අකුරු මැකී නෑ

Sunday, November 30, 2025

සොබා දහමට වෙමුද අවනත...

පහුගිය සෙනසුරාදා; ඒ කියන්නේ 2025 නොවැම්බර් 22 වෙනිදා පාන්දර පහමාරට අපේ ගෙදරින් පිටත් වුණේ නුවර යන්න. Pra Jay මහතාගේ Double Cab වාහනේ. Blogවලට සම්බන්ධ පස් දෙනෙක් වාහනේ හිටියා. පැණිදෙනියේ ඉන්න තවත් බ්ලොග්කරුවෙක්; රවී වීරසිංහ කටුගස්තොටදී අපට එකතු වෙන්නයි plan කරගෙන තිබුණේ.

ඒ වෙද්දී දිත්වා ගැන මෙලෝ දෙයක් මම නං දැනං උන්නේ නෑ. අනිත් හතර දෙනාත් ඒ ගැන වැඩි අවධානයක් දුන්නැතිවා වගෙයි.

අපි නාරම්පනාවේ, විමලරත්න කුමාරගම කවියාගේ සොහොන ළඟ හිටිද්දි- කුමාරගම මහත්තයාගේ ඥාති පුත්‍රයෙකු තමයි සොබාදහම වියරු වැටීගෙන එන විත්තිය කිව්වේ. “මහත්තයලට නුවර පාරෙන් නං දැන්ම ආපහු කොළඹ යන්න බැරි වෙයි. පහළ කඩුගන්නාවේ නායක් ගිහින් ගලකුත් පෙරළිලා පාර වැහිලලු.”
ඒ කිව්ව විදිහටම එදා අපි සකල අමාරුවක වැටුණා- ආපහු කොළඹට එද්දී. අනෝරා වැස්සේ, රෑ ජාමයක් වෙනකල් විකල්ප පාරවල් හොය- හොයා ආවේ නියම පරිප්පුවක් කාලා.

ඉරිදා පාන්දර ඉඳලා දවස ගෙවුණේ පුදුම දුකකින්. අහන්න දකින්න ලැබුණේ සොබාදම් දිනිතිය කෝපයෙන් පරල වෙච්ච හැටි. දැනුත් ඉරිදා; 30. සතියක් තිස්සේ එහෙම දැක්ක දෙයින් අංශු මාත්‍රයක් වාර්තා කරලා තියන්නයි හදන්නේ.

රට පුරාම නාය යෑම්...

දුප්පත් පොහොසත් වෙනසක් නැතිව ගෙවල් දොරවල්වලට හානි....

යාන වාහනත් යට කරගෙන පස් කඳු රූටාගෙන ඇවිත්...

පාරවල්වල පදාස පිටින් නැතිව ගිහිං...

මහාමාර්ග වාරිමාර්ග වෙලා...

විදුලි- දුරකථන සබඳතා බිඳ වැටිලා...

පොඩි පටු ගංවතුරක් නෙවෙයි ගැලුවේ! ගඟට අඩි 80ක් විතර උඩින් තියෙන ගැටඹේ පන්සලත් යට වුණා කිව්වම...

දෙවියන් පවා අහක බලන්නැති. සමන් දේවාලේ ගාවටම ගලලා...

යකා පාලමටත් යකා ගහලා...

රට පුරාම කෝච්චි දිවිල්ලත් නවත්තන්න වුණයි කිව්වම හිතා ගන්න ඇහැකිනෙ තත්ත්වේ!

මිනිස්සු ආරක්‍ෂිත ස්ථානවලට ගිහින් තිබුණේ සුනඛ ආරක්ෂකයන්ට ගෙවල් බලාගන්න කියලයි!!! (පව්... බල්ලොනෙ!)

අධිවේගී මාර්ගවල ගමනාගමනය කෙරෙන වාහනවලින් මුදල් අයකිරීම නැවැත්තුවා... Mobitel, Dialog, Airtel, Hutch  දුරකථන සමාගම්වලිනුත් නොමිලේ ඇමතුම්වලට හා SMSවලට ඉඩ දුන්නා...

TV චැනල්ස් පවා එයාලගෙ සුපුරුදු වැඩ සටහන් නවත්තලා ‘දිත්වා විපත්’ ගැන කිව්වා.

අහසෙන් පොළොවට වැක්කෙරුණු වතුර කන්දරාව දරා ගන්න බැරි තරං... ජලාශ පිටාර ගැලුවා... වික්ටෝරියාවේ වාන් දොරටු හයක්ම ඇරලා...

රටේ ජනතාව පීඩාවට පත් වෙද්දී ‘මිහිබට දෙවිවරු’-

‘යෝධ බල යෝධ ශක්තිය ඇති විරුවන්’ වගේම

‘සේවයට කැප වුණු දහස් ගණනක හදවත් ඇත්තන්’-

ජාති භේද නොතකා;

ආගම් භේද නොතකා;

පළාත් භේද නොතකා...

මේ විපතේදී හැකි උපරිමයෙන්ම ශ්‍රම-ධන පරිත්‍යාග කරමින් කළේ; තවමත් කරන්නේ අමිල මෙහෙවරක්!!!

ඔබ හැමටම ස්තුතියි, බොහොම පිං!

ගංවතුර බැහැලා යාවි. ඒත් එයින් ඇතිවුණු; ඇතිවෙන්න තියෙන පීඩාවන් බොහොමයි... අනේ පරෙස්සමින්...

රට ආපහු ගොඩ නඟන රාජකාරිය ‘මහමෙර’ටත් වඩා ලොකු එකක් වෙයි. ඒකට අපි කාගෙ-කාගෙත් උදව් ඕනි වෙනවාමයි. පුළුවන්කමක් තියෙන විදිහට...

අප හැමටම සෙත් වේවා෴0෴

Monday, November 24, 2025

සුබ ගමන්!

එක දවසක් සචින් තෙන්දුල්කාර් තරගාවලියක් අතරමැද ක්රීඩකයන් නැවතිලා හිටපු හෝටලයට පැමිණෙන ගමන් හිටියේ...

පුදුමෙකට වගේ හෝටල් සේවකයා කියපු කතාව ඇත්ත. තමන්ගේ ටයිමින් මීට වඩා හොඳ කරගන්න පුළුවන් නේද කියලා සචින්ට තේරෙනවා...

..තමන්ගේ කාමරයට යන්න කලින් සචින් ගාවට හදිසියේම දුවගෙන ආවේ හෝටලයේ පිරිසිදු කිරීම් වැඩ කරන සුළු සේවකයෙක්.
"සචින් සර්, ඔයා තමයි මගේ වීරයා. මට සමරුවක් ලබාගන්න පුළුවන් ?" මේ සේවකයා බොහොම යටහත් පහත්ව ගෞරවයෙන් ඉල්ලලා හිටියා. මහන්සි නොබලපු සචින් සමරුවක් ලබා දෙන්න සූදානම් වුණා.

සමරුව ලබාදෙන අතරවාරයේ සුළු සේවකයා කියපු කතාවකින් සචින් තෙන්දුල්කාර්ගේ ඇහිබැමි උඩ ගියා.

"සර් මම මෙහෙම කිව්වට මුකුත් හිතන්න එපා. තරහ ගන්නත් එපා. මම ගොඩක් කල් ඉඳලා සර් බැට් කරනවා බලනවා. සර් ගහන හැම ඉනිමක්ම බලනවා. මට හිතෙන දෙයක් තමයි සර්ගේ ආම් ගාඩ් එක දාලා තියෙන තැන නිසා අත පහළට එන්න පරක්කු වෙනවා. මේ හින්දා සර් බැට් කරද්දී ටයිමින් අවුල් යනවා කියලා හිතෙනවා."

සචින් මේ වෙලාවේ හෝටල් සේවකයාට මුකුත් කිව්වේ නෑ. ඔහු සමරුවත් ලබාදීලා තමන්ගේ කාමරයට ආවා. හැබැයි එදා රෑ පුරාම සචින්ගේ ඔළුවේ දුවන්නේ මේ හෝටල් සේවකයා කියපු කතාව.

පස්සෙ දවසේ පුහුණුවීම්වලට ගියාට පස්සේ සචින්ට හිතෙනවා ඇත්තටම ආම් ගාඩ් එකේ පොසිෂන් එක ටිකක් වෙනස් කළා නම් හොඳයි නේද කියලා. ඔහු වෙනස් කරලා බලනවා. පුදුමෙකට වගේ හෝටල් සේවකයා කියපු කතාව ඇත්ත. තමන්ගේ ටයිමින් මීට වඩා හොඳ කරගන්න පුළුවන් නේද කියලා සචින්ට තේරෙනවා.

පස්සෙ කාලක සචින් තෙන්දුල්කාර්ම මේක කියනවා. සචින් කියන්නේ ඉන්දියාවේ මිනිස්සු දෙවියෙක් වගේ අදහන චරිතයක්. ඔහුට මේ හෝටල් සේවකයා කියන්නේ නිකන්ම නිකන් මනුස්සයෙක් විතරයි.

සචින්ට ඕනි තරම් තිබුණා කියන්න ඇයි මට උපදෙස් දෙන්න උඹ කවුද? උඹට 150 එන බෝලෙකට ගහන්න පුළුවන්ද අහන්න. නැත්තන් ඒක නිකන්ම අමතක කරලා දාලා මූ මොකෙක්ද කියලා හිතන් පාඩුවේ ඉන්නත් සචින්ට තිබුණා.

"සමහර වෙලාවට ක්රීඩාංගනය ඇතුළේ ක්රීඩා කරන අපිට වඩා එළියේ ඉඳලා බලන අයට අපේ අඩුපාඩු පේනවා." සචින් තෙන්දුල්කාර් කියන්නේ කතාව.

ඔහු කවදාවත් තමන්ගේ හැකියාවෙන් ඔළුව උදුම්මවාගත්ත චරිතයක් නෙමෙයි. ඕනෑ තරම් ජනප්රියත්වය, බලය තිබුණත් බොහොම නිහතමානීව කටයුතු කරපු චරිතයක්. පරිණත වෙන්න වෙන්න සචින් හැමදාම ඉවසිලිවන්ත චරිතයක් වුණා. පිටියේ ඇතුලේ විතරක් නෙමෙයි පිටියෙන් පිටදීත් ඔහු එහෙමයි.

නැතුව එකදිගට කවර් ඩ්රයිව් එකට අවුට් වෙද්දී එකම කවර් ඩ්රයිව් එකක්වත් නොගහා ලකුණු 241 ක් ගහන්න තරම් ඉවසීමක් හදාගන්න කිසිම පිතිකරුවෙක්ට බෑ.

ලියමින් උන්නු post එක ලිවිල්ලත්...

පහුගිය නොවැම්බර් 16 වෙනිදට සචින් තෙන්දුල්කාර් ජාත්යන්තර ක්රිකට් පිටියට සමු දීලා වසර 13 ක් සම්පූර්ණ වුණා. ඔහු තවමත් ජාත්යන්තර ටෙස්ට් සහ එක්දින කියන අංශ ද්විත්වයේම වැඩිම ලකුණු ලාභියා. ඉන්දීය ක්රිකට් ක්රීඩකයන්ගේ හදවතේ ඉහළින්ම ඉන්න වීරයා. ඉන්දීය ප්රේක්ෂකයන්ගේ දෙවියා.

"මගේ ජීවිතයේ අවුරුදු 24 ක් තිබුණේ යාර 22 ක් ඇතුළේ. ඒක ඉවර වෙනවා කියලා මට හිතාගන්න බෑ. මම මේ තත්ත්වයට එන්න සුළුවෙන් හරි උපකාර කරපු හැම කෙනෙක්ටම ස්තූති කරනවා."
"මාව නරඹන්න ක්රීඩාංගනයට ලෝකේ වටෙන්ම ආපු හැම ප්රේක්ෂකයෙක්ටමත් ස්තූතියි. මම ගැහුවේ ලකුණු 100 ක් වුණත් 0 ක් වුණත් මිනිස්සු මාව දිරිමත් කළා. මම වෙනුවෙන් යාඥා කළා. හැමදේටම ස්තූතියි."
"සචින්... සචින්... කියලා ඔවුන් කෑ ගහන සද්දේ! මගේ අවසන් හුස්ම වැටෙන මොහොතේදීත් ඒක මගේ කන්වල රැව්දේවි. ඔබ සියලුම දෙනාට ස්තූතියි. සුබ ගමන්."

මේ සචින්ගේ සමු ගැනීමේ වචන. ක්රීඩකයෙක් නිකන්ම නිකන් පුරාවෘත්තයක් වෙන්නේ නෑ. ඔවුන් තමන්ව පුරාවෘත්ත බවට පත් කරගන්නවා.

Pro Sports
මේ වගේ ලංකාවේ අනාගත දේශපාලන නායකයොත් flexible වෙනවා නම් රටට හොඳයි නේද?

අද; 2025 නොවැම්බර් 21 වෙනිදා උදේයි, ඉහතින් තියෙන comment එක මට ඇහැ ගැහුණේ. Ano කෙනෙකු ඒ කමෙන්ටුව එවල තිබ්බේ ‘මාතලන්’ බ්ලොග් අඩවියේ පළවී තිබුණු ‘තිරිකුනාමලේ කළබලේ මොකක්ද බොලේ’ post එකට.
Flexible වෙන එක- එහෙමත් නැත්තං නම්‍යශීලී වෙන එක දේශපාලන නායකයන්ට විතරක් නෙවෙයි කොයි කාටත් හොඳයි... ඒත් නම්‍යශීලී වෙනවය කියන්නේ ‘කිසිම ප්‍රතිපත්තියක් නැතිව හැම ඉලව්වක්ම හිස් මුඳුනින් පිළිගැනීම නෙවෙයි’නෙ. කෙරෙන්න ඕනි හරවත්; තේරුමක් ඇති; තමන්ටත්- අනුන්ටත්-ලෝකෙටත් යහපතක් වෙන දේවල් පිළිගැනීම නේද...

ඔය Anoගේ comment එකෙන් කියැවෙන ජාතියේ කතන්දරවලින් මම නං හොඳ හොඳ කාරණා ඉගෙන ගන්නවා. ඒත් සමහරුන්ට නං එව්වයෙ ගන්ඩ තරම් දේවල් තියෙනවය කියලා හිතෙන්නෙ නෑ වගෙ. අපෙ අජිතුත් එහෙම කෙනෙක්. අජිත් කිව්වේ අපේ පවුලේ පස්වෙනියට!

නිදිගෙ පංච තන්තරේට ලියමින් උන්නු post එක ලිවිල්ලත් ඒ අජිත් මල්ලී හිංදා තාවකාලිකව නවත්තන්න වුණා. පෙරේද රෑ... shocking massage එකක් ලැබුණම...
පෙරේදා රාත්තිරියේයි අපේ අජිත් මල්ලී අන්තරා වෙලා කියන ඒ පණිවිඩය ලැබුණේ.

අපේ පවුලේ පස්වෙනියා වෙච්ච අජිත් මල්ලී... (දකුණු කෙලවරේ)

ඒ පණිවුඩය ඉක්මනින්ම ලැබෙන විත්තිය අපි හැමෝම දැනගෙනයි උන්නේ. එහෙම දැනගෙන උන්නු පණිවුඩයක් වුණත් ඒක ලැබුණාම දැනුණේ නං ලොකු දුකක් මුසුවෙච්ච සහනදායී හැඟීමක්.

‘දුක’ දැනුණේ අජිත් 62 වගෙ අඩු වයසකින් නික්මීම ගැනයි.
‘සහනදායී හැඟීම’ දැනුණේ එයා විඳිමින් හිටිය අනවරත වේදනාවලින් මිදීම ගැනයි..

එයාට ප්‍රතිකාර කරමින් හිටිය දොස්තර මහත්තුරු කියල තිබ්බලු ‘තව වැඩි දවසක් නැති විත්තිය’. ඒ වාගේම අජිත් ඉල්ලන ඕනිම දෙයක් කෑමට බීමට දෙන්නය කියලත්... ඊට කලින් නං ඒ දොස්තර මහත්තැන්ලා එයාට දෙන ගොඩක් දේවල්වලට තහංචි පනවලා තිබ්බේ.

“තව දුක් විඳින්නෙ නැතිව මට ඉක්මනට යන්නයි ඕනේ!” අජිතුත් අන්තිමේදී තීරණය කරලා.
“ඔව් මානෙල් අක්කේ. මෙහෙ හින්දමයි අජිත් අයියා මෙච්චර කල්වත් ඔරොත්තු දීලා හිටියේ. කිඩ්නිස් දෙකම නරක් වෙලා...
ඩයලයිසිස් (Dialysis) කරනවයි කියලත් දිගටම කරන්නද?”

සෑම්, දීපාල්, දීපානි තුන්දෙනාත්- ඔවුන්ගේ පවුල්වල උදවියත් තමයි අප වෙනුවෙන් අජිත්ගේ දුක-සැප සොයා බැලුවේ. (ඔයාලට ගොඩක් පිං!)

අපේ පවුලේ පස්වෙනියා වෙච්ච අජිත් මල්ලී අපි අතරින් ‘වඩාත්ම ගට්ස්’ තිබුණු කෙනාය. (එහෙම පෙනෙන්නේ මගේ කෝණයෙන් බලද්දීය.)
මං එහෙම කීවේ එයා කරපු දේශපාලනයක් නැතත් ‘එංගලන්තයේ දේශපාලන
රැකවරණ ලබා ගැනීමට තරම් උපක්‍රමශීලී වුණු බැවිනි’. එංගලන්තයට ගිය පසුව වුණත් ඒ රහස් හෙළි කළේ එයා නොවේ.

අවංක අතීතාවර්ජනයක යෙදෙන විට පෙනෙන්නේ අපේ සහෝදර-සහෝදරියන් අතරින් මට වැඩියෙන්ම දුරස්තව උන් සාමාජිකයා අජිත් බවයි. අජිත් මල්ලී හැදුණේ-වැඩුණේ මහරගම ආච්චිත් සීයාත් සෙවණේය. ඔහුට වැඩි ආදරයක් තිබෙන බැව් පෙන්වීමට ඔවුන් කළේ අජිත්ව හුදෙකලා- ආත්මාර්ථකාමී දරුවෙකු කිරීමයි.
අපේ තාත්තාගේත්- අම්මාගේත්
අමනොඥ තීරණය නිසා උපතේදීම තමනට වුණු බලවත් අසාධාරණය ගැන පාසල් යන වයසේදී දැනගත් ඔහු අපෙන් තවත් ඈත් වූවා විය යුතුය.

ඒත් අජිත් ඒවා ගැන අප කිසිවෙකු හා විවෘතව කතා කළේ නැත. අපට සමීප වූයේත් නැත. අපේ සහෝදර-සහෝදරියන් සමඟ කුළුපග වෙනවාට වඩා එයා හිතමිතුරුකම් වගා-දිගා කර ගත්තේ පිටස්තරයන් එක්කය. විශ්වාස කළේ ඔවුන්වය.

ඒ ෆොටෝවල උන්නේ අජිත් නොවේ; වියපත් රහුබැද්දේ විදානෙලගේ කිරිවන්තේ උන්දෑය; අපේ අම්මාගේ තාත්තාය; බදුල්ලේ සීයාය.

අපේ සුනිල්ට (තරමක් අඩුවෙනුත් , අනිල්ට (සම්පූර්ණයෙන්මත්) සිද්ද වුණු විපත්තියක් අජිත්ටත් සිද්ද වුණ බව මගේ හැඟීමයි. ඒ තුන් දෙනාගේ හිත-මිතුරන් අතර නායකයන් වූයේ ඔවුන්ය. ඒ අනුගාමිකයන් හැමෝම පාහේ අපේ හාදයන්ට වඩා දැනුමෙන්- උගත්කමින්- බුද්ධිමත්කමෙන් හා පෞරුෂයෙන් අඩු උදවිය බවයි, මා දුටුවේ. ඒ නිසාමදෝ අපේ හාදයන්ගේ වැරදි පෙන්වා දෙන්නට; විවේචනය කරන්නට ඔවුහු ඉදිරිපත් නොවූහ.

වාසනාවට මෙන් දීපාල්ටත්, මටත් ඒ විනම්බෑසිය අත් නොවිණි.

එංගලන්තයට සංක්‍රමණය වුණු අජිත් මල්ලිට ‘කල්‍යාන මිත්‍ර සම්පත්තිය’ තවත් දුර්ලභ විණි. පෙනුණු විදිහට නම්, අජිත් සුහදකම් ඇති කරගෙන තිබෙන්නේ මතට ලොල් වූවන් සමඟිනි. අසීමිත මත්පැන් පානයටත්- එකකින් තවත් එකක් දල්වා ගනිමින් කරන සිගරැට් පානයටත් අජිත් ඇබ්බැහි වුණේ ඒ කාලයේය. සමහර විට ඊටත් වඩා පියවි සිහිය නැති වෙන ක්‍රම අජිත්ලා අත්හදා බලන්නට ඇති බවට ලකුණුත් තිබිණි!

මා ඒ නිගමනයට ආවේ අජිත් මල්ලීගේ පසුකාලීන fotos දැකීමෙනි. (මගේ මතකය නිවැරදි නම්) ඒ ෆොටෝවල උන්නේ අජිත් නොවේ; වියපත් රහුබැද්දේ විදානෙලාගේ කිරිවන්තේ උන්දෑය; අපේ අම්මාගේ තාත්තාය; බදුල්ලේ සීයාය.

නිසි කලට නිසි මාර්ගෝපදේශ ලැබුණේ නම්...
දැනුම් තේරුම් ඇති බුද්ධිමත් මිතුරන් ඇසුරු කිරීමට ලැබුණේ නම්...
අජිත් මල්ලීට මෙවන් අකල් මරණයක් අත් නොවෙන බවයි, මට හැඟෙන්නේ. එතැනදී වැඩිහිටි අජිත්ගේ දරදඬුකම් ඉදිරියේ අපටත් තව ටිකක් හෝ ඉවසිල්ලෙන් කටයුතු කරන්නට තිබුණා නොවේද?

ඒ විත්තිය මෙලෙස සටහන් කර තබන්නේ අනාගතයෙදී හෝ තවෙකෙකුට ප්‍රයෝජනයක් වෙතැයි සිතමිනි. ඔව්... අපේ මරණයේදී පවා තව කෙනෙකුට පහන් ටැඹක් විය හැකි යැයි සිතමිනි. එයින් අජිත් මල්ලීටත් කුසලයක් හිමි වෙතැයි සිතමිනි.

අජිත්... ඔයාට පිංපෙත් පමුණුවමින් අද- 2025 නොවැම්බර් 25 වෙනිදා මානෙල් ලංකාවේදීත්; සමන්තිලා එංගලන්තයේදීත් දානමය පිංකම් දෙකක්ම පවත්වන්නටයි සූදානම් වෙන්නේ.
ඒ පිං අනුමෝදන් වෙලා ඔයා ප්‍රාර්ථනා කරපු සුගතියකට පත් වෙන්නට වාසනාව ලැබේවා කියන එකයි අප හැම දෙනාගේම පැතුම෴0෴