අකුරු මැකී නෑ

Thursday, December 1, 2022

නඩු බලවපු නඩුවක්!

රෝහන් කියන්නේ කීර්තිමත් චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක්. කඩවසම්; ලොකු පෞරුෂයක් තියෙන හතර රියන් පුරුෂයෙක්. මේ හාදයා විවාහකයි. විවාහ වෙලා ඉන්නේ පෙම් සබඳතාවකින් හමු වුණු කයිනාස් එක්ක. තැන්පත් කයිනාස් ලස්සනයි; ඉවසිලිමත්- බුද්ධිමත් බිරිඳක්.

අංජලී ගොඩක් අධිෂ්ඨානවත්, දියුණු වෙන්න හීන දකින තරුණ රූමතියක්. කෙල්ලගෙ අසල්වැසි මිතුරියක් එයාට කොලොප්පම් කරන්නෙත් ‘මධුරි ඩික්සිත්’ කියලයි. දුප්පත්කමෙන් මිදිල හිටියත් එයාලා පොහොසතුනුත් නෙවෙයි. අංජලීගේ මරුමුසු පාට අයියා ත්‍රී වීලරයක් එළවන්නෙක්.
මේ යුවතිය රස්සාව කරන්නේ රෝහන්ගේ චිත්‍රපටවලට සම්බන්ධවයි. සහාය ඇඳුම් නිර්මාණ ශිල්පිනියක් විදිහට.

නීතිය හා යුක්තිය යනු දෙකක්! යුක්තිය කියන්නේ ආදර්ශයක්. නීතිය කියන්නේ එතැනට මඟ පෙන්වන්නෙක්- සමහර වෙලාවට!

“නීතිය හා යුක්තිය යනු දෙකක්! යුක්තිය කියන්නේ ආදර්ශයක්. නීතිය කියන්නේ එතැනට මඟ පෙන්වන්නෙක්- සමහර වෙලාවට!”. එහෙම කියන්නේ මම නෙවෙයි. (ඒ කතාවේ එක වාක්‍යයකට යටින් ඉරක් ඇන්දේ මමයි. එයිනුත් මෙතැනදී මට ඉතාම වැදගත්ය කියලා මට හිතෙන්නේ වචන දෙකයි: සමහර වෙලාවට!) තරුන් සලූජා නම් අතිප්‍රසිද්ධ අතිදක්ෂ නීතිවේදියා තමයි එහෙම කියන්නේ. එයාට නඩු දිනලා මිසක් පැරදිලා පුරුදු නැහැ වගෙයි.

තරුන් අදහන නීතියක් තමයි ‘කවදාවත් නීතියට ආදරය කරන්න එපා!’ කියන එක.

‘නීතිය කියන්නේ ඉරිසියාකාර අනියම් බිරිඳක්!’ කියලයි තරුන් ප්‍රසිද්ධියේම කියන්නේ. එයා එහෙම කියන්නෙත් සෙසු පටු පිරිසකට නෙවෙයි. නවක නීතීඥවරුන් පිරිසකටයි; රැස්වීමකදී. එතැනදී ආන්දෝලනයකට ලක් වුණු නඩු තීන්දුවක් විශ්ලේෂණය කරමින් එයා මෙහෙම අහනවා. ‘නීතිය පිළිගත යුතුද? යුක්තිය ඉටු වුණාද? මම නම් හැම විටම ඉන්නේ නීතිය පැත්තෙ. යුක්තිය කියන්නේ තෝරා ගැනීමක්. නීතිය කියන්නේ සත්‍යයක්.’

අමතක නොකර කියන්න එපැයි, තරුන් සෙනෙහෙබර සැමියෙක්; අවුරුදු 8ක දියණියකගේ ආදරණීය පියෙක් කියන විත්තියත්.

කතාව පටන් අරං විනාඩි 8ක් යද්දී තමයි අවුලක් ඇතිවෙන පාට පෙනෙන්නේ. අංජලී රෝහන්ගේ සුවිසල් බංගලාවට යනකොට.

මටත් මඤ්ඤංද මන්දා. කියන්න යන දේ ගැන මගේ හිතේ තිබ්බම විතරක් ඇතැයි? ඔයාලටත් කියලා ඉන්න ඕනිනේ. මම කියාගෙන ආවේ හින්දි film එකක් ගැනයි. හැබැයි ටිකක් පරණයි. ආවේ 2019දී. Section 375 තමයි ඒ ෆිලුම.

ඉතිං... ෆිල්ම් director රෝහන් කුරාණාගේ බංගලාවට යන සුරූපී අංජලී දාන්ග්ලේට මොකද වෙන්නේ? හුදෙකලා මැඳුරේදී රෝහන් වියරුවෙන් වගේ...
අංජලී ගෙදර එන්නෙ මුහුණ-කට වහගෙන. මිතුරියටවත් අයියාටවත් මුහුණ නොදී.

දූෂකයාට දඩුවම් කරනු!මහ ජනතාව... (මේ මහරගම.)

අනේ අහිංසක කෙල්ල!

රෝහන් අතින් සල්ලං වෙලා නේද? කෙල්ල ගැන මට ලොකු දුකකුත් හිතුණා. සල්ලාල රෝහන් ගැන මාර තරහකුත් හිතුණා. මට විතරක් නෙවෙයි මේ ෆිලුම බලන ඕනෑම කෙනෙකුට එහෙමයි හිතෙන්නේ.
රෝහන්ගේ තරාතිරම නොතකා ඔහුව අත්අඩංගුවට ගනිද්දී අපි සතුටු වෙන්නෙත් ඒ හින්දමයි!

ජන මාධ්‍යවලින් වැඩේ අවුස්සනවා තිතට. එකිනෙකාගේ මතත් ප්‍රචාරය කරනවා. Voice cuts හිටු කියලා.
බලය පදනම් වෙන්නේ සල්ලි මත. ඒත් වැඩ කරන තැනම කාන්තාවක් අපයෝජනය වෙනවා කියන්නේ... මොන බලයක් ගැනද අපි කතා කරන්නේ? තරුණියක් අහන්නේ අපේ ඇඟේ මයිල් කෙළින් කරවන තරමේ ආවේගයකින්.
‘දූෂකයාට දඩුවම් කරනු!’ මහ ජනතාව වීදි බහිනවා; පෙළපාලි යනවා. ‘අපේ දූවරුන් දූෂකයන්ගෙන් බේරා ගනිමු!’

අනේ!
අංජලී අපි හිතුවට වැඩිය හිත හයිය කෙල්ලෙක්. නීතියෙ පිළිසරණ පතන්න පොලිසියටත් ගිහිං.

පැමිණිල්ල ලියාගන්න ගියාම, තවත් පාරක් කෙල්ලව දූෂණයට ලක් වෙන්නේ වාචිකව; හත්-අට දෙනෙක් ඉස්සරහම.

“දවස් දෙකක් යනකන් ගෑනු දොස්තර කෙනෙක් නෑ. අපයෝජනය ගැනයි, කායික පරීක්ෂණයයි මට කරන්න වෙන්නේ.” බේබදු පාට (සුපිරි වේෂ නිරූපණයක්!) නිලධාරියා කියන්නේ දයා විරහිතව.

අංජලීගේ අම්ම ඉස්සරහම, පැමිණිල්ල ලියා ගනිද්දී අහන ප්‍රශ්න ඊට හපන්.
කී දෙනෙක්ද දූෂණය කළේ / මේ සිද්ධියට කලින් ලිංගික සබඳතා පවත්වල තියෙනවද? / ඔහුගෙ ලිංගය ඇතුළු කළාද?
එහෙම අහන්නේ පැමිණිල්ල සර්ව සම්පූර්ණව ලියා ගන්නට බවත් පොලිස් නිලදරුවා කියනවා.

මේ චිත්‍රපටයේ විහිළුකාරයෝ නෑ. ගොබ්බ විහිළු නෑ. ඒත් හාස්‍යය උපද්දවන- සදය හිනාවක් අපේ මුවට නංවන තැන් එමටයි. Film එකේ තිර රචකයන් (Manish Gupta හා Ajay Bahl) අවස්ථා මැවීම කොතරම් අපූරුවට කරලා තියෙනවද කියල හිතෙන තැන් ගොඩාරියයි.  පොලිසියෙදී ප්‍රශ්න කිරීමේ කූඨප්‍රාප්තියත් එහෙම එකක්.
“ඔහු ශුක්‍රාණු පිට කළාද?” නිලධාරියා ප්‍රශ්නය අහනවා.
අංජලීගේ උත්තරයත් ප්‍රශ්නයක්. “ඒක වෙන්නැතුව මිනිහෙක් නවත්තනවද?”

කෙනෙකුට හිමි බලය; බලයේ බලය හොඳහැටි පෙන්වන්නේ...
ඔය උඩින් තියෙන (මම ලියපු) ටික කියවන්න, හිතාදර රසික ඔයාට කොච්චර වෙලාවක් ගියාද?

Section 375 චිත්රපටියෙදී ඔය චුට්ට කියන්නේ පැය බාගයකටත් අඩු කාලයකදී.
ඒ කාලය ඇතුළෙදිම තවත් දේවල් ගොඩක් කියන හැටි! මේ බලන්නකෝ උදාහරණ කීපයක්:
(විනාඩි 11 තත්පර 45 දී) Film Director රෝහන් කුරාණා චිත්‍රපට කර්මාන්තය තුළ අධ්‍යක්ෂ කෙනෙකුට හිමි බලය; බලයේ බලය හොඳහැටි පෙන්වන්නේ තත්පර ගණනකදීය. ඇඳුම් නිර්මාණ ශිල්පිනී මීරා ‘සර්... මම හිතුවේ’ කියද්දීම ඇයට කඩා පනින රෝහන් මෙසේ අසයි. “තමුසෙ හිතුවේ... කවුද තමුසෙට හිතන්න කිව්වේ?”

(විනාඩි 22 තත්පර 50දී) තරුන් සලූජා නීතීඥතුමා කියන්නේ ‘මගෙ ගාණ වැඩියි.’ යනුවෙනි. නීතියේ සරණ පැතීම ලෙහෙසි වැඩක් නොවෙන බවත්, අධික වියදම් සහිත බවත්ය, ඔහු කියන්නේ.

ගහ දන්නා ඔබට කොළ කඩා පෙන්විය යුතු නොවේ. දැන් සිරි ලංකාවේ නීතිය ක්‍රියාත්මක කෙරෙන විදිහ ඔබ හොඳින්ම දනියි.

මං වහන්සේ නීති ඔස්තාද් කෙනෙකු විදිහට හිතාගෙන හිටි නාගානන්ද කොඩිතුවක්කු මහත්තයාට ඊයේ පෙරේදා දවසක වෙච්ච සංගදිය ඊට නිදසුනකි. සාමකාමී ගැහැනුන් දෙන්නෙකුට ගාලු පාර දිගේ පා ගමනින් කොළඹට එන්න ඉඩ නොදෙන පොලිසිය; පොලිස් කාන්තාවකගේ බෙල්ලෙන් අල්ලා තල්ලු කරන පොලිසිය ගෝල්ෆේස් පිටියේදී නාගානන්දලාට තග දාන මැරයන් ඉදිරිපිටදී පෙණය පුප්පන්නේවත් නැතිව ඉන්නවා වගෙය.  

ඒ මහත්තැන්ලගෙ සිංහ සෙයියාවන් දකිද්දීය, මට Section 375 මතක් වුණේ.

මං බැලූ හොඳ films ගොඩේය මේ ෆිලුම තියෙන්නේ. මගෙන් ඒකට 7x ලැබිලාය. චිත්‍රපටවලට මා දෙන උපරිම ලකුණු ගණනය ඒ. ආයෙ කවරදාක හෝ  බලන්නට තරම් විවේකයක් නොලැබෙන බව දැන-දැනත්ය, තකතිරු මං 6x- 7x දෙන films පරෙස්සම් කර තියා ගන්නේ.
ඉතිං ඒ පුරුද්ද මෙතනදී මගේ වාසියට හිටියේය. මං මේ පෝස්ටුව කොටන්නේ නැවතත් ‘සෙක්ෂන් 375’ බලලා ඉවර වෙලාය. 

Section 375 කියන්නේ කාන්තා අයිතීන් සුරැකීමේ පනත යටතේ ඉන්දීය දණ්ඩනීතී සංග්‍රහය යටතේ ක්‍රියාත්මක වන නීතියක්..... මෙයට IMDB 8.2 අගයකුත් Rotten Tomatoes 70%ක අගයකුත් 95%ක ගූගල් පරිශීලක අගයකුත් ලැබී තියෙනවා. එමෙන්ම කෝටි 22.3 ක බොක්ස් ඔෆිස් ආදායමකට හිමිකම් කියනවා.’ බයිස්කෝප් සිංහලෙන් අඩවිය හරහා මේ ෆිලුමට එළකිරි වගේ සිංහල උපසිරසි සපයන රංග ප්‍රසන්න හිතවතාගේ විස්තරාත්මක ලිපියෙයි එහෙම තියෙන්නේ. (එක්සලන්ට් job, රංග!)

දූෂණ චෝදනාවට වැරදිකාරයා වෙලා රෝහන් කුරාණා අවුරුදු දහයකට...

යුක්තියේ දෙවඟන; නීතියේ කන්‍යාව නියෝජනය කරමින් උසාවියේදී පෙනී සිටින්නේ විනිශ්චයකාර උතුමන්ලායි. පැමිණිල්ල, විත්තිය දෙකම වෙනුවෙන් පෙනී සිටින්නේත් අබ්බගාත් මහත්තුරු- අබ්බගාත් නෝනලා. ඒ ගොල්ලත් මේ අපි වගේම මිනිස්සු හින්දා වෙන්නැති, තරුන් සලූජා නීතීඥතුමා එයාලා කවුද කියලත් හොයා බලන්නේ. ඒ වගේම පැමිණිල්ල මෙහෙයවන කෙනා ගැනත් හොයන්නේ.

තරුන් දන්නවා නඩුකාරයන්, නීතීඥවරුන් හැමෝටම දිනන්න ඕනි කරන බව. කීර්තිමත් නඩු තීන්දුවක් දුන්නම තමයි විනිසුරන් ප්‍රසිද්ධ වෙන්නේ; ක්ෂේත්‍රයේ නම රැඳෙන්නේ. එතකොට උසස්වීම් එහෙමත් ලැබෙනවනේ. (එහෙමත් නැත්තං ඉතිං තෝර ගන්න තියෙන්නේ ‘ලොකු තැන්වල ලොක පුවින ක්‍රමේ’. අපේ ඇත්තන් නං ඒවා අහලවත් නෑ නෙව.)

පැමිණිල්ලේ නීතීඥතුමියත් තරුන් අඳුරන කෙනෙක්. හිරලි ගාන්ධි. තරුන්ගේ සහායිකාවක් ඒ වෙද්දීත් ‘හිරලි ගාන්ධි’ ගැන ඔත්තු බලලා වගෙයි.
‘ඇය සැර, අපේක්ෂා සහගත නිර්දෝෂී කෙනෙක්. එයා කාන්තා හිංසනය වෙනුවෙන්ම පෙනී ඉන්න කෙනෙක්. ඒ වගේම කටකතාවක් යනවා ඇතුළේ එයා මහාරාෂ්ට්‍රවල පළවෙනි නීතීඥ ජෙනරාල්වරිය වෙයි කියලා.’

ආසන්නව පැය දෙකක් තිස්සේ දිග හැරෙන මේ film එකේ තවත් පැය එකහමාරක් ඉතිරියි. ‘එහෙනං ඉතිං, උසාවියේ නඩුවක් ඇහෙන හැටි තමයි අපිට බලන්න වෙන්නේ!’ කෙනෙකුට හිතෙන්න පුළුවනි. අපොයි නෑ. සිංදු නැති වුණාට, ඩිෂුම් ඩිෂුම් ෆයිට් නැති වුණාට යන්තම්වත් බෝරින් ගතියක් දැනෙන්නෑ.

තිර රචනයේ විශිෂ්ටත්වය. ඒ ඒ චරිතවලට උචිතම නළු නිළියන් තෝරා ගැනීම හා ඔවුන්ගේ හැකියාව උපරිමයෙන්ම මිරිකා ගැනීම.
තරුන් සලූජාට පණ දෙන අක්ශේ ඛන්නාව විතරයි මම නම් නමෙන්වත් දැනගෙන හිටියේ. මේ ෆිලුමට සිංහල subs දීල තිබුණු රංග ප්‍රසන්න එයාගේ ලිපියෙනුත් අක්ශේ ගැන කියල තිබුණා.
අක්ෂේ ඛන්නාගේ ප්‍රශ්න කිරීම් බලද්දී මට නම් හිතුනේ මේ යකා ඇත්තටම නීතීඥයෙක්ද කියලා. ඒ තරමට රඟපෑම තාත්විකයි....’ කතා දෙකක් නෑ. මටත් එහෙම හිතුණා.   

දූෂණ චෝදනාවට වැරදිකාරයා වෙලා රෝහන් කුරාණා අවුරුදු දහයකට බරපතල වැඩ සහිතව හිරේට නියම වෙනවනේ. ඊළඟට අභියාචනාධිකරණයෙදීයි නියම සටන පටන් ගැනෙන්නේ. වෙලාවක පැමිණිල්ල දිනන පාටයි. ඊළඟ තත්පරේ විත්තියට වාසි වෙන දෙයක් මතු කෙරෙනවා විත්තිය පැත්තෙන්.

ඒ නිසා ඔයා හිතනවා ඔයා යුක්තිය වෙනුවෙන් සටන් කරනවා කියලා.

පැමිණිල්ලේ නීතීඥ ‘හිරලි ගාන්ධි’ට පිස්සු හැදෙනවා; යකා නඟිනවා. ඒ තියා බලන අපිටත්...

‘ඔයා පැමිණිලි පාර්ශ්වයෙන්. ඒ නිසා ඔයා හිතනවා ඔයා යුක්තිය වෙනුවෙන් සටන් කරනවා කියලා. නමුත් සිද්ධිය වුන වෙලාවේ එතැන ඔයා හිටියෙත් නෑ. මම හිටියෙත් නෑ. ඇත්ත සැඟවිලා තියෙන්නේ....’ එක වෙලාවක තරුන් කියන්නේ, හිරලිට. නමුත් ඒ කියමන බොක්කටම වැදුණේ මට.

‘මොහොමඩ් ශාෆි ෆාතිමා,

දියණියනි ඔබට සුබපැතුම්!

ඊයෙ හවස, සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වුණා කියන ආරංචිය ඇවිත් වැඩි වෙලා යන්න කලින් whatsapp පණිවිඩයක් ආවා. ඒකෙ තිබුණෙ පහතින් තියෙන ප්‍රතිඵල සටහන!

එවල තිබුණේ ශාෆි අයියා.

කම්පනයක් එක්ක ආව දැඩි සතුටත් එක්ක මම කෝල් එකක් ගත්තා. එතන තිබුණු ප්‍රීතිමත් කලබලය නිසාම අපේ කතාබහ විනාඩි කීපයකට සීමා වුණා.

" පහුගිය අවුරුදු තුනේදි මේ කෙල්ල මූණ දීපු trauma එක (කම්පනය) එක්ක බැලුවම මේක මාර ලොකු දෙයක් මල්ලි" ඒ ඔහුගේ වචන.

අපි දෙන්නා කතාබහ කරන්න අරගෙන දැන් අවුරුද්දකට වැඩියි. මුළු මහත් සිංහල සමාජයම පාහේ, පටු ජාතිවාදයෙන් ඔද වැඩී ඔහුට ඉතා පහත් ලෙස වඳ සැත්කම් චෝදනා එල්ල කරන්නට හෝ නිහඬවම බහුතරයේ ජඩකම් අනුමත කරන්නට කටයුතු කළ නීච වකවානුවක, මෙවැනි චෝදනාවක් ඇස් පියාගෙන බැහැර කළ හැකි බවට කරුණු දන්නා වෛද්‍යවරු බහුතරය නිහඬව සිටියදී හෝ එයට තවත් පොහොර දාද්දී අපි කිහිප දෙනෙක් හැකි අයුරින්, අපි නොහඳුනන මේ මිනිසාට එරෙහිව සිදු කෙරෙන අසාධාරණ, පහත්, භයානක, ජඩ සෙල්ලමට අඛණ්ඩව විරුද්ධ වීමෙන් ටික කාලයකට පස්සේ අපේ හිතවත්කම් ඇරඹුණා.

ඉතාම දීර්ඝ දුරකථන ඇමතුම්වලින් ඒ වේදනාකාරී අත්දැකීම් අපි බෙදාහදා ගත්තා. මුළු මහත් ජාතියක් එක්ව තනි මිනිසෙක් සහ ඔහුගේ අසරණ පවුල ඉළක්ක කරමින් සිදු කළ අතිශයින් නින්දිත ජාතිවාදී ප්‍රහාරයේ අත්දැකීමට ඇහුම්කම් දෙනකොට, ඊට විරුද්ධව අඛණ්ඩව විරුද්ධ වුණ කෙනෙකුගේ වුණත් ඇඟ කිළිපොලා යනවා.

නමුත් අද වෛද්‍ය ශාෆි ගැන නෙමෙයි, සාමාන්‍ය පෙළ ඉහළින් සමත් වුණ මේ කුඩා දියණියගෙ අත්දැකීම ගැන කතා කළ යුතුයි. අද ඇයගෙ දවස. වැඩිදෙනෙක් නොදන්නා ඇගේ කතාව ඔබ සියලු දෙනා දැනගත යුතුයි!

ඇයව අමානුෂික විදියට කොන් කිරීමකට ලක් කරනවා.

තමන්ගෙ පියාට මේ අභූත චෝදනාව එල්ල වන විට මේ දියණිය හිටියේ නවය වසරේ. ඉගෙන ගත්තේ කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ. ඒ වෙද්දි ඒ ප්‍රදේශයේ ස්ථාවර වෙච්ච යමක් කමක් තියෙන පවුලක දියණියක්. "බෞද්ධ පාසලක්" යටතට වැටෙන මෙම පාසැලේ මුස්ලිම් දැරියන් විශාල ප්‍රමාණයක් නැතත් ඒ වෙනකම් ඇයට වෙනස්කමක් දැනුනෙ නැහැ. ළමයින්ගෙ ලෝකයේ විෂ අඩුයි. කුණු අඩුයි. ඒක සුන්දරයි. ඒත් දෙමව්පියන්ගේ ලෝක එහෙම නැහැ.

ඇය ඉගෙන ගත්තෙ සිංහල මාධ්‍යයෙන්. ඒ වගේම පාසැලේ ආගම විෂයට ඉගෙන ගත්තෙ බුද්ධාගම! 🙂

ඒ වගේම පන්තියේ ඉහළම දස්කම් පෑ ශිෂ්‍යාවක්ද වුණා.

වෛද්‍ය ශාෆිට බොරු වඳ සැත්කම් චෝදනා එල්ල වීමත් එක්ක දින දෙකතුනක් ඇතුළත සියල්ල වෙනස් වෙනවා. පහුවදා පුරුදු විදියටම පාසැලට ඇවිත්, පුරුදු පන්තියේ, කුඩා කාලයේ ඉඳන්ම පුරුදු යෙහෙළියන් එක්ක එකට වාඩි වුණු ඇයට ලැබෙන්නෙ හිතා ගන්න බැරි අත්දැකීමක්. අවුරුදු ගාණක් එකට හිටි යෙහෙළියන් ඇයට "වඳ දොස්තරගෙ දුව" කියල චෝදනා කරමින් ඇය ඉන්න තැනින් නැඟිටලා යනවා. ඇයව අමානුෂික විදියට කොන් කිරීමකට ලක් කරනවා. කම්පනයට පත්වෙන නවය වසරෙ කුඩා දැරිය අඬාගෙන පාසැලෙන් එළියට දුවගෙන යනවා.

ඒ තමයි කුඩා කාලෙ ඉඳන් දිනපතා ආසාවෙන් ගිය, ඉගෙන ගත්ත, "යාළුවො" සියලු දෙනා හිටිය ඒ පාසැලට ඈ ගිය අවසන් වතාව!

ඒ විතරක් නෙමෙයි, ඔබට ඇතැම් විට මතකත් ඇති, ශිෂ්‍යාවන් හට "වඳ සනීපාරක්ෂක තුවා" බෙදුවා කියලත් මේ කුඩා දැරියට චෝදනා එල්ල කළා. ඒ කාලේ ජාතික පුවත්පත්වල පවා එය පළ වුණා. ඒකට හේතුව තමයි ඊට ටික කාලයකට කලින්, ඇයගෙ පන්තියෙ යෙහෙළියක් පන්ති කාමරය තුළදී ඔසප් වුණ අවස්ථාවක, ඒ දැරිය ළඟ සනීපාරක්ෂක තුවා නොමැතිවීම නිසා, මේ දියණිය තමන් ළඟ තිබුණු ඒවායින් එකක් ඇයට දීම! 🙂

ඔය විදියට තත්වයන් වේගයෙන් වෙනස් වෙනව. පැය කීපයක් ඇතුළත ලංකාවේ "ලොකුම අපරාධකාරයාගේ" පවුලේ යමක් කමක් තේරෙන වැඩිමහලු දරුවා ලෙස ඇයට ලෝකයට මුහුණ දෙන්න වෙනවා. වෛද්‍ය ශාෆි අත් අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගත කරනවා. අම්මාත් කුඩා සොයුරු සොයුරියන් දෙන්නාත් සමඟ ඇයට මේ සියල්ලට මුහුණ දෙන්න සිද්ද වෙනවා.

උපන් බිමේදිම විෂෙන් පිරුණු මිනිස්සු තමන්ව වටලෑවට පස්සෙ, එයින් බේරිලා මේ පවුල පුද්ගලික සම්බන්ධතා කිහිපයක් හරහා අමාරුවෙන් කොළඹ ප්‍රදේශයේ හිතවතෙකුගේ නිවසකට යනවා. ඒත් ඒ ස්ථානය පවා වටලන්න, "මේ අම්මාගෙන් සහ දරුවන් තිදෙනාගෙන් සිංහල ජාතිය බේරාගන්න, ජාතිමාමකත්වයෙන් ඔද වැඩුණු" පිරිස් එකතු වෙනවා. අවසානයේ ඔවුන්ට ආරක්ෂාව පතා, සිංහලයන් නැති, මුස්ලිම් ජනතාව බහුතරයක් වාසය කරන කල්මුණේට පලා යන්න සිද්ද වෙනවා.

ජාතිය බේරා ගන්න ආණ්ඩු පත් කළ රට නිළ වශයෙන්ම බංකොලොත් භාවයට...

නැවතත් කියනවා නම් ජාතියක් වශයෙන් අපි ලැජ්ජා විය යුතුයි!

කල්මුණේට යන නවය වසරේ දැරියට මුහුණ දෙන්න වෙන ලොකුම ප්‍රශ්නය ඇයට දෙමළ භාෂාව බැහැ. ඇය උපන්දා සිට ඉගෙන ගෙන තියෙන්නෙ සිංහලෙන්. පාසැලේදී ඉගෙන ගත්තේ බුද්ධාගම. නමුත් සිංහල මිනිසුන් විසින් තමන් සහ තමන්ගේ අම්මා තාත්තා "භයානක සතුරන්" ලෙස සලකන තත්වයක ඊට උත්තර නැහැ. ඇය අවුරුදු එකහමාරක් දෙමළ මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබනවා. පාසැලේ ඉගෙන ගන්නා ආගම ලෙස ඉස්ලාම් ඉගෙන ගැනීමට පටන් ගන්නවා.

තමන්ගෙ පියා නිදහස් වෙලා ඇවිත්, තත්වය යම් තරමකට සමනය වුණාම, ඔවුන් නැවත නුවරට සංක්‍රමණය වෙනවා. නැවතත් පාසැල මාරු කරමින්, ප්‍රසිද්ධ නොවන ලෙස, පරිස්සමෙන් ජීවත් වෙමින් අධ්‍යාපන කටයුතු කරගෙන ගිය දැරිය සියලු විෂයන්ට A සාමාර්ථ සහිතව අද දිනයේ සාමාන්‍ය පෙළ විභාගය සමත් වෙනවා!

මේ අතරතුර කාලයේ වෛද්‍ය ශාෆිට අහිමි කළ රැකියාවේ හිඟ වැටුප් හිමි වෙනවා.

බොරු චෝදනා යට යනවා.
ඒ බොරු චෝදනා, වඳ සැත්කම් ආදියෙන් ජාතිවාදය අවුස්සමින් සෑදූ ආණ්ඩුව කඩා වැටෙනවා.

ජාතිය බේරා ගන්න ආණ්ඩු පත් කළ රට නිළ වශයෙන්ම බංකොලොත් භාවයට පත් වෙනවා.
ජාතිවාදය මතින් ආ ජනාධිපතිව රටිනුත් එළවා දැමෙනවා.

මේ දියණියගේ කඳුළු මතින් පාර්ලිමේන්තු ගිය පැලෝපීය නාල විශේෂඥ අතුරලියේ රතන, වඳ සැත්කම් පිළිබඳ මහාචාර්‍ය චන්න ජයසුමන, ගර්භාෂ යුද්ධ පිළිබඳ විශාරද විමල් වීරවංශ වැනි කපටි වර්ගවාදීන් ඒ කඳවුරෙන් ඉවත් වෙලා, මැරිලා ඉපදුනායින් පසුව දැන් අපිට අලුත් විසඳුම් යෝජනා කරමින් ඉන්නවා. 🙂

ඔය ඔක්කොමත් අස්සෙ මීට අවුරුදු තුනකට කලින්, තමන්ගෙ කුඩා දරුවන් පවා තවත් එවැනිම දරුවෙක්ට එරෙහිව නරක විදියට උසිගන්වපු, කුරුණෑගල මලියදේව බාලිකාවෙ අම්මල තාත්තලා දැන් කොහොම ඒ ගැන හිතනව ඇතිද කියල දැනගන්නත් ආසාවක් තියෙනවා. ඒ ගුරුවරු, පාසැලේ බලධාරීන් එදා මේ දැරියට තමන්ගේ භූමිය තුළදී සිදුවුණු නොපනත්කම් ගැන කණගාටුව ප්‍රකාශ කිරීමක්වත් කළාදැයි දැනගන්න ආසාවකුත් තියෙනවා.

අවසාන වශයෙන් මේ ගැන මට දැනෙන හැඟීම මෙහෙම ලියල තියන්නම්.

මීට අවුරුදු 18 කට කලින් මේ වගේම A අකුරු පමණක්ම තියෙන සාමාන්‍ය පෙළ ප්‍රතිඵල සටහනක් මටත් ලැබුණා. ඒක දැකපු මොහොතෙ ඇතිවෙච්ච සතුටට වඩා සතුටක් මට මේ දැරියගෙ ප්‍රතිඵල සටහන දකින වාරයක් පාසා ඇතිවෙනවා!

දුවේ,
අපිට අපි ගැන ආඩම්බර නැහැ.
ඒත් අපිට ඔබ ගැන ආඩම්බරයි!

-නජිත් ඉන්දික 

 2022 නොවැම්බර් 27 වෙනිදා හිතවතෙක් මට යොමු කරපු ‘නජිත් ඉන්දික මහතාගේ හෘදයාංගම සටහන’යි උඩින් යෙදුවේ. බොහෝ විට ඔයාලා ඒක කියවල ඇති. නොකියවපු කෙනෙකුට කියවන්නයි මෙතැනට යෙදුවේ.

ඇයි මම එහෙම කළේ?

Film එක බලලා ඉවර වෙලා, ඒ උරගලේම වෛද්‍ය ශාෆි කතන්දරේඋරච්චි කරමින්...

Section 375 කතාවෙන් කියවෙනවා නඩුවක හැංගිච්ච- හංගපු- හංගන කතන්දර වගේම උවමනාවෙන්ම උඩට ගන්න නොවැදගත් දේවලුත් ගොඩක් තියෙන බව. සමහර වෙලාවට සමහර දේවල් අපට නොපෙනී මඟ හැරෙන බවත්... ෆිලුමෙන් ඒවා පෙන්වන්නේ අපේ ඇස් උඩ යවමින්.

මට හිතෙනවා ඔයාලට පොඩි යෝජනාවක් කරන්න.
Film එක බලලා ඉවර වෙලා, ඒ උරගලේම ‘වෛද්‍ය ශාෆි කතන්දරේ’ උරච්චි කරමින් බලමුද?

ෆිලුමේ එක සැරේටම පෙනෙන දෙයින් ප්‍රේක්ෂකයා තීරණේ කරනවා රෝහන් වැරදිකාරයා බව. නමුත් රෝහන් වැටිලා තියෙන්නේ හිතා-මතා අටවපු උගුලක බව තරුන් සලූජා හෙළි කර ගන්නේ ෂර්ලොක් හෝම්ස්ටත් එහා ගිහිං. අංජලී දාන්ග්ලේගේ දාංගලේත්, චේතනාන්විත රැවටිල්ලත් චිංචා මානවිකාව පරද්දන එකක් බව එළි වෙද්දී...

චිංචා මානවිකාව?
ලොකුම බුද්ධිමතුන්ටත් අංගුලිමාලවයි, දේවදත්තවයි පැටලෙන කාලේ නිසා චිංචා ගැන කතන්දරෙත් කියලා ඉන්නං. වැඩිය දිගත් නැහැනෙ.

තීර්ථකයන්ගේ චිංචා නම් වූ රූමත් පරිව්‍රාජිකාවක් වූ ය. දවසෙක ඕ තීර්ථකාරාමයට අවුත් වැඳ සිටියා ය. කිසි ම තීර්ථකයෙක් ඇය හා කථා නො කෙළේ ය. ඕ තුන් වරක් ම වැඳ ස්වාමීනි, කථා නොකරන්නට මා කළ වරදෙක් ඇද්දැ?” යි ඇසුවා ය. ඇයි, ශ්‍රමණ ගෞතමයන් ලොව තමන් වෙතට ඇද ගනිමින් අප නිෂ්ප්‍රභ කෙරෙමින් ඇවිදිනා නියාව නො දනු දැ?” යි ඔහු කීහ.

ස්වාමීනි, මුසුප්පු නො වුව මැනැව, මම් ශ්‍රමණ ගෞතමයනට අයස උපදවන නියාව දනිමියි කියා ඔවුන් සතුටු කළා ය.

එ තැන් පටන් කොට ඕ සෑම සැන්දෑවෙක ම රතු පිළි හැඳ පෙරව ගෙන සුවඳ මල් ආදිය රැගෙන ජේතවනය බලා යෙයි. ඇය අඳුරෙහි යන්නිය දැක කොහි යවු දැ?” යි විචාළ වුනට මා යන එන තැන් දැන ගන්නට තොපට වුවමනාව කිමෙක් දැ?'යි ඔවුනට සැක උපදනා ලෙසට සැඩ බසින් කියා යයි. ජේතවනයට නොදුරු වූ තීර්ථකාරාමයෙක රෑ ලැග පසු දින උදෑසන ම ජේතවනයේ සිට යන්නියක සේ ඒ පැත්තේ සිට නුවර අතට යෙයි.

උදෙන් ම ජේතවනයට එන උපාසකවරුන් රෑ කොහි ලැග්ගෙහි ද මේ තරම් පාන්දොරින් එන්නේ?” යි ඇසූ විට මා කොයි ලැග්ගත් එයින් තොපට ඇති වැඩේ මොකක් දැ?” යි බැණවැදී යෙයි.

ඔබ දහම් දෙසති, ඔබට...

මාස දෙක තුනකට පසු වැ පහන් දොරැ ම තීර්ථකාරාමයේ සිට ජේතවනය අතට ටික දුරක් ගොස් නුවර අතට එන්නී ජේතවනයට උදෙන් ම එනවුන් මේ උදේම කොයි සිට එවුදයි ඇසූ විට දෙව්රමැ ශ්‍රමණ ගෞතමයන්ගේ ගඳකිළියේ නිදා හෙව එමියි කියයි. ඇගේ විහිලු බසෙකැ යි කිසිදු කෙනෙක් එය නො තකති.

තව තුන් සාර මසක් ගිය තැන දවසෙක ඕ දර සුඹුල් ආදිය ලා ඊ වටා බඩ මහත් ව තිබෙන ලෙසට රෙදි කඩ වෙළා බඩදරු ලියක සෙයින් රත් පිළියක් පොරවා ගෙන සවස භාග්‍යවතුන් වහන්සේ දහම් දෙසන වේලෙහි දම් සභාවට ගොසින් ඉදිරියේ සිටියා ය.

එසේ සිට ශ්‍රමණයෙනි, ඔබ දහම් දෙසති, ඔබට දා ව මා බඩැ දරුවෙක් ඇත. වදන අවස්ථාව ළං ව ඇත. වදන ගෙයක් නියම නැත. අවශ්‍ය වුවොත් ගන්නට තෙල් මිරිස් ආදී බෙහෙත් ද නැත. ඔබේ උපාසක ව සිටිනා කොසොල් මහ රජ්ජුරුවනට හෝ අනේ පිඬු සිටාණනට හෝ විශාඛාවනට හෝ කළමනා දෑ කරන්නට විධාන නො කරනුයේ හැයි ද?” යනාදීන් ආඩාපාලි කියන්නට වන.

භාග්‍යවතුන් වහන්සේ දෙසුම නවතා, “තොප කියන දැයේ ඇත්ත නැත්ත තෙපි දනිවු අපිත් දනිමුයි වදාළ සේක. එය හා සමග ම ඇය බැඳ බඩ වෙලා තිබුණු ලනු හා කඩ රෙදි ලිහී ගිලිහින. දර සුඹුළුත් කඩ රෙදිත් ඇගේ පා මුල ම වැටිණ...’   

චිංචාවට වුණා වගේ අංජලීගේත් නිරුවත එළි වුණොත්...
හැම විනාඩි 20කටම එක ස්ත්‍රී දූෂණයක් බැගින් සිදු වෙන ඉන්දියාවේ මීඩියා විනිසුරු ඔස්තාද්ලා ඒ වෙද්දීත් වැරදිකරු කවුදැයි තීරණයකොට හමාර නම්...
සාධාරණ විය යුතු අපක්ෂපාතී විනිසුරන්ට මොනවා වෙයිද? ඒ වගේමයි, පැමිණිලි- විත්ති දෙපැත්තේම හෘද සාක්ෂි කතා කරන්න පටන් ගෙන නම්...

ඕවා මමම කිව්වොත් කිසි ගතියක් නෑ. Film එකක් කියන්නේ බලන්න ඕනි දෙයක්නේ. එහෙනං ඔයාලම Section 375 නරඹලා බලන්නකො෴0෴

35 comments:

  1. //ඉන්දියාවේ මීඩියා විනිසුරු ඔස්තාද්ලා ඒ වෙද්දීත් වැරදිකරු කවුදැයි තීරණයකොට හමාර නම්..//
    ලංකාවෙ කියල වෙනසක් නෑ. කාලෙකට කලින් වෙච්ච සීන් වලදි අහක ඉන්න අහිංසක මනුස්සයො ලස්සනට වැරදි කාරයො කළේ.

    ReplyDelete
    Replies
    1. සමහර වැරදිකාරයෝ තවම හොයා ගන්නත් බැරිව ඉන්නේ. හැබෑටම ප්‍රසෝ අර මිරිහානේ බස් එකට ගිනි තිබ්බ එකාව හොයා ගෙනද?
      මේ තව case එකක්!
      https://www.youtube.com/watch?v=bssSKE3FMyI

      Delete
  2. හින්දි චිත්‍රපටියක් කියල අන්තිමට බැලුවේ Pad man.. හින්දි ෆිල්ම් වල උසාවි සීන් හෙන අතාත්විකයි කියල තමා මට නම් හිතිලා තිබුනේ

    ReplyDelete
    Replies
    1. ගොඩක් වෙලාවට එහෙම තමයි, පැතුම්. ඉඩක් තියේ නං මේකේ ට්‍රේලරය බලන්නකො.
      https://www.youtube.com/watch?v=UWjxS8EJ4Z8

      Delete
  3. මදැයි... දැන් ඉතිං ඒකත් බලන්ඩ ඔ්නෙ.

    ReplyDelete
  4. පෙරී මේසන් කතාවලත් උසාවි සීන් අනිවාර්යයි නේ. මං කියවලා තියෙන්නෙ නං කීපයක් විතරයි.

    ReplyDelete
  5. කොළඹ හිටපු දිසාපතිතුමා හම්බුවෙලා එන්ඩලා...
    https://sunilkannangara.wordpress.com/2022/11/30/%e0%b6%9c%e0%b7%8a%e0%b6%bb%e0%b7%93%e0%b7%83%e0%b7%8a-%e0%b6%ba%e0%b6%9a%e0%b7%8f-%e0%b6%b6%e0%b7%9a%e0%b6%bb%e0%b7%8f%e0%b6%9c%e0%b6%ad%e0%b7%8a-%e0%b7%84%e0%b7%90%e0%b6%a7%e0%b7%92/

    ReplyDelete
    Replies
    1. ඩ්‍රැකී, එහාට ගිහිං කියවල ආවේ දැන්. අපූරු අත්දැකීමක්. හැබැයි මට ආව ඉම්ප්රේෂන් එක ගැනයි තවම හිතෙන්නේ, මෙහෙම ලියලා ආවත්!

      වඳින්න යන දේවාලේ – ඉහට වැටෙන මේ දේසේ
      ඔයින් ගියා ඇති අප්පේ – මරුමුසු කලබල අස්සේ
      හැබැයි මෙයින් මට පෙනුණේ – කොමියුනිකේෂන් දොසේ
      ඇති විත්තිය එක ඉසව්වෙ – එකේක ආයතන’තරේ

      විශේෂ මෙහෙයුම් කෙරෙනවිට පළාතේ වෙනත් අදාළ ආයතනවලට දැනුම්දීමක් කෙරෙන්නේ නැද්ද?

      Delete
  6. හින්දි චිත්‍රපටිවලින් සම්පූර්ණයෙන් බලල තියෙන්නෙ හාති මේරේ සාති (හුඟාක් ඉස්සර ) සහ ජෝඩා අක්බාර් විතරක් නිසා අදහසක් නෑ.

    සාෆි ගැන නම් කියන්න තියෙන්නෙ හැම රටේම මෝඩ රැවටෙන සහ ජාති/ආගම්වාදී මිනිස්සු ඉන්නව. ශිෂ්ඨ රටවල හා අශිෂ්ඨ රටවල දෙවර්ගයේම.
    ඒ වගේ අය අඩුවීම සහ ඒ වගේ අයගේ බලපෑම අඩුවීම රටක ශිෂ්ඨබව මනින්න පාවිච්චි කරන්න පුලුවන්. හැබැයි ලංකාවෙ ඒක මැනගන්නෙ ඇඳුමෙන්, දන්න හැම එකාටම වඳින එකෙන් වගේ අමුතු මිනුම්දඬුවලින් !

    ReplyDelete
    Replies
    1. හාති මෙරේ සාති කොම්පඤ්ඤවීදියේ නවා හෝල් එකේ එක දිගට අව්රුද්දකටත් වැඩි කාලයක් දිව්ව ෆිල්ම් එකක්. ඒත්, ඒකටත් ජෝදා අක්බාර් වලටත් වැඩියෙන් මේ ෆිලුම ගොඩක් හොඳ බවයි මගෙ මතය.
      Pra Jay මහත්තයෝ, ඔබතුමාත් නීති ක්ෂේත්‍රයට සම්බන්ධ නිසා මේක බලන්නම වටිනවා. විත්තියේ නීතීඥතුමා කොච්චර ලස්සනට කරුණු හොයා මතු කර ගන්නවද කියන එක සුපිරි වැඩක්!

      Delete
    2. මේ දවස්වල බලනව She-Hulk, Attorney at Law. තාත්වික හෝ සමාජයීය ඒවා ජීවත්වෙනකොට පේනවා, අහනවා නේ. මම විනෝදයට බලන මූවීස්වලත් ඒවා බලන්න ආසාවක් නෑ.

      Delete
    3. අපි එකේක්කෙනාගේ රුචිය විවිධයි නෙව Pra Jay මහත්තයෝ.

      Delete
  7. ඩොක්ට සාෆි ගැන මුල් කාලයේ මම ෆේස්බුක් එකේ ෂෙයා කරපු දේවල් එක්ක, අර දේශකයා කියන විදිහට ම, "මොළේ කළඳක් නැති, නමුත් හොඳ හදවතක් තියෙන" අන්තර්ජාල යාළුවො කීප දෙනෙක් මාව ඩෝබි කෙනෙක් හැටියට හංවඩු ගැහුවා.

    ReplyDelete
    Replies
    1. සෝෂල් මීඩියාවලින් විය හැකි දරුණු වැරද්දක් මේ ෆිලුමෙනුත් ඉස්මතු කෙරෙනවා, ඩ්‍රැකී. ඔයාට වෙලා තියෙන්නෙත් එවැනි දෙයක් නේද?

      Delete
  8. ඉඳල හිටලා නමක් හෙම ඉතීම් කෙනෙක්ට වැරදෙන්න පුලුහං. ඒත් සනිල්තුමා හිටියේ සියල්ලදත් වගේ. ඉතිහාස පාඥයා වගේ. එහෙම ඉඳල වරදිනකොටනම්... පුම්කෙනුත් සිනා.
    කෝම උනත් සාපි සාප ආදී හැම එකම මජ්ජම, පහල පන්තිවල අයට විතර නෙව. නීතිය උනත් නැවෙනවා ඉහල පන්තිවලට.
    ලංකාවේ යුක්තිය කියන්නෙ හෙලවෙන මනසට නෙව 😂

    ReplyDelete
    Replies
    1. සනිල්තුමාට කතාව ලියලා දුන්න කෙනා වරද්දා ගෙනවත්ද? නැත්තං වැඩි විශ්වාසෙට පලිප්පු දාන්න ගියාද?

      යුක්තිය"
      උතුමාණෙනි ෆිල්ම් එකේ හඳුන්වා දීමේ පාඨය 'යුක්තිය රජයන ලොවකට මා රැගෙන යන්න උතුමාණෙනි!" ලිව්වේ බණ්ඩාර කේ. විජේතුංග.
      'උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය' පෝස්ටුවේදීත් ඔය යුක්තිය ගැන මගෙන් ලියවුණා මතකද නමී.
      https://nidigepanchathanthare.blogspot.com/2022/06/200-halla-ho.html

      Delete
  9. තිහේ ඉඳලා තිස් එකට යන අතරෙ නිමල්ගෙ ග්‍රහයෙක් මාරු වුනාද කියලා මම එකපාරට හිතුවෙ. මේ පෝස්ට් එක මට නම් නිමල් ලියපු හොඳම සහ අති උද්වේගකර පෝස්ට් එකක්.

    "ඒකට හේතුව තමයි ඊට ටික කාලයකට කලින්, ඇයගෙ පන්තියෙ යෙහෙළියක් පන්ති කාමරය තුළදී ඔසප් වුණ අවස්ථාවක, ඒ දැරිය ළඟ සනීපාරක්ෂක තුවා නොමැතිවීම නිසා, මේ දියණිය තමන් ළඟ තිබුණු ඒවායින් එකක් ඇයට දීම!" ඇසට පෙනෙන, නොපෙනන, දුර හෝ ලඟ සිටින, උපන්, නූපන් හැම සත්වයෙකුටම මෛත්‍රී කරන්න කියන ආගමක් කර තබාගත්ත මිනිස්සු ජාතියක්, කළගුණ සලකන හැටි තමයි ඒ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි Lotus!
      ඔයා උපුටල පෙන්වන කොටස සහිත 'නජිත් ඉන්දික' මහතාගේ අතිශය සංවේදී ලිපියෙනුයි, නාගානන්ද කොඩිතුවක්කු මහතාට පොලිසියේ අය ඉදිරිපිටදීම කෙරෙන හිංසාවෙනුයි හොඳටම කැළඹිලා තමයි මේ post එක ලියන්න නිමිත්ත ආවෙත්, ලිව්වෙත්.

      මොකද මම දන්නා උගත් බුද්ධිමත් දොස්තර මහත්තයෙකුත් ඉන්නවා- (අයස්මන්ත මහතා නෙවෙයි,) ශාෆි සිද්ධිය චුයිංගම් එකක් කරගත්තු. ඒ වගේම පැවතුණු පාලනය හා පාලකයන් නිවැරදියි කියන.

      Delete
  10. ෆිල්ම් එක මම බලලා නැහැ. නමුත් නිමල් පෙන්වලා තියෙන කරුණු වලට අමතරව, විවාහක පිරිමියෙක් සමඟ යම් හෝ හේතුවක් නිසා සම්බන්දතාවක් පටන් ගන්න ගැහැනු ලමයෙකුට යම් මොහොතකදි ඒ context එක ඇතුලෙ තමන්ට වඩා ඉහල 'පිලිගැනීමක්' (legitimacy/stake) ඕනෙ කියලා හිතෙනවා. කාලෙකට ඉස්සර මෙහෙ ටීවී චැනල් එකක ඉහල නිලදාරියෙක් ඒ ආයතනයේම සේවය කරන කාන්තාවක් සමඟ ඔය වගේ සම්බන්දතාවයක් තිබිලා, පස්සෙ ඒක එලියට ඇවිල්ලා වෙනත් චැනල් එකක් ඒ ගැන වැඩසටහනක් කරා ඒ කාන්තාව එක්ක ඉන්ටවීව් එකකුත් සහිතව. ඇය කියපු දෙයක් තමයි ඒ තරම් 'සමීප' සම්බන්දයක් තිබිලත් ආයතනය ඇතුලදි තමන්ව වැඩිය දන්නෙවත් නැති විදිහට ඒ පුද්ගලයා හැසිරෙනකොට ඇයට දරුනු වේදනාවක් දැනුනා කියලා (සම්බන්දතාවය සැඟවිය යුතු බව ඇය දන්නවා වුනත්). ඒ පිලිගැනීම ලබාගන්න ගැහැනු ලමයින් දරන උත්සාහයේ ප්‍රතිපලයක් විදිහට මේ වගේ දේ වෙනවා (ඒ එකක්වත් හරිවත් වැරදිවත් කියනවා නෙවෙයි මේ).

    ReplyDelete
    Replies
    1. Film එක බලලා නැහැ කිව්වට විශ්වාස කරන්නත් අමාරුයි, Lotus! සමාවෙන්න, ඔයා බොරුවක් කියනවා කියල නෙවෙයි කිව්වේ.
      Section 375 ෆිලුමේ plot එක ගොඩ නැඟෙන්නේ අංජලී දාන්ග්ලේටත් ඔයා කියන ලෙඩේ බෝවීම නිසානේ! ඒකයි ව්ශ්වාස කරන්න බැහැ කිව්වේ... ෆිලුම බැලුවොත් ඔයාට තේරෙයි!

      Delete
    2. එහෙම ෆිල්ම් එකක් තියෙනවා කියලා දැනගත්තෙත් මේ පෝස්ට් එකෙන් තමයි, නිමල්. වෙලාවක බලන්න ඕනෙ.

      Delete
    3. තරහ නැතිව විස්තරත් කියන්න, බැලුවාට පස්සේ...

      Delete
  11. ශාපිගෙ කතාවෙ නම් තාමත් තියෙන්නෙ අපිට මතුපිටින් පේන ටික විතරයි.....

    ReplyDelete
  12. දුෂකයාගේ ඩී එන් ඒ පරික්ෂා කරන්නේ නැද්ද

    ReplyDelete
    Replies
    1. කෙරෙනවා. ඒත් ඒ සාක්කියත් වලංගු නැති තත්ත්වයට ගැනෙනවා පොලිසියේ වැරදි නිසා. ලලිත්, ෆිලුම බැලුවොත් හොඳයි නේද?

      Delete
  13. මම චිත්‍රපටය බැලුවා. පෞද්ගලිකව මම ඒ චිත්‍රපටයට කැමති නැහැ. අන්ජලී ගේ සිද්ධිය වගේ හුඟක් දේවල් ඉන්දියානු සිනමා කර්මාන්තය තුල වෙනවා. මම දන්නා ඉතාම ලස්සන ඉංග්‍රීසි මිශ්‍ර සම්භවයක් තියන ළමයෙක් ඉනිදියානු චිත්‍රපට සිස්සුව නිසාම එහෙ ගියා රඟපාන්න බලාගෙන. ඉන්දියාවේ තියෙන ස්කුල් වලට ගිය හැකි. කැමරා කරුගේ ඉඳන් අධ්‍යක්ෂක දක්වා පෝලිමේ ගිහින් නිෂ්පාදක එක්කත් හිටියේ නැත්නම් හරියට තැනක් ගන්න කතාව බොරුලු. නිදීම හොයල බලන්න. ඒවාට එන විරුද්ධතා නිසා ගහපු ජරා චිත්‍රපටයක් කියල තමා මම හිතන්නේ නම්. (ලංකාවේ එක පර ඇමතියෙකුත් ඔය වැඩේ කළා. තවමත් පක්ෂ දෙකේම ඉන්නවා කවුද කියල දන්නවා ඇති.)
    දෙක: මේ චිත්‍රපටයයි සාෆි ගේ දුවගේ කතාවයි අතරේ සම්බන්ධය මොකක්ද

    ReplyDelete
    Replies
    1. ඒ ළමය අපහු ඇවිත් තමයි ඔය කතාව හැමෝටම කිවේ. හැබැයි ඒ අධ්‍යක්ෂකල නිෂ්පාදක ල හිරේ යවන්න ලෙහෙසියෙන් බැරිලු. හැබැයි ඉන්දියානු අධිකරණය ගැන නම් හොඳ විශවාසයක් තියනව. මම එක විශවාස කරනවා මොකද හොලිවුඩ් වුලත් ඒ දේම වුනා කියල ජෙෆ්රි අයින්ස්ටින් ලයි හාවේ වෙයින්ස්ටයින් ලයි ඔප්පු කරපු නිසා.

      Delete
    2. ස්තුතියි අජිත් මහත්තයෝ,
      ඉන්දියාවේ කොහොම වෙතත් ලංකාවේ නම් දැනටත් ගොඩක් ක්ෂේත්‍රවල මෙහෙම අයුතු දේවල් සිදු වෙන බව ප්‍රසිද්ධ රහසක්. ඒ ගැන මා දන්නා තොරතුරු නොලියන්නේ ඒවාට සම්බන්ධ අංජලීල සාක්කි දෙන්න නොඑන නිසා.

      Film එකේ යටි අරමුණක් ගැන මට හිතුණේ නෑ. මම වැඩියත්ම ඉම්ප්‍රෙස් වුණේ නීතිය හා එය ක්‍රියා කරවන යාන්ත්‍රනය ගැනයි; මානුෂීය පැත්ත ගැනයි.

      දෙක: ශාෆි සිදුවීමෙදියි, ෆිලුමේ සිදු වීමේදීයි මීඩියාවලින් කෙරන තීන්දු දීම, යුක්තිය ඉටුවීම කෙරෙහි බලපෑමේ සමානකමක් නැද්ද? ශාෆිගේ දුවට - විත්තියේ නීතීඥයා තරුන්ට පවා සමාජයෙන් කෙරෙන්නේ අයුතු බලපෑමක් නේද? (මං post එකේදී නෑසූ ප්‍රශ්නයකුත් අහන්නම්කො.) චිංචා මානවිකාවගේ සිදුවීම වුණත් අද සිද්ධ වුණොත් මොනවා වේවිද?

      Delete
    3. මිඩියා වලින් විතරක් නෙමේ . නීතිය හරිහැටි ක්‍රියාත්මක නොවෙන නිසා ඉන්දියාවේ මිනිස්සුත් නිතිය අතට ගන්නවා. නීති නඩු තීන්දු ගැන අපි හුඟක් ෆිල්ම්ස් බලනවනේ. ෆිව් ගුඩ් මෙන් , devil's adovocate , mangrove වගේ ඒවා කොපමණ තිබෙනවද/ මෙතැන වඩා බලවත් පාර්ශ්වය තමයි අධ්‍යකෂකවරු. එහෙම එවුන් අරහෙම කරද්දී කතාවක් ගේනවා මේ කෙල්ලෝ "අපිව" අල්ල ගන්න කරන වැඩ කියල . මිඩියා අපිව අසාධාරණ විධිහට ජජ් කරනවා කියල. අනේ මන්ද. සාෆි ගේ කේස් එක දේශපාලන එකක්. ජරා පස්සේ බලය ගන්න හදපු කතා. එහෙම කතා ගොඩක් වුනා. නයි කතාව වගේ. මේ දෙක සම්බන්ධ නැහැ. චිංචි ගේ කථාව වුනත් අපි දන්නේ එක පැත්තක් විතරයි. අපිට කියල දුන්න එක. අපි කොහොමද දන්නේ ඒක ඇත්තද බොරුද කියල, ඇත්තටම වුනාද කියල .

      Delete
    4. ගොඩාරියක් ස්තුතියි අජිත් මහත්තයාගේ අදහස් පළ කිරීම වෙනුවෙන්. මම කැමතියි මේ වගේ එකේක කෝණවලින් මේ වගේ දේ විග්‍රහ කෙරෙනවට.

      Delete
  14. අර අජිත්බොසා කීව Harvey Weinsteinගෙ සිද්ධි ගත්තහම තේරෙනවා Hollywood වල පවා ඔය වගේ දේවල් වෙනවා කියන එක. ඇකඩමි ලෙවල් එකේ නිළියන්ගෙ නම් පවා කැත උනා. (හැබැයි සමහරු උඩට ආවේත් ඒ සම්බඳකම් නිසා තමා) සමහර නිළියන්ට වැඩ නැතිව ගියා. මිනිහ හිරේ ගියා.
    අර නස්රුදීන්ගෙ කතාවේ වගේ 'එහෙත් එහෙමයි මෙහෙත් එහෙමයි'. Hollywood, Bollywood, හෙළවුඩ්😄 හැම තැනම අඩු වැඩියෙන් ඕව වෙනවා.

    ReplyDelete
    Replies
    1. නමී, ලෝකේ කොහෙ හිටියත් ඉන්නේ මනු සත්තුනෙ.

      Delete