අකුරු මැකී නෑ

Thursday, May 3, 2018

දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස

මේ දස බලු කතාව කියන්න හිතුණේ මගේ රසික මිතුරෙක් හින්දා.

මගේ වෘෂභ ගතිය හින්දද මන්දා මට නම් අසභ්‍ය- සැර වැඩි දේවල් කියන ඒවා බොහොම අඩුයි!
මාව හඳුනන රසික හිතවතා මට ටෙලිෆෝන් කරලා කිව්වා 'ඔයාගේ සමහර post ටිකක් සැරයි නේද' කියලා. සැරයි කිව්වේ අසැබි කියන තේරුමෙන්ලු. ඒ එතුමාගේ අදහසනේ. මගේ වෘෂභ ගතිය නිසා මට නම් අසභ්‍ය කියලා දේවල් නැතිම තරම්. 

එහෙම නොවී තිබ්බ නම් තමයි පුදුම. කියවලා තියෙනවාද 'ප්‍රංශ රස'..... නැත්තම් 'මකුණා'. ඒ කාලේ අන්තිම කුණුහරුප පොත් විදියට හංවඩු ගැහුණු පොත් තමයි ඒ. 
මං එව්වා කියෙව්වේ අවුරුදු දාහතරේදී විතර. සිග්මන් ප්‍රොයිඩ්ගේ මනෝ විශ්ලේෂණයට අනුව නම් අපේ චින්තනය හැඩ ගස්සන්න ලිංගික කාරණාත් හුඟාක් බලපානවා. මටත් එහෙමද?

මං පළමු 'කුණුහරුප යාන්' එක අහද්දී මට 12 යි. 

එව්වයින් මං අකලට පැහුණාද කියලත් වෙලාවකට හිතෙනවා. 'ඒ ගැන තමුසේ විශ්ලේෂණය කරගන්න ඕනේ නැහැ. අනෙක් අයට ඒක කරන්න ඉඩ දෙනවා!' නිමල් දිසානායකගේ යටිහිත මට කිව්වා. හරි නේන්නම්. මෙන්න බලු කතාවට යනවා.

ඔන්න ඔන්න දහ බලු කතන්දරේට යනවා..................

හතර වටේම බල්ලෝ-බැල්ලියෝ පිරිලා ඉඳිද්දී බලු කතාවක් කියන එකත් කාලෝචිතයිනේ. ලෝකේ කොයි තරම් දියුණුද කිව්වොත් දැන් බලු වර්ග 208 ක් ඉන්නවා. ටෙරියර්, ෆොක්ස්හවුන්ඩ්, ස්පැනියල්, ජැපනීස් චින් වගේ විවිධාකාර නම්වලින්. ලොම් නැතිව, ලොම් ඇතිව, නැට්ට නැතිව, නැට්ට ඇතිව, තිත් එක්ක..... කොහොමද කැමැති? ඕනෑම විදියක බල්ලෝ අද හොයාගන්න පුළුවන් නම-ගම-පෙළපත එක්කම.

මම කියන්න යන බලු කතාවේ සුනඛ රාජයාට නමක් නම් තිබ්බයි කියලා දැනගන්න නෑ. 2017 ලෝකේ ජනප්‍රියම බලු නම 'මැක්ස්' නිසා අපි එයාට ඒ නමම දෙමුද? එක්කෝ ඕනේ නෑ. නමට 'කොපි රයිට්' අරංද දන්නෙත් නෑනේ!

අරං කියන වචනේ කොටද්දී තමා මතක් වුණේ 'ප්‍රංශ රස' ගැන තව කියන්න තියෙනවානේ කියලා.

අවුරුදු දහය-පහළොවකට ඉස්සෙල්ලා දවසක මං ගියා ශ්‍රී ලංකා ජාතික පුස්තකාල සේවා මණ්ඩලයේ තිබුණු පොත් ප්‍රදර්ශනයක් බලන්න. ඒකෙ තිබුණා අතක් බර පොතක්. ඒ.ඒ. පියරත්න මහත්තයාගේ කෘතියක්. 'සිංහල නවකථා ග්‍රන්ථ නාමාවලිය'. 

1876 ඉඳලා 1988 වෙනකල්ම සිංහලෙන් පළවුණු සේරම නවකතා පොත් ගැන විස්තරයක් මේ...........
පොත A4 සයිස්. පිටු 576 ක්. දන්නවද මිල? රුපියල් 175/= යි. 40% ක් වට්ටමකුත් දෙනවා. මට පොත ලැබුණේ රු.105/= ට. දුන්නු බිල් පතත් තවම පොත ඇතුළේ. 

1876 ඉඳලා 1988 වෙනතුරු ශ්‍රී ලංකාවේ ප්‍රකාශිත පොත්වල නාමාවලියක්. වලියක් දාලා හරි අයිති කරගන්න තරම් වටිනවා. නම විතරක් නෙවෙයි, කතුවරයා - ප්‍රකාශකයා - පොතේ ප්‍රමාණය - පිටු ගණන - මිල වගේම ..... අච්චු ගහපු පොත් සංඛ්‍යාවත් ඒකෙ අඩංගුයි.

මට 'ප්‍රංශ රස' බලාගන්න ලැබුණේ ඉස්කෝලෙදි. යාළුවෙක් ළඟ තිබ්බේ. දහ වැඳුම් වැන්දාමයි දුන්නේ. මං පොත කියවද්දී මිනිහා ඔත්තු බැලුවා! සර් කෙනෙක් හරි ටීචර් කෙනෙක් හරි කඩාපාත් වේවිද කියලා. 

ඒකෙ කතාව නම් මතක නෑ. 'මකුණා'ගේ නම් කතා සරීරය ලාවට මතකයි. නොසන්ඩාල මකුණෙක් ගොඩ දෙනෙකුගේ ඇඟවල්වලට මාරු වෙවී 'බ්ලූ ෆිල්ම්ස්' බලනවා. live. ඒ බලන රඟ මේ පොත් අපටත් දැනෙව්වා වදන්වලින්. මං අවුරුදු දාහතරේදී කියවපු ඒ පොත් අද නිල් චිත්‍රපටවලට වඩා හැඟීම් දැනවීමට සමත් කියලයි මට හිතෙන්නේ.

ඔන්න නිල් චිත්‍රපට කියනකොට මරු වැඩක් මතක් වුණා. ආයේ මොකටද පස්සට දාන්නේ, ඒකත් කියලම ඉන්නම්.

80 දසකයේ අග භාගය ඒ. මට සමන්ති නංගි VHS ප්ලේයර් එකක් තෑග්ගට ගෙනාවා. ඒ දවස්වල අපේ යහළුවෝ මගේ කාමරයට එනවා ෆිල්ම්ස් අරං. ගොඩක් ඉංග්‍රීසි චිත්‍රපටවල 18+ කෑලි තියෙනවානේ, ඉතින් එව්වා ගෙදරදී බලන්න බැහැලු. සමහර වෙලාවට ගෙනෙන්නේ බ්ලූ. ඒ දවස්වල වීඩියෝ පාර්ලර්වලින් එව්වා කුලියට දෙන්නෙත් ජාතික හැඳුනුම් පත ඇපයට තියාගෙනයි. 

ඒ දවස්වල blue films ගෙනෙන්නේ ID එක තියලා. දැන් වගෙය? හරි ඩිමාන්ඩ්...........
මට ඔව්වා නිතර ලැබෙන බව දැනගත්තා මගේ හිතවත් සොයුරියන් කීප දෙනෙක්. "අනේ නිමලෝ, අපි ඔව්වා එකක්වත් බලලා නෑ බං. බැරිද අපටත් එකක් බලන්න." දවසක් එයාලා මගෙන් ඇහුවා.

"මොකද බැරි. උඹලට ඕනි නම්....."
යෝජනාව ස්ථිර වුණා. මට නිල් චිත්‍රපටයක් ලැබුණු දවසක එයාලා හතර දෙනාම මගේ කාමරයට ආවා. (ඒ දවස්වල මං හිටියේ කුලියට ගත් කාමරයක.) " අපිට ඕක බලන්න බැහැ උඹ කාමරේ ඉඳිද්දී. උඹ ඕක දාලා දීලා කොහේ හරි පලයං බං තරහ නැතිව."

නාන්න, රෙදි හෝදාගන්න, බොන්න සේරටම මට වතුර ගන්න වෙලා තිබ්බෙ වත්ත පහල ළිඳකින්. මම එයාලට VEDIO එක දාලා දීලා ළිඳට ගියා "ගෙට ආ කළ ටිකිරිලියා - උඹ වේවිලු කබරගොයා" වගේ. හැබැයි "ළිඳට ගියත් අවසරයක් ගන්නට වේවි" නම් වුණේ නෑ! 

තවමත් එයාලා මට හමුවෙනවා. එදින් එදායි, අද වෙනකල් මං රහස රැක්කා ඔන්න. අද වුණත් ඔයාලාව අඳුනාගන්න පුළුවන් එකම එක 'ක්ලූ' එකක්වත් දුන්නේ නෑ, හොඳේ. මට ඉන්න හැට-හුට හමාරක් මිතුරු-මිතුරියෝ අස්සේ කොහේ ඔයාලව ගෙස් කරන්නද? ඔන්න කවුරු හරි කටටම උත්තරේ දීලා ඇහුවත් බේරියල්ලා!

ඉතින් පියරත්න මහතාගේ පොතට අනුව 'ප්‍රංශ රස' පොත ලිව්වේ ජේ.පී. රාජපක්ෂ කියලා මහත්තයෙක්, 1959 දී. කොළඹ, ශ්‍රී රෝහණ මුද්‍රණාලයෙන් ක්‍රවුන් 8 සයිස් එකේ පිටු 130 ක පොතක් විදියට පිටපත් දාහක් ප්‍රින්ට් වුණේ. මිල රුපියල් තුනයි. ඩීමන් ආනන්ද මහත්තයාගේ පොතක්වත් අල්ලන්න නොදෙන ඒ සංදියේ 'ප්‍රංශ රස'ත් එක්ක වැඩිහිටියෙකුට අහු වුණා නම්.....තවම ගුටි කනවා!

එතකොට මම බණ පොත් කියවලා තිබුණේ නෑ. ආච්චි කියා දුන් බණ කතා විතරයි දැනගෙන උන්නේ. ඕනෙම දෙයක් කියවන නිසා බණ පොතුත් මිලේට ගත්තා.

ඉස්සරෝම වෙලා පොත් අච්චු ගැහුවේ ආගමික මතවාද ප්‍රචාරය කරන්න............ හරි වෙහෙසක් දරලා........
"මැණිකක් රකිනා නා රජිඳකුසේ මම ඔබ නිරතුරු රකිමී" කියලයි මං මගේ පොත් ටික රැකගන්නේ. එහෙම රකින පොත් අතරේ අපූරු පොතක අපූරු කතාවක් අහුවුණා. 

පොත ශ්‍රී ලංකා ප්‍රාචීන භාෂොපකාර සමාගම මඟින් ගොඩගේ ප්‍රකාශනයක් විදියටයි මුද්‍රිත. ධර්මසේන මහාස්ථවිරපාදයන් වහන්සේ විසින් විරචිත "සද්ධර්මරත්නාවලිය". මං ඒකෙ ද්විතීය භාගය තමයි අද උදවු කරගන්නේ.

'මල්ලිකා බිසවුන්ගේ වස්තුව'. එහෙනම් කොහොමද මේ පෝස්ටුවට 'පාහර සුනඛ' කතන්දරයක් ඇදුනේ? හරි, හරී.  ඉවසලා ඉන්ඩකෝ. මේක බලු කතාවක් තමයි. මෙන්න එ්කේ තියෙන විදියටම....

"ඒ මල්ලිකා බිසවු එක් දවසක් නහනකොටුවට වැදලා මුව මූණ සෝධාපියා නැඹුරුව සිට පය සෝධති. උන් හා කැටිව නහනකොටුවට වන් රජගෙයි ම වැඩි බල්ලෙක් බිසොවුන් පය සෝධන්ට නැඹුරුව සිටියවුන් දැක ග්‍රාමධර්මයෙහි යෙදෙන්ට පටන්ගත. බිසවු තමන්ට තරම් කටයුත්තක් නොවතත් තත්විෂයෙහි සම නොවන්නවුන් නැති බැවින් තමන්ගෙන් එබඳු ප්‍රයෝගයක් නුවූවත් පහස ඉවසා සිටියහ....."

පේනවාද බල්ලා කෙළලා තියෙන බලු කෙළියක තරම!

මෙතන හැංගිලා තියෙන දේවල් වගයකුත් තිබෙන බවයි මට නම් පේන්නේ. මල්ලිකා බිසව නාන තැනට ගිහින් නිරුවත් වුණු කතාව මේකේ කෙලින්ම කියලා නෑ. ඒත් එයා ඉන්න ඇත්තේ 'ෆුලි නේකඩ්'. එහෙම නොවෙයි නම් මල්ලිකා බිසව නැවිලා ඉන්නවා දැකපු ගමන් සුනඛයාට 'fire' වෙන්නෙ නැහැනේ. ඒ මදිවාට 'මේ කෙළිවලදී- සමාජේ අපි ඔක්කොම සමානයි- කියලා හිතපු බිසව' ඔහේ නැවීගෙන එහෙමම ඉඩ දීගෙන හිටියයි කියලත් තියෙන්නේ. සමහර විට 'පහස ඉවසාගෙන' හිටියේ 'පහස රස' නිසාම වෙන්නත් පුළුවන්.

දැනුත් සමහර නෝනලා සුනඛ පෝතක පහසට; ඇසුරට බොහොම මනාපයි!
මොන වාසනාවටද මන්දා දැනුත් සමහර නෝනලා ස්වාමි පුරුෂයාටත් වැඩියෙන් සලකන්නේ හුරතල් සුනඛ පෝතකයාට. ගුන්තරුත් ඒ වගේ සුරතලෙක්ද මන්දා.

මල්ලිකා බිසවට කෙළපු කුක්කුරයා මොකාද 'සිව්වැනි gunther' එක්ක බලද්දී. 

ෆොටෝ එක දකිනකොටම පෙනෙනවානේ 'ගන්තර්' කොහොම සැපක් ගන්නවා ඇතිද කියලා. එයාට මියාමිවල සුපිරි මන්දිරයකුත් අයිතියි. එ්ක කාලයකට ඉස්සර මැඩොනාට අයිති එකක්ලු. වාර්තාවල හැටියට මේ සුනඛ උත්තමයාට ඩොලර් මිලියන් 372 කට වැඩිය අයිතියිලු. කොහොමට හිටියිද අපේ භාරකාර මණ්ඩලවල ඉන්න ලොකු මහත්තැන්ලාව ඒ බලු මණ්ඩලවලට පත් කළොත්. මං එහෙම යෝජනා කරන්නේ එයාලාව බලු කරන්න නම් නෙවෙයි, වැඩි හොඳක් කරන්නයි.

හරි වැඩේ. මල්ලිකා- මල්ලිකා කියලා කියවෙන වාරයක්- වාරයක් පාසා අපේ මල්ලිකාත් මගේ වටේ එහෙ- මෙහෙ යනවා වගේ. 
අපේ මල්ලිකා කිව්වේ මගේ ලොකු මල්ලී සුනිල්ගේ පළමු බිරින්දෑ. මල්ලිකා ගල්හේන. "ලොකු අයියා මගේ ගැනත් ලියන්නේ නැත්ද?" මල්ලිකා අහනවා වගෙයි දැනෙන්නේ. හොඳයි, ඔන්න චුට්ටක් ලියනවා.

මල්ලිකා මැරෙන්න පණ බයේ හිටියේ, කොච්චර දාන-මානාදී පින්කම් කළත්. එව්වා කළේ වයසට යද්දී. කෙල්ල කාලේ එයාගෙ අයියත් එක්කම බයිසිකල් පැද්දා. අපේ සුනිලුත් ඒ කල්ලියට එකතු වෙලා අන්තිම වුණේ දෙන්නා එක්ක එකට ජීවන යාත්‍රාව පදින්න පටන් අරන්.

සයිකල් රේස් පදින්න ගිහින් සෙට් වෙලා ජීවිත රේස් එක පදින්න පටන් ගත්තු ඒ දෙන්නාට...............
අපරාදේ කියන්න බැහැ, මල්ලිකා අපට අපේම සහෝදරියක් වුණා. එයා ප්‍රාර්ථනා කරගෙන හිටියේ දසසිල් මෑණි කෙනෙක් වෙන්න. අපේ සුනිලුත් ඒකට කැමැත්ත දීලයි තිබ්බේ. වැඩේ ගැස්සුනේ මල්ලිකා උපාසිකාවගේ එකම එක කොන්දේසියක් නිසා. සිල් මෑණි කතාව මතුවෙන හැම තිස්සෙම සුනිලා කිව්වේ එකයි.

"මට ළමයි දෙන්නත් එක්ක තනියෙන් ඉන්න බැහැ. තමුසේ සිල් මෑණි කෙනෙක් වෙලා මාස දෙක-තුනක් යන්න කලින් මං වෙන ගෑනියෙක් ගන්නවා."

"අපෝ බෑ. එහෙනම් මට සිල් මෑණි කෙනෙක් වෙන්න ඕනෑ නැහැ!"

මං අදත් කල්පනා කරන්නේ ඒ පරස්පර-හුටප්පරේ කොහොමද තේරුම් ගන්නේ කියලා.

එයාලගේ දෙවෙනි පුතා ජයශංඛ මගේ බ්ලොග් එක දිගටම කියවනවා. ඔන්න චූටි පුතේ, තමුසෙත් දැන් වැඩිහිටියෙක්නේ. මේක කියවලා අහක වෙලා ඇහැක් නම් උඹවත් මේ කාරණාව මට තේරුම් කරලා දියන්කෝ. දැන් අම්මත් නැති එකේ (මොකද මල්ලිකා දැහැමින්-සෙමින් මිය පරලොව ගියා 2013 දී.) කාගෙන් අහගන්නද.

මල්ලිකා පිළිකාවකින් අවුරුදු හතක් දුක් වින්දා. මුල් කාලයේ අපටත් කිව්වේ 'දොස්තරලට වැරදිලා, තාම ලෙඩේ හරියට අඳුනාගෙන නෑ' කියලයි. 'ඒකනේ මේ ඉස්පිරිතාලේ නමත් වෙනස් කරලා තියෙන්නේ 'අපේක්ෂා' විදියට' කියලා එයා වැඩි දුරටත් කියද්දී අපි නිහඬව උන්නා. ඔය වගේ කාරණා නිසයි මං අර 'මැරෙන්න බය' කතාව කියන්නේ.

ඉත්තිං කෝසල මල්ලිකා බිසවගේ කතාව එතනින් අහවර නෑ. බලු කතන්දරත් එහෙමනේ. කොටින්ම අපේ ආදි, ආදි, ආදිම නත්ත මුත්ත පත්ත පනත්ත කිත්ත කිරිකිත්තා වෙච්චි විජය-කුවේණි කතාවටත් බල්ලෝ සම්බන්ධයිනේ. 
(මොන xත්තා වුණත් කියලා හිතුණද බලුකමට?) බල්ලෝ නෙවෙයිද? ම්ම්ම්ම්... බැල්ලියෙක් නේද. ඔව්නේ. බැල්ලියෝ දෙන්නෙක්! එකියක් විජයට කුවේණි ළඟට පාර පෙන්නුවා. ඊට පස්සේ රාජිනිය බැල්ලියෙක් වුණා විජය ළඟදී.

ඊට පස්සේ රැජන බලු වුණා විජය ළඟදී...................
".....කල්ප ගණන් එකතුව උන් සේ - නිරතුරු මට වැටහෙයි - අල්පයකුදු ඔබ ළඟ නැති නම් - කල්පය ලෙස තේරෙයි- මා ළයේ, කුළුඳුලේ අනන්ත හැඟුම් මැවෙයි....." කියලත් එයා විජයට කියන්න ඇති. ඇත්තටම එහෙම හිතූ නිසාම වෙන්නැති වෙළඹ වේශයක් මවාගෙන, විජයවත් පිට උඩ නංවාගෙන ගිරීස පුරේට ගිහින්, නෑදෑ යක්ෂ සනුහරේම කඩුගාලා දාන්න උදවු වුණේ.

ඒ බලුකමට විජය කෙලෙහි ගුණ සැලකුවෙත් බලුකමකින්මයි; දරු දෙන්නෙකුත් උපන්නාට පස්සේ. අඹුවයි දරුවොයි පන්නල දාලා ඉන්දියාවෙන් කුමාරිකාවක් කැන්දාගත්තා. එහෙව් බලු පරම්පරාවකින් පැවත එනවයි කියන අපටත් බලු වැඩ බැරි නම් වෙන කාටද පුළුවන්?

මොකද කියන්නේ? පරණ පොතේ තියෙන විදියටම කියන්නද, මගේ භාෂාවෙන් කියන්නද. මොනවා කිව්වත් මොකටද. කියවන ඔයාලා ඔයාලගේ අදහස් මට කියන්නේ නැහැනේ. 

මේ කොටන මොහොතේ 2018.4.27 උදේ හත වෙද්දී මගේ බ්ලොග් එකේ පිටු කියවලා තියෙනවා අටසිය හතලිස් දෙදෙනෙක් (842 යි දවස් 27 ට). අංජන, හක්ස්ලි, ගවීන්, පීරිස්, චූටි පුතා ජයශංඛ වගේ කිහිප දෙනෙක්ම ටෙලිෆෝන් කරලා 'හොඳයි' කිව්වා මිස නරකක් කිව්වේ නැහැ. 

සැර වැඩියි කිව්වෙත් තුන් දෙනයි. මේ ලංකාවේ හුඟ දෙනා අඳුරන අයව, යහළු-යෙහෙළියන්ව විවේචනය කරන්න පැකිළෙනවා. ඉතින් මම බලා ඉන්නේ නන්නාඳුනන රසික ඔයාලගේ විවේචන දැනගන්න. ඇහැක් නම් එව්වා මට කියන්න. මට පුළුවන් එව්වා කොයි තරම් කටුක වුණත් දරාගන්න.
 
හක්ස්ලි, ප්‍රභාත් හා නෙවිල් කුමන ඇදකුඹුකෙදී....
හක්ස්ලි අපේ ගමන් සගයෙක්. එහෙම වෙලාවක මං අපේ 'සාම ජාතක නාට්ටියේදී' වුණු සංගදි වගයක් කිව්වා. මේ මනුස්සයා බලන් ඉන්නේ මං බ්ලොග් එකටත් එව්වා ලියනකල්. හක්ස්ලිගේ ප්‍රතිචාරය තමා මෙතෙක් ලැබුණු එකම කොමෙන්ට් එක.

......සභාවේ නිහඬතාවෙන් පෙනී යන්නේ මට ඕනෑම මඟුලක් කරගැනීමට අවසර ඇති බවයි. (මෙතැනදී එපා වුණොත් හෙට ඕනෑවෙන්නේ නෑ කියලා මං දන්නා නිසා posts boring කරන්නෙ නෑ කියන කොන්දේසිය යටතේ) මෙන්න ඉතිරි හරිය මගේ බාසාවෙන්.

මල්ලිකා බිසොවුන් වහන්සේගෙයි සුනඛ රජ්ජුරුවන්ගෙයි 'ව්‍යභිචාරය' කෙරෙන අස්සේ කොසොල් රජ්ජුරුවෝ යනවා උඩු මහලට. බලනවා කවුළුවෙන්, බිසව නාන දිහා. මොකක්ද දැක්කේ? සුනඛ රාජයෙක් මල්ලිකා බිසොවුන්නාන්සේට ...... කොසොල් රජතුමා හිටි තැනම ගල්බීත වෙලා, ඇසි පිය නොහෙළා, අර දෙන්නාගේ 'රමණ දර්ශනය' නැරඹුවා!

ඒකට කියන්නේ 'නැරඹුම් කාමය' කියලද? මොන කාමය වුණත් මොන රජාටද උහුලාගන්න පුළුවන් තමන්ගේ බිසවට 'බාසා වෙල්ලෙක්' අහවල් දේ කරද්දී. කේන්තියෙන් වෙවුල-වෙවුලා රජා බලන් හිටියා බිසව ආපහු මාලිගාවට වඩිනකල්.

ඉතිරිය කියන්නම් 'දහ බලු කතා වස්තුවේ 2 න්'.

4 comments:

  1. ඔයා ඔය කියපු මහා කෘතීන් අතරින් සම්භාව්‍යම කෘතිය වන 'මකුණා' කියවන්න ලොකු කුතුහලයක් ඇති උනා කියන්නකො ඉතින් .. හෙක් .. හෙක් ... :)

    ඒ වගේම අර අහිංසක සහෝදරියන්ට දුන්න ධර්ම දානයේ පින ආයේ නිවන් දකින්නම ඇති :-D

    ෂුවර් එකටම කොසොල් රජතුමා ... අයියෝ මල්ලිකා ... මල්ලිකා .. ඔයාට තේරෙන්නෑ ... ඉවසුව ඉවසුව මෙච්චර ඉවසුව තව ඉවසන්න බෑ ... කියල කඩුවත් උරුක් කරන් කඩා පනින්න ඇති :-D

    ReplyDelete
    Replies
    1. අද නං ස්තුතියි කියලා විතරයි කියන්නේ. නැතිනම් කණ්ඩා, මොනවා කියවෙයිද දන්නේ නැහැ, ඒකයි!

      Delete
  2. Replies
    1. ගොඩක් සැරයිද අජිත් මහත්තයෝ?

      Delete