අකුරු මැකී නෑ

Saturday, May 12, 2018

අජාසත්ත- පස්වෙනි කොටස

ඔන්න මං නැට්ටුක්කාරී වුණා. ජයන්ති අක්කා රාජ දේවිය.....

මං රාජ සභාවේ නාටිකාංගනාවී වෙද්දී ජයන්ති අක්කා බ්ම්බිසාර දේවි වුණා. ඒත් එයාට අඬන කෑලි බෑ!
නාටිකාංගනාව රාජ සභාවේ නටන සීන් එක මුල හරියෙ තිබ්බෙ. 

මම සිංදුවට නටන්න ගත්තා. ඔන්න බොලේ මං නටනවා, නටනවා, ඉවර කරන්න මියුසික් දෙන්නෙම නෑ! නැටිල්ලේ ඉවරයකුත් නෑ. මට හොඳටම හති. "ගුණපාල අයියා, රංජියාගෙ ඩාන්ස් එක මරු, ටිකක් වැඩියෙන් නටවමු!" කියලා තමයි ෆවුසි මාස්ටර් සංගීතය ඉවර කරලා නැත්තේ. 

ඒ මදිවට මතකද ඔයා කරපු දේ? බිම්බිසාර රජතුමාගේ දෙපතුල් පළලා ලුණු දාන්න කිව්වාම ඔයාට තිබ්බෙ අඬන්නනේ.

අපි පැති තිර අස්සෙන් බලාගෙන ඉඳිද්දී ඔයා අත් දෙකෙන් මුහුණ වහගෙන හි-හි-හී කියලා ඇඬුවා. ඇඬුවා නෙවෙයි හිනාවුණා. අජාසත්තයි! 
මිනිස්සු හිනාවුණත් එක්ක. මියුසික් කරපු ෆවුසි මාස්ටර්ම තාත්තට කිව්වාලු 'අපෝ ආයිමත් එයාව නම් අජාසත්ත බිසවට දාන්න එපා' කියලා. 

තාත්තා ඔයාට මොකුත් කියන්න ඉස්සෙල්ලාම ජයන්ති අක්කේ, ඔයාම කිව්වා ''අනේ, ගුණපාල අයියේ. මම රාජ සභාවේ නටන්නම්. රංජි මල්ලිවම බිසවට දාන්න." කියලා. 
දැන් නම් හිනහත් එක්ක. එදා නටපු නැටිලි මොනවද පස්සෙ-පස්සේ අපි නටාපු නැටිලිත් එක්ක බලද්දී. නේද ජයන්ති අක්කේ? 

අනේ, එහෙම කියන්න හොඳ නැහැ. අපි නෙවෙයි මං..මං...මේ මම නටපු නැටිලි හොඳේ!

නාට්ටිය හෙණ සාර්ථකයි. මං හිතන්නේ ලියනගේ මාමයි, තව කවුරු හරියි අපිට 'අලියා ඔරෙන්ජන් බාර්ලි' බෝතල් වගයකුත් ගෙනැත් දුන්නා, සන්තෝසෙට. 

අම්මෝ, අපිට ඉතින් රජ මඟුල්. 'සිංහයා' බීම කියලා ජාතියකුත් තිබ්බා. ඒවා නම් අජපල්! 

ඇයි 'මොරවක මෙඩිටෝ'... අර උණක් එහෙම හැදුණාම විතරක් හම්බ වෙන්නේ. 

අපට ඔව්වා තෝරලා බොන්න චාන්ස් එකක් තිබුන්නෑ. ලැබෙන දෙයක් ආදරෙන්-කෑදරෙන්-මිනිට්ටුවෙන් උගුරෙන් පාතට යැව්වා මිසක්.

මොරවක මෙඩිටෝ වුණත් නිකං හම්බ වෙනවා නම් අපිට රජ මඟුල්!
ඒ කාලේ ඔරේන්ජ් බාර්ලි ටිකක් බොන්න තියා දකින්නවත් ලැබෙන්නේ කවුරුම හරි සුවිශේෂ අමුත්තෙක් ගෙදරකට ආවොත් විතරයි. ඊටත් අපේ ගෙදර නම් ඒ වෙලාවේ සල්ලි තියෙන්නත් ඕනි. 
හොඳයි, එහෙම තිබිලා ගෙනාවයි කියමුකෝ. 
ඔය බෝතලේ ඇතැයි දෙතුන් දෙනෙකුට? අපේ වාසනාව තියෙන්නේ අර බීම වීදුරුවල අඩියේ ඉතිරිවෙන චුට්ටේ. අපිත් ඉතිං කෙළ හළ-හළා බලා ඉන්නවා අමුත්තො යනකං අර මණ්ඩි ටිකට වග කියන්න. 

එකාට බිංදුව ගණනේ හම්බ වුණත් මොකෝ. සත්තයි ඒක අපට නම් මහමෙරක් තරම් ලොකුවටයි දැනුණේ!

කොච්චර දුප්පත් වුණත්, හයින්-හාමතේ හිටියත් අපේ ගෙදර සේරටම නීති තිබුණා. 

කවුරු හරි යමක් දුන්නොත් ස්තුතියි කියලා අරගන්න ඕනේ. මොන ටැංකියක්ද ඒ කාලේ? දැන් වගේ කටට එනවට තෑන්ක්ස් කීල්ලක් අපට තිබ්බෙ නෑ. අපි ඉස්තුතියි කිව්වේ බොක්කෙන්ම, ඇත්තටම, ඔළුවත් ටිකාක් විතර නවලා. 
එහෙම කියලා ගත්ත දේවත් මොකක්ද කියලා බලන්න අපට බැහැ, අම්මා හරි තාත්තා හරි ඉස්සරහ මිසක්. 
ඒකට ඉතිං අර අමුත්තො යනකං ඉන්න ඕනේ.

දවසක් අපේ අනිලට මරු වැඩක් වුණා.

ඔව්, ඔව්. අන්නා තමයි මීටත් පුංචි කාලේ වධක පැටියා වුණේ
ඔව්, ඔව් එයා තමයි වධක පැටියා වුණේ!

එතකොට අනිල්ටත් අවුරුදු පහක්වත් නැහැ. කවුරු හරි අපේ ගෙදරට ආනමාලු ඇවරියක් ගෙනාවා. ඒ දවස්වල ෂොපින් බෑග් වසංගතය ඇවිල්ලා නෑ. ඒක අපට කඩා-පාත් වුණේ විවෘත ආර්තිකෙන් පස්සෙනේ, හැත්තෑඅටේ විතර.... 

එදා පත්තර පිටුවක ඔතලා, ගොරෝසු කඩදාසි කවරෙක දාලා තිබ්බත් අපි දැනගත්තා ඇතුළේ තියෙන්නේ මොනවද කියලා. අපි තාත්තලට නොපෙනෙන්න එහෙට-මෙහෙට වහං වෙවී මහ අයගේ කතාවල කොන් අහුල-අහුලායි හිටියේ. 
මොකෝ එහෙම නීතියකුත් අපේ දිහා තිබ්බා. ලොකු අය කතා කරන තැන්වල පොඩි අයට ඉන්න තහනම්! අපිත් ඉතින් හරි කීකරුයි, නීතිගරුකයි.

පඳුරු අස්සේ හැංගිලා ඉන්න ට්‍රැෆික් පොලිස්කාරයෝ වගේ කවුරු හරි නෑ කියලා දැනගත්තොත් අපිත් ඉතිං ලෙහලා ඇරපු හරක්ම තමයි. 
ඉස්සරහින් පොලිස්කාරයෝ හැංගිමුත්තන් කරනවා කියලා අනෙක් වාහනවලට ලයිට්වලින් කියනවා වගේමයි. 

අපිත් ඒ වගේ වෙලාවට හරි සමගියි. අනෙක් වෙලාවට කොච්චර කා-කොටා ගත්තත් එකෙක්-දෙන්නෙක් ඔත්තු බලලා අපට අනතුරු අඟෝනවා.

ඉතින් ඔය ජරමර ඔක්කොම අස්සේ අපේ අන්නා අර කෙසෙල් ඇවරිය ළඟට රිංගලා. ඒ විතරක් නෙවෙයි ඒකෙන් ගෙඩියකුත් කඩාගෙන, මුල්ලකට වෙලා ඒකට වැඩෙත් දීලා. ඒ දවස්වල අපේ ගෙදර සවුදන් ජෙමා අනිල් තමයි. හැබැයි අපේ තාත්තගේ කටාක්ෂ නිරීක්ෂණයට, දැන් නම් CCTV වලට අන්නගේ මිෂන් එක අහුවෙලා.

අනිල්ගේ ආනමාලු කතන්දරේ අපේ තාත්තාගේ cctv එකට අහුවෙලා............
අමුත්තො ගෙදරින් ගියා විතරයි තාත්තා අර බෑග් එක ඇරලා සාලේ මැද්දෙන් තිබ්බා. ඒක ඇරියා. ඔය තියෙන්නේ දිලිසි-දිලිසී ලා කොළ පාට මිශ්‍ර කහපාටට. ආනමාලු! 

ඊළඟට වේවැල. එතකොටම අපිට තේරුණා අනිලට සබ්බුව තමා කියලා. 

"අනිල්, මෙහෙට වරෙන්.....(අනිලුත් බැරි-බැරියාවෙන් ගැහි-ගැහී එතනට ගෑටුවා.).... උඹට ආනමාලුද පුතේ ඕනේ" තාත්තා මහා කරුණාවකින් ඇහුවා. අන්නා නෝ කතා, නෝ සිනා. 
"කාපං පුතේ. හැබැයි  උඹ මේ ඔක්කොම කන්න ඕනේ. නැත්තං..." 

තාත්තා වේවැල අතට අරං ලෙළෙව්වා. වේවැලත් කිසි-කිසි සද්දෙට වැනුණා තාත්තට බයේ.
අනිලා ඇඹරුණා. වේවැල සද්දේ දැම්මා. අනිල් වාඩි වුණා. කන්න පටන් ගත්තා.

දොර ළඟ කැටි ගැහිලා හිටියා අපට දැන් තරහයි. අනිලා ඇවරියටම වග කියයි. අපට ඕනේ ඉක්මනටම අනිල්ට කෙසෙල් කෑම අප්පිරියාවෙන්න.
මොන? එකයි, දෙකයි... තුනත් දැන් මිනිහගේ අතේ...

එවිටම අපේ අම්මාගේ සම්ප්‍රාප්තිය සිදු විය. ඒ වනවිටත් ඇය බාගෙට හඬමින් සිටියාය. "ඔයා මේ කොල්ලව මරන්නද යන්නේ...."

අම්මාගෙ හැඬුම්බර ස්වරයටවත්, කඳුළුවලටවත් එදා නම් අපේ තාත්තා මෙල්ල නොවීය. ඔහු 'චන්ද්‍ර නන්දනී' එකේ බින්දුසාර මෙන් අඬා නොවැටී.....

(ඔන්න පුතෝ උඹ අමාරුවේ වැටිච්ච තැනක්. ඇත්තය. මා මෙගා ටෙලි බලන්නේම නැත. එකක් බැලුවොත් දවසකට පැය භාගයක් ගණනේ දවස් පහක්.... පැය දෙකහමාරකි. 

අපේ අලුත් නෑනා මෙගා සේරම බලනවා වගෙයි. බලංගොඩ, සීතගල පැත්තේ ඉඳගෙන කරන්නට වැඩකුත්............
පසුගිය දෙදිනේ අපි හිටියේ බලංගොඩ සුනිල්ලාගේ ගෙදරය. මල්ලිකා; සුනිල්ගේ පළමු බිරිය පිළිකාවට පැරදී, මෙලොව හැරගියාට පස්සේ සුනිල් ආවාහ කරගත් ඈන්ට නම් බලංගොඩ සීතගල පැත්තේ කරන්නට දෙයක් නැතුවා වගේය. 
මට පෙනුණේ ඈන් මෙගා ඔක්කොම බලනවා වගේය. 
ඒ හේතුවෙන් අර බින්දුසාර රජ්ජුරුවන්ගේ කොන්ද පණ නැතිකම මටත් දැකගන්ට වාසනාව පෑදිණි.

ඉතින් මට අද්‍යතන කොන්ද පණ ඇති පිරිමි රජෙක් ගැන දැනුමක් නැත. 
දකින-අහන සේරෝම කශේරුකාවක් නැති මහාම-මහ සෙවලයෝය. උද්භිද විද්‍යාවේ වචනයකින් නම් අපෘෂ්ඨවංශිකයෝද කොහෙදය. ඔන්න ආයෙම තාත්තා ළඟට...) කේසර සිංහ නද පෑවේය.

"ලීලා, උඹත් මගෙන් වේවැල් පාරක් නොකා පැත්තකට වෙලා හිටපන්."
"මූට තාම මොන වයසක්ද?"

"ළමයින්ට හොඳ නරක උගන්නන්න යන්නේ නැට්ටට කිරි ඉනුවට පස්සෙද?  මෙතනිං පලයන් හොඳ හිතිං. උඹත් ගුටි කන්න කැමති නම් හිටපන්." තාත්තා මෙල්ල නොවන බව දුටු අම්මා පසුබා ගියාය.

ඒ අතින් නම් අපේ අම්මා great එකෙත් හොඳම එකය. දරුවන් බඩගින්නේ ඉඳිද්දීත් අහර වැළඳීම ඇයට අසීරු නැත. දරුවන් දුකෙන්, වේදනාවෙන් හිටියත් වගේ-වගක් නැත. ඉස්සෙල්ලාම තමන් ගැන බලා-කියාගන්නවාය. 

ඇය නිවැරැදිය. මෛත්‍රී භාවනාව කරනකොටත් කියන්න ඕනේ 'මා ඇතුළු සියලු සත්වයෝ...' කියලාය. තමුන්ට ආදරේ- කරුණාව නැති එකා අනුන්ට කරුණා කරාවිද? 
ඒත් මොන කරුමයකටද මන්දා, මගේ අතින් අපේ අම්මාට ලැබෙනවාට වැඩියෙන් ලකුණු ලබාගන්නා අම්මලා ගණනාවක්ම සිටී. 

අම්මා ගැන මගේ නිර්වචනය මෙයයි. අම්මා ගැන විතරක් නොවෙයි. තාත්තා ගැනත්. "අපේ අම්මාත් තාත්තාත් දෙන්නාම වගකිවයුතු මවුපිය භාවයක් දැරීමට සුදුස්සන් නොවේ." තාත්තාට සරු ශුක්‍රාණු තිබුණු නිසා, අම්මාට සරු ඩිම්බ මෝචනය වුණු නිසා, දරුවන් දහදෙනෙකුම මෙලොවට ආවත් ඒ ගන්ධබ්භයන්වූ අප ඉඩක් සොයමින් සිටි නිසාම පමණි!

අම්මා බුද්ධාගමේ වුණාට දෙවියන්ටත් ප්‍රේ කරයි! 'එංගලන්තෙට ඉන්නේ God, ඔයාත් එයාට..........
දැන් නම් අපේ කාට වුවත් උණක් හැදුණා කිව්වත් අම්මා නොසෑහෙන්න කලබල වෙයි. නිර්ලෝභීව හඬා-වැලපී කඳුළු වක්කරයි. 

අම්මා බෞද්ධයෙකු වුණත් දෙවියන් වහන්සේටත් ප්‍රේ කළා කියයි. 'එහෙම නැතිව බැහැනේ. මෙහෙට තියෙන්නේ දෙවියන් වහන්සෙගෙ බැල්මනේ!' කියලාත් ලජ්ජා නැතිව කියයි. 'මෙහෙ' කියන්නේ එංගලන්තයටය. 
අම්මාගෙ බුද්ධියේ වපසරිය දැන-දැනම හරස් ප්‍රශ්න අහලා වැඩක් නැති හින්දා මමම කටට පාරක් ගහගෙන නිහඬවෙන්නේ ඔහොම වෙලාවටය.

පවු නිමල් කියා මා ගැන නොදන්නා අයෙකු කියන්නට ඉඩ ඇත. 

මට වැටහෙන ඇත්තම ලිව්වෙමි. නමුත් ඔවුන්ගේ හොඳ පැත්තත් කියන්නට කිසිසේත් නොපැකිළෙමි. සර්ව නිර්දෝෂී අය මෙන්ම, ගැරඬි හැවක් මෙන් දුරින්ම-දුරු කටයුතු, සියොලඟම දුෂ්ට දුදනෝත් ලොව නැති බවයි මට නම් හිතෙන්නේ. 
ඒ නිසා, වෛරයකින්, අහිතකින්, අගතියකින් තොරව අම්මා-තාත්තා දෙන්නා ගැන කතා කරන්නට හැකියාවක් මට තිබෙතැයි මම අදහමි.

ප්‍රියතම පුතණ්ඩියා ගුටි කෑවත් මට නම් ගුටි කන්නට බැරියැයි අපේ අම්මා හිතන්නට ඇත. එහෙමත් නැතිනම් මිනිහාට දැන්ම සත්චාරිත්‍ර ඉගැන්වීම හොඳයි කියා හිතුවා වීමටත් හැකිය. ඒ එකක්වත් නෙවෙයි නම් කිංකර භාර්යාවක් විදිහට වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම කීකරු වෙන්නට හිතුවා වීමටත් පුළුවනිය. අම්මා සීන් එකෙන් නොපෙනී ගියාය.

දැන් නම් අපේ හිතට සතුටුය. අනිල් ඉක්මනින්ම පැරදෙන පාටය. තව කෙසෙල් ගෙඩි කීපයක්ම ඉතිරිව තිබේ. අප කාගේත් එකම පැතුම වූයේ ඒ අවස්ථාවේ අපේ පොදු සතුරාවූ අනිල්ගේ පරාජයම විය!

අහම්බෙන් එතැනට කඩා පාත්වී අන්නාව බේරාගන්නට හැදූ අපේ ආච්චිටත් සිදුවුණේ තාත්තාගෙන් .........
ඒත් මොන? තාත්තා අනිල්ට බුරුලක් පෙන්නුවේම නැත. අහම්බෙන් වගේ එතනට කඩා-පාත්වුණු ආච්චිටත් වුණේ බැනුම් අහගෙන යන්නටය. 

"මං ජාතක කරලා උපන්න එකා මළොත් මං වළලනවා." කෙරුවාව කොහොම වුණත් ඔහොම වහසි බස් අපේ තාත්තා ළඟ හිඟ වුණේම නැත.

අන්තිමට අනිල් වේවැල් පාරකුත් කෑවත්, තවත් කාගන්නට බැරිව පැරදුණේය. ඒ කාපුවා වමනය කරන්නට වුණු බැවිනි. හැබැයි ඉන් මනත අපේ කවුරුවත්ම බඩජාරිකමට නීති කඩලා අහු වුණේ නම් නැත!

එහෙම හිටි අපට ඉස්ටේජ් එක උඩටම ඔරේන්ජ් බාර්ලි බෝතලය ගානේ හම්බ වුණාම.... නාට්ටි නටන්නම්කො හැමදාම වුණත්. මොන මහන්සියක්ද? අනෙක් හැමොන්ටමත් ඔය විදියටම හිතුණාද දන්නේ නැත. මං කිව්වේ මගේ හිතිවිල්ලය. 
එහෙම කල්පනා කරනවිට නම් දේශපාලක උත්තමයන් ගැන මට තියෙන තරහව අසාධාරණය. 

උන්නැහේලා වැඩි දෙනෙක් මොන බොරු කෙළලා හරි, මොන දහංගැට අටවලා හරි, ඕනෙම වෙට්ටුවක් දාලා හරි ඉහළ පුටුවලට යන්න පොරකන්නේ කඩාගන්න පුළුවන් වාසි කන්දරාව නිසා වෙන්න ඕනෑය. ඒවා ඔරේන්ජ් බාර්ලි වගේ සිල්ලර ඒවා නොවීම වෙනම දෙයකි.

ම්.ම්.ම්.... අපේ අන්නාට වුණු හොඳම දේ තව ඩිංගෙන් බැරි වෙන්නයි ගියේ.

අම්මාගේ දැඩි ඉල්ලීමට කන් දීලා අනිල් මල්ලීටත් නාට්‍යයේ චරිතයක් හැදූ තාත්තා.........
ඔන්න දේවදත්ත හාමුදුරුවන්ගෙ කීමට අජාසත්ත කුමාරයා බිම්බිසාර රජ්ජුරුවන්ගේ දෙපතුල් පළලා ලුණු දාන්නයි කියලා වධකයන්ට අණ කරනවා. ඒකෙදි විතරයි  වධකයා වේදිකාවට එන්නේ. 

ඉතිං නාට්‍යයේ ඕනෙකමකට නෙවෙයි, අපේ අම්මාගෙ ඉල්ලීම නිසාම (මතකයි නේද? මං කලින් කොටසකදී ඒ ටික ලිව්වා.) වධක පැටියා වූ අනිලුත් ස්ටේජ් ඒකට ආවා. 

වධක තාත්තයි පුතයි. රතුම රතුපාට රෙදි කෑලි දෙකක් ඇඳලා, රතුමල් මාල දෙකක් දාලා, රිදී පාටින් දිලිසෙන පළල කඩු දෙකක් අමෝරාගෙන. අපිනේ දන්නේ අර රිදී පාටෙන් දිලිසෙන කඩු කාඩ්බෝඩ්වලින් කපලා සිල්වර් පේන්ට් ගාලා හදපුවා බව. ඔන්න එනවා... වධකයා ඉස්සරහින්, පැටියා පස්සෙන්.

ඉතින් අජාසත්ත රජ්ජුරුවෝ තරහෙන් පිපිරි-පිපිරී අණ දුන්නා. 
බන්දුල ඒ ටික නියමෙට කළා. මිනිහගේ විදියයි, වොයිස් එකයි ගැළපෙන්නෙම දුෂ්ට චරිතවලට. එයා තමයි ඊළඟ නාට්‍යයේ පූර්ණක යක්ෂ සේනාධිපතියා වුණෙත්.

තිස්ස; වධක තාත්තා "එසේය මහරජතුමනි" කියලා ආපස්සට හැරිලා ඇතුළට ගියා. සෙනඟ දැකලා වධක පැටියාට හෙණ ජොලි. මිනිහා වේදිකාවෙන් පහළ පොදි කකා ඉන්න මිනිස්සු දිහාව බල-බලා හිටියා. ඉඳලා හැරිලා බලනකොටයි දැක්කේ වධක තාත්තා ගිහිං ඉවරයි.

දැන් රාජ සභාවමයි, බිම්බිසාර දේවියයි, දේවදත්ත හාමුදුරුවොයි විතරක් නෙවෙයි- පැති තිරවලට මුවා වෙලා බලන් හිටිය අපේ තාත්තයි, සේරෝමලා තක්බීර් වෙලා බලා ඉන්නවා... වධක පැටියාට වෙලා තියෙන අලකලංචිය දිහා. 

කොහොම අනිල්ගේ ඔළුවට ආවාද මන්දා එහෙම දෙයක් කරන්න. මිනිහා රාජ සභාවේ මුරකාරයා දිහාට කඩුව උලුක් කළා. "හා, හා, ඉඩ දෙනවා මට යන්න." කියලා කිව්වා.

වේදිකාවේ එල්ලලා තිබුණේ මයික් දෙකයි. ඒවාත් උඩින්. ඒ වුණත් වධක පැටියාගේ ගෝරනාඩුව මුළු ඕඩියන්ස් එකටම හොඳට ඇහුණා. පෙනුණේ ඒකත් ඕනෙකමින්ම නාට්‍යයට දාලා තියෙන කෑල්ලක් වගේ. සමහරු අත්පුඩිත් ගැහුවා. නාට්‍යය අන්තිමට අපි එක-එක්කෙනා ස්ටේජ් ඒකට එද්දී අපි හැමෝම කැළේ... වධක පැටියාටයි වැඩිම චියර් එක!


තත්පර 90ක් විතරක් රිදී තිරයේ පෙනිලා සම්මානත් ගත්තු..........
ඔහොම වැඩ වෙනවනේ. 
මට මතකයි අපේ දක්ෂ නළුවෙක් වන සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහත්තයාත් සම්මානයක් දිනුවා .....ඔහොම ඉන්නකෝ බලල  හරියටම කියන්න. 

ඔව්, ඔව්. 1986 දී, කොටි වලිගය චිත්‍රපටයේ තත්පර 90 දර්ශනයක භික්ෂූන් වහන්සේ කෙනෙකු ලෙස රඟපාලායි සරසවිය සම්මානයක් දිනාගත්තේ. ටක්කෙටම කිව්වේ නුවන්ගේ 'ශ්‍රී ලාංකේය සිනමා වංශය' පොතෙන් බලලයි. ('නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්' හා 'සමුදුරු මූර්තිය' ලිපි දෙකේදීම ඒ පොත ගැන ඔයාලා කියවන්න ඇතිනේ.)

සිනමා වංශය වගේම තමයි, අපේ නාට්‍ය වංශයත් නොහිතපු විදියට ටිකක් දිගට ඇදුණා. 'විධුර' එකෙන් ඒ ගැන ලියන්නම්.

එහෙනම් අජාසත්ත කොටස් පහක්ම කියවපු හැමෝටම පිං-පෙත් දීලා ඕං කැපුණා෴

                            

5 comments:

  1. පශ්චාත් භාගය රත් වෙන්න වදිනවා කියල දැන ගත්තත් මලය හිත යටින් උඩ පැන පැන ආනමාළු කන්න ඇත්තෙ :-D

    ReplyDelete
    Replies
    1. ඇවරියම කන්නයි බැරි වුණේ, කණ්ඩා. ඒ මල්ලි ළඟදී අන්තරා වුණා. වීරයා ගෙදරද 4 පොස්ටුවේ ඒ ගැන ලිව්වා. http://nidigepanchathanthare.blogspot.com/2019/06/blog-post.html

      Delete
    2. බොහොම කණගාටුයි ඒ ගැන :(

      Delete
  2. හි... හී..... වධක පැටියා තමයි හොඳටම කලේ.

    ReplyDelete
    Replies
    1. අනිල් මල්ලිගේ මුනුපුරනුත් දැන් එයා පොඩි කාලේ වගේ!

      Delete