"හැමෝම ඇඳුම්වලට
සාරිය ගණනේ ගේන්න ඕනේ. ජෝජට් සාරියක් නම් වඩා හොඳයි." නාට්‍යය ප්‍රැක්ටිස්
කරන දවසක තාත්තා ප්‍රසිද්ධ නිවේදනයක් කළා.
අපේ අම්මා ළඟ තිබුණා
ජෝජට් සාරි දෙකක්. එකක් සුදු පාටයි. අනෙක රතු. මම ආසාවෙන් හිටියේ රතු එකට.
"ඒක බන්දුට දෙන්න වෙනවා.... ඉතින් නහයෙන් අඬන්නැතුව හිටපන්. අජාසත්ත කියන්නේ නපුරු
කුමාරයෙක්.... එයාට රතු පාට ගැළපෙනවා. බිම්බිසාර දේවියට සුදුපාට වැඩියෙන් හොඳයි."
තාත්තා මාව සනසවලා බන්දුලට දෝතිය අන්දවන්න රතු සාරිය ගත්තා.
"සාරිය අපෙනේ. අපේ එකාට
ඒක නොදී පිට එකාට දෙනවා." අම්මාත් මගෙ පැත්තට හිටියා.
"අනේ මේ, නොදන්න
රෙද්දවල්වලට කට නොදා ඉන්නවා. වැඩක් කරන්න ගියාම ඒකට හොඳක් වෙන විදියටයි වැඩ කරන්න
ඕනේ.....රංජි, උඹ...උඹටයි මං මේක කියන්නේ. ඉස්සෙල්ලා වැඩේට ඕනෑ දේ ගැන හිතපන්!
තමන්ගෙද අනුන්ගෙද කියල නෙවෙයි." පසු කාලෙකදී තාත්තාගේ ඒ අවවාදය සිය-දහස්
වතාවක් මට පිළිපදින්න වුණා.
නාට්‍යයට දවස් දහයක්
විතර තියෙද්දී අපට හොඳටම හාඩප්! කිසිම ආදායම් මාර්ගයක් නැතිව කොහොමද හත්-අට දෙනෙක්
කන්නෙ-බොන්නේ? අපි හයින්-හාගතේ ඉන්නවා බලන් ඉන්න බැරිකමට ආච්චි පාන් ගෙඩියක් දෙකක්
ඉඳහිට ගෙනැත් දුන්නා. එ්ක තුන් වේලකට තියා එකකටත් මදි. එතකොට අපේ අම්මාත් රස්සාවට
යන්න පටන් අරන් තිබ්බෙ නෑ. තාත්තාගෙ පැන්ෂන් එක ඇතියැ අපේ පවුලටම.
දුප්පත්කම අපරාධයක්ද?
මං 'රාවය' පත්තරයේ නිත්‍ය
පාඨකයෙක්. පත්තරයක් කියවද්දී තදින්ම මගේ හද සසල කරවන යමක් තිබ්බොත්, මං ඒ කොටස
කපලා අරන් තියාගන්නවා. 2012 නොවැම්බර් 11 රාවයේ 12 පිටුවේ යට කොටසෙ පළවී තිබුණු 'හයවැනි
මහලේ සිට' විශේෂාංගය ඒ විදියට මං අරන් තියාගත් එකක්. නුවන් උදය වික්‍රමසිංහ
මෙහෙමයි එහි මුල්ම කොටස ලියා තිබුණේ.
'ලොව ප්‍රකට එක් ජනපතිවරයකු
විසින් ලියන ලද අපූරු පොත් පිංචක් වෙයි. එහි නමේ සිංහල අරුත "දැල්වෙන
මනස" යනුවෙන් කිව හැකිය.මේ කෘතිය මෙන්ම එහි පිදුමද කිසියම් විශේෂිත බවක් දක්වයි.
කතුවරයා (ඔහු කෙසේවත් තමන් ජනපති උතුමා, මහ රජතුමා ලෙස හඳුන්වනු දැකීම ප්‍රිය නොකළ
නිරහංකාර එමෙන්ම දක්ෂ මිනිසෙකි.) සිය පොත පුද කරනුයේ එක්තරා පාසලක ඉගෙනුම ලබන
දැරියකටය. ඔහු එම දැරියට කෘතිය පිළිගන්වනුයේ ඇය ඔහු විසින් අසන ලද ප්‍රශ්නයකට නිවැරැදි
පිළිතුර දුන් හෙයිනි. ජනපතිවරයාගේ ප්‍රශ්නය මෙයයි.
"අප රටේ ප්‍රධාන සතුරා
කවුද?"
ඊට ලැබුණු පිළිතුරු
විවිධය. එහෙත් නිවැරැදි පිළිතුර දෙන ලද්දේ අර දැරිය විසිනි. ඒ පිළිතුර මෙයයි.
"දුප්පත්කම!"
මේ ජනපතිවරයා අන්
කවරකුවත් නොව අසල්වැසි ඉන්දියාවේ හිටපු ජනපති ඒ.පී.ජේ. අබ්දුල් කලාම් ය.
අපේ රටේ ප්‍රධාන සතුරා කවුරුන්ද? |
ලංකාවේ මේ ඊනියා
ස්වර්ණමය යුගයේ කවුරුන් හෝ අපේ පාලකයාට එම පිළිතුර දුන්නේ නම්....'
හැමෝම දුප්පත්කමේ හැබෑ රහයි,
හැබෑ රඟයි දන්නවා නම්....ඒ දවස්වල බට කිරිල්ල, ගඳපාන, ඇඹිල්ල, චීන වගේ හින්නිකිතර
ගෙඩි ජාති හැදෙන ගස් පවා අපි ගැන දුක හිතිලද මන්දා අපට උදව් නොවී අහක බැලුවේ නෑ. කාලා තියෙනවාද ගොරකා
දලු? ගොරක ගස්වල දලුත් දිවිය ලෝක
රහයි කියලා අපි දැනගත්තේ ඒ දවස්වලමයි. ඇයි බිම්පොල්? කොට්ටම්බා ගස් යට, පොල්ගස්වල
මුල් අස්සේ, බඩවැටිවල හැම තැනම වැවෙන බිම්පොලුත් අපට සැලකුවේ සහෝදරයෝ වගේ. දැන්
නම් තේරෙනවා, අර ගස්වලටයි පඳුරුවලටයි ලොකුම ප්‍රශ්නේ වෙන්න ඇත්තේ මොකක්ද කියලා.
'උදේම දලුයි, ගෙඩියි ඉවරෙටම දන් දීලා හවසටත් දෙන්නේ කොහොමද?'
ප්‍රශ්නයක් එක්කම
උත්තරයකුත් තියෙනවලු. මාත් උත්තර හෙව්වා!
ඊට කලින් අවුරුද්දේ; 1965
ඉඳලාම මම පොඩි ධනෝපායන රස්සාවක් හොයාගෙන තිබුණා. 'කොටුවේ ආච්චිට උදලු ගාලා දීම.'
අපේ වත්තට; වත්ත කිව්වාට
පර්චස් 40 ඉඩම් කෑල්ලක්. ඒ වෙනකොට ආච්චිලා ඒකට සල්ලි ගෙවලා ඉවර වෙලා තිබ්බෙත් නෑ.
ඒ ඉඩමට පහළින් තිබ්බෙ ඕවිටක්. සොපිහාමිගේ. අපට නම් කොටුවෙ ආච්චි.
ඒ මනුස්සයා රෑට විතරයි
ගෙදර යන්නේ. දවසම ඕවිටේ. "ඕවිටේ තණකොළ ගසුත් සොපිහාමිව අඳුරනවා" කියලයි
අපේ ආච්චි කීවේ.
කොටුවෙ ආච්චිට දූල-පුතාලා
කැලතක් හිටියා. එක පුතෙක්; චන්ද්‍රසේන මාමා තමයි සමහර වෙලාවට ඇවිත් ඕවිට උදලු ගාලා
කොටලා දෙන්නේ. මාත් ඒ වගේ වෙලාවට ගිහින් උදවු වෙනවා. කොටුවෙ ආච්චිත් හුඟ වෙලාවට
බණ්ඩක්කා ටිකක්, මෑ කරල් පොඩ්ඩක්, නිවිති මිටියක් මට දෙනවා "ඕක අම්මට ගොහින්
දෙනවා ළමයෝ" කියලා.
එදා මට චන්දරේ මාමා
පෙනුණේ මහ දැවැන්තයෙක් විදියට. වීරයෙක් විදියට! එක සීරුවට, එක දිගට, නොනවත්තා
උදැල්ල ගහමින් ඕවිටේ පස් පෙරළනකොට එයා දිහා බලන් ඉන්න ආසයි. කොච්චර දාඩිය වැක්කෙරුණත්
එයාට ගණනක් නෑ. දාඩියෙන් තෙමිච්ච චන්දරේ මාමාගෙ අත්වල, පපුවේ, පිම්බුණු මස් පිඬු
අව්වට දිලිසුණේ රිදී පාටට....
අද මට හිතෙනවා මං චන්දරේ
මාමාගෙ ෆිට් බොඩි එකට එච්චර තණ්හාවෙන් හිටියේ අපේ තාත්තගේ කොලු කාලේ ෆොටෝ එක
නිසාවත්ද කියලා. මේං ඒ ෆොටෝ එක. "...ඕක ගන්න කාලේ ගුණේට අවුරුදු දාසයක්වත්
නෑ!" දසනායක රත්නවතී; අපේ ආච්චි ෆොටෝ එක දෙන ගමන් මට කීවා.
අපේ තාත්තා අවුරුදු දාසයෙදීත්..... හොඳ හොඳ කෙළි කෙළපු ගොබිලෙකි! |
එයාට එක රැයකදී එක නවකතාවක් ලියන්න පුළුවන්ලු! මගෙ අම්මෝ.... පුදුම හපනෙක්නේ. මං චන්දරේ මාමට කිව්වා මටත් ඒ පොතක් ගෙනල්ලා දෙන්නකෝ කියලා. "අපොයි රංජි, ඔයාලගේ තාත්තා මාව හම ගහයි එහෙම කළොත්. ඒවා පොඩි ළමයින්ට කියවන්න දෙන්නේ නෑනේ."
'ඔයාටනෙ බැරි. මං
හොයාගන්නම්කො.' මටම කියාගෙන මං දැඩිව අධිෂ්ඨාන කරගත්තා; තරහෙන්ම. ඔහොම ඉඳිද්දී එක දවසක්
හරි වැඩක් වුණානේ.
"රංජි, ඊයේ මං ෂෝක්
මාරක කතාවක් කියෙව්වනේ. ඩීමන් ආනන්දගේ පොතක්." චන්දරේ මාමා කීවා.
රංජි, ඊයේ රෑ මම මාර නවකතා පොතක් කියෙව්වා......... |
"අනේ, හොඳ චන්දරේ
මාමා වගේ මටත් ඒකේ කතාව කියන්නකෝ." මං ආයාචනා කළේ මාරක කතා කියන්නේ මොනවාද
කියලා පස්සේ අහගන්න හිතාගෙන. ඔන්න දැන් මාමා කතාව පණ පිහිටුවලා කියාගෙන යනවා.
"....ඉතිං ඒ මිනිහා අර කෙල්ලව දූෂණය කරලා මරණවා!"
"මොකක්ද චන්ද්‍රසේන
මාමේ දූෂණය කරනවා කියන්නේ?" හැම රෙද්දම හොයන පුරුද්දට පුංචි සංදියේ ඉඳලාම
පුරුදු වෙලා හිටිය මොට්ට රංජි ඕවිටේදී එහෙම ඇහුවා විතරයි චන්දරේ මාමා ගොළු ගැහුණා,
විනාඩි ගණනක් යනතුරාම.
"......හොඳටම වද
දීලා මරණ එකටයි එහෙම කියන්නේ." එවෙලෙ එයා මට කිව්වත්, දිග වෙලාවක් නිකට
කස-කසා චන්දරේ මාමා කල්පනා කරපු විදියෙන්ම මං දැනගත්තා, මොකාක් හරි මට හංගපු බව.
එක රැයෙන් එක නවකතාවක් ලියන්නට හපන් මාරක කතා චක්‍රවර්ති ඩීමන් ආනන්ද මහතාව මට මුණ ගැස්සුවේ ඔවිටකදී..... |
ඔහොම දිගටම යන්න ගියොත්
නිමල්......මගෙ හිත මටම අනතුරු අඟවනවා. හරි, හරි. මේං ආපහු හැරුණා. ඕං ආයෙම
ධනෝපායන කතාවට. එහෙම කිව්වාට කවදාවත් කොටුවේ ආච්චි මට සල්ලි දීලා නෑ, එළවළුවක්
දෙකක් දෙනවා මිස. අර මී කුණක් විකුණලා පොහොසත් වුණු මිනිහට වගේ මට කාගෙවත් කතාවක් ඇහුණේ
නැහැ අදහස් පහළ වෙන්න. විදුලියක් කෙටුවා වගේ එකෑවරම අදහස හිතට රිංගුවා.
"චන්දරේ මාමේ. මේ
උදලු ගාලා දාන තණකොළත් එක්ක තියෙන මුකුණුවැන්න ටික මං තෝරාගන්නද?"
"ඒකට මොකෝ රංජි."
ඊට පස්සේ කොටුව උදලු ගාන
හැම දවසකම මං කරන්නේ මුකුණුවැන්න ටික තෝරලා, හොඳට හෝදලා, මිටි බඳින එක. මිටි බැඳලා
ඒවා පියදාස මුදලාලිලගෙ කඩේට හරි හට් එකේ කඩේට හරි ගෙනියන එක, විකුණලා සල්ලි ගන්න.
ඒ විදියටත් වතාවකට සත තිහ-හතළිහක් මං හම්බ කළා. මට මතක හැටියට නම් ඒ දවස්වල සීනි
රාත්තලක් සත තිස් හයයි නැත්තම් හැත්තෑදෙකයි. එ්ක හොඳටම මතක මොකෝ දන්නවද? සත නවයක සීනි
තමයි මුකුණුවැන්න විකුණගන්න ඇහැක් වුණු දවසට ගෙනාවේ. සීනි කාලක් හරි අරික්කාලක්
හරි. ඒවා ඔතලා දෙන්නේ පත්තර කෑල්ලක. කීයටවත් ඒ කොළ කෑල්ල අහක දමන්න මං ඉඩ දෙන්නේ
නෑ; දිග ඇරලා-පිහදලා-කියවලාම මිස.
......පාන් රාත්තලක් සත
විසි පහයි වගෙත් යාන්තමට මතකයි.
මෙන්න ඔත්තුවක්. මහරගම
හන්දියෙන් රේල් පාර ක්‍රොස් කරලා එද්දී පළමු වරට පුංචිම-පුංචි පල්ලමක් බහින්න ගන්නකොටම
වම් පැත්ත බලන්න.....බිල්ඩිමක්. CIB ග්‍රේ ක්ලෝත් සෙන්ටර් එක... කොට්ටම්බා ගහක්.
(රේල් පාර පැනලා එනවිට වම් පැත්තේ කොට්ටම්බා ගස් දෙකක් පහු කරන්න. තුන්වෙනි කොට්ටම්බා ගහ) අන්න එතනයි
හට් එකේ කඩය තිබුණේ. ඒ එක්කම තට්ටු හතරක
ගොඩනැගිල්ල. පද්මා මැෂින් සෙන්ටර්. එ්ක හැදුණේ පියදාස මුදලාලිගෙ කඩේ වැහිලත්
පරම්පරාවකට පස්සෙ.
ඒ දැන් ව්‍යාපාර.... එදා
මගෙ වියාපාරේ සාර්ථක වෙද්දී මං තව පොටක් පාදා ගත්තා.
වනාතෙ වත්තේ තිබුණා ලොකු
පොල් වෙරළු ගහක්. ගහ පාමුල අන්නාසි ගස් ගොන්නක්ම. අන්නාසි පඳුරු අස්සේ පොළොංගු
ඉන්නවාලු කියලා කවුරුවත් හොඳට එළිය වැටෙන්න කලින් එහාට එන්නේ නැහැ; වෙරළු
අහුලාගන්න. හිමිදිරි පාන්දරම කුප්පි ලාම්පුවකුත් අරං ගිහින් මම වෙරළු අහුලනවා. රත්තා
හරි මහතැන හරි ඒවිද කියා බල-බලා. කුප්පිය පොල් කටුවකින් මුවා කරගෙනයි යන්නේ, දුර
කාටවත් නොපෙනෙන්න. එහෙම අහුලන වෙරළු පන්තියේ ළමයින්ට....ඔව්, ඔව්. විද්‍යාකර විද්‍යාලයේ
මාත් එක්ක හයේ පන්තියේ හිටි ළමයින්ට විකුණනවා. වික්ක ගණනත් කියන්නම්. ගෙඩි දෙකක්
සත තුනට හරි, ගෙඩි තුනක් සත දෙකට හරි.... මතකය චූට්ටක් පැටලෙනවා. දෙකට තුන හෝ තුනට
දෙක කියලා නම් ෂුවර්!
මේවා ඇත්තද? වෙන කෙනෙක්
මට කියනවා නම් මං වුණත් අදහාවිද. මෙච්චර විස්තර.... සමාවෙන්න, ඇත්තම කියන්නයි මට ඕනේ.
මෙයිට කලින් මගේ ජීවිත
කතාව ලියන්න ඕනේ කියලා සිය-දහස් වතාවක් හිතිලා තියෙනවා. ලියන්න පටන් අරගෙන අත ඇරලා
දාලාත් තියෙනවා. බයේ නෙවෙයි. එකක් කම්මැළිකම. අනෙක කාට-කාට හරි රිදෙන්න තියෙන ඉඩ.
බ්ලොග් එකක් ලියන්න මම හිතුවෙත්....
අපි තුන්දෙනෙක්; ඩොක්ටර් අයස්මන්ත පීරිසුයි, නෙවිල් අනුරසිරියි, මමයි කරන අත්හදා
බැලීමක් ගැන. තව කාට හරි ප්‍රයෝජනයක් ගත හැකි නිසයි ලියන්න හිතුවේ. 2017 ඔක්තෝබර්
24 ඉඳලා වචන දහස් ගණනක් කෙටුවා. පාඨකයෙක් විදියට මම දන්නවා, එහෙම දේවල් හැමෝටම
interesting වෙන්නෙ නෑ. අන්තිමට මං තීරණේ කළා සේරෝම දේවල් කලවමේ ලියන්න. එතකොට ඒ
තරම්ම ඒකාකාරී වෙන්නේ නැහැ. හැබැයි ඇත්තම
ඇත්ත ලියනවා! මං තීරණය කළා.
සමහර වෙලාවට ඇත්ත
තිත්තයි; කටුකයි; අවමානය උපදවනසුලුයි; ලජ්ජා සහගතයි; හෙළා දැකිය යුතුයි.... ඒවගේම
විටෙකදී ඇත්ත හාස්‍යජනකයි; රසබරයි; ආදර්ශවත් වගේම අභිමානවත්..... ජීවිතය කියන්නේ ඒ
ඔක්කොමගෙම සංකලනයක්.
ඒක ඇත්ත නම් ඇයි කොටසක් විතරක් හංගන්නේ? කවුරු කාව රැවට්ටුවත් මම නම් මගෙ හෘදය සාක්ෂ්‍යය රවට්ටාගන්නේ නැහැ. එහෙම ලියනවා. ලියන්න ඕනේ සේරම ලියනවා. ආත්මයම මරාගෙන පිටකබොල්ල විතරක් ජීවත් කරවන්නේ මොන එහෙකටද?
සමහර ඇත්ත දේවල් ලියන්නත් අමාරු තරම් කටුකයි.......... |
ඒක ඇත්ත නම් ඇයි කොටසක් විතරක් හංගන්නේ? කවුරු කාව රැවට්ටුවත් මම නම් මගෙ හෘදය සාක්ෂ්‍යය රවට්ටාගන්නේ නැහැ. එහෙම ලියනවා. ලියන්න ඕනේ සේරම ලියනවා. ආත්මයම මරාගෙන පිටකබොල්ල විතරක් ජීවත් කරවන්නේ මොන එහෙකටද?
ඒකයි මං මට මතක හැටියට, සීයට සීයක්ම ඇත්තම කියන්න වෑයම් කරන්නේ. පෙළක් වෙලාවට මට හිතෙනවා මං අතීත මතක මන්දිරවල හිරකාරයෙක් වෙලයි කියලත්! දැන් නම්..."බල පා තෙද පා දැඩි එඩි පා - මේ යදම් කඩා පුපුරා යන සේ - කකියා එයි රුධිරේ......"
මං මුකුණුවැන්න - වෙරළු
වික්කේ පොඩි ලැජ්ජාවක් හිතේ නලියද්දි. ඒත් මුලදී විතරයි එහෙම දැනුණේ. ටික දවසකින්
ඒ වගෙ දේවල් අපට පත්තියම් වෙනවා! ඒ විකුණලා මං හම්බ කළ හැම සතයක්ම වියදම් කළෙත්
ගෙදර හැමෝටමයි. මං එහෙම කළේ වෙන කරන්න දෙයක් නැති නිසා. වෙන කෙනෙක් නොහිටි නිසා.
පවුලේ වැඩිමලා මම නිසා.
නාට්‍යයට දවස් දහයක්
විතර තියෙද්දී අපට හොඳටම හාඩප් වුණා. ඇයි, එහෙන් නාට්‍ය ප්‍රැක්ටිස්, මෙහෙන් ආධාර
එකතු කරන්න යනවා. ඒ අස්සේ මාල, වළලු, අත්පටි,ඔටුනු හදාගන්න.... ඒවාටම පැය විසිහතර මදි.
උදලු ගාන්න, වෙරළු අහුලන්න තියා ඉස්කෝලේ යන්නවත් මට බැරි වුණා. ඒ අස්සේ අම්මාගේ මදුරු
අඬෝවැඩියාව.
දවසක් තාත්තා මගෙත් එක්ක
නංගිල-මල්ලිලා බඩගින්නේ ඉන්න හැටි ගැන කතාවකට වැටුණා. ඒක කෙලවර වුණේ ප්‍රශ්නේකින්.
"....විදියක් නම් තියෙනවා රංජි. උඹට නම් ඒක හොඳට කරන්න පුළුවන් කියලා මට
විශ්වාසයි." තාත්තා කිව්වා.
විදිහක් නම් තියෙනවා. උඹට නම් ඒක හොඳටම කරන්නත් පුළුවන්..... |
"මොකක්ද තාත්තේ?"
මම ඇහුවා.
........එහෙමයි.....
දුප්පත්කම අපරාධයක්ද? උපතින් දුප්පත් නම් ඒක තමන්ගෙ වැරැද්ද නෙමෙයි නමුත් දිගටම එහෙම වෙනවා නම් ඒක තමන්ගෙ වැරැද්ද ... ඒ මන් හිතන විදිහ .. මට හිතෙන විදිහට නිමල් අයිය වැරදිකාරයෙක් නෙමෙයි !
ReplyDeleteඅල්ලපු රටේ එවුන්ගෙන් බොහොම අතලොස්සක් උදවිය තමයි මගේ හිතට අල්ලන්නෙ ... ඒ අතරින් ඒ.පී.ජේ. අබ්දුල් කලාම් කියන්නෙත් උඩින්ම ඉන්න චරිතයක් ... වචනයේ පරිසමාප්තියෙන්ම නියම මහත්මයයෙක් ... රෝල් මොඩ්ල් එකක් ... පොඩි අවුලක් තියෙන්නෙ මෙතුමාගේ මුල නම "අවුල් පකීර්" කියන ඩිංග තමයි :-D
අදට කියවල ඉවරයි ... අද මාර සතුටු දවසක් අල්ලපු රටේ එවුන් කිරිකැට් සෙමි ෆයිනල් එක වලඳන්න යන්නෙ :-D
ඔන්න කණ්ඩා , මාත් කෙටියෙන් උත්තර ලිව්වා. ස්තුතියි.
Deleteඅවුල් නැහැ නේ?
කෝ ... කොහේද ?
Deleteහරිම රසවත්. පුංචි කාලේ ගැන කියද්දී දුකකුත් හිතුනා. ඒ කාලේ කොයි තරම් නම් අමාරුවෙන් කාලය ගෙවන්න ඇද්ද කියලා හිතුනා. වෙන පොඩි දරුවෝ දෙමව්පියන්ගේ හෙවනේ දෙන දෙයක් කාල වෙන දෙයක් බලාගෙන සැපෙන් ඉද්දි මේ දරුවා පවුලේ වැඩිමලා විදිහට ගෙදර මදිපාඩු පිරිමහගන්න හැටි කල්පනා කරන්න පටන් ගත්තාම නේද?
ReplyDeleteඒ අත්දැකීම් නිසා තමයි ලියෝනි මං වයසට කලින් පැහුනේ කියල හිතෙනවා!
Delete