෙති.
එකම රටක; එකම රජයක වුවද ඔටුනු පළන් හා නොපළන් නිරිඳුන් ගොඩාරියක් සිටින්නටත් ඉඩ තිබේ!)

බන්දුටම කියාපු චරිතයක් විධුර නාට්‍යයේ නං තිබුණි. පූර්ණක යක්ෂ සේනාධිපති! අපරාදේ කියන්නට බැරිය. කොල්ලා ඒක නං නියමෙටම; හරියටම කළේය.
(මතකයි නේද මේ පූර්ණකයා විධුර පඬිතුමාට හිටි සමරසිරිව
වේදිකාවේදී ඇත්තටම පොළොවේ ගහලා කෝන්තර පිරිමසාගත් හැටි.
එදා එරන්දතී කුමරිය වුණේ මේ ලියන්නාය.)

ඉතිං මේ 1970 අවුරුද්දේ අපෙන් කාටවත්, පැය ගාණකටවත් රජ වෙන්නට බැරි වෙන පාටය!

“මොකක්ද ගුණපාල අයියේ, දෙමුකෝ වැඩක් මේ අවුරුද්දෙත්....”

සහපිරිවර ලබන්නට වාසනාව අපේ තාත්තාටත් ලැබී තිබුණේය. මට ඊටත් වැඩියෙන් ඒක උරුම වෙලා වගෙය. හැමදාම වගේ අපට visitorsලා නොඅඩුව සිටිති.
එදාත් අපේ ගෙදරට නාට්‍ය කණ්ඩායමේ කීප දෙනෙකුම ඇවිත් හිටියේ කලින්ම කතා කර ගෙන වගෙය.

“අයිසේ.... මමයැ ඔව්වට කර ගහන්නේ? කට්ටියම එකතු වෙනවා නං ඔව්වත් වැඩයැ. හැබැයි පුතෝ, අර අපේ අම්මා කියනවා වගේ ‘ගොඩැල්ලේ තරම දැනගෙන ළිඳ කපනූ - කඩුල්ලේ තරම දැනගෙන කද බඳිනූ’ කියන එකත් මේ වතාවේ හොඳටම හිතට ගන්න වෙයි.” තාත්තා කිව්වේය.

දෙමැට්ටවත් නොගසා තිබුණු අපේ වරිච්චි බිත්තිවල කැලැන්ඩර් කීපයක් නං අඩු නැතිවම එල්ලි-එල්ලී...

“මඤ්ඤොක්ක ආච්චී නං තිස්සෙම කවි- උපහැරණ කියා ගත්තු ගමන්නෙ ඉන්නේ... අපි එච්චර ගාණකට නොගත්තට.”

“ඒකනේ ගුණපාල අයියා... මොකද අද මේ කවදාවත් නැතිව නුහුරට... පස්ස ගහන්නේ....?” ප්‍රශ්නයක් මතු වුණෙන් කතාව දිගට ගියේය.

“අපේ රංජිට බැහැල්ලුනෙ ආයෙමත් පේව්මන්ට් රස්සාවට යන්න. මූ එපැයි අපේ බඩ පුරවන්න. ඉතිං මිනිහා දැන් ඉඳියාප්ප තම්බනවා... එව්වත් කෙරෙන්න ඕනනේ... ඉතිං කොහොමද මේකා ආධාර එකතු කරන්න එහෙම යන්නෙ...” අපේ තාත්තා උත්තර බැන්දේය.

‘හරි! ඒකද ප්‍රශ්නේ. ආධාර එකතු කරන රාජකාරිය අපි කරන්නං. නාට්‍යයක් කරමු!’ පිරිසේ තීරණය වුණේ ඒකය.

“බන්දු, එහෙනම් ඔය කැලැන්ඩරේකින් බලනවකො පොසොන් කවද්ද කියලා.”
ඒ දවස්වල දෙමැට්ටවත් නොගසා තිබුණු අපේ වරිච්චි බිත්තිවල කැලැන්ඩර් කීපයක් නං අඩු නැතිවම එල්ලි-එල්ලී තිබුණේය. අප බිත්තිවල ලොකු කඩතොළු වසාගෙන හිටියේ එව්වායිනි.

“ගුණපාල අයියේ, පොසොන් පෝය වැටෙන්නේ ජුනි 19.”
“එහෙනං පුතෝ වැඩේ අල්ලලා දාමු. තව මාසයක්වත් නැහැනෙ ඕයි!”
“එහෙනං ඉතිං ඇසළ එකටවත් කරමුකො.” අලුතින්ම ඉදිරිපත් වුණු යෝජනාව ඒකච්ඡන්දයෙන්ම සභා සම්මත වුණේය.

“මොකක්ද එතකොට මේ සැරේ කරන්නෙ ගුණේ අයියා...”
“යකඩෝ, තමුසෙලාට තියෙන තදියම... මම රංජියා එක්කත් කතා කරලා හෙට කියන්නංකෝ.” එදා සාකච්ඡාව අපේ තාත්තා නිමා කළේ එහෙමය. “... පැති තුන හතරක්ම තියෙනවා හිතල බලන්න.”

“ඔන්න නිමල්, මටත් පාට් එකක් තියෙන කතාවක්ම තෝරන්න ඕනි මේ සැරේ නං!” ආපහු යන්නට කලින් බන්දුල ජයකොඩි රහසෙන් මට කෙඳිරුවේය. “හරි නේද?”

වැඩක් පටන් ගනිමු කියන්න නං හරිම ලේසියි.... ඒකට සීයක් හිටියත්...

එදා රෑ ඉඳියාප්ප තම්බලා, තෙත රෙදි කඩකින් එව්වා වසමින් පැත්තක තියන අතරේය, අපේ තාත්තා දහවල් සැසියේ දෙවනාර්ධය ඇරඹුවේ.

“වැඩක් පටන් ගනිමු කියන්න නං හරිම ලේසියි.... ඒකට සීයක් හිටියත් වැඩේ පටන් ගන්නකොට හිටින්නේ හැත්තෑපහක් විතර.... එයිනුත් පනහක්වත් හැලෙනවා වැඩේ පටන් අරගෙන කරං යනකොට...” මගේ නිහඬ කන්දීම තාත්තාට ඇල්ලුවේ නැති පාටය.
“උඹ අහගෙනද බං ඉන්නේ...”

“මේ වැඩේ කර-කර හිටියට අහගෙන ඉන්නෙ තාත්තේ!”
“එහෙනං කමක් නෑ! මම මේ කිව්වේ ආධාර එකතු කරන වැඩෙන් හැමදාම cup එක ගැහුවේ උඹලනේ. උඹත් නැතුව මේ යක්කු කොච්චර විතර...”
“නෑ තාත්තේ, දැන් එයාලටත් පුරුදුයිනේ, තුන් පාරක්ම කරලා තියෙන නිසා..” නාට්‍යයක් කෙරිල්ල නොකෙරුණොතින් යැයි හිතුණු නිසා මං බැලුවේ තාත්තාගේ හිත නම්මා ගන්නටය.

එහෙම දේවල් කරන්නට පටන් ගත්තාට පස්සේ එය ඇබ්බැහියක් වෙයි. නැතිව බැරි වෙයි. අනෙක් අය වගේම මාත් බලාගෙන හිටියේ පොසොන් පෝයට නාට්‍යයක් කෙරෙන තුරුය!

‘ජිනාගේ අඩවිය’ blog එක ලියන්නට පටන් ගත් අනුර ජිනදාස සහෘදයා ‘මාරක හී පහර 6’ පෝස්ටුවට comment එකක් එවමින්, මෙතෙක් මා දැනගෙන නොසිටි වචනයක් සඳහන් කර තිබිණි. ‘කුහුළුරු රසය’. ඒ කමෙන්ටුව මෙහෙමය:
‘... ඇත්තටම නාට්‍ය ඇතුළේ නාට්‍ය තමා පෙන්වන නාට්‍යයට වඩා රසවත්.
එකම වෙනස ඒවායේ ප්‍රකට රසභාවය කුහුළුරු රසය වීමයි. ඊළඟ මොහොතේ සිදුවන දේ දැනගත නොහැකි වීමයි....’

අපේ ජීවිත වඩාත් රසවත් වන්නේත් මේ අනපේක්ෂිත දේවල් සිදු වීම නිසා නේද? කුහුළුරු රසය රැඳී ඇති විට නේද....

සකර්බර්ග් 2004දී fb අඩවිය නිර්මාණය කරලා, අපට අපේ විත්ති ලෝකයටම පෙන්වන්න ඉඩක්...

“මට නිඳි මතයි බං... එහෙනම් උඹ ඉතිරි හරිය කරන අස්සේ හිතපං හොඳ කතන්දරයක් ගැනත්. වැඩිය රජවරු ඉන්න එකක් එපා. ගොඩක් කට්ටිය ඕනි වෙන එහෙකුත් එපා. එතකොට ඇඳුම්වලට යන වියදම හෙමත් අඩු වෙනවනෙ. Practice කරන්න තියෙන වෙලාවත් අඩුයිනේ....”

“තාත්තා කියන්නෙ හතර-පස් දෙනෙක් ඉන්න...”

“එහෙම කරලා කොහොමද බං? කොච්චර බැහැයි බැහැයි, ලජ්ජයි කිව්වත් බං.... කොයි කවුරුත් ආසයි කැපිලා පේන්න. නිකමට මතක් කරලා බලපංකො නාට්‍යය පෙන්නන වෙලාවට අපෙන් බැණුම් අහහා මිනිස්සුන්ට පේන්න තිර අස්සෙන් මූණ ඔබන අපේ එවුන් ගැන.... නිකම් ඉන්න හරි කට්ටියත් වැඩියෙන් ස්ටේජ් එකට ගෙන්නන්න පුළුවන් කතාවක්... ප්‍රධාන චරිත තුන හතරක් තිබ්බම ඇති.... එතකොට පුරුදු කරන්නත් ලේසියිනෙ...”

අනේ තාත්තේ, 2000 ගණන් වෙනතුරු ඔයා හිටියා නං!
1984 මැයි 14 වෙනිදා ඉපදුණු
Mark Elliot Zuckerberg තරුණ හාදයා, ඔයාටත් වැඩිය හොඳට මිනිසුන්ගේ කැපී පෙනීමේ ආශාව; ප්‍රදර්ශන කාමය තේරුම් ගත්තු හැටි ඔයාටත් දැක ගන්නට තිබිණි.

සකර්බර්ග් 2004දී fb අඩවිය නිර්මාණය කරලා, අපට අපේ පුද්ගලික උවන්දිරම් සේරම ලෝකයටම පෙන්වන්න ඉඩක් හදලා දුන්නේ මිනිස්සුන්ගේ ඒ ආශාව හොඳින් තේරුම් අරං. ඒ රාජකාරියේ පිහිටෙන් දැන්; 2022 පටන් ගන්නකොට එයා ලෝකේ පොහොසත්ම අයගේ ලැයිස්තුවේ 6 වෙනි තැනට පත් වෙලා. වාසනාවන්ත හාදයා... එයාගේ වත්කම ඩොලර්; $ බිලියන 128ක් කියලයි වාර්තා වෙන්නේ!

ඉතිං එදා ඉඳියාප්ප duty එක ඉවර වෙද්දී, නාට්‍යයේ කතාව ගැන මගේ තීරණය නං අරගෙන තිබිණි.

චුල්ල ධනුර්ධර ජාතකේ... අපේ ආච්චී නිතරෝම කියන්න පුරුදුව හිටි කවි දෙකක් හින්දයි ඒ ජාතක කතාව හොඳටම මගේ මතකයෙ තිබුණේ.

දවසකට පැය දෙකහමාරක් ගණනේ විදුලිය කප්පාදුවක් කරන්න වෙනවලු!

දැන් වගේ හිතට ආව ගමන් පෙරළලා බලන්න ‘පන්සිය පනස් ජාතක පොත් වහන්සේ’ අත පොවන මානයේ තියා ගන්න හැකියාවක්; වත්කමක් එතකොට අපට තිබ්බේ නෑ. අන්තර්ජාලය තිබ්බෙත් නෑ. ඒ තියා ගෙදර එළිය කළෙත් විදුලියෙන් නෙවෙයි; කුප්පි ලාම්පුවලින්!

ඒකත් කොච්චර වාසියක්ද?
දැන් කුප්පි ලාම්පු යුගය ඉවර කෙරිලා ගොඩක් කල්. ඒ වුණාට අපට ආයෙම කුප්පි ලාම්පුවල; ලන්තෑරුම්වල පිහිට හොයාගෙන යන්න වෙලා. දවසකට
පැය දෙකහමාරක් ගණනේ  විදුලිය කප්පාදුවක් කරන්න වෙනවලු! අනේ මංදා.

අපේ රටේ වගේ බලාගාර- යන්ත්‍රසූත්‍ර නිතරම කැඩෙන; නිසි සැලැස්මක් නැති රටවල් තවත් තියෙනවද කියලා හොයල බලන්න කොමිසමක්වත් දානවා නං.....

ඒ යුගයේ, මට ලැබුණු ලොකුම වාසනාව ‘විශ්ව කෝෂයක් වුණු අපේ දසනායක රත්නවතී; මහරගම ආච්චී’.
(දැන් එයා ජන්මාන්තර ගත වෙලා ගොඩක් කල්නේ...)
මං කම්පියුටරෙන් ලියන එක ටිකකට නවත්තලා, ජාතක පොත පෙරළුවා. 368 වෙනි කතාව. ආච්චී කියවපු කවි දෙකත්
‘සිංහල සාහිත්‍ය විශ්ව කෝෂයේ’ තියෙනවා, 535 වෙනි පිටුවේ.
ඩේව්ඩ් කරුණාරත්න මහත්තයාටත් ඒ කවිවල මූලාශ්‍රය හොයා ගන්න ඇහැක් වෙලා නෑ වගෙයි.

මනමේ කුමරිය හිවලාට කියන කවිය:

  ‘බඩ සා දුකට ගෙනියන මස් කැටිය ලොලා
  ගොඩ තබමින් දිය යන මසුට ලොබ   කළා
  උඩ යන උකුසු අරගෙන ගිය පසු නොබලා
  දැන දැන මෝඩකම් කෙරුවද තෝ හිවලා’

ඉස්කෝලේ ඇරිලා ආවම නාට්ටිය ගැන කතා කර ගන්න බැරුවයැ.

හිවලා කුමරියට කියන පිළිතුරු කවිය:

  ‘මනමේ රජුට අග මෙහෙසුන් බිසොව වෙලා
  බැද්දේ උපන් වැදි රජෙකුට සරණ      වෙලා
  පැළඳි ආබරණ ගඟකින් එගොඩ           කළා
  මටත් වැඩිය අනුවණකම් බිසොත්       කළා’

ඉතිං, මනමේ කතාව ගැන මං අපේ තාත්තට කිව්වේ, උදේ පාන්දර.
එතකොට තාත්තයි, සුනිලුයි එකතු වෙලා ඉඳියාප්ප දහය-දහයයි, පොල් සම්බෝල හරි පොල් මැල්ලුම් හරි තේ හැන්දකුයි, මිරිසට උයාපු සාලයෝ කූරියෙකුයි බැගින් කැන්ද කොළවල ඔතන අතරේ... එව්වා විකුණන්න, මං කොළඹ මහ ඉස්පිරිතාලෙට යන්න ලැහැස්ති වෙන අතරේ.

“හරි, හරි.... උඹ මේ යන්න හදන ගමන කල්පනාවෙන් ගිහින් වරෙන්කො. ඉස්කෝලේ ඇරිලා ආවම නාට්ටිය ගැන කතා කර ගන්න බැරුවයැ.” තාත්තා අපේ දෙවෙනි සාකච්ඡාවට වෙලාවකුත් තීරණය කළේය.

“... ඒ කතාව හොඳයි තමා රංජි... උදේ මම අම්මගෙන් කතාව සහසුද්දෙට අහගත්තා. පුළුවන් ඉක්මනට නාට්ටිය ලියපං. දිසාපාමොක් ඇදුරුතුමා මනමේ කුමාරයාට දෝණියන්දෑව පාවා දුන්නාට පස්සේ ඉඳලා කතාව පටන් ගනිං... එතකොට එතැන එක සීන් එකයි.
දෙවෙනි එකට ජෝඩුව කැලේ මැදින් යනවා... ඊට පස්සේ වැදි කට්ටිය....
සීන්ස් හත අටකින් නාට්‍යය කම්ප්ලීට්...”

මං පාසල් අහවරවී ගෙදර එනකොට තාත්තාත් නාට්‍යය ගැන ගොඩාරියක් දුරට හිතා-බලලා ඉවර බවයි, එයාගේ කතාවෙන් පෙනුණේ!

“බන්දුල තමයි වැද්දා...” (එතකොට අද ජනප්‍රියත්වයේ ඉහළින්ම ඉන්නා මුඛරි දේශපාලඥයෙකු වන බන්ධුල ගුණවර්ධනයන් ගැන නොවේ මා කිව්වේ. එවකට ඔහුත් 17 වියැති ගැටවරයෙක් වීල!)
“ප්‍රශ්නේ තියෙන්නේ බන්දුවා කැමැති වෙයිද මන්දා වැදි පාට් එකට.....” තාත්තා කිව්වේය.

“එතකොට මනමෙට?”

බෙන් සිරිමාන්න, ට්‍රිලීෂියා අබේකෝන්, එඩ්මන්ඩ් විජේසිංහ- 1956 මනමේ පළමු දර්ශනයේ- (ෆොටෝ ඩී.බී. සුරනිමල)
“ඒකට නං රංජිත් ගුණසේකර තමයි වැඩිය හොඳ... සුදු මල්ලීව දිසාපාමොක්ට... බිසවට ඇක්ට් කරන්න වෙන්නේ උඹටමනේ.... ඔය plan එක හිතේ තියාගෙන ලියපං... මතක ඇතිව මනමේ කුමාරයා කියලා මිසක මනමේ රජතුමා කියල හෙම කියවෙන්න දෙන්න එපා එක තැනකවත්.... වැදි රජු කියල තුන්-හතර පොළකම ලියපං... එතකොට බන්දුවා පිටපත කියෝලා ආඩම්බරෙන් කැමති වෙයි....”

අපේ තාත්තාගේ ඒ උපදේශ ඔළුවේ තියාගෙන නාට්‍යය ලියාගෙන යද්දී, පොඩි වෙනසක් කරන්නට මට සිතිණි.

“රංජි පුතේ, ඉස්තිරියාවකට තියෙන ලොකුම වස්තුව තමයි පතිවත.... මම කලින් දවසක කිව්වේ, පතිවත රැක්ක පත්තිනි මෑණියන්ගේ කතාව.
මනමේ බිසව එහෙමද? මහා නීච ගෑනියෙක්, අච්චර රටක් වටින කුමාරයෙක් අත ඇරලා මේ කැලේකදී දැකපු වැද්දෙකුට කඩුව දීලා තමන්ගේ ස්වාමියාව මරවන්න වටිනවද ස්තිරියාවකට?
මිනිහෙක් මොන දහදුරාවේ ගියත්; ගිහින් ආපහු ගෙදරටම ආවත් ගෑනියෙකුට එහෙම කරන්න බෑ පුතේ... ගෑනියෙක් වරද්දා ගත්තොත් ආයේ ගොඩ ඒමක් නෑ!
මනමේ කුමාරිට වෙච්ච දේම පෙනෙන්නැතැයි, එදාම පාපේ පටිසන් දුන්නා....”
අපේ ආච්චී කීවේ එහෙමය.

(එයාගේ ආකල්ප ගැන මීට කලිනුත් මගෙන් ලියැවී තිබේ. අපේ සීයාත් කුකුළෙකි... තාත්තාටත් ඒ ජාන එහෙමම ඇවිදින් තිබුණු බව මගේ හැඟීමය...!)

‘ඔය කියන තරමටම ගැහැනු චපලද? පිරිමින් අතරේ චපලකම් නැතිද?  මනමේ කුමරිය හිතාමතාම වැදිරජුට කඩුව දුන්නාද... නැතිනම් එතැනදී යම්කිසි වැරද්දක් සිදු වෙන්නට ඇතිවාවත්ද?’
නාට්‍යයේ අවසන් හරිය ලියද්දී මගේ සිතිවිලි වඩාත් කරදරකාරී වෙමින් තිබුණා මතකය; මනමේ බිසව නිදොස් කරවන්නට මට උවමනා විණි.

ඒ ගැන තාත්තාටවත් මොකුත්ම නොකියා, කොපි පොතක ලියා අවසන් කළ නාට්‍ය පිටපත මං තාත්තාට දුන්නේ හිමිදිරියේ ඉඳියාප්ප පාර්සලුත් අරගෙන ගෙදරින් පිටත් වෙන්නට හදද්දීය.
‘ඉස්කෝලේ ඇරිලා එනකොට කියවලා තියේවිනෙ! එතකොට බලමුකෝ තාත්තා මොකද කියන්නෙ කියලා....’

මට හිතුණා හරිය.

අපි කරන්නේ බණ පොතක් කියවන එකම නෙවෙයිනෙ. නාට්‍යයක් පෙන්නන එකනේ.... මොකද වෙන්නේ වෙනසක් කළාම...

තාත්තා බලාගෙන හිටියේ මං ගෙදර එනතුරුය.

“ඈ බං, උඹ ජාතක පොතේ කතන්දරෙත් වෙනස් කරන්නද හදන්නේ? කොයිකටත්, මම උඹලගෙ ආච්චිගෙනුත් ආපහු පාරක් මනමේ කතන්දරේ නං අහගත්තා...”

“ඉතිං තාත්තේ... අපි කරන්නේ බණ පොතක් කියවන එකම නෙවෙයිනෙ. නාට්‍යයක් පෙන්නන එකනේ.... මොකද වෙන්නේ වෙනසක් කළාම. මනමේ කුමාරි කලබලේ කුමාරයට කඩුව දික් කරනකොට වැරදුණා වෙන්නත් පුළුවනිනෙ.
වැද්දා කඩුව උදුරා ගත්තා වෙන්නත් පුළුවනිනේ....” මම කිව්වෙමි.

“හරි, හරි.... උඹ බත් ටික කාලා හිටහන්කෝ.... අපි තව චුට්ටක් හිතලා බලමුකො.”

එදාම හැන්දෑවේ බුවෙනකබා ඉස්කොලේ ‘සේ’ ටීචර් අපේ තාත්තාව බලන්නට ආවාය. (මේ සේ ටීචර්ටය, 1976දී අපේ තාත්තා සියදිවි නසා ගන්නට යන බව නොකියා කියා තිබුණේ.)
“නිමලෝ.... මෙහාට වරෙන් බං...” ටික වෙලාවකින් ඇය මට කතා කළාය. (
සේ ටීචර්ගේ හැටි එහෙමය. එයා සද්දෙන් කතා කරයි. උඹ- බං කියන්නෙත් රහසෙන් නොවේ!)

“කවුද බං මෙහෙම අයිඩියාවක් දුන්නේ? මරු, මරු බං. ඔන්න මෙහෙම තමයි හිතන්න පුරුදු වෙන්න ඕනි. ජාතක පොත ලියන්න ඇත්තේ හාමුදුරුවරු නෙව කොල්ලො. හාමුදුරුවරුන් වුණත් පිරිමිනෙ... එයාලා ලිව්වය කියලා අපිත් ඒවා එහෙමම පිළිගන්න ඕනි නෑ කොල්ලො!” සේ ටීචර් මගේ පැත්තටය.

“ඒත් ටීචර්, ජාතකේ....” අපේ තාත්තාට වාක්‍යය ඉවර කරන්නට දුන්නේ සේ ටීචර් නොවේ.

ඕනිම ජගතෙකුට එන්න කියපං මාව හම්බ වෙන්න. මං ඉන්නවා...

“අනෙ අනෙඃ ගුණපාල ගොයියෝ.... ලෙඩ මරගාතේම වුණත් උඹ ඔය කරන ජාතකේ මදැයි. දැනටමත් හතක්නෙ... මේ පොඩි එකා නැත්තං මම උඹට කියනවා සුද්ද සිංහලෙන්ම ජාතකේ කරන හැටි....

උඹ මේක වෙනස් කරන්න එපා කොල්ලො. මෙහෙමම තියපන්... කවුරු හරි කියනවා නං මේක වැරදිය කියලා- කියන ඕනිම ජගතෙකුට එන්න කියපං මාව හම්බ වෙන්න. මං ඉන්නවා උඹේ පැත්තට කතා කරන්න.”

ඔයාට ගොඩාරියක් පිං සේ ටීචර්!
‘විකල්ප චින්තනයකුත් තිබිය යුතු බව- lateral thinking කියා දෙයකුත් තිබිය යුතු බව කියවෙන්නේ අදය. ඒ වදන් පවා අලුත් ඒවා වෙන්නට හැකිය. එහෙත් ඒවා දැනගෙන සිටියා හෝ නොදැනගෙන සිටියා හෝ වේවා,
සේ ටීචර් එදා මට කළේ මාහැඟි ඉගැන්වීමකි.
මගේ මතකයේ තියෙන විදිහට, ‘වෙනස්ව හිතන්නට පුරුදු වෙන්නැයි’ මට ඍජුවම කියූ පළමුවෙනියා ‘
සේ’ ටීචර්ය!

ඉතිං... ඊට පස්සේ.... 

35 comments:

  1. දවස් තිස්පහකින් හතළිහකින් බ්‍රොයිලර් පැටියෙක් ඉපදිලා හැදිලා වැඩිලා කිලෝ දෙකක් විතර වෙන්න පුළුවන් නම්, ඒ තරම් කාලයකින් නාට්‍යයක් හදන්නත් උත්සාහ කරන එකේ වරදක් නැහැ. හැබැයි ඔය කියන කාලේ බ්‍රොයිලර් හිටියාද කියලා නම් මතක නැහැ.

    //“බන්දුල තමයි වැද්දා...”//

    මේකේ 'වැද්දා' කියන එකට විශේෂණ පදයකුත් දැම්මා නම් තමයි අර කියාපු දේශපාලකායට ගැලපෙන්නේ!

    උදේ ඉස්කෝලේ යන්න ඉස්සෙල්ලා ඇස් වාට්ටුවට ගිහිං, බිස්නස් එකත් කරලා, ඉස්කෝලේ යන්න වෙලා ඇතුව ආපහු මහරගමට එන එකත් සෑහෙන අමාරු වැඩක් නේද? ඉස්කෝල පටන් ගත්තේ 7.30 ට නේද ???

    ReplyDelete
  2. Sam, විමංසනාක්ෂියට ස්තුතියි. බ්‍රොයිලර් පරීක්ෂණ පටන් ගෙන තිබෙන්නේ 1950-60 දශකවල. මටත් පුදුම හිතිලා හොයා බැලුවා. එච්චර ඈත දෙයක් ගැන දැනුම 1970 වෙද්දී සේ ටීචර් දැනගත්තේ කොහොමද කියලා. සේ ටීචර් කාලයට ඉදිරියෙන් හිටි ද්විභාෂා දැනුමැති යකඩ අංගනාවක්!

    ඉඳියාප්ප ආර්සල් දාපු වේවැල් කූඩ දෙකත් අරගෙන උදේ පහ වෙද්දී කොළඹ මහා රෝහලට ඇතුළු වෙලාත් ඉවර වෙන්න ඕනි. මොකද එතන වෙළෙඳාම් කරන තව සංචාරක වෙළෙන්දෝ-වෙළෙන්දියෝ හිටියා. තරගයක් තිබුනේ. උපරිම හයයි කාල වෙද්දී බිස්නස් එක ඉවරයි. හත- හතයි කාල වෙද්දී මහරගමට ආවේ 125 අවිස්සාවේල්ල වගේ බස්වල. ඒවා ඇරලා යනවා. ඒ දවස්වල උදේට තියා දවල්ටවත් මෙහෙම ට්‍රැෆික් තිබ්බෙත් නෑ.

    මං මහරගමට එද්දී අපේ අනිල් මල්ලී මගේ ඉස්කෝල පොතුත් අරගෙන හන්දියට ඇවිත් ඉන්නවා, මට ලේසි වෙන්න. ඉස්කෝල පටන් ගත්තේ 7.30 තමයි. ඒ විස්තරැ 'ඉඳියාප්ප ගන්නවද?' postsවලත් ලිව්වා කාලෙකට ඉස්සරම.

    ReplyDelete
    Replies
    1. දවස් හතලිස් පහකින් නාට්‍යය හැදීම අමාරු වුණේ පිරිස එකතු කිරීම රෑට කරන්න වෙච්ච නිසයි. මොකද දවල් දවසේ ඉඩක් ලැබුණු හැටියේම කට්ටිය යවන්න වුණා ආධාර එකතු කරන්න.

      Delete
  3. දැං ඔය පරණ හින්දි චිත්‍රපටිත් රී මේක් කරන එකේ කවුරුවත් හරියට නොදන්න ජාතක කතාවක් රී මේක් කළාට මොකද වෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. කරන වැඩේ හරියට කෙරෙන්නයි ඕනි.
      ඒකට මට මතක් වෙන හොඳම උදාහරණ තමා, ඔබටයි ප්‍රියේ ආදරේ, නැවත හමු වෙමු films. ප්‍රසන්නට මතකයිද?

      Delete
  4. නිදි, බස්ප, අජිත් මේ පැත්තටත් ආවනම්...
    https://devlindi.blogspot.com/2022/01/187.html

    ReplyDelete
    Replies
    1. නමී කිව්වම නොගිහින් කොහොමද?
      ගියා...
      මහන්සි නොබලා කව තුනකුත් ලියලා ආවා!

      Delete
  5. විධුර ජාතයක මං අහල තියෙන්නෙ කවි බණකින්. මට තාම ඒ ගැන මතකයි. මේ ළඟදිත් ඒක මතක් උනා. ඔහෙ ආයෙත් මතක් කළා.
    අතීත දෙයක් හරියට ප්‍රතිනිර්මාණයක් කරන්නෙ කොහොමද කියල හොඳ අදහසක් ගන්ට පුළුවන් අර වැඩෙන්. ඉස්සරහට ඔය ගැන ලියන්ට හිතක් තියේ. කම්මැලිකොම නැති දවසක බලමු.

    ReplyDelete
    Replies
    1. පාරමිතා පිරුවේ පෙර බෝසත්තු
      වීරිය අරං ජය ගත්තේ බෝසත්තු
      කම්මැලිකම ජය ගන්නෙත් මනුසත්තු
      නැකත දැනුයි, නමියෝ ඔබ සිතිය යුතු!

      Delete
  6. කාලෙකින් කියවපු නිදිගෙ ලස්සනම පෝස්ට් එකක්. එක හුස්මට කියෙව්වා.

    ඔහෙට ඇත්තම කියන්න, අර ඉඳිආප්ප, සම්බෝල, මිරිස් මාලු හරිය වෙනකොට කටට කෙලත් ඉනුව. අද මෙහෙ -23c යි. හෙට මගදි ගල් වුනත්, අම්මපා යනවා ෂොපින්.

    ReplyDelete
    Replies
    1. බකුසුතුමෝ, රහසක් කියන්නන්.... ඒ හරිය ලියද්දී මගේ වටේම තිබිච්ච ඉඳියාප්ප මුල්වල සුවඳ ඔන්න ආයෙම දැනෙනවා......

      Delete
  7. මරු ටීචර්, ඉතුරු ටික කියවනක්ම් ඉවසුමක් නෑ

    ReplyDelete
    Replies
    1. ඊළඟ post එක මේකෙම දෙවෙනි එකයි අහස් යාත්‍රිකයානෙනි.

      Delete
  8. ඔය 1979 කැලැන්ඩර් දෙක දැක පරණ කතාවක් සිහිවිය. ඔය වසරේම විය යුතුයි බීසීසී සමාගමේ කැලැන්ඩරයේ හිටියේ ස්වර්ණා මල්ලවආරච්චි උඩුකය පමණයි. අඩ නිරුවත් යැයි පැවසිය හැකියි.

    මං පාසල් යාමට රැඳී ඉන්නා බස් නැවතුම අසල නිවසක ඒ කැලැන්ඩරය එල්ලා තිබුණා (පාරට පේනවා). හැබැයි, ඒ ඇණයේම කඩන කුඩයක් ද එල්ලලා. ස්වර්ණාගේ බිකිනි ටොප් එක පේන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. රසික මහත්තයෝ, මේ කැලැන්ඩර් දෙකෙන් ටුබැකෝ කැලැන්ඩරේ ඉන්නේ මහරගම බුවෙනකබා විදුහලෙන් බිහි වුණු තරුවක්. මං කිහිප වරක්ම කියා තියෙන එඩ්වඩ් ලොකුලියනගේ නැටුම් සර්ගේ 'මැණික්පාලි' නාට්‍යයේ ප්‍රධාන නිළිය බියට්‍රිස් බටපොල. දැන් අතිදක්ෂ සංගීතඥ රෝහණ වීරසිංහගේ පතිනිය.

      Delete
  9. අපේ රටේ වගේ බලාගාර- යන්ත්‍රසූත්‍ර නිතරම කැඩෙන; නිසි සැලැස්මක් නැති රටවල් තවත් තියෙනවද කියලා හොයල බලන්න කොමිසමක්වත් දානවා නං..... - හොයන්න දෙයක් නෑ නිමල්. අපිට සමාන ආර්ථිකයක් ඇති රටවල් එක්ක බැලුවම විදුලිබල සැපයුම අතින් අපි ටිකක් ඉදිරියෙන් ඉන්නවා. මම අවුරුදු 4ක් නයිජීරියාවෙ හිටියා. එක දිගට දවස් හතරක් විදුලිය තිබ්බ මතක නෑ. න්‍යාශ්ටික බලවතෙක් වුනත් පකිස්තානෙත් අකන්ඩ විදුලි සැපයුමක් නෑ.

    ReplyDelete
    Replies
    1. අපරාදේ චමී, අපි තමයි හොඳටම කරේ කියන්න තියෙන chance එකක් මිස් වෙනවා එහෙනම්.

      Delete
  10. https://www.indexmundi.com/facts/indicators/EG.ELC.ACCS.ZS/rankings

    ReplyDelete
    Replies
    1. ඒකත් නරකම නෑ, 195න් 121ට ඉන්නවනේ... චමී.

      Delete
  11. නමියත් ගජබින්නාලංකාරයක් ලියලා.
    https://namiyageweediya.blogspot.com/2022/01/blog-post_11.html

    ReplyDelete
  12. කරපු කතාවක සාම්පල් එකක් නැද්ද?

    රොබින් ප්‍රනාන්දු ඒකාලෙත් මහරගම හිටියද?

    ReplyDelete
    Replies
    1. සෑහෙන කාලෙක ඉඳලා!
      Pra jay මහත්තයෝ, ගල්කිස්සේ කලා පුරේ වගේ නිල ප්‍රදේශයක් නොවුණාට මහරගම අවට ගොඩාරියක් කලාකාරයෝ; නළු නිළියෝ; ගායක ගායිකාවෝ ඉන්නවා- හිටියා.
      ඒ වගේම හොරුත්......

      Delete
    2. සාම්පල් එකක් තිබුණා නං! Pra Jay මහත්තයෝ, ඒ කාලෙ ලියාපු පිටපතක්වත් තියෙනවද කියලා අවුස්සමින් හොය-හොයා ඉන්නේ. හුඟක් ඒවා වේයො අයිති කර ගත්තා. ඒ කාලෙ blog එකක් ලියන්න හිතකවත් තිබ්බ එකක්යැ.

      Delete
  13. දෙවෙනි සෙමෙස්ටරේ නිසා කිසිම දෙයක් කියවන්නත් ලියන්නත් බැරි වීම ගැන වෙරි සොරිය ප්‍රකාශ කොර සිටිනාතර, හැකි හැකි පමණිං එබිකං කොර යාමට උත්සාහ ගන්නා බව ගරු ගාම්භීරව දන්වා සිටිමි.

    ReplyDelete
    Replies
    1. කාරිය බහුලත්වය මැද්දේ, මතු දීයුණ තකා ඇල්මෙන් අකුරු කරනා නිසාවෙන් blog කියවන්නට වෙලාව මඳවෙන බව සත්තවාදී සැබෑ බව හැඟෙන නිසාවෙන්....
      අපේ රාජ රාජ මහාමාත්යතුමන්ලා මෙන් අද එකක් කියා හෙට තව එකක් කියා, අනිද්දට මුක පූට්ටුවී ඉන්නා xජ්ජ නැති රෝගය ඔබට වැළඳී නැති බව හැඟෙන නිසාවෙන්....
      ඔබෙ සියලු කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවායි සාදර සිතින් ප්‍රාර්ථනා කරම්හ!

      Delete
  14. නිදිගෙ මේ ලිපි කියවද්දි හිතෙනවා, අපිට ලමා කාලෙ තිබ්බ අඩුපාඩු මොනවද කියලා?

    ලිපිය අවසානය බොහොම අපූරුයි.
    "විකල්ප චින්තනයකුත් තිබිය යුතු බව-.....සේ ටීචර් එදා මට කළේ මාහැඟි ඉගැන්වීමකි"

    ReplyDelete
    Replies
    1. බස්සා මහත්තයෝ. එහෙම අඩුපාඩු තිබිච්ච නිසා වගේම ඒවා මතකයේත් තියෙන නිසා වෙන්නැති මට තවමත් පුංචි දේවලුත් අගය කරන්නට හැකි. පොඩි දේවල්වලින් සෑහීමට පත් වෙන්නට හැකි.

      හැබැයි, දැන් කොච්චර දුප්පත් ගෙදරක වුණත් පරිභෝජන සීමාව තියෙන්නේ ගොඩක් උඩින්.....

      කිව්වොත් හිනා යයි.
      මං තවමත් ඉඳහිට දවසක උණු බත් පිඟානකට, ළූණු ගෙඩියක් පෙති කපලා තියාගෙන- ලුණු දෙහි ගෙඩියකුයි, ගාගත්ත පොල් ටිකකුයි අමුමිරිස් කරලකුයි එක්ක රාජ භෝජනයක් භුක්ති විඳිනවා අපේ ආච්චී කරපු විදිහට.

      Delete
    2. හෙට උදේට පළ කෙරෙන දෙවෙනි post එකේත් ලැටරල් චින්තනය ගැන ලියනවා. මට නං ඒ සිතීම හරිම වැදගත් වුණා අද දක්වාම.....

      Delete
    3. //හැබැයි, දැන් කොච්චර දුප්පත් ගෙදරක වුණත් පරිභෝජන සීමාව තියෙන්නේ ගොඩක් උඩින්.....//

      මට මතකයි, අපේ ප්‍රසිද්ධ බ්ලොගර්ලා දෙන්නෙක්ම ඔය කතාවම කියල තිබ්බා. රටක් වශයෙන් අපි ආර්ථිකව වැටිලා ඉන්නෙ, රටේ කිසිකෙනෙකුට ආර්ථික හික්මීම නැති නිසාය කියල.

      ඊට පස්සෙ, පොඩි දරුවෙක් ලියපු මේ ලිපිය දැක්කා.
      http://kalahitha.blogspot.com/2022/01/blog-post.html

      නිදි මොකද හිතෙන්නෙ?🤔

      Delete
    4. ඉස්සෙල්ලාම කියන්න තියෙන්නේ ගහේ කටු ඉබේම උල් වෙන බවයි. යසිත්මා දුවටත් කල්‍යාණ මිත්‍ර තාත්තාගේ හපන්කම ලැබිලා....

      පරිභෝජන සීමාව දැකබලා ගන්න නං චූන් පාන් වාහනයක් බලන්න. ඒකෙ තියෙන විවිධ වර්ග..... ඒවාත් විකිනෙනවා නේද?

      මොන්ටිසෝරියක; පාසලක තියෙන විවිධ ප්‍රසංගයක් බලන්න. ළමුන්ගේ හැකියාවන් එළි දැක්වීමට ඒවා ඕනෑ තමයි. ඒත් එක ළමයෙකුගේ ඇඳුමකට කෙරෙන වැය ගැන හොයා බලන්න.

      දූලා පුතාලා මොන්ටිසෝරි එක්ක යන අම්මලාගේ විලාසිතා ඇඳුම් ගැන හොයන්න... තාත්තලා set වෙද්දී පුළුස්සන සිගරට්- හිස් කරන බ්‍රෑන්ඩ්ස් ගැන හොයලා බලන්න.... සල්ලි නැතිකමද මේ?

      කොටින්ම ෆෝන් පාවිච්චිය..... අවශ්‍යතා තරමටද?
      සමහර විට මට දකින්න ලැබෙන්නේ නරකම අයව වෙන්නැති. බුද්ධිමත්ව වැඩ කරන අය හරි අඩුවෙන් මං දැකලා තියෙන්නේ...

      Delete
  15. සකර්බර්ග් වරක් කියා තිබුණා එයාට මුහුණු පොත හදන්න කමෙන්ට් පුවරුව හදන්න එහෙම අදහස ආපු හැටි.
    එයා පුංචි කාලෙ සංචාරක් යනකොට ගලක ඇඳල තිබුණු ලස්සන ගෑණු පිංතූර ගොඩක් දැක්කාළු. එතැන ඒවා බලන්න එන අයට තමංගෙ අදහස් ලියන්න බිත්තියකුත් තිබුණාළු. එයාට ඒ තැනේ නම මතක නෑළු.
    ඒ අපේ සීගිරිය තමයි
    මොකද ගෑණු චිත්‍ර තියෙන අජන්තාවෙ වත් එහෙම පාඨක අදහස් පුවරුවක් නැති නිසා.
    පාඨක අදහසක් නොලියා තොරතුරක් ලීවෙ ඒකෙ ලංකාවෙ අපිට පොඩි අභිමානයක් තියෙන නිසායි.

    ReplyDelete
    Replies
    1. අභිමානයක් නේන්නං. එහෙම ආඩම්බර වෙන්න තිබුණු රටකට දැන් ගිහින් තියෙන කල ගැන හිතෙද්ද්දී නං දුකේ බැහැ, අනුර මහත්තයෝ.

      Delete
    2. ඔන්න අනුර ඔයා එවපු විස්තරේට අදාළව පස්සේ එවපු link එකත් මෙතනටම දානවා. ස්තුතියි!
      https://www.facebook.com/anuradha.wijesena/posts/5136631166364243

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්