අකුරු මැකී නෑ

Thursday, May 3, 2018

ගස්සලා යවමුද -දෙවෙනි කොටස

අපේ චූටි නංගිත් බඳිනකොටම කිය-කියා හිටියේ දරු පැටව් දහයක් හදනවා කියලා, අම්මා වගේ..........
අපේ චූටි නංගි දීපානිත් කසාද බඳිනකොටම කිව්වා මමත් දහයක් හදලයි නවත්තන්නේ කියලා. මානෙල්, සමන්ති නංගිලාත්  සුනිල්, අනිල්, දීපාල් මල්ලිලාත්, මාත් හැමෝම කිව්වා හදාගෙන පලයංකො කියලා. 

එයාගෙ මහත්තයාලැ පවුලේත් ළමයි දහයක්ද කොහෙද. හැබැයි දීපානි පහෙන් නැවැත්තුවා. ඒත් දැන් වුණත් එයා එංගලන්තෙ ඉඳන් මාත් එක්ක ස්කයිප් එකෙන් කතා කරද්දී මට හැඟෙන්නේ ළමා නිවාසෙක ඉන්න එක්කෙනෙක් එක්ක කතා කරනවා වගේ!

මළ කෙළියයි, ජූලි හතයි!
උඩින් තියෙන ටික කෙටුවේ අප්‍රේල් 11 උදේ. දැන් හවස දෙකයි කාලයි. හයවෙනි ඉන්ද්‍රියයක් තියෙනවා කියන කතාව ඇත්තමයි වගේ. දවල් දොළහට චූටි නංගි කතා කළා. මං එයාටත් මගේ බ්ලොග් එක ගැන කිව්වා. "ඔයාලට දැන් සිංහල කියවන්න බැහැනේ"

"ඒකට කමක් නෑ, ලොකූ මට ලින්ක් එක දෙන්නකෝ!" චූටි ඉල්ලුවා. 

එයා කළු දොදොල් හැඳිගාන්න ලැස්ති වෙවීලු හිටියේ. මට එංගලන්තයේදී හමුවුණු සිංහලයන් වැඩි දෙනෙකුත් චූටිලාගේ ගොඩේමයි. ගතින් එහෙ හිටියට හිතින් මෙහේ.

කතාව ඉවර වෙලා විනාඩි පහක් ගියේ නෑ. මෙන්න ගෑනි ආයෙමත් ලයින් එකේ. 


එදා ගස්සලා යැවිල්ල දෙල් වුණායින් නිදිට වාසනාව ලැබුණා මෙලොවට ඇවිත් blog එකකුත් ලියන්න........
"හරි ෂෝක් ලොකූ..... මේ " කියලා චූටි නංගි බ්ලොග් එකේ "වාහල්කඩේ" පරිවර්තනය කියෙව්වා; මට ඇහෙන්න. ඔන්න අද කාලේ. ගූගල් එකෙන් ට්‍රාන්ස්ලේට් කරවාගෙන තියෙන්නේ. තාක්ෂණේ මහිමය.

කොහොමින් හරි අපේ තාත්තාගෙ විරෝධය නිසා ගස්සලා යවන වැඩේ දෙල් වෙලා, නිමල් දිසානායකට මෙලොව එළිය දැකීමේ වාසනාව ලැබුණයි කියමුකෝ.

දෙවෙනි ගබ්සා කතාවටත් සම්බන්ද අපේ උත්තම මව්-පිය දෙපළමයි. ඒ දෙන්නාටම උවමනා නැති විදියට දරු පිළිසිඳ ගැනීමක් සිද්ද වුණාම එයාලා බඩ හෝදලා අරින්න ලැහැස්ති වෙලා. ඕක අපේ ආච්චිට; රත්නවතීට ආරංචි වෙලා. ආච්චී හෙණ සැදැහැවන්ති.

පිං පාටයි ඔබේ මුහුණ පිංවතී - පිංකම්වලටම  හිත ඇති පෙම්වතී
කිසිවක් නෑ ලෝකයෙ පිං පාටැතී - දේදුන්නේ පාට හතේවත් නැතී

පිං පොකුණෙන් පැන් සනහා පේවෙලා - පිං හේනේ පන්සල මැද පායලා
පිං බත් දන් දී පිං බෙර හඬවලා - මදැයි ඉතිං පිං අනුමෝදන් කළා

මහාචාර්ය සුනිල් ආරියරත්න මහත්තයාට නිසැකවම අපේ ආච්චීව මුණ ගැහිලා වෙන්නෝනි... දයාන් විතාරණට.......
නෝ doubt, ඔව්- ඔව්  නිශ්චිතවම සුනිල් ආරියරත්න මහාචාර්යතුමන්ට අපේ ආච්චිව ඇහැ ගැහිලා තියෙන්නම ඕනේ. නැතිව කොහොමද එයා ගැන යස අපූරු සිංදුවක් ලියලා දයාන් විතාරණ මහත්තයාට දෙන්නේ? වෙන කොහෙද ඉන්නේ එච්චර පිංබර සැදැහැවන්තියෝ.

ඉත්තිං- ඉත්තිං, ඩී. රත්නවතී උපාසිකා මාතාව පරල වුණා අර රහස දැනගත් ගමන්. "ගුණේ, උඹලට ඔය දරුවා එපා නම් මට දීපල්ලා. මං හදාගන්නම්. ඔන්න ලීලා, මං උඹටත් නොකිව්වයි කියන්න එපා. ඔය පවුකාර වැඩේ කරලා එහෙම අපේ ගෙදර පස් පාගන්න නම් හිතන්න එපා, ඕං!"
ආච්චිගේ තග දැමිල්ලට අපේ අම්මයි තාත්තයි දෙන්නම සරෙන්ඩර් වෙලා. ඒක එතැනින්ම කොලොස් වෙලා; ලත් තැනම ලොප් වෙලා.

තුන්වෙනි වතාවට ගබ්සාව අපේ ජීවිතවලට රිංගුවේ 1975 විතර.

මං දකින විදියට නම් අපේ තාත්තාගෙ ටෙස්ටෙස්ටරෝන් හෝර්මෝනය වැඩියෙනුත් එක්ක වහනය වුණා වෙන්න ඕනෑ. නිකමට බලන්නකෝ අවුරුදු පහළොවේදී විතර අපේ තාත්තාගෙ විදිය. වයසට වැඩිය පිරිමි පෙනුමයිනේ?

ගුණේට පහළොව වෙද්දීත් මෝරලා වැඩියිලු.... මදනයා ගහලා............
පිරිමි ළමයෙකුගේ යෞවනෝද්ගමනයේදී ඒ සඳහා ඉවහල් වෙන්නේ අර හෝර්මෝනය. රැවුල වැවෙන්න පටන් ගන්නේ, රෝම වැවෙන්න පටන් ගන්නේ, කටහඬ ටිකක් ගොරෝසු වෙන්න පටන් ගන්නේ.... ඔය හොර්මෝනයේ බලපෑම නිසයි. 
එතකොට තමා කොල්ලෝ 'ඉල්ලන් දැරි'කම්  නොහොත් ඉලන්දාරිකම් පාන්න පටන් ගන්නේ. ආච්චිම කියූ විදියටමත් "ගුණේට මදනයා ගැහුවේ බොහෝම අඩු වයසේ ඉඳන්!"ලු.

තාත්තා තොම්බ්රෝසිස් ලෙඩෙන් රෝගී වුණාට එ්ක එයාගෙ ලිංගික චර්යාවට කිසිසේත්ම බලපෑවේ නැහැ. මං ඒක කැට තියලා කියන්නේ සහේතුකවයි. 
60 ගණන්වලදී තාත්තා අසනීප වුණත්, එතන ඉඳන් අවුරුද්දෙන් වැඩි කාලයක් එයා මහ ඉස්පිරිතාලේම නේවාසිකව හිටියත්, 
අපරාදේ කියන්න බෑ- හැම දෑවුරුද්දකටම වතාවක් අපේ අම්මාව ලයිනින් හෝම් එකට හරි කාසල් එකට හරි එක්ක යන්න වුණා. ඒ රාජකාරිය පැවරුණේ ලොකු පුත්තරයා වුණු මට. බැහැයි කියන්නයැ? 

අනේ පම්පෝරියකට කියනවා නෙවෙයි, මානෙල් නංගිගේ ඉඳලා නංගිලා මල්ලිලා පස් දෙනෙකුටම දාලා තියෙන නම් සේරම මේ කොටන මැට්ටාගේ නිර්මාණමයි!


ඔන්න ඒ සැරෙත් ගැබිණි අම්මාට අමාරු වුණාම එයාව ඉස්පිරිතාලෙට දොක්කන් ගියේ ලොකු පුතා වුණු මං.....
හොඳම වැඩේ වුණේ දීපානි නංගි ඉපදුනු වෙලාවෙයි. එයා මේ ලෝකෙට ආවේ කළුබෝවිල ඉස්පිරිතාලේදී. ඔන්න ඒ සැරෙත් අම්මට අමාරු වුණාම රෝහලට එක්ක යන්න වුණේ මටමයි. එදා රෑම දරු ප්‍රසූතිය සිද්ද වෙලා. 

පහුවදා පාන්දරම අම්මාට කන්න දෙයකුයි, අඳින්න රෙදි-පෙරෙදියි පොදි බැඳගෙන මං ඉස්පිරිතාලෙට ගියා. පාන්දර හයට විතර ගේට්ටු ගාව කාවල් කරන ඇත්තෝ පුංචි-පුංචි සන්තෝසම්වලට විකිණෙනවානේ. ඔය අවසරයත් අරං රංජි පුතා එහාට ඇතුල් වුණාට මොකෝ වාට්ටුවේ සිස්ටර්ට මාට්ටු වුණයි කියමුකෝ.

එයා හෙණ වස එක්කෙනෙක්. මං එදා නම් අම්බානකට බය වුණා. "එනවා මෙතන ගෑනු වාට්ටු අස්සේ රිංගන්න. අද තමුසෙව පොලිසියට අල්ලලා දීලයි නවතින්නේ." සිස්ටර් එහෙම කිව්වේ මාව අල්ලගත්ත ගමන්මයි. ඒත් මගෙන් විස්තර අහගත්තට පස්සේ එයත් ටිකාක් විතර මෝදු වුණා.

"ළමයෝ, තාත්තට කියනවා දැන්වත් ඔය වැඩේ නවත්තන්න කියලා. මේ නවවෙනියානේ. ඔය මදැයි. මං අම්මටත් කියන්නම්......" එයාගේ දේසනාවේ හරය තමා ඒ. ලජ්ජාවේ පොළොව පළාගෙන යන්න බැරිව හිරවෙලා හිටි මං ඇඬුවෙ නැතුවා විතරයි.


තාත්තට කියනවා වෙනින් නංගිලා මල්ලිලා ගෙනෙන්න එපා කියලා, දැනටත් ඔයාල පවුලේ නවයක් නේද?
"ඔන්න ආයෙමත් එහෙම අම්මට බබෙක් හම්බ වෙන්න ඉස්පිරිතාලේට එක්ක යන්න වුණොත් අන්න එදාට මං ඔළුව හැරිච්ච පැත්තක යන එක යනවාමයි." පස්සේ වෙලාවක මං සිංහ නාදයක් දැම්මා, බලු වෙන්නත් ඉඩක් තියෙනවා කියලා නොහිතාම. 

බලු වෙන්න විතරක් නෙවෙයි, තව ඩිංගෙන් මුළු ජීවිත කාලයක්ම විඳව-විඳවා ඉන්නයි වෙන්නේ! දෙයියෝ මං දිහා බැලුවා.

හරියටම 1975 නත්තල් දවසේ අපේ අම්මා දහවෙනි දරු ප්‍රසූතියටත් මුහුණ දුන්නා. 
ඉපදුනේ පුංචි කෙලි පැටික්කියෙක්. හැබැයි අත-පය විකෘති වෙලා. 
ඒ මොන විපත්තියක්ද දෙයියනේ? 

මං නිදාන කතාවෙ 360% ම දැනගත්තේ ආච්චිගෙන්.

"අනේ රංජි පුතේ ටිකක් ඉවසලා ඉඳහන්. දැන් වෙච්චි දේ වුණා. ඒක අම්මගෙයි තාත්තගෙයි වැරැද්දම නෙවෙයි. ඒ දරු පැටියත් පතාගෙන ආව විදිය වෙන්නැති." 
ආච්චි ලොකු ටීකාවක් එක්කයි කතාව කිව්වේ. දහවෙනි දරුවාත් කුසට ඇවිත් මාස දෙකක් විතර වෙනකල් අපේ අම්මයි තාත්තයි වැනි-වැනී ඉඳලා. ඒත් මගේ හැටිත් දන්නා නිසා අන්තිමට තීරණය කරලා හොරෙන්ම බෙහෙත් ගන්න.

ඒක ඒ දරුවාත් පතාගෙන ආව හැටි, උඹලා අම්මලා බෙහෙත් ගනිද්දී දරුවා මෝරලත් වෙන්නැති. ආච්චි කිව්වා.
ඒ දවස්වල පත්තර කියවපු අයට නම් මතක ඇති නිතර පළවූ දැන්වීමක්. 

'ඔසප්! ඔසප්!! ඔසප්!!! කල් ගිය ඔසප්.....' ඒ ඕනම ලෙඩක් ඉක්මනින්; අප්‍රමාදව සනීප කරනවාලු. ඒ දැන්වීම්වල නැත්තේ ගබ්සාව කියන වචනය විතරයි. මගේ මතකය හරි නම් මහරගමමත් හිටියා එහෙම වෛද්‍යාචාර්යවරයෙක්..... 
ඇයි ජා ඇල. එයාලා ගුවන් විදුලි වැඩ සටහනුත් ප්‍රචාරය කළා. රට- ජාතිය- ආගම වෙනුවෙන් වැඩි-වැඩියෙන් දරුවෝ හදන්නයි කියන දේශප්‍රේමියෝ ඒ කාලේ හිටියේ නැති නිසා වෙන්නැති. මං හිතන්නේ අද ඒ වගේ දැන්වීම් වුණත් පත්තරවල පළ කරන්නේ නෑ!

2012 දෙසැම්බර් 23 'රාවය' පත්තරේ 20 පිටුවේ හරිම සිත්ගන්නා විදියෙන් ලියැවුණු ලිපියක් තිබුණා, 'බණ්ඩාරගම එකියක් නායක හාමුදුරුවන්ට ලියූ අමු හිංගල ලිවුම' කියලා. (ඒකෙ අන්තිමට  reargate.blogspot.com.nz කියන ලින්ක් එකත් තිබ්බා. එදා නම් මට ඒ ලින්ක් එක ඕනේ වුණේ නෑ.
ඒත් දැන් මේ පොස්ටුව කොටද්දී මං ඒකට ගිහින් බැලුවා. 

අර හිංගල ලිවුම ඒකේ තවමත් තියෙනවා, 'රොටුඹේ පේමරතන නායක හාමුදුරුවන් වෙතයි' යනුවෙන්. ඉතිං මං මේක කියවන හිතවත් ඔයා නම් කරන්නේ, මේ දැන්ම එතනට ගිහින් ඒ පෝස්ටුව කියවලා ඉන්නෙක..... කියෙව්වද?

ඔන්න මං ඒ ලිපියත් එක්ක 'රාවයේ' දාලා තිබුණු අනගි චිත්‍රයත් මෙතනට එකතු කරනවා.

නායක හාමුදුරුවන්ට අමු සිංහලෙන් ලියුමක්................
2013 ජනවාරි 6 රාවයේ 15 පිටුවේ උඩින්ම තිබ්බා 'බණ්ඩාරගම එකියට පිළිතුරු'. වික්‍රමශිලා පරිවෙණාධිපති රොටුඹ පේමරතන හිමි එවාපු එකක්. එ්කේ හෙඩිමට යටින් මෙන්න මේ සටහනත් තිබ්බා.

"........බ්ලොග් අඩවියකින් උපුටාගත්....එම ලිපියට පිළිතුරු දෙමින්, පේමරතන හිමියන් විසින් අප වෙත එවන ලද මේ ප්‍රතිචාරය පළ කරන්නේ ඒ හරහා ගබ්සා, වඳ සැත්කම්, රටේ ආර්ථිකය, සමාජ තත්ත්වය ගැන සංවාදයකට මුල පුරනු රිසියෙනි. පාසල් ළමයින් පවා උසිගන්වමින් පන්සල්, පල්ලි, රෝහල්වලට කඩාපැන නීතිය අපචාරයෙහි යොදවනවාට වඩා සෞඛ්‍යමත් සංවාදයක් තුළින් අප කරන ක්‍රියාවල හරි වැරදි මැනිය හැකි මට්ටමකට එන්නේ නම් එය යහපත් දෙයකි. කැමැත්තෝ ලියත්වා!"

ඉතින් මමත් ලියුවෙමි. පත්තරෙත් පළවිණි. අවාසනාව වෙනිං කවුරුන්වත් ලියාපුවා නොතිබීමය. 

තරහ අවසර! ටිකක් දිග වුණත් මං ලියූ ලිපියෙන් වැඩි හරියක් මෙතනට ගැළපෙන පාටය. රොටුඹේ හිමියන්ගේ උත්තරයට මා දුන් පිළිතුර මෙයයි. ඒ  නිසා මා නඟන තර්ක මෙන්ම උන්වහන්සේගේ අදහස්ද මෙය කියවන රසික ඔබට නිරායාසයෙන් වැටහෙනු ඇතැයි හිතමි.

".........ජාතියක් ශ්‍රේෂ්ඨ වන්නේ සංඛ්‍යාව වැඩි වීමෙන්ද? බුද්ධාගම අපට සින්නක්කරව ලියා දුන්නේ කවුද? අප සැබෑ බෞද්ධයන්ද?

මම උපතින් සිංහල බෞද්ධයෙක්මි. එහෙත් නිති පන්සිල් හෝ පොහොය අටසිල් හෝ නොරකින්නෙක්මි. නමුදු මෙතෙක් මිහි මත පහළවූ මහා ශ්‍රේෂ්ඨයා ගෞතම බුදුරජාණන් වහන්සේ යැයි විශ්වාස කරන්නෙක්මි. ඒ නිසාම බෞද්ධ දර්ශනය අගය කරන්නෙක්මි.


පාහර දේවල් නිතිපතා සිදුවෙන රටක උපතින්ම බොදුනුවෙක් වුණු අවාසනාවන්තයෙකි...........
දැරියන් සිය ගණනක් කෙළෙසූ දේශපාලුවන් රකින්නට මහ සඟ රුවන පෙරටුව පෙළපාලි යන්නේ සිංහල බෞද්ධයන්ය. 
ගිනි දවල්, මහා පාරේ කපා-කොටා මිනී මරද්දී බලා ඉන්නෙත් බහුතර ඔවුන්ය. 
තම තමන්ම ගස් බැඳ ගන්නේත්, තම තමන්ම තළා-පෙළා තුවාල කරගන්නෙත් සිංහලයන්ය.

අරක්කු ටිකට, බත් පැකට් එකට, රුපියල් පන්සීයට 'පටස්'ගා උද්ඝෝෂණවලට එන ජනතාවත් ඒ ගොඩේමය. 
ස්ත්‍රී දූෂකයන්, කුඩු රජවරුන්, මිනී මරුවන් විශේෂ සමාවන් ලැබ සිපිරි ගෙයින් නිදහස්ව එද්දී 'හ්ම්' නොකියා ඉවසාගෙන බලා හිඳින්නේත් බහුතර සිංහල ජනතාව වන අපමය. අවශ්‍ය වන්නේ තවත් මෙවන් නිවටයන් වැඩි-වැඩියෙන් බෝ කිරීමද?...............

වැඩිපුර සිංහල බෞද්ධයන් අවශ්‍ය කාටද? කුමකටද?

ලිපිය ටිකාක් විතර දිගයි නේද? ටිකක් දවස් ගිහිල්ලාම ඉතිරි හරිය කියවන්න දෙන එක හොඳා වගේ! අපි ඉතිරිය ඊළඟ පෝස්ටුවෙන්ම කියවමු නේද?


2 comments:

  1. අපරාදෙ අයියෙ නංගි පහෙන් නැවත්තුවේ 11 ක්ම හැදුව නම් ක්‍රිකට් ටීම් එකකට ගාන හරි ... ඉස්සර අපේ මායිය මගෙන් කීයක් හදනවද කියල ඇහුවම උන්දැව අවුස්සන්නත් එක්ක මං කියනවා ඉතින් අඩුම තරමෙ ක්‍රිකට් ටීම් එහෙකටයි අම්පයර්ල දෙන්නෙකුයිවත් ඉන්නෙ නැතිව වැඩක් නෑනෙ කියල ... ඒත් අන්තිමට එකෙක්වත් නෑනෙ :-D

    ReplyDelete
    Replies
    1. කණ්ඩා, අපූරු වැඩේ කියන්නේ චූටි නංගී ටෙලිෆෝන් කරනකොට මට ඇහෙන්නේ එයා ළමා නිවාසෙක ඉන්නවා වගෙයි. අපි නම් බයේ හිටියේ, ගෑනි කියපු විදිහටම කරයි කියලා. මොකද සුදිත්ලගේ පවුලේත් දහයක්ද කොහේදැයි!

      Delete