අකුරු මැකී නෑ

Friday, October 31, 2025

උපන් දිනේ පට්ටන්දරේ - දෙවෙනි කොටස

2015.10.01-
දීපානිලා එංගලන්තයෙන් පිටත් වෙන්නේ අද.

අදයි සර්ප්‍රයිස් පාටියේ හැංගිලා තිබුණු විස්තර එළිදරව් වුණේ... Samගෙනුයි, නෙවිල්ගෙනුයි. ‘ ග්‍රෑන්ඩ් මොනාර්ච් ඉම්පීරියල් එක හොඳයි කියලා recommend කළේ දීපාල්. ඒකේ ජැපනීස් රෙස්ටෝරන්ට් එක තෝරගත්තේ අපි.’
“දන්නවද? ඔයාට නොදැනෙන්න ඔයාව එහාට
ගෙන්න ගන්න plans තුනක් අපිට තිබ්බා.”

කැවුම්, කොකිස්, දොදොල්, කෙසෙල් එහෙම සේරම ගත්තා. ආස්මීත් හැදෙව්වා. චූටි නංගි කිව්වා මැතිව් හරි ආසයි කියලා ආස්මීවලට... (ෆොටෝ- මැතිව්)

“ප්ලෑන්ස් තුනක්?

‘ඔව් හලෝ. Plan A, B, C... එකක් හරි නොගියොත් ඊළඟ එකට...’ නෙවිල් කිව්වා. “පීරිස්ට එන්න බැරි වෙච්ච නිසා plan A අතාරින්න වුණා. Plan B තමයි හරි ගියේ...”
“එතකොට Plan C එක මොකක්ද?” මං ඇහුවා.
“ඒක රහසක් විදිහටම තිබිච්චාවෙ. ඉස්සරහට හරි වැඩක් ගන්න බැරියැ!” කියලයි නෙවිල් කිව්වේ- කෙලින්ම උත්තරයක් නොදී.

2025.10.02-
“ලොකා, අද පාන්දර පහට විතර චූටිලා මෙහාට ආවා.” මානෙල් උදෙන්ම කතා කරලා කිව්වා. “මෙන්න චූටිටත් ඕනලු ඔයාට කතා කරන්න...”
“හායි ලොකූ... ගුඩ් මෝනින්! ඔන්න ලොකූ තව ටිකකින් අපි පන්සලට යනවා. ඊට පස්සේ අපි ඉස්සෙල්ලම ඔයාව බලන්න එනවා...”
“පිස්සුද චූටි? ඔයාට අද දවසේ කී දෙනෙක්ව බලන්න යන්න තියෙනවද? මං හවසට නෙවිල් අයියත් එක්ක ඔහෙට්ට එනවනේ... අනික අද රෑටත් මම ඉන්නේ ඔහෙනේ. එතකොට හම්බ වෙමු. ඒ මදැයි... ඔයාගේ වෙලාව ඉතිරි කර ගන්න ඕනිනේ.”

“නෑ නෑ ලොකූ, I must see you first!”

“It’s up to you... කෝ- රෝසි එහෙම ළඟ ඉන්නවද? ඉන්නවා නං...”
“ඉන්නවා ඉන්නවා... රෝසා, මෙන්න ලොකු මාමට ඕනිලු ඔයාට කතා කරන්න.”
“ඇයි ලොකු මාමේ...”
“මම දන්නවා, ඔයා b’day කේක් එකක් හදවනවා නේද? ඒකේ සුනිල් මාමගේ නමත් දාන්න. අපි දෙන්නම එකතු වෙලා හෙට කේක් එක කපන්නං. සුනිල්ගේ උපන් දිනේ සැප්තැම්බර් 26 වෙනිදනේ...”

මම එහෙම කිව්වේ මට දැනෙමින් තිබුණු පසුතැවිල්ල අඩු කර ගන්නයි. මොන හේතුවකටද මංදා ඒ කාලේ ඉඳලම මගේ උපන් දිනය තරමක් හෝ ජයටම සැමරුනා. අපේ පවුලේ අනිත් අයට ඒ chance එක ලැබුණේ අඩුවෙන්. ඒකයි මට දුක...

ඊට පස්සේ මං මානෙල්ගෙන් ඇහුවේ එයාලගේ සැලසුම් ගැන. “මොනවද මානි ගෙනියන්න ගන්නේ?”
“ඔයා මොකුත් ගන්න ඕනි නෑ. පොඩාලට කිව්වා කිරිබතක් විතරක් හදන්න. කැවුම්, කොකිස්, දොදොල්, කෙසෙල් එහෙම සේරම ගත්තා. ආස්මීත් හැදෙව්වා. චූටි නංගි කිව්වා මැතිව් හරි ආසයි කියලා ආස්මීවලට...”

රෝසිලගේ ‘කල එළි මංගල්‍යය’ තිබ්බෙත් ඔය සමන් දේවාලේදී... (ඉදිරි පෙළේ මැදින්ම සිටින්නේ රෝසියි.)

දෙවෙනිදා හවස අපි මානිල ගෙදරට ගියා.

පහුවදා පාන්දරින් නැඟිටින්න තියෙද්දිත් අපි පරණ කතන්දර සජ්ජායනා කරමින් උන්නේ හරිම ආසාවෙන්. “ලොකාල නිඳා ගන්නෙ නැද්ද? හතරහමාරට වාහනේ මෙහාට එයි.” ගාමිණී මතක් කළාමයි අපේ ආ-ගිය කතන්දර කීල්ල නැවතුණේ.

2025.10.03-
හතරහමාර වෙද්දී වාහනේ ආවා. එතකොටත් අපි සේරමලා ලෑස්තියි.

“බලංගොඩටනෙ යන්නෙ... ඉංගිරියට ගිහිං රත්නපුර පාරේ යමු නේද?” රියැදුරු මංජුල ඇහුවා. නෙවිල් එක පයින්ම කැමැත්ත දුන්නා. මං එයාලගේ තේරීමට විරුද්ධ වෙන්න ගියේ නෑ. ඒත් ඒ (A 8) පානදුර- රත්නපුර පාරට මගේ නං එච්චර කැමැත්තක් නෑ- වංගු වැඩි හිංදා.

“මේ පාරෙන් යන නිසා රත්නපුරේ සමන් දේවාලෙටත් ගිහිං යමු. දීපානි දන්නවද රෝසිලගේ ‘කල එළි මංගල්‍යය’ තිබ්බෙත් ඔය සමන් දේවාලේදී...”
“මොකක්ද ලොකූ කල එළි මංගල්ලේ කියන්නේ?”
“හොඳටම උඩරට නැටුම් ඉගෙන ගත්තට පස්සේ තමයි පිරිමි අයට වෙස් බඳින්නේ. ඒකට ගුරුතුමා සැටිස් වෙන්න ඕනි. අර ඔටුන්නක් වගෙ වෙස් තට්ටුව බැඳලා තමයි උඩරට නැට්ටුවෝ නටන්නේ... සාමාන්‍යයෙන් ලංකාවේ ගෑනු අයට වෙස් තට්ටුව පළන්දන්නේ නෑ- පාහිම් පත් බඳිනවා විතරයි. නැටුම් ගුරුවරයෙක්ගේ හොඳම ගෝලයන්ට වෙස් බැඳලා- පාහිම් පත් තියලා ප්‍රසිද්ධියේ නටන මුල්ම show එකට තමයි කල එළි මංගල්‍යය කියන්නේ...  රෝසි, තමුසෙ කට වහගෙන ඉන්නේ- කියල දෙනවකො දීපානි පුංචිට ඒ විස්තර...”
“ලොකු මාමා ඔක්කොම විස්තර කිව්වනේ! වෙන මොනවද කියන්නේ?”

“මට තියෙනවා question එකක්... ඇයි ගෑනු අයට අර මොකක්ද- වෙස් තට්ටුව බඳින්නෙ නැත්තේ... It’s unfair...” දීපානි විමසයි.

“මේකනේ පුංචි. ඒක තමයි සම්ප්‍රදාය... ගොඩ කාලෙක ඉඳලම තියෙන tradition එක.” රෝසි විස්තර කියයි. “රැජිනි සෙල්වනායගම් මැඩම් එයාගේ ගෝල ගෑනු ළමයි කීප දෙනෙකුට වෙස් තට්ටුව පළන්දලා වෙනසක් කළා... හැබැයි ඒ trend එක දිගට ගියේ නෑ.”

“රෝසි දන්නවද? අපි දන්න ගෑනු ළමයෙකුත් එදා වෙස් බැන්දා. Show එක තිබ්බේ මහරගම ජාතික තරුණ සේවා සභාවෙ. මතකද නෙවිල්... අපි දෙන්නත් ගියා ඒක බලන්න. හැබැයි එදා මට හිතුණේ සම්ප්‍රදාය මොක වුණත්, ගෑනු ළමයින්ට වෙස් තට්ටුව ගැළපෙන්නේ නෑ කියලයි...”
“ඔව් දීපානි. ඒක දැම්මාම ගෑනු ළමයින්ගේ සියුමැලිකම නැති වෙනව වගෙ!” නෙවිලුත් මගේ පැත්තට...

දීපානි විවේක වේලාවන්වල සුපැතුම් පත් නිර්මාණය කරයි; අන්තර්ජාලය හරහා ඒවා අලෙවි කිරීමත් කරයි. (ෆොටෝ- මැතිව්)

අපේ කතාබහ මැතිව්ටත්, ස්ටෙෆ්නිටත් තේරෙන්නේ නැත. එයාලාට සිංහල තේරෙන්නේ යාන්තමිනි. ඒත් සිංහලෙන් උත්තර නොදී ඉන්නටය ඒ දෙන්නාගේ කැමැත්ත...

අප කිරිඇල්ල හරියට යද්දී වටින්-ගොඩින් එළිය වැටිලාය. මැතිව් හරි බිසිය. ඈතින් පෙනෙන අළු පැහැති කඳු පන්ති අතරින් වලාකුළු මවන නෙක රටාවන් මැතිව් ෆොටෝවලට ගනියි.
“Matthew is a very clever boy! ඔව් මානෙල් අක්කේ- මැතිව්සුත් මං වගෙම greeting cards හදනවා. ඒ ටැලන්ට් එක එයාටත් තියෙනවා...” දීපානි කියන්නේ උද්දාමයෙනි.
දීපානි විවේක වේලාවන්වල සුපැතුම් පත් නිර්මාණය කරයි; අන්තර්ජාලය හරහා ඒවා අලෙවි කිරීමත් කරයි.

“මවුන්ටන්ස්... mountains...!” හිමන්‍යා වාහනය දෙදරවන හඬින් උඩ පනියි. කෙල්ල කඳු පන්ති- වනාන්තර ආදියට හරි කැමතිය. “අපි දැන් බලංගොඩ නේද නෙවිල් සීයේ?”
“ඒකට තව ටික දුරක් යන්න ඕනි හිමා. මේ රත්නපුරේ... සමන් දේවාලේ... එහාට ගිහිං ඇවිත් අපි කෙලින්ම බලංගොඩට යනවා.”

“අනේ! ටෝනි මං එනකං බලාගෙන ඉන්නවා ඇති...” හිමන්‍යා ටෝනි කිව්වේ සුනිල්ලගෙ ගෙදර ඉන්නා පූසාටය!
“ඔව්, ඔව්... සුනිල් සීයා ටෙලිෆෝන් එකෙනුත් කිව්වා ටෝනි ඔයා එනකල් බලාගෙන ඉන්නවා කියලා.”
“මානෙල් ආච්චි බොරුමයි කියන්නේ... පූසොන්ට කතා කරන්න බැහැනෙ.” හිමන්‍යා එක්ක යමක් කියා පිරිමැසීම ලේසි නැත. කතාවේ අං-කොන් සේරම හගිස්සන කෙල්ල අවුරුදු පහක දැරියක් වුණත් වයසට වඩා බුද්ධිමත්ය.

‘ඔන්න හිමා වැරදි වැඩ කරන්නේ බලාගෙන... දෙයියො අහසේ උඩ ඉඳගෙන අපි දිහා බලාගෙනයි ඉන්නේ.’ වතාවක් මානෙල් හිමන්‍යාට කියා තිබේ.

“එතකොට මේ බඩ්ඩ චුට්ටක් කල්පනා කර කර ඉඳලා මගෙන් අහනවා -දෙය්යෝ උඩ ඉඳලා කක්කා දානකොට ඒවා කොහාටද වැටෙන්නේ- කියලා...” ඊට පස්සේ මානි හිමා මිනිබිරියට යමක් කියන්නේ ඉතා පරෙස්සමිනි.

“මානෙල්, පොඩ්ඩා ඔයාට ෆෝන් කළාද?”
“ඔව් ලොකා... එයාලා කිරිබත් හදලත් ඉවරයිලු. මං කිව්වා සමන් දේවාලය වැඳලා මෙහෙන් පිටත් වෙනකොට පොඩි අයියට කියන්නං කියලා.”
“ඒ කියනකොට සුනිල්ලට කියන්න පොල් බෑයකුත් ගාල තියන්නයි කියලා.” ඒ විත්තිය ඇහුණු ගමන්ම ඇවිස්සුණේ නෙවිල් උන්නැහේය.

සෑම්- දීපානි අනිල්ගේ කට්ටිය බලන්නට ගිහිං...

“ඒ මොන ලජ්ජ නැති වැඩක්ද හලෝ... කොයි රටේද කැවුම් කිරිබත් එක්ක ගාපු පොලුත් කන්නේ?”

“කවුද කිව්වේ ගාපු පොල් කන කතාවක්... මං අග්ගලා හදන්න හාල් බැදලා කුඩු කරගෙන ආවා. ඒකටයි මනුස්සයො පොල්.”
“නෙවිල් අයියේ... දේවාලෙට ගිහිං ඇවිත් ඔයාලගෙ රණ්ඩුව කරමු නේද? පරක්කු වෙලා බෑ. අපිට බඩගිනිත් එක්ක...” ඒ මානෙල්.
“එහෙනං ආපහු ආවම බිස්කට්ස් දෙන්නං!” මේ දීපානි.

“ලොකු සීයේ... I am going to help you. එන්න... මගේ අත අල්ලගෙන යමු...”
“Thanks Hima. It’s very kind of you!”
“එහාට ගියාම මේ මල්වලින් ටිකකුත් මං ඔයාට දෙන්නංකො ලොකු සීයේ පූජ කරන්න... රතුපාට ඒවයි- සුදුපාට ඒවයි දෙකෙන්ම දෙන්නං. හාද?”

“චූටි, අපි ආපහු ආවාම මං කියන්නං ලස්සන කතාවක්. අපේ මහරගම සීයා ගැන... මට මතක් කරන්නකෝ.”

හිමිදිරි පාන්දර නිසාත්, සතියේ දවසක නිසාත් සමන් දේවාලයේ උන්නේ බැතිමතුන් කිහිප දෙනෙකු පමණි. පමා වෙන බැවින්දෝ අපේ නඩේ සැදැහැවතුනුත් වන්දනාවට ගත්තේ කෙටි කාලයකි. යදමින් බැඳ දමා තිබුණු අලි ඇතුන් වෙත ‘අනිමිස ලෝචන පූජා’ පැවැත්වීමට ඔවුහු ඊට වඩා දිගු කාලයක් ගත කළහ.

“මොකක්ද ලොකු මාමේ මහරගම සීයාගේ කතන්දරේ?” පවුලේ අතීත කතා අහන්නට කැමති රෝසි මතක් කරයි.

”සීයා වැඩ කළේ රේල්ලුවෙනේ. එතකොට එයාලා ඉඳල තියෙන්නේ රත්නපුරේ. මේ කියන කාලේ අපේ තාත්ත පොඩි එකෙක්. ඒ දවස්වල සීයා හෙණ හැන්ඩියාලු. ටීචර් කෙනෙක් එක්ක හුටපටයකුත් තිබිලා ආච්චිලට මාට්ටු වෙලා. ඒ වෙලාවේ සීයා law point එකක් දාලාලු බෙල්ල බේරා ගත්තේ. එච්චරට මොළයක් තිබිච්ච සීයා හිටි ගමන් විශ්වාස කරන්නත් බැරි තරං තකතිරු වැඩත් කරල තියෙනවා... ඒකයි පුදුමේ!”

“අපෝ. ඒකෙ කිසිම පුදුමයක් නෑ... දිසානායකලාගේ හැටි එහෙම්මනේ... මතකනෙ නිමල් දිසානායක සරුංගල් දානයක් දීලා කරගත්ත හුටපටේ...”

“ලොකු අයියගේ කතාව ඉවර කරන්න දෙන්නකෝ නෙවිල් අයියේ. ඊට පස්සේ ඔයා අපට කියන්න ඒ සරුංගල් දානෙ කතන්දරේ...”
“එකට සීයක් කියන්නංකො දිසානායකගේ මෝඩකම් නං...”
“සීයක්? සීයක් නෙවෙයි- පහක්... පහක් කියනවා පුළුවනි නං.”

අපේ නඩේ සමන් දේවාලය ළඟදී...(ෆොටෝ- මැතිව්)

“හරි, හරි. ෂේප් ෂේප්. Silence please... ලොකූටයි දැන් චාන්ස් එක. සීයලා රත්නපුර ඉඳිද්දී මොකද ලොකූ වුණේ?”

“මේ සමන් දේවාලේ අවුරුද්දකට වතාවක් ලොකු පෙරහරක් තියෙනවා... ඒක දවස් ගණනාවක් තිස්සේ තියෙන උත්සවයක්. පළාතේම සෙනඟ එනවලු පෙරහර දවස් ටිකේ. අපේ ආච්චිත් හෙණ බිස්නස් මයින්ඩඩ් අම්මණ්ඩි කෙනෙක්ලුනෙ...”
“අපේ Sam වගෙ!”
“මට කියන්නේ? දැන් තමුසේ නේද චූටි business woman කෙනෙක් වෙලා තියෙන්නේ...”
“ඒ පාර උඹල දෙන්නා පටන් ගත්තද? කට වහගෙන හිටහල්ලකො ලොකාට කතාව කියන්න දීලා.” මානෙල් ස්වේච්ඡාවෙන්ම කතානායක ධුරය බාර ගෙනය. “ඉතිං ඉතිං...”

“ඉතිං සමන් දේවාලෙ පෙරහර කාලෙට දාන තාවකාලික කඩවලින් එකක් ආච්චිත් අරං... ඒකෙ සරුවත් කඩයක් දාලා. කඩේ වැඩට කොල්ලෙකුත් අරගෙන. සීය තමයි ඒ කොල්ලත් එක්ක සරුවත් බිස්නස් එක කරගෙන ගිහිං තියෙන්නේ- ආච්චිගේ මැහුම් වැඩත් ගොඩ ගැහිලා තිබ්බ හිංදා.
දවස් දෙක තුනකට පස්සේ දවසක රත්නපුරේ ලොක්කෝ වගයක් සෙනඟකුත් පිරිවරාගෙන ආච්චිව හම්බ වෙන්න ඇවිත්. ඒ මිනිස්සු ඇවිත් තියෙන්නේ හොඳටම කේන්තියෙන්. ‘මොකක්ද හාමිනේ මේ කරන නොහොබිනා වැඩේ තේරුම. චාර්ල්ස් මහත්තයාත් අඩු කුලේ එක්කෙනෙක්ද? අර පදු කොල්ලව සරුවත් කඩේ කැෂියර් කූඩුවෙන් වාඩි කරවලා ඉවර වෙලා උන්නැහේ පක්කලි වැඩ ටික සේරම කරන්නේ... හාමිනේලා ගැන දන්නා හින්දයි කියලා යන්න ආවේ... රත්නපුරේ ඉන්නේ වංශවත් අපි වගෙ උදවිය. හාමිනේ අදම ඒ පද්දාව කඩෙන් එළවලා දාන්න ඕනි. චාර්ල්ස් මහත්තයා කිව්වත් ඌට වටින්නේ නැහැනෙ කැෂියර් පුටුවේ වාඩි වෙන්න. උන් දැනගන්න ඕනි ඇඟිල්ලේ තරමට ඉදිමෙන්න. ඌව එළෙව්වේ නැත්තං අපි අදම හාමිනේලගේ සරුවත් කඩේ කුඩු කරලා ගිනි තියල දානවා.’ කියලලු ඒ මිනිස්සු ගියේ. ආච්චි එවෙලෙම කඩේට යනකොටත් සීයා පරණ හම්පඩයක් ඇඳගෙන වීදුරු හෝදනවලු... අර කොල්ලා කැෂියර් පුටුවෙලු... ආච්චි එවෙලෙම ඌව එළවලා...”

“Sorry loku... I couldn’t understand. Who is පද්දා? What is අඩු කුලේ?” දීපානිගේ මුහුණ විසඳීමට අසීරු ප්‍රහේලිකාවකට මැදි වුණු එකියකගේ වගෙය.
“It is cast... lower cast... Isn’t it loku?”

මේ පාරේ කිලෝ මීටර් හතහමාරක් විතර යන්න ඕනි! (ෆොටෝ- මැතිව්)

“ඔව් සෑම්. ඒ කාලේ ඔය කුල කතන්දරේ ගොඩාරියක් තදේට තිබ්බා. නාට්‍යයක වැඩවලට අපේ  ගෙදරට ආව අඩු කුලයක කෙනෙකුට සැලකුවය කියලත් සැරයක් ආච්චි අපට තඩි දෝස්මුරයක් දැම්මා...”

“මේ දිසානායක... ඔයා ඉස්සරහින් වාඩි වුණේ පාර කියන්න නේද. දැන් අපි බලංගොඩට ඇවිත් ඉන්නේ. ඉතිං පාර වරද්දගෙන ගෝරියක් දාගන්නේ නැතිව හරි පාර පෙන්නනවා මංජුට...”
“නෙවිල් හිතන්නේ මගේ රාජකාරිය මට අමතක වෙලයි කියලද? අතනින්... මංජු. අතනින් වමට; උඩහට තියෙන පාර... බදුලු පාර නෙවෙයි... රාස්සගල පාර. හරි! මේ පාරේ කිලෝ මීටර් හතහමාරක් විතර යන්න ඕනි.”

ඒ දුර ඩිංගිත්ත යන අතරේය, Sam ඉතිරි හරිය සැලසුම් කළේ.

“සුනිල්ලගේ වත්ත ඇතුළට වාහනේ ගන්න කලින් අපිට වාහනෙන් බහින්න වෙනවා... මිදුලේ ඉඳලා පාරට එනකල් ලොකු පල්ලමක්නෙ තියෙන්නේ...” නෙවිල් තත්ත්ව වාර්තාවක් දුන්නා.
“හැමදාම කරනවා වගේ පොඩි අයියා අපිව ගෙදරට යවලා යයි අපේ  bags ටික බාන්න...” මානෙලුත් කරුණු එකතු කළා.
“එතකොට මට තියෙන්නේ වාහනේ පිටිපස්සේ සීට් එකක් අස්සේ ගුළි වෙලා ඉඳලා ‘හග්’ කියලා පොඩි අයියගේ ඇඟට පනින්න. ඔන්න ඕගොල්ලෝ හිනා වෙලා වැඩේ කන්න එහෙම එපා... හොඳේ!”

ඒ විස්මය කොතෙක්දැයි කියන්නට කිසිම කැමරාවක් සමත් නොවෙනු ඇතැයි මට සිතේ! (ෆොටෝ- මැතිව්)  

හැමෝම හිනා වුණා නොව හිනා කෑවෝහ; 😂😂😂😂😂.
ඒත් අප එහෙම කළේ අපේ සුන්නා සමන්තිව දැකලා පුදුමයෙන් අත ඔළුවේ ගසා ගත්තාමය. ඒ විස්මය කොතෙක්දැයි කියන්නට කිසිම කැමරාවක් සමත් නොවෙනු ඇතැයි මට සිතේ!
 

තෙවෙනි කොටස තව දින කිහිපයකින්...

25 comments:

  1. ලින්ක් දෙකටම ගිහින් සීයගෙ කතන්දර කියෙව්වා. තෙත ගෝනියෙන් වහලා පිඟන් බින්ඳ කතාව මරු.😁

    ReplyDelete
    Replies
    1. සීයා කේන්තියට එහෙම කළාට බස්සෝ, එතකොට කේන්තිය නිවිලා තියෙන්න ඇති නේද?

      Delete
  2. මම මේක මතක තියා ගන්න ඕනෙ "නිමල් දිසානායක සරුංගල් දානයක් දුන්නා වගේ".😜

    ReplyDelete
    Replies
    1. ඒක නං මතක් වෙනකොටත් මටම හිනා!

      Delete
  3. කියෙව්ව කියෙව්ව ඉතිං.
    ඔය කුල කේස් එකනං මම තදිංම ප්‍රතික්ෂේප කරන දෙයක්.

    ReplyDelete
    Replies
    1. මලී ලිව්වා ඔය ගැන නියම අත්දැකීමක්"

      වාසගම්

      Delete
    2. 2018දී වාසගම් post එක කියවලා (පළමු කමෙන්ටුවත් දාල තිබුනත්) ආයෙම කියෙව්වා. මරු!

      Delete
    3. Praසන්ன මහත්තයෝ. කෙනෙක් බ්‍රාහ්මණයෙක් හරි වසලයෙක් හරි වෙන්නේ උත්පත්තියෙන් නෙවෙයි- කරන දේවලින් කියලයි මමත් තරයේ අදහන්නේ.

      Delete
  4. වැඩි සතුටක් දැනෙන්නේ සිදුවීම් අවසන යළි මෙනෙහි කරන විටයි.

    ReplyDelete
    Replies
    1. ඒකෙ ආයේ දෙකක් නෑ Litseeker. ඔය කතාව කියනකොට මට මතක් වෙන්නේ උපුල් සාන්ත සන්නස්ගල මහත්තයා මට කියාපු මරු කතන්දරයක්. වෙලාවක් තියෙ නං කියවන්නකෝ.

      https://nidigepanchathanthare.blogspot.com/2018/06/blog-post_7.html

      Delete
    2. ඒ ලින්ක් එකට ගිහින් කියෙව්වා.

      Delete
    3. ස්තුතියි බකුසාණෙනි.
      ඒ post එක ලිව්වේ 2018 දී.

      Delete
  5. //-දෙය්යෝ උඩ ඉඳලා කක්කා දානකොට ඒවා කොහාටද වැටෙන්නේ- කියලා// ඒක මරු . ළමයින්ට බොරු කියන්න බැහැ කියන්නේ ඒකයි 😀 ජැපනීස් රෙස්ටුරන්ට් යනවා නම් ආතල් නේ

    ReplyDelete
    Replies
    1. හුඟක් වැඩිහිටියන් හිතන්නේ ළමයි මෝඩයෝ කියල නෙව අජිත් ධර්ම මහත්තයෝ.
      මොනාර්ච් එක තෝරලා තියෙන්නේ අපේ දීපාල්. ජැපනීස් එක තෝරාගෙන තිබ්බේ සමන්තියි නෙවිලුයි.

      Delete
  6. කියවීමි සිත්තොසින්
    නිදීගෙ මතකයන්
    සිටින මුත් මළා මෙන්
    කුලය නම් සර්පයන්
    අවදීවේවිද .....
    පෙනය පුප්පන්.

    ReplyDelete
    Replies
    1. පෙනේ පිප්පුවොත් ඔලුවට පත බාපං
      කෑලි හයේ ටෝච් එකෙන් සලකාපං
      ඩ්‍රැකියා විකුණනව රා මැන පොල් කට්ටෙන්
      னයා එතන රා බීලා වැටිලා නිදන්

      Delete
    2. නිහඬපාල මහත්තයෝ,

      සැම දනන් සිත් සතන්
      තුල හිඳී නෙක සපුන්
      නිසසලව සැතපෙමින්
      වින කරන්නට බලන්

      නොදී උන්හට ඉඩක්
      වින කරන්නට ගොඩක්
      දැපුම අප සතු වැඩක්
      කරමු, එය යහපතක්!

      Delete
    3. බස්සෝ,

      කිව්වට තරහ ගන්නැති හිංදා කියමී
      නපුරු සපුන් දුටු විට මම මඟ හරිමී
      උන්ට තලන්නට නං මම නොයන්නෙමි
      උන්ටත් මෙත් වඩා සතුටින් සිටින්නෙමි

      Delete
    4. නපුරු සපුන් ඇත බැලු,බැලු හැම පැත්ත
      මගෙ හිත නොසන්සුන් වෙන බව ඇත්ත
      දමනය කර ගන්න මගෙ හිත මින් මත්ත
      උත්සහ කරමි ඔබ දුන් උපදෙස් සත්ත

      Delete
    5. උත්සාහය අගෙයි කිව යුතු දෙයක් ඇත
      සිල් ගත් නයා ගැන පුවතත් මතක් වෙත
      දෂ්ට කරන්නට අකැමති වුණත් හිත
      ඕනෑ තැනදි පිප්පිය යුතු පෙණය මිත

      Delete
  7. Replies
    1. ගොඩක් ස්තුතියි ඉයන්.
      ඉතාම කාලෝචිත post එකක් ලිවීම වෙනුවෙනුත් ඔයාට තව ස්තුතියක්!!

      පක්ෂ වාසි නොතකා මත්ද්‍රව්‍ය භාවිතය අඩුකරමු
      https://lankanian.blogspot.com/2025/11/blog-post.html

      Delete
  8. නිමල්ගෙ බ්ලොග් එකේ settings වෙනස් කරලද. පෝස්ට් එකේ මාතෘකාව පේන්නෙ නෑනෙ.

    “ඒක රහසක් විදිහටම තිබිච්චාවෙ. ඉස්සරහට හරි වැඩක් ගන්න බැරියැ!” කියලයි නෙවිල් කිව්වේ“ නිමල්ට නොදෙවෙනියි නෙවිල්.

    පළවෙනි ෆොටෝ එකේ නිමල් ගෙ නංගිලා තුන් දෙනාගෙ කිචි බිචිය කොහොමද. ඒ ෆොටෝ එක කවදා හරි ලස්සණ මතක සටහනක් වෙයි. දීපානිගෙ කාර්ඩ්සුත් ගොඩක් ලස්සනයි.

    "ඒ වෙලාවේ සීයා low point එකක් දාලාලු බෙල්ල බේරා ගත්තේ" low point or law point?

    ReplyDelete
    Replies
    1. නැහැනේ Lotus, බ්ලොග් එකේ සෙටින්ග්ස් මොනවත් වෙනස් කළේ නෑ. මගේ කම්පියුටරෙන් නං මාතෘකාවත් එක්කමයි post එක පෙන්වන්නේ.

      අපොයි ඔව්! නෙවිල් ඉතිං කලබල නැති හාදයනේ.

      ඒ ෆොටෝ එකට මාත් හරි කැමතියි.

      මගේ නොසැලකිල්ලෙන් සිද්ද වෙච්ච බරපතල වැරද්දක් පෙන්නලා දුන්නාට ගොඩක්- ගොඩක් ස්තුතියි Lotus. Law වචනය හරි ගැස්සුවා.

      Delete