අකුරු මැකී නෑ

Wednesday, January 3, 2024

රෙද්ද පල්ලෙනුත් කටේ නරි වදන්...

තට්ටුව දාමුද දොරේ සීනුවට - දොරින් එපිට තිබුණත් මොනවා

ගෙවිලා විසි තුන විසි දෙක වාගෙම - 
            ඉක්මනටම කාලය                 යනවා
ඉර පායනවා, ආයෙ බහිනවා -
           නවතන්නට ජගතෙක්          නැතුවා
පන්සිල් අරගෙන, බණත් කියාගෙන -
            සීලෙත් රකිමින් ගොඩ           වඩවා-
ගන්න දහංගැට ගහ-ගහ හිටිද්දි - 
            අපටත් වේවිද         මොන-මොනවා

තට්ටුව දාමුද දොරේ සීනුවට -
              දොරින් එපිට තිබුණත්  මොනවා
මේ වාරේ නං වෙනසක් වේවියි -
              කියලා හැම  තැන     පැවසෙනවා
ඔක්කොම හොඳටම කෙරුවය කියලා -
              හම්පඩ ලොක්කන් මොර දෙනවා
තවත් කරන්නට; හොඳටම අපහට -
              එයාල හරිබරි           ගැස්සෙනවා

අර්බුදයක් තියෙනවලු ආර්ථික
          මෙච්චර - කෙරුවාටත්    පස්සේ
සීයට හැටකට වැඩිය පවුල්වල -
          ආදායම කොහොමද     බැස්සේ
මාසික වියදම අහසට නැඟලලු -
          තවත් කතාවක් සැරට      ඇසේ
පහෙන් පංගුවක් රටේ පවුල්වල -
          උදවිය එරිලලු ණය          අස්සේ

දුප්පත් මිනිහගෙ නාඩි ගැහෙන හැටි - දැනෙන ලොක්කො ඉන්නවද මෙහේ 

'මෙරට තුළ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් මේ වන විට මෙරට පවුල්වලින් 60.5% ක මාසික ආදායම පහළ බැස ඇති බව නවතම සමීක්ෂණයකින් අනාවරණය වී තිබේ. ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් මෙම සමීක්ෂණය සිදු කර ඇත.

මෙරට පවුල්වලින් 60.5% ක මාසික අදායම මෙලෙස අඩු වන විට පවුල්වලින් 91% ක සාමාන්‍ය මාසික වියදම ඉහළ ගොස් ඇති බව සමීක්ෂණයෙන් අනාවරණය වී ඇති බවද එම දෙපාර්තමේන්තුව පවසයි.

එමෙන්ම, මෙරට පවුල්වලින් 22% ක් ආර්ථික අර්බුදය නිසා ලබාගත් ණය හේතුවෙන් පීඩාවට පත්ව ඇති බව ද අනාවරණය වී තිබේ....’

හැටයි හැටපහයි බිත්තර, අඩු වෙයි -
         කියනව ඇහුණා පහුණු            දොහේ
බොම්බයි ළූනුත් තවම මිල වැඩියි -
         වෙනසක් වේවිද දුරුතු
               මහේ
තමන් ඇහේ ඇති පරාලෙ නොදැකම -
         දකින්නෙ රොඩ්ඩයි අනුන්
          ඇහේ
 දුප්පත් මිනිහගෙ නාඩි ගැහෙන හැටි -
         දැනෙන ලොක්කො ඉන්නවද    මෙහේ

කනව නෙවෙයි ලෙව කනවා විතරයි -
                        රට්ටුන් සේරම          හූල්ලමින්
මැති-ඇමැතින් නං ‘දුකට පුං’ ගහං -
                        සවාරි ගිහිල්ල පවුල්        පිටින්
දියවන්නාවට උන්ව යවපු අය -
                        ළිපටම වැටිලා ඇත   කබලෙන්
ආර්ථිකේ වැටුණාම දරුවනගෙ -
                        ඉගැනිල්ලත් අඩු වෙලලු බොලං

දරුවො සන්දියේ හීන දක්ක හැටි -
                        තාමත් මතකයි අද    වාගෙයි
අලුත් ඇඳුම්, පොත්, සපත්තු, සෙරෙප්පු -
                        ජනේරුවෙදි ළමුනට ලැබුණයි
දැන් කාලේ සිරිලකේ දරුවනට -
                        ඒ වාගේ සිහිනත්       අකැපයි
ඉගෙන ගත්තු අය පුළුවන් විදිහෙන් -
                        ඉක්මනටම මෙරටින් පිටවෙයි

දෙයියන්ටත් තම පඬුරු රකින්නට - නොහැකි වෙලාවකි මේ ලැබුවේ

‘... මාසික වියදම වැඩි වූ පවුල් අතරින් 99.1%කගේ ආහාර වියදම ඉහළ ගොස් ඇති බවත්, 83%කගේ ගමනාගමන ගාස්තු ඉහළ ගොස් ඇති බවත් එම සමීක්ෂණයෙන් අනාවරණය වී ඇතැයි එම දෙපාර්තමේන්තුව පවසයි.

වයස අවුරුදු 3- 21 අතර 54.9% කගේ අධ්‍යාපනයට ආර්ථික අර්බුදය බලපෑමක් එල්ල කර ඇති බවත්, එම සමීක්ෂණයෙන් හෙළි වූ බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

අධ්‍යාපනයට බාධා එල්ල වූ අය අතරින් 53.2% ක් ලිපිද්‍රව්‍ය වලට යන වියදම අවම කර හෝ ලිපිද්‍රව්‍ය මිලදී ගැනීමෙන් වැළකී ඇති බවත්, 44% ක් අලුත් නිල ඇඳුම් මිලදී ගැනීමට යන වියදම කපා හැරීමට හෝ මිලදී නොගෙන සිටීමට යොමු වී ඇති බවත් ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි....’ 

හිතට නිවන අඩු හින්දද මන්දා -
                         මිනිස්සු වැඩියෙන් ලෙඩ  වෙන්නේ
ලෙඩ වෙන තරමට දැන් දැන් කවුරුත් -
                         නැහැනෙ බේත් ගන්නට   යන්නේ
බෙහෙත්-හේත් ජාවාරම වාසියි -
                         ලොක්කොම මැදිහත් වී    ඉන්නේ
‘කොමිස් වැඩියි නං, ලෙඩ්ඩු මැරුණදෙන් -
                         කොලිටියටත් හෙණ ගහපන්නේ’

‘ඉස්පිටිතාලේ බෙහෙත් මොකුත් නෑ’ -
                        පුංචි සිඤ්ඤොලා කියනු
 ඇසෙයි
‘තිබ්බත් එව්වා කිසිම ගුණක් නෑ’ -
                        සිරිබිරිසුත් කියනවා
          තමයි
‘දොස්තරලත් නෑ, රට පැනලානේ’ -
                       බෙම්පි ආතටත්
      හීල්ලෙතෙයි
‘පාට මොක වුණත්’ හුඟක්ම ලොක්කෝ -
                      තොත්ත බබ්බු වාගේ    හිඳිතෙයි

‘අම්මගෙ අක්කගෙ කණකර උගසේ -
                            තියලයි හදිසිය       
 පිරිමැහුවේ’
‘සින්න වුණාවේ, ඒවා සේරම –
                            පණ ගැට ගහගන්නයි
  බැලුවේ’
දොර දොර කියවෙයි නිතර තැනින් තැන -
                            දෙයියොත් නැත පිහිටට  ආවේ
දෙයියන්ටත් තම පඬුරු රකින්නට -
                            බැහැ වාගෙයි නෙව ඇන්නෑවේ   

නැතිනං මෙලහට ලංකාවේ නැත - දුප්පත්කම කියනා රෝගේ
‘... ආර්ථික අර්බුදය පැවැති කාල සීමාවේදී 29% ක පමණ ජනතාවක් රෝගයන්ට ගොදුරු වී ඇති බවත්, ඉන් 7% ක් සෞඛ්‍ය ප්‍රතිකාර ගන්නා ක්‍රියාපටිපාටිය ආර්ථික අර්බුදය හේතුවෙන් වෙනස් කර ඇති බවත් එම සමීක්ෂණයෙන් අනාවරණය වූ බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එසේ ක්‍රියා පටිපාටිය වෙනස් කළ රෝගීන් පිරිසෙන් 35.1% ක් ප්‍රතිකාර ගන්නා ස්ථානය වෙනස් කර ඇති බවත්, 33.9% ක් රෝගය උත්සන්න වූ පසු පමණක් ඖෂධ ගැනීමට පෙළඹී ඇති බවත් එම සමීක්ෂණයේදී අනාවරණය වී ඇත. ප්‍රතිකාර ගැනීමේ ක්‍රියාපටිපාටිය වෙනස් කිරීමට මූලික හේතුව ලෙස 81.7% සඳහන් කර ඇත්තේ මුදල් නොමැතිකම බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

ජනතාව අතර සිටින අදායම අඩුවූ පවුල්වලින් 73.6%ක් කිසිම ක්‍රියා මාර්ගයක් ඒ වෙනුවෙන් ගෙන නොමැති බවත්, 6.6% ක් අමතර අදායම් මාර්ගයක් හෝ අමතර රැකියාවක් සොයාගෙන ඇති බවත් ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

ආදායම අඩූවූ පවුල් ඒ වෙනුවෙන් ගත් ක්‍රියාමාර්ග අතර ණය ලබා ගැනීම, උකස් කිරීම, අනෙක් අයගෙන් ආහාර හෝ මුදල් ඉල්ලා ගැනීම ආදිය වන බව ද දෙපාර්තමේන්තුව සඳහන් කරයි...’

පාස්කු ඉරිදා බෝම්බෙ එක්කම -
                              පටන් ගත්තෙ මේ විපත්  හැම

සමහරු කියතිලු, එයින් පෙනෙනවා -
                              මේවා ටැපලිල ඇති         තරම

ඉහඳ පණුවො political හැම තැනම -
                              ගඳ ගස්සනවා මුළු
         රටම
උන් රට කනවා; අපි ණය වෙනවා -
                              මේව අපිම කරගත්
      කරුම 

‘බෝම්බෙ මදිවට කෝවිඩ් ආවා -
                              රටේ අහේතුවකට
    වාගේ
නැතිනං මෙලහට ලංකාවේ නැත -
                              දුප්පත්කම කියනා
 රෝගේ
ආයෙත් බලයට ඇවිත් මවන්නං -
                              දුගියා රජ කරවන
 යෝගේ’
කලින් වගේමයි උන්ගේ බොරු බස් -
                              රැවටෙනවද ඉස්සර  වාගේ

ඇත්තෙ හුඟක් නැත, බොරුවෙ ගොඩක් ඇත -
                             බොරු වැපිරීමත් හරි             ලේසියි

පිරිත් කැටි කරල, මුට්ටිවල දමල -
                             ගඟට අතෑරිය හැටි
          මතකෙයි
විස්කම් දොස්තරතුමනුත් අන්තිමෙ -
                             කෝවිඩ්වලටම ගොදුරු
         වුණයි
මිත්‍යා ඇදහිලි පස්සෙන් ගියහොත් -
                             කාගෙත් ඉරණම හොඳ නැති
  වෙයි 

ගෙදර යවන්නට සූදානම් වෙමු - ඉවර වෙන්න පෙර විසි හතර!

‘... ආර්ථික අර්බුදයේ ආරම්භය 2019 පාස්කු ඉරුදින ප්‍රහාරයත් සමඟ සිදුවන බවත්, එය කොවිඩ් වසංගතයත් සමඟ තවත් දරුණු වූ බවත් එම සමීක්ෂණයෙන් අනාවරණය වූ බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 

ආර්ථික අර්බුදයත් සමඟ ශ්‍රී ලාංකිකයන් අභියෝග විශාල සංඛ්‍යාවකට මුහුණ දී ඇති බවත්, ඒ අතර සිය පවුලේ සාමාජිකයන්ගේ යහපැවැත්ම සහතික කිරීමද තිබෙන බවත් ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වා දෙයි.’ 

2023 දෙසැම්බර් 31 වෙනිදා ‘ගොසිප් ලංකා නිව්ස්’ අඩවියට ‘නවෝද්‍යා පවනි’ සපයා තිබුණු හොඳටම කළ හැටි හෙළි වෙයි- ආර්ථික අර්බුදය හමුවේ ජනතාව කබලෙන් ළිපට’ ප්‍රවෘත්තිය කියවද්දී නිදිගෙ සිතෙහි ජනිත වුණු සහසක් සිතුවිලිවලින් කිහිපයකි, සහෘද පාඨක ප්‍රජාවගේ ‘දැනුවත් රස වින්දනය’ උදෙසා මෙසේ කවි ලෙස ඉදිරිපත් කළේ. 

උත්තර නොදන්න පුරස්න තිබ්බම -
                             ප්‍රශ්න පත්තරේ මොකද කළේ

කියලා මතකද, ටක් ටික් ගැහුවා -
                             යොදවා අපගේ
 ටිකිරි මොළේ
ඒ පුරුද්දමයි තවම තියෙන්නේ -
                             අතට ආවහම ඡන්ද
   කොළේ
දැන් ඒ පුරුද්ද අතහැර ‘නිවැරදි
                             තීරණ’ ගන්නට නිසි
   කාලේ!  

පිනාල රජ වෙන, ක්‍රමයේ නිරුවත -
                            පෙනුණු බවත් අමතක
 නොකර
කණා මුට්ටි බිඳිනවා වගේ මේ -
                           රටේ නායකයො පත්
     නොකර
රැයේ වැටුණු වළ මතකෙ තියාගෙන -
                           හොර නඩයේ එකෙකුත්     නෑර
ගෙදර යවන්නට සූදානම් වෙමු -
                           ඉවර වෙන්න පෙර
 විසි      හතර ෴0෴

29 comments:

  1. ශා මරු ස්ට්‍රක්ස්චර් එකක් නේ පොස්ට් එකේ තියෙන්නෙ...

    අර තොරණෙ විස්තරේ කියන කෙනා වගේ....පින්තූරේ විස්තරේ කියලා ඊට පස්සෙ ලස්සන විරිදුවක්....


    මේ පෝස්ට් එකේ තියෙන්නෙට් ඊට සමාන ශෛලියක්... කවි ටිකත් ඒ විදිහටම ගයන්න පුලුවන්...


    මේක බ්ලොග් තොරණක් කියන්න පුලුවන්...

    - Mayya

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මයියා,
      ගොඩක් මහන්සි වෙලා වැඩේ ඉවර කළාම ලොකු සතුටක් දැනුණා.
      දැන් බෝනස් එකකුත් ලැබිලා......

      Delete
  2. https://www.reddit.com/r/interestingasfuck/comments/it3e5n/penis_overboard_this_is_a_roman_door_knockercharm/

    https://energy5.com/the-fascinating-history-of-door-knockers

    ReplyDelete
    Replies
    1. ස්තුතියි Pra Jay මහත්තයෝ,
      දොර සීනු ගැන ආයේ වෙන තැනකින් විස්තර හොයන්න ඕනි නෑ!

      Delete
  3. ජයවේවා! සුභ; බදු ගෙවන නව වසරක්!

    ReplyDelete
    Replies
    1. අය කරන බදු නිසි විදිහටම වැය කෙරෙනවා නම් අලුත් අවුරුද්ද ජයයි තමා තට්ටය මහත්තයෝ!

      Delete
  4. ජයවේවා! කිව් පලියට ජය වෙයිද
    නැති-බැරි එකා නැති වෙන්නම දෙයිද
    දියවන්නාවෙ බී ලූණුත් හිඟ වෙයිද
    පරිප්පු ටිකටත් ලඟදී කෙල වෙයිද

    ReplyDelete
    Replies
    1. ආදායමට වැඩියෙන් වියදම් කරනා
      ලෝකෙට ණය වෙලා අපි පාටිත් දමනා
      මෙහෙම ගියොත් යම් දවසක කෙල වෙන්නා
      රට පටවලා ගෑණුන්, අපි වැජඹෙන්නා

      Delete
    2. දා හතකට එකා ගානෙ වැඩ ඉන්නා
      රජ සේවයෙ සුදු අලි ටික වැජඹෙන්නා
      පෝලිම් කාක්කොත් සැදි පැහැදී උන්නා
      "රැකියා දියව්" වට ටවුමේ මොර දුන්නා

      Delete
    3. රට ගැන ආදරෙන් දුරදිග සිතා-මතා
      පිරිසිදු හදින්, යහ පැතුමෙන් පැතුම් පතා
      එකාවන්ව වැඩ කළොතින් අපෙ ජනතා-
      වටත් ජයම වෙයි ඒ ගැන සැකක් නැතා!

      Delete
    4. මී මැස්සා රූං රූං
      බකමූණා හූම් හූම්
      සිංදු කිව්වෙ හූම් හූම්
      කවිත් හොඳයි හූම් හූම්!

      Delete
    5. බසු, රාජ්‍ය සේවය බේරා ගන්න කියන්නේ විපක්ෂය නේද

      Delete
    6. අජිත් මහත්තයෝ,
      ඔයාගේ ප්‍රශ්නය දැක්කාම බස්සා මහත්තය මොනව කියාවිද කියල හිතුණා.
      මට නං මතු වුණේ තවත් ප්‍රශ්නයක්. අද ලංකාවේ විපක්ෂයක් ඉන්නවද? අද ආණ්ඩු පක්ෂයේ ඉන්නේ කවුද - ව්පක්ෂයේ ඉන්නේ කවුද කියන ඒක මටනං මාර ප්‍රශ්නයක්. මේ ඔක්කොම ඉන්නේ ජනතාවට විරුද්ධව; විපක්ෂව නේද?

      Delete
    7. නිදි කිව්ව වගේ අද විපක්ෂය මොකක්ද කියන එකත් ගැටලුවක්. විපක්ෂ ඉන්නකොට ඕක හැමෝම පාවිච්චි කරන එකක්, බලය අල්ල ගන්න. ඊට පස්සෙ ආයෙ පරණ සිංදුවම තමයි. එහෙම ගිහින් තමයි මේ ඉන්න "ආසියාවේ සවු-බාගෙ" තැනට ආවෙ.

      Delete
  5. අගෙයි!
    වෙනසකටත් එක්ක මෙහෙම පෝස්ට් එකක් ලියවෙන එක හොඳා.

    ReplyDelete
    Replies
    1. //උන් රට කනවා; අපි ණය වෙනවා - මේව අපිම කරගත් කරුම// අනිවාර්යයෙන්. අපිම මේක වෙනස් කරනකනුත් මේව මෙහෙමම තියෙයි. ඒත් ඒ වෙනස කරන තරමට මිනිස්සු සබුද්ධික නැති බවයි... මට පේන්නෙ. තව කාලාන්තරයක් විතර මේව මෙහෙමම තියේවි කියල හිතෙනව 💔

      Delete
    2. //ඒත් ඒ වෙනස කරන තරමට මිනිස්සු සබුද්ධික නැති බවයි... මට පේන්නෙ. තව කාලාන්තරයක් විතර මේව මෙහෙමම තියේවි කියල හිතෙනව//
      හ්ම්.. මේක කියෙව්වම මටත් ඒක හිතුනා😌💔
      https://economatta.blogspot.com/2024/01/blog-post_4.html

      Delete
    3. කව්රු මොනවා කිව්වත් නමී, දැන් දැන් මිනිස්සු එඩිතර වෙන්නත්- කරුණු තේරුම් ගන්නත් පටන් අරං. දැක්ක නේද දේසපාලුවන් කීප දෙනෙකුටම හූ කියලා පන්නා ගත්තා, මහජන මුදල් වැය කරලා කරපු දේවල්වලින් බැබලෙන්න ගියාම.

      අරගලයෙන් සිද්ද වුණු ලොකුම මෙහෙවර, මිනිස්සුන්ට ඒ සවිය දීම කියලයි මං හිතන්නේ!

      Delete
    4. බස්සා මහත්තයෝ, වෙනස වෙන්න පටන් අරං. හැබැයි හෙමින් හෙමින්- ගමේ ගොඩේ මිනිස්සුමයි කියන්නේ...

      Delete
    5. කොච්චර දෙයක්ද හෙමින් හරි එහෙම වෙනසක් වෙනවා නං. වෙන්න ඕනෙ බොරුව, වංචාව ප්‍රතික්ෂේප කරන සමාජ සම්මත පෙරලියක්. සමහර වෙලාවට ඒකට කික්-ස්ටාර්ට් එකක් එන්නෙ දරුණු හොට බිම ඇනීමකට පස්සෙ වෙන්නත් ඇහැකි.

      Delete
    6. බසූ, ඉකොනොමැට් පෝස්ටුව පස්සෙ බලන්නං.

      නිදි, ඔය හූ කිව්වෙත් හිටං... බෙදන දේවල් ගන්න ගිහිං නේද.

      අර වැඩ බල්න පොලෝසි ලොක්ක රඟන එකට කී දෙනෙක් දැන් සාදුකාර දෙනවද. කොම්බුවේ ටෙලි හෙම බලන ගෙවල්වල ගෑනුපරාන, නිව්ස් අහන උන්... අනේ හොඳා කුඩු, අයිස් තුරන් වෙනව ගගා ගොන් කතා කියනව. එන මොකක් හරි මැතිවරනයකින් ගියපාර නයා වෙනුවට මෙදා වෙන මොකක් හරි ගෙනත් ජන්දෙ ගනී.

      Delete
    7. මේ උද්දමන, වියහියදං වැඩිවන එකත් එක්ක මිනිස්සුන්ට හරිදේ ගැන නිදහසේ හිතන්න මානසිකත්වයක් නෑ. ඇත්ත, බොරැව වෙන්කරල තේරැම්ගන්න සංයමයක් තියෙයිද... හෙට ගෙවන්න තියෙන ණය ටිකයි, බිල් ටිකයි නිතරම ඔලුවෙ තියෙනකොට.

      Delete
    8. නමී, ජාතියක් වශයෙන්ම අප නිකං දෙන දේවල්වලට හරි කැමැතියි නෙව!!!!
      ඔයා කියනවා වගේ තවමත් සමහරුන් දේශපාලන වශයෙන් සබුද්ධික නැහැ තමයි.
      අනෙක නමී, මිනිස්සු කුලප්පු වෙන්නේ එයාලට රිදුනාම තමයි- එතකල් පාඩුවේ ඉන්නයි කැමති.

      Delete
  6. අපටත් මෙහෙ ප්‍රශ්න නිදි. යුද්ධ දෙකක් එක්ක. හැබැයි රටේ ආර්ථිකය ශක්තිමත් වෙලා තියෙන්නේ අපි වැඩ කරන නිසා, ඒ කාලේ ඉඳන් පිටින් ගෙනාපු ධනය හොඳට මෙයාලා හොඳට ආයෝජනය කරපු නිසා. අනවශ්‍ය රාජ්‍ය මැදිහත්වීම් නැති නිසා වගේ ගොඩක් හේතු තියනව. ලංකාවේ දේශපාලකයෝ තෝරා එවපු ජනතාවම තමයි ඊළඟ වැදගත් තීරණය ගන්න ඕන

    ReplyDelete
    Replies
    1. ලංකාවේ මිනිස්සුන්ට මෙච්චරකල් තෝරාගන්න වුණේ 'කාබාසිනියාකාර ලොක්කො තෝරලා ඉදිරිපත් කරන උන්ගෙ එහෙයියන්' අතරින්නෙ, අජිත්.... බලමුකෝ- මේ වතාවෙත් එහෙම වුණොත්, හුඟක් උදවියට ඇපත් නැති වෙයි. දැක්කා නෙව ගිය සැරේ මහ ගසුත් පෙරලුන හැටි.

      Delete
  7. වෙනස් නිර්මාණයක් අයියේ.

    ReplyDelete
  8. අපුරු පොස්ටුවක්. කවි රසත් විඳගත්තා. බොහොම ස්තුතියි.

    ReplyDelete
  9. සිතිවිලි මං පෙතේ සුලමුල බලනකොට
    දැක්කා කිවිඳියක් ගොතනව කවි හැඩට
    පසුගිය කොටස් කියවන්නට හිතුනි මට
    කියවා ලියන්නං - ඉඩකඩ ඇති ලෙසට

    ReplyDelete