අකුරු මැකී නෑ

Monday, April 9, 2018

වස් කවි කීම -තෙවෙනි කොටස

ඉතින් ටිකෙන් ටික මං හොඳටෝම කලකිරුණා. 
දැන් මට ඕනේ මෙහෙන් යාගන්න. ඒත් නිකම්ම යන්නේ කොහොමද? තාත්තාට මේවා කිව්වොත් කියාවි -අපට ලෝකේ හදන්න බැහැ, අපි හැදෙනවා මිසක්- කියලා. අනෙක තාත්තාට එස් අයියාව හොඳට හිතට අල්ලලා. එයාගේ හිත කඩන්න ඉඩ දෙන එකකුත් නැහැ, සාධාරණ හේතුවක් නැතිනම්.

ඔය අතරේ පුංචි විහිළුවක් කෙරුණ බවක් කාටත් එළිදරවු වුණා.

කාමරයකට ඇතුළු වෙනකොටම, ඇතුළු වෙන කෙනාගේ ඔළුවට කුණු මල්ලක් වැටෙන විදියට අටවලා තිබුණා. කීප වතාවක් ඒක සිදුවුණත් කළ කෙනෙක්ව හොයාගන්න බැරි වුණා.
කොච්චර හොඳ බෞද්ධකමක් රටේ තියේද කිව්වොත් විෂ්ණුන්නාන්සේ වෙනින් රටක්......
එහෙ පුරුද්දක් විදියට (මට මතක හැමදාම කියලයි.) හතට විතර සේරමලා එකට එකතු වෙලා බුදුන් වඳිනවා. අන්තිමට කතාවකුත් පවත්තන බවකුත් යාන්තමට මතකයි වගේ. 
මට නම් ඒක මහ එපා කරපු වැඩක් වුණා. (soooo boring!) 
කොහොමත් මං එච්චර සිල්වත් කෙනෙක් නෙවෙයිනේ. උපාසක සක-සක කෙනෙකුත් නෙවෙයි, හැමෝටම පෙනෙන්න පරමාදර්ශී චරිතයක් රඟපාන කෙනෙකුත් නෙවෙයි.
මං කළෙත්, කරන්නෙත්, හරියැයි කියලා මට හිතෙන දේ. මට ඕනෑ දේ!

අර හවස වන්දනාව මඟාරින්න මම පොටක් පාදාගෙන තිබුණා.
වැඩ ඉවර කරලා මං නාන්න යන්නේ හරියට වෙලාව අල්ලලා. සර්ටවත් ඕක ගනිච්චියක් වෙලා තිබුන්නැහැ. ඒත් සංගමේ නිලධාරී මණ්ඩලේ එන දවසට මමත් කල් ඇතිවම නාලා රැස්වීමට යනවා. මොකද එදාට ගොඩක් දේවල් අකුරටම කෙරුණා. කෙරුණා නෙවෙයි, හරියටම කියනවා නම් කෙරෙන බවක් මවලා පෙන්නුවා!

මෙන්න සරලම උදාහරණයක්.
අනෙක් දවස්වලට සර්ලගෙ කට්ටියට උයන්නේ පුංචි හැළි-වළංවල, වෙනමම. 
මං දැකපු හැටියට නම් වෙන-වෙන ජාතිත්. එහෙ වැඩ කරන අපට උයන්නේ ලොකු කල්දේරම්වල- සාස්පාන්වල. සර්ලාට වෙනම මේසයකට කෑම අරිනවා. අපි සේරෝමලා පිඟන් අරන් පෝලිමක ගිහින් කෑම ඉල්ලා ගන්නවා. මට ඕකේ කිසිම වැරැද්දක් පෙනුණේ නැහැ. වැරැද්දක් පෙනෙන්න ගත්තේ කමිටු රැස්වීම තියෙන දවසට සිදුවෙන දේවල් පේන්න ගත්තාම.


එදාට විතරක් අපේ සරුත් අපිත් එක්ක කෑම පෝලිමේ ගෑටුවේ අලුත් සහල් මංගල්ලේ දවසේ වගෙයි!
එදාට කුස්සියේ කෑම ඉදුණේ ලොකු සාස්පාන්වල විතරයි. හැමෝන්ටම හැදෙන ජාති මිසක් විශේෂ ජාති හැදුණේත් නෑ. සේරටම වඩා විගඩම වුණේ සර් කොමිටියේ කට්ටියම පිරිවරාගෙන කෑම පෝලිමේ අපිත් එක්ක ගෑටුව එක. අපි සර්ලට ඉස්සරහට යන්න ඉඩ දෙන්න හැදුවත් එක පිළිගන්නෙත් නෑ. හරිම ආචාරශීලී, විනීත, සිරිත්-විරිත්, චාරිත්‍ර-වාරිත්‍ර අකුරටම පිළිපදින අය වගේ.... හැබැයි ඒ සීලේ අනෙක් දවස්වලට නෑ.

"නිමල් හිතන්නේ ඔහොම ඇක්ටින් කෙරුණේ එහෙ විතරයි කියලද? අනෙක් මෙම්බර්ස්ලා ඕවා නොදන්නවා කියලද? නෑ, නිමල්. ඔය රැවටිල්ල තමා හැම තැනම වෙන්නේ. ඒත් හැමෝම අඟවන්නේ එයාලා මොකුත් දන්නේ නැහැ වගේ." අත්දැකීම් සහිත කෙනෙක් නම් මෙතැනදී මට කියනවා ෂුවර්! බබා හුකුංලා!

ඇත්ත කියන්නයි බිම ඉඳගන්නයි බයවෙන්න එපා! ඒක අපේ තාත්තා නිතරම අපට දුන්නු උපදේශයක්.

ඔන්න, තාත්තෙක් එයාගෙ පුතාට හැම මළදානේකටම හිටු කියලා අවවාද දෙනවාලු. පුතණ්ඩියාත් හරිම සාවධානව ඒවාට කන් දීගෙන ඉන්නවා මිස එකක්වත් පිළිපදින පාටක් අර තාත්තා දැක්කේ නැතිලු. 
බැරිම තැන තාත්තා පුතාගෙන් ඒ ගැන ඇහුවාලු.
"තාත්තේ, මං ඒවා හොඳට අහගෙන ඉඳලා, හොඳට මතක තියාගන්නවනේ පිළිපැද්දේ නැතිවට. කවදා හරි මං ඒවා ඔක්කොම මගෙ පුතාටත්  දෙන එක දෙනවාමයි." ඒ ...... පුතා කිව්වාලු.


ඒ අවවාද සේරම මතක තියං ඉඳලා දවසක මගේ පුතාටත් එව්වා ...........
මං අපේ තාත්තාට එහෙම කියලා නැහැ, කවදාවත්. ඒත් මම එකඟ නොවෙන දෙයක් එයාගෙන් කියවුණාම එළිපිටම එයාට විරුද්ධ වුණා, දිනන්න බැරි බව පෙනි-පෙනී, අඬ-අඬා හරි.

කොහොමින් හරි ඔන්න මටත් බ්‍රිලියන්ට් අයිඩියාවක් පහළ වුණා. දිදුලන අදහසක්! දියත් කෙරිල්ල තමා පරිස්සමෙන්....

එදාත් හැමෝම හවස වන්දනාවට යනකල් ඉඳලා මම 
නාන කාමර පේළියට ගියා. 
එතන සිමෙන්ති ගල් ගොඩක් බාලා තිබ්බා. මං  ගිහින් එක කාමරයක දොරට උඩින් සිමෙන්ති ගඩොලක් හෙමිහිට අටවලා, 
පරෙස්සමට දොර වැහුවා. දඩෝරියං ! ගඩොල බිම.
මං හිතපු විදියටම ගඩොල තරමක් කුඩුවෙලත් තිබුණා.

ඒකෙන්ම කෑල්ලක් අරන් මගේ එක අතක් ලේ එන තරමට හූරා ගත්තා.

පසුතල නිර්මාණය ok... වේශ නිරූපණය ok ...ඔන්න ඇක්ටින්... start!

දුර රූපය- ස්නානය කරන්නට සැරසුණු ඇඳුමෙන් යුතුව නිමල් ආපසු එයි.

සමීප රූපය- ඔහුගේ මුහුණේ හොඳටම තැතිගත් ස්වභාවයක් පෙනේ. මුහුණට හීන් දාඩියත් දමා තිබේ; දෙතොල් පවා නළියයි.


ක්ෂණික ඡේදනය- නන්දක්කාගේ බිරාන්ත මුහුණ...........
ක්ෂණික ඡේදනය- නන්දක්කාගෙ බිරාන්ත මුහුණ. (පසුබිමින් නිමල්ගේ හඬ) "අනේ, නන්දක්කේ. මේකට ගාගන්න මොනවා හරි බෙහෙත් තෙල් ටිකක් දෙන්න. ඇදුම් කනවා. කාටවත් කියන්න එපා ඕං. මහ කලබලයක් වෙයි."

මධ්‍ය දුර රූපය- නන්දක්කා නොඉවසිල්ලෙන් දෙඅත් වනමින් කතා කරයි. "හරි, හරි, මං ටක් ගාලා ගේන්නං."

සමීප රූපය- නිමල්ගේ තෘප්තිමත් හොර සිනහව.

හිතුවටත් වඩා අතිසාර්ථක විදියට වැඩේ පත්තු වුණා.

නන්දක්කාගෙන් බලාපොරොත්තු වුණු සේවය; කඩිනමින් කපුටු පිහාටුව කපුටන් රංචුවක් බවට පෙරළීම මෙන්ම හවමින්- හඬමින්-ශාප කරමින් සංවේදී වටපිටාවක් මැවීම අකුරටම සිදුවිය. ඒ අතරම වැරැදිකරුවන් නොපමාව සොයාගත යුතු යැයි යෝජනාවකුත් ඒකමතිකවම සභා සම්මත විය. එස් අයියාගේ විපිලිසරය අතරේම මම ඇඳුම් අසුරන්නට පටන් ගත්තෙමි.

"නිමල්, ටිකක් ඉවසලා බලමුකෝ."
'තව මොනවා ඉවසන්නද එස් අයියේ? අර සිමෙන්ති ගඩොල මගේ  ඔළුව උඩටම වැටුණා නම් හෙම මං ඉවසාගෙන ඉඳියි සදහටම. වාසනාවට තමා  යාන්තමට අත හූරගෙන බිමට වැටිලා බේරුණේ.'

පහුවදා උදේම මං ගෙදර ආවා. එස් අයියාත් රංජිතුත් එක්කම පරිවාරෙට ආවා. 

කොච්චර හපනෙක් වුණත් මට අපේ තාත්තා ඉදිරියේ බොරු කිරිල්ල ලේසි නැති නිසා, එස් අයියාටම සවිස්තර වාර්තාව සැපයීම භාර කරලා මම නිහඬව හිටියා, තරහෙන් වගේ. තරහවෙන් වගේ ඉඳිල්ල නම් මට හොඳට පුරුදුයි; සිම්පල්.


"කොහොමද මහත්තයෝ මං කටක් ඇරලා මේ ළමයට කියන්නේ මේ ළමයාගේ ඉරිසියාකාරයෝ මැද්දට ආයෙත් යන්න කියලා?" තාත්තා ඒක කියද්දී මට දැනුණා, ව්‍යාපෘතිය ගොඩ තමයි කියලා.


නියම නරි නාටකේ පටන් ගත්තේ මම ආයෙමත් එහාට ............
"තාත්තේ, අපට සුමාන දෙකක් දෙන්න, සුමාන දෙකක්... අපි ඔය කඩප්පුලියව අල්ලාගන්නවා අල්ලාගන්නවාමයි. ඊටත් වඩා නිමල් පටන් අරන් තියෙන වැඩ?"

"හරි. මං ඇවිත් වැඩ ටික ඉවර කරනවා. එස් අයියලාට මිනිහාව හොයාගන්න බැරි වුණොත් මං අස්වෙලා එන එක- එනවාමයි. එතකොට නම් තාත්තේ මට බල කරන්න එන්න එපා. ඔන්න මං දැන්මම කිව්වා." මාත් තර්ජනාංගුලිය ඔසවලා පෙන්නුවා.

නියම නරිනාටකේ පටන් ගත්තේ මම ආයෙම එහෙට ගියාම.

මෙච්චර දුර කියාගෙන ඇවිල්ලත් නොකියවුණු චරිත දෙකක් ගැන දැන් කියන්න වෙනවා.

පළමුවෙනියා එච් අයියා. එයා සර්ගේ බෑනා කෙනෙක්ලු. එයා සර්ට කතා කළේත් මාමා කියලයි. එයා ගැන කියැවුණේත් හොඳ දේවල් නෙවෙයි. මං නම් ඒවායේ දිගක්-පළලක් නිච්චියටම කියන්න දන්නේ නැහැ, අදටවත්. දෙවෙනියාත් සර්ගේ නෑයෙක්ලු. මට නම මතක නෑ.  අපි එයාට එම් කියමු- කතාවේ ලේසියට. ඩ්‍රයිවර් කෙනෙක්ගේ චරිතෙටයි එයා ඉන්නේ. එහෙ අය ඔය දෙන්නාටම මාර බයෙන් කල් ගෙව්වේ.


ලොකූඌඌඌ.... හාහෝවක් ගියා සර් උපවාසයක් පටන් අරගෙන කියලා. කතාව ඇත්ත.
කසකාරයාට ආවේ ----අක්කා; සර්ගේ නෝනා. 
"අනේ බලන්නකෝ නන්දා, දොරට ගඩොල අටවපු කෙනාම ඇවිත් සර්ට කියනකල් සර් උපවාසේ කරනවාලු. අද දවසටම බලෙන් පොවපු දොඩම් ටිකක් විතරයි. ඊයේ ඉඳලා කෑමක් කියලා දෙයක් බඩට වැටුන්නෑ." ඒක කිව්වේ බතික් අංශෙට ඇවිත්, මට ඇහෙන්න වගේ.
මං මොනවා කියන්නද? මෞනව්‍රතය රකිමින් මං කල්පනාවට වැටුණා මිස. ඊළඟ ජවනිකාව මොකක් වෙයිද?


අනේ බලන්නකෝ සර් උපවාසෙක... අද දවසටම බලෙන් පොවපු දොඩම් ඉස්ම ටිකක් විතරයි!
ඒ දවස්වල උපවාසේ වචනයත් එක්කම සිහියට ආවේ මහත්මා ගාන්ධිතුමා. අද නම් තිස්තුන්කෝටියකටත් වඩා උපවාස වීරයෝ ඉන්නවා; හැබැයි කිච වෙලා- පච වෙලා!

එතකොට නම් මම දැනගෙන හිටියෙත් නෑ උපවාසය කරන අයට දොඩම් යුෂ කැපද නැතිද කියලත්. ඒකට මොකෝ? තවමත් ඒක නොදන්නා අය ඉන්නේ කොච්චරවත්.

එදා හවස රැස්වීමට මමත් ඉන්න ඕනෙමයි කියලා එස් අයියා කීවා.

"සර් අරෙහෙ නොකා-නොබී උපවාසේ කරනවා, ගඩොල් කැටේ දොරට උඩින් අටවපු කෙනාම ඉදිරිපත් වෙලා ඒක කියනකල්. මං ගිහිං මාමාට කිව්වා -මායි ඒක කළේ කියලා. මාමා පිළිගත්තේ නෑ. මේකට මොකද කරන්නේ කියලා අපි කතා වුණා. වැරැද්ද කරපු කෙනා ඉස්සරහට ආවොත් එයාට සමාව දෙන්නත් සර් ලෑස්තියි. මොකද කියන්නේ?"

නිහඬතාව හඬගා කීවේ කිසිවකු ඉදිරිපත් නොවන බවයි.

"එහෙනම් අපිට තියෙන්නෙ වස් කවි කියවන්නයි. එම් අන්කල් දන්න හොඳ වස් කවි කියන එක්කෙනෙක් ඉන්නවාලු. එයා වස් කවියක් කිව්වොත් ඉතිං වැරැද්ද කරපු කෙනාගෙ හතර හන්දි කැඩිලා අබ්බගාත වෙලා තමයිලු නතර වෙන්නේ. එහෙම නේද අංකල්?" එච් අයියා නිවේදනේ කළා. එම් අංකලුත් හූමිටි තිබ්බා.

මෙහෙම කතරගම රූපයක් මම නම් දැක්කේ යුදඟනාවේ විතරයි!
වස් කවි ගීතයක් අහලා තියෙනවද?

ඒ ගීයෙන් අමතන්නේ "මේ දේසෙ රකින නිරින්දු - මේ දේසේ රකින නිරින්දු  -කදිර දේව සුරින්දු"ට. කාචරගාමයේ වැඩවසන දෙවියන්ට. 

කතරගම දෙවිඳුන්ගේ දුර්ලභ සිතුවමක් දයාබර ඔබලා සමග බෙදාගන්න හිතුණා. ඉහතින් තියෙන්නේ එක. මේ ෆොටෝ එක ගත්තේ මිතුරු අයස්මන්ත; අපි පාද යාත්‍රාවේ යන ගමන අතර. මේක තියෙන්නේ ප්‍රසිද්ද තැනක වුණත් ලෙහෙසියෙන් කාගෙවත් ඇහැ යන්නේ නැහැ.
පොට් එක යුදඟනාව.

ගැමුණු කුමාරයයි,තිස්ස කුමාරයයි යුද වැදුණු තැන. ආයෙමත් බලන්න ගියොත් චෛත්‍යය ළඟම තියෙන බුදුගෙයි, දොරට වැහිලා වගේ තියෙන මේ රූපය හොයාගන්න!

වස් කවි ගීතයෙ පබැඳුම රැයිපියෙල් තෙන්නකෝන් සුරුවන්ගේ. ගැයුම එතෙක්-මෙතෙක් ශ්‍රී ලංකාවේ විසූවන්ගෙන්  සවිමත්ම කොන්ද තිබුණු ගායකයා ලෙස මා සලකන සුනිල් සාන්තයන්ගේ.

"දුදනොද බිඳ - බඳ තෙද කඳ...(කුකුළු හැවිල්ල)"


ගමක කෙරෙන විදියටම වස් කවි කිව්වා .... (foto- අමල් මහේෂ් මුගපිටිය)
ඉතින් අපේ වස් කවි කියවිල්ලට එහෙ හිටිය හැමෝටම රුපියල් පහ ගණනේ ගෙවන්න වුණා. මගෙන් සල්ලි ගත්තේ නැහැ. මමනේ පීඩාවට පත් අසරණ වින්දිතයා!

එයින්-මෙයින් සර්ගේ උපවාස කතාවත් එහෙම්ම යට ගියා.

වස් කවි කියවිල්ල ජයට කෙරුණාලු.

ඒත් මගේ හතර හන්දි කැඩුණෙත් නෑ; මං අබ්බගාත් වුණෙත් නෑ. හැබැයි කියාපු වස් කවි සෙත් කවි වෙලාද මන්දා. මම හිතපු විදියටම, මම පතපු විදියටම එහෙ රස්සාවෙන් අයින් වෙලා ගෙදර එන්න ඇහැක් වුණා෴
                 

3 comments:

  1. රස්සාව එපා උනා කියල ඔයත් මාර වැඩ නෙව කරල තියෙන්නෙ ... බොසා මරු බඩුවක්නෙ ... අර ලෙමන් පෆ්කාරයගෙ නෑදෑයෙක්වත්ද ?

    ReplyDelete
  2. ලොකු සර් ලෝක ප්‍රසිද්ධ එක්කෙනෙක්. එයාලා ගැන තව විස්තර දැන් 'මෝස්‌තර එක්ක 'පෝස්ට්ස්වල ලියවෙනවා.
    ලෙමන් පෆ් කෙනෙක් ගැන නම් දන්නේ නැහැ මහත්තයෝ!.

    ReplyDelete
    Replies
    1. එහෙම වෙන්නෙ කොහොමද ? ලේමන්පෆ් කකා උපවාස කරපු ජාතියේ මහා පචායුධය ... ගරු වීරසංගිලිගේ විමල් විරවංශ මැතිතුමාව දන්නෙ නැතිය කියන්නද හදන්නෙ ?

      Delete